(-2025.05.21 – Colombo-) ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ (WFDY) උප සභාපති ධූරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ, සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් මහේල අමරසූරිය තේරීපත්විය. මැයි මස 20-26 දිනවලදී නැමීබියාවේ පැවැත්වෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ 21 වෙනි මහ සභා රැස්වීමේදී මෙම පත්කිරීම සිදුව ඇත. එහිදී මැයි මස 21 දින පැවති ආසියා – පැසිෆික් කලාපීය රැස්වීමේදී සමාජවාදී ශිෂ්‍ය […]
(-2025.05.21 – Colombo-)
ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ (WFDY) උප සභාපති ධූරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ, සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් මහේල අමරසූරිය තේරීපත්විය.
මැයි මස 20-26 දිනවලදී නැමීබියාවේ පැවැත්වෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ 21 වෙනි මහ සභා රැස්වීමේදී මෙම පත්කිරීම සිදුව ඇත. එහිදී මැයි මස 21 දින පැවති ආසියා – පැසිෆික් කලාපීය රැස්වීමේදී සමාජවාදී ශිෂ්‍ය සංගමය මහා මණ්ඩලය සඳහා තේරී පත්වූ අතර, ඉන් අනතුරුව මැයි මස 24 දින පැවති මහාමණ්ඩල රැස්වීමේදී සංවිධානයේ උප සභාපති ධූරය සඳහා වැඩි ඡන්දයෙන් තේරීපත්ව ඇත.
1945දී ආරම්භ වූ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය ලොව විශාලතම අධිරාජ්‍යය විරෝධී තරුණ සහ ශිෂ්‍ය සංවිධානය වේ. ලොවපුරා රටවල් ගණනාවක් නියෝජනය කරමින් සංවිධාන 152ක් මේ වන විට එහි පූර්ණ සාමාජිකත්වය දරයි.
මෙම 21 වන මහ සභවාරයේදී එහි සභාපති ධූරය සඳහා පෘතුගාලයේ JCP තරුණ සංවිධානයත්, ලේකම් ධූරය සඳහා කියුබාවේ UJC සංවිධානයත්, අනෙකුත් උප සභාපති ධූර 2 සඳහා ලෙබනනයේ ULDY සහ නැමීබියාවේ SWAPO YL සංවිධානයත් තේරීපත්විය.
මෙම මහ සභා රැස්වීම සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක රංගන දේවප්‍රිය, ජාතික කමිටු සාමාජික මහේල අමරසූරිය සහ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සම්බන්ධ විය.
(-2025.05.19 – Colombo-) “දෙමව්පියනි, ඔබ ඔබේ දරුවා, බිරින්දෑවරුනි, ඔබේ ස්වාමියා මේ මාතෘ භූමියේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කැප කළා. ඔබ ශ්‍රේෂ්ඨ මාතාවන්. ඔබ ශ්‍රේෂ්ඨ බිරින්දෑවරුන්. එහෙත් එහි අවසන් ප්‍රතිඵලය විය යුත්තේ කුමක්ද? ඔබගේ දරුවාට, ඔබගේ ස්වාමියාට, ඔබගේ මිතුරාට, ඔබගේ ඥාතියාට ඉටු කළ හැකි ඉහළම සාධාරණත්වය වන්නේ මේ රටේ සාමය ස්ථාපිත කිරීමයි. මෙම ස්මාරකය ඉදිරිපිට සිට […]
(-2025.05.19 – Colombo-)
“දෙමව්පියනි, ඔබ ඔබේ දරුවා, බිරින්දෑවරුනි, ඔබේ ස්වාමියා මේ මාතෘ භූමියේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කැප කළා. ඔබ ශ්‍රේෂ්ඨ මාතාවන්. ඔබ ශ්‍රේෂ්ඨ බිරින්දෑවරුන්. එහෙත් එහි අවසන් ප්‍රතිඵලය විය යුත්තේ කුමක්ද? ඔබගේ දරුවාට, ඔබගේ ස්වාමියාට, ඔබගේ මිතුරාට, ඔබගේ ඥාතියාට ඉටු කළ හැකි ඉහළම සාධාරණත්වය වන්නේ මේ රටේ සාමය ස්ථාපිත කිරීමයි. මෙම ස්මාරකය ඉදිරිපිට සිට ඊට නිසි ගෞරවය පුද කිරීම යනු, යළි රට තුළ ගැටුමක් ඇතිවීමට ඉඩ නොතබා, වෛරය සහිත සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් සහ ප්‍රේමයෙන් යුතු සමගිය පිරි සමාජයක් නිර්මාණය කිරීමට සූදානම් බවට වන පණිවිඩය ශපථ කිරීමයි” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) පස්වරුවේ බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස පැවති 16 වන රණවිරු දින සැමරුම් උත්සවය අමතමිනි.
දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධය අවසන් කරමින් ලැබූ ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත් අයුරින් පැවැත්විණි.
මෙහිදී ජනාධිපතිතුමා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය,
දශක ගණනාවක් අපේ රට යුද්ධකට මුහුණ දුන්නා. රටට, ජනතාවට විශාල විනාශයක් අත්කර දුන් එම යුද්ධය මීට වසර ගණනාවකට පෙර අවසන් කිරීමට අපිට හැකියාව ලැබුණා. මෙම යුද්ධය අවසන් කිරීමේදී ජීවිත පරිත්‍යාග කළ අපේ හමුදා නිලධාරින් සහ සොල්දාදුවන් අපි අද සමරනවා. ඒ අනුව අද ඉතා වැදගත් හා ඓතිහාසික දිනයක් බව කිව යුතුයි.
මෙම සැමරුම එම යුද්ධය අවසන් කිරීමේ ඓතිහාසික සැමරුමක් වගේම යළි අපේ රටේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්,මැලේ සියලු ජනතාව එක රටක් තුළ සමගියෙන්, සහෝදරත්වයෙන් මේ රට ගොඩනැඟීම සඳහා පොරබදන මොහොතක්ද වෙනවා.
මෙම වසර ගණනාවක යුද්ධය අවසන් කිරීම සඳහා අපේ සොල්දාදුවන් විශාල පිරිසක් ජීවිත පරිත්‍යාග කළා. මෙම පුවරුව පිරෙන්න ඔවුන්ගේ නම් තිබෙනවා. මේ පුවරුවලින් පෙන්නුම් කරන්නේ යුද්ධය අවසන් කිරීම සඳහා ඔවුන් සිදු කරන ලද කැපවීමයි. ඒ වගේම සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් සදාකල් ආබාධිත තත්ත්වයට පත් වුණා. අදත් අප අතර ජීවත් විය යුතු විශාල පිරිසක් යුද්ධය අවසන් කිරීම සඳහා සිය ජීවිතය පරිත්‍යාග කළා. තවත් පිරිසක් තමන්ගේ ඇස්, අත්, පා ශරීර අවයව සියල්ල පරිත්‍යාග කළා.
එපමණක් නොවෙයි, ඔවුන්ගේ ඥාතීන්, මිතුරන්, දෙමාපියන්, බිරින්දෑවරු, ස්වාමියා ඇතුළු සියලුදෙනා මේ යුද්ධය අවසන් කිරීම සඳහා කරන ලද මහා ව්‍යායාමයේදී විශාල කැපකිරීමක් සිදු කළා. මා හිතනවා රටක් ජාතියක් ලෙස අපි සැමදෙනා සැමදා ඔවුන් අනුස්මරණය කළ යුතුයි. මේ රට හැමදාමත් ඔවුන්ට ණයගැතියි. ඒ පිළිබඳව ඉතාමත් භක්තිමත් බැඳීමක් ඔවුන් සහ අප අතර තිබෙනවා.
නමුත් “යුද්ධය” යන වචනයට තිබෙන්නේ “යුද්ධය” යන්නම පමණයි. යුද්ධය විශාල ඛේදවාචකයක්. යුද්ධය විශාල විනාශයක්. මටත් වඩා වැඩියෙන් එය යුද බිමේ සටන් කළ ඔබ දන්නවා. යුද්ධය මොනතරම් ඛේදවාචකයක්ද, විනාශකාරීද කියා.
නමුත්, මේ සටන් කරන ලද කිසිවෙක් යුද්ධ කළේ යුද්ධය අපේක්ෂාවෙන් නොවේ. ඒ හැමදෙනාම යුද්ධ කළේ සාමය අපේක්ෂාවෙන්. යුද්ධය මොනතරම් ඛේදවාචකයක්ද. අද උතුර, දකුණ කියා භේදයකින් තොරව මේ යුද්ධයේ විනාශයේ සහ ඛේදවාචකයේ නටඹුන් මතින් ගොඩනැඟී තිබෙන අයුරු අපි දැක තිබෙනවා.
පියවරු අහිමි වූ දරුවන්, දරුවන් අහිමි වූ දෙමාපියන්, ස්වාමියන් අහිමි වූ බිරින්දෑවරුන් මේ මාතෘ භූමියේ තවමත් සුසුම් හෙළමින් ජීවත් වෙනවා. මෙම නාම පුවරුවල ලියා තිබෙන නම් අතර තමන්ගේ පුතාගේ නම තිබෙනවාද, තමන්ගේ ස්වාමියාගේ නම තිබෙනවාද, තමන්ගේ දරුවාගේ නම තිබෙනවාද කියා ඇගිලි තබමින් නම් සොයන අය සිටින බව මම දන්නවා. අපේ අම්මලාගේ, බිරින්දෑවරුන්ගේ, දරුවන්ගේ වේදනාවේ ප්‍රමාණය අපි දන්නවා. ඔවුන් අභිමානයක් සහිතව එහෙත් වේදනාවෙන් තමගේ ඥාතින් සොයනවා.
යුද්ධය යනු ඛේදවාචකයක්. එවන් විශාල ඛේදවාචකයකට මුහුණ දුන් රටක් ලෙස වර්තමානයේ ජීවත්වන අපගේ වගකීම වන්නේ යළි එවැනි පන්නයේ යුද්ධයක් රට තුළ ඇතිවීම වැළැක්වීමයි. යුද්ධ කරන රටක් වෙනුවට ගැටුම් ඇති නොවන, සැකය,කෝපය වෛරය වෙනුවට සහෝදරත්වයේ බැඳීම, ආදරය, ප්‍රේමය තිබෙන රටක් නිර්මාණය කළ යුතුයි.
දකුණේ පමණක් නොවෙයි, උතුරේ ජනතාවත් ඡායාරූපයක් මහ මග තබාගෙන තමන්ගේ ස්වාමියා, තමන්ගේ දරුවා පිළිබඳ විලාප දෙනවා. සෑම දෙමාපියෙකුටම තමන්ගේ දරුවා දරුවෙක්. “උනහපුළුවාට තමන්ගේ දරුවා මැණිකක්”. එසේ නම් එවන් විශාල ඛේදවාචකයකට මුහුණ දුන් රටක් ලෙස වර්තමානයේ ජීවත් වන අපේ වගකීම වන්නේ යළි එවැනි පන්නයේ යුද්ධයක් අපේ රට තුළ ඇතිවීම වැළැක්වීමයි.
අපේ පරම්පාරව යුද්ධ කර තිබෙනවා. අපේ පරම්පරාව අතර වෛරය, ක්‍රෝධය, සැකය පැතිරී තිබෙනවා. නමුත් අපි අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ නොකරන රටක්, ගැටුම් ඇති නොවන රටක්, සැකය,කෝපය වෛරය වෙනුවට සහෝදරත්වයේ බැදීම, ආදරය, ප්‍රේමය තිබෙන රටක් නිර්මාණය කළ යුතුයි. අපේ සියවසේ සිදුවීම්, සිදුවීම් බවට පත්වීමට ඉඩදී අත්හැරිය යුතු නැහැ, යහපත් මිනිසුන් ලෙස අපි සිදුවීම්වලින් පාඩම් ඉගෙන ගෙන ඒවා අත්දැකීම් බවට පත් කරගත යුතුයි.
එසේනම් මහා ඛේදවාචකයක් සහිත ඉතිහාසය විසින් අපිට කියන්නේ කුමක්ද, යළි එවැනි තත්ත්වයක් අපේ මාතෘභූමිය තුළ ඇති වීමට ඉඩ නොතැබිය යුතුයි කියන හඩයි. ඒ අත්දැකිම්වලින් අපිට පෙන්වන්නේ අපෙන් පසු පරම්පරාව යළි යුද ගැටුමකට යා යුතුයි කියා නොවෙයි. ඒ අත්දැකීම් අපට පෙන්වා දෙන්නේ යුද්ධයෙන් තොර රාජ්‍යයක්.
මෙම යුද ස්මාරකය ඉදිරිපිට අප සිටගෙන ඔවුන්ට නිසි පරිදි ගෞරවය ඉටු කරනවා යනු යළි ගැටුමක් ඇති වීමට ඉඩ නොතබා වෛරයක් සහිත සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් ආදරය සමගිය පිරි සමාජයක් නිර්මාණය කිරීමට සූදානම් කියන පණිවිඩය මෙය ඉදිරියේ තබා ශපථ කිරීමයි.
විශේෂයෙන් තමන්ගේ දෙපය බිම තබා ඇවිදිය නොහැකි සොල්දාදුවන් අද මා ඉදිරිපිට සිටිනවා. මා අද උදෑසන ඔවුන් බලන්න ගියා. ඉතා දිගු කාලයක් පුරා ඇතැම් අය 1996 සිට අවුරුදු 30කට ආසන්න කාලයක් ඇදක පමණක් තම ජිවිතය ගත කරනවා. එක් අයෙක් 1988 සිට එලෙස සිටින බව පැවසුවා. ඔවුන් තමන්ගේ සිතිවිලි වචන බවට පෙරළා ගත නොහැකිව කදුළු පිරි දෙනෙතින් ඒ දුක් පෙන්නුම් කරනවා. මෙම ඛේදවාචකය අපි අවසන් කළ යුතුයි. අනාගත පරපුරට අපි භාර දිය යුතු වන්නේ සමගි සම්පන්න රාජ්‍යයක් නොවේද?
එහෙත් අද රට තුළ සිදුව තිබෙන්නේ විටින් විට තමන්ගේ බලය ලබා ගැනීම, බලය ආරක්ෂා කර ගැනීම සහ බලය තර කර ගැනීම වෙනුවෙන් මෙම යුද ගැටුම්, ජාතිවාදය සහ අන්තවාදය උපයෝගි කර ගැනීමයි. මේ කිසිවක් ස්වභාවිකව ඇති වූවක් නොවේ. විටින් විට තමන්ගේ බලය ලබා ගැනීම සහ බලය ආරක්ෂා කර ගැනීම සඳහාත්, තමන් විසින් කරන ලද අපරාධ වසන් කර ගැනීම සඳහාත් උපයෝගි කරගෙන තිබෙනවා. එසේ නොවන්න ෆීල්ඩ් මාර්ෂල් වසර දෙක හමාරකට වැඩි කාලයක් සිරගතව සිටීමට හේතුවක් නැහැ. එම අවදියේ ඔහු සහ මම ඉතා සමීපව ඇසුරු කළා. එහි තිබුණේ බලය මිස නීතිය හෝ යුක්තිය නොවෙයි. ඒ අයුරින් ඉතිහාසය මේ ගැටුම් සහ යුද්ධ බලය ලබා ගැනීම සහ බලය ශක්තිමත් කර ගැනීම සඳහා උපයෝගී කරගෙන තිබෙනවා. එහි වින්දිතයන් බවට උතුරෙත්, දකුණෙත් අපේ දරුවෝ පත් වී තිබෙනවා.
