(-ජාතික ජන බලවේගයේ සමන්තුරේ ජන රැලිය – 2024.07.12-)
අපි බොහෝ කාලයක් ආණ්ඩු හැදුවා, නායකයෝ ගෙනාවා. නමුත් අද රටට වෙලා තිබෙන දේ ගැන ඔබ සතුටු විය නොහැකියි. අද ලෝකෙන් ගත් ණය ගෙවා ගැනීමට නොහැකි වී තිබෙනවා. අපේ තරුණ තරුණියන්ට රැකියා අහිමි වෙලා, රස්සාවක් සොයා ගන්න වෙනත් රටකට යන්න සිදුවෙලා තිබෙනවා. ව්‍යාපාර කඩා වැටිලා. ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ. වෛද්‍යවරු, ඉංජිනේරුවන් රට හැර යනවා. අධ්‍යාපනය කඩා වැටිලා. බොහෝ දෙනෙකුට හරිහමන් ආහාර වේලක් ගන්න විදිහක් නැහැ. මේක සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් ජීවත් වුණු රටක්. ජාතිවාදය ඇති කරලා, ගැටුම් ඇති කරලා, විනාශයක් කළා. ඇයි මෙහෙම වුණේ. මේ කිසිවක් ස්වභාවික ව්‍යසනයක් නිසා සිදුවූවක් නොවෙයි. මේ රටේ ජනතාව හදපු ආණ්ඩු රට මේ තත්වයට ඇද දැමුවා. ඔබගේ දරුවන්ට රස්සා නැති වුණාට ඇමතිවරුන්ගේ දරුවන්ට මන්ත්‍රී ධුර, අමාත්‍ය ධුර තිබෙනවා. ඔබලාගේ ව්‍යාපාර කඩා වැටුණාට ඇමතිවරුන්ගේ ව්‍යාපාර හොඳට නැගලා යනවා. ගම්වල ඉන්න ජනතාවට කන්න බොන්න නැති වුණාට ආණ්ඩුවේ අයට එහෙම වෙලා නැහැ. එයාලට අධ්‍යාපන ප්‍රශ්න නැහැ. ගමේ ඉස්පිරිතාලේ බෙහෙත් නැති වුණාට ඇමතිවරුන්ට සිංගප්පූරු ගිහින් බෙහෙත් ගන්න පුළුවන්. අපේ හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න හාර්ට් ඇටෑක් එකක් හැදුණාම බෙහෙත් ගන්න ගියේ සිංගප්පූරුවට. රටේ පාලකයෝ කළේ මෙහෙම තමයි. මේක ස්වභාවික ව්‍යසනයක් නම් රටේ හැමෝටම මේ ඉරණම අත්වෙන්න ඕනෑ. නමුත් මේ විනාශය සිදුවෙලා තිබෙන්නේ පොදු ජනතාවටයි. පාලකයාට කිසිම අමාරුවක් නැහැ. මේ රටේ ජනතාව විටින් විට ඡන්දෙ දීලා ගෙනාපු නායකයෝ, හදපු ආණ්ඩු. ඒගොල්ලෝ හැදුණා. ජනතාව වැටුණා.
මේ පැරණි, අසාර්ථක ගමන දැන් වෙනස් කරන්න ඕනෑ. මේ රට හදන්න ඕනෑ. අපි ඔබ හමුවෙන්න ආවේ පැරණි පක්ෂ, දේශපාලනය, දැන් අත්හරින්න. රට විනාශ කරන නායකයන් අත්හරින්න. අපි අලුත් ආණ්ඩුවක් හදමු. ලෝකෙම එහෙමයි. පරණ ආණ්ඩු වැටෙනවා. අලුත් ආණ්ඩු හැදෙනවා. ඒ නිසා ලංකාවේ අවුරුදු 76ක් රට විනාශ කරපු, දේශපාලන පක්ෂවලින්, නායකයන්ගෙන් ගැලවිලා අපි අලුත් ආණ්ඩුවක් හදමු. ආණ්ඩු වෙනස් කරන්න අපට වුවමනාව තිබ්බාට මදි. ඔබටත් ඒ වුවමනාව තියෙන්න ඕනෑ. ඔබත් වෙනස් වෙන්න ඕනෑ. අපි වෙනස් කරන්න පටන් ගනිමු. මේ රට හදන්න ඕනෑ නම් තෝරාගන්න තිබෙන එකම ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය. අපි මේ රට හදනවා. දියුණු වී තිබෙන සෑම රටක්ම අධ්‍යයනය කර බලන්න. රටක් දියුණු වෙන්න සාධක කිහිපයක් සම්පූර්ණ වෙන්න ඕනෑ. නායකයෙක් ගෙනාවාට, ආණ්ඩුවක් මාරු කළාට විතරක් හැදෙන්නේ නැහැ. රට හදන්න වැඩපිළිවෙළක් ඕනෑ. ජාතික ජන බලවේගයට මේ රට ගොඩනැගීම සඳහා වැඩපිළිවෙළක් තිබෙනවා. දියුණු වුණු සෑම රටකම අත්දැකීම් අපට තිබෙනවා. දියුණු වුණු රටවල්වල ජාතිවාදී ගැටුම් නැහැ, අපිත් උත්සාහ කරන්නේ ජාතිවාදය පරාජය කරන ලද රටක් හදන්න. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමගියෙන් ජීවත් වෙන රටක් හදන්න.
