Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ඇරඹෙයි

(-2025.07.04 – Colombo-)

President Greeting at Religious Leaders at Praja Shakthi

• ග්‍රාමීය ජනතාවට ආර්ථික අවස්ථා උදාකර දෙමින් ඔවුන් ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කර ගත යුතුයි

• ප්‍රජා ශක්ති වැඩසටහනේ අරමුණ රාජ්‍ය යාන්ත්‍රණයත්, රාජ්‍ය නිලධාරියාත්, පුරවැසියාත් ඒකාබද්ධ යාන්ත්‍රණයකට ගෙන ඒමයි

-ජනපති

President Speech at Praja Shakthi

රටේ ආර්ථික ප්‍රතිලාභ පහළ ග්‍රාමීය ජනතාවට ගලා නොයන්නේ නම් සංඛ්‍යා ලේඛනවල කොපමණ ආර්ථික වර්ධනයක් අත්කර ගත්තද, ඵලක් නොවන බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එක් පසෙකින්, රටේ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගන්නා අතරම, අනෙක් පසින්, ආර්ථිකය ප්‍රසාරණය කර ග්‍රාමීය ජනතාවට ආර්ථික අවස්ථා උදා කර දෙමින් ඔවුන් ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කර ගැනීම ආණ්ඩුවේ වගකීම බවද අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (04) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සහභාගී වෙමිනි.

සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ.

Crowd at Praja Shakthi

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා විසින් ප්‍රජාශක්ති ජාතික වැඩසටහන සඳහා සහභාගී වූ පිරිස පිළිගන්නා ලද අතර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ප්‍රජාශක්ති ජාතික වැඩසටහනෙහි අරමුණු පැහැදිලි කරන ලදී.

අනතුරුව “ප්‍රජාශක්ති” ජාතික මෙහෙයුම් කමිටුවේ සභාපති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා විසින් ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය හඳුන්වා දෙන ලදී.

ප්‍රජාශක්ති නිල වෙබ් අඩවිය එළිදැක්වීමද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය.

President Dissanayake speaking at Praja Shakthi

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව

විශේෂයෙන්ම මීට වසර කිහිපයකට පෙර අප රටේ ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක් වූ බව අපි දන්නවා. ඒ කඩා වැටීමට හේතුසාධක අපට විවිධාකාරයෙන් හදුනා ගැනීමට පුළුවන්කම තිබෙනවා. එහෙත් එම ආර්ථික කඩා වැටීමට කිසිසේත්ම දායක නොවුණු ගම්වල සාමාන්‍ය ජනතාව එයින් විශාල පීඩාවකට පත් වූ බව අපි අමතක නොකළ යුතුයි.

ඔවුන්ට ආහාර මිලදී ගැනීම, නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් හොඳ සෞඛ්‍ය සේවයක් ලබා ගැනීම, අධ්‍යාපනය වෙනුවෙන් පහසුකම් නිර්මාණය කිරීම, ග්‍රාමීය යටිතල පහසුකම් වර්ධනය කිරීම ආදී කේෂ්ත්‍රවල විශාල බිඳවැටීමක් සිදු වුණා. එ’නිසා ග්‍රාමීය ජනතාවගේ ජීවිතය නඟා සිටුවීමට වත්මන් රජයට අභියෝගයක් සහ වගකීමක් තිබෙනවා. එය කිසිසේත්ම අත්හළ නොහැකි වගකීමක්.

අප ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යයන් අතර ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සැලකිල්ලට ගෙන තිබෙනවා.

අද වන විට, ආර්ථිකය සැලකිය යුතු ලෙස ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට අපි සමත් වී තිබෙනවා. දීර්ඝ කාලයක් ඩොලරයේ අගය රුපියල් 300ට ආසන්නයේ තබා ගැනීම, විදෙස් සංචිත ක්‍රමානුකූලව වර්ධනය කර ගැනීම, භාණ්ඩාගාරයේ ආදායම අප අපේක්ෂා කරන ඉලක්ක දක්වා ගෙන යාම, බැංකු පොලී අනුපාතිකය තනි ඉලක්කමක පවත්වා ගැනීම ආදී ආර්ථිකයේ ස්ථාවරභාවය සදහා වූ සාධක සැලකිය යුතු ප්‍රමාණයකින් සම්පූර්ණ කර ගැනීමට අපි සමත්වී තිබෙනවා. ඒ වගේම, අප රට කෙරෙහි ආයෝජනවල සහ ආයෝජකයන්ගේ විශ්වාසය ක්‍රමානුකූලව වර්ධනය කර ගැනීමටද සමත් වී තිබෙනවා.

