Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ජනාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තුවෙන් ආරම්භ කළ දේශපාලන සංස්කෘතිය අපි ගම දක්වා ගෙනියනවා…

(-මාධ්‍ය හමුව – 2025.05.07 – 2025 පළාත් පාලන මැතිවරණය-)

Tilvin Silva addressing at the Press Conference after local election

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් – ටිල්වින් සිල්වා සහෝදරයා

ඊයේ (06 දින) අවසන් වුණු පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් තිබෙනවා. මෙතෙක් නිකුත් කරන ලද ප්‍රතිඵල අනුව බොහෝ ආසන සංඛ්‍යාවක බහුතර බලය ලබාගන්න ජාතික ජන බලවේගය සමත් වෙලා තිබෙනවා. මේ පළාත් පාලන මැතිවරණයෙදිත් ජාතික ජන බලවේගය ගැන විශ්වාසය තබමින් එහි ගමනට ධෛර්ය දෙමින් විවිධාකාරයෙන් සහයෝගය දුන් සියලුම දෙනාට ස්තුතිය පළ කරනවා.

ජනතාව මාලිමාව අනුමත කර තිබෙනවා. කිසියම් පක්ෂයක් බහුතර සංඛ්‍යාවක ආසන ලැබුවේ නැහැයි කියන්නේ ඒ පක්ෂය හෝ අදාළ කණ්ඩායම අදාළ සභාවේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරල තිබෙනවා. සමහර පක්ෂ හෝ කණ්ඩායම්වලට එකක්, දෙකක් හෝ තුනක් අරගෙන ඒ සියලු දෙනාම එකතුවී සභාව පිහිටුවන්න උත්සාහ ගන්නවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. නීතියෙන් බාධාවක් නැති වුණාට, ඒ අය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු කණ්ඩායම්. ගණිතමය ලෙස තමන් දිනා ඇති බව පෙන්වීමට උත්සාහ ගනිමින් ඉන්නවා. සියලුම ආයතන 339කින් ආයතන 254කට වැඩි ප්‍රමාණයක මන්ත්‍රී සංඛ්‍යාවක් ජයග්‍රහණය කරන්න අපි සමත් වෙලා තිබෙනවා. දේශපාලනිකව බැලූවිට මේ මැතිවරණය ජයග්‍රහණය කර තිබෙන්නේ මාලිමාවේ අපි. ජනතාව මාලිමාව විශ්වාස කොට තිබෙනවා. මේ පළාත් පාලන ආයතන බාර දිය යුත්තේ මාලිමාවට කියන එක ජනතාව විශ්වාස කොට තිබෙනවා. අපි ජයග්‍රහණය කොට තිබෙන සියලුම ආයතනවල සභා පිහිටුවා අපි සැලසුම් කොට තිබෙන ව්‍යාපෘති, රට වෙනස් කිරීමේ කාර්ය, පාර්ලිමේන්තුවෙන් පටන්ගත් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ කාර්යය ගම දක්වා ගෙන යාමට පුළුවන්කම තිබෙනවා.

