(-Colombo, February 23, 2025-) ජනපති දළදා සමිඳුන් වැඳ පුදාගෙන මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැ දකියි සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් මෙම සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ පිළිබඳ අද මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් සමඟ සාකච්ඡා කළ බවත්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහනුවර […]
(-Colombo, February 23, 2025-)
ජනපති දළදා සමිඳුන් වැඳ පුදාගෙන මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැ දකියි
සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් මෙම සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ පිළිබඳ අද මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් සමඟ සාකච්ඡා කළ බවත්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහ ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සූදානම් කිරීමට එකඟ වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ අද (23) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවය.
මල්වතු මහා විහාරය වෙතද ගිය ජනාධිපතිවරයා මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමගද කෙටි පිළිසඳරක නිරත විය.
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභික ස්වාමින් වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
ඉන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ රටේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් මතුව නොමැති බවයි. පාතාල කණ්ඩායම් අතර ගැටුම් නිර්මාණය වුවත්, එය පොදු මහජනතාවගේ ආරක්ෂාවට ගැටලුවක් වී නැති බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙතෙක් දේශපාලන රැකවරණය මත වර්ධනය වු පාතාලය මුළුමනින්ම මැඩ පැවැත්විමට වත්මන් රජය කටයුතු කරන බවද අවධාරණය කළේය.
එමෙන්ම පළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මණින් පැවැත්වීම රජයේද අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල්ද රජය වෙන් කර ඇති බවත් සඳහන් කළේය. මැතිවරණ කොමිසම විසින් ඒ සඳහා කඩිනමින් දින නියම කරනු ඇතැයිද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි තුෂාරි ජයසිංහ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(-Colombo, February 05, 2025-) අද (05) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ස්විට්සර්ලන්තයේ තානාපතිනි Siri Walta මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අතර හමුවක් පැවැත්විණි. මේ වන විට රට තුළ පවතින සාමාජීය හා දේශපාලන තත්වය පිළිබඳව මෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ පිළිබඳවත් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් අලුතින් හඳුන්වා දෙන ආර්ථික ප්‍රතිසංස්කරණ […]
(-Colombo, February 05, 2025-)
අද (05) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ස්විට්සර්ලන්තයේ තානාපතිනි Siri Walta මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අතර හමුවක් පැවැත්විණි.
මේ වන විට රට තුළ පවතින සාමාජීය හා දේශපාලන තත්වය පිළිබඳව මෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ පිළිබඳවත් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් අලුතින් හඳුන්වා දෙන ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම ජාතික සංහිඳියාව, මානව හිමිකම් ආරක්ෂා කිරීම මෙන්ම නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම පිළිබඳවත් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් Justine Boillat මහත්මිය සහ දේශපාලන අංශයේ නිලධාරී කනිෂ්ක රත්නප්‍රිය මහතාද එක්ව සිටියහ. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ජාත්‍යන්තර අංශයේ කමිටු සාමාජිකා නීතිඥ මධූ කල්පනා සහෝදරියද එක්ව සිටියාය.
(-Colombo, February 04, 2025-) මෙවර අපි සමරන්නෙ සුවිශේෂී නිදහස් දිනයක්. අතීතය දෙස බලාගෙන සැමරූ නිදහස් දිනයන් වෙනුවට මෙවර අපි නිදහස් දිනය සමරන්නෙ අනාගතය දෙස බලාගෙන. උතුරේත්, දකුණේත්, නැගෙනහිරත්, රට මැදත් ජනයා අනාගත පොහොසත් ශ්‍රී ලාංකීය රජ්‍යයක් ගැන, නූතන ශ්‍රී ලාංකීය ජාතියක් ගැන එකාවන්ව සිහින දකින මොහොතකයි අපි අද නිදහස සමරන්නෙ. 1948 පෙබරවාරි 4 වන දා […]
(-Colombo, February 04, 2025-)
මෙවර අපි සමරන්නෙ සුවිශේෂී නිදහස් දිනයක්. අතීතය දෙස බලාගෙන සැමරූ නිදහස් දිනයන් වෙනුවට මෙවර අපි නිදහස් දිනය සමරන්නෙ අනාගතය දෙස බලාගෙන. උතුරේත්, දකුණේත්, නැගෙනහිරත්, රට මැදත් ජනයා අනාගත පොහොසත් ශ්‍රී ලාංකීය රජ්‍යයක් ගැන, නූතන ශ්‍රී ලාංකීය ජාතියක් ගැන එකාවන්ව සිහින දකින මොහොතකයි අපි අද නිදහස සමරන්නෙ.
1948 පෙබරවාරි 4 වන දා අපේ රටට, අප වෙනුවෙන් තීරණ ගැනීමට අවශ්‍ය දේශපාලන නිදහසක් හිමි වුණා. ඒ නිදහස සීමිත වුණත් ඒක වැදගත්. ඒ තමයි අපි දේශපාලන ස්වාධීනත්වය ලැබීමේ ඉතිහාසයේ පළමුවෙනි මොහොත. 1505 සිට කොටස් වශයෙන් බටහිර අධිරාජ්‍යවාදීන්ට යටත් වුණ මේ දිවයින 1815 සමස්තයක් ලෙසම බ්‍රිතාන්‍ය යටත්විජිතයක් බවට පත් වුණා. එයින් මිදී මීට වසර 77කට පෙර ඉන්දියන් සාගරයෙන් වට වූ මේ දූපත ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී සිටීමට අවශ්‍ය දේශපාලන කොන්දේසි සැපිරීම ආරම්භ කරන්නෙ අද වැනි දවසක. ඒ නිසා ඒක අපි සැමරිය යුතු දවසක්.
මේ දවස උදා කිරීම වෙනුවෙන් ආත්මීය පරිත්‍යාගයන් කළ සියලු වීරෝධාර මිනිසුන්ට අපේ ආචාරය පුද කළ යුතු දවසක් අද. ඒ වගේම ඒ නිදහස පූර්ණ වශයෙන් අත්පත් කර ගැනීම වෙනුවෙන් ඔවුන් ලබා දුන් ඒ යෂ්ටිය රැගෙන 1948න් පසුවත් තවත් වීරෝධාර මිනිසුන් කඳුපල්ලම් සහිත මාවතක අපේ නිදහස වෙනුවෙන් ගමන් කළා. කිරීටයෙන් පූර්ණ දේශපාලන නිදහස ලබන 1972 වසරත් පසු කරමින් ඒ යෂ්ටිය රැගෙන 77 වන නිදහස සමරන මේ මෙහොත දක්වා අප දීර්ඝ ගමනක් පැමිණ තිබෙනවා. ඒ ගමන තුළ අප දන්නා අප සමරන වීරයන් වීරවරියන් සේම අප නම් නොදන්නා අපේ නිදහස වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ සුවහසක් වීරෝධාර මිනිසුන්ගේ ලේ කඳළු දහදිය මතින් අද දක්වා අප පැමිණ සිටිනවා. ඒ සියලුදෙනාට මේ මොහොතේ අපගේ ආචාරය හිමි වනවා.
අද මම මේ රාජ්‍යයේ මහජන ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයා ලෙස මේ නිදහස් චතුරස්‍රයේ මේ අභිමාවනවත් ජාතික ධජය ඉදිරියේ සිටගන්නේ නිදහසේ අනාගත අපේක්ෂාවන් නියෝජනය කරන ඒ ඓතිහාසික බර දරා ගත් ඔබගේ සහෝදරයා ලෙසයි. මා ලෙසම මේ බර දරා ගෙන මේ මොහොතේ ඔබත් මා සමඟ මා අසල එක්ව සිටගෙන සිටිනා බව මා විශ්වාස කරනවා.
අපට අපේ ආර්ථික නිදහස වෙනුවෙන්, අපට අපේ සමාජ සංස්කෘතික නිදහස වෙනුවෙන්, කොටින්ම නූතන පුරවැසියන් ලෙස අභිමානවත්ව මේ රට තුළ ජීවත් වීමට අවශ්‍ය නිදහස නිර්මාණය ගැනීම වෙනුවෙන්, එක්ව යා යුතු ගමනක් තිබෙනවා. කාලාන්තරයක් තිස්සේ යටත්වැසියන් ලෙස අප බෙදා වෙන් කර පාලනය කළ ජනවාර්ගික බේද, ආගමික බේද, කුල බේද පමණක් නොවේ, දේශපාලන නියෝජිතයන් සහ ජනතාව අතර, ආයතන ප්‍රධානීන් හා ආයතන කාර්ය මණ්ඩල අතර, මගීන් සහ පොදු ප්‍රවාහනය මෙහෙයවන්නන් අතර, රජයේ සේවකයන් සහ තම වුවමනා ඉටු කිරීමට එන පොදුජනයා අතර, ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර මේ ආදී මේ සෑම තැනකම මුල් බැස ගෙන ඇති අගතීන් සෝදා හැර මේ සමාජය පවිත්‍ර කර කළ යුතුව තිබෙනවා සේම නූතන ලෝකයට උරුම මානව ගරුත්වය, ආදරය සහ දයාව සියලු මිනිස් සබඳතාවන්ගේ පදනම බව අප අපටම අවධාරණය කර ගත යුතුව තිබෙනවා. එසේම මේ රටේ පුරවැසියන් ලෙස මනුෂ්‍යයෙකුට හිමි වන ගෞරවය හෝ ආදරය ආබාධිතබව නිසා, වයෝවෘධබව නිසා, රෝගී බව නිසා හෝ එවැනි කිසිදු නොහැකියාවක් මත සීමා වීමට අප ඉඩදිය යුතු නැහැ.
යටත්විජිතවාදයෙන් මිදී වසර 77ක් සපිරෙන විට රටක් ලෙස නිදහස ගැන අපට අලුතෙන් සිතිය හැකි වන්නේ එවිටයි.
මේ නිසා අප මතක තබා ගත යුතුයි රටට ආර්ථික, සමාජයීය, සංස්කෘතික නිදහස පූර්ණ ලෙස දිනා ගැනීමේ මෙහෙයුම තුළ ඔබ අප සියලු දෙනා එකම අරගලබිමක අරගලකරුවන් වන බව. අප සියලු දෙනා එකාවන්ව මේ මාතෘභූමිය වෙනුවෙන් තවදුරටත් කළ යුතු නිදහස් අරගලයක් තිබෙනවා.
