Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
“ඡන්දෙට බඩු බෙදන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහැර ආණ්ඩුව හොර පාරක් හදාගෙන” -විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා- ජපානයේ වෙසෙන ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ හමුව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ජන බලවේගයේ නායකයා අතර හමුවක් “රනිල් වික්‍රමසිංහ තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිත කළ නායකයෙක් ලක් ඉතිහාසයේ නැහැ” -නීතිඥ සුනිල් වටගල- “මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීමයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-
X

“ජනතාවට තීරණාත්මකව බලපාන අධ්‍යාපනය සම්බන්ධ තීන්දු තීරණ ගන්න ජනාධිපතිට කිසිම අයිතියක් නැහැ” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-

(ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.04.08)

pressnpppress

මේ වන විට සමාජයේ කතා බහට ලක්වෙන වැදගත් ප්‍රතිපත්තියක් ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කර තිබෙනවා. “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව” යනුවෙන් හැඳින්වෙන ඒ ප්‍රතිපත්ති මාලාව මගින් මේ දක්වා යම් පමණකට හෝ ආරක්ෂා වී තිබූ නිදහස් අධ්‍යාපන ක්‍රියාවලියේ කොඳු නාරටිය බිඳ දමා මුදල් උපයන යාන්ත්‍රණයක් බවට පත්කර ගැනීමට සැලසුම් කරගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විශ්වවිද්‍යාල සහ ඉන් පිට කණ්ඩායම්වලත් සාකච්ඡාවට ලක්වී තිබෙනවා. මෙය අධ්‍යාපනයට කරනු ලබන ඉතාමත් ප්‍රතිගාමී මැදිහත්වීමක් විදිහටයි අපි දකින්නේ. ඒ සම්බන්ධයෙන් කරුණු ගණනාවක් ඉදිරිපත් කරන්න තිබෙනවා.

අපේ රටේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කුමන ගැටලු මධ්‍යයේ වුවත් මේ දක්වා පවතිනවා. එසේම එය සුරක්ෂිත විය යුතු බව අපි සියලු දෙනාම පිළිගන්නවා. අපේ රට මේ තත්වයෙන් හෝ පවත්වාගෙන යාමට නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කොතරම් දායක වුණාදැයි අපි සියලු දෙනාටම අවබෝධයක් තිබෙනවා. හඳුන්වාදී තිබෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් මේ පවතින තත්වයත් ආපසු ගෙනයන්නයි උත්සාහ කරන්නේ. පුද්ගලීකරණයේ දිසාවට යොමු කරමින් තිබෙන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය පමණක් නොවෙයි, මේ ප්‍රතිපත්ති රාමුව තුළ පාසල්වල පවා නිදහස් අධ්‍යාපනයේ මූලධර්මවලට ප්‍රහාර එල්ල කීරීමක් දකින්න තිබෙනවා. අතිශයින්ම සරල විදිහට අධ්‍යාපනයේ අරමුණු ඉදිරිපත් කරමින් දැක්මක් නැති පසුගාමී කරුණු මේ තුළ ඇතුළත් වෙනවා. මේ ප්‍රතිපත්ති රාමුව පිළිබඳ වගකීම දරන කෙනෙක් නැහැ. අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක් තිබෙනවා. එහි මුලින්ම ජාතික අධ්‍යාපන කොමිසම ප්‍රතිපත්ති සම්පාදනයේ සිටිනවා. නමුත් අධ්‍යාපන කොමිසන් සභාව මේ ගැන දන්නේ නැහැ. එය නිෂ්ක්‍රීය කරනු ලැබ තිබනවා.