ඇයි මේ ජාතිවාදය ඇති වුණේ? ආණ්ඩු හදන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. දරුවන්ට රස්සා හදන්න ඕනෑ, රටේ නීතිය ස්ථාපිත කරන්න ඕනෑ. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සංවර්ධනය කරන්න ඕනෑ, ව්‍යාපාර වර්ධනය කරන්න ඕනෑ. අධ්‍යාපනය දියුණු කරන්න ඕනෑ. නමුත් ආණ්ඩුව ඒකෙන් අසාර්ථක වෙනකොට, පාලක දේශපාලන පක්ෂ දකුණේ සිංහල ජනතාවට කියනවා, ආර්ථිකය වැටිලා තිබෙන එක්ක ඇත්ත. ගොවි ජනතාවට, ධීවර ජනතාවට ජීවත් වෙන්න අමාරුයි, ව්‍යාපාර කඩා වැටිලා ඒක ඇත්ත. ඒ වුණාට ජාතිය, ආගම අනතුරේ, ඒ නිසා ජාතිය, ආගම බේරා ගන්න ගෝඨාභය ගේන්න ඕනෑ කියනවා. මහින්ද ගේන්න ඕනෑ කියනවා. ඒ කියන්නේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න විසඳගන්න බැරිවුණාම පාලකයා ජාතිවාදය අවුස්සනවා. දකුණේ සිංහල ජාතිවාදය ඇවිස්සුනාම නැගෙනහිරට මුස්ලිම් නායකයන් එනවා. ඇවිත් ප්‍රශ්න තිබුණු එක ඇත්ත. ඒත් සිංහල ජාතිවාදය උත්සන්න වෙලා. දිගන, අලුත්ගම, ඇති වෙනවා. දඹුල්ලේ පල්ලියට ගහනවා. අනෙක් ප්‍රශ්න පැත්තකින් තියලා අපි එකට එකතු වෙන්න ඕනෑ කියනවා. පාලකයාට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැරි වුණාම පාලකයා ජාතිවාදය වපුරනවා. ඒකෙන් වෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර ගැටුම් ඇති වෙන එක; වෛරය ඇති වෙන එක. එහෙම රටක් හදන්න බැහැ. රට හදන්න නම් ජාතිවාදය පරාජය කරන්න ඕනෑ.
ජාතික ජන බලවේගය හැමදාමත් ජනතාව සමග නිවැරදි දේ බෙදා ගනිමින් ජාතිවාදයට එරෙහි දේශපාලනයේ යෙදී සිටියා. අපි 3%ට වැටුණත් ජාතිවාදයට වැටුණේ නැහැ. මේ රට හදන්න නම්, ජාතිවාදය පරාජය කර, ජාතික සමගිය ගොඩනඟන්න ඕනෑ. ජාතිවාදය සහ ගැටුම් ඕනෑ අයට ඒ වෙනුවෙන් තෝරා ගන්න පක්ෂ තිබෙනවා. ජාතික සමගිය ගොඩනඟා රට ගොඩනඟන්න ඕනෑ නම්, ඒ වෙනුවෙන් තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණයි. ඔබගේ බදු මුදල් නිසි පරිදි යොදා ගනිමින් රට ගොඩනඟන්න කටයුතු කරන්නේ ජාතික ජන බලවේගය පමණයි. මේ රැස්වීමට පෙර ව්‍යාපාරික හමුවකට මම සහභාගි වුණා. එතැනට පැමිණ සිටිය මහාචාර්යවරයෙක් මට සඳහන් කළේ වැටුපෙන් රුපියල් 98,000ක මාසික බද්දක් කපා ගන්නා බවයි. ව්‍යාපාරයක් කරගෙන යාමේදී ලබන ලාභය මත බදු ගහලා ආණ්ඩුවට ආදායම් ගන්නවා. කඩෙන් ගන්න සීනි කිලෝ එකට ගහන බද්දෙනුත් ආදායම් ලබාගන්නවා. භාණ්ඩාගාරයේ තිබෙන්නේ ඔබගේ සල්ලි. මහජනයා බදු බර දරාගනිමින් බදු ගෙවන්නේ ඉස්පිරිතාලයට බෙහෙත් ලබාදෙන්නයි, දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්නයි, රටේ සුබසාධනය සලසන්නයි, රටේ සංවර්ධනයට යොදා ගන්නයි. නමුත් බැඳුම්කර වංචාවෙන් ගසා කෑ සල්ලි ඇමතිලාගේ ගෙවල්වලට ගියා. රනිල් වික්‍රමසිංහලාට, සජිත් ප්‍රේමදාසලාට මහජනතාවගේ බදු මුදල්වලට නිසි ලෙස සංවර්ධනයට යොදවන්න බැහැ. එය කළ හැක්කේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට පමණයි.
රනිල් වික්‍රමසිංහ පසුගියදා අමතර රුපියල් කෝටි 875ක මුදලක් ඡන්ද කරන්න මහජනයාගේ ධනයෙන් වෙන්කර ගත්තා. සජිත් ප්‍රේමදාසලාත් එහෙමයි. සංස්කෘතික අරමුදලේ මහජනයාගේ මුදල් කාබාසිනියා කර දැම්මා. මහජන මුදල් පෞද්ගලික දේශපාලන කටයුතුවලට යොදා ගත්තා. ඒ ගොල්ලන්ට රටක් හදන්න පුළුවන්ද? සජිත් ප්‍රේමදාස ඇමතිකම් කළ කාලයේ කෝටි 500ක පාඩුවක් සිදු කළ බව පසුගිය දා වාර්තා වී තිබුණා. මහජනයාගේ මුදල් නාස්ති නොකර, රට ගොඩනඟන්නත් මහජන සුබසාධනයට යොදවන්නත් හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. මේ රටේ ඇත්ත ව්‍යාපාරිකයන්ට අවස්ථාව නොදී ඔවුන් ව්‍යාපාර කරන්න පටන් ගන්නවා. අරක්කු ෆැක්ටරි, පෙට්්‍රල් ෂෙඩ්, පාසිකුඩාවල සංචාරක ව්‍යාපාර සියල්ලම ඒ අය විසින් අත්පත් කරගෙන තිබෙනවා. නමුත් අපේ පාලනයක් යටතේ ව්‍යාපාර කරන්න පෞද්ගලික අංශයට හොඳ වටපිටාවක් හදාදී සාධාරණ බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා. ඒ වගේම හොඳ රාජ්‍ය සේවයක් පවත්වාගෙන යන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ අපේ දේශපාලනඥයන් කිසිකෙනෙක් ව්‍යාපාර කරන්නේ නැහැ. පෞද්ගලික අංශයට ව්‍යාපාරික අවස්ථා පුළුල් කර දී එයින් ලබන ලාභයෙන් සාධාරණ බද්දක් රජයට ලබා ගන්නවා.
අපේ රටට ආසන්න කාලයේ නිදහස ලබාගත් ඉන්දියාව හඳට යනවා. මෝටර් රථ, ඖෂධ, ආහාර, කලාපයටම හරියන්න නිෂ්පාදනය කරනවා. ඒ නායකයන්ට රට හදන දැක්මක් තිබුණා. අපේ පාලකයන්ට තිබුණේ මොකක්ද? මෝටර් සයිකලයක් තිබුණු කෙනා හෙලිකොප්ටර් ගන්න තත්වයට හැදුණා. පුංචි ඉඩමක් තිබුණු කෙනා වතු යායවල් මිලදී ගන්න තත්වයට හැදුණා. රට හදන නායකයන් වෙනුවට රට බංකොලොත් කරමින් හොඳටම පොහොසත් පාලකයන් අපේ රටේ ගොඩනැඟුණා. මේ තත්වය වෙනස් කරන්න ඕනෑ නැද්ද? අපි හැමෝම එකතු වී රට හදන ආණ්ඩුවක් පිහිටුවමු. අපි කෘෂිකර්මාන්තය දියුණු කරමින් ගොවි ජනතාවගේ ජීවිත උසස් කරන සැලසුමක් හදා තිබෙනවා. හොඳ බීජ ලබාදීම, අලුත් තාක්ෂණය හඳුන්වාදීම, සහනාධාර ලබාදී ගොවියා ණය උගුලෙන් ගලවා ගැනීම, හොඳ වෙළඳපොළක් සපයා දී ගොවියාගේ ජීවිත උසස් කිරීම අපේ සැලසුම් තුළ තිබෙනවා. ධීවර කර්මාන්තයටත් එහෙමයි. චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන මාළු සිටින ඉසව් ධීවර ජනතාවට පෙන්නා දෙනවා. නවීන තාක්ෂණය අපේ අධ්‍යාපනයට ඇතුළත් කර, අපේ තරුණ පරපුරට ලෝකය ජය ගත හැකි අධ්‍යාපනයක් ලබා දෙනවා. ඒ වගේම හොරකම් නතර කර, පුනර්ජනනීය බලශක්තියට මාරුවී වසරෙන් වසර විදුලි බිල අඩුකිරීමේ සැලසුම් අපි සකස් කරමින් යනවා. ලෝකයේ සංචාරකයන්ට සුදුසු රටක් මේක. දකුණේ වාරකන් කාලයට නැගෙනහිර පැත්තේ මුහුද හොඳයි. නැගෙනහිර වාරකන් කාලයට දකුණේ මුහුද හොඳයි. ඒ කියන්නේ මේක අවුරුද්ද පුරාම හොඳින් සංචාරක කර්මාන්තය පවත්වාගෙන යා හැකි රටක්. අපි මේ සියලු ක්ෂේත්‍රවලට සැලසුම් සකස් කර, ජනතාවට ප්‍රතිලාභ ලබාදෙනවා.
ඒ විතරක් නොවෙයි, පුල්මුඩෙයි ඛනිජ වැලි නිධිය වගේම පොස්පේට් නිධිය වැනි ඛනිජ සම්පත් රැසක් තිබෙනවා. මේ කර්මාන්ත දියුණු කළ හැකි ආයෝජකයන් අපට හමුවී තිබෙනවා. දැන් එප්පාවෙල පොස්පේට්, පස් හැටියට විදේශයන්ට පටවනවා. මිනිරන් අමු කුට්ටි ලෙස රට යවනවා. මේ ඛනිජ සම්පත් වෙනුවෙන් අපි සුදුසු කර්මාන්ත ඇති කරනවා. අපේ රටේ තිබුණු සීනි කර්මාන්ත ශාලා, සිමෙන්ති කර්මාන්ත ශාලා, වසා දමා පිටරටින් ආනයනය කරමින් පාලකයන් දියුණු වෙනවා. මම ඔබ හමුවට ආවේ, මේ තත්වය වෙනස් කරන්න අපි හැමදෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරන්නයි. මේ වෙනකොට විදේශ රටවල් අපට වීසා නොදෙන මට්ටමට මේ පාලකයන් රට විනාශකාරී තැනකට පත්කර තිබෙනවා. දැන් ලෝකයේ ඕනෑම රටකට යා හැක්කේ ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුලේ ඕනෑම කෙනෙකුට වගේම මේ පාලකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණයි. මේ තත්වය වෙනස් කර, ලෝකයේ හැම රටකම ගෞරවයට පාත්‍රවන ශ්‍රී ලංකාවක් ජාතික ජන බලවේගයෙන් ගොඩනඟනවා. අපි ආවේ එහෙම රටක් ගොඩනඟමු කියලා ඔබ සැමදෙනාට ආරාධනා කරන්නයි.
76 වසරක් රට වට්ටපු ශාපය නිමා කරමු. රට වට්ටා ඔවුන් දියුණු වූ යුගය අපි නිමා කරමු. ජාතිවාදය වපුරා ඔවුන් බලය ගත් යුගය නිමා කරමු. සැප්තැම්බර් 28ත් ඔක්තෝබර් 12ත් අතර, ජනාධිපතිවරණය පවත්වනවා. එය නවත්වන්න රනිල් වික්‍රමසිංහ මොන ගැටගැහුවත් බැහැ. මෙතන ඉන්න ඔබ සැම දෙනාගේ යාළුවන් සහ මිත්‍රයන් රටේ අනෙකුත් ප්‍රදේශවල ඉන්නවා. ඒ ප්‍රදේශවල උඩින්ම ඉන්නේ මාලිමාව. ඒ ප්‍රදේශවල ජනතාව අපෙන් අහන්නේ නැගෙනහිර ජනතාව මොනවා කරයිද කියලා. නැගෙනහිර මුස්ලිම් ජනතාව මොකක් කරයිද කියලා. අද වන විට ඔවුන් වෙනස් වී දකුණේ ජනතාව වගේම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගොඩනඟන්න එකතු වෙමින් ඉන්න බව අපි දන්නවා. ඉස්සර මෙහෙම දහස් සංඛ්‍යාත පිරිසක් නැගෙනහිරදි අප හමුවෙන්න ආවේ නැහැ. මේ අවස්ථාව අත් නොහැර හොඳ ජයග්‍රහණයක් ගනිමු. පැරණි දූෂිත පාලකයන්ට ඉඩ නොදී අපි හැමෝම එකතු වී අලුත් යුගයක් නිර්මාණය කරමු. ඉදිරි මාස දෙකහමාර තුළදී අවුරුදු 76ක සාපය නිමාකරමු. ජාතික ජන බලවේගයේ ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනඟමු.