Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“නව පරිවර්තනයක් වෙනුවෙන් රජය තැබූ ප්‍රගතිශීලී පියවර ඉදිරියට ගෙන යාමේ වාහකයන් සහ ආරක්ෂකයන් වන්න” -ජනපති සමස්ත ගුරු පරපුරෙන් ඉල්ලයි

(-2025.10.17 – Colombo-) වත්මන් රජය බලයට පත් කර ගැනීමට එදා මහා සක්‍රීය බලවේගයක්ව ක්‍රියාත්මක වූ අයුරින්ම රටට අවශ්‍ය නව පරිවර්තනය වෙනුවෙන් වසර කිහිපයක් එකට වැඩ කරමු’යි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ගුරු පරපුරට ඇරියුම් කළේය. අධ්‍යාපනයේ පමණක් නොව රටේ සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතිශීලී වෙනසකට අවශ්‍ය පියවර රජය මේ වන විට තබා ඇති බවත්, එම පරිවර්තනීය […]

(-2025.10.17 – Colombo-)

  • තමන්ට අහිමි වූ අනාගතය තම දරුවන්ට උදා කර දීම වෙනුවෙන් සිහින දකින දෙමාපියන්ගේ ප්‍රාර්ථනා ඉටු කරනවා
  • අපට අවශ්‍ය දියුණු ධාරිතාවක් සහිත මානව සම්පතක් ගොඩනැඟිය හැකි නව අධ්‍යාපන පරිවර්තනයක්
  • දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය උවදුර විනාශ කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නවා

වත්මන් රජය බලයට පත් කර ගැනීමට එදා මහා සක්‍රීය බලවේගයක්ව ක්‍රියාත්මක වූ අයුරින්ම රටට අවශ්‍ය නව පරිවර්තනය වෙනුවෙන් වසර කිහිපයක් එකට වැඩ කරමු’යි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ගුරු පරපුරට ඇරියුම් කළේය.

අධ්‍යාපනයේ පමණක් නොව රටේ සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතිශීලී වෙනසකට අවශ්‍ය පියවර රජය මේ වන විට තබා ඇති බවත්, එම පරිවර්තනීය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේ ශක්තිමත් වාහකයන් සහ ආරක්ෂකයන් වන ලෙස මෙරට ගුරු පරපුරට ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (17) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ‘රට නඟන ගුරු පවුර’ ලංකා ගුරු සේවා සංගමයේ අභිමානවත් ජාතික සමුළුව අමතමිනි.

අධ්‍යාපනය රටේ ප්‍රමුඛ කාර්යයක් බවට පත් කර ගෙන ඇති වර්තමානයේ පොහොසත් රටක් තුළ පොහොසත් අධ්‍යාපනයක සිහිනය මල්ඵල ගැන්වීම වෙනුවෙන් ගුරු, විදුහල්පතිවරුන් ලෙස කොන්දේසි විරහිතව පෙනි සිටීම අවධාරණය කරමින් පැවති මෙම සමුළුවට මුළු දිවයිනම ආවරණය කරමින් ගුරුවරු සහ විදුහල්පතිවරු විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙම සමුළුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුව විසින් ගනු ලබන කිසිදු තීන්දුවක්, සම්මත කරනු ලබන කිසිදු පනතක් හෝ ව්‍යාපෘතියක් තමන්ගේ හෝ ඇමතිවරුන්ගේ පුද්ගලික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිදු නොකරන බවත්, එහි එකම නිර්ණායකය වන්නේ ජනතා ප්‍රතිලාභය පමණක් බවත්ය. එබැවින්, අවිශ්වාස හෝ සැක සහිත තැන් විමසමින් එම තීරණ වෙනුවෙන් පෙනී සිටින ලෙසද ජනාධිපතිවරයා මෙහිදී ගුරුවරුන්ට ඇරියුම් කළේය.

ඉතාමත් දියුණු ධාරිතාවක් සහිත මානව සම්පතක් ගොඩනැඟිය හැකි අන්දමින් අධ්‍යාපනයේ නව පරිවර්තනයක් වෙනුවෙන් රජය කැප වී සිටින අතර, පාසල් පද්ධතියේ නව ස්ථානගත කිරීමක් වෙනුවෙන් කටයුතු කරන බවත්, වෘත්තීය පුහුණු අධ්‍යාපනය ශක්තිමත් කිරීම වෙනුවෙන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයම දියුණු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

තමන්ට අහිමි වූ අනාගතය තම දරුවන්ට උදා කර දීම වෙනුවෙන් සිහින දකින දෙමාපියන්ගේ ප්‍රාර්ථනා ඉටු කිරීම මෙම සියලු කාර්යවල අපේක්ෂාව බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මේ රටේ පුරවැසියන් එකඟ නොවන කිසිදු නීතියක් වත්මන් රජය යටතේ පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවද අවධාරණය කළේය.

අද රටේ දරු පරපුර මෙන්ම, තරුණ පරපුරද ගිල ගනිමින් සිටින මත්ද්‍රව්‍ය උවදුර වැළැක්වීමට රජය දැඩි පරිශ්‍රමක නිරතව සිටින බවත්, ඒ වෙනුවෙන් විවර කළ යකඩ දොර කෙතරම් භයානක තත්ත්වයක් හමුවේ වුවද කිසිසේත් යළි වසා නොදමන බවත් මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, තැබූ පියවර ඉදිරියටම යමින් මෙරට අනාගත පරපුර වෙනුවෙන් මත්ද්‍රව්‍ය උවදුර විනාශ කර දැමීමට ගත හැකි සියලු පියවර ගන්නා බවද අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…

ලංකා ගුරු සේවා සංගමයේ සමුළුව පැවැත්වෙන අවස්ථාවට සහභාගි වීමට ලැබීම පිළිබඳ සතුටු වෙනවා. මීට පෙරත් අවස්ථා කිහිපයකදී මම මෙම සමුළුවට සහභාගී වී තිබෙනවා. හැබැයි, ඒ සෑම අවස්ථාවකම අපේ අරමුණ බවට පත් වුණේ, ගුරුවරු ලෙස මුහුණ දී සිටින ගැටලු මෙන්ම රටක් ලෙස මුහුණ දී සිටින ගැටලු තේරුම්ගෙන එම පරිවර්තනය සඳහා අවශ්‍ය බලවේගයක් ගොඩනැඟීමයි.
ඒ නිසා මීට පෙර සෑම සමුළුවකම අවධාරණය කළේ බලය අත්පත් කර ගැනීම සඳහා අපි පෙළ ගැසෙන්නේ කෙසේද කියලයි. මීට වසරකට පෙර අප ඒ කාර්යභාරය අවසන් කර තිබෙනවා. එහි ප්‍රමුඛතම කාර්යභාරය අපේ රටේ ගුරුවරු-ගුරුවරියන් විසින් සිදු කළා. බිය ගැන් වී සිටි සමාජය අවදි කරන්න ඔබ විශාල කාර්යභාරයක් සිදු කළා. පැවති පාලනය බිඳ දැමීමේ පළමු කුළු ගෙඩි පහර එල්ල කළේ අපේ රටේ ගුරුවරු-ගුරුවරියන්.

අද අපි මේ සමුළුව පවත්වන්නේ බලය අත්පත් කර ගත් ව්‍යාපාරයක සමුළුවක් ලෙසයි. එදා තිබූ අභියෝග, අපේක්ෂා සහ අද තිබෙන අභියෝග, අපේක්ෂා අතර ඉතා බරපතළ වෙනස්කම් තිබෙනවා. පසුගිය මැතිවරණයේදී මේ රටේ ජනතාව අපට බලය ලබා දීමේදී ඔවුන් තුළ විශාල අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් සහ අරමුණක් තිබුණා. දැන් ආණ්ඩුව ලෙසත්, වැඩකරන ජනතාව ලෙසත් අප වෙත පැවරී ඇති කාර්යභාරය වන්නේ මේ රටේ ජනතාව අප කෙරෙහි විශ්වාස තබා ලබා දුන් එම බලය ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා මෙහෙය වීමයි. ඒ වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක් ආරම්භ කර තිබෙනවා. අවසානයේ අපිට සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත්පත් කර ගත හැකියි.

