Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
“ඡන්දෙට බඩු බෙදන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහැර ආණ්ඩුව හොර පාරක් හදාගෙන” -විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා- ජපානයේ වෙසෙන ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ හමුව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ජන බලවේගයේ නායකයා අතර හමුවක් “රනිල් වික්‍රමසිංහ තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිත කළ නායකයෙක් ලක් ඉතිහාසයේ නැහැ” -නීතිඥ සුනිල් වටගල- “මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීමයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-
X

“නායකත්වයේ දේශපාලන ආදර්ශය රටට ලබා දී ජාතික පිබිදීමකින් රට ගොඩනගමු” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්-

(2024.04.06 – රජරට මහසඟ සමුළුව – අනුරාධපුරය – ජාතික භික්ෂු පෙරමුණ)

Sangasamulu-Rajarata

අපේ රට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින්ගේ යටත්විජිතයක්ව වසර සිය ගණනක් පැවතුණා. 1948දි අපි නාමික නිදහස ලබාගෙන දැනට වසර 76ක් ගෙවී තිබෙනවා. ඇත්තටම අපට හදවතට එකඟව සමරන්න නිදහසක් තිබෙනවාද? ආපසු හැරී බැලුවොත් සුද්දා හඳුන්වා දෙන ලද කොල්බෲක්, සෝල්බරි ආණ්ඩුක්‍රමයන්ගේ නෂ්ටාවශේෂයන් තමයි අපේ ආණ්ඩුක්‍රමවලට ඇතුළත් කළේ. පසු කාලෙකදි ඉන්දියාව අප මත බලෙන් පටවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් අපේ ව්‍යවස්ථාවලට ඇතුළත් වුණා. අපිටම කියා රාජ්‍ය ක්‍රමයක් අපි හදාගෙන නැහැ. සුද්දා අපට හඳුන්වා දෙන ලද පරිපාලන ක්‍රමයන් තමයි අපේ රටේ දැනට පවතින්නේ. අපේ භූගෝලීය ස්වභාවය, ජන සංයුතියේ ව්‍යාප්තිය, ඒ මත පදනම් වූ විද්‍යාත්මක පරිපාලන ක්‍රමයක් අපි හදාගෙන නැහැ. අවුරුදු 76ක් ගෙවී තිබියදී පවා අපිටම කියලා රාජ්‍ය ක්‍රමයක් හා පරිපාලන ක්‍රමයක් හදාගෙන නැහැ. අපේ ස්වාධීනත්වය අත්පත් කරගෙන නැහැ. ඒ වගේම අපිටම කියලා සංවර්ධන ආර්ථික මාදිලියක් අදටත් නැහැ. අපේ රටේ තිබෙන භෞතික සම්පත්, අපේ රටේ ඉන්න මානව සම්පතත් එක්ක යොදා ගනිමින් සංවර්ධනය කරන්නේ කොහොමද? ඒ සඳහා අපේ ස්වෛරීත්වය, භෞතික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගනිමින් නිෂ්පාදනය මත පදනම් වුණු ආර්ථික මාදිලියක් හරහා රට ගොඩනගන්නෙ කොහොමද කියන වැඩසටහනක් අපි තවම නිර්මාණය කරගෙන නැහැ. අපේ ණය ප්‍රමාණය ගැන බැලුවාම ඒක හොඳටම තේරෙනවා. අපි වැඩියෙන්ම ණයවෙලා තියෙන්නේ චීනෙට, ඉන්දියාවට, ජපානයට, අයි.එම්.එෆ්. එකට, ඇමෙරිකාවට. ජනාධිපතිවරයා කිව්වා අයි.එම්.එෆ්. වැඩසටහන අවසන් වන තෙක් මැතිවරණ පවත්වන්න විදිහක් නැහැ කියලා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍ය බලය අයි.එම්.එෆ්. වැඩසටහනට යට කර තිබෙන්නේ. අපි ආර්ථික වශයෙන් නිදහස්ද? උත්තරීතර වූ ජනතා පරමාධිපත්‍ය බලය පාලකයන්ගේ වැරැද්දෙන්ම අපි අයි.එම්.එෆ්. එකට පවරා තිබෙනවා. ඒ කියන්නේ අපට ආර්ථික නිදහස ඇතේතේම නැහැ.

