Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ජාතික තරුණ සමුළුව වසර 32කට පසුව අභිමානවත්ව මුළු දෙයි

(-2025.08.12 – Colombo-)

• තරුණ ව්‍යාපාරය රටේ අනාගතය භාර ගන්නා නියමුවන් බිහි කරන ව්‍යාපාරය බවට පත්ව තිබෙනවා

– ජනපති

President Addressing The National Youth Conference from back

නව දේශපාලන පරිවර්තනය සමඟ මෙරට තරුණ ව්‍යාපාරය තවදුරටත් දේශපාලන අතකොළුවක් බවට පත් නොවී, රටේ අනාගතය භාර ගැනීමට සිටින නියමුවන් බිහි කරන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

තම දේශපාලන බලය ආරක්ෂා කර ගැනීමේ කොටස්කරුවන් ලෙස නොව, තරුණ පරපුරට හිමි තැන ලබා දෙමින්, සිය අනාගතය තීරණය කිරීමේ ශක්තිය ඇති තරුණ ප්‍රජාවක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා, තරුණ තරුණියන් මෙරට සංවර්ධන මාවතේ නියමුවන් සහ කොටස්කරුවන් බවට පත් කෙරෙන වැඩසටහන තරුණ ව්‍යාපාරය මඟින් ආරම්භ කිරීමට සූදානම් බවද අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (12) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති “Youth Club”ජාතික තරුණ සමුළුව අමතමනි.

President Addressing The National Youth Conference On Screen

අනාගත තරුණ පරපුර ලෝකය හමුවේ රට දිනවන සහ අනෙකා පිළිබඳ සහකම්පනයෙන් යුත් තරුණ පරපුරක් විය යුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා අනාගත රට භාර ගැනීමට සුදුසුකම් සහිත එම තරුණ පරපුර නිර්මාණය කිරීමට රජය කැප වී සිටින බවත්, එම සුදුසුකම්ලාභීන් බවට පත්වන ලෙස මෙරට සමස්ත තරුණ පරපුරෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

මෙවර ජාතික තරුණ සමුළුව පැවැත්වුණේ වසර 32කට පසුව වීම විශේෂත්වයක් වන අතර, දිවයින පුරා තරුණ තරුණියන් 6000කට අධික පිරිසක් ඊට එක්ව සිටියහ. ජාතික තරුණ සමුළුවට පෙර රට පුරා ප්‍රාදේශීය මට්ටමින් “Youth Club” පිහිටුවීම ආරම්භ කළ අතර, අද පැවති ජාතික සමුළුවේදී නව නිලධාරී මණ්ඩලය හඳුන්වා දීම සිදු විය.

ජාතික තරුණ සමුළුවට සහභාගී වීම නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිහිවටන තිළිණයක්ද පිළිගැන්විණි.

President welcome at the national youth club wvent

ජාතික තරුණ සමුළුව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මම හිතනවා මෑත කාලයේ තරුණ සමුළුවක් පිළිබඳව වැඩිම සාකච්ඡාවට හා ආන්දෝලනයට ලක් වූ සමුළුව මෙයයි. සාමාන්‍යයෙන්, අපේ රටේ බොහෝ ක්ෂේත්‍ර යම් දේශපාලන අධිකාරියක බල අවශ්‍යතාවෙන් පෙළගස්වා තිබුණා. කිසිසේත්ම තරුණයෙක්ට තමන්ගේ දක්ෂතාව හා අපේක්ෂා ඔස්සේ ඉදිරියට ඒම සඳහා අවස්ථාවක් මේ තරුණ ව්‍යාපාරය තුළ තිබුණේ නැහැ.

ඔබ දිස්ත්‍රික්කවලට ගියාම ඔබේ දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය හෝ අනෙක් ආයතනවල නායකත්වය හෙබවීමේදී ප්‍රමුඛතාව ලැබුණේ කාටද? ප්‍රමුඛතාව ලැබුණේ පැරණි දේශපාලන නායකත්වයේ දුවලා, පුතාලට, එසේත්, නැත්නම් ඥාතීන්ටයි. ඒ නිසා තරුණ ව්‍යාපාරය සැලකිය යුතු ප්‍රමාණයකින් එම බල අධිකාරීන්ගේ දේශපාලන වුවමනා සමඟ පෙළගස්වා තිබුණා. දිගු කාලයක් තමන්ගේ දේශපාලන බලය, පවුල් බලය ආරක්ෂා කර ගැනීම සහ ඥාති පරපුර බලයේ රඳවා ගැනීම සඳහා වූ මෙවලමක් ලෙස මෙම තරුණ ව්‍යාපාරය ගොඩනැඟී තිබුණා.

