(-Colombo, March 31, 2025-) ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් මාසයක් පුරා උපවාස ශීලය රැක ඉන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු සමරනු ලබන ඊදුල් ෆිතර් උත්සවය ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් අවස්ථාවකි. ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති කුලුනු පහෙන් එකක් වන රාමසාන් උපවාසය පිළිබිඹු කරන්නේ ලෞකික ආශාවන්ගෙන් දුරස් වී පරිත්‍යාගය සහ අල්පේච්ඡත්වය සහිත පරමාදර්ශී පිළිවෙතක පිහිටීමේ […]
(-Colombo, March 31, 2025-)
ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් මාසයක් පුරා උපවාස ශීලය රැක ඉන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු සමරනු ලබන ඊදුල් ෆිතර් උත්සවය ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් අවස්ථාවකි.
ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති කුලුනු පහෙන් එකක් වන රාමසාන් උපවාසය පිළිබිඹු කරන්නේ ලෞකික ආශාවන්ගෙන් දුරස් වී පරිත්‍යාගය සහ අල්පේච්ඡත්වය සහිත පරමාදර්ශී පිළිවෙතක පිහිටීමේ වැදගත්කමයි. ලොව පුරා කුසගින්නෙන් පීඩා විඳින ජනයා කෙරෙහි පරිත්‍යාගශීලී වීමට මෙන්ම සිත දමනය කර ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමටත් මේ සමය මහඟු අවස්ථාවක් ලෙස ඉස්ලාමීය බැතිමත්හු සලකති.
සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තන රැසක් සමග දියුණු ශ්‍රී ලංකාවක් පිළිබඳ මේ රටේ ජනතාව තැබූ අපේක්ෂා මල්ඵල ගන්වමින් නිදහස, සමානාත්මතාව, සාමුහිකත්වය සහ මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩනැගීමට අප තබන පියවරේදී ඉස්ලාම් දහම තුළ වන මෙම ඉගැන්වීම් පරමාදර්ශයක් වනු ඇති බව මම විශ්වාස කරමි.
එසේම මහජන මුදල් සහ රාජ්‍ය දේපළ විනාශ කරන අශිෂ්ට දේශපාලන සංස්කෘතියක් වෙනුවට අල්පේච්ඡත්වය සහ පරිත්‍යාගය සහිත අනෙකාගේ සංවේදනා හමුවේ සංවේදී වන සහකම්පනීය දේශපාලන සංස්කෘතියක් සහ පුරවැසි සමාජයක් රට තුළ ගොඩනැගීමට අප දරන උත්සාහයේදී රාමසාන් සමයේ භාවිතය මහඟු ආදර්ශයක් සපයනු ඇත.
ආගමික සීමා අතික්‍රමණය කරමින් පොදු මිනිසත් බව සහ සාමුහිකත්වය ආමන්ත්‍රණය කරන්නා වූද, ආත්මාර්ථය වෙනුවට පරාර්ථය ප්‍රකට කරන්නා වූද ඊදුල් ෆිතර් උත්සවය සමරන සමස්ත ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ට මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.
පුනරුද යුගයක අපේක්ෂා ඉටුවන සාමය, සංහිඳියාව සපිරි ප්‍රීතිමත් ඊදුල් ෆිතර් සැමරුමක් වේවා!
ඊද් මුබාරක්!
අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 මාර්තු 31 වන දින
‘ජය නියතයි – ගම අපිටයි’ තිස්සමහාරාම ජනහමුව – 2025.03.29 පුරවැසියාගේ බදු මුදල් සෑම රුපියලක්ම ජනතාව වෙනුවෙන් පරිස්සමෙන් වියදම් කිරීමට වත්මන් ආණ්ඩුව සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා මෙම අදහස් පළ කළේ, “ජය නියතයි ගම අපටයි” ජයග්‍රාහී ජනතා රැලි මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශයේ ඊයේ (29) පැවති […]
‘ජය නියතයි – ගම අපිටයි’ තිස්සමහාරාම ජනහමුව – 2025.03.29
පුරවැසියාගේ බදු මුදල් සෑම රුපියලක්ම ජනතාව වෙනුවෙන් පරිස්සමෙන් වියදම් කිරීමට වත්මන් ආණ්ඩුව සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා මෙම අදහස් පළ කළේ, “ජය නියතයි ගම අපටයි” ජයග්‍රාහී ජනතා රැලි මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජන හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා මෙසේද පැවසීය.
තිස්සමාරාමය අපට හැමදාම විශාල ජයග්‍රහණ ගෙනත් දුන්නා. තිස්ස ගැන අපට කිසි සැකයක් නැහැ. දැන් අපි ලංකා දේශපාලනයේ විශාල හැරවුමක් අරගෙන තිබෙනවා. දීර්ඝ කාලයක් රට පාලනය කළ පැරණි කණ්ඩායම අතින් පොදු ජනතාව නියෝජනය කරන අලුත් කණ්ඩායමකට බලය මාරු වෙලා තිබෙනවා. මේක සාමාන්‍ය තත්වයක් නොවෙයි. පසුගිය ජනාධිපතිවරණයේදී ඊට අවශ්‍ය වන පළමු හැරවුම ගත්තා. මහ මැතිවරණයේදී ලංකා ඉතිහාසයේ වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කළා. පළාත් පාලන ඡන්දයේදී ඊට වඩා මනාප ලැබෙන බව අපට විශ්වාසයි. මොකද මේ අප ගත්ත හැරවුම ආපසු හැරවීමට ජනතාව ඉඩ නොදෙන බව අපට විශ්වාසයි. මේක ඉදිරියට ගෙනයාම තමයිි අපේ රටේ ජනතාවට අපට තිබෙන එකම මාර්ගය.
අපි බලය ගන්නා විට අපේ රට ආර්ථික වශයෙන් සුවපත් රාජ්‍යයක් ලෙස තිබුණේ නැහැ. මෙයට අවුරුදු දෙකහමාරකට පෙර අපේ රට විශාල බංකොලොත්භාවයකට පත් වෙලා තිබුණා. දිගු කාලයක් අපේ රට පාලනය කළ පාලකයන්ගේ දුර්වලතා හේතු කර ගෙන රටකට විය හැකි විශාලතම ව්‍යසනය අපට ගෙනත් දුන්නා. රටක ආර්ථිකයට ගෙනත් දිය හැකි විශාලම විනාශය වන්නේ ආර්ථික බංකොලොත්භාවයයි. අප ලෝකෙට ණය වී ණය ගෙවන්නේ නැහැ කියා හුදෙකලා වුණු රටක්. තව අවුරුදු සියයකින් ලංකාවේ ආර්ථිකය ගැන පොතක් ලියවුණත් 2021-2023 ආර්ථික අර්බුදය ගැන ඉතිහාසයේ ලියවෙනවා. ණය ගෙවා ගන්න බැරි වූ රාජ්‍යයක්, තෙල් ආනයනය කිරීම සඳහා ඩොලර් සොයාගන්න බැරි වූ රාජ්‍යයක්, ඖෂධ ආනයනය කිරීම සඳහා මුදල් සොයාගන්න බැරි වූ රාජ්‍යයක්, ගෑස් ආනයනය කිරීම සඳහා මුදල් හිඟ වූ රාජ්‍යයක්, රටේ ජනතාව පාරට ඇවිත් පාලකයන්ව එළවා දැමූ රාජ්‍යයක්, රටේ පාලකයා සැඟවිලා ජීවිතය බේරා ගත් කාලයක් බව ඉතිහාසයේ ලියවේවි.
ඒ වගේ රටක් බංකොලොත්භාවයට පත් වූ විට නැවත යථා තත්ත්වයට පත් වෙන්න අවුරුදු දහයක් වගේ කාලයක් ගත වෙනවා. ලෝකයේ බොහෝ රටවල් එවැනි ව්‍යසනයකට පත් වූ විට එවැනි කාලයක් ගත වී තිබෙනවා. එහෙත් කෙටි කාලයක් තුළ මේ රටේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කරන්න අපි සමත් වී තිබෙනවා.
ආයෝජකයන් ලංකාවට පැමිණෙන්න විශ්වාසය අවශ්‍යයි. පහුගිය වසර පහක කාලය තුළ ආයෝජකයන් මේ රටට පැමිණ නැහැ. මේ වන විට ආයෝජකයන් වත්මන් ආණ්ඩුව සමඟ සාකච්ඡා කරමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජනය වන හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය පිළිබඳ අප මේ වන විටත් සාකච්ඡා කරමින් තිබෙනවා. එය දැන් අවසන් අදියරේ තිබෙනවා. ඉන්දියානු අගමැතිවරයාගේ සහභාගිත්වයෙන් 05 වන දා සාම්පූර්වල විදුලි බලාගාරයකට මුල්ගල තියනවා. ආයෝජන එන්න පටන් අරන් තිබෙනවා. සියඹලාආණ්ඩුවේ මෙගාවොට් 100ක සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. මන්නාරමේ සුළං විදුලි බලාගාරයක් සඳහා ආයෝජන පැමිණ තිබෙනවා. කෙරවලපිටියේ නව ගබඩා පර්යන්තයක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා. කොළඹ නගරයේ ආයෝජනයට සුදුසු ඉඩම් හඳුනාගෙන ඉතා නුදුරේම ඒවා ප්‍රසිද්ධියට පත් කරනවා ආයෝජකයන් සඳහා. ක්‍රමානුකූලව ආයෝජකයන් අපේ රට කෙරෙහි අවධානය යොමු කරන්න පටන් අරන් තිබෙනවා.
ආර්ථික අර්බුදයේදී, ආයෝජකයෝ කටුනායක ගුවන්තොටුපල සාදමින් සිටියා. එය අත්හැර ගියා. කටුනායක ව්‍යාපෘතිය තව මාස දෙකකින් අපි සකස් කර නිම කරනවා. කඩවත- මීරිගම අධිවේගී මාර්ගය සාදමින් සිටි ආයෝජකයෝ අතැර ගියා. එහෙත් නැවත එම අධිවේගී මාර්ගය ඉදිකිරීමට අප ආරම්භ කරනවා. අත්හැර ගිය ආයෝජන, අත්හැර ගිය ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ආණ්ඩුව සමත් වී තිබෙනවා. ඩොලරය රුපියල් 300 සීමාවේ ආරක්ෂා කර ගැනීමට වත්මන් ආණ්ඩුව සමත් වී තිබෙනවා. මීට පෙර ඩොලර්වල අගය රාත්‍රියේ නිදියන විට එක අගයක්, උදේ නැගිටින විට තවත් අගයක්. පොලි අනුපාතය එක ඉලක්කමක තබා ගෙන තිබෙනවා. කොටස් වෙළඳපොළ විශාල වර්ධනයක් ලබා තිබෙනවා. එය ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ සංඥාවක්. ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ඩොලර් මිලියන 500කට වඩා ණය මුදලක් අප ගෙවා තිබෙනවා. එහෙත් ඩොලරයේ අගය කිසිදු අගයකින් වෙනස් වුණේ නැහැ. වසර පහකට හයකට වඩා වැඩි කාලයක් වාහන ආනයනය තහනම් කර තිබුණා. ක්‍රමානුකූලව වාහන වෙළඳපොළ විවෘත කර තිබෙනවා. මේ හැමදෙයකින්ම කියන්නේ ආර්ථිකය පිළිබඳ සුබවාදී සංඥාවක්. පහුගිය මාස හය තුළ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට වත්මන් ආණ්ඩුව හැකි වී තිබෙනවා. ආණ්ඩුව පිළිබඳව අවිශ්වාසයක් ඇති කර ගෙන ඉස්සරහට යන්න බැහැ.
ආර්ථික ස්ථාවරත්වය නිසා අප අත්පත් කරගන්නා ලද ධනය අප නැවත පෙරළා ජනතාවට යෙදවීම සඳහා යොමු කර තිබෙනවා. වසර හතරක් පහක් තිස්සේ රාජ්‍ය සේවයට සේවකයන් බඳවා ගෙන නැහැ. අලුතින් රාජ්‍ය සේවයට 30,000ක් බඳවා ගන්න අප තීන්දුවක් අරන් තිබෙනවා. ඒ සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. මේ වනවිට 15,700ක් පුරප්පාඩු හඳුනා ගෙන තිබෙනවා. ඉතිරි පුරප්පාඩු හඳුනා ගැනීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරි මහත්වරු නැහැ. පාරක් සාදන්න ගියාම තාක්ෂණික ගැටලු ගොඩක් එනවා. ආර්ථිකය ලබා ගන්නා ස්ථාවරභාවය නැවත ජනතාවට පෙරළා ලැබෙනවා. එම නිසා පස් වසරක් බඳවා නොගත් රාජ්‍ය සේවයට මේ වසරේ නැවත බඳවා ගැනීම සිදු කරනවා. රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප විශාල ලෙස වැඩි කර තිබෙනවා. එම වැඩි කළ කොටස පමණක් ගෙවන්න රුපියල් කෝටි 11,000ක් වෙන් කළා. අපේ වෘත්තියවේදින් රැක ගන්න ඕනේ. විශ්‍රාමිකයන්ටත් ඒ වගේම වැටුප් වැඩි කිරීමක් සිදු කර තිබෙනවා. වී වගා කිරීම සඳහා ලබා දුන් පොහොර සහනාධාරය අතුරු බෝග වවන ගොවීන්ටත් ලබා දීමට අප කැබිනට් අනුමැතිය ලබා ගත්තා. ලංකාවේ පළමු වතාවට පාසල් දරුවන්ට පාසල් උපකරණ ලබා ගන්න මුදල් ලබා දුන්නා. ලැබෙන මුදල් ආරක්ෂා කරලා ජනතාව වෙනුවෙන් යොදවන ආණ්ඩුවක්. වකුගඩු රෝගීන්ගේ දීමනා වැඩි කළා. මහපොළ ශිෂ්‍යාධාර දීමනා වැඩි කළා. පාසල් ආහාර වේල සඳහා ලබා දෙන දීමනා වැඩි කළා. ජනතාව බලා ගැනීම සඳහා සියලු දේ මේ ආණ්ඩුව කරමින් තිබෙනවා. අස්වැසුම දීමනා වැඩි කළා, දැනට අස්වැසුම නොලැබෙන ඒත් ආධාර අවශ්‍යයි කියලා සිතන ලක්ෂ හතරක කණ්ඩායමකට ලබන ජූනි මාසයේ සිට දීමනාවක් ලබා දෙනවා. සෑම පාසල් දැරිවියකටම සනීපාරක්ෂක තුවා මාසෙකට අට බැගින් ලබා දෙන්න අප තීරණය කර තිබෙනවා. ඒ සඳහා මුදල් වෙන් කර තිබෙනවා. අප ආධාර ලබා දීමේ වැඩසටහන තවත් ශක්තිමත් කර තිබෙනවා.
ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්න සැලසුම් සකස් කර තිබෙනවා. ලංගමය සහ පුද්ගලික බස් සේවාව ඒකාබද්ධ කිරීමට සැලසුම් කර තිබෙනවා. බස්වලට යම් ප්‍රමිතියක් ගෙන එනවා. ඒ සඳහා රුපියල් කෝටි 300ක් වෙන් කර නව ප්‍රමිතියකින් යුත් බස් රථ ගෙන්වීමට සැලසුම් කර තිබෙනවා. සුවපහසු බස්රථ සේවයක් ඇතුළු පොදු ප්‍රවාහන සේවයක් සකස් කිරීමට අප කටයුතු කරමින් තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 650ක් වෙන් කර තිබෙනවා. උපකරණ ගන්න, ඖෂධ අනයනය කරන්න, ගොඩනැගිලි හදන්න ඒ සඳහා මුදල් වෙන් කර තිබෙනවා. සෑම පවුලකටම පවුලේ වෛද්‍යවරයෙක් සිටිය යුතුයි. ඒ සඳහා නියමු ව්‍යාපෘතියක් සකස් කරමින් තිබෙනවා. දකින දකින ඉස්පිරිතාලෙට දකින දකින වෛද්‍යවරු ළඟට යන්න අවශ්‍ය නැහැ. ඔබේ පවුලේ වෛද්‍යවරයා හමු වී ලබා දෙන නිර්දේශයට අනුව ඉදිරි පියවර ගන්න පුළුවන් වැඩපිළිවෙළක් අප සකස් කරනවා.
අධ්‍යාපනය සඳහා 2026 වසරේදී නව විෂය නිර්දේශයක් හඳුන්වා දෙනවා. ඒ අනුව නවය වසරේදී විභාගයකට මුහුණ දුන් පසුව ඒ දරුවාගේ හැකියාවලින් යා හැකි මාර්ගය කියා දෙනවා. සෞඛ්‍යයට අධ්‍යාපනයට, ප්‍රවාහනයට පවුලකින් යොදවන මුදල අඩු කරනවා. එය ආණ්ඩුව බලාගන්නවා. එයින් ඉතිරි වන මුදලින් ජනතාවට වෙන වැඩපිළිවෙළකට යා හැකියි. චිත්‍රපටියක් බලන්න, විනෝද චාරිකාවක් යන්න පුළුවන්.
සිරගත වී සිටින පුද්ගලයන් පිළිබඳව කිසිදු ආණ්ඩුවක් බලා ගත්තේ නැහැ. එම නිසා සිරගත වී සිටින අයගේ වෘත්තිය හැකියාවන් සොයා බලා ඔවුන්ට වෘත්තීය පුහුණු සහතික ලබා දී රැකියාගත කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. අනාථ නිවාසවල සිටින දරුවන් වෙනුවෙන් මසකට රුපියල් 5000ක දීමනාවක් ලබා දෙනවා. එයින් තුන් දාහක් අනිවාර්යෙන්ම ස්ථිර තැන්පතුවක් සඳහා යොදවනවා. විවාහ වන හැම දරුවකුටම රුපියල් ලක්ෂ 10ක් ආණ්ඩුවෙන් ලබා දෙනවා. නිවාස ඉදිකිරීම සඳහා. හැම කෙනාම අත් අරින්නේ නැති ආණ්ඩුවක්. ජනතාව බලා ගෙන සේවාවන් දියුණු කරන ආණ්ඩුවක් බවට අප පත්ව තිබෙනවා.
සංචාරක ක්ෂේත්‍රය සඳහා වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. 2025 වසර ලංකාවට වැඩිම සංචාරකින් පැමිණෙන වසරයි. සංචාරකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. සංචාරක ගමනාන්ත වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. සෑම වසරකම වර්ධනය වන ආර්ථිකයක් බවට සංචාරක කර්මාන්තය පත් කරනවා. මේ වසරේ වැඩිම භාණ්ඩ හා සේවා අපනයනය කරන වර්ෂය ලෙස අප පත් කරනවා. විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවන වැඩිම ඩොලර් ප්‍රමාණය මේ වසරේදී ලැබෙන බව අපට ස්ථිරයි. වැඩිම රාජ්‍ය ආදායම ලැබෙන වර්ෂයත් 2025 වර්ෂයයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මාසෙට ලබා දෙන ඉලක්කයට වඩා ඉලක්ක සපුරා ගනිමින් තිබෙනවා. පුරවැසියන් බදු ගෙවීමට පුරුදු වෙමින් තිබෙනවා. ඒ වගේම බදු ගෙවන පුරවැසියන්ට ස්තුතිවන්ත වෙන ගමන් ඒ ලැබෙන හැම රුපියලක්ම ජනතාව වෙනුවෙන් පරිස්සමෙන් වියදම් කරනවා. එහෙමයි රටක් හදන්නේ. ශීඝ්‍රගාමී වැඩපිළිවෙළකට අප ඇතුළත් වී තිබෙනවා. පුරවැසියෙකුට වත්මන් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කර පාලකයෝ හොරකම් කරනවා කියලා කියන්න බැහැ. ඒ නිසා විරුද්ධ දේශපාලන ව්‍යාපාරවල අනාගතයම විනාශ වෙමින් තිබෙනවා.
සවස ප්‍රවෘත්ති බලන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ මාධ්‍ය ඉදිරියේ හඬා වැටෙමින් සිටිනවා. එක වෙලාවකට හිතෙනවා මාධ්‍ය ඉස්සරහ ඔච්චර අඬනවා නම් ගෙදර කොච්චර අඬනවා ඇතිද කියලා. ඒ කියන්නේ ආණ්ඩුව නිවැරදි ගමන යන බව පැහැදිලියි. විරුද්ධවාදින් කිවුවා ආණ්ඩුවට ජාත්‍යන්තර සබඳකම් නැහැ කියලා. එහෙත් අප ආණ්ඩුවක් අරගෙන මාස හයක් ඇතුළත ඉන්දියානු අගමැතිවරයා ලංකාවට එනවා. මහ මැතිවරණය අවසන් වූ වහාම ඉන්දියාවෙන් සහ චීනයෙන් එරට සංචාරයකට ආරාධනා ලැබුණා. ජපානයෙන් සහ වියට්නාමයෙන්ද සංචාරයක් සඳහා අපට මේ වන විටත් ආරාධනා ලැබී තිබෙනවා. ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරමින් තිබෙනවා. රටත් ජනතාවත් උකසට තබා පාවා දෙන්නේ නැතුව කෙලින් ශක්තිමත්ව ජාත්‍යන්තර සබඳතා පවත්වා ගැනීමට අප කටයුතු කර තිබෙනවා. වඩාත් සුබදායි දිශාවකට රට පරිවර්තනය වෙමින් තිබෙනවා. ප්‍රවෘත්තිවලින් හදන විජ්ජාවෙන් අපේ රටේ දේශපාලනය නැවත හරවන්න බැහැ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව,අධිකරණ මේ වන විට හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ වන වන විට ඇමතිවරු තුන්දෙනෙක් රිමාන්ඩ්, පොලිස්පතිවරයෙක් රිමාන්ඩ්, තවත් ඇමතිවරයෙක් හැංගිලා, පොලිස්පති හැංගිලා හිටිය. ආවා නේ එළියට. මේ පරීක්ෂණ ටික හොඳටම යනවා. මහාධිකරණයේ දාන නඩුව පරදින්නේ නැති ආකාරයට හොඳින් ගොනු කරලා දාන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරයි. කතරගම ගෙදර නඩුව, ගෙදරක් තියෙනවා ලයිට් බිල එන්නේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කියලා. හැබැයි, ඔහු කියනවා ඔහුගේ ගෙදර නෙමෙයි කියලා. ඒ පිළිබඳ පරීක්ෂණ යනවා. සියලු පරීක්ෂණ ඉදිරියටම යනවා. දූෂණය නතර කර තිබෙන්නෙත් දූෂිතයන්ට දඬුවම් දෙන්නෙත් ජාතික ජබලවේගය ආණ්ඩුවක් විතරයි.
රුපියල් කෝටි එක් ලක්ෂ හතළිස්දාහක් ප්‍රාග්ධන මුදල් වශයෙන් වෙන් කර තිබෙනවා ජනතාව වෙනුවෙන් මාර්ග ඉදි කරන්න. වැඩ කරන්න වෙන් කළ මුදල් ඉදිරි මාස අට ඇතුළත නිවැරදි ව්‍යාපෘතිවලට යොදවා අවසන් කළ යුතුයි. ඉස්සර වැඩ කරන්න මුදල් තිබුණෙ නෑ. අද මුදල් තිබෙනවා වැඩ කරන්න පිරිස නැහැ. ඒ නිසා රාජ්‍ය සේවයට බඳවා ගන්නත් මුදල් වෙන් කර තිබෙනවා. බාගෙට හදලා තිබෙන අධිවේගී මාර්ග නැවත ඉදිකිරීමට මුදල් වෙන්කර තිබෙනවා. ඉතිරි කරන මුදල්, ජනතාව වෙනුවෙන් යොදවා තිබෙනවා. එම නිසා රාජ්‍ය සේවය කාර්යක්ෂමතාව වැඩි කරමින් ජනතාවට සේවය කළ යුතුයි. වෙන් කළ මුදල්වලට වැඩ කරන්න දේශපාලන නායකත්වයක් අවශ්‍යයි.
අන්න ඒ වැඩ කොටස කරන්න ප්‍රාදේශීය සභාවේ දේශපාලන අධිකාරිය අවශ්‍යයි. රටේ වැඩවලට ජනාධිපති සහ පාර්ලිමේන්තුව ඉන්නවා වගේම ගමේ වැඩවලට ප්‍රාදේශීය සභාවේ දේශපාලන අධිකාරිය අවශ්‍යයි. මධ්‍යම ආණ්ඩුවත් සමඟ එකට වැඩ කරන ප්‍රාදේශීය සභාවක් අවශ්‍යයි. එසේ නොමැති වුවහොත් කරත්තෙකට දෙවර්ගයෙන් බැඳපු ගොන්නු දෙන්නෙක් වගේ වේවි. එකෙක් ගොඩට අදිනවා, අනෙකා මඩට අදිනවා. ගම්මාන මට්ටමින් කළ යුතු වැඩ සිදු කිරීමට ප්‍රාදේශීය සභාවේ නායකත්වය අවශ්‍යයි. ලබන ජුනි මාසයේදී අයවැය යෝජනාව සකස් කරන්න යෝජනා ගන්නවා. ලබන වසරේ අයවැය නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එම නිසා ජූනි මාසය වන විට අයවැය යෝජනා සකස් කරන්න ජාතික ජන බලවේගයට ප්‍රාදේශීය සභාවේ බලය ලබා දීමෙන් එය ශක්තිමත් කළ හැකියි. ඔබ ජාතික ජන බලවේගයට ජයග්‍රහණය ලබා දෙන්න කටයුතු කරනවා වගේම අප රට ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු කරනවා.
(-Colombo, March 21, 2025-) – ජනපති පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ගෙවී ගිය මාස 04 තුළ රට සුබවාදී අනාගතයක් කරා ගෙන යා හැකි බවට වන විශ්වාසය ඇති කළ හැකි මට්ටමේ ආර්ථික ස්ථාවරත්වයක් රට තුළ නිර්මාණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ අනුව ආර්ථික ජයග්‍රහණ රැසක් රටට උදා කර දී ඇති බව […]
(-Colombo, March 21, 2025-)
– ජනපති පාර්ලිමේන්තුවේදී
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ගෙවී ගිය මාස 04 තුළ රට සුබවාදී අනාගතයක් කරා ගෙන යා හැකි බවට වන විශ්වාසය ඇති කළ හැකි මට්ටමේ ආර්ථික ස්ථාවරත්වයක් රට තුළ නිර්මාණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ අනුව ආර්ථික ජයග්‍රහණ රැසක් රටට උදා කර දී ඇති බව පැවසූ ජනාධිපතිවරයා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට මෙන්ම විදෙස් සහාය ඇතිව ආරම්භ කරන ලදුව අතරමග නැවතී තිබු සංවර්ධන ව්‍යාපෘති රැසක්ද යළි ආරම්භ කරමින් ස්ථාවරත්වයේ සංඥාව රටට ලබා දී ඇති බව සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී අයවැය තෙවන වර කියැවීමේ විවාදයට එක් වෙමිනි.
රට ඉදිරියට ගෙන යාමේ මෙම වැඩපිළිවෙළට අකුල් හෙළමින් දේශපාලනය කිරීමට කිසිවෙකු සිතන්නේ නම් ඔවුන් දේශපාලනයෙන් අවලංගු වන බව පැවසූ ජනාධිපතිවරයා අද මෙරට සියලු දේශපලනඥයන්ට ඇති එකම මාවත රජයේ වැඩපිළිවෙළට අනුගත වීම සහ ආශිර්වාද කිරීම පමණක් බවද කීය.
එසේම මාධ්‍ය විසින් දේශපාලනය කළ යුගය අවසන් බවත්, එම යුගය යථාර්ථයක් වූවා නම් වත්මන් ආණ්ඩුව බලයට පත් නොවන බවත් පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වත්මන් ආණ්ඩුව සෑම විටම ජනතාව සමග සංවාදයේ යෙදෙන දේශපාලන ව්‍යාපාරයක් බවද පැවසීය.
ඉතිහාසයේ රට ගොඩනැගීමට ලැබුණු අවස්ථා බොහොමයක් ජාතියක් ලෙස අප මහගැර ගත් බවද සිහිපත් කළ ජනාධිපතිවරයා, අද රටට ලැබී ඇති අවස්ථාව ජනාධිපතිවරයා ලෙසත්, ආණ්ඩුව ලෙසත් කිසිසේත් මගහැර නොගන්නා බවත්, මෙරට ආර්ථිකයේ තීරණාත්මක හැරවුමක් සනිටුහන් කරන බවත් අවධාරණය කළේය.
තමන්ට හෝ ආණ්ඩුවේ කිසිදු ඇමතිවරයෙකුට පුද්ගලික අභිලාෂ නොමැති අතර ඇත්තේ රටත්, ජනතාවත් පිළිබඳ සුබ සිහිනයක් බව පැවසූ ජනාධිපතිවරයා නියත වශයෙන්ම එම සිහිනය මල්ඵල ගන්වන බවත් එම වැඩපිළිවෙළට අකුල් හෙළු පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී රට දින විමේ ගමනේ පංගුකරුවන් වන ලෙස තමා විපක්ෂයේ සියලුදෙනාට ආරාධනා කරන බවත් පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය
මෑත කාලයේ පාර්ලිමේන්තුව තුළ දීර්ඝතම කාලයක් අයවැය විවාදයට ගැනුණු පළමු අවස්ථාව මෙයයි. මීට පෙර අයවැය විවාදයේදී අදාළ දින ගණනවත් ලබා දුන්නේ නැහැ. එහෙත් අපි සම්පූර්ණ දින ගණන ලබා දී විවාදයක් පැවැත්වුවා. එම විවාදය දෙස බලා සිටින විට වේදනාවෙන් ඉදිරිපත් කළ කරුණු තිබුණා. ඒ වගේම කෝපයෙන් ඉදිරිපත් කළ කරුණු තිබුණා. සමහර ඒවා සාධනීය කරුණු වුණා. වේදනාවට පත්වීම හෝ කෝපයට පත් වීම පිළිබඳව අපිට පුදුමයක් නැහැ. හන්තානේ ඉඩම් අහිමි වන විට වේදනාවට පත් වීම අපට අලුත් දෙයක් නොවෙයි. දුකක් තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ ලිපිලේඛන තිබෙනවා. අපිට ඒ වේදනාව සහ කෝපය තේරුම් ගත හැකියි. එහෙත් සාධනීය කරුණුවල යහපත් දේ උකහා ගැනීමටත්, අයහපත් දේ ප්‍රතික්ෂේප කිරීමටත් අපි සූදානම් බව කිව යුතුයි.
අපි මේ රටේ පැවති ආර්ථික ක්‍රමය තීරණාත්මක ලෙස නව හැරවුමකට ලක් විය යුතු බවට විශ්වාස කරන හා ඒ වෙනුවෙන් වැඩ කරන දේශපාලන ව්‍යාපාරයක්. ඒ වගේම එම නව හැරවුම ගන්නේ කොහොමද කියන අවබෝධය අපට තිබෙනවා. ඉතාමත් යහපත්, අර්බුදවලින් තොර ආර්ථිකයක් අප සතුව තිබෙනවා නම් එම හැරවුම ඉතා වේගවත් හැරවුමක් වෙනවා. එහෙත් ආර්ථිකය තිබෙන්නේ ඉතා අසීරු තත්ත්වයක නම් එම හැරවුම යම් කාලයක් ගෙන සැලසුම් සහගතව කළ යුතු දෙයක්.
ඒ නිසා ඔබ දක්වන කලබලය අපට ඉතා හොඳින් තේරුම්ගත හැකියි. මේ රටේ දීර්ඝ කාලයක් පුරා අනුගමනය කරමින් තිබු ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට රටටත්, ජනතාවටත් හිතකර ආර්ථිකයක් ගොඩනැඟීමට අවශ්‍ය තීරණාත්මක හැරවුම අප විසින් ගනු ලබනවා. එම හැරවුම ගැනීමට නම් අප පළමුව කළ යුත්තේ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමයි. එහෙත් අර්බුද ගණනාවකට මුහුණ දී තිබෙන ආර්ථිකයක් විශාල හැරවුම්වලට ඔරොත්තු දෙන්නේ නැහැ. රෝද ගිලිහුණු රථයකට හැරවුම් ගන්න බැහැ. මුලින් රෝද සවි කළ යුතුයි. ඒ නිසා අපි ඉතාමත් සැලසුම්සහගත ලෙස රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා.
අපට ලැබුණේ බංකොලොත් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණු රාජ්‍යයක්. නිල වශයෙන් පමණක් නොව යථාර්ථයේදීත් බංකොලොත් රාජ්‍යයක්. ඒ වගේම රටේ ආදායම් සහ වියදම් අතර විශාල පරතරයක් තිබුණා. මුළු ආදායම ලෙස බිලියන 4999ක් අපේක්ෂා කරන විට පොලිය ගෙවීම සඳහා පමණක් බිලියන 2950ක් අවශ්‍ය වුණා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා බිලියන 1352ක්ද , විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා බිලියන 442ක්ද අවශ්‍යයි. මුළු ආදායම බිලියන 4990ක් වන විට පොලිය ගෙවීම, රාජ්‍ය වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා බිලියන 4744ක් වැය වෙනවා. ඉතිරි වන්නේ බිලියන 246යි. මෙම ආර්ථික තත්ත්වය කඩිමුඩියේ හැර විය හැකි එකක් නොවෙයි.
එපමණක් නොව, විශාල ණය බරකින් පෙළෙන, වාර්ෂිකව විශාල ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතන සමූහයක් මේ රටේ තිබෙනවා. ජාතික රූපවාහිනී සංස්ථාවේ පසුගිය වසරේ පාඩුව මිලියන 256යි, ණය මිලියන 1834යි. ගුවන් විදුලි සංස්ථාවේ පසුගිය වසරේ පාඩුව මිලියන 152ක් වන විට මිලියන 1603ක් ණය තිබෙනවා. ස්වාධීන රූපවාහිනි ආයතනයේ මිලියන 1476ක ණය තිබෙනවා. ලංකා සීනි සංස්ථාව මිලියන 11,165ක් ණයයි. රාජ්‍ය වැවිලි සංස්ථාව මිලියන 3216ක්ද, මිල්කෝ ආයතනය මිලියන 15,090ක්ද, එයාර් ලංකා ආයතනය බිලියන 340කට ආසන්න ප්‍රමාණයකින් ණය තිබෙනවා.
මේ අන්දමින් උපයා ගනු ලබන ආදායම මා පෙර ප්‍රකාශ කළ ශිර්ෂ පාඨයන්ට පමණක් ප්‍රමාණවත් වන ආදායමක් සහ ආදායම ඉතා අතළොස්සක් අතර සංකේන්ද්‍රණය වූ රාජ්‍යයක් තමයි අපට ලැබුණේ. ඒ වගේම රටේ ආර්ථිකයට දායක වන කණ්ඩායම ඉතා කුඩා කණ්ඩායමක්. අපේ අපනයන ආදායමින් 90%ක් උපයනු ලබන්නේ අපනයනකරුවන් 10%ක පිරිසක් වීම ඊට නිදසුනක් ලෙස පෙන්වා දිය හැකියි. දේශීය ආදායම් දෙපාර්මේන්තුවේ ආදායමින් 69%කට වැඩි ප්‍රමාණයක් ලබා දෙන්නේ ලිපිගොනු 600කට ආසන්න ප්‍රමාණයක්.
ඒ වගේම අපි ලෝකය හමුවේ බංකොලොත්භාවයට පත් වූ රාජ්‍යයක් බවට පත්ව තිබුණා. ණය මුදලක් ලබා ගත නොහැකි, බැංකු පද්ධතිය කෙරෙහි විශ්වාසය බිඳ වැටුණු රාජ්‍යයක් බවට පත්ව තිබුණා. එබැවින් අප පළමුව කළයු තුව තිබුණේ රට තුළ ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කර ගැනීමයි. ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කර ගැනීමෙන් තොරව නව හැරවුමක් ගැනීමටද අප සූදානම් නැහැ. ආර්ථික ස්ථාවරභාවයක් අත්පත් කර නොගෙන ගනු ලබන සෑම ආර්ථික හැරවුමක්ම අහිතකර ප්‍රතිවිපාක ගෙනැවිත් තිබෙනවා.
අපි ආණ්ඩුව භාර ගන්නා විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වසර 04ක විස්තීරණ ණය වැඩසටහනකට ඇතුළත් වී තිබුණා. අප කළ යුතුව තිබුණේ මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාම හෝ එය අතහැරීමයි. එය අතහැරීම සියලුදෙනා අපේක්ෂා කළ නමුත් අපි ඒ උගුලේ වැටුණේ නැහැ. මොකද, අපි දන්නවා රටේ ආර්ථික තත්ත්වය අනුව අපි කුඩා ප්‍රමාණයකින් කර ගන්නා අත්වැරැද්දක් බරපතළ ආර්ථික ප්‍රතිවිපාක ගෙනැවිත් දෙන බව. එබැවින් විනාශයට පත් වූ ආර්ථිකයක් යළි ස්ථාවර කිරීමේදී ආණ්ඩුවක් ලෙස අපේ වගකීම වන්නේ කුඩා ප්‍රමාණයක හෝ අත්වරද්දා ගැනීමක් සිදු නොකිරීමයි.
ඒ අනුව අපේ පළමු අභිප්‍රාය වූයේ රට තුළ ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කිරීමයි. අද රට තුළ ආර්ථිකය ස්ථාවරත්වයක් නොමැති බවට කිසිවෙකුට චෝදනා කළ නොහැකියි. මෙම ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කර ගැනීමට අපි දැඩි උත්සායක් දැරූ බව මා ප්‍රකාශ කළ යුතුයි.
එහි පළමු පියවර තබමින් පසුගිය දෙසැම්බර් 21 වෙනි දා අපේ රට නිල වශයෙන් බංකොලොත්භාවයෙන් නිදහස් වුණා. අපි එතෙක් පැවතියේ ණය පැහැර හරින ලද රාජ්‍යයක් ලෙසයි. එහෙත් අපි දැන් ණය නොගෙවන නමුත්, ණය නොගෙවන බවට එකඟතාවට පැමිණි රාජ්‍යයක්. ණය ආපසු ගෙවීම සඳහා අපි 2028 වසර තෙක් කාලය ලබා ගෙන තිබෙනවා.
ඒ වගේම බංකොලොත්භාවයට පත් වූ රටක් ලෙස අපේ රටට විශාල හානියක් සිදු වුණා. ඒ නිසා විදෙස් ආධාර මත මෙරට ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති රැසක් අතරමග නතර වුණා. අපේ රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමෙන් පසු එම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අදාළ රටවල් තීරණය කර තිබෙනවා. එය මෙරට ස්ථාවරත්වයේ සංඥාවක් බව කිවයුතුයි.
එසේම මෙම අප්‍රේල් 05 වෙනි දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරයත් සමග සාම්පූර් බලාගාරයේ කටයුතුද ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒවගේම සියඹලාණ්ඩුව ප්‍රදේශයේ නව සූර්ය බලාගාරයක් සහ මන්නාරමේ සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කෙරෙන මෙගා වොට් 50ක බලාගාරයක් ඉදිරි මාස දෙකක කාලය තුළ ආරම්භ කිරීමට නියමිතයි.
ආර්ථික වශයෙන් අස්ථාවර වී තිබූ රටක් අපි මේ අයුරින් ස්ථාවරභාවයට ගෙනැවිත් තිබෙනවා. ව්‍යාපාරිකයන්, ආයෝජකයන් මෙන්ම විදෙස් මූල්‍ය සමාගම්වලට අපේ රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ තිබු අවිශ්වාසය අපි නැති කර තිබෙනවා. අද ඩොලරය රුපියල් 300ට ආසන්න ප්‍රමාණයෙන් අඛණ්ඩව ස්ථාවර කර තිබෙන අතර මෙම තත්ත්වය රට තුළ ඇති ව තිබෙන්නේ වසර 03කට පසුවයි.
ඒ වගේම අපේ රට ණය අවදානම් රාජ්‍යයක සිට ණය අවදානම අඩු රාජ්‍යයක් බවට පත් කර තිබෙනවා. ඒ වගේම අපේ බැංකු පද්ධතිය කෙරෙහි විශ්වාසය යළි ඇති කර තිබෙනවා. එපමණක් නොව බැංකු පොලී අනුපාත තනි ඉලක්කමකට ගෙනවිත් තිබෙනවා. මේ වසරේ මැද භාගය වන විට ධන උද්ධමනයක් ලබා ගැනීමටද අපි අපේක්ෂා කරනවා. මෑත ඉතිහාසයේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු වැඩිම මුදල් ප්‍රමාණය පසුගිය මාස දෙක තුළ රටට ලැබුණා. එයින් පෙන්නුම් කරන්නේ රටේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය තහවුරු වෙමින් පවතින බවයි.
එපමණක් නොවෙ මේ වන විට සංචාරකයන් විශාල වශයෙන් අපේ රටට පැමිණෙමින් සිටිනවා. මෙම මාර්තු 17 වන දා වන විට හය ලක්ෂ දස දහසක් ඉක්මවන ලද සංචාරකයන් ප්‍රමාණයක් ලංකාවට පැමිණියා. ඒ වගේම මේ වසර ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණි වසර බවට පත් වන බවට අපි ඔබට සහතික වෙනවා.
ඇස්තමේන්තුගත ආදායම සහ සත්‍ය ආදායම අතර පැවති වෙනස්කම් මේ පාර්ලිමේන්තුවේදී අපි ඕනෑ තරම් දැක තිබෙනවා. එහෙත් 2024 වසරේ ඇස්තමේන්තුගත ආදායමට සමාන ආදායමක් රේගු දෙපාර්තමේන්තුව විසින් අපට ලබා දුන්නා. අපි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම ලෙස අපේක්ෂා කළේ බිලියන 356යි. එහෙත් මාර්තු 17 වන දා වන විට බිලියන 438ක ආදායමක් අපට ලැබී තිබෙනවා. ඒ වගේම ජනවාරි මාසයේ රේගු දෙපාර්තමේන්තුවේ ආදායමත් ඇස්තමේන්තුගත ආදායමට වඩා වැඩි වී තිබෙනවා.
එසේම මේ වර්ෂයේ අපේක්ෂා කරන ආදායමට වඩා වැඩි ආදායමක් ලබා ගැනීමට අපි පොර බදනවා. මෙම ආර්ථික ස්ථාවරභාවය රටට අවශ්‍යයි. මෙම ස්ථාවරභාවය අත්පත් කර නොගෙන ආර්ථිකයේ විශාල හැරවුම් ගත නොහැකියි. එදා පෞද්ගලික ව්‍යවසායකයින්ට අපේ රටේ ආර්ථිකය පිළිබඳ විශ්වාසයක් තිබුණේ නැහැ. ආර්ථිකයට සම්බන්ධ කණ්ඩායම් අතර විශ්වාසය තහවුරු කර නොගෙන ඉදිරියට යන්න බැහැ. හැඟීමට රටේ ආර්ථිකය පාලනය කළ නොහැකි අතර දත්ත මත, ඒ මත සිදු කරන විශ්ලේෂණයන් සහ එම විශ්ලේෂණ මතින් ගනු ලබන නිගමනයන් මත අපි රටේ ආර්ථිකය හසුරවමින් සිටිනවා.
මෝටර් රථ ආනයනය කිරීම සඳහා ගත් තීන්දුව ඉතා අවධානමක් සහිත තීන්දුවක්. ඒ පිළිබඳ දිනපතා සමාලෝචනය කරමින් අදාළ ඉලක්ක කරා ගමන් කිරීමට අපි කටයුතු කරනවා.
ඔබ අවශ්‍ය තරම් දේශපාලනය කරන්න. එහෙත් ආර්ථිකය අස්ථාවර කිරීමට හේතු වන අසත්‍ය කරුණු සමාජගත කරන්න එපා කියා අප ඔබෙන් ඉල්ලනවා. ආර්ථික විශේඥයන් ලෙස නාමකරණයන් තිබෙන අය මෙහි සිටිනවා. ඔවුන් සිදු කරන ප්‍රකාශ වගකීමක් සහිත ප්‍රකාශ විය යුතුයි. මොකද එවැනි ප්‍රකාශයකින් යළි අපේ රටේ මූල්‍ය වෙළෙඳපොළේ විශාල අස්ථාවරභාවයක් නිර්මාණය කළ හැකියි. රටේ ආර්ථිකය ස්ථාවර කිරීම ආණ්ඩුවක් ලෙස අපේ පමණක් වගකීමක් නොවන අතර මෙය පුරවැසියන් ලෙස සහ මහජන නියෝජිතයන් ලෙස අප සියලුදෙනා එක්ව ඉටු කළ යුතු වගකීමක්.
අපි දේශපාලන පිටියේ ඕනෑ තරම් වාද කරමු. එහෙත් ආර්ථිකයට අවදානම් සහිත අසත්‍ය කරුණු සමාජගත කරන්න එපා කියන ඉල්ලීම මම නැවතත් ඔබෙන් සිදු කරනවා. ඉතා සුමටව ගලා යන ආර්ථිකයකට නම් එවන් ප්‍රකාශවලින් බරපතළ හානියක් සිදු වන්නේ නැහැ. එහෙත් කඩාවැටුණු ආර්ථිකයක් ඉතා ප්‍රවේශමින් ස්ථාවරභාවය කරා ගෙන යමින් තිබෙන අවස්ථාවක ඒ පිළිබඳ සැකයක් ඇති කරන්න එපා. ඔබට කොතැනක හෝ සැකයක් තිබෙනවා නම් අපි සාකච්ඡා කරමු. සැකය මත කරුණු අවිචාරාත්මකව එළියට කියන්න එපා. මෙය රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම වෙනුවෙන් අපි සියලුදෙනා වගකීමෙන් හැසිරිය යුතු අවස්ථාවක් බව කිව යුතුයි.
ඒ වගේම රටේ ආර්ථිකය ස්ථාවර වන තුරු පුරවැසියන්ගේ ජීවිත අයාලේ ගලාගෙන යාමට අපට ඉඩ දිය නොහැකියි. රටේ නිෂ්පාදන දිරි ගැන්වීමට මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කර ගැනීම සඳහා අවශ්‍ය වන සහන ලබා දීමට අප ක්‍රමානුකූලව කටයුතු කරනවා. ඒ අනුව පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට 25,000 දක්වා වැඩි කිරීමට අපි කටයුතු කළා. ඒ වගේම කුඹුරුවල වගා කරන අතිරේක බෝග සඳහාද රුපියල් 15,000ක පොහොර සහනාධාරය ලබා දීමට අපි පසුගිය කැබිනට් මණ්ඩලයේදී තීරණය කළා. ඒ වගේම අස්වැසුම ප්‍රතිලාභ වැඩි කර තිබෙනවා. ජනතාව බලා ගැනීමේ වගකීම අප කිසිසේත් අත්හරින්නේ නැහැ.
පාසල් දරුවන් ලක්ෂ 16කට පාසල් පොත් සහ උපකරණ ලබා දීම වෙනුවෙන් අපි රුපියල් 6,000ක දීමනාවක් ලබා දුන්නා. මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ සුවපත් වූ ආර්ථිකයක් තුළ නොවෙයි. ඒ වගේම වකුගඩු රෝගීන්ට ලබා දෙන දීමනාව රුපියල් 7,500 – 10,000 දක්වා ඉහළ දැමුවා, වැඩිහිටි දීමනාව රුපියල් 3,000 – 5,000 දක්වා ඉහළ දැමුවා. ඒ වගේම අපි ආරම්භයේදීම විශ්‍රාමිකයන්ගේ වැටුප රුපියල් 3,000කින් වැඩි කළා. අපි ජනතාව අත්හැර නැහැ.
මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5,000 – 7,500 දක්වා වැඩි කිරීමට අප කටයුතු කළා. ශිෂ්‍යාධාර රුපියල් 4,000 – 6,500 දක්වා ඉහළ දැමුවා. එපමණක් නොවෙයි දෙමාපියන් අහිමි වීදි දරුවන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබා දීමටත්, රුපියල් 3,000ක් ඔවුන්ගේ ස්ථාවර ගිණුමක තැන්පත් කිරීමටත් අපි තීරණය කළා. කඳවුරුවල සිටින දරුවෙක්, විශේෂයෙන් ගැහුණු දරුවෙක් විවාහයට පත් වන විට ඔවුන්ට නිවසක් ඉදිකර ගැනීමට ලක්ෂ 10ක් ලබා දීමට අපි කටයුතු කරනවා. අපි එම දරුවන් බලා ගන්නවා. ඒ වගේම පෙර පාසල් දරුවන්ගේ ආහාර වේල වෙනුවෙන් ලබා දුන් රුපියල් 60, රුපියල් 100 දක්වා ඉහළ දමා තිබෙනවා.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම පිළිබඳ කාරණයේදී අපි කරුණු දෙකක් පිළිබඳ අවධානය යොමු කරනු ලැබුවා. අපේ රටේ වෘත්තීමය හැකියාවක් ඇති රාජ්‍ය නිලධාරින් රට අතහැර යාමේ ප්‍රවණතාවක් පැවතුණා. ඒ වගේම යම් වෘත්තීමය හැකියාවක් සහ ධාරිතාවක් තිබෙන අයෙක් රාජ්‍ය සේවයට ආකර්ෂණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් තිබුණා. ඒ අනුව අසීරුතා මධ්‍යයේ වුවද රාජ්‍ය සේවකයන්ට දැනෙන වැටුප් වැඩිවීමක් සිදු කළ යුතු බව අපි තීරණය කළා.
එය අපේක්ෂා නොකළ මූලික වැටුප් වැඩිවී මක් බව කිවයුතුයි. විද්‍යාත්මක ක්‍රමයකට අනුව අපි එම මූලික වැටුප් වැඩි කිරීම සිදු කිරීමට තීරණය කළා. ඒ වගේම අනෙකුත් දීමනා වැඩි කිරීමටද කටයුතු කළා. කිසිදා සංවාදයට ලක් නොවූ වැටුප් වර්ධකවල දැනෙන වැඩිවීමක් සිදු කිරීමට අපි කටයුතු කළා. එහෙත් මූලධර්ම සහ අභිමානය ආරක්ෂා කරමින් ඉදිරියේදී එහි සංශෝධනය සිදු කිරීමට අවශ්‍ය බව යෝජනා කරන්නේ නම් ඒ සඳහාත් අපි කටයුතු කරන බව ප්‍රකාශ කළ යුතුයි. මේ සියල්ල තුළින් අපි අපේක්ෂා කරන්නේ රට තුළ ඉතා හොද රාජ්‍ය සේවයක් ඇති කිරීමයි.
එහෙත් අද ප්‍රතිපක්ෂ දේශපාලන අධිකාරිය කරමින් සිටින්නේ කුමක්ද? අද මම ජනාධිපති වුණත්, මට මන්ත්‍රී විශ්‍රාම වැටුප හිමි වෙනවා. මම එය දැනගෙන සිටියේ නැහැ. එහෙත් එම කාරණය පිළිබඳ දැන ගත් විගස මන්ත්‍රී විශ්‍රාම වැටුප නතර කරන ලෙස මම පාර්ලිමේන්තුවට ලිපියක් භාර දුන්නා. මන්ත්‍රීවරයා ජනාධිපති වීමෙන් පසු ඔහුට මන්ත්‍රීවරයාට හිමි විශ්‍රාම වැටුප ලැබෙනවා. ජනාධිපති වැටුපත් ලැබෙනවා. එදා සිදු වුණේ තමන් කැමති විදිහට ලොකු හැඳිවලින් බෙදා ගැනීමයි. ඒ වගේම මන්ත්‍රීවරයා ඇමති වෙනකොට ඇමති වැටුපත්, මන්ත්‍රී වැටුපත් දෙකම හිමි වෙනවා. නමුත් අපි තීරණය කර තිබෙනවා අපේ ඇමතිවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු ලබා ගන්නේ මන්ත්‍රී වැටුප පමණයි කියලා. මේ රට වෙනස් කිරීමට නම් දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුයි.
ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත අපි ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ගේනවා. එසේම ජනාධිපතිවරයාගේ වරප්‍රසාද පනත සංශෝධනය කර එම පනතත් ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ගේනවා. පාර්ලිමේන්තුවේ සියලුදෙනාට එකට එක්වී අත එසවිය හැකි පනත් කිහිපයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එනු ලබනවා. ඒ වගේම මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා නෙදෙන අතර තම ධුර කාලය තුළ මන්ත්‍රීවරයෙකුට වාහනයක් ලැබිය යුතුයි යන ප්‍රතිපත්තියේ අප සිටිනවා.
එසේම අප ඇමතිවරු සංඛ්‍යාව 21 දක්වා අඩු කර තිබෙන අතර නියෝජ්‍ය අමාත්‍යවරු ඊට සරිලන ලෙස පත් කර තිබෙනවා. අමාත්‍යවරුන්ට නිවාස ලබා දෙන්නේ නැහැ. රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් නිර්මාණය කිරීමට අපට අවශ්‍ය වන අතර මන්ත්‍රීවරු සහ දේශපාලන අධිකාරිය මේ රට ගොඩනැගීම සඳහා යම් කැප කිරීමක් සිදු කරමින් ආදර්ශය සපයන විට රාජ්‍ය සේවකයන්ද ඒ සඳහා සුදානම් විය යුතුයි. එසේ නොමැතිව අභිමානය වැනි සරල කරුණුවල පැටලී ප්‍රශ්න නොකළ යුතු බව මම ප්‍රකාශ කිරීමට කැමතියි.
රැකියා විරිහිත උපාධිධාරින් පිළිබඳ අපි විශේෂ අවධානය යොමු කර තිබෙන අතර එම රැකියා ලබා දීම නිසි ප්‍රතිපත්තියකට අනුව සිදු කරනවා. දැනට රාජ්‍ය සේවයේ පුරප්පාඩු 15,300ක් හදුනාගෙන තිබෙන අතර එම පුරප්පාඩු පිරවීමට අදාල කමිටුව අපට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව රජයේ පුරප්පාඩු 30,000ක් ඉදිරියේදී පිරවීමට කටයුතු කරන අතර ඒ ඒ තනතුරුවලට බඳවා ගැනීම් නිසි පටිපාටිය අනුව සිදු කරනවා. එසේ නොමැතිව රාජ්‍ය සේවයට අනවශ්‍ය ලෙස විශාල පිරිස් බඳවා ගැනීම් නොකළ යුතුයි. ඒ සඳහා උඩගෙඩි නෙදෙන ලෙසද පාර්ලිමේන්තුවේ සිටින සියලුදෙනාගෙන් මම ඉල්ලා සිටිනවා. අපි රාජ්‍ය සේවය පිළිගන්නා රාජ්‍යයක්. එහෙත් අපේ රටේ රාජ්‍ය සේවය සඳහා දරන වැය බර ඉතා ඉහළයි. ඒ නිසා අපි ඒ සඳහා සැලසුම් සහගතව කටයුතු කරනවා.
අපේ ආණ්ඩුව පත් වුණේ පැවති ක්‍රමවේදය ඒ අයුරින්ම ඉදිරියට ගෙන යාමට නම් එය ඉතා පහසු කාර්යයක්. එහෙත් මේ රටේ ජනතාව අපව බලයට පත් කර ගත්තේ පවතින ක්‍රමවේදය රටටත් ජනතාවටත් සුබවාදී ලෙස පරිවර්තනයකට ලක් කිරීමටයි.
මෙම කාර්යයේදී මෙරට ව්‍යාපාරික ප්‍රජාවට විශාල කාර්යභාරයක් පැවරෙනවා. සියලු දෙනාම නිසි පරිදි බදු ගෙවිය යුතු අතර බදු පැහැර හරින අයට එරෙහිව නීතිය ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරනවා. ඒ වගේම ඔබ ගෙවන බදුවල සෑම රුපියලක්ම, දේව කාර්යයක් ලෙස අප සුරකිනවා. එම බදු ගෙවන අයට විශේෂ වරප්‍රසාද ලබා දීමටද අපේක්ෂා කරනවා.
බදු ගෙවන්නන් තුළ රට පිළිබඳ විශ්වාසයක් ඇති කළ යුතුයි. අපි රට තුළ නව දේශපාලන සංස්කෘතියක් ඇති කරන්නේ ඒ සඳහායි. ජනතාව ගෙවන බදු ඉතා හොදින් ආරක්ෂා කරන සහ රැක බලා ගන්නා පාලනයක් තිබෙන බවට වන විශ්වාසය ඇති කළ විට ඔවුන් නිසි ලෙස බදු ගෙවනවා. බදු ගෙවන අයෙකුට “මම බදු ගෙවන පුරවැසියෙක්” කියා ආඩම්බරයෙන් කිව හැකි පරිසරයක් රට තුළ නිර්මාණය කළ යුතුයි. එද ජනතාව බදු ගෙවන්න අධෛර්යමත් වුයේ එම ගෙවන බදුවලට වෙන දේ මහ දවල් සියැසින් දුටු නිසයි. එම තත්ත්වය වෙනස් කර බදු ගෙවන්න හිතෙන රාජ්‍යයක් බවට අපි මේ රාජ්‍ය පත් කරනවා.
ඒ වගේම අපේ වෘත්තීයවේදීන් රට වෙනුවෙන් වැඩ කළ යුතුයි. කොතැනක හෝ රාජ්‍යයෙන් ඉටු විය යුතු කාර්යභාරය වෙනුවෙන් ගෙවීමක් කිරීමට සිදු නොවන තත්ත්වයක් රට තුළ ඇති කළ යුතුයි. අල්ලස රාජ්‍ය සේවය අකර්මණ්‍ය කරන අතර ආර්ථික වර්ධනයට බාධා කරනවා. අල්ලස ආර්ථික අපරාධයක් වන අතර ඒ පිළිබඳ අපි ඉදිරියේදී දැඩි තීන්දු ගන්නවා. මේ රාජ්‍ය යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි. රාජ්‍ය යාන්ත්‍රණය පුරා පැතිරි තිබෙන අල්ලසේ සංස්කෘතිය අවසන් කළ යුතුයි. එය සිදු කිරීමට නම් පළමුවෙන්ම දේශපාලන අධිකාරිය එම ආදර්ශය සැපයිය යුතුයි.
ඒ වගේම අපි රට තුළ ආයෝජනයට පහසු පරිසරයක් නිර්මාණය කරන අතර ආයෝජන ආරක්ෂණ පනතක්ද ගෙන එනවා. ඒ වගේම ක්‍රමෝපායික සංවර්ධන පනත වෙනස් කර හිතවත්කම් මත නොව ජාතික අවශ්‍යතාව මත නව බදු සහන ලබා දෙන පනතක්ද ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.
එසේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල ප්‍රතිසංස්කරණයක් අපේක්ෂා කරන අතර පාසල් පද්ධතිය විධිමත් කිරීම වෙනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. වෘත්තීය පුහුණුව සහ අධ්‍යාපන මාවත් පුළුල් කරමින් රටේ දරුවන්ගේ අනාගතය දීප්තිමත් කළ හැකි පරිදි අධ්‍යාපන පරිවර්තනයන් සිදු කරනවා.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සහන ලබා දෙන අතර කෘෂිකර්මාන්තයේද විශාල පරිවර්තනයක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. වරාය ආශ්‍රිත නාවුක කේන්ද්‍රීය ආර්ථිකය අපි විශාල ලෙස සැලසුම් කර තිබෙන අතර ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව කෙරවළපිටිය බහාලුම් මධ්‍යස්ථානය ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීමටද අපේක්ෂා කරනවා. මේ අයුරින් අපි රටේ ආර්ථිකය ස්ථාවර කර ගනිමින් රට ඉදිරි ඉලක්ක කරා මෙහෙයවමින් තිබෙනවා. අප සියලුදෙනා එක්ව මෙම ගමන ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යා යුතුයි.
(-Colombo, March 17, 2025-) ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වදින කණ්ඩායම් අද (17) දින පෙරවරුවේ සිට නාමයෝජන පත්‍ර සඳහා අත්සන් තැබීම බත්තරමුල්ල පැලවත්තේ පිහිට එම පක්ෂ මූලස්ථානයේදී ආරම්භ කරනු ලැබීය. මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ , කොළඹ […]
(-Colombo, March 17, 2025-)
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වදින කණ්ඩායම් අද (17) දින පෙරවරුවේ සිට නාමයෝජන පත්‍ර සඳහා අත්සන් තැබීම බත්තරමුල්ල පැලවත්තේ පිහිට එම පක්ෂ මූලස්ථානයේදී ආරම්භ කරනු ලැබීය. මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ , කොළඹ මහ නගර සභා කණ්ඩායම් නායක සහ කඩුවෙල මහ නගර සභා කණ්ඩායම් නායකයින් එක්විය.
නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්…
මන්ත්‍රීවරු කොන්ත්‍රාත් කරන, කප්පම් ගන්න, පගා ගහන දේශපාලනය වෙනුවට මන්ත්‍රීවරු නගරාධිපතිවරු නගරාධිපතිවරියෝ ජනතාව එක්ක එකතු වී වැඩ කරන දේශපාලන සංස්කෘතියක් අපි ඇති කරනවා – ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
මෙවර පළාත් පාලන මැතිවරණයේ තීරණාත්මක වෙනසක් වෙනුවෙන් ජනතාව මාලිමාව වටා පෙළගැසෙන බව විශ්වාසයි – ජාතික ජන බලවේගයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ
අපට ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක් ඉන්න බව පාර්ලිමේන්තු මැතිවරණයේදිත් පෙන්නුවා. ඒක පළාත් පාලන මැතිවරණයේදිත් අපි පෙන්වනවා. කොළඹ මහ නගර සභාව ඇතුළුව රටේම පළාත් පාලන ආයතන අපි ජයග්‍රහණය කරනවා – කොළඹ මහ නගර සභා කණ්ඩායම් නායිකා, ව්‍රායි කැලී බල්තසාර්
කඩුවෙල මහ නගර සභාවෙන් මෙතෙක් ජනතාව ගෙවන බදු මුදලට සාධාරණයක් ඉටු වුණේ නෑ. අපි සූදානම් වරදානයක් වරප්‍රසාදයක් ලෙස නෙවෙයි මේක වගකීමක් ලෙස බාරගෙන කඩුවෙල පුරවරය සංවරධනය කරන්න. – කඩුවෙල මහ නගර සභා කණ්ඩායම් නායක රංජන් ජයලාල්
(-Colombo, March 15, 2025-) ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද (14) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඉස්ලාම් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙම උත්සවය පැවැත්විණි. නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා මෙහි පිළිගැනීමේ කතාව […]
(-Colombo, March 15, 2025-)
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද (14) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඉස්ලාම් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙම උත්සවය පැවැත්විණි.
නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා මෙහි පිළිගැනීමේ කතාව සිදු කළ අතර ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතාද උත්සව සභාව ඇමතීය.
ෂෙයික් අබ්දුල්ලා ෂහීඩ් මව්ලවිතුමා “රාමසාන් මාසයේ වැදගත්කම” පිළිබඳ විශේෂ දේශනයක් සිදු කරන ලදී.
විශේෂ යාඥා මෙහෙයෙන් පසු ප.ව 6.23ට අද දින උපවාසය අත්හැරීමේ කටයුතු ආරම්භ වූ අතර ඉන් අනතුරුව විශේෂ භෝජන සංග්‍රහයක්ද පැවැත්විණි.
මේ අතර ජනාධිපතිවරයා ඉෆ්තාර් උත්සවය සඳහා එක්ව සිටි ඉස්ලාම් බැතිමතුන් සමග සුහද කතාබහකටද එක් විය.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් යන මහත්වරු සහ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුද, රාජ්‍ය නිලධාරින්, මහකොමසාරිස්වරු, තානාපතිවරු, මාධ්‍යවේදින් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(-Colombo, March 08, 2025-) ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයකි. වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා කාන්තාවන් 15,000ක් පමණ නිව්යෝර්ක් නගරයේ සිදු කළ පා ගමන කාන්තා දිනය පිළිබඳ සංකල්පීය ඇරඹුමයි. 1917 පෙබරවාරි විප්ලවයට පදනම වූ රුසියානු කාන්තාවන් “පාන් සහ සාමය” ඉල්ලා වැඩවැරූ දිනය වන […]
(-Colombo, March 08, 2025-)
ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයකි. වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා කාන්තාවන් 15,000ක් පමණ නිව්යෝර්ක් නගරයේ සිදු කළ පා ගමන කාන්තා දිනය පිළිබඳ සංකල්පීය ඇරඹුමයි. 1917 පෙබරවාරි විප්ලවයට පදනම වූ රුසියානු කාන්තාවන් “පාන් සහ සාමය” ඉල්ලා වැඩවැරූ දිනය වන මාර්තු 08 දිනය, පසුකාලීනව ජාත්‍යන්තර කාන්තා දිනය බවට පත් විය.
පසුගිය කාලය පුරා අප රටෙහිද කාන්තා දින සැමරුම් පවත්වමින් බොහෝ සංවාද හා කතිකා ගොඩනැඟුවද වේදිකාවට පමණක් සීමා වූ එම කතාබහ මහපොළොවේ යථාර්ථයක් ලෙස රෝපණය නොවීය. ජාතික ජනබලවේගය ආණ්ඩුව ගොඩනැඟීමෙහි ලා ශ්‍රී ලාංකික කාන්තාව දුන් දායකත්වය අතිමහත්ය. ඒ මහා කාර්යයට රජයක් ලෙස අපගේ කෘතගුණ පෙරළා පිරිනමන අතරම, ගෙවී ගිය කෙටි කාලය තුළ ශ්‍රී ලාංකික කාන්තාවට ජයග්‍රහණ රැසක් අත්කර දීමට අවැසි මුල් පියවර අප තැබූ බවද සිහිපත් කරමි.
දශක ගණනාවක් පුරා සාකච්ඡාවට පමණක් බඳුන් වූ කාන්තාවගේ දේශපාලන නියෝජනය, සහභාගිත්වය සහ භූමිකාව ඉහළ නංවමින් පසුගිය මහ මැතිවරණයේදී කාන්තාවන් විසි දෙදෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස තේරී පත්වීම මෙරට දේශපාලනයේ හැරවුමක් බව අවිවාදිතය.
එසේම, ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය උදෙසා සමාජ සාධාරණත්වය ඉටුකරමින් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වූ නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලියට මෙරට ජනගහනයෙන් 51.7%ක් වන කාන්තාවන් සක්‍රීයව හා ඵලදායීව සහභාගි කර ගැනීමේ සැලසුම් අපි ක්‍රියාවට නංවා ඇත්තෙමු. සාධාරණ සමාජයක්, නිවහල් රටක් සහ නිදහස් ස්ත්‍රියක් යන අභිලාෂය සාක්ෂාත් කරමින් නිවස, ප්‍රවාහනය, ප්‍රජාව, වැඩබිම, දේශපාලනය ආදී සෑම ස්ථානයකම කාන්තාවට සිදුවන සියලුම ආකාරයේ හිංසනයන්ට, වෙනස්කර සැලකීමට එරෙහිව කටයුතු කරමින් කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කර ප්‍රවර්ධනය කිරීමට අත්‍යාවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට අපි රජයක් ලෙස ප්‍රමුඛත්වය දී ඇත්තෙමු.
ඒ අනුව “සියලු කාන්තාවන් හා ගැහැනු දරුවන් සඳහා සමානාත්මතාව, අයිතිවාසිකම් සහ සවිබල ගැන්වීම යන තේමාව යටතේ “තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක්” මැයෙන් මෙවර කාන්තා දිනය සංවිධානය කිරීමෙහි ප්‍රායෝගික හා අර්ථ සම්පන්න බව මෙහි ලා සිහිපත් කළ යුතුය.
දැයේ දියණිවරුන්ට සුරක්ෂිත ජීවිතයක් හා ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැඟීම උදෙසා අප රට නව පුනරුදයක් කරා ගෙන යන ගමනට එක්වන ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරමින්, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මාගේ උණුසුම් සුබපැතුම් පිරිනමමි.
අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 මාර්තු 08 වන දින