මේ මෙහෙයුම තුළ අපේ ජාතියට ආහාර නිෂ්පාදනය කරන ගොවියන් සහ ධීවරයන් ලෙස ඔබට එහි භූමිකාවක් තිබෙනවා, අපේ ජාතියට දැනුම නිෂ්පාදනය කරන ඒ දැනුමින් අනාගත පරම්පරාවන් පෝෂණය කරන ගුරුවරුන් ලෙස ඔබට එහි කාර්යභාරයක් තිබෙනවා, අපේ ජාතියේ නිරෝගීබව සුරකින සෞඛ්‍ය සේවයේ ක්‍රියාධරයන් ලෙස ඔබට එහි කාර්යභාරයක් තිබෙනවා, අපේ පුරවැසි ආරක්ෂාව සහතික කරන පොලිසිය සහ ආරක්ෂක අංශ ලෙස ඔබට එහි වගකීමක් තිබෙනවා, අපේ රට තුළ ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟන, අපේ රට කාර්මීකරණය කරා ගෙන යන, අපේ රටේ සේවා ආර්ථිකය ශක්තිමත් කරන ඔබ සියලු දෙනාට එහි සුවිශේෂී භූමිකාවක් තිබෙනවා, ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ගේ සිට කඳුකරයේ තේදලු නෙලන ගැහැනුන්ගේ මිනිසුන්ගේ සිට, අපෙන් දුරස්ව සිටිමින් දුරු රටවල අප වෙනුවෙන් වෙහෙසෙන්නන්ගේ සිට, තොරතුරු තාක්ෂණයෙන් අපේ රට ඉහළට ගෙන යාමට වෙර දරන, සංචාරක කර්මාන්තයෙන් අපේ රට ඔසවා තබන්නට වෙහෙසෙන ඔබ සැමට එහි භූමිකාවක් තිබෙනවා.
ගෝලීය ආර්ථික පද්ධතිය තුළ දුබලයෙකු නොවී එහි සෑම චලනයකින්ම තැලෙන පෑගෙන යටත්වැසියෙකු නොවී ආර්ථික තලය තුළ අපේ නිදහස සාක්ෂාත් කර ගන්නට නම් අප සියලුදෙනා එක් ව මේ මාතෘභූමිය වෙනුවෙන් කැප විය යුතු ව තිබෙනවා. ඒ ආර්ථික නිදහස වෙනුවෙන් අප කරන අරගලය තුළ අපේ සමාජයීය සංස්කෘතික නිදහස කිසිසේත්ම දෙවැනි කර තැකීමට අප සූදානම් නැහැ.
ඒ නිසා කලාකරුවන් ලෙස, ලේඛකයන් ලෙස, ජනමාධ්‍යවේදීන් ලෙස, ශාස්ත්‍රඥයන් ලෙස වෛරයෙන් ක්‍රෝධයෙන් අපවිත්‍ර කරනු ලැබූ අපේ ජාතික ආත්මය පවිත්‍ර කරන්නට සුවපත් කරන්නට ඔබට ඇත්තේ අත්හැරිය නොහැකි වගකීමක්. එහිදී ආගමික නායකයන් වෙත සුවිශාල වගකීමක් පැවරී තිබෙනවා.
එසේම මේ රටේ අනාගත පරපුර හදා-වඩා ගන්නා සුවහසක් ආදරණීය මව්වරුන් ලෙස ආදරණීය පියවරුන් ලෙස ඔබටත් එහි ඇත්තේ සුවිශේෂී කාර්යභාරයක්.
ඒ වගේම හෙට දින මේ රට භාරගැනීමට සූදානමින් අද දින සිප්සතර හදාරන දුවා-දරුවන් ලෙස ඔබට එහි අද්විතීය භූමිකාවක් තිබෙනවා.
මේ රටට අසීමිත ලෙස ආදරය කළ මිනිසුන්ගේ ආත්ම පරිත්‍යාගයන්, ලේ කඳුළු දහදිය මතින් මේ රට අනාගතය වෙත ගෙන යන වගකීමේ යෂ්ටිය අප වෙත භාර වූ පරිද්දෙන් අප විසින් ඒ ගෞරවනීය වගකිීම මතු දිනයකදී ඔබට භාර කරනු ලබනවා. එහෙත්, 2025 පෙබරවාරි 4 වන දා, යටත් විජිතකරණයෙන් නිදහස් වී වසර 77 කට පසු ජාතික නිදහස සමරන අද දිනයේ ඔබට මා එක දෙයක් සපථ කර කිව යුතු ව තිබෙනවා. ඔබට අප විසින් බාර දෙනු ලබන ඒ රට අපට ඉතිහාසය විසින් භාර දුන් රට නොව ඔබ විශ්වව්‍යාපී පුරවැසියෙක් ලෙස ජීවත් වීමට ආසා කරන, ඔබේ පුරවැසි අභිමානය ගරු කරන, දියුණු සංස්කෘතික මනුෂ්‍යත්වයක් සහිත රටක් වන බවයි. එසේම මානව ශිෂ්ටාචාරය මේ වන විට අත් කර ගෙන ඇති විද්‍යාත්මක, තාක්ෂණික සහ චින්තනමය ජයග්‍රහණ මේ ශ්‍රී ලාංකීය රාජ්‍යයේ පුරවැසියෙකු ලෙස අත්විඳීමට ඔබට ඇති හිමිකම තහවුරු කරනු ලැබූ රටක් වන බවයි.