Prime Minister Harini Amarasooriya and Saroja Paulraj at Praja Shakthi

නතර වී තිබූ ව්‍යාපෘති රැසක් යළි ආරම්භ කිරීමට අදාළ සාකච්ඡා සාර්ථක ලෙස අපි අවසන් කර තිබෙනවා. ඒ වගේම නව ව්‍යාපෘති ගණනාවක් පිළිබඳව යෝජනා විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. එහි වැදගත් යෝජනා ගණනාවකට පසුගිය කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය ලබා දී තිබෙනවා. එ’නිසා අලුත් ආයෝජන, අලුත් සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි අප අවධානය යොමු කර තිබෙනවා. අප ක්‍රියාත්මක කරන වඩාත් ප්‍රතිඵලදායී ආයෝජන ව්‍යාපෘතිවලින්, එක පැත්තකින්, ආර්ථික ස්ථාවරභාවයත්, අනික් පැත්තෙන් ආර්ථික වර්ධනයත් අත්පත් කර ගත හැකියි.

හැබැයි, එම ආර්ථික ප්‍රතිලාභ පහළ ග්‍රාමීය ජනතාවට ගලාගෙන යන්නේ නැත්නම් සංඛ්‍යා ලේඛන තුළ පමණක් ආර්ථික ස්ථාවරභාවයත්, ආර්ථික වර්ධනයත් අත්පත් කර ගත්තාට ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා අපි එක් පසෙකින් ආර්ථික වර්ධනය අත්පත්කරගත යුතු සේම, අනෙක් පසින්, ආර්ථික ප්‍රසාරණයක් සිදු කළ යුතුයි. ග්‍රාමීය ජනතාව සඳහා ආර්ථික අවස්ථා නිර්මාණය නොවන්නේ නම්, ඔවුන් ආර්ථිකයේ පංගුකරුවන් නොවේ නම්, සාමාන්‍ය ජනතාව ආර්ථිකයෙන් පිටමං කළ පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා අපේ ප්‍රධාන ප්‍රවේශය වන්නේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමත්, ග්‍රාමීයව විසිරුණු ජන ප්‍රජාව එම ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කර ගැනීමත් බව කිව යුතුයි.

එය කළ හැකි වන්නේ, එම ජනතාව මේ මොහොතේ නියැළෙන ආර්ථික ප්‍රභව වඩා ප්‍රතිඵලදායී, වඩාත් කාර්යක්ෂම හා ලාභදායී ක්ෂේත්‍ර බවට පත් කළ හොත් පමණයි. ඒ නිසා ග්‍රාමීය ජනතාව මේ මොහොතේ නියැළෙන ක්ෂේත්‍රයන්හි ඵලදායීතාව ඉහළ නංවා ලාභ ලබන ව්‍යාපාර බවට පත් කළ යුතුයි. ඒ වගේම, ඔවුන්ට ලැබෙන ආර්ථික අවස්ථා පුළුල් කිරීමද ඉතා වැදගත්. ඒ අනුව නව ආර්ථික ප්‍රභව ග්‍රාමීය ජනතාව වෙනුවෙන් නිර්මාණය කිරීමට අපි ප්‍රමුඛතාව ලබා දී තිබෙනවා. එමගින්, ඔවුන් ආර්ථිකයේ සක්‍රිය කොටස්කරුවන් බවට පත් කර ගත හැකියි.

President AKD speeking at Praja Shakthi

දිළිඳුකම ආර්ථික තලයෙන් එහා ගිය සමාජයීය ගැටලුවක් බවට පත් ව තිබෙනවා. දිළිඳු ජනතාව සමාජයෙන් කොන් කරන ලද පිරිසක් බවට පත් ව තිබෙනවා. ඒ නිසා ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යභාරයක් ලෙස සලකනවා. එහිදී, අධ්‍යාපනය ඉතා වැදගත් ක්ෂේත්‍රයක්. දුප්පත් රේඛාව සහ නූගත් රේඛාව එකට සමපාත වී තිබෙනවා. ඒ නිසා අධ්‍යාපන අවස්ථා තව තවත් පුළුල් කර දිය යුතුයි. මේ සියල්ල සිදු කළද, ඕනෑම සමාජයක, ඕනෑම අවස්ථාවක, අසීරුතාවට පත් වන ජන සමාජයක් සිටිනවා. දියුණු යැ’යි සම්මත රාජ්‍යවල පවා එවැනි ජන ප්‍රජාවක් සිටිනවා. එම ජනතාව බලා ගැනීම සඳහා සහනාධාර වැඩපිළිවෙළක් අවශ්‍යයි.

සහනධාර යනු නරක මෙවලමක් නොවෙයි. නිශ්චිත මොහොතක එම ජන ප්‍රජාවට රැකවරණයක් නොමැති නම් එම ජනප්‍රජාව රැක බලා ගැනීම ආණ්ඩුවක වගකීමක් වෙනවා. හැබැයි, මෙම වගකීම සැලකිය යුතු ප්‍රමාණයකින් අවභාවිතයට ලක් වී තිබෙනවා. එය දේශපාලන මෙවලමක් බවට පත් ව තිබෙනවා. සහනාධාර වැඩපිළිවෙළ සැලකිය යුතු ප්‍රමාණයකින් දේශපාලනීකරණයට ලක් වීම නිසා ඒ සඳහා විවේචන ගොඩනැඟී තිබෙනවා.

ජාතික ජනබලවේගයේ අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ ඉලක්ක සහගත ජන ප්‍රජාවට සහානාධාර ලබා දීමයි. කවුද? කාටද? යන්න ඉලක්ක කර ආධාර ලබා දිය යුතුයි. මම හිතනවා රජයකට එබඳු වගකීමක් තිබෙනවා වගේම,සමාජයත් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු ව තිබෙනවා. රජයෙන් යමක් ලබා දෙනවා නම් ලැබෙන සෑමදේම තමන්ටත් ලැබිය යුතුයි කියන මතය අපේ සමාජයේ තිබෙනවා. එය වැරදියි. අපේ රාජ්‍යය එහෙම සංස්කෘතියක්, සමාජ බැඳීමක් සහිත රාජ්‍යයක් නොවෙයි. සෑමවිටම රැක බලා ගන්න අවශ්‍ය කෙනා රැක බලා ගැනීම අපේ සංස්කෘතික ලක්ෂණයක්. පසුගිය කාලයේ සිදු වූ විකෘති තත්ව හේතුවෙන් අද ආධාර ලැබිය යුතු අයට ආධාර දෙන්න හදනවා නම්, ඇතැමුන්ගේ ප්‍රයත්නයක් තිබෙනවා තමන්ටත් එය ලබා ගැනීමට.

Ministers at Praja Shakthi

ඒ නිසා නව සංස්කෘතියක් අවශ්‍යයි. රජය විසින් ලබා දෙන ආධාර ලැබිය යුතු කෙනාටම තමයි ලැබිය යුත්තේ කියා තමන්ට ස්වයංව දැනෙන්න අවශ්‍යයි. තමන්ට හැකියාව තිබුණාට අල්ලපු ගෙදර කෙනාට ඒ හැකියාව නැහැ. උදව්වක් කරන්න අවශ්‍යයි කියා කෙනෙක්ට සිතෙන්න අවශ්‍යයි. එහෙත්, අද අපේ රටේ සංස්කෘතිය කුමක්ද? කුමක් හෝ දෙනවා නම් ලබා ගැනීම සඳහා පොර බැදීමක් තිබෙනවා. තමන්ට එය සුදුසුද? නැද්ද? අවශ්‍යද නැද්ද? තමන්ට හිමිකමක් තිබෙනවාද? නැද්ද? කියන සාධකයකින් තොරව. ඒ නිසා අපි ඉතාමත් ශක්තිමත් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරනවා.

හැබැයි, අපි කවුරුත් දන්න, හැමදාම කතා කරන මේ සහනාධාර වැඩපිළිවෙළ මත සැමදාම රඳා පවතින්න බැහැ. සෑම විටම සහනාධාර වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ නිසා සෑම විටම සහනාධාර වැඩපිළිවෙළක් තිබෙනවා. එහෙත් එය, එකම කෙනා, එකම ප්‍රජාව වෙනුවෙන් නොවෙයි. අනෙක් කෙනාත් ආර්ථිකයේ පංගුකරුවන් කර ගත යුතුයි.