අපි කවුරුත් දන්නවා දීර්ඝ කාලයක් අපේ රට අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක, දීර්ඝ කාලයක් අපේ රට අනුගමනය කළ දේශපාලන සංස්කෘතියේ ප්‍රතිවිපාක, දීර්ඝ කාලයක් අපේ රටේ තිබූ නීතියේ ආධිපත්‍යයේ බිඳ වැටීමේ ප්‍රතිවිපාකවලට රටක්, ජනතාවක් ලෙස අපි පසුගිය කාලයේ මුහුණ දුන්නා.

අපි සතුව තිබෙන අභියෝගය පළමුව අපේ රටේ ඉතා ශක්තිමත් සහ ස්ථාවර ආර්ථික පදනමක් නිර්මාණය කර ගැනීමයි. හැබැයි, නීතියේ ආධිපත්‍යය තහවුරු නොකර, ගැටුම්වලින් තොර සමාජයක් නිර්මාණය කරන්නේ නැතිව ආර්ථිකය පමණක් ඉලක්ක කර ගෙන රටක් ගොඩනැඟිය නොහැකියි. ඒ නිසා ආර්ථිකය ගොඩනැඟීමත් ඊට අදාළ පදනම සකස් කිරීමත් අපේ මූලික වගකිමක්.

බොහෝ අය සිතාගෙන සිටියා තමන්ගේ රැස් වළල්ල විසින් හෝ තම බලය අරෝපණය කර ගෙන තිබෙන පවුල් පසුබිම නිසා හෝ තමන් කෙරෙහි නීතිය ළඟා වෙන්නේ නැහැ කියලා. හැබැයි, අපි සමාජයට ඔප්පු කරමින් තිබෙනවා නීතියට ළඟා විය නොහැකි කිසිවෙකු ලංකාව තුළ නැහැ කියලා. සියලු දෙනාම නීතියට යටත්. ඒ වගේම දේශපාලන සංස්කෘතියේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතුයි. ඊට සමගාමීව ආර්ථිකයේ ස්ථාවරභාවයක් සහ වර්ධනයක් අත්පත් කර ගත යුතුයි.

අද බොහෝ අය කියනවා 2028 වසරේ අපි ණය ගෙවීම ආරම්භ කළ යුතුයි, හැබැයි, 2028දී මේ ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇති වෙයි කියලා. ඒ නිසා 2028දී ණය ගෙවිය හැකි, ඊට ඔරොත්තු දෙන ආර්ථිකයක් ගොඩනැඟීම අපේ න්‍යාය පත්‍රයේ කොටසක් කරගෙන තිබෙනවා. එහිදී වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. ලංකා ඉතිහාසයේ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව වැඩිම ආදායම ලබා ගන්නා වසර බවට මේ වසර පත් කළ හැකියි. ක්‍රමානුකූලව ණය ගැනීම අඩු කරමින් ස්වශක්තියෙන් රට ගොඩනැඟීමට අවශ්‍ය අඩිතාලම අපි දැන් සකස් කරමින් තිබෙනවා.

එහිදී අපිට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. පසුගිය කාලයේ අපේ රාජ්‍ය සේවය සැලකිය යුතු ප්‍රමාණයකින් දේශපාලනීකරණයට ලක්ව තිබුණා. සමහර රාජ්‍ය ආයතන ගොඩනැගුණේ සහ ගොඩනැගිලි ඉදිකෙරුණේ දේශපාලන අරමුණු වෙනුවෙන්. රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට නම් එය ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කළ යුතුයි. ඒ අනුව, දීර්ඝ කාලයකට පසුව අපි රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප අදියර තුනකින් වැඩි කිරීමට පියවර ගත්තා. ඒ වෙනුවෙන් රජය 2025 වසරේ වැටුප් වැඩි වීම ගෙවීමට පමණක් රුපියල් කෝටි 11,000ක් වැය කර තිබෙනවා. ඒ අනුව 2025, 2026,2027 වසර තුන සඳහා රුපියල් කෝටි 33,000ක් දරනවා. වැටුප් වැඩි වීමෙන් පමණක් නොවිසඳෙන වැටුප් විෂමතා තිබෙනවා. අපි ඒ කෙරෙහිත් අවධානය යොමු කර වැටුප් විෂමතා අවම කිරීම සඳහා කඩිනම් පියවර ගන්නවා.

මා දන්නවා ගුරු විශ්‍රාම වැටුප් ලාභීන්ගේ විශ්‍රාම වැටුප් අතර විෂමතාවක් තිබෙනවා. 2020 වසරට පෙර විශ්‍රාම ගිය සියලු දෙනා 2020 වසරේ වැටුපටත්, 2025 ජනවාරි 01 වනදා සිට විශ්‍රාම යන සියලු දෙනාට 2027 වැටුපටත් විශ්‍රාම වැටුප ගණනය වෙනවා. හැබැයි, ගුරුවරුන්ගේ විශේෂ කණ්ඩායමක් සිටිනවා 2022 විශේෂ වැටුප් වැඩිවීමක් සිදු වූ. එම විෂමතා විසඳනවා. ඒ සඳහා කාලයක් අවශ්‍යයි. ක්‍රමානුකූලව පියවරෙන් පියවර ශක්තිමත් රාජ්‍ය සේවයක් සඳහා අවශ්‍ය යාන්ත්‍රණය අපි සකස් කරමින් තිබෙනවා.

ඒ වගේම අපි දියුණු මානව සම්පතක් ගොඩනැඟිය යුතුයි. ඒ නිසා ඉතාමත් දියුණු ධාරිතාවක් සහිත පුරවැසියෙක් ගොඩනැඟීම වෙනුවෙන් අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ඒ නිසා අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් අවශ්‍යයි. එහිදී අපි වෘත්තීය අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම ශක්තිමත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය බැගින් මධ්‍යස්ථාන 25ක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපනයේ අඛණ්ඩතාව ඇති කිරීම වෙනුවෙන් අපි අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් සිදු කරනවා.

ඒ වගේම පාසල් පද්ධතියේ බෙදීම් අපි ඉවත් කළ යුතුයි. අතිදුෂ්කර, දුෂ්කර සහ හුදෙකලා පාසල්වල ගුරුවරුන් වෙත ලබා දෙන දීමනාවේ යම් වැඩි වීමක් සිදු කිරීමට අපි මෙවර අයවැයෙන් බලාපොරොත්තු වෙනවා. පාසල් පද්ධතියේ නවීකරණයක් අවශ්‍යයි. එහිදී විශාල ප්‍රතිවිරෝධතා මතු විය හැකියි. ඒ වුණත්, අපි පාසල් පද්ධතියේ නව ස්ථානගත කිරීමක් වෙනුවෙන් කැප වෙනවා. ඒ වෙනුවෙන් ඔබේ සහාය අපට අවශ්‍යයි. මේ රටේ සෑම දෙමාපියෙකුටම සිහිනයක් තිබෙනවා. ඒ මට වඩා හොඳ අනාගතයක් මගේ දරුවාට හිමි විය යුතුයි කියලා. අපේ අපේක්ෂාව එම දෙමාපියන්ගෙන් ප්‍රාර්ථනා ඉටු කිරීමයි. ඒ නිසා එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඔබගේ දායකත්වය ලබා දෙන්න කියා මම ඉල්ලනවා.

ඒ වගේම පනත් සංශෝධනයක් පිළිබඳ යම් ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා. එහෙත් එම පනත පාර්ලිමේන්තුවේ සම්මත වී නැහැ, නීති හදන්නේ මම වෙනුවෙන් හෝ පාර්ලිමේන්තුව වෙනුවෙන් නොවෙයි. නීති හදන්නේ පොදු පුරවැසියන් වෙනුවෙනුයි. පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට මම ඔබට සහතික වෙනවා. පාලකයන්ගේ අවශ්‍යතාවට නීති හදපු සහ ව්‍යවස්ථා වෙනස් කළ යුගය දැන් අවසන් කර තිබෙනවා.