අපි රටේ වෙනසක් කිරීමට පටන් ගත්තා. වංචා, දූෂණ නැති ආණ්ඩුවක් නිර්මාණය කළා. වංචා දූෂණ නැති ප්‍රාදේශීය සභා, නගර සභා හැදීමේ කාර්ය කරන්න උවමනාව තිබෙනවා. කොන්ත්‍රාත්වලින් හම්බ කරන්නේ නැති, පගා ගහන්නේ නැති, පාලනයක් පළාත් සභාවල නිර්මාණය කිරීමට අවශ්‍යයි. ඒ වගේම මහජන මුදල් නාස්ති නොකර ජනතාවට සේවය කිරීමේ සංස්කෘතිය පටන්ගෙන තිබෙනවා. ඒ සේවය අපට ගමටත් ගෙනියන්න පුළුවන්කම තිබෙනවා. රටක් ලෙස පටන්ගත් දේශපාලන සංස්කෘතියේ වෙනස්කම්, වංචා දූෂණවලින් තොරව පාලනය කිරීම, මහජන මුදල් සොරකම් නොකිරීම, නාස්ති නොකිරීම, වැනි වටිනා දේවල් බිමට ගෙනත් ගම තුළත් එය තහවුරු කර, රට අලුත්ම දිසාවකට ගෙනයාමට මේ ජයග්‍රහණය ඉවහල් වෙනවා. ජනතාව පක්ෂයක් ලෙස මාලිමාව ගැන විශ්වාසය තබා, අනුමත කොට, මාලිමාවට බලය ලබා දී තිබෙනවා. ඒ නිසා අපට ජයග්‍රාහීව ඉදිරිගමන යා හැකිව තිබෙනවා. ඉදිරියේදී සභා පිහිටුවා ගනිමින්, ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කර ගනිමින්, මේ රට වෙනස් කිරීමට දරන ප්‍රයත්නයට තවත් ශක්තිය එකතුකර ගනිමින් කිසියම් හෝ දුර්වලතා තිබෙනවා නම්, ඒවා වෙනස්කර ගනිමින් ඉදිරියට යෑමට අප සූදානම්. ජනාධිපතිවරණයේදිත්, මහ මැතිවරණයේදිත්, ජයග්‍රහණය ලබාදෙමින් විපක්ෂයේ බොරු, බේගල් පැත්තකට දමා මාලිමාවට ජයග්‍රහණය ලබාදී තිබෙනවා.

අපි මැතිවරණ සංස්කෘතිය වෙනස් කොට තිබෙනවා. අපි රාජ්‍ය බලය යෙදවූයේ නැහැ. රජය මැදිහත් වෙලා ගැටුම් නිර්මාණය කළේ නැහැ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම අඩුම ඡන්දයක් අපි පැවැත්වූවා. ප්‍රචණ්ඩ ක්‍රියා දෙක තුනක සිදුවීම් වුණත් එය මාලිමාවට එරෙහිව යෙදා ගත් ක්‍රියාවන්. පොළොන්නරුවේ කණ්ඩායම් නායකයාගේ නිවසට ප්‍රහාරයක් එල්ලකොට වාහනයට ගිනි තැබුවා. යාපනයේ අපේ අපේක්ෂකයෙකුට පහර දුන්නා. එවැනි කුඩා සිදුවීම් කිහිපයක් හැරුණු කොට, අපට ඉතිහාසයේ සිදු කළ බඩු බෙදමින්, (සිල් රෙදි බෙදීම් වැනි) ක්‍රියාවන් නොකර නිදහසේ ඡන්දය දෙන්න අවස්ථාව උදාකර දෙන්න හැකියාව ලැබුණා. මේ සියලු තත්වයන් යටතේ වුවත් අපට විශාල ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ ජයග්‍රහණය ලබාදීමට කටයුතු කළ සියලුම දෙනාට නැවතත් ස්තුති කරනවා.

Dr Nihal Abeysinghe addressing at the Press Conference after local election

ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

ඊයේ (06 දා) පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය ජයග්‍රහණය ලබා තිබෙනවා. පසුගිය මාස 08ක කාල සීමාවක් තුළ තුන් වැනි වරට ජාතික ජන බලවේගය පිළිබඳව විශ්වාසය පළ කරමින් ජයග්‍රහණය ලබා දෙමින් තිබෙනවා. මේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ අවුරුදු හතකට පසුව. මේ මැතිවරණය අවසන් වරට පැවැත්වූයේ 2018 වසරේදි. පූර්ව මැතිවරණ සමය ඉතාමත් සාමකාමියි. පශ්චාත් මැතිවරණ කාලයත් ඉතාම සාමකාමියි.
පළාත් පාලන ආයතනවල කොට්ඨාස විශාල ප්‍රමාණයක සුවිශේෂී බලයක් ජනතාව ලබාදෙමින් තිබෙනවා. මේ මැතිවරණයේ සමානුපාතික ක්‍රමය හරහා අනෙකුත් පක්ෂවලටත් සභිකයන් ලැබෙනවා. මේ නිසා සභාවන් පිහිටුවීමේදී කිසියම් බල තුලනයක් කර ගත යුතුයි. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සෑම පළාත් පාලන ආයතනයකම ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් සභාව පිහිටුවා ගැනීමට කටයුතු කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතන, නගර සභා, ප්‍රාදේශීය සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා, තමයි කොට්ඨාසවල සංවර්ධන කටයුතු කෙරෙන්නේ. එම සංවර්ධන කටයුතු කිරීමේදී මෙම පළාත් පාලන මැතිවරණ හරහා අපි ලබා ගත්ත ජයග්‍රහණ වැදගත් වෙනවා. අපේ කොට්ඨාසවල අතපසු වුණු විවිධ කාර්යයන් කර ගැනීමට ඉදිරියේදි අවස්ථාව උදාවෙනවා. ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමේදී සියලු සභාවල සභිකයන් ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් සභාවල කෙරෙන කටයුතුවලදී අප සමග සහයෝගයෙන් වැඩ කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.

Saroja Polraj addressing at the Press Conference after local election

කාන්තා හා ළමා කටයුතු ඇමති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහෝදරිය

පළාත් පාලන මැතිවරණයේදී දායකත්වය ලබාදුන් සියලුම දිස්ත්‍රික්කවල, අපත් සමග එකතුවී වැඩකළ සංවිධානවලට, ඡන්දය දුන් සියලුම ජනතාවටත්, පක්ෂයේ සියලුම දෙනාටත් සුතුතිවන්ත වෙනවා. අපි ජනතාවට පොරොන්දු වූ පරිදි, මධ්‍යම රජයෙන් ගනු ලැබූ තීරණ වගේම, ප්‍රාදේශීය මැතිවරණයේදිත් ජනතාව සමග එකඟතාවකට ආවා. අපි ජනතාවට පොරොන්දු ලබා දුන්නා. මේ ප්‍රදේශ සංවර්ධනය කරන්නේ කෙසේද, ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂාව, සෞඛ්‍යය දියුණු කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ ප්‍රදේශයේ මූලික මිනිස් අවශ්‍යතා වෙනුවෙන් අපි ඉලක්ක කළ යුත්තේ කොහොමද? “ක්ලීන් ශ්‍රී ලංකා” හරහා ගම් නගර දියුණු කරන එක මේ පළාත් පාලන ආයතනවල ක්‍රියාවලියත් එක්ක අපි ඉතා ඉක්මනින් වැඩ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලයේ ප්‍රාදේශීය සභාවල, නගර සභාවල කාර්යන් නතර වී, බිඳ වැටී තිබුණු අකාර්යක්ෂමතාවයන් ඉවත් කොට ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරනවා. රජයක් හැටියට අපි ඒවායේ වගකීම් බාර ගන්නවා.

Press Conference after local election

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු:

ප්‍රශ්නය: සමහර තැන්වල 50%ක් වත් ඡන්ද නැති බව දකින්න ලැබුණා. ඔබලාට විපක්ෂයේ සහයෝගය ලබා ගන්න හැකියාවන් ලැබේවිද?

පිළිතුර: සභාවක වැඩි ඡන්ද ලබාගත් පක්ෂයට තමයි සභාව පිහිටුවීමේ සදාචාරාත්මක බලය ලැබෙන්නේ. සභාවක් පිහිටුවිය යුත්තේ දිනන ලද අය එකතු වෙලා. අපි සභා පිහිටුවීමේදී තනි තනිවම ඉදිරිපත් වූ අයත්, ස්වාධීනව ආව අයත් ඉන්නවා. ඒ අය අපට උදව් කරන්න කැමති නම්, අපට පුළුවන් එයාලට උදව් කරන්න. අපි ජනතාව දුන් වරම අනුව සභාව පිහිටුවනවා. ජනතාව ප්‍රතික්ෂේප කළ කුඩා කණ්ඩායම් එක්ක එකතු වී සභා පිහිටුවීම සාර්ථක වේවිද කියන්න අපහසුයි. ජනතාව ප්‍රතික්ෂේප කළ පක්ෂ සමග කිසිසේත්ම එකතු වෙන්නේ නැහැ.

සභාවක වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් අයට තමයි, සභාව පිහිටුවන්න කියා ආරාධනා කරන්නේ. අනෙක් අයට සිදුවෙන්නේ, සභාවෙදි ඊට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න. ඒ අනුව තමයි කටයුතු කරන්න වෙන්නේ.

ප්‍රශ්නය: අයවැයේදි ප්‍රශ්නයක් වුවහොත්?

පිළිතුරු: එසේ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. කොහොමත් සභාපතිවරයාට, සභාව පවත්වාගෙන යාමට විශේෂ බලයක් තිබෙනවා. තීරක ඡන්දයක් සභාපතිවරයාට තිබෙනවා. අපි හොඳ අයවැයක් ඉදිරිපත් කළොත් ඒකට විරුද්ධ වෙන්න කිසිවෙකුට පුළුවන්ද කියන කරුණ තිබෙනවා. අපි මහජන මුදල් නාස්ති කරන්නේ නැති නම්, සොරකම් කරන්නේ නැති නම්, කොමිස්, කොන්ත්‍රාත් ගහන්නේ නැතිනම්, බිම හදන හොඳ වැඩපිළිවෙළකට කිසිවෙකුට විරුද්ධ වෙන්න හැකියාවක් නැහැ. ඡන්ද ප්‍රතිඵල බලලා, ඉලක්කම් එකතු කොට සතුටු වෙන්න හදන අයට, අපි කියනවා යථාර්ථය ඊට වඩා වෙනස්. අපි සභා පිහිටුවලා බලමු.

කවුරු හෝ පුද්ගලයෙකුට හිතුනොත් තමන් ඉන්න තැනට වඩා මෙතන හොඳයි, එයට උදව් කරනවා කියලා. ඒකට කිසිවෙකුටත් බාධාවක් නැහැ. අපි පක්ෂත් එක්ක එකතු වෙලා, සන්ධාන ගහලා සභා පිහිටුවන්න කිසිම අදහසක් නැහැ. ඒ පක්ෂ පැරදුනු හා ප්‍රතික්ෂේප වූ පක්ෂ. ඒ නිසා ඒ පක්ෂත් සමග එකතු වීමට අවශ්‍ය නැහැ.

Bimal Rathnayake addressing at the Press Conference after local election

ප්‍රශ්නය: උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිඵලය ගැන ඔබතුමන්ලාගේ අදහස මොකක්ද?

බිමල් රත්නායක සහෝදරයා පිළිතුරු දෙමින්….

උතුරු නැගෙනහිර සභාවක් පිහිටුවීමට කිසිම දේශපාලන පක්ෂයකට සම්පූර්ණ බලය ලැබී නැහැ. ජාතික ජන බලවේගය ලෙස ගත්තොත් අපට මන්ත්‍රී ධුර 150ක් උතුරු පළාතෙන් ලැබී තිබෙනවා. දැනට තිබෙන ප්‍රතිඵල අනුව මන්නාරම් දිස්ත්‍රික්කයේ සහ වවුනියාව දිස්ත්‍රික්කයේ වැඩිම සභික සංඛ්‍යාව සහ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගෙන තිබෙනවා. ඒ වගේම යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර 81ක් සමග වැඩි ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. අපට ප්‍රාදේශීය සභාවක් උතුරු පළාතේ තිබී නැහැ. වවුනියාවේ එක සභාවක් තිබිලා තියෙනවා. මන්ත්‍රී ධුර 150ක් ලැබීම ඉතිහාස ගත වන අවස්ථාවක්. අවුරුදු සියයක් පමණ පාරම්පරිකව පාලනය කළ පක්ෂ බිඳ වැටී තිබෙනවා. නැගෙනහිර පළාතෙත් ප්‍රාදේශීය දේශපාලන පක්ෂවල බලය විශාල වශයෙන් තිබූ පළාතක්. ජාතික දේශපාලනයේ නැති වුණාට ප්‍රදේශ තුළ, ජාතිකත්වයන් තුළ හදාගත්ත පක්ෂ තමයි තිබෙන්නේ. 2018 සාපේක්ෂව ගත්තොත් අපි ඒ මුළු පළාතෙන්ම පිමි ගණනාවකින් ඉස්සරහට ඇවිත් තිබෙනවා. ජාතික දේශපාලනයේ සහ ප්‍රාදේශීය දේශපාලනයේ විශාල වෙනසක් තිබෙනවා. ජාතික ජන බලවේගය හැරුණු විට අනෙකුත් පක්ෂ අවුරුදු 20ක් 25ක් පැරණි දේශපාලනය කරපු, සභාපතිකම් කරපු, මන්ත්‍රීකම් කරපු අය තමයි අපේක්ෂකයන් වී ඉන්නේ. කොට්ඨාස ක්‍රමය නිසා කිසියම් බලපෑමක් විශේෂත්වයක් තිබෙනවා. කාලයක් සිටි අයට අමතර වාසියක්ද තිබෙනවා. උතුරු නැගෙනහිර ජනතාවත් එක්ක අපි, අනුර සහෝදරයා ජනාධිපති වශයෙනුත්, දේශය මක්කල් ශක්ති විදිහට අපි හදාගත් ඒ සැලැස්ම ඉතාමත් ශක්තිමත්වී තිබෙනවා. දැනටමත් තිබෙන සාකච්ඡා තොරතුරු අනුව, උතුරු පළාතෙත්, නැගෙනහිර පළාතෙත් සභා ගණනාවක් ජාතික ජන බලවේගයේ සභා පිහිටුවන්න පුළුවන් වේවි. අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රතිඵලයත් එක්ක ඉදිරියට යන්න.