මේ ප්‍රතිපත්ති රාමුව පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් නිවේදනයක් නිකුත් කළා. උසස් අධ්‍යාපනයට මෙයින් සිදුවන බලපෑම පිළිබඳව සවිස්තර කරුණු ඉදිරිපත් කර තිබුණා. එයට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන රාජ්‍ය ඇමති සුරේන් රාඝවන් ප්‍රශ්න කරන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ආවේ කොහෙන්ද කියලයි. අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒ ගැන නොදන්නා බව කියනවා. මෙය නිකුත් කර තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මුද්‍රාවෙන්. මේ සම්බන්ධයෙන් නිල වගකීමක් දරන අධ්‍යාපන කොමිසම හෝ විෂය භාර ඇමති හෝ නොදැනගෙන මේ වාර්තා නිකුත් වන්නේ කාගේ අවශ්‍යතාවලට අනුවදැයි බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය, වෙනත් වගකිව යුතු ආයතන කිසිවක් නොදැනගෙන අඩුම තරමින් ව්‍යවස්ථා සභාව වත් නොතකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැසිරෙන බව මෙයින් යළිත් තහවුරු වෙනවා. ඔහුට ඕනෑ කමිටු මගින් ප්‍රතිපත්ති සකස් කර, අදාළ නිල ව්‍යුහය සම්පූර්ණයෙන්ම ඉවත දමා ජනවරමක් නැති මේ ජනාධිපති ක්‍රියා කරනවා. එය අතිශයින්ම භයානක දෙයක්. රනිල් වික්‍රමසිංහ කියන්නේ රටම ප්‍රතික්ෂේප කළ දේශපාලන කඳවුරක නියෝජිතයායි. ඔහුට කිසිම ජනවරමක් නැහැ. ව්‍යවස්ථාවෙන් පැනවුණු සීමිත වගකීමක් පමණයි තිබෙන්නේ. තව මාස කිහිපයකින් එය අවසන් වෙනවා. ඒ අතරතුර රටටත් ජනතාවටත් තීරණාත්මක ලෙස බලපාන තීන්දු තීරණ ගන්න ඔහුට කිසිම අයිතියක් නැහැ. ඔහුට කිසිම අයිතියක් නැති ප්‍රදේශවලට කඩා වැදී කරන මේ ක්‍රියාවලට අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැති බව අවධාරණය කරනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මේ මොහොතේ ආණ්ඩුවේ එක් එක් අය විවිධ ප්‍රතිපත්ති රාමු ඉදිරිපත් කරනවා. රනිල් වික්‍රමසිංහගෙන් එකක්, විජේදාස රාජපක්ෂගේ කමිටුවෙන් තව යෝජනාවලියක්, ඇමතිවරයා තව යෝජනාවලියක් ගැන කතා කරනවා. ඒ එකක්වත් නිවැරදිව ඉදිරිපත් වුණේ නැහැ. විජේදාස රාජපක්ෂ ඇමතිවරයාගේ කමිටුවේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මමත් හිටියා. ඒ කමිටු වාර්තාවට විරෝධය පාමින් මම අත්සන් කළේ නැහැ. සමගි ජන බලවේගයේ එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයාට එයට අත්සන් කළා. ඔහු ළඟදී සඳහන් කර තිබුණා මම එයට අත්සන් නොකළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නිසා කියලා. ඒ යෝජනාවලට අපි එකඟ නොවෙන නිසා තමයි අත්සන් නොකළේ. නමුත් ඔහුගේ පක්ෂයත් ඒ පිළිබඳව ඒකමතික තැනක නැහැ. ඒ කමිටුවේ යෝජනාවලට අත්සන් කළත් ඔහුගේම නායකයා විශ්වවිද්‍යාල ආචර්යවරුන් හමුවේ ප්‍රකාශ කළේ “එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා මේ වාර්තාවට අත්සන් කළාට නායකයා හැටියට මම ඒ වාර්තාව පිළිගන්නේ නැහැ” කියලා. එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයාට මම යෝජනා කරන්නේ අපේ ප්‍රතිපත්ති තීරණ ගැන කතා කරනවාට වඩා ඔහුගේ පක්ෂයේ ඒකමතිකත්වයක් නැති කරුණු ගැන අවධාරණය කිරීම හොඳයි කියලා.