මේ සදහා සැලකිය යුතු ප්‍රමාණයකින් ආණ්ඩු මුදල් වැය කර තිබෙනවා. ආසන්න වශයෙන් ගත හොත් අස්වැසුම වැඩසටහනට පමණක් රුපියල් බිලියන 230ක් වෙන් කර තිබෙනවා. තවත් ආධාර වැඩසටහන් සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කර තිබෙනවා. එහෙත්, මේ මුදල් අපි ඉලක්ක සහගත ප්‍රජාවට ලබා දී තිබෙනවාද? එම මුදල්වලින් අපේක්ෂිත ප්‍රතිලාභ ලැබී තිබෙනවාද? එසේ ලැබී නැහැ.

Starting Ceramony of Praja Shakthi

විවිධ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙරට ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒවා දෙස බැලූ විට ඒවායින් 50%කට වඩා වැය වන්නේ ආධාරය ලබා දීම සඳහා වන යාන්ත්‍රණය සකස් කිරීමටයි. නිලධාරියෙක් බලා ඉන්නවා ව්‍යාපෘතියක් ලැබුණු විට ඉන් කොටසක් තමන්ට ලබා ගන්නේ කොහොමද කියලා. තමන්ට රැකියාව තිබෙනවා. එහෙත් ඒ ව්‍යාපෘතිය තමන්ගේ විෂය පථයේ නොවෙයි. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට දීමනාවක් අවශ්‍යයි කියා දන්වනවා. ඒ නිසා මේ ආධාරවලින් විශාල ප්‍රමාණයක් ආධාර ලැබිය යුතු කෙනාට වඩා ආධාර ලබා දීමේ යාන්ත්‍රණයට වියදම් කර තිබෙනවා. එපමණක් නෙවෙයි, එහි පුහුණුවට විශාල මුදලක් වියදම් කර තිබෙනවා. මේවා නතර කළ යුතුයි. ආධාරයක ඉලක්ක සහගත ප්‍රජාවට ආධාර ලබා දීමේ වගකීමක් රජයක් ලෙස අපටත්, රාජ්‍ය නිලධාරීන් ලෙස ඔබටත් තිබෙනවා.

එය කිසිසේත්ම අවභාවිතයේ යෙදවීමට ඉඩ නොදෙන බව අප ඔබට සහතික වෙනවා. ආධාර ලැබිය යුතු කෙනාට ලබා දීම සඳහා මෙහෙයුමක් දියත් කළ යුතුව තිබෙනවා.

ඒ වගේම, සෑම අමාත්‍යාංශයකින්ම මොනව හරි ලබා දිය යුතුයි කියා හිතන ප්‍රවණතාවක් තිබෙනවා. එහෙත්, ඉතා නිවැරදි දත්ත පද්ධතියක් මත පදනම්ව කුමක්ද? කුමන අරමුණකින්ද ලබාදිය යුත්තේ? යන්න තීරණය කළ යුතුව තිබෙනවා. එහෙත්, දැන් සිදු වී තිබෙන්නේ ඒ ආකාරයෙන් නොවෙයි. සෑම ආයතනයක්ම, දෙපාර්තමේන්තුවක්ම ආධාර දෙන්න පෙළඹිලා තිබෙනවා. එහෙත්, ග්‍රාමීය ජනතාවට ගලා ගෙන යන ආධාර සහ ඔවුන්ගේ ආර්ථිකය සවිබලගැන්වීම සඳහා සිදු කරන වැඩසටහන් සියල්ල ඒකාබද්ධ කළ යුතුයි. අපේ ආධාර විශාල ප්‍රමාණයක් ලබා දී තිබෙන්නේ ජීවත් වීම සඳහා පමණයි. එම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න සමත් වී නැහැ. ඒකාබද්ධ මෙහෙයුමක් අවශ්‍ය වන්නේ ඒ නිසයි. ප්‍රජා ශක්ති වැඩසටහන අප දියත් කරන්නේ එම මෙහෙයුම ලෙසයි. එය ඉලක්ක සහගත මෙහෙයුමක්. ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා වැඩසටහන සකස් කළ යුතුයි.

