(-මාධ්‍ය හමුව – 2024.06.12-)
අද මෙම මාධ්‍ය හමුවේදී රජය තවදුරටත් ණය ගනිමින් රට ණය අර්බුදයක ගිල්වා දැමීම පිළිබඳව අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙනවා. 2022 අප්‍රේල් 12 වැනිදා, ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් රටක් බවට මහ බැංකු අධිපතිවරයා විසින් නිල වශයෙන් ප්‍රකාශ කළා. මේ බංකොලොත් බවට පත්වෙන්න ප්‍රධානතම හේතුව අපි ගන්නා ලද ණය ගෙවා ගන්න බැරි තත්වයට රට බංකොලොත් වීමයි. ආණ්ඩුවම කිවූ පරිදි අර්බුදය ඇති වෙන අවස්ථාවේ අපේ සමස්ත ණය බර, දේශීය හා විදේශීය වශයෙන් ඩොලර් බිලියන 83ක් වී තිබුණා. (ඩොලර් මිලියන 83,000ක්) මේ ණය අර්බුදය රට දිගින් දිගටම මහා ආර්ථික ප්‍රපාතයකට ඇද දැමුවා.
මේ ණය අර්බුදය පියමං කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේ ප්‍රධාන අරමුණ වුණේ, අප ගත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීමට උදව්වක් ගැනීමයි. ඒ සඳහා අයිඑම්එෆ් එක, ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමග ගිවිසුමක් ඇතිකර ගත්තා. ඒ ගිවිසුම මගින් විවිධ යෝජනා ඉදිරිපත් කළා. ආණ්ඩුව අයිඑම්එෆ් යෝජනා ක්‍රියාත්මක කළා. ඒ අනුව ජනතාව මත බදුබර වැඩි කිරීම, බල ශක්ති මිල වැඩිකිරීම, විදුලිය, ඉන්ධන, ගෑස් මිල වැඩිකිරීමට තීරණය කළා. ජනතාව මත බදුබර වැඩි කරමින් සේවාවන්ගේ මිල වැඩි කරමින් ජනතාවගේ පීඩනය වැඩි කළා. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කෙසේ වෙතත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළා. ඊපීඑෆ් අරමුදලේ විශාල පංගුවක් කපා හැරියා. ජාත්‍යන්තරව ගන්නා ලද ඩොලර් ණය එකක් හෝ කපා හැරියේ නැහැ. එදා තිබූ ඩොලර් බිලියන 83ක ණය අර්බුදය පියමං කිරීමට ආ රනිල් වික්‍රමසිංහලා ගෙවුණු වසර දෙකට එම ණය ප්‍රමාණය තවත් වැඩිකොට ණය අර්බුදයක හිරකර තිබෙනවා. මේ අවුරුද්දේ මාර්තු මාසයෙන් අවසන් වෙන ණය වාර්තාවට අනුව අපේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100ක් (මිලියන 100,000) දක්වා වැඩිවී තිබෙනවා.
ලබාගන්නා ලද ණය ප්‍රමාණය වැඩිකරන්න ආණ්ඩුව දේශීය ණය වැඩිකොට තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අනුව දේශීය ණය වැඩිවීමේදී භාණ්ඩාගාර බැඳුම්කර ඩොලර් මිලියන 37,182 සිට 41,522 දක්වා වැඩිකොට තිබෙන බව පැහැදිලිව පෙන්වා දෙනවා. පසුගිය දෙසැම්බර් මාසය වන විට අපේ ණය ඩොලර් බිලියන 96යි. එම ණය ප්‍රමාණය, මේ වසරේ මුල් මාස තුනේදි ඩොලර් බිලියන 04කින් වැඩිවෙනවා. 2024 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 4300ක ණය ගන්නවා. ලංකාවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගින් අලුතෙන් ඩොලර් බිලියන 4.3ක් ණය ගෙන තිබෙනවා. මාස තුනකට ණය ප්‍රමාණය මෙතරම් නම් මාස 12 අවසන් වන විට ණය ප්‍රමාණය ඩොලර් බිලියන 16ක් වැනි ණය ප්‍රමාණයක් ආණ්ඩුවට ගැනීමට සිදුවේවි. ණය අර්බුදය වැඩි කොට තිබෙන්නේ මේ ආකාරයටයි.
