අපේ රටේ ඇතිවී තිබෙන තත්වයත්, එය ඇතිවීමට හේතු සාධක පිළිබඳවත් ඉතාමත් හොඳින් කැටිකොට සම්පිණ්ඩනය කොට ඉලක්ක සහගතව ඉදිරිපත් කිරීමට මේ කෘතිය විශාල වෑයමක් දරා තිබෙනවා. ඒනිසා මේ කෘතිය සම්පාදනය කරන්න වෙහෙස වුණු සියලු දෙනාටම පළමුව ස්තුතිවන්ත වෙනවා.
සමාජය තුළ වෙනසක් අවශ්‍ය බවට කතිකාවකත් නිර්මාණය වී තිබෙනවා. වෙනසක් පිළිබඳව පිපාසයෙන් ඉන්න ජනතාවට ඕනෑ කවරාකාරයේ වෙනසක්ද යන්න පෙන්වාදීමට අපට අවශ්‍ය වුණා. රටක් හැටියට කඩා වැටී තිබෙන තත්වයෙනුත් ජනතාවක් හැටියට පත්වී තිබෙන ව්‍යසනයෙනුත් ගොඩ ඒම සඳහා රට කවර දිශාවකට පරිවර්තනය කළ යුතුයිද කියන කාරණය පිළිබඳව නිශ්චිත පැහැදිලිකිරීමක අවශ්‍යතාවය තිබුණා. ඒ අවශ්‍යතාවයේ මූලික පදනම තමයි මේ කෘතියෙන් ඉදිරිපත් කරන්නේ. මේ කෘතිය මත පදනම් වූ අපේ ආර්ථික වැඩපිළිවෙළ එළිදක්වන්න සූදානම් කර තිබෙනවා. දැනටමත් මේ මත පදනම් වූ ඉංජිනේරු ක්ෂේත්‍රයේ අපේ වැඩපිළිවෙළ ඉදිරිපත් කොට තිබෙනවා. මහාචාර්ය ගෝමික මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ ක්ෂේත්‍රයේ දිශානතිය පිළිබඳ වැඩපිළිවෙළ ඉදිරිපත්කොට තිබෙනවා.
14 වන සියවසේ සිට 19 වන සියවස දක්වා ලෝකයේ විවිධ කඳවුරුවල විවිධ කලාපයන් ඇතුලේ විශාල සාකච්ඡාවන් පැන නැගුණා. යුරෝපයේ පුනරුද යුගයේ චින්තකයන්, දේශපාලකයන්, කලාකරුවන්, විද්‍යාඥයන් මේ ආදී කණ්ඩායම් අනාගත ලෝකයක් පිළිබඳව විවිධ අංශවලින් චිත්‍රණය කළා. ඒ චින්තනමය අදහස් මත භෞතික ලෝකය ගොඩනැඟෙන්නේ විසිවන සියවසේ. ඒනිසාම හැම සියවසකට වඩා විසිවන සියවස වැදගත් වෙනවා. ලෝකයේ මෑතක සංවර්ධනය අත්පත් කර ගත් රාජ්‍යයන් දියුණුව අත්පත් කර ගැනීම සඳහා පදනම නිර්මාණය කළේ විසිවන සියවසේ. මීට පෙර සියවස්වල සුවිශේෂී තත්වයන් කීපයක් තිබුණා. එකක් තමයි පාරම්පරික පවුල් කිහිපයක ලේ උරුමය මත සහ දිවියේ කැමැත්ත අනුව රාජ්‍ය බලය හිමිවෙමින් පැවතුණා. මේ බලය විසිවන සියවසේදී ජනතාවගේ කැමැත්තේ පොදු ජනයාගේ නියෝජනයන් හරහා රාජ්‍ය බලය ස්ථාපිත වෙන්න පටන් ගත්තා. පුරවැසියන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන, පුරවැසියන් බවට පත්වෙනවා. පුරවැසියන් තමන්ගේ අතට බලය ලබා ගැනීම සඳහා සක්‍රීයව ක්‍රියාකාරී වෙනවා. 1917 සෝවියට් රුසියාව වැනි රටවල් ගණනාවක යටත්භාවයට පත්ව සිටි පුරවැසියන් සක්‍රීය ක්‍රියාකාරිත්වයෙන් යුතු පුරවැසියන් බවට පරිවර්තනය කරනවා.
ඒ වගේම විසිවන සියවසේ කෘෂිකර්මාන්තයෙන්, වෛද්‍ය විද්‍යාවෙන්, තාක්ෂණයෙන් විශාල පරිවර්තනයක් ගෙනදුන්නා. ලෝකයේ ජනතාවට ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කර ගන්න හැකි වෙනවා. වෛද්‍ය විද්‍යාවේ දියුණුව විසින් සමහර රෝග ලෝකයෙන් තුරන් කරනවා. හෘද සැත්කම් හා වෙනත් සැත්කම් හරහා මානවයාගේ ආයු කාලය වැඩි කරනවා. ඒ වගේම දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ, මානව හිමිකම් පිළිබඳ, සිවිල් අයිතිවාසිකම් පිළිබඳ, පරිසරයේ පැවැත්ම පිළිබඳ ආරක්ෂණයක් පිළිබඳ කතිකාවන් නිර්මාණය වෙනවා. සාමූහිකත්වය පිළිබඳ නව ආකල්ප ගොඩනැඟණු සියවසක්. මිනිස් ශිෂ්ටාචාරය අත්පත් කර ගන්නා ලද අත්දැකීම්, වර්ධනයන් විසින් බොහෝ දේවල්වල ප්‍රතිලාභ අත්පත් කර ගන්නවා. වෛද්‍ය විද්‍යාවේ, තාක්ෂණයේ කෘෂිකර්මාන්තයේ විශාල ජයග්‍රහණ අත්පත් කරගත් සියවසක් තමයි විසිවන සියවස කියන්නේ. විසිවන සියවසේ කලාවේ, සාහිත්‍යයේ, චිත්‍රපටයේ විශාල පරිවර්තනයන් ඇති වුණා. සංගීතය විශාල ලෙස වර්ධනය වෙන්න පටන් ගන්නවා. නමුත් විසිවන සියවසේ අත්පත් කර ගත් ජයග්‍රහණ සහ ඇති වූ පරිවර්තනයන් මත පදනම් වෙලා ජයග්‍රාහී රාජ්‍යයක් බවට අපේ රට නිර්මාණය කර ගැනීමට පාලකයෝ අසමත් වුණා.
නමුත් ඒ ඇති වූ ජයග්‍රහණයන් රටට කැඳවාගෙන ඒමට ප්‍රයත්නයක් දැරූ කණ්ඩායම් අපේ රටේ හිටියා. එලෙස ඇති වූ චින්තනයන්, සමාජ සාධාරණත්වය, දේශපාලනය, වමේ ව්‍යාපාර අපේ රටට කැඳවාගෙන ආවා. ඒ කිසිවක් සාර්ථකත්වයේ ඉම දක්වා ගමන් නොකළේ අපේ රට දූෂිත, ප්‍රභූවාදී පැළැන්තියක් විසින් ගිලගෙන සිටීම නිසයි. පළමුවෙන්ම දේශපාලන බලය පවුල් සංස්ථා කිහිපයක් අත ගොඩ නැඟෙනවා. ඒ දේශපාලන අධිකාරියත් එක්ක ගැටගැසුණු දූෂිත ව්‍යාපාර කණ්ඩායමක්, ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරගෙන යාමට දූෂිත රාජ්‍ය නිලධාරී කණ්ඩායමක් ගොඩනැඟෙනවා. ඉහළ සිට පහළට ත්‍රාඩ, අපරාධකරුවන්ගේ බලග්‍රහණයට මේ රාජ්‍ය පත්වෙනවා. මේ කණ්ඩායම් අධි පරිභෝජනවාදී, සදාචාරය, ධනය ඉපයීමේ සීමා මායිම් කිසිවක් නැති, පිරිසක් බවට පත්වෙනවා. කැලෑවල ඉන්න ඇත් පැටවුන් ගෙනැවිත් ප්‍රභූත්වය ආරූඪකර ගන්න ගෙවල්වල ඇති කරන්න පටන් ගන්නවා. මේකෙන් ඇති වුණු ප්‍රතිඵලය කුමක්ද?
එළියේ තිබූ විද්වත් කතිකාව, ලෝකයේ සිදුවෙමින් තිබූ වෙනස්කම්, සමාජය ඒ දිශාවට ප්‍රතිනිර්මාණය කළ යුතුයි යන අදහස ඒගොල්ලන්ට අදාළ වුණේම නැහැ. මේ දූෂිත, ත්‍රාඩ පැළැන්තිය තමයි මේ ව්‍යසනය අපට ඇති කළේ. ඒ ගමන් මගේ අනිවාර්ය ප්‍රතිඵලයක් තමයි 2021-2022දී අපේ රට අත්විඳින්නේ. ගෝඨාභය රාජපක්ෂ මේ විනාශය කර පින්නාගෙන ආව නියෝජිතයා පමණයි. ත්‍රාඩ ධූරාවලියේ අනිවාර්ය ප්‍රතිඵලය තමයි 2021 සහ 2022. ඒ අවුරුද්දේ ඇති නොවුණා නම් ඉතා කෙටි කාලයකදී ඇති වෙන තත්වයක්. මේ අසමත්වීමට හේතු වුණේ, විසිවන සියවසේ ඇති වූ ජයග්‍රහණයන් නෙළාගෙන, ඒකට අවශ්‍ය ආර්ථික උපායමාර්ග යොදා ගැනීමට අසමත්වීම. ඒනිසා තමයි විශාල ජනතා නැගිටීමක් සිදුවුණේ. අරගලයට සම්බන්ධ වුණු අයට වඩා වැඩි පිරිසක් ඒ අරගලයට සුබ ප්‍රාර්ථනා කළා. විශාල ජනතා පිබිදීමක් ඇතිවුණා. අරගලය දෙස ඉතා ආස්වාදයෙන් බලාගෙන සිටියා. මේ අරගලයේ ප්‍රතිඵලය ලෙස දේශපාලකයා තවදුරටත් ගල් පිළිම නොවන බවත් බොල් පිළිම බවටත් ඔප්පු කරන්න පටන් ගත්තා. 2022 ජනතා නැගිටීම නිසා, දේශපාලකයා සියල්ල කළ හැකි, මනෝභාවයන් වෙනස් වෙන්න පටන් ගත්තා. ජනතාව තමන් සතුව ඊට වඩා විශාල බලයක් තිබෙන බව අවබෝධ කර ගත්තා. නමුත් ඒ දූෂිත යාන්ත්‍රණයම තාවකාලිකව නැවත බලය ස්ථාපිත කර ගත්තා.
මහජනතාවගේ එවැනි නැගිටීමක් එන්නේ එක් නිමේෂයකදී. එය වසර දෙක, තුන අඛණ්ඩව සිදුවන්නේ නැහැ. පුරවැසියන්ට තමන්ටමවු ජීවිතයක් තිබෙනවා. පුරවැසියන් නිමේෂයකදී තමන්ගේ ආවේගය, ක්‍රියාකාරිත්වය ඉදිරියට ගෙනියනවා. ඊළඟ නිමේෂයකදී සාමාන්‍ය ජන ජීවිතයට යොමුවෙනවා. ජාතික ජන බලවේගයේ අපි සිතනවා සාමාන්‍ය ජනතාවගේ ජීවිතය ගලාගෙන යාම සාමාන්‍ය ප්‍රවාහයකට වැළැක්විය හැකි එකක් නෙවෙයි. නමුත් අරගලයේදී මතුකරන ලද අදහස් ජනතාවගෙන් ඈත්වෙලා නැහැ. අරගලය නිසා මතු වූ සාධක දෙකක් තිබෙනවා. එකක් තමයි “74 වසරක සාපය” ඒක තමයි දිගුකාලීන අත්හැරීම. දෙවැන්න “සිස්ටම් චේන්ජ් එක” ඒක තමයි අපි යෝජනා කරන පුනරුදය. මේ කරුණු අපි දශක ගණනාවක් තිස්සේ සමාජයට ඉදිරිපත් කර තිබීම අප කෙරෙහි විශ්වාසය තබන්නත්, මේ පරිවර්තනයේ කේන්ද්‍රය ජාතික ජන බලවේගය බවට පත්කරන්නත් ඉවහල් වී තිබෙනවා.
අත්හැරුණු දේ වේගයෙන් උකහා ගැනීමත්, ජනතාව නව පරිවර්තනීය යුගයක් කරා, මෙහෙයවීමත් අපි දැන් කළ යුතුයි. එහිදී අපි සංවාදයට ලක්කළ යුතුයි ජාතික පුනරුදයක ලක්ෂණ මොනවාද කියලා. අපේ රටේ තිබෙන විභවතාවන් සැලකිල්ලට ලක්කර ගනිමින්, අපේ විශිෂ්ටතමයින් උත්සාහ කරන ලද, නිෂ්පාදනය මත ආර්ථික ප්‍රවේශයකට වේගයෙන් අවතීර්ණ විය යුතුයි. මූලික වශයෙන් අපේ ප්‍රාථමික නිෂ්පාදනයන් වර්ධනය කර ගත යුතුයි. කොවිඞ්වලින් පසු රාජ්‍යයන්වලට තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තීන් ගැන නැවත සලකා බලන්න බලකර තිබෙනවා. කොවිඞ් කාලේ වරායවල්වල ඉඩ මදිවෙන තරමටම නැව් ඇන්කර් කර තබන්න සිදුවුණා. ගුවන් යානා ගොඩබස්සන ඉඩ මදිවෙන තරමට ගුවන් යානාවලින් පිරෙන්න පටන් ගත්තා. සයිබර් ලෝකයේ අපි ඒකාබද්ධ වුණාට ලෝකයේ සෑම රාජ්‍යයක්ම තමන්ගේ ජාතික සීමාවන් ඇතුලේ හුදකලා වෙන්න පටන් ගත්තා. හැමෝටම බල කළා තමන්ගේ මූලික අවශ්‍යතා වන ආහාර නිෂ්පාදනය කිරීමට අවධානය යොමු කිරීමට.
අපි පුනරුද යුගයේ ආරම්භයේදී ජාතික ආරක්ෂාවටත්, ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙනුත්, කෘෂි නිෂ්පාදන, මත්ස්‍ය නිෂ්පාදන, කිරි, බිත්තරවලින් යළි වර්ධනයක් අත්පත් කරගත යුතුයි. අපේ ඛනිජ සම්පත් මත, ලෝකයේ තාක්ෂණික උවමනාවන් මත ගොඩනැගෙන නව කර්මාන්ත අවධියකට අපේ රට පරිවර්තනය කළ යුතුයි. එදා ඉංජිනේරු විමලසුරේන්ද්‍ර මහතාට තිබූ සිහිනය ඊට සියවසකට පසුව හරි මේ රටේ සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ වගේම සමාජ සාධාරණත්වය පිළිබඳ භාවිතාවක් අපට අවශ්‍යයි. හැමදෙනාම නීතිය ඉදිරියේ සමාන විය යුතුයි. සැම දෙනාටම සාධාරණ ලෙස ආර්ථිකයට ප්‍රවිෂ්ටවීමේ අයිතියත් එහි ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදී යාමත් සිදුවිය යුතුයි. සමාජය තුළ භාවිතාවේ සාධාරණත්වයක් ස්ථාපිත කළ යුතුයි.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියලා අප ඉදිරියේ ප්‍රතිරූපයක් මවන මේ නායකයන් කවුද? ජේ.ආර්. ජයවර්ධන ලංකාවේ පළමු විධායක ජනාධිපති කීවාට, ඔහු ජනතාව විසින් පත්කර නොගත් පළමු විධායක ජනාධිපතියි. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන සංශෝධනයකින් ජනාධිපති වී 1978 ව්‍යවස්ථාවෙන් බලය තවදුරටත් තහවුරු කරගත්තා. 78 ව්‍යවස්ථාව අනුව අවුරුදු හයකට පසු ජනාධිපතිවරණය පැවැත්විය යුතු වුවත්, ව්‍යවස්ථාවට තුන්වැනි සංශෝධනය ගෙනත් ඔහුම තරග වදින්නේ නම් වසර හතරක් ඉක්මවූ පසු ජනාධිපතිවරණයක් කැඳවිය හැකි තත්වට ව්‍යවස්ථාව වෙනස් කර 1982 ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වූවා. ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් උදම්වීමත් සමග පාර්ලිමේන්තුවේ ධුර කාලය තව වසර හයකින් දීර්ඝ කරගන්න ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවා. ව්‍යවස්ථා සංශෝධනය අනුමැතිය වෙනුවෙන් ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. නියමිත පරිදි මහා මැතිවරණය පැවැත්වූවා නම් හයෙන් පහක බලයක් නොලැබෙන නිසා, ජනමත විචාරණ ප්‍රෝඩාව ගෙනාවා. විසිවැනි සියවසේ දේශපාලන සංකල්ප ක්‍රියාකාරිත්වයට ලක්කෙරෙමින් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් පුළුල් කර ගත්තත් අපේ පාලකයන් ඒ තත්වයට ගියේ නැහැ. තමන්ගේ ධුර කාලය වසර පහ දක්වා අඩුකර ගත් බවට උදම් අනමින් සිටි මෛත්‍රීපාල සිරිසේන වසර පහ අවසන් වෙන්න යනකොට වසර හයක් ඉන්න පුළුවන්ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවා. ඒ වෙලාවේ නීතිපතිගේ තර්කය වුනේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාට නොව ඊළඟ පත්වෙන ජනාධිපතිවරයාට තමයි වසර 05 අදාල වෙන්නේ කියලා. එහෙම තියෙද්දී දැන් ඉන්න ජනාධිපති වසර හයක් ඉන්න බැරිද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහනවා. මේ මොන නායකයොද? බලය, බලය මත වැජඹෙන දුෂ්ට විනාශකාරී ත්‍රාඩ පංතියක් මේ ඉන්නේ.
සමාජ සාධාරණත්වයේ භාවිතයේ පුනරුදයක් අවශ්‍යයි. නීතිය තියෙන්නේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මිස පාලකයන්ට බලයේ ඉන්න නොවෙයි. 19වැනි සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට මහජන නියෝජිතයන් ලෙස පත්විය නොහැකි කියලා සංශෝධනයක් ආවා. ගෝඨාභය රාජපක්ෂ බලයට ආවට පස්සේ ඒක වෙනස් කළා. ඒ සංශෝධන දෙකටම පාර්ලිමේන්තුවේ අත උස්සන අය ඉන්නවා. ත්‍රාඩ දේශපාලකයන්, ජාවාරම්කාර ව්‍යාපාරිකයන්, දූෂිත නිලධාරීන් අපේ රට ගිලගෙන තිබෙන්නේ. වෙන මොනවා නැතත් මේ ත්‍රාඩ දූෂිත වළල්ලෙන් මේ රට ගැලවීමම පුනරුදයක් කියලයි මටනම් හිතෙන්නේ.
ඒ වගේම යටත් වුණු නිහඬ වුණු පුරවැසියන් වෙනුවට නව පුරවැසි ක්‍රියාකාරිත්වයක් සහිත ජනතාවක් අපේ රටට අවශ්‍යයි. ස්ත්‍රී, පුරුෂ ආදී වශයෙන් සමාජයේ සියලු බෙදීම් ඉවත් කළ සමාජයක් ගොඩනැගීම අවශ්‍යයි. ඒ වගේම විසිවැනි සියවසේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ලබාගත් මහා ජයග්‍රහණ අපේ ජනතාවට අත්කර දී නැහැ. එනිසා අධ්‍යාපනයේ සෞඛ්‍යයේ පුනරුදයක් අවශ්‍යයි. ප්‍රවාහනය ගත්තත් පුරවැසියන්ගේ ආදායමෙන් 35% – 40%ක් අතර වැය කිරීමට සිදුවෙලා තිබෙනවා. එතරම් ප්‍රමාණයක් වැය කළත් බොහෝ වේලාවක් පාරේ බස් එකේ නැත්නම් තමන්ගේ වාහනයේ රස්තියාදු වීමට සිදුවී තිබෙනවා. යහපත් පොදු ප්‍රවාහනයක් අපිට අවශ්‍ය නැද්ද? අද රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමාපියන් කොතරම් කැපකිරීම් කරනවද? ආහාර වේල නොගෙන දරුවන්ට උගන්වන දෙමාපියන් ඉන්නවා. දරුවන්ට යහපත් අධ්‍යාපනයක් ලැබෙන සියලු පුරවැසියන්ට සෞඛ්‍ය ආරක්ෂාවක් තහවරු වෙන ඉතා දියුණු ප්‍රවාහන පද්ධතියක් සහිත සේවාවක් තහවරු කරන නව යුගයක් නිර්මාණය කළ යුතුයි.
ගම්වල හුදකලා කර, නොසලකා හරින ලද නිර්ප්‍රභූ ජනතාවක් ඉන්නවා. ඔවුන් මේ සමාජයෙන් පිටමං කරලයි ඉන්නේ. එම ජනතාවට සමාජයේ ඇතිවෙමින් තිබෙන සංවර්ධනයේ අයිතිවාසිකම් භුක්ති විඳිමින් පෝෂ්‍යදායී ආහාර වේලක සිට සියලු ජීවන අපේක්ෂාවන් සපුරාලිය හැකි නව පුනරුද යුගයක් අවශ්‍ය නැද්ද?
සියල්ලම විනාශකරමින්, අනාගතය විනාශ කරමින් පෞද්ගලික සුඛ විහරණය සලසා ගන්නා මේ ඊනියා සංවර්ධන ගමන වෙනුවට සොබාදහම සමග සහභාගිත්වයෙන් ඉදිරියට යන සංවර්ධන මාවතක් අපි හඳුන්වා දෙනවා. ඒ විතරක් නෙවෙයි පුරවැසියන්ට අර්ථාන්ව්ත සංස්කෘතික ජීවිතයක් ලබාදීම තවත් මූලිකම අරමුණක්. උදාහරණයක් විදියට ගත්තොත් අපේ රටේ වෛද්‍යවරුන් රෝහලේදී රෝගීන් සමග ගතකරන කාලයට අමතරව, තවත් පැය හයක් පමණ රෝහලෙන් පිටත් රෝගීන් සමග ගත කිරීමට සිදුවෙලා. ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය මුළුමනින්ම අහිමිවී තිබෙනවා. කියවික් ගීතයක් රසවිඳින්න නාට්‍යයක් බලන්න කාලය තියෙනවද? අද මුළු සමාජයම වියලි දරු කෝටු බවට පත්වූ මහා ආතතියකින් වෙළුණු පුරවැසියන් සහිත සමාජයක් වෙලා. ඒ වෙනුවට එකිනෙකා කෙරෙහි ලෙන්ගතුවූ සතුට විනෝදය තිබෙන ජීවිතයක් අපි ලබා දෙනවා.
ඒ වගේම ජාතික සමගිය ගොඩනැගීමත් මේ පුනරුදයේ ප්‍රධාන කොටසක්. අපේ රටේ මේ දක්වා උතුරට එරෙහිව දකුණ මෙහෙයවන දේශපාලනය, ආගම්වලට එරෙහිව මෙහෙයවන දේශපාලනය ලෙස ගෙන ගිය අනෙකාට එරෙහි දේශපාලනය අවසන් කළ යුතුයි. සමාජයේ පැතිරී තිබෙන ජාතිවාදය සහ ආගම්වාදය අවසන් කර, ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම වෙනුවෙන් ජාතික පුනරුදයක් අපට අවශ්‍යයි.
ලෝකයේ හුදකලාවූ රාජ්‍යයක් නොවී ලෝකය සමග අත්වැල් බැඳගත් ගෞරවණීය රාජතාන්ත්‍රිකභාවයත් ගොඩනඟන ජාත්‍යන්තර සම්බන්ධතා සහිත පාලනයේ පුනරුදයක් අපේ පාලනයකදී ඇති කරනවා. සංකීර්ණ බල උවමනාවන් සහ සබඳතා නිසි පරිදි අධ්‍යයනය කර විදෙස් ප්‍රතිපත්තියේ නව පුනරුද යුගයක් ඇති කරනවා. ඒ වගේම විද්‍යාව හා තාක්ෂණයේ නව ජයග්‍රහණයන් අතිපත් කර ගනිමින් මේ විනාශකාරී යුගයේ සිට නව ජයග්‍රහණ අත්කර ගැනීමේ ප්‍රබෝධයන් සමග අප දේශපාලනය කරනවා. කෙතරම් දුෂ්කරතා තිබුණත් ප්‍රබෝධයකින් යුත් ජනතාවක් සිටින්නේ ජාතික ජන බලවේගයත් සමග අත්වැල් බැඳගත් අය පමණයි. මොකද යහපත් සමාජයක් ඇති කිරීමේ විශ්වාසය සහ උවමනාවන් සහිත නිසා ඔවුන්ගේ සිත්තුල විශ්වාසයක් ප්‍රබෝදයක් තිබෙනවා. ඒ තත්වය මුළු රටේම ජනතාවට අත්කර දීම වෙනුවෙන් සියලු දෙනාම අත්වැල් බැඳ ගනිමු.