මෙවැනි යුද්දයක් ඇතිවීම සඳහා කිසිදු සාධකයක් නොසැපයූ, ඒ වෙනුවෙන් වැඩ නොකළ අපේ ගම්වල සාමාන්‍ය මව්පියවරුන්ගේ දරුවන් මිය ගියා. ඒ නිසා යුද්ධය යනු ඛේදවාචකයක් කියා අප ඉතා දැඩිව තේරුම් ගත යුතුව තිබෙනවා. යුද්ධය යනු විනාශයක්. නමුත් ඇතැම් අය නැවත නැවත පරාජිත සහ ප්‍රතික්ෂේප වූ කණ්ඩායම් හිතනවා යුද්ධය යනු ආශ්වාදයක් කියා. යුද්ධය යනු මිහිරි අත්දැකීමක් කියා ඔවුන් සිතනවා. නමුත් පොදු සමාජයට එසේ නොවෙයි. එසේ නම් මේ බොල් හඩට අපි තවදුරටත් බිය විය යුතුද. අපි සැමදෙනා එකවිට නැගිට සාමය අවශ්‍ය බවට හඩ නැගිය යුතුයි. අපේ හදවත, අපේ ප්‍රකාශයන් සහ අපේ ප්‍රවේශය යන සියල්ල අපි සාමය වෙනුවෙන් පෙළගැස්විය යුතුයි.
සාමය පාවා දීමේ ලකුණක් බවට පත් වෙමින් තිබෙනවා. සංහිඳයාව පාවා දීමක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. මිනිසුන් සමාජයක් ලෙස වර්ධනය වන විට තව තවත් උස් හඬින් අප ගෙන ආ යුතු වන්නේ මානවවාදය. මනුෂ්‍යත්වය. අපේ රට තුළ පමණක් නොවේ. ලෝකය පුරා ඇති වී තිබෙන යුද ගැටුම්වලින් ලෝකයට අත්පත් කර තිබෙන්නේ කුමක්ද? ජයග්‍රහණද? නෑ. විනාශයයි. ඒ නිසා මම හිතනවා අපි තිර අදිටනකින් වැඩ කළ යුතුයි සාමය වෙනුවෙන්.
යුද්ධයේ ආස්වාදය යුද්ධය තමන්ගේ බලය ලබා ගැනීමට ආරක්ෂා කර ගැනීම සඳහා මහා ලේ ගංගාවක් බවට පත් කර එහි පීනා විඳින ආස්වාදය සතුට අපි අහිමි කළ යුතුයි.
මේ වෙලාවේ බයිනේත්තුව අතේ තබා ගෙන යුනිෆෝම් එකක් ඇඳ ගෙන නීතියට ගරු කරමින් ඉන්න හැම සෙබළාගේම හැම නිලධාරියාගේම අපේක්ෂාව තමන්ගේ අතේ තිබෙන ගිනි අවිය කුමන මොහොතකවත් පාවිච්චි කිරීමට නොලැබේවායි කියන ප්‍රාර්ථනයයි. මානවවාදයේ ප්‍රාර්ථනය එයයි. පොදු සමාජයේ ප්‍රාර්ථනය විය යුත්තේ එයයි. එහෙත් ඉතාමත් කුඩා කණ්ඩායම් ඔවුන් නිරන්තරයෙන් කල්පනා කරමින් තිබෙනවා අත තිබෙන ගිනි අවිය කුමන මොහොතක හරි පත්තු කළ යුතුයි කියලා. නෑ. අපේ ස්ථාවරය වන්නේ ඔබ සතුව තිබෙන ගිනි අවිය තවත් මිනිසෙකුට එරෙහිව ඔහුගේ පපුවට තබා වෙඩි තැබීම සඳහා එසවීමට අවස්ථාවක් නොලැබෙන සමාජයක් නිර්මාණය විය යුතුයි. අපි බය නැතුව මෙය කිව යුතුයි.
ගෝරනාඩුවට කිසි කෙනෙක් යටත් විය යුතු නැහැ. අපි යටත් වනනේ සත්‍යට. අපි යටත් විය යුතුයි මානවවාදයට. මිනිසත්කමට. නමුත් අපි ගෝරනාඩුවට යටත් විය යුතු නැහැ. ඒ නිසා මා හිතනවා ඉතිහාසය අත්දැකීම් බවට පත් කර ගැනීමට නම් ඒ අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගත් ජනතාවක් බවට පරිවර්තනය විය යුතුයි. අපි ඇති තරම් ලේ හලා තිබෙනවා. අපි මේ මහ පොලොව තෙත් වන තුරු ලේ හැළු ජාතියක්. ගංගා රුධිරයෙන් ගලා යන තරමට ලේ හැලු ජාතියක්. දෙමවිපියන්ගේ, ඥාතීන්ගේ කඳුළු ගංගා පිරෙන තරම් කඳුළු හැළු ජාතියක්. අපි යුද්ධයේ බිහිසුනුතම වේදනාවන්ට බිහිසුණුතම විනාශයන්ගේ අත්දැකීම් ලැබූ මිනිස්සු. ඒවා අත්දැකීම් නම් යළි එවැනි තත්ත්වයක් අපේ රටේ ඇති වීම වැළැක්විය යුතුයි.
මා මීට පෙරත් ප්‍රකාශ කළා කිසිවෙක් මේ යුද්ධයට එළඹෙන්නේ යුද්ධය වෙනුවෙන් නෙවෙයි. හැම කෙනාම අවි අතට ගෙන ඉදිරියට ගියේ සාමය වෙනුවෙන්. යුද්ධය වෙනුවෙන් යුද්ධ කරන්නේ නැහැ. යුද්ධ කරන්නේ සාමය වෙනුවෙන්. එසේ නම් අපට තවත් දිගු ගමනක් යා යුතුව තිබෙනවා. යුද්ධය අවසන් වීම, එහි ඊළඟ පියවර සාමය ස්ථාපිත කිරීමයි. එසේ නොමැති නම් අපි අර්ධ ජයග්‍රාහකයෝ වෙනවා. පූර්ණ ජයග්‍රාහකයෝ නෙවෙයි. අපිට පූර්ණ ජයග්‍රාහකයෝ බවට පත් විය හැකි වන්නේ මේ රටේ සාමය නිර්මාණය කිරීමෙන් පමණයි. ඒ නිසා ගෝරණාඩුවලට බිය නොවී අපි සාමය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගැනීමට සූදානම්.
අවි අත දරා සිටින සෑම සොල්දුදුවෙකුගෙන්ම, සෑම නිලධාරියෙකුගෙන්ම මා ඉල්ලා සිටින්නේ ඔබ හැම විටම අපේ රටේ සාමය වෙනුවෙන් වැඩ කළ පිරිසක්, ඔබ අනාගතයේද අපේ රටේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් වැඩ කරන පිරිසක් බවට පත් වන ලෙසයි. අපේ දෙමව්පියන්ට මම කියන්නේ ඔබ ඔබේ දරුවා, බිරින්දෑවරු ඔබේ ස්වාමියා මේ මාතෘ භූමියේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කැප කළා. ඔබ ශ්‍රේෂ්ඨ මාතාවන්. ඔබ ශ්‍රේෂ්ඨ බිරින්දෑවරුන්. එහෙත් එහි අවසන් ප්‍රතිඵලය විය යුත්තේ කුමක්ද?ඔබගේ දරුවාට, ඔබගේ ස්වාමියාට, ඔබගේ මිතුරාට, ඔබගේ ඥාතියාට ඉටු කළ හැකි හොඳම සාධාරණත්වය වන්නේ මේ රටේ සාමය ස්ථාපිත කිරීමයි.
අපේ දරුවන්ට යළි යුද්ධයක් පිළිබඳ බියක් ඇති නොවෙන සමාජයක් අප නිර්මාණය කළ යුතුයි. එය ඉතාමත් දුෂ්කර ව්‍යායාමයක්. එහෙත් අප විසින් සාර්ථකව කළ යුතු ව්‍යායාමයක්. මා මේ අවස්ථාවේ සුදුසු නොමැති වුවත් කියන්න කැමතියි උතුරේත් දකුණේත් බලය වෙනුවෙන් මේ ජාතිවාදය වෙනුවෙන් නැවත කැරැලි ඇති කරන්න පටන් ගෙන තිබෙනවා. වෙන කිසිවක් නොව බලය වෙනුවෙන්. සැබෑ මාතෘ භූමියේ නිදහස නම්, අපට යුද්ධය අවසන් කිරීමෙන් මාතෘ භූමියේ පූර්ණ නිදහස අත්පත් කර ගැනීමට අප සමත්ව නැහැ.
මාතෘ භූමියේ පූර්ණ නිදහස යනු කුමක්ද? මේ වර්ෂාවත් සමඟ නායයෑම් අවදානම් සහිත කලාප රට තුළ තිබෙනවා. එමඟින් අප නිදහස් ද? අදත් ලෝකයේ කුමන ස්ථානයක හෝ කුඩා හෝ ගැටුමක් ඇති වුණොත් අපේ රටේ ආර්ථිකයට, ජනජීවිතයට බලපෑමක් ඇති කරයි කියන බිය තිබෙනවා. අප නිදහස්ද? අද ආර්ථික වශයෙන් ස්වෛරීභාවය අහිමි කරගත් ජාතියක්. අපිට අපේම වූ ආර්ථික තීරණ ගැනීම සදහා ශක්තිමත් ආර්ථිකයක් නොමැති ජාතියක්. එනිසා අපේ මාතෘ භූමිය ලෝකය ඉදිරිපිට අභිමානවත් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට නම් මේ ආර්ථික පරිවර්තනය අත්පත් කර ගත යුතුයි.
නීතියේ විධානයේ ආධිපත්‍යය කුමන දුෂ්කරතා මත හෝ මේ රාජ්‍ය තුළ ස්ථාපිත කළ යුතුයි. මේ රටේ රාජ්‍ය පාලනය පිළිබඳව ලෝකය ඉතාමත් ප්‍රශංසා මුඛයෙන් කතා කළ යුතුයි. අප රටේ අපරාධ, කුඩු වසංගතවලින් තොර රාජ්‍යයක් ලෙස නිර්මාණය කළ යුතුයි. ගැටුම්, අවිශ්වාසය, වෛරය නොමැති රාජ්‍යයක් ලෙස නිර්මාණය කළ යුතුයි. එවිට මව්බිමේ පූර්ණ නිදහසත්, ශක්තිමත් ස්වෛරීභාවයක් අපට නිර්මාණය වෙනවා. එහෙම නොමැතිව ස්වෛරීභාවය හුදු කඩදාසියක තිබෙන වාක්‍යයක් බවට පත් නොවිය යුතුයි. එය මේ මාතෘ භූමියේ යථාර්ථය බවට පත් කළ යුතුයි.
ඔබට, අපට මේ මාතෘ භූමිය පිළිබඳව බිඳිය නොහැකි ප්‍රේමයක් තිබෙනවා. ඒ වගේම අපි මේ රටේ ජනතාවට අනුලංගනීය ලෙස ප්‍රේම කරනවා. මේ මාතෘ භූමිය ලෝකයේ උසස්ම මාතෘ භූමියක් බවට පරිවර්තනය කිරීමේ සහ මේ රටේ ජනතාව ලෝකයේ උසස් ජනජීවිතයක් ගත කිරීමට ගොඩනැංවීමේ වුවමනාව අපට තිබෙනවා. ඒ සඳහා අත්‍යවශ්‍යම සාධකය සාමය සහ සංහිඳියාවයි. එනිසා මේ අවස්ථාවේදී අප සාමය හා සංහිඳියාව වෙනුවෙන් ගත හැකි සෑම තීරණයක් නිර්භීතව ගත යුතු යැයි මා විශ්වාස කරනවා.
අප ඉදිරියේ තිබෙන මේ ස්මාරකයෙහි ස්ථාවරත්වය, ආරක්ෂාව, අපේ දිවිදුන් සෙබළුන්ගේ ආධ්‍යාත්මය, අභිමානය ඇතුළු සියල්ල මේ කුළුණ තුළ කැටි වී තිබෙනවා. අප ඔවුන්ගේ ආධ්‍යාත්මය, වීර්යය, නිර්භීතභාවය, පරිත්‍යාගය අපි අපේ ජීවිතවලට කැටි කරගත යුතුයි. එසේ කළ යුතු වන්නේ කුමක් වෙනුවෙන් ද? ඒ වඩාත් සුබවාදී රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන්. අවසාන වශයෙන් යුද්ධය අවසන් කිරීම සදහා ජීවිත පරිත්‍යාග කළ සෙබළුන්ට, සදාකාලික ආබාධිතභාවයට පත් වූවන් හැමදාමත් අප අපේ හදවත් තුළ අනුස්මරණය ලෙස සමරනවා. ඔබ විසින් පෙන්වා දී තිබෙන කැප කිරීම, පරිත්‍යාගය, අප්‍රතිහත ධෛර්යය මේ රට ගොඩනැඟීම සඳහා අපට විශ්වාසයක් බවට පත් වේවි. ඒ වෙනුවෙන් අපි සෑම දෙනාම එක්ව නව සටනක් දියත් කරමු.
(-ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය – 2025-05-14-) අපේ පක්ෂයට මැයි මස 14 වැනිදාට වසර 60ක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් අපි මෙවැනි සාකච්ඡාවක් සූදානම් කළා. මෙහිදී මට යම් කතාවක් සිදු කිරීමට අවස්ථාවක් ලැබෙන බව මම දැන සිටියා. ඒ අනුව පසුගිය දින හතරක්, පහක් පුරා විවිධ රාජකාරී මධ්‍යයේ වුවද මම මේ ගැන කල්පනා කළා. වසර 60ක් […]
(-ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය – 2025-05-14-)
අපේ පක්ෂයට මැයි මස 14 වැනිදාට වසර 60ක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් අපි මෙවැනි සාකච්ඡාවක් සූදානම් කළා. මෙහිදී මට යම් කතාවක් සිදු කිරීමට අවස්ථාවක් ලැබෙන බව මම දැන සිටියා. ඒ අනුව පසුගිය දින හතරක්, පහක් පුරා විවිධ රාජකාරී මධ්‍යයේ වුවද මම මේ ගැන කල්පනා කළා. වසර 60ක් යනු දිගු ඉතිහාසයක්. සිදුවීම සමුදායක්. විශාල අවස්ථා ප්‍රමාණයක්. විශාල සාමුහික මිනිස් ක්‍රියාකාරිත්වයක්. ඒ පිළිබඳ මම දැක්විය යුත්තේ කුමන අදහසක්ද කියා මම කල්පනා කළා.
ඉතාමත් බර අතීතයක්, සංකීර්ණතා සහිත දේශපාලනයක්. මේ සියල්ල කැටි කර කෙටි වේලාවකදී ප්‍රකාශ කරන්නේ කොහොමද? විවිධ රාජකාරි මධ්‍යයේ වුවද එම සංවාදය මා තුළම ගොඩනගා ගනිමින් ඉතිහාසයේ සාරය, ඉතිහාසයේ අඛණ්ඩතාවයේ තිබෙන රහස මගේ ප්‍රමාණයට අනුව සොයා ගැනීමට මම වෙහෙසුණා. මම විශ්වාස කරනවා එය යම් ප්‍රමාණයකට මට සොයාගන්න හැකි වුණා කියලා.