හැබැයි, රටේ ඇති වූ නව දේශපාලන පරිවර්තනය සමඟ මෙම තරුණ ව්‍යාපාරය තවදුරටත් දේශපාලන වුවමනාවලින් පෙළුන අතකොළුවක් බවට පත් නොවී, රටේ අනාගතය භාර ගැනීමට සිටින නියමුවන් බිහි කරන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී තිබෙනවා. එය මෙම තරුණ සමුළුව දක්වා අප පැමිණි ගමන්මඟ තුළ සනිටුහන් වී තිබෙනවා.

Deputy Minister of Youth Ministry Addressing The National Youth Conference

ඇතැමුන් කලබල වීම පුදුමයක් නොවෙයි. සැබැවින්ම, අද අප සිදු කරන්නේ අපේ තරුණ තරුණයින්ට ඔවුන්ට හිමි තැන සහ ඔවුන්ගේ අනාගතය කවරාකාරයෙන් නිර්මාණය විය යුතුද, කවර වගකීම් දැරිය යුතුද යන වගකීම සහිත තරුණ නායකත්වයක් ගොඩනැඟීමයි. එසේ නැතිව, ඔබ ගොඩනැඟිය යුත්තේ කිසිසේත්ම පවුල් පාලන පරම්පරාවලට දිගු කාලයක් බලය ආරක්ෂා කර ගැනීම සඳහා වූ කාර්යයක කොටස්කරුවන් ලෙස නොවෙයි.

රටේ අනාගතය පවතින්නේ තරුණ තරුණියන් අත බවට කියමනක් තිබෙනවා. එහෙත් අපගේ අභිලාෂය වන්නේ ඔබේ අතේ පවතින බව කියන අපේ රටේ අනාගතයේ සැබෑ භාරකරුවන් බවට ඔබව පත් කිරීමයි. විශේෂයෙන්ම, එක් කරුණක් අප ඔබට මෙතනදී පැහැදිලි කර දීමට කැමතියි. අද අපි ජනාධිපති ධුරය, අමාත්‍ය ධුර, මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. හැබැයි, මේ පුටුවේ වාඩි වන විටම, අපි ඉන් බැහැලා යන දිනයක් හිතේ තබා ගෙන තමයි, අපි එහි අසුන් ගෙන තිබෙන්නේ. අපිට මේ පුටුවල චිරාත් කාලයක් වැජඹීමේ අරමුණක් නැහැ. අපිට ඉතාමත් පැහැදිලි සද්-වුවමනාවක් තිබෙනවා. මේ රට ඉතා විනාශකාරී කණ්ඩායමක් අතේ තිබුණා. ඒ කණ්ඩායමෙන් දේශපාලන බලය අප අතට හුවමාරු කරගෙන තිබෙනවා. ඒ හුවමාරු කර ගත් බලය, ඒ බැට්න් එක නුදුරු කාලයේදී ඔබට භාර දීමේ අපේක්ෂාවෙන් තමයි අපි මේ පුටුවල අසුන් ගෙන තිබෙන්නේ. අපි කිසිසේත්ම ගම් ගෑවා වගේ මේ පුටුවල ඇලවී සිටීමට අපේක්ෂා කරන්නේ නැහැ.

ඒ නිසා මේ රට භාර ගැනීමට හැකියාව, නිපුණතාව, අවංකභාවය, හෘද සාක්ෂිය තිබෙන නව තරුණ පරම්පරාවක් නිර්මාණය කළ යුතුයි. අපෙන් පසුව මේ රට භාර ගැනීම සඳහා සූදානම් පරම්පරාව අපි නිර්මාණය කළ යුතුයි. අපිට අවශ්‍ය වන්නේ මොන වගේ පරම්පරාවක්ද? එකක් වර්තමාන ලෝකය ඉතා වේගයෙන් දැනුම, උත්පාදනය වෙමින්, වර්ධනය වෙමින් ප්‍රසාරණය වෙමින් තිබෙනවා. ඈත ඉතිහාසයට ගොස් බැලුවොත් දැනුමේ මහා පිමි නිර්මාණය වූයේ දිගු වසරවලයි. එහෙත්, දැන්, අත්පත් කර ගෙන තිබෙන දැනුම විසින්ම නව දැනුම වේගයෙන් උත්පාදනය කරනවා. ඒ වගේම, නව දැනුම වේගයෙන් වර්ධනය වෙනවා, ප්‍රසාරණය වෙනවා. හැබැයි, ඒ වර්ධනය වන, ප්‍රසාරණය වන නව දැනුමේ ඇති වන මහා පිම්ම අත්පත් කර ගැනීමට සූදානම් නොවන තරුණ පරම්පරාවක් අතට මේ රට භාර නොවිය යුතුයි.

