Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය රටේ දරුවන්ගේ අනාගතය සම්බන්ධ ප්‍රශ්නයක්” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස-

(-Colombo, June 15, 2024-)

npppressnalinda

මේ වන විට දින 45ක් පුරා විශ්වවිද්‍යාල පද්ධතියේ දියත් වෙමින් පවතින අනධ්‍යයන සේවක වැඩවර්ජනයෙන් විශ්වවිද්‍යාල පද්ධතියට වර්තමානයේ සහ අනාගතයේ සිදුවන බලපෑම පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්නත්, ඒ වගේම මේ ප්‍රශ්නය ඉතා කඩිනමින් විසඳන ලෙසට ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට බලපෑම් කරන්නත්, ජාතික ජන බලවේගයේ අපි මේ මාධ්‍ය හමුව පවත්වන්න තීරණය කළා.

විශ්වවිද්‍යාල පද්ධතියේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 16,200ක් පමණ ඉන්න නියමිත වී තිබුණත් දැනට සේවයේ යෙදී සිටින්නේ 12,800ක් පමණයි. විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යන්නේ මේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ක්‍රියාකාරිත්වයත් ඇතුලත්වයි. අධ්‍යයන, අනධ්‍යයන, පරිපාලන, ශිෂ්‍ය මේ සියලු කණ්ඩායම් වැඩකළොත් තමයි මේ පද්ධතිය නිරෝගීව පවත්වාගෙන යා හැක්කේ. මේ වන විට විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මණ්‍ය වී තිබෙනවා. මේ කාලය තුළ දේශන ශාලාවල පැවැත්වීමට නියමිත දේශන පැවැත්වෙන්නේ නැහැ. සමහර ආචාර්යවරුන්, ඔන්ලයින් මගින් දේශන පවත්වනවා හැරුණු විට දේශන ශාලා තුළ දේශන නවත්වා තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල තුළ පැවැත්විය යුතු ප්‍රායෝගික පරීක්ෂණ මුළුමනින්ම ඇණහිට තිබෙනවා. විශ්වවිද්‍යාලවල සියලු පර්යේෂණ කටයුතු නවත්වා තිබෙනවා. විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යයන කටයුතු සඳහා පුස්තකාල පරිහරණය කරන නමුත් පුස්තකාල වසා දමා තිබෙන නිසා ඒවා පරිහරණය කර ගැනීමට නොහැකි වී තිබෙනවා. තමන්ගේ දේශන, ප්‍රායෝගික පරීක්ෂණ, පුස්තකාල පහසුකම් ආදී මූලික පහසුකම් ලබා ගැනීමට නොහැකි නිසා විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනයට සැලකිය යුතු මට්ටමනින් හානි සිදුවී තිබෙනවා. මේ අඛණ්ඩ වැඩවර්ජනයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සේවකයන්ද සම්බන්ධ වී සිටිනවා. මේ තත්වය විශ්විද්‍යාලයට ඇතුළත් වීමට සිටින සිසුන්ටත් බලපානවා. විශ්විද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු සඳහන් කරන්නත්, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවශ්‍ය ගයිඩ් බුක් එක හදන්නනත් බාධා පැමිණ තිබෙනවා. මතුවී තිබෙන ආර්ථික තත්වය හේතුකොට ගෙන මේ වන විට බොහෝ සිසුන් විදෙස් අධ්‍යාපනයට යොමුවෙමින් තිබෙනවා. සමහර අය ඔවුන් විසින්ම මැදිහත් වෙලා ශිෂ්‍යත්ව සොයාගෙන තිබෙනවා. ශිෂ්‍යත්ව හිමිවීමට නියමිත දරුවන්ට, පාඨමාලා ආරම්භ වීමට නියමිත දරුවන්ට විශ්වවිද්‍යාලවලින් යම් ලේඛන ප්‍රමාණයක් ලබාගත යුතුව තිබෙනවා. විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා විසින් විදෙස් කටයුතු අමාත්‍යාංශයට යම් අනුමැතියක් ලබාදිය යුතු වෙනවා. මේ ශිෂ්‍යයන් පිළිබඳ යම් තහවුරුවක් ලබාදිය යුතුයි. එම කටයුතුත් මේ වර්ජන ක්‍රියාවලිය නිසා නතර වී තිබෙනවා. මේ තත්වය වර්තමානයේ පමණක් නොවෙයි අනාගතයටත් බලපාන සැලකිය යුතු ප්‍රශ්නයක්.

රෝහල්, බස්, දුම්රිය වැඩවර්ජනයක් වගේ මාධ්‍යවලින් මෙය අප්ඩේට් නොවී තිබිය හැකියි. සමාජය දැනුවත් වීම සාපේක්ෂව අඩුවෙන්න පුළුවන්. නමුත් මෙය රටේ අනාගත දරුවන්ගේ ජීවිත සම්බන්ධ ප්‍රශ්නයක්. මෙය විසඳනවා නම් දින 45 ඇතුළත නොවෙයි, මීට මාස කිහිපයකට කලින් පෙර මේ ප්‍රශ්නයට මැදිහත් විය හැකිව තිබුණා. අනධ්‍යයන වෘත්තිය සමිති මේ ප්‍රශ්නය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට, අදාළ ඇමතිවරයාට, මුදල් අමාත්‍යාංශයට ලියලා සාකච්ඡා අරගෙන සෑහන කාලයක් උත්සාහ කරමින් සිටියා තමන්ගේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබාගන්න. දැන් මේ ප්‍රශ්නය හිරවෙලා තිබනේනේ මුදල් අමාත්‍යාංශය පැත්තෙන් හා ජනාධිපතිවරයාගේ පැත්තෙන්. අනධ්‍යයන සේවකයන් විසින් දින 45ක් පුරා වැඩ වර්ජනය කරමින් ඉල්ලන ඉල්ලීම්වලට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සාධනීය මැදිහත්වීමක් කඩිනමින් කළ යුතුව තිබෙනවා.

මේ පවතින ආර්ථික තත්වය මත හැමෝටම ජීවිතය ගෙවා ගන්න අපහසුයි. ජීවන වියදම තුන් හතර ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් තිබෙනවා. විදුලි බිල්, ජල බිල් හා ප්‍රවාහන ගාස්තු සියල්ලම මිල ඉහළ ගොස් තිබෙනවා. මේ ලැබෙන වැටුපෙන් කාටත් ජීවත් විය නොහැකියි. ඒ නිසා මේ අනධ්‍යයන සේවකයන් ප්‍රධාන ඉල්ලීම් දෙකක් ඉදිරිපත්කොට තිබෙනවා, 2016 එවකට පැවති ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප රු:10,000කින් වැඩි කළා. ඒ අනුව රාජ්‍ය සේවකයන්ට දළ වශයෙන් 107%ක පමණ වැටුප් වැඩිවීමක් සිදුවුණා. විශ්වවිද්‍යාලය තුළ සේවය කරන අනධ්‍යයන සේවකයන්ට මේ වැටුප් වැඩිවීම වුණේ 92%කින් පමණයි. ඒ අනුව 15%ක පමණ වැටුප් විෂමතාවයක් අවුරුදු 8ක් තිස්සේ පවතිනවා. මේ සේවකයන්ගේ එක් ඉල්ලීමක් තමයි, පවතින ජීවන තත්වයන් සලකා 2016 වැඩිකරන ලද වැටුපේ හිඟ කොටස ලබාදෙන ලෙස ඉල්ලීම. දෙවන ඉල්ලීම තමයි, මේ අයට ලබාදෙන මාසික හිඟ හිටි දීමනාවේ වැඩි වීමක් කරන්න කියන ඉල්ලීම. මේ මාසික හිඟ හිටි දීමනාව 45% සිට 75% දක්වා වැඩි කළ යුතු බවට 2017දි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ එවකට සිටි සභාපති මහාචාර්ය මොහාන් සිල්වා සහ කොමිෂන් සභාව ප්‍රතිපත්තිමය ලෙස පිළිගෙන තිබෙනවා. මුදල් අමාත්‍යාංශයට, අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී අදියර කිහිපයකින් හෝ ලබාදෙන්න කියා නිර්දේශ කර තිබෙනවා. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ.

npppressnalinda

ඒ වගේම පසුගිය දෙසැම්බර් මාසයේදී අනධ්‍යයන වෘත්තිය සමිති විෂය භාර අමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවේදී 45% සිට% 75% දක්වා 30%කින් වැඩිකර දෙන ලෙස ඉල්ලන හිඟ හිටි දීමනාව 25%කින් වැඩකර දීමට එකඟ වී තිබෙනවා. ඒ අනුව මේ ඉල්ලිම සාධාරණ බව ඇමතිවරයා පවා පිළිගෙන තිබෙනවා. මෑතකදී වෘත්තිය සමිති සාකච්ඡා කළාට පසුව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාධවන් 30%කින්ම ඉල්ලන්න කියා තිබෙනවා. නමුත් රටේ තිබෙන ආර්ථික තත්වය ගැන සාධාරණව සලකා බලන වෘත්තිය සමිති අද ඉල්ලන්නේ තමන්ගේ හිඟ හිටි දීමනාව අවම වශයෙන් 12%කින් වැඩිකර දෙන ලෙසයි. මේක දිය හැකි තත්වයක්. සමස්තයක් හැටියට සියලු දෙනාටම වැටුප් වැඩිවීමක් අවශ්‍යයි කියා මුළු රටම පිළිගන්නා වෙලාවක මේ සේවකයන් තමන්ට ඉතාම සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටිනවා. නමුත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මේ ඉල්ලීම පිළිබඳව නොසලකා හරිමින් දිගින් දිගටම කටයුතු කරමින් ඉන්නවා. දැන් උපාධිය හදාරන අභ්‍යන්තර ශිෂ්‍යයන්ටත් බාහිර ශිෂ්‍යයන්ටත් ඒ වගේම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න සිටින උසස් පෙළ සමත් දරුවන්ටත් අනෙක් පැත්තෙන් විදෙස් අධ්‍යාපනය ලබන්න ඉන්න දරුවන්ටත් සියලු දෙනාටම මෙයින් බලපෑමක් එල්ල වී තිබෙනවා. විෂය බාර සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මේ ප්‍රශ්නය සාධාරණ බව තේරුම් අරගෙන මේ වන විට කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කොට ඇති බව ප්‍රකාශ වෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

මේ මැයි මාසයේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සමරතුංග මේ වෘත්තිය සමිති සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ සාකච්ඡාව ප්‍රතිඵල රහිතයි. මේ අනධ්‍යයන සේවකයන්ගේ ප්‍රශ්නය දැන් තිබෙන්නේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අංශ ළඟ නොවෙයි; ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශය ළඟයි. නමුත් සුපුරුදු පරිදි ජනාධිපතිවරයා කිසිදු තෙතමනයක් නැති කෙනෙක් හැටියට කටයුතු කරමින් මේ ප්‍රශ්නය නොසලකා හරිමින් ඉන්නවා. ඔහුගේ දේශපාලනයට මෙය අදාළ කරගෙන නැහැ. ඔහුට මේක සංවේදී නැහැ. මේ ඉතා සාධාරණ වැටුප් වැඩිවීම ලබාදෙන එක මුදල් අමාත්‍යාංශය නතර කර තිබෙනවා. එයින් රටට, ශිෂ්‍යයන්ට සහ රටේ අනාගතයට එන බලපෑම් පිළිබඳව ජනාධිපතිවරයා සුපුරුදු පරිදි ගල්පිළිමයක් මෙන් ඉන්නවා.

මේ වන විට ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වැඩිකර ගැනීම සඳහා පසුගිය අයවැයෙන් ජනාධිපතිවරයා වෙන්කර ගත් මුදල්වලට අමතරව මෑත කාලයේ ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර සඳහා අමතරව මිලියන 200ක් වෙන්කර ගත්තා. ඒක පාර්ලිමේන්තුව අනුමත කළා. ඊට අමතරව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් කෝටි 875කින් වැඩිකර ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව මාධ්‍ය වාර්තා කොට තිබෙනවා. ජනාධිපතිවරයා අනෙකුත් අමාත්‍යාංශවල තිබෙන සල්ලිත් තමන්ගේ වැය ශීර්ෂයට එකතුකර ගනිමින් ඉන්නවා. මෙවැනි ආර්ථික අර්බුදයක් පවතින රටක ජනාධිපතිවරයෙක් කටයුතු කරන හැටි ලෝකෙට පේනවා. මේ ජනාධිපතිවරයා 2022 සැප්තැම්බර් මාසයේ සිට ගෙවුණු මාස 20ට විදෙස් සංචාර 20ක යෙදී තිබෙනවා. සෑම මාසයකම හත්දෙනෙක් අටදෙනෙක් හෝ පහළොස්දෙනෙක් රැගෙන විදෙස් සංචාරවල යෙදී තිබෙනවා. මේ සංචාරවලට රුවන් විජේවර්ධන, සාගල රත්නායක, දිනුක් කොළඹගේ ඇතුළු විශාල පිරිස් රැගෙන ගොස් තිබෙනවා. තමන්ට අයවැයෙන් වෙන්කර තිබෙන මුදලට වඩා ප්‍රමාණයක් මුදල් වෙන්කර ගන්නේ මේවාටයි. මේ සංචාරවලින් රටට අත්වුණු දේශපාලන සහ ආර්ථික ප්‍රතිලාභ මොනවාද යන්න කතා කළ යුතුව තිබෙනවා. ජනාධිපතිවරයා පිනට ලැබුණු ජනාධිපති ධුරය එන්ජෝයි කරනවා. ඒ ජනාධිපතිකම ලැබීම නිසා පාර්ලිමේන්තුවට පත්විය නොහැකිව තිබූ පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ජනාධිපති ළඟ ජොබ් ලැබී තිබෙනවා. ඒ අයට එක එක ටුවර් ලැහැස්ති කර දෙනවා.

මෙවැනි අවස්ථාවක මේ රටේ දරුවන්ගේ අනාගතයට ඉතා සංවේදී ප්‍රශ්නයක් හැටියට විශ්වවිද්‍යාලවල කටයුතු අකර්මණ්‍ය කර තිබෙන අනධ්‍යයන සේවක වැඩවර්ජනයට සාධාරණ විසඳුමක් ලබාදෙන්න ජනාධිපතිවරයා කිසිදු හෝ උත්සාහයක යෙදෙන බවක් පෙන්න නැහැ. අපි ජාතික ජන බලවේගය ලෙස මේ රටේ දරුවන්ගේ අනාගතය ගැන සලකා බලා ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශය මැදිහත්වී මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙසට අවධාරණය කරනවා. විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ඉල්ලන්නේ ඉටුකළ නොහැකි ඉල්ලීමක් නොවෙයි. ඔවුන් මස් රාත්තලම ඉල්ලන්නේ නැහැ. මේ මොහොතේ රටේ ආර්ථික තත්වය, භාණ්ඩාගාරය පිළිබඳ තත්වය සලකා බලා තමන්ගේ ඉල්ලීම සියයට සියයක්ම නැතිව යම් ප්‍රමාණයක් ඉල්ලන්නේ. මේ ඉල්ලීමට ඇහුම්කන් දී තවදුරටත් ප්‍රමාද නොකර, විශ්වවිද්‍යාල දේශන ශාලා, පරීක්ෂණාගාර, පුස්තකාල විවෘත කර දරුවන්ට ඉගෙනීම් කටයුතු කර ගැනීමට පහසුකම් සපයා දෙන ලෙසට ආණ්ඩුවට බලකරනවා.