ඒ වගේම, අපේ රටේ දරුවන් මුහුණ දී තිබෙන විශාලම ගැටලුව බවට මත්ද්‍රව්‍ය පත්ව තිබෙනවා. ඒ වගේම, හිරිමල් වයසේ දරුවෝ වේගයෙන් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වෙමින් තිබෙනවා. එය විශාලතම සමාජ ඛේදවාචකයක්. ජාති, ආගම්, කුලමල ආදී කිසිදු භේදයකින් තොරව මහා සැඬ සුළඟක් වගේ අපේ තරුණ පරපුර විනාශ කරමින් මේ මත්ද්‍රව්‍ය පැතිර යමින් තිබෙනවා. මෙය අනිවාර්යයෙන් නතර කළ යුතුයි. මත්ද්‍රව්‍ය සහ අපරාධ කියන යකඩ දොර අපි විවෘත කළා. එය විවෘත කර බලන විට අපි හිතනවාටත් වඩා භයංකාර චිත්‍රයක් පෙනෙන්නට තිබෙනවා. රාජ්‍යය, දේශපාලන අධිකාරිය, නීතිය පිළිබඳ උත්තරීතර තැන් අපරාධකරුවන්ගේ ග්‍රහණයට නතුව තිබෙනවා. අපිට මේ දොර යළි වසා දමා නිහඩව සිටිය හැකියි, නැතිනම් දොර විවෘත කර අප තැබූ මේ පියවර ඉදිරියට ගෙන යා හැකියි. අපි ආණ්ඩුවක් ලෙස තීරණය කර තිබෙනවා මේ දොර නැවත වසා නොදමා ඉදිරියටම ගොස් මෙම ව්‍යසනය අවසන් කරනවා කියලා. උගත්, දැනුවත් අනාගතය පිළිබඳ විශ්වාසයක් තැබිය හැකි දරු පරපුරක් නිර්මාණය කරනවා නම් මේ කාර්යභාරය ඉටු කළ යුතුයි. ඒ නිසා මත්ද්‍රව්‍ය උවරදුර විනාශ කිරීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නවා.

ඒ වගේම සමාජයක් සෑම විටම අලුත් පරිවර්තන දෙස සැකයෙන් බලන එක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය මිනිසුන්ගේ ලක්ෂණය පුරුද්දට ඇබ්බැහි වීමයි. වෙනස්කම්වලට බිය වෙනවා. හැබැයි මේ වෙනස්කම් අපි ඉදිරියට ගෙන යා යුතුයි. මේ සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතිශීලි වෙනස්කම්, ඉදිරිගාමී වෙනස්කම්වලට අවශ්‍ය පියවර අපි තබා තිබෙනවා. එම පියවර ඉදිරියට ගෙන යාමේදී එදා බලය පිහිටු වීම සඳහා මහා සක්‍රිය බලවේගයක් වූ ලෙසම මෙම ප්‍රගතිශීලි, ඉදිරිගාමී පියවර ඉදිරියට ගෙන යාමේ වාහකයන් සහ ආරක්ෂකයන් බවට ඔබ පත් විය යුතුයි.

අපේ ආණ්ඩුව ගනු ලබන කිසිදු තීන්දුවක්, අපේ ආණ්ඩුව සම්මත කරන ලද කිසිදු පනතක් හෝ කිසිදු ව්‍යාපෘතියක් පුද්ගලිකව මගේ හෝ අපේ අමාත්‍ය මණ්ඩලයේ හෝ මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතාව මත ක්‍රියාත්මක වන ඒවා නොවෙයි. ඒ සියලු වෙනස්කම් පොදු ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන්. අපේ නිර්ණායකය ජනතාවට ලැබෙන ප්‍රතිලාභයයි. අද ලංකාවේ පළමු වතාවට තමන්ගේ පුද්ගලික පටු අරමුණු වෙනුවෙන් මෙහෙය වූ රාජ්‍යයක් පොදු ජනතාවගේ අරමුණු වෙනුවෙන් මෙහෙය වන රාජ්‍යයක් බවට පරිවර්තනය වී තිබෙනවා. සෑම තීන්දුවක්ම සෑම තීරණයක්ම පොදු ජනතාව වෙනුවෙන්. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා සැකය විමසන්න, අවිශ්වාසයක් තිබෙනවා නම් අහන්න. හැබැයි, ඒ තීරණ වෙනුවෙන් පෙනී සිටින්න. මොකද මෙම පරිවර්තනය සිදු කිරීමට විශේෂයෙන්ම අපේ රටේ ප්‍රබල මතවාදී බලයක් තිබෙන ගුරු පරම්පරාව වන ඔබගේ සහාය අපිට අවශ්‍යයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් පමණක් නොව මේ රටට අවශ්‍ය පූර්ණ පරිවර්තනයේදී ඔබගේ දායකත්වය ඉතා වැදගත්. අපි එක අරමුණකට පොදි බැඳ වසර කිහිපයක් වැඩ කරමු. සහතික වශයෙන්ම අපි අපේක්ෂා කරන ප්‍රතිඵල ලබා ගත හැකියි. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙමු’යි කියා මම ඔබට ආරාධනා කරනවා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම, උප ලේකම් කෝරලසිංහම් ප්‍රකාශ්, ලංකා ගුරුසේවා සංගමයේ මීගමු කලාප ලේකම් චිත්‍රානි මංචනායක යන මහත්ම මහත්මීහුද සමුළුව ඇමතූහ.

Show More

ඉන්දීය මහ කොමසාරිස් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් අතර හමුව

(-2025.10.14 – Colombo-) ඊයේ (13) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේදී ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් නව්‍යා සිංග්ලා ද රැස්වීමට සහභාගී විය. රැස්වීම අතරතුර, රටේ වත්මන් තත්ත්වය සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා සහභාගී වූ කඳුකර ප්‍රදේශවල නිවාස නොමැති ජනතාවට නිවාස […]

(-2025.10.14 – Colombo-)

ඊයේ (13) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේදී ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් නව්‍යා සිංග්ලා ද රැස්වීමට සහභාගී විය.

රැස්වීම අතරතුර, රටේ වත්මන් තත්ත්වය සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා සහභාගී වූ කඳුකර ප්‍රදේශවල නිවාස නොමැති ජනතාවට නිවාස අයිතිවාසිකම් ලබා දීමේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳව ද සාකච්ඡා කරන ලදී. ඉදිරියේදී එම ආධාර ලබා දෙන බව ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් ප්‍රකාශ කර තිබේ. මෙම නිවාස ලබා දීම සඳහා ඉන්දියාව ලබා දුන් සහයෝගය වෙනුවෙන් ටිල්වින් සිල්වා, ඉන්දීය රජයට සහ ඉන්දීය ජනතාවට සිය කෘතඥතාව පළ කළේය.

අනාගතයේදී ඉන්දියානු ආයෝජන සහ පරිත්‍යාග ලැබීමේ අපේක්ෂාවන් මෙන්ම කෘෂිකර්මාන්තය, තොරතුරු තාක්ෂණය සහ සමුද්‍රීය කර්මාන්ත යන ක්ෂේත්‍රවල ඉන්දියාවේ ප්‍රගතිය පිළිබඳ අත්දැකීම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

Show More

ප්‍රංශ තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

(-2025.10.13 – Colombo-) ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් (Rémi Lambert) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අතර හමුවක් අද (13) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රංශ තානාපති කාර්යාලයේ සහකාර මෙහෙයුම් ප්‍රධානී මැතිව් ජෝන් (Matthiev JOHN) මහතා සහ මාධ්‍ය නිලධාරි දිනේෂා ඉලේපෙරුම මහත්මිය එක්ව […]

(-2025.10.13 – Colombo-)

Embassador of the France and the team with Tilvin Silva

ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් (Rémi Lambert) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අතර හමුවක් අද (13) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

එම අවස්ථාවට ප්‍රංශ තානාපති කාර්යාලයේ සහකාර මෙහෙයුම් ප්‍රධානී මැතිව් ජෝන් (Matthiev JOHN) මහතා සහ මාධ්‍ය නිලධාරි දිනේෂා ඉලේපෙරුම මහත්මිය එක්ව සිටි අතර, ජනාධිපති අනුර දිසානායක සහෝදරයා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ගෙන යන වැඩපිළිවෙළට ප්‍රංශ තානාපති තුමා සිය ප්‍රශංසාව පළ කරන ලදී.

විශේෂයෙන්ම ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඉදිරියේ දී වඩාත් ශක්තිමත් ව පවත්වා ගැනීම සඳහා කටයුතු කරන බවත් ඔහු පැවසීය.