අස්වැසුම ක්‍රියාත්මක කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගත්තා. ඒ වගේම ගෑස් මිල යම් මට්ටමක පවත්වා ගැනීමට ඩොලර් මිලියන 70ක මුදලක් ලෝක බැංකුවෙන් ණය ලබාගත්තා. මේ නිසා ණය අර්බුදය වැඩිකොට තිබෙනවා. රට ආර්ථික වශයෙන් ගොඩගන්නවා කියමින් පැමිණි රනිල් රාජපක්ෂ මේ කෙටි කාලය තුළ කර තිබෙන්නේ තව තවත් ණය බර වැඩිකිරීමයි. මේ ගන්නා ලද ණයවලට මේ කාලය තුළදී ගෙවීමක් කරන්නේත් නැහැ. ඒ නිසා ණය සඳහා ගෙවීමට තිබෙන පොලී ප්‍රමාණයත්, ගෙවීමට තිබෙන ණය ප්‍රමාණයත් වැඩිවීමක් සිදුවෙනවා. ඔවුන්ගේ වාර්තාවලට අනුව ගෙවීමට තිබෙන පොලී ප්‍රමාණය ඩොලර් බිලියන 6.4ක් දක්වා වැඩිවී තිබෙනවා. මේ අර්බුදය ඉතාමත් බරපතළයි. ඔවුන් මතුපිටින් පෙන්වනවා, රුපියල ස්ථාවර වෙලා, උද්ධමනය අඩු වෙලා බව. නමුත් ඇත්ත වශයෙන් රනිල් රාජපක්ෂලා මේ කෙටි කාලය තුළ, හිටියාටත් වඩා ඉතා විශාල ණය අර්බුදයකට අපව වට්ටවා තිබෙනවා.
රටේ ජනතාවගේ ණය බර, බදු බර වැඩිකොට, භාණ්ඩ හා සේවා මිල වැඩිකොට, ජනතාව දවසින් දවස පීඩාවට පත්කරමින්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය තවත් කෝටි 875කින් වැඩිකරන්න පරිපූරක ඇස්තමේන්තු ගේනවා. 2023 ඉදිරිපත් කළ 2024 අයවැයෙන් කෝටි 600ක ප්‍රමාණයක් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට වෙන්කොට තිබුණා. ඒකට අමතර වශයෙන් මේ පරිපූරක ඇස්තමේන්තුව ලබන 18 වැනිදාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට න්‍යාය පත්‍රයට යොමු කොට තිබෙනවා. රාජ්‍ය ඇමතිවරයෙක් කියා තිබුණා ජනාධිපතිවරයා විදෙස් සංචාර සඳහා මුදල් වෙන්කර ගන්නා බව. ගෙවණු මාස 24ක කාලය තුළ ජනාධිපතිවරයා 25වතාවක් විදේශවල සංචාරය කළා. මේ නාස්තිකාර වියදම් තව තවත් රට අර්බුදයට යවනවා. රටේ විශාල අර්බුදයක් තිබියදී ඉන්න ජනාධිපතිවරයා විශාල මුදලක් වෙන්කර ගන්නවා. ඒ වගේම හිටප ජනාධිපතිවරු නඩත්තු කරන්න කෝටි ගණන් මුදල් වෙන්කරනවා.
