Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
“ඡන්දෙට බඩු බෙදන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහැර ආණ්ඩුව හොර පාරක් හදාගෙන” -විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා- ජපානයේ වෙසෙන ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ හමුව ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ජන බලවේගයේ නායකයා අතර හමුවක් “රනිල් වික්‍රමසිංහ තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිත කළ නායකයෙක් ලක් ඉතිහාසයේ නැහැ” -නීතිඥ සුනිල් වටගල- “මාලිමාවේ අපේක්ෂාව ලෝකයේ ඕනෑම රටක් සමග කරට කර යා හැකි රටක් නිර්මාණය කිරීමයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-
X

“ජාතික තරුණ සේවා සභාව තිබෙන්නේ රනිල්ගේ දේශපාලන ප්‍රොජෙට් කරන්නද?” -සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර-

(සමාජවාදී තරුණ සංගමයේ මාධ්‍ය හමුව – 2024.04.10)

syu-press

බලහත්කාරී ලෙස ජන වරමකින් තොරව ජනාධිපති වී සිටින රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ප්‍රොජට් එකක් ජාතික තරුණ සේවා සභාවේ සම්පත් උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ජනතාව සමග බැඳීමක් නැති රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා ලෙස ක්‍රියාකරන රනිල් වික්‍රමසිංහ, මාධ්‍ය සහ ඇතැම් හමුදා නිලධාරීන් යොදා ගනිමින් ක්‍රියාත්මක වුණා. එය අසාර්ථක වූ තැන පාසල් සිසුන් යොදාගෙන මාධ්‍ය ප්‍රචාරයන් දියත් කළා. එයත් අසාර්ථක වූ තැන රාජ්‍ය නිලධාරීන් කැඳවා මාධ්‍ය සංදර්ශන පැවැත් වූවා. අලුත්ම ප්‍රචාරක ව්‍යාපාරය තුළ ජාතික තරුණ සේවා සභාවේ තරුණ සම්මේලන ඔහුගේ බල දේශපාලන ක්‍රියාවලියේ කොටසක් ලෙස යොදාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාක්ෂි ගණනාවක් අප සතුව පවතින අතර, එයින් කොටසක් මෙහිදී හෙළිකරනවා.

“යූත් සමිට් – 2024” යන ව්‍යාපෘතිය ජනාධිපති ලේකම් කාර්යාලය මැදිහත් වී පසුගිය 07වැනිදා මහනුවර ජනාධිපති මන්දිරයද යොදා ගනිමින් පැවැත් වූවා. මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ සේවා සභා සහකාර අධ්‍යක්ෂ, නිකුත් කර තිබෙන ලිපියක ප්‍රධාන කරුණු ගණනාවක් අඩංගු වෙනවා. ඔහු යෞවන සමාජ දිස්ත්‍රික් ලේකම් වෙත යවන ලද ලිපියේ ඒ වෙනුවෙන් රජයේ නිලධාරීන් වෙතද රාජකාරි පවරා ඇති ආකාරය දැක්වෙනවා. තරුණ තරුණියන් 500ක් සවස 2.00 වන විට මහනුවර ජානාධිපති මන්දිරයට සම්බන්ධ කිරීම, තරුණ සේවා නිලධාරීන් ඒ වෙනුවෙන් නිශ්චිත රාජකාරිමය පැවරීම මගින් යොදා ගැනීම, ප්‍රවාහන පහසුකම්වලට බස්රථ අටක් යොදවා තිබීම සහ මුදල් වෙන්කර තිබීම, ජනාධිපති වෙත අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සුදුසු තරමින් හඳුනාගෙන ඒ අයගේ නාමලේඛනය එදිනට පෙර දැනුම් දීම යන කටයුතු පවරා තිබෙනවා. තරුණ සේවා අධ්‍යක්ෂ ජනරාල්, පළාත් අධ්‍යක්ෂ, තරුණ සේවා නිලධාරීන්, නිස්කෝ සම්බන්ධී කාරක නිලධාරීන් ඇතුළු සියලු නිලධාරීන්ට මෙහි පිටපත් යොමු කර තිබෙනවා.

තරුණ සේවා සභාවෙන් යැවූ ලිපියට අමතරව රනිල් වික්‍රමසිංහලා මාධ්‍යයට මුදා හැරි ප්‍රචාරක පෝස්ට් එකක් තිබෙනවා. එහි සඳහන් කර තිබෙන්නේ “මගෙන් පටන් ගමු, තරුණ සමුළුව” කියලා. ඒ වගේම සංගීත ප්‍රසංගයකුත් පැවත්වා දේශපාලන ප්‍රොජට් එක දියත් කර තිබෙනවා. ඔවුන්ගේ දේශපාලන රැලි පැවැත්වූවාට අපේ කිසිම විරෝධයක් නැහැ. මෙතන තිබෙන ප්‍රශ්නය ජනාධිපති ධුරයේ බලය, ව්‍යවස්ථාව, මහජන මුදල් සහ රාජ්‍ය ආයතන යොදා ගනිමින් දේශපාලනය කිරීමයි. මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න නම්, ව්‍යාපෘති වාර්තාවක් මුලින්ම ඉදිරිපත් කරන්න ඕනෑ. ඒ ව්‍යාපෘති වාර්තාව කොහෙද කියා අපි ප්‍රශ්න කරනවා. ඒ වගේම රනිල්ගේ තරුණ සමුළුව කරන්න තරුණ සේවා සභාවේ මුදල් වෙන්කරන්නේ, ජනාධිපති මන්දිරය යොදා ගන්නේ කොහොමද? ඒ වගේම රනිල්ගෙන් ප්‍රශ්න අහන්න තරුණ තරුණියන් තෝරා ගැනීමේ වගකීම පවරා තිබෙන්නේ රාජ්‍ය නිලධාරීන්ට. තරුණ සේවා සභාව ගොඩනඟා තිබෙන්නේ රනිල්ගේ දේශපාලන ප්‍රොජට් කරන්නද?

ඒ වගේම මේ වර්ෂය වෙනුවෙන් අයවැයෙන් තරුණයන්ට අලුතින් වෙන්කළේ රුපියල් මිලියන 1000යි. ඒ අනුව එක් තරුණයෙක් වෙනුවෙන් දිනකට වෙන්වෙන්නේ රුපියල් 212යි. අපි කියන්නේ ඉදිරි මාස 06 තුළ “රනිල්, ඔයා දේශපාලනය කරන්න. ඒ වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාවත් එයට වෙන්කර තිබෙන මුදල් ප්‍රමාණයත් වැය කරමින් මේ කරන දේශපාලනය කැතයි.” කියන එකයි. එය අපේ රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමක්. මේ සම්බන්ධයෙන් යම් නීතිමය පියවර ගත හැකිදැයි අපි සොයා බලනවා. මේ කරන තුට්ටු දෙකේ දේශපාලනය අනුමත කරනවාද කියලා ස්මාර්ට් දේශපාලනයක් ගැන කථා කරන හැමදෙනාගෙන්ම අපි අහනවා. ඒ වගේම ජාතික තරුණ සේවා සභාව නවීන ලෝකයට ගැලපෙන ආකාරයෙන් තවදුරටත් සංවර්ධනය විය යුතුයි. ලෝකයේ නව තත්වයන්ට ගැලපෙන ආකාරයෙන් එය ඉදිරියට ගෙන යනවා වෙනුවට අනික් ආයතන වගේම එයත් දේශපාලනීකරණය කළා. මේ නිසාම අපේ රටේ පාලකයන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ දේශපාලන ප්‍රොජෙට් එක වෙනුවෙන් මේ ආයතනය යොදා ගත්තා. පාලකයන්ගේ දරුවන්ගේ දේශපාලන ප්‍රොජට් තරුණ සේවා සභාව තුළින් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා.

syu-press

තරුණ සේවා සභාාවේ වර්තමාන සභාපති පසිඳු ගුණරත්නගෙන්, තරුණ කටයුතු ඇමති හරීන් ප්‍රනාන්දු යන අයගෙන් අප නිශ්චිත ප්‍රශ්න කිහිපයක් අහනවා. යොවුන් සමාජ සම්මේලනයේ නිලවරණය අවුරුදු දෙකකට වරක් පැවැත්විය යුතු වෙනවා. නමුත් දැන් අවුරුද්දකට වැඩි කාලයක් ඒ නිලවරණය කල්දමා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පාලකයන්ගේ ස්ථාවරයට අපි ප්‍රශ්න කරනවා. තවත් පැත්තකින් යෞවන සමාජ සම්මේලනයේ ලේකම් තරිඳු නලීන් ක්‍රියාකරන ආකාරයත් ප්‍රශ්න කරනවා. මෙම තනතුරට පත්වෙන්නේ අපේ රටේ තරුණ සම්මේලනයේ සාමාජිකයන්ගේ ඡන්දයෙන්. එහි මූලික නිලතල දරන අය නිශ්චිත දේශපාලන ධාරාවක ක්‍රියාකාරීව යෙදෙන්නේ නැහැ. නමුත් තරිඳු නලීන් එක්සත් ජාතික පක්ෂයේ ගලගෙදර ආසනයේ සංවිධායක ලෙස කටයුතු කරමින් ජාතික තරුණ සේවා සභාව සහ යෞවන සමාජ සම්මේලනය දේශපාලනීකරණය කිරීම අපි ප්‍රශ්න කරනවා.

ඊට අමතරව අනෙකුත් ආයතනවල වගේම තරුණ සේවා සභාවේ සිදුකරන දූෂණ, වංචා පිළිබඳවත් තොරතුරු ටිකක් හෙළිකරන්න තිබෙනවා. 2023 දෙසැම්බර් 31වැනිදා නෙළුම් කුලුණේ පැවැත්වූ ප්‍රසංගයට රුපියල් මිලියන 22ක් වියදම් කර තිබෙනවා. දිස්ත්‍රික්කයකින් 50ක් බැගින් සියලුම දිස්ත්‍රික්කවලින් මේ සඳහා තරුණයන් ගෙන්වාගෙන තිබෙනවා. ඒ තරුණයෝ ගෙන්වාගත් බස් රථවලට වැය කළ මුදල වගේම කෑම බීම සඳහා වැය කළ මුදල මේ රුපියල් මිලියන 22ක තුළ නැහැ. මේ ප්‍රසංගය වෙනුවෙන් ඉදිරිපත් කළ ප්‍රොජෙට් රිපෝට් එකෙන් ප්‍රධාන කරුණු දෙකක් හෙළිවෙනවා. කෝවිඩ් වසංගතයත් සමග තරුණ තරුණියන්ට ඇති වූ මානසික පීඩනය දුරුකර ගැනීම සහ තරුණ සේවා සභාවට ආදායම් උපයා ගැනීමේ මාර්ගයක් ලෙස ප්‍රසංගය පවත්වන බව සඳහන් වෙනවා. නමුත් වෙළඳ කුටි ඉදිකිරීමේ සහ ඇතුල්වීමේ ටිකට් පත් රුපියල් 1000 බැගින් එකතු කිරීමෙන් ලද ආදායමට මොකද වුණේ කියලා අපි ප්‍රශ්න කරනවා. රජයේ ව්‍යාපෘතියකදී මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය නොකළ යුතු බව සාමාන්‍ය පිළිගැනීමක් තිබෙනවා. නමුත් මේ ප්‍රසංගයේදී බියර් ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ කෙසේදැයි ප්‍රශ්න කරනවා. රටේ පළාත් නවයේම මෙවැනි ප්‍රසංග නවයක් පැවැත්විය යුතු බවට ඔවුන් තීරණය කර තිබෙනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 90ක් දැනටමත් වෙන්කරගෙන තිබෙනවා.

ගාල්ලේ පළවෙනි සංදර්ශනය කරන්න උත්සාහ කළත්, එහි සිටින සංස්කෘතික සංගම් ඇතුළු සංවිධානවලින් එය නතර කරන ලෙස ඉල්ලා තිබෙනවා. ගාල්ලේ පැවැත්වීමට තිබූ ප්‍රසංගය අහෝසි කළ පසු රුපියල් ලක්ෂ 12 1/2 වියදම් කර, ක්ෂණිකවම “දහඅට සන්නියක්” නටන්න යොදා ගත්තා. මේ වෙනුවෙන් ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන්ම තරුණ තරුණියන් ගෙන්වනවා. ප්‍රවාහන වියදම්, කෑම බීම වියදම් ඇතුළු අනෙකුත් වියදම් මේ ලක්ෂ 12 1/2 ඇතුළත් නැහැ. ඉරාජ්ගේ දේශපාලනය සම්බන්ධයෙන් ඔහුට තිබෙන අයිතිය ගැන අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔහුගේ වීඩියෝවලින් කියැවෙන්නේ පළාත් නවයට වෙන්කළ අර රුපියල් මිලියන 90න් අදාළ ක්‍රියාමාර්ග දියත් කිරීමේ කාර්යය ඔහුට පවරා ඇති බවයි. තරුණ සේවා සභාවේ මේ ව්‍යාපෘතිය බාරදී තිබෙන්නේ තමන්ට බව ඉරාජ් කියනවා. ඉරාජ්ගේ පුද්ගලික සල්ලිවලින් දහඅට සන්නිය නටනවා නම් අපට කමක් නැහැ. සංස්කෘතික වශයෙන් පවතින දේවල් ඒ ඒ අය කරගත්තාට අපට කමක් නැහැ. නමුත් මේ දහඅට සන්නිය ඉරාජ්ගේ ප්‍රොජට් එකක්ද තරුණ සේවා සභාවේ ප්‍රොජට් එකක් ද කියලා සභාපතිවරයා පිළිතුරු දෙන්න ඕනෑ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති කුලියාපිටියේ පවත්වන ලද තරුණ රැලිය එක්සත් ජාතික පක්ෂයේ වැඩක්. ඒ වෙනුවෙනුත් තරුණ සේවා සභාව පාවිච්චි කර, නැටුම් කණ්ඩායම් හයක්, වෑන් හතරක් කැබ් රථයක් යොදාගෙන තිබෙනවා. ඒ ගිය වාහනවල අංක පවා අප සතුව තිබෙනවා. රනිල්ලා ගෙනයන පාලනය නිසා තරුණ තරුණියන් විශාල පිරිසක් විදේශග වෙන්න පාස්පෝට් පෝලිමේ ඉන්නවා. නමුත් ඒ පෝලිම එයාර්පෝට් එකේ නැහැ. ඔවුන්ට රටින් පිටවී යන්න වත් හැකියාවක් නැහැ. එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් තරුණ තරුණියන්ට ඇඳුමක් ගන්නවත් හැකියාව නැතිව තිබියදී රනිල් වික්‍රමසිංහලාගේ දේශපාලන ප්‍රොජට් එක වෙනුවෙන් ඬෙඟා නටනවා. ‘ස්මාර්ට් තාරුණ්‍යය’ කියලා හැඳින්වූවත් මේ දක්වා පැමිණි කැත, මජර දේශපාලනය තවදුරටත් ඉදිරියට ගෙනයමින් සිටිනවා. තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් 2022 නැගී සිටියේ මේ මජර දේශපාලනය අවසන් කරන්න; නාස්තිය නතර කරන්න. අපේ රටේ තරුණයන් වෙනුවෙන් පවතින දේපළ යොදා ගනිමින් ගෙනයන ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙස ජනාධිපති සහ අනෙකුත් සියලුම වගකිව යුතු දේශපාලනඥයන්ටත් නිලධාරීන්ටත් අපි අවධාරණය කරනවා. පසුගිය කාලයේ මහින්දලා වෙනුවෙන් කඩේ ගිය නිලධාරීන්ට අවසානයේ උසාවිවල සහ බන්ධනාගාරවල ගත කරන්න සිදුවුණා. එවැනි අනීතික ක්‍රියාමාර්ග අනුගමනය නොකරන ලෙස මේ නිලධාරීන්ගෙන් අපි ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික මහින්ද ජීව සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකා ශානිකා මධුරංගි යන සාමාජික සාමාජිකාවන්ද සහභාගි වී සිටියහ.

syu-press