සිංහල, දෙමළ, මුස්ලිම් වගේම බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් විවිධ ජන කොටස් අවුරුදු 76ක කාලය තුළ ගහගන්නවා, මරාගන්නවා වගේ පෙනුණා. ඇත්ත වශයෙන්ම ජනතාව අතර එවැන්නක් නැහැ. අපේ පාලකයෝ බලයට එන්නත්, බලය පවත්වාගෙන යන්නත් ජාතිවාදය පාවිච්චි කළා; අදත් ජාතිවාදය පාවිච්චි කරනවා. පාස්කු ප්‍රහාරයට වසර පහක් ගෙවී තිබෙනවා. පාස්කු ප්‍රහාරය, ආගමික අන්තවාදී කොටසක් පාවිච්චි කරලා එක්තරා කණ්ඩායමක් දේශපාලන බලය ලබාගැනීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව අද වන විට තේරුම් ගොස් තිබෙනවා. අවුරුදු 76ක් ගතවීත් අපේ රටේ ජාතික සමගිය, ආගමික සහජීවනය ගොඩනගන්න අසමත්වෙලා තිබෙනවා. බුදුරජාණන් වහනසේගේ ඉතා පැහැදිලිව දේශනා කර තිබෙනවා, සියලු සත්වයෝ නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා, නීරෝගී වෙත්වා. එක් ජාතියක් පමණක් සුවපත් වෙත්වා නිදුක් වෙත්වා කියා බුදුරජානන් වහන්සේ දේශනා කළේ නැහැ. නමුත් අපි රටක් විදිහට ශ්‍රී ලාංකේය ජාතිය සුවපත් වේවා කියන තැනකට තවම ඇවිත් නැහැ. අපේ පාලකයෝ හිතාමතාම දේශපාලන බල වුවමනාවන් වෙනුවෙන් ජාතික සමගිය නැතිකර තිබෙනවා. අපිටම අනන්‍ය වෙච්ච රාජ්‍ය ක්‍රමයක් හා පරිපාලන ක්‍රමයක් සකස් කර ගැනීමට අපි හැමෝටම වගකීමක් පැවරී තිබෙනවා. රටට ගැලපෙන සංවර්ධන මාදිලියක් අපි විසින්ම සම්පාදනය කර ගනිමු. ඒ සමගම රට තුළ ජාතික සමගිය ගොඩනැගීමේ වගකීම අපි සියලු දෙනා වෙත පැවරී තිබෙනවා. ඒ වගකීම ඉටුකිරීමට තමයි ඔබ වහන්සේලා අපි සාමූහිකව ඒකරාශී වෙලා තිබෙන්නේ. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියලා අපි කවුරුත් කෑ ගහන්නේ මේ රටත් ශ්‍රී ලාංකේය ජාතියත් මේ තත්වයෙන් මුදා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන්.

Sangasamulu-Rajarata

අපේ රට බංකොලෙත් වෙන්න ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. බලයට ආව හැම පාලකයෙක්ම නිෂ්පාදනය බිඳ වැට්ටුවා. එදා කන්තලේ – සීනි, ඔරුවල – යකඩ, කැලණියේ – ටයර්, බලංගොඩ – පිඟන්, අනුරාධපුරේ – උළු ටික, හැදුවා. අදටත් අභයගිරිය, ජේතවනය නිර්මාණය කරන්න යොදා ගත්ත මැටි කොහොමද හදාගත්තේ කියන එක ලෝක විද්‍යාඥයන්ටත් සොයා ගන්න බැරිවෙලා තිබෙනවා. පුරා විද්‍යාඥයන් පරීක්ෂණ කළා. ඒ තරම් සවිමත්ව කළේ කොහොමද කියන එක ප්‍රශ්නාර්ථයක් වෙලා තිබෙනවා. ඉතිහාසයේ අපි ශක්තිමත් නිෂ්පාදනයක් මත පදනම් වුණු රටක්. පරාක්‍රම සමූද්‍රය, මින්නේරි වැව, තිසා වැව, කලා වැව හදා තිබෙනවා. යෝධ ඇළේ හැම හැතැප්මකට අඟලක බැස්ම ඇති කර තිබෙනවා. රුවන්වැලි සෑයේ කොත් වහන්සේ අංශක 90කට පිහිටුවා තිබෙනවා. ඒ නිර්මාණශීලී දායකත්වය, ඉතිහාසයේ අපේ රට තුළ සිටි ජනතාවගේ හැකියාවයි. එහෙම උරුමයක් තිබුණු රටක් වුණත් අද මේ පාලකයෝ ඒ සියල්ලත් විකුණාකන තත්වයකට පත්වෙලා. අපේ වැව් ඇතුළු ජාතික සම්පත් සියල්ල, විකුණලා රට ණය කරලා, බංකොලොත් කරලා දැන් කියනවා ඉස්සරහට යන්න විදිහක් නැහැ කියලා. අපේ රටේ ආර්ථික මර්මස්ථාන විනාශ කරලා ආර්ථිකය කඩා වැට්ටුවා. එදා සිට මේ රටේ ක්‍රියාත්මක වෙන දේශපාලන, සංස්කෘතිය අපේ ආර්ථිකය කඩා වැටෙන්න හේතුවක්. ඒ සංස්කෘතිය තුළ හැම ආර්ථික ව්‍යාපෘතියක් පිටුපස්සේ හොරකම, වංචාව, නාස්තිය, දූෂණය ගැට ගැහුණා.