President Anura Kumara Dissanayake waving at the crowd

ඒ නිසා, මේ තරුණ ව්‍යාපාරය සඳහා ලෝකයේ වර්ධනය වෙමින් තිබෙන නව දැනුම වේගයෙන් උකහා ගන්න ඊට වේගයෙන් අනුගත වන නව පරම්පාරවක් නිර්මාණය කිරීම අපේ අපේක්ෂාවයි. අපේ රටේ අනාගතය එම පරම්පරාවට භාර දිය යුතුයි යන තිර අධිෂ්ඨානයක අප සිටිනවා. ඒ වගේම අප තුළ මිනිසත්කම සහකම්පනය තිබිය යුතුයි.

අපේ අධ්‍යාපන රටාව, අපේ ජීවන අරගලය මේ සියල්ල විසින් අපේ තරුණ පරපුර යම් ආත්මාර්ථකාමී පටු කුටුම්භයක සිර කර තිබෙනවා. එවැනි පිරිසක් තුළ සමාජය පිළිබඳ සහකම්පනයක් ඇති වන්නේ නැහැ. ඒ නිසා පොදු සමාජය පිළිබඳ සැබවින්ම සහකම්පනයක් තිබෙන තරුණ පිරිසක් අපිට අවශ්‍යයි. ආත්මාර්ථකාමීත්වය විසින් අපේ සමාජයේ බොහෝ ගුණාංග අයිස් වතුරේ ගිල්වා මරා දමා තිබෙනවා. සියලු යහපත් දේ මරා දමා තිබෙනවා.

අපේ රට ඉදිරියට ගෙන යමින් සමාජ සංවර්ධනයක් අත්පත් කර ගැනීමට නම් අනිවාර්යයෙන් සහකම්පනයක් සහිත සමාජයක් නිර්මාණය කළ යුතුයි. එම සමාජය නිර්මාණය කිරීමේදී මේ තරුණ ව්‍යාපාරයට විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා. ඔබ සහකම්පනයක් සහිත පුරවැසියෙක් බවට පත්විය යුතුයි කියා මම විශ්වාසය කරනවා.

President Addressing The National Youth Conference

ඒ වගේම තරුණ පරපුර තුළ සහජයෙන්ම තිබෙන යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ සා පිපාසාව යළි පුබුදු කරගත යුතුයි. අයුක්තිය තිබෙන තැන යුක්තිය පිළිබඳ හඬ නැගීමට හැකි විය යුතුයි. එම හඬ නැගීම ව්‍යාජයක් නොවන්න නම් පළමුව තම තමන් යුක්තිගරුක සාධාරණ පුද්ගලයෙක් බවට පත් විය යුතුයි. අද අපේ සමාජය සැලකිය යුතු ප්‍රමාණයකින් ව්‍යාජයෙන් වෙළී තිබෙනවා. පොදු යුක්තිය පිළිබඳ කතා කරමින් සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ කරනවා. හැබැයි යුක්තිය සහ සාධාරණත්වය, තම භාවිතය තුළ මොන තරම් ප්‍රමාණයකින් ගැබ් කර ගැනීමට සමත් වී තිබෙනවාද කියා සිතා බැලිය යුතුයි.

යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳව හඬ නැඟීමම යුක්තිගරුක මිනිසෙක් බවට පරිවර්තනය කරන්නේ නැහැ. යුක්තිගරුක පුරවැසියෙක් බවට පරිවර්තනය කිරීමේ පළමු සාධකය තමන් මොන තරම් ප්‍රමාණයකින් යුක්තිගරුකද, සාධාරණව කටයුතු කරනවාද යන්නයි. ඒ නිසා ඔබ යුක්තිය වෙනුවෙන් හඬ නගන්න, සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින්න. ඊට පෙර ඔබ සැබෑ ලෙසම යුක්තිය සහ සාධාරණත්වය නියෝජනය කරන හෘද සාක්ෂියක් ඇති තරුණයෙක්, තරුණියක් බවට පත් වෙන්න. අප මේ රට භාර දිය යුතු වන්නේ හුදු පාවෙන මිනිස් සමූහයකට නොවෙයි. අපි රටේ අනාගතය භාර දිය යුතු වන්නේ ලෝකය සමග ඉතා සමීපව අපේ රාජ්‍යය සම්බන්ධ කරගත හැකි, සමාජය පිළිබඳ සහකම්පනයක් ඇති නව තරුණ පරපුරකටයි. ඒ නිසා අපේ ව්‍යායාමය වන්නේ මේ රට භාර දීමට සුදුසුකම් සහිත තරුණ ව්‍යාපාරයක් ගොඩනැගීමයි. ඊට අවශ්‍ය සුදුසුකම් සපුරා ගත් තරුණ පිරිසක් බවට පත් වෙන්න කියන ඉල්ලීම මම ඔබෙන් සිදු කරනවා.

අද රැකියා පිළිබඳ ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. මම පසුගිය දා මාලදිවයිනට ගියා. එහි අපේ තරුණ තරුණියන් 30,000කට ආසන්න ප්‍රමාණයක් රැකියාවල නිරත වෙනවා. හැබැයි, ඒ රජයේ ස්ථානවල නොවයි. රජය විසින් වෙනම එළියේ ආර්ථිකයක් ගොඩනඟා දී තිබෙනවා. එහෙත් අපි එළියේ හැකියා සහ දක්ෂ සහිත අයට රැකියා උත්පාදනය වන ආර්ථිකයක් ගොඩනැගීමට දිගුකලක් තිස්සේ අසමත් වුණා. එම අසමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස රැකියා සපයන ආයතනයක් බවට රාජ්‍යය පත්ව තිබෙනවා. ආණ්ඩුව යනු රැකියා සපයන ආයතනයක් නොව, රැකියා උත්පාදනය කරන ආයතනයක් බව අමතක නොකළ යුතුයි.

Youth Club 2025

අපි කවුරුත් දන්නවා 20 වන සියවසේ ලෝකයේ මහා පරිවර්තන සිදු වුණා. එම සියවසට පෙර විද්‍යාඥයින් උපකල්පනය කළා මෙවැනි තාක්ෂණය සහිත රාජ්‍ය බිහි වෙයි කියලා. දේශපාලනඥයන්, ශාස්ත්‍රඥයන් උපකල්පනය කළා මෙවැනි දේශපාලන ලෝකයක් නිර්මාණය වෙයි කියලා. රාජ්‍ය ආණ්ඩු සහිත පාලනයක් වෙනුවට ජනතාව විසින් තෝරා ගන්නා ලද පාලනයක් ලෝකයේ නිර්මාණය වෙයි කියලා. ඒ වගේම, ලෝකයේ ආර්ථික විශේෂඥයන් උපකල්පනය කළා ලෝකයේ මෙවැනි ආර්ථික තත්ත්වයක් නිර්මාණය වෙයි කියලා. මේ අයුරින් අපිට 17, 18 සියවස්වල වැඩිපුර මුණ ගැසුණේ අනාගත ලෝකය පිළිබඳ පරිකල්පනයන්. මෙම උපකල්පන යථාර්ථයක් බවට පරිවර්තනය වුයේ 20 වන සියවසේදීයි.

තාක්ෂණයේ, විද්‍යාවේ, වෙළෙඳපොළෙහි, මිනිසුන්ගේ ජිවන රටාවෙහි සිදු වූ මෙම පරිවර්තනය හේතුවෙන් ලෝකයේ මහා වෙළෙඳපොළක් නිර්මාණය වුණා. හැබැයි, අපි එම වෙළෙඳපොළ අත්පත් කර ගැනීමට අසමත් වූ ජාතියක් බවට පත් වුණා. ඒ නිසා එළියේ ආර්ථිකයක් ගොඩනැඟුණේ නැහැ. ඒ අනුව රැකියා සපයන එකම ආයතනය බවට රාජ්‍යය පත් වුණා.

