(-ජාතික ජන බලවේගයේ විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීම – 2024.06.29-)
අපේ රට වැටී තිබෙන ව්‍යසනයට ප්‍රධාන එක හේතුවක් වී තිබෙන්නේ අපි එකිනෙකාට පැවරී තිබෙන කාර්යභාරයන් පටලවා ගැනීමයි. දේශපාලනඥයන් හැටියට අපට පැවරී තිබෙන කාර්යභාරයත් වෘත්තියවේදීන්, පර්යේෂකයන් සහ විද්‍යාඥයන් හැටියට ඔබට පැවරී තිබෙන කාර්යභාරයත් වෙන් වෙන් වශයෙන් නොගෙන දේශපාලනයේ සැලකිය යුතු බල අධිකාරියකට අනෙකුත් සියලුම දේ යටත්කොට තිබෙනවා. අධ්‍යාපන, සෞඛ්‍යය, වැනි ජාතික මට්ටමේ කටයුතු පමණක් නොව මාර්ග තදබදයක් වැළැක්වීමට සුදු ඉරක් ඇඳීම පවා දේශපාලනඥයන්ගේ ප්‍රතිපත්ති සහ සංකල්ප බවට පත්කොටගෙන තිබෙනවා. අපේ රට මුහුණ දී තිබෙන සමස්ත අර්බුදයේ එක් හේතුවක් වී තිබෙන්නේ සියල්ල දේශපාලන බල අධිකාරියකට යටත්කර තිබීමයි. ඒ නිසා පළමුකොටම දේශපාලකයන්ට ලබාදෙන ජන වරමේ අරමුණ කුමක්ද යන්නත් වෘත්තියවේදීන්, පර්යේෂකයන් හැටියට ඔබට පැවරී තිබෙන වගකීම කුමක්ද යන්නත් නිරවුල් කොට ගෙන අපේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අවිනිශ්චිතතාවය වෙනුවට විශ්වාසවන්ත අනාගතයක් ගොඩනැගීමත් මූලිකම අරමුණ වී තිබෙනවා.
දේශපාලකයන්ට බලය උපදින්නේ ජනතාව ලබාදෙන ජන වරමකින්. ව්‍යවස්ථාවෙන් සහ නීතියෙන් කරන්නේ ඒ ලබාදෙන ජන වරමේ සීමාවන් ලකුණු කර දීමයි. නමුත් අද පාලනයන් සිදුවන්නේ ඒ ජන වරමට පක්ෂපාතී වෙමින්ද? ව්‍යවස්ථාවෙන් සහ අණපනත්වලින් ලබාදී තිබෙන සීමාවන් ඇතුලේ දේශපාලකයන් ක්‍රියා කරනවාද?, ආසන්න උදාහරණයකින් දක්වනවා නම්, නීතිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කිරීමට අවස්ථා දෙකකදී ජනාධිපතිගේ නිර්දේශය ලබා දුන්නා. නීතිපතිවරයා විශ්‍රාම යන අවුරුදු 60 ජූනි 26 වැනිදා සම්පූර්ණ වුණා. අගවිනිසුරුවරයා විශ්‍රාම යාමේ වයස සම්පූර්ණ වෙන්න දෙසැම්බර් 31 දක්වා තිබෙනවා. නමුත් අග්‍රවිනිශ්චයකාරවරයා විශ්‍රාම යන තෙක් නීතිපතිවරයා තබා ගන්න ජනාධිපතිට අවශ්‍ය වුණා. ඒ තුළින් නීතිපතිවරයා අග්‍රවිනිශ්චයකාර ධුරයට පත් කරන්න කල්පනා කළා. ඒ අනුව ජනාධිපති නීතිපති වෙනුවෙන් ලබාදෙන සේවා දිගුවට අදාළ නිර්දේශ ලබාදීම ව්‍යවස්ථාදායක සභාව අවස්ථා දෙකකදී ප්‍රතික්ෂේප කර තිබුණා. සියලු බල ව්‍යුහයන් තමන්ගේ අණසකට යටත් කොට තබා ගන්න කල්පනා කරනා ආකාරයටම විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ සියලු ක්ෂේත්‍රයත් දේශපාලන අධිකාරියේ බල වුවමනාවන්ට යටත් කරන්න උත්සාහ කරනවා.