වර්තමානය වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් පරිපාලන ව්‍යුහ ගොඩනැඟී තිබෙනවා. තවදුරටත් උප්පැන්න සහතිකයක් නොමැති දරුවෙක් ඉපදෙයි කියා මම හිතන්නේ නැහැ. එයා නිසි වයසට ආවාම හැඳුනුම්පතක් ගන්නවා. ඉදිරි වසර දෙක තුළ ඩිජිටල්කරණ යාන්ත්‍රණයකට යනවා. එහෙනම්, යාන්ත්‍රණයේ පහළම පරිපාලන ඒකකයේ තිබෙන වගකීම කුමක්ද? පහළ තිබෙන පරිපාලන ඒකකයේ වගකීම තමයි තම ඒකකයේ ස්වභාවය හඳුනාගෙන, ඒ ස්වභාවයෙන් ඉදිරියට ඒ ඒකකය ගෙන යෑම සඳහා සැලැස්මක් හදන එක. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙතැන් සිට අප ඉදිරියට ගෙන යා යුතුයි. ඒ වෙනුවෙන් වැඩසටහනක් සකස් කළ යුතුයි. එතැනට මුදල් වියදම් කරන්න අවශ්‍යතාව තිබෙනවා, අප ඒ වෙනුවෙන් සූදානම්.

Dance at Praja Shakthi

ඒ වගේම අපේ රාජ්‍ය යාන්ත්‍රණය සැලකිය යුතු ප්‍රමාණයකින් නටඹුන් වූ රාජ්‍ය යාන්ත්‍රණයක් බව මම පිළිගන්නවා. රාජ්‍ය නිලධාරීන් සතුව තිබෙන වාහන සියල්ල ගත්තොත් අවුරුදු 15ට වඩා පැරණියි. පාරේ දුවන බස් රථ 50%කට වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ පාරේ දුවන්න නුසුදුසු වාහන. කාර්යාලයේ තිබෙන පරිගණක සැලකිය යුතු කාලයකින් කල් පැනලා. අපේ ආයතනවල තිබෙන සිස්ටම් යාවත්කාලීන වෙලා නැහැ. ගොඩනැගිලි දිරාපත් වෙමින් තිබෙනවා. සෑම පැත්තකින්ම බැලුවොත් නටඹුන් වූ රාජ්‍ය යාන්ත්‍රණයක් තමයි අප සතුව තිබෙන්නේ. අපි සාමාන්‍ය ගැමියෙක් වගේ බුලත් ටිකක්, පුවක් ටිකක් මල්ලේ දාගෙන කාර්යාලයට එනවා. ඕක තමයි ඇත්ත කතාව. පසුගිය අයවැයෙන් වැටුප් වැඩි කරලා මානව සම්පතට අවශ්‍ය සහාය ලබා දුන්නා.

එ’නිසා ඊළඟට එළැඹෙන අයවැය ලේඛනයෙන් රාජ්‍ය යාන්ත්‍රණයේ භෞතික සම්පත් ගොඩනඟන්න කටයුතු කරනවා. භෞතික සම්පත් ගොඩනැඟීමට සාපේක්ෂව නව මෘදුකාංග පද්ධති හඳුන්වා දී අපි රාජ්‍යය නවීකරණය කර දෙන්නම්. හැබැයි, ඒ කරන්නේ පුරවැසියා වෙනුවෙන්. ඒ නවීකරණය කරන ලද රාජ්‍යය තුළ පරණ පුටුවේ පරණ කෙනෙක් නම් වාඩි වෙලා ඉන්නේ, එයින් ඇති ඵලක් නැහැ. එම නිසා ඒ නූතනත්වයට ගෙනා රාජ්‍ය යාන්ත්‍රණය තුළ අලුත් රාජ්‍ය සේවකයා අපට අවශ්‍යයි. මේ අභියෝගය අපට ජයග්‍රහණය කළ හැකි වන්නේ එසේ පමණයි. එසේ නොමැතිව, මේක දේශපාලන කාර්යයක්, මේක දේශපාලන අධිකාරියේ වැඩක්, ග්‍රාම සේවක මහත්තයාගේ, සංවර්ධන නිලධාරියාගේ වැඩක්, ප්‍රාදේශීය ලේකම්ගේ වැඩක් කියලා තැන තැන බෙදී විසිරිලා මේක කරන්න බැහැ. මෙය කිරීමට නම් දේශපාලන අධිකාරියත්, රාජ්‍ය යාන්ත්‍රණයත් අත්නොහරින ඒකාබද්ධ මෙහෙයුමක් අවශ්‍යයි. ප්‍රජා ශක්ති වැඩසටහනේ අරමුණ රාජ්‍ය යාන්ත්‍රණයත්, රාජ්‍ය නිලධාරියාත්, පුරවැසියාත් ඒකාබද්ධ යාන්ත්‍රණයකට ගෙන ඒමයි. එහෙම නොමැතිව. කිසිවක් සාර්ථක කර ගන්න බැහැ. අපට තිබෙන්නේ තිබෙන රාජ්‍යයක් පවත්වා ගෙන යන්න නොවෙයි, තිබෙන රාජ්‍යයක් පවත්වා ගෙන යන්න නම් පවතින විදිහ හොඳයි.

වැටුණු රාජ්‍යයක් ගොඩනඟන්න දේශපාලන අධිකාරිය, රාජ්‍ය යාන්ත්‍රණය, පුරවැසියා ඒකාබද්ධ මෙහෙයුමකට ගෙන ආ යුතුයි. එනිසා වැටුණු රාජ්‍යයේ ආර්ථිකය අහිමි වූ ප්‍රජාවක් සිටිනවා. අන්න ඒ ප්‍රජාවට ආර්ථිකයේ අවස්ථා නිර්මාණය කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් අවශ්‍යයි. මේ ප්‍රජා ශක්ති ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට අප සෑම දෙනාම එක්’ව වැඩ කරමු කියා මා ඉල්ලා සිටිනවා.

Dr Upali Pannilage Speech at Praja Shakthi

– ප්‍රජා ශක්ති ජාතික ප්‍රතිපත්ති සභාවේ කැඳවුම්කරු සහ ජාතික මෙහෙයුම් කමිටුවේ සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ සවිබල ගැන්වීම් සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා –

අප රටේ දිළිඳුභාවය ගැන කතා කිරීමේදී ගම විශේෂ ස්ථානයක් ගනු ලබනවා. ශ්‍රී ලංකාවේ පමණක් නොව, ජාත්‍යන්තර වශයෙනුත්, විශේෂයෙන්ම ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකානු කලාපය දෙස බැලීමේදී ගම අමතක කර දිළිඳුකම පිළිබඳව අපට සාකච්ඡා කරන්න බැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජූලි මස 06 වන දා ලෝක ග්‍රාම සංවර්ධන දිනය ලෙස ප්‍රකාශයට පත් කළේ එ’නිසයි.

අප රටේ ග්‍රාමීය දිළිඳුභාවය දශක ගණනාවක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වුවත්, එය වෙනස් කිරීමට විවිධ උත්සාහ දරමින් සිටිනවා. එසේ වුවත්, උදාහරණයක් විදිහට 2000 වසරේ සංඛ්‍යාලේඛන දෙස බැලීමේදී අප රටේ ආධාර මත යැපෙන පිරිස මිලියන 1.1ක්. 2010 වන විට මිලියන 1.5ක් දක්වා වර්ධනය වුණා. 2024 වසරේ අවසන් වන විට ආධාර මත යැපෙන ප්‍රමාණය මිලියන 1.8කට ආසන්න වී තිබුණා.

PM President and Minister at Praja Shakthi

දිළිඳුබව තුරන් කිරීමට කොපමණ වැඩසටහන් ක්‍රියාත්මක කළත්, එන්න එන්නම අප රටේ දිළිඳු ප්‍රජාව වර්ධනය වෙමින් තිබෙන බව එම සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වෙනවා. ලෝකයේ ජනගහනය ශීඝ්‍රයෙන් නාගරීකරණය වුවත්, අප රටේ සමස්ත ජනගහනයෙන් 79%කට ආසන්න ප්‍රමාණයක් ග්‍රාමීය හෝ වතු ආශ්‍රිතව ජීවත් වෙනවා. එ’නිසා ජාතික ජනබලවේගයේ රජය විදිහට අපේ ප්‍රතිපත්ති සැලසුම් කරන විට ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම ප්‍රධාන තේමාවක් බවට පත් කර ගත්තා.

මෙම වැඩසටහන ආරම්භ කිරීමට පෙර අප රටේ ක්‍රියාත්මක වූ දිළිඳුබව තුරන් කිරීමේ වැඩසටහන්වල දුර්වලතා හොදින් අධ්‍යයනය කළා. එම දුර්වලතා මඟහරිමින් සැබෑ ලෙසම අප රටේ දිළිඳුභාවය තුරන් කරන්නේ කෙසේද? කියන පැනයට පිළිතුරු ලබා දෙමින් තමයි මෙම වැඩසටහන අප සැලසුම් කළේ. ප්‍රධාන වශයෙන් මෙම වැඩසටහන තුළින් අරමුණු කිහිපයක් දිනා ගැනීමට අපේක්ෂා කරනවා.

අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පොල්රාජ්, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු මැති ඇමතිවරුද, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද, පළාත් ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය නිලධාරිහු, ජාත්‍යන්තර ආයතන නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Praja Shakthi crowd