සුන්බුන් ගොඩක් බවට පත්ව තිබෙන රාජ්‍යය අපි නූතනත්වය කරා ගෙන ආ යුතුයි. ඒ වෙනුවෙන් අපි 62,000කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. රැකියා ප්‍රශ්නය එතැනින් විසඳෙන්නේ නැහැ. ආණ්ඩු ක්‍රියාවලිය මගින් රැකියා උත්පාදනය වන ආර්ථිකයක් එළියේ නිර්මාණය කළ යුතුයි. අපි ඒ සඳහා සැලසුම් සකස් කර තිබෙනවා.

President with the minister and deputy minister of ministry of youth affairs

අපි අපේක්ෂා කරනවා මේ වසරේ මිලියන 2.5ක සංචාරකයන් අපේ රටට පැමිණෙයි කියලා. 2030 වසර වන විට මිලියන 04ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණේ යැයි අපි අපේක්ෂා කරනවා. මේ සමඟ සංචාරක කරමාන්තය මත පදනම් වූ ආර්ථිකයක් එළියේ ගොඩනැඟෙනවා. ආර්ථිකය විසින් රැකියා උත්පාදනය කරනවා.

ඒ වගේම වසර 2030 වන විට ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 15 දක්වා වර්ධනය කර ගැනීමට අපි අපේක්ෂා කරනවා. අපේ රටේ ජාතික නිෂ්පාදනයෙන් 12%ක් ඩිජිටල් ආර්ථිකයෙන් සැපයීම අපේ අපේක්ෂාවයි. ඒ වගේම කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයට ඩිජිටල්කරණය ඇතුළත් කිරීම මඟින් විශාල පරිවර්තනයක් අපි අපේක්ෂා කරනවා. ඒ වෙනුවෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම සහ හැකියාව ඇති තරුණ පරපුරක් අවශ්‍ය වෙනවා. එතැනදී රැකියා අවස්ථා නිර්මාණය වෙනවා. ඒ වගේම වරාය කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් ඇතුළු තවත් ක්ෂේත්‍ර ගණනාවක් මත පදනම් වූ විශාල ආර්ථිකයක් අපි සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ආණ්ඩුව මැදිහත් වී රැකියා උත්පාදනය වන රටක් ගොඩනැඟීම අපේ සැලැස්මයි.

අපේ තරුණ තරුණයින්ට තමන්ගේ හැකියාව මත, තමන්ගේ ජීවන රටාව මත තමන් කැමති වෘත්තියක යෙදීමට අවශ්‍ය වන රැකියා අවස්ථා රට තුළ නිර්මාණය කිරීමට අපි අපේක්ෂා කරනවා. ඒ වගේම විශ්වාසය තහවුරු කරන ලද ආර්ථිකයක් අද රට තුළ ගොඩනැඟීමට අපි සමත් වී තිබෙනවා. මෙම ගොඩනඟන ලද ස්ථාවරත්වය මත මේ රට සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමේ ගමන ආරම්භ කිරීමට අපි අද සූදානම් වී සිටිනවා. එහිදී තරුණ තරුණියන් ලෙස ඔබට විශාල වගකීමක් පැවරී තිබෙනවා.

President and Dasun Shanaka

ඔබ තුළ දැනුම සහ ජවය තිබෙනවා. ඔබ මේ සංවර්ධනයේ නියමුවන් සහ පංගුකරුවන් බවට පත් කිරීම සඳහා වූ වැඩසටහන අපි මේ තරුණ ව්‍යාපාරය මගින් ආරම්භ කිරීමට සූදානම්. ඔබ සංවර්ධනයෙන් පිටමන් කරන ලද අය නොවෙයි. සංවර්ධනයේ මිනිස් දූවිලි නොවෙයි. අපි සකස් කර තිබෙන සංවර්ධන මාවතේ ප්‍රධාන කොටස්කරුවන් බවට ඔබව පත් කර ගැනීමේ අරමුණ අපිට තිබෙනවා.

විශාල කැළඹිලිකාරී පසුබිමකින් පසුව ඔබ නායකත්ව මණ්ඩලයක් පත් කරගෙන තිබෙනවා. මේ තරුණ තරුණියන්ට අපේ රටේ තරුණ ව්‍යාපාරයට ඉතා හොදින් නායකත්වය ලබා දීමේ හැකියාව ලැබෙනු ඇතැ’යි විශ්වාස කරමින් ඉදිරි අභියෝග ජය ගැනීම වෙනුවෙන් මම ඔබට සුබ පතනවා.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විදෙස් තානාපතිවරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ආරාධිත පිරිසක්ද, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුපුන් විජේරත්න මහතා ඇතුළු නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.