ඒ අනුව මගේ ප්‍රමාණයට වඩා විශාල බර ඉතිහාසයක් සංෂිප්ත කොට ඉදිරිපත් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය මා තුළ පැන නැගී තිබුණා. ඇතැම් විට තවත් අයෙකුට එම සාධකයන්ට වඩා වැදගත් සාධක සොයා ගත හැකි වෙයි. එහෙත් මගේ ප්‍රමාණයට සහ මගේ තරමට මම ඒ සාරය හදුනාගත් අයුරු මම ප්‍රකාශ කරන්න කැමතියි.
පළමු කොටම ඇයි අපි මේ ඉතිහාසය සිහිපත් කරන්නේ. මේ මොහොතේ අපි ආණ්ඩු බලය අත්පත් කරගෙන තිබෙනවා. ඇයි අපිට යටගිය ඉතිහාසය වර්තමානයේදී අවශ්‍ය වෙන්නේ? ඇතැම් විට, “සහෝදරයා ඒ ගැන නම් වැඩිය කතා කරන්න එපා” කියා තැන තැන මුමුණන්නත් ඉඩ තිබෙනවා. එම ඉතිහාසය ඉතිහාසයටම උරුම කර වර්තමානය අලුත් පරිච්ඡේදයකින් ආරම්භක කළ හැකි වනු ඇතැයිද බොහෝ දෙනා අපේක්ෂා කරනවා.
ඇතැම් කවයන් එම ඉතිහාසය අමතක කරමින් අපි සමඟ ගනුදෙනු කරන්න සූදානම් වෙලා තිබෙනවා කියා මම දන්නවා. එහෙත් අපිට එම ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක්, අලුත් අනාගතයක් නිර්මාණය කරන්න හැකියාවක් නැති බව කිව යුතුයි.
මෙම වර්තාමනය තේරුම් ගැනීම සඳහා අපිට එම ඉතිහාසය අවශ්‍යයි. අද මේ මොහොත අපිට තේරුම් ගැනීම සඳහා එම ඉතිහාසය අවශ්‍යයි. අනාගතයේ අවම වරද්දා ගැනීම් කරමින් අනාගතය ගොඩනැංවීම සඳහා අපිට එම ඉතිහාසට ඉවහල් කරගත හැකියි. මා දන්නා තරමින් කුමන ඉතිහාසයක්වත් වැරදීම්වලින් තොරව නිර්මාණය වන්නේ නැහැ. ඒ නිසාම අපිට තිබෙන්නේ නව පරිච්ඡේදයක් නෙවෙයි, අපිට තිබෙන්නේ අඛණ්ඩ ඉතිහාසයක අඛණ්ඩ පරිච්ඡේදයක්. කවර හෝ කෙනෙක් කුමන හෝ ආකාරයෙන් මෙය සියල්ලන්ගෙන් වියුක්ත කොට නව පරිච්ඡේදයක් ලිවීමට උත්සාහ කරනවා නම් ඒ තුළ තිබෙන්නේ කුහකත්වයයි. ඒ වගේම අතීතයට තිබෙන බියයි. අපි මේ නව පරිච්ඡේදයක් ලියමින් තිබෙන්නේ ඉතිහාසයේ අඛණ්ඩතාවය තුළයි. මේ අඛණ්ඩතාවයම අලුත් පරිච්ඡේදයක් මිස අඛණ්ඩතාවයෙන් ගිලිහුණු හා විතැන් වූ පරිච්ඡේදයක් නොවන බව හැම දෙනාම තේරුම්ගත යුතුයි.
වේදනාවෙන් පිරි ඉතිහාසයක් අපිට තිබෙනවා. ශාරීරික වශයෙන් සහ මානසික වශයෙන් අතිශය වේදනාවට ලක්වූ ඉතිහාසයක් තිබෙනවා. මා දන්නවා එම ඉතිහාසය සමග අඛණ්ඩ සම්බන්ධතාවක් තිබෙන බොහෝ සහෝදර සහෝදරියන් මෙහි සිටිනවා, එයින් බොහෝ දෙනෙක් එක් දිනයකදී හෝ ඉකිගසා හඩා තිබෙනවා. මමත් එහෙමයි. ඒ ඉතිහාසය අපිට අතිශය දුෂ්කරතාවයන් එක්කර දී තිබෙනවා. වැඩකරන විට මුහුණ දෙන දුෂ්කරතාවන් පමණක් නොව, මහා සංවිධානාත්මක හා ප්‍රචණ්ඩකාරී ප්‍රවාහයක් තමන් ඉදිරියට පැමිණෙන විට ඊට මුහුණ දීම අතිශය දුෂ්කර ව්‍යායාමයක්. ඒ නිසා ඉතිහාසයේ වේදනාවන් තිබෙනවා, දුෂ්කරතාවන් තිබෙනවා.
පොදු මහජනයාගේ වුවමනා වෙනුවෙන් සියල්ල අත්හැරීමට සහ කැපකීරීමට සූදානම් වූ ඉතිහාසයක් අපිට තිබෙනවා. අපේ සහෝදර සහෝදරියන් වසර ගණනාවක් සිරගත කර තිබුණා. දුෂ්කරතාවන්ට මුහුණ දී, වද හිංසා කිරීම් සියල්ලට මුහුණ දී තිබෙනවා. ඒ විතරක්ද? අපි දරුණු පන්නයේ පරාජයන්ට මුහුණ දුන්නා. අපි අවට සිටි අය අපිට අහිමිවන පන්නයේ පරාජයන්ට අපි මුහුණ දුන්නා.
අපේ ව්‍යාපාරය ගොඩනැගීමට උරදුන් රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු කණ්ඩායම අපිට අහිමි කිරීමේ පන්නයේ පරාජයන්, අපේ සමීපතමයන් අපේ දෑස් ඉදිරිපිට මිය යන මට්ටමේ පරාජයන්ට අපි මුහුණ දී තිබෙනවා. මෙම ඉතිහාසය එවැනි පරාජයන්ගෙන්ද ගැබ් වී තිබෙනවා. එම ඉතිහාසය පාවාදීම්වලින් ගැබීවී තිබෙනවා. තමන් සමග එකට සටන් කරන කෙනා, තව විටක ඊට එරෙහිව පාවා දෙන්නන්ගේ භූමිකාවට පණ පොවනවා. අදත් අපි එය දකිනවා. ජනතා විමුක්ති පෙරමුණ නොතිබෙන්න අනිත් දේශපාලන කඳවුරක පාපිස්සටවත් නොගන්නා අය මාර වීර චරිත බවට පත් වී තිබෙනවා.
පසුගිය බටලන්ද වාර්තාව පිළිබද සාකච්ඡාවේදී 88, 89 ඊට එරෙහිව එකට සිටි අය රූපවාහිනියට ගොස් බටලන්ද සිදුවීම සාධරණීකරණය කරන අයුරු අපි ඇස්වලින් දකිනවා. කන්වලින් අහනවා. මේ ඉතිහාසය අපිට එහෙම දේවල් ඉතුරු කර තිබෙනවා. මේ ඉතිහාසයේ ක්‍රමන්ත්‍රණ අපි අත්දැක තිබෙනවා. මෑත දශකයේත් අපි කුමන්ත්‍රණ අත්දැක තිබෙනවා. ඒ නිසා මේ ඉතිහාසය වේදනාව, දුෂ්කරතාව, ඔරොත්තු දීම, කැපකිරීම, කුමන්ත්‍රණ, පාවාදීම්, පරාජයන් හා ජයග්‍රහණයක් එක සමාන ලෙසම අපි දැක තිබෙනවා.
ඒ නිසා එවැනි ඉතිහාසයක් මොන තරම් සංකීර්ණ ඉතිහාසයක්ද? අපට අපේ ඉතිහාසය පරිච්ඡේද කිහිපයකට කඩන්න පුළුවන්. 65-71 ඉතිහාසයේ පරිච්ඡේදයක්. 71- 78 ඉතිහාසයේ තවත් පරිච්ඡේදයක්. 78-83, 83-89, 89-94 ඉතිහාසයේ තවත් පරිච්ඡේද ලෙස දක්වන්න පුළුවන්. 1994-2024 සැප්තැම්බර් 21 තව පරිච්ඡේදයක්. සැප්තැම්බර් 21 සිට අද දක්වා තව පරිච්ඡේදයක්. මේ අකාරයේ පරිච්ඡේද ගණනාවක් අප ගතකර තිබෙනවා. මේ පරිච්ඡේද තුළ මා කළින් කියන ලද තත්වයන් අඩු වැඩි ප්‍රමාණයෙන් ගැබ්වී තිබෙනවා. එහෙත් මේ සියලු සිදුවීම්වල, පරිච්ඡේදයන්වල අඛණ්ඩතාවය ගෙන එන එක් මහා පොදු සාධක කිහිපයක් තිබෙනවා. 65 සිට මේ 60 වන සංවත්සරය දක්වා අඛණ්ඩතාවය ගැටගසා තිබෙන හූයන් කිහිපයක් තිබෙනවා. ඒ නිසා තමයි මෙය අලුත් පරිච්ඡේදයක් නොවන්නේ. ඒ අඛණ්ඩතාවය මොකක්ද? ඒ හූය මොකක්ද? 60 වසරක විවිධ පරිච්ඡේද හා සිදුවීම් මේ සියල්ල එකට ගොතා තිබෙන මෙවලම මොකක්ද?
මා හිතනවා ප්‍රධාන සාරයන් 03ක් තිබෙනවා. එක හෘද සාක්ෂිය. දෙක එඩිතරභාවය. තුන ව්‍යවහාරික බුද්ධිය. මේ වසර 60 මුළුල්ලේම විවිධ උච්චාවචනයන්, පරාජයන්, ජයග්‍රහණ, පාවාදීම් මේ සියල්ල තිබියදී මේ මහා පොදු සාධක කිහිපයක් තිබෙනවා. මම කියනවා, අනාතයටත් අපිට මග පෙන්වන්නේ අන් කවරක්වත් නෙවෙයි හෘද සාක්ෂිය. එඩිතරභාවය සහ ව්‍යවහාරික බුද්ධියයි.
මොකක්ද හෘද සාක්ෂිය? වැරදි සිදු වී තිබෙනවා, අදත් වෙනවා, හෙටත් විය හැකියි. හැබැයි ඒ සෑම දෙයක්ම පෞද්ගලික පුද්ගලාරෝපිතව යමක් උපයා ගැනීම මේ කියන්නේ වත්කම් පමණක් නොවී, ජනප්‍රියතාවය, කැපී පෙනීම ආදී මේවාත් උපයාගැනීම තුළ තිබෙනවා. මේ කිසිවක් නොලබමින් මේ රටත් මේ රටේ ජනතාවත් පෙරට තබා කටයුතු කරන හෘද සාක්ෂිය තමයි අපේ ඉතිහාසයේ අඛණ්ඩතාවය. අදත් අපිට ජයග්‍රහණ ගෙනවිත් දෙන්නේත්, අනාගතය සඳහා මග පෙන්වන්නේත්, අප ඉදිරියේ තිබෙන අභියෝග ජයග්‍රහණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් ඇති කරන්නේත් අප සතුව තිබෙන හෘද සාක්ෂියයි.
මා හිතනවා ශරීරවලින්, පවුල් පසුබිම්වලින් මහා ප්‍රතාපවත් ඉතිහාසයක බල ව්‍යුහයන් තුළ මහා සැණකෙළි පෙන්වූ ඒ හැම දෙනාටම වඩා කුඩා මිනිසුන් වන අප ළඟ තිබෙන හෘද සාක්ෂිය තුළින් ඔවුන්ට වඩා ගව් ගණනක් ඉදිරියට අප ගෙන යනවා. දුෂ්කරතා විසින් විතරක් නෙවෙයි තනතුරු, ඒවායින් ලැබෙන ආලෝකය, ඒවාට ජනතාව දක්වන ප්‍රතිචාර, සාම්ප්‍රදායික ආයතනික ව්‍යුහයන් එම තනතුරුවලට දක්වන ප්‍රතිචාර යන සියල්ලගෙන්ම හෘද සාක්ෂිය බිඳ වට්ටන්න පුළුවන්. එහෙත් මතක තබා ගන්න, අපි මේ රටේ පොදු ජනතාවට සහතිකයක් දෙනවා ඉතිහාසයද, අදද, හෙටද අපි අපේ හෘදසක්ෂිය අනුව වැඩ කරන මිනිස්සු. කටුක දුෂ්කරතාවයන් හමුවේ හෝ පරිභෝජනවාදය හමුවේ හෝ පාවා දෙන්නේ නැති අත් හරින්නේ නැති හෘදසාක්ෂියක් සමඟ වැඩ කරනවා. මේක තමයි අපේ 60 වසරක ඉතිහාසයේ අඛණඩතාවය. එය අපි ආරක්ෂා කරනවා. ඊට අප වගකියනවා. ඊට අපි බැඳී ඉන්නවා.
දෙක එඩිතරභාවය. එඩිතරභාවය කියන්නේ කුමක්ද? එඩිතරභාවය කියන්නේ ඇඟේ හයිය විතරක් නෙවෙයි. ඇඟේ හයියත් එඩිතරභාවයේ ලක්ෂණයක්. හැබැයි මා මේ එඩිතරභාවය කියන්නේ ඇඟේ හයිය නෙවෙයි. ව්‍යාපාරයක් 60 වසරක් ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිදු දේශපාලන ව්‍යාපාරයක් මුහුණ නොදුන් අතිශය විනාශකාරී අත්දැකීම්වලින් ගැබ් වෙලා, අතිශය දුෂ්කරතාවයන්ට මුහුණ දී එහෙත් මේක ආරක්ෂා කරනවා. අද වන විට මොකක්ද වෙලා තිබෙන්නේ? අනෙක් සතුරු කඳවුරු සියල්ල සුණු විසුණු කොට විනාශ කොට දමන තරමට මේ ව්‍යාපාරය ශක්තිමත්භාවයට ගෙනවිත් තිබෙනවා. ඒ පිටුපස තිබෙනවා එඩිතරභාවය.
මොකක්ද එඩිතරභාවය. වැරැද්දක් උනොත් වැරැද්ද පිළිගැනීමට තිබෙන එඩිතරකම. එය එඩිතරකමක්. වැරැද්දක් වෙලා පළා යන්න, සැඟවෙන්න නෙවෙයි වැරැද්ද පිළිගන්න අපි එඩිතරයි. ඉතාමත් දුෂ්කරතම කොන්දේසි යටතේ පවා ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන්න අපි එඩිතරයි. එය කාටද තිබෙන්නේ? මැතිවරණ පෙරමුණේ බලන්න මීට වසර පහ හයකට පෙර මොකක්ද අපට අත්පත් වුණේ. අප ලජ්ජා සහගත තත්වයකට පත්වූ, අනෙකා ඉදිරියේ හෑල්ලුවට ලක් වූ, අපේම සමීපතමයන් අප අත් හැර ගිය, අනෙක්පස කඳවුරේ සිට අපට උසුළු විසුළු කරන නින්දා සහගත බවට පත් කරන තත්වයක් මතු වී තිබුණා. එහෙත් ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය තබාගෙන වැඩ කරන්න තරම් අපි එඩිතරයි.
එය මේ අඛණ්ඩ ඉතිහාසයේ පැවැත්මට ප්‍රධාන සාධකයක්. නැත්නම් මේ ව්‍යාපාරය අත් හරින්න, නතර වෙන්න මොන තරම් අවස්ථා තිබි තියෙනවද? මේ මව්බිමේ එහෙම ව්‍යාපාරයක් තිබෙනවා නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ පමණක් බව මතක තබා ගන්න. සාමාන්‍යයෙන් අපි අත්දකින්නේ නැතුව, අප ඒ කතාව ඇතුළේ ජීවත් වෙන්නේ නැතුව පිටස්තරයෙක් ලෙස අප පොතක ඒ කතාව කියෙව්වොත් එය කිසිවෙක් විශ්වාස කරන කතාවක් නෙවෙයි. ඒ තරමට ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය බිඳ වට්ටන්නේ නැතුව මේ ව්‍යාපාරය 60 වසරක් ගමන් කර තිබෙනවා. ඒ තුළ තිබෙන්නේ මෙම සාරයයි. පැමිණි ගමන් මඟ නිශ්චිත දේශපාලනයකදී හැරවීම සඳහා එඩිතරභාවය. ඒවා සාමාන්‍ය දේශපාලන ව්‍යාපරවලට කරන්න බැහැ.
ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන්න අපි එඩිතරයි. මේ මවුබිමේ එවන් ව්‍යාපාරයක් තිබෙනවා නම් ඒ ජවිපෙ පමණයි. අපි ගමන් කරමින් තිබූ මාවත ජයග්‍රහණයට හැරවීම සදහා තීන්දු ගැනීම, ඒ තීන්දු කෙරෙහි විශ්වාසය තබා ගැනීම, ඒ තීන්දු ජයග්‍රහණය කරා මෙහෙයවීම එඩිතරභාවයයි. මේ ගැන අපි කිව යුතුයි. අපි මේවා කියන්නේ නැත්නම් කවුද කියන්නේ? මේ 60 වසරක දේශපාලන ගමන් මගේ ජයග්‍රහණයේ කොඩිය අප අතට ගන්න පෙර අපිට අත්හැර යන්න අවස්ථා විශාල ප්‍රමාණයක් තිබුණා. නිහඩ විය යුතු අවස්ථා විශාල ප්‍රමාණයක් තිබුණා. අපේ දේශපාලන ව්‍යාපාරය නමක් ලෙස පමණක් ඉතිහාසගත වීමට ඕනෑ තරමි සංධිස්ථාන තිබී තිබෙනවා. හැබැයි, ඒ සියලු සංධිස්ථාන හමුවේත් අද මේ ජයග්‍රහණය සදහා ගෙන එන්න එඩිතරභාවය ඉතාමත් ප්‍රබල සාධකයක්. ඒ උරුමය, ඉතිහාසය තිබෙන්නේ ජවිපෙ අපට පමණයි. අපේ සතුරන් අපට වඩා හොදින් තේරුම් අරන් තිබෙනවා.
ව්‍යවහාරික බුද්ධිය ඊළඟ වැදගත් සාධකයයි. අප අධ්‍යයනය කරලා, සංකල්ප ගොඩනඟලා, පොතපත හදාරලා, ලෝකයේ සිදුවීම් අත්දැකීම් ලෙස එකතු කරලා ඇති. නමුත් ඒවා ඒ නිශ්චිත මොහොතේ ව්‍යවහාරයට නැඟීම තමයි වැදගත් වන්නේ. බොහෝ සංකල්ප රචනා කරන්න පුළුවන්, හැබැයි ව්‍යවහාරික බුද්ධිය ඊට වඩා ප්‍රධාන සාධකයක්. නිවැරදිම තීන්දු තීරණ ගැනිම ව්‍යවහාරික බුද්ධියයි. එය තමයි අපේ දේශපාලනයේ අඛණ්ඩතාවය රදා පවතින අනෙක් ප්‍රධාන සාධකය. මේ මුළු පරිච්ඡේදයම හොයලා බලන්න. මේ පරිච්ඡේදයේ කුඩා ඉඩක් විවර වුණොත්, ඒ විවෘත වන විවරය කළමනාකරණය කරලා අපි අලුත් පියවරකට පය තබන්නේ කොහොමද? ජයග්‍රහණය නොපෙනෙන මානයක තිබියදී ජයග්‍රහණය පිළිබඳ සැලසුම් හදලා, ක්‍රියාවට නංවන්නේ ව්‍යවහාරික බුද්ධියයි. ව්‍යවහාරය විසින්, භාවිතයට නැඟීම විසින්, සාර්ථක අසාර්ථකභාවය පිළිබඳ මනින බුද්ධිය මේ ව්‍යාපාරය වසර 60ක් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රබල ලෙස බලපෑම් කළ තුන්වන සාධකය බව මම විශ්වාස කරනවා. හොඳ ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනඟන්න, අපේ ව්‍යාපාරයේ සාරය වුණේ හෘද සාක්ෂිය, එඩිතරභාවය, ව්‍යවහාරික බුද්ධියයි. නැවත නැවත අපිව ජීවත් කරවන්නේ මේ සාරයයි. ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකියි කියන විශ්වාසය ගොඩනඟන්නේ මේ සාරය තමයි.
කුමන පරාජයන් හමුවේ හෝ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය අත්නොහරින්නේ මේ සාරයයි. මේ සාරය පිහිටුවන්නේ කුමක් මතද? අපිව ජනතාව උරගා බලනවා. අපි ජනතාවගේ උරගා බැලීමට විවෘත ව්‍යාපාරයක් බවට පත්විය යුතුයි. හොඳ නරක නිරීක්ෂණය කරන්න ඕන. එනිසා අපි සතුරන් හමුවේ නොව, පාවා දෙන්නන් හමුවේ නොව, සෑම විටම පොදු ජනතාව හමුවේ පරීක්ෂණයට භාජනය විය යුතු ව්‍යාපාරයක්. ඉහත සාරයන් මත, ජනතාව මත ගොඩනැගෙන ව්‍යාපාරයක්.
පසුගිය මැතිවරණයේදී මහා අනුහස් සහිත නායකයන් බිහි කළ මැදමුලන කොට්ඨාසයත් අප හමුවේ පරාදයි. කොළඹ නගරාධිපති අපේක්ෂකයෙක් වීම සඳහා තරග වැදුණු බොරැල්ල දකුණ කොට්ඨාසය අපිට පරාදයි. ඉතාමත් ශක්තිමත්ව ජනතාව මත මේ ව්‍යාපාරය පිහිටුවා තිබෙනවා. මුළු දකුණම ගත් විට එක් ප්‍රාදේශීය සභාවක්වත් පරාද නැහැ. කලුතර දිස්ත්‍රික්කයේ දෙකක් හැරණු විට අන් සියල්ලම සමග මුළු බස්නාහිරම ප්‍රාදේශීය සභා අපි ජයග්‍රහණය කර තිබෙනවා. මුළු සබරගමුවෙම සියලු ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කර තිබෙනවා. වයඹ කල්පිටිය හැර අනෙක් සියල්ල ජයග්‍රහණය කර තිබෙනවා. අතිශය දුෂ්කර නුවරඑළිය දොළහෙන්, දහයක් ජයග්‍රහණය කර තිබෙනවා. උතුරුමැද සියලු සභා ජයග්‍රහණය කර තිබෙනවා. මුලතිව්, මන්නාරම, වව්නියාව කියන වන්නි දිස්ත්‍රික්කය මෙම පළාත් පාලන මැතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ජාතික ජන බලවේගය අරගෙන තිබෙනවා. නැගෙනහිර අම්පාර, ත්‍රිකුණාමලය වැඩිම ඡන්ද ප්‍රමාණය ජාතික ජන බලවේගය අරගෙන තිබෙනවා. මඩකලපුවේ මහා ඡන්දයට සමාන ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා.
කිලිනොච්චිය සහ යාපනයේ දෙවන ස්ථානය ලබා ගෙන තිබෙනවා. පළමු වතාවට යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන අනු තුනක් ලබාගෙන තිබෙනවා. යාපනය නගර සභාවේ මන්ත්‍රී ධූර 10ක් ලබාගෙන තිබෙනවා. මේ අයුරින් අස්සක් මුල්ලක් නෑර, විහිදුණු ජනතාවගේ පදනම සහිත දේශපාලන ව්‍යපාරය ජාතික ජන බලවේගය පමණයි.
අනික් අය විවිධාංගීකරණයට ලක්වූ විපක්ෂයයි. විවිධාංගීකරණ විපක්ෂය එකතු වුවහොත් විවිධාංගීකරණය වෙලා ලද ප්‍රතිඵලයවත් ලැබෙන්නේ නැහැ. ඒ අය බෙදිලා ඡන්දය ඉල්ලලා, සභාව පිහිටුවන්න එකතු වෙන්න හදනවා. මොන ලැජ්ජා නැති වැඩක්ද. ඔවුන් එකතු වෙලා ඡන්දය ඉල්ලන්න ලෑස්ති නම් අපි කුමන හෝ ඡන්දයක් තියනවා. විවිධාංගීකරණය වූ විපක්ෂය එක කණ්ඩායමක් ලෙසත්, ජාතික ජනබලවේගය තවත් කණ්ඩායමක් ලෙසත් කඳවුරු දෙකකට බෙදමු. එහෙම වුනත් හෙටත් මේ රටේ ජනතාවගේ පවුරු පදනම් සහිත ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. මේක ආපසු හරවන්න කාටවත් බැහැ. එක සභාවක්වත් දිනන්නේ නැතුව ඊළඟ ජනපති වෙන්න හදනවා. පුස් ව්‍යාපාරවලට රටේ බලය ගන්න හිතන්නවත් එපා. ජනතාවගේ ධනය හොරාකෑ, මාධ්‍යවේදීන් ඝාතනය කළ, පුරවැසියන්ගේ අයිතිවාසිකම් කප්පාදු කළ, ජාතිවාදය වැපිරූ ඉතිහාසයේ සාරයක් තමයි ඔවුන්ට තිබෙන්නේ.
අපට ජනතාවගේ විශාලතම බලයක් ලැබී තිබෙනවා. අපට සිතන්නේ නැති ඡන්දදායෙක්ගෙන් වැඩක් නැහැ. අපට අවශ්‍ය, සක්‍රීය ඡන්දදායකයෙක් ප්‍රතිචාර දක්වන ඡන්ද දායකයෙක්. අපට අවශ්‍ය අනුගත වන ඡන්දදායකයෙක් නොවේ, ප්‍රතිචාර දක්වන, විරෝධය දක්වන ඡන්දදායකයෙක්. ඒ සියල්ල අතර අවසන් සටනේ අපිව ආරක්ෂා කරන ඡන්දදායකයෙක් අපට අවශ්‍යයි. තීරණාත්මක මොහොතේ හරි බල කදවුර තෝරා නිවැරදි තීන්දු තීරණ ගන්නා ඡන්දදායකයෙක් අපට අවශ්‍යයි. ප්‍රතිචාර දක්වන, විරෝධය දක්වන ඡන්දදායකයෙක් නොමැතිව මේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න බැහැ. අනුගත සාමාජිකත්වයෙන්, අනුගත ඡන්දදායකයන්ගෙන් විනාශකාරීත්වයට ඇදගෙන යන්න පුළුවන්. හැබැයි යහපත් දේ කැඳවා ගෙන යන්න නම්, සිතන, ප්‍රතිචාර දක්වන, විරෝධය දක්වන, තීරණාත්මක මොහොතේදී අපිව ආරක්ෂා කරන ඡන්දදායකයෙක් අපිට අවශ්‍යයි. අපි නැවත නැවත ජනතාව කියන උරගලේ උරගා බැලිය යුතුයි. නිද්‍රාශීලී අනුගත වන සාමාජිකයාගෙන් රටක පරිවර්තන ඇති කරන්න බැහැ.
අවුරුදු පනස් නවයකට වඩා අපි ගත කළේ බලය ලබා ගැනීමට පොර බදපු ඉතිහාසයකයි. අපි රෑ, දවල්, නිවාඩු දින කිසිවක් සැලකිල්ලට භාජනය නොකර හෘදසාක්ෂියට එකඟව මේ රට පත්වෙලා තිබෙන විපත්තියෙන් බේරා ගැනීමට කටයුතු කළා. අප මෙය අත්හරින්නේ නැහැ. අපිට වැරදෙන්නේ වචනයක් දෙකක් හෝ ඒ වචනොවලට දෙන අර්ථකථන පමණයි. අපිට මේ අලුත් පරිච්ඡේදයක්. අප වැඩ කරමින් ඉගෙන ගන්නවා. ඉගෙන ගනිමින් වැඩකරනවා. අප ආණ්ඩු බලය හෙබවීම සඳහා පුරුදු පුහුණු වූ කණ්ඩායමක් නෙවෙයි. බලය ලබා ගැනීම සඳහා දිගු ඉතිහාසයක් පුරා පොර බදලා අපි මෙතැනට පැමිණ තිබෙන්නේ. අප රටටත් ජනතාවටත් අසීමිත ආදරයෙන් මෙතනට පැමිණියේ. ඒ නිසා අප වැඩ කරමින් ඉගෙන ගන්නවා. ඉගෙන ගනිමින් වැඩකරනවා. අපි සෑමවිටම කටයුත් කරන්නේ හෘදෙසාක්ෂියට අනුවයි. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවක් ගොඩනැගී තිබෙනවා හෘදසාක්ෂිය සමඟ වැඩ කරන. ආණ්ඩුවක් ව්‍යවස්ථාවෙන් බැඳී සිටිනවා, අණ පනත්වලින් බැඳීසිටිනවා. ඒවා සංශෝධනය කළ හැකියි. නමුත් අපි තුළ ඇත්තේ නීතියෙන්, ව්‍යවස්ථාවෙන් තිබෙන බැඳීමක් නෙවෙයි. මේ රටේ ජනතාව සමඟ අපි හෘදසාක්ෂියෙන් බැඳී සිටිනවා. මේ රට ගොඩනැගීම වෙනුවෙන් අපට තිබෙන අසීමිත ආසාව හෘදසාක්ෂියෙන් යළි යළිත් විමසමින් කටයුතු කරනවා.
නියමිත තැන, නියමිත හැරවීමේ තීන්දුව ගන්න අපි කටයුතු කරනවා. නියමිත තැන නියමිත දිශාවට ගෙන යන්න අප එඩිතර වෙනවා. අපේ එඩිතර භාවය ඇඟෙන් මනින්න එපා. යුග ගණනකට ඈත ඉතිහාසයක් අපේ දේශපාලනයේ තිබෙනවා. නිශ්චිත තැනදී පැකිලීමකින් තොරව නිසි බරෙන් නිසි තීරණ ගැනීමට මේ පක්ෂයට, මේ ආණ්ඩුවට එඩිතරභාවයක් තිබෙනවා. අපේ ව්‍යාපාරය අපේ ආණ්ඩුව එක්ක විපක්ෂය අලගු තබන්නවත් සුදුසු නැහැ. අපි ව්‍යවහාරික බුද්ධියෙන් කටයුතු කරනවා. අප විසින්ම ගොඩනඟා තිබෙන සංකල්ප මත හිරවෙයි කියලා විපක්ෂය සිතුවා. ඒ නිසා ඩොලරය ඉහළ යයි, තෙල් පෝලිම් ඇති වෙයි කියා බලාපොරොත්තුවෙන් සිටියා. අපි ව්‍යවහාරික බුද්ධියෙන් පෝෂණය වු දේශපාලන ව්‍යාපාරයක් නිසා එසේ වැරදුනේ නැහැ.
අපි පසුගිය සැප්තැම්බර් 21 වෙනිදා බලය ගන්න විට කිව්වා මාස තුනෙන් ආණ්ඩුව වැටෙනවා කියලා. දැන් කියනවා උඳුවප් මාසෙ ජනාධිපති කෙනෙක්ව පත් කරනවා කියලා. අපේ ආණ්ඩුකරණය යනු විශ්මිත ක්‍රියාමාර්ගවලින් සමන්විත ක්‍රියාවලියක්. අපට එරෙහිව තිබෙන දේශපාලන ව්‍යාපාරය ළදරු, අපරිනත, හිස් ව්‍යාපාරයක්. මේ මාතෘ භූමියේ අභියෝගවලින් මුදා ගැනීමට සාර්ථකව කටයුතු කරන ව්‍යාපාරය ජාතික ජන බලවේගය ප්‍රමුඛ ආණ්ඩුවයි.
දැන් අපට ජුනි දෙවෙනිදායින් පසුව ගමේ බලය ලැබෙනවා. ජන වරම හොඳට තේරුම් ගත යුතුයි. අපිට පැහැදිලිව බලය ලැබුණ පළාත් පාලන ආයතනවල සභාව පිහිටුවනවා. සභාව පිහිටුවීමට පොර බදින්න තිබෙන්නේ පළවෙනි කණ්ඩායම සහ දෙවෙනි කණ්ඩායමටයි. ඒ නිසා එය ලබාගත් කණ්ඩායමට සභා පිහිටුවීමට අයිතියක් තිබෙනවා. එයට අකුල් හෙලන්න, බාධ කරන්න එනවා නම් නීතියේ ඕන තරම් ඉඩකඩ තිබෙනවා. අපි සෑම විටම ජනවරමට ගරුකරනවා. මේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය මහ මැතිවරණයට යොදා බැලුවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු එකසිය විසි දෙකක් ඉන්නවා. අනූ හතරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආණ්ඩුවේ මන්ත්‍රීවරු අනූ හයයි. 2015 රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට මන්ත්‍රීවරු එකසිය දෙකයි. එහෙම බැලුවම ඊටත් වඩා මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ඉදිරියෙන් ජාතික ජන බලවේගය ඉන්නවා. ඒ නිසා මෙවර ජයග්‍රහණය ලැබූ සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න අපි සූදානම්. එයට අභියෝග කරනවානම් අපි අභියෝගය භාරගන්න සූදානම්. අපිට තිබෙනවා හෘදසාක්ෂියේ බලය, අපිට තිබෙනවා එඩිතර බවේ බලය. අපිට තිබෙනවා ව්‍යාහාරික බවේ බලය. පාර්ලිමේන්තු අනපනත්වල බලය. තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය. ඕන නම් ව්‍යවස්ථාව සංශෝධනයකට යා හැකියි. අපි වගකියන්නේ ජනතාවගේ පාරමාධිපත්‍යයටයි. ඒ නිසා මේ අවස්ථාව අපි අත් නොහැර කටයුතු කරනවා. ඒ සඳහා අප සියලු දෙනාට ආරාධනා කරනවා.
(-මාධ්‍ය හමුව – 2025.05.07 – 2025 පළාත් පාලන මැතිවරණය-) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් – ටිල්වින් සිල්වා සහෝදරයා ඊයේ (06 දින) අවසන් වුණු පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් තිබෙනවා. මෙතෙක් නිකුත් කරන ලද ප්‍රතිඵල අනුව බොහෝ ආසන සංඛ්‍යාවක බහුතර බලය ලබාගන්න ජාතික ජන බලවේගය සමත් වෙලා තිබෙනවා. මේ පළාත් පාලන මැතිවරණයෙදිත් ජාතික ජන […]
(-මාධ්‍ය හමුව – 2025.05.07 – 2025 පළාත් පාලන මැතිවරණය-)
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් – ටිල්වින් සිල්වා සහෝදරයා
ඊයේ (06 දින) අවසන් වුණු පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් තිබෙනවා. මෙතෙක් නිකුත් කරන ලද ප්‍රතිඵල අනුව බොහෝ ආසන සංඛ්‍යාවක බහුතර බලය ලබාගන්න ජාතික ජන බලවේගය සමත් වෙලා තිබෙනවා. මේ පළාත් පාලන මැතිවරණයෙදිත් ජාතික ජන බලවේගය ගැන විශ්වාසය තබමින් එහි ගමනට ධෛර්ය දෙමින් විවිධාකාරයෙන් සහයෝගය දුන් සියලුම දෙනාට ස්තුතිය පළ කරනවා.
ජනතාව මාලිමාව අනුමත කර තිබෙනවා. කිසියම් පක්ෂයක් බහුතර සංඛ්‍යාවක ආසන ලැබුවේ නැහැයි කියන්නේ ඒ පක්ෂය හෝ අදාළ කණ්ඩායම අදාළ සභාවේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරල තිබෙනවා. සමහර පක්ෂ හෝ කණ්ඩායම්වලට එකක්, දෙකක් හෝ තුනක් අරගෙන ඒ සියලු දෙනාම එකතුවී සභාව පිහිටුවන්න උත්සාහ ගන්නවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. නීතියෙන් බාධාවක් නැති වුණාට, ඒ අය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු කණ්ඩායම්. ගණිතමය ලෙස තමන් දිනා ඇති බව පෙන්වීමට උත්සාහ ගනිමින් ඉන්නවා. සියලුම ආයතන 339කින් ආයතන 254කට වැඩි ප්‍රමාණයක මන්ත්‍රී සංඛ්‍යාවක් ජයග්‍රහණය කරන්න අපි සමත් වෙලා තිබෙනවා. දේශපාලනිකව බැලූවිට මේ මැතිවරණය ජයග්‍රහණය කර තිබෙන්නේ මාලිමාවේ අපි. ජනතාව මාලිමාව විශ්වාස කොට තිබෙනවා. මේ පළාත් පාලන ආයතන බාර දිය යුත්තේ මාලිමාවට කියන එක ජනතාව විශ්වාස කොට තිබෙනවා. අපි ජයග්‍රහණය කොට තිබෙන සියලුම ආයතනවල සභා පිහිටුවා අපි සැලසුම් කොට තිබෙන ව්‍යාපෘති, රට වෙනස් කිරීමේ කාර්ය, පාර්ලිමේන්තුවෙන් පටන්ගත් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ කාර්යය ගම දක්වා ගෙන යාමට පුළුවන්කම තිබෙනවා.
අපි රටේ වෙනසක් කිරීමට පටන් ගත්තා. වංචා, දූෂණ නැති ආණ්ඩුවක් නිර්මාණය කළා. වංචා දූෂණ නැති ප්‍රාදේශීය සභා, නගර සභා හැදීමේ කාර්ය කරන්න උවමනාව තිබෙනවා. කොන්ත්‍රාත්වලින් හම්බ කරන්නේ නැති, පගා ගහන්නේ නැති, පාලනයක් පළාත් සභාවල නිර්මාණය කිරීමට අවශ්‍යයි. ඒ වගේම මහජන මුදල් නාස්ති නොකර ජනතාවට සේවය කිරීමේ සංස්කෘතිය පටන්ගෙන තිබෙනවා. ඒ සේවය අපට ගමටත් ගෙනියන්න පුළුවන්කම තිබෙනවා. රටක් ලෙස පටන්ගත් දේශපාලන සංස්කෘතියේ වෙනස්කම්, වංචා දූෂණවලින් තොරව පාලනය කිරීම, මහජන මුදල් සොරකම් නොකිරීම, නාස්ති නොකිරීම, වැනි වටිනා දේවල් බිමට ගෙනත් ගම තුළත් එය තහවුරු කර, රට අලුත්ම දිසාවකට ගෙනයාමට මේ ජයග්‍රහණය ඉවහල් වෙනවා. ජනතාව පක්ෂයක් ලෙස මාලිමාව ගැන විශ්වාසය තබා, අනුමත කොට, මාලිමාවට බලය ලබා දී තිබෙනවා. ඒ නිසා අපට ජයග්‍රාහීව ඉදිරිගමන යා හැකිව තිබෙනවා. ඉදිරියේදී සභා පිහිටුවා ගනිමින්, ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කර ගනිමින්, මේ රට වෙනස් කිරීමට දරන ප්‍රයත්නයට තවත් ශක්තිය එකතුකර ගනිමින් කිසියම් හෝ දුර්වලතා තිබෙනවා නම්, ඒවා වෙනස්කර ගනිමින් ඉදිරියට යෑමට අප සූදානම්. ජනාධිපතිවරණයේදිත්, මහ මැතිවරණයේදිත්, ජයග්‍රහණය ලබාදෙමින් විපක්ෂයේ බොරු, බේගල් පැත්තකට දමා මාලිමාවට ජයග්‍රහණය ලබාදී තිබෙනවා.
අපි මැතිවරණ සංස්කෘතිය වෙනස් කොට තිබෙනවා. අපි රාජ්‍ය බලය යෙදවූයේ නැහැ. රජය මැදිහත් වෙලා ගැටුම් නිර්මාණය කළේ නැහැ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම අඩුම ඡන්දයක් අපි පැවැත්වූවා. ප්‍රචණ්ඩ ක්‍රියා දෙක තුනක සිදුවීම් වුණත් එය මාලිමාවට එරෙහිව යෙදා ගත් ක්‍රියාවන්. පොළොන්නරුවේ කණ්ඩායම් නායකයාගේ නිවසට ප්‍රහාරයක් එල්ලකොට වාහනයට ගිනි තැබුවා. යාපනයේ අපේ අපේක්ෂකයෙකුට පහර දුන්නා. එවැනි කුඩා සිදුවීම් කිහිපයක් හැරුණු කොට, අපට ඉතිහාසයේ සිදු කළ බඩු බෙදමින්, (සිල් රෙදි බෙදීම් වැනි) ක්‍රියාවන් නොකර නිදහසේ ඡන්දය දෙන්න අවස්ථාව උදාකර දෙන්න හැකියාව ලැබුණා. මේ සියලු තත්වයන් යටතේ වුවත් අපට විශාල ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ ජයග්‍රහණය ලබාදීමට කටයුතු කළ සියලුම දෙනාට නැවතත් ස්තුති කරනවා.
ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ
ඊයේ (06 දා) පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය ජයග්‍රහණය ලබා තිබෙනවා. පසුගිය මාස 08ක කාල සීමාවක් තුළ තුන් වැනි වරට ජාතික ජන බලවේගය පිළිබඳව විශ්වාසය පළ කරමින් ජයග්‍රහණය ලබා දෙමින් තිබෙනවා. මේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ අවුරුදු හතකට පසුව. මේ මැතිවරණය අවසන් වරට පැවැත්වූයේ 2018 වසරේදි. පූර්ව මැතිවරණ සමය ඉතාමත් සාමකාමියි. පශ්චාත් මැතිවරණ කාලයත් ඉතාම සාමකාමියි.
පළාත් පාලන ආයතනවල කොට්ඨාස විශාල ප්‍රමාණයක සුවිශේෂී බලයක් ජනතාව ලබාදෙමින් තිබෙනවා. මේ මැතිවරණයේ සමානුපාතික ක්‍රමය හරහා අනෙකුත් පක්ෂවලටත් සභිකයන් ලැබෙනවා. මේ නිසා සභාවන් පිහිටුවීමේදී කිසියම් බල තුලනයක් කර ගත යුතුයි. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සෑම පළාත් පාලන ආයතනයකම ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් සභාව පිහිටුවා ගැනීමට කටයුතු කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතන, නගර සභා, ප්‍රාදේශීය සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා, තමයි කොට්ඨාසවල සංවර්ධන කටයුතු කෙරෙන්නේ. එම සංවර්ධන කටයුතු කිරීමේදී මෙම පළාත් පාලන මැතිවරණ හරහා අපි ලබා ගත්ත ජයග්‍රහණ වැදගත් වෙනවා. අපේ කොට්ඨාසවල අතපසු වුණු විවිධ කාර්යයන් කර ගැනීමට ඉදිරියේදි අවස්ථාව උදාවෙනවා. ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමේදී සියලු සභාවල සභිකයන් ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් සභාවල කෙරෙන කටයුතුවලදී අප සමග සහයෝගයෙන් වැඩ කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.
කාන්තා හා ළමා කටයුතු ඇමති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහෝදරිය
පළාත් පාලන මැතිවරණයේදී දායකත්වය ලබාදුන් සියලුම දිස්ත්‍රික්කවල, අපත් සමග එකතුවී වැඩකළ සංවිධානවලට, ඡන්දය දුන් සියලුම ජනතාවටත්, පක්ෂයේ සියලුම දෙනාටත් සුතුතිවන්ත වෙනවා. අපි ජනතාවට පොරොන්දු වූ පරිදි, මධ්‍යම රජයෙන් ගනු ලැබූ තීරණ වගේම, ප්‍රාදේශීය මැතිවරණයේදිත් ජනතාව සමග එකඟතාවකට ආවා. අපි ජනතාවට පොරොන්දු ලබා දුන්නා. මේ ප්‍රදේශ සංවර්ධනය කරන්නේ කෙසේද, ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂාව, සෞඛ්‍යය දියුණු කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ ප්‍රදේශයේ මූලික මිනිස් අවශ්‍යතා වෙනුවෙන් අපි ඉලක්ක කළ යුත්තේ කොහොමද? “ක්ලීන් ශ්‍රී ලංකා” හරහා ගම් නගර දියුණු කරන එක මේ පළාත් පාලන ආයතනවල ක්‍රියාවලියත් එක්ක අපි ඉතා ඉක්මනින් වැඩ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලයේ ප්‍රාදේශීය සභාවල, නගර සභාවල කාර්යන් නතර වී, බිඳ වැටී තිබුණු අකාර්යක්ෂමතාවයන් ඉවත් කොට ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරනවා. රජයක් හැටියට අපි ඒවායේ වගකීම් බාර ගන්නවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු:
ප්‍රශ්නය: සමහර තැන්වල 50%ක් වත් ඡන්ද නැති බව දකින්න ලැබුණා. ඔබලාට විපක්ෂයේ සහයෝගය ලබා ගන්න හැකියාවන් ලැබේවිද?
පිළිතුර: සභාවක වැඩි ඡන්ද ලබාගත් පක්ෂයට තමයි සභාව පිහිටුවීමේ සදාචාරාත්මක බලය ලැබෙන්නේ. සභාවක් පිහිටුවිය යුත්තේ දිනන ලද අය එකතු වෙලා. අපි සභා පිහිටුවීමේදී තනි තනිවම ඉදිරිපත් වූ අයත්, ස්වාධීනව ආව අයත් ඉන්නවා. ඒ අය අපට උදව් කරන්න කැමති නම්, අපට පුළුවන් එයාලට උදව් කරන්න. අපි ජනතාව දුන් වරම අනුව සභාව පිහිටුවනවා. ජනතාව ප්‍රතික්ෂේප කළ කුඩා කණ්ඩායම් එක්ක එකතු වී සභා පිහිටුවීම සාර්ථක වේවිද කියන්න අපහසුයි. ජනතාව ප්‍රතික්ෂේප කළ පක්ෂ සමග කිසිසේත්ම එකතු වෙන්නේ නැහැ.
සභාවක වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් අයට තමයි, සභාව පිහිටුවන්න කියා ආරාධනා කරන්නේ. අනෙක් අයට සිදුවෙන්නේ, සභාවෙදි ඊට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න. ඒ අනුව තමයි කටයුතු කරන්න වෙන්නේ.
ප්‍රශ්නය: අයවැයේදි ප්‍රශ්නයක් වුවහොත්?
පිළිතුරු: එසේ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. කොහොමත් සභාපතිවරයාට, සභාව පවත්වාගෙන යාමට විශේෂ බලයක් තිබෙනවා. තීරක ඡන්දයක් සභාපතිවරයාට තිබෙනවා. අපි හොඳ අයවැයක් ඉදිරිපත් කළොත් ඒකට විරුද්ධ වෙන්න කිසිවෙකුට පුළුවන්ද කියන කරුණ තිබෙනවා. අපි මහජන මුදල් නාස්ති කරන්නේ නැති නම්, සොරකම් කරන්නේ නැති නම්, කොමිස්, කොන්ත්‍රාත් ගහන්නේ නැතිනම්, බිම හදන හොඳ වැඩපිළිවෙළකට කිසිවෙකුට විරුද්ධ වෙන්න හැකියාවක් නැහැ. ඡන්ද ප්‍රතිඵල බලලා, ඉලක්කම් එකතු කොට සතුටු වෙන්න හදන අයට, අපි කියනවා යථාර්ථය ඊට වඩා වෙනස්. අපි සභා පිහිටුවලා බලමු.
කවුරු හෝ පුද්ගලයෙකුට හිතුනොත් තමන් ඉන්න තැනට වඩා මෙතන හොඳයි, එයට උදව් කරනවා කියලා. ඒකට කිසිවෙකුටත් බාධාවක් නැහැ. අපි පක්ෂත් එක්ක එකතු වෙලා, සන්ධාන ගහලා සභා පිහිටුවන්න කිසිම අදහසක් නැහැ. ඒ පක්ෂ පැරදුනු හා ප්‍රතික්ෂේප වූ පක්ෂ. ඒ නිසා ඒ පක්ෂත් සමග එකතු වීමට අවශ්‍ය නැහැ.
ප්‍රශ්නය: උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිඵලය ගැන ඔබතුමන්ලාගේ අදහස මොකක්ද?
බිමල් රත්නායක සහෝදරයා පිළිතුරු දෙමින්….
උතුරු නැගෙනහිර සභාවක් පිහිටුවීමට කිසිම දේශපාලන පක්ෂයකට සම්පූර්ණ බලය ලැබී නැහැ. ජාතික ජන බලවේගය ලෙස ගත්තොත් අපට මන්ත්‍රී ධුර 150ක් උතුරු පළාතෙන් ලැබී තිබෙනවා. දැනට තිබෙන ප්‍රතිඵල අනුව මන්නාරම් දිස්ත්‍රික්කයේ සහ වවුනියාව දිස්ත්‍රික්කයේ වැඩිම සභික සංඛ්‍යාව සහ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගෙන තිබෙනවා. ඒ වගේම යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර 81ක් සමග වැඩි ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. අපට ප්‍රාදේශීය සභාවක් උතුරු පළාතේ තිබී නැහැ. වවුනියාවේ එක සභාවක් තිබිලා තියෙනවා. මන්ත්‍රී ධුර 150ක් ලැබීම ඉතිහාස ගත වන අවස්ථාවක්. අවුරුදු සියයක් පමණ පාරම්පරිකව පාලනය කළ පක්ෂ බිඳ වැටී තිබෙනවා. නැගෙනහිර පළාතෙත් ප්‍රාදේශීය දේශපාලන පක්ෂවල බලය විශාල වශයෙන් තිබූ පළාතක්. ජාතික දේශපාලනයේ නැති වුණාට ප්‍රදේශ තුළ, ජාතිකත්වයන් තුළ හදාගත්ත පක්ෂ තමයි තිබෙන්නේ. 2018 සාපේක්ෂව ගත්තොත් අපි ඒ මුළු පළාතෙන්ම පිමි ගණනාවකින් ඉස්සරහට ඇවිත් තිබෙනවා. ජාතික දේශපාලනයේ සහ ප්‍රාදේශීය දේශපාලනයේ විශාල වෙනසක් තිබෙනවා. ජාතික ජන බලවේගය හැරුණු විට අනෙකුත් පක්ෂ අවුරුදු 20ක් 25ක් පැරණි දේශපාලනය කරපු, සභාපතිකම් කරපු, මන්ත්‍රීකම් කරපු අය තමයි අපේක්ෂකයන් වී ඉන්නේ. කොට්ඨාස ක්‍රමය නිසා කිසියම් බලපෑමක් විශේෂත්වයක් තිබෙනවා. කාලයක් සිටි අයට අමතර වාසියක්ද තිබෙනවා. උතුරු නැගෙනහිර ජනතාවත් එක්ක අපි, අනුර සහෝදරයා ජනාධිපති වශයෙනුත්, දේශය මක්කල් ශක්ති විදිහට අපි හදාගත් ඒ සැලැස්ම ඉතාමත් ශක්තිමත්වී තිබෙනවා. දැනටමත් තිබෙන සාකච්ඡා තොරතුරු අනුව, උතුරු පළාතෙත්, නැගෙනහිර පළාතෙත් සභා ගණනාවක් ජාතික ජන බලවේගයේ සභා පිහිටුවන්න පුළුවන් වේවි. අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රතිඵලයත් එක්ක ඉදිරියට යන්න.
සමස්ත ලංකාවෙම 2018දි අපට ප්‍රාදේශීය සභා බලයක් තිබුණේ නැහැ. එතැනින් පසුව අද 250ක් වඩා බලයක් ලබා තිබෙන්නේ. මේ අවස්ථාවේ එයත් සැලකිල්ලට ගත යුතුව තිබෙනවා. උතුරු සහ නැගෙනහිර පළාත වගේම අනෙක් පළාත්වලත් බිම් මට්ටමේ බලය ශක්තිමත් කරගෙන තිබෙනවා. කොට්ඨාස අති විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කර තිබීම විසින් ආණ්ඩුවේ දේශපාලන බලයත්, ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාවලියත් ඉතාම පහසුවෙන් කරන්න හොඳ අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. අපේ අනාගත නායකත්වයන් පුරුදු කරන්න අවශ්‍යව තිබෙනවා. සියලුම මන්ත්‍රීවරු සංඛ්‍යාව හාරදහසකට ආසන්නයි. ඒක අපට විශාල ශක්තියක්. තරුණ පිරිස්, කාන්තාවන් විශාල පිරිසක් එකතු වෙනවා. මේ මැතිවරණයෙන් අපි සැලකිය යුතු අඩිතාලමක් දමාගෙන තිබෙනවා.
ප්‍රශ්නය: සභා පිහිටුවීමේදී ඔබතුමන්ලාගේ සහයෝගය ලබා දෙනවාද?
පිළිතුර: සභා පිහිටුවීමේදී අපි මැදිහත් වෙන්නේ නැහැ. සභා එයාලා පිහිටුවා ගත යුතුයි. නමුත් කඩාකප්පල්කාරී ලෙස ඒවාට බාධා කරන්නේ නැහැ. උතුරු පළාතේ බහුතර බලයකින් සභාවක් පිහිටුවන්න කෙනෙක් නැහැ. ඒ හැම කෙනාටම සිදුවෙලා තිබෙනවා කාගේ හෝ උදව් ගන්න. උතුරු පළාත් ප්‍රධානම නගර සභාවල පවා දැනටමත් අපෙන් ඉල්ලීම් කරමින් තිබෙනවා. ඔවුන් කැමතියි ආණ්ඩු පක්ෂය වන අපත් සමග මේ ගමන යන්න. එවැනි ඉල්ලීම් බොහොමයක් තිබෙනවා. ඒ සම්බන්ධව ප්‍රධාන ලේකම්තුමා ඉදිරිපත් කළ අයුරින් කටයුතු කිරීමට බලා පොරොත්තු වෙනවා.
(-“රට හදන ජන බලය පෙළගැසෙන මැයි රැලිය” – 2025.05.01 ගාලුමුවදොර පිටියේ පැවති ජාතික ජනබලවේගයේ මැයි රැලිය-) – මැයි රැලිය අමතමින් ජනපති අවධාරණය කරයි වසර හැට පහක් මුළුල්ලේ එක් අරමුණක් වෙනුවෙන් කැප වෙමින් අතිශය අභියෝගාත්මක බලය ලබා ගැනීමේ අභියෝගය ජයග්‍රහණය කළ තම දේශපාලන ව්‍යාපාරය සහතික වශයෙන්ම මේ රට ගොඩනැඟීම සහ ජනතාවගේ වුවමනා ඉටු කිරීමේ අභියෝගයද ජයග්‍රහණය […]
(-“රට හදන ජන බලය පෙළගැසෙන මැයි රැලිය” – 2025.05.01 ගාලුමුවදොර පිටියේ පැවති ජාතික ජනබලවේගයේ මැයි රැලිය-)
– මැයි රැලිය අමතමින් ජනපති අවධාරණය කරයි
වසර හැට පහක් මුළුල්ලේ එක් අරමුණක් වෙනුවෙන් කැප වෙමින් අතිශය අභියෝගාත්මක බලය ලබා ගැනීමේ අභියෝගය ජයග්‍රහණය කළ තම දේශපාලන ව්‍යාපාරය සහතික වශයෙන්ම මේ රට ගොඩනැඟීම සහ ජනතාවගේ වුවමනා ඉටු කිරීමේ අභියෝගයද ජයග්‍රහණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
අද රට පාලනය කරන්නේ රට ගොඩනඟමින් ඉදිරියට ගෙන යාමට සූදානම් ව්‍යාපාරයක් බවත්, එහිදී මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයද පැරණි ඇඳුම් ඉවත ලා අලුත් ඇඳුම් ඇඳ ගැනීමේ කාලය උදා වී තිබෙන බවත් පැවසූ ජනාධිපතිවරයා රට ගොඩනැඟීමේ ව්‍යායාමය සාර්ථක කර ගැනීමට ආණ්ඩුවත් සමඟ එක් වන ලෙස සියලු වෘත්තිය සමිති ව්‍යාපාරවලට ආරාධනා කරන බවද පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (01) පස්වරුවේ ගාලුමුවදොර පිටියේ පැවති ජාතික ජනබලවේගයේ මැයි දින රැලිය අමතමිනි.
“රට හදන ජන බලය පෙළ ගැසෙන මැයි රැලිය යන තේමාව යටතේ පැවති මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක් වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද දේශපාලන ව්‍යාපාරයක් ලෙස පවතින්නේ ජාතික ජනබලවේගය පමණක් බවත් මේ රටේ අනාගතය සහ ජනතාවගේ අනාගතය මුළුමනින්ම රඳා පවතින්නේ ජාතික ජනබලවේගය අත බවත් සියලුදෙනා අවබෝධ කර ගත යුතු බවයි.
මැයි දින රැලිය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
අපි දීර්ඝ කාලයක් මැයි දිනය සමරා තිබෙනවා. ඒ සෑම අවස්ථාවකම අපේ අපේක්ෂාව බවට පත් වුණේ බලය අත්පත් කර ගැනීම සඳහා ජනතාව පෙළ ගැස්වීමයි. අද අප පළමු වතාවට බලය අත්පත් කර ගෙන මේ රට ගොඩනැඟීම සඳහා ජනතාව පෙළ ගස්වන මහා රැලිය පවත්වනවා.
අද දේශපාලන ව්‍යාපාරයක් ලෙස පවතින්නේ ජාතික ජනබලවේගය පමණයි. මේ රටේ අනාගතය, මේ රටේ ජනතාවගේ අනාගතය මුළුමනින්ම රඳා පවතින්නේ ජාතික ජන බලවේගය අත බව අපි සියලුදෙනා තේරුම් ගත යුතුයි. අන් කිසිවක් තවදුරටත් දේශපාලන ව්‍යාපාර නොවෙයි. ඒවා සුන්බුන් ගොඩක්. එහෙත් තැනින් තැන හඬවල් ඇසෙනවා. දීර්ඝ කාලයක් ඔවුන් විසින් බලය හොබවනු ලැබුවා. එතැනින් නොනැවති තම පරම්පරාව වෙනුවෙන් බල සිතියම එළා තිබුණා. ඔවුන්ගේ පරම්පරා අතේ බලය රඳවා ගනිමින් පොදු ජනයා පීඩාවට අසාධාරණයට පත් කරමින් ඉදිරියට බලය ගෙන යාමට හැකි වනු ඇතැ’යි ඔවුන් සිතුවා. එහෙත් පසුගිය සැප්තැම්බර් 21 වන දා මේ රටේ ජනතාව ඉතාමත් නිර්භීත තීන්දුවක් ගනු ලැබුවා. පරම්පරා ගණනාවක් ඉදිරියට එළා තිබූ බල සිතියම මුළුමනින්ම හකුළා පොදු ජනතාව අතට බලය මාරු කිරීමට මේ ජනතාව සමත් වුණා. එම බලය අහිමි වීමේ සහ අපේක්ෂාභංගත්වයේ අඳෝනාව අද අපට අහන්න ලැබෙනවා.
ඒ වගේම තමන් බලය හොබ වන විට මහජනතාවගේ ධනය නාස්ති කරමින් අතිවරප්‍රසාද සහිත ජීවිතයක් ගත කළා. පොදු නීතියට යටත් නොවන ජීවිතයක් ගත කළා. පොදු ජනයාට ඉහළින් මහා බල පරාක්‍රමයක් යොදා ගෙන බලය හෙබ වූවා. එහෙත් අද පොදු නීතියට යටත් වී තිබෙන අතර වරප්‍රසාද අහිමි වී තිබෙනවා. නිතිය සමානව ක්‍රියාත්මක වී තිබෙනවා. එබැවින් ඔවුන්ට දුකක් ඇති වී තිබෙනවා. ඒ නිසා වේදනාවේ අඳෝනාව ඇති වී තිබෙනවා.
තවත් පැත්තකින් වංචා සහ දූෂණ සිදු කළ ප්‍රමාණය ඔවුන් අපට වඩා හොඳින් දන්නවා. ඒ වගේම ඔවුන් දන්නවා අපි කවුද කියලා. ඔවුන් ඔවුන්ගේ අපරාධයේ ප්‍රමාණය දන්නා තරමට අපිව හඳුනනවා. ඒ නිසා භීතියේ අඳෝනාව තිබෙනවා. ඒ නිසා අද දේශපාලනයේ අනෙක් පස තිබෙන්නේ අපේක්ෂාභංගත්වයේ වේදනාව, වරප්‍රසාද අහිමී වීමේ අඳෝනාව සහ භීතියේ තැති ගැන්මයි. ඒ නිසා තවදුරටත් දේශපාලන ව්‍යාපාර නැහැ. දෘෂ්ටිවාදයක් සහ සංවිධාන ශක්තියක් නැහැ. කරන්නේ කුමක්ද කියා නොදැන එහෙ මෙහෙ විසිරුණු කොටස්වල එකතුවක් පමණයි තිබෙන්නේ.
ඒ නිසා තවදුරටත් අපෙන් එළියේ අපට අභියෝගයක් නැහැ. අපෙන් එළියේ තිබෙන්නේ සුන්බුන් ගොඩක එකතුවක් මිස අභියෝගයක් නොවෙයි. එසේ නම් අභියෝගය තිබෙන්නේ අපට අප තුළමයි. එම අභියෝගය මතින් පියමං කිරීම සඳහා අපි අප තුළම තිබෙන ප්‍රතිවිරෝධතා, නොගැළපීම් සහ අලුත් තත්ත්වයන්ට අනුව අනුරූපි වීමට අසමත් වීම් පිළිබඳ තත්ත්වයන් අවබෝධ කර ගත යුතුයි.
වසර හැට පහක් පුරා එකම අරමුණකට කැප වීමේ උරුමය අපට තිබෙනවා. එවන් ව්‍යාපාරයක් තමයි අද මෙතැනට එක් රැස් වී තිබෙන්නේ. අතිශය පරාජයන් සහ අභියෝගයන් මැද සමීපතමයන් අතහැර යාම පමණක් නොව එරෙහි වෙමින් ව්‍යාපාර ගොඩනැඟීම් මැද පවා අත්නොහැර සිටි අරමුණක් අපට තිබෙනවා. ඒ නිසා අපි අරමුණක් වෙනුවෙන් උරුමය කර තබා ගෙන යන කණ්ඩායමක්. ඇතැම් විට අපි පුරුද්දේ බලයට වැඩ කළා. ඈත ඉලක්ක, සමීප අභියෝග, අප ඉදිරියේ ඉතා ව්‍යාකූල තතත්වයන් හමුවේ අපි වැඩ කළා. ඇතැම් විට පුරුද්දේ බලය විසින් අපිව වැඩ කිරීමට පොළඹ වනු ලැබුවා. දැන් ඒ සියල්ල පසු කර පසුගිය සැප්තැම්බර් 21 වන දා අපේ අතට බලය ලබා ගැනිමට අපි සමත් වුණා. දැන් තවදුරටත් අපට තිබෙන්නේ පුරුද්දේ බලය නොවෙයි, විශ්වාසයේ බලයයි.
මේ රට ගොඩනැඟිය හැකියි කියා අපි විශ්වාස කරනවා. මේ රටේ ජනතාව අප කෙරෙහි බලාපොරොත්තු තබා තිබෙනවා. දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි සහ පොදු ජනතාව එකම අරමුණක් වෙනුවෙන් වැඩ කිරීම සඳහා පෙළඹී තිබෙනවා. ඒ නිසා ව්‍යවස්ථානුකූලව පැවරෙන බලය ඉක්මවා යන, පාර්ලිමේන්තුවෙන් අපට ලැබී තිබෙන බලය ඉක්මවා යන, විශ්වාසයේ බලය අප සතුව තිබෙනවා.
වසර 65ක් එක් අරමුණක් වෙනුවෙන් අතිශය අභියෝග හමුවේ බලය ලබා ගැනීමේ ඉලක්කය අතික්‍රමණය කළා නම් මේ රට ගොඩනැඟීම සහ ජනතාවගේ වුවමනා ඉටු කිරීමත් සහතික වශයෙන්ම ඉටු කරනවා කියන විශ්වාසයේ බලය සමඟ තමයි අප මීට අවතීර්ණ වී තිබෙන්නේ. ඒ නිසා අපි විශාල විශ්වාසයකින් යුතුව මේ කාර්යයට උර දී තිබෙනවා.
අප හමුවේ තිබෙන යථාර්ථයේ ස්වභාවය අපි අවබෝධ කර ගත යුතුයි. අප හමුවේ තිබෙන්නේ ඉතා කටුක යථාර්ථයක්. පතුලටම කඩා වැටුණු ආර්ථිකය, ඒ වගේම අනෙකා පිළිබඳ සහකම්පනය බිඳ වැටුණු සමාජය, නීතිය එක එක අයට අවශ්‍ය ආකාරයෙන් මෙහෙයවමින් තිබූ සමාජයක්, බිඳ වැටුණු ආයතන පද්ධති, සමාජ වගකීම් පිළිබඳව සෑම පුරවැසියා තුළම අපේක්ෂාභංගත්වයක් ඇති වූ සමාජයක් අපේ රටේ පැවතුණා. අප ඉදිරියේ තිබෙන කටුක යථාර්ථය අපි තේරුම් ගත යුතුයි. එහෙත් සමාජ යුක්තිය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් අපි පොර බදනවා. එය අත නොහරින පොරබැදීමක් වෙනවා. එහෙත් අපි දන්නවා එය විධිමත්ව වියන්නට අවශ්‍ය වියමනක්. සමාජ යුක්තිය නිර්මාණය කිරීම සහ සමාජ සාධාරණත්වය නිර්මාණය කිරීම රාත්‍රියකින්, දෙකකින් කළ හැකි දෙයක් නොවෙයි. එහෙත් මේ සමාජ සාධාරණත්වය සහ සමාජ යුක්තිය වෙනුවෙන් අප ඉතාමත් විධිමත් වියමනයක් වියනවා.
වසර 76ක් විනාශයේ පතුලමට ඇද දමා මාස හයෙන් ප්‍රතිඵල අපේක්ෂා නොකළ යුතුයි. අතිශය කටුක යථාර්ථය අප තේරුම්ගෙන තිබෙනවා. වඩා සුබවාදී අනාගතයක් නිර්මාණය කිරීම ඉතා සැලසුම්සහගත වියමනක්. අප එම වියමන ඉතාමත් ශක්තිමත්ව නැවත නැවත සමාලෝචනය කරමින් සාර්ථකව වියන බවට මම මේ රටේ ජනතාවට සහතික වෙනවා. කටුක යථාර්ථය අලුත් මාවතක් දක්වා පරිවර්තනය කිරීමේදී කෙටි මාර්ග නැහැ. මෙය ඉතා විධිමත් සැලසුම් සහගත ව්‍යායාමයක්. ජාතික ජනබලවේගයේ අපි ජනතාවගේ අපේක්ෂා සහ ජනතාව අප කෙරෙහි තබා ඇති විශ්වාසයේ බර හොඳින් අවබෝධ කර ගෙන තිබෙනවා. ඒ නිසා අපි ඉතාමත් විධිමත්ව සැලසුම් සහගතව මෙම විනාශකාරී සමාජය ඉතා තියුණු සාමජ ආකල්පවලින් සහ ආර්ථිකයකින් හෙබි සමාජයක් බවට පරිවර්තනය කිරිම සඳහා වූ ගමන ආරම්භ කර තිබෙනවා.
අපට තිබුණේ අත්තිවාරමක් නැති රටක්. කුඹ ගහ කැඩුණු නෞකාවක් වගේ පාවි පාවි තිබු රටක්. ඉලක්කයක් සහ අරමුණක් නැති රටක් සහ සමාජයක්. අප මෙය විධිමත්ව වෙනස් කිරීමට නම් පළමුව ශක්තිමත් අත්තිවාරමක් නිර්මාණය කළ යුතුයි. ඒ නිසා ගෙවුණු කාලය ඇතුළත මෙම ශක්තිමත් අත්තිවාරම නිර්මාණය කිරීම සඳහා උපරිම ප්‍රයත්න දරමින් තිබෙනවා.
මෙම අත්තිවාරමේ ප්‍රධාන කුලුනු අතර පළමුවැන්න අදූෂිත දේශපාලනයයි. වසර 76කට පසු අද ලංකාවේ අදූෂිත දේශපාලනයක් බිහි වී තිබෙනවා. මහජනතාවගේ රුපියලක් සොරකම් කරන්නේ නැති, නාස්ති කරන්නේ නැති දේශපාලනයක් බිහි වී තිබෙනවා. ඒ වගේම මෙම ශක්තිමත් අත්තිවාරම වෙනුවෙන් අපට ජාතික සමගිය අවශ්‍යයි. පසුගිය මහ මැතිවරණයේදී අපටත් වඩා ඉදිරියට පැමිණ ජනතාව එම පියවර තබා තිබෙනවා. උතුරේ ජනතාව, නැගෙනහිර ජනතාව ජාතික ජනබලවේගය කෙරෙහි විශාල විශ්වාසයක් තබා අපටත් වඩා ඉදිරි පියවරක් තැබුවා. අපි උතුර සහ නැගෙනහිර සමඟ දේශපාලන කර තිබෙන්නේ ඉතා අඩුවෙන්. අපේ සන්නිවේදනය ප්‍රධාන වශයෙන් සිංහල භාෂාවයි.
එහෙත් එම ජනතාව උතුරේ පාරම්පරික දේශපාලන ව්‍යාපාර සහ නායකයන් ප්‍රතික්ෂේප කර අප කෙරෙහි විශ්වාසය තැබීමෙන් පෙන්නුම් කරන්නේ ජාතික සමගියේ අවශ්‍යතාවයි. අපි එම ජනතාවට කිසිසේත් ආපසු හැරීමට ඉඩ දෙන්නේ නැහැ. ඔවුන්ගේ සංස්කෘතිකයේ, භාෂාවේ සහ පාරම්පරික ඉඩම්වල අයිතිවාසිකම් මෙන්ම ඔවුන්ට මේ රටේ පුරවැසියන් ලෙස ජීවත් වීමේ අයිතිවාසිකම අපි තහවුරු කරනවා. එය රට ගොඩනැගීමේ දෙවැනි කුලුනයි.
ඒ වගේම අපට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටප වැඩි කර තිබෙනවා. රාජ්‍ය සේවය ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කරනවා. ඒ වගේම රාජ්‍ය සේවය පුරා උඩු දුවා තිබෙන නොසැලකිලිමත්භාවය සහ අකාර්යක්ෂමතාව ඉවත් කිරීම සඳහා ජාතික ජනබලවේගය ආණ්ඩුව කටයුතු කරනවා.
නීතියේ විධානයේ ආධිපත්‍යය යළි තහවුරු කිරීමට අපි කටයුතු කර තිබෙනවා. සැමට නීතිය එක ලෙස ක්‍රියාත්මක විමේ දේශපාලන පරිවර්තනයක් ලංකාවේ පළමු වතාවට සිදුව තිබෙනවා. එහෙත් පැරණි රට කියා හිතාගෙන එක එක අය විවිධ කතන්දර කියන්න පටන් ගෙන තිබෙනවා.
මේක අලුත් රටක්. නීතියට හැම කෙනාම යටයි. නීතිය ඉදිරියේ හැම කෙනාම සමානයි. කවුරු හරි හිතා ගෙන හිටියා නම් නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පහළ පන්තියේ මිනිසුන්ට පමණක් ක්‍රියාත්මක වන ආයතන කියා, ඒ පැරණි යුගයයි. අපි නව යුගයක් නිර්මාණය කර තිබෙනවා. නීතිය හැම කෙනාටම සමාන රටක් අපි නිර්මාණය කර තිබෙනවා.
එපමණක් නෙවෙයි ඒ නව පරිවර්තනය නීති මගින් ආයතන ශක්තිමත් කිරීමෙන් පමණක් නොව, ප්‍රායෝගිකවත් අපි ඔප්පු කරනවා. අපරාධ දූෂණ සිදු කළ කාලය කවදා වුවද දඬුවම් ලැබෙනවා යන සංඥාව ලබා දෙන ආණ්ඩුවක් ජාතික ජනබලවේගය ආණ්ඩුව ගොඩනඟා තිබෙනවා. නීතිය ඉදිරියේ සියලුදෙනා බිය විය යුතුයි. නීතියට යටත් විය යුතුයි. එය තමයි සමාජයක් ගොඩනැඟීමට තිබෙන මාවත. අප එම මාවත ගොඩනඟා තිබෙනවා.
ඒ වගේම අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ කළු රටක් ලෙස පරිවර්තනය වී තිබුණා. අපි ඉතාමත් ශක්තිමත් ලෙස ක්‍රමානුකූලව පියවරෙන් පියවර ජාත්‍යන්තර ප්‍රශංසාවට භාජනය වෙනවා. ජාත්‍යන්තරය ඉදිරියේ සෘජුව අපේ ස්වෛරීභාවය සහ රට ප්‍රමුඛ කර කටයුතු කළ හැකි ආණ්ඩුවක් අපි හදලා තිබෙනවා. ඒ නිසා තමයි ජපන් රජය, චීන රජය නතර කළ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබුවේ. අපි ඉතාමත් ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගිතා අත්තිවාරමක් දමා තිබෙනවා.
මේ ශක්තිමත් අත්තිවාරම මත අප ඉතාමත් ශක්තිමත් ගොඩනැඟිල්ලක් ඉදිකරනවා.එහි සමානාත්මතාව, යුක්තිය පිළිබඳ පණිවිඩය, සමාජ සහකම්පනය, සමාජයේ බැඳීම, එකිනෙකාට ගෞරව කිරීම, අත්පත් කර ගන්නා ආර්ථික සමෘද්ධිය, පිරිසිදු රටක්, පරිසර පද්ධතිය රැක ගත යුතු ලෙස සලකන සමාජයක්, ගෙදර ඇති කරන සුරතලාට පවා ආදරය ළෙංගතුකම ලබා දෙන සමාජයක් තිබෙනවා. එවන් සමාජයක් අපි නිර්මාණය කළ යුතුයි.
දේශපාලන අධිකාරය ලෙස අපට විශාල කාර්යභාරයක් තිබෙනවා. අපි අපේ කාර්‍යභාරය හඳුනා ගෙන තිබෙනවා. අපේ සීමා මායිම් හඳුනා ගෙන තිබෙනවා. හැකියාවන් හා දුබලතාවයන් හඳුනා ගෙන තිබෙනවා. අපට නොහැකි දේ හැකි අයගෙන් අපි උකහා ගන්නවා. ඒ අනුව වංචාවෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර දේශපාලනයක් වෙනුවෙන් අපි කැප වෙනවා. මේ අත්තිවාරම මත ගොඩනැඟිල්ල හදන්න නම් ඉතාමත් හොඳ දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයයි. එම දේශපාලන පරිවර්තනයට අපි නායකත්වය දෙනවා. අපි එය ඉටු කරනවා.
ඒ වගේම අපේ කර්මාන්තකරුවන්ට හා ව්‍යවසායකයන්ට අපි ආරාධනා කරනවා, ඔබ ආයෝජනය කරන්න. ඒ සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම ගැටලු අපට කියන්න. සියල්ල අපි ලබා දෙන්නම්. කොළඹ නගරයේ අපි සැලසුම් සකස් කර තිබෙනවා. වාණිජ වශයෙන් වටිනාකම් තිබෙන හිස් බිම්, මුඩු බිම් කිසිවක් අපේ පළමු කාලය තුළ ඉතිරි වීමට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ සියල්ල අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් යොදවනවා.
ඒ වගේම අපේ රටේ වගා බිම් නැවත අස්වැද්දීමට ගොවිජන ව්‍යාපාරවලට, විශාල කාර්යභාරයක් තිබෙනවා. මෙරට වගා බිම් නැවත අස්වද්දන්න පටන් ගන්න. පුරන් කුඹුරු, පුරන් ඉඩම් එක අඟලක් අපේ රටේ ඉතිරි නොවන ආකාරයට නව ගොවිජන පරිවර්තනයක් අපේ රටේ නිර්මාණය කිරීමට අප අපේක්ෂා කරනවා. අපි පොහොර සහනාධාරය වැඩි කරනවා. ගුණාත්මක බීජ ලබා දීමට කටයුතු කරනවා. කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය යෙදීමට කටයුතු කරනවා. ස්ථාවර මිලක් ලබා දීමට කටයුතු කරනවා. මේ රට අස්වද්දන්න පටන් ගන්න. මේ රට ගොඩනැඟීමට ගොවි ජනතාව වන ඔබගේ සහාය අවශ්‍යයි. ඒ වගේම ඉමක් කොනක් නොපෙනෙන මහ මුහුදේ මාළු අස්වැන්න නෙළන ජනතාවට රජයක් ලෙස අපේ පාර්ශ්වයෙන් උපරිම සහාය ලබා දෙන්නම්. ඔබ අපේ රට ගොඩනැඟීම සඳහා සහාය ලබා දෙන්න.
විශේෂයෙන්ම අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය පැරණි ආකල්ප අත් හැරිය යුතුයි. ලූනු බිකක් ඉල්ලා සටන් කරන කාලය අවසන් කරන්න. ලූනු බිකටත් පොර බදන කාලය අවසන් කරන්න. සියල්ල අත් හරින දේශපාලන අධිකාරයක් පැමිණ තිබෙනවා. පනත්වලින්, ගැසට්වලින්, රෙගුලාසිවලින් ලබා දී තිබෙන බොහෝ දේ අප අත් හරිනවා. අප ඔබ සමඟ වැඩ කර තිබෙනවා. ඔබේ අපේක්ෂාවන් අපි දන්නවා. එසේ නොදන්නවා නම් අපි ඔබගේ මූලික වැටුප වැඩි කරන්නේ නෑ. ඔබගේ හීන් කෙඳිරියක්වත් නැතුව මූලික වැටුප, ආපදා දීමනා වැඩි කළා. ආපදා ණය වැඩි කළා. ඔබගේ කිසිදු ඉල්ලීමකින් තොරව වැටුප් වර්ධක ඉහළ දැමුවා. ඔබට ලබා දෙන අති කාල දීමනාව වැඩි කළා. එහෙත් පුංචි වාක්‍යයක එල්ලී සටන් කරන්න සූදානම් වෙන්න එපා. එය යුක්තිසහගත නැහැ.
අද පැමිණ තිබෙන්නේ රට ගොඩනැඟීම සඳහා මැදිහත් වන රට ඉදිරියට ගෙන යාමට සූදානම් ව්‍යාපාරයක්. එහිදී අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය පැරණි ඇඳුම් ඉවත ලා අලුත් ඇඳුම් ඇඳ ගැනීමේ කාලය උදා වී තිබෙනවා. අද ඉන්නේ රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතු බව විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරයක්. මේ රට ගොඩනැඟීමට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය බව විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරයක්. අද ඉන්නේ ශක්තිමත් රාජ්‍ය සේවයක් සඳහා හැකියාව, ධාරිතාව ඇති කණ්ඩායම් ලබා ගත යුතුයි කියන විශ්වාසය තිබෙන දේශපාලන ව්‍යාපාරයක්. ඒ වගේම තමන්ගේ උසස්වීම, තමන්ගේ අනාගතය දේශපාලනය මත නොව තමන්ගේ හැකියාව හා දක්ෂතාව මත ලබා දිය යුතු බව විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරයක්.
අද රට පාලනය කරන්නේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ හෘද ස්පන්දනය හඳුනන, ඔවුන් සමඟ එක්ව වැඩ කළ, ඔවුන්ගේ අභිලාෂයන් වෙනුවෙන් සටන් කළ, හඬ නැඟූ දේශපාලන ව්‍යාපාරයක්. අප අතර තිබිය යුතු ප්‍රතිවිරෝධතාව කුමක්ද? කිසිදු ගැටුමක් තිබෙන්නට හැකියාවක් නැහැ. මේ රට ගොඩනැඟීමේ ව්‍යායාමය සාර්ථක කර ගැනීමට සඳහා අප සමඟ එක් වන ලෙස අපි සියලු වෘත්තීය සමිති ව්‍යාපාරයට ආරාධනා කරනවා. අපේ තරුණ ව්‍යාපාරයට විශාල කාර්යභාරයක් තිබෙනවා. තරුණයන්ගේ අනාගතය පිළිබඳව ඔවුන් හමුවේ පැවතියේ ඉතාමත් අහිතකර චිත්‍රයක්. බිඳ වැටුණ සිහිනයක්. එහෙත් නැවතත් සිහින දකින තාරුණ්‍යයක් අපි නිර්මාණය කරනවා.
ඔබට පැවරී ඇති වැඩ කොටස ඉටු කිරීමට සූදානම් වන්න. ජනතාව,කලාකරුවන්, සාහිත්‍යධරයන්, ධීවරයන්, ගොවි ජනතාව, ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්, දේශපාලනඥයන් ලෙස අපි සියලුදෙනා එක්ව ප්‍රයත්නයක් දරමු. පොරබදමු. අපේ පරම්පරාවට වඩා අපේ අනාගත පරම්පරාවට හොඳ රටක් අපි ගොඩනඟමු. අද ඇකයේ නැළවෙන දරුවාට හොඳ රටක් නිර්මාණය කරමු. සුළැඟිල්ලේ එල්ලී ළඳරු පාසැල් යන දරුවාට හොඳ රටක් නිර්මාණය කරමු. අපි මේ රට, මේ බලය අත්පත් කර ගෙන තිබෙන්නේ ඒ වෙනුවෙනුයි. ඒ නිසා මම ඉතා වගකීමෙන් සහ විශ්වාසයෙන් කියනවා එළියේ ඉන්නේ වැල්-බයිලාකාරයෝ. දේශපාලනය තිබෙන්නේ අපි ගාවයි. අභියෝගය තිබෙන්නේ අපි ගාවයි. එළියේ අභියෝග නැහැ.
ගම්වල ලක්ෂ ගණනාවක් ජනතාව අද මෙතැනට එක් වී සිටිනවා. යාළුවා ගිහින් ගම අල්ලලාද දන්නේ නෑ, කට්ටිය ගෝල්ෆේස් ආවම ගම අල්ලනවලු. වැල්-බයිලානේ. ඒ දේශපාලනයද? දේශපාලන ව්‍යාපාර අවසන්. දේශපාලන දෘෂ්ටිවාද අවසන්. ආතක් පාතක් නෑ. මහා වියවුලකට පත් වී තිබෙනවා. එක් වෙලාවක දකුණු අතින් ලියන එක නෙවෙයි මුඛයෙන් ප්‍රකාශ කරන්නේ. මේ වේදිකාවේ කියන එක නෙවෙයි අනිත් වේදිකාවේ කියන්නේ. විශාල අවුල් ජාලයකට පත් වී තිබෙනවා. ඒ නිසා එළියේ අභියෝගය අවසන්. දැන් අපි කරන්න අවශ්‍ය කුමක්ද? තව තවත් ශක්තිමත්ව, ජනතාව තව තවත් ඉදිරියට ගෙන යමින් මේ රාජ්‍යය ඉතාමත් හොඳ රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමේ ගමන යමු. එය ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට, මේ රටට හොඳ අනාගතයක් අත්පත් කර දීමට, අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා අලුත් පියවරක් අලුත් ගැම්මකින් අපි ඒ ගමන ආරම්භ කරමු.
ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද මේ ගාලුමුවදොර පිටියට එක් රැස් වී පෙන්නුම් කරන්නේ කුමක්ද? මේ අභියෝගය භාර ගැනීමට සූදානම් කියන පණිවිඩයයි. මේ රට ගොඩනඟන්න සූදානම් කියන පණිවිඩයයි. ඒ සඳහා විශ්වාසවන්තම ව්‍යාපාරය ජාතික ජනබලවේගය කියන පණිවිඩයයි. රටේ අනාගතය සුබදායි කියන පණිවිඩයයි. ඒ රටටත් ලෝකෙටත් අර වැල්-බයිලා කණ්ඩායමටත් ලබා දෙන පණිවිඩයයි. අලුත් පිම්මක් අපි ගත යුතුයි. ඒ අලුත් පිම්ම මැයි 06 වෙනි දා ගත හැකියි. ජනාධිපතිවරයා, කැබිනෙට් මණ්ඩලය, පාර්ලිමේන්තුව හා ප්‍රාදේශීය සභාව එක තැනකින් තිබීමට අවශ්‍යයයි. එක පෙළ ගැස්මක තිබිය යුතුයි. මේ රට ගොඩනැගීමට නම් දේශපාලන අධිකාරිය එක තැනකට පැමිණිය යුතුයි. ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව ජාතික ජනබලවේගය සතුයි. එසේ නම් ප්‍රාදේශීය සභා සහ නගර සභාත් ජාතික ජනබලවේගය සතු විය යුතුයි. ඒ හා බැඳුණු ජනතාව එකට සිටිය යුතුයි. මේ සියලු ධාරාවන් එකට පෙළ ගැස්විය යුතුයි. ආණ්ඩුව වගේම ප්‍රාදේශීය සභාවත් සොරකම් නොකරන එකක් විය යුතුයි. එවිට මහා ආණ්ඩුව වැඩ කරනවා. ප්‍රාදේශීය සභාවත් වැඩ කරනවා. ඒ සඳහා හොඳ ජනවරමක් ලබා දෙන්න.
(-2024.05.01 – Colombo-) 1886 වසරේ මැයි මස 01 වන දින ඇමෙරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරශ්‍රයේදී, පැය 08ක සේවා මුරයක් ඉල්ලා විරෝධතාවක නිරත වෙමින් සිටියදී එල්ල වූ මර්දනීය වෙඩි ප්‍රහාරයෙන් රුධිරය වැගිරූ කම්කරුවන් සදාතනිකව සිහි කිරීමට 1889 වසරේ රැස් වූ දෙවන කොමියුනිස්ට් ජාත්‍යන්තරය තීරණය කළ අතර එතැන් පටන් සෑම වසරකම මැයි පළමුවන දා ජාත්‍යන්තර කම්කරු දිනය […]
(-2024.05.01 – Colombo-)
1886 වසරේ මැයි මස 01 වන දින ඇමෙරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරශ්‍රයේදී, පැය 08ක සේවා මුරයක් ඉල්ලා විරෝධතාවක නිරත වෙමින් සිටියදී එල්ල වූ මර්දනීය වෙඩි ප්‍රහාරයෙන් රුධිරය වැගිරූ කම්කරුවන් සදාතනිකව සිහි කිරීමට 1889 වසරේ රැස් වූ දෙවන කොමියුනිස්ට් ජාත්‍යන්තරය තීරණය කළ අතර එතැන් පටන් සෑම වසරකම මැයි පළමුවන දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
ශ්‍රී ලංකාවේ වැඩකරන ජනයා ප්‍රමුඛ පොදු ජනතාව මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ මෙරට දූෂිත, ප්‍රභූ දේශපාලනය අවසන් කර ජනතාවාදී පාලනයක් තුළ රටත්, සමාජයත් ගැඹුරු සාධනීය පරිවර්තනයකට ලක් කරමින් තිබෙන අවස්ථාවකය. පවුල් සහ පරම්පරා කිහිපයක් 76 වසරක් පුරා තට්ටු මාරු ක්‍රමයට ගෙන ගිය දූෂිත පාලනය නිමා කර මෙරට දේශපාලනයේ සුවිශේෂී හැරවුමක් සනිටුහන් කිරීමට ඉකුත් ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ජාති, ආගම් භේදයකින් තොරව මෙරට සිව් දෙස ජනතාව විසින් කටයුතු කරනු ලැබිණි. එකී ජනවරමේ අපේක්ෂා සාක්ෂාත් කරමින් මේ වන විට රට ආර්ථික, සාමාජයීය සහ දේශපාලන වශයෙන් පුළුල් පරිවර්තනයකට ලක් කිරීමට ජාතික ජන බලවේගයේ අපි කටයුතු කරමින් සිටින්නෙමු.
දුෂිත, ප්‍රභූ දේශපාලන ක්‍රමය තුළ පතුලටම ඇද දමා තිබූ මෙරට ආර්ථිකය යළි ඉහළට ඔසවමින් ස්ථාවර ආරම්භයක් ලබා ගැනීමට මේ වන විට අපි සමත් වී සිටිමු. එහි පැහැදිලි සංඥාවන් දැනටමත් සියලුදෙනාට පෙනෙන්නට තිබේ. රජයේ පළමු අයවැයේදීම ඉතිහාසයේ කිසි දා නොවූ අයුරින් රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නැංවීම ඇතුළු ගොවි ජනතාව, ධීවර ජනතාව, තරුණයින්, කාන්තාවන්, සිසුන් පමණක් නොව නිෂ්පාදකයන්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, විවිධ වෘත්තීන්හි නිරත වන්නන් ආදී සමාජයේ සියලුදෙනා වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීමට අපි කටයුතු කර ඇත්තෙමු. එසේම වතුකරයේ කම්කරු ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීමට හා ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් තහවුරු කිරීමටද අපි කටයුතු කරමින් සිටිමු.
දිනෙන් දින අලුත් වන නිෂ්පාදන බලවේගවලට සමගාමීව අප භුක්ති විඳින අයිතිවාසිකම්හි නව පරිච්ඡේදයක අවශ්‍යතාව අපි දකිමු. 1948 මානව හිමිකම් න්‍යාය පත්‍රයේ නොතිබූ, ඩිජිටල් ප්‍රවේශ අයිතිවාසිකම්, පාරිසරික අයිතිවාසිකම් ආදියද ඇතුළත්ව වෙනස් වන දේශපාලන පද්ධතින්හි මතු වීම සහ ලෝක සාමය තහවුරු කරමින්, නව සංවර්ධන අවශ්‍යතා මත පදනම්ව මානව හිමිකම් පිළිබඳ යාවත්කාලීන වූ විශ්ව ප්‍රකාශනයක අවශ්‍යතාව වත්මන් සමාජය ඉල්ලා සිටී. ඒ පිළිබඳව සංවේදී වීම සහ මැදිහත් වීමේ අවශ්‍යතාවද ජාත්‍යන්තර කම්කරු දිනය සමරන මේ අවස්ථාවේ අපි යළි සිහිපත් කරමු.
ජාත්‍යන්තර භූ දේශපාලනික වෙනස්කම් සහ අභියෝග හමුවේ නොසැලෙන ආර්ථිකයක් ගොඩනැංවීම වෙනුවෙන් වෙහෙසෙන මෙරට වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරමින් හා ප්‍රවර්ධනය කරමින් දූෂිත ප්‍රභූ දේශපාලනය බිද හෙළූ මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කර “ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරමින්, වැඩ කරන ජනතා අයිතින් සුරක්ෂිත කෙරෙන අර්ථවත් වූ ජාත්‍යන්තර කම්කරු දිනයකට ශුභාශිංසන එක් කරමි.
අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 මැයි 01 වන දින