සමස්ත ලංකාවෙම 2018දි අපට ප්‍රාදේශීය සභා බලයක් තිබුණේ නැහැ. එතැනින් පසුව අද 250ක් වඩා බලයක් ලබා තිබෙන්නේ. මේ අවස්ථාවේ එයත් සැලකිල්ලට ගත යුතුව තිබෙනවා. උතුරු සහ නැගෙනහිර පළාත වගේම අනෙක් පළාත්වලත් බිම් මට්ටමේ බලය ශක්තිමත් කරගෙන තිබෙනවා. කොට්ඨාස අති විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කර තිබීම විසින් ආණ්ඩුවේ දේශපාලන බලයත්, ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාවලියත් ඉතාම පහසුවෙන් කරන්න හොඳ අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. අපේ අනාගත නායකත්වයන් පුරුදු කරන්න අවශ්‍යව තිබෙනවා. සියලුම මන්ත්‍රීවරු සංඛ්‍යාව හාරදහසකට ආසන්නයි. ඒක අපට විශාල ශක්තියක්. තරුණ පිරිස්, කාන්තාවන් විශාල පිරිසක් එකතු වෙනවා. මේ මැතිවරණයෙන් අපි සැලකිය යුතු අඩිතාලමක් දමාගෙන තිබෙනවා.

ප්‍රශ්නය: සභා පිහිටුවීමේදී ඔබතුමන්ලාගේ සහයෝගය ලබා දෙනවාද?
පිළිතුර: සභා පිහිටුවීමේදී අපි මැදිහත් වෙන්නේ නැහැ. සභා එයාලා පිහිටුවා ගත යුතුයි. නමුත් කඩාකප්පල්කාරී ලෙස ඒවාට බාධා කරන්නේ නැහැ. උතුරු පළාතේ බහුතර බලයකින් සභාවක් පිහිටුවන්න කෙනෙක් නැහැ. ඒ හැම කෙනාටම සිදුවෙලා තිබෙනවා කාගේ හෝ උදව් ගන්න. උතුරු පළාත් ප්‍රධානම නගර සභාවල පවා දැනටමත් අපෙන් ඉල්ලීම් කරමින් තිබෙනවා. ඔවුන් කැමතියි ආණ්ඩු පක්ෂය වන අපත් සමග මේ ගමන යන්න. එවැනි ඉල්ලීම් බොහොමයක් තිබෙනවා. ඒ සම්බන්ධව ප්‍රධාන ලේකම්තුමා ඉදිරිපත් කළ අයුරින් කටයුතු කිරීමට බලා පොරොත්තු වෙනවා.