Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නායකයෙකු අතර හමුවක්

(-2025.06.19 – China-)

Tilwin Silva with Xi Taifeng

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත මේ දිනවල චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුලු පිරිස 18 වැනි දින පස්වරුවේ බීජිං නගරයේ ප්‍රධාන මහජන ශාලාවේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික, ස්ථාවර කමිටු සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවිධාන අංශයේ ප්‍රධානී ෂී තැයිෆෙන් සහෝදරයා ඇතුළු ඉහළ පෙළේ නායකයින් පිරිසක් හමුවූහ.

ජනතා විමුක්ති පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පිළිබඳව සිහිපත් කළ ෂී තැයිෆෙන් සහෝදරයා, පක්ෂයේ කාඩර්වරුන්ගේ දේශපාලන න්‍යායික දැනුම නිරන්තරයෙන් වර්ධනය කිරීමේ ඇති වැදගත්කම පෙන්වා දුන් අතර චීනය අවශ්‍ය ඕනෑම මොහොතක තම අත්දැකීම් ජනතා විමුක්ති පෙරමුණ සමග බෙදා ගැනීමට සූදානම් බවද පැවසීය.

Tilwin Silva and the team at Great Hall of the People in Beijing

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන වැඩසටහන අනුව අවශ්‍ය සාහය ලබා දීමට සූදානම් බවත් ඒ සඳහා වූ එකඟතාවයන් කිහිපයක් මෙම වසරේ මුල් කාලයේ චීනයට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ඇති කරගත් බවත් ඔහු සඳහන් කළේය.

එහිදී ටිල්වින් සිල්වා සහෝදරයා සඳහන් කර සිටියේ චීනය සහ ලංකාව අතරත් ජනතා විමුක්ති පෙරමුණ සහ චී‍න කොමියුනිස්ට් පක්ෂය අතරත් පවතින මිත්‍රත්වය මෙම සංචාරයේදී තවදුරටත් වර්ධනය වූ බවය.

A group of high-ranking leaders of the Communist Party of China

එමෙන්ම චීනයේ ජජියාන් ප්‍රාන්තයේ සහ ගුයිෂූ ප්‍රාන්තයේ ගම්මානවල සිදු කළ සංචාරයේදී එම ගම්මාන දියුණු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මනා අවබෝදයක් ඇති කර ගැනීමට හැකි වූ බවත් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එම ලද අත්දැකීම් ඉවහල් වනු ඇති බවත් ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කර සිටියේය.

රබර් – සහල් ගිවිසුමේ සිට විවිධ ක්‍රම හරහා චීනය, ශ්‍රී ලංකාවට උදව් කරමින් සිටින බවත් වර්ථමානයේද ශ්‍රී ලාංකික පාසල් දරුවන්ගේ නිල ඇඳුම් සඳහා රෙදි ලබාදීම ඉතාමත් අගයකොට අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා, 2026 වසරේද එම නිල ඇඳුම් රෙදි ලංකංවේ පාසල් වෙත හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බවද පැවසීය.

Tilwin Silva gifting Xi Taifeng

මෙම හමුව සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය ඇමති සුන් හැයියාන් සහෝදරිය ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක් වී සිටි අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර, ජාතික ඒකාබද්ධතා නියොජ්‍ය ඇමති මුනීර් මුලෆ්ෆර්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එම් ජෙගදීශ්වරන්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි දීප්ති වාසලගේ, ගම්පහ දිස්ත්‍ර්ක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ ඇතුළු සහෝදර සහෝදරියන් පිරිසක් එක්වී සිටියහ.

JVP team at the Great Hall of the People in Beijing