හිටපු ජනාධිපතිවරුන්ගේ පඩිනඩි, දීමනා මොනවාද, විමසීමේදී දුන් පිළිතුරෙහි, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ විශ්‍රාම වැටුප රුපියල් 97,500යි. ලේකම් දීමනාව රුපියල් 100,000යි. මාසික ඉන්ධන දීමනාව, රුපියල් 500,000යි. මේ ආරක්ෂාව, නිවාස, අනෙකුත් වරප්‍රසාද නැතිව. මහින්ද රාජපක්ෂ මහතාට විශ්‍රාම වැටුප රුපියල් 97500/-යි. ලේකම් දීමනාව රුපියල් 50,000යි. මාසික ඉන්ධන දීමනාව රුපියල් 704,100යි. මෛත්‍රීපාල සිරිසේන මහතාට, විශ්‍රාම වැටුප 97,500යි. ලේකම් දීමනාව රුපියල් 100,000යි. මාසික ඉන්ධන දීමනාව රුපියල් 704,100යි. මහජනතාව විසින් පන්නා දැමූ ගෝඨාභය රාජපක්ෂ අවුරුදු පහක ධුර කාලයක හිටියේ නැහැ. ඔහු සිටියේ අවුරුදු දෙකයි, මාස හතරයි, දවස් 23යි. සේවය අතහැර ගියා. සේවය අතහැර ගිය ජනාධිපතිවරයාව නඩත්තු කරන්න, ආරක්ෂාව ලබාදී, රටේ ජනතාවගේ බදු මුදල් නාස්ති කරනවා. ගෝඨාභය රාජපක්ෂගේ විශ්‍රාම වැටුප රුපියල් 97,500යි. ලේකම් දීමනාව රුපියල් 100,000යි. පන්නා දැමූ ගෝඨාභය රාජපක්ෂට ජනතා මුදලින් මාසික ඉන්ධන දීමනාව ලෙස රුපියල් 704,100යි. මේ පාලකයන් මහජනයාගේ ධනය නාස්ති කරන්නේ මේ ආකාරයෙන්.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථනිරූපණයක් දුන්නා අවුරුදු පහට වඩා එක දිනක් හෝ ධුරයේ ඉන්න බැහැයි කියා. අවුරුදු හයට පත්වූ කෙනාටත් ඊට වඩා ඉන්න බැහැ කියා තීන්දුවක් දී තිබෙනවා. එසේ තිබියෙදී රනිල් වික්‍රමසිංහට කොහොත්ම ඉන්න බැහැ. 30:2 වගන්තිය අනුව ඉන්න පුළුවන් කාලය අවුරුදු පහයි. ඒ කාලය සීමා වෙන්නේ මේ වසරේ නොවැම්බර් 17 දිනට. ඉන් ඉදිරියට එක් දිනක් හෝ ඉන්න බැහැ. අපි රටේ ජනතාවට කියනවා මේ ව්‍යාකූල තත්වයට අහුවෙන්න එපා. ඔවුන් ව්‍යාකූලත්වයක් මතුකර රිංගන්න උත්සාහයක් දරනවා. අපි පැහැදිලිව කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතිය අනුව අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන්න සිදුවෙනවා. මේ ජනතා ද්‍රෝහී පාලනය පැරදවිය හැකි එකම සංධිස්ථානය ජනාධිපතිවරණයයි. ඒ සඳහා සූදානම් වෙන්න කියා අපි මේ රටේ ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු
ප්‍රශ්නය: ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වැඩි කර ගැනීම දැනට තිබෙන මුදල්වලට අමතරවද? නැතිනම් ඒකට එකතු කර ගන්නා මුදලක්ද?
පිළිතුර: කලින් වෙන්කර ගත්තා කෝටි 600කට ආසන්න ප්‍රමාණයක්. ඊට අමතරව තමයි මේ කොටි 875ක මුදලක් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට එකතු කරන්න යන්නේ. ඒ කියන්නේ අමතර එකතු කිරීමක්. පරිපූරක ඇස්තමේන්තුවකින් වියදමක් විදිහට අලුතින් එකතු වෙනවා.
ප්‍රශ්නය: නායකයින්ගේ විවාදය පිළිබඳ දැන් තත්වය මොකක්ද?
පිළිතුර: අපිට නිල වශයෙන් ආරාධනාවක් කළා. අපි ඒ ආරාධනාව බාරගෙන විවාදයට සම්බන්ධ වුණා. ඒකට එන එක සජිත් ප්‍රේමදාසගේ වගකීම. සමගි ජන බලවේගය ස්වාධීන රූපවාහිනිය ප්‍රතික්ෂේප කර නැහැනේ. දවස් කිහිපයකට පෙර තිබූ විවාදවලදිත් හර්ෂණ රාජකරුණා තුලාව වැඩසටහනට සම්බන්ධ වෙනවා. අදටත් ඒ පක්ෂයේ මන්ත්‍රීවරු මේ රූපවාහිනි ආයතනයට සම්බන්ධ වෙනවා. දැන් ඔවුන් රූපවාහිනී ආයතනයට ගහන්න පටන්ගෙන තිබෙනවා. මේක විහිළුවක්. ජනතාව මේ ගැන දන්නවා. අපට කා සමගවත් පෞද්ගලික ඩීල් නැහැ. ජනතාව ඉදිරියේ විවෘතව සියලු දේවල් සිදුකරන්නේ.
ආර්ථිකය ගැන කතා කරන්න වෙනම කෙනෙක් ඕන බව කීවා. සජිත් ආර්ථිකය ගැන දන්නේ නැහැ කියන එක තමයි එහි අදහස. ඒ නිසා තමයි ආර්ථිකය ගැන ඔයා වෙනම කට්ටියක් එක්ක කතා කරන්න, මා එක්ක වෙන ඒව කතා කරන්න කීවේ. එහෙම වෙන්න බැහැ.
දැන් දිස්ත්‍රික් කමිටුවලට මුදල් වෙන්කරනවා. ඒ කමිටුවලට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු ඉදිරිපත් කරන යෝජනා අනුව තමයි ප්‍රතිපාදන වෙන්කරන්නේ. මීට කලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදනයක් වෙන්කෙරුණා. වෙන වෙනම මුදල් වෙන්කිරීමක් සිදුවුණේ නැහැ. අයවැය කතාවෙත් ඉතා පැහැදිලිව තිබෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරු කාටවත් දිස්ත්‍රික් වැඩ සඳහා මන්ත්‍රී ප්‍රතිපාදන පසුගිය කාලයේ වෙන් කළේ නැහැ. හැබැයි ස.ජ.බෙ. මන්ත්‍රීවරු දහනමදෙනෙකුට වෙනම රනිල් මුදල් වෙන්කරනවා. කාවින්ද ජයවර්ධන, අජිත් මාන්නප්පෙරුම, දිලිප් වෙදආරච්චි, ගයන්ත කරුණාතිලක, හර්ෂ ද සිල්වා, හෙක්ටර් අප්පුහාමි එයින් කිහිපදෙනෙක්. රුපියල් මිලියන 1206ක් ස.ජ.බෙ. මන්ත්‍රීවරු දහනමදෙනෙකුට වෙන්කරනවා. මේක තමයි ඩීල් එක. මන්ත්‍රීවරුන්ට පුද්ගලිකව අයවැයේ මුදල් වෙන් නොකරන බවට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා. සල්ලි දෙන්නේ දිස්ත්‍රික් කමිටුවට පමණයි කීවා. එසේ තිබියදී හොර පාරෙන් ඩීල් දාලා මුදල් වෙන්කරනවා. ස.ජ.බෙ. මන්ත්‍රීවරුම මේ ගැන පරස්පර කතා කියන්න පටන් ගත්තා. මේ ඩීල් එක තිබෙන්නේ ස.ජ.බෙ. සහ රනිල් කණ්ඩායම් අතර. මේ දෙගොල්ලක් නොවෙයි. මේ පක්ෂ දෙකේ ප්‍රතිපත්ති අතර වෙනස මොකක්ද? එකම ප්‍රතිපත්තිය නියෝජනය කරන කණ්ඩායමක්, දෙකට බෙදී ඉන්නවා. අපි ජනතාවට කියනවා මේවට අහුවෙන්න එපා. ඒගොල්ලෝ ඩීල් දාන ගමන් තමන්ට විවාද කරන්න බැරිකමට, විවාදෙට එන්න බැරි බංකොලොත්කම වහගන්න හදනවා. ඔවැනි ප්‍රකාශ කරන්න කරන්න විහිළුකාරයෙක් බවට පත්වෙන්නේ සජිත් ප්‍රේමදාසම තමයි. එයාගේ ගෝලයෝ මේක මඩේ දමා හෝදන්න හෝදන්න තවදුරටත් හෑල්ලු වෙන්නේ ඒගොල්ලන්ගේ නායකයාම තමයි.
ප්‍රශ්නය: යාපනයේ සංචාරයේදී දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා?