pressnpppress

“මින් ඉදිරියට බිහිවන විශ්වවිද්‍යාල පළාත් සභාවලට පවරන්න රනිල් යෝජනා කර තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය දිලීප විතාරණ-

අපේ රටට 1931 නිදහස් අධ්‍යාපනය හඳුන්වාදීමෙන් පසු ඉදිරිපත් කරන බරපතළම සංශෝධනය ආණ්ඩුවෙන් යෝජනා කර තිබෙනවා. විවිධ කාලවල විවිධ අභියෝගවලට ලක්වෙමින් තිබුණත් උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය මූලික පදනමෙන්, මූලික හරයෙන් මෙතුවක් කල් පැවතුණා. අවුරුදු 93ක් පමණ වන නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට එල්ල කරන දැවැන්තම ප්‍රහාරයක් හැටියට අලුත් සංශෝධන හඳුන්වන්න පුළුවන්. මේ තියෙන්නේ නිදහස් අධ්‍යාපනයේ සම්පූර්ණ හරය වෙනස් කරන යෝජනාවලියක්. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නව ලිබරල් දෘෂ්ටිය යෝජනා කරන ප්‍රධානම කොන්දේසියක් වන්නේ අධ්‍යාපනයෙන් රාජ්‍යය ඉවත් විය යුතුයි කියන එකයි. අභියෝගවලට ලක්වුණත් සංකල්පීයම ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා සියලුම කලාපවල ක්‍රියාත්මක වුණා. මෙයින් යෝජනා කරන්නේ ශිෂ්‍යයන්ට තවදුරටත් නොමිලේ අධ්‍යාපනය නොලැබෙන බවයි; මුදල් ගෙවා ඉගෙන ගත යුතු බවයි. රජයෙන් උසස් අධ්‍යාපනයට මෙතෙක් යෙදවූ මුදල් නවතින බවත්, විශ්වවිද්‍යාල අධ්‍යාපන පද්ධතිය ශිෂ්‍යයන්ගෙන් එකතු කරන මුදල් මත සහ රාජ්‍යයෙන් ලබාදෙන ණය මත පවත්වාගෙන යමින් ණය ගෙවන්නත් විශ්වවිද්‍යාලවලට යෝජනා කර තිබෙනවා. ලෝකයේ මේ වන විට කුප්‍රකටභාවයට පත්ව තිබෙන ශිෂ්‍යයන්ට ණය ලබාදීමත් යෝජනා කර තිබෙනවා. එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් විසින් ලබාගත් මෙවැනි ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා පත්ව සිටින ඛේදනීය තත්වය ගැන බරපතළ සාකච්ඡා පවතිනවා.

මධ්‍යම ආණ්ඩුව ප්‍රාථමික සහ ද්වීතික අධ්‍යාපනයෙන් ඉවත්වී පළාත් සභා රාමුවට භාරදීමට නියමිතයි. දැනට මධ්‍යම ආණ්ඩුව යටතේ පවතින ජාතික පාසල් පවා පළාත් සභාවලට බාරදෙන්න යෝජනා කරනවා. මෙහි තිබෙන දේශපාලන අර්ථය තේරුම් ගැනීම ඉතාම වැදගත්. 1987 සිට හරියට ක්‍රියාත්මක නොවුණු යාන්ත්‍රණයක් පළාත් සභාවල තිබෙන්නේ. එවැනි තැනකට ප්‍රාථමික සහ ද්වීතියික අධ්‍යාපනය තල්ලු කර දැමීම තුළින් රාජ්‍යය සහමුලින්ම අධ්‍යාපනයෙන් ඉවත්වීමේ මුල් පියවර තබනවා. 2014න් පස්සේ පළාත් සභා ඡන්දයක් වත් පවත්වා නැහැ. එවැනි තැනකට ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය බාරදීමටයි සූදානම් වෙන්නේ. මින් ඉදිරියට විශ්වවිද්‍යාල බිහිකරනවා නම් ඒවත් පළාත් සභාවලට පැවරීමට යෝජනා කර තිබෙනවා. මින් මතුවට ජාතික විශ්වවිද්‍යාල බිහි නොවෙන බව එයින් කියවෙනවා. ඒ වගේම ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනයට මුදල් වෙන්කිරීමට තීරණය කරන්නේ අදාළ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව මත සහ ඒ පාසල් පවත්වාගෙන යාමේ තත්වය මත බව කියා තිබෙනවා. එයින් සිදුවන්නේ දැනට පවතින ජනප්‍රිය, බලවත් පාසල්වලට රජයේ මුදල් වෙන්කිරීම් සිදු වීමයි. කුඩා පාසල්වලට සම්පූර්ණයෙන්ම අරමුදල් නොමැති වී යනවා. තව පැත්තකින් අධ්‍යාපනය ලබාදීමේ භාෂා මාධ්‍යය ලෙස ඉංග්‍රීසි යෝජනා කර තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවට විශේෂ තැනක් දීමේ හේතුව මත මේ වන විට යම් තරමකින් හෝ රැකී තිබෙන සමාජ සාධාරණත්වය සහමුලින්ම අහෝසි වෙනවා.