ජාතික ජන බලවේගය පළමු කොටම මේ බල අධිකාරිය පැවැත්වීම අහෝසි කරනවා. පර්යේෂකයන්, විද්‍යාඥයන්, ව්‍යවසායකයන් ආදී වශයෙන් ඔබට පැවරී තිබෙන කාර්යභාරය ස්වාධීනව කරගෙන යාම සඳහා අවශ්‍ය පරිසරය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් නිර්මාණය කර දෙනවා. ඇතැම් අය අප වෙත ප්‍රශ්නයක් ලෙස යොමු කරන්නේ බලය ලබා ගත්තත් ක්‍රියාත්මක කරන්න ඉන්න පිරිස කවුද කියලා. සාම්ප්‍රදායිකව ගමට ලයිට් දීම සහ පාරට තාර දමා දීම වැනි කටයුතුවල සිටම දේශපාලනඥයන්ගේ මැදිහත්වීම නිසයි ඒ වගේ ප්‍රශ්න අහන්නේ. නමුත් ජාතික ජන බලවේගය මොනවාද කරන්නේ කියලා මේ වැනි ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ නිවැරදිව සටහන් කර තිබෙනවා. එක් එක් ක්ෂේත්‍ර පිළිබඳව විධිමත් අධ්‍යයනයකින් ඒ පිළිබඳව අත්දැකීම් තිබෙන කණ්ඩායම් මගින් ඒ ඒ සියලු ක්ෂේත්‍රවලට අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශන ඒ කණ්ඩායම් විසින් සකස් කරමින් ඉන්නවා. ලබන මස අවසන් වන විට ඒ සමස්ත වැඩපිළිවෙළ එළිදක්වන්න අපි අපේක්ෂා කරනවා. ඊළඟට අහන්නේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ කවුද කියලා. ඒ ප්‍රශ්නය පිටුපස තිබෙන්නේම සියල්ල දේශපාලකයා විසින් කළ යුතු බවයි.
අපි අවධාරණය කරන්නේ ජාතික ජන බලවේගයට මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නොහැකි නම්, සමස්ත ලාංකිකයන්ම එයට සුදුසු නොවන බවයි. අපේ රටේ පුරවැසියන්ට මෙය කළ හැකි නම්, එයින් කියැවෙන්නේ ජාතික ජන බලවේගයට මෙය කළ හැකි බවයි. දේශපාලකයන් හැටියට අපේ අත්දැකීම්, අපේ හැකියාවන්, අපේ නිපුණතාවන් ඇතුළු අපිට අපි ගැන නිසි ඇගයීමක් සහ තක්සේරුවක් තිබෙනවා. ඒ වගේම අපට බාහිරෙන් දැනුම හැකියාවන් සහ නිපුණතාවයන් වගේම අත්දැකීම් පිළිබඳවත් විශාල ක්ෂේත්‍රයක් තිබෙන බව අපි දන්නවා. ඒ නිසා අපේ පාලනයක් යනු දේශපාලකයන් හැටියට අපිත් එයින් පිට විද්‍යාඥයන්, ව්‍යවසායකයන්, පර්යේෂකයන් ඇතුළු විවිධ හැකියාවන් තිබෙන ඔබත් එකතුව සාමූහිකව තීන්දු තීරණ ගන්නවා. අපි කෘෂිකර්මාන්තයට ඒ තීරණ ගන්නේ ඒ ක්ෂේත්‍රයට අදාළ ප්‍රාඥයන්ගෙන්. ළමා වෛද්‍යවරයන්ගෙන් කෘෂිකර්මාන්තය ගැන උපදෙස් ගන්නේ නැහැ. විසිරුණු දැනුමක් සහ හැකියාවන් සමුදායක් මේ රට තුළත් රටෙන් බාහිරවත් පවතිනවා. රාජ්‍යයට හැකියාව සහ සමත්භාවය කියන්නේ ඒ සියලු හැකියාවන් හොඳින් උකහා ගෙන මේ රටත්, ජනතාවත් සම්බන්ධයෙන් වඩා හෙැඳ අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමයි. දේශපාලන අධිකාරිය හැටියට අපේ කර්යභාරයත් ඉන් පරිබාහිර විවිධ ක්ෂේත්‍රවල ඔබේ කාර්යභාරයත් නිශ්චිතව වෙන් කිරීම ජාතික ජන බලවේගයේ අපේ මූලිකම කාර්යභාරයයි. එහෙම නම් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ කවුදැයි මින් පසුව ප්‍රශ්න කළ යුතු නැහැ. මේවා ක්‍රියාත්මක කිරීමට සිටින්නේ ඔබ සියලු දෙනා.
පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයේ මූලිකම අවශ්‍යතාවය වන්නේ කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීමයි. පසුගියදාක ඉන්දියානු යානය ගොඩබැසූ අවස්ථාවේ ඒ විද්‍යාඥයන් බදා වැළඳගෙන සතුටු වූවා. අපේ රටේ ණය වාරික ගෙවීම කල්දමා ගැනීම පිළිබඳව ඔවුන් සතුටු වූවා. ඔවුන් විසින්ම ණය ලබාගෙන, ඔවුන්ම ණය නොගෙවා සිටිමින්, ඔවුන් විසින්ම ණය ආපසු ගෙවීමේ කාලය අවුරුදු කිහිපයක් කල්දමා ගෙන උත්සවශ්‍රීයෙන් සමරනවා. ජනාධිපතිවරයා ජාතික අමතා කතාවක් කිරීම මහා උත්සාහයක් බවට පරිවර්තනය කර ගන්නවා. ඒ කියන්නේ අපි ජයග්‍රහණ නැති ජාතියක් බවට පත්කරලා. ණය ගෙවීම කල්දමා ගැනීමට සමත්වීම අපේ ජයග්‍රහණයක් බවට පත්කර ගන්නවා. ඒ වෙනුවට කඩා වැටී තිබෙන සැම ක්ෂේත්‍රයක්ම ජයග්‍රහණයේ දිසාවට ගෙනයාම සඳහා සැලසුම් සහගතව ක්‍රියා කළ යුතු වෙනවා. මහා භූ කම්පනයන්ට ගොදුරු වී සිටින ජපානය විද්‍යාවේ හා තාක්ෂණයේ ජයග්‍රහණ නොතිබූ කාලයේ විශාල මිනිස් ජීවිත හාන ිවී විශාල ඛේදවාචකයකට මුහුණ දුන්නා. නමුත් වර්තමානයේ මහා භූමිකම්පා ඇති වුවත්, මිනිසුන්ට හානිය අවම කර ගැනීමට හැකිවී තිබෙනවා. නමුත් අපේ රටේ කුඩා ගංවතුරක් හේතුවෙන් 11දෙනෙකු පමණ මිය යාමේ පාරිසරික සමාජ ඛේදවාචකයකට ගොදුරු වී සිටිනවා. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, පාරිසරික වශයෙන් සමාජය බිඳ වැටීමට ලක්වී තිබෙනවා. අපි ඉදිරි පිම්මක් ගන්නේ කොහොමද? පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයේ මහා පිම්මක් පනින්නේ නැතිව ඉදිරි පිම්මක් ගන්න බැහැ.
අපේ ආර්ථිකය ඩොලර් බිලියන 80ක පමණ දැනට හිරවී තිබෙනවා. අපනයන ආදායම ඩොලර් බිලියන 10 – 12 අතර සීමාවක හිරවී ඒක පුද්ගල අදායම ඩොලර් 3800 – 4000ත් අතර කුඩා ප්‍රමාණයක සිරවී සිටිනවා. අපට ගෙවාගත නොහැකි වී සිටින විදේශ ණය පංගුව ඩොලර් බිලියන 41යි. ගලාගෙන යමින් තිබෙන මේ මාවතේම ඉදිරියට යන්න ඉඩ හැරියොත් තවත් ඛේදවාචකයක් විතරයි ඉතිරි වෙන්නේ. ඒ ගලාගෙන විනාශකාරී ආර්ථිකය වෙනුවට තීරණාත්මක හැරවුමක් ලබාගත යුතු වෙනවා. ඒ වෙනුවෙන් විශාල ප්‍රයත්නයක් දරන්න විශාල ශක්තියක් යොදවන්න විශාල මිනිස් සමුදායක අප්‍රතිහත මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා. විනාශකාරී අර්ථයෙන් අලුත් දිශාවකට හැරවිය හැකි වන්නේ අපි හැමෝම ඒ වෙනුවෙන් කැපවී පොහොසත් ජනතාවක්, පොහොසත් රටක් ගොඩනැගීම සඳහා යොදාගතහොත් පමණයි. ඒ වෙනුවෙන් දේශපාලන අධිකාරිය නායකත්වය ලබාදී පර්යේෂකයන්, වෘත්තියවේදීන්, ව්‍යවසායකයන් වගේම සාහිත්‍ය හා කලාකරුවන් අදාළ නිර්මාණ ඇති කිරීමටත් එක් විය යුතුයි. විසිරී තිබන සෑම හැකියාවක්ම ඒකාබද්ධ කර, අවුරුදු කිහිපයක් මෙහෙයවීම තුළින් අපේ මාතෘ භූමිය විශාල ප්‍රගතියක් කරා ගෙන යා හැකියි. ඒ වෙනුවෙන් අත්තිවාරම පවතින්නේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය තුළයි. නමුත් අද අපේ මානව සම්පත යොදවා තිබනේනේ විදේශ රටවල දරුවන් බලා ගන්න, ගෘහ සේවිකාවන් ලෙස යොදා ගන්න, වෙනත් ප්‍රාථමික ක්ෂණික අවශ්‍යතාවලට පමණයි. ඒ වෙනුවට නූතන ලෝකයේ වෘත්තීයමය නව ශ්‍රම වෙළඳපොළට අපි ඇතුළත් විය යුතුයි. ලෝකයේ දැනුම, නවෝත්පාදනය ඇතුළු ක්ෂේත්‍ර හතක් අඩංගු ග්ලෝබල් ඉනොවේෂන් ඉන්ඩෙක්ස් එකේ රටවල් 132කින් අපි සිටින්නේ 90වැනි ස්ථානයේයි. ස්විට්සර්ලන්තය අංක 01ට සිටින අතර, ස්වීඩනය අංක 02ටත් තුන්වැනි ස්ථානයේ අමෙරිකා එක්සත් ජනපදයත් හතරවැනි තැන එක්සත් රාජධානියත් පස්වන ස්ථානයේ සිංගප්පූරුවත් සිටිනවා.
පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයේ අත්පත් කර ගන්නා ජයග්‍රහණ සඳහා රටවල්වල සංවර්ධනයත් එකිනෙක හා සමාන්තරව ගමන් කරමින් තිබෙනවා. වාෂ්ප එන්ජිම සොයා ගැනීමෙන් පසුව ලෝකය මත ගවේෂණවල යෙදීමේ හැකියාව වැඩිවුණා. ඉන්පසුව පළමු ලෝක යුද්ධය අවසානයේ වැඩිම ආයුධ අයිතිව තිබෙන කෙනා ලෝකය පාලනය කරන්න පටන් ගත්තා. දෙවන ලෝක යුද්ධය අවසානයේදී වැඩිම මූල්‍ය බලය තිබෙන කෙනා ලෝකය පාලනය කරන්න පටන් ගත්තා. නමුත් අනාගත ලෝකය පාලනය කරන්නේ වැඩිම තාක්ෂණ මෙවලම්වල හිමිකරුවායි. ලෝකයේ ප්‍රධානම ප්‍රවාහන සැපයුම් ආයතනයක් වන ගූගල් ආයතනය එක වාහනයක් වත් නොමැතිව ලෝකයේ ධාවනය කෙරෙන වාහනවලින් 25%ක් මෙහෙයවන එක මෘදුකාංග පද්ධතියක් සකස්කරගෙන තිබෙනවා. තාක්ෂණයත් එක්ක ඉදිරියට යමින් තිබෙන ලෝකය සමග හොඳම අන්තර් සම්බන්ධතාවයකින් අපේ ගමන් නොකළහොත් ලෝකයට අදාළ නොවන ශ්‍රමයක් සහිත ලෝකයට අදාළ නොවන රටක් බවට අපේ රට පත්වෙනවා.
අපට ලෝකයත් සමග ඉදිරියට යා හැකි විභවතාවයන් ගණනාවක් තිබෙනවා. ඒ විභවතාවයන් පර්යේෂණ සහ සංවර්ධනය මත ඉදිරියට ගෙන යාමේ සැලසුම් අපි සකස් කරනවා. කෘෂිකාර්මික නවීකරණයේදී මේ ක්ෂේත්‍රය යොදා ගන්නවා වගේම සාම්ප්‍රදායික ඖෂධ නවීකරණය වෙනුවෙනුත් පවතින විශාල විභවය ජය ගැනීමට ක්‍රියාකරනවා. 2050 වර්ෂය වන විට ලෝකයේ සමස්ත බලශක්ති සැපයුම 50% – 65% ත් අතර ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට යොමු වෙනවා. මේ සඳහා හොඳ විභවතාවක් අපේ රට තුළ තිබුණත් මේ පාලකයන් ඒ විභවය කුණු කොල්ලයට විකුණමින් සිටිනවා. බලශක්ති පිරිවැය අඩු කිරීමෙන් අපනයන ක්ෂේත්‍රයේ වඩා වැඩි පංගුවක් අත්පත් කර ගැනීමට යොදා ගත හැකියි. ඉලෙක්ට්‍රෝනයක් එක් ශක්ති කවයක සිට තව ශක්ති කවයකට බැඳීම සඳහා විශාල බලයක් සහිත තෙරපුමක් අවශ්‍ය වෙනවා. අපේ රටට එවැනි තෙරපුමක් අවශ්‍යයි. අපේ රට තවදුරටත් ඔහේ ගලාගෙන යන්න ඉඩ හරිනවාද, විශාල තෙරපුමක් සහිතව නව පරිවර්තනයකට ලක්කරනවාද කියන තීරණය ගැනීමේ නිශ්චිත සන්ධිස්ථානයකට අපි පැමිණ සිටිනවා. මේ සන්ධිස්ථානයේදී අපේ මාතෘ භූමියත් ජනතාවත් ඛේදවාචකයෙන් ගලවා ගන්නවාය කියන ස්ථර අධිෂ්ඨානයෙන් මැදිහත් වීමේ වගකීම අප හැමදෙනාම හමුවේ තිබෙනවා. සියලුම පර්යේෂකයන්ගේ වෘත්තිකයන්ගේ චින්තකයන්ගේ ගරුත්වය ආරක්ෂා කරමින්, අගයන් එකතු කරන නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට හැමදෙනාම එක්වෙන ලෙස ඉල්ලා සිටිනවා.
“ශ්‍රී ලාංකිකයින් ලෝකය පුරාම දස්කම් දක්වන්නේ මානව සම්පතේ විභවය ඉතාම ඉහළ නිසයි”
-එක්සත් ජනපද හූස්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය-
මම අද මෙතන ඉන්නේ අපේ රටේ මිනිසුන් නිසයි. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් ඔබගේ බදු මුදලෙන් මම ඉගෙන ගත්තා. ඔබේ බදු මුදල් නාස්ති කළේ නැහැ කියලා මම හිතනවා. ඔබ දුන් සවියත්, මගේ උත්සාහයත් තව බෙහෝ දේවලුත් එකතු කරගෙන ලෝකයේ තිබෙන විශාලම වෛද්‍ය පර්යේෂණ ආයතනය දක්වා දීර්ඝ ගමනක් මම ගියා. ඒ ගමනේදී ඉගෙන ගත් බොහෝ දේවල් සහ දැනුම රැගෙන ඔබ එදා මා වෙනුවෙන් කළ ආයෝජනයට ප්‍රතිලාභ ලබාගෙන්න මම මේ ලෙස ඔබ හමුවට පැමිණ සිටිනවා. මගේ ප්‍රධාන කාර්යභාරය වී තිබෙන්නේ අපේ ප්‍රතිපත්තිය හඳුන්වා දෙන්නයි. අද ඔබට ලබාදෙන ප්‍රතිපත්තිය හොඳින් කියවා ඔබේ අදහස් ලබාදීම රටට ඉතාම වැදගත්. අපේ ප්‍රතිපත්තිය තුළ තිබෙන්නේ විද්‍යා හා තාක්ෂණ දැනුම උකහා ගැනීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්කිරීම, එහි අධීක්ෂණය, නියාමනය හා පරිපාලනය. මේක ඒ පිළිබඳ ලියවිල්ලක්.
විද්‍යා හා තාක්ෂණය පිළිබඳව නිතරම ගැටගැසී තිබෙන වචන දෙකක් වන්නේ පර්යේෂණය හා සංවර්ධනය යන්නයි. පර්යේෂණ හා සංවර්ධනය කියන්නෙ මොකක්ද? සරලව කීවොත් නිර්මාණශීලී ක්‍රමවේදයකට අනුව දැනුම වර්ධනය කර ගනිමින් ඒ දැනුම යොදවා තව නිෂ්පාදන හා සේවාවන් තවත් විදිහකින් කියනවා නම් අගය එකතු කළ භාණ්ඩ හා සේවාවන් නිෂ්පාදනය කිරීමයි. අපිට තිබෙන අදහස් පර්යේෂණයකට ලක්කර, මූලික නිෂ්පාදනයක් සිදුකර, සන්නාම අගයක් දක්වා වර්ධනය කළ වෙළඳපොළට නිකුත් කිරීමයි. මේ ක්‍රියාවලිය වෙනුවෙන් පර්යේෂණය සහ සංවර්ධනය ඉතාම වැදගත්. නිදර්ශනයක් ගන්නවා නම්, තේ කොළ නිෂ්පාදනයේදී තේ දළු නෙළා ගෙන, වේලා, කුඩුකර, වතුරත් එක්ක එකතු කර පානය කිරීම සිදුකරනවා. නමුත් මේ තේ විවිධ රසය, විවිධ සුවඳ, විවිධ වර්ණ දක්වා විකාශනය කිරීම අගය එකතු කළ භාණ්ඩ ලෙස හඳුන්වනවා. අගය එකතු කළ සේවාවන් සම්බන්ධයෙන් සංචාරක ව්‍යාපාරය නිදර්ශනයක් ලෙස ගනිමු. සංචාරක මග පෙන්වන්නෙක් අදාළ ස්ථාන සම්බන්ධයෙන් හොඳින් අධ්‍යයනය කර, ඉතිහාසය හොඳින් දැනගෙන, සංචාරකයන් වෙනුවෙන් නිර්මාණශීලීව, ආකර්ෂණීය ලෙස එම ස්ථාන පිළිබඳව කරුණු විස්තර කර දීම අගය එකතු කළ සේවාවක්. ඇමෙරිකානු රජය දළ ජාතික නිෂ්පාදිතයෙන් 3.5%ක් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන්කරනවා. රටේ අනාගතයට අදාළ පර්යේෂණ මොනවාද යන්න හඳුනාගෙන ඒ වෙනුවෙන් මුදල් වෙන්කර පර්යේෂණ ආයතනවලට මුදල් ලබාදී සාර්ථක පර්යේෂණ ප්‍රතිඵල, නිෂ්පාදන අංශවලට වෙන්කර, අවසානයේ ජනතාවට ලබාදෙනවා. ලෝකයේ දියුණු වූ හැම රටක්ම දියුණු වී තිබෙන්නේ මෙම ක්‍රියාවලිය තුළ ගමන් කිරීමෙනුයි.
ශ්‍රී ලංකාවට ආවොත් රට පුරාම විහිදුණු පර්යේෂණ ආයතන රැසක් තිබෙනවා. ඒ පර්යේෂණ ආයතනවල සේවය කරන ඔබ, ඇමෙරිකාවට දෙවැනි නැහැ. අපි ඊටත් වඩා උසස්. ඒ නිසයි මා වැනි අය ඒ තැන්වලට ඇතුල් කරගෙන සිටින්නේ. නමුත් ඇමෙරිකාව දියුණු වෙද්දී අපි එසේ නොවූයේ ඇයි? අපේ රටේ තැනින් තැන පර්යේෂණ සිදුකර, නිෂ්ක්‍රීයව පවතිනවා මිස අවසන් ඉලක්ක වෙත ගෙන යන්නේ නැහැ. තවත් ලෙසකින් කියනවා නම්, මේ පර්යේෂණ ආර්ථික ක්‍රියාවලියට බද්ධ කරගෙන නැහැ. දියුණු රටවල් පර්යේෂණ සඳහා ජාතික ආදායමෙන් 3% – 5% අතර ප්‍රමාණයක් වෙන්කර තිබුණත් අපි වෙන්කර තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක්, වැනි ප්‍රමාණයක්. අපේ රට ස්වභාවික සම්පත්වලින් පිරුණු මුහුද, ගොඩබිම, නිවර්තන කාලගුණය, රට පුරා පැතිරුණු හිරු එළිය, සුළං බලය, වැනි ස්වභාවික සම්පත් ජාලය පර්යේෂණ සහ සංවර්ධනය වෙනුවෙන් යොදා ගන්නේ නැහැ. යම්කිසි භාණ්ඩයක් මුලසිට අවසානය දක්වා කෘත්‍රිමව නිෂ්පාදනය කිරීමට වඩා ස්වභාවික සම්පත් ඇසුරෙන් නිෂ්පාදනය කිරීමට යන වියදම ඉතා අඩුයි. තව විදිහකට කියනවා නම්, අඩු වියදමකින් වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකියි. ලංකාවේ මානව සම්පත තුළ පවතින විභවය ඉතාම ඉහළයි. ශ්‍රී ලාංකිකයින් ලෝකය පුරාම දස්කම් දක්වන්නේ ඒ නිසයි. විදේශගත වූවන් පමණක් නොවෙයි, අපි දන්නා ප්‍රදේශවල සිටින අය පවා අලුත් නිෂ්පාදන කොපමණ කරනවාද?
වර්තමානයේ යොදාගත හැකි අතීත උරුමයන් රැසක් තිබෙනවා. අතීතයේ කළ ඉදිකිරීම්, එම තාක්ෂණික දැනුම, නිසි පරිදි සොයා ගත හොත් අදටත් බොහෝ ප්‍රයෝජන ගත හැකියි. පර්යේෂණ සහ සංවර්ධන කටයුතු අවශ්‍ය වන්නේ එම තාක්ෂණය සොයා ගන්න. මේ වන විට පවතින වකුගඩු රෝගය, ඩෙංගු රෝගය වැනි රෝගාබාධ වගේම ගංවතුර, නාය යෑම් වැනි ආපදාවලටත් පර්යේෂණ හා සංවර්ධන තුළින් පිළිතුරු සෙවිය හැකියි. මේ වන විට ඇති වී තිබෙන වන සත්ව උවදුර පාලනයටත් මෙය ඉතාමත්ම වැදගත්. අපගේ දැක්ම වී තිබෙන්නේ නවෝත්පාදන සහ නව සොයා ගැනීම් තුළින් පර්යේෂණ සහ සංවර්ධන නිවැරදි දිශාවකට යොමු කිරීමයි. එහිදී ආර්ථික සංවර්ධනය, මානව සහ සමාජීය සංවර්ධනය, පරිසර දියුණුව සහ පරිසර ආරක්ෂාව මෙන්ම පාරිසරික ගැටලු විසඳීම, පර්යේෂණ සහ සංවර්ධන යොදා ගැනීම අපේ මූලික දැක්මයි. සරලව කියන්නේ නම් අපේ ජීවිතවලට සම්බන්ධ වී තිබෙන සියලුම ගැටලු විසඳා ගැනීමයි. ඒ වෙනුවෙන් රජයට පැවරී තිබෙන කාර්යභාරය ප්‍රතිපත්ති සැකසීම සහ නියාමනය, අවශ්‍ය ප්‍රතිපාදන සකසා දීම, එම පර්යේෂණ සහ සංවර්ධනයේ සාර්ථක අත්හදා බැලීම් නිෂ්පාදනය කරා යොමුකරවීම, (ඒ සඳහා පුද්ගලික අංශය සහභාගී කර ගැනීම) මහජනතාව කරා ගෙනයාම, සහ අන්තර්ජාතික ප්‍රජාවගේ සහයෝගය ලබා ගැනීම කළ යුතුයි. මේ අංශ සියල්ල අතරේ මනා අන්තර් සම්බන්ධතාවයක් තිබීම අත්‍යවශ්‍ය වන අතර, ඒ සියල්ල ආර්ථික සංවර්ධන සියල්ල සමග ඒකාබද්ධ කළ යුතුයි.
