Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“අලුත් ආර්ථික පනත ආර්ථික දේවදත්තලාගේ කීමට රැවටී සිදු කළ උගුල් ඇටවීමක්” -ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම-

(-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හමුව – 2024.05.22-)

ආර්ථිකය ගොඩගැනීමට බව කියමින් පනත් දෙකක් අද පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ආණ්ඩුව සූදානම් වෙනවා. මේ පනත් කෙටුම්පත්වල බරපතළ දෝෂ ගණනාවක් තිබෙනවා. රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න පෞද්ගලික අංශයේ දායකත්වය විශාල වශයෙන් බලපානවා. නමුත් මේ පනත් විශ්ලේෂණය කර බැලුවාම පේන්නේ ආර්ථිකය සංවර්ධනය කළ නොහැකි වුණොත් එහි වගකීම පෞද්ගලික අංශයට පැවරීමට උත්සාහයක් තිබෙන බවයි. ස්වාධීන ආයතනයක් මගින් ආර්ථිකය නියාමනය කිරීම සඳහා ගොඩනැගීමට යන ආයතනය වෙනුවෙන් ආයෝජන මණ්ඩලය දෙකට කැඩීමේ සූදානමක් තිබෙනවා. මෙයින් පැහැදිලි වෙන්නේ නියාමනයේ වගකීම එක කොටසකට බාරදී අනිත් කොටස පෞද්ගලීකරණය කිරීමට සූදානම් වන බවයි. ස්වාධීන ආයතනයකින් නියාමනය කළ යුතු බව මෙම පනතේ එක් වගන්තියක සඳහන් වන අතර, සමාගම් පනත යටතේ ක්‍රියාකළ යුතු බව තව තැනක සඳහන් වෙනවා. ලබැඳියාවන් අතර ගැටුමක් හැම පැත්තේම දකින්නට ලැබෙනවා. එළියේ ඉඳලා බලන අපිට පේන්නේ ආර්ථික දේවදත්තලාගේ කීමට රැවටී උගුල් ඇටවීමට සූදානම් වන බවයි. පිහිටුවන පෞද්ගලික ආයතනවලින් තමන්ගේම හෙංචයියලාට වරදාන වරප්‍රසාද දීලා විදේශ ආයෝජකයන්ගේ ධෛර්යය නැති කරන්න උත්සාහ කරන්නේදැයි අපට සැකයක් මතු වෙනවා. පසුගිය කාලයේ විදේශ ආයෝජකයන්ගෙන් 10% – 20% වගේ ප්‍රමාණවලින් කොමිස් ඉල්ලීම දැන් නීතිගත කරන්න සූදානම් වෙනවාදැයි අපට සැක හිතෙනවා.

දේශීය ආයොජකයන්ට සහ විදේශීය ආයෝජකයන්ට සම තැනක් දෙන බව සඳහන් කර තිබුණත් නියාමනයේ මුවාවෙන් ඩීල් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන බව යෝජිත කෙටුම්පතෙන් අපට පෙනෙනවා. පවතින රාජ්‍ය යාන්ත්‍රණය කාලානුරූපව ප්‍රතිසංස්කරණය කරනවා වෙනුවට අලුතින් නීති පනවා විසඳුම් සොයන බවක් අපට පේනවා. විවිධ අංශවලට ලංකාවේ නීති පනවා ඇති ආකාරය දැක්කාම තවත් නීති ඕනෑද කියන ප්‍රශ්නය අපිට ඇති වෙනවා. අලුතින් අටවා ගැනීමට යන ස්වාධීන යැයි නම්කරන කොමිෂන් සභාවලටත් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ බලතල පැවරීමට සූදානමක් තිබෙන බවක් පැහැදිලි වෙනවා. මේ දක්වා පවතින ආයතනවලට පත්කළ දේශපාලන හෙංචයියන් නව ආයතනවලටත් පත්කර, පරණ ක්‍රියාමාර්ගම ගෙනයාමට සූදානම් වන අතර, ඉලක්ක සපුරා ගැනීමට 2050 දක්වා කාලයක් ලබාදී තිබෙනවා. දැනට ආයෝජන මණ්ඩලයවත් නිසි ආකාරයෙන් මෙහෙයවා ගැනීමට අසමත් ආණ්ඩුව නව ආයතන ව්‍යුහයක් පිහිටුවා ලහි ලහියේ නීති පැනවීම තුළින් දේශීය ආයෝජකයන්ට හෝ විදේශීය ආයෝජකයන්ට සෙතක් නොවන බව අපට පැහැදිලියි. ආයෝජකයන්ගේ නාමයෙන් සිටින ඔවුන්ගේ හෙංචයියන්ට ඩීල් දමා ගැනීමේ අවකාශය මේ තුළින් සකස් කර දෙන බවට බරපතළ සැක මතුවෙනවා. මේ පනත් කෙටුම්පත් තුළ පවතින පරස්පර විරෝධතා සහ සැක මුසු තැන් ගැන සලකා බැලුවාම අපට ඒ බව පැහැදිලියි.

“ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුවාවෙන් ආණ්ඩුව අපව තවත් ණය උගුලක හිරකරමින් සිටිනවා”
-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු-

මේ වන විට රට හෙළා තිබෙන අර්බුද අතරේ ආර්ථිකය සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම විවාදයට තුඩු දී තිබෙනවා. ප්‍රශස්තකරණය යන නමින් සිදුකළේ විශ්‍රාම අරමුදල්වල පොලිය කපා හැරීම ඇතුළු සාමාජිකයන්ගේ ප්‍රතිලාභ අනතුරකට ලක්කිරීමයි. නමුත් විදේශීය ණය සම්බන්ධයෙන් මේ දක්වා ප්‍රතිව්‍යුහගත කිරීමක් කර ගැනීමට අසමත් වී සිටිනවා. විදේශ ණය ලබාදුන් පාර්ශ්වකරුවන් අතර ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය හිමියන් අවස්ථා දෙකකදී අපව මුණගැසී සාකච්ඡා කළා. අපි ඔවුන්ට පැහැදිලිව ප්‍රකාශ කළේ ණය ආපසු ගෙවීමේ හැකියාව වර්ධනය කරගෙන විද්‍යාත්මක ක්‍රමවේදයකට ඔවුන්ගේ මුදල් ආපසු ගෙවන බවයි. ඔවුන්ට තිබෙන සැකය වංචාවෙන් දූෂණයෙන් තොර, පාලනයක් ලංකාවේ මේ දක්වා නොතිබීම තුළ අපගේ ස්ථාවරය කෙතරම් දුරට ප්‍රායොගිකව කළ හැකිද යන්නයි. ණය හිමියන් සමග කේවල් කිරීමේදී ආණ්ඩුව නිසියාකාරයෙන් මැදිහත් නොවී විදේශීය උපදේශ සමාගම්වලට ඩොලර් මිලියන පහක් ගෙවා කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් අත්කර ගෙන නැහැ.

පළමු වටයේ සාකච්ඡාවලදී ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාවලිය ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් විසින් ප්‍රතික්ෂේප කළාසේම ඔවුන් ඉදිරිපත් කළ යෝජනාව ශ්‍රී ලංකා ආණ්ඩුවත් ප්‍රතික්ෂේප කළා. දැන් නව යෝජනාවලියක් සකස් කර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිරීක්ෂණය යටතේ ඉදිරියට ගෙනයාමේ උත්සාහයක් පවතිනවා. ඒ අතර ඉදිරියේදී බිහිවන මහජන පාලනයකට මුහුණ දිය යුතු වෙන ගැටලු කිහිපයක් තිබෙනවා. දැනට ඉදිරිපත් කර තිබෙන යෝජනාවලියේදී මතුපිටින් පෙන්වා තිබෙන්නේ හෙයාකට් වර්ගයේ ණය කපා හැරීම 28%ක් වන බවයි. නමුත් ඒ සමගම ස්වෛරිත්ව බැඳුම්කර මේ රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් වටිනාකම අනුව තක්සේරු කිරීමකට ගැටගසා තිබෙනවා. මතුපිටින් 28%ක ණය කැපීමක් යෝජනා කළත්, දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයත් සමග ඒ කපා හැරීමේ ප්‍රමාණය අඩු කරමින් 2028 පමණ වන විට 7% දක්වා අඩු වෙනවා. ග්‍රීසියට තිබුණු කේවල් කිරීමේ හැකියාව මත 50%ක ණය කපා හැරීමක් සහ ආර්ජන්ටිනාවට 60%ක කපා හැරීමක් ලබාගන්න හැකිවුණා. නමුත් අපට සත්‍ය වශයෙන්ම මේ යෝජනාවලියෙන් ලැබෙන්නේ 7%ක පමණ ණය කපා හැරීමක්.
තව පැත්තකින් ගෙවිය යුතු හිඟ පොලියක් එකතු වී තිබෙනවා ඩොලර් බිලියන 1.6ක. මේ හිඟ පොලිය අලුත් බැඳුම්කරයක් නිකුත් කර, ඒ වෙනුවෙන් පොලියක් ලබාදීමට යෝජනා කර තිබෙනවා. මේ පොලියට පොලිය එකතු කිරීමෙන් අතිවිශාල අමතර පොලී මුදලක් ගෙවන්න සිදුවෙනවා. මේ වන විට අප හිරවී සිටින බැඳුම්කර මත සාමාන්‍ය පොලිය 6%ක් පමණ වෙනවා. නමුත් අලුත් යෝජනාවලිය අනුව 9.75% දක්වා ඩොලර්වලින් ගෙවිය යුතු පොලියක් යෝජනා කර තිබෙනවා. මේ වැනි අසාමාන්‍ය අසාධාරණ පොලියකට අපව හිර කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඩොලර් මිලියන 7930ක පමණ පොලියක් ගෙවීමට අපට සිදුවෙනවා. ප්‍රතිව්‍යුහගතකරණයට නොගොස් ණය පොලිය ගෙව්වා නම් අපට ගෙවන්න වෙන්නේ 4092යි.

නව යෝජනා අනුව 2028දී පොලිය 9.75%ට ගියාම අපේ පාලනයක් යටතේ වෙළඳපොළේ අඩු පොලියකට ණය ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. හේතුව ඒ වන විටත් 9.75%ක පොලියක් ගෙවමින් සිටීමයි. මේ යෝජනා ක්‍රමයට අනුව ගියොත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%ක පමණ ප්‍රමාණයක් විදේශ ණය වෙනුවෙන් ගෙවන්න වෙනවා. විදේශ ණය හිමියන්ට වැඩි පොලියක් දෙන්න යෝජනා කරන ගමන් ආණ්ඩුව විශ්‍රාම අරමුදල් සාමාජිකයන්ගේ අරමුදලට ගෙවූ 14.5%ක තිබුණු පොලිය කපා හැරියා.

ඒ වගේම අනුමැතිය දීමේ ගාස්තුව යනුවෙන් නම් කළ, සුවිශේෂී ගාස්තුවක් හැටියට ඩොලර් මිලියන 225ක් ලබාදීමේ කොළේ වහලා ගැහිල්ලකුත් තිබෙනවා. විදේශ ණය මේ කියන ආකාරයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් රටටත්, ජනතාවටත් ඇති වන පීඩනය සම්බන්ධයෙන් මෙවැනි දත්ත ඉදිරිපත් වී තිබෙනවා. ඔවුන් දත්ත ගණනය කිරීම පිළිබඳවත් පාරදෘශ්‍ය තොරතුරු ඉදිරිපත් කර නැහැ. දැන් අපට පැහැදිලි වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුවාවෙන් අපව තවදුරටත් ණය උගුලක හිරකරමින් සිටින බවයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහා මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ පාලනයක් බිහි කිරීමට ජනතාව පෙළ ගැසී සිටින අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළින් ආණ්ඩුව කරන්නේ කුමක්දැයි අපි නිවැරදිව වටහා ගත යුතුයි. එක පැත්තකින් ඔවුන් තවදුරටත් බලයේ සිටින්න උත්සාහ කරන අතර, අනෙක් පැත්තෙන් අපේ පාලනය හිරකිරීමේ අරමුණෙන් මෙවැනි දුෂ්ට ක්‍රියාමාර්ග ගන්නා බව ජනතාවට පැහැදිලි කර දිය යුතුයි.

“ආණ්ඩුව රටේ ආර්ථිකය පිළිබඳ බරපතළ පනතක් ඉදිරිපත් කර තිබෙන්නේ ඉතාමත්ම හෑල්ලුවකින්”
-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති-

