Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පවතින මජර දේශපාලනය අතුගා දමනවා” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – හිරියාල, මැල්සිරිපුර – 2024.09.17-) ඡන්ද ව්‍යාපාරය අවසන් වේගෙන එන විට අද ඒකේ උඩින්ම ඉන්නේ ජාතික ජන බලවේගයයි. මේ සිද්ධ වෙන්න යන්නේ සාමාන්‍ය දෙයක් නොවෙයි. දශක ගණනාවක් අපේ රට පාලනය කළ මේ පාලකයෝ අපිට අවසානයේ ඉතුරු කරලා තියෙන්නේ හැම අතින්ම කඩා වැටුණු රටක්. ජනතාවගෙන් 68%කට පෝෂ්‍යදායී ආහාර වේලක් […]

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – හිරියාල, මැල්සිරිපුර – 2024.09.17-)

ඡන්ද ව්‍යාපාරය අවසන් වේගෙන එන විට අද ඒකේ උඩින්ම ඉන්නේ ජාතික ජන බලවේගයයි. මේ සිද්ධ වෙන්න යන්නේ සාමාන්‍ය දෙයක් නොවෙයි. දශක ගණනාවක් අපේ රට පාලනය කළ මේ පාලකයෝ අපිට අවසානයේ ඉතුරු කරලා තියෙන්නේ හැම අතින්ම කඩා වැටුණු රටක්. ජනතාවගෙන් 68%කට පෝෂ්‍යදායී ආහාර වේලක් නැහැ කියලා මහා බැංකු වාර්තාවෙම තිබෙනවා. හරිහමන් අධ්‍යාපනයක් නැති දරුවෝ, සිහින කඩා වැටුණු තරුණයෝ, හරිහමන් බෙහෙතක් හේතක් ගන්න බැරි හව්හරණක් නැති මව්පියෝ ඉන්න රටක් බවට අපේ රට පත්වෙලා.

නීතියක් නැති, විනයක් නැති, අපරාධවලින් ගහන රටක්, සියල්ල විනාශයට පත්වෙච්ච රටක්, බවට අපේ රට පත්වෙලා තිබෙනවා. මේක තමයි අපි කියන 76 වසරක ශාපය. මේ සැප්තැම්බර් 21 වැනිදා එළඹෙන්නේ අපේ රට අන්න ඒ ශාපයෙන් මුදා ගන්නා දිනයයි. මීට කලින් ආණ්ඩුව හැදුවේ මාධ්‍ය විසින්. ඔවුන් විසින් ගොතන ලද ප්‍රබන්ධ මගින්. වැඩකරන විරුවෝ, මොළ හතේ නායකයෝ, කියලා මාධ්‍ය විසින් ප්‍රබන්ධ නායකයන් හදනවා. මාධ්‍ය විසින් බිය, සැකය, අවලාද පතුරුවනවා. එහෙම කරලා තමයි මෙතෙක් ආණ්ඩු හැදුවේ. අද සමහර මාධ්‍යවලින් යම් තරමකට අපිට සහයක් තිබෙනවා. හැබැයි ඊට එහා ගිය ජනතාවගේ ස්වයං ක්‍රියාකාරිත්වය මගින් තමයි අපිට ජයග්‍රහණය ගෙන දෙමින් සිටින්නේ. ඒ නිසා ලංකාවේ පළමු වතාවට මැර බලය, රාජ්‍ය බලය, ධන බලය, මාධ්‍ය බලය පරදමින් ජනතා බලය පෙරට පැමිණ තිබෙනවා.

Crowd At The Victory Rally Of Malsiripura

ජාතික ජන බලවේගයේ අරමුණ අපේ රටටත්, රටේ ජනතාවටත් යහපත් තත්වයක් උදාකර දීම තමයි. මම කියන්නේ මේ උදාර කර්තව්‍යයේ කුඩා කොටසක් පමණයි. ඔබ සියලු දෙනා තමයි විශාලම කොටස. අසාධාරණයට, අයුක්තියට එරෙහිව මේ රටේ ජනතාව දිගු කාලයක් තිස්සේ සටන් කරමින් ඉන්නවා. නමුත් අපිට ජයග්‍රහණය අත්පත් කර ගන්න බැරිවුණා. අද අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් හැකියාව ලැබී තිබෙනවා. අපේ ජයග්‍රහණය පිළිබඳව කිසිදු සැකයක් තබා ගන්න එපා. මෙවර අපි ජයග්‍රහණය කරනවා. නියතයි. සැප්තැම්බර් 21 උදාවන්නේ ජාතික ජන බලවේගය මේ රටේ ආණ්ඩු බලය ගැනීමේ ආරම්භයයි. අපි පියවරෙන් පියවර මේ රට හදනවා. පළමුව දේශපාලනඥයන් ඒ සඳහා ආදර්ශය ලබාදිය යුතුයි. අපේ රටේ දේශපාලනය කිවුවේ බදා ගැනීමට. බැකෝ යන්ත්‍රවලින් විශාල විදිහට බෙදා ගැනීමට. එහෙම කළේ වෙන කිසිවක් කරලා නොවෙයි. භාණ්ඩාගාරයේ ධනය හොරකම් කරලා. මහජනතාවට ලැබිය යුතු ධනය හොරකම් කරලා.

අපේ රට හදන්න නම් පළමුව මේ රටින් මේ මජර දේශපාලනය අතුගා දැමිය යුතුයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සහතික ලෙසම එය ඉටුකරනවා. පාර්ලිමේන්තුවට ගියාම අවුරුදු 05ටම දින 20යි සහභාගි වෙන්න ඕනෑ. ඊට පස්සේ ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුපක් හම්බ වෙනවා. අපේ ගොවි ජනතාව කොන්ද කුදුවෙලා, හම ඇකිළිලා, අවුරුදු 70 – 75ක් වෙලත් අමාරුවෙන් කුඹුරු කොටනවා. විශ්‍රාම වැටුපක් නැහැ. මේක සාධාරණද? ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කපා හරිනවා. ජනතාවට නැති සියලු වරප්‍රසාද අපි අහෝසි කරනවා. ජනාධිපතිවරයාගේ සිට එය කරනවා. හිටපු ජනාධිපතිවරුන් ජනතා මුදලින් නඩත්තු කරන එක හා ඔවුනට දෙන වරප්‍රසාද කපා හරිනවා. සජිත් ප්‍රේමදාස අපි කරන කියන හැම දෙයක්ම කොපි කරනවා. හැබැයි මේවා නම් කොපි කරන්නේ නැහැ. එයා කිවුවොත් මන්ත්‍රීවරුන්ගේ වාහන පර්මිට් අහෝසි කරනවා කියලා ඔක්කොම වේදිකාවෙන් බැහැලා යනවා.

Anura Kumara Dissanayake At The Victory Rally Of Malsiripura

ජනතාවට දේශපාලකයා කෙරෙහි විශ්වාසයක් ගෞරවයක් තිබෙන රටක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් අපි හදනවා. ලෝකය දිනන්න පුළුවන් විදියට අපි අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය සැලසුම් කරනවා. මේ විනාශයේ මුවදොරට රැගෙන ගිහින් තිබෙන රට, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් ඉන් මුදාගෙන දියුණුව කරා රැගෙන යන දිනය තමයි සැප්තැම්බර් 21. මේ කිසි දැක්මක් නැති අපේ රටේ දේශපාලකයන් පැරණි ජාතිවාදී, ආගම්වාදී මඩ ගොහොරුව නැවත අවුස්සන්න පටන් අරගෙන තිබෙනවා.

නුවර දළදා පෙරහැර කියන්නේ සජබ හෝ පොහොට්ටුවට හෝ යූඑන්පී එකට ලියලා දිපු එකක් නොවෙයි. ඒවා අපේ රටේ සංස්කෘතික උරුමයන්. අපේ රටේ ජනතාවගේ ඓතිහාසික උරුමයන්. ජාතියේ උරුමයන්. නමුත් මේ දේශපාලකයෝ කරන්නේ මොකක්ද? ඒවා ගේනවා ඡන්ද වේදිකාවට. අපි ආපුවහම පෙරහැර නතර කරනවලු. හැබැයි කට්ටිය පෙරහැරේ බලා ඉන්න, අපි ආපුවහම උසාවි යන්න. හිරගෙවල් ඇතුළට යන්න. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආපුවහම පන්සල්වලට දානය නැති වෙනවලු. දාන දෙන්නේ පක්ෂද? ආණ්ඩුද? ගැසට් ගහලද? ඒවා අපේ ශිෂ්ටාචාරයට අයිති දේවල්. ආගම පිළිබඳ ශ්‍රද්ධාව. සජබ වේදිකාවේ ඒව දේශපාලන සටන් පාඨ බවට පත්කරගෙන. ඒවා ජාතික උරුමයන්. ජාතික කොඩිය පවා ඡන්ද වේදිකාවට ගේනන ඕනෑ එකක් නොවෙයි. ඒවා රටේ ජාතික උරුමයන්. ඒවාට නිසි ගෞරවය අපි ලබා දෙන්න ඕනෑ. ජාතික කොඩිය අයිති පක්ෂවලට නොවෙයි. සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝටම අයිති ජාතික දෙයක්. ඒ ගොල්ලන් කියනවා අපි ආපුවහම ජාතික කොඩිය වෙනස් කරන්න යනවලු. සජබ වේදිකාවේ අද තිබෙන්නේ මඩ, අවලාද පමණයි.

The Victory Rally Of Malsiripura Crowd

අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අතේ තියාගෙන කියනවා අපේ පාලනයක් යටතේ අපි නිරාගමික රාජ්‍යයක් හදනවලු. එක හාමුදුරු නමක්, පොතේ නැති පට්ටපල් බොරු දෙසාබානවා. අපි ඒ පොඩි හාමුදුරුවන්ට නම් යැව්වා එන්තරවාසියක්. අපි කවදාවත් හාමුදුරුවන් වහන්සේලා සමග නඩු කියන්න කැමති අය නොවෙයි. නමුත් මේ කැත වැඩය කොතනදි හරි නතර විය යුතුයි. හිස්බුල්ලා එරාවුර්වලට ගිහිල්ලා ඒ වගේම බේගල් මුස්ලිම් ජනතාවට කියනවා. මුස්ලිම් ජනතාවගේ අවුරුද්දකට රාමසාන් සහ හජ්ජි කියලා ප්‍රධාන ආගමික උත්සව දෙකක් තිබෙනවා. අපි ආපුවහම එකක් කරනවාලු. මුස්ලිම් ජනතාව දවසකට පස්වතාවක් වන්දනා කරනවා. අපි බලයට ආවොත් ඒක නතර කරනවලු. අපිට වෙන වැඩ නැහැනෙ. අපි ආපුවහම මුස්ලිම් ජනතාවට රැවුල් වවන්න දෙන්නෙ නැතිලු. මම එරාවුර්වලටත් ගිහිල්ලා කිවුවා මමත් රැවුල වවාගෙන ඉන්නෙ කියලා.

ජාතිය, ආගම වැනි දේවල් කිසි දිනෙක දේශපාලන වේදිකාවට ගත යුතු දේවල් නොවෙයි. ඒවා ජාතික උරුමයන්. අපේ ශිෂ්ටාචාරය. ඒවා දේශපාලනික සටන් පාඨ කරගත යුතු නැහැ. නමුත් සජබ මුළු වේදිකාවම අද ඒවා අතට අරගෙන. මේ රට ගොඩනඟන හැටි, ආර්ථිකය ගොඩනඟන හැටි, විදේශ සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනඟන හැටි වැනි ගැඹුරු දේවල් සජිත්ට සාකච්ඡා කරන්න පුළුවන්ද? බැහැ. ඒ නිසා තමයි අර වගේ පහත් ගණයේ කතා එයාගෙ වේදිකාවල කියන්නේ. ඉස්කෝල ටික විදෙස් කෝටිපතියන්ට බාරදෙනවාලු. ප්‍රාදේශීය සභා ටික ලෝකෙ වෙන පළාත් පාලන සභාවලට බාර දෙනවලු හදන්න. අන්තිමට සජිත් කියයි මුළු රටම විදේශවලට බාර දෙනවා කියලා. ඒ වගේ සිඟිති ආතල් කතා තමයි සජිත් කියන්නේ.

The Victory Rally Of Malsiripura Addressing By Anura Kumara Dissanayake

ඊළඟට රනිල් කියනවා එයා ආවේ නැතිනම් ගෑස් ටික නැතිවෙයිලු. ඒ කියන්නේ රනිල් ළඟ වෙන්න ඇති ගෑස් නිධිය තියෙන්නේ. ආයිමත් කියනවා එයා ආවෙ නැතිනම් තෙල් නැති වෙයිලු. ඒ කියන්නේ රනිල් අරාබියේ සුල්තාන්ද? තෙල්, ගෑස් නැති කළේ රනිල් වික්‍රමසිංහලා. අපේ රට ලෝකයේ වාණිජ වෙළඳපොළෙන් ඩොලර් කෝටි 1500ක් අරන් තිබෙනවා. මේ 1500න් ඩොලර් කෝටි 300ක් ගත්තෙ මහින්ද. ඩොලර් කෝටි 1200ක් ගත්තා රනිල්. එයා පාලනය කළ අවුරුදු 4 1/2ට ආසියානු සංවර්ධන බැංකුව ණයවලට අයකරන පොලිය 1%යි, 2%යි. රනිල් වික්‍රමසිංහ වාණිජ වෙළඳපොළෙන් ගත්ත ණයවලට පොලිය 6%යි. 7%යි. එහෙමයි රනිල්ලා මේ රට උගස් තිබ්බේ. මේ රට බේරා ගන්න තමයි මාලිමාවේ ආණ්ඩුව එන්නේ. අපිට විශ්වාසයි. මේ රටේ ජනතාව මේ 21වැනිදාට තියෙන ජනාධිපතිවරණයේදී ඡන්ද පෙට්ටි මාලිමාවේ ඡන්දවලින් පුරවනවා. දැන්නම් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කිසිවෙකුටත්, මොන දේ කළත් වළක්වන්න බැහැ. ඒක ඒ තරමටම සහතිකයි. අපේ ජයග්‍රහණයෙන් පස්සේ අපි ඔක්කෝම එකතු වෙලා මේ රට හදමු.

Fred Senevirathne Addressing The Victory Rally Of Malsiripura

“මේ රට ඉතිහාසයේ ප්‍රථම වතාවට නව පුනරුද යුගයකට පා තබනවා”
-ජාතික ජන බලවේගයේ ‘අදිටන’ සාමූහිකයේ රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න-

දූෂිත දේශපාලන පක්ෂ තමන්ගේ රැස්වීම් සඳහා මහජනතාව එකතු කර ගැනීමට අරක්කු කාලක්, බත් පැකට් එකක්, අතට මුදලක් දී රැලිවලට කැඳවා ගන්නා පරිසරයක් තුළ කිසිම ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර මෙතනට රැස්වී සිටින දස දහස් සංඛ්‍යාත ඔබ දුටු විට මා තුළ විශාල ගෞරවයක් ඇති වෙනවා. ඔබ අපිට ශක්තියක්. මගේ කතාවට ප්‍රථම ඔබට සුභ ආරංචියක් දැනුම් දීමට තිබෙනවා. මම අදිටන සමූහයේ ක්‍රියාකාරිකයෙකු ලෙස පසුගිය අවුරුදු 1 1/2ක පමණ කාලය තුළ ලංකාව වටේම ඇවිද්දා. අපේ ව්‍යාපාරය වෙනුවෙන් අපි ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන් හමු වුණා. ඒවගේම ඔවුන්ගේ පවුල්වල උදවියත්, වටපිටාවේ මහජනතාවත් සමග කතා බහ කළා. ඒ අනුව අපේ දේශපාලන ගණන් බැලීමට සහ ඒ ලද අත්දැකීම්වලට අනුව මේ වන විට ජාතික ජන බලවේගය දිනවීම සඳහා කෝටියකට ආසන්න ජනතාවක් පෙළගැසී සිටින බව මම නිර්භයවම ප්‍රකාශ කර සිටිනවා.

ඔබේ ආසනයත් ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද 30,000කට වඩා වැඩි ප්‍රමාණයකින් අපේ අනුර සහෝදරයා ජයග්‍රහණය කරන බව මම ස්ථිරවම ප්‍රකාශ කර සිටිනවා. එහෙම කියන්නේ මිනිසුන්ගේ සිතුම් පැතුම්වලින් මම උකහා ගත් දේවල්වලින්. මම ඔබගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒක නිසා මා සමග අමනාප වෙන්න එපා. පළමු ප්‍රශ්නය ඔබලා මේ දවස්වල කන්නේ බොන්නේ කොහොමද? මේකට උත්තර දන්න බොහෝ අයට අපහසුයි කියලා මම දන්නවා. අම්ම තාත්තා නොකා හිටියත් දරුවට කන්න දෙන මව්පියන් ඉන්න රටක් මේක.

Malsiripura Victory Rally

මගේ දෙවැනි ප්‍රශ්නය මෑතදී ඔබ අලුත් ඇඳුමක් පැළඳුමක් ගත්තද, පවුලේ අයට එහෙම අරන් දුන්නාද? ඒකටත් දැන් ඔබේ හිතේ තිබෙන උත්තරය මම දන්නවා. මම ඊළඟට අහනවා ඔබ කොපමණ කලකින් චිත්‍රපටයක් බැලුවාද? කියලා. පවුලේ අය සමග නාට්‍යයක් බලන්න ගියාද? ඒකට ඔබේ උත්තරයත් මම දන්නවා. ඔබ විනෝද ගමනක්, වන්දනා ගමනක් ගියාද? ඒ ගැන හිතන්නවත් පුළුවන්ද? අපි කවුරුත් ආසයි පිටතට ගිහිල්ල හෝ ගෙදරට ගෙන්නා ගෙන විශේෂිත කෑමක් බීමක් පරිභෝජනය කරන්න. නමුත් අද අපිට එහෙම කරන්න පුළුවන්ද? මේවට උත්තර ඔබේ හිත ඔබට කොඳුරා කියාවි. ඇයි අපිට මෙහෙම වුණේ. මේකට මෙතෙක් මේ රට පාලනය කළ දේශපාලනඥයන් මෙන්ම මහජනතාව හැටියට අපිත් වගකිව යුතු නොවේද?

නැවතත් මේ පාලකයෝම පත්වුණොත් මේ රටට කුමක් වේවිද? හැබැයි හොඳ වෙලාවට මේ සැරේ එහෙම වෙන්නේ නැහැ. මේ සැරේ ඒ ඔක්කෝම ගෙදර. මේ 21 වැනිදායින් පසු ජාතික ජන බලවේගයේ රජයක් මේ රට තුළ ගොඩ නගනවා නියතයි. ඒ සඳහා අපිට තිබෙන සහතිකය කුමක්ද? ඒ තමයි ජාතික ජන බලවේගයේ නායකයාගේ සිට පහළම සාමාජිකයා දක්වා තිබෙන දේශපාලන භාවිතය. ඔවුන්ට නිවැරදි දැක්මක් තිබෙනවා රට හදන්න ඔවුන්ට හොඳ කණ්ඩායමක් ඉන්නවා. අවසාන වශයෙන් අපි ඔබට එකක් කියනවා. මේ 21 අපේ අනුර සහෝදරයා ස්ථිර ලෙසම ජනාධිපති වෙනවා. ඊළඟට එන මහ මැතිවරණයත් අපි දිනනවා. ඒ වගේම මේ රට ඉතිහාසයේ ප්‍රථම වතාවට නව පුනරුද යුගයකට පා තබනවා.

Show More

“ජාතික ජන බලවේගයේ ආණ්ඩුව එන්නේ පාලකයො වට්ටපු රට ගොඩගන්න” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – අකුරැස්ස – 2024.09.16-) මෙතන රැස්වෙලා ඉන්න දස දහස් ගණන් ජනයා දෙස බලන විට අපි දිනන එක ගැන නම් කිසිම සැකයක් නැහැ. හැබැයි ඒ වගේම අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව මේ දින 04 තුළ අපිට විරුද්ධව කරන්න පුළුවන් සියලුම පන්නයේ කැත වැඩ ටික කරන බවත් ඒ වගේම අපි දන්නවා. ආගම්වාදයේ, […]

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – අකුරැස්ස – 2024.09.16-)

Anura Kumara Dissanayake Addressing The Victory Rally Of Akurassa

මෙතන රැස්වෙලා ඉන්න දස දහස් ගණන් ජනයා දෙස බලන විට අපි දිනන එක ගැන නම් කිසිම සැකයක් නැහැ. හැබැයි ඒ වගේම අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව මේ දින 04 තුළ අපිට විරුද්ධව කරන්න පුළුවන් සියලුම පන්නයේ කැත වැඩ ටික කරන බවත් ඒ වගේම අපි දන්නවා. ආගම්වාදයේ, ජාතිවාදයේ ප්‍රතිවිපාක අපේ රටේ ජනතාව හොඳටම අත්වින්දා අපි දැක්කා. දැන් නැවතත් ජාතිවාදී, ආගම්වාදී සටන් පාඨ වේදිකාවට ගෙනත් තිබෙනවා. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාසලා, තිස්ස අත්තනායක, චරිත හේරත් වගේ අය ආගම හා ජාතිය පාවිච්චි කරලා අපිට අවලාද නගමින් ඉන්නවා. සමහර හාමුදුරුවරු යොදාගෙන කියනවා අපි ආවාට පස්සේ පන්සල්වලට දානෙ වේල නතර කරනවා කියලා. සජිත්ගේ වේදිකාවට නැගපු සමහර හාමුදුරුවන් වහන්සේලා කියනවා, අපි බලයට ආපසු ජාතික කොඩිය නැති කරනවා කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වැනි වගන්තිය අයින් කරනවා කියනවා.

සජිත්ලා අපිට මේවා කියන්නේ ජාතිවාදී සංවිධාන තමන්ගේ වේදිකාව උඩ තබාගෙන. සජිත්ගේ වේදිකාවේ ඒවා කියන කොට රිෂාද් බදියුදීනුත් ඒ වේදිකාවේ ඉන්නවා. යාපනයේ ටී.එන්.ඒ. නායකයොත් ඉන්නවා. අද මේ ගොල්ලන්ගේ මැතිවරණ වේදිකාව අවලාදවලට පමණක් සීමා වෙලා. එච්චරටම ඔවුන් අසරණ වෙලා. මේවා අසරණභාවයේ ප්‍රකාශන. ඒවා කලබල වීමේ ප්‍රකාශන. අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ කියනවා අපි ආවහම රටේ ආර්ථික අස්ථාවරභාවයක් ඇති වෙනවලු. බඩු මිල ඉහළ යයිලු. තෙල් නැතිවෙයිලු. ගෑස් නැතිවෙයිලු. ඒවා නැති කළේ කවුද? ඒවා නැති කළේ ඒගොල්ලොනේ. ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ණය අරගෙන තිබෙනවා ඩොලර් බිලියන 15 1/2ක්. ඒ 15 1/2න් 12 1/2ක්ම අර ගත්තේ රනිල් වික්‍රමසිංහගේ අවුරුදු 4 1/2ක කාලය තුළයි. ඒ ගත්ත ණය තමයි දැන් ගෙවා ගන්න බැරිව ඉන්නේ. බැඳුම්කර විකුණලා ගත්ත ණය රනිල් වික්‍රමසිංහගේ කාලයේ ගත්තු ඒවා. මේ රටේ ඩොලර් හිඟයක් ඇති වෙන්න මූලික වැඩ කොටස ඉටුකළේ රනිල් වික්‍රමසිංහලා. එහෙම කරපු රනිල් කියනවා, අපි ආවම ආර්ථිකය වැටෙනවලු. අපි රනිල්ට කියන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව එන්නේ ඔය පාලකයො වට්ටපු රට ගොඩගන්න.

The Victory Rally Of Akurassa Crowd

දකුණු කොරියාව, වියට්නාමය, සිංගප්පූරුව, මැලේසියාව අපිට පහළ සිටි රටවල්. අද ඒ රටවල් ඔක්කෝම අපිව පහුකරගෙන ගිහිල්ලා, මහජන ධනය නාස්ති කරමින්, හොරකම්, දූෂණයේ යෙදෙමින් ඉබාගාතේ යන රටක් හදලා, ණය අරගෙන ගෙවා ගන්න බැරි තරමට රට ණය උගුලක හිර කරලා, බෙහෙත් නැති, රැකියා නැති, රටක් හදලා, තරුණ තරුණියන්ට වෙන විකල්පයක් නැතිව රට අතහැරලා යන තත්වයට පත් කරලා තියෙන්නේ මේ කණ්ඩායමයි. ඒ වගේම ව්‍යාපාරික මහත්වරුන්ට ව්‍යාපාර කරගෙන යන්න බැරිව කඩා වැටෙන තත්වයකට පත්කරලා. පාරිසරික අර්බුද හදලා. දැන් ජනතාවට කියනවා තව සැරයක් එයාට දෙන්නලු රට හදන්න. රනිල්, සජිත් ඔයගොල්ලෝ මේ රටට කරපු හරිය හොඳටම ඇති. කරුණාකරලා පැත්තකට වෙන්න. අපි සූදානම් මේ රට භාරගෙන රට පියවරෙන් පියවර ගොඩනඟන්න. මහ බැරෑරුම් ජාතික ප්‍රශ්න පොඩ්ඩක් පැත්තකින් තියන්නකො. අඩුම තරමේ මේ පාලකයන් රටේ සරල ප්‍රශ්න ටිකක්වත් විසඳන්න සූදානම් වෙන්න ඕනෑනේ.

මේ ප්‍රදේශයට සතියක් වැස්සොත්, මේ අකුරැස්ස නගරය වතුරෙන් යට වෙනවා. ඒ විතරක් නොවෙයි, අවට ප්‍රදේශවල නගරත් වතුරෙන් යට වෙනවා. දශක ගණනාවක් මේ රට පාලනය කරලා අඩුම තරමේ මේ වතුර ටික කළමනාකරණය කරලා මේ පළාත්වල ගංවතුර පාලනය කර ගැනීමටවත් මේ රටේ පාලකයන්ට වැඩපිළිවෙළක් නැහැ. දැන් ඊයේ පෙරේදා ඩලස් අලහප්පෙරුම කියනවා සජිත් ළඟ ප්ලෑන් එකක් තියෙනවලු. ඩලස්, මහින්ද ළඟත් හිටියා; ගෝඨාභය ළඟත් හිටියා; චන්ද්‍රිකා ළඟත් හිටියා. මෙච්චර කල් පොල් ගෑවද? දැන් කියනවා, සජිත් ළඟ තියෙනවලු මරු ප්ලෑන් එකක්. මේ තිබෙන සියලු බාධක ඉවත් කරලා, මේ පළාත් ගංවතුරෙන් මුදා ගන්න සැලසුම් තිබෙන ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. සැප්තැම්බර් 21 ජයග්‍රහණය ගැන අපිට කිසිදු සැකයක් නැහැ. මෙතෙක් රටේ දේශපාලන සංස්කෘතිය තුළ තිබුණ, පරාජිත පාර්ශ්වවලට හිරිහැර කරන දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරනවා.

Anura Kumara Dissanayake At The Victory Rally Of Akurassa

අපි බලය ගත් පසුව රට හදන සැලසුම් ක්‍රියාවට නඟන්න යම් කාලයක් ගත වෙනවා. මොකද, අපි මැජික් පොල්ලක් අතේ තියන් බලයට එන්නේ නැහැ. අපි බලය ගන්නේ ඉන්ද්‍රජාලිකයෙක් ලෙස නොවෙයි. අපි බලය ගන්නේ සාමාන්‍ය මිනිස්සු හැටියට. ඒ නිසා මේ කඩා වැටුණු රට ගොඩනැගීම සඳහා පියවරෙන් පියවර අපි සැලසුම් හදලා තිබෙනවා. ක්‍රියාවට නඟන්න. එතකල් ජනතාවට මූලික අවශ්‍යතා සපුරන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ කියනවා 2048 දි එයා රට හදනවා එතකල් ඉන්න කියලා. හැබැයි 2048 වෙනකොට රනිල්ට අවුරුදු 99යි.

ජාතික ජන බලවේගයේ අණ්ඩුව රට හදන සැලසුම් ක්‍රියාවට නගලා ඒවායේ ඵල දරන තෙක් ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍යය සඳහා පනවලා තිබෙන වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. විදුලි බිල ඉතා කෙටි කාලයක් ඇතුළත අඩු කිරීමේ සැලැස්ම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ක්‍රියාවට නඟනවා. ආර්ථිකය හදලා ජනතාවට ජීවත් වෙන්න පුළුවන් තත්වයක් උදාවෙන තුරු අපේ ආණ්ඩුව ජනතාවට මේ සහන සලසනවා. එතෙක් තෙල් මිල, ගෑස් මිල අඩු කිරීමට පියවර ගන්නවා. සැප්තැම්බර් 21 අපි ජයග්‍රහණය කරලා දිවුරුම් දීලා, ඉතා කෙටි කාලයකින් මේ ජරා, කැත, මජර දේශපාලන සංස්කෘතිය වේගයෙන් ශුද්ධ කරලා දානවා. මහ මැතිවරණය දිනලා අපි මේ රටේ අලුත් ජනතා ආණ්ඩුවක් හදනවා. රටට අලුත් ආදර්ශයන් දෙන, ජනතාව අප ගැන තැබූ විශ්වාසය තහවුරු කරන ආණ්ඩුවක් ජාතික ජන බලවේගය ගොඩඟනවා.

Few Of The Crowd At The Victory Rally Of Akurassa

සජිත් ප්‍රේමදාස කොහෙද ගිහිල්ලා කියනවා එයා ආවහම බාර් පර්මිට් අහෝසි කරනවලු. මම කියනවා සජිත් ප්‍රේමදාසට ඔයාගේ පක්ෂයේ බාර් පර්මිට් ගත්ත කට්ටිය සේරටම ඉස්සරවෙලා අයින්කරලා පෙන්වන්න කියලා. රනිල්ගෙන් බාර් පර්මිට් ගත්තේ සජබ මන්ත්‍රීවරු. ඒ ගොල්ලෝ බෙදාගෙන කරන්නේ ඒ වගේ වැඩ. පුළුවන්නම් නැහැ කියලා කියන්න. මම ඔප්පු කරලා පෙන්වනවා. රනිල්ට කියලා හන්තානෙන් අක්කර 12 1/2ක් ගන්න අවසර ඉල්ලපු කබීර් හෂීම් ඔබලා දකින්න ඇති. රනිල් වික්‍රමසිංහ ගාවට ගිහිල්ල ඇඹරි ඇඹරි මරික්කාර් කාර් පර්මිට් ඉල්ලන හැටි ඔබලා දකින්න ඇති. මේ ගොල්ලෝ එකට බෙදාගෙන කන අය. මේ ගොල්ලෝ දශක ගණන් පාර්ලිමේන්තුවේ හිටියා. මදිද මේ රටටත්, ජනතාවටත් දුන්නු වදය? දැන් ඔයගොල්ලෝ පැත්තකට වෙන්න. මේ රටේ ජනතාවට ගෑස්, විදුලිය, තෙල් අඛණ්ඩව ලබාදීමේ වගකීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බාර ගන්නවා.

රනිල් කියනවා අපි ආවහම ඩොලරය අහස උසට නගිනවලු. රනිල් හිතන් ඉන්නේ ඩොලරය කියන්නේ බැලුමක් කියලාද? රනිල් බැලුම උඩ වාඩිවෙලා ඉන්නවා. එයා නැගිට්ට ගමන් ඒක උඩ යනවා. එහෙමද? අපිට සහතිකයක් තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හැදුණට පස්සේ කාලය තමයි මේ රටට වැඩිම ඩොලර් ඇදී එන කාලය. රනිල් නැවත කියනවා එයා නැති වුණොත් රටට තෙල් එන එක නතර වෙයිලු. තෙල් සැපයුම ඇණහිටියිලු. මොකද? රනිල් කියන්නේ අරාබියේ තෙල් ළිඳවල් තියෙන සුල්තාන් කෙනෙක්ද? රනිල් වික්‍රමසිංහලා කළේ රටින් ඩොලර් පිටට යන ආර්ථිකයක් හදපු එක. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කරන්නේ ඩොලර් රටට එන ආර්ථිකයක් හදන එක. අපි අනවශ්‍ය දේවල් රටට ගෙන ඒම සඳහා ඩොලර් වැය කරන්නේ නැහැ. හදන්න පුළුවන් හැම දෙයක්ම අපි රට තුළ හදනවා. ඩොලර් උපයන්න පුළුවන් ආර්ථිකයක් අපි හදනවා. බලයට ඇවිත් ඉතාම කෙටි කලකින් අපි මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ගොඩ නඟනවා. ඉන්පසු ආර්ථිකය ගොඩනඟන වැඩපිළිවෙළ පියවරෙන් පියවර දියත් කරනවා. අපි 21 වැනිදා බලය ගන්නේ අන්න ඒ නව යුගයකට මේ රට කැඳවාගෙන යන පරිවර්තනය සඳහායි.

Nandasiri Kimbiyahetti At The Victory Rally Of Akurassa

“හොරු අල්ලන්න දැනට ඉතිරි වී තිබෙන එකම බලවේගය ජාතික ජන බලවේගයයි”
-රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි-

අපේ රුහුණු විශ්වවිද්‍යාලය ස්ථාන 07ක ව්‍යාප්ත වෙලා තිබෙනවා. අපි මේ ළඟදි විශ්විවිද්‍යායේ ආචාර්ය, මහාචාර්ය, කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු ආදීන් අතර එක්තරා සමීක්ෂණයක් කළා. විශ්වවිද්‍යාල ආචාර්යවරු 590ක් දැනට සක්‍රීය සේවයේ ඉන්නවා. ඒ අතරින් 50දෙනෙක් පමණ පිටරට ගිහිල්ලා දැනට ලංකාවේ නැහැ. ඉතිරි ආචාර්යවරුන් 550දෙනෙක් අතර, ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අපි සමීක්ෂණයක් කළා. ඒ අනුව රනිල් වික්‍රමසිංහට 16යි. නාමල් රාජපක්ෂට අනුග්‍රහය දක්වන 04දෙනයි. දිලිත් ජයවීරට අනුග්‍රහය දක්වන එක්කෙනයි. කිසිදු මතයක් පළ නොකරන 03දෙනයි. සජිත් ප්‍රේමදාසට අනුග්‍රහය දක්වන 12දෙනයි. ඒ ටික එකතු කළාම ඔක්කෝම 36යි. 590න් ඉතිරි සියල්ල අනුර කුමාර දිසානායක සහෝදරයාට. ඒ සියල්ලම අද ජාතික ජන බලවේගය සමග අත්වැල් බැඳගෙන ඉන්නවා. එහි ප්‍රතිශතය 87%ක්.

ඔබ කලින් හිතන්න ඇති ඔබේ ඡන්දය අරගෙන පාර්ලිමේන්තු යන අය ඔබේ මතය නියෝජනය කරයි කියලා. නමුත් ඒක එහෙම වුණාද? පසුගිය කාලයේ ඔබ ඡන්දය දුන්න අය දිහා බලන්න. ඔබ කිවුවා රනිල් මහා බැංකුව කැඩුවා, වරාය වික්කා ඒ නිසා රනිල්ව එලවන්න ඕනෑ කියලා. ඒකට අපිට ඡන්දය දීලා වරමක් දෙන්න කිවුවා. ඔබ වැඩිම මනාප දීලා මේ පළාතෙන් යැවුවා නිපුණ රණවකව. දෙවැනියට කරුණාට දුන්නා. තුන්වැනි තැනට මනාප දීලා යැවුවා ඩලස් අලහප්පෙරුමව. හතර වැනි තැනට යැවුවා කංචන විජේසේකරව. පස්වැනි තැනට යැවුවා මහින්ද යාපාව. දැන් මොකද වෙලා තිබෙන්නේ. ඩලස් ගිහිල්ලා නැවතුණා සජිත් ළඟ. අනෙක් අය රනිල්ව ජනාධිපති කරන්න ඡන්දය දුන්නා. දැන් ඒ ගොල්ලෝ නියෝජනය කරන්නේ ඔබේ මතයද?

Crowd At The Victory Rally Of Akurassa

අපි නායකත්වයට තෝරා ගන්නා කෙනාට නායකත්ව ගුණාංගද තිබිය යුතුයි. ඔබ මේ ජනාධිපතිවරණයේ ඉදිරි පෙළ ඉන්න තුන්දෙනා සසඳා බලන්න. පසුගිය ‘සටන’ වැඩසටහන ඔබ බැලුවා නම්, එයම ප්‍රමාණවත් අනුර කුමාර දිසානායක සහෝදරයා මේ රටේ ජනාධිපතිකමට සුදුසුයි කියලා තීරණය කරන්න. අනෙක් නායකයෝ මොනවද කියන්නේ. ‘මම තමයි පොර. මට කාගෙවත් උපදෙස් ඕන නැහැ’ කියලා. හැබැයි අනුර සහෝදරයා කිසිම දාක එහෙම කියලා නැහැ. නායකයෙක් සතු ගුණාංගයක් තමයි ඒ ඒ කුසලතා තිබෙන පිරිස් හඳුනාගෙන, ඔවුන්ගෙන් රටට උකහා ගන්න පුළුවන් හැකියාවන් කළමනාකරණය කරගෙන, ඔවුන්ගෙන් රටටත්, ජනතාවටත් ගත හැකි සේවය ලබා ගැනීම. අනුර සහෝදරයා එය මැනවින් අවබෝධ කරගෙන ඉන්නවා. ඒක ඔබ දැන් දකිනවා. ඒක ඔබ අත්විඳිනවා. ඊළඟට හැමෝම දැන් කියනවා නේද දූෂණය, වංචාව නතර කරනවා කියලා. ඒකට ඔබ අප හැමෝම කැමතිනේ. නාමල් රාජපක්ෂත් එහෙම කියනවා නේද? එහෙනම් ඒක පටන් ගන්න ඕනැ එයාලගේ ගෙදරින්.

දූෂණය නතර කරන්න නම් එම නායකයා දූෂිතයෙක් නොවෙන්න ඕනෑ. වංචාකාරයෙක්, කොමිස්කාරයෙක් නොවෙන්න ඕනෑ. අල්ලස් ගත්ත කෙනෙක් නොවෙන්න ඕනෑ. අත් දෙකේ ලේ තැවරුණු කෙනෙක් නොවෙන්න ඕනෑ. හිතලා බලන්න මේ සුදුසුකම් මේ තුන්දෙනාගෙන් කාටද තියෙන්නේ කියලා. සමහරු 88-89 ගැන කියලා ජාතික ජන බලවේගයට නොයෙකුත් චෝදනා එල්ල කරනවා. රනිල් ඕක කියන්නෙ නැහැ. කියපු ගමන් එළියට එනවා බටලන්ද, සූරියකන්ද. සජිත් ප්‍රේමදාස ඒක කියන්නේ නැහැ. එයාගේ ගෝලයෝ තමයි කියන්නෙ. ඇයි ඒ කියලා ඔබම හිතලා බලන්න. දැන් මේ මොනවා කිවුවත් මේ වන විට දූෂිතයෝ කොතනද ඉන්නේ කියලා බලන්න. රනිල්ව වටකරගෙන කට්ටියයි, සජිත්ව වටකරගෙන කට්ටියයි. අර පාහියංගල ආනන්ද සාගර හාමුදුරුවෝ තමයි ඒ දවස්වල කිවුවේ සජිත් ප්‍රේමදාස සංස්කෘතික අරමුදලෙන් කෝටි 120ක් හොරා කෑව කියලා. හැබැයි දැන් ඒ හාමුදුරුවෝ ඉන්නවා සජිත් ළඟ. සජිත් ළඟ ඉඳන් කියනවා, එයාට තමයිලු රට ගොඩගන්න පුළුවන්. ඒ දවස්වල ඩලස් අලහප්පෙරුම කිවුවා, සජිත් ප්‍රේමදාස නිවාස සංවර්ධන අධිකාරිය බාරව ඉන්න කාලෙ ඒකෙ රුපියල් කෝටි 640ක විතර වංචාවක් සිදු වුණා කියලා. ඒ ගොල්ලෝ කවුරුවත් හොරු අල්ලන්නේ නැහැ. ඔබට අවශ්‍ය නම්, හොරු අල්ලන්න දැනට ඉතිරි වෙලා තිබෙන එකම බලවේගය තමයි ජාතික ජන බලවේගය.

අනුර සහෝදරයාගේ දැක්ම දිහා බලන්න. ඔහුට තිබෙනවා අපට නොපෙනෙන, ඔහුට පෙනෙන ඉදිරි දැක්මක්. අනෙක් අයට මේ රටේ දැවෙන තැවෙන ප්‍රශ්නවලට තියෙන්නේ සරල සිල්ලර ‘ටිං ටිං උත්තර’ පමණයි. හරියට අර ඉංග්‍රීසි පුළුවන් නිසා ‘ඉංග්‍රීසියෙන් කතා කරලා සුද්දන්ගෙන් රටට ආධාර ගන්න තමාට පුළුවන්’ වගේ ලොසින්ජර කතා. සජිත් තව වෙලාවක කියනවා අලි මිනිස් ගැටුමට එයා ළඟ තියෙනවාලු උත්තරයක්. මොකක්ද උත්තරය එයා ළඟ තියෙනවලු අලි එලවන බලගතු මන්තරයක්. මේ වගේ පිස්සු කතා කිය කියා යන නායකයෙක් නොවෙයි ජාතික ජන බලවේගයට ඉන්නේ. අනුර සහෝදරයා අපේ රට ගොඩනඟන ප්‍රතිපත්ති ප්‍රකාශය සම්පාදනය කර තිබෙන්නේ මේ රටේ ඒ ඒ ක්ෂේත්‍රවල ඉන්න පළපුරුද්ද, හැකියාව, විශේෂඥ දැනුම, අත්දැකීම් තිබෙන විද්වතුන් එකතු කරලා. රට හදන ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න මේ 21 වැනිදාට ඔබේ වටිනා ඡන්දය දසලක්ෂ ගණනින්, කෝටියකින් මාලිමාවට ලබාදී අනුර සහෝදරයා ජනාධිපති කරවන්න. රට හදන්න එකතු වෙන්න කියා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

Show More

“පරාජය හමුවේ වියරුව හැසිරෙන පිරිස්වල ව්‍යාජ ප්‍රචාර පිළිබඳව අවදියෙන් ඉන්න” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස-

(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.09.17-) කලින් පැවැති සියලු මැතිවරණවලට වඩා මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනතාවගේ උද්‍යෝගය ඉහළ යමින් තිබෙනවා වාගේම සාමකාමීව මැතිවරණයට මුහුණ දීමේ සූදානමක් පවතිනවා. මෙම මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් භීතියට පත් වී සිටින මෙතෙක් සිටි කණ්ඩායම් සමහර මාධ්‍ය නාලිකා පාවිච්චි කරමින්, විවිධ අපහාස, මඩ, අවලාද ගෙන යනවා. තමන්ගේ පක්‍ෂයේ ප්‍රතිපත්ති පැහැදිලි කර දී, […]

(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.09.17-)

කලින් පැවැති සියලු මැතිවරණවලට වඩා මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනතාවගේ උද්‍යෝගය ඉහළ යමින් තිබෙනවා වාගේම සාමකාමීව මැතිවරණයට මුහුණ දීමේ සූදානමක් පවතිනවා. මෙම මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් භීතියට පත් වී සිටින මෙතෙක් සිටි කණ්ඩායම් සමහර මාධ්‍ය නාලිකා පාවිච්චි කරමින්, විවිධ අපහාස, මඩ, අවලාද ගෙන යනවා. තමන්ගේ පක්‍ෂයේ ප්‍රතිපත්ති පැහැදිලි කර දී, ජනතාවගේ ඡන්දය ලබා ගන්නවා වෙනුවට ජනතාව තුළ භීතියක් නිර්මාණය කිරීම සඳහා සමගි ජන බලවේගය, රනිල් වික්‍රමසිංහට එකතු වී සිටින පොහොට්ටු කණ්ඩායම සහ එවැනි තවත් කණ්ඩායම් ජාතික ජන බලවේගය මත ප්‍රචණ්ඩත්වයේ ලේබලය අලවන්න උත්සාහ කළා. ඔවුන් ඒ පිළිබඳව සාකච්ඡා කළ තැන්වලින්, ඔවුන්ගේ ප්‍රචාරක කටයුතු භාර දී තිබෙන පුද්ගලයන්ගෙන් සහ ආයතනවලින් අපට කල් ඇතිව තොරතුරු ලැබුණා. රටේ මහජනතාව තමන්ගේ බලයක් හැටියට මහජන බලයක් ගොඩනඟන්න සූදානමින් ඉන්නේ. අපේ ප්‍රතිවාදියාගේ ප්‍රචාරක කටයුතුවලට කුමන හෝ හේතු නිසා සම්බන්ධ වීමට සිදු වී තිබුණත්, ඔවුන්ගේ හෘදය සාක්‍ෂියට අනුව කුමන්ත්‍රණකාරී කටයුතු අප වෙත හෙළි කරමින් සිටිනවා. මෙයට මාස තුනකට පෙර ජනාධිපතිවරයාගේ ප්‍රචාරක කටයුතු භාර දුන් ආයතනය තුළින් ඔහුගේ මූලික සැලැසුම් අපට ලැබුණා. ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අපව සම්බන්ධ කර දැක්වීමට දරන ලද උත්සාහය මුල් වටයේදීම අසාර්ථක වුණා.

ඊට අමතරව සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමත්, පොහොට්ටුවේ කණ්ඩායමත් එවැනිම කටයුතු සැලසුම් කර තිබුණා. අනෙකුත් සියලු කටයුතු අසාර්ථක වූ පසුව 2022 මැයි මස 09 වැනිදා කටුනායක සහ යම් වෙලාවක මත්තල ගුවන්තොටුපොළ ආශ්‍රිතව සිදු වූ යම් යම් ක්‍රියා වර්තමානයේ සිදු වන ඒවා බව පෙන්වන්න වීඩියෝ පට අලුතින් මුදාහැර තිබෙනවා. ගෝල්ෆේස් සාමකාමී අරගලයේ සිටි මහජනතාවට ආණ්ඩුවේ මැරයන් එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ඇති වූ යම් යම් සිද්ධීන් සම්බන්ධ වීඩියෝ පට මේ ලෙස මුදාහරිනවා. ආරක්‍ෂක රාජ්‍ය ඇමැති, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ගෝල්ෆේස් පහර දීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන් දැයි හෙළි කළා. ප්‍රචණ්ඩකාරීන් මෙහෙයැවූ, මහින්ද රාජපක්‍ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු පිළිබඳව වීඩියෝ පටවලින් කවුරුත් දැක්කා. ගෝල්ෆේස් පහර දීමට පසුව මහජනතාවගෙන් එල්ල වූ විරෝධය හමුවේ රටෙන් පලා යාමට සූදානම් වන පිරිස් පිළිබඳව මහජනතාවගේම ඇතැම් පිරිස් පූර්ව අවධානයක සිටියා. එවැනි සිදුවීම් ඉදිරියේදී සිදු නොවන්නට ජනතාව පාඩම් ඉගෙනගෙන තිබෙනවා. අප මුලින් ම කියන්නේ, පැරැණි වීඩියෝ දැක්කාට කලබල නොවන ලෙසයි. මාලිමාවේ යැයි හැඟවෙන දුරකථන ඇමතුම් ලබාදී සමහර අයට තර්ජනය කිරීම් පිළිබඳව අපට වාර්තා වෙනවා. එවැනි තර්ජනය කිරීම් ලැබෙන දුරකථන අංක පිළිබඳව වහාම ළඟම තිබෙන පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපටත් ඒ පිළිබඳව දැනුම් දුන්නොත්, අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු කරනවා. අපට ඡන්දය නොදෙන හෝ වෙනත් මතයක් දරන කිසිවකුට මෙවැනි දුරකථන ඇමතුම් ලබා දීමේ කිසිදු අවශ්‍යතාවක් අපට නැහැ.

අපට චෝදනා එල්ල කිරීමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ඇති වූ ප්‍රශ්නය, මහජන පුස්තකාලයේ පහර දීම වාගේම ඉඳුරුව රෝහලේ රෝගියකු සම්බන්ධ සිද්ධියක් ආදී වශයෙන් හුදෙකලා සිදුවීම් නිර්මාණය කරන්න ඔවුන් උත්සාහ කළා. එයද අසාර්ථක වුවත්, එවැනි ක්‍රියාමාර්ග ඉදිරි දින කිහිපයේ දීත් ගත හැකි බවට අපි අනතුරු අඟවනවා. තවත් සමහර තැනක මාලිමාවේ ටී ෂර්ට්, කැප් තොප්පි පැළඳගෙන ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට උත්සාහ කළොත්, වහාම පොලිස් ස්ථානවලට දැනුම් දෙන්න. දැන් සිටින පාලකයන් මෙන්ම පැරැණි පාලකයන්ද මහජන බදු මුදල්වලින් ගෙවූ නාස්තිකාර ජීවිත අහිමි වීම වැළැක්වීමට මේ වැනි කූට උපක්‍රම යොදන්න උත්සාහ කරනවා. නිල නිවාසවල හැඳි-ගෑරුප්පු, ඇඳ-ඇතිරිලි, මදුරු කොයිල් වැනි දේ පවා ගන්නේ මහජනතාවගේ බදු මුදල්වලින්. ඒ වරප්‍රසාද අහිමි විම පිළිබඳව භීතියට පත් වූවන් ගෙන යන ප්‍රචාරවලට හසු වෙන්න එපා. සැප්තැම්බර් 22 වැනිදායින් උදා වන්නේ පශ්චාත් මැතිවරණයේ සාමකාමීම අවස්ථාවක්. අලුත් ජනාධිපතිවරයා විසින් නීතිය හා සාමය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට, පොලිසියේ ස්වාධීනත්වය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අවකාශය සලසා දෙනවා. තව පැත්තකින් ජනතාවගේ හදවත් තුළ තිබෙන ආගමික භක්තිය මැතිවරණ වෙනුවෙන් යොදා ගන්නා ආකාරය අප 1950 ගණන්වල සිටම දැක තිබෙනවා. අවශ්‍ය වේලාවට ආගම ඔවුන්ගේ දේශපාලන තුරුම්පුවක් ලෙස යොදා ගන්නවා. විශේෂයෙන් සජිත් ප්‍රේමදාසගේ ගෝලයන් විසින් ඉතාමත්ම සාහසික සහ මුග්ධ ලෙස හාමුදුරුවන් වහන්සේලා තුන්නමකුත් යොදාගෙන තිබෙනවා. මහා සංඝරත්නය මෙන්ම බෞද්ධ ජනතාවත් මේ ප්‍රචාර පිළිගන්නේ නැහැ. නමුත්, සමාජ මාධ්‍යවල මෙන්ම ප්‍රධාන මාධ්‍යවලත් යම් ඉඩක් ඒ වෙනුවෙන් යොදාගෙන තිබෙනවා.

අප යළි යළිත් අවධාරණය කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියේ සඳහන් පරිදි බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දී බුදුදහම පෝෂණය කිරීමේ වගකීම රජය සතුව පවත්වාගෙන යන බවයි. ඒ වාගේම කතෝලික, හින්දු, ඉස්ලාම් කියන අනෙකුත් ආගම්වලටත් අවශ්‍ය පහසුකම් ලබා දීමට රජය ක්‍රියා කරන අතර, ඒ ආගම් ඇදහීමට ජනතාවට තිබෙන අයිතිය පිළිගන්නවා. එසේ තිබියෙදී, සජිත් ප්‍රේමදාසගේ කොන්ත්‍රාත්තුව භාර ගත් හාමුදුරුවන් වහන්සේලා කිහිප නමක් සහ තවත් කිහිප දෙනෙක් දිගින්දිගටම අසත්‍ය ප්‍රචාර ගෙන යනවා. මෙයට අදාළ එක පෝස්ට් එකක්වත්, එස්.එම්.එස්. එකක්වත් ෂෙයාර් කරන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි පෝස්ට් නිර්මාණය කරන අයට එරෙහිව දැනටමත් නීතිමය කටයුතු ආරම්භ කර තිබෙනවා. තවත් පැමිණිලි ප්‍රමාණයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා. ඒ වාගේම වීඩියෝ පට විකෘති ලෙස සංස්කරණය කරමින්, මුදාහරිමින් සිටිනවා. අපේ ඕනෑම ප්‍රතිපත්තියක් විවේචනය කළාට කමක් නැහැ. ඒ අයිතිය ජනතාවට තිබෙනවා. අප පිහිටුවන්නේ, භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ජනතාව වෙත උපරිම වශයෙන් තහවුරු කෙරෙන ආණ්ඩුවක්. සජිත් ප්‍රේමදාස, තුෂාර ඉඳුනිල්, තිස්ස අත්තනායක, සුජීව සේනසිංහ, පාහියංගල ආනන්ද සාගර හිමි වැනි අය ගෙන යන කූට ප්‍රකාශ සහ කූට ලේඛන සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශවලට අපි කර තිබෙන පැමිණිලි පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ආකාරය ගැන අප විමසිල්ලෙන් සිටිනවා.

මේ රටේ ජනතාව එක කොඩියක් යටට එකතු වී අලුත් දේශපාලන ගමනක් යන්න සූදානම් වීම නොඉවසන පිරිස් දෙමළ සහ මුස්ලිම් ජනතාව රවටමින් සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ඒ ලෙසම ක්‍රියාත්මක කරන බවට සමහර කණ්ඩායම් සමහර තැන්වලදී පොරොන්දු දී තිබෙනවා. දකුණට ඇවිත්, එවැනි පොරොන්දු වහන්න ආගම් සම්බන්ධ ප්‍රශ්නයක් ඇති කරන්න උත්සාහ කරනවා. බෞද්ධ ජනතාව වාගේම මුස්ලිම් ජනතාව තුළත් භීතියක් ජාතික ජන බලවේගයට එරෙහිව ඇති කරන්න පත්‍රිකා බෙදමින්, උත්සාහ කරන කණ්ඩායම් පිළිබඳව අපට වාර්තා වී තිබෙනවා. රාවුෆ් හකීම්ට එරෙහිව එන්තරවාසියක් යැවුවා. ඉන් පසුව ඔහුගේ ප්‍රකාශය නිවැරදි කර ගන්න උත්සාහ කර තිබුණා. නමුත්, සමහර කණ්ඩායම් මුස්ලිම් පල්ලි ළඟ අපට එරෙහිව පත්‍රිකා බෙදීමට සූදානම් වීමේ තොරතුරු ලැබී තිබෙනවා.

මේ බංකොලොත් දේශපාලනයට රටට අනාගතයක් උදා කරන්න බැහැ. අපට ලෝකයේ අත්පත් කරගත යුතු තැනක් තිබෙනවා. ඒ වෙනුවෙන් ආර්ථික ප්‍රශ්නයට සාධාරණ පිළිතුරක් ලබා දී රට ගොඩනඟන්න ඕනෑ. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ ගෝලබාලයෝ රොත්ත තමන්ගේ ප්‍රතිපත්ති ජනතාවට පැහැදිලි කරනවා වෙනුවට අපට එරෙහිව මඩ, අවලාද ප්‍රචාර දියත් කරමින් සිටිනවා. තව පැත්තකින් සැප්තැම්බර් 21 අනුර සහෝදරයා ජයග්‍රහණය කළාම රටේ තෙල්, ගෑස්, භාණ්ඩ හිඟයක් ඇති වන බවට ප්‍රචාරය කරන්නට උත්සාහ කරමින් සිටිනවා. නමුත්, මෙවැනි ප්‍රචාරවලට කිසිසේත් ම බිය නොවන ලෙස අවධාරණයෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි ඡන්දයක් වැනි අවස්ථාවල ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් විසින් තමන්ගේ මෙරට තුළ සිටින පුරවැසියන් වෙත සාමාන්‍යයෙන් නිකුත් කරනු ලබන නිවේදනයක් තිබෙනවා. තමන්ගේ රටවල පුරවැසියන් විදේශ රටවල සංචාරයේ යෙදෙන අවස්ථාවල දී සංචාරක ගමනාන්තයේ රටවල් තුළ මැතිවරණ පවත්වනවා නම්, ඔවුන් සාමාන්‍යයෙන් මෙවැනි නිවේදන නිකුත් කරනවා.

ප්‍රචාරක කටයුතුවලට ඉතිරි වී තිබෙන අවසන් පැය 36 සහ ඉන් පසුව ඡන්දය ආරම්භ කිරීමට පවතින පැය 48කට අඩු කාලසීමාව තුළ පරාජය හමුවේ වියරුව හැසිරෙන පිරිස් ගෙන යන ප්‍රචාර පිළිබඳව අවදියෙන් ඉන්න. අතීතයේ දේශපාලන අත්දැකීම් සමඟ හොඳින් කල්පනා කර මේ දේශපාලන බල හුවමාරුව සාමකාමීව සිදු කරන්න එක් වන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්

ඊයේ දිනයේ සජිත් ප්‍රේමදාස මහතා රූපවාහිනී නාලිකාවක් සමඟ පැවැත්වූ සජීවී සාකච්ඡාවෙන් මතු වූ කරුණු පිළිබඳව ඔබේ අදහස මොකක්ද?

සජිත් ප්‍රේමදාස සාමාන්‍යයෙන් සාකච්ඡා මඟහැර යන කෙනෙක්. ඡන්දයට පෙරදී පවා හැම රූපවාහිනී නාලිකාවකම පක්‍ෂ නායකයන් ඇතුළු දේශපාලන නියෝජිතයන් ගෙන්වාගෙන සම්මුඛ සාකච්ඡා පවත්වනවා. අපේ පක්‍ෂයේ නායක, අනුර කුමාර සහෝදරයා මෙම වැඩසටහන්වලට ඇති තරම් සහභාගී වී තිබෙනවා. මාධ්‍යවේදීන් නඟන ප්‍රශ්නවලට සෘජුව පිළිතුරු දී තිබෙනවා. කොළ කෑල්ලක්වත් අතේ නැතිව හොඳ මතක ශක්තියකින්, සංයමයකින් පිළිතුරු ලබා දීම පිළිබඳව විශේෂ අගැයීමක් සමාජයේ පවතිනවා. එවැනි අවස්ථාවකට සජිත් ප්‍රේමදාස සහභාගී වෙනවා අපි දැක්කේ නැහැ. සමහර මාධ්‍ය ආයතන ඔහුට ආරාධනා කර තිබුණත්, ඒවායින් මඟහැර සිටියා. ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා අතර විවාදයක් පවත්වමු කියලා සූදානමක් තිබුණා. ජාතික ජන බලවේගය පැත්තෙන් එය සම්බන්ධීකරණය කළ මා දින ගණනාවක් සජිත් ප්‍රේමදාස මහතාට ලබා දුන්නා. අප දින අටක් ඔහුට ලබා දී තිබුණා. එම දින අටම ප්‍රතික්‍ෂේප කළා. අවසානයේ දී ඔහු අපට දිනයක් ලබා දෙන ලෙස දැන්වූවා. ඒ ආවෙත් නැහැ. අපට ආරාධනා කළ නාලිකාවකට ගොස් සජිත් ප්‍රේමදාස නැතිව අපට ඒ සාකච්ඡාව තියන්න සිදු වුණා. සජීවී සාකච්ඡාවලට ඔහු බයයි. ගෝඨාභය රාජපක්‍ෂටත් ඔය වැනි තත්වයක් තිබුණා. සමාජ මාධ්‍යවල මෙන්ම රූපවාහිනී මාධ්‍යවල එවැනි සාකච්ඡා ගණනාවක් ඉදිරියේදීත් පැවැත්වෙනවා.

Show More

නබිතුමන් මෙන් වෙනස් ලෙස සිතීමේ ආරම්භකයින් වෙමු!

(-Colombo, September 16, 2024-) ඉස්ලාම් ආගමේ නිර්මාතෘ මහම්මද් නබිතුමාගේ උපන් දිනය හෙවත් මිලාද් උන් නබි දිනය අදට (16) යෙදී තිබේ. එය උත්සවාකාරයෙන් සමරනු ලබන ශ්‍රී ලාංකේය ඉස්ලාම් බැතිමතුන්ට ජාතික ජන බලවේගයේ සුබ පැතුම් පිරිනමනු කැමැත්තෙමු. දුර්වලව, බලවත් ගෝත්‍රවල යටත්වීම්වලට ලක්වෙමින් අරාබිකරය පුරා විසිරී පැවති කුඩා කුඩා පාලන ප්‍රදේශයන් එක් කරමින් අරාබියට ශක්තිමත් රාජ්‍යයක් බිහි කළේ […]

(-Colombo, September 16, 2024-)

ඉස්ලාම් ආගමේ නිර්මාතෘ මහම්මද් නබිතුමාගේ උපන් දිනය හෙවත් මිලාද් උන් නබි දිනය අදට (16) යෙදී තිබේ. එය උත්සවාකාරයෙන් සමරනු ලබන ශ්‍රී ලාංකේය ඉස්ලාම් බැතිමතුන්ට ජාතික ජන බලවේගයේ සුබ පැතුම් පිරිනමනු කැමැත්තෙමු.

දුර්වලව, බලවත් ගෝත්‍රවල යටත්වීම්වලට ලක්වෙමින් අරාබිකරය පුරා විසිරී පැවති කුඩා කුඩා පාලන ප්‍රදේශයන් එක් කරමින් අරාබියට ශක්තිමත් රාජ්‍යයක් බිහි කළේ නබිතුමාය. එවැන්නක් කළ හැකි යැයි කිසිවෙකුත් විශ්වාස නොකළ යුගයක වෙනස් ලෙස සිතූ නබිතුමා, ඒ වෙනස් ලෙස සිතීමේ ආරම්භකයා මෙන්ම එය ක්‍රියාවට නැගූ ආගමික නායකයෙක්ද විය.

සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව සහෝදරත්වයේ නාමයෙන් එකට අත්වැල් බැඳගනිමින් නව වෙනසක් අබිමුව සිටින මොහොතක වෙනස් ලෙස සිතමින්, රටේ සාම්ප්‍රදායික ගමන වෙනස් කරලන්නා වූ ඒ සැබෑ වෙනස සමග පෙළගැසීමට මිලාද් උන් නබි දිනය ශ්‍රී ලාංකේය ඉස්ලාම් බැතිමතුන්ට ශක්තිය සහ ධෛර්ය ගෙන දෙනු ඇතැයි අපි සුභපතමු.

අනුර කුමාර දිසානායක

ජනාධිපති අපේක්ෂක

ජාතික ජන බලවේගය

2024.09.16

Show More

“සමාජය සෞඛ්‍යසම්පන්න කර ගැනීමේ වගකීම රජය භාරගෙන තිබෙනවා” -ළමා රෝග විශේෂඥ වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය බස්නායක මුදියන්සේ-

(-ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක සහෝදරයාට සහයෝගය පළ කරන වෛද්‍යවරුන්ගේ විශේෂ මාධ්‍ය හමුව – 2024.09.16-) මේ අවස්ථාවට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් ගණනාවක් සම්බන්ධ වී සිටිනවා. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක, අනුර කුමාර දිසානායක ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැන සමාලෝචනයක් කරන්න අපි අදහස් කරනවා. ජනාධිපතිවරණය පවත්වන්නේ අපේ රට ඉතාමත්ම අර්බුදකාරී අවස්ථාවක […]

(-ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක සහෝදරයාට සහයෝගය පළ කරන වෛද්‍යවරුන්ගේ විශේෂ මාධ්‍ය හමුව – 2024.09.16-)

Basnayaka Mudiyanse At NPP Doctors Press Conference

මේ අවස්ථාවට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් ගණනාවක් සම්බන්ධ වී සිටිනවා. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක, අනුර කුමාර දිසානායක ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැන සමාලෝචනයක් කරන්න අපි අදහස් කරනවා. ජනාධිපතිවරණය පවත්වන්නේ අපේ රට ඉතාමත්ම අර්බුදකාරී අවස්ථාවක තිබෙන පසුබිමකයි. ඒ අතර තමයි, ජාතික ජන බලවේගය මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙන්නේ. මෙහි සෞඛ්‍යය පිළිබඳව වඩා පුළුල් අවධානයක් යොමු කර තිබෙනවා. රටේ පුරවැසියන් සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දුන් අවස්ථාවක ගෞරවයකින් යුක්තව නැවත සුවපත් ජීවිතයක් කරා පැමිණීමේ අභිලාෂයෙන් මේ ප්‍රතිපත්ති මාලාව සකස් කර තිබෙනවා. ලෙඩ රෝගවලින් සුව වීමෙන් එහාට ගිය ශාරීරික, මානසික, ආධ්‍යාත්මික මෙන්ම පාරිසරික සෞඛ්‍යසම්පන්න බව මුළුමහත් ජන සමාජයටම අත්කර දීම වෙනුවෙන් මේ ප්‍රතිපත්ති මාලාව සකස් කර තිබෙනවා.

රෝගීන්ට සැලකීමේ ක්‍රියාවලියේදී සමානාත්මතාව තහවුරු කිරීම මූලික අරමුණක් කරගෙන තිබෙනවා. සමාජය සෞඛ්‍යසම්පන්න කර ගැනීමේ වගකීම රජය භාරගෙන තිබෙනවා. දැනට සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉමහත් කැපවීමකින් යුක්තච සුවිශේෂී සේවයක් සිදු කරනවා. එම ක්‍රියාවලිය ක්‍ෂේත්‍රයේ යෙදී සිටින තම තමන් විසින්ම සිදු කරගත යුතු වෙනවා. ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩලයේ ශක්‍යතාවන් සොයා බලා පුහුණු කිරීම් අවශ්‍ය වෙනවා. දියුණු වන නවීන ලෝකයත් එක්ක නව්‍යකරණය අවශ්‍යයි. එහි දී පර්යේෂණ හා සංවර්ධන දත්ත අවශ්‍යයි. බටහිර වෛද්‍ය ක්‍රමයට පමණක් නොව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට පවා නූතන තාක්‍ෂණය මුසු කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම සංචාරක ව්‍යාපාරය කෙරෙහිත් ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවත් හඳුනාගෙන තිබෙන බව පැහැදිලියි. බටහිර වෛද්‍ය ක්‍රමය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් දෙකම මහජනයා වෙනුවෙන් ක්‍රියාත්මක කරමින්, වඩාත් සුවපත් සෞඛ්‍යසම්පන්න ජන සමාජයක් ගොඩනැඟීම කෙරෙහි සෞඛ්‍ය සේවය යොදා ගැනීම ඉලක්ක කරගෙන තිබෙනවා.

Jayasundara Bandara At NPP Doctors Press Conference

“බංකොළොත් බවින් රට මුදාගැනීමට ඵලදායීතාවෙන් යුත් ප්‍රජාවක් රට තුළ සිටිය යුතුයි”
-විශ්‍රාමික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර-

අපේ රටේ හොඳ සෞඛ්‍ය සේවාවක් නැතුවා නොවෙයි. කළමනාකරණයේ දුර්වලකම් නිසා අඩුපාඩුකම් තිබෙනවා. සෞඛ්‍ය සේවාව විධිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු හඳුනාගෙන තිබෙනවා. මූලිකම දේ තමයි, වගවීම. රජයක් රටට, ජනතාවට සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යන්නේ ඔවුන් ගෙවන බදු මුදල්වලින්. ජාතික මට්ටමේ තීන්දු තීරණ ගන්න, සැලැසුම් ක්‍රියාත්මක කරන්න පළාත් හා ප්‍රාදේශීය මට්ටමෙන් සිටින කළමනාකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ජනතාවට වග වෙනවාද යන්න විපරම් කිරීම අත්‍යවශ්‍යයි. ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන්නේ ප්‍රතිපත්ති මාලාවක් වුවත්, එය සංවර්ධනය කර ගනිමින්, ඉදිරියට ගෙන යාම පිළිබඳවත් සඳහන් වීම ඉතාම වැදගත්. විවිධ මට්ටම්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිරන්තර ක්‍රියාමාර්ග තුළින් කාලානුරූපව වෙනස් විය යුතු ආකාරයත් පැහැදිලි කර තිබෙනවා. මේ වන විට රාජ්‍ය සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක වුවත්, ජනතාව මේ වෙනුවෙන් සෘජුවම තමන්ගේ වියදම්වලින් විශාල පංගුවක් දරන බව හෙළි වී තිබෙනවා. ඊට හේතු වී තිබෙන්නේ රජය සෞඛ්‍ය සේවාව සඳහා වෙන් කරන මුදල්වලින් නිසි ආකාරයෙන් ප්‍රයෝජනයක් සිදු නොවීමයි. නොයෙක් ගැටලු නිසා සියයට 50ක් පමණ පිළිබඳව ප්‍රශ්නගතයි. එය වළක්වා ගන්න නම්, සෞඛ්‍ය සේවයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ගැඹුරු සුපරීක්‍ෂණයක් අවශ්‍යයි. සෞඛ්‍යය යනු හුදෙක් රෝගවලට ප්‍රතිකාර කිරීමෙන් එහා ගිය කායික, මානසික, ආධ්‍යාත්මික මෙන්ම පාරිසරික යන ආනුෂාංගික සමස්තයක් හැටියට හඳුනාගෙන තිබීම අතිශයින්ම ප්‍රශස්ත දැක්මක්. සෞඛ්‍ය සේවාව කියන්නේ ඖෂධ මිල දී ගැනීම, රෝහල් ඉදි කිරීම, වෛද්‍යවරුන් බඳවා ගැනීම පමණක්ම නෙමෙයි.

අපේ රටේ රෝහල්ගත වන්නන්ගෙන් වැඩි පිරිසක් මාරක අනතුරුවලට ලක් වන්නන්. ඒ නිසා අදාළ පාර්ශ්වකරුවන් සමස්තයක් ලෙස හඳුනාගෙන තිබීම අතිශයින් වැදගත්. කෘෂිකර්මය, ආහාර නිෂ්පාදනය, අධ්‍යාපනය ඇතුළු සියලු අංශවල යහපැවැත්ම ආරක්‍ෂා කිරීම සෞඛ්‍යය කෙරෙහි ඉතාම වැදගත්. බංකොලොත් තත්වයට හෙළා තිබෙන අපේ රට ඉන් මුදාගැනීම සඳහා නිෂ්පාදනය වැඩි කිරීම, ඵලදායීතාව වැඩි කිරීම අත්‍යවශ්‍යයි. මේ කටයුතු වෙනුවෙන් ඵලදායීතාවෙන් යුත් ප්‍රජාවක් රට තුළ ඉන්නම ඕනෑ. රෝගී වන තුරු බලා සිට රෝගයට බෙහෙත් දීම පමණක් ප්‍රමාණවත් නැහැ. සෞඛ්‍ය ප්‍රවර්ධනය මගින් මිනිසුන් ලෙඩ වීමට පෙර තීරණාත්මක සාධක ප්‍රශස්ත ලෙස කළමනාකරණය කර ගැනීම අවශ්‍යයි. ඒ වාගේම ප්‍රවාහනය, මාර්ග නඩත්තුව වැනි කටයුතු තුළින් යහපැවැත්ම වාගේම අවදානම කල්තියා හඳුනා ගැනීම, නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වෙනුවෙන් මානව සම්පත මෙහෙයවීමේදී අතිශයින්ම වැදගත්. ලංකාවේ අනාගතය රැඳී පවතින්නේ ඒ මානව සම්පත මතයි. කල්තියා හඳුනා ගැනීම වාගේම බෝ නොවන රෝග, බෝ වන රෝග පිළිබඳව නිශ්චිත අවබෝධයක් අවශ්‍යයි. සෞඛ්‍යය යනු සැපයීමක් නොව ප්‍රජාව තුළින්ම ළඟා කරගත යුතු දෙයක්. ඒ අනුව මිනිසුන්ගේ අයිතියක් පමණක් නොවෙයි, ඔවුන්ගේ දායකත්වය මගින් ගොඩනඟාගත යුතු ක්‍රියාවලියක් බව මෙම ප්‍රතිපත්ති රාමුවෙන් තහවුරු වී තිබෙනවා. ආහාර පනතෙන් ආවරණය කර තිබෙන නීති තුළින් රිංගා ගොස් සිදු කරනු ලබන කටයුතු නිසා සෞඛ්‍යය සම්බන්ධයෙන් පැනනැඟී තිබෙන ගැටලු විසඳාගෙන නිරෝගී, ඵලදායී ශ්‍රී ලාංකික ප්‍රජාවක් නිර්මාණය කළ හැකියි.

Arosha Vidyabhusahana At NPP Doctors Press Conference

“සෞඛ්‍ය පද්ධතිය ගුණාත්මකව ක්‍රියාත්මක කිරීමේ වගකීම රජයට භාරගෙන තිබීම සාධනීයයි”
-බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත්හි විශේෂඥ වෛද්‍ය අරෝෂා විද්‍යාභූෂණ-

සෞඛ්‍ය සේවයක ඉතාම අත්‍යවශ්‍ය අංගයක් තමයි, ප්‍රාථමික සෞඛ්‍ය සේවය. දියුණු රටවල ප්‍රජාව රෝගී වීමට පෙර අවදානම් සහිත අය හඳුනා ගැනීම, රෝග වළක්වා ගැනීම ආරම්භක පියවර ලෙස පවතිනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සෞඛ්‍යය පිළිබඳව පුළුල් අවධානයක් යොමු කරමින්, අංශ ගණනාවක් හඳුනාගෙන තිබීම විශිෂ්ටයි. දැනට පවතින සෞඛ්‍ය සේවයේ ප්‍රධාන දුර්වලකමක් තමයි, රෝගියා නිසි තැනට යොමු කරවීමට නොහැකි වීම. ද්විතීයික සහ තෘතීයික මට්ටම්වල ප්‍රතිකාර සඳහා රෝගීන් යොමු කරවීමට අවධානය යොමු කර තිබීම ඉතාමත් සාධනීයයි. ඉන් පසුව රෝගියා අනුව වර්ගීකරණය කරමින්, පිළිකා, වකුගඩු වැනි විශේෂ සෞඛ්‍ය සේවාවලට යොමු වන අය නිවැරදිව කළමනාකරණය කර ගැනීම අවශ්‍යයි. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින්, සමස්තයක් ලෙස දැනට සෞඛ්‍ය සේවය සඳහා වෙන් කරනු ලබන දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.5%ක් පමණ වන ප්‍රමාණය ක්‍රමානුකූලව 5%ක් පමණ දක්වා ගෙන යාමට සැලැසුම් කිරීම ඉතාමත්ම සාධනීයයි. ඒ වාගේම රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දී වැඩිහිටි බවට පත්ව සිටින පුරවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කරමින්. නිදහස් ජීවිතයක් ගත කරන්න අවස්ථාව සලසා දීමේ දැක්මක් මේ තුළ තිබෙනවා. රෝගියා මූලික කර ගත් සෞඛ්‍යසේවා පද්ධතියක් ගුණාත්මකව ක්‍රියාත්මක කිරීමේ වගකීම රජයට භාරගෙන තිබීම ඉතාමත් ම සාධනීයයි. මේ ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියාමාර්ග ගැනීමේ දී ක්‍ෂේත්‍රයේ අදහස් ලබාගෙන සාර්ථක ලෙස ඉදිරියට ගෙන යා හැකි බව පැහැදිලියි.

Indika Karunarathne At NPP Doctors Press Conference

“සෞඛ්‍ය ප්‍රතිපත්තියෙන් රෝගීන්ට මෙන්ම රටේ සමස්ත ජනතාවටම ලස්සන ජීවිතයක් ලැබෙනවා”
-කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාතිලක-

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව පළමු මහාචාර්යවරයා මෙන්ම ආසියා – ශාන්තිකර කලාපයේ සෞඛ්‍ය අධ්‍යයන සංසදයේ මහ ලේකම්වරයා සහ එම තනතුරට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා හැටියට මම මෙම අවස්ථාවට සහභාගී වී සිටිනවා. දශක දෙකකට ආසන්න කාලයක් මෙම කලාපය තුළ මා ලැබූ අත්දැකීම් සමඟ සංසන්දනය කිරීමේදී ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව යම් විශ්ලේෂණයක් සිදු කළා. ඒ වාගේම එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බව කල්පනා කළා. ශ්‍රී ලංකාව අදටත් මානව සංවර්ධන දර්ශකයේ ජයග්‍රහණ ලබාගෙන තිබෙන්නේ සෞඛ්‍ය, අධ්‍යාපන යන ක්‍ෂේත්‍ර නිසයි. නමුත්, මේ ක්‍ෂේත්‍රවලදී ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන ජයග්‍රහණ ආපස්සට හරවන පියවර ගණනාවක් ගෙන ඇති බව පැහැදිලියි. මෙය වහාම නැවැත්විය යුතු තත්වයක්. රටකට තිබෙන වැදගත්ම ආයෝජනය සෞඛ්‍යය බව බුදුන් වහන්සේ “ආරෝග්‍යා පරමා ලාභා” යනුවෙන් කළ දේශනාවෙන් පැහැදිලි වෙනවා. අධ්‍යාපනය සහ සෞඛ්‍යය නැති නම්, සමාජයට කිසිම දියුණුවක් ලබා ගන්න බැහැ. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වැදගත්ම අංගයක් වන්නේ මානව සම්පත බව කාටත් පැහැදිලියි. ඒ වෙනුවෙන් සෞඛ්‍ය වෘත්තිකයන් අපට අවශ්‍යයි වාගේම තෘප්තිමත් සෞඛ්‍ය වෘත්තිකයන් සිටීමත් අත්‍යවශ්‍යයි. නමුත්, ඔවුන්ගේ තෘප්තිමත්භාවය පැත්තෙන් බැලුවාම පවතින්නේ ඛේදනීය තත්ත්වයක්. අද සියලුම සෞඛ්‍ය වෘත්තිකයන් රට අත්හැර යනවා. මේ තත්වය තුළ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මානව සම්පත් කළමනාකරණය සිදු විය යුත්තේ කොහොම ද කියලා සලකා බැලිය යුතුයි.

ඒ වෙනුවෙන් ගත යුතු මූලික පියවර හතරක් තිබෙනවා. අධ්‍යාපනය, නියාමනය, මූල්‍යමය සහ මූල්‍යමය නොවන සහයෝගය ලබා දීම, වෘත්තීයමය සහ පෞද්ගලික මට්ටමේ දියුණුවට ලබා දෙන සහයෝගය තුළින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මානව සම්පත් කළමනාකරණය විද්‍යාත්මකව සිදු කරනවා. අධ්‍යාපනයේදී ප්‍රාථමික තත්වයෙන් පසුව සෞඛ්‍ය අධ්‍යාපනය ඉතා ඉහළ මට්ටමේ ගුණාත්මකභාවයකින් යුතුව ලබා දීම අවශ්‍යයි. ඒ වාගේම යාවත්කාලීන කරමින්, ජාත්‍යන්තර මට්ටමින් පවත්වාගෙන යාම අවශ්‍යයි. ඒ වාගේම නියාමනය සිදු කළ යුත්තේ, රජයේ ස්වාධීන, දේශපාලන බලපෑම්වලින් තොර වූ ක්‍රියාවලියක් තුළින්. ඒ වාගේම මූල්‍යමය සහ මූල්‍යමය නොවන ක්‍ෂේත්‍රවලින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය තෘප්තිමත්ව තබා ගැනීම ඉතාම වැදගත්. පසුගිය කාලයේ පනවන ලද ඉතාමත් අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා වෛද්‍යවරුන් දැඩි පීඩනයකට ලක්ව රට හැර යන මට්ටමට පත් වුණා. දුෂ්කර පළාත්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්ට නිසි පරිදි නේවාසික පහසුකම් පවා ලබා දී නැහැ. ඒ වාගේම අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන්ටද අවශ්‍ය මූලික පහසුකම්, දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් ලබා දීම අවශ්‍යයි. ඒ වාගේම වෛද්‍ය ක්‍ෂේත්‍රය කියන්නේ දිනෙන් දිනම යාවත්කාලීන වන දැනුමක් අවශ්‍ය ක්‍ෂේත්‍රයක්. ඔවුන්ගේ වෘත්තීයමය සහ පෞද්ගලික සංවර්ධනයට නව දැනුම සහ තාක්‍ෂණය යොදා ගනිමින්, ඉදිරියට යා යුතුයි. විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණුවට සුදුසු වෙනත් ආයතන වාගේම කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින්, වෘත්තීය සහ පෞද්ගලික ජීවිත ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීම අවශ්‍යයි. මා සඳහන් කළ මේ මූලික කරුණු එකට ගමන් කරන ප්‍රතිපත්තිය ජාතික ජන බලවේගය විසින් පිළිගෙන තිබෙනවා. රෝගීන්ට පමණක් නොවෙයි, රටේ සමස්ත ජනතාවට පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගත කරන්න මේ තුළින් ඉඩකඩ සැලැසෙනවා.

Kithsiri Senanayake At NPP Doctors Press Conference

“සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ගැඹුරින් සලකා බලා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර තිබෙනවා”
-රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, විශේෂඥ ශල්‍ය වෛද්‍ය කිත්සිරි සේනානයක-

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව පොහොසත් රටක් ඇති කරන්න ඉවහල් වන මූලික සාධකය සෞඛ්‍යය. මේ වෙනුවෙන් ඩිජිටල්කරණය සහ නවෝත්පාදනය යොදා ගැනීම අවශ්‍යයි. ලෝකයේ පළමුවැනි රෝහල මිහින්තලේ පිහිටා තිබූ බවත්, ඒ කාලයට සාපේක්‍ෂව දියුණු සෞඛ්‍යයක් පැවැති බවත් තහවුරු වී තිබෙනවා. අද වෙන කොට අප යම් කිසි සෞඛ්‍ය දර්ශක මත සිටියත්, දියුණු රටවල මට්ටම සමඟ බැලීමේදී ගැටලු රැසක් පවතිනවා. විශේෂයෙන්ම ඩිජිටල්කරණය සියලුම ක්‍ෂේත්‍රවලට අවශ්‍යයි වාගේම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අතිශයින්ම වැදගත්. විදේශ රටවල අත්දැකීම් තිබෙන මෙතැනට රැස් වී සිටින බොහෝ වෛද්‍යවරුන් අපේ රටේ තත්වය ගැන රෝගියා ඇතුළත් කර ගැනීමේ සටහනේ සිටම කනගාටුදායක තත්වයක සිටින බව අත්දැකීමෙන් දන්නවා. ඩිජිටල් දත්ත පද්ධතියකට රෝගියකු ඇතුළත් කර ගැනීම තුළින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අනවශ්‍ය පිරිවැය අඩු කර ගැනීම වාගේම දිගුකාලීනවත් ඉතාම වැදගත්. මම සේවය කරන අනුරාධපුර ශික්‍ෂණ රෝහලට පදවිය, කැබිතිගොල්ලෑව වැනි ඈත ප්‍රදේශවල ජනතාව පැමිණෙනවා. සමහර විට විශේෂඥ වෛද්‍යවරයකු හමු වන්න හැතැප්ම සියයක් පමණ එන්න සිදු වෙනවා. නමුත්, ඩිජිටල්කරණය මඟින් ඈත ගම්වල ඉන්න අම්මා, තාත්තාලට වේගයෙන් අඩු පිරිවැයක් යටතේ සෞඛ්‍ය පහසුකම් ලබා දිය හැකියි. තව පැත්තකින් ඖෂධ ගැනීමට පවතින දිගු පෝලිම් අවසන් කිරීමට ඩිජිටල්කරණය අතිශයින් වැදගත්. වකුගඩු රෝගීන්, තැලසීමියා රෝගීන් කොපමණ ඉන්නවා දැයි නිශ්චිතව දන්නේ නැහැ. සෞඛ්‍ය ප්‍රගමණය වෙනුවෙන් මේ දත්ත ජාලගත කර තිබීම අතිශය වැදගත්. මෙවැනි කරුණු විශ්ලේෂණාත්මකව ගැඹුරින් සලකා බලා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර තිබෙනවා. වෙනත් ප්‍රතිපත්ති ප්‍රකාශනවල කාඩ් එකක් ලබා දී ප්‍රතිකාර ගැනීමේ ක්‍රමයට සීමා වී ඇති බව පෙනෙනවා. සෞඛ්‍යය සම්බන්ධයෙන් නව්‍යකරණය ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. ආර්ථික වශයෙන් රටක් වැටී තිබෙන අවස්ථාවක නවෝත්පාදනය අතිශයින් ම වැදගත්.

NPP Doctors Press Conference Attendees
Show More

“සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ අපි ඔක්කොම එකතු වෙලා ඒ ලස්සන රට ගොඩනගමු” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – තලවාකැලේ – 2024.09.15-) මෙතෙක් කල් මේ රටේ පාලකයෝ ඡන්ද ගත්තේ කොහොමද? කන්න දිලා, බොන්න දීලා, බය කරලා ඡන්දෙ ගන්නවා. විශේෂයෙන් වතුකරයේ ජනතාව බය කරලා ඡන්දය ගන්නවා. යටත් කරලා ඡන්දය ගන්නවා. මේක අපි වෙනස් කරන්න ඕන නැද්ද? මේ කඳුකරයේ ජනතාව හැමදාමත් යටත් වෙලා ජීවත් වෙන්න ඕනෑද? බයේ ජීවත් […]

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – තලවාකැලේ – 2024.09.15-)

Anura Kumara Dissanayake At The Victory Rally Of Thalawakale

මෙතෙක් කල් මේ රටේ පාලකයෝ ඡන්ද ගත්තේ කොහොමද? කන්න දිලා, බොන්න දීලා, බය කරලා ඡන්දෙ ගන්නවා. විශේෂයෙන් වතුකරයේ ජනතාව බය කරලා ඡන්දය ගන්නවා. යටත් කරලා ඡන්දය ගන්නවා. මේක අපි වෙනස් කරන්න ඕන නැද්ද? මේ කඳුකරයේ ජනතාව හැමදාමත් යටත් වෙලා ජීවත් වෙන්න ඕනෑද? බයේ ජීවත් වෙනවාද? හඟුරන්කෙත ජනතාව එස්.බී.ට බයේ ජීවත්වෙන්න ඕනෑද? කඳුරට වතුකරයේ ජනතාව තොන්ඩමාන්ලාට, දිගම්බරන්ලාට බයේ ජීවත් වෙන්න වෙලා තිබෙනවා. අපේ රටට ඕනෑ ජනතාව පාලකයාට බයේ ජීවත් වෙන රටක් නොවෙයි. ජනතාව ගැන හිතලා ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකරමින් රට පාලනය කරන ආණ්ඩුවක්, පාලනයක් දැන් අපිට ඕනෑ. නිදහස් ජනතාවක් අපි ගොඩනඟන්න ඕනෑ. එනිසා මේ සැප්තැම්බර් 21 වැනිදා අපි හොඳ තීන්දුවක් ගනිමු. දැන් රටේම ජනතාව ලැහැස්තිවෙලා ඉන්නේ එම තීන්දුව ගන්න.

අපේ රටේ ආණ්ඩු හැදුණේ කොහොමද? කඳුකරයේ නායකයන්ගෙන් සහාය ගන්නවා. නායකයන්ට අමාත්‍ය ධුර දෙනවා. නායකයන්ට කප්පම් දෙනවා. මුදල් දෙනවා. නායකයා ඇවිල්ලා ජනතාව රවට්ටනවා. හැබැයි දැන් රටේ ජනතාව අවදිවෙලා. දකුණු පළාතේ දශලක්ෂ ගණන් ජනතාව ජාතික ජන බලවේගය වටා එකතු වෙලා. ඒ වගේම නැගෙනහිර මුස්ලිම් ජනතාව දහස් ගණනක් අද ජාතික ජන බලවේගය වටා එකතු වෙලා. ඒ වගේම උතුරේ දෙමළ ජනතාවගේ විශ්වාසයත් අද ජාතික ජන බලවේගය වෙත හැරී තිබෙනවා. අපි අහනවා කඳුකර ජනතාව හැටියට මොකක්ද ඔබේ තීන්දුව? ඔව්, ඒතමයි ජාතික ජන බලවේගය දිනවන එක. හඟුරන්කෙත, වලපනේ, කොත්මලේ, නුවරඑළිය, මස්කෙළිය අපි ඉහළින්ම ජයග්‍රහණය කරන්න ඕනෑ. අද ඔබ මෙතනට එකතු වෙලා ඉන්නේ අරක්කු වීදුරුවටද? කෑම පාර්සලයටද? නැහැ. රටේ ප්‍රශ්න විසඳගන්න. අද පළමු වතාවට රටේ ජනතාව පොදු වුවමනාවක් මත එකතු වෙලා ඉන්නවා. මේක විශේෂ අවස්ථාවක්. රටේ ජනතාව අලුත් වෙනසක් වෙනුවෙන් පෙළගැසී ඉන්නවා.

The Victory Rally Of Thalawakale Crowd

අපි කාලාන්තරයක් තිස්සේ දරපු ප්‍රයත්නවල ප්‍රතිඵල මේ සැප්තැම්බර් 21 ලැබෙනවා සහතිකයි. වත්තේ ජීවත් වෙන ජනතාවගේ ජීවිත ගැන ටිකක් හිතලා බලන්න ඔවුන්ට ජීවත් වෙන්න සුදුසු ගෙයක් නැහැ. හරිහමන් වැසිකිළි පද්ධතියක් නැහැ. වත්තට යන්න පාරක් නැහැ. දරුවන්ට අධ්‍යාපනයක් නැහැ. ඔබලාගේ දරුවන්ට හරිහමන් ආහාර වේලක් නැහැ. බෙහෙත් ටිකක් ගන්න විදිහක් නැහැ. මුළු ජීවිතයම පීඩාවට පත්වෙලා. ඔබලා මේ විදියට ජීවත් විය යුතු මිනිස්සුද? නැහැ. මේක අපි වෙනස් කරන්න ඕනෑ. මෙතෙක් කල් හඳුනන ජනතාවගේ ආණ්ඩු නොවෙයි. උඩ සිටින නායකයන්ගේ ආණ්ඩු. ඒ ගොල්ලෝ රට පාලනය කළේ. තීන්දු ගත්තේ ඒ ගොල්ලන් වෙනුවෙන්.

වතුකරයේ දෙමළ නායකයන්ගේ දරුවන් මෙහෙ ඉගෙන ගන්නවාද? නැහැ. එක්කෝ කොළඹ ලොකු පාසල්වල. නැතිනම් පිටරට. වත්තේ දරුවට ඉගෙන ගන්න පාසලක් නැහැ. පොතපතක් ගන්න සල්ලි නැහැ. පහසුකම් නැහැ. ජීවිත නිකරුනේ විනාශවෙලා යනවා. මේක වෙනස් කරන්න තමයි අපි බලය ඉල්ලන්නේ. දැන් මේ ජනතාව දුක් කරදර වින්දා ඇති. අපි වතුකරයේ ජනතාව ඇතුළු රටේ සියලු ජනතාවගේම ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් හදමු. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යනු ජනතාව ගැන හිතලා ප්‍රශ්න විසඳන ආණ්ඩුවක්. අපි මේ රටේ පළමු වතාවට ගොඩනඟන්නේ ලොක්කන්ගේ ආණ්ඩු වෙනුවට ජනතාවගේ ආණ්ඩුවක්. අද මේ කඳුකර පළාත්වලත් කුඩු වසංගතය පැතිරිලා. කුඩුවලින් තොර මධ්‍ය කඳුකරයක් අපිට ඕනැ නැද්ද? කුඩුවලින් තොර රටක් අපිට ඕනෑ නැද්ද? ඕනෑ. කුඩු මර්දනය කරන්න බැරි ඇයි? කවුද නුවරඑළියට කුඩු ගේන්නේ. ගේන්නේ මේ පළාතේ දේශපාලකයන්. ඔයගොල්ලෝ පසුගියදා දැක්ක රූපවාහිනී වැඩසටහනකදී දිගම්බරනුයි, වේලුකුමාරයි හිටියා. දෙන්න කලින් හිටියේ එකම පක්ෂයේ. ඡන්දෙ ඉල්ලුවේ එකම පක්ෂයෙන්. දිගම්බරන් නුවරඑළියෙනුත්, වේලුකුමාර් මහනුවරිනුත් පාර්ලිමේන්තුවට ගියා. වේලුකුමාර් රනිල්ටත් දිගම්බරම් සජිත්ටත් සහාය දෙන්න තීන්දු කළා. දෙන්න ආව රූපවාහිනී විවාදයට. මොකද වුණේ. දිගම්බරන් මොකක්ද වේලුකුමාර්ට කිවුවේ? බාර් කුමාර් කිවුවා. වේලුකුමාර් දිගම්බරන්ට කිවුවේ මොකක්ද? කුඩු දිගා කිවුවා. ඇයි ඒ? ඒ ගොල්ලොම කියන විදිහට ඒ අය තමයි මේ මත්ද්‍රව්‍ය වෙළඳාමෙ ඉන්නේ. මෙහෙ විතරක් නොවෙයි, රටේම එහෙමයි. දේශපාලුවෝ තමයි රටේ මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපසින් ඉන්නේ. කුඩුවලින් අපේ ගම, අපේ රට, අපේ දරුවෝ බේරා ගන්න ඕනෑ නම්, අර බොරුවට දෙපැත්ත බෙදිලා මේ රටේ ජනතාව රවටන දේශපාලකයෝ පරාජය කරන්න ඕනැ. දිනවන්න ඕන ජාතික ජන බලවේගයයි. සහතිකයි, අපි කුඩුවලින් තොර රටක් හදනවා. මුළුමනින්ම කුඩු මර්දනය කරනවා. රටින් තුරන් කරනවා. දරුවන් ගැන බය නැතිව, සැකයක් නැතිව, මව්පියන්ට ඉන්න පුළුවන් රටක් අපි ගොඩනඟනවා. දරුවා කුඩු ගහනවා නම්, ඉගෙන ගන්නේ නැතිනම් මේ දේශපාලකයෝ කැමතියි. එතකොට තමයි, ඒ ගොල්ලන්ට රිසිසේ මේ රටේ මහජන ධනය කොල්ලකන්න පුළුවන් වෙන්නේ.

Anura Kumara Dissanayake Addressing The Victory Rally Of Thalawakale

මේ කඳුකරයේ ජීවත් වෙන ජනතාව දැනට අවුරුදු 200ක් වෙනවා ලංකාවට ඇවිල්ලා. ඒ සහෝදර ජනතාව කොහෙන්ද ආවේ කියලා දැන් අපි කතා කරලා වැඩක් තිබෙනවාද? තමිල්නාඩුවෙන් ආවාද? කේරලෙන් ආවාද කියලා කතා කරලා වැඩක් තියෙනවාද? දැන් ඔබ මේ රටේ ඉපදිලා තිබෙන්නේ. මේ රටේ දහදිය වගුරුවන්නේ. මේ රටට පොහොර වෙන්නේ. ඉතිං ඔබ ඉන්දියාවේ දෙමළ වෙන්නේ කොහොමද? ඔබ දෙමළ භාෂාව කතා කරන ශ්‍රී ලාංකික පුරවැසියන්. ඔබ මේ රටේ මිනිස්සු. ඔබ ඉන්දියාවට ගියහම කියනවා ලංකා දෙමළ කියලා. ලංකාවේ ඉන්න කොට කියනවා ඉන්දියාවේ දෙමළ කියලා. මේ අය අපේ ලංකාවේ පුරවැසියන්. රටේ ආර්ථිකයට හවුල් වෙනවා. මේ තේ වතු සාරවත් වුණේ ඔබලාගේ ශ්‍රමයෙන්. ඔබලාගේ මුතුන්මිත්තො තමයි මේ කඳුකරය වගා කරන්න පටන් ගත්තේ. ලෙඩ රෝගවලට ගොදුරුවෙලා, කන්න නැතිව ඒ මුතුන්මිත්තෝ මැරුණා. නැව්වලින් ගෙනල්ලා වෙරළට ගොඩවෙලා පාරවල් දිගේ කඳුකරයට පයින් ගේනකොට මඟ දිගේ මැරිලා වැටුණා. එහෙම දුක් විඳලා තමයි ඔබලා මේ රටේ පුරවැසියෝ වුණේ. අදත් ජීවිතයේ වෙනසක් නැහැ. පවුල් ලක්ෂ 1 1/2කට තමන්ගේ කියලා එක බිම් අඟලක් නැහැ. රටක ජීවත්වෙන මිනිස්සු බිම් අඟලක් නැතිව, නිවාසයක් නැතිව, වැසිකිළියක් නැතිව ඉන්නවා නම් විසඳන්න ඕනැ නේද ඒ ප්‍රශ්නය. ඔබලා මිනිස්සු නොවෙයිද? ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ සියලු පුරවැසියන්ගේ නිවාස ප්‍රශ්නයට විසඳුම් දෙනවා. ලබාදිය හැකි හැමතැනින්ම සුදුසු ඉඩම් අපි ඔබලාට ලබා දෙනවා. ඔබලාට වගාකරන්න, ගෙයක් හදා ගන්න, පවුලේ ඔක්කොම එකට ජීවත්වෙන්න පටන් ගන්න පුළුවන් ජීවිතයක් අපි ගොඩනගනවා. වත්තෙ දරුවට මේ ජීවිතයෙන් එළියට එන්න කරදරවලින් එළියට එන්න හොඳ අධ්‍යාපනයක් අපේ පාලනයක් යටතේ අපි ඔබේ දරුවාට සහතික වෙනවා.

මේ පළාත්වල දරුවන්ට තමන්ගේ දුප්පත්භාවයෙන් එළියට එන්න තිබෙන ප්‍රධාන පාර තමයි විධිමත් සහ නවීන අධ්‍යාපන පහසුකම් තිබෙන, ගුරු පුරප්පාඩු නැති පාසල් අපි මේ පළාත්වලටත් ලබා දෙනවා. හැම දරුවම බලා ගන්න ආණ්ඩුවක් හැම දරුවකුටම අධ්‍යාපනය තහවුරු කරන ආණ්ඩුවක් අපි ගොඩනගනවා. ඔබ මේ පළාතෙ රාජ්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමේදී භාෂාව නිසා දැඩි අපහසුතාවලට මුහුණදී තිබෙනවා. අපි හදන්නෙ තම තමන්ගෙ භාෂාවලින් රජය සමඟ ඕනෑම පුරවැසියෙකුට සමානව ගනුදෙනු කළ හැකි පාලනයක්. අපි මේ රටේ භාෂා ගැටලුවට විසඳුම් දෙනවා. දැන් ඔබ රජයේ කාර්යාලයක දෙමළ භාෂාවෙන් ලිපියක් යොමුකළොත් ඊට දෙමළ භාෂාවෙන් රාජකාරිය කරන්න පුළුවන් නිලධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා. එය කරන තුරු තාවකාලිකව ඒ සඳහා භාෂා පරිවර්තක නිලධාරීන් යොදවනවා. තමන්ගේ භාෂාවෙන් ආණ්ඩුවත් සමග ගනුදෙනු කිරීමේ අයිතිය අපි තහවුරු කරනවා එවිට තමයි ඔබලාට දැනෙන්නෙ ඔබලාත් මේ රටේ පුරවැසියො කියලා. ඒ විතරක් නොවෙයි ඔබලාට ජීවත්වෙන්න සරිලන ආදායම් මාර්ග ඕනෑ. අලුත් රැකියා අවස්ථා නිර්මාණය කරන්න ඕනෑ. කොළඹ ගෙවල්වල දරුවො බලා ගන්න එක, හෝටල්වල වේටර් වැඩ කරන එකද හැමදාම වතුකරයේ තරුණ තරුණියන්ගෙ රැකියාව විය යුත්තේ? ඔබට අලුත් උසස් රැකියාවලට යන්න මේ අධ්‍යාපන අවස්ථා පුළුල් කරන්න ඕනෑ. අලුත් රැකියා අවස්ථා හදන්න ඕනෑ. විශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය සංචාරක කර්මාන්තයට යෝග්‍ය දිස්ත්‍රික්කයක්. ඒවා ඇතුළෙ රක්ෂා හැදෙන්න ඕනෑ. අවුරුද්දට ලක්ෂ 40ක් සංචාරකයො ගේන්න අපි ඉලක්ක කර තියෙනවා. ඒ අය නුවරඑළියටත් ඒවි. අලුත් හෝටල් හැදේවි. නව විනෝදාංශ නිර්මාණය වේවි. කඳුකර ගොවියාට වගාවට අවශ්‍ය පහසුකම් වගේම තම නිෂ්පාදන සාධාරණ මිලකට අලෙවි කර ගැනීමටත් අස්වනු අපතේ යාම වළක්වාලීමටත් අවශ්‍ය සැලසුම් අපි සකස් කර තිබෙනවා.

Crowd The Victory Rally Of Thalawakale

වතුකරයේ ප්‍රධාන ප්‍රශ්නයක් වන මන්දපෝෂණය විශේෂයෙන් ගැබිණි මව්වරු මුහුණදී තිබෙන නීරක්තිය ආදී තත්වයන්ට පිළියම් යෙදීම සඳහාත්, වතුකරයේ පමණක් නොව මුළු රටේම එම තත්වයට පිළියම් සෙවීම සඳහාත් ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ අපි සැලසුම් කර තිබෙනවා. අපි ඔක්කොම එකතුවෙලා විනෝදයක් සහිත ලස්සන ජීවිතයක්, දරුවන්ට හොඳ අනාගතයක් සහිත රටක් හදමු. මේ 21වෙනිදා ජයග්‍රහණයෙන් පසු සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ අපි ඔක්කොම එකතු වෙලා ඒ ලස්සන රට ගොඩනගනවා සහතිකයි.

Show More