දැන් අපි සියලු දෙනාටම වගකීමක් තිබෙනවා. මුලින්ම මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. නිෂ්පාදනය මත පදනම් වුණු රටක් ගොඩනගන්න ඕනෑ. එසේ නම් මේ පාලකයන් අපි ඉවත් කළ යුතුමයි. රටට ආදරය කරන, සැබෑ දේශප්‍රේමී, සැබෑ ජනතා හිතවාදී කණ්ඩායමක් මේ රටේ පාලනය බලය අතට ගත යුතු වෙනවා. ඒ වෙනුවෙන් අපට ආණ්ඩු බලය අවශ්‍ය වෙනවා. එය හුදෙක් ජනාධිපතිවරයෙක් පත් කළ පමණින් කරන්න බැහැ. තනි පුද්ගලයෙකුට මේ ජාතික විශාල කර්තව්‍යයක් ගොඩගන්න බැහැ. ඒ සඳහා අපි සියල දෙනා එකු වෙන්න ඕනෑ. ගොවි ජනතාව, වැඩකරන ජනතාව, ධීවර ජනතාව, තරුණ පරම්පරාව, කාන්තාවන්, වතුකර ජනතාව, උතුර, දකුණ, නැගෙනහිර සියලු ශ්‍රී ලාංකිකයන් එකතු වෙලා මේ රට දෙපයින් සිටුවන තැනට ගේන්න ඕනෑ. එතනදී ඔබ වහන්සේලාට විශාල නායකත්ව වගකීමක් පැවරෙනවා. ඔබ වහන්සේලාගේ වචනය, ආදර්ශය ඉතාම ප්‍රබලයි. ජාතික කටයුත්තකට දායකත්වය දෙන්න අපේ හාමුදුරුවන් වහන්සේලාගේ පෙරමග නායකත්වය ගැනීම අද අත්‍යවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා හුදෙක් ජනාධිපතිවරණයකින් බලය හුවමාරු වූ පමණින් මේ ජාතික කර්තව්‍ය ඉටුවෙන්නේ නැහැ. බලය හුවමාරු වුණාට පස්සේ මේ රට ගොඩනඟන්න විනයක් සහිත, නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටක් අපි හදන්න ඕනෑ. මේ රටේ මිනිස්සු තුළ මනුස්සකම හදන්න ඕනෑ.

අද පොදු පරාර්ථකාමිත්වය නැති වෙලා තිබෙන්නේ. බුදුරජානන් වහන්නේ අංගඤ්ඤ සූත්‍රයේ දේශනා කළේ “දුප්පත්කම ඇතිවෙන කල්හි හොර හතුරෝ බිහිවේ. හොර හතුරෝ ඇතිවෙන කල්හි අවි ආයුධ බිහිවේ. අවි ආයුධ ඇති වෙන කල්හි අපරාධ, දූෂණ, වංචා, මිනීමැරුම් සමාජ අපරාධ ඇතිවේ” කියලයි. අද සියල්ල කෙලෙසීමට පත්වෙලා. අපරාධ වැඩිවෙලා. පූජනීය වූ ආගමික සංස්ථාවත් අද මේකේ ගොදුරක් බවට පත්වෙලා. මේක අපි තේරුම් ගත්තාට මදි. මෙය වෙනස් කරන්න ඕනෑ. වෙනස් කරන්න අපි නායකත්වය ගන්න ඕනෑ. ජාතික භික්ෂු පෙරමුණට, ජාතික ජන බලවේගයට ජාතික මෙහෙවරක් කිරීම සඳහා බලකිරීමක් සමාජයෙන් ඇවිත් තිබෙනවා. ඒ බලකිරීමත් එක්ක අපි සියලු දෙනාටම එකතු වෙලා මේ රට නව පරිච්ඡේදයකට වෙනස් කිරීමේ වගකීම අපේ දෙවුර මතට ගන්න සිදුවී තිබෙනවා. අපි එකතු වෙමු. ඔබ වහන්සේලාගේ අනුශාසනා, උපදෙස් දේශපාලන නායකයන් විදිහට අපිට ඉතාමත් අත්‍යවශ්‍යයි. අද ගමේ ජනතාව ඔබ වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ මේ අතරමං වුණු ජනතාව එතැනින් මුදා ගැනීම සඳහා මාර්ගෝපදේශයක් සපයන්න කියලා. ඒකට මඟපෙන්වන්න කියලා. අද අපි හැමෝටම වගකීමක් තිබෙනවා මේ විනාශයේ අගාධයෙන් රට මුදා ගන්න. ඒ ජාතික මෙහෙවරට අපි දායක වෙමු. නායකත්ව වගකීම අපි බාර ගනිමු. ඒ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන ආර්ථික සැලැස්මක් තිබෙනවා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න මහා දැවැන්ත ජනතා බලවේගයක් අවශ්‍යයි. අපි සියලු දෙනාම එකතු වෙලා වැඩකරලා, නායකත්වයේ දේශපාලන ආදර්ශය රටට දෙමින් ජාතික පිබිදීමකින් මේ රට ගොඩනගමු. ඒ වෙනුවෙන් අපි සංවිධානය වෙමු.

Sangasamulu-Rajarata