මේ කටයුතු සඳහා උනන්දු වන සියලු දෙනාට සහභාගී විය හැකි වටපිටාවක් සකස් කර දෙමින් පර්යේෂකයන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතුයි. මුදල් ලබාදීම විනිවිද පෙනෙන සේ කළ යුතුයි. පර්යේෂණ සහ ආයතන දේශපාලන බලපෑම්වලින් ඉවත් කළ යුතුයි. මේ මූලික මූලධර්ම අනුව අපේ ප්‍රතිපත්ති සකස් කර තිබෙනවා. සියලු ක්ෂේත්‍රවලට පර්යේෂණ සහ සංවර්ධනය අදාළ වුවත් අපේ පහසුව සඳහා මූලික ක්ෂේත්‍ර කිහිපයකට බෙදා තිබෙනවා. කෘෂිකර්මාන්තය, සත්ව පාලනය, ආහාර සුරක්ෂිතතාවය, පළමු කාණ්ඩය ලෙස හඳුනා ගත්තා. දෙවන කාණ්ඩය ලෙස සෞඛ්‍යය, අධ්‍යාපනය සහ විද්‍යාව හඳුනාගෙන තිබෙනවා. ඊළඟට තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, ඉංජිනේරු, සංනිවේදනය, නාවික සේවා, ප්‍රවාහන සේවා සහ අනෙකුත් සේවා යොදා ගන්නවා. ඒ වගේම සිව්වන කාණ්ඩය ලෙස වායුව, ජලය, භූමිය, පරිසරය, අවකාශය යන ක්ෂේත්‍ර සිව්වන කාණ්ඩය ලෙස හඳුනාගෙන තිබෙනවා. පස්වන කාණ්ඩය ලෙස ජාතික ආරක්ෂාව, ආර්ථිකය, ප්‍රතිපත්ති සැකසීම, භූ දේශපාලනය, වැනි ක්ෂේත්‍ර අයත් වෙනවා. හයවැනිව මානව සංස්කෘතික ජීවිතයේ සංවර්ධනය වෙනුවෙන් කලාව, ඉතිහාසය, සංස්කෘතිය, උරුමය යන මූලික ක්ෂේත්‍ර හයකට බෙදා පර්යේෂණ සහ සංවර්ධනය වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කර තිබෙනවා. මෙම ක්ෂේත්‍ර හය තව අනු කාණ්ඩ 17කට බෙදා ක්‍රියාකාරී ඒකක 110කට බෙදමින් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික පදනම සකස් කර තිබෙනවා. මෙයට තව එක්කර ගත යුතු අදහස් එකතු කරගෙන මානව සහ ආර්ථික සංවර්ධනයේ දුර ගමනක් යන්න අපේක්ෂා කරනවා.
අපේ ස්වභාවික ශාක සාරය යොදා ගනිමින් ඖෂධ නිෂ්පාදනය, ආහාර නිෂ්පාදනය, අතුරු ආහාරමය තත්වයන්, රූපලාවණ්‍ය, කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තයේදී ආයුර්වේද සම්බාහනය වැනි ක්ෂේත්‍ර රැසකට යොදා ගත හැකි වෙනවා. මේ වෙනුවෙන් අවශ්‍ය කරන ඉහළ දැනුම ලබා ගැනීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ග තුනක් යෝජනා කරනවා. විදේශගතව සිටින පර්යේෂයකයන් සහ වෘත්තිකයන් ඒ රටවල සිටියදීම සූම් තාක්ෂණය ඔස්සේ අපට දැනුම ලබාදීම, ඊළඟට ලංකාවට පැමිණෙන අවස්ථාවලදී දැනුම අවශ්‍ය ආයතනවලට ලබාදීම, සහ තුන්වැනිව ආපසු පෙරටට පැමිණීම ආකාරවලින් දැනුම ලබා ගන්නවා. රජය, පුද්ගලික අංශය, ජාත්‍යන්තර ප්‍රජව සහ මහජනතාව අතර නිසි අන්තර් සම්බන්ධතාවයක් පවත්වා ගන්නා මධ්‍යගත කමිටුවක් පිහිටුවනවා. ආර්ථිකයට අවශ්‍ය පර්යේෂණ සඳහා ප්‍රතිපාදන වෙන්කරන්නේ මේ මධ්‍යගත කමිටුවෙන්. රටේ දියුණුවට අදාළ පර්යේෂණ අංශ හඳුනාගෙන මුදල් ප්‍රතිපාදන වෙන්කර විශ්වවිද්‍යාල හෝ පර්ජෙය්ෂණ ආයතනවලට යොදවා කැමති නම් පුද්ගලික අංශයත් සම්බන්ධ කරගෙන ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර ගන්නවා. මේ කටයුතු වෙනුවෙන් රජය, පුද්ගලික අංශය, සහ ජාත්‍යන්තර ප්‍රජාව යන විකල්පවලින් ආයෝජන ලබා ගන්නවා. රටේ පවතින ස්වභාවික සම්පත් යොදා ගැනීමේ මානව සම්පත දියුණු කරනවා.