Embassador of the France with Tilvin Silva

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොවීම ගැන සිය සතුට පල කළ තානාපති රෙමී ලැම්බට් මහතා මාලිමා ආණ්ඩුව බලයට පත් වී ගෙවුණු වසරක කෙටි කාලය තුළ ශ්‍රී ලංකාව දක්වා ඇති ප්‍රගතිය පිළිබඳ සිය ප්‍රශංසාව පල කරන ලදී.

එමෙන්ම වංචා දූෂණ පිටු දැකීම සහ ජාතික සමගිය ඇති කිරීමට දැනට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ තානාපතිවරයා සිය ප්‍රසාදය පල කරන ලදී.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා තානාපති රෙමී ලැම්බර්ට් මහතා හමුවේ ප්‍රකාශ කර සිටියේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දූෂණය පිටුදැකීම මහජන මුදල් නාස්තිය අවම කිරීම සඳහා ගෙවුණු කාලය තුළ වැඩි අවධානයක් යොමු කළ බවත් 2026 වසරේ ආර්ථිකය ශක්තිමත් කරමින් මෙන්ම ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව කයටුතු කරමින් සිටින බවත්ය.

Embassador of the France and Tilvin Silva chatting

කාන්තා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීමටත් සාගර සම්පත් සුරැකීම සහ කළමනාකරණය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට සහාය දැක්වීමට සූදානම් බවත් ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් මහතා එහි දී සඳහන් කරණ ලදී.

ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන් මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරමින් ඉදිරියටත් පවත්වාගෙන යාමට සූදානම් බවත් ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයේදී ප්‍රංශයේ ප්‍රධාන පෙළේ ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා දිරිමත් කිරීමටත් මෙම හමුවේ දී ඔහු පොරොන්දු විය.

ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීමේ දී ප්‍රංශයට කිසිසේත්ම සැඟවුණු න්‍යාය පත්‍රයක් නොමැති බවද ඉදිරියේදී රාජ්‍ය නායකයින්ට ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ද මෙහි දී ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් මහතා ආරාධනා කර තිබේ.

Show More

ලෝක බැංකු නියෝජිත සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

(-2025.09.26 – Colombo-) ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව හා මාලදිවයින නියෝජිත ගෙවොග් සාග්සියන් (Gevorg Sargsyan) මහතා, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඊයේ (25) බත්තරමුල්ල පැලවත්ත, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී හමු විය. එහිදී මේ වනවිට රට ආර්ථික ස්ථාවරත්වයකට ගෙනඒම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපව්ම සම්බන්ධයෙන් ඉතා ප්‍රසාදයෙන් අදහස් දැක්වූ ගෙවොග් සාග්සියන් මහතා, වංචා […]

(-2025.09.26 – Colombo-)

Tilvin Silva with Gevorg Sargsyan

ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව හා මාලදිවයින නියෝජිත ගෙවොග් සාග්සියන් (Gevorg Sargsyan) මහතා, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඊයේ (25) බත්තරමුල්ල පැලවත්ත, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී හමු විය.

එහිදී මේ වනවිට රට ආර්ථික ස්ථාවරත්වයකට ගෙනඒම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපව්ම සම්බන්ධයෙන් ඉතා ප්‍රසාදයෙන් අදහස් දැක්වූ ගෙවොග් සාග්සියන් මහතා, වංචා දූෂණ නතර කිරීමට ආර්ථිකය සංවර්ධනයට ඍජුව බලපාන ආකාරය පෙන්වා දුන්නේය.

ලෝක බැංකුව සම්බන්ධ ඉතිහාස පැහැදිලි කළ ඒ මහතා ශ්‍රී ලංකා රජය රටේ සංවර්ධනය වෙනුවෙන් ඉල්ලා සිටින ඕනෑම අංශයකින් සහයෝගය දැක්වීමට සූදානම් බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව ඉදිරියට කරගෙන යන වැඩකටයුතු සම්බන්ධයෙන් සහ මූල්‍යමය ඇතුළු අනිකුත් අභියෝග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර රාජ්‍ය ආයතන නගා සිටුවීමේ වැදගත්කම සහ පෞද්ගලික අංශය දායක කරගැනීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.

Gevorg Sargsyan and the team with Tilvin Silva

රටේ ජනතාව වෙනුවෙන් ගනු ලබන වගකීම් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කරන ලද අතර ශ්‍රී ලංකාව පැවති තත්වයේ සිට ඉදිරියට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින කැපවීම සම්බන්ධයෙන් ලෝක බැංකුවේ ශ්‍රී ලංකා හා මාලදිවයින් නියෝජිත ගෙවොග් සාග්සියන් මහතා සිය විශේෂ ප්‍රසාදය පළ කළේය.

මෙහිදී මෙරට පැවති පැරණි දේශපාලන අවසන් කරමින් නව දේශපාලන සංස්කෘතියක් තුළ රට ගමන් කරන ආකාරයත් වංචා දූෂණ තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහය සහ කැපවීම සම්බන්ධයෙනුත් දුප්පත් කිරීමේ තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක කරමින් පවතින `ප්‍රජා ශක්ති’ වැඩසටහන සම්බන්ධයෙනුත් මෙහෙදී විශේෂයෙන් සාකච්ඡා කරන ලදී.

එමෙන්ම මේ වනවිටත් ලෝක බැංකුව විවිධ අමාත්‍යාංශ සමග සිදුකරගෙන යන වැඩ කටයුතු සම්බන්ධයෙනුත් ඩිජිටල් ව්‍යාපෘතිය සම්බන්ධයෙනුත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

Show More

ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතයි

(-2025.09.25 – USA -) – ජනපති ලෝක නායකයන්ට ඇරයුම් කරයි මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ලෝක නායකයන්ට ඇරයුම් කළේය. එහිදී අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක් බවද ජනාධිපතිවරයා පෙන්වා […]

(-2025.09.25 – USA -)

  • මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු.

– ජනපති ලෝක නායකයන්ට ඇරයුම් කරයි

President Addresses 80th Session of UN General Assembly

මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ලෝක නායකයන්ට ඇරයුම් කළේය.

එහිදී අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ කෙරුණු අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) පෙ.ව 12.45ට සමුළුව ඇමතීය.

ගාසා තීරයේ අඛණ්ඩව සිදු වන බිහිසුණු ව්‍යසනය පිළිබඳවද මෙහිදී කණස්සල්ල පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මත දෙපාර්ශ්වය කඩිනමින් සටන් විරාමයකට යොමු වීමත්, බාධාවකින් තොරව සියලු මානුෂීය ආධාර යොමු කිරීමත්, සියලු පාර්ශ්වයන්ගේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමත් පිළිබඳ හඩ නඟන බවද අවධාරණය කළේය. මේ බිහිසුණු ඝාතන අවසන් කිරීම උදෙසා දැඩිව බලපෑම් කළ යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ආයුධ මගින් ප්‍රශ්න විසඳා ගන්නවා වෙනුවට මානව ශිෂ්ටත්වයේ වටිනාකම් තුළින් ප්‍රශ්න විසදා ගැනීමේ හැකියාව වෙත සියලුදෙනා අවතීර්ණ විය යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම, ගෝලීය ගැටලු රැසක් නිර්මාණ කර ඇති දුප්පත්කම පිළිබඳව සිය කතාව තුළ විශේෂ අවධානය යොමු කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇති නැති පරතරය සහ දුප්පත්කම ලෝක ව්‍යසනයක් සේ සලකා කටයුතු කළයුතු බවද සඳහන් කළේය.

ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන සංකීර්ණ අභියෝගයක් වී ඇති ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලුව තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය පියවරද මෙහිදී ගෙන හැර දැක් වූ ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍යයට, ප්‍රජාතන්ත්‍රවාදයට, දේශපාලනයට සහ සමස්ථයක් ලෙස ලෝකයේ යහපැවැත්මට තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ ලෝක න්‍යාය පත්‍රය සක්‍රීය කිරීමට එක්වන ලෙසද ලෝක නායකයන්ට ඇරයුම් කළේය.

ජාවාරම්කරුවන්ට එරෙහිව නීතීය තදින් ක්‍රියාත්මක කිරීම, එවැනි ජාවාරම්කරුවන්ට තම තමන්ගේ රටවලට සංක්‍රමණය වීමට ඇති ඉඩප්‍රස්ථා ඇහිරවීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථාන බිහි කිරීම වැනි කරුණු පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ලෝක නායකයන්ගේ අවධානයට යොමු කළේය.

සමාජයේ පුළුල් පරාසයක විනාශයට සහ ඛේදවාචකයකට හේතු වන දූෂණය සංවර්ධනයට බාධාවක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට සහ ලෝකයේ යහපැවැත්මට තීරණාත්මක තර්ජනයක් සහ දුප්පත්කමට හේතුවක් බවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දූෂණයට එරෙහි සටන අසීරු පියවරක් වුවත් මතු පරපුර වෙනුවෙන් ශ්‍රී ලංකාව එය ආරම්භ කර තිබෙන බවත්, දූෂණයට එරෙහි සටන සෑම රටකම සංස්කෘතියේ කොටසක් විය යුතු බවත් යෝජනා කළේය.

අන්ධකාරය වෙනුවට ආලෝකයේ මාවත තෝරා ගත් ශ්‍රී ලාංකික ජනතාව අද ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ සඳහා වූ ප්‍රායෝගික දැක්ම වටා එක්ව ඇති බවද මෙහිදී වැඩිදුරටත් පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම ඓතිහාසික ජයග්‍රහණය මල්ඵල ගැන්වීම සඳහා දූෂණයෙන් තොර සදාචාරාත්මක පාලනය, දුප්පත්කම තුරන් කිරීම, ඩිජිටල්කරණය සහ පිරිසිදු රටක් යන ප්‍රධාන අංශ කෙරෙහි අවධානය යොමු කර තිබෙන බවත්, ඊට සමගාමීව අධ්‍යාපනය සහ සෞඛ්‍යය කෙරෙහි දැඩි අවධානය යොමු කර තිබෙන බවත් ඒ සියල්ල පියවරෙන් පියවර ජය ගනිමින් සිටින බවත් සඳහන් කළේය.

80th Session of UN General Assembly

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කකාව පහත දැක් වේ.

සභාපතිතුමියනි, ගෞරවනීය ආරාධිතයිනි, සම්භාවනීය නියෝජිතයිනි,

ලෝකයේ ජාතීන් අතර සාධාරණ සහ කල්පවතින සාමයක් ස්ථාපිත කිරීමේ සහ පවත්වා ගෙන යාමේ උදාර අරමුණ පෙරදැරි කරගෙන බිහි කළ මෙම සුවිශේෂී සංවිධානයේ 80 වන සැසිවාරයේ සභාපතිනිය ලෙස තේරී පත් වූ යුරෝපයේ හදවතේ පිහිටි අපූර්ව ජර්මනියේ අතිගරු අන්නලේනා බෙයර්බොක් මැතිනියට මම උණුසුම් සුභාසිංසන පිරිනමනවා. ඒ වගේම ලෝකයම මවිතයට පත් කරන භූගෝලීය සහ සංස්කෘතික විවිධත්වයක් ඇති කැමරූන්හි අතිගරු ෆිලෙමොං යැං හිටපු සභාපතිතුමා ලබා දුන් නායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව සිය ප්‍රශංසාව පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

සාමයෙන්, ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිරුණු ලස්සන ලෝකයක් වෙනුවෙන් දශක අටක් පුරා ඇපකැප වූ සංවිධානයක බහුපාර්ශ්වික ගමන් මඟ සහ ඉදිරි අනාගතය පිළිබඳව සැලසුම් සකස් කරන මෙම සුවිශේෂී
අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පළමුවරට මෙම ගෞරවනීය සභාව ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉමහත් සතුටට පත් වෙනවා.

ඔබ අප සෑම කෙනාම මේ ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් පැමිණි ඒ ඒ රටවල ජනතාවගේ නියෝජිතයින් වෙනවා. මගේ රට වන ශ්‍රී ලංකාව මෙන්ම අනෙක් සෑම රටකම ජනතාව අප වෙත පවරා දුන් ඓතිහාසික වගකීම අපි සියලුදෙනාගේම උරහිස් මත පැවරී තිබෙනවා. අප ගනු ලබන සෑම තීන්දුවක්ම මේ ලෝකයේ කොතැනක හෝ ජීවත්වන සෑම දෙනාටම බලපානවා. ඒ සියලු තීන්දු සහ තීරණ ලෝකයේ අනාගත පැවැත්ම වෙනුවෙන් තීරණාත්මක මැදිහත්වීමක් සිදු කරනවා.

මිනිස් ශිෂ්ටාචාරය ආරම්භ වූ දා සිට මේ දක්වා මුහුණ දෙන අතිශයින් බරපතළ ඛේදවාචකයක් ලෙස දුප්පත්කම හදුන්වා දෙන්න පුළුවන්. ඒ මහා ව්‍යසනය හේතු කොට ගෙන නිර්මාණය වූ තවත් බරපතළ ගැටලු කිහිපයක් අප ඉදිරියේ අන්ධකාර පීඩාවක් නිර්මාණය කර තිබෙනවා. ඒ පිළිබඳ මේ සුවිශේෂී සමුළුවේ අවධානය යොමු කිරීම කළ යුතුම බවට මගේ හෘද සාක්ෂිය හඩ නඟා කියනවා. බොහෝ විට මේ සියල්ල ඔබේ හෘද සාක්ෂියටත් අඩු වැඩි වශයෙන් බලපෑම් කරනු ඇතැයි මා සිතනවා.

සම්භාවනීය නියෝජිතයිනි, ලෝකයේ බහුතරයක් රටවල සියවස් ගණනාවක් තිස්සේ අත්විඳින නොනවතින සහ අතිශය වේදනාබර අරගලය ලෙස දුප්පත්කම හඳුන්වා දීමට පුළුවන්කම තිබෙනවා. එය විවිධ මුහුණුවරින් එන බිහිසුණු සතුරෙක් වන අතර අප මේ සමුළුවට රැස්ව සිටින මොහොතේත් මාද ඇතුළු මේ සෑම නියෝජිතයෙකුගේම රටවල්වල අඩු වැඩි වශයෙන් සැලකිය යුතු දරුවන් පිරිසක් කුසගින්නේ සිටිනවා. සියලුම දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය මගින් සහතික කර ඇති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පිළිගත් මූලික මානව අයිතියක් වෙනවා. එහෙත් නැති බැරිකම, දුප්පත්කම නිසා මේ අයිතිය උල්ලංඝනය වන ලක්ෂ සංඛ්‍යාත දරුවන් ලෝකය පුරා සිටිනවා.

තාක්ෂණයෙන් පිරිපුන් යැයි උදම් අනන ලෝකයක පාසල් අහිමි දරුවන් සිටීම මොනතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද? අධ්‍යාපනය යනු සෑම ශ්‍රේෂ්ඨ ජාතියක්ම ගොඩනඟන අත්තිවාරම වෙනවා. අනාගත ලෝකයේ පැවැත්ම තීරණය කරන ප්‍රධානතම සාධකය වෙනවා. අධ්‍යාපනය සඳහා කරන ආයෝජනය ලෝකයේ ප්‍රගතිය උදෙසා කරන ආයෝජනයක් ලෙස අපි සලකනවා. බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල දුප්පත්කමට මුහුණදීමේ ප්‍රගතියට ණය බර අඛණ්ඩව බාධා කරනවා. සාමන්‍යයෙන් අඩු ආදායම්ලාභී රටවල සෞඛ්‍ය හෝ අධ්‍යාපන සේවා සඳහා ගෙවීමට වඩා දෙගුණයකට වඩා වැඩි අරමුදල් ශුද්ධ පොලී ගෙවීම සඳහා වෙන් කරනවා. පුරවැසියන් වශයෙන් මෙන්ම රටවල් වශයෙනුත් ණය උගුල්වල සිර වී සිටිනවා. මෙම තත්ත්වයට සාධනීය විසඳුමක් අවශ්‍ය වෙනවා. තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රයේ කිසිවෙකු අත්හැර නොයන බවටත්, පළමුවෙන්ම පිටුපසින් සිටින අය වෙත ළඟා වීමටත් පොරොන්දු වී තිබෙනවා.

අද ලෝකය පුරා මුහුණ දෙන විශාලතම ගෝලීය අභියෝගය දුප්පත්කම අවසන් කිරිමේ අභියෝගය බව තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රයේ හඳුනාගෙන තිබෙනවා. 1995දී කෝපන්හේගන්හිදී පැවති සමාජ සංවර්ධනය සඳහා වූ ලෝක සමුළුවේදී ගත් තීරණාත්මක තීන්දුවක් ඔබේ අවධානයට යොමු කරවනවා. එහෙත් අනපේක්ෂිත යුද්ධ, දේශපාලන ව්‍යාකූලතා වගේම ලෝකයම කුණාටුවට හසු වූ කොවිඩ් වසංගතය නිසා අභිලාෂකාමී න්‍යාය පත්‍රය ව්‍යාකූලත්වයට පත් කර තිබෙනවා. ඒ නිසා ඇති නැති පරතරය, දුප්පත්කම ලෝක ව්‍යසනයක් සේ සලකා කටයුතු කළ යුතුව තිබෙනවා.

ගරු සභාපතිතුමිනි, ගෞරවනීය අමුත්තනි, මේ අසිරිමත් ග්‍රහ ලෝකය අස්ථාවරත්වයටත්, ව්‍යාකූලත්වයටත් පත් වන නවමතම ගැටලුවක් ලෙස මත්ද්‍රව්‍ය සහ ඒ හා බැඳුණු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඳුනා ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒ බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ කාර්යාලය 2025 ලෝක මත්ද්‍රව්‍ය පිළිබඳ වාර්තාවේ පවා තහවුරු කර තිබෙනවා. ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලුව ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන සංකීර්ණ අභියෝගයක් වී තිබෙනවා. දිනෙන් දින මත්කුඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගෝලීය වෙළෙඳපොළ වාර්තාගත ලෙස ආක්‍රමණය කර තිබෙනවා. මත්ද්‍රව්‍ය වෙළෙඳාම සහ ඒ හරහාම ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ලෝක අර්බුද රැසකට මාර්ගය විවෘත කර තිබෙනවා.

මේවාට සම්බන්ධ කණ්ඩායම්, රාජ්‍යයන් ගොදුරු බිම් බවට පත්කරමින් සිටිනවා. මේ ව්‍යසනය ලෝක සෞඛ්‍යයට, ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට, ලෝක දේශපාලනයට මෙන්ම අවසන් වශයෙන් ලෝකයේ යහපැවැත්මට එරෙහි මහා ප්‍රවාහයක් බවට පත් වී තිබෙනවා. මේ මහා ව්‍යසනය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අප සාධනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, මේ උවදුර පිටුදැකීමේ ලෝක න්‍යාය පත්‍රය සක්‍රීය කිරීමට මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම, එවැනි ජාවාරම්කරුවන්ට තම තමන්ගේ රටවලට සංක්‍රමණය වීමට ඇති ඉඩප්‍රස්ථා ඇහිරවීම, මේවාට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථාන බිහි කිරීම වැනි කරුණු මේ මොහොතේ මම ඔබගේ අවධානයට යොමු කරනවා.

දූෂණයට එරෙහි සටන සෑම රටකම සංස්කෘතියේ කොටසක් විය යුතුයි.

ගරු සභාපතිතුමියනි, ගෞරවනීය අමුත්තනි, දූෂණය සමාජයේ පුළුල් පරාසයක විනාශයට සහ ඛේදවාචකයකට හේතුවන ද්‍රෝහී වසංගතයක් ලෙස අපි විශ්වාස කරනවා. දූෂණය සංවර්ධනයට බාධාවක්. ප්‍රජාතන්ත්‍රවාදයට සහ ලෝකයේ යහපැවැත්මට තීරණාත්මක තර්ජනයක් සහ දුප්පත්කමට හේතුවක් වන බව අපේ ස්ථාවරය වෙනවා. දූෂණයට එරෙහි සටන භයානකයි. එහෙත් දූෂණයට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානකයි යන්න මා ඔබට ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා.

1948දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ලෝකයේ මිනිස් ප්‍රජාවට විශාල ජයග්‍රහණයක් ගෙනාවා. මානව ශිෂ්ටාචාරයේ විවිධ ජයග්‍රහණ එක් රැයකින් ලැබී නැහැ. ඒ සියල්ල අප්‍රමාණ කැපකිරීමේ සහ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵල. දූෂණයට එරෙහි සටන අසීරු පියවරක්. එහෙත් අපි එම පියවර තැබිය යුතුයි. අප තබන පළමු පියවර අසීරු විය හැකියි. එහෙත් අපි නිර්භීතව තබන පියවර නිවැරදි නම් ඒ පියවර පිටුපස තවත් පියවර දහස් ගණනක් අප සමග එනු ඇතැ’යි මම විශ්වාස කරනවා. නිර්භීත වන්න, ඉතිරි සියල්ල ඉබේම සිදු වනු ඇතැ’යි ජවහර්ලාල් නේරුතුමන් කළ ප්‍රකාශය මේ මොහොතේ මම සිහිපත් කරනවා.

මම නියෝජනය කරන්නේ මිලියන 22ට ආසන්න ජනගහනයක් ජීවත් වන පුංචි දීප්තිමත් දූපතක්. ශ්‍රී ලංකාවේ ජනගහනය ආසන්න වශයෙන් මුළු ලෝක ජනගහනයෙන් 0.3%ක් පමණ වෙනවා. අපේ රටේ සිටින ජන සංඛ්‍යාව ප්‍රමාණාත්මකව සහ සංඛ්‍යාත්මකව කුඩා බව ඇත්ත. එහෙත් අපේ රටේත්, ලෝකයේත් මතු පරපුර වෙනුවෙන් දූෂණයට එරෙහි සටන අපි ආරම්භ කර තිබෙනවා. දූෂණයට එරෙහි සටන සෑම රටකම සංස්කෘතියේ කොටසක් විය යුතුයි කියා මම යෝජනා කරනවා.

ඔබ කුමන රාජ්‍යයක් නියෝජනය කළත් මේ සෑම නියෝජිතයෙකුම යුද්ධය ප්‍රතික්ෂේප කිරීමට මා සමඟ එක් වන බව මට විශ්වාසයි. යුද්ධයක් ප්‍රාර්ථනා කරන ජාතියක් ලොව නැහැ. කොතැනක හෝ කෙසේ හෝ යුද්ධයක් හෝ ගැටුමක් ඇති වුවත් ඒ මගින් සිදු වන්නේ ඛේදවාචකයක් බව අපි දන්නවා. මේ මොහොතේ පවා එම ඛේදවාචකයේ වේදනාව ලෝකයේ බොහෝ තැන්වල අත්විඳිමින් සිටිනවා.

දශක තුනකට වැඩි කාලයක් යුද්ධයේ කටුක ඇත්දැකීම් ලැබූ රටක් ලෙස ඒ විනාශකාරී බව ගැන අපි ඉතා හොඳින් දන්නවා. යුද්ධය නිසා මියගිය දහස් ගණනකගේ සැමරුම් ස්මාරක අසලට පැමිණ ඔවුන්ගේ දෙමාපින්, දූදරුවන්, බිරින්දෑවරු දෑත් එක්කර නඟන වේදනාබර ආයාචනයන් දකින ඕනෑම කෙනෙක් යුද්ධය පිළිබඳ සිහිනයක් දැකීමට පවා අකැමැති වෙනවා. ඒ වේදනාබර දසුන අපි ඇස් දෙකෙන් දැක තිබෙනවා. ගැටුම් නිසා මිනිසුන්ට විඳීමට සිදුව ඇති දුක පෙර නොවූ විරූ මට්ටමට ළඟා වී නොතිබුණත් බොහෝ විට ජාත්‍යන්තර ප්‍රජාව මිලියන ගණනක දුක් වේදනා අවසන් කිරීමට අපොහොසත් වූ හුදු නරඹන්නෙකු බවට පත්ව තිබෙනවා.

දරුවන්ගේ සහ අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත එහාට මෙහාට පහර වදිමින් යන පා පන්දුවක් බවට පත් කිරීම අවස්ථාවාදී බල දේශපාලනයේ ඛේදවාචකයක් වෙනවා. තමන්ගේ බලය වැඩි කර ගැනීමට වෙනත් කිසිවෙකුගේ ජීවිතවලට බලපෑම් කිරීමට සහ පීඩා කිරීමට කිසිවෙකුට අයිතියක් නැහැ. පාලකයන් කළ යුත්තේ ජීවිත ආරක්ෂා කිරීම මිස ජීවිත විනාශ කිරීම නොවෙයි.

ගාසා තීරයේ අඛණ්ඩව සිදු වන බිහිසුණු ව්‍යසනය අපේ දැඩි කනස්සල්ලට හේතු වී තිබෙනවා. විශේෂයෙන් ගාසා තීරය වේදනාබර ඛේදනීය එළිමහන් සිර කඳවුරක් වී තිබෙනවා. අහිංසක දරුවන්ගේ සහ සිවිල් වැසියන්ගේ විලාපය රැව් පිළිරැව් දෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මත දෙපාර්ශ්වය කඩිනමින් සටන් විරාමයකට යොමු වීමත්, බාධාවකින් තොරව සියලු මානුෂික ආධාර යොමු කිරීමත්, සියලු පාර්ශ්වයන්ගේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමත් පිළිබඳ අපි හඬ නගනවා. මේ බිහිසුණු ඝාතන අවසන් කිරීම උදෙසා අපි දැඩිව බලපෑම් කළ යුතුව තිබෙනවා.

පලස්තීන ජනතාවට රාජ්‍යයක් සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය අපි පිළිගන්වා. ඒ වගේම ඊශ්‍රායල සහ පලස්තීන ජනතාව යන දෙපිරිසගේම නීත්‍යානුකූල ආරක්ෂක සහ මානව ගැටලු හඳුනාගත යුතුව තිබෙනවා. 1967 දේශසීමා මත, රාජ්‍ය දෙකක් එකිනෙකට යාබදව පැවතීමේ පදනම සපයන එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව සාධාරණ සහ ස්ථීර විසඳුමක් වෙනුවෙන් එක් විය යුතුව තිබෙනවා. නිරර්ථක යුද්ධයක් හේතුවෙන් මිලියන ගණනක් ලෝක වාසීන්ගේ දුක් වේදනා ඉදිරිපිට හුදු නරඹන්නෙකු බවට පත්ව සිටීම අවසන් කළ යුතු තීරණාත්මක මොහොතකට අපි එළැඹ සිටිනවා. මිනිස් සංහතිය තුළ ලෝකය පීඩාවට පත් කරන යුද ගැටුම්වලට, උමතු ආගමික අන්තවාදයට සහ ජාතිවාදයට බරපතළ ලෙස හේතු වී තිබෙනවා.

වහල්භාවය ආහෝසි කර සියවසක් ඉක්ම ගොස් ඇතත්, වර්ගවාදයේ විෂ තවමත් තැන තැන ඇති බව නැවත නැවත සිහිපත් කළ යුතුයි. අන්තවාදී සහ ජාතිවාදී අදහස් මාරාන්තික වසංගත රෝග තරමටම සාහසික වී තිබෙනවා. හාස්‍යයට සහ විමතියට කරුණ වන්නේ මෙතරම් ඉදිරිගාමී ලෝකයක් තුළ පවා මේ ජාතිවාදී, වර්ගවාදී ඝෝෂාවන් තවදුරටත් අළු යට ගිනි පුපුරු මෙන් ඉතිරිව තිබීමයි. එහි බිහිසුණුම තත්ත්වය වන්නේ ඉතාමත් තීරණාත්මක ලෙස විශ්වයේ යහපැවැත්මට එරෙහිව අවස්ථාවාදී ලෙස එම ගිනිපුපුරු විටින් විට මහා ගිනි ජාලා බවට පත් කිරීමයි.

ලෝක සාම ජනාවාස බිහි කරන උදාර සාම වන්දනාකරුවන් බවට පත්වෙමු.

ආයුධ මගින් ප්‍රශ්න විසඳා ගන්නවා වෙනුවට මානව ශිෂ්ටත්වයේ වටිනාකම් තුළින් ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව වෙත අපි අවතීර්ණ විය යුතුව තිබෙනවා. මිලියන ගණනක් දරුවන් කුසගින්නේ මිය යන ලෝකයක අපි බිලියන ගණන් ආයුධ වෙනුවෙන් වියදම් කරනවා. නිසි සෞඛ්‍ය පහසුකම් නොමැතිව කෝටි ගණනක් ජනතාව මරණයේ මාවත තෝරා ගන්නා විට නිරර්ථක යුද්ධය වෙනුවෙන් ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. අධ්‍යාපනය නැමැති පියාපත් ලැබිය නොහැකිව ලක්ෂ ගණනක් දරුවන් සුසුම් හෙළන විට භූමි ආක්‍රමණය කිරීමට මිලියන ගණනක් වියදම් කරනවා. ඇත්ත වශයෙන්ම මේ ලෝකයේ සෑම බිම් අඟලක්ම සාමයේ ජනාවාස බවට පත් කළ හැකි නම් ඒ ලෝකය ආශ්චර්යමත් ලෝකයක් බවට පත් වන බව අපි ඒකාන්තයෙන්ම විශ්වාස කරනවා. මේ සමුළුවට එක් වූ අපි සියලුදෙනා ලෝක සාම ජනාවාස බිහි කරන උදාර සාම වන්දනාකරුවන් බවට පත්වෙමු’යි කියා මා යෝජනා කරනවා.

ඓතිහාසික මැතිවරණයකින් ශ්‍රී ලාංකික ජනතාව සියවස් ගණනක් දුටු සිහිනයක් වෙනුවෙන් තීන්දුවක් ගත් බව මම ඔබට සිහිපත් කරනවා. එයින් බිහි වූ ව්‍යවස්ථාදායකය විවිධත්වයෙන් සහ විචිත්‍රත්වයෙන් යුක්ත වුණා. එක් අතකින් රටේ සමස්ත ජනතාව ආණ්ඩුව පිළිබඳ දැවැන්ත විශ්වාසයක් තැබුවා. තව අතකින් දෘශ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළු කාන්තා සහ සෙසු ජාතින් නියෝජනය ඓතිහාසික සන්ධිස්ථානයක් නිර්මාණය කළා.පාර්ලිමේන්තුව තුළ පෙන්නුම් කරන මෙම විවිධත්වය ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය තුළ ජන වාර්ගික විවිධත්වය සහතික කරනවා වගේම සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් සහ අවස්ථා ලබා දීම සඳහා අප තුළ ඇති කැපවීම නැවත බලගන්වනු ලබනවා.

ඒ වගේම මහජන නියෝජිතයන් යනු මහජනතාව වෙනුවෙන් සේවය කරන්නන් මිස අනිසි වරප්‍රසාද ලබන්නන් නොවන බවට අපි ආදර්ශයක් ලබා දී තිබෙනවා. ජනතා නියෝජිතයන්ගේ වගකීම විය යුත්තේ රට සහ ජනතාව සංවර්ධනය කිරීම මිස පෞද්ගලිකව තමන් සංවර්ධනය වීම නොවන බව අපි විශ්වාස කරනවා.

අන්ධකාරය වෙනුවට ආලෝකයේ මාවත තෝරා ගත් අපේ රටේ ජනතාව ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ සඳහා වූ ප්‍රායෝගික දැක්මට ජනතා ආශිර්වාදය ලබා දී තිබෙනවා. මෙම ඓතිහාසික ජයග්‍රහණය මල්ඵල ගැන්වීම සඳහා දූෂණයෙන් තොර සදාචාරාත්මක පාලනය, දුප්පත්කම තුරන් කිරීම, ඩිජිටල්කරණය සහ පිරිසිදු රටක් යන ප්‍රධාන අංශ කෙරෙහි අපේ අවධානය යොමු කර තිබෙනවා. ඊට සමගාමීව අධ්‍යාපනය සහ සෞඛ්‍ය කෙරෙහි අපි දැඩි අවධානය යොමු කර තිබෙනවා. ඒ සියල්ල පියවරෙන් පියවර අපි ජය ගනිමින් සිටිනවා.

වර්තමානයේ ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය අපේ නව ඉලක්කයයි. ලෝකය ඉදිරියේ ඇති අභියෝගය වන්නේ සෑම පුද්ගලයෙකුටම සහ සෑම රාජ්‍යයකටම ඩිජිටල් යුගයේ අවස්ථාවලට ප්‍රවේශ විය හැකි බවට සහතික වීමයි. අප සාර්ථක වුවහොත් තාක්ෂණයට ප්‍රවේශ වීමේ ඉඩප්‍රස්ථා විවර වීම, සංවර්ධනය වේගවත් වීම සහ පාලනය ශක්තිමත් වීම වැළැක්විය නොහැකි වෙනවා. එහෙත් එසේ කිරීමට අපි අසමත් වුවහොත් තාක්ෂණයේ අසමානතාව සහ අනාරක්ෂිතභාවය සහ අයුක්තිය ඇති වීමට තුඩු දෙන තවත් බලවේගයක් වන බව අපි විශ්වාස කරනවා.

ඩිජිටල් මෙවලම් වෙත ප්‍රවේශ වීමට නොහැකි රාජ්‍ය අතර ඩිජිටල් පරතරය පැහැදිලිව පවතිනවා. කෘත්‍රීම බුද්ධිය සම්බන්ධයෙන් ඊටත් වඩා ඔබ්බට විහිදුණු පරතරයක් මතුවෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ බොහෝ රටවල් මෙන්ම ලොව පුරා තවත් බොහෝ රටවල් සංවර්ධනයේ මෙවලමක් ලෙස කෘත්‍රීම බුද්ධිය භාවිත කිරීමට යටිතල පහමුකම් අවම වීම බලපා තිබෙනවා.

වඩා යහපත් ලෝකයක් උදා කර ගනිමු.

අපි බොහෝ යහපත් ලෝකයක්, මිනිසාගේ සදාකාලික ගෞරවයට ගරු කරන ලෝකයක් ගොඩනඟා ගත යුතුයි. මෙම සමුළුවේ සාමාජිකයන් වන ඔබ වඩා හොඳ ලෝකයක් නිර්මාණය කරන ගෘහ නිර්මාණ ශිල්පීන් විය යුතුයි. අපගේ අනාගතය ඔබේ අතේ යනුවෙන් 1945 එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ ප්‍රඥප්තිය අත්සන් කිරීමට සමගාමීව ඇමරිකන් ජනපති හැරී එස්. ට්රූමන් කළ ප්‍රකාශයක් සිහිපත් වෙනවා. අපි ක්‍රියාකළ යුත්තේ බියෙන් හෝ බැඳීමකට යටත්ව නොව බලාපොරොත්තු පෙරදැරිවයි. වඩා යහපත් ලෝකයක් උදා කර ගත හැකි මෙන්ම එය වඩාත් සමීප යැයි යන අපේක්ෂාව පෙරදැරි කරගෙනයි. ව්‍යසනයට ලෝකය රැගෙන යනවා වෙනුවට මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වූ පරපුරක් බවට පත්වීමට මෙම සමුළුවේදී අපි අධිෂ්ඨාන කර ගනිමු.

අවසාන වශයෙන් මට මගේ රට ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා. ඔබට ඔබේ රටවල් ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා. මගේ රටේ ජනතාව සතුටින් පිරි පොහොසත් ජීවිතයක් උරුම කර දීම මගේ ඒකායන සිහිනය වෙනවා. ඔබේ රටවල ජනතාවටත් එවැනි ජීවිතයක් උරුම කර දීම ඔබේ සිහිනය බව මා විශ්වාස කරනවා. ඒ සියලු සිහින වෙනුවෙන් අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක් බව අපි විශ්වාස කරනවා.

නිරෝගී ධරණි තලයක සාමය සහ ගෞරවය සහ සමානාත්මතාව වෙනුවෙන් කැප වෙමු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආදර්ශ පාඨයේ සඳහන්ව තිබෙනවා. ලෝකය සැබෑවටම පිළිසකර කරන්නන් වෙමු කියා මම ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා.

බෙහෙවින්ම ස්තූතියි.

Show More

සමාජවාදී තරුණ සංගමයේ විශේෂ මාධ්‍ය හමුව

(-2025.09.10 – Colombo-) පාතාලය සහ විෂමද්‍රව්‍ය මර්දනය කිරීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව සිදුකරමින් පවතින ක්‍රියාවලියට උපරිම සහාය පළ කරන බව සමාජවාදී තරුණ සංගමය පවසයි. පාතාලය සහ විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම වෙනුවෙන් ආණ්ඩුව සිදුකරමින් පවතින ක්‍රියාවලියට සහය පළ කිරීම වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. එම මාධ්‍ය හමුව අද (10දා) ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී […]

(-2025.09.10 – Colombo-)

SYU press conference about underworld

පාතාලය සහ විෂමද්‍රව්‍ය මර්දනය කිරීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව සිදුකරමින් පවතින ක්‍රියාවලියට උපරිම සහාය පළ කරන බව සමාජවාදී තරුණ සංගමය පවසයි.

පාතාලය සහ විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම වෙනුවෙන් ආණ්ඩුව සිදුකරමින් පවතින ක්‍රියාවලියට සහය පළ කිරීම වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

එම මාධ්‍ය හමුව අද (10දා) ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විය.

Mahesh Ambepitiya speaking at the SYU press conference about underworld

සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය සහෝදරයා ප්‍රකාශ කළේ, ආණ්ඩුව මේ වනවිට පාතාලයට හා මත්ද්‍රව්‍යයට පැවැති දේශපාලන සහාය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවයි. ඒ හේතුවෙන් විපක්ෂයේ බොහෝ පිරිස් කලබලයට පත්වී ඇති බවත්, මේ වන විට පාතාලය හා විෂ මත්ද්‍රව්‍යය ව්‍යාපාරය යොදා ගනිමින් දේශපාලන බලය පවත්වාගෙන ගිය පිරිස් වෙත සිය බලය සම්පූර්ණයෙන්ම අහිමි වී ඇති බවත් මහේෂ් අඹේපිටිය සහෝදරයා ප්‍රකාශ කළේය.

විෂමත්ද්‍රව්‍යයට එරෙහිව කටයුතු කළ ව්‍යාපාරයක් ලෙස සමාජවාදී තරුණ සංගමය ඉදිරියේදීත් ආණ්ඩුව ගෙන යන විෂ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙලට උපරිම සහාය දක්වන බව ද ඔහු සඳහන් කළේය.

Anjana Sampath Amrasinghe at the SYU press conference about underworld

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම් අංජන සම්පත් අමරසිංහ සහෝදරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවට දැරීමට ඇති සමස්ත සෞඛ්‍ය වියදමෙන් 22%ක් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ලෙඩ රෝග වලට ලක් වූ අයට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් යෙදවීමට සිදුව තිබීම ඛේදවාචකයක් බවයි. එබැවින් මෙම විෂමද්‍රව්‍ය ව්‍යාපාරය සහමුලින්ම අවසන් කරමින්, මෙරට තරුණ තරුණියන්ට වෙනත් මාවතක් විවර කිරීමේ වගකීම මෙම ආණ්ඩුව භාර ගෙන ඇති බවට ආණ්ඩුව විසින් ගෙනයන වැඩපිළිවෙල සාක්‍ෂි සපයන බව ද ඔහු සඳහන් කළේය.

Suranga Sanjeewa at the SYU press conference about underworld

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික සුරංග සංජීව සහෝදරයා පැවසුවේ, මිද්දෙනිය සිදුවීමට අදාලව සලකා බැලූ විට එහි පවතින දේශපාලන පසුබිම පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි බවයි.

එම සිදුවීමට අදාළ තැනැත්තා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරිකයකු බවත්, එවැනි පසුබිමක් යටතේ නාමල් රාජපක්ෂලා මාධ්‍ය හමු පවත්වාගෙන කරනු ලබන ප්‍රකාශයන් ලැජ්ජා සහගත ප්‍රකාශයන් බවත් ඔහු සඳහන් කළේය.

පාතාලය සහ විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම වෙනුවෙන් මෙරට තරුණ තරුණියන් හා සියලුම ජනතාවගේ මැදිහත්වීම ද අත්‍යවශ්‍ය බවත්, පාතාලයේ සහ විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම වෙනුවෙන් ආණ්ඩුවට සහාය දැක්වීමට පුරවැසියාට ද වගකීමක් පැවරෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එම මාධ්‍ය හමුව සඳහා සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන සම්පත් අමරසිංහ සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික සුරංග සංජීව සහෝදරයා සහභාගී වූහ.

Show More