ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael Appleton) සහ නවසීලන්තයේ හිටපු වැඩ බලන මහ බැංකු අධිපති ග්‍රාන්ට් ස්පෙන්සර් (Grant Spencer) හා ජාතික ජන බලවේගය අතර හමුවක් අද (31) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය. මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ කෝප් […]
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael Appleton) සහ නවසීලන්තයේ හිටපු වැඩ බලන මහ බැංකු අධිපති ග්‍රාන්ට් ස්පෙන්සර් (Grant Spencer) හා ජාතික ජන බලවේගය අතර හමුවක් අද (31) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති සහභාගි වී තිබිණි.
මෙහිදී පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ කටයුතු සහ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වී ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය පිළිබඳවත් වංචා හා දූෂණ සම්බන්ධයෙනුත් සාකච්ඡා වී තිබේ. එමෙන්ම ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ වංචා හා දූෂණවලින් තොරවීම සහ බදු ප්‍රතිපත්තිය සහ ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබෙන ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවලට පටහැණිව යමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, පොලිස් ආඥා පනත යටතේ, පුරාවිද්‍යා පනත, මහජන පීඩා පනත වගේ පනත් උපයෝගී කරගෙන ජනතාව බියට පත්කරමින් ගෙනයන ක්‍රියා මාර්ග දැඩිලෙස හෙළා දකින බවත් අගතියට පත්වෙන අය වෙනුවෙන් ඕනෑම මොහොතක පෙනී සිටින බවත් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අවධාරණය කරති. ඔවුන් මෙලෙස අවධාරණය කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන […]
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවලට පටහැණිව යමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, පොලිස් ආඥා පනත යටතේ, පුරාවිද්‍යා පනත, මහජන පීඩා පනත වගේ පනත් උපයෝගී කරගෙන ජනතාව බියට පත්කරමින් ගෙනයන ක්‍රියා මාර්ග දැඩිලෙස හෙළා දකින බවත් අගතියට පත්වෙන අය වෙනුවෙන් ඕනෑම මොහොතක පෙනී සිටින බවත් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අවධාරණය කරති.
ඔවුන් මෙලෙස අවධාරණය කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (31) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.
එම මාධ්‍ය හමුව සඳහා නීතිඥ හේමක සේනානායක, නීතිඥ සුනිල් වටගල සහ ජාතික ජන බලවේගයේ කොළඹ ලේකම්, නීතීඥ ධනුෂ්කි ලියනපටබැඳි එක්වී සිටි අතර ඔවුන් දැක්වූ අදහස් පහතින් පල වේ.
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ කොළඹ සභාපති – නීතිඥ හේමක සේනානායක
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ යැයි කියමින් අරගලයට සම්බන්ධ වූ පිරිස් අත්අඩංගුවට ගැනීම සිදුකරනවා. ඊට අමතරව පොලිස් ආඥා පනතේ 77 වගන්තිය දඩමීමා කරගෙන පුද්ගලයින් පොලීසියට කැඳවීමට කටයුතු කර තිබෙනවා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පුද්ගලයින්ව කැඳවූ ලේඛන ගණනාවක් අප සතුව තිබෙනවා. ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළින් ත්‍රස්තවාදියා කියන්නේ කවුදැයි යන්න අර්ථ නිරූපණය කර නැහැ. ඒ නිසා සාමාන්‍ය ජන ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල කරනවා. ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට ආදරයෙන් කරගෙන ගිය අරගලය හේතුකොටගෙන එවකට හිටපු ජනාධිපතිට පලා යන්න සිදුවුණා. ඊට පස්සේ ජනතා පරමාධිපත්‍ය බලයට පටහැණිව කටයුතු කරමින් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කර ගත්තා. අසීමිතව පැන නගින්නාවූ ජනතා විරෝධය හමුවේ කුමන උපක්‍රම පාවිච්චි කර හෝ බලය ලබාගැනීමේ හැකියාව ආරක්ෂා කර ගන්න රනිල් වික්‍රමසිංහට හැකිවී නැහැ. ඒ බය නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අයුතු විදිහට භාවිතා කර, ජනතාව බියවද්දන්න කටයුතු කරනවා.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ පවත්වාගෙන යන අතර ජනතාව අම්පාර, මොනරාගල, කැබිතිගොල්ලෑව වැනි ඈත ප්‍රදේශවල සිට බියෙන් සැකයෙන් කැඳවා ගැනීම සිදුකරනවා. පොහොට්ටුවේ පෙර තත්වයේ හැටියට දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම්වලට විරුද්ධව දිගටම ක්‍රියා කළා. විශේෂයෙන්ම දෙමළ සහ මුස්ලිම් ජනතාව තමන් උපන් භූමියේ ත්‍රස්තවාදීන් ලෙස නම්කරාවි දැයි බියක් පැන නගිනවා. දැන් ඉන්නේ 2015-2019 කාලයේ සිටි රනිල් වික්‍රමසිංහ නොවෙයි. මහින්ද රාජපක්ෂ විසින් නම් කළ නාමල් රාජපක්ෂ විසින් ස්ථීර කළ රාජපක්ෂ පවුල විසින් පුනරුත්ථාපනය කළ රනිල් වික්‍රමසිංහ කෙනෙක් අද ඉන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අනීතිකව පුද්ගලයින්ව අත්අඩංගුවට ගන්නේ මේ නිසයි. විවියන් ගුණවර්ධන නඩුවේදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළ ආකාරයට රටේ මූලික නීතිය උල්ලංඝනය කරමින් දැන් කටයුතු කරගෙන යනවා. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දු කිසිසේත් මායිම් නොකර පොලිස් නිලධාරීන් මෙහෙයවීමට රනිල් – රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව ක්‍රියාකරමින් සිටිනවා. මේ වනවිට වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හාමුදුරුවෝ දින 70ක් ඉක්මවා රඳවාගෙන සිටියත් ඔවුන්ට විරුද්ධව ත්‍රස්තවාදියෙක් කියන අර්ථ නිරූපණයට ඇතුළත් කළ හැකි කිසිවක් හඳුනාගන්න නොහැකි වී තිබෙනවා. මෙවැනි තත්වයක් තුළ ජනතාවට සිදුවන අගතිය වෙනුවෙන් පෙනී සිටීමට ජාතික ජන බලවේගයේ නියෝජිතයන් හැටියට අපි ක්‍රියාකරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවලට පටහැණිව යමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, පොලිස් ආඥා පනත යටතේ, පුරාවිද්‍යා පනත, මහජන පීඩා පනත වගේ පනත් උපයෝගී කරගෙන ජනතාව බියට පත්කරමින් ගෙනයන ක්‍රියා මාර්ග අපි දැඩිලෙස හෙළා දකිනවා. අගතියට පත්වෙන අය වෙනුවෙන් ඕනෑම මොහොතක අපි පෙනී සිටින බව අවධාරණය කරනවා.”
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ උප සභාපති – නීතිඥ සුනිල් වටගල
“කිරුලපන පිහිටා තිබෙන ත්‍රස්ත විමර්ශන ඒකකයට දිවයිනේ නන්දෙස සිටින පුද්ගලයින් කැඳවීමේ ලිපි යවා තිබෙනවා. තමන් අයත් වන ප්‍රදේශයේ පිහිටි පොලීසියකට කැඳවීමක් සහ ත්‍රස්ත විමර්ශන ඒකයට කැඳවීම තුළින් මානසික මට්ටමත් අදාළ පනතත් එකිනෙකට වෙනස්. ආණ්ඩුවේ අරමුණ අපට හංගන්න බැහැ. ඇත්ත ප්‍රශ්නවලට ආණ්ඩුව උත්තර නොදීමෙන් සමාජය ගැන පොදුවේ හිතන මිනිසුන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්, වෘත්තීය සමිති නායකයන් සහ සාමාජිකයන් නැගී සිටිනවා. පවතින ප්‍රශ්නවල විසඳුම් නොදෙන තත්වය මත ජනතාව පාරට බහිනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඉන්ධන, දැරිය හැකි මුදලකට ලබාදෙනවා වෙනුවට ඇප නොදෙන පන්නයේ ක්‍රියාමාර්ග ආණ්ඩුව තෝරා තිබෙනවා. පොදු දේපළ පනත, පුරාවිද්‍යා පනත අත්හදා බලා අසාර්ථක වූ තැන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක කාලයක් රඳවා තබාගෙන ක්‍රියාකිරීම සාර්ථක කරගන්න උත්සාහ කරනවා. වසන්ත මුදලිගේ ශිෂ්‍ය නායකයා සිදුකළේ මොන ත්‍රස්තවාදී ක්‍රියාවක්දැයි අපි ආණ්ඩුවෙන් අහනවා. ආණ්ඩුවේ ත්‍රස්තවාදීකම වඩාත් හොඳින් පැහැදිලි වූ අත්දැකීමක් මට තිබෙනවා. වසන්ත මුදලිගේ සම්මුඛ විය හැක්කේ නීතිඥ මහත්වරුන්ට පමණක් බව ප්‍රචාරය කර තිබුණා.
ඒ අනුව 28වන දින මම ලිඛිතව දැන්වූවා 29වන දින වසන්ත මුදලිගේ සහෝදරයාව හමුවීමට ඉඩ දෙන්න කියලා. පසුදින මමත්, සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකරත් ත්‍රස්ත විමර්ශන ඒකකයට ගියා. නමුත් එතනදී දැන්වූයේ නිසි අවසරයක් තවමත් ලැබී නැති බවයි. නමුත් මම යැවූ ලිපියට අද වෙනතුරුත් නිසි පිළිතුරක් ලබාදී නැහැ. ඊට පස්සේ 011 233 5930 සහ 071 840 1291 යන ත්‍රස්ත විමර්ශන අංශයේ දුරකථන අංකවලට දවසක් පුරාම ඇමතුම් ගත්තා. 52වතාවක් ජංගම දුරකථනයට ගත්තත් කිසි කෙනෙක් උත්තර දෙන්නේ නැහැ. නීතිඥවරයෙකුට අත්අඩංගුවේ සිටින සැකකාරයෙක් හමුවිය නොහැකි නම් මේ රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද? තුන්දෙනෙක් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත පනත යටතේ රඳවාගත් එක් අයෙකුට සාක්ෂි නැති බව සඳහන් කරමින් මුදා හැරියා. පරීක්ෂණය සාධාරණව සිදුවෙන බව ඔප්පු කරන්න ඒ පුද්ගලයා මුදා හැරියා. සැප්තැම්බර 24වනදා සමාජවාදී තරුණ සංගමය පැවැත්වූ සාමකාමී විරෝධතා පෙළපාළියට එල්ල කළ නීති විරෝධී ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට සම්බන්ධ සෑම පොලිස් නිලධාරියෙකුටම එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විතරක් නඩු තුනක් දාලා තිබෙනවා. ඊට අමතරව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම නිසා නොතීසි නිකුත් කර තිබෙනවා. මේ නිසා ආණ්ඩුවේ පොලීසිය ටිකක් බයවෙලා ඉන්නේ.
අපි එක දෙයක් පොලීසියට අවධාරණය කරනවා. මේ විදිහේ ලැජ්ජාසහගත කොන්ත්‍රාත් කරන්න එපා කියලා. තමුන්ට අන්තිමටම ඉතිරි වෙන්නේ ගෙදර ඉන්න භාර්යාව විතරයි. අණදෙන දේශපාලනඥයෝ නොපෙනී යනවා. ත්‍රස්ත විමර්ශන අංශයේ ඉන්න මහත්වරුන්ට අපි ඒ බව අවධාරණය කරනවා. නීතීඥවරුන්ටවත් බලන්න නොදී හිරකරගෙන ඉන්න වසන්ත මුදලිගේලාගේ ජීවිතවලට වගකියන්නේ කවුද? රනිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත් එක පරිස්සමෙන් කරන්න කියලා අපි අවධාරණය කරනවා. ආණ්ඩුව දිගින් දිගටම ෆේල් වෙන පනත් ගෙනත් බැරිවුණු තැන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනැවිත් කරන වැඩේට අපි ඉඩතියන්නේ නැහැ. සමාජවාදී තරුණ සංගමයට එල්ල කළ නීච ප්‍රහාරයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව අපි මේ ස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කීවා. එය ඒ ආකාරයෙන්ම සිදුකළා. අධිආරක්ෂිත කලාප ගැසට්ටුව ගේනකොටම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ අපි එය අභියෝගයට ලක්කළා. 26දින නඩුව ෆයිල් කළාම ඔක්තෝබර් 01වනදා ආණ්ඩුව අධිආරක්ෂිත ගැසට්ටුව ඉල්ලා අස්කර ගත්තා. ඊට පස්සේ පුනරුත්ථාපන පනත කියලා එකක් ගෙනාවා. එය ගේනකොටම ව්‍යවස්ථාවට පටහැණි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. ඔක්තෝබර් 28 වැනිදා මානව හිමිකම් කොමිසම, පොලිස් ආඥා පනතේ 77/1 වගන්තිය යටතේ සිදුකරන ක්‍රියාවන් නීති විරෝධී බව ප්‍රකාශ කර තිබෙනවා. පොලිස් ආඥා පනත තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටින් කියලා පොලීසිය දැනගන්න ඕනෑ. ත්‍රස්ත විමර්ශන ඒකකයට දිවයිනේ සියලු ප්‍රදේශවලින් පුද්ගලයන්ව කැඳවන නිලධාරීන් ප්‍රවේසමෙන් කටයුතු කරන ලෙසටත් එසේ නොවුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගෙන එන බවත් අවධාරණය කරනවා.”
මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ කොළඹ ලේකම් නීතීඥ ධනුෂ්කි ලියනපටබැඳි ද සහභාගි වූවාය.
ප්‍රශ්නය:- රඳවාගෙන සිටින වසන්ත මුදලිගේගේ ශිෂ්‍යභාවයට මොකද වෙන්නේ?
පිළිතුර:- ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හෝ දණ්ඩනීතිය යටතේ රඳවාගෙන සිටින්න ඉඩක් නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන විරෝධතාවලයි ඔහු යෙදී සිටියේ. ඔහුගේ ශිෂ්‍යභාවය සම්බන්ධයෙන් පරිපාලන ගැටලු ඇතිවිය හැකියි. නමුත් නිදහස් වෙන දවසක ඔහුට අධ්‍යාපන අවස්ථා ලබාදෙන්න වෙනවා. බරපතළ ප්‍රශ්නය ඒක නොවෙයි. කිසිදු සමාජ සම්බන්ධතාවයක් නැතිව සිරකර තබා සිටින ඒ තරුණ ජීවිතයට අදාළ කාලය සම්බන්ධයෙන් වගකියන්නේ කවුද? ඒ කාලය ලබාදෙන්න පුළුවන්කමක් ආණ්ඩුවට නැහැ. ඒ අපරාධය කරන්න එපා කියලා අපි අවධාරණය කරනවා. ජාතික ජන බලවේගයේ නීතීඥයෝ විදිහට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළේ ක්‍රියාකරන අය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ පෙනී සිටිනවා.
ප්‍රශ්නය:- යාල යකා නැටූ පිරිස සම්බන්ධයෙන් ස්ථාවරය මොකක්ද?
පිළිතුර:- ගෝඨාභය රාජපක්ෂ බලයට ආවේ එක රටක් එක නීතියක් සංකල්පය අරගෙන. නමුත් මේ වන විට “ඔබලා අප සමග සිටිනවා නම් ඕනෑම දෙයක් කළ හැකියි. හැබැයි ඔබලා අපට විරුද්ධවූ පළමු තත්පරයේදීම අප ඔබලාගෙන් පලිගන්න කටයුතු කරනවා, දේශද්‍රෝහීන් බවට පත්කරනවා” කියන පණිවිඩය ලබාදුන්නා. යාල සිද්ධියට අදාළව ක්‍රියාත්මක කරන්නේ එහි දිගුවක්. ඇමති පුතුන්ටත් ඔවුන්ගේ බෑනලාට සහ සහචරයින්ට රටේ නීතිය බලනොපාන ලෙස ක්‍රියාකරනවා. වාහනවලට ඇතුල්වීම තහනම් කර, ඒ පුද්ගලයන්ට අදාළ කරන්නේ නැහැ. ඔවුන්ගේ පැලැන්තියට එක් ආකාරයක් සහ දුප්පත් අයට උපරිම දඬුවම් ලබාදීම සිදුකරන බව මෙයින් පැහැදිලි වෙනවා.
පැවති ආණ්ඩු සහ පවතින ආණ්ඩුව ගජ මිතුරන් වෙනුවෙන් සහ තමන්ගේ බලය පවත්වා ගැනීම වෙනුවෙන් මුලු රටම අනතුරේ හෙළීම තීරණාත්මකව පරාජය කළ යුතු බව ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පැවසීය.ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ බණ්ඩාරගම ආසන සමුළුව අමතමින් ය. එහිදී ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය. බණ්ඩාරගම ආසනය තුළ ජාතික ජන බලවේගයේ […]
පැවති ආණ්ඩු සහ පවතින ආණ්ඩුව ගජ මිතුරන් වෙනුවෙන් සහ තමන්ගේ බලය පවත්වා ගැනීම වෙනුවෙන් මුලු රටම අනතුරේ හෙළීම තීරණාත්මකව පරාජය කළ යුතු බව ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ බණ්ඩාරගම ආසන සමුළුව අමතමින් ය. එහිදී ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය.
බණ්ඩාරගම ආසනය තුළ ජාතික ජන බලවේගයේ සමුළුව පවත්වන අවස්ථාවේ අවධාරණය කළ යුතු කරුණු කිහිපයක් තිබෙනවා. මේ දේශපාලන පක්‍ෂ දෙකේ ම ඉන්න නායකයන් විශාල කාලයක් උත්සාහ කළේ මහා ව්‍යාපෘති හඳුන්වා දී වැඩියෙන් ඩොලර් ණය ගැනීම පිළිබඳවයි. අධිවේගී මාර්ග, සම්මන්ත්‍රණ ශාලා, ජාත්‍යන්තර ක්‍රිකට් පිටි, මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය සහ නෙළුම් කුලුන වාගේ ව්‍යාපෘති හඳුන්වා දුන්නේ විදේශ ණය ලබා ගැනීම වෙනුවෙන්. ඇත්තට ම ඒ ණය පසුකාලීනව ගත්තේ ඊට පෙර ගත් විදේශ ණය වාරික සහ පොළී ගෙවීමට. ඒ ගැන අපේ මුල්ම අවධානය යොමු කරන්න ඕනෑ. ගත්ත ණයවලින් කොමිස් ගැසීමත්, වංචා, දූෂණවලින් තම තමන් පොහොසත් වීමත් ඊ ළඟ කාරණයයි. ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව බලයට පත් වුණු වහාම ගජමිතුරන්ට විශාල බදු කපාහැරීම් සිදු කළ ආකාරය අපි දැක්කා. සෑම මැතිවරණයක දී ම ජනතාවට මුදල් බෙදීමත්, ඒ ගොල්ලන්ගේ අනෙක් ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මුදල් යෙදැවීමත් සිදු කළේ ඒ ගජමිතුරන්. ගජමිතුරන් වෙනුවෙන් බදු කපාහැරියේ ඒ නිසයි. අනෙක් අපරාධය තම තමන්ට අවශ්‍ය ආකාරයට ව්‍යවස්ථාව වෙනස් කිරීමයි. තව දුරටත් බලයේ රැඳෙන්න මේ වාගේ ක්‍රියාමාර්ගවලින් රට ම අනතුරේ හෙළීම තීරණාත්මකව නතර කළ යුතුයි. මේ රටේ දරුවන්ට මන්දපෝෂණය වැළඳී රටේ ජනතාවට ඖෂධ හිඟය, ආහාර අහේනිය දක්වා රට බිඳවට්ටා තිබෙනවා. වැඩිහිටි රැකියා කරන්නන්ට රැකියා අහිමි වෙමින් යනවා. මේ තත්ත්වය නතර කළ යුතුයි. එය නතර කළ හැක්කේත්, නැවත රට ගොඩනැඟිය හැක්කේත් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ පමණයි. ඒ නිසා සියලු දෙනා ම ජාතික ජන බලවේගය වටා වේගයෙන් එකතු වන ලෙස සියලු දෙනාගෙන් ම ඉල්ලා සිටිනවා.
නිෂ්පාදන ආර්ථිකයේ සියලුම අංශ මේ වෙනවිට බිඳ වට්ටා තිබුණත් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ නැවත රට ගොඩ නැගීමට සූදානම් බව අවධාරණය කරයි. බණ්ඩාරගම මැතිවරණ කොට්ඨාසයේ ජාතික ජන බලවේගයේ සමුළුව අමතමින් එම පක්ෂයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව අවධාරණය කළේය.ඊයේ (29) එම සමුළුව පැවැත්වූ අතර සභාව අමතා වැඩි දුරටත් දැක්වූ අදහස් පහත පළ […]
නිෂ්පාදන ආර්ථිකයේ සියලුම අංශ මේ වෙනවිට බිඳ වට්ටා තිබුණත් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ නැවත රට ගොඩ නැගීමට සූදානම් බව අවධාරණය කරයි.
බණ්ඩාරගම මැතිවරණ කොට්ඨාසයේ ජාතික ජන බලවේගයේ සමුළුව අමතමින් එම පක්ෂයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව අවධාරණය කළේය.
ඊයේ (29) එම සමුළුව පැවැත්වූ අතර සභාව අමතා වැඩි දුරටත් දැක්වූ අදහස් පහත පළ කෙරේ.
මේ වෙන කොට රටේ සියලුම කෘෂිකාර්මික නිෂ්පාදන බිඳවට්ටලා. තේ දලුවලට රට තුළ දී වැඩි මිලක් ලැබෙනවා. ඒ ලැබෙන්නේ රුපියල බිඳවැට්ටූ නිසයි. අපේ රටේ රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තවලට විදේශීය කෘත්‍රිම රබර් ආනයනය කරනවා. මේ නිසා දේශීය රබර් කිරි නිෂ්පාදනය සැලැසුම්සහගතව කර්මාන්ත කරා යොමු කිරීමේ වැඩපිළිවෙළක් නැහැ. එළවළු වගාව වාගේම වී වගාව සම්බන්ධයෙන් තත්ත්වයත් ඒකම තමයි. සමස්තයක් හැටියට රටේම කෘෂිකර්මාන්තය බිඳවට්ටා අවසන්. අනෙක් පැත්තෙන් මේ ප්‍රදේශයේ සෞම්‍ය දේශගුණයක් තිබෙන තෙත්බිම්, තෙත්බිම් ආශ්‍රිත පක්‍ෂි ගහණයත් සහ වනාන්තර තිබෙන කළුතරින් සංචාරක ව්‍යාපාරයට නිසි ප්‍රයෝජන ගන්නේ නැහැ. කළුතර කියන්නේ, අවුරුදු දෙදහසකට වඩා ලිඛිත ඉතිහාසයක් තිබෙන බිමක්. සංයුක්ත නිකාය කටපාඩමින් කිවහැකි හාමුදුරුවරුන් දෙනමක් පිළිබඳව රඹුක්කන රජමහා විහාරයේ ශිලාලේඛනයක ඒ බව සඳහන් වෙනවා. අපි ජාතික ජන බලවේගයේ ආසන සභා පිහිටුවන්නේ මේ වාගේ සියලු ම ක්‍ෂේත්‍ර ආවරණය කර ගනිමින්, ජාතික ආර්ථිකයට ඒ ඒ ප්‍රදේශවලින් උපරිම දායකත්වයක් ලබා දී රට ගොඩනැඟීම ඉලක්ක කරගෙනයි. ඒ වෙනුවෙන් වහාම මැතිවරණයක් දිනාගත යුතුයි. එහි දී ජාතික ජන බලවේගය රටේ පාලන බලය ලබා ගැනීමෙන් සැලැසුම්සහගත ආර්ථිකයක් තුළින් රට ගොඩනැඟිය හැකියි. 1994දී අපේ අපනයන ආදායමත්, වියට්නාමයේ අපනයන ආදායමත් සමානයි. නමුත්, ඒ අයගේ දෙදහස් විසිදෙකේ අගෝස්තු මාසයේ පමණක් අපනයන ආදායම ඩොලර් බිලියන තිස්එකක්. නමුත්, අපේ රටේ වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන දොළහයි. මේ තත්ත්වයෙන් රට ගොඩනගැනීමට ජාතික ජන බලවේගයේ අපි සූදානම්.
මුලු රටේම සල්ලි හතර පස් දෙනෙකු කොල්ල කා ඇති බවත් ඔවුන්ගේ කලු සල්ලි ප්‍රියමාලිලා කොල්ලකන සංස්කෘතියෙන් රට මුදවා ගෙන සියලු ජනතාවට යහපත් අනාගතයක් හිමිවෙන සුන්දර ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ සටනට සියලු දෙනාම ඒකරාශි වෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ආරාධනා කරයි. ජාතික ජන බලවේගයේ බණ්ඩාරගම ආසන සමුළුව අමතමින් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මෙම […]
මුලු රටේම සල්ලි හතර පස් දෙනෙකු කොල්ල කා ඇති බවත් ඔවුන්ගේ කලු සල්ලි ප්‍රියමාලිලා කොල්ලකන සංස්කෘතියෙන් රට මුදවා ගෙන සියලු ජනතාවට යහපත් අනාගතයක් හිමිවෙන සුන්දර ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ සටනට සියලු දෙනාම ඒකරාශි වෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ආරාධනා කරයි.
ජාතික ජන බලවේගයේ බණ්ඩාරගම ආසන සමුළුව අමතමින් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මෙම ආරාධනය කළේය. එහිදී ඔහු වැඩි දුරටත් දැක්වූ අදහස් සංක්ෂිප්ත කර පහත දැක්වේ.
රට පුරාම ජාතික ජන බලවේගයේ ආසන සමුළු පවත්වාගෙන යන අතර, කළුතර දිස්ත්‍රික්කයේ පළමු ආසන සමුළුව බණ්ඩාරගම දී අපි මේ විදියට පවත්වනවා. විශාල ජනතාවක් අප වටා ඒකරාශී වෙමින් සිටින බව රට පුරා යන අපට පැහැදිලි වෙනවා. මහින්ද සමඟ නැඟිටිමු කියලා රට විනාශ කළ රාජපක්‍ෂලා පුංචි පුංචි රැස්වීම් තියාගෙන යනවා. මහින්ද නැඟිට්ටවලා මේ රටට වෙච්ච දේවල් හොඳටෝම ඇති. දැන් අපට ඕනෑ මහින්දලා විනාශ කරපු රට ගොඩනැඟීම වෙනුවෙන් ජනතාව නැඟිට්ටවා, ජනතාවට නායකත්වය දෙන ජනතා විශ්වාසය දිනාගත් ජාතික ජන බලවේගය රටේ පාලනයට පත් කර ගත යුතු වෙනවා. මී ළඟ ආණ්ඩුව පිහිටුවන්නේ වෙන කවුරුත් නොවෙයි, ජාතික ජන බලවේගයයි.
මැයි නව වැනිදා මහින්ද රාජපක්‍ෂ අගමැතිකම දාලා පලා ගියා. ජුනි නව වැනිදා බැසිල් රාජපක්‍ෂට මුදල් ඇමැතිකම දාලා යන්න වුණා. ජූලි නව වැනිදා ගෝඨාභය රාජපක්‍ෂට ජනාධිපති ධුරය දාලා පලා යන තත්ත්වයට දැවැන්ත මහජන නැඟිටීමක් ඇති වුණා. මේ නිසා පරණ ජනවරම ආණ්ඩුවට වලංගු නැහැ. ගෝඨාභයට ලැබුණු ජනවරමෙන් රනිල් වික්‍රමසිංහට ජනාධිපති වෙන්න බලයක් නැහැ. නමුත්, ජනතාවට තමන් කැමැති පාලකයෙක්, තමන් කැමැති පාලනයක් පිහිටුවා ගන්න අවස්ථාව දුන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ කියන්නේ, ජනතාව මන්ත්‍රීකමක්වත් නොදුන් පුද්ගලයෙක්. ඔහුගේ දේශපාලනය අවුරුදු හතළිස්පහකට පස්සේ මන්ත්‍රීකමක්වත් නොදී නෙරපාහැරියා. ඒ නිසා ජාතික ලැයිස්තුවෙන් පත් වුණු රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්‍ෂලාගේ කුමන්ත්‍රණයෙන් ජනාධිපති වී රට පාලනය කරනවා. ඒ අතර එයාගේ මාමා කළ ආකාරයට මැතිවරණ කල් දාන්න විවිධ කුමන්ත්‍රණ කරනවා. බෑනා හිටියාට මේක මාමාගේ කාලය නොවෙයි කියලා අපි එයාට මතක් කර දෙනවා. ජනතාව පරණ පක්‍ෂ, පාට අත්හැරලා, එක පෙරමුණකට එක්වෙමින් සිටිනවා. ඒ ජාතික ජන බලවේගය වටායි.
මේ කාලය තුළ බදු පිට බදු ගසමින් බර පැටවීමේ කෙළවරක් නැහැ. ලක්‍ෂයක් මාසයකට උපයන කෙනකුට සියයට හයෙන් පටන්ගෙන එතැනින් ඉහළට ආදායම් ලබන හැමෝටම සියයට තිස්හය දක්වා බදු ගහලා තිබෙනවා. තමන් ලබන ආදායමෙන් තුනෙන් එකකටත් වඩා බදු ගහනවා කියන්නේ, සුළුපටු දෙයක් නොවෙයි. මේ නිසාම බැංකු පද්ධතියේ ඉහළ නිලධාරීන් විශ්‍රාම යන්නට සූදානම් වෙනවා. අනෙකුත් රැකියා කරන ඉහළම දැනුමක් සහ නිර්මාණශීලී හැකියා තිබෙන අය රටත් දාලා යනවා. මේ පාලකයන් ආර්ථිකය වැට්ටුවා; නිෂ්පාදනය වැට්ටුවා; රටත් වැට්ටුවා. ජනතාවට බදු පිට බදු පටවන ගමන් අනෙක් පැත්තෙන් දරා ගන්න බැරි උද්ධමනයක් රටේ ඇති කරලා තිබෙනවා. මේ විදියට යන්න බැහැ.
මේ අය වට්ටපු රට තව තවත් වට්ටනවා මිස ගොඩ ගන්න සැලැස්මක් නැති අය. නමුත්, ඒ ගොල්ලෝ නම්, ගොඩ යනවා. මේ දවස්වල තැන් තැන්වලට යන සජිත් මහත්තයා විවිධ කතා කියනවා. නමුත්, ඔවුන්ට කිසිම ප්‍රතිපත්තියක් නැහැ. පසුගිය දවස්වල ආණ්ඩුව ගෙන ආ, ජනතාවට අහිතකර එක පනතකටවත් විරුද්ධව ඒ ගොල්ලෝ ඡන්දය දුන්නේ නැහැ. දෙලොවක් අතර රැඳී ඉන්නවා. රනිල් ගෙනාව මිනි අය-වැය, ඛනිජ තෙල් සංස්ථාව විනාශ කරන සංශෝධන පනත වාගේ පනත්වලට විරුද්ධ වුණේ නැහැ. ඛනිජ තෙල් සංස්ථාව කෑලි කෑලිවලට කඩලා විකුණන පනතට විරුද්ධ වුණේ මන්ත්‍රීවරුන් හත්දෙනයි. ඒ හත්දෙනාගෙන් ජාතික ජන බලවේගයේ තුන්දෙනා ම එතැන ඉන්නවා. සජිත්ලා විරුද්ධ වුණෙත් නැහැ. පක්‍ෂ වුණෙත් නැහැ. කිසිම කොන්දක්, ප්‍රතිපත්තියක් නැහැ. තිස්සමහාරාම පැත්තේ ගැමි කාන්තාවන් මහින්ද මහත්තයා නිවන් දකින්න ඕනෑ බව කියලා තිබුණා. අපිත් කියන්නේ, එයා නිවන් දකින්න ඕනෑ කියලයි. අපේ රටේ ණයට කෑම සංස්කෘතියක් කරගෙන අපට හිතන්න බැරි තරම් හොරකම් කර තිබෙනවා. මුළු රටේම සල්ලි හතර පස් දෙනකු ළඟට කොල්ලකාගෙන තිබෙනවා. ඊයේ පෙරේදා හෙළිදරවු වුණු ප්‍රියමාලි සල්ලි කොල්ලකාපු හැටි ගැන පොඩි ගතියක් තිබෙනවා. රටේ ම සල්ලි කොල්ලකෑව කළු සල්ලිකාරයන්ට ප්‍රියමාලි වැඬේ දුන්නා. සල්ලි අහිමි වුණු අය පැමිණිලි කරන්න පොලිසියට යන්නේ නැහැ. පැමිණිලි කළොත්, ඒ සල්ලි උපයා ගත් ආකාරය හෙළි කරන්න ඕනෑ. අනෙක් පැත්තෙන් තව ඕනෑ තරම් සල්ලි ඒ ගොල්ලන්ට තියෙනවා. ඔය අතරේ අභයාරාම පන්සලේ හාමුදුරුවොත් කොළඹ නගර සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරියක් හරහා මේකට පැටළී ඉන්නවා. හාමුදුරුවන්ගේ ‘වී එයිට්’ වාහනය පොහොට්ටු මන්ත්‍රීවරිය ගෙන ගොස් ආපසු දුන්නේ නැති බව කියනවා. ’වී එයිට්’ කියන්නේ, දැන් තිබෙන වටිනාම වාහන වර්ගය. හාමුදුරුවන්ගේ චෝදනාවට උත්තර හැටියට මන්ත්‍රීවරිය කියනවා, එයාගෙන් ලක්‍ෂ පන්සියයක් හාමුදුරුවෝ ගත්තා කියලා. ලක්‍ෂ පන්සියයක් අහිමි වෙලත්, ඒ මන්ත්‍රීවරිය පැමිණිලි කරන්නේ නැහැ. නාගරික මන්ත්‍රී වැටුපෙන් ලක්‍ෂ පන්සියයක් ඉතිරි කරන්නේ කොහොම ද? නාගරික මන්ත්‍රීවරියක් ළඟ ලක්‍ෂ පන්සියයක් ඔය විදියට අත්අරින්න තියෙනවා නම්, රාජපක්‍ෂලා ළඟ කොහොම ඇති ද? රට විනාශ කරලා, මහජන ධනය ප්‍රකෝටි ගණන් කොල්ලකෑ කල්ලියක් මේ ඉන්නේ. දැන් හොරාකෑමට, කොල්ලකෑමට ඇබ්බැහි වෙලා ඒ ගොල්ලෝ. වළ පයයි, ගොඩ පයයි තියාගෙනත් කරන්නේ ඒක. තව හොරා කන්නත්, හොරාකෑ සල්ලිවල නඩුවලින් බේරෙන්නත් බලයේ එල්ලී ඉන්න උත්සාහ කරනවා. අපේ පක්‍ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා කියලා තියෙනවා, “හොරු දවාලට රණ්ඩු වෙනවා, රෑට එකතු වෙලා හොරකමේ යනවා” කියලා. මේගොල්ලෝ මේ දක්වා ඒ වැඬේ එහෙමම කරගෙන, නඩු බේරා ගන්න කටයුතු කළා. දැන් දෙගොල්ලො ම එකට එකතු වී රෑත්, දවාලේත් දෙකේ ම හොරකමේ යනවා.
මේ නිසා ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ආර්ථිකය ගොඩනඟමින්, රටේ සමස්ත ජනතාවට සාධාරණ ලෙස ප්‍රතිලාභ බෙදී යන ආකාරයට අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. අපට මේ වාගේ ම ආණ්ඩුවක් හදන්න ඕනෑ නම්, මෙහෙම වැඩ කරන්න අවශ්‍ය නැහැ. නමුත්, රටත්, ජනතාවත් දිනවන වැඩපිළිවෙළකට සියලු දෙනා ම එකතු වෙමු කියලා අපි ආරාධනා කරනවා. පොහොට්ටුවට ඡන්දය දුන් ජනතාව පාවා දීලා, රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න මහින්ද රාජපක්‍ෂට පුළුවන් නම්, ඒ වාගේ පක්‍ෂ අත්හරින්න. කාටත් එන්න විවෘත ජාතික ජන බලවේගය වටා අපි කවුරුත් එකතු වෙමු. අපි කවුරුත් එකතු වී ලංකා ඉතිහාසය ජනතාවාදී ආකාරයෙන් අලුතින් ලියමු. ඒ ගමනට එකතු වෙන්න, ධෛර්යය දෙන්න රටේම ජනතාව සූදානම්. මේක ඔබේත්, අපේත් කාලයයි. අපි ඡන්දයක් දිනාගෙන, අප කාටත් යහපත් අනාගතයක් තිබෙන සුන්දර ශ්‍රී ලංකාවක් ගොඩනඟන සටනට අපි කවුරුත් එකතු වෙමු කියලා ආරාධනා කරනවා.
ජාතික ජන බලවේගය ප්‍රතිපත්තියක් හැටියට බදු ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ආණ්ඩුවක් මුදල් එකතු කරන ප්‍රධාන ක්‍රමයක් තමයි බදු. නමුත් බදු එකතු කරන්නේ මොකටද? පුරවැසියනට සේවාවක් ලබාදෙන්නද? අපේ ප්‍රශ්න බදු එකතු කිරීම නෙවෙයි. බදු එකතු කරලා ආණ්ඩුව මෙව්වර කාලයක් මොනවද කරලා තියෙන්නේ යන්න යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිණි අමරසූරිය පැවැසුවාය. ආචර්ය හරිනි අමරසූරිය එලෙස […]
ජාතික ජන බලවේගය ප්‍රතිපත්තියක් හැටියට බදු ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ආණ්ඩුවක් මුදල් එකතු කරන ප්‍රධාන ක්‍රමයක් තමයි බදු. නමුත් බදු එකතු කරන්නේ මොකටද? පුරවැසියනට සේවාවක් ලබාදෙන්නද? අපේ ප්‍රශ්න බදු එකතු කිරීම නෙවෙයි. බදු එකතු කරලා ආණ්ඩුව මෙව්වර කාලයක් මොනවද කරලා තියෙන්නේ යන්න යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිණි අමරසූරිය පැවැසුවාය.
ආචර්ය හරිනි අමරසූරිය එලෙස ප්‍රශ්න කළේ මහනුවර, ගලගෙදර මැතිවරණ කොට්ඨාසයේ පැවැති පාක්ෂික හමුවකට එක්වෙමිනි.
ඇය මෙසේද පැවැසුවාය.
අපිට නිදහස් අධ්‍යාපනයක්, නිදහස් සෞඛ්‍ය සේවාවක්, පොදු ප්‍රවාහන සේවයක් අද තියෙනවාද? අවශ්‍ය යටිතල පහසුකම් අද තියෙනවාද? මේ මොනවත් නෑ. එහෙනම් මොනවද මේ බදුවලින් කරලා තියෙන්නේ. හැබැයි අපි ඉන්නවා ඉතාමත්ම සැපවත්ව ජීවත්වෙන පාලක පන්තියක්. නිල වාහන, ආරක්ෂාව, නිවාඩු නිකේතන තියෙන පාලක පන්තියක් නම් ඉන්නවා. පුරවැසියාට අවශ්‍ය මූලික සේවාවන් අපිට ලැබිලා නෑ. අන්න ඒ පදනමේ ඉඳන් තමයි ජාතික ජන බලවේගය මේ බදු ප්‍රතිපත්තිය අපි විවේචනය කරන්නේ.
මේ නොවැම්බර් මාසේ අලුත් අය – වැයක් ඒමට නියමිතයි. අයි.එම්.එෆ්. එකේ එකගතාවක් පිළිබඳව ආණ්ඩුව මාස ගණනාවක් කතා කරනවා. එකගතාව මොකද්ද කියන එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ. හැබැයි ආණ්ඩුව කියන්නේ දෙසැම්බර් වෙනකොට එකඟතාව එයි කියලා. අපි නම් හිතන්නේ නෑ එව්වර ලේසියට මේ කියන විදිහට ලැබෙයි කියලා. සිද්ධ වෙලා තියෙන්නේ අප්‍රේල් මාසේ ඉඳන් ණය නොගෙවන තත්ත්වයක්. ලංකාව බංකොලොත් රාජ්‍යක් හැටියට නම් කිරීමත් සමඟ දැන් අපි අනිවාර්යයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ගයට යන්ට සිද්ධවෙලා තියෙනවා. ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේදී අයි.එම්.එෆ්. එකේ කොන්දේසි දෙකක් දාලා තියෙනවා. එකක් තමයි ණය ආපසු ගෙවීමේ සැලැස්ම.
දෙක, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය ගත්ත පාර්ශ්වවලින් එකඟතාව. අපි විවිධ පාර්ශ්වවලින් ණය අරගෙන තියෙනවා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධානවලින් ගත් ණය ප්‍රතිව්‍යුහගත කරන්න . රටවල්වලින් ගත් ණය සඳහා එම රටවල් එකඟවිය යුතුයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යෑම ඉතාමත් භයානක දෙයක්. එහෙම එකක් කළොත් අපේ රටේ බැංකු පද්ධතියට, මූල්‍ය පද්ධතියට විශාල තර්ජනයක් විය හැකියි.
අයි.එම්.එෆ්. එකේ ණය ගෙවීමට නම් රජයේ ආදායම ඉහළ නැංවිය යුතුයි. වියදම කප්පාදු කළ යුතුයි. එනම් අය-වැය පරතරය අඩු කරගත යුතුයි. ඒක කරන්න මේ ආණ්ඩුව දන්නේ ක්‍රම දෙකයි. එනම් බදු පටවනවා නැත්තන් තියෙන සම්පත් ටික විකුණනවා ඔය දේ ඇරෙන්න මේ ආණ්ඩුව අවුරුදු ගණනාවක් තිස්සේ කරපු කිසිම දෙයක් නෑ. ඒ අය දක්ෂ හොරකමට, නාස්තියට, වංවාවට විතරයි. කළමනාකරණයට කිසිදු දක්ෂතාවක් නෑ. තියෙන්නේ විකුණන්නයි බදු ගහන්නයි විතරමයි. බදු ප්‍රතිපත්ති හදන්නේ. රටේ ආදායම කළමනාකරණය කරන්නේ කෙසේද කියන චේතනාවෙන් නෙවෙයි ඔවුන්ගේ හෙන්චයියලාට වාසියක් දෙන්න පුළුවන් හැටියටයි. ගෝඨාභය වැට් බද්ද අඩු කරනවා. එකෙන් රටේ පුරවැසියාට ආපු වාසියක් නෑ. ඒ වාසිය ගත්තේ ව්‍යාපාරිකයන් දැන් ඒ අයම කියනවා ලොකු වැරද්දක් කළා. දැන් බදු වැඩි කරන්න ඕනි කියලා. සමාජ ආරක්ෂණ බද්දකුත් පනවලා ඒ බද්ද ජනතාවගේ කරමත තමයි පැටවෙන්නේ. ඊට අමතරව මාසිකව ලක්ෂයකට වඩා ආදායම තියෙන සියලු දෙනාම බදු ගෙවන්න වෙනවා.
මෙවැනි බද්දක් ජනතාව මත පටවනවා නම් ඒ බද්දෙන් ජනතාවට නැවත ලැබෙන්නේ මොනවාද කියලා අහන්නත් පුරවැසියාට අයිතියක් තියෙනවා.
මේ අය කියනවා වෙන රටවල බදු ගහන්නේ මෙහෙමයි කියලා. ඒ රටවල්වලට ගිහිල්ල බලන්න ඒ අයගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය පිළිබඳව ප්‍රතිපත්තිය එම රටවල දේශපාලකයෝ හැසිරෙන විදිහ. ඒ නිසා ඒ රටවල ජනතාව බදු ගෙවන එක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. මොකද එයට සමානව සේවාවන් ඔහුනට ලැබෙනවා. දූෂණය, වංචාව, අසීමිත වරප්‍රසාද මේ පාලකයන් බුක්ති විඳිනකම් පුරවැසියා මොකටද බදු ගෙවන්නේ.
ඒ නිසා ඔහුනට කිසිදු අයිතියක් නෑ පුරවැසියාට කියන්න බදු ගෙවන්න කියලා.
මේ අයගේ යුගය අවසන් කරන ඕනි. තවදුරටත් කූඩැල්ලෝ වගේ ජනතාවගේ ලේ උරා බොන්න දෙන්න බෑ .
අපි මැතිවරණය ඉල්ලන්නේ ඒක නිසයි. පාර්ලිමේන්තුවට හෝ පළාත් සභාවලට පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් තෝරා පත් කර ගත හැක්කේ මැතිවරණයකින් පමණයි. මේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හැකි වන්නේ එයට ගැළපෙන පාර්ලිමේන්තු බලයක් ලැබුණොතින් විතරයි. හැබැයි මේ පාලකයෝ මැතිවරණයක් නම් දෙන්නේ නෑ. මොකද සෑම සමීක්ෂණයකින්ම පෙන්වාදී තිබෙන්නේ ජනතාව එකතුවෙමින් සිටින්නේ ජාතික ජන බලවේගය වැඩක් සමඟ කියලා.