රජය මුදල් වෙන්කිරීමේදී ඍජුවම කළ හැකි වන අතර, නොහැකි අවස්ථාවලදී අන්තර්ජාතික සම්බන්ධතා යොදා ගැනීම, පර්යේෂණ සහ සංවර්ධනය වෙනුවෙන් විශේෂිත බැඳුම්කර නිකුත් කිරීම වගේම පුද්ගලික අංශයේ ආයෝජකයන් කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් යොදා ගැනීමට අපේක්ෂා කරනවා. අනතුරුව මේ පර්යේෂණ පාසල්, විශ්වවිද්‍යාල, අනෙකුත් තාක්ෂණ ආයතන, පුද්ගලික අංශය යොදා ගනිමින් සිදුකරනවා. මේ වන විට රටේ ජනතාවට ආහාර ලබාදීමටවත් මුදල් නොමැතිව තිබියදී, මේ වෙනුවෙන් වෙන්කරන්නේ කොහොමද කියලා යම් අයට ප්‍රශ්නයක් තිබුණා නම්, එවැනි ආකාරයේ විකල්ප යෝජනාවලින් මේ ප්‍රශ්නය විසඳී ඇතැයි විශ්වාස කරනවා. මේ වන විටත් සිදුකර තිබෙන, පර්යේෂණවල ප්‍රතිඵල මත ඉක්මන් නිෂ්පාදනවලට ගොස් මූලික ප්‍රතිලාභ ලබාගත හැකියි. අපි භ්එසදබ්ක ෂබිඑසඑමඑැ දf National Institute of Research snd Development (NIRD) ආයතනය පිහිටුවනවා. ඒ ආයතනය තුළ අධි සංවේදී පර්යේෂණ සහ පර්යේෂණ සම්පාදනය යන මූලික කොටස් දෙකක් තිබෙනවා. ප්‍රතිපත්ති සැකසීමේ කමිටුවෙන් අදාළ ප්‍රතිපත්ති සකස් කර, මධ්‍යගත ආයතනයට යොමු කර, එම ආයතනයෙන් පර්යේෂණ ආයතනවලට අදාළ වගකීම් බෙදා හැර රටේ ආර්ථිකයට අදාළ පර්යේෂණ බිහිකර අවසන් අරමුණු වෙනුවෙන් යොදා ගන්නවා. අපි යෝජනා කරන මධ්‍යගත කමිටුවට ආර්ථික විශේෂඥයන්, නීතිය ගැන විශේෂඥයන්, පෞද්ගලික අංශයේ විශේෂඥයන්, සාර්ථක වූ ව්‍යවසායකයන්, මුදල් අමාත්‍යාංශය මෙන්ම විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරු ඇතුළු ස්වාධීන කමිටුවක් දේශපාලන බලපෑමෙන් තොරව ක්‍රියාත්මක කරනවා. අපි මේ අධ්‍යාපන සුදුසුකම් පමණක් නොවෙයි එයින් බාහිර සාර්ථක අත්හදා බැලීම් සහ නිර්මාණ කරන අයටත් ප්‍රතිපාදන ලබාදෙනවා. නව සොයා ගැනීම් රටට කොතරම් වැදගත්ද? හැබවින්ම කොතරම් අලුත්ද? අදාළ යෝජනා කාලෝචිතද, යෝජනා ගෙන එන්නා ප්‍රගුණකර තිබෙන දත්තයන් මොනවාද, අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය කොපමණද යන කරුණු මූලිකව සලකා බලා පර්යේෂණය සහ සංවර්ධනය විනිවිදභාවයෙන් යුතුව මුදල් ලබාදෙනවා.
මේ ඔස්සේ කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වශයෙන් අපේ ආර්ථිකයට නව පුනර්ජීවනයක් ලබා දීම සිදුවෙනවා. ඒ වෙනුවෙන් රජය ජාත්‍යන්තර සබඳතා මෙන්ම විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් අරමුදල් ලබා ගන්නවා. දෙවනුව ඒ තුළින් ආර්ථිකය සමග ඒකාබද්ධ කළ පර්යේෂණ මගින් මානව සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් ඒ ආර්ථික ප්‍රතිලාභ යොදා ගන්නවා. තුන්වැනිව පරිසරය ආරක්ෂා කර ගනිමින් තිරසාර සංවර්ධනයක් කරා පියනඟනවා. මේ ප්‍රතිපත්ති හුදෙක් දේශපාලන කෝණයකින් නොබලා හොඳින් අධ්‍යයනය කර මාසයක් ඇතුළතදී ඔබ ලබාදෙන අලුත් අදහස් හා යෝජනා එකතු කොට මේ ප්‍රතිපත්ති සම්පූර්ණ කර අපි ක්‍රියාත්මක කරනවා. ඒ තුළින් අපේ රට දියුණු රටක් බවට පත්කර ගැනීමට සියලු දෙනාගේ සහයෝගය ලබාගැනීමට අපේක්ෂා කරනවා.