by admin

අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක් (PDF)

නියෝජිත මහ සමුළුව

අපගේ අරමුණු

"අනේ අපේ රටට වෙච්ච දේ..."

“දිව්‍යලෝකයකටත් වඩා තමන්ගේ මෑණියන් සහ තමන්ගේ මව්බිම වටින බව කියපු මිනිස්සු සිටි රටක් මේ. එබඳු වටිනා හැඟීමකින් ජීවත් වුණු ජන සමාජයකට මොකක්ද අද මේ වෙලා තියෙන්නේ…? අපේ රටේ අනන්‍යතාවය ක්‍රමක්‍රමයෙන් ගිලිහී යන තැනට පත් වෙලා. හැම පැත්තකින්ම අපට දකින්න ඇසෙන්න තියෙන්නේ තියෙන්නේ පිරිහීමක්. සදාචාරය, ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය, දේශපාලනය සහ විනය වගේ සෑම පැත්තකින්ම අපේ මව්බිම පිරිහිලා. ජාතික සම්පත් විකුණා කන තැනට අපේ රට පත් වෙලා. ගැඩවිලෙකුට,  කපුටෙකුට ජීවත් වෙන්න බැරි තරමට මේ භූමිය වස විසෙන් දූෂණය වෙලා. ‘මේ අපේ මව්බිම’ කියලා ආඩම්බරයෙන් කියන්න බැරි තැනට පත් වෙලා. පත් කරලා …”

සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක, ග්‍රන්ථ විශාරද
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කෑලිගම විජිතානන්ද නායක ස්වාමීන් වහන්සේ

සංතෘප්ත ගොවි දිවියක්
තිරසාර කෘෂි දර්ශනයක්

අපි;
දේශීය ආහාර සුරක්ෂිතතාව ජනිත කෙරෙන ගොවි දිවියේ ආර්ථිකය නංවා ජාතික ආර්ථිකය ද නංවන, වගා සැලසුම් – ස්ථාවර මිල නවීන කෘෂි ඥානය මගින් කෘෂි අපනයනය ද ජයගත් වස විසෙන් තොර තිරසර කර්මාන්තයක් බවට ලක් කෘෂි කේත්‍රය පත් කරමු.

ගුණාත්මක අධ්‍යාපනයක්
ශිෂ්ට සම්පන්න පුරවැසියෙක්

“අධ්‍යාපනය විශ්ව සාධාරණ මානව හිමිකමකි. භේදයකින් තොරව සෑම පුද්ගලයෙකුටම අධ්‍යපනයට නිදහසේ ප්‍රවේශවීම සඳහා සාධාරණ අවස්ථා සැලසිය යුතුය. සියලු ජාතිකත්වයන් සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් මෙන් ම නොසලකා හැර ඇති සමාජ කොටස් පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කළ යුතුය. පෙර පාසල් අධ්‍යාපනයේ සිට තෘතීයික අධ්‍යාපනය දක්වා අවශ්‍ය අරමුදල් රාජ්‍ය විසින් දැරිය යුතු අතර නිදහස් අධ්‍යාපන ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මානව සහ භෞතික සම්පත් ඇතුළු යටිතල පහසුකම් සහතික කිරීම රජයේ වගකීම වේ.”

බහුභාෂී සහෘද වැඩබිමක්
නව සංස්කෘතික මිනිසෙක්

“අනන්‍යතාවේ මුහුණුවරක් සේ සංස්කෘතියට ඇති වැදගත්කම පිළිගන්නා අතරම සංස්කෘතිකවත්භාවය ගොඩනැගීම යනු ද සංස්කෘතියෙහි එක් වැදගත් අංගයක් බව අපි පිළිගනිමු. එනම්, යම් ප්‍රජාවකට දැනටමත් උරුම යැයි සැලකෙන සංස්කෘතියෙහි ඇති සීමා පිළිබඳව එම ප්‍රජාව සවිඥානික වන විට එම සීමාවලින් නිදහස සහ විමුක්තිය වෙත වර්ධනය වීමට සෑම ප්‍රජාවකටම සහ ඒක පුද්ගල මිනිසාට ඇති අයිතිය අපි පිළිගනිමු. එනම්, මානව නිදහස සහ සංස්කෘතිය අතර ඇතැම් අවස්ථාවල ගැටුම් පවතින බව අපි දනිමු. එසේ ගැටුම් ඇතිවීම ම සංස්කෘතියෙහි කොටසක්ය යන අවබෝධය අපගේ ප්‍රතිපත්තියෙහි කොටසකි. මිනිසා ඇතැම් සංස්කෘතික සිපිරි ගෙවලින් නිදහස් කිරීම වූ කලී සංස්කෘතියෙහි ම කොටසක් වන කලාවට පැවරෙන එක් කාර්යක් බවද අපි පිළිගනිමු” 

ගුණාත්මක සෞඛ්‍ය සේවයක්
නිරෝගි පුරවැසියෙක්

“ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්වචනය කරන ආකාරයට සෞඛ්‍ය යනු රෝගාබාධයන්ගෙන් හෝ දුබලතාවන්ගෙන් තොරවීම පමණක් නොව පූර්ණ කායික, මානසික හා සමාජයික සුවය ලැබීමයි.  සෑම ජන සමාජයක පුරවැසියාගේ ජීවන තත්වයේ උසස් බව මැනීිමේදී ඔහුගේ/ඇයගේ නීරෝගීකම ප්‍රධාන සාධකයකි. සෞඛ්‍ය සම්පන්න පුරවැසියකු යහපත් පවුලක් තුළ ප්‍රීතිමත් ජීවිතයක් හිමිකම ලැබීම මගින් සමාජ සංවර්ධනයට දායකත්වයක් සපයයි”

ගුණාත්මක ජීවිතයක්
නොසැලෙන ආර්ථිකයක්

“තිරසර ආර්ථිකයක් ගොඩනැගීමත් එහි ප්‍රතිලාභ ජනතාව අතර සාධාරණව බෙදාහරීමත් නොසැලෙන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ පදනම වනු ඇත. කෘෂි, ධීවර, වැවිලි හා කර්මාන්ත ගොඩනැගීමේදී අනාගත අවශතා සැලකිල්ලට ගනිමින් ලෝකය අත්පත් කර ගෙන ඇති නවීන දැනුම හා තාක්ෂණය එම ක්ෂේත්‍ර තුළට කැඳවා ගත යුතුය.
ලෝකය හමුවේ අභිමානවත් රටක් බවට ශ්‍රී ලංකාව ඔසවා තැබීමේදී අපට ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් ද, රජයේ දේශසීමා හා ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව නව අර්ථ දැක්වීමක් සහිත ජාතික ආරක්ෂක පද්ධතියක් ද අවශ්‍යව තිබේ. 
මෙම සියලු ක්ෂේත්‍රයන් තුළ අත්පත් කරගන්නා ජයග්‍රහණ විසින් නොසැලෙන ශ්‍රී ලංකාව ගොඩනැගෙනු ඇත”

පරිසර හිතකාමී
කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක්

“පොදු ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සමස්තයක් ලෙස ඉලක්ක කරගත්, ලාභ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරනු ලබන හුදු ව්‍යාපාරික අරමුණුවලින් තොර වූ මහජන සේවය වෙනුවෙන් පරිසර හිතකාමී සහ තිරසාර ප්‍රවාහන පද්ධතියක් දක්වා ක්‍රමිකව පරිවර්තනය කිරීමේ දැක්මක් සහිත ව, රාජ්‍ය මැදිහත්වීම අවධාරණය කරන, කාර්යක්ෂම, විශ්වසනීය, ආරක්ෂාකාරී, ගෞරවාන්විත, ප්‍රවාහන සේවාවක් ස්ථාපනය කරන්නෙමු”

එක රටක්
විවිධත්වයෙන් හා සමානාත්මතාවයෙන් බැඳුණු ශ්‍රී ලාංකේය ජාතියක්

“යහපත් සමාජ පැවැත්මක අත්‍යවශ්‍ය සාධකයක් ලෙස එම සමාජයේ ආචාරධාර්මික බව ඉතා වැදගත් තැනක් ගනී. ආචාර ධර්ම වල බිඳ වැටීම පිළිබඳව සමාජය බරපතළව නොසැලකුව ද එහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස සමාජ සංස්ථා රැසක කඩා වැටීම සඳහා ආරම්භය සපයා දෙයි. සියලු ප්‍රජාවන් සමාන ලෙස සලකන නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය රකින, ව්‍යවස්ථාවට ගරු කරන, සියලු ප්‍රජාවන්ගේ පැවත්ම පිළිගනිමින් ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කරන, විශේෂ අවධානයට ලක්විය යුතු කණ්ඩායම් ලෙස සැලකෙන ළමා, කාන්තා, වැඩිහිටි හා ආබාධ සහිත වූවන්ගේ අයිතීන් හා වගකීම් ඉහළින්ම පිළිගෙන ඒවා සුරකින සමාජයක් ආචාරධාර්මික ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපි අපේක්ෂා කරමු. එසේම රාජ්‍යය තම ජනතාව වෙත වගවීමට ප්‍රතිචාර ලෙස යුතුකම හා වගකීම වටහාගත් පුරවැසි සමාජයක්ද මේ මගින් පෙරළා අපේක්ෂා කරමු”

සොබාමත් ශ්‍රී ලංකාවක්

“සදාරිත බව, සිසිල, සෞන්දර්ය පිරි ශාඛ හා සත්ව විවිධත්වයක් සහිත මෙම රාජ්‍යය පවිත්‍ර ආහාර, ග්‍රාමීය හා නාගරීක අලංකරණය, අවකාශ සංවිධානය කිරීම ආදී අඩවි සියල්ලම මහා පවිත්‍ර හා ප්‍රශස්ත දර්ශකයක තබා නඩත්තු කිරීම අපගේ වගකීම වේ. පුරවැසියාට දිවි ගෙවීමට ඇති මෙම අවකාශීය මහපොළව හා ශාක ජීවිත සුරැකීම තුළ ගෝලීය උණුසුම පිළිබඳ ගැටළුව අවම කරගත් සුන්දර වටපිටාවක් අපට ශේෂ වනු ඇත.
පිරිසිදු භූමියක නිල්වන් ජල පද්ධතියක් සුපවිත්‍ර වායු ගෝලයක් සහිත සුරක්ෂිත වූද, පිරිසිදු වූද, ආහාරපානවලින් සමන්විත මානව ජීවිතයක් ගෙවීමට අවශ්‍ය පවිත්‍ර වාසස්ථානයක් හා සේවා ස්ථානයක් නිර්මාණය කිරීමටත් රටක් ලෙස පිවිතුරු සුන්දර පරිසරයක් නිර්මාණය කිරීමත් අපගේ බලාපොරොත්තුව ය”

ගොඩනැගෙන ඇගේ බලය

“ගැඹුරු අසමානතා සහිත මෙම සමාජ තත්වය අපි ප්‍රතික්ෂේප කරන්නෙමු. සියල්ලන්ටම නිදහස සහ සමානාත්මතාවය තහවුරු වූ, හිංසනයෙන් හා පීඩාවන්ගෙන් තොරව ජීවත්විය හැකි සමාජයක් උදෙසා අපි වෙහෙසෙන්නෙමු”

අපගේ මෙහෙවර

අධිරාජ්‍යවාදීන්ගෙන් ලද ඊනියා නිදහසෙන් පසු මේ රට පැවතියාටත් වඩා අගාධයකට, නරාවලකට ඇද දැමූ අසාර්ථක, අසමත්, අවස්ථාවාදී, බඩගෝස්තරවාදී, ශීඝ්‍රයෙන් පාදඩකරණය වූ, මේ රට කාබාසිනියා කරමින් ආණ්ඩු කළ රැවටිලිකාර දේශපාලන කණ්ඩායම්වලින් රට මුදාගෙන, සැබෑ ලෙසින් ජනතාවට වගකියන ජනතා නියෝජිතයින් තනන රට හදන – රට රකින පුළුල්තම ජනතා බලවේගය ගොඩනැගීම.

ජාතික ප්‍රතිපත්තියේ පදනම

අපගේ අනුබද්ධ සංවිධානයක් වන ජාතික විද්වත් සංවිධානය රට පුරා ගොස් විවිධ ජන කොටස් හමු වී කතාබස් කර, ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ගොඩනැගූ ජාතික ප්‍රතිපත්ති මාලාව ද පදනම් කර ගනිමින් විවිධ සංවිධාන හා පුද්ගලයන්ගේ වැදගත් යෝජනාද එකතු කර ගනිමින් අපගේ ප්‍රතිපත්ති මාලාව සකස් වී ඇත. එය තවදුරටත් ජනතා අදහස්වලට විවෘතකොට එය සංවර්ධනය කර ඒ තුළින් දිනෙන් දින ඉහළ යන බඩු මිල, දැරිය නොහැකි ණයබර, ආර්ථික හා සමාජයීය පීඩනය, ජාතික අසමගිය යන දුර්විපාකයන්ගෙන් නිදහස්ව අපට අහිමි වෙමින් තිබෙන අපේ බිම, අපේ මුහුද, අපේ වැඩපොළ, අපේ අහස අපට දිනාගෙන සම්පත්වලින් ගහන වූ මේ වාසනාවන්ත රට සැබෑ සෞභාග්‍යය කරා ගෙන යාම අපගේ ප්‍රතිපත්තියේ පදනමයි.

හෙට පිණිස....

වසර හැත්තෑ තුනක අසමත් ආණ්ඩු කිරීම්වලින් හෙම්බත් වී සිටින ශ්‍රී ලාංකික ජනතාව, රැවටිලිකාර දේශපාලක පැළැන්තියෙන් මුදවාගනිමින් ප්‍රගතිශීලී සහ ජනතාවාදී ආණ්ඩුවක් හදන්නට අඩිතාලම දමන අපි….

හෙට පිණිස

ජාතික ජන බලවේගයේ අපි

අප සමඟ එකමුතුව පෙරට එන්න