ආර්ථික පරිවර්තනය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය සඳහා බව කියන පනතක් සහ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමේ පනතක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ පනත් මගින් ආයෝජන මණ්ඩලය අහෝසි කිරීමටත් යෝජනා කර තිබෙනවා. ලංකාව තුළ ඉන්න කෙනෙකු හෝ විදේශ ගත ලාංකිකයින් හෝ ආයෝජන මණ්ඩලය අහෝසි කරන්නැයි උද්ඝෝෂණය කළේ නැහැ. ආර්ථික පර්වර්තන පනත හදිසියේ රැස්කළ පාර්ලිමේන්තුවට ගේනවා. නමුත් කවුරුත් ඉල්ලුවේ නැහැ. මේ පනත සම්බන්ධයෙන් කිසියම් පාර්ශ්වයකට අධිකරණයට යා යුතු නම් ඒ වෙනුවෙන් තිබෙන්නේ සීමිත අවකාශයක්. වෙසක් පොහොය ඇතුළු රජයේ නිවාඩු කාලයක් වගේම ජනතාවගේ අවධානය වෙනතක තිබියදී රනිල් වික්‍රමසිංහලාට අවුරුදු 75ක් තිස්සේ කරන්න බැරි වූ දෙයක් හදිසියේ මතක් වුණා වගේ මේ පනත ගේනවා. මේ අයට පනත් ගේන්න තිබුණු හදිසිය කොතරම්ද කියනවා නම්, ඉංග්‍රීසි පිටපත සිංහලට පරිවර්තනය කර ගන්න නිසි ලෙස හැකිවී නැහැ. ඒ සම්බන්ධයෙන් උදාහරණ ගණනාවක්ම මේ පනත් කෙටුම්පතේ තිබෙනවා. රටේ ආර්ථිකය පිළිබඳ බරපතළ පනතක් ඉදිරිපත් කර තිබෙන්නේ ඉතාමත්ම හෑල්ලුවකින්.

සමාගම් පනත යටතේ පිහිටුවන පුද්ගලික සමාගමකට ජාත්‍යන්තර මට්ටමේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ බලය ලබාදෙන්න යනවා. මෙයින් හැම දෙයක්ම කිරීමේ හැකියාව කැබිනට් මණ්ඩලයට සහ ඇමතිවරයාට තිබියදී ජනාධිපතිවරණය කැඳවීමේ පසුබිමක මෙතරම් බරපතළ තත්වයක් ඇති කිරීම අතිශයින්ම සැක සහිතයි. කෙටුම්පතේ 3 සහ 4 වගන්තිවල ජාතික නිෂ්පාදිතය, ණය සේවාකරණ ගෙවීම් ආදිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් ගිවිසුමේ කොන්දේසි ඇතුළත් කර තිබෙනවා. ප්‍රතිපත්ති පනතක් ලෙස ගෙනත් ඒ වගන්ති කඩ කළහොත් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් මේ පනතේ නැහැ. මේ පනතේ පැහැදිලිවම තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණු වෙනුවෙන් ඒ මූල්‍ය අරමුදල කැපවෙනවාටත් වඩා රනිල් වික්‍රමසිංහගේ ඇති කැපවීමයි. රනිල් වික්‍රමසිංහ වගේම රාජපක්ෂලාගේ මන්ත්‍රී කණ්ඩායමත් ඒ වෙනුවෙන් ඇති කැපවීම පැහැදිලි වෙනවා. මේ පනත් මගින් පෞද්ගලික අංශයේ කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් ඇතුළු දේශීය ව්‍යවසායකයා බරපතළ අර්බුදයකට ලක්වෙනවා. මේ පනත සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසගේ අලි බාගයේ පක්ෂය දරන ස්ථාවරය මේ දක්වා පැහැදිලි කර නැහැ. ඔවුන්ගේ බ්ලූ ප්‍රින්ට් යෝජනා මාලාව අනුව ගත්තත් රනිල් වික්‍රමසිංහගේ මේ වැඩපිළිවෙළට විරුද්ධ වීමේ හැකියාවක් කොහෙත්ම නැහැ. රටේ නීතියටත් වඩා උඩින් ක්‍රියාත්මක වන මණ්ඩලයක් සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීම අතිශයින් බරපතළයි. ඒ සම්බන්ධයෙන් අලි බාගයේ පක්ෂයේ සජිත් මහත්තයාගේ ස්ථාවරයත් හෙළි කළ යුතුයි.

මෙවැනි පනතක ඉල්ලීමක් වාණිජ මණ්ඩලය හෝ කර්මාන්තකරුවන්ගේ සංගම් හෝ පෞද්ගලික අංශයේ කිසිවෙකුගෙන් නැතිව තිබියදී, ගෙන ඒමේ අභිලාශය කුමක්දැයි ආණ්ඩුව විසින් පැහැදිලි කළ යුතුයි. අපි මේ පනතට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මෙයින් පීඩාවට පත්වෙන සියලුම කොටස් සමග එක්ව අපි මීට එරෙහිව ක්‍රියාකරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු පවරන්නත් අපි ලැහැස්තියි. වෘත්තිය සමිති එක්ක සාකච්ඡා කර, මෙයට එරෙහිව කළ හැකි උපරිම මැදිහත්වීම් අපි කරනවා. පුරවැසියන් හැටියටත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගෙනුත් මාධ්‍යවේදීන්ගෙනුත් අපි ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් දැනුවත් වී උපරිම සංවාදයක් ඇති කරන ලෙසයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු:

ප්‍රශ්නය: සමගි ජන බලවේගය සමග විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට තත්වය කුමක්ද?

පිළිතුර: ඒ විවාදය අනිවාර්යයෙන්ම පවත්වන්න ඕනෑ. ඔවුන් එකට ඉඳිමින් එළියේ බෙදී සිටිමින් ගෙන යන ක්‍රියාමාර්ග රට හමුවේ හෙළිදරව් කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි සජිත් ප්‍රේමදාස ලබාදුන් දින අනුව ලබන හයවැනි දින විවාදයට සූදානම් බව අපි ප්‍රකාශ කළා. ඒ අනුව අපේ අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර විවාදය පැවැත්වීමට ඔවුන් කටයුතු කරයි කියා විශ්වාස කරනවා. අපි ඉතා පැහැදිලිව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා හෙළි කළේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත නිසා එහිදී ඉතාමත් වැදගත් වන්නේ එම අපේක්ෂකයන් අතර සිදුවන විවාදයයි. මාලිමාවේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක නම් කර ඇති නිසාත්, අලි බාගයේ පක්ෂයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කර ඇති නිසාත් ඒ විවාදය ගැනීමේ කිසිදු බාධාවක් නැහැ. මේ බව ඔවුන්ගේ පක්ෂයේ සමහර අයට තේරෙන්නේ නැතිව විවිධ කතා කියනවා දැයි අපට ගැටලුවක්. ආර්ථික කමිටු අතර විවාදය පැවැත්වීමටත් අපිට ප්‍රශ්නයක් නැහැ. ආර්ථික කමිටුවේ මම, හර්ෂද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබිර් හෂීම් එක්ක රූපවාහිනි සංවාදවලදී ඕන තරම් සංවාද කර තිබෙනවා. ඔවුන් අද කියන දේ නොවෙයි හෙට කියන්නේ. මේ ඊයේ පෙරේදාත් මාධ්‍ය හමුවලදී හර්ෂ ද සිල්වා කලින් කියූ දේ වෙනස් කර කර කියනවා. ඔවුන් සඳහන් කරන බ්ලූ ප්‍රින්ට් එකටත් දැන් අයිතිකාරයෙක් නැහැ.

අනෙක් පැත්තෙන් මාලිමාවේ අපි කියන කරුණු ඔවුන් ඊට පස්සේ ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. උදාහරණයක් හැටියට මාර්තු 25වැනිදා අපි පැහැදිලිව ප්‍රකාශ කළා, විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ලසාඩ් ආයතනය මැදිහත් කර ගත්තත් රජය මූලික මැදිහත්වීම කළ යුතුයි කියලා. ඒ අවස්ථාවේ ඔවුන් අපට කීවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අපි නොදන්නා බවයි. එහෙම කියූ හර්ෂ ද සිල්වලා අපි කියූ දෙයම මැයි 15දා ප්‍රකාශ කර තිබුණා. තවත් උදාහරණයක් තමයි මේ මාධ්‍ය හමුවේදිත් අපේ මහාචාර්ය අනිල් ජයන්ත සඳහන් කළ ආකාරයට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී අපේ ඊ.පී.එෆ්. පොලිය වැඩියෙන් කපලා විදේශීය ණය හිමියන්ගේ පොලිය තිබෙනවාටත් වඩා වැඩි කර දෙන්න සූදානමින් සිටින බව. මේ සම්බන්ධයෙන් ඒ ණය හිමියන් සමග කේවල් කළ යුතු බව, මුලසිටම අපි පැහැදිලිවම කීවා. එදා ඔවුන් කීවේ ඒ ආකාරයෙන් කපා හැරීමක් කළ නොහැකි බවයි. නමුත් දැන් ඔවුන් කියන්නේ ණය හිමියන් සමග සාකච්ඡා කරමින්, වාසි අත්කර ගත යුතු බවයි. ඔවුන් උත්සාහ කරන්නේ මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තියම ඔවුනුත් ක්‍රියාත්මක කිරීමට සැරසෙන බව සමාජයට කියන්නයි. මාලිමාවේ ප්‍රතිපත්තිය ඒගොල්ලෝ කරේ තියාගෙන ජනතාව ඉදිරියේ පෙනී සිටිනවා.