Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශකවරයෙකු පත් කරයි

(-Colombo, November 1, 2024-) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ. ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමේ සිය දැක්ම සහ කැපවීම පිළිඹිබු […]

(-Colombo, November 1, 2024-)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ.

ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමේ සිය දැක්ම සහ කැපවීම පිළිඹිබු කරමින් ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදු කර ඇත.

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සහ ඩිජිටල් යටිතල පහසුකම් යන අංශවලින් ගෝලීය ප්‍රමිතියට ළඟා වීම රජයේ අපේක්ෂාවයි. පුරවැසියන් සවිබල ගැන්වීම උදෙසා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) ස්ථාපිත කිරීම මඟින් බහු-ආංශික ඩිජිටල් පරිවර්තනයක් සඳහා රජය දැඩිව කැප වී සිටියි.

ඒ අනුව, වේගවත් ඩිජිටල් ආර්ථිකයකට සහ සියලු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට තුඩු දෙන ආර්ථික හා සමාජ සංවර්ධනයට අදාළ සාම්ප්‍රදායික සංවර්ධන අවස්ථා ග්‍රහණය කර ගැනීමට හැකි වන පරිදි නවීන තාක්‍ෂණය භාවිත කිරීමට රජය සැලසුම් කර තිබේ. ආචාර්ය හාන්ස් විජයසූරිය මහතාගේ පත්වීම ඉහත දැක්ම සාක්ෂාත් කරගැනීම සඳහා වන ප්‍රධාන පියවරකි.

ජාත්‍යන්තර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කීර්තිමත් පුද්ගලයෙකු වන ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා දැනට ආසිආටා සමාගමේ (Axiata Group Bhd) විදුලි සංදේශ ව්‍යාපාර ප්‍රධාන විධායක නිලධාරී සහ සමූහ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන අතර, ඔහු නියමිත කාලයකින් පසු එම තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී ඇත.

මෙම කාල පරිච්ඡේදය තුළ, ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා විධායක නොවන සභාපතිවරයා ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය ලබා දෙනු ඇත. ඒ හරහා රජය අපේක්ෂා කරන ඩිජිටල් පරිවර්තනය සඳහා අදාළ වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදු කරනු ඇත.

අදාළ පත් කිරීමෙන් පසු ඩිජිටල් ආර්ථිකයට අදාළ ආයතනික රාමුව තුළ විධායක නායකත්ව භූමිකා කිහිපයක් ඔහු ඉටු කිරීමට නියමිතය. මීට අමතරව, ජනාධිපතිවරයාගේ ඍජු විෂය පථය යටතේ අලුතින් පිහිට වූ අමාත්‍යංශයක් වන ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ඩිජිටල් ආර්ථික ත්වරණය අධීක්ෂණය කිරීම සඳහා කටයුතු කරන ඉහළම ආයතනයක් වන ඩිජිටල් ආර්ථික අධිකාරියේ සභාපතිවරයා යන තනතුරු ද්විත්වයම ඒ මහතා විසින් දරනු ඇත.

Show More

සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීමට අවධානය

(-Colombo, November 1, 2024-) මෙරට ක්‍රියාත්මක සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (01) පස්වරුවේ පැවැත්විණි. සහල් මිල ස්ථාවර කිරීම, සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමේ ප්‍රවේශය සඳහා වී ගබඩා පද්ධතිය පිළිබඳ තොරතුරු ඩිජිටල්කරණය කිරීමේ වැදගත්කම හා අස්වැසුම හා අඩු ආදායම් ලාභී පවුල් […]

(-Colombo, November 1, 2024-)

  • වී ගබඩා පද්ධතියේ තොරතුරු පිළිබඳ නිසි ක්‍රමවේදයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඩිජිටල්කරණයට
  • සහල් මිල ස්ථාවරකරණය හා සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමට පියවර

මෙරට ක්‍රියාත්මක සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (01) පස්වරුවේ පැවැත්විණි.

සහල් මිල ස්ථාවර කිරීම, සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමේ ප්‍රවේශය සඳහා වී ගබඩා පද්ධතිය පිළිබඳ තොරතුරු ඩිජිටල්කරණය කිරීමේ වැදගත්කම හා අස්වැසුම හා අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන සමාජ සුබසාධන වැඩසටහන් ඇතුළු සේවාවන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්විය.

ඉදිරි නව පාසල් වාරයේදී අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන් වෙනුවෙන් ලබාදීමට නියමිත සහන බෙදාදීමේ වැඩසටහන සහ පොහොර සහනාධාර ලබාදීමේ වැඩසටහන ඩිජිටල්කරණය කිරීමටද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, මිලේනියම් IT සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී මහේෂ් විජේනායක මහත්වරු ඇතුළු ක්ෂේත්‍රෙය් ප්‍රවිණයන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Show More

“රටේ ප්‍රතිරූපය පිළිබිඹු වන ආකාරයේ ආදර්ශමත් පාර්ලිමේන්තුවක් අපට අවශ්‍යයි” -ජනාධිපති අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගය මාතර දිස්ත්‍රික් රැලිය – 2024.10.30 – උයන්වත්ත ක්‍රීඩාංගණය-) ඉතිහාසයේ මැතිවරණ සම්බන්ධයෙන් බලය තිබෙන අය අනෙක් පාක්‍ෂිකයන් බියවැද්දීමේ කැත පන්නයේ ප්‍රචාරක ව්‍යාපාරයක් තිබුණා. ලංකාවේ පළමු වතාවට ඒ කැත පන්නයේ දේශපාලනය අවසන් කරමින්, ඉතාමත් සාමකාමී දේශපාලන ව්‍යාපාරයකට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ සලසා දී තිබෙනවා. සෑම පැත්තෙන් ම දියුණු රාජ්‍යයක් බවට […]

(-ජාතික ජන බලවේගය මාතර දිස්ත්‍රික් රැලිය – 2024.10.30 – උයන්වත්ත ක්‍රීඩාංගණය-)

President Anura Kumara Dissanayake Addressing The Crowd At The Victory Rally Of Matara

ඉතිහාසයේ මැතිවරණ සම්බන්ධයෙන් බලය තිබෙන අය අනෙක් පාක්‍ෂිකයන් බියවැද්දීමේ කැත පන්නයේ ප්‍රචාරක ව්‍යාපාරයක් තිබුණා. ලංකාවේ පළමු වතාවට ඒ කැත පන්නයේ දේශපාලනය අවසන් කරමින්, ඉතාමත් සාමකාමී දේශපාලන ව්‍යාපාරයකට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ සලසා දී තිබෙනවා. සෑම පැත්තෙන් ම දියුණු රාජ්‍යයක් බවට මේ රට ඉදිරියට ගෙන යාමේ සැබෑ අවශ්‍යතාවක් ජාතික ජන බලවේගයට තිබෙනවා. චණ්ඩිකම්වලින් ඡන්ද කරන්න නැවත කිසි දවසක මේ රටේ ජනතාව ඉඩ තබන්නේ නැහැ. මාතර ජනතාව බියපත් කර තර්ජනය කර මැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත් වූ යුගයක් තිබුණා. මාතර පමණක් නොවෙයි, ලංකාවේ කොතැනකවත් පුරවැසියන් බිය කරන දේශපාලනයකට, චණ්ඩින්ට ඉඩක් නැහැ. අප ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනවා. තමන්ගේ මතය කියන්න අවස්ථාව ඉහළින්ම තහවුරු කර තිබෙනවා. නමුත්, රැස්වීමක් කර ගන්න බැරි වුණාට අපට කරන්නට දෙයක් නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි, ඔවුන්ගේ නොහැකියාව පිළිබඳ ප්‍රශ්නයක්.

අප ඡන්ද ව්‍යාපාරය කරන්නේ අනෙකා දිහා බලාගෙන නොවෙයි. ජනාධිපතිවරණයේ දී අපට ලබා දුන් ජයග්‍රහණය ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න නොවැම්බර් 14 වැනිදා මැතිවරණයේ දී මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවන එකයි අපේ වැඩේ. අනෙක් කට්ටිය කරන වැඩ අපට වැඩක් නැහැ. මාතර දිස්ත්‍රික්කයෙන් ශක්තිමත්ම ජනවරමක් මාලිමාවට ලබා දෙන බව අතිශයින්ම විශ්වාසයි. භූමියේ රැස්වීමක් කර ගන්න බැරි අය රූපවාහිනියේ පැරැණි කිළිටි ප්‍රචාර ගෙන යමින් සිටිනවා. ආර්ථිකය පිළිබඳව සංවේදී කරුණු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණය කරමින් සිටිනවා. ‘ආණ්ඩුව මුදල් අච්චු ගහයි’ කියලා මුලින් ප්‍රචාරය කර ඒ නාලිකාවම ඊළඟට අහනවා, “ආණ්ඩුව මුදල් අච්චු ගැහැව්වාද?” කියලා. “ඊළඟට මුදල් අච්චු නොගැසූ බව පවසයි” යනාදී වශයෙන් පැරැණි, කිළිටි, අවලස්සන ඇඳුම් තවමත් ඉවත් නොකර සිටිනවා. අප ඔවුන්ට ආරාධනා කරනවා ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ඇඳ ගන්න කියලා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ දී මාධ්‍යවලට විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ කාර්යභාරය නිසි පරිදි ඉටු කරාවි කියන බලාපොරොත්තුව අපට තිබෙනවා.

The Victory Rally Of Matara Crowd

පසුගියදා ආරුගම්බේ ප්‍රදේශයේ යම් ප්‍රහාරයක් පිළිබඳව වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් ඉතාමත් සැලැසුම්සහගතව ජනතාව කලබලයට පත් නොවන ලෙස සංචාරක ව්‍යාපාරයට බාධා නොවන ලෙස පුරවැසියන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට පියවර ගත්තා. බුද්ධි අංශ තොරතුරක් ආවාම ආණ්ඩුව නිවැරැදිව ක්‍රියා කරන්නේ එහෙමයි. මාතර එක්කෙනෙක් කෑගහනවා, මාධ්‍යයට නොකීවේ ඇයි කියලා. එයා ගිහින් මාතර නැත්නම්, මිරිස්සේ මුර කරන්නද? නිසි ආරක්‍ෂක පියවර අරගෙන සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමටත් අප සමත් වුණා. එහෙත්, ලෝකයේ යුද ගැටුම් තත්ත්වයන් වර්ධනය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලෝකය පුරා අනතුරක් නිර්මාණය වී තිබෙනවා. එවැනි අනතුරක් ලංකාව තුළ ඇති නොවීමට ක්‍රියා කිරීමේ වගකීම නිසි ලෙස අප භාරගෙන ක්‍රියා කරනවා. එසේ තිබිය දී, එක් නාළිකාවක් මුළුමනින් ම අසත්‍ය ප්‍රචාර ගෙන ගියා. ඉන්දියාවෙන් තොරතුරු ලැබුණු බවත්, ප්‍රහාරය සඳහා මුදල් ලබා දී තිබූ බවත් වශයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළා.

මේ අසත්‍ය ප්‍රචාරවල අරමුණක් තිබෙනවා. අප බලය අරගෙන ගෙවී ගිය කෙටි කාලය තුළ අපට ස්ථාවර බලය තිබෙන්නේ සීමිත ස්ථාන කිහිපයක. ජනාධිපති ධුරය, කැබිනට් මණ්ඩලය වශයෙන් ඉතාම කුඩා පාලන ඒකකයක් අපට තිබෙන්නේ. මහා මැතිවරණය වෙනුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා. පළාත් සභා සහ පළාත් පාලන ආයතන අක්‍රිය වී තිබෙනවා. නමුත්, තුන්දෙනෙක් සහිත කැබිනට් මණ්ඩලය පවතින නිසා බලය ශක්තිමත් ආකාරයට වර්ධනය කර ගැනීමට ඉඩ නොදී දුර්වල කරන්න ඔවුන් අසත්‍ය ප්‍රචාර ගෙන යනවා. ඒ නිසා අකර්මණ්‍ය කර අඩාළ කර අරාජික කිරීමේ අරමුණින් ඔවුන් මේ අසත්‍ය ප්‍රචාර ගෙන යනවා. ආර්ථිකයේ අස්ථාවරභාවය සහ සමාජ අනාරක්‍ෂිතභාවයක් සම්බන්ධයෙන් මාධ්‍ය නාලිකා පමණක් නොවෙයි, දේශපාලනයේදීත් අසත්‍ය තොරතුරු කියමින් සිටිනවා. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමට තීරණය කර සල්ලිත් වෙන් කළ බව කියනවා. අනධ්‍යයන කාර්යමණ්ඩලයේ වැටුප් ප්‍රශ්නයකට විසැඳුම් නොදී මාස තුනක් විශ්වවිද්‍යාල වහලා තිබුණා. රනිල්, ඔයාගේ කතා වැඩක් නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩි කරන ක්‍රියාමාර්ග ගන්නවා. ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් රාජ්‍ය සේවකයන් ලබා දී තිබීම නිසා ඔවුන් බිඳවට්ටන අසත්‍ය ප්‍රචාර ගෙන යනවා. ඒ වාගේම මාස දෙක, තුනකින් ආණ්ඩුව වැටෙන බවටත් ප්‍රචාර ගෙන යනවා. රට ගොඩනඟා මිස අප නතර නොවන බව ඔවුන්ට මතක් කරනවා.

President AKD Addressing The Crowd At The Victory Rally Of Matara

රට පිළිබඳ ප්‍රතිරූපය පාර්ලිමේන්තුවෙන් පිළිබිඹු වන ආකාරයේ ආදර්ශවත් පාර්ලිමේන්තුවක් වෙනුවෙන් එය පිරිසිදු කිරීමේ මහා කාර්යභාරය අප ඉටු කරනවා. ඒ වෙනුවෙන් නොවැම්බර් 14 වැනිදා විශාල කාර්යභාරයක් ජනතාවට පැවරී තිබෙනවා. මේ වන විට තුන්දෙනකුගෙන් පවත්වාගෙන යන ආණ්ඩුව වෙනුවට දෛනික කාර්යයන් නිසි පරිදි අඛණ්ඩව පවත්වාගෙන යමින්, ජාත්‍යන්තරය ජයගත හැකි ස්ථාවර පාලනයක් පිහිටුවා ගන්න ඕනෑ. ඒ වෙනුවෙන් ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් පිහිටුවා ගන්නත් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අණපනත් සම්මත කර ගන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඒ වාගේම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියත් දියත් කිරීමට ජනාධිපති කාර්යසාධක බලකායක් ඉදිරිපත් කරනවා. කාන්තාවන්ට සහ සංචාරකයන්ට පිරිසිදු වැසිකිළි පද්ධතියක් ස්ථාපනය කරන්න ඕනෑ. ඒ වාගේම අපේ රටේ පුරවැසියන්ට එකිනෙකා කෙරෙහි ගෞරවයක් ඇති වෙන ආකාරයට ආචාර-සමාචාර කිරීමේ සංස්කෘතියක් ගොඩනඟන්න ඕනෑ. නීතියට සහ විනයට ගරු කරමින්, පරිසරයේ පිරිසිදුකමත්, සමාජ සංස්කෘතික ජීවිතයේ පිබිදීමකුත් ඇති කිරීම වෙනුවෙන් හැම කෙනකුටම දායක විය හැකි අරමුදලක් පිහිටුවනවා. බාහිර පරිසරයේ පිරිසිදුකමත්, විනයක් සහිත සමාජයක් මෙන්ම සාධාරණව නීතිය ක්‍රියාත්මක කරන රටක් බවට ලංකාව වර්ධනය කරනවා. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරමින්, කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය දියත් කරනවා. සහල් ඇතුළු ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ස්ථාවර කරමින්, නිෂ්පාදකයාත් රැක ගන්නා ක්‍රියාමාර්ග දැනටමත් සැලැසුම් කර අවසන්. එළැඹෙන මහ කන්නයේ දී රජයේ ගබඩා සියල්ල පිරෙන්න වී මිල දී ගන්නවා. ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විදියට අත්තනෝමතික ලෙස සහල් වෙළෙඳපොළ හසුරුවන්න අප ඉඩ දෙන්නේ නැහැ.

හිටපු නායකයන් පාස්පෝට් පෝලිම් ඇති කිරීම, ආහාර මිල ඉහළ පහළ යාම වාගේම ආපදා කළමනාකරණයේ දී කාර්යක්‍ෂම නොවීම ආදී පොදු ජනතාවගේ ගැටලු ගොඩගසා තිබෙනවා. මහජනතාවගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් හැටියට ජාතික ජන බලවේගය ක්‍රමානුකූලව නිසි සැලසුම් ඉදිරියට ගෙන යමින් සිටිනවා. අපේ ආණ්ඩුවේ බලය පවතින්නේ විධායක ජනාධිපති ධුරය, කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුවේ සිටින සංඛ්‍යාව මත නොවෙයි; ජනතාව මොන තරම් ප්‍රමාණයකින් ආණ්ඩුවත් සමඟ ඉන්නවාද යන්න මතයි. ජනාධිපතිවරණයේදී අපට ඡන්දය දුන් අයටත් වඩා වැඩියෙන් මහා මැතිවරණයේදී අපට ඡන්දය ලබා දෙනවා. මෙතෙක් ගොඩනැඟුණු ආණ්ඩුවලට ඡන්දය දුන් ජනතාවගේ කලකිරීමට හේතු වුණා. ඡන්දය දුන් ජනතාවගේ පමණක් නොවෙයි, ඡන්දය නොදුන් ජනතාවගේත් විශ්වාසය දිනාගත හැකි ආණ්ඩුවලට පමණයි දිගුකාලීනව පැවැතිය හැක්කේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කියන්නේ ඒ වැනි මහජන විශ්වාසයක් දිනා ගනිමින් නිරන්තරයෙන් ඉදිරියට යන ආණ්ඩුවක්. එම ආණ්ඩුව පිහිටුවීම වෙනුවෙන් මහා මැතිවරණයේ දී ශක්තිමත් බලයක් ජාතික ජන බලවේගයට ලබා දෙන්න.

Akram Illiyas Addressing The Crowd At The Victory Rally Of Matara

“ජාතික සමඟියේ පණිවුඩය මාතරන් මුළු රටටම ගෙන යමු”
-සිවිල් ඉංජිනේරු, ව්‍යවසායක, මාතර දිස්ත්‍රික් අපේක්‍ෂක අර්කම් ඉල්ලියාස්-

මෙතෙක් රට පාලනය කළ අය හැමදාමත් කළේ අපව ප්‍රදේශ වශයෙන් ජාති හෝ ආගම් වශයෙන් බෙදා වෙන් කිරීමයි. ඔවුන් පාලනයට ආ හැම අවස්ථාවක දීම අපට බියක් දැනුණා. ජාතික ජන බලවේගය ලංකාවේ පළමු වතාවට බලයට පත් වන්නේ පොදු ජනතාවට බලපාන ආහාර, සෞඛ්‍ය, ප්‍රවාහන වාගේම භාෂා ප්‍රශ්න විසඳීමටයි. ලෝකයේ අනෙක් ඕනෑම රටක අභ්‍යන්තර සිවිල් අරගලවලින් පසුව ජාතික සමඟිය නිර්මාණය කර ගනිමින් දියුණුව කරා පියනැඟුවත්, අපේ රට ඒ මාර්ගයේ ගියේ නැහැ. 2009 යුද්ධය අවසන් කළ පසු සාමය ඇති කරමින්, රට දියුණු වේ යැයි ජනතාව විශ්වාස කළත්, ඒ සඳහා අවස්ථාව ගන්න සුදුසු නායකයකු සිටියේ නැහැ. චන්ද්‍රකුමාර වික්‍රමරත්න කවියා එක් අවස්ථාවක ලියා තිබූ කවියක් මට මතක් වෙනවා.


“එකම අපායක අප හැම දැවෙන සඳ
වෙනම අපායක ඉන්නට පතයි නුඹ
අපා දෙකක එක කිරුළට යුද වදින සඳ
කඳුළ කඳුළමය කාගේ වුණත් මට”


ඇත්තම අපාය මොකක්ද කියලා අපේ රටේ ජනතාවට අවබෝධ නොවී තිබුණත්, පෝලිම්වල මිනිසුන් මිය යන තත්වයට පත් වූ පසුව සිංහල, දෙමළ, මුස්ලිම් අම්මා තාත්තාගේ කඳුළුවල වෙනසක් නොමැති බව තේරුම් ගත්තා. මාතර දිස්ත්‍රික්කය ජාතිය සමඟිය සම්බන්ධයෙන් විශේෂයි. අපි මේ දිස්ත්‍රික්කයෙන් මුළු රටටම ජාතික සමඟියේ පණිවුඩය ගෙන යමු.

Nandasiri Kihimbiyahetti Addressing The Crowd At The Victory Rally Of Matara

“මාලිමාවට එරෙහි අවලාද සියල්ල බොරු වීමෙන් පසුව සතුරන් දැන් වෙනත් ප්‍රචාර පටන්ගෙන”
-රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි-

පසුගිය ජනාධිපතිවරණයේ දී දකුණෙන් ඉදිරියෙන්ම සිටිමින්, ජයග්‍රහණය අපි පෙන්නුවා. දියවන්නාව පිරිසිදු කිරීමේ දැවැන්ත ශ්‍රමදානය එළැඹෙන 14 වැනිදා ආරම්භ කරනවා. ඒ මැතිවරණයෙන් පත් වී එන අය යම් පිරිසක් ශුද්ධ කළ යුතු අයත් සිටිය හැකියි. එය ශුද්ධ කිරීම වෙනම වගකීමක් සහිත කටයුත්තක්. ඒ අතර මේ රටේ ආර්ථිකය ගොඩනඟන සැලැස්ම ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවක සැලසුම් විද්වතුන්ගේ කමිටුවලින් සකස් කර තිබෙනවා. ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න අප හොඳම අවබෝධයෙන් ඉන්න ඕනෑ. පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට එරෙහිව නැඟූ මඩ, අවලාද සියල්ල බොරු වීමෙන් පසුව දැන් වෙනත් ප්‍රචාර පටන්ගෙන තිබෙනවා. මහා භාණ්ඩාගාර බිල්පත්වලින් ණය ගන්නා බවට විශාල ප්‍රචාරයක් ගෙන යන්න උත්සාහ කළත්, ආණ්ඩුව සහ මහ බැංකුව එක් වී මූල්‍ය කළමනාකරණය කරන ආකාරය භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර බව ජනතාව තේරුම් ගත්තා. ජනාධිපතිවරණයට කලින් ආණ්ඩුව සති පනස්දෙකක් පුරා නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් ණය නැවත ගෙවීමේ සල්ලි හොයා ගන්න ණය ගන්න සිදු වුණු බව ජනතාව අවබෝධ කරගෙන සිටිනවා. ඔක්තෝබර් 4 වැනිදා බිලියන 134ක්, ඔක්තෝබර් 11 බිලියන 64ක්, ඔක්තෝබර් 18 බිලියන 76ක්, ඔක්තෝබර් 25 බිලියන 105ක් වශයෙන් ඔක්තෝබර් මාසයට විතරක් බිලියන 380ක් කලින් ලබා ගත් ණය කල්පිරී ගෙවන්න තිබුණා. නොවැම්බර් පළමුවැනිදා රුපියල් බිලියන 156ක් ගෙවන්න තිබෙනවා. 08 වැනිදා බිලියන 99ක්, ඡන්දයට පසුව දා බිලියන 161ක්, නොවැම්බර් 22 බිලියන 153ක් සහ නොවැම්බර් 29 බිලියන 132ක් ආදී වශයෙන් සතිපතා ණය ගෙවිය යුතුව තිබෙනවා.

මේ මූල්‍ය කළමනාකරණය සඳහා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඉටු කරන ක්‍රියාවලිය මේ ආණ්ඩුවෙන් අලුතින් ණය ගන්නා බවට ප්‍රචාරයක් යවන්න යොදා ගත්තා. ඒ වාගේම රුපියල් බිලියන 100ක් අච්චු ගැහුවා කියලා පට්ටපල් බොරුවකුත් ප්‍රචාරය කළා. මහ බැංකුව සිදු කරන ක්‍රියාවලිය ආණ්ඩුවේ කටයුත්තක් බව පෙන්වමින්, බොරු ප්‍රචාර ගෙන යනවා. නොවැම්බර් මස 14 වැනිදා දක්වා මේ වාගේ ප්‍රචාර ඔවුන් ගෙන යන බව පැහැදිලියි. මේ රටේ ජනතාව ඒ බොරු ප්‍රචාරවලට නොරැවටෙන බව දැන් ස්ථිර වී තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයේ ආසන හතෙන්ම මාලිමාව ජයග්‍රහණය කරවන්න ඒකරාශී වෙමු කියා ඉල්ලා සිටිනවා.

Sunil Handunneththi Addressing The Crowd At The Victory Rally Of Matara

“අපට මිනිසුන්ගේ ආදරය හැර වෙන මොකුත් එපා”
-ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සුනිල් හඳුන්නෙත්ති-

අනුර සහෝදරයා ජනාධිපති වූ පසුව මාතර ජනතාව හමුවන පළමු අවස්ථාව මේක. මාතරින් විශේෂත්වයක් කරලා, මේ රට පොහොසත් රටක් බවට පත්කර, ලස්සන ජීවිතයක් ගොඩනැගීම සඳහා අපි අනුර සහෝදරයාට දෙන තෑග්ග මොකක්ද? මාතරින් වාර්තාවක් තියලා ඉහළම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලබාදීමේ හැකියාව අපට තිබෙනවා. දකුණු පළාතෙන් පළමු වතාවට සිංහල සිංදු කියන කිරිල්ලිය, සරෝජා පෝල්රාජ් සහෝදරිය දමිළ ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යවනවා. ඒ වගේම වැලිගම විතරක් නොවෙයි, මාතර දිස්ත්‍රික්කයේම ආදරය දිනාගත් ඉල්ලියාස් සහෝදරයා සියලුම තරුණ ජනතාවගේ ආදරය දිනාගනිමින් ඉදිරියට යනවා. සිංහල, දෙමළ, මුස්ලිම් හැමදෙනාගේම සහෝදරත්වය සහ ආදරය දිනා ගැනීමේ නියෝජිතයන් වේදිකාවේ ඉන්නවා. කුමරප්පෙරුම සහෝදරයා මුලදී අකමැති වුණත් අපි බලෙන් අරගෙන ගැටගහලා යන්න නොදී තියාගත්තා. ඒ වගේම අවුරුදු දහයක් පහළොවක් සහ ඊට වැඩි බොහෝ කාලයක් පුරා අපි පිටිපස්සේ ඉඳන් ගැම්ම දුන්නු බොහෝ පිරිසක් නියෝජනය කරමින් වරදාන වරප්‍රසාද කිසිවක් නොතකා කටයුතු කරමින් සිටිනවා. අපි හැමෝම දකින සිහිනය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් හැමදාමත් සටන් කළ විශාල පිරිසක් අප පිටුපසින් නොසැලී ඉන්නවා. 2020 මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයෙන් අපට එක් මන්ත්‍රී ධුරයක්වත් ගන්න නොහැකි වූ අවස්ථාවේ මාතර පොළේ වඩේ බදින බව දැක්වෙන මගේ පින්තූරයක් සහිත පොස්ට් එකක් ෆේස් බුක් එකේ දමා තිබුණා. ඔහුගේ එම පෝස්ට් එකෙන් තමයි අපි ධෛර්යය සහ ශක්තිය වඩාත් වැඩියෙන් ගත්තේ. ඒ පෝස්ට් දාපු සහෝදරයාට බොහොම ස්තුතියි.

මාතර දිස්ත්‍රික්කයට පක්ෂ 16ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් තරක කරනවා. නමුත් ඒ කිසි කෙනෙකුගේ කාර්යාල නැහැ. ජන හමු නැහැ. රැස්වීම් නැහැ. හැමදෙයක්ම තිබෙන්නේ මාලිමාවෙන් විතරයි. හිටපු කැබිනට් ඇමතිවරුන්ට, ආණ්ඩුකාරවරුන්ට, ඒ අයගේ පුතාලාට කිසිම ජන හමුවක් පවත්වන්න හැකියාවක් නැහැ. කථානායකලා සහ ඒ අයගේ පුතාලත් ඉන්නවා. ඒ කිසිවෙකුටත් ජනතාව අතර ඉඩක් නැහැ. ඒ නිසාම සමහර අය ජාතික ලැයිස්තුට පැනලා ඉන්නවා. ඔවුන්ගේ දේශපාලනය අවසන් කරන කොට ජාතික ජන බලවේගය වැඩ ආරම්භ කර තිබෙනවා. නන්දා මාලිනියගේ පවන ප්‍රසංගයේ සමහර ගීත අහනකොට අපේ මේ ජීවිතයේදී යථාර්ථයක් කර ගත හැකිවේ යැයි කවදාවත් හිතුවේ නැහැ. අපි දේශපාලනය ආරම්භ කළේ අප විසින් පවරා ගත් කොටස අවසන් කරන්න. සුනිල් ආරියරත්නයන් ලියූ ඒ ගීතයේ තිබෙන්නේ “රජෙක් ලැබුණෝතින් කැවුම් කිරිබත් කඤ්ඤම් – පෙරහැර කරඤ්ඤම් – සාදුකාරෙන් ගිගුම් දෙඤ්ඤම්” කියන ගීතයයි. එහි අවසානයේ තිබෙන්නේ “අප සම බිමක රඳවන සොහොයුරානෝ – රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ” කියලයි. එදා 87/90 කාලයේ දඟගෙයි දැමූ වදකාගාරවල අනේක විද දුක්විඳි සහෝදර සහෝදරියන් ඇතුළු මේ රටේ සුවහසක් ජනතාවගේ ප්‍රාර්ථනාව අප සම බිමක රඳවන පළමු පියවර තබා තිබෙනවා. ඒ සියලු ජයග්‍රහණ අත්කර දුන්නේ මේ ජනතාව. බංකොලොත්භාවය නිල වශයෙන් ප්‍රකාශ කළ, ලෝකය ඉදිරියේ අවමානයට පත්වූ රටට අද ආඩම්බරයක් ගෞරවයක් සහ බලාපොරොත්තුවක් දී තිබෙනවා. ජනතාව තමන්ගේ පරමාධිපත්‍යය බලය පෙන්වා දැන් ටෙලි නාට්‍යවලට අමතරව ප්‍රවෘත්තිත් බලන්න පටන්ගෙන තිබෙනවා. ජනතාව ජනාධිපතිවරණයට ගැහුව කතිරයෙන් පාර්ලිමේන්තුව සුද්ද වීම ආරම්භ වී හැට ගණනක් ස්වේච්ඡාවෙන් ඉවත්වී සිටිනවා.

The Crowd At The Victory Rally Of Matara

දැන් තිබෙන්නේ තුන්දෙනෙකුගේ ආණ්ඩුවක්. නොවැම්බර් 14 වැනිදා ඒ තුන්දෙනාට අමතරව ශක්තිමත්ම කැබිනට් මණ්ඩලයක් පිහිටුවා ගන්න පාර්ලිමේන්තුවේ විශාල බහුතරයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ගන්න ඕනෑ. පසුගිය ජනාධිපතිවරණයේදී මාලිමාවට ඡන්දය දෙන්න බැරි වුණු අයට මහා මැතිවරණයේදී ඡන්දය දෙන්න ඕනෑවටත් වඩා හේතු දැන් නිර්මාණය කර තිබෙනවා. මාලිමාවේ හොඳම උගතුන් බුද්ධිමතුන් සහ දක්ෂයන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ. ඒ වෙනුවෙන් ඉදිරි සති දෙකේදීත් අධිෂ්ඨානයෙන් ක්‍රියාකළ යුතු වෙනවා. විශේෂයෙන්ම මාතර ජනතාවට ආශිර්වාදයක් ලෙස ගිං-නිල්වලා යෝජනා ක්‍රම යොදාගෙන සංචාරක සහ ධීවර කර්මාන්තයත් ඉහළටම ගොඩනංවමින් රට පොහොසත් කරන ආර්ථිකයේ විශාලතම පංගුව මාතර දිස්ත්‍රික්කයෙන් ලබදෙනවා. අපේ ඉතිහාස කතාව ලියන දවසක 2024 වන විට පාපතර පාලකයන් නිසා ඖෂධ විෂ වී ජනතාව මිය යමින් සිටි අවස්ථාවක ජනතාව එකතු වී නව පුනරුද යුගයක් ආරම්භ කළ බව අභිමානයෙන් ලියාවි. අපට මිනිසුන්ගේ ආදරය හැර වෙන මොකුත් එපා. වාර්තාගත ජයග්‍රහණයකින් මාලිමාව දිනවන්න හැමදෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා.

Saroja Savithri Polraj Addressing The Crowd At The Victory Rally Of Matara

“පළමු වතාවට සියලු පුරවැසියන් ආදරයෙන් රැක බලා ගන්නා යුගයක් නිර්මාණය කරනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මාතර දිස්ත්‍රික් අපේක්ෂිකා සරෝජා සාවිත්‍රි පෝල්රාජ්-

මාතර බෝධීන් වහන්සේ ඉදිරිපිට මේ පිටියේදී අපි නොයෙක් වර හමුවෙලා ඇති. නමුත් මෙම රැලියේදී අප හමුවන්නේ අපේ ආදරණීය අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරවූ විජයග්‍රාහී ජනතාවක් හැටියටයි. එය හුදෙක් ජයග්‍රහණයක් පමණක් නොවෙයි, සමාජ පරිවර්තනය යුගයක පළමු පියවරයි. සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම මේ රටේ පුරවැසියෝ. අපට ඕන වුණේ හොඳම රටක්. අපේ දරුවන්ට සුරක්ෂිත, විනයගරුක, නීතිගරුක, වගේම ආර්ථික වශයෙන් සුරක්ෂිත රටක්. රට ගොඩනැගිය හැකි වැඩපිළවෙළක් තිබෙන එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි. විනයගරුක රටක් වගේම පිරිසිදු රටක අපි හැමදෙනාටම සතුටින් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කර ගත යුතුයි. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන තේමාවෙන් මේ රට ගොඩනඟා අපේ දූ දරුවන්ට සුරක්ෂිත අනාගතයක් ලබාදෙන්න අපි සියලුම දෙනා ඒකරාශී වී සිටිනවා. විශේෂයෙන්ම අම්මලාගේ අපේක්ෂාව තම දරු පැටවුන්ගේ පෝෂණය, අධ්‍යාපනය වගේම දුක් සුසුම් වේදනා නැති ජීවිතයක් ගොඩනඟා දීමයි. ඒ වෙනුවෙන් රටේ හැම අම්මා තාත්තා කෙනෙක්ම අසීමිත දුක් කන්දරාවක් උසුලනවා. පොහොසත් රටක් තුළ මේ අම්මා තාත්තලා තනි තනිව දුක්විඳිය යුතු නැහැ. පාලකයන් විසින් පුරවැසියන්ව සුරක්ෂිත කරන රටක් ගොඩනඟන්න ඕනෑ. මෙපමණ කල් තිබුණේ පුරවැසියන් විසින් ආණ්ඩුවක් සහ පාලකයන්ව සුරක්ෂිත කර, රකින රටක්. ඉතිහාසයේ පළමු වතාවට පාලකයන් විසින් ජනතාව සුරකින, ජනතාවට වග කියන සියලු පුරවැසියන්ව ආදරයෙන් රැක බලා ගන්නා යුගයක් නිර්මාණය කරනවා.

ඒ වෙනුවෙන් අපි හැමකෙනාගේම එකම බලාපොරොත්තුව විශේෂයෙන්ම ජනගහනයෙන් 52%ක් වූ කාන්තාවන්ගේ ජීවිත සුරක්ෂිත කෙරෙන රටක් ගොඩනඟනවා. කාන්තාවන්ට පවතින සියලු ආකාරයේ අනාරක්ෂිත තත්වයන් වෙනුවට ආරක්ෂාව තහවුරු කෙරෙන, දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කෙරෙන සුරක්ෂිත සහ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේම අයිතීන් සුරැකෙන රටක් ගොඩනඟමු. සියලු දෙනාම ආදරයෙන් බැඳෙන රටක් ගොඩනඟමු.

L M Abeywikrama Addressing The Crowd At The Victory Rally Of Matara

“අක්කරයකින් වසරකට රුපියල් ලක්ෂ 30ක ඉපයිය හැකි තත්වයට කෘෂිකර්මය දියුණු කරනවා”
-ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති කමිටුවේ සාමාජික, රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම-

ජාතික ජන බලවේගය කෘෂිකර්මය නගා සිටුවීම සඳහා සැලකිය යුතු කාලයක් වෙහෙස මහන්සි වෙමින් සැලසුම් සකස් කළා. ජයග්‍රහණය කිරීමෙන් පසුව ක්‍රියාත්මක කිරීමේ වගකීම අපට පැවරී තිබෙනවා. විවිධ හේතු නිසා අපේ ගොවි ජනතාව අසීරු තත්වයකට පත්වී සිටිනවා. නමුත් දේශීය අවශ්‍යතාවලට පමණක් නොවෙයි, විදේශ විනිමය ලබාගැනීම වෙනුවෙන් අපනයනය කළ හැකි තරමට කෘෂිකර්මාන්තය සංවර්ධනය කළ හැකියි. ඒ වෙනුවෙන් විදේශ තානාපති සේවය මේ දක්වා යොදා ගත්තේ නැහැ. දේශපාලකයන්ගේ ඥාතීන් වූ තානාපති සේවයේ පිරිස් සුඛෝපභෝගී ජීවිත ගතකරමින් සිටියා. ඔවුන් අපේ කුරුඳු, ගම්මිරිස්, එනසාල්, තේ, වැනි කෘෂිකාර්මික නිෂ්පාදනවලට ලෝක වෙළඳපොළේ නව ඉල්ලුමක් සොයා ගත්තේ නැහැ. ඒ නිසා අපේ තරුණ පරපුර කෘෂිකර්ම ක්ෂේත්‍රය අත්හැර ගියා. ඒවගේම කෘෂිකර්මාන්තය කෙරෙහි අඩු අවධානය දැක්වීම නිසා නවීන තාක්ෂණයෙන් බල ගැන්වූයේ නැහැ. ජාතික ජන බලවේගය ප්‍රමිතියෙන් යුතු පොහොර සහ රසායනික ද්‍රව්‍ය, කෘෂි උපකරණ, වගේම නවීන තාක්ෂණය, කෘෂිකර්මාන්තයට ලබාදී අගය එකතු කරන කර්මාන්තයක් බවට පත්කරනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය කර්මාන්ත ඉදිකර, කෘෂිකර්මය තරුණයන්ට නියැළිය හැකි ආකර්ෂණීය කර්මාන්තයක් බවට පත්කර නිසි මිලක් ලබාගැනීමට පියවර ගන්නවා. අපේ පාලනයකට මුල් වසර පහ අවසන් වන විට කෘෂිකර්මාන්තයට යොදවන හැම අක්කරයකින්ම රුපියල් ලක්ෂ 30ක වාර්ෂික නිෂ්පාදනයක් ජාතික ආර්ථිකයට එක්කිරීම අපේ මූලික අරමුණයි. මාසයකට ලක්ෂ දෙකහමාරක පමණ කෘෂිකාර්මික නිෂ්පාදනයක් හැම බිම් අක්කරයකින්ම ලබාගැනීමේ සැලසුම් සකස් කර, ඒ වෙනුවෙන් නිසි වෙළඳපොළක් ලබාදීම වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මක කරනවා. කෘෂිකර්ම පර්යේෂණ ආයතනවල සිටින දහසක් පමණ විද්‍යාඥයන් සහ පර්යේෂකයන් අපේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති සම්පාදන කමිටුව සමග එක්කර මේ ඉලක්කය සපුරා ගන්න ක්‍රියා කරනවා.

Upul Kumarapperuma Addressing The Crowd At The Victory Rally Of Matara

“රටේ ඉතිහාසය අලුතින් ලියන්න සුදුසුම පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට යවමු”
-මාතර දිස්ත්‍රික් අපේක්ෂක ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම-

පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර සහෝදරයා ජනතාවට ලබාදුන්නේ මේ රට ලෝකයේ නිසි තැනට ඔසවා තබන ප්‍රතිඥාවයි. මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කර, නිවැරදි සංවර්ධන මාවතකට ගෙන යන බව ඔහු ප්‍රකාශ කළා. දේශපාලන බලය යොදවා මූල්‍ය අපරාධ කළ සියලුම දෙනා නීතිය ඉදිරියට ගෙන එන බව ප්‍රකාශ කළා. ඒ වගේම ඔවුන් කොල්ලකා ගත් මහජන ධනය ආපසු ලබාගැනීමට ක්‍රියාකරන බව ප්‍රකාශ කළා. විධායකයට අවශ්‍ය ඒ ක්‍රියාමාර්ග දියත් කිරීමට ප්‍රබල බලයක් සහිත පාර්ලිමේන්තුවක් මහා මැතිවරණයෙන් පත්කර ගන්න ඕනෑ. පාර්ලිමේන්තුවෙන් සම්පාදනය කරන නීති, ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරනවා. එහෙම නම් රට ඉදිරියට ගෙනයන මාර්ගය සකස් කර ගන්න අවශ්‍ය නීති පාර්ලිමේන්තුවෙන් සම්පාදනය කර ගන්න ඕනෑ.

ඒ වෙනුවෙන් බලය ගන්න ජනාධිපතිවරණයේදී අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් රටේ ජනතාව ඉදිරියේ තැබුවා. ඒ වගේම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාවගේ අනුමැතියෙන් සකස් කර, සම්මත කර ගන්නා බවට පොරොන්දු වුණා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ ගෙම්බන් පනින ආකාරයෙන් පිල් පනින මන්ත්‍රීවරු නවත්වන්න අලුත් ප්‍රතිපාදන ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් කරනවා. ඒ වගේම ජනතාවගේ ඡන්දයෙන් පත්වෙන මන්ත්‍රීවරයා ජනතාවට විරුද්ධව වැඩකරනවා නම්, ඔහු ඉවත් කිරීමේ බලය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නවා. ජාත්‍යන්තර සම්මුති සමග සමපාත වෙමින් අලුත් නීති සකස්කර, මේ රටින් පිටරටට ඇද්ද අපේ ධනය නැවත ලබාගැනීමටත් අවශ්‍ය නීති සම්පාදනය කරනවා. මේ සියල්ල වෙනුවෙන් හොඳ බලයක් තිබෙන පාර්ලිමේන්තුවක් පත්කර ගත යුතු වෙනවා. ඒ නිසා මළගෙදරට ඇවිත් කැරම් ගහපු අය, දාම් ඇද්ද අය, නොවෙයි පාර්ලිමේන්තුවට පත්කර ගත යුත්තේ. මෙච්චරකල් සිදු කළ ඒ තත්වය වෙනස් කර, පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව වගකීම් දරන්න සුදුසු අය පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ. ඒ වෙනුවෙන් සුදුසුම කණ්ඩායම ඉදිරිපත් කර තිබෙන්නේ ජාතික ජන බලවේගයයි. අපේ රටේ ඉතිහාසය අලුතින් ලියන්න සුදුසම පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට යවමු.

Muneer Mulaffar Addressing The Crowd At The Victory Rally Of Matara

“ජනතාවට ලස්සන ජීවිතයක් ලබාදිය හැකි ප්‍රබල ආණ්ඩුවක් ගොඩනඟන්න ඕනෑ”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මුනීර් මුලෆ්ෆර්-

පසුගිය ජනාධිපතිවරණයේදී ධන බලය, රාජ්‍ය බලය, මාධ්‍ය බලය ඇතුළු සියලු බලයන් තබාගෙන ඔවුන් දිනන්න උත්සාහ කළා. නමුත් අපි විශ්වාස කළේ ආදරණීය මහ ජනතාවගේ බලය ගැන පමණයි. ජනාධිපතිවරණයේදී මහා ජනතාවගේ බලයෙන් ජයග්‍රහණය කළා වගේම එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී විජයග්‍රහණයක් ලබන බවට සැකයක් නැහැ. ඒ නිසා කලබල වුණු අය විවිධ ප්‍රචාර යවනවා. එක පිරිසක් අපි සල්ලි අච්චු ගහනවා කියනවා. තවත් අය පොල් ගෙඩිය ගැන, බිත්තරය ගැන, ණය ගැනීම ගැන කියනවා. ඔවුන් මොන ප්‍රචාර ගෙනගියත් ආසනය තුළත් රට පුරාමත් සැරිසරන අපට විපක්ෂයේ ජන හමුවක් නම් සොයා ගන්න බැරි වුණා. මංකොල්ලකරුවන්, ස්ත්‍රී දූෂකයන්, වෙනත් අපරාධකරුවන් මේ තරම් බය වුණු යුගයක් ඉතිහාසයේ කවදාවත් තිබිලා නැහැ. යාළුවන් යාළුවන් අතරේ ආණ්ඩු හදාගත් නිසා ඔවුන් කලින් බය වුණේ නැහැ.

දැන් නිර්මාණය වී තිබෙන්නේ මේ රටේ ආදරණීය ජනතාවගේ ඇත්ත ආණ්ඩුවක්. ඒ නිසා ඔවුන් හොඳටම බය වී ඉන්නවා. පසුගිය ජනාධිපතිවරණයේදී අපට එරෙහි බොරු, අවලාද සියල්ල බොරු කර, ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය පැවැත්වූවා. සමහරු අපට තනියෙන් දිනන්න බැරි බවත් දූෂිත වළල්ලේ යම් යම් පිරිස් එක්කර ගත යුතු බවත් ජනාධිපතිවරණයේදී කීවා. ඒ වළල්ලේ හැමදෙනාම වගේ උදේට හවසට එක්කර ගත් සජිත් ප්‍රේමදාසගේ පක්ෂය බ්‍රේකින් නිව්ස්වල වටිනාකමත් නැතිකර දැම්මා. ඔහු දූෂිත වළල්ලේ පිරිස විශ්වාස කළාට අපි විශ්වාස කළේ මේ රටේ ආදරණීය ජනතාවයි. මේ රටේ ආදරණීය ජනතාව අනුර කුමාර දිසානායක සහෝදරයා ඉහළින්ම ජයග්‍රහණය කරවා තිබෙනවා.

Crowd At The Victory Rally Of Matara

ඉස්සර මහා මැතිවරණයකදී රජයේ වාහන ඇතුළු දේපළ රිසිසේ ඔවුන් යොදා ගත්තා. ඒ ආදර්ශයන් දුන් අපි ලබන 14 වැනිදා තවත් විශාල ජයග්‍රහණයක් ලබාදීමට සූදානමින් සිටිනවා. උතුර, නැගෙනහිර සහ කඳුකරයේ සිටින සමහර නායකයන් මේ මැතිවරණයේදී කියන්නේ ඔවුන්ව ජයග්‍රහණය කරවා ජාතික ජන බලවේගයට සහයෝගය දෙන්න යවන ලෙසයි. ඔවුන් එන්නේ තනතුරු බලාගෙන නිසා ඒ කිසිම කෙනෙකුගේ සහයෝගයෙන් තොරව මේ රට පොහොසත් රටක් බවට පත්කර, ලස්සන ජීවිතයක් ජනතාවට ලබාදිය හැකි ප්‍රබල ආණ්ඩුවක් ගොඩනඟන්න ඕනෑ. එකමුතුකමින් එක්සත්ව මේ මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බව දැනටමත් ඔප්පු කර තිබෙනවා. සමගියෙන් සහයෝගයෙන් ආදරණීය ශ්‍රී ලාංකික ජාතිය ගොඩනඟන්න ලබන 14 වැනිදා මාලිමාව ඉදිරියෙන් කතිරය ගසන්න. අපි පොහොසත් රටක් නිර්මාණය කර, ලස්සන ජීවිතයක් ගොඩනගා ගනිමු.

Show More

අන්ධකාරයට එරෙහිව ආලෝකයේ ජයග්‍රහණය සංකේතවත් කරමින් ලොව පුරා හින්දු බැතිමත්තු මහත් භක්තියෙන් දීපාවලි උත්සවය සමරති.

(-Colombo, October 31, 2024-) නිදහසින් පසු දශක ගණනාවක් පුරා අඳුරේ අත පත ගාමින් ආලෝකය සොයා පැමිණි ශ්‍රී ලාංකික ජනතාව මේ වන විට නැවුම් බලාපොරොත්තු හිස දරා සිටිති. මේ වනාහි වසර ගණනාවක ජනතා අපේක්ෂා ඵල දැරීමකි. මෙතෙක් කල් ශ්‍රී ලංකාව පාලනය කළ පාලකයන් විසින් යටපත් කරන ලද ජනතා අපේක්ෂා මල් ඵල ගැන්වෙන පුනරුද යුගය අපි දැන් […]

(-Colombo, October 31, 2024-)

President Anura Kumara Dissanayake Diwali Wish

නිදහසින් පසු දශක ගණනාවක් පුරා අඳුරේ අත පත ගාමින් ආලෝකය සොයා පැමිණි ශ්‍රී ලාංකික ජනතාව මේ වන විට නැවුම් බලාපොරොත්තු හිස දරා සිටිති. මේ වනාහි වසර ගණනාවක ජනතා අපේක්ෂා ඵල දැරීමකි. මෙතෙක් කල් ශ්‍රී ලංකාව පාලනය කළ පාලකයන් විසින් යටපත් කරන ලද ජනතා අපේක්ෂා මල් ඵල ගැන්වෙන පුනරුද යුගය අපි දැන් ආරම්භ කර ඇත්තෙමු.

දීපාවලි සැමරුමට පාදක වූ පුරාවෘත්ත කිහිපයක්ම පවතී. වසර 14ක වනවාසය අවසන් කර රාම රජු, සීතා හා ලක්ෂ්මනද කැටුව අයෝධ්‍යා පුරයට යළි පැමිණීම, විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් වූ ක්‍රිෂ්ණා නරකාසුර නමැති අසුරයා පරාජය කිරීම ආදිය ඒ අතර වේ. එම සිදුවීම් සිහිපත් කරමින් හින්දු බැතුමත්තු දීපාවලි උත්සවය සමරති.

අවිද්‍යාවේ ගනඳුර පළවා හරින්නට හැකි වන්නේ විද්‍යාවේ ආලෝකයට පමණි. ප්‍රඥාවේ දීපාවලිය දල්වමින් ශ්‍රී ලාංකිකයන් ලෙස නව චින්තන පෙරළියක් සඳහා වූ මඟකට පිවිසීමට මෙවර දීපාවලි උත්සවය අගනා නිමිත්තක් කර ගනිමු යැ’යි මම සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

සංස්කෘතික විවිධත්වයේ අලංකාරය අගයමින්, එකිනෙකා කෙරෙහි ගරුත්වය, පිළිගැනීම හා සහෝදරත්වයේ දෑත දිගු කරමු. බෙදා වෙන් කර දුර්වල කරන්නට තැත් කළ ශ්‍රී ලාංකික ජාතිය නොබෙදී සවිමත්ව සිට ගැනීමට කාලය පැමිණ ඇත. අසාධාරණය, වෙනස් කර සැලකීම්, ආන්තීකරණය, වෛරී ප්‍රකාශ හා ප්‍රචණ්ඩත්වය ආදිය මුලිනුපුටා දමමින් සමාජය අසම ජේදනය කරන, වරප්‍රසාද ලාභීන් හා වරප්‍රසාද අහිමි වූවන් නිර්මාණය කරන දේශපාලන සංස්කෘතියට නැවතුම් තිත තැබීමට අපි පෙරමුණ ගනිමු.

එලෙස, සහකම්පනීය හා විචාරශීලී නව සංස්කෘතික පැවැත්මක් නිර්මාණය කර ගැනීම සඳහා සියලුම ජනතාවටද මම ආරාධනා කරමි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පිළිබඳ අපගේ අපේක්ෂාව යථාවට නැඟීමට නම් මෙම සංස්කෘතික, දේශපාලනික හා ආකල්පීය පරිවර්තනය අත්‍යවශ්‍ය බව මෙම දීපාවලියේ දී මම අවධාරණය කරමි.

දීපාවලි දිනයේ සෑම නිවසකම දැල්වෙන දහස් ගණනක පහන් ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත්සතන් තුළ සුහදත්වයේ හා ප්‍රඥාවේ ආලෝකය පැතිරේවා’යි ප්‍රාර්ථනය කරමින් සමස්ත ලෝකවාසී සහ ශ්‍රී ලාංකික හින්දු භක්තිකයන්ට දීපාවලි සැමරුම් දින ශුභාසිංසන එක් කරමි.

අනුර කුමාර දිසානායක

ජනාධිපති

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2024 ඔක්තෝබර් 30 දින

Show More

“ජනාධිපතිවරණයේදී අපිට එල්ල කළ චෝදනා සියල්ල අසත්‍ය වී හමාරයි. පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ දේශපාලනය ගැන පළපුරුදු රට ගැන හිතන, රටට ආදරය කරන අයගෙන්…” -ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා-

(-කළුතර ජයග්‍රාහී රැලිය – 2024.10.27-) ජනාධිපති මැතිවරණයේදී අපට එරෙහිව එල්ල කරන ලද බොරු චෝදනා, අසත්‍යයන් ප්‍රචාරය නිසා ජනතාව දෙගිඩියාවකින් සිටියා. මාලිමාව ජයග්‍රහණය කරලා අද වනවිට මාසෙකට වඩා කෙටි කාලයක් ගත වෙලා. අපට එරෙහිව නගන ලද චෝදනා, සියල්ල අසත්‍ය බවට තහවුරු වෙලා තිබෙනවා. අද ඒ අයට කියන්න දෙයක් ඉතිරිවී නැහැ. විරුද්ධ පාර්ශ්වයන් වේදිකාවල හඬ නගනවා පුරුදු […]

(-කළුතර ජයග්‍රාහී රැලිය – 2024.10.27-)

President Anura Kumara Dissanayake Addressing The Crowd At The Victory Rally Of Kaluthara

ජනාධිපති මැතිවරණයේදී අපට එරෙහිව එල්ල කරන ලද බොරු චෝදනා, අසත්‍යයන් ප්‍රචාරය නිසා ජනතාව දෙගිඩියාවකින් සිටියා. මාලිමාව ජයග්‍රහණය කරලා අද වනවිට මාසෙකට වඩා කෙටි කාලයක් ගත වෙලා. අපට එරෙහිව නගන ලද චෝදනා, සියල්ල අසත්‍ය බවට තහවුරු වෙලා තිබෙනවා. අද ඒ අයට කියන්න දෙයක් ඉතිරිවී නැහැ. විරුද්ධ පාර්ශ්වයන් වේදිකාවල හඬ නගනවා පුරුදු අය පාර්ලිමේන්තුවට එවන්න කියලා. හොරා කෑම පුරුදු, නීති විරෝධී වැඩකරලා පුරුදු, පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනාපු, පිහි අරගෙන ආපු, අසභ්‍ය වදන කතා කරන, වැරදි තීරණවලට අත එසවීමේ හොඳ පුරුද්දක් තියෙන, මහජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කිරීමට පළපුරුද්ද තියෙන, කාර් පර්මිට්, බාර් පර්මිට් ගැනීමේ පුරුදු තිබෙන අය තමයි මේ නැවතත් එවන්න කියන්නේ. අපි කියන්නේ මේ සැරේ පාර්ලිමේන්තුව අලුත් අයගෙන් පුරවන්න ඕනෑ කියලා. මෙතන ඉන්න අය පාර්ලිමේන්තුවට අලුත් වුණාට දේශපාලනයට අලුත් අය නොවෙයි. රට විපතට පත් ඕනෑම මොහොතක රට ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දේශපාලනය කරපු අය. කෝටි ගණන් දේපොළ සොරකම් කරන කොට, රටේ සම්පත් විකිණීමට එරෙහිව කටයුතු කරපු, ගං වතුරකදී, සුනාමි විපතකදී, ජනතාව ව්‍යසනයකට මුහුණ දෙන අවස්ථාවකදී ජනතාව වෙනුවෙන් යමක් කිරීමට මැදිහත් වූ අය. ඒ නිසා පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ ජනතාව වෙනුවෙන් පෙනී සිටි, දේශපාලනය පිළිබඳ පළපුරුදු අලුත් අයගෙන්.

මේ රටේ දේශපාලනය යහපත් දේශපාලනයක් බවට පරිවර්තනය කරන්න ඕනෑ. අපේ රටේ දේශපාලනය කියන්නේ බිස්නස් එකක්. ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් ඒ මන්ත්‍රී බලය උපයෝගී කරගෙන ධනය උපයනවා. ඉඩකඩම්, කොළඹින් ගෙවල් හතරක් පහක්, මිලදී ගන්නවා. දේශපාලනය එයාලට මුදල් ඉපයීමේ මාර්ගයක්. ජාතික ජන බලවේගයට දේශපාලනය යනු මහජන සේවයක්. බිස්නස් එකක් වී තිබෙන දේශපාලනය අපි මහජන සේවයක් බවට පරිවර්තනය කරනවා. එයාලගේ දේශපාලනයේදී යම් යම් ව්‍යාපෘති තෝරා ගන්නේ රටට කොතරම් වැදගත්ද යන්න සොයා බලා නොවෙයි, තමන්ට කොතරම් කොමිස් මුදලක් ලැබෙනවාද යන එකඟතාවය මත තමයි ව්‍යාපෘති තොරාගන්නේ. මේ නිසාම අපේ රටට පිරිසිදු ආයෝජකයන් එන්නේ නැහැ. අපි මේවා වෙනස් කරනවා.

Crowd At The Victory Rally Of Kaluthara

දේශපාලනය ව්‍යාපාරයක් කර ගන්න සෞඛ්‍ය ඇමති ආදායම් උපයන්න බෙහෙත්වලින් සොරකම් කරනවා. ධීවර ඇමති චීනෙන්, ජපානෙන් අල්ලන මාළු ලංකාවට ගොඩදාන්න අවසර දෙනවා. ගාණකුත් ගන්නවා. තමන්ට ලැබෙන මුදලේ වාසිය බලාගෙන බාල පොහොර ගෙන්වනවා. ඉන්ධන සාධාරණ මිලට ගන්නවා වෙනුවට වැඩි මිලට ගන්නවා. හොඳ විදුලි බලාගාර ගලවාගෙන යනවා. අලුතින් හදන්නේ නැහැ. අහිතකර ගිවිසුම්වලට අත්සන් කරනවා. දේශපාලනය ව්‍යාපාරයක් කර ගන්නා විට රටේ සියලුම ජනතාව විවිධ ක්ෂේත්‍රයකින්ම පීඩාවට පත්වෙනවා. මේ තත්වය අවසන් කරන්න නම්, මේ දේශපාලන බිස්නස් එක මහජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන්න ඕනෑ. ජාතික ජන බලවේගය අපි මුල පුරා තිබෙන්නේ ඒකට. මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද අඩු වෙන්න ඕනෑ. ඔවුන් දරන වැය බර අඩු කරන්න ඕනෑ. ජනාධිපතිවරයා වෙනුවෙන් දරන වැය බර අඩුකරන්න ඕනෑ. හිටපු ජනාධිපතිවරු වෙනුවෙන් දරන වැය බර මුළුමනින්ම අඩුකරන්න ඕනෑ. සමහර වරප්‍රසාද චක්‍ර ලේඛනවලින්ද, සමහර වරප්‍රසාද පනත්වලින්ද, සමහර වරප්‍රසාද ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන්ද ලබාදී තිබෙනවා. ඒ සියල්ල ඉවත් කිරීම සඳහා කළ යුතු වෙනස් කිරීම් කරන්නේ කොහොමද කියලා සොයා බලන්න අපි කමිටුවක් පත්කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සියල්ල නතර කරනවා. ඒවා විශාල වියදම්. වාහන එකසිය හැට ගානක්, ගෙදර අයටත් වැඩියෙන් කෝකියන් ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. ඒ ගොල්ලන් දේශපාලනය කළා, ජනාධිපති වුණා, ඒ නිසා විශ්‍රාම ගියාටත් පස්සේ එයා බලාගන්න එක ජනතාවගේ වැඩක් කියලා එයාලා හිතනවා. ඒක ජනතාවගේ වැඩක් නොවෙයි.

ඒ වගේම රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ඕනෑ. දැන් රු.5000 දීමනාව ගන්න, හාල් කිලෝ 5ක් ගන්න, ජනතාව පැය ගණන් පෝලිමේ ඉන්න ඕනෑ. උප්පැන්න සහතිකයක් ගන්න, අවස්ථා ගණනාවක් යන්න වෙනවා. අපේ රටේ තවමත් තිබෙන්නේ පැරණි රාජ්‍ය යාන්ත්‍රණයක්. ලෝකයේ රටවල් තාක්ෂණයත් එක්ක දියුණු වෙලා තිබෙනවා. රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට ඩිජිටල් කරන ව්‍යාපෘතිය අපි ආරම්භ කරනවා. ගොඩක් දේවල් ෆෝන් එකෙන් ගෙවන්න පුළුවන් විදිහට පහසුකම් සපයා දෙනවා. ආණ්ඩුවෙන් දෙන ඕනෑම දීමනාවක් තමන්ගේ ගිණුමකට එවන්න සලස්වනවා. ෆෝන් එකෙන් ගනුදෙනු කරන්න හැකි කාර්යක්ෂමතාවයක් හදන්න ඕනෑ. අපි කෙටි කාලයක් තුළ පුරවැසියන්ට කරදර නොවෙන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ආරම්භ කරනවා. ඒ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රධානම විද්වතා ස්වේච්ඡාවෙන් වැඩ කරන්න ලංකාවට ළඟදීම එනවා.

ඒ වගේම නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ යුතුයි. සිදුකර ඇති වංචා, දූෂණ විමර්ශනය කිරීමේ කටයුතු අපි ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධ නීතිමය කටයුතු කිරීමට තිබෙන ෆයිල්, සමහර ඒවා නීතිපති දෙපාර්තමේන්තුවේත්, සමහර ෆයිල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් තිබෙනවා. ඒ සියලුම ෆයිල් විවෘත කර, අදාළ වැඩ කටයුතු කරනවා. ඒ වැඩකටයුතු කළ හැකි නිලධාරීන් අපි පත්කොට තිබෙනවා. ඒ කාර්යය කරගෙන යාම නිලධාරීන්ගේ වැඩක්. අපේ වැඩේ තමයි ඒ නිලධාරීන්ට සහාය දෙන එක. උපදෙස් දෙන එක. ඒ පරීක්ෂණ ආරම්භ කරන්න, අපරාධ පරීක්ෂණ කළ හැකි දක්ෂතම නිලධාරීන් ක්‍රමානුකූලව පත්කරමින් තිබෙනවා. මහ මැතිවරණයෙන් පසුව අපි කැබිනට් මණ්ඩලය හදනවා. එය 25ට වඩා අඩු කැබිනට් මණ්ඩලයක්. ඒකට අනුරූපී නියෝජ්‍ය අමාත්‍යවරු පත්කරනවා. ඊට පසුව මේ රට ගොඩනැගීම සඳහා ක්‍රමානුකූලව සැලසුම් සකස් කරනවා. රට ගොඩනගන තෙක් අපි ජනතාව බලා ගන්නවා. අපි විශ්‍රාමිකයන්ගේ දීමනාව රුපියල් 3000/-කින් වැඩිකළා. එළඹෙන අයවැය ලේඛනයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා. පොහොර සහනාධාරය ලබා දෙමින් තිබෙනවා. ධීවර ජනතාව සඳහා ඉන්ධන දීමනාව ලබාදීමට කටයුතු කර තිබෙනවා. දිළිඳු ජනතාව වෙනුවෙන් දෙන සහනාධාර වැඩිකරනවා. වෙනත් ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය සහන ලබාදීමට අවධානය යොමු කර තිබෙනවා.

The Victory Rally Of Kaluthara Crowd

අපේ කෘෂිකර්මාන්තය තාක්ෂණය යොදා ගනිමින් ඉහළම තලයකට ගේනවා. ගොවිජනතාව දුප්පත්භාවයෙන් ගලවා ගන්නවා. අපේ කුඩා තේ වතු හිමියන්, කුඩා පරිමාණයේ කුරුඳු වගාව කරන්නන්, තමන්ගේ ආදායමට ප්‍රමාණවත් වන තරමින් දියුණු කර්මාන්තයක් බවට පරිවර්තනය කරන්න සැලසුම් සකස් කොට තිබෙනවා. අයි.ටී. ක්ෂේත්‍රයේ විශාල සැලසුම් ප්‍රමාණයක් සකස් කොට තිබෙනවා. 2025 වෙන විට ලංකාවට එතෙක් වසරකට පැමිණි වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් ගෙන ආ ආණ්ඩුව බවට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පත්කරනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අප කෙරෙහි විශ්වාසය තබා විශාල ලෙස මුදල් එවීමට පටන්ගෙන තිබෙනවා. ඔවුන්ගේ සහාය ඉදිරියටත් අපි අපේක්ෂා කරනවා. අපේ කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් සමග අපි සාකච්ඡා කරමින් තිබෙනවා. ඔවුන්ගේ කර්මාන්ත, ව්‍යාපාර දියුණු කරන්න අපෙන් ලබාදිය යුතු සහාය ලබාදෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකළ යුතු පරිවර්තනයන් කුමක්ද යන්න සොයා බලා තිබෙනවා. අපේ පාසල් පද්ධතිය කඩා වැටී තිබෙනවා. විශාල පාසල් ප්‍රමාණයකට ළමයින් නැහැ. පාසල් 18%ක පමණ ළමයි 50ට වඩා අඩුයි. ඒ වගේම ළමයි ඉන්නවා පාසල් නැතිව. තමන්ගේ ආසන්නම පාසල කෙරෙහි දෙමව්පියන්ගේ විශ්වාසය බිඳ වැටී තිබෙන්නේ. ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක් නැති පාසල්, ළමුන් අතර සාමූහික ක්‍රීඩා තරගයක් පවත්වන්න නොහැකි පාසල් තිබෙනවා. හැම අම්ම, තාත්තාම කල්පනා කරන්නේ හොඳ පාසලකට තමන්ගේ දරුවා ඇතුළත් කරන්න. අපි මේ පිළිබඳ විධිමත් සමීක්ෂණයක් කරනවා. සෑම පාසලකටම ගොස් ඇතිවී තිබෙන තත්වය සොයා බලන්න, අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡා කර තිබෙනවා. එසේ සොයා බලා ඒ පාසල් දියුණු කරන්න අඩුපාඩුකම් සොයා බලා සැලසුම් සකස්කොට දියුණු පාසල් පද්ධතියක් නිර්මාණය කිරීමේ වගකීම බාරගෙන තිබෙනවා. ඒ වගේම රට ගොඩනඟන, ජනතාවගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් අපේ ආණ්ඩුව.

මෙතෙක් අපි හදපු ආණ්ඩුවල ප්‍රතිඵලය මොකක්ද වුණේ. ජනතාව දුප්පත් වුණා. පාලකයා පොහොසත් වුණා. අද අපි රට ගොඩනඟන, ජනතාවගේ ජීවිතය උසස් කරන ආණ්ඩුවක් හදා තිබෙනවා. අපි මේ රට ගොඩනඟා මිස ආපසු හැරෙන්නේ නැහැ. අපි 3% දිනන හැටි, තුන්නෙකුගෙන් ආණ්ඩුව ගෙනියන හැටි, ජාත්‍යන්තර සබඳතා පවත්වන හැටි, ආර්ථිකය කරන හැටි, අපි පෙන්වා තිබෙනවා. මේ ආණ්ඩුව රට හදන, ජනතාවගේ ජීවන තත්වයන් උසස් කරන ආණ්ඩුවක්. ඒ සඳහා පාර්ලිමේන්තුවේ ලොකු බලයක් අපට අවශ්‍යයි. පාර්ලිමේන්තුව රටට වැඩ දායක ක්‍රියාමාර්ග ගැනීමේදී එකිනෙකාගේ කකුලෙන් අදින්න බැරි ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදා ගන්න ඕනෑ. එහෙම පාර්ලිමේන්තුවක් හදන්න නම් නොවැම්බර් මාසේ 14 වැනිදා මාලිමාවේ වැඩි පිරිසක් පාර්ලිමේන්තු යවන්න ඔබ තමුන්නාන්සේලා තීන්දුවක් ගන්න ඕනෑ.

අද ඡන්දයක් තිබෙනවාද කියා ජනතාවට දැනෙන්නේ නැහැ. වෙනදා ඡන්දයක් තියන කොට කොඩි වැල් ගිනි තබනවා, පහර දෙනවා, වාහන රථ පෙළපාළි දුවනවා, ඡන්දෙ නොදුන්නොත් සමෘද්ධිය කපන බවට තර්ජනය කරනවා, ආණ්ඩුවෙන් ඇවිත් හාල් බෙදනවා; තහඩු බෙදනවා; ඇප්ලිකේෂන් බෙදනවා. ඒ විදිහටයි පසුගිය කාලේ ඡන්ද කළේ. ඒවා ඡන්ද නෙවෙයි, ඒ චණ්ඩි. අද ඒවා කිසිවක් නැහැ. ඡන්ද කියන්නේ මේවට. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තමයි ලංකාවේ පළමුවැනි වතාවට නිදහස් මැතිවරණයක් පවත්වන්නේ. මේවා තමයි වෙනස්කම්. සෑම අවස්ථාවකම අපි රටට අලුත් වෙනස්කමක් පෙන්නලා තිබෙනවා. රටේ වැඩ බාර ගන්න කොට, කැබිනට් මණ්ඩලය හදන කොට, අපි වැඩ කරන කොට, රටට අලුත් වෙනස්කමක් කර තිබෙනවා. මේ කෙටි කාලය තුළ අපි රට සුබදායක දිසාවට වෙනස් කර තිබෙනවා. අපි මේ රට හොඳ දිශාවට වෙනස් කරන රාජ්‍යයක් බවට පත්කරනවා. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම එකතු වෙමු. පෙරට එමු.

Tilvin Silva Addressing The Crowd At The Victory Rally Of Kaluthara

“ඔබ දීපු ඡන්දය පුදුම ඡන්දයක්. එක ඡන්දයෙන් වැඩ ගොඩක් සිදු වුණා.”
-ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා-

අපි මේ රටේ පොදු ජනතාවගේ පාලනයක් ගැන දශක ගණනාවක සිට හීන දකිමින් සිටියා. එය සැබෑ කර ගැනීමට අපි ධෛර්ය සම්පන්නව දිගටම වැඩකළා. පසුගිය සැප්තැම්බර් 21වැනිදා අපේම කියලා ජනාධිපතිවරයෙක් අපේම කියලා ආණ්ඩුවක් හදන්න පළමු පියවර තබන්න අපිට පුළුවන් වුණා. ඒක ගැන ඔබට අපිට විශාල සතුටක් තිබෙනවා. ඒ සතුට වගේම අපිට වගකීමක් තිබෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන් පොරොන්දු ඉටුකරන්න. අපිට අවශ්‍ය ශක්තිය ගන්න තව කඩඉමක් පසුර යා යුතුව තිබෙනවා. ඒ තමයි නොවැම්බර් 14දින මහ මැතිවරණය. ඒ මැතිවරණයේදී රට විනාශ කරපු සතුරු බලවේගවලට යළි කිසිදා මේ රට බාර නොදීමට අවශ්‍ය දැඩි තීන්දුවක් ගත යුතුව තිබෙනවා.

පසුගිය මාසෙ ඔබ දීපු ඡන්දය පුදුම ඡන්දයක්. එක ඡන්දයෙන් වැඩ ගොඩක් සිදු වුණා. ඒක මල්ටි පර්පරස් ඡන්දයක්. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි රට මෙතෙක් පාලනය කරපු සම්ප්‍රදායික දේශපාලන පැළැන්තිය මුළුමනින්ම දේශපාලන බිමෙන් ඉවත්වී ගියේ. ඒක මේ රටේ ජනතාවගේ ලොකුම ජයග්‍රහණයක්. අනෙක් ප්‍රතිඵලය තමයි අතිගරු උතුමාණෙනි කෑලි නැති, දණ ගහලා දෙකට තුනට නැමිලා වඳින්න ඕන නැති, අපේම ජනාධිපති සහෝදරයෙක් අපිට පත්කර ගන්න ලැබුණා. අනෙක් පැත්තෙන් පැරණි පාලනයේ නටඹුන් බවට පත්වූ මහා දැවැන්තයින් කියලා හිතාගෙන සිටි දේශපාලුවන් රොත්තක්ම පසුගිය ජනාධිපතිවරණයේදී හෝදාගෙන ගියා. 1936න් පසුව අද රාජපක්ෂලා මහා මැතිවරණයකදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග කරන්නේ නැති ත්වයට ඇද වැටිලා. කොහොමද, ඔබේ කතිරයේ බලවත්කම.

President Anura Kumara Dissanayake And Dr Nalinda Jayathissa On Stage

තිබුණු පාර්ලිමේන්තුව තවදුරටත් පවත්වාගෙන යා යුතු එකක් නොවෙයි කියලා පසුගිය 21 වැනිදා අපේ රටේ ජනතාව තීන්දුවක් ගත්තා. එදා අනුර සහෝදරයා රටේ ජනාධිපතිවරයා කරලා අලුත් ජනවරමකට අඩිතාලම දමන්න ඔබ තීරණය කළා. ඒ ජනවරමට පරණ පාර්ලිමේන්තු කණ්ඩායමත් සමග ඉදිරියට යන්න බැහැ. ඒ පාර්ලිමේන්තුව ඒ තිබුණු ජනවරමත් උල්ලංඝනය කරලා තිබුණේ. එදා ජනතාව ඡන්දය දුන්නේ රනිල්ව පරාජය කරන්න. ඒ ජනතාව දුන් ජනවරමට පිටුපාලා ඒ පාර්ලිමේන්තුව රනිල්ව ජනාධිපති කළා. ඒ පාර්ලිමේන්තුවේ හිටියේ මහජන නියෝජිතයෝ නෙවෙයි. ලෝක අපරාධකාරයෝ ටිකක්. ඒ පාර්ලිමේන්තුවට ජනතාවගේ විශාල විරෝධයක් තිබුණා. පසුගිය අරගලයේදී පුපුරා ගියේ ඒ විරෝධය. දැන් තිබෙන ජන වරමට වගවන, වගකියන අලුත් පාර්ලිමේන්තුවක් අපි හදාගත යුතුව තිබෙනවා. අන්න ඒ සඳහා දැන් මහ මැතිවරණයක් ඇවිත් තිබෙනවා. ඒ නිසා ඔබට අපිට වගකීමක් තිබෙනවා, අපි පටන් ගත්තු ගමන ජයග්‍රහණයෙන් කෙළවර කරන්න. ඒ අනුව මෙම නොවැම්බර් 14 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම අපි හැමෝගෙම වගකීමක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් අපි ඉදිරිපත් කර තිබෙන්නේ ඉතාම ශක්තිමත් කණ්ඩායමක්. අපි මේ දිස්ත්‍රික්කයෙන්ද බහුතරයක් පාර්ලිමේන්තුවට තෝරා යැවිය යුතුයි. එතකොට තමයි හොරු, චේන් කඩන අය, පුට්නෝට් කාරයෝ වෙනුවට හොඳම මහජන නියෝජිත කණ්ඩායම පාර්ලිමේන්තුවට කළුතරින් යැව්වා කියලා අපිට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ. ඔබ දෙන ඡන්දය ගැන පසුව පසුතැවෙන්න වෙන්නේ නැහැ කියන සහතිකය අපි ඔබට ලබාදෙනවා. ඔබේ ඡන්දය වටිනාකම ස්ථිර ලෙසම අපි රකිනවා. අපට මේ මහා මැතිවරණයේදී ලොකු අභියෝගයක් නැහැ. මාලිමාවට විරුද්ධව ඡන්දය ඉල්ලන පක්ෂ කණ්ඩායම් අද ඔක්කෝම කැඩිලා සීසීකඩ ගිහිල්ලා. පරාජය වෙලා. මේ ඡන්දයට ඇවිල්ලා ඒ ගොල්ලන්ට කියන්න මොකුත්ම නැහැ. මේ රටේ විපක්ෂය හැදිය යුත්තේත් ඒ ගොල්ලන්ගේ වර්ගයේ අයගෙන් නොවෙයි. ඒ ගොල්ලෝ අපිට විරුද්ධව කියූ බොරුවල හැටියට අද ලැජ්ජාවක් ඇතුව වේදාකවකට නගින්න පුළුවන්ද?

මේ වන විට ලංකාවේ කිසිම ආණ්ඩුවකට නොතිබුණ ජාත්‍යන්තර සබඳතා ජාලයක් මාලිමාව ආණ්ඩුවට හැදිලා තිබෙනවා. දැන් අපි අපේ රට අලුත් ගමනකට මුල පිරීම ආරම්භ කරලා තිබෙනවා. අපි දැන් සූදානම් වන්නේ මේ වැටී තිබුණු රට ගොඩනඟන්න පැරණි යුගය අවසන් කරලා අලුත් යුගයක් අනාගත පරපුරට උරුම කරලා දෙනවා කියලා අපි ඔබට පොරොන්දු වුණා. අන්න ඒ පොරොන්දුව ඉටුකිරීමට, අපිට ශක්තිය ලබා ගැනීම සඳහා නොවැම්බර් 14 දින මහා මැතිවරණයේදී මේ පාර්ලිමේන්තුව මාලිමාවේ නියෝජිතයන්ගෙන් පුරවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

Nalinda Jayathissa Addressing The Crowd At The Victory Rally Of Kaluthara

“නොවැම්බර් 14 දාට ජාතික මට්ටමේ ශ්‍රමදානයක් අපට තිබෙනවා.”
-ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස-

මීට ප්‍රථම අනුර දිසානායක සහෝදරයා මේ බේරුවලට පැමිණ තිබෙනවා. නමුත් රටේ ජනාධිපති ලෙස අනුර දිසානායක සහෝදරයා බේරුවලට පැමිණුන පළමු අවස්ථාව බවට අද දිනය සනිටුහන් වෙනවා. ඒ ජයග්‍රහණය ඔබ සියලු දෙනාගේම ජයග්‍රහණයක්. අපට දැන් උදාවී තිබෙන්නේ එහි දෙවන අදියර. නොවැම්බර් 14 දාට ජාතික මට්ටමේ ශ්‍රමදානයක් අපට තිබෙනවා. ඒ දියවන්නාව පිරිසිදු කිරීම පමණක් නොවෙයි එය මාලිමාවෙන් පුරවන්න සූදානම් වෙන්නත් ඕනෑ. පසුගිය ජනාධිපතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද ලක්ෂ එක හමාරකින් සජිත් පරාජය කළා. සජිත්ට නොදීපු ඡන්දයක් මහ බැංකු වංචාවේ ප්‍රධානියෙක් වුණු අජිත්ට දෙන්නෙත් නැහැ. රනිල් වික්‍රමසිංහව රකින්න, තමන්ගේ නීති දැනුම පාවිච්චි කළ කෙනා තමයි අජිත් පෙරේරා කියන්නේ. එදා රනිල්ට දුන්න ඡන්දයක් රෝහිතට, රාජිතට හෝ පියල්ට දෙන්න ජනතාවගේ සූදානමක් නැහැ. එදා සජිත්ට, රනිල්ට ඡන්දය දුන් අය මෝඩකමක් කර ගත් බව පිළිගෙන තිබෙනවා.

අවුරුදු විසි ගණනකට පසුව බේරුවල ආසනය නියෝජනය කරමින් මුස්ලිම් සහෝදරයෙක් ආණ්ඩුව නියෝජනය කරන්න පාර්ලිමේන්තුවට යවන්න අවස්ථාව උදාවෙලා තිබෙනවා. අපි බේරුවල මුස්ලිම් ජනතාවට ප්‍රකාශ කරන්නේ ඒ අවස්ථාව ඔබ මගහැර ගන්න එපා කියලා. බස්නාහිර පළාතට අයිති අපේ දිස්ත්‍රික්කය තිබෙන්නේ සංවර්ධනය අතින් අඩු මට්ටමක. රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 35%ක් 38%ක් එකතු කරන පළාතේ දිස්ත්‍රික්කයක් වුණත් අපි ඉන්නේ ග්‍රාමීය දුප්පත්භාවයේ ගිලිලා. අධ්‍යාපනය සෑම තැනකම විහිදිලා නැහැ. සෞඛ්‍ය පහසුකම් නැහැ. මාර්ග පද්ධති ඉදිවෙලා නැහැ. ඉතිහාසයේ ප්‍රබල කැබිනට් ඇමතිවරු රාශියක් පත්වුණු දිස්ත්‍රික්කයක්, කළුතර දිස්ත්‍රික්කය. ජනතාවට ප්‍රතිලාභ අත්පත් කර දෙනවා නම්, ඕනතරම් අවස්ථා ඒ අමාත්‍යවරුන්ට තිබුණා. රාජිත හදපු බිල්ඩින් එක, අනූපා, පාර කඩා හැදුව උමං මාර්ගය, මහින්ද සමරසිංහ, අගලවත්තේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් හැදුව ගොඩනැගිල්ල, මේ සෑම ඉදිකිරීමක්ම අවිධිමත් ලෙස කරපුවා. රටට හෝ ජනතාවට වැඩක් නොවුණත් එයාලටත්, එයාලා වටේ සිටි කට්ටියටත් පමණක් වැඩක් සිදුවුණා.

ඉදිකිරීම් අතරමග නවතා තිබෙන සංචාරක හෝටල් කිහිපය, ආයෝජනය සඳහා පරිසරය සකස් කොට සංචාරක ව්‍යාපාරයට යළි බද්ධ කර ගන්නවා. සංචාරක ව්‍යාපාරයට උනන්දුවක් දක්වන අයට එම ව්‍යාපාරයට අවශ්‍ය කරන කළමනාකරුවන්ගේ සිට පුහුණුව, සංචාරක හෝටල් පාසල්වලින් ලබාදී, ඔබට රැකියා උත්පාදනය කර දෙන්න අපේ ආණ්ඩුව කටයුතු කරනවා. මැණික් හා ස්වර්ණාභර කර්මාන්තයට හොඳ අවස්ථාවක් උදාකර දෙන්න, ධීවර අමාත්‍යාංශය හරහා ධීවර ජනතාවට සහන ලබාදෙමින් ඔබේ අවශ්‍යතා සම්පූර්ණ කර දෙන්න, අපේ ආණ්ඩුව හරහා කටයුතු කරනවා. මේ රටේ නිෂ්පාදනයට දායක කර ගත හැකි සම්පත් මේ දිස්ත්‍රික්කයේ තිබෙනවා. ඒවා උපයෝගී කරගෙන කර්මාන්ත අවස්ථා ඇති කරමින්, ආර්ථිකය දියුණු කරමින් එහි ප්‍රතිලාභ ඔබට ලබාදීමට කටයුතු කරනවා. ඔබට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් හා දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීමටත්, ජනතාවට උසස් ආර්ථික අවස්ථා ලබා දීමටත් අපි කටයුතු කරනවා. මේ වගකීම් උරමත දරාගත් කණ්ඩායමක් තමයි මේ ඔබ හමුවේ ඉන්නේ. මේ කණ්ඩායමෙන් අටකට වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න ඔබට පුළුවන්. මේ දින කිහිපයේදි තව තවත් ඡන්ද වැඩි කරමින් දූෂිත පිරිසක් පාර්ලිමේන්තුවෙන් ගෙදර යවන්න ඔබගේ කතිරය පාවිච්චි කරන්න. ඔබට ඒ සඳහා ධෛර්යය ශක්තිය ලැබේවා. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය විජයග්‍රාහී ලෙස සටහන් කරමු.

Show More

“දේශපාලනය මහජන සේවයක් බවට හරවන්න ආණ්ඩුව මුල පුරා තිබෙනවා” -ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක-

(-‘රට හදන අපි එකට මාලිමාවට’ ගාල්ල දිස්ත්‍රික් ජයග්‍රාහී ජනතා රැලිය – 2024.10.27-) මේ මැතිවරණයේ දී ජනතාවට කියන්න කරුණු නැති වී සිටින අය පරණ කතාම නැවත කියන්නට පටන්ගෙන තිබෙනවා. අලුත් අයට අත්දැකීම් නැති බවත්, පුරුදු අය එවන ලෙසත් ඔවුන් කියනවා. මේ කියන පරණ අය හොරකමට පුරුදු, නීතිය මුළුමනින්ම නොසලකා කටයුතු කරන අය බව මේ වන විටත් […]

(-‘රට හදන අපි එකට මාලිමාවට’ ගාල්ල දිස්ත්‍රික් ජයග්‍රාහී ජනතා රැලිය – 2024.10.27-)

President Anura Kumara Dissanayake Addressing The Crowd At The Victory Rally Of Galle

මේ මැතිවරණයේ දී ජනතාවට කියන්න කරුණු නැති වී සිටින අය පරණ කතාම නැවත කියන්නට පටන්ගෙන තිබෙනවා. අලුත් අයට අත්දැකීම් නැති බවත්, පුරුදු අය එවන ලෙසත් ඔවුන් කියනවා. මේ කියන පරණ අය හොරකමට පුරුදු, නීතිය මුළුමනින්ම නොසලකා කටයුතු කරන අය බව මේ වන විටත් හෙළිදරවු වී තිබෙනවා. සාමාන්‍ය අයෙක්ගෙ වාහනයක අංක තහඩුව වැටිලා තිබුණොත්, පාරේ යන්නෙත් ඉතාම කල්පනාවෙන්, සෝදිසියෙන්. නමුත්, දේශපාලකයන් එංගලන්තයෙන් හොරෙන් ගෙනැවිත්, හොර අංක තහඩුවලින් වාහන දුවපු හැටි හෙළි වෙනවා. ඒ වාගේම කෝටි ගණන් වටිනා වාහන නාඳුනන අය ඇවිත්, මිදුල්වලට දමා ගිහින් හමු වෙනවා. ඔවුන් මේ දක්වා වැඩ කළේ නීතිය අදාළ නැති පිරිසක් හැටියටයි. වාහන ලියාපදිංචි කරන්න ඕනෑ මහජනතාව. ඒ ගොල්ලෝ හොරෙන් දුවන්න හැකියාව තිබෙන අය. ඔවුන් අද වේදිකාවල කියන පළපුරුද්ද කියන්නේ අන්න ඒ වාගේ දේවල්වලට. අපරාධ කරලා කට්ටි පනින්න, හොරකම් කරලා බේරෙන්න, මහජනතාවට උඩින් ඉන්න අත්දැකීම් ඔවුන්ට තිබෙනවා. මහජනතාවට එපා වුණේ මෙන්න මේ වාගේ අය හිටපු පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවට ඇතුළු වන විට සියල්ලම ඉතා හොඳින් පරීක්‍ෂා කරනවා. නමුත්, හොරෙන් පිහි තල, මිරිස් කුඩු අරගෙන යන්න පුළුවන්. පාර්ලිමේන්තුවේදී පුටුවලින් ගහගන්න පුළුවන්. සභා ගර්භය මැද එකිනෙකාට පහර දෙන්න පුළුවන්. ජනතා විරෝධී අණපනත්වලට අත උස්සන්න පුළුවන්. ඔවුන් පුරුදු වී සිටින්නේ මෙන්න මේ වාගේ කටයුතුවලට. නීතියට වඩා ඉහළින් සිටිමින්, මහජන ධනය කෝටි, ප්‍රකෝටි ගණන් වංචා කරන්නත්, මහජනයාට වඩා වරප්‍රසාද භුක්ති විඳින්නත් ඔවුන් හොඳ පුරුද්දක් ලබාගෙන සිටිනවා. ජනතාවට දැන් ඒ වැනි පුරුදු තිබෙන පුද්ගලයන් හොඳටම ඇති වෙලයි ඉන්නේ. හිටපු ජනාධිපති අදත් කියලා තියෙනවා, පුරුදු අය පාර්ලිමේන්තුවට යවන්න කියලා. අපි කියන්නේ, හොඳ අයගෙන් පුරවන්න කියලා.

ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කර සිටින අය පාර්ලිමේන්තුවට අලුත් අය වුවත්, දේශපාලනයට අලුත් අය නොවෙයි; ඕනෑම වේලාවක රට විපතට පත් වන අවස්ථාවක ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ පිරිසක්. මහජනයාගේ ධනය හොරකම් කිරීමට විරුද්ධව හඬ නැඟූ අය ඉන්නේ. මේ රටේ සම්පත් විකිණීමට එරෙහිව ඒවා රැක ගන්න ඕනෑම අවස්ථාවක ඉදිරිපත් වූ අය අපට ඉන්නේ. මේ රටේ කොතැනක හෝ අසාධාරණයක් සිදු වනවා නම්, ඊට විරුද්ධව දේශපාලනය කළ අය ඉන්නේ. ඒ වාගේම ගංවතුර ගැලීම්, සුනාමි වැනි ව්‍යසන හමුවේ ජනතාව වෙනුවෙන් උපරිමයෙන් කැප වුණු අය ඉන්නේ. ඔවුන් හොඳින් පුරුදු වී සිටින්නේ නරක වැඩවලට. අපේ අය හොඳින් පුරුදු වී සිටින්නේ හොඳ, යහපත් වැඩවලට. එළඹෙන මැතිවරණයෙන් පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ අලුත් අයගෙන්, නමුත්, දේශපාලනය පුරුදු අයගෙන්. මාලිමාව නියෝජනය කරන්නේ ඒ වැනි පිරිසක්. තරුණ, තරුණියන් ඇතුළු පුරවැසියන්ට තිත්ත වී තිබුණු දේශපාලන පොරපිටිය ශුද්ධ කරන්න, පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවා යහපත් දේශපාලනයක් ඇති කරන්න ඕනෑ. ඔවුන්ට දේශපාලනය යනු මුදල් ඉපැයීමේ මාර්ගයක්. ජාතික ජන බලවේගයට දේශපාලනය යනු මහජන සේවයක්. බිස්නස් එකක් කරගෙන තිබෙන දේශපාලනය ක්‍රමානුකූලව මහජන සේවයක් බවට, මහජනයා වෙනුවෙන් ක්‍රියා කරන දේශපාලනයක් බවට පත් කරනවා. ඔවුන් බලන්නේ, යම් ව්‍යාපෘතියක් රටට හොඳයිද කියලා නොවෙයි. ඒ නිසා රටට මේ දක්වා පිරිසිදු ආයෝජකයන් ආවේ නැහැ. බෙහෙත්වලින් හොරකම් කළේ දේශපාලනය ව්‍යාපාරයක් කර ගත් අය. බාල පොහොර ගේන්නෙත් දේශපාලන බිස්නස් එකෙන්. මෙය මහජන සේවයක් බවට පත් කරන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ වන විටත් මුලපුරා තිබෙනවා.

Crowd At The Victory Rally Of Galle

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අඩු කර ඔවුන් වෙනුවෙන් දරන වැය බර අඩු කරන්න ඕනෑ. ජනාධිපතිවරයාට, හිටපු ජනාධිපතිවරුන්ට දරන වැය බර අඩු කරන්න ඕනෑ. හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් දරන වැය බර නතර කිරීමේ ක්‍රියාමාර්ග සොයා බැලීමට දැනටමත් අපි කමිටුවක් පත් කර තිබෙනවා. මේක පළිගැනීමක් නොවෙයි. දේශපාලනය මහජන සේවාවක් බවට පත් කිරීමක්. අපේ රටේ පවතින පැරැණි රාජ්‍ය යාන්ත්‍රණය නිසා රජයේ කාර්යාලවලින් මහජන ආධාර ගන්නත්, වෙනත් ඕනෑම සේවයක් ඉටු කර ගන්නත් පෝලිම්වල සිටීමට සහ ප්‍රමාදවලට මුහුණ දීමට සිදු වී තිබෙනවා. මේ තත්වය සම්පූර්ණයෙන් වෙනස් කර රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට ලක් කිරීමෙන් කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් ඇති කරනවා. ඉන්දියාවේ කිව්ආර් කෝඩ් එකෙන් වඩේ විකුණන කොට අපේ ජනතාවට පන්දාහ ගන්නත්, හාල් කිලෝ දහය ගන්නත්, අස්වැසුම ගන්නත්, ඉඩමකට ඔප්පුවක් හදා ගන්නත් පෝලිම්වල රස්තියාදු වෙන්න සිදු වී තිබෙනවා. කෙටි කාලයක් ඇතුළත මේ තත්වය මුළුමනින්ම වෙනස් කර පුරවැසියන්ට සමීප, කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් ඇති කරනවා. මේ රට හදන්නේ කොහොමද, කවුද කියලා අපි පෙන්වන්නම්. සමහර අය වංචා, දූෂණ ෆයිල් ගැන ප්‍රශ්න කරනවා. ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්විය හැකි සුදුසුම නිලධාරීන් පත් කර ආණ්ඩුවෙන් ලබා දිය යුතු සහයෝගය ලබා දී නිසි පරිදි නීතිමය ක්‍රියාමාර්ගවලට ඉඩ සලසා දෙනවා. නාට්‍යමය හෝ ප්‍රදර්ශනාත්මක වැඩ කිසිවක් නැහැ. ක්‍රමානුකූලව අදාළ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යනවා.

රටේ අනාගතය නිර්මාණය කරන දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මූලිකත්වය ගෙන ජනතාවගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් ලංකාවේ පළමු වතාවට වැඩ පටන්ගෙන තිබෙනවා. ඒ වාගේම දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් බලා ගනිමින්, රට ගොඩනැඟීමේ කටයුතු ඉදිරියටම ගෙන යනවා මිස ජාතික ජන බලවේගය ආපසු හැරෙන්නේ නැහැ. ඒ අය දුකට කියන කතා තවදුරටත් කිය කියා ඉඳීවි. ඔවුන්ට හිත හදා ගැනීමේ කතා ඕනෑ තරම් කිව හැකියි. නමුත්, ජනතාවාදී ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළින් දියත් කිරීමේදී කකුලෙන් අදින්නේ නැති ස්ථාවර ආණ්ඩුවක් ඕනෑ. ඒ වෙනුවෙන් නොවැම්බර් මාසයේ 14 වැනිදා වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න ක්‍රියා කරන්න ඕනෑ. ඒ වුණත්, මෙවර ඡන්දය කම්මැලියි වාගේ දැනෙන බව සමහර අය කියනවා. මෙච්චර කල් ඡන්ද කළේ හිටපු පාලකයන්ගේ චණ්ඩින් පිරිසක්. සමෘද්ධිය කපන බවට තර්ජනය කිරීම, කොඩිවැල් කැපීම, කාර්යාලවලට පහර දීම වාගේම ආණ්ඩුවේ බලය යොදාගෙන විවිධ ඇප්ලිකේෂන් බෙදීම, හාල් බෙදීම, තහඩු බෙදීම වාගේ කොයි තරම් දේවල් තිබුණාද? අද ඒ මොකුත්ම නැහැ. ඒ කියන්නේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් ලංකාවේ පළමු වතාවට නිදහස් මැතිවරණයකට සම්පූර්ණයෙන්ම ඉඩ සලසා දී තිබෙනවා. එහෙම ඡන්දයක් හොඳ නැද්ද? අපට ඕනෑ, ජනතාව ළඟට ගිහින් නිදහසේ මතය කියලා ඒ ජනතාවගේ ඡන්දය ලබා දෙන මැතිවරණයක්. ඒ මැතිවරණය ජාතික ජන බලවේගයේ අපි මේ රටට ලබා දී තිබෙනවා. අපි වැඩ භාර ගැනීම, කැබිනට් මණ්ඩලයක් පත් කිරීම වාගේම මේ මැතිවරණය දක්වා රටට අලුත් වෙනස්කම් රැසක් කෙටි කාලය ඇතුළත හඳුන්වා දී තිබෙනවා. අපේ පාලන කාලය තුළ මේ රට හොඳ දිශාවට සහතික වශයෙන්ම පරිවර්තනය කරනවා. ඒ වෙනුවෙන් සියලු දෙනාම එකතු වෙමු. පෙරට එමු කියලා ආරාධනා කරනවා.

Palitha Fernando Addressing The Crowd At The Victory Rally Of Galle

“8,000කට අධික පිරිසක් පාලනය කළ රට අද තුන්දෙනක් නිවැරදි ලෙස පවත්වාගෙන යනවා”
-ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්‍ෂක විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු-

පසුගිය කාලයේ සිටි දේශපාලනඥයන් ජාතික ජන බලවේගයේ පිබිදීම මර්දනය කිරීම සඳහා ඔවුන්ගේ මාධ්‍ය බලය භාවිත කරමින්, විවිධ මඩ ප්‍රචාර සමාජගත කළා. ජාතික ජන බලවේගය බලයට පත් වුවහොත්, ආර්ථිකය බිඳවැටේවි, ඩොලරය රුපියල් හාරසියයට යාවි, කොටස් වෙළෙඳපොළ කඩාවැටේවි, ජාත්‍යන්තර සබඳතා බිඳවැටේවි, පෝලිම් යුගයක් ඇති වේවි, කැරැලි කෝලාහල ඇති වේවි ආදී වැරදි ප්‍රචාර සමාජගත කළා. නමුත්, ජාතික ජන බලවේගයේ සියලුම පිරිස් කොට්ඨාස සභා පිහිටුවමින්, ජනතාව හමුවට යමින්, නිවැරදි කරුණු සමාජගත කළා. ඒ නිසා සියයට තුනේ තිබුණු ඡන්ද ප්‍රතිශතය සියයට 42 ඉක්මවා යමින්, ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති ලෙස පත් කරගත හැකි වූවා. ඒ වාගේම දූෂිත දේශපාලනඥයන් හැටකට අධික පිරිසක් ඒ කතිර බලයෙන් ඉවත් කරන්න හැකි වුණා. ඉන් පසුව මේ වන විට ජනාධිපතිවරයා, අගමැතිවරිය සහ එක් අමාත්‍යවරයකුගෙන් රට පාලනය ගෙන යමින් සිටිනවා. මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිස වාගේම පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් 8,000කට අධික පිරිසක් පාලනය කළ රට අද තුන්දෙනක් ඉතා සංයමයකින් යුතුව නිවැරදි ලෙස පවත්වාගෙන යනවා. ජනතාව බලාපොරොත්තු වූ සහන ක්‍රමක්‍රමයෙන් ලබා දෙමින් පවතිනවා. විශේෂයෙන්ම පසුගිය කාලයේ අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වනවා. ඉදිරියේ දී ජනාධිපතිවරයා වෙත ශක්තිමත් බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් ලබා දිය යුත්තේ, ඔබ ප්‍රාර්ථනා කරන ශ්‍රී ලංකාව ගොඩනැඟීමටයි. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනා සමඟ ‘අදිටන’ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමුහිකය අත්වැල් බැඳගෙන ක්‍රියා කරනවා. 40,000කට ආසන්න ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයන් විශ්‍රාම ගැන්වීමෙන් පසුව මේ රට ගොඩනැඟීමේ කටයුතුවලට උර දී සිටිනවා.

Sihadur Rahuman Addressing The Crowd At The Victory Rally Of Galle

“ජාතික සමඟිය ඇති කළ හැකි එකම පක්‍ෂය ජාතික ජන බලවේගය පමණයි”
-ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්‍ෂක යාන්ත්‍රික ඉංජිනේරු සිහදූර් රහුමාන්-

දියුණුව කරා යා හැකි වන්නේ, ශ්‍රී ලාංකික ජාතියක් විදියට අපි හැමෝම කල්පනා කරලා කටයුතු කරන්න පුළුවන් නම් පමණයි. ඒ බව නිවැරැදිව තේරුම් ගැනීම නිසා ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් දෙමළ භාෂාව හසුරුවන අපේක්‍ෂකයෙක් විදියට මාව තෝරාගෙන තිබෙනවා. වතු ජනතාවගේ විතරක් නොවෙයි, රටේ ජීවත් වන අනෙක් හැමෝගේම මහන්සියෙන් ලබා ගන්නා බදුවලින් ඔවුන් මෙපමණ කල් සුඛෝපභෝගී ජීවිත ගත කළා. නමුත්, ඉදිරියේදී එවැන්නක් සිදු නොවන බව අපි හැමෝම දන්නවා. ජාතික ජන බලවේගයේ පාලනයක් කියන්නේ වචනයෙන් කියනවාට වඩා අපේ හිතෙන් අපි හැමෝම මේ රටට ආදරය කරන පිරිසක්. අපේ ගෙදරින් පිට පොදු ස්ථානයකට ගියොත්, අපි එකිනෙකා ශ්‍රී ලාංකිකයන් වශයෙන් පිළිගැනීමකට ලක් වෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි හැමෝම එක් වී ජනතාව දැනුවත් කරමු.

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනවා වාගේම ශ්‍රී ලාංකිකයන් වශයෙන් කල්පනා කරන අයගෙනුත් මේ පාර්ලිමේන්තුව පුරවමු. මින් ඉදිරියට දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න යාපනයෙන් විතරක් නායකයන් ඕනෑ නැහැ. මුස්ලිම් අය ගැන කතා කරන්න නැඟෙනහිරෙන් නායකයන් ඕනෑ නැහැ. අපි ශ්‍රී ලාංකිකයන් විදියට ඉදිරියට යන්න අධිෂ්ඨාන කර ගනිමු. මෙපමණ කල් අපව භේදභින්න කර තබා ගැනීම පිළිබඳව හොඳින් තේරුම් අරගෙන ඉන්නවා. ජාතික සමඟිය ඇති කළ හැකි එකම පක්‍ෂය ජාතික ජන බලවේගය පමණයි. මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට ශක්තිමත් බලයක් ලබා දී ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන්න අපි හැමෝගෙම සිහිනයක් විතරක් නොවෙයි, යථාර්ථයක් බව පැහැදිලිව සනාථ කරමු.

Hasara Gampala Liyanage Addressing The Crowd At The Victory Rally Of Galle

“තරුණ, තරුණියන්ගේ අහිංසක හීන සිල්ලරට විකිණූ දේශපාලනය අවසන්”
-‘ජාතික ජන බලවේගයේ කාන්තාවෝ’ සංවිධානයේ දිස්ත්‍රික් සභික, ගාල්ල දිස්ත්‍රික් අපේක්‍ෂිකා නීතිඥ හසාරා ගම්පළ ලියනගේ-

මෙපමණ කල් දේශපාලනය සමාජයේ එක්තරා පිරිසකට පමණක් සීමා වී තිබුණා. විශේෂයෙන්ම කාන්තාවන් විදියට දේශපාලනයට මැදිහත් වෙන්න ඉඩක් තිබුණේ නැහැ. හැමදාමත් කාන්තාවන් යොදා ගත්තේ ඡන්දය ගන්න විතරයි. ඒ වාගේම මේ රටේ තරුණ පරම්පරාවත් යොදා ගත්තා. තරුණ, තරුණියන් හැටියට අපට මහ ලොකු හීන තිබුණේ නැහැ. නමුත්, මෑතක් දක්වාම තරුණ, තරුණියන්ගේ අහිංසක හීන සිල්ලරට විකුණන්න දේශපාලකයන් සමත් වුණා. රට රැකියා හීනයක්, වාහනයක් ගැනීමේ හීනයක් වාගේ දේවල් වෙනුවෙන් යොදා ගත් තරුණ පරපුර දැන් සම්පූර්ණයෙන් ම වෙනස් වී ඉන්නවා. අපි වාගේ සාමාන්‍ය පවුල්වල පුරවැසියන්ටත් දේශපාලනයේ විශාල ඉඩක් නිර්මාණය කර දීම නිසා ජාතික ජන බලවේගයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට ශක්තිමත් අපේක්‍ෂක කණ්ඩායමක් තෝරාගෙන සිටිනවා. වත්මන් ජනාධිපති, අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රමුඛ මේ රජය වේගයෙන් ක්‍රියා කරමින් සිටිනවා. හරියටම කියනවා නම්, පිච් එකත් හොඳයි; නායකයාත් හොඳයි; ප්‍රේක්‍ෂකාගාරයත් හොඳයි. මේ ගේම් එක ප්ලේ කරන්න හොඳම කණ්ඩායම තෝරා ගන්නයි මහා මැතිවරණය පැවැත්වෙන්නේ. ඒ මැතිවරණය වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන්න ශක්තිමත්, සමබර කණ්ඩායමක් 12 දෙනකුගෙන් සමන්විතව විවිධ ක්‍ෂේත්‍රවලින් තෝරාගෙන ඉන්නවා. ඔවුන් පිටුපස විශාල කැප කිරීම් කළ ශක්තිමත් අත්දැකීම් ලබා ගත් තවත් බොහෝ පිරිසක් ඉන්නවා. තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් දේශපාලනය නොකළ ඒ පිරිස තවමත් පොදු හැඟීමෙන් කටයුතු කරමින් ඉන්නවා. පොදු ජනතාවගේ සිතුම්, පැතුම් සහ දේශපාලනයේ සිතුම්, පැතුම් එකට සමපාත කරමින්, ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව සැලැසී තිබෙනවා.

Rathna Gamage Addressing The Crowd At The Victory Rally Of Galle

“2020දී ලැබුණු මන්ත්‍රී ධුර තුන මේ වන විට රටක් පාලනය කරනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ගාල්ල දිස්ත්‍රික් අපේක්‍ෂක රත්න ගමගේ-

පසුගිය ජනාධිපතිවරණය ලස්සනට නිමා කර එය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, ඒ වාගේම ලස්සන මහා මැතිවරණයක් පවත්වන්නට ජනතාව ක්‍රියා කරමින් සිටිනවා. මේ පාර ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය දුන්නේ වංචාවට, දූෂණයට එරෙහිව. ජනතාවගේ ඒ අපේක්‍ෂාව අකුරටම ඉටු කරන බව සහතික කරනවා. අපි මැතිවරණ ක්‍රියාවලිය තුළ දිගු කලක් සංඛ්‍යාත්මකව පරාජය ලැබූ පිරිසක්. අපහාස, උපහාස, හාස්‍යයන් සහ වේදනාවන් දරා ගනිමින්, ජයග්‍රහණයේ දිශාවට ගෙන යන්න හැකි බව ඕනෑම අවස්ථාවක අප තේරුම්ගෙන සිටියා. ලක්‍ෂ හතරට වැටුණු අවස්ථාවේ සිට ලක්‍ෂ පනස්හය දක්වා ගෙන යාමට දරා ගනිමින්, ශක්තිමත් වෙමින්, අපේ දැක්ම අනුව සංවිධානාත්මකව මැදිහත් වූවා. ඒ වෙනුවෙන් අපි හැමෝම සාමුහිකව ක්‍රියා කළා.

අපේ දේශපාලනයේ දී මේ රටට, මිනිසාට පමණක් නොවෙයි, ගහට, කොළට, සතා සීපාවටත් ආදරය කරන්න ඉගෙනගෙන තිබෙනවා. මම ගැන නොවෙයි, අපි ගැන හිතන, තෙතමනයක් සහිත මිනිස්සු වෙන්න අධිෂ්ඨානයෙන් සියයට තුනේ සිට සියයට හතළිස්දෙක දක්වා පැමිණි මේ ගමන පාර්ලිමේන්තු මැතිවරණයෙන් තවත් විජයග්‍රාහී කඩඉමක් පහු කරනවා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු මන්ත්‍රී ධුර තුන මේ වන විට රටක් පාලනය කරන තත්වයට ඇවිත් තිබෙනවා. පාර්ලිමේන්තුව, පළාත් සභා, පළාත් පාලන ආයතන කිසිවක් නැතිව මේ තුන්දෙනා පොදු අරමුණක් සහිතව රට ගෙන යමින් සිටිනවා. ස්වේච්ඡාවෙන් වැඩ කරන පිරිසගේ ශක්තිය ඒකයි. ඒ තුන්දෙනා පිටුපස ස්වේච්ඡාවෙන් වැඩ කරන මහා බලවේගයක් සමඟ පොදු ජනතාව රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට තව තවත් ඒකරාශී වෙමින් සිටිනවා. ගාල්ල දිස්ත්‍රික්කයට දේශපාලන පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසිදෙකක් ඉදිරිපත් වී සිටිනවා. ඒ අතුරින් විශිෂ්ටම කණ්ඩායම ලෙස ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කර ජයග්‍රාහී ලෙස ඉදිරියට යමින් සිටිනවා.

Nalin Hewage Addressing The Crowd At The Victory Rally Of Galle

“14 වැනිදායින් පසු පාර්ලිමේන්තුව මල් විලක් බවට පත් කරන්න අපි සූදානම්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක නලින් හේවගේ-

මේ දක්වා ජනතාව ලබා දුන් ඡන්දවලින් බලයට පත් වුණු අය එක්කෝ පවුලක් හැදුවා, නැත්නම් හවුලක් හැදුවා. රාජපක්‍ෂ මහත්තයාගේ ආණ්ඩුවක් හැදුවා කියලා කීවාට එයාගේ මල්ලි බැසිල් මුදල් ඇමැති, මල්ලි ගෝඨාභය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, චමල් අයියා කෘෂිකර්ම ඇමැති, ලොකු පුතා නාමල් ක්‍රීඩා ඇමැති, මද්දුම පුතා ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා, අයියාගේ පුතා වන ශෂීන්ද්‍ර රාජපක්‍ෂ ඌවේ මහඇමැති, ශිරන්ති රාජපක්‍ෂ ‘සිරිලිය’ අධිපතිනි, එයාගේ මල්ලි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති වාගේ තව ගොඩක් විහිදී ගිය පවුලක් හැදුවා. ජනතාව ගිය ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහව ගෙදර යැව්වත්, පොහොට්ටුවේ මන්ත්‍රී ඡන්දවලින් ඔහු ජනාධිපති ලෙස තෝරා ගත්තා. ඊට පස්සේ සාගල රත්නායක, ආරක්‍ෂක උපදේශක, අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති උපදේශක, රුවන් විජේවර්ධන ජනාධිපති උපදේශක, සමන් රත්නප්‍රිය, ජනාධිපති උපදේශක, රෝසි සේනානායක සහ මනූෂ නානායක්කාර වාගේ අනූපස් දෙනෙක් උපදේශකලා ලෙස පත් කර ගත්තා. ජනතාවගේ ඡන්දයෙන් මහින්ද මහත්තයාට ආණ්ඩුවක් හදන්න අවස්ථාව දුන්නාම එක වෙලාවක පවුලක් හදලා, ජනතාව ඒ පවුල පලවාහැරියාම රනිල් වික්‍රමසිංහ සමඟ හවුලක් හැදුවා. ඒ පවුල් දේශපාලනයේ සහ හවුල් දේශපාලනයේ අවසානය මේ මැතිවරණයෙන් තහවුරු වෙනවා. මේ මජර දේශපාලනය තිබෙන පාර්ලිමේන්තුව 14 වැනිදායින් පසු මල් විලක් බවට පත් කරන්න අපි සූදානම් වෙනවා.

මේ අය වෙනුවෙන් ආරක්‍ෂාව දෙන්න පොලිසියේ විශාල පිරිසක් යොදවා සිටියා. මහජනතාවගේ පැමිණිල්ලක් විභාග කරන්න පොලිසියේ මහත්තයෙක් නැති තරමට හිඟයක් පැවැතුණා. ගම්පහ සිටි කමලා රණතුංග මන්ත්‍රීවරියගේ ආරක්‍ෂාවට බව කියමින්, පොලිසියේ පස් දෙනකු යොදවා සිටියා. ඒ අය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා රටට හෙළි කළේ හරක් බඳින්න ඔවුන් යොදවා සිටි බවයි. සමහර නෝනාලාගේ හැට්ට කටු ගහන්නත් පොලිසියෙන් යොදවා සිටියා. ඒ සෙල්ලම් ඔක්කොම දැන් ඉවරයි. ඒ වාගේම රෝහිත වාගේ මන්ත්‍රීවරුන්ගේ බෑනලාගේ ගෙවල්වල තිබී කෝටි හයක් වටිනා වාහන හමු වෙමින් තිබෙනවා. මල්වානේ ගෙදරට අයිතිකාරයෙක් හිටියේ නැහැ. නීතියට සමච්චල් කරන්නේ මේ ආකාරයට. යෝෂිතලාගේ ගෙදරට මැණික් මලු ගෙනැවිත් දෙනවා. ඒ වාගේම පරීක්‍ෂණ පවත්වන අවස්ථාවල දී නයි දෂ්ට කරනවා. නීතියක් නැති පාලනයක් තිබුණේ ඒ ආකාරයට.

නීතියක්, විනයක් නැතිව රටක් හදන්න බැරි බව බුදුහාමුදුරුවොත් දේශනා කළා. රටේ නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය නැති තැන සංවර්ධනයක් ඇති කරන්න බැහැ. ඉතාම කෙටි උත්සවයක් පවත්වා අනුර කුමාර සහෝදරයා ජනාධිපති ධුරයේ දිවුරුම් දී, ආදර්ශවත් ආකාරයෙන් ආරම්භ කර හරිනි සහෝදරිය අගමැති ධුරයේත්, විජිත හේරත් සහෝදරයා ඇමැති ධුරයේත් දිවුරුම් දී, මූලික ආදර්ශය දී තිබෙනවා. දේශපාලනය නිසි ආකාරයෙන් ගොඩනැඟීම අපේ වගකීමක්. එතැනින් පටන්ගෙන මේ රටේ සමස්ත ජනතාවගේ ජීවිත යහපත් බවට පත් කිරීමේ වගකීම අපි ක්‍රියාවෙන්ම ඔප්පු කරනවා. ඒ වෙනුවෙන් ලබන 14 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයේ දී මාලිමාවේ මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න.

Show More