ඕනෑම අලුත් ප්‍රතිපත්ති රාමුවක සම්පාදකයින් කවුදැයි පළමුවෙන් හඳුන්වා දෙනවා. නමුත් මෙහි එම වගකීම් දරන කණ්ඩායමක් සඳහන් කර නැහැ. නමුත් සමාජ මාධ්‍යයේ සංසරණය කෙරෙමින් තිබුණු වාර්තාවක් අනුව ඒ වෙනුවෙන් 25 දෙනෙකු මැදිහත් වී තිබෙනවා. ඔවුන් අතර විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය නැහැ. විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිපත්ති සඳහා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දිගටම මැදිහත්වීම් කරගෙන යනවා. ඒ වගේම ගුරු සංගම් හෝ ශිෂ්‍ය සංගම් කිසිවක් 25 දෙනාගේ කණ්ඩායම තුළ නැහැ. අධ්‍යාපනය ව්‍යාපාරයක් ලෙස දකිනා විවිධාකාර පිරිස් මේ තුළ සිටිනවා. රාජ්‍ය නිලධාාරීන් හැරුණු කොට පෞද්ගලික විශ්විවිද්‍යාල නියෝජනය කරන අය, මහාපරිමාණ සමාගම් සහ නව ලිබරල් ආර්ථිකයේ න්‍යායාචාර්යවරුන් එකතු වී මේ ප්‍රතිපත්ති රාමුව සකස් කර තිබෙනවා. 1931 සිට ක්‍රියාත්මක වන නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලැබූ පුද්ගලයන් විසින්ම මේ විකාර සහගත ප්‍රතිපත්ති රාමුව ගෙන ඒම බැරෑරුම්ම කාරණයක් වෙනවා. මෙපමණ කල් තිබුණු කිසිම ආණ්ඩුවක් නොකළ මේ තරම් බැරෑරුම් ප්‍රහාරයක් නිදහස් අධ්‍යාපනයට එල්ල කරන්නේ කෙසේ දැයි අපි ප්‍රශ්න කරනවා.

pressnpppress

“අධ්‍යාපනය පිළිබඳ වගකීමෙන් රජය ඉවත් කරන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව පෙළගැසිය යුතුයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය අනුර කරුණාතිලක-

අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් නිදහස් අධ්‍යාපන පනත වගේම ලංකාව අත්සන් කර තිබෙන ආර්ථික, සමාජීය හා සංස්කෘතික ජාත්‍යන්තර ප්‍රඥ්ප්තිය යන මූලික කරුණු දෙක ඉතාම වැදගත්. ජාත්‍යන්තර ප්‍රඥ්ප්තිය මගින් සියලු දෙනාටම අධ්‍යාපනය ලබාගැනීමට තිබෙන අයිතිය තහවුරු කර තිබෙනවා. නිදහස් සමාජීය පුරවැසියෙක් නිර්මාණය වන්නේ අධ්‍යාපනයෙන් බව පිළිගන්නවා. ඒ වගේම සියලු ජාතිකත්වයන් අතර අන්‍යෝන්‍ය අවබෝධය සාමය සහ සමගිය තහවුරු වන්නේ පුරවැසියන්ගේ අධ්‍යාපනයෙන් බව පිළිගන්නවා. විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපනය සහ ද්විතීයික අධ්‍යාපනය ඒ වෙනුවෙන් තහවුරු කළ යුතු බව පිළිගන්නවා. ඕනෑම මට්ටමක අධ්‍යාපනයක් ලබා ගැනීමේ සමාන ප්‍රවේශයක් පුරවැසියන්ට තිබිය යුතු බව පිළිගෙන තිබෙනවා. තමන්ගේ හැකියාව සහ විභවතාවය මත රාජ්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමේ ප්‍රතිලාභ ලබාගැනීමේ අයිතිය තහවුරු කළ යුතු බවත් සඳහන් වෙනවා. දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මේ මූලධර්ම සියල්ල අමතක කරමින් සකස් කළ ප්‍රතිපත්ති රාමුවක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා. මේ ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කළහොත් ගුණාත්මක අධ්‍යාපනය සමාජයේ එක් කොටසකට පමණක් සීමාවීම වැළැක් විය නොහැකියි. මේ වන විටත් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පවතින විෂමතාවයන් වඩාත් පුළුල් කරමින් තහවුරු කරන්න මේ යෝජනාවලියෙන් ඉඩ සැලසෙනවා.

ආයෝජන සහ සම්පත් යනුවෙන් නම්කර තිබෙන මාතෘකාව යටතේ මුල් ළමාවිය අධ්‍යාපනයේ සිට 12 වසර දක්වා අධ්‍යාපනය ලබන සිසුන්ට ගෙවීමට ඇති හැකියාවට බාධා නොවෙන ලෙස ක්‍රියා කළ යුතු බව සඳහන් වෙනවා. මේ කියන්නේ විෂය බාහිර ක්‍රියාකාරකම්ද ඇතුළුව පාසල්වලට මුදල් අයකර ගැනීමට මේ වන විට තිබෙන බාධාවන් සියල්ල ඉවත් කරන බවයි. ඒ වගේම විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කරමින් වෙනම ජාතික උසස් අධ්‍යාපන කොමිසම යනුවෙන් ආයතනයක් හඳුන්වා දී රාජ්‍ය, රාජ්‍ය නොවන, ජාතික හා පළාත් උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන ප්‍රමිතීන් සහතික කරන්න යෝජනා කර තිබෙනවා. උසස් අධ්‍යාපන ආයතනවලට මුදල් ලබාදීමේ ක්‍රියාවලියෙන් ඉවත් වී අධ්‍යාපන ප්‍රමිතිය සකස් කිරීම පමණක් මෙයින් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට පවරනවා. මුදල් අයකර ගැනීම, සිසුන් බඳවා ගැනීම, පරිපාලනය ඇතුළු සියලු කටයුතු ඒ ඒ අධ්‍යාපන ආයතනයට පවරා දීමට යෝජනා කරනවා. මෙයින් අදහස් කරන්නේ ආදළ ආයතන තමන්ගේ මුදල් සොයා ගත යුතු බවයි. සමහර විට විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ අධ්‍යාපන ප්‍රමිතීන් අඩුකර වැඩියෙන් සිසුන් ඇතුළත් කරගෙන වැඩියෙන් මුදල් උපයා ගැනීමටත් මෙයින් ඉඩ ලැබෙනවා. අනෙක් පැත්තෙන් මුදල් ජනනය කර ගැනීම සඳහාම වූ පාඨමාලා හඳුන්වා දෙන්නත් යොමු වෙනවා.