පිළිතුර: ජාතික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදීම අරමුණුකරගෙන එවැනි මතයන් දරන විවිධ කණ්ඩායම්, සමග සාකච්ඡා කර, ඒ පිළිබඳ වාද විවාද කර, ජාතික ප්‍රශ්නය විතරක් නොවෙයි, අනෙකුත් ප්‍රශ්නවලටත් සම්මුතියකට ඒමට අපි උත්සාහ කරනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යල්පැන ගොස් තිබෙන්නේ. ලෝකය අලුත් වෙලා. රටත් අලුත් වෙලා. අපි රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා. දැනටත් අපි වැඩකටයුතු කරමින් යනවා. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාවට ඉදිරිපත් කරනවා. ජනතාවගේ ජන මතයකින් අනුමත කර ගන්නවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා වුණු සියලු දෙනාගේ එකඟත්වයෙන් ඇතිවෙන ස්ථිර විසඳුමකුත් අපි ඉදිරිපත් කරනවා. ඒක තමයි අපේ ස්ථාවරය.
ප්‍රශ්නය: ඒ කියන්නේ 13ට එහා ගියපු එකක්ද?
පිළිතුර: විවිධ පාර්ශ්වයන්ගේ සාකච්ඡාවේ සම්මුතියෙන් ඇතිවෙන විසඳුමක් තමයි එන්නේ. ඒ පිළිබඳ සාකච්ඡා තවම පටන්ගෙන නැහැ.
ප්‍රශ්නය: ඊයේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා අහනවා, ඔබතුමන්ලාගේ ආණ්ඩුවක් යටතේ කොහොමද ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්නේ කියලා.
පිළිතුර: පළමුවෙන්ම ක්‍රිකට්වලට තිබෙන දේශපාලන ඇඟිලි ගැසීම් නවත්වනවා. ක්‍රිකට් විතරක් නොවෙයි, අපේ ලංකාවේ සෑම ක්‍රීඩාවක්ම දේශපාලන ඇඟිලි ගැසීම් නිසා කුණු කරලා, නැති කරලා තියෙනවා. ඒක ක්‍රිකට්වලට විශේෂයෙන් බලපානවා. ඔබ දකින්න ඇති පසුගිය ඉතිහාසය පුරාවටම දේශපාලන ඇඟිලි ගැසීම්වල බරපතළකම. මේක වෙනස් කිරීම සඳහා ක්‍රිකට් සඳහා පනතක් හදන්න කමිටුවක් පත් කළා. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චිත්‍රසිරි මහතාගේ මූලිකත්වයෙන්. ඒ වාර්තාව ඉදිරිපත් කර, වසරකටත් වැඩි කලක් වෙනවා. හරින් ප්‍රනාන්දුලා තවම ඒක ක්‍රියාවට නැගුවේ නැහැ. අපි හරීන්ලට බලකරනවා, ඒ කමිටුවෙන් ඉදිරිපත් කරන ලද වාර්තාව මත පදනම් වෙලා ක්‍රිකට් බෝඩ් එක පත්කිරීම පිළිබඳවත්, ක්‍රිකට්වලට දේශපාලනය ඉවත් කිරීම සඳහා වුණු පනත් කෙටුම්පත ඉක්මනින් ගේන්න. අපේ පාලනයක් යටතේ රටක ආර්ථිකය සංවර්ධනය සඳහා ක්‍රීඩාව අත්‍යවශ්‍යයි. ජනතාවගේ කායික, මානසික, සෞඛ්‍යය වර්ධනය මත තමයි නිෂ්පාදනය ඉහළ දැමිය හැකි වන්නේ. අපේ ක්‍රීඩා ප්‍රතිපත්තිය තුළ දේශපාලනයෙන් තොරව ස්වාධීනව පවත්වාගෙන යන්න වටපිටාව සකස් කරන නීති ගෙනත් පැහැදිලිව ක්‍රියාත්මක කර, ක්‍රිකට් දේශපාලනයෙන් මුදා ගන්නවා. ක්‍රීඩකයන්ට තමන්ගේ දක්ෂතාවය අනුව ඒ හැකියාවන් පෙන්වන්න පුළුවන්. රටට ජාතික අභිමානයක් ගෙනඒමට හැකි වෙනවා. අපි හරීන්ලට කියනවා දැනට ඉදිරිපත් කර තිබෙන චිත්‍රසිරි කමිටු වාර්තාව මත පදනම් වෙච්ච පනත ගෙනත් සම්මත කර ගන්න. ඇඟිලි ගැසීම් නතර කරන්න.