මා ස්ථිරසාර ලෙස අද ඔබ ඉදිරියේ මෙසේ පවසන්නේ ඉතිහාසය විසින් අපට උරුම කර දී ඇති මේ මහඟු අවස්ථාව මඟහැර යාමට අපට කිසිදු යුක්තිසහගත අයිතියක් නොමැති වන නිසයි. අප එසේ නොකළ බවට අනාගතය සාක්ෂි දරනු ඇති. එසේම අප විසින් ඔබ හට බාර දෙන අපේ මේ ආදරණීය මාතෘභූමිය අපටත් වඩා වැඩි සෙනෙහසකින්, අපටත් වඩා වැඩි ජවයකින් ඔබ විසින් අනාගතය වෙත ගෙන යන බව මට විශ්වාසයි.
මිනිසුන් ලෙස මේ පොළොවේ උපදින අපට ඇති අත් හැරිය නොහැකි වගකීම වන්නේ මේ ලෝකය වඩා උසස් මනුෂ්‍යත්වයක් සහිත තැනක් බවට පත් කිරීමයි. එසේම ඒ උසස් මනුෂ්‍යත්වය සමානව උකහා ගැනීමට සියලු මිනිසුන්ට අවකාශ සලසා දීමයි. නිදහස වෙනුවෙන් වන අරගලය බැඳී ඇත්තේ මෙන්න මේ උත්තුංග අරමුණ සමගයි.
මේ නිසා ඒ නිදහසේ සිහිනය එක්ව දකිමු ඒ සිහිනය එක් ව සැබෑ කර ගනිමු.
සමහර විට ඔබ සහ මම, අපි සියලුදෙනා එක්ව මේ ගමන් කරමින් සිටින්නේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නූතන දේශපාලන ලෝකයේ නොමැකෙන ආදර්ශයක් බවට අපේ මාතෘ භූමිය, මේ ශ්‍රී ලංකා රාජ්‍යය පත් කරන ගමනක් විය හැකි බවද මතක තබා ගන්න. අපට නියත ලෙසම මේ ලෝකයේ ධනවත්ම රට බවට පත් විය නොහැකි නමුත් අප උත්සාහ කළොත් අපට මේ ලෝකයේ පොහොසත්ම ජාතික ආත්මය දරා ගත් සමානාත්මතාවයේ හා නිදහසේ ආදර්ශ රාජ්‍යය බවට පත් විය හැකියි.
(-Colombo, January 31, 2025-) මෙරට දේශපාලඥයෝ හැමදාම ජනතාවගේ විශ්වාසය කඩ කරන නමුත් බෙදීම වෙනුවට සියලු දෙනා එක්විය යුතු බවට පසුගිය මැතිවරණයේදී මේ රටේ ජනතාව තැබූ විශ්වාසය කිසිසේත්ම කඩ නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනතාව තැබු විශ්වාසය ආරක්ෂා කරමින් මේ රටේ හොරකම සහ නාස්තිය නවතන බවත් හොකරම් කළ අයට අනිවාර්යයෙන් දඩුවම් ලබා දෙන […]
(-Colombo, January 31, 2025-)
මෙරට දේශපාලඥයෝ හැමදාම ජනතාවගේ විශ්වාසය කඩ කරන නමුත් බෙදීම වෙනුවට සියලු දෙනා එක්විය යුතු බවට පසුගිය මැතිවරණයේදී මේ රටේ ජනතාව තැබූ විශ්වාසය කිසිසේත්ම කඩ නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනතාව තැබු විශ්වාසය ආරක්ෂා කරමින් මේ රටේ හොරකම සහ නාස්තිය නවතන බවත් හොකරම් කළ අයට අනිවාර්යයෙන් දඩුවම් ලබා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
පසුගිය මැතිවරණවලදී විවිධ දේශපාලන වේදිකාවල සිටි අය අද එක්වී තමන් සිදු කළ වංචා සහ දූෂණවලට දඩුවම් ලැබීමෙන් බේරීමට සාකච්ඡා පවත්වන නමුත් මේ රටේ ජනතාව ආණ්ඩුව සමඟ සිටින තුරු ඔවුන්ගේ අරමුණු ඉටුකරගත නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යාපනය, වැල්වැටිතුරේ ප්‍රදේශයේ ඊයේ (31) පැවති සුහද හමුව අමතමිනි.
දූෂිතයන්, හොරුන්ට සහ අපරාධකරුවන්ට නැවත මේ රටේ ඉඩක් නොතැබිය යුතු බවත් පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව අපේක්ෂා කළ යහපත් දේශපාලන සංස්කෘතිය රට තුළ ගොඩනැඟීමේ වැඩපිළිවෙළ මතු පරපුර වෙනුවෙන් අත්නොහැර ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ජාතිවාදය සහ ආගම්වාදය යළිත් මේ රටට අවශ්‍ය නැති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා සියලු ජනතාව ජාතිකත්වයෙන් එක්වන දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම තම රජයේ අරමුණ බවද කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
පසුගිය ජනාධිපතිවරණයේදී මේ යාපනයේ දිස්ත්‍රික්කයේ විශාල ජනතාවක් අප කෙරෙහි විශ්වාස තබා ඡන්දය ලබා දුන්නා. ඒ ඡන්දය ජාතික ජන බලවේගය ආණ්ඩුව හදන්න ශක්තියක් වුණා. හැබැයි ඊට වඩා ලොකුම ශක්තිය වන්නේ අපේ රටේ ජනතාව එකට එක් කිරීමට ඔබ සියලු දෙනා ඡන්දය ලබා දීමයි. උතුරේ, දකුණේ, නැගෙනහිර, කඳුකරයේ සියලු ජනතාවගේ විශ්වාසය දිනාගත් ආණ්ඩුවක් ලංකාවේ පළමු වතාවට නිර් මාණය වුණා. දශක ගණනාවක් තිස්සේ අප රටේ මොන වගේ දේශපාලනයක්ද තිබුණේ? උතුරේ වෙනම දේශපාලනයක්, දකුණේ වෙනම දේශපාලනයක්, නැගෙනහිර සහ කඳුකරයේ වෙනම දේශපාලනයක් වශයෙන් බෙදී තිබුණා.
අපේ රටේ පැරණි දේශපාලනඥයන් රටේ ජනතාව බෙදන දේශපාලනයක නිරත වුණා. එම බෙදීම යුද්ධයක් ඇති වන තුරු සිදු වුණා. ඒ නිසා අපේ පරම්පරාව යුද්ධ කරගත්තා. අපේ පරම්පරාව අවිශ්වාසය, සැකය, ක්‍රෝධය වපුරමින් ජීවත් වුණා. අපිට තවත් බෙදෙන්න අවශ්‍ය නැහැ. ලංකාවේ පළමු වතාවට ආණ්ඩුවක් හැදුණා ජනතාව බෙදෙන එක නවත්වා ජනතාව එකට එක්වන දේශපාලනයක් වෙනුවෙන්.
මේ ගම්වලට මීට පෙර රාජ්‍ය නායකයෝ, ජනාධිපතිවරු පැමිණ තිබෙනවද? නැහැ. ඇයි ඒ? බෙදුණු ආණ්ඩුවක් තිබෙන විට එහෙමයි. හැබැයි දැන් තිබෙන්නේ බෙදීම් අවසන් කළ, එකතු කරපු ආණ්ඩුවක්. ඒ නිසා තමයි අපි වැල්වැටිතුරේ ප්‍රදේශයට පැමිණ දහස් ගණන් අම්මලා, තාත්තලා, සහෝදර සහෝදරියන් මුණ ගැසෙන්නේ. මේ ශක්තිය, මේ එකතුවීම අපි යළි වෙන් කිරීමට ඉඩ දිය යුතු නැහැ. අපි සියලු දෙනා එක්විය යුතුයි.
අපි මෙවර අයවැය ලේඛනයට අලුත් යෝජනාවක් ඇතුළත් කරනවා. අපේ රටේ හැම අවස්ථාවකම තිබෙන්නේ එකිනෙකාට වෙනස් වූ උත්සවයි. දෙමළ සහ හින්දු ජනතාව තෛපොංගල් උත්සවය සමරනවා. බෞද්ධ ජනතාව වෙසක් උත්සවය සමරනවා. ක්‍රිස්තියානි ජනතාව නත්තල සමරනවා. ඉස්ලාම් ජනතාව රාමසාන් සමරනවා. හැබැයි සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් අපි සියලු දෙනා එකතුවෙලා සමරන දිනයක් අපට ඕනෑ. ඔක්තෝබර් මාසයේ මේ සියලු ජන ප්‍රජාවන්ගේ සංස්කෘතින්, ආහාර රටා, ජීවන රටා, විලාසිතා, සංගීත, නාට්‍ය මේ සියල්ල එකට එක් කර ජාතියේ මහා මංගල්‍යය සැමරීමට අපි සැලසුම් කර තිබෙනවා. අපි ඈත් වෙලා හිටියට අපේ දරුවන්ට ඈත් වෙන්න දෙන්න හොඳ නැහැ. අපේ පරම්පරාවන් යුද්ධ කරගත්තට අපේ අනාගත පරම්පරාවන්ට යුද්ධ කරගන්න ඉඩ දෙන්නේ නැහැ. උතුර, නැගෙනහිර, දකුණ සියලු දරුවන් එකට එක්වන රාජ්‍යයක් බවට අපි මේ රාජ්‍යය පත් කරනවා.
ලංකාවේ පළමු වතාවට පොඩි මිනිසුන්ගේ ආණ්ඩුවක් හැදුණා. මීට පෙර ආණ්ඩු හැදුණේ ලොකු පවුල්වලින්. තාත්තා අගමැති, අම්මා අගමැති, දුව ජනාධිපති. අයියා ජනාධිපති, මල්ලිත් ජනාධිපති. මාමා ජනාධිපති, බෑණාත් ජනාධිපති. පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරුන්ගේ දරුවෝ දෙන්නෙකුත් ජනාධිපති වීමට උත්සාහ කළා. මේ රටේ බලය තිබුණේ ඉහළින් සිටින පවුල් ළඟයි. උඩ සිටින පවුල් අත තිබු බලය පහළ සිටින පවුල් අතට මාරු කිරීමට පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනතාව තීන්දුවක් ගත්තා. දැන් අපි පොඩි මිනිසුන්ගේ ආණ්ඩුවක් හදා තියනවා. රාමලිංගම් සහෝදරයා, කුමරන් සහෝදරයා අපේ සහෝදරවරු. මේ කිසි කෙනෙක් පවුල්වල බලයෙන් ආපු අය නෙවෙයි. සාමාන්‍ය මිනිසුන්ගේ දරුවෝ. මේ ප්‍රදේශයේ විශාල ලෙස වැඩ කරපු මේ රැස්වීම සංවිධානය කිරීමට විශාල ලෙස වෙහෙස වුණු අපේ රූබන් සහෝදරයා අපි වගේ සාමාන්‍ය මිනිස්සු. එසේ නම් දැන් හැදිලා තිබෙන්නේ අපේ ආණ්ඩුවක්. එසේ නම් අපට අභියෝග කිහිපයක් තිබෙනවා.
පළමු කොටම මේ ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය නැති කළ යුතුයි. හොඳ නිවාසයක් ආදායම් මාර්ගයක්, පානීය ජලය, ගමට යාමට මාර්ගයක්, දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට සුදුසු පාසලක් නැහැ. ධීවර රස්සාව කරන්න විදියක් නැහැ. විශාල ලෙස බැටකන ජනතාවක් මේ ප්‍රදේශවල සිටිනවා. අප සියලු දෙනා එක් වී ක්‍රමානුකූලව පියවරෙන් පියවර මේ සියලු ප්‍රශ්න විසඳන්න සූදානම්.
අප මුලින්ම අස්වැසුම දීමනාව වැඩි කළා. ඒ වගේම අස්වැසුම ලබන සියලු පවුල්වල දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීමට රුපියල් හය දහසක් ලබා දුන්නා. එපමණක් නොවෙයි සිසුන් 300ට අඩු සියලු පාසල්වල දරුවන්ටත් රුපියල් හයදහසක දීමනාව ලබා දෙන්න අපි තීරණය කළා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට නම් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. එබැවින් දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට ඔබ උනන්දු විය යුතුයි. අපි දුප්පත්භාවයෙන් මිදෙමු. දරුවන්ට උගන්වමු.
මේ වසර තුළ පවතින සියලු ගුරු පුරප්පාඩු සඳහා ගුරුවරුන් බඳවා ගන්නවා. ඒ අනුව ගුරු හිඟය පවතින සියලු පාසල් සඳහා අපි ගුරුවරුන් ලබා දෙනවා. එපමණක් නොවෙයි යාපනය පුස්තකාලය තවදුරටත් දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් අප ප්‍රතිපාදන වෙන් කරනවා. ග්‍රාමීය අපට යා හැකි හොඳම මාර්ගය අධ්‍යාපනයයි. එබැවින් සිසුන් 250ට අඩු පාසැල්වල සියලු දරුවන්ට සපත්තු මිල දී ගැනීම සඳහා රුපියල් තුන් දහසක් ලබා දීමට කටයුතු කරනවා. දිවා ආහාරය සඳහා පාසල්වලින් දරුවන්ට ලබා දුන් රුපියල් 60ක මුදල රුපියල් 100 දක්වා වැඩි කරනවා. ලබන වසරේදීත් සියලු පාසැල් දරුවන්ට නිල ඇඳුම් ලබා දීමට චීන රජය එකඟ වී තිබෙනවා. ඒ ආකාරයෙන් දරුවන්ට ඉගැන්වීමට අප උපරිම වෙහෙස දරනවා. ඔබ දරුවන්ට ඉගැන්වීමට සූදානම් වන්න. අප ඊට සහාය ලබා දෙන්නම්.
ඒ වගේම තරුණ දරුවන්ට අපි රැකියා ලබා දිය යුතුයි. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරෙයි, පරන්තන්, මාන්කුලම් යන ප්‍රදේශවල නව කර්මාන්තපුර 3ක් ආරම්භ කිරීමට අප තීරණය කර තිබෙනවා. ඒවායේ ආයෝජනය කිරීමට පැමිණෙන ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට අප ආරාධනා කර සිටිනවා. විරැකියාව නිසා මෙම පළාත්වල ජීවත්වන තරුණයින්ගේ අපේක්ෂාව මේ රට හැර යාමයි. ඒ දරුවන්ට රැකියා ලබා දීම සඳහා මෙම කර්මාන්තපුර ආරම්භ කරනවා.
ඒ වගේම මේ වසරේදී රජයේ පුරප්පාඩු පිරවීමටත් අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් පොලිසිය තුළ දෙමළ භාෂාව භාවිතා කරන පිරිසෙහි විශාල අඩුවක් තිබෙනවා. මේ වසරේදී අපි පොලීසියට 2000ක් බඳවා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. පොලීසියට බැඳෙන ලෙස දෙමළ තරුණයින්ට අප ආරාධනා කරනවා.
මේ පළාත්වල තරුණ පරම්පරාව විශාල ලෙස මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වෙමින් සිටිනවා. එය නැවැත්වීම සඳහා අප ඉතා ශක්තිමත් වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ සඳහා ඔබේ සහාය අවශ්‍යයයි. අපි එකතු වී මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරමු.
ඒ වගේම යාපනයේ ජනතාවට විශාල ඉඩම් ගැටලුවක් තිබෙන බව අපි දන්නවා. අපේ ප්‍රතිපත්තිය ජනතාවගේ ඉඩම් ජනතාවට ලබා දීමයි. ආරක්ෂාවට හා සංවර්ධනයට ආණ්ඩුවට ඉඩම් පවරා ගැනීමේ අයිතිය තිබුණත් බොරුවට ඉඩම් තබා ගත නොහැකියි. තවමත් පුද්ගලයන් 1500කට වැඩි ප්‍රමාණයක් අවතැන් කඳවුරුවල සිටින බව අපි දන්නවා. ඔවුන්ගේ වාසස්ථාන කඩිනමින් ලබා දීමට අප කටයුතු කරනවා.
එපමණක් නොවෙයි ගම්වල මාර්ග පද්ධතිය විශාල ලෙස කඩාවැටී තිබෙනවා. මේ වසර තුළ අලුත්වැඩියා කර සැකසිය හැකි මාර්ග සඳහා අවශ්‍ය මුදල් ලබා දීමට අප කටයුතු කරනවා. එසේම පිරිසිදු පානීය ජලය ලබා දීමට ද කටයුතු කරනවා.
අප ජනතාවගේ ආණ්ඩුවක් හදා තිබෙන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමටයි. කාලාන්තරයක් තිස්සේ උතුරු මුහුදේ විශාල ධීවර ගැටලුවක් තිබෙන බව අප දන්නවා. ඒ ප්‍රශ්නය විසඳීම සඳහා අපි ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කිහිපයක්ම පැවැත්වූවා. ආරක්ෂාව තහවුරු කිරීමට අපි නාවික හමුදාවට නියෝග ලබා දුන්නා. අපි පියවරින් පියවර ක්‍රමානුකූලව මේ ධීවරයන් මුහුණදී තිබෙන ගැටලු විසදීමට කටයුතු කරනවා.
පසුගිය මැතිවරණයේදී අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ජනතාවගේ විශාල වුවමනාවක් තිබුණා. අපේ රටේ තිබුණේ මහජනතාවට වඩා උඩින් තිබෙන දේශපාලනයක්. මහජනතාව සමග සමීප දේශපාලනයක් නොවෙයි. මහජනතාවගේ ධනය පාලකයන් විශාල ලෙස නාස්ති කළා. අපි ආණ්ඩුවක් ලෙස එය නතර කළා.
නායකයො මහජනතාවගේ ධනය නාස්ති කරන්න හොද නැහැ. අපි දුප්පත් රටක්. ජනතාව දුප්පත්. ඒ දේශපාලනය වෙනස්විය යුතු නැද්ද, අපි ඒ දේශපාලනය වෙනස් කර තිබෙනවා. අද අපි රට ගොඩනැගීමේ දිසාවට පය තබා තිබෙනවා. විශේෂයෙන් මේ උතුරු පළාත ඉලක්ක කර ගනිමින් විශාල සංවර්ධනයක් සැලසුම් කර තිබෙනවා. කර්මාන්ත කලාප 03ක්, සංචාරක කර්මාන්තය දියුණු කිරීමට සැලැස්මක් වගේම මේ උතුරු පළාතේ පොල් වගා කළ හැකි අක්කර 40,000ක් තිබෙන බවට අපි හඳුනාගෙන තිබෙනවා. මෙවර අයවැයෙන් අපි ඒ සඳහා මුදල් වෙන් කරනවා. වගා කිරීමට කැමති අයට පොල් පැළ මෙන්ම භූමිය සකස් කර ගැනීමට සහ පොහොර යෙදවීමට අපි මුදල් දෙනවා. අපි සියලුදෙනා එක් වී රට ගොඩනැඟිය යුතුයි. උතුරේ ජනතාව විශාල ලෙස කෘෂිකර්මාන්තය වෙනුවෙන් වෙහෙසෙන ජනතාවක්. හැබැයි නිසි මිලක් නැහැ. ඒ නිසා ගොවි ජනතාව මුහුණ දී සිටින ගැටලුවලට අපි විසඳුම් ලබා දෙනවා. අපි මේ වන විටත් පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කර තිබෙනවා. අපට අවශ්‍ය ජනතාවගේ ජීවිත උසස් කිරීමටයි.
යුද්ධය සහ ගැටුම් පිටුපස වැඩිපුර තිබෙන්නේ ආර් ථික ප්‍රශ්නයි. ඒ නිසා මේ ආර් ථික ගැටලුවලට අපි විසඳුම් සෙවිය යුතුයි. ඒ සඳහා අපි සැලසුම් සකස් කර තිබෙනවා. ඒ වගේම සිංහල, දෙමළ භාෂා කථා කරන ජන කණ්ඩායම් දෙකක් අපේ රටේ සිටිනවා. ඒ හැම පුරවැසියෙකුටම තමන්ගේ භාෂාවෙන් රාජ්‍යයත් සමඟ ගනුදෙනු කිරීමට ඇති අයිතිය සකස් කළ යුතුයි. තමන්ගේ භාෂාවෙන් පොලිසියට ගිහින් පැමිණිල්ලක් කිරීමට අවස්ථාව තිබිය යුතුයි. ඒ නිසා භාෂාවෙන් ඇති වී තිබෙන අසමානතාව අප විසඳිය යුතුයි. දෙමළ භාෂාවෙන් කතා කරන රාජ්‍ය සේවයක් අපට අවශ්‍යයි. අපි ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා.
අපේ ආගමික අයිතින් පිළිබඳ සාධාරණත්වයක් තිබිය යුතුයි. ආගම් අපේ විශ්වාසයයි. ඒ පිළිබඳ කිසිවෙකුට බලපෑමක් කරන්න බැහැ. අපි එම විශ්වාසයට ගරු කළ යුතුයි. අපි අපේ රටේ යළි ආගම්වාදී, ජාතිවාදී ගැටුමක් වර්ධනය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. පසුගිය දිනවල එවැනි ජාතිවාදී සටන් පාඨ සමඟ සමහරුන් ඉදිරියට ඒමට පටන් ගත්තා. අපි ජාතිවාදය වපුරන අයට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරනවා. අපටත් තවත් ජාතිවාදය අවශ්‍ය නැහැ. ආගම්වාදය අවශ්‍ය නැහැ. යළි අපේ රටේ ජාතිවාදයට හා ආගම්වාදයට අපි ඉඩ දෙන්නේ නැහැ.
අපි එකිනෙකා අතර සංස්කෘතික වෙනස්කම් තිබෙනවා. අපි ඒවාට ගරු කළ යුතුයි. එම සංස්කෘතින් රස විඳීමට පුරුදු විය යුතුයි. අපි එවන් රටක් ගොඩනැඟිය යුතුයි. අපිට ගහගෙන, යුද්ධ කරගෙන තවත් දශක ගණනාවක් මේ විදියට දුක් විදින්න බැහැ. අපේ පරම්පරාවන් දුක් වින්දා. අපේ දරුවන්ගේ පරම්පරාවන් යුද්ධයට තල්ලු කරන්න බැහැ. ඒ නිසා අපිට ගහගෙන මරාගෙන, ඇණ කොටාගෙන රටක් ලෙස ඉදිරියට යන්න බැහැ. අපේ රට ඉදිරියට යන්නේ අපි අතර සමගිය ගොඩනැගුණොත් පමණයි. ඒ නිසා අපේ ආණ්ඩුව සමගිය ගොඩනැඟීමට විශාල වෙහෙසක් දරනවා. එම සමගිය ඇති කිරීම සඳහා හොඳම ධෛර්ය ලබා දුන්නේ ඔබයි. පාරම්පරික දේශපාලනඥයෝ පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වුණා. වෙනම රටක් අරන් දෙන්නම් කියලා ඡන්දය ඉල්ලුවා. හැබැයි ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කරලා යාපනය දිස්ත්‍රික්කය තුළ අපට ජයග්‍රහණය ලබා දුන්නා. ජනතාව කැමතියි එකතු වෙන්න. ජනතාව ළඟ ජාතිවාදය, ආගම්වාදය නැහැ. හැබැයි දේශපාලනඥයා ළඟ තිබෙනවා. උතුරේත්, දකුණේත් දේශපාලනඥයන්ගේ පැවැත්ම වුණේ ජාතිවාදයයි. නැවත නැවත එය දකුණේ හිස එසවීමට උත්සහ කරනවා. නමුත් අපට ජාතික සමගිය අවශ්‍යයි. අපි එකතු වෙමු. අපි හදලා තියන ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක්. අපි තමුන්නාන්සේලා වගේමයි. අපි මේ රට වෙනස් කරමු. අලුත් යුගයකට ගෙන යමු. ඔබ අප කෙරෙහි තැබු විශ්වාසය අපි බිඳින්නේ නැහැ.
හැමදාම අපේ රටේ දේශපාලඥයෝ ජනතාවගේ විශ්වාසය කඩ කළා. අපි ඒ විශ්වාසය කඩ කරන්නේ නැහැ. ඔබ සියලු දෙනා ඉතා වැදගත් පියවරක් තැබුවා. සියලු දෙනා එක්විය යුතුයි කියා තීන්දුවක් ගත්තා. පසුගිය මැතිවරණයේදී ඔබ බෙදෙනවා වෙනුවට සියලුදෙනා එක් විය යුතුයි කියලා පෙන්නුවා. ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අපි රකිනවා. මේ රටේ හොරකම නතර කරනවා, නාස්තිය නතර කරනවා. හොරකම් කරපු අයට දඩුවම් දෙනවා.
අපේ රටේ දරුවන් ලබාදෙන එන්නතින් හොරකම් කරලා නම්, බාල බෙහෙත් ගෙනවිත් නම්, රෝහල හදන විට, පාර හදන විට සොරකම් කරලා කෝටි ගණන් දේපළ රැස්කරගෙන නම් ඒ ගැන පරික්ෂණ කළ යුතු නැද්ද? දඩුවම් ලබාදිය යුතු නැද්ද? එම දඩුවම් ලබාදෙන ආණ්ඩුව ජාතික ජන බලවේයේ ආණ්ඩුවයි. දැන් දූෂණයට සම්බන්ධ අය ඔක්කොම එකතු වෙලා. පසුගිය මැතිවරණ වේදිකාවලදී විවිධ වේදිකාවලට බෙදී සිටි අය දැන් එකතු වෙන්න සාකච්ඡා පවත්වනවා. මේ සියලුදෙනා එක් වන්නේ බේරෙන්නයි. නමුත් ඔවුන් එකතු වුණාට, ජනතාව අප සමඟ එක් වී සිටින තුරු ඔවුන්ට මේ වැඩේ කරන්න බැහැ. ඔවුන් එකතු වී උත්සාහ කරන්නේ පරීක්ෂණ කරන එක නැවැත්වීමටයි. එකතු වී දඩුවම් ලබාදීම නවත්වන්නයි. නමුත් ජනතාව අප සමග සිටිනවා. අපි දූෂිතයන්ට දඩුවම් ලබා දෙනවා. අපි මