Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“රට පාලනය කරන්නේ දූෂිතයන්, මැරයන්, අපරාධකරුවන් නම් ඒ රටට අත්වන්නේ විපතක් පමණයි…” -ජනාධිපති, අනුර කුමාර දිසානායක-

(-මහා මැතිවරණය 2024 – රත්නපුර දිස්ත්‍රික් රැලිය – 2024.10.26-) ජනාධිපතිවරණයේදී අප ඔබට පොරොන්දු වුනා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් දින කිහිපයක් තුළ පාර්ලිමේන්තුව විසුරුවාහරිනවා කියලා. ඒ ආකාරයෙන්ම අපි පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. රට පාලනය කිරීම සඳහා ජනාධිපති ධුරය වගේම ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් සහ ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙනවා. ලබන වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන්නත්, ඉන් පසු පළාත් පාලන […]

(-මහා මැතිවරණය 2024 – රත්නපුර දිස්ත්‍රික් රැලිය – 2024.10.26-)

President Anura Kumara Dissanayake Addressing The Crowd At The Victory Rally Of Rathnapura

ජනාධිපතිවරණයේදී අප ඔබට පොරොන්දු වුනා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් දින කිහිපයක් තුළ පාර්ලිමේන්තුව විසුරුවාහරිනවා කියලා. ඒ ආකාරයෙන්ම අපි පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. රට පාලනය කිරීම සඳහා ජනාධිපති ධුරය වගේම ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් සහ ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙනවා. ලබන වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන්නත්, ඉන් පසු පළාත් පාලන මැතිවරණ පවත්වන්නත් අපි අපේක්‍ෂා කරනවා. අනේකවිධ දුක්ඛ, දෝමනස්සයන්ට ගොදුරු වී සිටින ජනතාවගේ ජීවිත ගොඩනැඟිය හැකි වන්නේ මෙම ආයතනවල ශක්තිමත් දේශපාලන යාන්ත්‍රණයක් තහවුරු කිරීමෙන් අනතුරුවයි. එම දේශපාලන යාන්ත්‍රණයේ ජනාධිපති ධුරය ජාතික ජන බලවේගය වෙත ලබාගෙන තිබෙනවා. ඊළඟට පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න ඕනෑ. යහපත් දේශපාලන ගමනක් ආරම්භ කරන්න නම්, පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕනෑ. අපේ රටේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් කෙරෙහි පවතින්නේ සුබදායී ආකල්පයක් නොවෙයි. ඇමැතිවරයකු කී සැණින් දූෂිතයකු, චණ්ඩියකු එහෙමත් නැත්නම් අපරාධකාරයකු පිළිබඳ අදහසක් එනවා. රටක් පාලනය කිරීමේ දේශපාලන නායකත්වය දරන්නේ අපරාධකරුවන්, චණ්ඩින්, දූෂිතයන් නම්, එවැනි රටකට විපත් පමණයි සිදු වන්නේ. රට එම තත්වයෙන් මුදාගෙන මුලින්ම දේශපාලනය කෙරෙහිත්, දේශපාලකයන් කෙරෙහිත් මහජනතාවගේ විශ්වාසය තහවුරු කරන්න ඕනෑ. ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය විශාල වශයෙන් වැඩිවී තිබෙනවා. ජනතාව ආණ්ඩුව කෙරෙහි තිබෙන බැඳීම සහ විශ්වාසය වැඩිකර ගනිමින්, රට ගොඩනැඟීමේ දිශාවට ගමන් කරමින් සිටිනවා. ජාතික ජන බලවේගයේ අප වෙත පැවරී තිබෙන ප්‍රධාන වගකීම ඔබ, අප කෙරෙහි තැබූ විශ්වාසය තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමයි. එය මැනැවින් ඉටු කරන බව ඔබ හමුවේ තහවුරු කරනවා.

රට ගොඩනැඟීම සඳහා සමීප දේශපාලන නායකත්වයක් ඕනෑ. ඒ වෙනුවෙන් මහා මැතිවරණයේ දී තව පිම්මක් ගැනීම අවශ්‍ය වෙනවා. සියලු පද්ධති කඩාවැටී සමහර සංවර්ධන සැලැසුම් අහිතකර ප්‍රතිවිපාක ගෙනැවිත් දෙන සම්පත් අපතේ යවන තත්වයක් පවතින්නේ. ඒ නිසා කෘෂිකර්මාන්තයේ නම්, එය ගොඩනැඟීමට සමත් සමීප දේශපාලන නායකත්වයක් ඕනෑ. වෙනත් දෙපාර්තමේන්තුවක් ගොඩ ගැනීමට නම්, ඒ වෙනුවෙන් හැකියාව තිබෙන සමීප දේශපාලන නායකත්වයක් ඕනෑ. ශක්තිමත් මාලිමාවේ ආණ්ඩුවක් ගොඩනඟාගත යුත්තේ ඒ වෙනුවෙන්. රාජ්‍ය යාන්ත්‍රණයෙන් පමණක් රට ඉදිරියට ගෙන යන්න බැහැ. එය මෙහෙය වන්න, සැලැසුම් හදන්න, ඉදිරියට ගෙන යන්න නිවැරැදි දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අවශ්‍ය දේශපාලන යාන්ත්‍රණය මේ මහා මැතිවරණයෙන් සම්පූර්ණ කර ගන්නවා. ඒ වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කය සමඟ සමීප අවබෝධයක් තිබෙන මහජන නියෝජිතයන් දේශපාලන යාන්ත්‍රණයට අවශ්‍ය වෙනවා. ස්වාභාවික විපත්වලට මුහුණ දීම, මැණික් කර්මාන්තය ආදී මෙම දිස්ත්‍රික්කයට ආවේණික ආර්ථික ක්‍රියාමාර්ග නිවැරැදිව සැලැසුම් කරන්න සහ මෙහෙයවන්න ඒ පිළිබඳ සමීප අවබෝධයක් තිබෙන දේශපාලන යාන්ත්‍රණයක් අවශ්‍යයි.

Crowd At The Victory Rally Of Rathnapura

හිටපු මුදල් ඇමැතිවරයාට, සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා ගෙනාවා. බහුතර මන්ත්‍රීවරුන් ඒ මුදල් ඇමැති සහ සෞඛ්‍ය ඇමැති සුදනන් බව නම් කරමින්, අත ඉස්සුවා. ජනතාව දන්නවා ඔවුන් දූෂිතයන් බව. නමුත්, මන්ත්‍රීවරුන් ඔවුන් රැක ගැනීම වෙනුවෙන් අත උස්සනවා. මේ නිසා ක්‍රමානුකූලව පියවරෙන් පියවර පාර්ලිමේන්තුව කෙරෙහි තිබුණු ජනතාවගේ විශ්වාසය බිඳවැටුණා. ඒ නිසා ජනතාවට අප්‍රසන්න තැනක් බවට පාර්ලිමේන්තුව පත් වුණා. තව දුරටත් නරක පාර්ලිමේන්තුවක් ඕනෑ නම්, පරණ කට්ටිය ඉන්නවා. නමුත්, ලංකාවේ මෙතෙක් ගොඩනැඟුණු හොඳම පාර්ලිමේන්තුව ඕනෑ නම්, මාලිමාව නියෝජනය කරන සහෝදර, සහෝදරියන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඒ සඳහා හොඳම පිරිසක් තෝරාගෙන ඉදිරිපත් කර තිබෙනවා.

මේ රට ගොඩනැඟීම සඳහා තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය කැප කරනවා වාගේම විනයක් සහිත නීතිගරුක පිරිසක් ඕනෑ නම්, ඒ වෙනුවෙන් ඉන්නේ මාලිමාවේ කණ්ඩායම විතරයි. ඒ වාගේම ජනතාව සමඟ සමීපව කටයුතු කරන පිරිසක් ඉන්නෙත් මාලිමාවේ විතරයි. ගම්වල පවත්වන ශ්‍රමදානවලට වඩා ලොකුම ශ්‍රමදානයක් මඟින් පාර්ලිමේන්තුව පිරිසිදු කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් නොවැම්බර් 14 වැනිදා වෙන්වී තිබෙනවා. තව පිරිසක් කියනවා, විපක්‍ෂයක් ඕනෑ කියලා. නමුත්, අප මැදිහත් වෙන්නේ ලංකාවේ ශක්තිමත්ම ආණ්ඩුව පිහිටුවීමටයි. නොවැම්බර් 21වැනිදා පාර්ලිමේන්තුව කැඳවනවා. ඊට පෙර 25කට අඩු සංඛ්‍යාවකින් යුත් විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය හදනවා. කැබිනට් ඇමැතිවරුන්ට නියෝජ්‍ය ඇමතිවරයෙක් සහිත සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබාදෙන යාන්ත්‍රණයක් හදනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම දෙනාම රට ගොඩ නැගීම වෙනුවෙන් දායක කර ගන්නවා. පියවරෙන් පියවර නිවැරැදි තීන්දු ක්‍රියාත්මක කරමින්, රට ගොඩනැඟීමේ දිශාවට ගමන් කරනවා.

The Victory Rally Of Rathnapura Crowd

ජනාධිපතිවරණයෙන් පසු ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන තෙක් පාලනය බිඳනොවැටී පවත්වාගෙන යාමට තුන්දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් ස්ථාපිත කළා. ඒක ලංකාවේ වගේම ලෝකයෙත් වාර්තාවක්. ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයෙක් පත් වුවහොත්, ඩොලරය රුපියල් හාරසියට යන බව සමහර අය කිව්වා. නමුත්, ඩොලරය රුපියල් තුන්සීයට අඩුවෙන් පවත්වාගෙන යාමට අපට හැකි වී තිබෙනවා. වඩාත් යහපත් අයවැය ලේඛනයක් 2025 වසර සඳහා සකස් කරනවා. මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මහා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සාකච්ඡා කරමින් ඉන්නවා. ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය ප්‍රචාරය කළ ආකාරයේ ව්‍යසනයකට අපේ රටත්, ජනතාවත් ගොදුරු වීමට ඉඩ නොදී සාමාන්‍ය තත්වයෙන් පවත්වාගෙන යාමට අප සමත්වී සිටිනවා.

ඊට අමතරව අපේ ඉදිරි ඉලක්ක සැලැසුම් කිරීමට අවශ්‍ය තීන්දු-තීරණත් ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා කැබිනට් මණ්ඩලයකින් අනුමත කරගෙන පොහොර සහනාධාරය දෙන්න හිටියනම් මාස් කන්නය අවසන් වෙනවා. ඒ නිසා තුන්දෙනාගේ කැබිනට් මණ්ඩලයෙන් වී වගාව සඳහා හෙක්ටයාරයකට ලබා දෙන පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩිකළා. ඒ වාගේම ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයත් වැඩි කර දුන්නා. විශ්‍රාමිකයන්ට රුපියල් 3,000ක අමතර දීමනාවක් ඔක්තෝබර් මාසයේ සිට ලබා දෙන්නත් ක්‍රියා කළා. අපේ පළමු අය වැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්නත් සැලැසුම් කර තිබෙනවා. පාසල් දුවා දරුවන් සඳහා යම් දීමනාවක් දෙන්නත් අපි කල්පනා කරමින් ඉන්නවා. සාමාන්‍ය ජනතාව බලාගෙන ඉන්න සහනාධාර ලබාදීමටත් සැලැසුම් කර තිබෙනවා. මේ සියල්ල අතරේ රට ගොඩනැඟීම වෙනුවෙන් කෘෂි, ධීවර ක්‍ෂේත්‍ර මෙන්ම සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමටත් සැලැසුම් සකස් කර තිබෙනවා. රත්නපුරය විශේෂයෙන්ම මැණික් කර්මාන්තය සමඟ ගැටගැසී තිබෙන නිසා එම කර්මාන්තය බිඳවැටීමට ඉඩ නොදී, පාරිසරික බිඳවැටීමකටත් ඉඩනොදී ක්‍රමානුකූලව තිරසර ආකාරයෙන් මැණික් කර්මාන්තය දියුණු කිරීමට සැලැසුම් සකස් කරනවා. ඒ තුළ සාම්ප්‍රදායික මැණික් කර්මාන්තය ආරක්‍ෂා කර ගනිමින්, පරිසරය ආරක්‍ෂා කර ගැනීම මූලිකම ඉලක්කයක්. වර්තමානයේ ජීවත් වන අපි සියල්ල කාබාසිනියා කරමින්, කටයුතු කරනවා වෙනුවට තිරසර සංවර්ධනයේ ප්‍රධාන අංගයක් ලෙස මැණික් කර්මාන්තය සංවර්ධනය කරන්න කටයුතු කරනවා. අනාගත පරපුර වෙනුවෙන් සම්පත් ආරක්‍ෂා කර දෙමින්, විධිමත්ව පරිහරණය කරනවා.
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පවතින විශාල ඛේදවාචකය අවසන් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ මෑතක දී සාකච්ඡා පැවැත්වූවා. සමහර පාසල් තිබෙනවා, ඉගෙන ගන්න දරුවන් නැති. ඒ වාගේම දරුවන්ට පාසල් නැති ප්‍රශ්නයකුත් තිබෙනවා. මේ සියල්ල විධිමත් කරමින්, ක්‍රමවත්ව රට ඉදිරියට ගෙන යාම ආරම්භ කරනවා. නමුත්, අපේ ප්‍රතිවිරෝධී පාර්ශ්ව ආණ්ඩුව මාස තුනෙන්, හයෙන් වැටේවි යැයි ප්‍රචාර යවනවා. නමුත්, ජාතික ජන බලවේගය මේ රට ගොඩනඟා මිස ආපසු හැරෙන්නේ නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශක්තිමත්ව මේ ක්‍රියාමාර්ග දියත් කිරීමට රත්නපුර දිස්ත්‍රික්කයෙන් මාලිමාවේ මහජන නියෝජිතයන් වැඩිම පිරිසක් තෝරා පත් කර යවන ලෙස ඉල්ලා සිටිනවා.

W Karunathilaka Addressing The Crowd At The Victory Rally Of Rathnapura

“මැරිච්ච රටට පණ දෙන්නේ මේ පණ තියෙන කතිරයෙන්”
-ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් විධායක සභික, විශ්‍රාමලත් විදුහල්පති, රත්නපුර දිස්ත්‍රික් අපේක්‍ෂක, ඩබ්ලිව්. කරුණාතිලක-

පසුගිය 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් අපේම ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමෙන් පසුව නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ බහුතර බලයක් සහිත ප්‍රබල ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් අප සියලු දෙනා පෙළගැසී සිටිනවා. පසුගිය ජනාධිපතිවරණය වාගේම එළැඹෙන මහා මැතිවරණයත් තීරණාත්මකයි. අප මෙතෙක් කල් දැක්කේ ආණ්ඩු නෙවෙයි. මෙරට ඉතිහාසයේ පළමුවරට ජනතාවාදී ආණ්ඩුවක් දකින්නේ ලබන මස 14 වැනිදා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් ශක්තිමත් බහුතර බලයක් සම්පූර්ණ කරගත් පසුවයි. මේ දක්වා අපි ආණ්ඩු කියලා දැක්කේ අවුරුදු පහෙන් පහට මේ රට මංකොල්ල කන කල්ලි දෙකක්. එයට එරෙහිව ලබන මාසයේ 14 වැනිදා ඔබේ ආණ්ඩුවක් පිහිටුවා ගන්නවා. ඒ නිසයි, එළැඹෙන මහා මැතිවරණය තීරණාත්මක ඡන්දයක් වෙන්නේ. මේ පවත්වන්නේ ඡන්දයක් විතරක් නෙවෙයි, පින්කමක්. සියලු ජනීජනයා දුකට පත්වී සිටින අවස්ථාවේ ඒ දුකින් මුදාගැනීමේ පින්කමයි, මහා මැතිවරණයේදී අප ඉටු කරන්නේ. වෙනදා ගැසූ අජීවී කතිරය නෙවෙයි මෙවර ඔබ ගහන්නේ. පණ තියෙන කතිරයක්. මැරිච්ච රටට පණ දෙන්නේ මේ පණ තියෙන කතිරයෙන්. පසුගිය 21වැනිදා අපේ ජනාධිපතිවරයෙක් පත් කර ගත්තේ, සියලු වාද බේද පැත්තකකින් තියලා. ඒ වාගේම සියල්ලන්ගේ සහභාගීත්වයෙන් ජනතාවාදී ආණ්ඩුවක් අපේ ජීවමාන ඡන්දයෙන් පත්කර ගමු. මියගිය රටට යළි පණදී ගොඩනඟන, සංවර්ධනය කරා ගෙනයන ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් අපි මේ මැතිවරණයේ දී ඡන්දය පාවිච්චි කරමු.

Nadee Kammallaweera Addressing The Crowd At The Victory Rally Of Rathnapura

“අපේම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සැප්තැම්බර් 21 වැනිදා ගත් ධෛර්යවන්ත තීන්දුව දිගුකාලීන, ස්ථාවර ජයග්‍රහණ කරා යොමු කරමු!”
-ප්‍රවීණ රංගන ශිල්පිනී, නදී කම්මැල්ලවීර-

අපේ සුන්දරලිංගම් සහෝදරයා භාෂා දෙකෙන්ම කතා කළා. නමුත්, මට දෙමළ භාෂාවෙන් වචන කිහිපයක්වත් කතා කරන්න බැරිවීම ගැන අවංකවම ලැජ්ජා වෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ වඩාත් හොඳින් අපි එකිනෙකා අවබෝධ කරගත හැකි වන පරිදි භාෂා දැනුම වර්ධනය කර ගැනීමට ක්‍රියා කරනවා. ඉතිහාසයේ ප්‍රශස්තම ජනතා තීන්දුව පසුගිය 21 වැනිදා ගනිමින්, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයා අපේ රටේ ජනාධිපති ලෙස පත්කර ගත්තා. ඒ තීන්දුව නිවැරැදි බව දිනෙන් දිනම දැන් තහවුරු වෙමින් තිබෙනවා. පරම්පරා කිහිපයක් අප මත පටවා තිබුණු අසීමිත බරෙන් නිදහස්වීමේ හැඟීමක් මට මෙන්ම ඔබ සියලු දෙනාටත් දැනෙනවා ඇති. ප්‍රබෝධයක්, බලාපොරොත්තුසහගත බවක් වාගේම අපේක්‍ෂා සහිතව දල්වා ගත් දෑස් හැම දෙනාටම තිබෙනවා.

නීතිය සියලු දෙනාට එක ලෙස ක්‍රියාත්මක වන රටක පුරවැසියන් වීමේ අභිමානය දැනෙන්න පටන්ගෙන තිබෙනවා. ඒ සුවය මහා අසිරියක්. ඇරැඹූ මේ ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා ශක්තිමත් ව්‍යවස්ථාදායකයේ බලයක් ජාතික ජන බලවේගයට ලබාදෙන්න. උසාවිවලින් මිනීමරුවෝ බවට තීන්දු කළ අය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ, හොරු ඇතුළු අපරාධකරුවන් පාර්ලිමේන්තුවේ සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන්නේ මහජනතාවගේ මුදලින් සියලු වරප්‍රසාද ලබා ගනිමින්, මහජනතාව නොතකා සිටින පිරිසක් වාගේම පිල් පනින පිරිසක් බවට පත්වී සිටියා. ඒ අප්‍රසන්න තත්වය වෙනස් කිරීමේ අවස්ථාව දැන් ලැබී තිබෙනවා. මන්ත්‍රීවරයා සහ මහජනතාව අතර සම්බන්ධතාව පැහැදිලි කර දෙන සැබෑ පාර්ලිමේන්තුවක් පිහිටුවා ගැනීමේ ශක්තිමත් බහුතර ජයක් ලබාගැනීම අත්‍යවශ්‍යයි. අපේම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සැප්තැම්බර් 21වැනිදා ගත් ධෛර්යවන්ත තීන්දුව දිගුකාලීන, ස්ථාවර ජයග්‍රහණ කරා යොමු කරවමු. ආර්ථික වශයෙන් පමණක් නොවෙයි, ආධ්‍යාත්මික වශයෙන් පොහොසත් රටක් බවට පත් කරන්න සියලු දෙනාම පෙළගැසෙමු. ලස්සන ජීවිතයක් ගොඩනඟා දෙන්න අවශ්‍ය ශක්තිය, බලය ජාතික ජන බලවේගයට ලබා දෙමු. ශ්‍රී ලාංකික ජනතාවට ජයවේවා!

Sugath Wasantha De Silva Addressing The Crowd At The Victory Rally Of Rathnapura

“මේ ජනතාවාදී පාලනය තුළ ආබාධ සහිත අපව අත්නොහරින බව අපිට විශ්වාසයි”
-විශ්‍රාමික දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සාමාජික, ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්‍ෂක, සුගත් වසන්ත ද සිල්වා-

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළ අනුර කුමාර දිසානායක සහෝදරයාට ආබාධිත පුරවැසියන් වෙනුවෙන් ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කළා. එය ක්‍රියාත්මක කිරීමේ තවත් පියවරක් ලෙස ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්‍ෂකයකු ලෙස ආබාධිත පුද්ගලයන් නියෝජනය කරමින්, මාව ඉදිරිපත් කර තිබෙනවා. ලක්‍ෂ දහහතකට වැඩි ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කිරීමේ අවස්ථාව මේ මඟින් ලබාදී තිබෙනවා. ගෙවී ගිය අවුරුදු හැත්තෑහය තුළ විවිධ පක්‍ෂ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ආබාධිත පුරවැසියන් කෙරෙහි අවධානයක් යොමුකර තිබුණේ නැහැ. ඔවුන් වෙනුවෙනුත් ප්‍රතිපත්තියක් සකස් කිරීමයි ජාතික ජන බලවේගයේ හැඩය. රත්නපුර දිස්ත්‍රික්කයෙහි ජනතාව පෙළගැසී සිටින්නේ එවැනි පළල් අර්ථයක් සහිත වැඩපිළිවෙළක් පවතින ජාතික ජන බලවේගය වටා.

ජරාජීර්ණ දේශපාලනය අවසන් කර මිනිසුන්ට ආදරය කරන මිනිසුන්ගේ අපේක්‍ෂා ඉටු කරන දේශපාලන ව්‍යාපාරයක් බලයට පත් කිරීමේ හැකියාව තිබෙන්නේ ඔබටයි. ඒ වෙනුවෙන් විශාල මහජන නියෝජිතයන් පිරිසක් පත්කර යැවීමේ වගකීම තිබෙන්නේ ඔබට. සියයට තුනට තිබුණු මහජන කැමැත්ත සියයට 43 දක්වා පසුගිය ජනාධිපතිවරණයේ දී ගෙන ආවා වාගේම ජනතාවාදී රජයක් පත්කර ගන්නා බව ස්ථිරයි. මේ දේශපාලන ව්‍යාපාරය කිසිම දාක ජනතාවට පිටුපාන්නේ නෑ. ජනතාවාදී පාලනයක් තුළ ආබාධ සහිත අපව අත්නොහැර ඉදිරියට ගමන් කරමින්, ලස්සන ජීවිතයක් උදා කරගත හැකි බව ස්ථිරයි. තමන්ගේ අයිතිවාසිකම් වාගේම සුබසාධනය බලගැන්වෙන ආයතනික රටාවක් ගොඩනැඟීම සිදු කරනවා. අප හැමදෙනාම එකට හිනාවෙන, එකට අත්පොළසන් දෙන වෙනස්කමකට භාජනය නොකරන පිරිසක් බවට ආබාධිත ජනතාවත් ඔසොවා තබන රටක් තමයි, පොහොසත් රටක් කියන්නේ. එවැනි ජනතාවක් තමයි, ලස්සන ජීවිත ගත කරන ශිෂ්ටසම්පන්න ජනතාවක් කියන්නේ.

Giniduma Sunil Senevi Addressing The Crowd At The Victory Rally Of Rathnapura

“ජනාධිපති සහෝදරයෙක් ආදරණීය අග්‍රාමාත්‍යවරියක් ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් එක්ක රටට ඓතිහාසික ජයග්‍රහණයක් අත්පත් කරගමු”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, රත්නපුර දිස්ත්‍රික් අපේක්‍ෂක, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි-

රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන්න ජාතික ජන බලවේගයෙන් විශිෂ්ට අපේක්‍ෂකයන් 14 දෙනෙක් ඉදිරිපත් කර සිටිනවා. මේ ඉන්න අපේක්‍ෂකයන්ට නඩු නැහැ. ඇප පිට ඉන්න අය නෙවෙයි. දූෂණ චෝදනා නැහැ. ඒ නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ ආදරණීය ඔබට මේ 14දෙනා අතුරින් වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමේ කිසිදු දෙගිඩියාවක් තියෙන්න හේතුවක් නැහැ.
හැත්තෑහය වසරක් රට පාලනය කළ පාලකයෝ අපේ ජීවිතවල ගැටලු සම්පූර්ණයෙන්ම ඉතිරි කර තිබෙනවා. පොහොට්ටුවෙන් යවපු 134 දෙනකුගේ ඡන්දයෙන් මහ බැංකුව කොල්ලකෑමට වගකිව යුතු රනිල් වික්‍රමසිංහ ජනාධිපති කළා. ජනතාවට පීඩනය ගෙනැවිත්, අසරණ කළ මේ ක්‍රමය වෙනස් කිරීමටයි, අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙන්නේ. මේ ආසන්නයේ පවතින ඉස්ලාම් පල්ලියකට ගිය අවස්ථාවේ ඔවුන් කළ එකම ඉල්ලීම සුසාන භූමියක් ලබා දෙන ලෙසයි. හැත්තෑහය වසරක් රට පාලනය කළ අය මේ රටේ ජනතාවට ගෞරවනීය ජීවිතයක් ලබා නොදුන්නා සේම ගෞරවනීය අවසන් ගමනක් අත්කර දී නැහැ. ඒ නිසා දූෂිත, දුෂ්ට පාලනය අවසන් කළ යුතුයි. මෙයට මොහොතකට පෙර මේ රටේ ආබාධිත ජනතාව නියෝජනය කරමින් කතා කළ සුගත් සහෝදරයා වෙනුවෙන් අපේ පාර්ලිමේන්තුවේ අසුනක් වෙන් වේවි. ඉන් පසුව මුළු ලෝකයම අපේ පාර්ලිමේන්තුව ගැන කතා කරාවි. ජාතික ජන බලවේගය මුළු රටටම ජයක් දෙනවා මෙන්ම සුගත් සහෝදරයා දෘශ්‍යාබාධිත පමණක් නොවෙයි, සියලුම ආබාධිත ජනතාවට ආලෝකය ලබා දේවි. ජාතික ජන බලවේගය නිර්මාණය කළ ජනාධිපති සහෝදරයෙක් සමඟ මහා මැතිවරණයේ අපේක්‍ෂකයන් 14 දෙනකු මේ වේදිකාවේ සිටිනවා. මගේ වැඩිහිටි පරම්පරාව ජීවිත පරිත්‍යාගයෙන් දැකපු හීනයක් වාගේම මගේ පරම්පරාවත් දැකපු හීනයක් සැබෑ වීමක් ඒක. විශාල වගකීම් සම්භාරයක් අප හැම දෙනාටම පැවරී තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ආසන අටම නියෝජනය කරමින්, මේ අපේක්‍ෂකයන් අතුරින් බහුතරයක් තෝරා පාර්ලිමේන්තුවට යවන්න. අපේ ජනාධිපතිවරයෙක් ආදරණීය අග්‍රාමාත්‍යවරියක් ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් එක්ක ඓතිහාසික ජයග්‍රහණ ලැබීමට සියලු දෙනාම ඒකරාශී වන ලෙස ආරාධනා කරනවා.

Shantha Padmakumara Addressing The Crowd At The Victory Rally Of Rathnapura

“විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන ශක්තිමත් කණ්ඩායමක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කර තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක, ශාන්ත පද්මකුමාර-

පසුගිය ජනාධිපතිවරණයේදී මාධ්‍ය ආයතන කිහිපයක් සහ වෙනත් මඩ, අවලාද නඟන්නන් විශාල පිරිසක් වාගේම භික්‍ෂුන් වහන්සේලා දෙතුන් නමක් ගෙන ගිය අසත්‍ය ප්‍රචාරවලට හසු නොවී රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව අප ජයග්‍රහණය කරවූවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වැනි ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක සහෝදරයා තෝරා පත්කර ගැනීමෙන් පසුවයි ඔබ මේ විජයග්‍රාහී රැලියට සහභාගී වන්නේ. දෙවැනි ප්‍රතිවාදියාට වඩා වැඩි ඡන්ද ලක්‍ෂ 13කින් අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති ලෙස ඔසවා තැබුවා. ආදරණීය සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලුදෙනා එක්වී අනුර සහෝදරයා ජනාධිපති ධුරයට පත්කර ගත්තා. ජනාධිපති සහෝදරයෙක් නිර්මාණය කළේ ඔබේ ඡන්දයෙන්. එයින් ලබාගත් පළමු ජයග්‍රහණය තවදුරටත් තහවුරු කරමින් එන මාසයේ 14 වැනිදා අප ලබන ජයග්‍රහණය කහවත්ත රැලියෙන් තහවුරු කර අවසන්. මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතිඥයන්, ඉංජිනේරුවරුන්, කලාකරුවන් ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන පිරිසක් රත්නපුර දිස්ත්‍රික් අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදර ජනතාවත් එකමිටට එක්කර ගත් පිරිසක් ඉදිරිපත් කර සිටිනවා. මේ පිරිස අතුරින් ඔබ කැමැති ඕනෑම තුන්දෙනකුට මනාප අංකය ලබාදී පාර්ලිමේන්තුවට තෝරා පත්කර යවන්න. මේ සියලු දෙනා පාර්ලිමේන්තුවේ ඔබ නියෝජනය කරන්න සුදුසුකම් සම්පූර්ණ කරපු අයයි.

Show More

“මහජනයාගේ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගැනීමවගකීමකින් ක්‍රියා කරන ආණ්ඩුවක කාර්යභාරයයි” -ජනාධිපති, අනුර කුමාර දිසානායක-

(-මහා මැතිවරණය 2024 – පුත්තලම ජයග්‍රාහී ජනතා රැලිය – 2024.10.24-) පසුගිය ජනාධිපතිවරණයේ දී පුත්තලම දිස්ත්‍රික්කයේ ආසන ගණනාවක් ජයග්‍රහණය කරමින්, මෙම දිස්ත්‍රික්කයෙන් අපට විශාල ජයග්‍රහණයක් ලබා දුන්නා සේම මහා මැතිවරණයෙන් මේ දිස්ත්‍රික්කයේ ආසන සියල්ලම ජයග්‍රහණය කරන බව පැමිණ සිටින මේ මහා ජන ගංගාවෙන් තහවුරු වෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයෙන් මේ දක්වා පත්කර යැවූ මන්ත්‍රීවරුන් කවුද? ඒඅ ය බලෙන් […]

(-මහා මැතිවරණය 2024 – පුත්තලම ජයග්‍රාහී ජනතා රැලිය – 2024.10.24-)

The President Anura Kumara Dissanayake Addressing At The Victory Rally Of Puttalam Crowd

පසුගිය ජනාධිපතිවරණයේ දී පුත්තලම දිස්ත්‍රික්කයේ ආසන ගණනාවක් ජයග්‍රහණය කරමින්, මෙම දිස්ත්‍රික්කයෙන් අපට විශාල ජයග්‍රහණයක් ලබා දුන්නා සේම මහා මැතිවරණයෙන් මේ දිස්ත්‍රික්කයේ ආසන සියල්ලම ජයග්‍රහණය කරන බව පැමිණ සිටින මේ මහා ජන ගංගාවෙන් තහවුරු වෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මේ දක්වා පත්කර යැවූ මන්ත්‍රීවරුන් කවුද? ඒඅ ය බලෙන් ඉඩම් ඇල්ලීම, කුඩු ජාවාරම් කිරීම, හොර රත්‍රන් ජාවාරම් කිරීම, කප්පම් ගැනීම, බලෙන් ඉස්සන් කොටු ඇල්ලීම වැනි ජනතා ද්‍රෝහී ක්‍රියාවලට යොමුවෙලා හිටියා. ජනතාව පීඩාවේ හෙළන මන්ත්‍රීවරුන් වෙනුවට ජනතාව සමඟ උරෙනුර ගැටී රට ගොඩනඟන නව සංස්කෘතියක් සහිත මන්ත්‍රීවරුන් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට එවන්න. ඒ වෙනුවෙන් ඉන්නේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම පමණයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පොදුවේ තිබෙන විරෝධය අවසන් කර පාර්ලිමේන්තුව ශුද්ධ කිරීමේ මහා ශ්‍රමදානයට මාලිමාවෙන් වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ. අපි එහෙම කියන කොට සමහර අය කියනවා, මාලිමාවේ අපේක්‍ෂකයන්ගේ මුහුණු දන්නේ නෑ කියලා. අපරාධ කරලා ජාවාරම් කරලා ප්‍රසිද්ධ වුනු මුළු රටම දන්නා අපරාධකරුවන් වෙනුවට මේ රට ගොඩනැඟිය හැකි මාලිමාවේ බලවත් ආණ්ඩුවක් ගොඩනඟන්න අපි කටයුතු කරමින් සිටිනවා.

The Victory Rally Of Puttalam Crowd People

ජනාධිපතිවරණයෙන් පසු ලෝකයේ සිටින කුඩාම කැබිනට් මණ්ඩලය හැදුවා. අපි ගෙනයන ආණ්ඩු ක්‍රියාකාරීත්වයේ අඩුවක් දැනෙනවාද? එවැනි අඩුවක් නැහැ. රතිඤ්ඤාවක්වත් පත්තු නොවන ආකාරයේ ජයග්‍රහණයක් සමරමින්, ලබාදී තිබෙන ආදර්ශය මේ මහා මැතිවරණයේදී ද ඡන්ද ව්‍යාපාරය තුළ රැකගනිමින් සිටිනවා. විශේෂයෙන්ම පුත්තලම දිස්ත්‍රික්කය කියන්නේ, මැතිවරණ භීතියක් ඇතිකරපු දිස්ත්‍රික්කයක්. නමුත්, මේ මැතිවරණ සමය තුළ සාමකාමීම මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අත්දැකීමක් ඉතිහාසයට එක්කර තිබෙනවා. සමහරු කතා කරනවා යුරෝපයේ පවතින දියුණු දේශපාලන සංස්කෘතිය ගැන. එවැනි දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීමේ මැතිවරණ ව්‍යාපාරයක් ජාතික ජන බලවේගය ගෙනයමින් සිටිනවා. මහා මැතිවරණයේදී ලබාගන්නා විශිෂ්ට ජයග්‍රහණයෙන් පසුවත් මේ තත්වය රැකගැනීමේ දේශපාලන සංස්කෘතියක් තහවුරු කරනවා.

දේශපාලනය එපාවෙලා හිටපු තරුණ පරම්පරාව ඇතුළු සියලු දෙනා අලුත් හැඟීමකින් රට පුරාම දේශපාලනයට එක්වෙමින් සිටිනවා. මැතිවරණයෙන් පසුව විද්‍යාත්මක පදනමක් මත විසිපහකට අඩු ඇමැති මණ්ඩලයක් පත් කරගෙන රට ගොඩනැඟීමේ සැලැසුම ක්‍රියාත්මක කරනවා. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනැඟීමේ වැඩපිළිවෙළ දැනටමත් ක්‍රියාත්මක කිරීමට පටන්ගෙන තිබෙනවා.

Gayan Janaka With President Waving At The Crowd At The Victory Rally Of Puttalam

විශේෂයෙන් මැදපෙරදිග නිර්මාණයවී තිබෙන යුද ගැටුමේ බලපෑම මේ වනවිට ලෝකය පුරා පැතිර යන අතර, ලංකාවටත් යම් යම් අවදානම්කාරී තත්වයන් ඇතිවී තිබෙනවා. එවැනි යම් දෙයක් ලංකාවේත් ඇති විය හැකි බව මෙයට සති දෙකකට පමණ පෙර අපට වාර්තා වුණා. අපි බුද්ධි අංශ තොරතුරු ආවාම මාධ්‍ය සාකච්ඡා තියන්නේ නැහැ. එහෙම නැත්නම් එම තොරතුරු පාවිච්චි කරලා ජනතාව කළබල කරන්නේ නැහැ. අදාළ ස්ථානවල ආරක්‍ෂාව අප වේගයෙන් තහවුරු කළා. එම තොරතුරුවලට අනුරූප වන පරිදි වගකීමෙන් කටයුතු කරනවා. වගකීමකින් යුතුව පුරවැසියන්ගේ ආරක්‍ෂාව තහවුරු කරනවා. ඒ වාගේම බුද්ධි අංශ තොරතුරු මත පරීක්‍ෂණ වේගයෙන් දියත් කර සැක කටයුතු කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ආණ්ඩුවක් හැටියට අපේ වගකීම වෙන්නේ එවැනි සිදුවීමක් වැළැක්වීමයි. වෙනදා සිදු කළේ එක්කෝ බුද්ධි තොරතුරු නොසලකා සිටීම හෝ මාධ්‍යයට ලබා දී කලබැගෑනියක් නිර්මාණය කිරීමයි. ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට පොලිසිය සහ ආරක්‍ෂක අංශ සමඟ ඉතා සමීපව නිරන්තර අවධානය යොමු කරමින්, ගත යුතු පියවර ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙනුත් සමහර අය කලබල වී ඉන්නවා. මහජනයාගේ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගැනීම වගකීමකින් ක්‍රියා කරන ආණ්ඩුවක කාර්යභාරයයි. ආර්ථික වශයෙන් ආරක්‍ෂාව වශයෙන් ව්‍යාපාර දියුණු කිරීමේ පැත්තෙන් දරුවන්ගේ අධ්‍යාපනය පැත්තෙන් වාගේම වැඩ කරන ජනතාවගේ පැත්තෙන් සියලු දෙනා බලාගනිමින්, ආරක්‍ෂා කිරීම ආණ්ඩුවක වගකීමයි. එය අපි ඉටු කරමින් සිටිනවා.

රජයේ සේවකයන්ගේ පඩි වැඩි කිරීමට සල්ලි වෙන් කර තිබූ බව හිටපු ජනාධිපතිවරයා කියනවා. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දෙ ඔන්න මෙන්න තියලා කැබිනට් පත්‍රිකාවක් සම්මත කර ගන්නවා. නමුත් ඔහු මුදල් වෙන් කර නැහැ. රනිල් මුදල් වෙන් කර නොතිබුණාට එළැඹෙන අය-වැයෙන් අපි රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. ඒ නිසා පැරැදුණාට පස්සේ එහෙන් මෙහෙන් කෙනිත්තිලි නොකර පැත්තකට වෙලා ඉන්න කියලා හිටපු ජනාධිපතිට අපි මතක් කරනවා. නමුත්, ඔවුන් කරන්නේ කුමන හෝ ප්‍රශ්නයක් කුමන හෝ ප්‍රබන්ධයක් ඇති කරමින්, යළි බලය අත්පත් කර ගැනීමට ප්‍රයත්න දැරීමයි. අපේ ආණ්ඩුව මාස තුනෙන්, හයෙන් වැටෙන බව කියන්නත් පටන්ගෙන තිබෙනවා. අපි මේ රට හදලා විතරයි නතර වෙන්නේ කියන එක ඔවුන්ට මතක් කර දෙනවා. ඉන් මෙහා ජාතික ජන බලවේගය නතර වෙන්නේ නැහැ. ආර්ථික වශයෙන් දියුණු රටක්, පිරිසිදුභාවයෙන් දියුණු රටක්, මිනිසුන්ගේ හැසිරීම්වලින් දියුණු රටක්, නීතියේ විධානයේ ආධිපත්‍යයෙන් දියුණු රටක් වාගේම සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර ජාතික සමඟිය ආරක්‍ෂා කෙරෙන රටක් අපි නිර්මාණය කරනවා. ඊට අමතරව ජාතික ආරක්‍ෂාව තහවුරු කරමින්, පරිසරයට ආදරය කරමින්, ලෙන්ගතුව ආරක්‍ෂා කර ගන්නා දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා. කාට හරි මේ දේවල් බලාගෙන ඉන්න බැරි නම්, පැත්තකට වෙලා අඬ අඬා ඉන්නයි වෙන්නේ.

Crowd At The Victory Rally Of Puttalam Crowd

පසුගිය ජනාධිපතිවරණය සමයේදී අපට එරෙහිව සියලුම ආකාරයේ ප්‍රචාර ඔවුන් ගෙන ගියා. අපට විදේශ සම්බන්ධතා නැති බවට භීතියක් මැව්වා. මේ වන විටත් මහ බැංකුවේ නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්, ආර්ථික උපදේශකයන් ඇමෙරිකාවට ගොස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වාගේම ලෝකයේ හැම රටක් සමඟම සමීප සම්බන්ධතා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් තහවුරු කරගෙන සිටිනවා. ඒ නිසා ඔවුන්ට අද රැස්වීමකට ඇවිත්, කියන්න දෙයක් නැතිවෙලා. ඒ නිසාම මාධ්‍ය හමු පවත්වමින්, නැවත නැවතත් අවලාද නඟන්න, අසත්‍ය ප්‍රචාර ගෙනයන්න පටන්ගෙන තිබෙනවා. නමුත්, ජාතික ජන බලවේගය හැම විටම සත්‍යය මත පදනම් වී දේශපාලනය කරන ව්‍යාපාරයක් බව යළි මතක් කර දෙනවා. පාර්ලිමේන්තුවේදීත් කකුලෙන් අදින්න ඉඩ දෙන්නේ නැති බාල්දි පෙරළන්න ඉඩ දෙන්නේ නැති ශක්තිමත් බලයක් ජාතික ජන බලවේගයට අරන් දෙන්න. තමුන්නාන්සේලා සියලු දෙනාගේ වගකීම භාර ගන්නා ආණ්ඩුවක් අප පිහිටුවනවා. කුමන හෝ සැකයක් නිසා ජනාධිපතිවරණයේ දී අපට ඡන්දය නොදුන් ජනතාව මහ මැතිවරණයේදී නදිපතා අපිට එකතු වෙමින් ඉන්නවා.

ආණ්ඩු කියලා කියන්නේ, තමන් වෙත ඡන්දය නොදුන් ජනතාවගේත් විශ්වාසය දිනා ගන්නා බලවේගයි. ගතවෙන හැම මොහොතක් පාසාම ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය වැඩි වෙමින් පවතිනවා. ඒ නිසා අපේ ආණ්ඩුව වට්ටනවා කියලා හිතන්නවත් එපා කියලා මතක් කරනවා. පරම්පරා ගණනක් පාර්ලිමේන්තුවේ බලයේ ඉඳලා ඒවා අහිමි වුනාම දුකට කියන කතා බොහොමයක් දැන් අහන්න ලැබෙනවා. අපිට එල්ල කරන බොරු චෝදනා කිසිවකින්වත් අපේ ආණ්ඩුවට කුඩා හෝ බලපෑමක් කළ නොහැකි බව මතක් කර දෙනවා. සමහර දේශපාලන පක්‍ෂ අවසන් මොහොතේත් වාසි ලබාගන්න බොරු ප්‍රචාර දියත් කරමින්, මැතිවරණයෙන් පස්සේ අප සමඟ එක් වන බව කියනවා. එහෙට මෙහෙට පැනීම සම්බන්ධයෙන් ජනතාව තුළ දැඩි විරෝධයක් තිබෙනවා. අවස්ථාවාදීව පනින, තැරැවුකරුවන්, කොන්ත්‍රාත්කරුවන් නැති එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. ඉදිරියේදීත් අපේ ස්ථාවරයන් ඒ ලෙසම ආරක්‍ෂා කරනවා. රට ගොඩනැඟිය හැකි විශාල ජයග්‍රහණයක් මේ මැතිවරණයෙන් ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පොහොසත් රටක් ගොඩනඟා ලස්සන ජීවිතයක් උදාකර දීම වෙනුවෙන් සියලුම දෙනා ඒකරාශී වන ලෙස ඉල්ලා සිටිනවා.

Dr Chandarana Abeysinghe Addressing The Crowd At The Victory Rally Of Puttalam

“සුළං බලය යොදා ගනිමින්, විශාල වශයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට යොදා ගැනීමේ සැලැසුම් ඇතුළු දැවැන්ත සංවර්ධන සැලැස්මක් සකස් කර අවසන්”
-පුත්තලම් දිස්ත්‍රික් අපේක්‍ෂක කණ්ඩායම් නායක, මහාචාර්ය චන්දන අබේරත්න-

මුළු රටම වැඩබිමක් බවට පත් කරමින්, ආර්ථිකය ගොඩ ගැනීමේ ක්‍රියාවලියට පණපොවන අතර, පුත්තලම් දිස්ත්‍රික්කය කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය ගොඩනැඟීමේ සැලැසුම් සකස් කර තිබෙනවා. ඒ වාගේම මේ හමාගෙන එන සුළං බලය යොදා ගනිමින්, විශාල වශයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට යොදා ගැනීමේ සැලැසුම් ඇතුළු දැවැන්ත සංවර්ධන සැලැස්මක් සකස් කර අවසන්. එමෙන්ම පුත්තලම් කළපුව, විල්පත්තුව අභයභූමිය, වෙරළ තීරය යොදා ගනිමින්, සංචාරක කර්මාන්තය විශාල වශයෙන් සංවර්ධනය කිරීමට අපි සැලැසුම් සකස් කර තිබෙනවා.

ඒ වාගේම අපේ දරුවන්ගේ අධ්‍යාපනය මේ වන විට පවතින විශාල අඩුපාඩුකම් මඟහරවා ගනිමින්, ඉදිරියට යාමේ වැඩපිළිවෙළක් දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට ඇතුළත් කර තිබෙනවා. ඒ වාගේම ක්‍රීඩා අංශයෙන් ජාතික මට්ටමේ පමණක් නොවෙයි, අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රහණ දක්වා ගෙන යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මෙම කටයුතු වෙනුවෙන් එළැඹෙන මහා මැතිවරණයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමට මුස්ලිම් සහෝදරත්වය විශේෂයෙන්ම ජාතික ජන බලවේගය වටා එක්වී සිටිනවා. මහා මැතිවරණයට ඉදිරිපත්වී සිටින අප කිසිවෙක් පෞද්ගලික අරමුණු වෙනුවෙන් ඉදිරිපත් වී නැහැ. පොදුවේ රටත්, ජනතාවත් ජයග්‍රහණය කරවීමට සියලුම දෙනා කැපවී කටයුතු කරනවා.

Sunimal Jayakodi Addressing At The Victory Rally Of Puttalam

“අපේ ආණ්ඩුවෙන් ජනතාවගේ ගුණාත්මක සෞඛ්‍ය සේවා අයිතිය තහවුරු කරනවා”
-ජාතික විද්වත් සංවිධානයේ පුත්තලම් දිස්ත්‍රික් කමිටු සාමාජික, වෛද්‍ය සුනිමල් ජයකොඩි-

පසුගිය ජනාධිපතිවරණයේදී අප ලැබූ ඓතිහාසික ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා මහා මැතිවරණය යොදා ගන්නා මෙන් ඉල්ලා සිටිනවා. දශක ගණනාවක් පුල පුලා බලා සිටි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව අපට ලැබී තිබෙනවා. අපේ රජයෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය නඟාසිටුවීමේ අවශ්‍යතාව ගැන මම කෙටියෙන් පැහැදිලි කරන්නම්.

සෞඛ්‍යය කියන්නේ කායික, මානසික, ආධ්‍යාත්මික වාගේම සමාජයීය වශයෙන් ලබා ගන්නා නිරෝගීතාවයි. ලංකාවේ ජනගහනයෙන් සියයට 20ක් දියවැඩියා රෝගයෙන් පෙළෙනවා. දියවැඩියාව කියන්නේ රෝග ගණනාවක එකතුවක්. ඒ වාගේම ශාරීරික සහ මානසික සෞඛ්‍යය පිරිහීමේ ප්‍රතිඵලයක් හැටියට වයස අවුරුදු පහට ළමා පරපුර සියයට 40ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. පවතින මානසික පීඩනයෙන් මිදීමට තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී, පවුල් කඩාවැටී, සමාජයම බිඳවැටීමට ලක්වී තිබෙනවා. මම ජීවත් වන වනාතවිල්ලුව ප්‍රදේශයේ පල්ලියට පවා යන්න බැරි තත්වයේ විවිධ ගැටුම් පවතිනවා. සාමාජික සෞඛ්‍යය පිරිහීමේ ප්‍රතිඵලයක් ඒක. නමුත්, එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව සෞඛ්‍යය කියන්නේ මූල්‍ය අපහසුතාවකින් තොරව ගුණාත්මකව ලබාගත යුතු අයිතියක් බව පිළිගෙන තිබෙනවා. කාර්යක්‍ෂම සෞඛ්‍ය සේවයක් ලබාදීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මූලිකත්වය දී ක්‍රියා කරනවා. ඉදිරි අනාගතයේ දී ශක්තිමත් සෞඛ්‍ය සේවයක් ලබාදීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ විශේෂයෙන් සිදු කරන බව අප තහවුරු කරනවා.

Anton Jayakodi Addressing At The Victory Rally Of Puttalam

“පුත්තලම් දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට පොස්පේට් නිධියෙන් අපේම පොහොර නිෂ්පාදනය කරනවා”
-ජාතික ජන බලවේගයේ පුත්තලම් දිස්ත්‍රික් විධායක සභික, ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ඇන්ටන් ජයකොඩි-

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය මේ රටේ දේශපාලන ඉතිහාසය උඩු යටිකුරු කරන්නක් බව තහවුරුවී තිබෙනවා. නාස්තිකාර වියදම්වල කේන්ද්‍රය වී තිබූ ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉතාම වියදම් අඩු තැන් බවට මේ වන විටත් පත්කර තිබෙනවා. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ බිමේ යථාර්ථයක් බවට පත්කරන්න පාර්ලිමේන්තුවේ බලයත් අතිශය වැදගත්.

පුත්තලම් දිස්ත්‍රික්කය කෘෂිකර්මාන්තයට මූලිකත්වයදී තිබෙන අතර, අල්ලපු දිස්ත්‍රික්කය වන අනුරාධපුරයේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය වන පොස්පේට් නිධියක් පිහිටා තිබෙනවා. 1971 මේ නිධිය සොයා ගැනීමත් සමඟ මේ දක්වාම වසරකට රුපියල් මිලියන 35,000ක් වැයකර කෘෂිකර්මාන්තයට අවශ්‍ය සුපර් පොස්පේට් පිටරටින් ආනයනය කරමින් තිබෙනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය අනුව කෙටි කාලයක් තුළ මේ පොස්පේට් නිධිය යොදා ගනිමින්, කෘෂිකර්මාන්තයේ පොහොර අවශ්‍යතාවෙන් එක් වර්ගයක් නිෂ්පාදනය කර ගැනීමට යොදා ගන්නවා. ඒ වෙනුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටින එකොළොස් දෙනා අතුරින් වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යවන ලෙස ඉල්ලා සිටිනවා.

Hiruni Wijesinghe Addressing At The Victory Rally Of Puttalam.jpg

“ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා කාන්තාවන්ට ආරක්‍ෂිතව ගමන් කිරීමේ හැකියාව තහවුරු කරනවා”
-පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂිකා, නීතිඥ හිරුණි විජේසිංහ-

අපේ කතිරයේ බලයෙන් ප්‍රභූ පැලැන්තිය ජනාධිපතිවරණයේදී පරාජය කර එළැඹෙන මහා මැතිවරණයෙන් අපේම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා. ඒ වෙනුවෙන් අගමැතිනි, හරිනි අමරසූරිය සහෝදරියගේ නායකත්වය යටතේ විශාල ඉඩප්‍රස්ථාවක් අපට ලැබී තිබෙනවා. අපේ රටේ ජීවත් වන කාන්තාවන් රට තුළ මෙන්ම රටෙන් පිටතදීත් ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙමින් ඉන්නවා. නමුත්, අද සමාජය තුළ කාන්තාවන්ට ලබාදී තිබෙන්නේ ගෘහස්ථ හිංසනයට ලක්වීම, බස්රථ තුළදී අපචාරයට ලක්වීම ඇතුළු පළල් පරාසයක් තුළ අනාරක්‍ෂිත තත්වයට පත්ව සිටිනවා. නමුත්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ආරක්‍ෂිතව ගමන් කිරීමේ හැකියාව තහවුරු කරනවා. රටේ ආර්ථිකය, සමාජයීය සහ දේශපාලනික යන ක්‍ෂේත්‍ර සියල්ලෙන්ම ලෝකයේ අභිමානවත් රටක් ලෙස ඔසොවා තැබිය හැකි දිශාවට රට ගෙන යාමේ අවස්ථාව ජයග්‍රහණය කරවීමට සියලුදෙනාම පෙළගැසෙන ලෙස ආරාධනා කරනවා.

Show More

“නොවැම්බර් 14 යනු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ ශ්‍රමදානය පවත්වන දිනයයි” -ජනාධිපති අනුර කුමාර දිසානායක-

(-පොළොන්නරුව ජයග්‍රාහී ජනතා රැලිය – 2024.10.23-) දහස් සංඛ්‍යාත ජනතාවක් මහා වැස්සට මුහුණ දෙමින්, පොළොන්නරුවේ ඓතිහාසික ජයග්‍රාහී රැලිය පවත්වනවා. ජනතාවගෙන් පිළිබිඹු වන බලාපොරොත්තුව, අපේක්‍ෂාව සහ නොසැලෙන අධිෂ්ඨානයෙන් පෙන්නුම් කර තිබෙන්නේ නොවැම්බර් 14 වැනිදා සුවිශේෂී ජයග්‍රහණයක් පොළොන්නරුවෙන් ලබාදෙන බවයි. පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු මෙරටේ ජනතාව ජනාධිපතිවරණයේදී මේ රට නව දිශාවකට යොමු කිරීම සඳහා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවනු […]

(-පොළොන්නරුව ජයග්‍රාහී ජනතා රැලිය – 2024.10.23-)

President Anura Kumara Dissanayake Addressing The Crowd At The Victory Rally Of Polonnaruwa

දහස් සංඛ්‍යාත ජනතාවක් මහා වැස්සට මුහුණ දෙමින්, පොළොන්නරුවේ ඓතිහාසික ජයග්‍රාහී රැලිය පවත්වනවා. ජනතාවගෙන් පිළිබිඹු වන බලාපොරොත්තුව, අපේක්‍ෂාව සහ නොසැලෙන අධිෂ්ඨානයෙන් පෙන්නුම් කර තිබෙන්නේ නොවැම්බර් 14 වැනිදා සුවිශේෂී ජයග්‍රහණයක් පොළොන්නරුවෙන් ලබාදෙන බවයි. පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු මෙරටේ ජනතාව ජනාධිපතිවරණයේදී මේ රට නව දිශාවකට යොමු කිරීම සඳහා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවනු ලැබුවා. රටේ සාමාන්‍ය තත්වය පවත්වාගෙන යමින්, ජනතාවට අවශ්‍ය සහන සහ රට ගොඩනැඟීමට අවශ්‍ය සැලැසුම් සකස් කරමින්, තිදෙනකුගෙන් යුක්ත කැබිනට් මණ්ඩලයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. නොවැම්බර් 14 වැනිදා ජයග්‍රහණයෙන් පසුව ක්‍රමානුකූලව රට ගොඩනැඟීමට, ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන බවට අප සහතික වෙනවා.

ජනාධිපතිවරණ වේදිකාවේදී ජාතික ජන බලවේගයට එරෙහිව සිටි කඳවුරෙන් මොනවාද නොකීවේ. හාමුදුරුවන්ට දානය නැති වෙයි කිව්වා. අවසන් පෝය කිව්වා. භීෂණයක් ඇතිවෙයි කිවව්ා. තවත් බොහෝ දේවල් කිව්වා. ඒ සියල්ල අසත්‍ය ප්‍රබන්ධ බව ගෙවී ගිය මාසය තුළදී තහවුරු වී හමාරයි. ජාතික ජන බලවේගයට එරෙහිව එම චෝදනා එල්ල කළ අයට අද රැස්වීමක් තියා ගන්න බැරිවෙලා. බොරු අහන්න කවුද එන්නේ. බොරු අහන්න ජනතාව සූදානම් නැති නිසා ඔවුන්ගේ අවලාද තුළම ඔවුන් සිරකරුවන් බවට පත්වෙලා.

Crowd At The Victory Rally Of Polonnaruwa

මේ මහා මැතිවරණය කිසිදු තරඟයක් නැති, කම්මැලි ඡන්දයක් බව සමහර අය කියනවා. තරගයේ ඉන්නේ මාලිමාව විතරයි. නමුත්, මේ මැතිවරණයෙන් ලංකා ඉතිහාසයේ සුවිශේෂීම ජයග්‍රහණය ජාතික ජන බලවේගයට ලබාදෙන බව සහතිකයි. පසුගිය පාර්ලිමේන්තුව ගැන ජනතාවට තිබුණේ විරෝධයක්. රත්තරන් හොරනේ ගෙනැවිත් රේගුවේදී අහු වුණු අය පසුවදා පාර්ලිමේන්තුවට ඇවිත් නීති හදන්න අත ඉස්සුවා. මන්ත්‍රීවරු එහෙට මෙහෙට පැන්නා. කුමන පිලේ ඉන්නවද කියලා ජනතාවට තේරුම් ගැනීමට බැරි විකෘතියක් ඇතිවෙලා තිබුණා. අවුරුද්දකට ආසන්න කාලයක් පාසල් දරුවන්ට පාර්ලිමේන්තුවට පැමිණීම නතර කර තිබුණා. එතරම් අප්‍රසන්න වී තිබූ පාර්ලිමේන්තුව විසුරුවාහැර ජනතාවට අවස්ථාව ලබාදී තිබෙනවා. නොවැම්බර් මාසයේ 14 වැනිදා තිබෙන්නේ ඡන්දයක් නොවෙයි, පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදානයක්. නොවැම්බර් 14 යනු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ ශ්‍රමදානය පවත්වන දිනයයි. පොළොන්නරුවේත් ස්වේච්ඡාවෙන්ම පිරිසිදු වීමට කැමැති වුණු අය ඡන්දයට ඉල්ලන්නෙත් නෑ. ඉතිරි වී සිටින අය පිරිසිදු කිරීමේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට පැවරී තිබෙන වැඩ කොටස ස්වේච්ඡාවෙන්ම භාර ගන්න ඕනෑ. පොළොන්නරුවට නායකත්වය දිය හැකි අදූෂිත, අවංකම කණ්ඩායම අප ඉදිරිපත් කර තිබෙනවා. ඒ වාගේම එහෙට මෙහෙට විකිණෙන්නේ නැති, පනින්නේ නැති කණ්ඩායම අප ඉදිරිපත් කර තිබෙනවා. එහෙම නම්, නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ මාලිමාවේ කණ්ඩායමෙන්. අපි එහෙම කියන කොට කට්ටියක් ශක්තිමත් විපක්‍ෂයක් හදන්න කතා කරනවා. මේ වෙලාවේ රටට තියෙන්න ඕනෑ බලවත්ම ආණ්ඩුවක්. වැඩ ගොඩක් කරන්න ඕනෑ. පියවරෙන් පියවර රට ස්ථාවර කිරීමේ සැලැසුම් සකස් කර ක්‍රියාත්මක කරන්න ඕනෑ.

දැන් රටේ හාල් හිගයක් ගැන ප්‍රවෘත්ති පළවෙනවා. කඩේ හාල් හිගයක් තිබුණට රටේ හාල් හිගයක් නැහැ. ඒ නිසා අපි සහල් මෝල් හිමියන් හමුවුනා. අපි කිව්වා ඔවුන් සමඟ අවබෝධයෙන් කටයුතු කරන්න සූදානම් කියලා. එයට එකඟ නැත් නම්, නීතියෙන් වැඩ කරන්න සූදානම් බවත් කියලයි තියෙන්නේ. සංචාරක කර්මාන්තයට අවශ්‍ය සහල් හැර සහල් ඇටයක් ආනයනය නොකිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි කියනවා සෑම කුඹුරක්ම වගාකරන්න කියලා අපි ගොවි ජනතාවට කියනවා. ඒ වී මිලදී ගන්න අපි වැඩපිළිවෙළක් හදනවා. ගොවියට ශක්තිමත් ආදායම් මාර්ගයක් ලැබෙන ලෙස කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ පරිවර්තන කරන්න අපි සැලැසුම් කොට තිබෙනවා.
ඒ වාගේම විශ්‍රාමිකයන්ට, ‘අස්වැසුම’ ලබන්නන්ට, පාසල් යන දරුවන්ට අවශ්‍ය දීමනාවක් ලබා දීමේ සැලැසුම් සකස් කරනවා. ලංකාවේ පළමු වතාවට ගොඩනඟා තිබෙන ජනතාවාදී ආණ්ඩුව රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කරන්න ක්‍රියා කරමින් තිබෙනවා. අපි ඕනෑම තීන්දුවක් ගන්නේ මේ රටත්, ජනතාවත් ප්‍රමුඛ කොට තබාගෙනයි. අපේ පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් කිසිදු තීන්දුවක් ගන්නේ නැහැ. ඒ නිසා පරාජිත කණ්ඩායම් කලබලයට පත් වී ඔවුන්ගේ මුළු දේශපාලනයම කොළඹ පවත්වන මාධ්‍ය සාකච්ඡාවලට සීමා වෙලා තිබෙනවා. ඒ සියලු කතා දුකට කියන කතා පමණයි.

President Anura Kumara Dissanayake Waving At The Crowd At The Victory Rally Of Polonnaruwa.jpeg

පසුගිය ජනාධිපතිවරණයේ දී අපට ඡන්දය ලබා දුන්නාට වඩා මහ මැතිවරණයේ දී ඡන්දය දෙන්න ජනතාව පෙළගැසෙමින් ඉන්නවා. දිනපතාම ජාතික ජන බලවේගය වටා විශ්වාසය තබමින් ජනතාව එකතු වෙමින් සිටිනවා. ජාතික ජන බලවේගය මේ රට ගොඩනඟා මිස ආපසු නොහැරෙන බව අවධාරණය කරනවා. දුප්පත්භාවයේ, අසරණභාවයේ පතුලට වැටී තිබෙන රට ඉන් මුදාගෙන ඉදිරියට ගෙනයාම සඳහා විද්වතුන් සහ වෘත්තීයවේදීන් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ක්‍රියා කරමින් සිටිනවා. තමන්ගේ කටයුතු ඉටුකර ගැනීම සඳහා රජයේ කාර්යාලවල පෝලිම්වල ජනතාව රස්තියාදු නොකර සියල්ල ඩිජිටල්කරණය කර කාර්යක්‍ෂමව ඉටු කර දෙනවා. විදේශ රටක රුපියල් කෝටි ගණනකින් වැටුප් ගත් ඩිජිටල් ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම විද්වතා ස්වේච්ඡාවෙන් රට ගොඩනැඟීමේ කාර්යට දායක වෙන්න තව සති කිහිපයකින් ලංකාවට එනවා.

වංචනිකයන්ට, දූෂිතයන්ට දඬුවම්දීම ‘වොයිස් කට්’ දීමේ නාටකයක් නොවෙයි. මේ වන විට ගොඩක් දේවල් සිදු කරමින් තිබෙනවා. නමුත්, වොයිස් කට් නෑ. වසා දමා තිබු ෆයිල් විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා. පිරිසක් කලබල වී සිටිනවා. ඒකට කියන්නේ හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන වැට පනිනවා කියලා. වංචාවට දූෂණයට එරෙහිව කටයුතු කරන්න ඒ වෙනුවෙන් තවත් ශක්තියක්, බලයක් තිබෙන පාර්ලිමේන්තුවක් ජාතික ජන බලවේගයට ලබාදෙන්න ඕනෑ. ජනතාවගේ පැත්තේ සිටගත්ත පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව හඳුනන පිරිසක් අප ඉදිරිපත් කර සිටිනවා. ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනා අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෙහෙළිය රඹුක්වැල්ල ආරක්‍ෂා කරන්න ඡන්දය දුන්නා. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එවකට සිටි මුදල් ඇමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනා අවස්ථාවේදීත් එම මුදල් ඇමැති ආරක්‍ෂා කර ගන්න ඡන්දය දුන්නා. පසුගිය පාර්ලිමේන්තුවේ හැම අවස්ථාවකදීම වාගේ අත උස්සා තිබෙන්නේ ජනතාවට විරුද්ධව. රසායනික පොහොර කප්පාදුව නතර කරන්න කියලා ගොවි ජනතාව කෑගහලා කියන කොට කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ නියෝජිතයන් හිටියේ ජනතාවට විරුද්ධවයි. නමුත් අපි දැන් ජනතාවගේ පැත්තේ ඉන්න පාලනයක් ගොඩනගා තිබෙනවා. ඒ වෙනුවෙන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ශක්තිමත් ආණ්ඩුවක් හදන්න ඕනෑ. ඒ නිසා මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා නොවැම්බර් 14 වැනිදා ශක්තිමත් බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් ජාතික ජන බලවේගයට ලබාදීමට කටයුතු කරන්න කියලා.

T B Sarath Addressing The Crowd At The Victory Rally Of Polonnaruwa

“ඉදිරි අවුරුදු පහ තුළ දී මේ රටේ ජනතාවගේ ධෛර්ය වැඩි කරමින් රට නව පුනරුද යුගයකට නියත වශයෙන්ම ගෙන යනවා”
-පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායක, ටී. බී. සරත්-

පොළොන්නරුව දිස්ත්‍රික්කය ඩොලර් උල්පතක් කරගත හැකි සොබාදහමත්, පෞරාණික ශිෂ්ඨාචාරයත් එකට එක් වූ දිස්ත්‍රික්කයක්. එමෙන්ම සම්පත් ගණනාවකින් අනූන දිස්ත්‍රික්කයක්. ලංකාවේ පොහොසත්ම දිස්ත්‍රික්කය බවට පරිවර්තනය කළ හැකි වුවත්, අප දුප්පත් වී සිටින්නේ මෙතෙක් රට පාලනය කළ අයගේ වැරැදි ක්‍රියාමාර්ග නිසයි. මේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ අධිෂ්ඨානශීලීත්වය, ශක්තිය සහ ධෛර්යය මේ මහා වැසි මැදත් ඒ අභියෝගය දරාගෙන අපිත් එක්ක ඉන්න එකෙන් පෙන්වනවා. මේ සියලු දෙනාට දිස්ත්‍රික්කය ගොඩනැඟීමේ ධෛර්ය, ශක්තිය සහ ප්‍රඥාව තිබෙනවා. ඉදිරි අවුරුදු පහ තුළදී මේ රටේ ජනතාවගේ ධෛර්යය වැඩි කරමින්, රට නව පුනරුද යුගයකට නියත වශයෙන්ම ගෙන යනවා. ඒ වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන්න අපේක්‍ෂකයන් අට දෙනෙක් ඉදිරිපත් කර සිටිනවා. වෛද්‍යවරුන්, කවුඩුල්ල ව්‍යාපාරයේ ගොවි නායකයා ඒ වාගේම ගුරු නායකයන්, ජීව විද්‍යා ගුරුවරයන්, නීතිඥවරයෙක් ඇතුළු පිරිසක් පොළොන්නරුවේ ජනතාව නියෝජනය කරන්න අපි ඉදිරිපත් කර තිබෙනවා. මේ පිරිසට අභියෝග කළ හැකි කිසිවෙක් මේ දිස්ත්‍රික්කය තුළ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරලා මාලිමාවෙන් පුරවන්න කියලා.

The Crowd At The Victory Rally Of Polonnaruwa
The Victory Rally Of Polonnaruwa Crowd
Show More

“හැමෝටම 'මම ශ්‍රී ලාංකිකයෙක්' කියන හැඟීම තිබෙන රටක් අප ගොඩනඟනවා.” -ජනාධිපති, අනුර කුමාර දිසානායක-

(-රට හදන අපි එකට මාලිමාවටත්‍රිකුණාමලය ජයග්‍රාහී ජනතා රැලිය – 2024.10.23-) ලංකාවේ ප්‍රබලතම වෙනසක් සිදුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. ඉන් පසුව ඉතා කෙටි කාලයක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවාහැර නව පාලනයක් ගොඩනඟා ගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දුන්නා. මහා මැතිවරණයෙන් පසුව ආණ්ඩු බලය පිහිටුවීම දක්වා ලංකාවේත්, ලෝකයේත් ඉතිහාසගත වන තුන්දෙනකුගේ ආණ්ඩුවක් අප පවත්වාගෙන යනවා. මහා […]

(-රට හදන අපි එකට මාලිමාවටත්‍රිකුණාමලය ජයග්‍රාහී ජනතා රැලිය – 2024.10.23-)

President Anura Kumara Dissanayake Speaking At The Victory Rally Of Trincomalee

ලංකාවේ ප්‍රබලතම වෙනසක් සිදුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. ඉන් පසුව ඉතා කෙටි කාලයක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවාහැර නව පාලනයක් ගොඩනඟා ගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දුන්නා. මහා මැතිවරණයෙන් පසුව ආණ්ඩු බලය පිහිටුවීම දක්වා ලංකාවේත්, ලෝකයේත් ඉතිහාසගත වන තුන්දෙනකුගේ ආණ්ඩුවක් අප පවත්වාගෙන යනවා. මහා මැතිවරණය අවසන් වන තුරු ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා බිඳනොවැටී, ආර්ථිකය බිඳනොවැටී, රටේ ආරක්‍ෂාව බිඳනොවැටී පවත්වාගෙන යාමේ වගකීම අප තුන්දෙනාට පැවරී තිබෙනවා. නොවැම්බර් 14වැනි දිනට පසුව පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් අතුරින් විසිපස්දෙනකුට අඩු කැබිනට් මණ්ඩලයක් පිහිටුවා ගන්නවා. රාජ්‍ය අමාත්‍ය ධුර නැහැ. අමාත්‍ය ධුරවලට ගැළපෙන නියෝජ්‍ය අමාත්‍ය ධුර තිබෙනවා. එතැන් සිට ක්‍රමානුකූලව රට ගොඩනඟමින්, මේ ගමන යනවා. පැවැති පාර්ලිමේන්තුව සෑම ජනතාවකගේම විරෝධයට, පිළිකුලට භාජනයවී තිබුණා. කොවිඩ් වසංගතයේ දී, ජල ගැල්මකදී වාගේ ස්වාභාවික විපත්වලදී පවා ඒ විරෝධය ජනතාවගෙන් එල්ල වූනා. සමහර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පිහි, මිරිස් කුඩු අරගෙන ආවා. සමහරු පොත්වලින් පවා ගහගත්තු හැටි අපි දැක්කා. අපේ රටේ සත්තු වත්ත ජනතාවට තහනම් කළේ නැහැ. නමුත්, පාර්ලිමේන්තුව තහනම් කළා. ඒ පාර්ලිමේන්තුව ජනතාවට උචිත පාර්ලිමේන්තුවක් නොවන බව එයින් ප්‍රකාශවී තිබුණා. ඒ පාර්ලිමේන්තුව සුද්ද කර අලුත් කිරීමට පෙළගැසෙන අතරේ හිටපු හැටදෙදෙනකුම ස්වේච්ඡාවෙන්ම ඉවත් වී ගිහින් තිබෙනවා. මාලිමාවේ අවංක, අදූෂිත වාගේම ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කළ හැකි අයගෙන් පාර්ලිමේන්තුව පුරවන්න. ඒ වෙනුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් හොඳම දායකත්වයක් ලබාදෙන්න.

Crowd At The Victory Rally Of Trincomalee

පසුගිය ජනාධිපතිවරණයේ දී ඒ වෙනුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් විශාල ශක්තියක් ලබා දී තිබෙනවා. 2019 ජනාධිපතිවරණයේ දී මාලිමාවට තිබුණේ, 5,000කට අඩු ඡන්ද ප්‍රමාණයක්. මේ ජනාධිපතිවරණයේදී 50,000කටත් වැඩියි. එහෙම නම්, මහ මැතිවරණයේදී මොනවා වෙයිද? අනෙකුත් පක්‍ෂ ඡන්ද ව්‍යාපාරය පටන් ගන්න කොටම පරාජය පිළිගෙන ඉවරයි. අපේ රටේ තිබෙන ප්‍රධාන අභියෝග කිහිපයක් ජය ගන්න ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ශක්තිමත් ජයග්‍රහණයක් ජාතික ජන බලවේගයට අවශ්‍යයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර දීර්ඝ කාලයක් සැකය, වෛරය, ක්‍රෝධය, අවිශ්වාසය පතුරුවා තිබුණා. යුද්ධය අවසන් කිරීමෙන් පසුව 2015 සිට නැවත එම සැකය සහ අවිශ්වාසය වර්ධනය කරමින්, ජනතාව බෙදීමට පටන් ගත්තා. ඒ තුළ දෙමළ ජනතාව දෙමළ පක්‍ෂවලටත්, මුස්ලිම් ජනතාව මුස්ලිම් පක්‍ෂවලටත් තල්ලු කරනු ලැබුවා. ඊට පස්සේ ඒ පක්‍ෂවල කරට අත දාගෙන ආණ්ඩු බලය තහවුරු කර ගැනීමේ දේශපාලනයක් ඔවුන් ගෙන ගියා. ත්‍රිකුණාමලය නගරය සහ දිස්ත්‍රික්කය සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමඟියෙන් ජීවත් වන තත්වය වෙනුවට ජනතාව බෙදලා ගැටුම් ඇති කරමින්, ඔවුන්ගේ පාලනය ගෙන ගියා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාගේ සමඟියේ පක්‍ෂය තමයි, ජාතික ජන බලවේගය. පසුගිය ජනාධිපතිවරණයේදී දෙමළ සහ මුස්ලිම් ජනතාව අප ජයග්‍රහණය කරාවි යැයි විශ්වාස කළේ නැහැ. ඒ නිසා මහ මැතිවරණයට පිවිසෙන්නේ අප ජයග්‍රහණය කර තිබෙන පසුබිමක සියලුම ජනතාව සමගියේ එක කුඩයක් යටතට ඇවිත්, සෙවණ ලබා ගැනීමටයි. එය කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව විශ්වාස කරන, සියලුම ජනතාවගේ ආශීර්වාදය තිබෙන ආණ්ඩුව පිහිටුවිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි.
ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසු උතුරේ ජනතාව අතරේ විශාල පිබිදීමක් ජාතික ජන බලවේගය කෙරෙහි ඇතිවී තිබෙනවා; විශ්වාසය ගොඩනැඟී තිබෙනවා. බෙදී, වෙන්ව සිටි යුගය අවසන් කර සමඟිය සහිත ආණ්ඩුවක් පිහිටුවීමට විශේෂ වගකීමක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනතාවට තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් හැම දෙනාටම සමානව ක්‍රියාත්මක වන නීතියක් සහිත රටක් අප ගොඩනඟනවා. සමහර බාධාකාරී නීති තිබෙනවා නම්, ඒවා වෙනස් කර ජනතාවගේ යහපත වෙනුවෙන් “මම ශ්‍රී ලාංකිකයෙක්” කියන හැඟීම තිබෙන රටක් අප ගොඩනඟනවා. “මම ශ්‍රී ලාංකිකයෙක්” කියලා අභිමානයෙන් කියන්න පුළුවන් පසුබිමක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් ගොඩනඟා දෙනවා.
අපි රට ඒ තත්වයට ගෙනයන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුල්මුඩෙයි ඛනිජවැලි නිධිය නිසි පරිදි ප්‍රයෝජනයට ගනිමින්, අගය එකතු කිරීමේ කර්මාන්තයක් බවට පත් කරනවා. ඒ වාගේම අපේ ඇස් ඉදිරිපිට දිරා යන තෙල් ටැංකි ටික ප්‍රතිසංස්කරණය කර ජාතික ආර්ථිකයට ශක්තියක් ලබාදෙන තත්වයට ගොඩනඟනවා. ඒ වගේම මේ තෙල් ටැංකි ආශ්‍රිතව පිරිපහදුවක් ඉදි කිරීමේ හැකියාව ගැනත් සොයාබලමින් සිටිනවා. සාම්ප්‍රදායිකව පවතින ධීවර කර්මාන්තය වඩාත් ඵලදායක කිරීමට මේ වන විටත් ඉන්ධන සහනාධාරය ලබා දී තිබෙනවා. ඒ වාගේම පශු සම්පත් දියුණු කිරීමටත් විශාල හැකියාවක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ පවතිනවා.

ඊට අමතරව අක්කර 23,000ක උක් වගාවක් සමඟ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පැවැතුණා. ඒ යන්ත්‍ර සූත්‍ර දිරා යමින් තිබෙනවා. උක් වගාබිම් අලින්ගේ වාසභූමි බවට පත් කර තිබෙනවා. මේ ඉඩම්වලින් අක්කර 11,000ක් තාවකාලිකව ගොවීන්ට ලබාදෙන්න කටයුතු කළා. උක් වගාව නැවත ආරම්භ කර කර්මාන්ත ශාලාව ක්‍රියාත්මක කරන තුරු ගොවීන් මේ ඉඩම්වල වගා කරනවා.

Arun Hemachandra Translate The Speach Of President Anura Kumara Dissanayake

ඒ වාගේම සහල් මෝල් හිමියන් හමු වූ අවස්ථාවේ දී අපට පැහැදිලි වුණා හිඟයක් නැති බව. අප සහ ඔවුන් අතර අවබෝධයෙන් කටයුතු කරන්න අපි මූලික ප්‍රවේශයක් තැබුවා. නීතිය ක්‍රියාත්මක කරනවාට වඩා අවබෝධය වැදගත්. රටේ හාල් හිඟයක් නැති නිසා සංචාරක කර්මාන්තයට අවශ්‍ය හාල් හැර වෙනත් හාල් ඇටයක්වත් ගේන්න අප අපේක්‍ෂා කරන්නේ නැහැ. රුපියල් 15,000කට පැවැති පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කළේ ඒ වෙනුවෙන්. ලබන වසර පෙබරවාරි මාසයේ දී පමණ අපේ පළමු අය-වැය ලේඛනය ඉදිරිපත් කර ජනතාවට කෙටි කාලීනව සහනාධාර ලබාදෙනවා. ඉන් පසු දීර්ඝ කාලීනව රට ගොඩනැඟීමෙන් පසුව ජනතාව ස්වශක්තියෙන් නැඟීසිටීමේ හැකියාව සහිත පිරිසක් බවට පත් කරනවා. ලෝකයේ විශේෂ තත්වයක් ඇති වුණේ නැත් නම්, 2025 වසර ලංකාවට විදේශ සංචාරකයන් වැඩියෙන්ම පැමිණි වසර බවට පත් කරනවා.

ඒ අතරේ විරුද්ධවාදීන් ආණ්ඩුව මාස තුනකින්, හයකින් වැටෙන බවට දුකට කියන කතා පටන් අරගෙන තිබෙනවා. ඔවුන්ගේ පවුල් පාලනය බිඳවැටී මේ මහ මැතිවරණයේ දී ඡන්දය ඉල්ලන්න බැරි තරමට බංකොළොත් වී තිබෙනවා. ජනතාව දේශපාලකයන් පසුපස ගිය යුගය අවසන් කර නීතිය ඉදිරියේ සමානයන් බවට පත් කරනවා. 2015 යහපාලන ආණ්ඩුව වංචනිකයන්, දූෂිතයන් සම්බන්ධයෙන් ක්‍රියා කරනවා වෙනුවට සංදර්ශන පමණක් බවට පත්කර ගත්තා. ඒ තත්වය වෙනස් කර හැම පැත්තෙන්ම පිරිපුන් රටක් අපි ගොඩනඟනවා. ඒ වෙනුවෙන් මෙම මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුව මාලිමාවේ නියෝජිතයන්ගෙන් පුරවන්න. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් දෙමළ සහෝදරයෙක්, මුස්ලිම් සහෝදරයෙක්, සිංහල සහෝදරයෙක් වශයෙන් සියලු ජනතාව නියෝජනය කරන සහෝදරවරුන් පාර්ලිමේන්තුවට එවන්න. එක කොඩියක් යට සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් අපි ගොඩනඟමු.

Arun Hemachandra Speaking At The Victory Rally Of Trincomalee

“අනාගතය වෙනුවෙන් පියනඟන්න ලස්සන, සුන්දර ගමනක් තියෙනවා”
-ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කණ්ඩායම් නායක, නීතිඥ අරුන් හේමචන්ද්‍රන්-

මෙම භූමියේ අද පවත්වන්නේ සාමාන්‍ය රැස්වීමක් නොවෙයි. ඉතාම වැදගත් ඓතිහාසික රුලියක්. ජනාධිපති, අගමැති වාගේම ඇමැතිවරු පොරොන්දු දේශපාලනය සහිතව යම් පන්තියකට සේවය කිරීමේ දේශපාලන සංස්කෘතිය වෙනස් කර පොදු ජනතාවගේ දේශපාලන සංස්කෘතියක් ස්ථාපනය කිරීම ආරම්භ කර තිබෙනවා. මගේ යහළුවෙක් අනුර කුමාර දිසානායක සහෝදරයා ගැන කීවේ, “ජනාධිපති සහෝදරයා අපේ අල්ලපු ගෙදර කෙනෙක් වගෙයි” කියලා. මේ කතාව තුළ ගැඹුරු දේශපාලන පණිවුඩයක් තිබෙනවා. අපේ ජීවිත කාලය තුළ එවැනි ජනාධිපති සහෝදරයෙක් පත්කර ගැනීම මූලික වශයෙන් සිදුකර එහි ඊළඟ ජයග්‍රහණය පාර්ලිමේන්තු මැතිවරණයෙන් අත්පත් කර ගැනීමට ජනතාව පෙළගැසී සිටිනවා. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ උදෙසා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයත් සූදානම් බව මේ මොහොතේදී අප සියලු දෙනා සපථ කර සිටිනවා. ජාතික සමඟිය ගොඩනඟමින්, ජනතාවට නිවැරැදි මඟ පෙන්වා දෙන්න ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් නිර්මාණයවී තිබෙනවා. මෙම රැස්වීමෙන්ම ඉතිහාසයේ ජයග්‍රාහී ගමනක් යා හැකි බවට තහවුරු වී තිබෙනවා. අනාගතය වෙනුවෙන් පියනඟන්න ලස්සන, සුන්දර ගමනක් තියෙනවා. ඒ ගමන යන්න අපත් සමඟ එක් වන ලෙස හැම දෙනාටම ආරාධනා කරමු. ඒ වෙනුවෙන් සාකච්ඡාවක් අපි දිගටම ගෙන යමු. මජර දේශපාලනය පරාජය කිරීමට සැප්තැම්බර් 21 වැනිදා තැබූ පියවර නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණයෙන් වඩාත් ශක්තිමත් කරමු.

Indika Paranavithana Speaking At The Victory Rally Of Trincomalee

“ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අපේක්‍ෂක, ඉන්දික පරණවිතාන”
-ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙනත් පක්‍ෂවලින් අපිට අභියෝගයක් නැහැ-

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ කියන ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරණයේදී ජනතාව මූලික අඩිතාලම තබා තිබෙනවා. එළැඹෙන මහ මැතිවරණයේදී අපේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින්, සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යවා ජයග්‍රහණය කරවීමේ උපරිම ශක්තියෙන් කටයුතු කිරීමේ වගකීම අපට තිබෙනවා. ධීවර කර්මාන්තය සහ කෘෂිකර්මාන්තය අපේ දිස්ත්‍රික්කයේ මූලික ආර්ථික පදනම වුවත්, එය දෙපයින් සිටුවීමේ වගකීම අප විසින් ඉටුකළ යුතුයි.

ඒ වාගේම කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත පණගැන්වීම අපගේ මූලික අරමුණක්වී තිබෙනවා. මේ දක්වා සිටියේ කර්මාන්තයක් ගොඩ ගැනීම තබා යල, මහ දෙකවත් හඳුනන්නේ නැති පාලකයන්. 1948 පාලන බලය ලබාගත් කළුසුද්දන් ආසියාවේ තිබෙන විශාලතම ස්වාභාවික වරාය වන ත්‍රිකුණාමලය වරාය නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනීම තබා තිබුණු තත්වයෙනුත් බංකොළොත් කිරීමයි සිදු කර තිබෙන්නේ. තමන්ගේ සාක්කුවට ලබා ගන්නා ලාභය වෙනුවෙන් සියල්ල විනාශයට හැරියා. නමුත්, වරායෙන් වාගේම ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟෙන් නිසි ප්‍රයෝජන ගැනීම කෘෂිකර්මාන්තයේදී මෙන්ම සංචාරක කර්මාන්තයේදී ද යොදා ගැනීමේ වැඩපිළිවෙළක් අපට තිබෙනවා. මෙම මැතිවරණයේ දී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළත් ජාතික ජන බලවේගයට අභියෝගයක් තිබෙන්නේ ජාතික ජන බලවේගය තුළින්ම පමණයි. ඒ හැර වෙනත් පක්‍ෂවලින් අපට අභියෝගයක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් නැහැ.

Buddadasa Withanarachchi Speaking At The Victory Rally Of Trincomalee

“ගෙවුණු අවුරුදු හැත්තෑහයක කාලයක තුළ පාලකයන් පිළිබඳ අත්දැකීම මට තිබෙනවා”
-ප්‍රවීණ කලාකරු බුද්ධදාස විතානාරච්චි-

පසුගිය ජනාධිපතිවරණයේ දී ඔබේ ඡන්දයෙන් පත්කර ගත්තේ උතුමාණන්, ශ්‍රීමතාණන්, අතිගරු වැනි වචනවලින් ආමන්ත්‍රණ කරන ජනාධිපති කෙනෙක් නොවෙයි, ජනාධිපති සහෝදරයෙක්. අපේ ඉතිහාසයේ පළමුවැනි වතාවට ජනාධිපති සහෝදරයෙක් රට පාලනය කරනවා. ඒ වාගේම අද ඉන්නේ ජනාධිපති සහෝදරයෙක් පමණක් නොවෙයි, අගමැති සහෝදරියක්. ඒ වාගේම තුන්දෙනෙක් මූලික වී රට පාලනය කරන ආණ්ඩුවක්. මෙයට පෙර සිටි මැති, ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය අප දැක්කා. මේ රට බංකොළොත් තත්වයට පත් කළේ ඔවුන්. නමුත්, මෙවර මහා මැතිවරණයෙන් උගත්, බුද්ධිමත්, අදූෂිත පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට පත් කර යවනවා. වඩා යහපත් පාලනයක් සඳහා වඩා යහපත් පුද්ගලයන් පාර්ලිමේන්තුවට යවා පොදු ජනතාවගේ අරමුණු ඉටු කර ගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයාට ඉතිහාසය වෙනස් කළ හැකි ප්‍රබල පාර්ලිමේන්තුවක් පත්කර දිය යුතු වෙනවා. ඒ සම්බන්ධයෙන් මුළු රටේම ජනතාව යම් අවබෝධයක සිටිනවා.

ගෙවී ගිය අවුරුදු හැත්තෑහයක කාලය තුළ පැවැති සියලු ආණ්ඩු යටතේ මම ජීවත්වී තිබෙනවා. මේ තත්වයට රට පත් කිරීම දක්වා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය මාගේ ජීවිතයෙන්ම අත්දැක තිබෙනවා. ඒ සියලු තත්වයන් වෙනස් කර ජාතික ජන බලවේගයේ ශක්තිමත් පාලනයක් පිහිටුවන්න සියලු දෙනා පෙළගැසී සිටිනවා. වඩා යහපත් ජීවිතයක් අපටත්, අපේ දරු මුණුබුරන්ලාටත් ලබා දීම වෙනුවෙන් රට ගොඩනැඟීමේ මූලික පියවර ගෙවූ කෙටි කාලය තුළ දී ඔප්පු කර තිබෙනවා. රටේ තිබෙන නීතිය පාලකයාටත්, ජනතාවටත් එක සේ ක්‍රියාත්මක කෙරෙනවා. මනුෂ්‍යයෙක් වශයෙන් ඉපැදී, ගෞරවනීය ජීවිතයක් ගත කර ජීවිතය අවසන් කිරීම සඳහා කළ යුතු මූලික කටයුතු වෙනුවෙන් මහා මැතිවරණයේ දී අදාළ ජයග්‍රහණයන් ලබා දෙන්න තව තවත් පෙළගැසෙනා ලෙස ඉල්ලා සිටිනවා.

The Victory Rally Of Trincomalee Crowd
Show More

“මේ රටට අවශ්‍ය සෑම අතින්ම බලවත් ආණ්ඩුවක්… මේ රට ආසියාවේ පිරිසිදුම, ලස්සනම රට බවට පත්කරනවා” -ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක-

(-ජයග්‍රාහී ජනතා රැලිය – හෝමාගම – 2024.10.20-) පසුගිය ජනාධිපතිවරණයේදී විශාලම ප්‍රතිඵලය ගෙනත් දුන්නේ හෝමාගම ආසනයෙන්. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරලා අපේ ගමනේ පළමු පියවර තබා තියෙන්නේ. අපට ඉස්සරහට යන්න ශක්තිමත් පියවරක් අවශ්‍යයි. නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණයේදී ශක්තිමත් බලයක් මාලිමාව අරගත යුතුයි. මේ පාර්ලිමේන්තු පිළිබඳව ජනතාවගේ තිබෙන්නේ යහපත් අදහසක් නොවෙයි. ඕනෑම ව්‍යසනයක් රටේ සිදුවෙන විට ජනතාව ප්‍රාර්ථනා […]

(-ජයග්‍රාහී ජනතා රැලිය – හෝමාගම – 2024.10.20-)

President Anura Kumara Dissanayake Speaking To The People At The Victory Rally Of Homagama

පසුගිය ජනාධිපතිවරණයේදී විශාලම ප්‍රතිඵලය ගෙනත් දුන්නේ හෝමාගම ආසනයෙන්. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරලා අපේ ගමනේ පළමු පියවර තබා තියෙන්නේ. අපට ඉස්සරහට යන්න ශක්තිමත් පියවරක් අවශ්‍යයි. නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණයේදී ශක්තිමත් බලයක් මාලිමාව අරගත යුතුයි.

මේ පාර්ලිමේන්තු පිළිබඳව ජනතාවගේ තිබෙන්නේ යහපත් අදහසක් නොවෙයි. ඕනෑම ව්‍යසනයක් රටේ සිදුවෙන විට ජනතාව ප්‍රාර්ථනා කරන්නේ ඒ ව්‍යසනය පාර්ලිමේන්තුවට කඩාපාත් වුණා නම් හොඳයි කියලා. කොරෝනා වසංගතය පැතිරෙමින් යනකොට, පාර්ලිමේන්තුවට ගංවතුර ගලන විට, ජනතාව ප්‍රාර්ථනා කළේ පාර්ලිමේන්තුව යටවෙලා යනවනම් හොඳයි කියා. ඒ වගේම රණවිරු සමරුවක් පවත්වන අවස්ථාවක පාර්ලිමේන්තුව දෙසට හරවා තිබූ කාලතුවක්කු වලින් පිටවෙන වෙඩි පාර්ලිමේන්තුවට පහත් වෙනවනම් හොඳයි කියලා සමහරු කැමැත්තෙන් හිටියා. මෙයින් අදහස් වුණේ පාර්ලිමේන්තුව ජනතාවට අප්‍රසන්න තැනක් වී තිබුණු බවයි. මේ විරෝධය තිබුණේ පාර්ලිමේන්තුව තුළ සිටි කණ්ඩායමට එරෙහිවයි. හැබැයි මේ කණ්ඩායම පාර්ලිමේන්තුව තුළට බලෙන් ගියේ නැහැ. මේ අය යැව්වේ ජනතාව. ජනතාව තමන් විසින්ම යවන ලද කණ්ඩායමට කෙටි කාලයකින් ව්‍යසනයක් වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. ජනතාව මේ අය යවන කොට යම්කිසි අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් තිබුණා. නමුත් සිදුවුණේ ජනතාවගේ පැතුම්වලට සම්පූර්ණයෙන්ම විරුද්ධ දේවල්.

පාර්ලිමේන්තුවට ගෙනාවා කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාස භංගයක්. ඒ අවස්ථාවේ කෙහෙළිය නිවැරදිකරුවෙක් කියලා පාර්ලිමේන්තුව සම්මත කළා. නමුත් එළියේ කෙහෙළිය වංචනිකයෙක් වෙනවා. එහෙම වෙලාවට ජනතාවට හිතෙනවා මේ පාර්ලිමේන්තුවට අපරාධකරුවන්ගෙන් පිරුණු තැනක් නේද කියලා. 2015-2019 ආණ්ඩුව කාලයේ, හිටපු මුදල් ඇමතිවරයා මහ බැංකු වංචාවත් එක්ක තිබුණු සබඳතාවයන් හෙළිකර පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙනාවා. පාර්ලිමේන්තුව ඔහු සුද්දවන්තයෙක් කරනවා. රටේ ජනතාව ඔහු වංචනිකයෙක් බව දන්නවා. ජනතාව හිතනවා පාර්ලිමේන්තුව ජනතාවට එරෙහි පැත්තේ ඉන්න බව. ඒ වගේම පාර්ලිමේන්තුව පාසල් සිසුන්ට සුදුසු නැති තැනක් බවට පත්වෙලා තිබුණා. සත්තු වත්ත පාසල් සිසුන්ට විවෘත වුණත්, පාර්ලිමේන්තුව කාලයක් පාසල් සිසුන්ට තහනම් කොට තිබුණා. ඒ නිසා පාර්ලිමේන්තුවට එරෙහිව ජනතාවගේ විරෝධයක් ගොඩනැගෙනවා. පාර්ලිමේන්තුව ජනතාවගේ නියෝජිත ආයතනය වුණාට, උත්තරීතර යැයි කිව්වාට, ජනතාවට එරෙහිව කටයුතු කරන, උත්තරීතර නොවන ස්ථානයක් බව ජනතාව දන්නවා.

The Victory Rally Of Homagama Crowd

වංචනිකයන්, අපරාධකරුවන් නීතිය අවභාවිතාවේ යොදවන්නන්, බලය යොදාගෙන දේපොළ අයිතිකර ගන්නන්ගෙන් මේ පාර්ලිමේන්තුව පිරී තිබෙන බව දන්නවා. එතකොට ජනතාව “ගංවතුරටවත් ගිලෙන්නේ නැහැනේ, කොරෝනා පොකුරවත් එන්නේ නැහැනේ” කියනවා. ඒ එකක්වත් සිදුවෙන දේත් නොවෙයි, සිදුකළ යුතු දේත් නොවෙයි. කළ යුත්තේ මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන එක. දැන් පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න ඕනෑ. නොවැම්බර් 14 යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදානය යෙදෙන දවස. හැබැයි දැන් සමහරු ස්වේච්ඡාවෙන් පිරිසිදු වෙලා. හිටපු 225න් හැටකට වැඩි ගණනක් ඉල්ලන්නේවත් නැහැ. මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න නම්, අවංකභාවය සහිත, අදූෂිත, ධෛර්ය සම්පන්න, මේ රට ගොඩනැගීම සඳහා අධිෂ්ඨානය තිබෙන, එකමුතුභාවය තිබෙන, විකිණෙන්නේ නැති, එහෙට මෙහෙට පනින්නේ නැති මිනිසුන් ඉන්න මාලිමාවේ අපේක්ෂකයන්ගෙන් නොවැම්බර් මාසේ 14දා පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ. ජනාධිපතිවරයා සතු බලතල උපයෝගී කරගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා. ජනතාව අතට පිරිසිදු කිරීමේ බලය ලබාදී තිබෙනවා.

අපි කුඩා කැබිනට් මණ්ඩලයක් හදා තිබෙනවා. ලෝකයේ කුඩාම කැබිනට් එක. අපිට තිබුණා මේ රට ස්ථාවරභාවයට ගෙන ඒමේ අභියෝගය. ලංකා ඉතිහාසයේ ආණ්ඩු බල හුවමාරුවකින් පස්සේ රටේ යම් අස්ථාවරභාවයක් නිර්මාණය වෙනවා. පත්කිරීම් ආදිය ගැන දෙගිඩියාවක් ඇති වෙනවා. හැබැයි මේ රටේ තිබෙන ආර්ථික තත්වය අනුව සතියක් දෙකක්වත් අවිනිශ්චිතතාවයකින් මේ රට ඉස්සරහට යන්න බැහැ. එවැනි විශාල ආර්ථික කඩා වැටීමක අපි ඉන්නවා. අපි වැටිච්චි ආර්ථිකයක් බව ගන්නකොටත් දන්නවා. කුඩා හෝ කම්පනයක් අපේ ආර්ථිකයට දරා ගන්න බැහැ. ආර්ථිකයේ නියැලෙන අය අතර විශ්වාසවන්ත භාවය හදන්නේ කොහොමද කියන අභියෝගය ආරම්භයේ සිටම තිබුණා. අපි මොකක් කරයිද යන්න පිළිබඳ දෙගිඩියාවෙන් සිටි කණ්ඩායමක් සිටියා. ආයෝජකයන් කෙරෙහි විශ්වාසවන්තභාවය තහවුරු කළ යුතුව තිබුණා. ප්‍රතිවාදීන් විසින් අපි කෙරෙහි මහා සැකයක්, අවිනිශ්චිතතාවයක්, සමාජගත කොට තිබුණා. මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. කුඩා කම්පනයකටවත් ඔරොත්තු නොදෙන ආර්ථික දේහයක් තිබුණේ. ඉතා ඉක්මන් කෙටි කාලයකින්, ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමත්, ආර්ථිකයට දායකවන කණ්ඩායම් අතර විශ්වාසය තහවුරු කිරීමත් අපට අභියෝගයක් වුණා. ඒ අභියෝගය අපි ජයග්‍රහණය කළා.

ආරම්භයේදී ඩොලරය රු:300/-ට වඩා ඉහළට ගියත් අද ඩොලරය රුපියල් 300/-ට වඩා අඩු මට්ටමකට ඇවිත් ස්ථාවරවී තිබෙනවා. කොටස් වෙළඳපොළේ යම් දෙගිඩියාවක් තිබුණා. හැබැයි ශක්තිමත්ව හා වේගවත්ව වර්ධනය වෙන කොටස් වෙළපොළේ යාන්ත්‍රණය අපි ශක්තිමත් කළා. තෙල්, ගෑස්, විදුලිය, කිරිපිටි ආදී අතශ්‍යවශ්‍ය ආහාර, අත්‍යවශ්‍ය සේවාවන් වූ, බිඳවැටීමට ඉඩ නොදීපවත්වාගෙන යාමට අවශ්‍ය මැදිහත්වීම සිදුකළා. අපේ ව්‍යාපාරික ප්‍රජාව, කර්මාන්තකරුවන්, විදෙස්ගත ආයෝජකයන්, අපේ ආර්ථිකය කෙරෙහි ශක්තිමත් විශ්වාසයක් ගොඩනගා තිබෙනවා. ප්‍රධාන ගැටලු දෙකකට අපි මුහුණදී තිබුණා. මේ සීසන් එක සංචාරක කර්මාන්තයේ ආරම්භක සීසන් එක. නමුත් පසුගිය ආණ්ඩුව වීසා විශාල ගැටලුවක් නිර්මාණය කර තිබුණා. අධිකරණ නියෝගයකින් ඔන්ලයින් වීසා ලබාදීම නතරවී තිබුණා. පෝලිම් නිර්මාණය වෙලා තිබුණා. සංචාරකයන් හෝටල් බුක් කරන එක නතරවී තිබුණා. සංචාරක කර්මාන්තය අවදානමකට මුහුණදී තිබුණා. ඇමති ලෙෂ විජිත සහෝදරයා මැදිහත් වෙලා අපි ඉතා කෙටි දවසකින් වීසා අර්බුදය විසඳලා නැවත ශ්‍රී ලංකාවේ ආයතනයක් වෙත වීසා නිකුත් කිරීමේ ඔන්ලයින් ක්‍රමයට මාරු කළා. හෝටල්කරුවන්, සංචාරක කර්මාන්තයේ නියැලෙන අය කීවා, ඉක්මනින්ම මෙය විසඳන්න. එසේ නොවුනහොත් කඩා වැටීමේ අනතුරක් තිබෙන බව. අපි එය දින දෙක තුනක් ඇතුළත විසඳුවා. ඊළඟට අප හමුවේ තිබුණේ 20දා වන විට (අද 20) ලංකාවේ එක පාස්පෝට් එකක් වත් නැහැ. ඒ වගේ පැටලිලි ගොඩක් සහිත රටක් අප හමුවේ තිබුණේ. පාස්පෝට් ලබාදීපු ටෙන්ඩර් අධිකරණයෙන් අත්හිටුවා තිබුණා. පාස්පෝර්ට් එක ටෙන්ඩරයෙන් ලබාදීපු කෙනාට, හිස් පොත දෙන්න පුළුවන්. ප්‍රින්ට් කරන්න විදිහක් නැහැ. සෑම පාස්පෝර්ට් එකකම පුද්ගලික අනන්‍යතාවය මුද්‍රණය කරන්න ඕනෑ. නමුත් මුද්‍රණය කරන්න ක්‍රමයක් නැහැ. 20දා වන විට පාස්පෝර්ට් ඉවරයි. ඒක රටේ ලොක්ඩවුන් තත්වයක්. අලුත් පාස්පොර්ට් එකක් ගන්න බැරි තත්වයක්. අපි මැදිහත්වෙලා ඒ ප්‍රශ්නය මුළුමනින්ම නිරාකරණය කළා. හෙට වෙන විට පෝලිම් නැතිවෙන තත්වයක් ඇති කළා.

Crowd At The Victory Rally Of Homagama

ඒ වගේම මහ කන්නය පටන් ගන්න නියමිතව තිබුණා. මහ කන්නය ආරම්භයේදීම පොහොර සහනාධාරය දුන්නේ නැත්නම්, වැඩක් නැහැ. අපි තීන්දුවක් ගත්තා හෙක්ටරයක් සඳහා ලබාදෙන රුපියල් 15000/- පොහොර සහනාධාරය රුපියල් 25000/- දක්වා වැඩි කළා. ආරම්භයේදීම මැතිවරණ කොමිසම එය අත්හිටෙව්වා. හැබැයි අදාළ ආයතන මැදිහත් වෙලා පොහොර සහනාධාරය ලබාදීම සිදුකළා. අපේ රටේ විශ්‍රාමික ප්‍රජාව විශාල ගැටලුවකට මුහුණදී තිබුණා. රුපියල් 3000/-ක දීමනාවක් ලබාදිය යුතුයි කියා තීන්දුවක් අරගෙන තිබුණා. ඔක්තෝබර් මාසයේ සිට දෙන්න සැලසුම් කළත් එය අපහසු වුණා. නමුත් හෙට සිට (21 දා) ඔක්තෝබර් මාසයට නොලැබුණු හිඟ මුදලත් සමග ඒ දීමනාව බැංකු ගිණුම්වලට ලැබෙන්න අපි සැලසුම් කළා. ඒ වගේම අපේ ධීවර යාත්‍රා තෙල් මිල වැඩි නිසා මුහුදු යන්නේ නැහැ. ඒ නිසා ධීවරයාට ඉන්ධනවලට සහනාධාරයක් ලබාදිය යුතුයි කියා. ඒ අනුව ධීවර ජනතාවට ඉන්ධන සහනාධාරයක් ලබාදීමට අපි කටයුතු කළා. ආර්ථිකය ස්ථාවරකර ගනිමින් ආර්ථිකය ගොඩනැංවීම සඳහා අවශ්‍ය වෙන සහන ලබාදෙමින් සිටිනවා. දෙසැම්බර් මාසයට ඉදිරිපත් කළ යුතු අයවැය ලේඛනය පාර්ලිමේන්තු ක්‍රමවේදයට අනුව ඉදිරිපත් කළ නොහැකිව තිබෙනවා. ඒ නිසා අපි දෙසැම්බර් මාසයේදී අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගන්නවා. මාර්තු මාසයට පෙර අලුත් අයවැය ලේඛනයක් සම්මතර කර ගන්නවා. ඒ අයවැය ලේඛනය තුළ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳව අපි අවධානය යොමු කරනවා. පාසල් දුවා දරුවන්ට උපකරණ පාසැල් උපකරණ ලබාගන්න අමතර දීමනාවක් ලබාදීමට අවධානය යොමු කරනවා.

රටේ විශාල ව්‍යාපෘති ගණනාවක් අතරමැද අත්හිටුවා තිබෙනවා. සමහර ව්‍යාපෘති අවශ්‍ය වෙන දිශාවට ගමන් කරන්නේ නැහැ. ඒ ව්‍යාපෘති පිළිබඳව අපි සමාලෝචනය කරමින් තිබෙනවා. අපි අදාළ ආයතනවලට දැනුම් දුන්නා, ව්‍යාපෘති සිදුවෙන ස්ථාන පිළිබඳව සිතියම්ගත කර සැලසුම හදන්න කියලා. ඒ අන්කවරක්වත් නිසා නොවෙයි අපේ ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගැනීමට අවශ්‍ය සැලසුම සෑදීම සඳහා. ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගන්නා තෙක් ඔවුන්ට මාසිකව ලබාදෙන දීමනාවත් එළඹෙන අයවැයේ සිට වැඩිකිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට පසුව ක්‍රමානුකූලව ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගැනීම සඳහා සැලසුමක් දියත් කරනවා. ග්‍රාමසේවා මට්ටමේ සිට සමාලෝචනයක් කරන්න යෝජනා කොට තිබෙනවා. එතන තිබෙන දුප්පත්භාවය කුමක්ද, එයින් මුදා ගැනීම සඳහා යෙදිය යුතු ව්‍යාපෘතිය කුමක්ද? දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන ව්‍යාපෘති මොනවාද? ඒවායේ වෙනස් විය යුත්තේ මොනවාද? ඒ ආකාරයෙන් මුළු රට පුරා සමාලෝචනය කරමින් දුප්පත්භාවයෙන් මුදා ගැනීම සඳහා අවශ්‍ය වෙන සැලසුම් අපි සකස් කරනවා.

Crowd At The Victory Rally Of Homagama

අපි අලුත් ව්‍යාපෘතියක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. පරිසරය පැත්තෙන් පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගන්න දියත් කරන ව්‍යාපෘතිය සඳහා විශේෂ ජනාධිපති කාර්යසාධන බලකායක් ගොඩනඟලා, පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනඟන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට, මෙන්ම මේ රටේ ඒ සඳහා දායක විය හැකි සියලුම දෙනාටත් ආරාධනා කරනවා ඒ සඳහා දායක විය හැකි අරමුදලක් නිර්මාණය කරන්න. සෑම ගඟක්, ඇළක්, වෙරළක්, පාරක්, මංමාවතක් ඇතුළු සෑම ස්ථානයක්ම පිරිසිදුභාවයට ගේනවා. ආසියානු කලාපයේ පිරිසිදුම රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ අපේක්ෂාවෙන් අපි වැඩ කරනවා. පිරිසිදු වැසිකිළියක්, පිරිසිදු බස් නැවතුම්පොළක්, පිරිසිදු දුම්රිය ස්ථානයක්, පිරිසිදු දුම්රියක්, පිරිසිදු බස්රියක්, පුරවැසියන්ට අනෙකා පිළිබඳ ලෙන්ගතුභාවය, සිනාවෙන් සලකන, යහපත් පිළිගැනීමෙන් සලකන සමාජයක් ගොඩනැගීම අපේ අරමුණයි. පරිසරය පැත්තෙන් පමණක් නොවෙයි සෑම පැත්තකින්ම පිරිසිදුවූ සමාජයක් ගොඩනැගීම “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය තුළින් අපේක්ෂා කරනවා.

අපේ රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැදගත් ක්ෂේත්‍රයක් සංචාරක කර්මාන්තය. ලෝකයේ ව්‍යසනකාරී තත්වයක් වැනි අහිතකර තත්වයක් ඇති නොවුන හොත්, වැඩිම සංචාරකයන් ආ වසර බවට 2025 වසර අපි පත්කරනවා. එයාර් පෝර්ට් එක විශාල කරනවා. අපි අපේක්ෂාකරන සංචාරකයන් ප්‍රමාණයක් එනවා නම් පැය 2 1/2ක් එයාර් පොර්ට් එකේ ඉන්න වෙනවා. එයාර් පෝර්ට් එකේ සංවර්ධන ව්‍යාපෘතිය නතර වුණා. ජපානයේ තානාපතිතුමත් සමග කතා කරලා නැවත එම ව්‍යාපෘතිය ආරම්භ කරලා අපේ දෙවැනි පර්යන්තය ලොකු කරන ව්‍යාපෘතිය ආරම්භ කළා. ඉතා කෙටිකලකින් එය අවසන් කරනවා. සංචාරක කර්මාන්තයේ නියැලෙන බොහෝ දෙනත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා අපේ කාර්ය ඉස්සරහාට ගේන්න.

Crowd Of The Victory Rally Of Homagama

අපිට සාම්ප්‍රදායික ලෙස ඉස්සරහාට යන්න බැහැ. බස් එකක ටිකට් එකක් ගන්න, පෝලිමේ ඉඳලා ටිකට් එකක් ගන්න, තැපැල් කන්තෝරුවේ පෝලිමේ ඉඳලා ෆනැෂන් එක ගන්න, උප්පැන්න සහතිකයක්, මරණ සහතිකයක් ගන්න රස්තියාදු වෙන ක්‍රමය, ඉඩම් ඔප්පුවේ කොපියක් ලබාගන්න, අයිඩන්ටියක් ලබාගන්න දැන් තිබෙන්නේ පැරණි ක්‍රම. අපි මේවා කාර්යක්ෂමභාවයට ගේන්න ඕනෑ. බදු ගෙවන අයට ගෙදර සිට බදු ගෙවන්න, මේ සියල්ල ඩිජිටල් ක්‍රමයට ලක්කරනවා. ඒක ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්ය බවට පත්කරනවා. ඒ ක්ෂේත්‍රයේ ලංකාවේ ඉන්න අත්දැකීම් සහිත, ඒ ක්ෂේත්‍රය පිළිබඳ විද්වතෙක්, විශාල වැටුපක් ලබන ඔහු සියල්ල අත්හැරලා ස්වේච්ඡාවෙන් ලංකාව ඩිජිටල්කරණය සඳහා මැදිහත්වීමට සූදානමින් ඉන්නවා. සතියක් දෙකක් ඇතුළත වැඩ බාර ගන්න ඔහු ලැහැස්තියි. ඩිජිටල් කරණය සඳහා අලුත් අමාත්‍යාංශයක් අපි ගොඩනඟනවා. ඔහු ඒ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් අයි.සී.ටී. ආයතනයේ සභාපතිවරයා ලෙසත් පත්කරන්න අපි සැලසුම් කර තිබෙනවා. වසර තුන හතරක් යන විට ලංකාව කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බවට පරිවර්තනය කරනවා. අපි ඔබට කියනනේ, ඔබ අප කෙරෙහි තබන විශ්වාසය, බලාපොරොත්තුව කිසිසේත්ම බිඳ වැටෙන්න ඉඩ නොදී ඉතා ශක්තිමත්ව මේ ගමන ඉදිරියට ගෙනයනවා. මාසෙන් දෙකෙන් අපි වැටෙයි කියා බලාපොරාත්තුවෙන් සමහරු ඉන්නවා. ජාතික ජන බලවේගය මේ රට හදලා මිසක් ඉන් මෙහා මේ ගමන නතර නොකරන බව ඔබ තේරුම් ගන්න.

ඒ වගේම නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරන්න ඕනෑ. අපරාධකරුවන්, දූෂිතයන් පිළිබඳ කටයුතු කරන්න ඕනෑ. මේ ආයතනයන් විධිමත් කරගන්න ඕනෑ. ආයතනවලින් පළවා හැර ඇති නිසි නිලධාරීන්ට ඒ ආයතන පවරන්න ඕනෑ. ඒ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරන්න ඕනෑ. ඒ වගේම බොහෝ පරීක්ෂණ නතර වෙලා තිබෙන්නේ. ඒවා හඳුනාගෙන තිබෙනවා. අපරාධ පිළිබඳව, වංචා දූෂණ පිළිබඳව, මේ රටේ ජනතාව තබා ඇති විශ්වාසය ඉටුකරන බවට ඔබට සහතික වෙනවා. අපි ඔක්කෝම එකතු වෙලා මේ රට හදන්න ඕනෑ.

Harini Amrasooriya And Harshana Nanayakkara At The Stage Of The Victory Rally Of Homagama

අපට මේ සඳහා බලවත් ආණ්ඩුවක් අවශ්‍යයි. සමහරු එන්.පී.පී. එක යන පාර නිවැරදි කරන්න බලවත් කණ්ඩායමක් ඕනෑ කියනවා. අපිව නිවැරදි කරන්න එහෙම අය ඕනෑ නැහැ. අපි කරන්න ඕනෑ බලවත් ආණ්ඩුවක් හදන එක. ශක්තිමත් ආණ්ඩුවක් හදන එක. මේ කාර්යභාරය ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න නම්, ජයග්‍රහණයෙන් කෙළවර කරන්න නම්, ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඕනෑ. විකිණෙන්නේ නැති, අවංක, අදූෂිත, හැකියාව හා දක්ෂතාවය තිබෙන, අයගෙන් තමයි මාලිමාව හැදිලා තිබෙන්නේ. ඒ අයගෙන් තමයි පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ. අපිට මේ රට ගැන අවංක කැක්කුමක් තිබෙනවා. ජනතාව ගැන අවංක ආදරයක් තිබෙනවා. ඔබ අප කෙරෙහි විශ්වාසය තබා බලය ලබාදී තිබෙන්නේ අත්හරින්නද? ඔබ අපට ලබාදී තිබෙන්නේ මෙහෙයුමක්, කාර්යක්, ඉටුකිරීම සඳහා තමයි මේ ජනවරම ලබාදී තිබෙන්නේ. ඒ ජනවරමත්, ඒ ජනවරමේ උවමනාවත් ඒ අකාරයෙන්ම අපි ඉටුකරනවා. විරුද්ධ පාර්ශවයන්ගේ කතා අහමින්, අපි කෙරෙහි අවිශ්වාසයෙන් අපට ඡන්දෙ නොදුන් පිරිසක් හිටියා. ඒ අය මාසයක් යන්න පෙර තෝරා ගත යුත්තේ මාලිමාව බව විශ්වාස කර තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යනු ගත වෙන දිනයක් දිනයක් පාසා ජනතාවගේ විශ්වාසය තහවුරු කර ගන්නා, අවිනිශ්චිතභාවයෙන් සිටි, තීන්දුවක් ගන්න නොහැකිව සිටි අය මාලිමාව දෙසට හරවන ආණ්ඩුවක්. ඒ නිසා මේ ගමන සාර්ථකව නිම කිරීම සඳහා ඔබගේ දායකත්වය, අපට තිබෙන බව විශ්වාසයි.

නොවැම්බර් 14 ඡන්දය පැවැත් වෙනවා. ඡන්දයක් තිබෙන බවක්, ඡන්දයක් තිබුණු බවක් පේනවාද? ඒවා තමයි වෙනස්කම් කියන්නේ. වෙනස්කම් ගොඩක් කර තිබෙන කාලයක් මේක. ජනාධිපතිවරණයේ ජනවරම තවදුරටත් සහතික කරන්න නොවැම්බර් මාසේ 14දා පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න, වැඩකරමු.

PM Harini Amarasooriya Speaking To The People At The Victory Rally Of Homagama

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය

අපේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාව ජනාධිපති කරවීමට ඒ ඓතිහාසික තීන්දුව ගත් මේ රටේ ජනතාවට මම මුලින්ම ආචාරය පළකර සිටිනවා. මේ රට මෙතෙක් කරවූ පාලකයන් කිසිදාක සිතුවේ නැති ඒ ඓතිහාසික වෙනස කළේ, ඊට දායක වුණේ ඔබ සියලු දෙනායි. ඔබ මේ ජයග්‍රහණය අපට ලබා දුන්නේ අනුර සහෝදරයාත් අපි පිළිබඳවත් විශාල විශ්වාසයක් තබලා. අපේ ජයග්‍රහණයේ පදනම ඔබේ ඒ විශ්වාසයයි. එනිසා අපි නැවත වතාවක් ඔබට කියන්නේ ඔබ අපි කෙරෙහි තබපු විශ්වාසය එලෙසම රකින්න අපි සියලු දෙනාම බැඳී සිටින බවයි. ඒ ගැන කිසිම සැකයක් තියා ගන්න එපා. ඒ විශ්වාසය තමයි අපිට ශක්තිය දෙන්නේ. ඒ විශ්වාසය මත තමයි අපි මේ රට ගොඩනගන්නේ.
අපේ වේදිකාවේ ඉන්න කොළඹ දිස්ත්‍රික්කයේ දක්ෂ අපේක්ෂක කණ්ඩායම සමග එකට සිටීමට හැකිවීමම මම ලැබූ ලොකු භාග්‍යයක්. කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ අපේ රටේ සියලුම ප්‍රශ්න නියෝජනය කරන තැනක්. අපි හිතුවට කොළඹ තමයි දියුණුම, සංවර්ධනයෙන් ඉහළම තැන තිබෙන දිස්ත්‍රික්කය කියලා මුළු රටේම තිබෙන ප්‍රශ්න සියල්ලමත් මේ දිස්ත්‍රික්කයේ තිබෙනවා. සංවර්ධනය තුළ ලබාගත් ජයග්‍රහණ වගේම අසමානතාද කොළඹ දිස්ත්‍රික්කය තුළ තිබෙනවා. ලංකාවේ තිබෙන හොඳම පාසල් වගේම යටිතල පහසුකම් නැති, ගුරුවරු හරිහැටි නැති පාසල්ද මේ කොළඹ දිස්ත්‍රික්කය තුළ තිබෙනවා. රෝහල්වල තත්වය එයමයි. ලංකාවේ ඉන්න පොහොසත්ම ශ්‍රී ලාංකිකයා වගේම දුප්පත්ම ශ්‍රී ලාංකිකයාද මේ කොළඹ දිස්ත්‍රික්ය තුළ ඉන්නවා. සියලු පුරවැසියන්ගේ සමානාත්මතාවය රකිමින් සංවර්ධනය කරන්න බැරිවූ දිස්ත්‍රික්කයක් තමයි කොළඹ දිස්ත්‍රික්කයයි. පැය 24ක් වැස්සොත් මේ දිස්ත්‍රික්කයේ පාරවල් යටවෙනවා. ගෙවල්වලට වතුර දානවා. මෙච්චර කලක් ගතවෙලත් තවම කොළඹ දිස්ත්‍රිකයේ ගංවතුර ප්‍රශ්නය විසඳගන්න බැරිවෙලා තිබෙනවා.

අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථික, පරිසර ආදී සියලු ප්‍රශ්න කොළඹ දිස්ත්‍රික්කය තුළත් උග්‍රවෙලා තිබෙනවා. මුළු රටේම එම ප්‍රශ්න අපි විසඳිය යුතුයි. මේ වේදිකාවේ ඉන්නවා අවුරුදු ගණනාවක් දේශපාලනය කරලා අත්දැකීම් ලබපු, ඔබ වෙනුවෙන් විශාල කැපකිරීම් කරපු අය, මේ වේදිකාව තුළ ඉන්නවා. විවිධ ක්ෂේත්‍රවල විවිධ වෘත්තීන්වල නියැලිලා අත්දැකීම් බහුල අයත් අපේ වේදිකාවේ ඉන්නවා. ඉහළම කාන්තා නියෝජනයක්ද අපි කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. ජනතාව වෙනුවෙන් වැඩ කරන්න තිබෙන උවමනාව හා කැපවීම ඉහළින්ම තිබෙන කණ්ඩායමක් තමයි අපිට ඉන්නේ.

මෙම මහ මැතිවරණයේදී අපි පාර්ලිමේන්තුව තුළ ගුණාත්මක වෙනසක් කිරීම අවශ්‍යයි. අපි මේ සැරේ ඒක කරනවා. ප්‍රමාණයෙන් මෙන්ම ගුණයෙන්ද අපි ඒ වෙනස කරනවා. ජනතාවට වගවෙන, අවංක, දේශපාලන විනයක් තිබෙන අයගෙන් මේ මැතිවරණයේදී පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ. එහෙම අය ඉන්නේ ජාතික ජන බලවේගයේ පමණක් බවද මේ මුළු රටම දන්නවා. සාමූහිකව වැඩ කිරීමේ ගුණය අපි සියලු දෙනාටම තිබෙනවා. අපි අපේ ප්‍රතිපත්ති සකස් කරලා තියෙන්නේ රටේ ජනතාවගේත් අදහස් අරගෙන. දැන් අපි ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඕනෑ. ඒකට තමයි අපිට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය වෙන්නේ. රටේ සියලු ජාතිකත්වයන් නියෝජනය වන අපේක්ෂක කණ්ඩායමක් අපිට ඉන්නවා. ඔවුන් සමග සාමූහික හැඟීමෙන් අපට වැඩ කිරීමේ හැකියාව තිබෙනවා.
තනි තනිව ප්‍රශ්න සමග පොර බදලා අපි දැන් හොඳටම හෙම්බත්වෙලා තියෙන්නේ. නමුත් අපි අපේ ප්‍රශ්න විසඳගත යුත්තේ සාමූහිකව, අරගල කරලයි. වැඩකරලයි. හුදෙකලා ජීවිත ගත කරනවා වෙනුවට එකිනෙකා හමුවෙන, සාමූහිකව ප්‍රශ්න විසඳා ගැනීමට ප්‍රයත්න දරන, එහි ප්‍රතිඵල සාමූහිකව බෙදා ගන්නා සමාජයක් අපි නිර්මාණය කළ යුතුයි. ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ එවැනි රටක් එවැනි සමාජයක් නිර්මාණය කරන බව අපි ඔබට සහතික වෙනවා.

Eranga Gunasekara Speaking To The People At The Victory Rally Of Homagama

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එරංග ගුණසේකර

පසුගිය ජනාධිපතිවරණයේදී මුළු රටම එකතු වෙලා පෙන්නුවා රට යා යුතු දිශාව කුමක්ද කියලා. ජනතාව රට යා යුතු දිසාව සොයා ගැනීමට තෝරා ගත්තේ මාලිමාවයි. අවුරුදු 76කට පස්සේ මේ රටේ ජනතාව දිනුවා. සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියලු මිනිසුන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ ජයග්‍රාහී මිනිසුන් හැටියටයි. දෙවන මැච් එකත් අපි දිනනවා. ඒක ස්ථිරයි.
මේ ආණ්ඩුව ඉදිරියට යන්නේත් මේ රට හදන්නේත් මේ රටේ ජනතාවගේ සාමූහික බලයෙන් බව අපි කියනවා. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” ගොඩ නඟන්න නම් මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරලා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන්ගෙන් මේ පාර්ලිමේන්තුව පිරවිය යුතුයි. මේ සිස්ටම් එක වෙනස් කරන්න, හොරු අල්ලන්න අපිට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබා දෙන්න. හොරාකාපු දේපොළ, පවරා ගන්න, නිෂ්පාදනය වැඩි කරලා ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නඟන්න අපිට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් දෙන්න. අපේ රටේ තරුණ පරම්පරාව බලා සිටිනවා තමන්ගේ අයාලේ ගිය ජීවිත වෙනස් කරමින් ඔවුන්ට නව පණක් දෙන්න. අපිට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් දෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

අපි මේ රටේ ජනතාවට කිව්වා අපි ජයග්‍රහණය සැමරිය යුත්තේ පරාජිතයන් අපහසුවට පත්කරලා ඔවුන් පීඩාවට පත් කරලා නොවෙයි කියලා. ඒක අපේ රටේ ජනතාව අකුරටම පිළිපැද්දා. දැන් අපට ඡන්දය නොදුන් අයත් අපි ගැන පැහැදිලා අපිව මේ මහ මැතිවරණයේදී ජයග්‍රහණය කරවන්න පෙරට ඇවිත් තිබෙනවා. අපි මේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙමින් ඉන්නවා. මෙවර මහා මැතිවරණයට යන කොටම අපි ජයග්‍රහණයන් ගණනාවක් අරගෙන ඉවරයි. දැන් විපක්ෂය කියන්නේ විපක්ෂය සඳහා ඔවුන්ට මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ලබාදෙන්න කියලයි. අද ඒ තරම් අසරණ තත්වයට ඔවුන් වැටිලයි ඉන්නේ. දැන් ජයග්‍රහණය ගැන කතා නැහැ. මේ මැතිවරණය එද්දීම කලින් රට පාලනය කළ දූෂිතයන්ගෙන් රොත්තක්ම ගෙදර.

අද රාජපක්ෂලා නැති මැතිවරණයක් මේ රටට හිමිවෙලා. ඒ දූෂිතයන් ගෙදර නවත්වන තත්වය උදා කළේ ඔබයි. නාමල් පුතාත් එන්නේ ජාතික ලැයිස්තුවෙන්. අඩුම තරමේ මන්ත්‍රීකමක්වත් බේරාගන්න හීන දකිමින්. ජාතික ජන බලවේගයේ අපි පිරිසිදු අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබෙනවා. අනෙක් කණ්ඩායම් අද අපේක්ෂක පොරයට වැටිලා, නාහෙන් අඬනවා. අපේ රටේ තරුණ තරුණියන්ට මේ රටේ පොදු ජනතාවට අනාගත පරපුරට පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ගොඩනඟන්න ලබන නොවැම්බර් 14 මාලිමාවට අති විශිෂ්ඨ ලෙස ජයග්‍රහණයක් ලබා ගැනීමට පෙරමුණ ගන්නා ලෙස අපිමේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Chandana Sooriyarachchi Speaking To The People At The Victory Rally Of Homagama

ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථනායේ නියෝජ්‍ය ලේකම්, කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක චන්දන සූරිය ආරච්චි

මුළු රටම නව පුනරුදයකට යොමු වෙමින් ඉදිරි ජයග්‍රහණය සඳහා පෙළ ගැසෙමින් සිටින මොහොතක් මේ උදාවෙලා තිබෙන්නේ. දශක 07ක් මේ රට පාලනය කරපු පාලකයන් මේ රටේ ජනතාව රැවැට්ටුවා. විශේෂයෙන් වැඩ කරන ජනතාව රැවැට්ටුවා. ඒ ජනතාවගේ කරමතින් ගොස් බලය ගත් පාලකයන් හැමදාම වැජඹුනා. සැප වින්දා. මේ රටේ පීඩිත ජනතාවට තම ජීවිත අහිමි කළා. දශක ගණනාවක් මේ පාලකයන් ගෙන ගිය පීඩකාරී පාලනයට එරෙහිව මේ රටේ ජනතාව පොරබැදුවා. සටන් කළා. මේ ක්‍රමය වෙනස් කිරීම සඳහා. අද එම උත්සාහය මල් ඵල දරමින්, තිබෙනවා. ඒ අපේක්ෂාව ජයග්‍රහණය කරමින් අපිට පුළුවන්කම ලැබුණා, පසුගිය 21 වැනිදා අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරවමින් ආරම්භක පියවර තබන්න.

අපේ අනුර සහෝදරයාත්, විජිත සහෝදරයාත්, හරිනි සහෝදරියත් වැඩ පටන් අරන් තවම මාසයයි. දැන් අපේ විරුද්ධවාදීන්ට මාර කුලප්පුවක් හැදිලා කෝ වැඩ කියලා අහනවා. අපි ඒ ගොල්ලන්ට කියනවා කලබල වෙන්න එපා. දශක 07කට වැඩි කාලයක් මේ පාලකයන් මේ රටට කළ විනාශයට හා අපරාධවලට එරෙහිව මේ රටේ ජනතාවත් සමග එකතු වෙලා ආණ්ඩුව නීත්‍යානුකූල පියවර ගන්නවා. අපි ඒ ගැන සහතික වෙනවා. අපි ලැබූ සුවිශේෂී ජයග්‍රහණයට මේ රටේ වැඩකරන ජනතාව විශාල දායකත්වයක් දුන්නා. පසුගිය 21 වැනිදා පැවති ජනාධිපතිවණයේදී අනුර සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පළමු වෙඩි මුරය තැබුවේ මේ රටේ රාජ්‍ය සේවකයන් හා අර්ධ රාජ්‍ය සේවකයන් බව අපි සිහිපත් කළ යුතුයි. අපේ රටේ වැඩකරන ජනතාව තම අයිතීන් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් මේ රටේ විවිධ ආණ්ඩු පත් කළා. මේ රටේ පෞද්ගලික අංශයේත් වතු ක්ෂේත්‍රයේත් ජනතාවත් එවැනිම බලාපොරොත්තුවකින් විවිධ ආණ්ඩු බලයට ගේන්න දායක වුණා. දශක ගණනාවක් අපි ඒ සඳහා විවිධ පාලකයන් බලයට ගෙනාවා. නමුත් මේ රටේ වැඩකරන ජනතාවට ඉන් යුක්තිය ඉටු වුණේ නැහැ. එනිසා තමයි මේ රටේ වැඩකරන ජනතාව මාන බල බලා සිටියේ. ඒ අසාධාරණයට එරෙහිව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්න. අන්න ඒ අනුව තමයි පසුගිය 21 වැනිදා මේ රටේ ජනතාව ඒ ඓතිහාසික තීන්දුව ගත්තේ. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් මේ රටේ ජනතාව විශාල ශක්තියක් හා දායකත්වයක් ලබා දුන්නා.

ඒ නිසා අපි දැඩිසේ විශ්වාස කරනවා, ඉදිරි මහ මැතිවරණය පවත්වන නොවැම්බර් 14 වැනිදාත් අපිට ඡන්දය දුන් වැඩකරන ජනතාවත්, ඔවුන් අතර සිටින අපිට ඡන්දය නොදුන් ජනතාවත් ජාතික ජන බලවේගයේ ශක්තිමත් ආණ්ඩුවක්, පාර්ලිමේන්තුවක් හදා ගැනීමට වැඩිම දායකත්වය දෙයි කියලා. ඒක අපිට සහතිකයි. ඉතිහාසයේ හැම අවස්ථාවකම මේ රටේ වැඩකරන ජනතාව ආණ්ඩු හැදීමට දායක වෙලා තිබෙනවා. ඔවුන්ට සිද්ධ වුණේ ඉන්පසු දිගටම තම අයිතීන් ඉල්ලා දිගටම සටන් කරන්න. මේ දුෂ්ට චක්‍රය අපි අවසන් කරන්න ඕනෑ. ඒ සඳහා අවස්ථාව මේ මැතිවරණයේදී වැඩකරන ජනතාව ප්‍රමුඛ මේ රටේ පීඩිත ජනතාවට උදාවෙලා තිබෙනවා. පසුගිය 21 වැනිදා අප ලැබූ ජයග්‍රහණයෙන් පසු මේ රට ගොඩනැගෙන දිසාවට රට පරිවර්තනය වෙමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය අඩිතාලම වැටෙමින් තිබෙනවා. ඒ වගේම අපේ රටේ ජනයා අපේක්ෂා කළ ඒ වංචාවලට දූෂණයට එරෙහිව පියවර දැන් ක්‍රමාණුකූලව මේ ආණ්ඩුව ගනිමින් තිබෙනවා.

රට දැන් අලුත් මාවතකට, නව පුනරුද යුගයකට හැරෙමින් තිබෙන අවස්ථාව උදාවෙලා. ඒ වගේම මේ රටේ ජනතාවගේ සහ අනාගත පරම්පරාවේ ජීවිත ලස්සන කරන, රට පොහොසත් කරන පියවර ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ ස්ථිර වශයෙන්ම ගන්නවා කියන සහතිකය අපි ඔබට දෙනවා. එනිසා ලබන නොවැම්බර් 14 වැනිදාට පවත්වන මහ මැතිවරණයේදීත් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් ඡන්දය දී ඔවුන් දිනවා අපේ රටේ පාර්ලිමේන්තුව ඔවුන්ගෙන් පුරවාලීමට මේ රටේ ජනතාව දැන්නම් දෙවාරයක් නොසිතන බවද අපිට සහතිකයි.

Show More

චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්

(-Colombo, October 22, 2024-) චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූ යන්වෙයි (Zhu Yanwei) මහතා අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය. චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එසේම චීනය සහ ශ්‍රි ලංකාව අතර පවතින […]

(-Colombo, October 22, 2024-)

චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූ යන්වෙයි (Zhu Yanwei) මහතා අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය.

චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එසේම චීනය සහ ශ්‍රි ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය ද මෙහිදී සිහිපත් කෙරුණු අතර එම සමීප සබැඳියාව ඔස්සේ දෙරට අතර සමාජ, සංස්කෘතික සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ නව ක්‍රමවේදයන් පිළිබඳව ද විමසා බැලිණි.

Show More