Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
“ඡන්දෙට බඩු බෙදන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහැර ආණ්ඩුව හොර පාරක් හදාගෙන” -විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා- ජපානයේ වෙසෙන ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ හමුව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ජන බලවේගයේ නායකයා අතර හමුවක් “රනිල් වික්‍රමසිංහ තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිත කළ නායකයෙක් ලක් ඉතිහාසයේ නැහැ” -නීතිඥ සුනිල් වටගල- “මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීමයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-
X

සහෝදරත්වයෙන් බැඳුණු එකම ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස නැගීසිටිමු.

(රාමසාන් දින පණිවිඩය – 2024.04.10)

Ramadhan-Wish

ඉස්ලාම් බැතිමතුන් විසින් පුරා මාසයක කාලයක් ආරක්ෂා කර ගත් උපවාස සමයේ අවසානය සනිටුහන් කරන රාමසාන් උත්සවය මෙම අප්‍රේල් 10 වැනි දිනට යෙදී ඇත. එම උත්සවය සැමරීමට එක්වන ශ්‍රී ලාංකේය ඉස්ලාම් බැතිමතුන්ට අපි ජාතික ජන බලවේගයේ සුබ පැතුම් පිරිනමමු.

දෛනික ජීවිතයේ දුෂ්කරතා ඉවසීමෙන් දරා ගනිමින් මාසයක කාලයක් පුරා ආරක්ෂා කරගන්නා උපවාස ශීලය තුළ ඉතිරි කර ගත් ධනය තම සහෝදර ජනයාට උදව් උපකාර කිරීම සඳහා ප්‍රයෝජනයට ගැනීම රාමසාන් උත්සවයේ අරමුණයි. රාමසාන් වත්පිළිවෙත් වර්තමාන දූෂිත සමාජ ක්‍රමය විසින් මිනිසුන් අතරින් බලහත්කාරයෙන් ඈත් කරවමින් තිබෙන මනුෂ්‍යත්වය හා පරාර්ථකාමය ආදී ගුණාංගයන් නැවත ජීවිත තුළට කැඳවීමට ගන්නා උත්සාහයකි.

වසර හැත්තෑහයක දූෂිත දේශපාලනය විසින් රටත් ජනතාවත් ඇද දමනු ලැබ ඇති ආර්ථික සහ සමාජීය ව්‍යසනය අපි අත්දකිමින් සිටිමු. එසේම බලලෝභී දේශපාලන වුවමනාකම් වෙනුවෙන් ජාතිවාදය, ආගම්වාදය මත මිනිසුන් බෙදා වෙන් කර තැබීමේ දුෂ්ට ප්‍රවණතා සහ ඒ වෙනුවෙන් මහපොළොව ලෙයින් පෙඟී ගිය ආකාරයද අපි දැක ඇත්තෙමු. කෙසේ වුවද මෙම දුෂිත බලලෝභී දේශපාලන සංස්කෘතිය සහ එහි දුෂ්ට වුවමනාකම් මේ වන විට මුළුමහත් ජන සමාජය විසින් දැනුවත්ව ප්‍රතික්ෂේප කරමින් ඉදිරියට පැමිණීම සතුටට කරුණකි. දූෂිත පාලකයින් බිය ගෙන සිටින්නේ මෙම ජන මතයටය. සියලු ජනතාවන්ට තමන් අයත් ජාතිකත්වය ඉක්මවා සහෝදරත්වයෙන් බැඳුණු එකම ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස නැගීසිටින්නට සහෝදරත්වය මත පදනම් වූ රාමසාන් උත්සවය විසින් ලබා දෙන මඟපෙන්වීම අපි අගය කරමු.

ශ්‍රී ලාංකේය දේශය නව පුනරුද යුගයක් අරඹන්නට සූදානමින් සිටින ඓතිහාසික වසරක, රාමසාන් සමරන ලාංකේය ඉස්ලාම් බැතිමතුන්ට සහෝදරත්වයේ නාමයෙන් එකම ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස අත්වැල් බැඳගැනීමට අපි ආරාධනා කරමු.

අනුර කුමාර දිසානායක
නායක
ජාතික ජන බලවේගය
2024.04.10