(-‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී ගම්පහ දිස්ත්‍රික් ජනතා රැලිය – 2024.11.11 – ගම්පහ නගර සභා පිටිය-) නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පවත්වනවා. මොකක් වෙයිද? මම දවස් දෙක තුනකට කලින් කිවුවා මේ ඡන්දය දිනනවා. ඇඬෙන්න දිනනවා කියලා. මම දැක්ක දිනන්න කලින්ම කට්ටිය අඬනවා. අඬන්න ඕනෑ. මේ රටට කරපු අපරාධයට. ජනතාව දුක් පීඩාවන්ට හෙළීමට එයාලා අඬන්න […]
(-‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී ගම්පහ දිස්ත්‍රික් ජනතා රැලිය – 2024.11.11 – ගම්පහ නගර සභා පිටිය-)
නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පවත්වනවා. මොකක් වෙයිද? මම දවස් දෙක තුනකට කලින් කිවුවා මේ ඡන්දය දිනනවා. ඇඬෙන්න දිනනවා කියලා. මම දැක්ක දිනන්න කලින්ම කට්ටිය අඬනවා. අඬන්න ඕනෑ. මේ රටට කරපු අපරාධයට. ජනතාව දුක් පීඩාවන්ට හෙළීමට එයාලා අඬන්න ඕනේ. තවම අඬන්න පටන් ගත්තේ නැහැ. මේ රටේ දේශපාලන බලය තිබුණේ පවුල් කිහිපයක් අතේ. සාමාන්‍ය පුරවැසියන් නොසැලකිල්ලට භාජනය කරමින් ඔවුන් රට පාලනය කරගෙන ගියා. දශක හතකට වඩා වැඩි කාලයක් ඔවුන් විරාජමානව මේ රට පාලනය කළා. ඒ පැරණි දූෂිත ප්‍රභූ යාන්ත්‍රණය යටතේ තිබුණු බලය සැප්තැම්බර් 21වැනිදා පොදු ජනතාව අතට මාරු වුණා. එම බල හුවමාරුවේදී විශාලතම පිම්ම අරන් දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනුයි. එය සාමාන්‍ය බල හුවමාරුවක් නොවෙයි. අපේ රටේ දේශපාලන බලය තාත්තා, බිරිඳ, දුව පාලනය කරපු කාලයක් තිබුණා. තව කාලයක තාත්තලා පුතාලා අතේ දේශපාලන බලය තිබුණා. තව කාලයක මාමලා බෑනලා අතේ දේශපාලන බලය තිබුණා. තව කාලයක අයියලා මල්ලිලා අතේ දේශපාලන බලය තිබුණා. ඒ දූෂිත ප්‍රභූ යාන්ත්‍රණයෙන් පොදු ජනතාවගේ අතට බලය මාරු කරන්නම් මේ රටේ ජනතාව සමත් වුණා.
ඔවුන්ගේ ජීවිත කාලය ඇතුළත මෙවැනි ඉරණමකට ලක්වේ යැයි ඔවුන් කිසිදා හිතන්න නැතුව ඇති. ඔවුන් හැමදාම හිතුවේ තමන්ගේ පවුලෙන් අනෙකාගේ පවුලට සිදුවන බල පෙරළියක් විතරයි. ඒ නිසා අද ඔවුන් විශාල වේදනාවකට, කෝපයට පත්ව සිටිනවා. මූණ කාගේද බලන්නේ නැතුව ටීවී එක දිහා බලාගෙන ඇහුවොත් මේ දවස්වල කියන්නේ එකම කතාවක්. මොකක්ද ඒ කතාව. සති තුනකින් ආණ්ඩුව වැටෙනවා කියලා. අවුරුද්දයි ආණ්ඩුව වැටෙනවා කියලා. මේ ආණ්ඩුවට පුරුදු නෑ කියලා. ලකුණු ගොඩයි, මූණු ගොඩයි, පාට ගොඩයි. හැබැයි එකම කතාව. එයාලට මේ පරාජය දරාගන්න බැහැ. ඒගොල්ලෝ පරාජයෙන් කම්පනයට පත් වී සිටිනවා. ගම්පහ දේශපාලන බලය හසුරවපු හැටි ඔබ දන්නවා. මිනුවන්ගොඩ පැත්තේ දේශපාලන බලය හසුරවපු අය අද ඡන්දෙ ඉල්ලන්නෙත් නැහැ. සමහරු හිතනවා මේ පාලනය බිඳ වට්ටන්න පුළුවන් කියලා. මේ රට ගොඩනැගීමකින් තොරව අපි බලය අත්හරින්නේ නැහැ.
සමහරු 77 ඉඳන් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ අයට මේ පරිවර්තනය දරාගන්න බැහැ. මේ පරිවර්තනය බිඳ දැමීමට ඒගොල්ලෝ කල්පනා කරනවා. ජනතාව කල්පනා කරන්නේ රට දියුණු කරන්නයි. ඒ නිසා සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඡන්දය නොදුන් විශාල ප්‍රමාණයක් නොවැම්බර් 14 වැනිදා ඡන්දය ලබා දෙනවා. විපක්ෂයේ කල්පනාව ලංකාව වට්ටන්න. ජනතාවගේ කල්පනාව රට දිනවන්නයි. අපි ඒ අයට අභියෝග කරනවා සැප්තැම්බර් මාසේ 21වැනිදා ගත්ත ඡන්ද ප්‍රමාණවත් ලබා ගන්න කියලා.
මම ඊයේ හිටියේ යාපනය දිස්ත්‍රික්කයේයි. ඒ ජනතාව දීර්ඝ කාලයකට පසුව අපිව වැළඳගෙන තිබෙනවා. සහෝදරයෙක් පණිවිඩයක් එවා තිබෙනවා ඊයේ යාපනයට අවුරුදු වගේ කියලා. උතුරු, දකුණු නැගෙනහිර භේදයකින් තොරව පොදු ජනයාගේ බලාපොරොත්තු අපේ පාලනය කෙරෙහි තබා තිබෙනවා. පැරණි පාලකයාට තිබෙන්නේ මේ රට වට්ටන්නේ කොහොමද කියන බලාපොරොත්තුවයි. ඒ අය කොච්චර ප්‍රතික්ෂේප වෙලාද කියනවා නම් ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද රැස්වීමක් තිබ්බේ නැහැ. එයාලා සැප්තැම්බර් 21වැනිදා ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට විශාල අවලාද නැගුවා. අද ඒවා අසත්‍ය බවට පත්වෙලා තිබෙනවා. ජනතාවගේ අපේක්ෂාවන් බිඳ වැටෙන්න ඉඩ නොදී ජයග්‍රහණයකින් කෙළවර කිරීම අපේ අරමුණයි.
දේශපාලන බලය කේන්ද්‍ර වී තිබෙන්නේ පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ ප්‍රාදේශීය සභාව තුළයි. මේ බල ව්‍යුහයන් ඇතුලේ සමීපව දේශපාලන නායකත්වයක් ලබාදීම අවශ්‍යයි. ඒ සඳහා ජාතික ජන බලවේගය කණ්ඩායම් මේ දේශපාලන ව්‍යුහය තුළට ඇතුළත් කළ යුතුයි. අපි පසුගිය දින 48ක කාලය තුළ සිදු කළේ, මේ රට අස්ථාවරභාවයට වැටෙන්න ඉඩ නොදී පවත්වාගෙන යාමයි. රට ඉදිරියට ගෙන යාමට ඉහත කී දේශපාලන ව්‍යුහය සඳහා සමීප දේශපාලන නායකයන් ඇතුළත් කළ යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුවට පිරිස් යැවිය යුතුයි. ඒ වෙනුවෙන් මාලිමාවෙන් මේ පාර්ලිමේන්තුව පිරවිය යුතුයි.
එතකොට කට්ටිය කියනවා අපිට හරි පාර පෙන්වන්න ඒගොල්ලොත් පාර්ලිමේන්තු එවන්නලු. ඇති තරම් කැලෑ පාරවල්වල ගිහිල්ලා දැන් කියනවා අපිට හරි පාර පෙන්නන්න පාර්ලිමේන්තු යවන්නලු. මේවා දුකට කියන කතා. මේ පාර හදන්න ඕනෑ ශක්තිමත් ආණ්ඩුවක්. මේ පාර පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරවිය යුත්තේ ඒ නිසයි.
අපේ රටේ දේශපාලනයට ප්‍රමිතියක් අවශ්‍යයි. අපේ රටේ දේශපාලකයා බලය ලැබුනහම රිසි රිසිසේ ජනතා මුදල් පාවිච්චි කර තිබෙනවා. වාහන ආනයනය කිරීම තහනම් කාලයේ ඒ අයට වාහන ගෙන්වන්න පුළුවන්. ඒ අය හිතු හිතු දේ කරනවා. එයාලට ලියාපදිංචි නොකර වාහන පාරේ පදවන්න පුළුවන්. එම දේශපාලන අධිකාරියේ හිතුවේ තමන්ට රිසි රිසි දේ කිරීමට දේශපාලනය බලය ලැබී තිබෙනවා කියලයි. තමන්ට හිතුනාම කාබනික එළවලු කන්න ඕනේ කියලා නුවරඑළියේ ජනාධිපති මන්දිරයේ ඉඩමේ මිනිස්සු දාලා එළවළු වගා කරනවා. ජනාධිපති කාර්යාලයේ වාහන 863ක් තියෙනවා. ජනාධිපති ධූරය අතහැර යනකොට වාහනත් අරගෙන යනවා. සේවකයොත් අරගෙන යනවා. ඔවුන් හැමදාම හිතාගෙන හිටියේ ඔවුන්ට රිසිරිසි දේ කරන්න පුළුවන් කියලා.
ජාතික ජන බලවේගය ආණ්ඩුව අපේ රටේ දේශපාලනය ප්‍රමිතිගතකරණය කරනවා. කප්පම් දේශපාලනය නවතා දැමීමට කටයුතු කරනවා. දේශපාලනය පිරිසිදු කරනවා. දේශපාලන පිරිසිදු කරන්න ආරම්භක තැන පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමයි. දැනට තිබුණ පාර්ලිමේන්තුව එහෙට මෙහෙට විකිණෙන පාර්ලිමේන්තුවක්. සභා ගර්භය මැද එකිනෙකා රණ්ඩු කරන පාර්ලිමේන්තුවක්. පාසල් දරුවන්ට නැරඹිය නොහැකි පාර්ලිමේන්තුවක්. එහෙම පාර්ලිමේන්තුවක් මේ රටට ඕනෙද?
අප හදන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නත් පාර්ලිමේන්තුව පිරිසිදු කරන්නත් පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරවිය යුතුයි.
මලිමාවෙන් මේ ඉදිරිපත් කර තියෙන කණ්ඩායම හැමදාම ජනතාවගේ පැත්තෙ ඉඳලා සටන් කරපු කණ්ඩායමයි. ඉඳ හිට හරි අනෙක් පැත්තෙන් කෙනෙක් එවනවා නම් එයත් අලුත් කෙනෙක් එවන්න. පරණ නරක ඇබ්බැහි වුණු දේශපාලන චරිත පාර්ලිමේන්තුවට එවීමෙන් පාර්ලිමේන්තුව අපිරිසිදු විය හැකියි.
දැනටමත් අපි තුන්දෙනාගේ ආණ්ඩුව වැදගත් තීරණ කිහිපයක් ගැන තිබෙනවා. මේ රටේ ආර්ථික හීන් නූලකින් ගැටගහලා තියෙන්නේ. ඒ නිසා මෙය සීරුවෙන් පියමන් කරගන්න ඕනෑ. ඒ නිසා අපි අධ්‍යයනයකින් යුතුව ආර්ථිකය සමනය කරමින් සිටිනවා. ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩසටහන මේ වෙනවිටත් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. දෙසැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක් සමග තුන්වන සමාලෝචනය සිදු කරමින් තිබෙනවා. ආර්ථිකයේ සැලකිය යුතු ස්ථාවරභාවයක් එවිට අපිට අත්පත් කරගන්න පුළුවන්. දෙසැම්බර් මාසය වන විට ඉදිරි මාස හතර සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා. ලබන වසරේ ඉදිරිපත් කරන අයවැය මගින් ආර්ථික නව දිශානතියක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපි විශ්‍රාමිකයන්ගේ දීමනාව රුපියල් 3000ක් වැඩි කර තිබෙනවා. අස්වැසුම තව ලැබිය යුතු කණ්ඩායමක් සිටිනවාද කියා සමාලෝචනය කරමින් තිබෙනවා. ඊළඟ අයවැයෙන් උපයන විට බද්ද සාධාරණ අඩු කිරීමකට ගෙන එනවා. ආහාර පාන කිහිපයක වැට් බද්ද ඉවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ආදායම් මාර්ග අහිමි පවුල් වල දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා යම් දීමනාවක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ලබන පාසල් වාරය ආරම්භ කිරීමට පෙර එම දීමනාව ලබාදෙනවා. කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාව වෙනුවෙන් රුපියල් 15,000ක පැවැති පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කර තිබෙනවා. ධීවරයන්ට ඉන්ධන සහනාධාරය ලබාදී තිබෙනවා. සහනාධාර දීමනාවන් හැමදාම දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන් වනතුරු යම් දීමනාවක් යම් සහනාධාරයක් ලබාදීමට අප කටයුතු කරනවා.දුප්පත්භාවයෙන් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘති අපේ ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ආර්ථික, අධ්‍යාපනික වැඩපිළිවෙක් සකස් කිරීමට කටයුතු කරනවා.
‘පිරිසුදු ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ හැම අතින්ම පිරිසිදු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. කඩේකට ගියාම හොඳ ආහාර වේලක් ගැනීමේ හැකියාව, පාරෙන් පලතුරු එළවළු ගන්නවනම් එහි ප්‍රමිතිය පිළිබඳව විශ්වාසය, මිනිස්සුන්ට ජරාව කන්න දෙන එක නවත්වනවා. රට පුරා පිරිසිදු වැසිකිලි පද්ධතියක් නිර්මාණය කිරීම, විනයගරුක සමාජයක් ඇති කිරීම, පරිසර පද්ධතිය ආරක්ෂාව මෙම වැඩසටහන යටතේ තිබෙනවා. ‘පිරිසිදු ශ්‍රී ලංකා’ යටතේ ක්‍රියාත්මක කරනවා. කුණු ප්‍රතිචක්‍රීය කිරීම සඳහා කර්මාන්ත ශාලා ඇති කරනවා. මේ කලාපයේ පිරිසුදුම රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා. ඒ සඳහා අරමුදලක් ස්ථාපිත කරනවා.
ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය පිළිබඳ විශාල සැලසුමක් ඉදිරිපත් කර තිබෙනවා. දැනට අපේ රටේ රාජ්‍ය සේවය පවතින්නේ මීට දශක දෙකකට පෙර තිබෙන තැනකයි. තවමත් අපේ රටේ උප්පැන්න, ඔප්පු ලබා ගන්න රජයේ ආයතනවල පෝලිමේ ඉන්නවා. මේක දශක දෙකක පෙර ලෝකයයි. ඒ නිසා පෝලිමක් නැතිව ගෙදර සිට පුරවැසියෙකුට තමන්ගේ ඉල්ලීම රජයෙන් කළ හැකි පරිදි ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා. ඉදිරි වසර තුන ඇතුළත ලංකාව ඩිජිටල්කරණය කරනවා. මේ සඳහා හාන්ස් විජයසූරිය මහතා ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට ඉදිරිපත් වී තිබෙනවා. වැටුපක් ගැනීමකින් තොරව එතුමා වැඩ කරනවා. හොඳ මිනිස්සු ආවහම හොඳ මිනිස්සු එකතු වෙනවා.
සංචාරක කර්මාන්තය ආර්ථිකය සංවර්ධනය කරන හොඳ විභවතාවයක් පවතින ක්ෂේත්‍රයක්. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ලබන වසර ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණෙන වසර බවට පත් කරනවා. මේ සම්බන්ධයෙන් හෝටල් හිමිකරුවන් සමඟද සාකච්ඡා පවත්වා තිබෙනවා.
මේ රට නීතියේ විධානයේ ආධිපත්‍යයට යටත් කරනවා. ඉහළ සිට පහළ පුරවැසියා දක්වාම මේ රටේ නීතියට යටත්. මත්ද්‍රව්‍යයෙන් තොර රටක්, අපරාධවලින් තොර රටක් අප නිර්මාණය කරනවා. රාජ්‍ය දේහය පුරා පැතිරී තිබෙන වංචාව දූෂණය ජාතික ජන බලවේගය විසින් අවසන් කරනවා. ජාතික ජන බලවේගය කණ්ඩායම තමන්ගේ පෞද්ගලික වුවමනාවක් නිසා දේශපාලනය කරන්නේ නැහැ. ණය ගෙවා ගන්න බැරුව, බංකොලොත්භාවයට පත්වී තිබෙන මේ රට ලෝකයේ දියුණුම රාජ්‍යයක් බවට ජාතික ජන බලවේගය විසින් පත් කරනවා.
මෙච්චර කල් දේශපාලකයා කියන චරිතය පිළිබඳව ජනතාව හිතන් හිටපු ආකාරය වෙනස් වී තිබෙනවා. ජනාධිපති කියලා ලොකු ලෝගු පෙරවාගෙන හිටියේ. දැන් ජනතාවට තේරෙන්න ගන්නවා ජනාධිපතිවරයා, ඇමතිවරයා, මන්ත්‍රීවරයා කියන්නෙත් පොදු ජනතාව සමග වැඩ කරන මිනිස්සු කියලා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වැදගත්ම තීන්දුව ගන්න තියෙන්නේ නොවැම්බර් මාසයේ 14වැනිදායි. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
“ජාතික ව්‍යාපාරයක් සමඟ එක් වී කටයුතු කිරීමට අවස්ථාව ලැබීම ආඩම්බරයක්”
-විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර-
ද්වේෂසහගත, අසත්‍ය සහ භීෂණකාරී චෝදනා අපට එල්ල කර තිබුණු අවස්ථාවක ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙන්න විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය හැටියට අප විශාල දායකත්වයක් ලබා දුන්නා. පෞද්ගලිකව මාව ජනාධිපතිවරණයට පෙර සිටි ඇතැම් බලවේග විසින් හැඳින්වූයේ ත්‍රස්ත කල්ලියක නායකයෙක් හැටියටයි. වවුනියාව, ත්‍රිකුණාමලය ඇතුළු සියලුම දිස්ත්‍රික්කවල පාහේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 50,000ක් පමණ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් සමඟ ඉතාමත් ක්‍රියාකාරීව කටයුතු කරනවා. සැප්තැම්බර් 22 වැනිදා භික්‍ෂුන් ඝාතනය කර මහා ලේ විලක් ඇති කිරීමේ ත්‍රස්ත කල්ලියක නායකයෙක් ලෙස මාව හැඳින්වූවා. අපට තිබෙන්නේ, පණ අදින මිනිසුන්ට අපේ අතින් පණ දෙන්න ගිනි ගන්න තැන ගිනි නිවන්න යෙදවූ දෑත්. යුද්ධය නිමා කළ පසුත් පන්සල්, පල්ලි, කෝවිල් ගොඩනඟන්න වෙහෙස වුණු දෑත් අපට තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් සියුම් ආඩම්බරයක් අපට තිබෙනවා. රට වට්ටා තිබෙන අවස්ථාවක මෙවැනි ජාතික ව්‍යාපාරයක් සමඟ එක් වී කටයුතු කිරීමට අවස්ථාව ලැබීම ගැන සියුම් ආඩම්බරයක් තිබෙනවා.
දශක ගණනාවක් පුරා රටට කළ හැකි සියලුම අපරාධ සිදු කළ පිරිස් විසින් හෙළන ලද ප්‍රපාතයෙන් මේ රට ගොඩගැනීමේ කටයුතු දැන් ආරම්භ කර තිබෙනවා. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය සහ සාමකාමීම බලහුවමාරුව සිදු කරමින්, ජාතික ජන බලවේගයේ විනය රට හමුවේ ඔප්පු කර තිබෙනවා. අප වාගේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් එක් වී සිටින්නේ එවැනි විනයක් සහිත ව්‍යාපාරයක් සමඟයි. ඝාතන රැල්ලක්, මත්කුඩු ඇතුළු ජාවාරම්කාරී රැල්ලක්, කාන්තා හිංසන ඇතුළු අනාරක්‍ෂිත රට නැවත ආරක්‍ෂිත කිරීමට අප කැපවීමෙන් ක්‍රියා කරනවා. මේ රටට අවංකව වැඩ කරලා, කැපවීමෙන් වැඩ කර ලබා ගත් අත්දැකීම් රැසක් ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයන් සියලු දෙනාටම තිබෙනවා. ඒ අත්දැකීම් සමඟින් අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න දේශපාලන නායකත්වය දිය යුතු කණ්ඩායමක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් උපරිම ඡන්ද ලබා දී පත් කර ගනිමු කියලා ඉල්ලා සිටිනවා.
“සුදු රෙදි හොරුන්ට රැවටුණු කාන්තාවන් 2023දී ‘ගැහැනු අපි එකමිටට මාලිමාවට’ එකතු වූවා”
-ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විධායක සභික, මහා මැතිවරණ අපේක්‍ෂිකා හිමාලි වීරසේකර-
අද අපට දේශපාලන පිටියේ තරග කරන්න කිසිවෙක් නැහැ. ඒ වාගේම ආණ්ඩුව පිහිටුවන්න මාලිමාව හැර වෙන කිසිවකු ඇත්තෙත් නැහැ. මේ දක්වා වෙනත් පක්‍ෂවලට ඡන්දය දුන් ගම්, දනවු පිටින් රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට එක්වෙමින්, ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ වෙනුවෙන් ක්‍රියා කරන්න පෙරට එමින් සිටිනවා. මෙපමණ කාලයක් අපේ බහුතර කාන්තාවන් පිරිසක් සුදු රෙදි හොරුන්ට රැවටුණා. ඒ යුගය නිමා කරන්න 2023දී ආරම්භ කළ ‘ගැහැනු අපි එකමිටට’ එකතු වූවා. සක්‍රිය දේශපාලනයට අවශ්‍ය දේශපාලන ඥානය ලබා ගනිමින්, ලංකාව පුරා කාන්තාවන් තවදුරටත් ඒකරාශී වෙමින් සිටිනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින්, ගම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ඉටු කරන කාර්යභාරය ඉතිහාසයේ රන් අකුරින් ලියවේවි. එහි හැරවුම් ලක්‍ෂ්‍යයන් ලෙස සැප්තැම්බර් 21 වැනිදාත්, නොවැම්බර් 14 වැනිදාත් ලියැවෙන බව ස්ථිරයි. නොවැම්බර් 14 වැනිදා ලබා ගන්නා ශක්තියෙන් පුරවැසියාගේ වැඩ කොටස ඉටු කරමින්, ලෝකයේ කිසිම රටකට දෙවැනි නොවන රටක් හැටියට ශ්‍රී ලංකාව ඔසොවා තබමු. ජනාධිපතිවරණයේ දී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා දුන් ගම්පහ දිස්ත්‍රික්කය තව දුරටත් ශක්තිමත් කරමින්, මාතෘභූමියේ ජයග්‍රහණයට එක් වෙමු.
“උත්තරීතර පාර්ලිමේන්තුව වචනවලට සාධාරණය ඉටු කරන මිනිසුන් බහුතරයක් පාර්ලිමේන්තු යවමු”
-ප්‍රවීණ රංගන ශිල්පී, රොඩ්නි වර්ණකුල-
ගම්පහට නෑකම් කියන හෙන්රි ජයසේන නම් විශිෂ්ට නාට්‍යවේදියා බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ‘හුණුවටය’ වේදිකා නාට්‍යය මෙරටට හඳුන්වා දුන්නා. ඒ නාට්‍යයේ “දෙයක් වේ නම්, යම් සුදුස්සාටම අයිති විය යුතුයි – ගොවි දන මනා වූ දිනිය යුතු සේම ගම්බිම්” කියන පද අපටම කීවා වාගෙයි. රජරට ගොවි බිමෙන් උපන් පුතකුට මේ රටේ ගොවි බිම් පමණක් නොවෙයි, මුළු රටේම වගකීම් පවරන්න ඔබත්, මමත් පියවර ගත්තා. සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ඔබේත්, මගේත් අනුර සහෝදරයා නව වැනි විධායක ජනාධිපති ධුරයට පත් වුණා. විධායකයේ ක්‍රියාකාරීත්වය ගැන සතුටු වන අපට ඊළඟට පැවරී තිබෙන්නේ ශක්තිමත් ව්‍යවස්ථාදායකයක් පත් කර ගන්න. අපේ ජීවිත කාලය තුළ මහා මැතිවරණ කීයක් පසු කළාද? ඒ බොහෝ මැතිවරණ මැතිවරණ නොවෙයි, යුද්ධ. අපේ ආදරණීය පුරවැසියන්ට. යාන-වාහන ඇතුළු දේපොළවලට පමණක් නොවෙයි, ජීවිතවලටත් කොයි තරම් හානි සිදු කළා ද? යුද්ධවලින් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවූ පුද්ගලයන් දිහා බැලුවාම අපි මෙතෙක් කරලා තිබෙන්නේ හොඳම දූෂිතයන් පාර්ලිමේන්තුවට යැවීමයි. ඒ නිසාම දූෂිත ආයතන මඟින් රටට යහපතක් වුණේ නැහැ.
නොවැම්බර් 14වැනිදා කියන්නේ යහපත්, මහත්මා දේශපාලන සංස්කෘතියක පහස විඳිමින්, අපූරු මහා මැතිවරණයක් ලබා ගන්නා දිනයයි. ආසනයේ නැත්නම්, දිස්ත්‍රික්කයේ හොඳම මිනිසුන් තෝරා ගැනීමට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කර තිබෙනවා. උත්තරීතර පාර්ලිමේන්තුව කියන ලස්සන සිංහල වචනයට සාධාරණය ඉටු කළේ තුන්දෙනයි. ඉදිරි අනාගතයේ දී උත්තරීතර පාර්ලිමේන්තුව කියන වචනවලට සාධාරණය ඉටු කරන හොඳම මිනිසුන් විශාල බහුතරයක් පාර්ලිමේන්තුවට යවමු. ඒ වෙනුවෙන් ලොකු ගැම්මක් ගම්පහෙන් ලබා දෙන බව ස්ථිරයි. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ කියමන තරමක් වෙනස් කර “රටක් වේ නම් යම්, සුදුස්සන්ටම අයිති විය යුතු” කියන චේතනාවෙන් අපි සියලුම දෙනා වැඩ කරමු.
“මම ජීවත් වන අයර්ලන්තය වැනි තත්ත්වයට අපේ රට ඔසොවා තබන්න ශක්තිමත් පාලනයක් ගොඩනඟමු”
-ජාතික ජන බලවේගයේ අයර්ලන්ත ශාඛාවේ විධායක සභික රුවන් සමරතුංග-
මම අවුරුදු තිස්පහකට වැඩි කාලයක් විදේශගතව ජීවත් වන අතර, එයින් අවුරුදු විස්සකට වැඩි කාලයක් අයර්ලන්තයේ ජීවත් වෙනවා. හොඳ සෞඛ්‍යයක්, හොඳ අධ්‍යාපනයක්, හොඳ ප්‍රවාහනයක් තිබෙනවා වාගේම නීතියේ විධානයේ ආධිපත්‍යය සහ ආර්ථික සාධාරණත්වය පවතින රටක්. මේ 14 වැනිදා අපි ගොඩනඟන ආණ්ඩුවෙන් අපේ රටත් ඒ මට්ටමට ගෙන යාවි කියලා මම විශ්වාස කරනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබා දුන් ශක්තිමත් අත්තිවාරම සම්බන්ධයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම ඔබ සැමට ගෞරවය පුද කරනවා. ඒ වාගේම වාර්තාගත ජයග්‍රහණයක් මේ 14වැනිදා ජාතික ජන බලවේගයට ලබා දෙයි කියලත් විශ්වාස කරනවා. මේ බලවේගය ජයග්‍රහණය කරා ගෙන යන්න නොපසුබස්නා ධෛර්යයෙන් ක්‍රියා කළ සියලු දෙනාටත් ගෞරවය පුද කරනවා.
“දෑස් පෙනෙන ඔබත් එක්ක මාලිමාවට කතිරය ගහන්න දෑස් නොපෙනෙන ලක්‍ෂ නවයක් ඡන්දපොළට එනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්‍ෂක සුගත් වසන්ත ද සිල්වා-
ජාතික ජන බලවේගය මේ වන විට ජයග්‍රහණය කර තිබෙන්නේ හැත්තෑහය වසරක යුද්ධයක්. අපෙන් බලය උදුරාගෙන, අපෙන් බලය කොල්ලකාලා, අපව දුකෙන් දුකට පත් කර සැප වින්ද දූෂිත ප්‍රභූ පංතියක දේශපාලනය අවසන් කළ යුද්ධය ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළා. ඒ නිසාම ජාතික ජන බලවේගයේ සහෝදරයෙක් විදියට මම ආඩම්බර වෙනවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මේ රටේ මා ඇතුළු ලක්‍ෂ 17ක් පමණ වන ආබාධිත ප්‍රජාව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ඇතුළු කර තිබෙනවා. පොහොසත් රටේ ලස්සන ජීවිතයක් අප හැම දෙනාටම ලබා දෙනවාය යන පොරොන්දුව යථාර්ථයක් කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන විසිනව දෙනා අතරට ආබාධ සහිත පුද්ගලයෙක් ඇතුළත් කර තිබෙනවා. එයට ස්තුතිය පළ කරමින්, දෑස් පෙනෙන ඔබත් එක්ක දෑස් නොපෙනෙන ලක්‍ෂ නවයක් ඡන්ද පොළට ඇවිත්, මාලිමාට කතිරය ගහනවා. ඒ වාගේම ශ්‍රවණාබාධිත ලක්‍ෂ ගණනක් දෙනා මාලිමාවට කතිරය ගහන්න එකතු වෙනවා. බුද්ධිවර්ධන ඌණතා තිබෙන පිරිසත් එකතු වෙනවා. ඔවුන් මේ දක්වා තහවුරු කර තිබෙන විශ්වාසයේ ක්‍රියාමාර්ගවලට තවදුරටත් ශක්තිමත් වෙමින්, සියනෑ කෝරලයේ ජනතාව 14 වැනිදා තවත් විශාල බලයක් ලබා දෙනවා. පොහොසත් රටක් අපි බලාපොරොත්තු වෙනවා. පොහොසත් රටක් නම්, ඒ රට ශිෂ්ටසම්පන්න වෙන්න ඕනෑ. අපේ ආබාධිත බව උසුලුවිසුළුවලට ලක් කරන, කොන් කරන රටක් සල්ලිවලින් පොහොසත් වුණොත්, ශිෂ්ටසම්පන්න බවෙන් පොහොසත් වෙන්නේ නැහැ. ජාතික ජන බලවේගය සල්ලිවලින් වාගේම මනුෂ්‍යත්වයෙන් පොහොසත් රටක්, පිරිපුන් රටක් උරුම කර දෙන බව ඒකාන්තයි. එහෙම නම්, ඇස් නොපෙනෙන, කන් නොඇසෙන සහ වෙනත් ආබාධ සහිත ලක්‍ෂ 17කට අධික ජනතාවටත් ඔබට වාගේම ලස්සන ජීවිත උදා වෙනවා. ඒ තරම් ගැඹුරු හැඟීමක් ආබාධ සහිත ජනතාවගේ ඇති වී තිබෙනවා.
“ශිෂ්ටසම්පන්න දේශයක් ගොඩනඟා ප්‍රතිපත්තිගරුක පුරවැසියන් බිහි කරමු”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මහා මැතිවරණ ජාතික ලැයිස්තු අපේක්‍ෂිකා, මහාචාර්ය වසන්තා සුභසිංහ-
ජනතාවගේ බදු මුදල් නාස්ති කරමින්, සුඛෝපභෝගී ජීවිත ගත කළ දූෂිත දේශපාලකයන් රැළ සහ ඔවුන්ගේ සමීපතම නිලධාරී පැලැන්තියත් ඇතුළු චෞර වළල්ල මේ දක්වා රට විනාශයට ඇද දැම්මා. එය වෙනස් කරන්න නම්, දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බව අපි අවධාරණය කළා. පසුගිය අවුරුදු දෙක, තුන තුළ අපි ඔබ හමුවට ඇවිත්, මේ බව තහවුරු කර දුන්නා. අපේ දරුවන්ට බෙහෙත් වෙනුවට වතුර, වස විෂ සහිත ආහාර ලබා දෙන අතර, ඔවුන්ගේ දරුවන්ට සිංගප්පූරුවෙන්, එංගලන්තයෙන් ගෙන්වන බෙහෙත් ලබා දී, වස විෂවලින් තොර ආහාර ලබා දුන්නා. යටිතල පහසුකම්වලට, දේශීය කර්මාන්ත නඟාසිටුවීමට යෙදවිය යුතු අපේ බදු මුදල් ඔවුන් විනාශ කළ නිසා ලක්‍ෂ පනස්හතක් අන්ත දුප්පත්කමට වැටී සිටිනවා. හොරාකමින්, පරිසරය දූෂණය කරමින් අවුරුදු ගණනාවක් දූෂිත පාලනයක් ගෙන යන කොට මහජනතාවත් තම තමන්ගේ පටු අරමුණුවලට ඇදී යනවා. ඒ නිසාම අපි සතුටින් ජීවත් වුණු ජාතියක් නොවෙයි. රෑට නින්දට යන්නේ හෙට උදේට දරුවන් පාසල් යැවීම, ආහාර ලබා දීම, රස්සාවක් ලබා දීම පිළිබඳ ගැටලුවලින් පිරිලයි.
ලස්සන ජීවිත තිබෙන රටක් බවට අපේ රට ගොඩනැඟිය යුතුයි කියන අදහස වටා අපි එක් වූවා. මත්ද්‍රව්‍යවලින් තොර ආරක්‍ෂිත සමාජයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව අපි හැම දෙනාටම දැනුණා. ඒ නිසාම සැප්තැම්බර් 21 වැනිදා නිර්භීත තීන්දුවක් ලබාගෙන එය වඩාත් ශක්තිමත් කිරීමේ අවස්ථාව මේ මස 14 වැනිදාට එළැඹී තිබෙනවා. පිරිසිදු ශ්‍රී ලංකාවක් බිහි කිරීම ආරම්භ කිරීම වෙනුවෙන් පිරිසිදු දේශපාලකයන් ජයග්‍රහණය කරවා, ඊ ළඟ පියවර තබන්න අපි සියලු දෙනාම සූදානම්. ශිෂ්ටත්වය පිරි දේශපාලනයක් අපි ඇති කරමු. ශිෂ්ටසම්පන්න දේශයක් ගොඩනඟා ප්‍රතිපත්තිගරුක පුරවැසියන් බිහි කරමු.
“පැරැණි දේශපාලනයට සමු දී නව පුනරුද යුගයක් වෙනුවෙන් පෙළගැසෙමු”
-ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්, ගම්පහ දිස්ත්‍රික් අපේක්‍ෂක මහින්ද ජයසිංහ-
දේශපාලන පරිවර්තනවල දී සුවිශේෂී කාර්යභාරයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉටු කර තිබෙනවා. සැප්තැම්බර් 21 සිදු කළ පරිවර්තනයේ දී වැඩිම දායකත්වයක් දැක්වූ ගම්පහ දිස්ත්‍රික්කය මෙම මස 14 වැනිදා තවත් පෙරළිකාරී, විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙනවා. ගම්පහ කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, අපනයන කර්මාන්තය වාගේම සංචාරක කර්මාන්තය සහ ක්‍රීඩාව, අධ්‍යාපනය සම්බන්ධයෙන් නම් දරාපු දිස්ත්‍රික්කයක්. අපේ රට ගොඩනැඟීමේ දී සුවිශේෂී දායකත්වයක් මේ දිස්ත්‍රික්කයෙන් ලබා දිය හැකි බව එයින් පැහැදිලියි. පන්, ගිනිකෙළි, පිත්තල, මැටි වාගේම සාම්ප්‍රදායික ලෝහ කර්මාන්තයත් මේ දිස්ත්‍රික්කයට කේන්ද්‍රගත වී තිබෙනවා. ඒ කර්මාන්ත ගොඩනඟන්න පසුගිය පාලන කාලවල දී කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. ගම්පහ දිස්ත්‍රික්කය ගොඩනඟන සංවර්ධන සැලැස්ම සකස් කර අවසන්. එහි දී සාම්ප්‍රදායික කර්මාන්තවල වැදගත්කමත් මූලිකව අරගෙන තිබෙනවා. ඊට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඉහළට ඔසොවා තබා සියනෑ ජනතාවගේ ආර්ථිකය ඉහළට ගෙන ඒම වෙනුවෙන් අප කටයුතු කරනවා. මේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහල් හතරක් පිහිටා තිබුණත්, අත්‍යවශ්‍ය මූලික පහසුකම් කිසිවක් ලබා දී නැහැ.
අපේ දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම තුළ අංග සම්පූර්ණ රෝහල් බවට සංවර්ධනය කරනවා. ක්‍රීඩාව පැත්තෙන් ගත්තත්, ඉහළින්ම ඔසොවා තැබිය හැකි පිරිසක් වෙනුවෙන් අපේ ක්‍රියාමාර්ග දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට අසාධාරණයට ලක් වී සිටින සණස තැන්පත්කරුවන් ඇතුළු පිරිසගේ ගැටලු විසඳන්නත් අපි සැලැසුම් කර තිබෙනවා. ‘සියනෑව’ කියන්නේ සියක් නෑයන් සිටින දිස්ත්‍රික්කයක්. දමිළ සහ මුස්ලිම් ප්‍රජාවත් නියෝජනය කිරීමේ අපේක්‍ෂකයන් අප ඉදිරිපත් කර සිටිනවා. මේ සියලු දෙනා අතුරින් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් වැඩිම නියෝජිතයන් පිරිසක් තෝරා පත් කර යවමු. පැරැණි දේශපාලනයට සමු දී නව පුනරුද යුගයක් වෙනුවෙන් අපි හැම දෙනාම පෙළගැසෙමු. ඒ වෙනුවෙන් මාලිමාවට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
“අපි හිටගන්නේ ජාතික ජන බලවේගය සමඟයි කියන පණිවුඩය ගම්පහ ජනතාව විසින් ලබා දී තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ගම්පහ දිස්ත්‍රික් අපේක්‍ෂක මවුලවි මුනීර් මුලෆ්ෆර්-
මේ රට විනාශ කළ දූෂිතයන් පාර්ලිමේන්තුවට නැවත නොයවන ලෙස මෙතැනට නොපැමිණ සිටින සියලු ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. මේ රට විනාශ කිරීමට මූලික වූ පුද්ගලයන් වෙනත් පක්‍ෂවලින් වාගේම ස්වාධීන කණ්ඩායම්වලිනුත් ඉදිරිපත් වී සිටිනවා. මොන වෙස්මුහුණු බැඳගෙන ආවත්, අපි රැවටෙන්නේ නැහැ. අපි හිටගන්නේ, අපි යන්නේ ජාතික ජන බලවේගය සමඟයි කියන පණිවුඩය ගම්පහ ජනතාව විසින් ලබා දී තිබෙනවා. විදේශගත වී සිටින ආදරණීය ශ්‍රී ලාංකිකයන් පසුගිය ජනාධිපතිවරණයේ දී මහත් ශක්තියක් ලබා දුන්නා. ඔවුන් එයින් ඔප්පු කළේ ඔවුන්ගේ හදවත හැම විටම මේ මහ පොළොවත් එක්ක බද්ධ වී තිබෙන බවයි. ඔවුන් හැම අවස්ථාවකදීම මේ රට හොඳ, යහපත්, නිවැරැදි තැනකට පත් කරන්න කල්පනා කරන බවයි. ඒ නිසාම ස්වේච්ඡාවෙන් තමන්ගේ මුදල් වියදම් කරගෙන පැමිණියා. එසේ පැමිණිය නොහැකි අය ඔවුන්ගේ ඥාති, මිත්‍රාදීන් දැනුම්වත් කර ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කළා. සිංහල, දෙමළ, මුස්ලිම් වාගේම බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික සියලුම දෙනා එක් වී ශ්‍රී ලාංකිකයි කියන රටක් අපි ගොඩනඟමු. අපි මාලිමාවේ එකට මේ මැතිවරණයට මුහුණ දෙමින්, මේ දක්වා ගොඩනඟා තිබුණු දේශපාලන සංස්කෘතිය වෙනස් කර තිබෙනවා. අපි ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනඟන්න කැප වී ක්‍රියා කරමු.
“ජාතික සමඟියේ සහ ජාතික විමුක්තියේ ආණ්ඩුව බිහි කර ගනිමු”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක, අමාත්‍ය විජිත හේරත්-
පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මුළු රටම පාලනය කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ අප තුන්දෙනෙක් අතට. කැබිනට් ඇමැති, රාජ්‍ය ඇමැති, නියෝජ්‍ය ඇමැති වාගේම කාර්යභාරයක් නොමැති ඇමැති කියලත් ඇමැතිවරුන් එකසිය ගණනක් හිටියා. ඒ ජාතියේ ඇමැතිවරුන් නැවත සදහටම බිහි කරන්නේ නැහැ. ඒක මේ රටේ ජනතාව ලැබූ එක් ජයග්‍රහණයක්. අද මැතිවරණ ප්‍රචාරක කටයුතුවල අවසන් දවස. මැතිවරණයක් තිබෙනවාද කියලාවත් දැනගන්න නැහැ. ඉස්සර නම් කොහොමද? මැතිවරණයේ අන්තිම දවස් වෙන කොට ප්‍රතිවාදීන්ට එරෙහිව යුද්ධ කරනවා වාගේම එකම පක්‍ෂයේ හාදයෝත් මනාපවලට යුද්ධ කර ගන්නවා. ඉතිහාසයේ පළමු වතාවට මෙවැනි නිදහස්, සාධාරණ, සාමකාමී මැතිවරණයක් පවත්වන්න ලැබී තිබෙන්නේ මාලිමාවට ඔබ එදා ලබා දුන් කතිරයේ ප්‍රතිඵලය ලෙස ජනතාවට ජයග්‍රහණ ලැබීමෙනුයි. ඒ විතරක් නොවෙයි, ඇමැතිවරුන්, ඔවුන්ගේ ගෝලබාලයන්, පවුලේ අය, ඥාති මිත්‍රාදීන් පාවිච්චි කළ වාහනවල නාස්තිකාර වියදම් සියල්ල නතර වී තිබෙනවා. ඒකත් ජනතාව ලැබූ ජයග්‍රහණයක්. මේ සති හයට ජනතාවට සහනාධාර දීම ඇතුළු ගොඩක් දේවල් සිදු කර තිබෙනවා. අවුරුදු පහක වැඩ ආණ්ඩුව පිහිටුවා තවදුරටත් වේගවත් කරනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස කීවේ, මාලිමාව ජයග්‍රහණය කළහොත්, ඩොලර් එක රුපියල් හාරසියයට නඟින බවයි. දැන් තිබෙන්නේ දෙසිය අනූතුනට. මාලිමාවේ ආණ්ඩුව යටතේ රුපියල ඩොලරයට සාපේක්‍ෂව සියයට දහයකින් ශක්තිමත් වී තිබෙනවා. අප යටතේ කඩාවැටෙනවා කී කොටස් වෙළෙඳපොළ පසුගිය නොවැම්බර් පළමුවැනිදා මේ වසරේ ඉහළම වර්ධනය අත්පත් කර ගත්තා. අයි.එම්.එෆ්. නියෝජිතයන් එක්ක සාකච්ඡා කරමින්, බදු බර අඩු කරන්න, වැටුප් වැඩි කරන්න අදාළ සැලසුම් සකස් කරමින් සිටිනවා.
අපේ පාලනයක් යටතේ ජාත්‍යන්තර සහයෝගය ලැබෙන්නේ නැහැ කියලා ප්‍රචාරයක් යැව්වා. නමුත්, මේ වන විටත් ඉන්දියාව, චීනය, ඇමෙරිකාව, ජපානය විතරක් නොවෙයි, මැදපෙරදිග සහ ඇමෙරිකානු රටවල් මෙන්ම අප්‍රිකානු රටවල් සමඟ පවා ඉතාම හොඳ සම්බන්ධතා පවත්වාගෙන යනවා. අපේ පාසල් දරුවන්ට නොමිලේ නිල ඇඳුම් ලබා දෙන්න චීන රජයෙන් අවශ්‍ය ආධාර හැටියට රුපියල් කෝටි 520ක් ලබා දී තිබෙනවා. පෑලියගොඩ, මොරටුව, කොට්ටාව ඇතුළු ප්‍රදේශ රැසක අඩු අදායම්ලාභී පවුල් සඳහා නිවාස 1,996ක් නොමිලේ ඉදි කර දීමේ ව්‍යාපෘතිය අද උදේ ආරම්භ කළා. ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 200ක ආධාරයක් ලබා දෙන්න පොරොන්දු වී තිබෙනවා. ඉන්දියාවත් නව ව්‍යාපෘති ගණනාවක් වෙනුවෙන් ආධාර කරන්න පොරොන්දු වී සිටිනවා. නතර කර තිබූ ව්‍යාපෘති ගණනාවක් ජපානයෙන් ආරම්භ කරන්න සූදානමින් සිටිනවා. මහනුවර ජලසම්පාදන ව්‍යාපෘතිය, ගුවන්තොටුපොළ ඉදි කිරීම, රූපවාහිනී ඩිජිටල්කරණය ඒ අතුරින් මූලිකයි. ඒ වාගේම ගම්පහ නගරය ජලගැල්මෙන් මුදා ගන්න ලබන අවුරුද්දේ අයවැයෙන් රුපියල් මිලියන 7,500ක් යොදවන්න සැලසුම් කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු සංවිධාන නිවැරදිව කළමනාකරණය කර ගනිමින්, රටට වාසිදායක ලෙස ඉදිරියට ගෙන යනවා.
රටක් ලෙස ජනතාවාදී ක්‍රියාමාර්ග වේගයෙන් ඉදිරියට ගෙන යන්න ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍යයි. ඉන් පසුව ලබන වසරේදී ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වනවා. පළාත් සභා මැතිවරණත් පවත්වනවා. පළාත් පාලන වාගේම පළාත් සභා මැතිවරණත් ජයග්‍රහණය කර ජනාධිපති, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල අලුත්ම අලුත් මාලිමාවේ කණ්ඩායමකින් පිරිසිදු කිරීම් ආරම්භ කරනවා. ඒ නිසා රනිල්ලා, සජිත්ලා කියූ බොරු හෙළි වී අවසන්. ශක්තිමත් කරන්න විපක්‍ෂයක් ඉතිරි වෙලත් නැහැ. දැන් තිබෙන්නේ දුක් විඳින ජනතාවගේ අපේක්‍ෂාවන් ඉටු කරමින්, ජයග්‍රහණ ලබාගෙන මාලිමාවේ බලය තහවුරු කිරීමයි. නොවැම්බර් 13 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ නායක, සදාදරණීය රෝහණ විජේවීර සහෝදරයාත් ඇතුළු වීරෝදාර සගයන් ඝාතනය කළත්, අවුරුදු තිස්පහකට පසුව ඒ දිවිපිදූවන්ගේ උත්තරීතර බලාපොරොත්තුව ඉටු කිරීමේ දිනය නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබෙනවා. ඒ වීරෝදාර සටන් සගයන්ට උත්තමාචාර පිරිනමමින්, මේ රට ගොඩනඟමු; ශක්තිසම්පන්නව ඉදිරියට එමු. ශ්‍රී ලාංකිකයන් ලෙස ජාතික සමඟියේ සහ ජාතික විමුක්තියේ ආණ්ඩුව බිහි කර ගනිමු.
(-Colombo, November 11, 2024-) සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට තීරණය කෙරේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීම සම්බන්ධයෙන් මූල්‍ය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී අපොන්සු මහතා සහ ශ්‍රී ලංකා බැංකු සංගමය, මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් අතර […]
(-Colombo, November 11, 2024-)
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට තීරණය කෙරේ
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබා දීම සම්බන්ධයෙන් මූල්‍ය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී අපොන්සු මහතා සහ ශ්‍රී ලංකා බැංකු සංගමය, මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (11) පැවැත්විණි.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ණයගැතිභාවය නිසා මුහුණ දෙන ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.
පරාටේ නීතිය (Parate Execution) ක්‍රියාත්මක කිරීම මේ වන විට අත්හිටුවා ඇති අතර එය ලබන දෙසැම්බර් මස 15වන දා කල් ඉකුත් වීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
ආර්ථිකයේ නිෂ්පාදනය හැකියාව වර්ධනය කිරීම සඳහා බැංකු අංශයට ලබා දිය හැකි සහායද, මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් ලබා ගෙන ඇති ණය සම්බන්ධවද මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය විය.
මේ වන විට බැංකු විසින් පරාටේ නීතිය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලබා දී තිබෙන ණය නැවත අය කර ගැනීම තාවකාලික අත්හිටුවා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ ආර්. ආර්. එස්. ද සිල්වා ජයතිලක, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ඒ.ඩී. අමරකෝන්, සීමාසහිත ශ්‍රී ලංකා බැංකු සංගමයේ මහ ලේකම් ඉන්ද්‍රජිත් බෝයගොඩ, යුනියන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් රුද්‍රිගු, සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මනෝජ් අක්මීමන, ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සම්පත් පෙරේරා, කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී නලින් සමරනායක, හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන ප්‍රතිසාධන හා පුනරුත්ථාපන නිලධාරී නිරෝෂ් පෙරේරා, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිංගුමාල් තේවරතන්ත්‍රී යන මහත්ම මහත්මීහුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
(-‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී වන්නි දිස්ත්‍රික් ජනතා රැලිය – 2024.11.10 – වව්නියාව නගර සභා පිටිය-) අපි කවුරුත් දන්නවා නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තුව සඳහා අලුතින් මන්ත්‍රීවරු පත් කර ගැනිමේ මැතිවරණය පැවැත්වෙනවා. අපි ඔබ හමුවීමට පැමිණියේ එම මැතිවරණයේ දී මෙම වන්නි දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවලා මන්ත්‍රීවරු ගණනාවක් පාර්ලිමේන්තුවට එවන්න කියලා ඉල්ලන්නයි. පසුගිය සැප්තැම්බර් […]
(-‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී වන්නි දිස්ත්‍රික් ජනතා රැලිය – 2024.11.10 – වව්නියාව නගර සභා පිටිය-)
අපි කවුරුත් දන්නවා නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තුව සඳහා අලුතින් මන්ත්‍රීවරු පත් කර ගැනිමේ මැතිවරණය පැවැත්වෙනවා. අපි ඔබ හමුවීමට පැමිණියේ එම මැතිවරණයේ දී මෙම වන්නි දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවලා මන්ත්‍රීවරු ගණනාවක් පාර්ලිමේන්තුවට එවන්න කියලා ඉල්ලන්නයි.
පසුගිය සැප්තැම්බර් 21 වනදා අපේ රටේ දේශපාලනයේ විශාල තරගයක් ඇති වී තිබුණා. එම ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපතිතුමා මේ වව්නියාවට ආවා. වන්නියේ ජනතාවත් යම් ප්‍රමාණයකට ඡන්දය දුන්නා. නමුත් මෙවර ඔබ ඡන්දය ලබා දෙනවද? ඒ විතරක් නොවෙයි පසුගිය ජනාධිපතිවරණයේ දී විපක්ෂනායකතුමත් මේ වව්නියාවට ආවා. දැන් මේ ඡන්දයට එනවද? නැහැ. ඇයි ඒ, ඒ අය දිනන්න විතරයි ඡන්ද කරන්නේ. පසුගිය ජනාධිපතිවරණයේදී මේ වන්නි දිස්ත්‍රික්කයේ ජනතාව අපට 21,000ක් ඡන්දය ලබා දුන්නා. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට එය විශාල පිටිවහලක් වුණා. හැබැයි අපි එදා වන්නි දිස්ත්‍රික්කයේ පරාජය වුණා.
මේ වන්නි දිස්ත්‍රික්කයේ විවිධ ජන කණ්ඩායම් අනුව දේශපාලනය බෙදී තිබෙනවා. මුස්ලිම් ජනතාව ඉලක්ක කරගත් මුස්ලිම් පක්ෂ තිබෙනවා. ඒ අය පසුගිය ජනාධිපතිවරණයේ දී විපක්ෂනායකතුමාට සහාය දුන්නා. දෙමළ ජනතාව ඉලක්ක කරගත් දෙමළ පක්ෂ තිබෙනවා. ඔවුන්ත් විපක්ෂනායතුමාගේ වේදිකාවට නැග්ගා. ඒ වගේම දෙමළ ජනතාව කේන්ද්‍ර කරගත් තවත් පක්ෂ තිබුණා. ඔවුන් හිටපු ජනාධිපතිතුමාගේ වේදිකාවට නැග්ගා. හැබැයි දෙමළ, මුස්ලිම් කිසිදු භේදයකින් තොරව එක තනි පක්ෂයක් මේ වන්නියට තරග වැදුණා. ඒ තමයි ජාතික ජන බලවේගය. ඔබ ජාතික ජන බලවේගයට ඡන්ද 21,000ක් ලබා දුන්නා. එය ජාතික ජන බලවේගය ලබාගත් විශාල ජයග්‍රහණයක්.
අපේ රට හැම අතින්ම බෙදිලා තිබෙන රටක්. සිංහල, දෙමළ, මුස්ලිම් යනුවෙන් බෙදිලා. හින්දු, ඉස්ලාම්, කතෝලික, බෞද්ධ කියලා බෙදිලා ඉන්නවා. විවිධ කුල බේදීම්ද තිබෙනවා. මේ විදියට බෙදලා අපේ රටට ඉදිරියට යන්න බැහැ. ජාතික ජන බලවේගය අපේ ආණ්ඩුවේ ප්‍රධාන අපේක්ෂාව මේ සියලු බෙදීම් අවසන් කිරීමයි. කථා කරන භාෂාව අනුව, අදහන ආගම අනුව තමන්ගේ සංස්කෘතිය අනුව ජනතාව බෙදුණු යුගය අපි අවසන් කළ යුතුයි. එහි ආරම්භක පියවර තමයි දේශපාලන මතවාදයක් ලෙස, දේශපාලන ව්‍යපාරයක් ලෙස සියලු ජනතාව එක කොඩියක් යටතට එන්න ඕනෑ. ජාතින් හැටියට බෙදිලා දේශපාලනය කරලා එකතු වෙන්න බැහැ.
එකතු කරන්න නම් සියලු ජාතින් සිටින සහ ඔවුන්ගේ නායකයින් සිටින එක ව්‍යාපාරයක් හදන්න ඕනෑ. එම ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි. ඔබ මේ වන්නි දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අපට එවනවා නම් සහතික වශයෙන් එම තුන්දෙනා සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් නියෝජනයන කරන බව අපට විශ්වාසයි. අප ජයග්‍රහණය කළ යුත්තේ එලෙසයි. සිංහල අය සිංහල පක්ෂ තෝරන, මුස්ලිම් අය මුස්ලිම් පක්ෂ තෝරන යුගය අපි අවසන් කළ යුතුයි. අපි සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව එක කොඩියක් යටතේ සමගි කරවිය යුතුයි. එය කළ හැකි බවට විශාල විශ්වාසයක් අපට තිබෙනවා.
පසුගිය ජනාධිපතිවරණයේ දී මේ වන්නි දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාවට අපි ජයග්‍රහණය කරනවා කියලා විශ්වාසයක් තිබුණේ නැහැ. අපේ කැමැත්ත නොවුණට අපේ ව්‍යාපාරය විශාල වශයෙන් දකුණේ සිංහල ජනතාව කේන්ද්‍ර කරගෙන පැවතියා. දෙමළ භාෂාව කථා කරන ජනතාව වෙත අපේ පණිවිඩය ලැබුණේ නැහැ. දෙමළ, මුස්ලිම් ජනතාව ජීවත්වන ගම්වල අපේ දේශපාලන ක්‍රියාකාරිත්වය ප්‍රබලව තිබුණේ නැහැ. දෙමළ භාෂාව කතා කරන ජනතාව බලන රූපවාහිනි නාලිකා, පුවත්පත් තුළ අපි ඒ තරම් හිටියේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරණදී අපි ජයග්‍රහණය කරන ව්‍යාපාරය බවට එම ජනතාවට හැඟීමක් තිබුණේ නැහැ. ඒ නිසා එම ජනතාව තුළ අලුත් අපේක්ෂාවක්, අලුත් බලාපොරොත්තු සහිත ව්‍යාපාරයක් බවට අප පත්ව තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් පැරණි ඒවා තෝරා ගත්තා.
නමුත් සැප්තැම්බර් 21 වනදා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර දිනන පක්ෂය, ආණ්ඩු හදන පක්ෂය ජාතික ජන බලවේගය කියලා ජනතාව තුළ විශ්වාසයක් ඇති කළා . මා හිතනවා එම ජයග්‍රහණයෙන් වැඩිම උද්දාමයට පත් වුණේ, වැඩිම අවධානයක් යොමු වුණේ උතුරේ ජනතාවගේයි. ඔවුන් අවදිවීමට පටන් ගත්තා. මේ රට ගොඩනැගීම සඳහා සමත්වන ව්‍යාපාරයක් තිබෙන බවට විශ්වාසය දැන් ඔවුන් තුළ ගොඩනැගී තිබෙනවා. ඒක කොච්චරද කියනවා නම් දැන් අනිත් පක්ෂවලටත් කියන්න වෙලා තිබෙනවා දිනුවට පස්සේ මාලිමාවේ ආණ්ඩුවට යනවා කියලා. අද ජාතික ජන බලවේගය ජනතාවගේ විශ්වාසය දිනාගත් ව්‍යාපාරය බවට පත්වෙලා තිබෙනවා. වෙනම ආණ්ඩු හදනවා, වෙනම අමාත්‍ය ධුර ගන්නවා, හිටපු ජනාධිපතිතුමාට සහාය දෙනවා, විපක්ෂ නායකතුමාට සහාය දෙනවා කියලා දැන් ඔවුන්ට කියන්න බැහැ.
අපිට එක දෙයයි කියන්න තියෙන්නේ. දැන් බස් එක මිස් වුණා පරක්කුයි. ඒ නිසා දැන් අපට තිබෙන්නේ උතුර, දකුණ, නැගෙනහිර සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ජනතාව සියලුදෙනා සමගි කරන සියලුදෙනා එක තැනකට ගේන දේශපාලන ව්‍යාපාරය ජයග්‍රහණය කරවීමයි. ඒ තමයි මාලිමාවේ ජයග්‍රහණය. මාලිමාවේ ජයග්‍රහණය යනු පෞද්ගලිකව මගේ ජයග්‍රහණයක් නොවෙයි. මේ වේදිකාවේ සිටින අපේ ජයග්‍රහණයක් නොවෙයි. මේ රටේ සියලු ජනතාවගේ ජයග්‍රහණයක්. මේ රටේ ජයග්‍රහණයක්. ඒ නිසා රටේ ජයග්‍රහණය වෙනුවෙන් උතුරේ ජනතාව, මේ වන්නි දිස්ත්‍රික්කයේ ජනතාව ගත යුතු තීන්දුව වන්නේ ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරවීමයි.
අපට කරන්න වැඩ ගොඩක් තිබෙනවා. අපි දන්නවා අපේ රට ගොඩනගන්න නම් ජාතික සමගිය ගොඩනැගිය යුතුයි. මම හිතනවා උතුරේ ජනතාවගේද, දකුණේ ජනතාවගේද, නැගෙනහිර ජනතාවගේද විශ්වාසය දිනාගත් පක්ෂයක් ජයග්‍රහණය කරනවා කියන්නේ ජාතික ප්‍රශ්නයෙන් භාගයක් විසඳීමයි. වෙනදා වුණේ දෙමළ ජනතාව දෙමළ පක්ෂයක් තෝරා ගන්නවා, මුස්ලිම් ජනතාව මුස්ලිම් පක්ෂයක් හා සිංහල ජනතාව සිංහල පක්ෂයක් තෝර ගන්නවා. මේ විදිහට බෙදිලා දේශපාලන කළා. බෙදිලා දේශපාලනය කරලා එකතුවෙලා රටක් හදන්න බැහැ. ජාතික ජන බලවේගය සිංහල, මුස්ලිම්, දෙමළ සියලුදෙනාගේ විශ්වාසය දිනාගත් ව්‍යාපාරයයි. ලංකා ඉතිහාසයේ පළමු වතාවට සියලු ජනතාව එක කොඩියක් යටතට ඇවිත් තිබෙනවා. සමගියේ මාවත එයයි. එවන් ආණ්ඩුවක් ගොඩනගාගත් විට අනෙක් ප්‍රශ්න විසඳීමට පහසුයි.
එහෙම නැත්නම් උතුරේ ජනතාවට ඉඩම් දෙන විට දකුණේ ජනතාව කෑ ගහනවා. දකුණේ ජනතාවට ඉඩම් දෙන විට උතුරේ ජනතාව කෑ ගහනවා. මේ සියලුදෙනාගේ නායකත්වය ගත හැකි ව්‍යාපාරයක් තිබෙනවා නම් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. විවිධ ආරක්ෂක හේතුන් මත පවරාගෙන තිබෙන උතුරේ ජනතාවට හිමි ඉඩම් අපි යළි එම ජනතාවට ලබා දෙනවා. දකුණේ ජනතාවගේ විරෝධයක් එයිද? නැහැ. ඔවුන් අපිව විශ්වාස කරනවා. මේ රට ගොඩනැගෙන්නේ එවිටයි.
ඒ විතරක් නෙවෙයි අපි දන්නවා. උතුරේ යුද්ධයක් තිබුණා. විශාල විනාශයක් සිදු වුණා. හැබැයි දේශපාලන සිරකරුවන් ඉන්නවා. නීතිපතිතුමාගේ උපදෙස් මත ඔවුන් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සූදානම්. දකුණ විරුද්ධ වෙයිද? නැහැ. සමඟි සම්පන්න දකුණක්. එදා එහෙම නෙවෙයි. උතුරේ එහෙම එකක් වෙනකොට දකුණ විරුද්ධ වෙනවා. ඇයි බෙදිලා තියෙන්නේ. බෙදිලා දේශපාලනය කරලා තියෙන්නේ. වෙන් වෙලා දේශපාලනය කරලා තියෙන්නේ. එතකොට ප්‍රශ්න දිහා බලන්නේ වෙන වෙනම.
දැන් අපි එකතුවෙලා ඉන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා මන්නාරමේ එහා කෙළවරේ පේසාලේ පැත්තේ විශාලම රැකියාව තමයි ධීවර රැකියාව. හැබැයි මොකක්ද සිදු වී තිබෙන්නේ? විශාල ප්‍රමාණයකින් ඒ මත්ස්‍ය සම්පත ඩැහැ ගන්නවා. විනාශකාරී ආම්පන්න ක්‍රම භාවිත කරනවා. අපේ මත්ස්‍ය සම්පත බිහි වීමේ පරිසරය මුළුමණින්ම විනාශ කරනවා. අපි ආණ්ඩුවක් ලෙස පෙනී සිටින්නේ අපේ ධීවර ජනතාවගේ අයිතිය වෙනුවෙන්. උතුරේ ධීවර ජනතාවගේ අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නවා. එය ඉටු කිරීමට අප සමත් වෙන්නේ නැත්නම් ඔවුන් හිතනවා දකුණේ ආණ්ඩු ඔවුන් ගැන හිතන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ ආරක්ෂාව අපි තහවුරු කළ යුතුයි.
ඒ වගේම අපි දන්නවා විවිධ සමාගම් සමඟ ඉතා අහිතකර ගිවිසුම් අත්සන් කර තිබෙනවා. සූර්යාලෝකය ඉස්සර වාණිජ සම්පතක් නොවුණත් මේ වන විට වාණිජ සම්පතක් බවට පත් වෙමින් තිබෙනවා. සූර්යාලෝකය යනු සියලු නිමැවුම්වල ආරම්භකයායි. අද ප්‍රධාන දේ පුනර්ජනනීය බලශක්තිය. සෝලා පවර්. මේ ඉර පායන්නේ අපේ භූමිය උඩින්. මේ සූර්යාලෝකය අපේ බලය. එය තුට්ටු දෙකට විකිණීමට අපි ඉඩ දෙන්නේ නැහැ ඒ ගිවිසුම් යළි සමාලෝචනය කරනවා. මේ සම්පත් මේ රටේ සංවර්ධනයට, අපේ රටේ ජනතාවගේ අභිවෘද්ධියට අපි උපයෝගී කර ගත යුතුයි. ඒ වෙනුවෙන් කටයුතු කරන්න අපි සූදානම්.
ඒ වගේම අපි දන්නවා මේ වන්නි දිස්ත්‍රික්කය විශාල කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක්. නමුත් වතුර ප්‍රශ්නයක් තිබෙනවා. යම් දේශපාලන ප්‍රශ්නත් තිබෙනවා. ආරම්භයක් ලෙස උතුරු මැද මහ ඇල ව්‍යාපෘතිය අපි නැවත ආරම්භ කර තිබෙනවා. එම ව්‍යාපෘතිය උතුරටත් වතුර දිය හැකි ව්‍යාපෘතියක්. ඉරණමඩු ජලාශයත් වතුරෙන් පුරවන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් තිබෙනවා. ඉරණමඩුවට වතුර එපා කියලා එහේ දේශපාලකයෝ කියනවා. ඉරණමඩුවට වතුර දෙන්න එපා කියලා දකුණෙනුත් කියනවා. සාධාරණ නැහැ. මේ බිම් අපේ බිම්. මේ අපේ ගොවි ජනතාව. ඒ නිසා ඔවුන්ගේ වතුර ප්‍රශ්නය විසඳීමට අපි කටයුතු කරනවා.
මේ වන විටත් අපි ගොවි ජනතාවට පොහොර සහනාධාරය රුපියල් පහළොස් දහසේ සිට විසිපන්දහස දක්වා වැඩි කළා. විශ්‍රාමිකයන්ගේ දීමනාව රුපියල් තුන් දහසකින් වැඩි කළා. අපි ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා. මුහුදු යන ධීවර ජනතාවට අපි ඉන්ධන සහනාධාරයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි. අසාධාරණයට ලක් වෙලා අස්වැසුම නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. නැවත සමාලෝචනයට ලක් කර ඔවුන්ට ඒ ආධාර ලබා දෙනවා. අපි දන්නවා ආදායම් මාර්ග නැති , දරුවන්ට උගන්වන්න තරම් වත්කමක් නැති ජනතාව දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ විශාල වේදනාවකින් ඉන්නවා. ඊළඟ වසරේ පළමු වාරය පටන් ගන්නේ ජනවාරි 27 වැනිදායි. එදිනට පෙර ඒ පාසල් දරුවන්ට පාසල් පොත්, උපකරණ මිල දී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙනවා.
හැබැයි මේ සහනාධාරවලින් හැමදාම ජනතාව ජීවත් විය යුතු නැහැ. ඔවුන්ට ආර්ථික හැකියාවක් හදන්න ඕනෑ. ඒ නිසා අපේ ආණ්ඩුවේ ප්‍රධානම ව්‍යාපෘතිය ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදවා ගැනීමයි. ඒ සඳහා විශාල වැඩසටහනක් සකස් කර තිබෙනවා.පෞද්ගලිකව මම ගත්තත් දුප්පත්භාවයේ වේදනාව දන්නවා. හරිහමන් ආහාර වේලක් නැත්නම් , බෙහෙත් හේත් ගන්න විදියක් නැත්නම්, දරුවන්ට උගන්වන්න විදියක් නැත්නම්, මානසික නිදහසක් නැත්නම්, මූණේ හිනාවක් නැත්නම් ඒ ජීවිතවලින් ඇති ඵලය මොකක්ද? ඒ නිසා මේ දුප්පත්භාවය අපේ රටෙන් තුරන් කළ යුතුයි.
හැබැයි ඔවුන්ට කවදාවත් ඒ ඕනෑකම තිබුණේ නැහැ. ඒ පාලකයාගේ පැවැත්ම වුණේ දුප්පත්භාවයයි. ජනතාව දුප්පත්. ඡන්දයකදී හාල් කිලෝ දෙකක්, වැසිකිළි පෝච්චියක්, තහඩු දෙන්නම් ඡන්දය දෙන්න කියා කියනවා. ඔවුන්ගේ බලයේ රහස දුප්පත්භාවයයි. ජනතාව දුප්පත් නම් ඔවුන්ට ඡන්ද ගන්න ලේසියි. ඒ නිසා අපේ රටේ දුප්පත්භාවය කවදාවත් ඔවුන් තුරන් කළේ නැහැ. ජාතික ජනබලවේගයේ අපේ ආණ්ඩුව දුප්පත්භාවය තුරන් කරනවා. ඒක අපි කරන්නේ නැත්නම් කවුද කරන්නේ? අපි දුප්පත්භාවය දන්න, එහි වේදනාව දැකපු මිනිස්සු. මේක වෙනස් කළ යුතුයි. ඒ නිසා අපේ ආණ්ඩුවේ ප්‍රධානම ව්‍යාපෘතිය ග්‍රාමීය දුප්පත්භාවයෙන් ජනතාව මුදා ගැනීමයි.
ග්‍රාමීය දුප්පත්භාවයත්, අධ්‍යාපන පසුගාමීත්වයත් නිසා අපේ ජනතාව විවිධ අපචාරයන්ට ගොදුරු වෙනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය, මත්පැන් ගම් විනාශ කරමින් පැතිරෙනවා. එවැනි දේට ඇබ්බැහි වූ දරුවෙක් ගෙදරක හිටියොත් ඒ පවුලම ඉවරයි. ඒ ගමම ඉවරයි. ඒ නිසා අපි ඔවුන් මෙයින් මුදා ගත යුතුයි. අපි සහතික වශයෙන් මත්ද්‍රව්‍යවලින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා. අපේ දරුවන්ගේ අනාගතය අපි බලා ගන්නවා. අපේ රටේ මත්ද්‍රව්‍ය හදන්නේ නැහැ. මේ එන්නේ පිටින්. මේ සියල්ල වළක්වනවා. දරුවන්ගේ අනාගතය පිළිබඳ වගකීමක් සහිත රටක් හදන්න ඕනෑ. දෙමාපියන්ට දරුවන් පිළිබඳ සැකයක් නැති රටක් අපි හදන්න ඕනෑ. ඒ රට අපි හදනවා.
ඒ වගේම දුප්පත්භාවයත් සමඟ දරුවන්ගේ අධ්‍යාපනය ගැට ගැසී තිබෙනවා. දෙමව්පියෝ දුප්පත් නම් දරුවන්ට අධ්‍යාපනයක් නෑ. ඒ අනුව ගම්වල දුප්පත්භාවයෙන් මුදවා ගන්න නම් හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. අධ්‍යාපනය තිබුණොත් ගමේ දුප්පත්භාවයෙන් ඒ දරුවාගේ පවුලට උඩට එන්න පුළුවන්. දුප්පත්භාවය තුරන් කිරීමට අධ්‍යාපනය ප්‍රධානම මෙවලමක්. අපි අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක් ඇති කරනවා. දරුවන්ගේ අධ්‍යාපනය දෙමව්පියන්ගේ බරෙන් අපි නිදහස් කර ගන්නවා. දුප්පත්භාවය තුරන් කිරීමේ අභියෝගය අපි ජයග්‍රහණය කරනවා.
අපි එකක් දන්නවා. පැරදුන අය කවදාවත් හිතුවේ නැහැ පරදියි කියලා. අපේ රටේ පාලන බලය සීමිත පවුල් කිහිපයක් අතරයි තිබුණේ. හැබැයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඒ දූෂිත , විනාශකාරී පවුල් සංස්ථාවෙන් පොදු ජනතාව අතට බලය මාරු වුණා. ඔවුන් එය කවදාවත් සිතුවේ නැහැ. ඒ නිසා ඔවුන්ට එය දරා ගන්න බැහැ. වේදනාවෙන් කෑ මොර දෙනවා. සති තුනෙන්, මාස තුනෙන්, අවුරුද්දකින් වට්ටනවලු. නමුත් මේ ආණ්ඩුව මේ රට හදලා මිස ආපසු හැරෙන්නේ නැති බව මතක තියා ගන්න. මේ දේශපාලන ව්‍යාපාර සියල්ල දිය වෙන්න පටන් ගන්නවා. ජනාධිපතිවරණයේදී ගත්තාට වඩා එක ඡන්දයක් වැඩියෙන් අරන් පෙන්නන්න කියලා මම ඔය වට්ටනවා කියන අයට කියනවා. මොන වැට්ටිලිද? ජනාධිපතිවරණයටත් වඩා බිමට එයාලා වැටෙනවා.
හැබැයි ජාතික ජනබලවේගය ජනාධිපතිවරණයේ දී ගත්තාට වඩා වැඩියෙන් ඡන්දය ගන්නවා. වන්නි දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයේදී තිබුණේ ඡන්ද 21,000යි. මහ ඡන්දේ කොහොමද? ඉතිං වට්ටන්න පුළුවන්ද? ජනතාවගේ විශ්වාසය වැඩියෙන් දිනා ගන්නා පක්ෂය. ඡන්දය නොදුන් ජනතාවත් විශ්වාස කරන පක්ෂය. ඒ නිසා වට්ටන කතා ඔවුන් හිත හදා ගන්න කියන කතා. ජනතාවගේ ගැටලු විසඳමින්, දේශපාලනය පිරිසිදු කරමින්, ජාතික ජනබලවේගය මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් මේ කටයුත්ත කරනවා.
නොවැම්බර් මාසයේ 14 වෙනිදා තිබෙන්නේ පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදානයයි. අවංක, අදූෂිත, ජනතාවගේ දුෂ්කරතා අසළ සිටි මිනිස්සු නොවැම්බර් මාසේ 14වැනිදාට පාර්ලිමේන්තුවට යවන්න. අපි අලුත් රටක් හදමු. අපි අලුත් දිශාවකට මේ රට පරිවර්තනය කරමු. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙන්න. ඒ වෙනුවෙන් සියලු දෙනා එක්ව පොර බදමු. මේ සැරේ දිනන්න ඕන දිනිල්ලක් අනිත් අයගේ ඇහැට කඳුළු එන්න. ඇඬෙන්න දිනන්න ඕනෑ.
(-‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී අනුරාධපුර දිස්ත්‍රික් ජනතා රැලිය – 2024.11.09 – අනුරාධපුර මහජන ක්‍රීඩාංගණය-) අපි ඔබ හමුවීමට පැමිණියේ නොවැම්බර් 14 වැනිදා තිබෙන මැතිවරණයේදී ශක්තිමත් ජයග්‍රහණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අරන් දෙන්න කියලා ඉල්ලන්නයි. අද මේ දහස් සංඛ්‍යාත ජනතාවක් අද මේ තැනට ඇවිත් කියාපාන්නේ ජනතාව තීන්දු අරන් ඉවරයි. අපේ රටේ දේශපාලන තීරණාත්මක හැරවුමක් සැප්තැම්බර් 21 වැනිදා […]
(-‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී අනුරාධපුර දිස්ත්‍රික් ජනතා රැලිය – 2024.11.09 – අනුරාධපුර මහජන ක්‍රීඩාංගණය-)
අපි ඔබ හමුවීමට පැමිණියේ නොවැම්බර් 14 වැනිදා තිබෙන මැතිවරණයේදී ශක්තිමත් ජයග්‍රහණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අරන් දෙන්න කියලා ඉල්ලන්නයි. අද මේ දහස් සංඛ්‍යාත ජනතාවක් අද මේ තැනට ඇවිත් කියාපාන්නේ ජනතාව තීන්දු අරන් ඉවරයි. අපේ රටේ දේශපාලන තීරණාත්මක හැරවුමක් සැප්තැම්බර් 21 වැනිදා ලබා ගත්තා. එය සාමාන්‍ය හැරවුමක් නොවෙයි. ලංකාවේ පැරණි දේශපාලන කඳවුරටම විශාල රිදුමක් ගෙන එන දේශපාලන හැරවුමක් වුණා.
අපේ රටේ දූෂිත පවුල් දේශපාලනය පවුලෙන් පවුලට තිබුණේ. පසුගිය වර ජනාධිපතිවරණයට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් ඉදිරිපත් වූ සියලු දෙනාම දේශපාලන ඥාතීන්. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයත් පවුල් දේශපාලනයේ කේන්ද්‍රස්ථානයක් වෙලා තියෙනවා. තාත්තා දේශපාලනේ හිටියා, දියණියත් පාර්ලිමේන්තුව ඉන්නවා. සීයා පාර්ලිමේන්තුවේ හිටියා, තාත්තත් පාර්ලිමේන්තුවේ හිටියා, මුණබුරත් පාර්ලිමේන්තුවෙ ඉන්නවා. තාත්තා පාර්ලිමේන්තුව හිටියා, පුතත් පාර්ලිමේන්තුවෙ හිටියා. හොයලා බලන්න.
සැප්තැම්බර් 21 වෙනිදා මෙවැනි දීර්ඝ කාලයක් දූෂිත ප්‍රභූ පවුල් අතේ කේන්ද්‍ර ගතවී තිබුණු බලය පළමු වතාවට පොදු ජනතාවට මාරු වුණා. මෙය සාමාන්‍ය දෙයක් නෙමෙයි. මහා ධනය එක් රැස් කරගෙන මැතිවරණවලට ධනය පොම්ප කළා. රාජ්‍ය බලය මැතිවරණය සඳහා උපයෝගී කරගත්තා. පොලිස් නිලධාරීන් එකතු කරලා ඡන්ද රැස්වීම් තිබ්බා. තමන් අතේ බලය පවත්වාගෙන යාමට උපරිම රාජ්‍ය බලය භාවිතා කළා. තමන්ගේ වුවමනාවන් හා සමපාත වන මාධ්‍ය කිහිපයක්ම එකතු කරගෙන හිටියා. ඒ නිසාම ජාතික ජන බලවේගයට අවලාද අසත්‍ය බොරු ප්‍රචාර කළා. නමුත් පොදු ජනතාව අප අතර විශ්වාසය ගොඩනගා ජනතාව අතට බලය ලබා ගැනීමට කටයුතු කළා.
පසුගිය දූෂිත ප්‍රභූ පවුල් හැමදාම හිතුවේ ඔවුන්ගේ පවුල්වල බලය රැඳී තිබෙයි කියලා. සේනානායකලා, බණ්ඩාරනායකලා, ජයවර්ධනලා, රාජපක්ෂලා අතේ හැමදාම බලය තියෙයි කියලා හිතුවා. අනුරාධපුරේ පසුගිය පාලකයෙන් ඡන්ද කළ විදිහ මතකද? දහයියාගම හන්දියේ අපේ සහෝදරයන් දෙදෙනෙක් වෙඩි තියලා ඝාතනය කළා. මෙහෙම තමයි දේශපාලන බලය පාවිච්චි කළේ. නැවත ලංකා දේශපාලන භූමියේ මැරයන්ට චණ්ඩින්ට දේශපාලනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. පොදු ජනයා විසින් ගනු ලැබූ තීන්දුව අප ආරක්ෂා කරනවා. අපිට මේ අවස්ථාව ඉතාම අපහසුවෙන් ලැබුණේ. එක් අවස්ථාවක සියයට තුනට වැටුණා. නමුත් අපි කොඩිය අතාරින්නේ නැතුව ඉදිරියටම අරගෙන ආවා.
අපේ රට ඔහේ ගලාගෙන යනවා නම් දේශපාලන නායකත්වයට කරන්න දෙයක් නැහැ. නමුත් අර්බුදයෙන් අර්බුදයට තල්ලු කරමින් තිබෙන රට හොඳ දිසාවට හරවන්න ඕනෑ. අන්න ඒ හොඳ දිසාවට හරවන්න නම් සමීප දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. ඒකට සමීප දේශපාලන නායකයන් අවශ්‍යයි. දැනට අපට තිබෙන්න විධායක ජනාධිපතිකම පමණයි. එය ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා නොවැම්බර් මාස 14වැනිදා ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අත්පත් කර ගත යුතුයි. ප්‍රබල දැඩි හා සමහර අයට රිදෙන තීන්දු ගන්න වෙනවා. ඒ සඳහා ශක්තිමත් දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. තව බලයක් කේන්ද්‍ර වී තිබෙනවා පළාත් සභාවේ, තව බලයක් කේන්ද්‍ර වී තිබෙනවා ප්‍රාදේශීය සභාවේ. දැනට අප සතුව තිබෙන්නෙ විධායකයේ බලය පමණයි. එය ශක්තිමත් කිරීමට ව්‍යවස්ථාදායකයේ බලය ජාතික ජන බලවේගය අත්පත් කර ගත යුතුමයි. එම නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මාලිමාවෙන් වැඩි කණ්ඩායමක් පාර්ලිමේන්තුව එවිය යුතුයි. එතකොට විපක්ෂය කියනවා අපිව හරි පාරෙ යවන්න ඔවුනුත් යවන්නලු. එයාලා හැමදාම රට ගෙනිච්චෙ වැරදි පාරේ.
හිටපු ජනාධිපතිතුමා හැම තැනම ගිහින් කියනවා පුරුදු අය එවන්න කියලා. අපි එතුමට කියනවා, ඔය පුරුදු අයගේ නම් දහයක් කියන්න කියලා. අපි කියන්නම් ඒ දහදෙනාගෙන් එක් එක්කෙනාගේ වෙනම මොනවටද පුරුදු තියෙන්නේ කියලා. හෙට උදේ නම් දහය කිවුවොත් එයාලගේ පුරුදු මොනවද කියලා අපි හවස කියනවා. ඉඳහිට හරි විපක්ෂයෙන් එක්කෙනෙක් දෙනෙක් හරි පාර්ලිමේන්තුවේ වෙනවනම් ඒගොල්ලොත් එවන්න අලුත් අය. විනාසකාරී අත්දැකීම් සහිත අපරාධකරුවන් එවන්න එපා. අපේ ජාතික ජන බලවේගය කණ්ඩායම පාර්ලිමේන්තුවට අලුත් වුණාට දේශපාලනයට අලුත් නැහැ. අනුරාධපුර මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක පොර බැදිලා මේ මිනිස්සුන්ගේ ගුණ සුවඳ හඳුනන කණ්ඩායමේ ඉන්න ජාතික ජන බලවේගයටයි. ඒ නිසා මේ පාර දිනනවා දිනිල්ලක් ඇඩෙන්නම.
ජනාධිපතිවරණ ඡන්දෙදි පැරදිලා විපක්ෂයේ තියෙන්නෙ හීන් කෙඳිරියක්. නොවැම්බර් 14වැනිදා හරියටම ඇඬෙනවා. විපක්ෂය දන්නවා ඒ අයට මුහුණ දෙන්න තියෙන දේශපාලන අභියෝගයේ ගැඹුර. ඒ නිසා අපේ බලය තහවුරු වෙන්න පෙර කොහොමද කකුල් වෙට්ටුවක් දාන්නේ කියලා බලාගෙන ඉන්නේ. එයාලට මෙවැනි පොදු ජනතාව අතට බලය මාරුවීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. නොවැම්බර් 14 වැනිදා ජයග්‍රහණයෙන් පසුව ඔවුන්ට බයක් තියෙනවා. අපරාධකරුවන් බය වෙන්න ඕනෑ. එනිසා කියනවා මාස තුනෙන් වැටෙයි, මාස හයෙන් වැටෙයි කියලා. නමුත් මතක තියාගන්න අපි මේ රට හදලා මිසක් ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නැහැ කියලා. අපේ බලයේ රහස ජනතාව අප කෙරෙහි තබන විශ්වාසයයි.
දැන් පොල් ටිකක් ගණන් තමයි. ඒ සඳහා අපට ටික කාලයක් දෙන්න. පොල් කියන්නේ දිගුකාලීන බෝගයක්. එක් ගසකින් පොල් ගෙඩි 55 ක් වගේ තමයි එක මුරයකට ලැබෙන්නේ. ඉන්දියාවේ පොල් ගහකින් නම් ගෙඩි එකසිය පනහක් විතර ලබාගන්නවා. අපි වගේ තුන්ගුණයක පොල් ඵලදාවක් ඉන්දියාව ගන්නවා. අපේ වගාව සඳහා නිසි ජල පහසුකම් ලබාදීමට අසමත් වී තිබෙනවා. අවශ්‍ය පොහොර ලබාදීමට අසමත් වී තිබෙනවා. වන සතුන්ගෙන් වෙන හානිය අවම කිරීමට අසමත් වී තිබෙනවා. අද ගමක පොල් ගහක් තිබුණත් ඒ පොල් ගහට මයිටාවන් බෝවෙලා. නැත්නම් කනාටු වෙලා. අපට ආහාරය සඳහා පොල් ප්‍රමාණය හිඟයක් තියෙනවා. ඒ නිසා පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන් සමඟ අපි සාකච්ඡා කරලා ඔවුන්ගේ උපරිම නිෂ්පාදනය නොකර පාරිභෝජනය සඳහා අවශ්‍ය පොල් ටිකක් ලබා ගන්න කටයුතු කළා. එය කෙටි කාලීන විසඳුමක්. පොල් ත්‍රිකෝණයේ පොල් වතු තියෙනවා කිසි නඩත්තුවක් නැතුව. අපි ඒ පොල් වතු හිමිකරුවන් සමඟ සාකච්ඡා කර පොල් වත්ත සංවර්ධනය කරලා අවශ්‍ය ඵලදාව ලබාදෙන්න කටයුතු කරනවා. එහෙමයි ප්‍රශ්න විසඳන්නේ. අවුරුදු හැත්තෑහයක් රට පාලනය කරලා, පොල් වත්ත නාටු වෙනකන් ඉඳලා, පොල් වතු විනාශ කරලා, නොවැම්බර් මාසේ ඇවිත් කියනවා පොල් ගණන් නේද කියලා. නොවැම්බර් 14 වැනිදායින් පස්සේ විපක්ෂයේ කුමන්ත්‍රණ අළුයම ලූ කෙලපිඩක් සේ ඉවත් වෙනවා.
අප දේශපාලනයට ප්‍රමිතියක් ලබා දෙනවා. පසුගිය පාලකයින් තමන්ට රිසි රිසිසේ රට පාලනය කළා. තමන්ට කන්න අවශ්‍ය නම් වෙනම වගා කරලා කෑවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 863ක් තිබෙනවා. මේ අනුරාධපුර ඩිපෝවේවත් ඒ තරම් බස් නැහැ. ජනාධිපතිවරයාට වුවමනා විදිහට උපදේශකවරුන් පත් කරන්න පුළුවන්. පැරදුණාට පස්සෙත් ඔවුන් හිතනවා රිසි රිසිසේ මෙය කරන්න පුළුවන් කියලා. ආරක්ෂකයින් දෙසීයක් අරන් ගිහිල්ලා. වාහනත් අරන් ගිහිල්ලා. ඒ අස්සේ කෝකියෝත් ඉල්ලනවා. කෝකියෝ ඉල්ලපු ගාන බැලුවම මං හිතුවා රෙස්ටුරන්ට් එකක් දාන්න කියලා. හිටපු ජනාධිපතිවරුන්ගේ අපි දැනට කැඳෙව්වේ අනීතිකව තියෙන ඒවායි. පැය 24ම ගිලන් රථයක් මිදුලෙ තියෙන්න ඕනෑ කියලා කිසිම පනතක නැහැ. එහෙම අනීතික දේවල් ගන්නකොට කියනවා මොනවා හරි වුණොත් වගකියන්න ඕනෑ කියලා. අපි මොකටද වගකියන්නේ. අන්න එහෙමයි ඒ අය ජනාධිපතිකම අතහැරලා ගියත් හිතන්නේ.
ජාතික ජන බලවේගය ආණ්ඩුව දේශපාලනය ප්‍රමිතිගතකරණය කරනවා. අපේ රට ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් බවට පත් කරනවා. තාජුඩින්ව ඝාතනය කරලා, ලසන්තව ඝාතනය කරලා, එක්නැලිගොඩලව අතුරුදහන් කරලා දැන් සිල් ගත්ත වගේ ඉන්නවා. කාලයේ වැලිතලා වෙන් යට වී ගිය අපරාධවලට දඩුවම් ලබාදෙනවා. ඒ සඳහා නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරන්න පුළුවන් නිලධාරීන් අපි පත් කරලා තිබෙනවා. අපරාධකරුවන්ට දඬුවම් ලැබෙන රාජ්‍යයක් බවට රට පත් කරනවා.
ජනතාවගේ ජීවිත ගොඩ ගැනීම සඳහා අප වැඩකටයුතු කරනවා. අස්වැසුම නිසියාකාරයෙන් ලැබුණේ නැහැ කියලා පසුගිය කාලේ කිවුවා. ඒ සඳහා කමිටුවක් පත් කරලා නැවත අස්වැසුම නොලැබුණු පුද්ගලයින් පිළිබඳව සොයා බලමින් ඉන්නවා. එළඹෙන අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ට සාධාරණ වැටුප් වැඩි වීමක් ලබාදෙනවා. හැබැයි වැඩ කරන්නත් ඕනෑ. ආර්ථික අහේනිය නිසා දරුවන්ගේ අධ්‍යාපනයට බාධා කර තිබෙනවා. ඒ නිසා පාසල් දරුවන්ගේ උපකරණ ලබා ගැනීම සඳහා ආදායම් අහිමි පවුල්වල දරුවන්ට පාසල් පොත් ලබා ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන්න අප තීරණය කළා. අපි පළමුවෙන්ම ජනතාව බලාගන්නවා. ග්‍රාමීය දුප්පත්භාවය අපේ රටෙන් තුරන් කරනවා. ග්‍රාමීය ජනතාවට නිසි ආහාර වේලක් නැහැ. ඖෂධයක් ගන්න විදිහක් නැහැ. දුප්පත්භාවයේ ඛේදවාචකය දැකපු මිනිස්සු හැටියට අපි එය තුරන් කරන්නේ නැත්තම් තුරන් කරන්නේ කවුද?
අපේ ආණ්ඩුවේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය දුප්පත්භාවය අහෝසි කිරීමේ ව්‍යාපෘතියයි. විපක්ෂයට දුප්පත්භාවය ඕනැ වුණා. වැසිකිලි පෝච්චියක්, රුපියල් දාහක්, සාරියක් දීලා, ඡන්දය ගන්න දුප්පත්භාවය ඕනැ වුණා. ජාතික ජන බලවේගය පාලන කාලය තුළ අපේ රටේ දුප්පත්භාවය අහෝසි කිරීම සඳහා වන වැඩපිළිවෙළ අපි දියත් කරනවා. අපේ රටේ පොස්පේටි නිධිය පිළිබඳ විද්වතුන් සමඟ අපි සාකච්ඡා කර තිබෙනවා. ආයෝජකයන් සමඟ සාකච්ඡා කර තිබෙනවා. මේ පොස්පේට් කන්දේ පොහොර ව්‍යාපෘති අපි කඩිනමින් ආරම්භ කරනවා. උතුරුමැද මහ ඇල ඉක්මනින් අවසන් කිරීමටත් මහකනදරා වැවට ජලය ප්‍රමාණවත්ව සැපයීමටත් අප උපදෙස් ලබා දී තිබෙනවා. ජලය හිඟ පළාත්වලට අප ජලය ලබා දෙනවා. ආර්ථික වශයෙන් පමණක් නෙවෙයි, අධ්‍යාපන වශයෙනුත් දුප්පත්භාවයෙන් එළියට එන්න පුළුවන්. එම නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරනවා. අධ්‍යාපනය සුවිශේෂී පරිවර්තනයකට ලක් කරනවා.
අපේ රටේ ඩිජිටල්කරණය කිරීම අපි ආරම්භ කර තිබෙන්නේ. රජයෙන් ඕනෑම දෙයක් ලබා ගැනීමේදී ගෙදර සිට ඒ අයදුම්පත යොමු කළ හැකි පරිසරයක් නිර්මාණය කරනවා. ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ පරිසරය පමණක් නොවේ මුළු ලංකාවම පිරිසුදු කිරීමට කටයුතු කරනවා. විනයක් සහිත සමාජයක් ස්ථාපිත කරනවා. අපේ රටේ නවතා දමා තිබූ ආයෝජන නැවත පටන් අරගෙන තිබෙනවා. ජපන් රජය ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ සංවර්ධනය සඳහා ඉදිරිපත් වී තිබෙනවා. ඉන්දියාව සමහර ණය ව්‍යාපෘති, ආධාර ව්‍යාපෘති ලෙස කටයුතු කිරීමට එකඟවී තිබෙනවා. රට ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය දිනාගෙන තිබෙනවා. නමුත් රට ක්ලීන් කරන්න කලින් නොවැම්බර් මාසෙ 14වැනිදා පාර්ලිමේන්තුව ක්ලීන් කරලා දෙන්න කියල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
“අපට ලැබී තිබෙන රට නමැති කෙත නිවැරදිව අස්වද්දන්න ඕනෑ”
-ශ්‍රී ලංකා භික්ෂු විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පූජ්‍ය පානමුරේ චන්දිම හිමි-
අනුරාධපුර නගරයෙන් අවුරුදු 1007කට පසුව මේ රටට පාලකයෙක් බිහිවෙලා තිබෙන අවස්ථාවක්. ඒ පාලකයාගේ සහායට අවශ්‍ය පිරිවර, හදා දෙන මේ අවස්ථාවේ ආමන්ත්‍රණය කරන්නට ලැබීම භාග්‍යයක්. අවුරුදු 74ක තරම් කාලයක් මේ රට පාලනය කළ පාලකයන් මේ රට ඇද දමා තිබෙන තැන අපි දන්නවා. රටේ පාලකයා අධාර්මික වෙනවිට, රටේ පුරවැසියන් අධාර්මික වෙනවා. මෙතෙක් රට පාලනය කළ බහුතරයන් අධාර්මිකයන්. ඒ නිසා අපට පුනරුද යුගයේදී අපේ උරමත විශාල කාර්ය කොටසක් පැවරී තිබෙනවා. ඒ කාර්යයන් මොනවාද යන්න අපි තේරුම් ගන්න ඕනෑ. අපේ දරුවන්ට හොඳ රටක් හදන්න, රට ගොඩනඟන්නට අපි පෙරමුණ ගන්නට ඕනෑ.
අපි හාමුදුරුවරුන් හැටියට අපව පෝෂණය කරන්නේ ඇප උපස්ථාන කරන්නේ ඔබතුමන්ලා. ඒ සියලු ආකාරයෙන් උදව් කරන ඔබට ලෙඩ වුණාම බෙහෙත් ටිකක් ගන්න නැතිනම්, අධ්‍යාපනයක් ලබන්න තැනක් නැතිනම්, ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නැතිනම්, ඇස්කන් පියාගෙන තවදුරටත් සිටින්නට අපට පුළුවන්කමක් නැහැ. එනිසා අපෙන් සිදුවිය යුතු වගකීමක් ලෙස හඳුනාගෙන එම යුතුකම ඉටුකිරීමට අපි ඉදිරිපත් වී සිටිනවා. බුදුරජාණන් වහන්සේ “බහුජන හිතාය, බහුජන සුඛාය” කියා දේශනා කොට තිබෙනවා. ඒ අනුව බොහෝ දෙනාට හිතසුව පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස අපේ චර්යාව හදාගන්න ලෙස අපට උපදෙස් ලැබී තිබෙනවා. ඒ නිසා තමයි ඔබ හමුවී මේ ඉල්ලීම කරන්නේ. අපට ලැබී තිබෙන රට නමැති කෙත නිවැරදිව අස්වද්දන්න ඕනෑ. ඔබ කෙත් අස්වද්දන මිනිස්සු. කෙත නමැති රට ස්වයංපෝෂිත කරලා මේ රට දියුණු රටක් බවට පත්කරමු. රටේ අනාගත දරුවන්ට යහපත් රටක් උදාකරන්නට අපි වෙහෙස වෙමු. රජරට මිනිසුන් හැටියට අපට වගකීමක් තිබෙනවා. රජරට පුරවරයෙන් බිහිවුණු නායකයාට වැඩ කරගන්න සුදුසුම පුද්ගලයන් මාලිමාවේ ඉන්නවා. ඒ සුදුසු අය පාර්ලිමේන්තුවට යවමු. තව දින තුන හතරකින් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට විශිෂ්ට ජයක් ලැබේවා.
“සකස් කළ බිමේ බීජ සිටුවීමට සුදුසු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි”
-රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී.ඩී.එම්.කේ. පලිහේන-
අද අනුරාධපුර සල්ගාදු පිටිය එකම හිස්ගොඩක්. අනාගතය ගැන සිතමින් මෙතනට පැමිණ සිටින ඔබ දරුවාගේ අනාගතය ගැන සිතමින්, හෙට දවස ගැන යහපත් සිතිවිල්ලෙන් අපත් සමග එක්වී සිටිනවා. වැඩ කරන, වෙහෙසෙන ජනතාව ඒ අපේක්ෂාව තුළ මේ භූමිය ඵල දරවන්න සූදානම් වෙමින් ඒ සුදුසු කණ්ඩායම නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේදී විශාල ප්‍රතිශතයකින් පාර්ලිමේන්තුවට තෝරා යවන බව විශ්වාසයි. ඔබේත් අපේත් දායකත්වයෙන් ජාතික ජන බලවේගයේ නියෝජිතයන් නව දෙනෙක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. ඒ බීජය හිටවලා සාත්තු කොට පවත්වාගෙන යන්න, මේ අවුරුදු පහ තුළ ඒ සම්බන්ධයෙන් වෙහෙසන්න, අවශ්‍ය ජවය ශක්තිය සහිත කණ්ඩායම අනුරාධපුරයෙන් තෝරා ගත යුතුයි. හැකි තරම් මේ දින කිහිපයත් වෙහෙසෙමින් මේ අවුරුදු පහක කාල පරිච්ඡේදය තුළ මේ ගොවිබිම අස්වද්දලා හොඳ ඵලයක් මේ රටට ලබාදෙන බවට මේ පැමිණ සිටින ජනතාව සහතික වෙනවා.
ඒ වගේම මහජන නියෝජිතයන් වශයෙන් පාර්ලිමේන්තුව තුළ, ඔබ වෙනුවෙන් ගත යුතු හොඳම තීරණ අරගෙන, මේ රටට යහපත් හෙට දවසක් සාර්ථකව ගෙවන්න පුළුවන් සමාජ ක්‍රමයක්, මේ රට තුළ බිහිකරන බවට අපි පොරොන්දු වෙනවා. ඒ සුන්දර වුවමනාව වෙනුවෙන් මෙතෙක් අප සමග අත්වැල් බැඳගත්, මෙතෙක් අපේ දේශපාලන ව්‍යාපාරය සමග සම්බන්ධ නොවුණු ආදරණීය ජනතාවගෙන් මේ රටේ අභිවෘද්ධියට අපි සියලු දෙනාම එකතු වෙමුයි ඉල්ලනවා. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය පතනවා.
“ජාතික ජන බලවේගය පිළිබඳව මවා තිබුණු වැරදි කතා සියල්ල දිය වී ගොස් තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක සභික නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත්-
අනුර දිසානායක සහෝදරයා වරෙක කිවුවා ජනාධිපතිවරණය කෙසේ හෝ ගොඩදා ගත්තොත් ඊළඟට වැඩේ සිදුවෙන්නේ කලා වැවේ සොරොව්ව ඇරියා වගේ කියලා. තව දවස් තුනකින් හතරකින් මේ මහ වැස්ස පිරිලා කලාවැව, රාජාංගනේ, පදවිය, නාච්චාදූව වැව් සියල්ලම වාන් දමනවා වගේ මේ සියලු දෙනා එකතු වෙලා අනුරාධපුරය ජයග්‍රහණය කරන බවට විශ්වාසය අප තුළ තිබෙනවා.
මැතිවරණයට පෙර ජාතික ජන බලවේගය පිළිබඳව මවා තිබුණු නරක, වැරදි කතා සියල්ල දියවෙලා ගොස් තිබෙනවා. අද ජනතාව තුළ ජාතික ජන බලවේගය මොන වගේ ව්‍යාපාරයක්ද කියන එක මේ රටේ ස්ථාපනය වෙලා ඉවරයි. අපව විශ්වාස නොකළ, පිළිනොගත්ත බොහෝ සහෝදර සහෝදරියන්, අපේ ආදරණීය මිනිස්සු ජාතික ජන බලවේගය වටා එකතු වී තිබෙන නිසා තමයි මේ ග්‍රවුන්ඩ් එක අතුරු සිදුරු නැතිව පිරී තිබෙන්නේ. මේ එකතු වී තිබෙන්නේ අනෙකාට විරුද්ධව නොවෙයි.
මෙතන ඉන්නේ බහුතරයක් ගොවියන්. ඒ අය හමුවුණාම අපට කිවුවා “කන්නෙ පටන් ගන්නෙම ප්‍රශ්නයකින්” කියලා. පසුගිය කාලයේ පටන් ගත්තේ බීජ ප්‍රශ්නයකින්. මේක කෙළවර වෙන්නේ ග්‍රාමීය දුප්පත්භාවයෙන්. මගේ වෘත්තිය කටයුතුවලදී මේ ආදරණීය මිනිසුන් මුණගැසී තිබෙනවා. ඔහුන්ගේ ප්‍රශ්න යටම තිබෙන්නේ දරිද්‍රතාවය. මෙතෙක් පාලකයන් දරිද්‍රතාවයට පැලැස්තර විසඳුම් සෙව්වා. අපරාධ වැඩිවෙන විට පොලීසියක්, අධිකරණයක් දැම්මා. ඒ යටම තිබෙන ප්‍රශ්නය, දරිද්‍රතාවය ගැන සෙව්වේ නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වීම තුළ, විරැකියාව වැඩිවෙන කොට, සමාජ ජීවිත සම්බන්ධ ප්‍රශ්න මතුවෙන කොට එය කෙළවර වෙන්නේ දරිද්‍රතාවයෙන් බව ඔවුන් දැනගෙන සිටියේ නැහැ. එය කෙළවර වෙන්නේ ගෙදරක ආර්ථිකය කඩා වැටීමෙන් පමණක් නොවන බව ඔවුන් දන්නේ නැහැ. එය සමාජ කඩා වැටීමකට බලපානවා. මගේ වෘත්තිය කටයුතුවලදී මේ අනුරාධපුර ජනතාවගේ ප්‍රශ්න යටම තිබෙන්නේ දරිද්‍රතාවය බව මම දකිනවා.
මේ කඩා වැටුණු රට ගොඩනගන්න අපිට තිබෙනවා. ඒ නිසා අපිත් එක්ක එකතු වෙන්න. ගමක් ගමක් ගානේ ගොස් අපිත් සමග එකතු නොවුණු අපේම පංතියේ, සහෝදරවරු එක්ක කතා කරමු. ජාතික ජන බලවේගය වටා එකතු කර ගැනීමට මහන්සි වෙමු. ඉන්පසුව කඩා වැටුණු මේ රට ගොඩනැගීම ආරම්භ කරමු.
“අධ්‍යාපනයෙන්, සෞඛ්‍යයෙන් ඉහළම තැනට යන්න මාලිමාවට කතිරය ගහන්න”
-ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක සභික, මැදවච්චිය මුස්ලිම් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති මුබාරක් මවුලවි-
එදා සිට පත්වුණු ජනාධිපතිවරු අපට කිවුවේ සිංප්පූරුව වගේ රටක් හදනවා කියලා. එහෙම හදන්නේ කොහොමද? ඔවුන් පටන් ගන්නේ ජාතිය භේද කිරීමෙන්. ජාතිභේද වපුරලා ඡන්දෙ අරගෙන දිනනවා. සිංගප්පූරුව ගොඩනැගුණේ ජාති භේද, ආගම් භේද නැතිව සියලු දෙනා එකතු වෙලා. අද ලෝකයේ සිංගප්පූරුව දියුණු රටක් ලෙස පිළිගෙන ඉවරයි. අපේ රටේ සිංගප්පූරුවක් හදන්න ආපු අය, අපේ රට ඇමරිකානු කොලනියක් කළා. ඊටත් පහළට තල්ලු කළා. අපිට දැන් කාලය උදාවෙලා තිබෙනවා. අපි ඔක්කොම එකතු වෙමු. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් නැතිව ලාංකිකයන් ලෙස ඔක්කෝම එකතු වෙමු. එළඹෙන නොවැම්බර් 14 දායින් පස්සේ “අපි ශ්‍රී ලාංකිකයන්” කියා ආඩම්බරයෙන් කියමු.
ලෝකයේ වෙනත් රටවල දේශපාලන භේද නැහැ. දිනුව ජනාධිපතිට පරාජය වුණු දේශපාලන නායකයන් උදව් කරනවා. අපේ රටේ එහෙම නැහැ. මම එදා කිවුවා මාලිමාවේ බස් එකට නැග්ගොත් හරි පාරේ ගොස් පෙන්නවා කියලා. සජබෙ බස් එකේ ගිය අයව වට්ටවා තිබෙනවා. තුවාල වුණු අයට දැන් අවස්ථාවක් උදා වී තිබෙනවා. එන්න අපේ බස් එකට. ආරක්ෂා ඇතිව අපේ බස් එක නැවතත් පිටත් වෙනවා. අපේ බස් එකේ නියමුවා, හොඳ හයියක්, හොඳ මොළයක් තිබෙන ශක්තිමත් නායකයෙක්. බය නැතිව අපේ බස් එකට ගොඩවෙන්න. ඔබලා නොවැම්බර් 14දා මාලිමාවේ ලකුණට කතිර ගසමින්, පත් කරන්නේ රජෙක් නොව, ඔබලාගේ සේවකයන්. ඔබ සියලු දෙනා සුරක්ෂිතව, අධ්‍යාපනයෙන්, සෞඛ්‍යයෙන් ඉහළම තැනට ගෙනයන්න මාලිමාවට කතිරය ගසමින් දිනවන්න.
“ශක්තිමත් පාලනයක් තුළින් රට ගොඩගැනීමේ වැඩපිළිවෙළට දායක වෙමු”
-ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක සභික විශ්‍රාමික ලුතිනන් සංජීවනී විජේවන්ත-
අපි දේශපාලන වෙනසක් ඇති කිරීමට එක මෙහෙයුමක් අවසන් කරලා, දෙවෙනි මෙහෙයුම සඳහා සූදානම් වෙමින් ඉන්නවා. මේක අපේ රටේ සැබෑ පුනරුදයක්, නව දේශපාලන සංස්කෘතියක් ඇති කරමින් සතුටින් ජීවත් වෙන්නට රටක් හදන්නට මුල පුරමින් තිබෙන අවස්ථාවක්. ජාතික ජන බලවේගය කාන්තා අපි වෙනුවෙන් කතා කරන්නට, බිමේ සිටින ඔබ වෙනුවෙන් පෙනී සිටින්නට, අපේක්ෂිකාවක් විදිහට ඔබ සියලු දෙනා නියෝජනය කරන්නට අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් මා හට වගකීම පවරා තිබෙනවා. මේ රජරට ඉන්න කාන්තාව තම ස්වාමියා සමග එකතු වී මහපොළොවත් එක්ක පොරබදමින්, තම ජීවිතය සාර්ථක කර ගන්න උත්සාහ ගන්නවා. ඒ වගේම විවිධ කම්කටොලුවලින්, ගැටලුවලින් පීඩා විඳිනවා. මෙතෙක් දේශපාලනයේ නියැලුණු මහජන නියෝජිතවරියන් අපේ ගැටලු වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. ඒ කාන්තාවන් පිය උරුමය නිසා හෝ පවුල් උරුමය නිසා දේශපාලනය කළ අයයි. අපි වගේ අය සාමාන්‍ය පවුල්වලින් ඇවිත් මේ දේශපාලන වේදිකාවේ ඔබ වෙනුවෙන් හඬක් නඟන්නට ඉඩහසර ලබාදීම පිළිබඳව ජාතික ජන බලවේගයට කෘතවේදිත්වය පිරිනමනවා. ඉදිරියේ පවත්වන මහ මැතිවරණයෙන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන්නට, රට මුහුණ දෙන ගැටලුකාරී අවස්ථාවල පෙරමුණ ගන්නවා වගේම කාන්තා අපි සියලු දෙනාම එකතු වෙලා ශක්තිමත් පාලනයක් හදලා මේ රට ගොඩගැනීමට රට ගෙනයන වැඩපිළිවෙළට දායක වෙමු කියන ඉල්ලීම කරනවා.
ලෝකයේ බොහෝ රටවල්වල දරුවෙක් ඉපදෙනකොට දීමනාවක් දෙනවා. අපේ රටේ දරුවෙක් ඉපදෙනකොට ලක්ෂ ගණන් ණය වෙලා ඉපදෙනවා. අපේ දරුවන්ගේ අධ්‍යාපන බර නිදහස් කරලා, ඔවුන්ට සංස්කෘතික මිනිසෙකු ලෙස ගොඩනැගෙන්නට අවශ්‍ය කරන වටපිටාව හදන්න ජාතික ජන බලවේගයේ පාලනයක් ක්‍රියා කරන බවට ඔබ ඉදිරියේ සපථ කරනවා. මම නියෝජනය කරන අදිටන සාමූහිකය සමන්විත වන්නේ තිස් අවුරුදු යුද්ධය අවසන් කළ ඒ වීරෝදාර රණවිරුවන්ගෙනුයි. ඔවුන් තමන්ගේ ජීවිතයේ තරුණ වියෙන් වැඩි කොටසක් කැප කරලා, කොටසක් ආබාධිතයන් බවට පත්වෙලා, දහස් ගණනක් තරුණ ජීවිත පූජා කරලා, මේ රට බේරා දුන්නා. මේ රට මුදා ගන්න බැහැ කියා ලෝකයා කියද්දී, එකා පිට එකා වැටෙමින් මිය යද්දී තම ගමන එකට ගිහින් ජයග්‍රහණය ලබාදුන් මේ රට, දේශපාලකයන් විනාශ කරන්න හදන නිසා තමයි ජාතික ජන බලවේගය වැනි පිරිසිදු දේශපාලනයක් එක්ක එකතු වෙලා මේ ගමන යන්න තීරණය කළේ. නොවැම්බර් 14 දින පවත්වන මහා මැතිවරණයෙන් මේ රටේ ශක්තිමත් ආණ්ඩුවක් හදන්නට අවශ්‍ය පිරිස අපි රජරට පුරවරයෙන් තෝරා පත්කර හරිමු. 58%ක් වූ සහෝදර සහෝදරියන් සියලු දෙනාටම අපිත් එක්ක එකතු වෙන්න කියා ආරාධනා කරනවා. අපි සියලු දෙනාටම තියෙන්නේ එකම අරමුණයි. ඒ සඳහා පෙළගැසෙමු.
“මාලිමාව ඉදිරියේ කතිරයක් ගසා ඔබේ මිනිස්කම නැවත ප්‍රකාශ කරන්න”
-රජරට විශ්විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර-
මේසා විශාල ආදරණීය මිනිසුන්ගෙන් පිරි මේ රැලිය දකින විට මට ඇතිවෙන්නේ දරා ගන්න බැරි තරම් සතුටක්. ඔබ සියලු දෙනාම අපේ මව්බිමට ආදරය කරන ගැහැනු සහ මිනිස්සු. ජාතික ජන බලවේගය වටා ඔබ සියලු දෙනා රොක්වී සිටින්නේ ඒ නිසාම තමයි.
මේ රට වේගයෙන් ඛේදජනක ඉරණමකට ඇදී යමින් තිබියෙදී එය වළක්වාගෙන අපේම පංතියේ මිනිහෙක් ජනාධිපති කළේ ඔබේ කතිරෙනුයි. ආදරය, මනුෂ්‍යත්මය නැති සමාජය දියුණු සමාජයක් වෙන්නේ නැහැ. බඩගෝස්තරවාදයට වැටුණු සමාජයක් තුළ කිසිදු යහපත් දේශපාලනයක් අපිට දකින්න බැහැ. ජාතික ජන බලවේගය මේ රටේ ආදරය වගා කරන පක්ෂයයි. මනුෂ්‍යත්මය වගාකරන පක්ෂයයි. ඔබේ කතිරය මේ රටට මොන තරම් බලපෑම් කළ හැකි දෙයක්ද කියලා ඔබට දැන් තේරෙනවා ඇති.
පසුගිය 21වැනිදා ජනාධිපතිවරණයට පෙර මාලිමාවට මොනතරම් මඩ ප්‍රචාරවලින් දමා ගැසුවද? ඒත් මේ රටේ ජනතාව ඒවා පිළිගන්නේ නැහැ. මොනතරම් අවලාද ආවත් අභියෝග ආවත් ඉදිරියට තැබූ පය ආපස්සට නොතබන එකම දේශපාලන ව්‍යාපාරය තමයි මාලිමාව කියන්නේ. මාලිමාව කියන්නේ මේ සමාජය සුවඳවත් කරන දේශපාලන ව්‍යාපාරයක්. ලබන 14 වැනිදා උදෙන්ම ඡන්දපොළට ගොස් ඔබ ජනාධිපතිවරණයේදී පෙන්වූ මිනිස්කම, ආදරය මාලිමාව ඉදිරියේ කතිරයක් ගසා නැවත ප්‍රකාශ කරන මෙන් මා ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපේ ජනාධිපති අනුර සහෝදරයාට තවතවත් ශක්තිය ලබාදීම සඳහා මේ මහා මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් දිනවා පාර්ලිමේන්තුව පුරවන්න ඔබ තීන්දු කර අවසන් බව අපට සහතිකයි.
(-‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී කුරුණෑගල දිස්ත්‍රික් ජනතා රැලිය – 2024.11.08 – සත්‍යවාදී පිටිය-) අධික වර්ෂාව වෙලාවේදී අද කුරුණෑගලට ගලලා තියෙන්නේ මහා ජන ගඟක්. මේ ජනතාව විශ්වාසයෙන් සහ අපේක්ෂාවෙන් යුතුව මෙතනට පැමිණ තිබෙන්නේ අප කෙරෙහි තිබෙන ලෙන්ගතුභාවය නිසාමයි. එම ලෙන්ගතු භාවය කිසිදු ලෙසක පළුඳු කිරීමට අප කටයුතු කරන්නේ නැහැ. ඒ පිළිබඳ අප සහතිකයක් දෙනවා. […]
(-‘රට හදන අපි එකට මාලිමාවට’ ජයග්‍රාහී කුරුණෑගල දිස්ත්‍රික් ජනතා රැලිය – 2024.11.08 – සත්‍යවාදී පිටිය-)
අධික වර්ෂාව වෙලාවේදී අද කුරුණෑගලට ගලලා තියෙන්නේ මහා ජන ගඟක්. මේ ජනතාව විශ්වාසයෙන් සහ අපේක්ෂාවෙන් යුතුව මෙතනට පැමිණ තිබෙන්නේ අප කෙරෙහි තිබෙන ලෙන්ගතුභාවය නිසාමයි. එම ලෙන්ගතු භාවය කිසිදු ලෙසක පළුඳු කිරීමට අප කටයුතු කරන්නේ නැහැ. ඒ පිළිබඳ අප සහතිකයක් දෙනවා. තව තවත් ඔබ අප කෙරෙහි තිබෙන විශ්වාසය වැඩි කිරීමට අප කටයුතු කරනවා.
පහුගිය ජනාධිපතිවරණයේදී තීරණාත්මක බල හැරවුමක් සිදුවුණා. මැතිවරණ ඉතිහාසයේදී හැමදාම ජාතික වශයෙන් පවුල් කිහිපයක් අතේ, දිස්ත්‍රික්ක වශයෙන් තවත් පවුල් කීපයක් අතේ බලය ඒකරාශි වී තිබුණා. රට පාලනය කරන සුක්කානම හැසිරෙව්වේ පවුල් කීපයක් පමණයි . එක වෙලාවකට රට පාලනය කරනවා තාත්තා, තව වෙලාවක අම්මා, තව වෙලාවක දියණිය. තව කාලෙක මාමා බලය හසුරනවා, ඊට පස්සේ බෑනා බලය හසුරවනවා. තව කාලෙක අයියා බලය හසුරනවා, මල්ලි බලය හසුරනවා, පුතා ජනාධිපති කරවන්න උත්සාහ කරනවා . විපක්ෂයේ සිට තරග වැදුණු කෙනා තාත්තගෙන් පුතාට බලය ගන්න උත්සාහ කළා. විපක්ෂ නායකවරයා තාත්තගෙන් තමාට බලය හුවමාරු කරගන්නා බැලුවා.
සැප්තැම්බර් 21 වැනිදා දූෂිත පවුල් පරදා පොදු ජනතාව අතට බලය පත් කරගත්තා. එම දූෂිත ප්‍රභූ පවුල් සංස්ථාව තමන්ගේ ජීවිත කාලය ඇතුළත මෙවැනි ඉරණමක් අත්වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. ඔවුන් පාලන බල සිතියම ඇඳලා තිබුණේ තාත්තාගෙන් පුතාට, පුතාගෙන් මුණුබුරාට යන විදිහටයි. නමුත් පොදු ජනතාව පෙළගැහිලා දූෂිත ප්රභූ පාලනය ඉවත් කර පොදු ජනතාව අතට පාලන බලය ලබා ගත්තා. දැන් ඒ කණ්ඩායමට ගොඩක් රිදිලා තියෙනවා. ඒක නිසා දැන් ඔවුන් වේදිකාවට ඇවිත් මාස තුනෙන් ආණ්ඩුව වැටෙයි මාස හයෙන් ආණ්ඩුව වැටෙයි කියලා කියනවා. මතක තියාගන්න මේ රටේ බලය නැවත ඒ අය අතට පත්වෙන්නේ නැහැ.
ඒ නිසාම ඒ අය දැන් නැවත වරක් ජාතික ජන බලවේගයට අවලාද කියන්න පටන් අරන් තිබෙනවා. ඒ අය හිතන සිහිනයට ළඟා වෙන්න මේ රටේ පොදු ජනතාව කිසිසේත් ඉඩ තබන්නේ නැහැ. මේ වර්ෂාවෙ තෙමෙමින්, විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් ඔබ කියා පාන්නේ මේ ආණ්ඩුව කෙරෙහි තිබෙන ඔබේ විශ්වාසයයි. මේ ආණ්ඩුව කෙරෙහි තියෙන බලාපොරොත්තුවයි.
පහුගිය සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපට ජනාධිපතිවරණයේදී ඡන්ද නොදුන් පිරිසක් හිටියා. සමහර අයට අපි ගැන පොඩි සැකයක් අවිශ්වාසයක්, දෙගිඩියාවක් තිබුණා. ඒක සාධාරණයි. සමහරු වේදිකාවල නැගලා ජාතික ජන බලවේගයට විවිධ අවලාද ගැසුවා. නමුත් එහෙම අවලාද කියද්දිත් අපට පාලන බලය ලබා දෙන්න ධෛර්වන්ත මිනිස්සුත් මේ රටේ හිටියා. එදා දෙගිඩියාවෙන් සිටි ජනතාවට අද අපි ගැන විශ්වාසයක් ඇතිවෙලා. ජාතික ජන බලවේගයේ වැඩිම රැස්වීම් සංවිධානය කරන්නේ ඒ අයයි.
ප්‍රචණ්ඩකාරී මැතිවරණවලට කුරුණෑගල කප් ගහපු ඉතිහාසයක් තියෙනවා. 1998 පළාත් සභා මැතිවරණයේදී මේ පළාතේ ඉන්න අය ප්‍රචණ්ඩකාරී මැතිවරණයක් පැවැත්වුවා. කාර්යාල ගිනි තියෙන, වෙඩි තියන කැත පන්නයේ ඡන්ද ඉතිහාසයක් තිබුණා. නමුත් ජාතික ජන බලවේගයේ ඡන්ද ව්‍යාපාරය ඉතාම සාමකාමීයි. අපි හැමදෙනාටම ඡන්ද රැස්වීම් තැබීමේ අයිතිය තහවුරු කර තිබෙනවා. එදා ලේ වැගිරීම් ඇතිවෙනවා කිව්වට ජාතික ජන බලවේගය මැතිවරණ ඉතිහාසයේ සාමකාමීව ජයග්‍රහණය සැමරුවා. මැතිවරණ ව්‍යාපාර නැවත චණ්ඩින්ට ලබා දෙන්න ජනතාව සූදානම් නැහැ. මේ සාමකාමී බව නිසාම නොවැම්බර් මාසයේදී වාර්තාගත සංචාරකයින් ප්‍රමාණයක් එන බවට පුරෝකථනය කර තිබෙනවා. නොවැම්බර් 14 වැනිදා ලබන ජයග්‍රහණය සමඟ ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපට හැකියාව තිබෙනවා. මේක ජනතාවගේ විශ්වාසය තව තවත් දිනා ගන්න පුළුවන් ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවක් වට්ටවන්න ලැබෙන්නෙ නැහැ.
රටක් වෙනස් කරන්න දේශපාලන අධිකාරියේ මෙහෙයවීමක් අවශ්‍යයි. අපේ රටේ විනය හදන්න, නීති සම්පාදනය කරන්න සමීප දේශපාලනයක් අවශ්‍යයි. ආර්ථික වශයෙන් දේශපාලන තීන්දු ගන්න සමීප දේශපාලනයක් අවශ්‍යයි. මේ රට ගොඩනැගීම සඳහා ශක්තිමත් දේශපාලන බලයක් අවශ්‍යයි. දැන් බලය තිබෙන්නේ ජනාධිපති ගාව පමණයි. දේශපාලන බල කේන්ද්‍රයක් වුණු පාර්ලිමේන්තුවේ බලය අත්පත් කර ගැනීම මේ නොවැම්බර් මාසයේ 14 වැනිදා සිදුවෙනවා.
ගල්ගමුව, ගිරිබාව, මීගලාව පැත්තේ මහා වන අලි කරදරයක් තිබෙනවා. ඒවා විසඳීමට ඒ පැත්තේ මාලිමාවේ කට්ටිය පාර්ලිමේන්තුවට එවිය යුතුයි. හක්වටුනා ව්‍යාපාරයේ, දැදුරුඔය ව්‍යාපාරයේ, තිබෙන ගැටලු විසඳන්න දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. කුරුණෑගල නගරය සංවර්ධනය කිරීමට අපි නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමීප දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. කුරුණෑගල සිසාරා පාර්ලිමේන්තුවට මාලිමා නියෝජිතයන් එවිය යුතුයි. සමහරු කියනවා විපක්ෂයටත් එවන්න ඕනලු ආණ්ඩුව හරි මඟ යවන්න. කවුද දැන් අපිව හරි මඟ යවන්න ඉන්නෙ. එයාලට අපිට කියලා දෙන්න තියෙන්නේ එතනෝල් බිස්නස් කරන්නේ කොහොමද? ආණ්ඩු බලය උපයෝගී කරගෙන සතොසෙන් හොරකම් කරන්නේ කොහොමද? පොලිසිය යටත් කරගෙන පාලනය කරන්නේ කොහොමද? ජාතික ජන බලවේගයට පෙන්නන්න ඒ අයට හරි මඟක් නැහැ.
මේ සැරේ විපක්ෂ ගැන කතා වැඩක් නැහැ.මේ රට ව්‍යසනයෙන් ගොඩ ගන්න, සංවර්ධන සැලැස්ම විධිමත්ව ග්‍රාමීය මට්ටමේ සිට ගොඩනගන්න ඒ සඳහා මන්ත්‍රීවරු එවන්න. ඒ සඳහා පාර්ලිමේන්තුව මාලිමා මන්ත්‍රීවරුන්ගෙන් පිරවිය යුතුයි. විපක්ෂයට ඔය එන කට්ටියට කරන්න පුළුවන් දේ තමයි ආණ්ඩුව ගෙනයන හොඳ වැඩපිළිවෙළට කකුල් මාට්ටු දාන එක. අපේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් කළ යුතුයි. මේ අය කළේ සිතු සිතු සේ මහජන ධනය නාස්තිකරපු එකයි. ඒ නිසා දේශපාලන ප්‍රමිතියක් අවශ්‍යයි. රාජ්‍ය සේවකයෙකුට ප්‍රමිතියක් තියෙනවා. ජනාධිපති පැරදිලා ගෙදර යනකොට වාහන 15-30 අරගෙන යනවා . ප්‍රමිතියක් නැහැ. පැරදුනාම ඉල්ලන කෝකියො බැලුවම හිතෙන්නේ රෙස්ටුරන්ට් එකක් දාන්නද කියලා. හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාවෙන් ලබා දුන්නු දේවල් ටිකක් තිබෙනවා. ඒවා අපි වෙනස් කළේ නැහැ. දැනට වෙනස් කලේ නීති විරෝධීව ළඟ තබා ගන්නා දේවල් පමණයි. ඉදිරියේදී ව්‍යවස්ථාවෙන් සහ පනත්වලින් තිබෙන ඒවා වෙනස් කිරීමට කටයුතු කරනවා. හිටපු ජනාධිපතිවරුන් අනීතිකව ලබාගෙන තිබෙන සියලු දේවල් මේ වනවිට ආපහු ගත්තා.
ඕනම කෙනෙකුට ආණ්ඩුවෙන් මොනවා හරි දෙනවනම් ඒ සඳහා අයදුම් පතක් ලබා දි යුතුයි . ජනාධිපති අරමුදලෙන් මොනවාහරිි ඕනේ නම් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා ජනාධිපතිවරුන්ට නිවසක් ඕනේ නම් එය ඉල්ලුම් කළ යුතුයි. එතකොට ඒ අයදුම්පතේ අසා තිබෙන දේවල්වලට පිළිතුරු දෙන්න ඕනෑ. ඒ අයත් අස්වැසුම ලබාගන්න මට්ටමේද ඉන්නේ කියලා බලලා තාවකාලිකව ගෙයක් දෙනවා. මිරිහානේ ගෙවල් තියාගෙන බෞද්ධාලෝක මාවතේ ගෙවල් දෙන්නේ නැහැ. ඒවා කිසිසේත්ම පළිගැනීම නෙවෙයි. ඒවා කිසිසේත්ම වෛරයට කරන වැඩ නෙවෙයි. දේශපාලනයට ප්‍රමිතියක් ගේනවා. කවුරුත් එය ප්‍රමිතියට යටත්. අපේ ඇමතිවරු අපේ මන්ත්‍රීවරු ඒ ප්‍රමිතියට යටත්. අපේ රටේ දේශපාලනය ප්‍රමිති ගත කරනවා.
පාර්ලිමේන්තු මැතිවරණයේදී ලොකු ජයග්‍රහණයක් ඕනෑ. එයින් පසුව මේ රට ක්‍රමානුකූලව පියවරෙන් පියවර ගොඩනගන්න පටන් ගන්නවා. රට යම්කිසි තැනකට එනතුරු ජනතාව බලාගැනීම අපි සිදු කරනවා. සමහර භාණ්ඩ කිහිපයක අපි වැට් බද්ද ඉවත් කරනවා. පාසල් දරුවන්ගේ පාසල් උපකරණ සහ පොත් මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙනවා. සියලුම දරුවන්ට නොමිලේ රෙදි ලබාදීමට චීන රජය එකඟ වී තිබෙනවා.
පහුගිය අවුරුද්දේ රජය වී අරගෙන තියෙන්නේ මෙට්‍රික් ටොන් 119යි. දවසක සහල් පාරිභෝජනය මෙට්‍රික් ටොන් 6500යි. මෙහෙම තත්වයක් තමයි සහල් ක්ෂේත්‍රයට සිදු කර තිබෙන්නේ. එමනිසා සහල් පාලන මිලකට ලබාදීමට ස්ථිරසාර වැඩපිළිවෙළක් අප ආරම්භ කර තිබෙනවා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට ස්ථිරසාර වැඩපිළිවෙළක් අපි සකස් කර තිබෙනවා. පහුගිය පාලකයන්ගේ බලයේ රහස ජනතාව දුප්පත් වී සිටීමයි. ජනතාව දුප්පත් උනාම සාරි බෙදලා, වැසිකිලි පෝච්චි බෙදලා ඡන්දේ ගන්න පුළුවන්. එහෙම නිසා ඒ ආණ්ඩු ලංකාවේ දුප්පත්භාවය නැති කරන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය ග්‍රාමීය දුප්පත්භාවය තුරන්කිරීමයි. දුප්පත් භාවය තුරන් කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයත් ඉතාම වැදගත් වෙනවා. තාත්තා දුප්පත් උනාට උගත් බුද්ධිමත් තාරුණ්‍යය තුළින් දුප්පත්කම තුරන් කළ හැකියි. එය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. අපේ රට තුළ පිරිසිදු වැසිකිලි පද්ධතියක් අවශ්‍යයි. ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ විනයගරුක සමාජයක් ඇතිකරනවා. ආසියාවේ පිරිසිදුම රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා.
නව සංචාරක කලාප සඳහා නව විභවතාවන් සොයා බලමින් තිබෙනවා. යාපහුව සහ උතුරු පළාතේ සංචාරක විභවතාවයන් මේ වන විට අපි හඳුනාගෙන තිබෙනවා. සංචාරක ව්‍යාපාරයට නව මුහුණුවරක් ලබාදෙමින් ලබන වසරේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකින් පැමිණෙන වසර බවට පත් කරනවා.
ශ්‍රී ලංකාව නූතන ලෝකයට සම්බන්ධ කිරීමට ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. පුරවැසියෙකුට ගෙදර සිට ඩිජිටල්කරණය ඔස්සේ තමන්ගේ පහසුකම් ලබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කරනවා. එය සඳහා දැනුමැති වෘත්තියවේදීන් ආණ්ඩුව සමඟ එකතු වී තිබෙනවා. එම ඉදිරි මඟ සකස් කිරීමට ලබන නොවැම්බර් මස 14 වැනිදා මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවන්න කියා ආරාධනා කරනවා.
“රට අස්වද්දන්න වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවමු” -ජාතික භික්ෂු පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අනුශාසක පූජ්‍ය තිස්සව සුමනන්ද හිමි-
පිං කරනවා කියන්නේ තමන්ගේත් අනුන්ගේත් යහපතට කරන කටයුත්තක්. බෞද්ධයන් හැටියට අපි විවිධ පිංකම් කරනවා. මේ දවස්වල අපි විශේෂයෙන් කඨින පිංකම් කරනවා. ජනාධිපතිවරණයට කලින් සමහරු කීවේ මාලිමාව යටතේත් කඨින පිංකම් කරන්න වෙන්නේ නැහැ කියලා. අපි මේ අවස්ථාවට සහභාගි වෙන්නේ කඨින පිංකම් අවසන් කරලා. ඒ විවිධ පිංකම් අතරේ අපි හැමෝම එක්වී සැප්තැම්බර් 21 වැනිදා විශාල පිංකමක් කළා. මේ රට යහපත් දිසාවකට ගමන් කරවිය හැකි ජනතාවාදී නායකයෙක් පත්කර ගැනීම ඒ මහඟු පිංකමයි. එහි ප්‍රතිඵලයක් හැටියට මේ මාස් කන්නයේ කුඹුරු අස්වද්දන අතර, මුළු රටම අස්වද්දන්නත් ඕනෑ. දුසිරිත නැතිකරලා හොරකම, දූෂණය, වංචාව නැති කරලා හැමදෙනාටම සමාන වූ අයිතිවාසිකම් හා යහපත් වූ සමාජයක් හදන්න රට නමැති කුඹුර අස්වද්දන්නත් ඕනෑ.
ඒ වෙනුවෙන් අපව නියෝජනය කරන අපේ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ. නොවැම්බර් 14 වැනිදා වෙන්වී තිබෙන්නේ ඇත්ත, හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්නයි. ජාතික ජන බලවේගය නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවේ 18 දෙනාගෙන් සුදුසු කෙනෙකුට මනාපය ලබාදී පාර්ලිමේන්තු යවන ලෙස ඉල්ලා සිටිනවා. මේ රට අස්වද්දන්න මාලිමාවේ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවන අතරේ, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම පිරිසක් යැවීමට සියලු දෙනාටම යෝධ බලය, යෝධ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
“යුක්තිය වෙනුවෙන් සිදු වන දැවැන්ත පරිවර්තනය සමග එක්වීම මුස්ලිම් ජනතාවගේ වගකීමක්”
-නීතිඥ අස්ෂේඩ් මොහොමඩ් මවුලවිතුමා-
ජාතික ජන බලවේගයට මුස්ලිම් සමාජයේ සහයෝගය ලබාදිය යුත්තේ ඇයි කියන ප්‍රශ්නයට ප්‍රධාන උත්තර දෙකක් තිබෙනවා. මුස්ලිම් සමාජයේ සියලුම අය සියලුම අවස්ථාවලදී යුක්තිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියන දේ අල් කුරානයේ පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. ආගමෙන් එවැනි නියෝගයක් ලැබුණු සමාජයක් කිසිදු විටෙක අයුක්තිය හෝ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් නැහැ. ඒ නිසා යුක්තිය වෙනුවෙන් ලංකා ඉතිහාසයේ දැවැන්ත පරිවර්තනයක් සිදුවන අවස්ථාවේ ඒ සමග එක්වීම මුස්ලිම් අපගේ දැවැන්ත වගකීමක් වී තිබෙනවා. ඒ නිසා මෙරට මුස්ලිම් සමාජය අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගය සමග එක්විය යුතු බව මම ඔබ හමුවේ කියා සිටිනවා.
ජාතික ජන බලවේගය සමග මුස්ලිම් සමාජය එක්විය යුතු දෙවැනි කරුණ, වී තිබෙන්නේ රට ඉදිරියට ගෙනයන ගමනේදී කිසිදු කොන්දේසියක් නොමැතිව අපගේ සහයෝගය ලබාදිය යුතු නිසයි. එම නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එළඹෙන මහා මැතිවරණයේදී තරග වදින ජාතික ජන බලවේගයේ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවීම සඳහා අවශ්‍ය ශක්තිය සියලු දෙනාට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
“අපේ දරුවන්ට පැහැබර අනාගතයක් ලබාදීම වෙනුවෙන් ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ඕනෑ”
-අදිටන සාමූහිකයේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඩී. සූරියබණ්ඩාර-
අයහපත් කාලගුණ තත්වය මධ්‍යයේ මේ අවස්ථාවට සහභාගී වී සිටින ඔබ සියලු දෙනා අපට ශක්තියක්. එළඹෙන මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවට මේ එකතු වී සිටින ජනතාව දැක්කාම ස්ථිර වෙනවා. අපේ රටේ දුවා දරුවන්ට නව පැහැබර අනාගත කාල පරිච්ඡේදයක් ලබාදීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් පිහිටුවන්න ඕනෑ.
දේශපාලන භූමියේදී අනෙකුත් කණ්ඩායම් ජනතාව රවටමින් අසත්‍ය ප්‍රචාර ගෙනයන අතර, ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ඔවුන් ශක්තිමත් විපක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින තරමට අසරණ වී සිටිනවා. ඔවුන් ශක්තිමත් විපක්ෂයක් ඉල්ලන්නේ දූෂිත ප්‍රභූවාදී දේශපාලන සංස්කෘතියේ කාලය අවසන් බව දන්නා නිසයි. නමුත් ගිලිහී යන වරප්‍රසාද රැකගන්න ශක්තිමත් විපක්ෂයකින් හැකි යැයි ඔවුන් විශ්වාස කරනවා. නමුත් මෙවර මහා මැතිවරණයේදී ජනතාව ඔවුන්ට ප්‍රබල පාඩමක් උගන්වනවා. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පොළොවේ පය ගසා සිටින හොඳම කණ්ඩායමක් ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කිරීම නිසා ඔවුන් තවදුරටත් බංකොලොත් වී සිටිනවා. ජනතාවගේ බදු මුදල්වලින් අනිසි සුඛවිහරණයන් ලබාගත් දේශපාලනය අවසන් කර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පිළිබඳව සිහිනය යථාර්ථයක් කර ගන්න අපි සියලු දෙනාම ඒකරාශී වෙමු. කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල තරුණයන් පිරිසක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළ සටනේදී මිය ගියා. අපගේ දෙවන මෙහෙයුමේදී එම කැපකිරීම රට ගොඩනැගීමට යොදවමු කියලා ඉල්ලා සිටිනවා.
“අසාධාරණයට යටකර තිබූ සමාජය සාධාරණ සමාජයක් බවට පත්කිරීම ඇරඹෙනවා”
-ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් නීතිඥ සංගමයේ විධායක සභික නීතීඥ ගීතා හේරත්-
නිදහස ලබා ගත් පසු 76 වසරක් රට පාලනය කළ පිරිස් කඩා වැට්ටූ රට ගොඩ ගත හැකි බවට විශ්වාසය සියලුම ලාංකිකයන් තුළ දැන් තහවුරු වී තිබෙනවා. දූෂිත ප්‍රභූ දේශපාලනය අපට උරුමකර දී තිබෙන්නේ සියලු ක්ෂේත්‍රවලින් කඩා වැට්ටූ රටක්. එය ගොඩනැගිය හැකි බව විශ්වාස කරන ජාතික ජන බලවේගය ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා. තව දින කිහිපයකින් පාර්ලිමේන්තුව ශුද්ධ කිරීම වෙනුවෙන් ශක්තිමත් බලයක් ගොඩනැගිය යුතු වෙනවා. නීතියේ ආධිපත්‍යය තහවුරු කර, මෙතෙක් කාලයේ වැලිතලාවට යටකර තිබූ දේශපාලන අපරාධ විමර්ෂණය කළ යුතු වෙනවා. අසාධාරණයට යටකර තිබූ සමාජය සාධාරණ සමාජයක් බවට පත්කිරීම එයින් ආරම්භ කරනවා. අපි දුප්පත් වී ඉපදුනත් ඒ ලෙසම ජීවත් වී මිය යා යුතු නැහැ. ජාතික ජන බලවේගය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සංකල්පය ඉටුකර ගන්න ක්‍රියා කරන්නේ ඒ නිසයි. ඔබ සියලු දෙනාට පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගත කරන්න හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා.
“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සාධනීය පියවර ගත හැක්කේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් තුළින් පමණයි”
-ජාතික විද්වත් සංවිධානයේ වෛද්‍ය සාමූහිකයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය ජගත් ගුණවර්ධන-
අද වන විට රෝහල් තුළ වෛද්‍ය සහ බරපතළ ඖෂධ හිඟයක් පවතිනවා. ඒ වගේම රසායනාගාර පහසුකම්, සහ පරීක්ෂණවල බරපතළ අඩාල වීම් දිනපතාම වාර්තා වෙනවා. මේ තත්වය මඟහරවා ගන්න දළ ජාතික නිෂ්පාදිතයෙන් අවම වශයෙන් 3%ක් වත් සෞඛ්‍යයට යොදවන්න ඕනෑ. අපේ ඉදිරි ක්‍රියාමාර්ග තුළින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සාධනීය පියවර ගණනාවකින් ඔසවා තැබීමේ සැලසුම් සකස් කර අවසන්. ඒ වගේම ජනතාවට පහසුවෙන් ඖෂධ ලබා ගන්න රාජ්‍ය ඔසුසල් සෑම දිස්ත්‍රික්කයකම ස්ථාපිත කරන්නත් ක්‍රියා කරනවා. ඒ වගේම පවුලේ වෛද්‍යවරයෙක් හඳුන්වාදීමේ ක්‍රියාමාර්ගයත් ඊට අදාළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් පිහිටුවා ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයට මුල්තැන දෙනවා. මෙවැනි සාධනීය කරුණු බාධාවකින් තොරව ක්‍රියාත්මක කළ හැකි වන්නේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබාදීමෙන් පමණයි.
ජනාධිපතිවරණයේදී අපිට ලැබුණු බහුතර බලය මහ මැතිවරණයෙන් 60% ඉක්මවා ගොස් මේ වෙනුවෙන් විශාල ශක්තියක් ලබා දිය හැකියි. ජනාධිපතිවරණයේදී අපට ඡන්දය නොදුන් අය ඒකරාශී කර ගනිමින් විශාල ගමනක් යන්න තිබෙනවා. දුප්පත්කමේ පතුලේ ඉන්න ජනතාව මේ රටේ අභිමානවත් පුරවැසියන් හැටියට දෙපයින් නැගී සිටින දවස වැඩි ඈතක නොවෙයි.
”අනාගත පරපුරට යහපත් රටක් ගොඩනගාදීමේ වගකීම් ඉටුකරන්න අපි සියලු දෙනා බැඳී සිටිනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආනන්ද විජේපාල-
දීර්ඝ කාලයක් අපේ රටේ ගොවියා, ධීවරයා, කම්කරුවා, වෘත්තිකයා ආදී වශයෙන් මෙන්ම තරුණ සහ කාන්තාවන් වශයෙන් නොසැලෙන වීර්යයෙන් යුතු මේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් කැපවීම් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ගොවි පවුලක පුතෙකු අපේ ජනාධිපති ලෙස පත්කර ගන්න හැකි වුණා. මේ රටේ දැවැන්ත දේශපාලන සමාජ ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් දැන් මුල පුරා තිබෙනවා. අපි ඔබට ලබාදෙන්නේ පොරොන්දු නොවෙයි. අපි පවරා ගත් වගකීම් පිළිබඳව ප්‍රතිපත්ති පමණයි. මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ ඒ වගකීම් දැරීම වෙනුවෙන් නියෝජිතයන් තෝරා ගැනීමේ ක්‍රමයක් හැටියටයි. අපේ අනාගත පරපුරට යහපත් රටක් ගොඩනගාදීමේ ක්‍රියාමාර්ග වෙනුවෙන් වගකීම් ඉටකරන්න මේ සියලු දෙනා බැඳී සිටිනවා. දුප්පත්කමේ පතුලේ ඉන්න ජනතාව මේ රටේ අභිමානවත් පුරවැසියන් හැටියට දෙපයින් නැගී සිටින දවස වැඩි ඈතක නොවෙයි.
ලබන ජනවාරි මාසයෙන් පසුව පාසලට ඇතුල්වෙන කිසිදු දරුවෙකුට අධ්‍යාපනයෙන් පිටමං නොවන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක මූලික වගකීම ලෙස සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය තහවුරු කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ජනතාවගෙන් 80%ක් දෙනා නියැලී සිටින කෘෂිකර්මාන්තය ලාභදායී තත්වයකට ගෙනැවිත් රටේ ජනතාව වෙත ගුණාත්මක ආහාර ලබාදීම සහතික කරනවා. දූෂිතයන් සහ මූල්‍ය අපාරධකරුවන් පැහැරගත් ජනතාවගේ සෑම රුපියලක්ම ආපසු අයකර ගැනීම වෙනුවෙන් දැනටමත් ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා. අවසාන වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව නියෝජනය කරන ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම අපේ පාලනය තුළ යථාර්ථයක් බවට පත්කරනවා ඒ වෙනුවෙන් රටට ජයග්‍රහණ ගෙන එන පාර්ලිමේන්තු බහුතර බලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.
“අවුරුදු 76ක් රට කාපු අයගේ ගිනි විජ්ජුම්බරවලට අද ජනතාව රැවටෙන්නේ නැහැ”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක නාමල් කරුණාරත්න-
ඇදහැලෙන මහා ධාරානිපාත වර්ෂාව හමුවේත් නොසැලී සිටින ජනතාව මහා මැතිවරණයේ ජයග්‍රහණය පිළිබඳව දැනටමත් තහවුරු කර අවසන්. අපේ විරුද්ධවාදීන් මේ වන විට සහල් මිල ඉහළ යාම ගැන කතා කළත් අපේ ජනාධිපති සහෝදරයා වැඩ බාර ගන්නකොට රජයේ වී ගබඩාවල වී ඇටයක්වත් තිබුණේ නැහැ. මහා පරිමාණ මෝල් හිමියන් ටික දෙනෙක් පොහොට්ටුවෙන් සහ සජබෙන් ඡන්දය ඉල්ලන අතර, ඔවුන් ළඟ වී තොග රැස්කරගෙන තිබෙනවා. එන මහ කන්නයේ අස්වනු නෙලීමේ සිට රජයේ වී ගබඩා පුරවා ගොවියාට සාධාරණ මිලක් ලබාදී පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදෙන ස්ථාවර ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. කුඩා සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියන් මෙන්ම මහා පරිමාණ මෝල් හිමියන් සියලු දෙනාත් සහල් ව්‍යාපාරය තුළ සිටිය යුතුයි. නමුත් කිසි කෙනෙකුට ජනතාව පීඩාවට පත්කිරීමේ බඩ පිනුම්, හිටි පිනුම් ගහන්න දෙන්නේ නැහැ. ඊට අදාළ සැලසුම් අපි සකස් කර තිබෙනවා. වී නිෂ්පාදන වියදම අඩුකර සහල් නිෂ්පාදන පිරිවැයත් අඩු කරනවා. ඊට පසුව සහල් වෙනුවෙන් පාලන මිලක් නියම කරනවා. ඒ ආකාරයටම එළවළු ගොවියාත්, ළුෑණු ගොවියා වගේම පශු සම්පත් ගොවියා වෙනුවෙනුත් නිසි විද්‍යාත්මක සැලසුම් ක්‍රියාත්මක කරනවා. අපි ඒ වැඩපිළිවෙළ සකස් කරගෙන යන අතරේ සතුරු බලවේග ජනතාව නොමඟ යැවීමේ ප්‍රචාර දියත් කර තිබෙනවා. අපි මේ පටන් ගත්තා විතරයි. අවුරුදු 76ක් රට කාපු අය අපට ඇඟිල්ල දික්කරන්න පටන්ගෙන තිබෙනවා. ඒ ගිනි විජ්ජුම්බරවලට අද ජනතාව රැවටෙන්නේ නැහැ.
කාබාසිනියා කර තිබූ මිල්කෝ ආයතනයට නව සභාපතිවරයෙක් පත්කර ලාභ ලබන්න පටන් ගත්තා පමණක් නොවෙයි, කිරි නිෂ්පාදක ගොවි මහත්වරුන්ට නිසි වෙලාවට මුදල් ගෙවන්නත් කටයුතු කර තිබෙනවා. බංකොලොත් කර විකුණන්න දමා තිබු මිල්කෝ ආයතනය 2004 අනුර සහෝදරයා කෘෂිකර්ම ඇමතිවරයා ලෙසට සිටි කාලයේ ලාභ ලබන්න පටන් ගත්තා. ඒ ලාභවලින් කොටසක් කිරි ගොවියන්ටත් ලබාදුන්නා අන්න ඒ ආකාරයටම වර්තමානයේදී මිල්කෝ ආයතනය ඉන්දියාවේ ‘අමුල්’ සමාගමට විකුණන්න සැලසුම් කර තිබීම පරාජය කර, ලාභ ලබන තත්ත්වයට ගෙනත් තිබෙනවා. ඒ ආකාරයට කෘෂිකාර්මික ක්ෂේත්‍රය සහ පශු සම්පත් ක්ෂේත්‍රයේ විශාල ජයග්‍රහණ ලබා ගන්න දැනටමත් මුල පුරා තිබෙනවා. මේ ආකාරයට රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකුණන්න තිබුණු සියලු සැලසුම් නවත්වා ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් යොදවා ගන්න ක්‍රියාකරනවා. ඒ වෙනුවෙන් සුවිශේෂී අපේක්ෂක කණ්ඩායමක් කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් මහ මැතිවරණයට මාලිමාව යටතේ ඉදිරිපත් කර සිටිනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මේ කවුරු යැව්වත් ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරනවා. මහ මැතිවරණයෙන් මාලිමාවේ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න එක්වන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(-Colombo, November 8, 2024-) මාතර නිල්වලා ගඟේ ඉදි කර තිබෙන ලවණ බාධකය, ඒ අවට ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය ඉහළ යාමට හේතු වී ඇති බවට මෙන්ම කරදිය කුඹුරු කරා පැමිණීම හේතුවෙන් වගා හානි වන බවට ප්‍රදේශවාසීන් මෙන්ම ගොවි ජනතාව වෙතින් කරුණු ඉදිරිපත් වී ඇත. ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා, කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය […]
(-Colombo, November 8, 2024-)
මාතර නිල්වලා ගඟේ ඉදි කර තිබෙන ලවණ බාධකය, ඒ අවට ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය ඉහළ යාමට හේතු වී ඇති බවට මෙන්ම කරදිය කුඹුරු කරා පැමිණීම හේතුවෙන් වගා හානි වන බවට ප්‍රදේශවාසීන් මෙන්ම ගොවි ජනතාව වෙතින් කරුණු ඉදිරිපත් වී ඇත.
ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා, කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ අදාළ අමාත්‍යාංශ නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (08) වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී, ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් ගං වතුර තත්වයක් මෙන්ම ගොවිබිම්වලට ලවණ ජලය පැමිණීම සිදුවන්නේද යන්න සොයා බලා ඒ සඳහා ස්ථීර විසඳුම් ලබා දීම විධිමත් අධ්‍යයනයකින් අනතුරුව සිදු කළ යුතු බව එම ආයතන නියෝජනය කරමින් පැමිණි ඉංජිනේරුවන් පැවසූහ. ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර විසඳුම් හා යෝජනා ඉදිරිපත් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ සහාය ලබා ගැනීමට කරන ලද යෝජනාවට ජනාධිපති ලේකම්වරයා මෙහිදී සිය එකඟතාව පළ කළේය.
එසේම මේ සඳහා යෝජනාවලියක් සකස් කරන ලෙස උපදෙස් දුන් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, පේරාදෙණිය විශ්විවද්‍යාලයීය ඉංජිනේරු අංශය සිදු කරන අධ්‍යයනයේ වාර්තාව පදනම් කරගෙන මේ සඳහා විසඳුම් ලබා දෙන ලෙසත්, එම කාර්යය ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙස ක්‍රියාත්මක කරන ලෙසත්, ඊට අවශ්‍ය ප්‍රතිපාදන ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසත් උපදෙස් ලබා දුන්නේය.
ලවණ බාධකය හේතුවෙන් නිල්වලා ගඟ දෙපස ජනතාවට සිය ගොවිබිම් අහිමි වීම ඇතුළු ජීවනෝපාය කෙරෙහි අහිතකර බලපෑම් සිදුවන බවට පැමිණිලි ලැබී ඇති බව සඳහන් කළ ලේකම්වරයා, එම තත්වය කඩිනමින් යථා තත්වයට පත් කිරීම රජයේ හා නිලධාරීන්ගේ වගකීම බව අවධාරණය කළේය.
මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය කිරීම සඳහාද විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත්, එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වාරිමාර්ග හා ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත් අවධාරණය කළ ජනාධිපති ලේකම්වරයා එම ගැටලුව විසඳීමට නිසි පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.