මේ දක්වා නිදහස් අධ්‍යාපන ක්‍රියාවලිය යම් පමණකට හෝ ආරක්ෂා වී තිබූ කොඳු නාරටිය බිඳ දමා මුදල් උපයන යාන්ත්‍රණයක් බවට පත්කර ගැනීමට සැලසුම් කරගෙන තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මූලික කරගෙන මේ නව ප්‍රතිපත්ති රාමුව ඉදිරිපත් කර ඇති බව පැහැදිලියි. රජයෙන් අධ්‍යාපනයට මුදල් යෙදවිම, ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම, සියලු දෙනාටම අධ්‍යාපනය ලබාදීමේ වගකීමෙන් රජය ඉවත්වීම, යන කටයුතු එකවර අවසන් කරන යෝජිත ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සියලු දෙනා පෙළගැසිය යුතුයි.

pressnpppress

මාධ්‍යවේදීන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න

ප්‍රශ්නය:- මේ ප්‍රතිපත්ති රාමුවත් අධ්‍යාපන ධවල පත්‍රිකාව අතර වෙනසක් තිබෙනවාද?

ආචාර්ය හරිනි අමරසූරිය:- අධ්‍යාපන ධවල පත්‍රිකාවටත් වඩා අතිශයින් භයානක එකක් මේ ඉදිරිපත් කර තිබෙන්නේ. අධ්‍යාපනයෙන් රජය ක්‍රමානුකූලව ඉවත්වීමේ ආරම්භය ධවල පත්‍රිකාවෙන් ගෙන ආවා නම් මෙය ඊටත් වඩා පුළුල් පරාසයකට විදිහී යනවා. ධවල පත්‍රිකාවෙන් බලපෑම් සිදුවූයේ උසස් අධ්‍යාපනයට. නමුත් යෝජිත ප්‍රතිපත්ති රාමුව පාසල් අධ්‍යාපනයෙනුත් රජය ඉවත්වීමේ අතිශය භයානක යෝජනාවක්.

අදටත් පාසල් අධ්‍යාපනය රාජ්‍යයෙන් ක්‍රමානුකූලව ඉවත් කරමින් දෙමාපියන්ට විශාල මූල්‍ය බරක් බවට පත්කර තිබෙනවා. එය මේ දක්වා සිදුවන්නේ නොනිල මට්ටමකින්. එය රජයේ ප්‍රතිපත්තියක් හැටියටම ක්‍රියාත්මක කරන්නයි මේ සූදානම් වෙන්නේ. පාසල්වලට මුදල් අය කිරීමේ අයිතිය තහවුරු කරන්නේ ඒ නිසයි. නමුත් රජයෙන් තහවුරු කළ යුත්තේ ආර්ථික පසුබිම කුමක් වුවත් දරුවෙකුට අධ්‍යාපනය ලැබීමේ අයිතියයි. නමුත් මෙයින් තහවුරු කරන්න යන්නේ මුදල් ගෙවා අධ්‍යාපනය ලබාගැනීමට තිබෙන අයිතියයි. මේ යෝජනා කර තිබෙන විදිහට ගරු වැටුප් ගෙවීම වුවත් පාසලකටම කරගන්න සිදුවේවි. හරි නම්, දුප්පත් පාසල්වලට රජය වැඩියෙන් මැදිහත් වී ශක්‍යතාවයන් වැඩිකර ගැනීමට උදව් කළ යුතුයි. නමුත් මේ ප්‍රතිපත්ති රාමුවෙන් යෝජනා කරන්නේ එවැනි පාසල් සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමයි. මේ යන විදිහට අධ්‍යාපනයත් කොම්පැනියක් වෙනවා. ආණ්ඩුවත් කොම්පැනියක් වෙනවා. ආණ්ඩුව පවත්වාගෙන යන්නේ ව්‍යාපාර කළමනාකරණය කිරීම සඳහා පමණක් වෙන්න පුළුවන්.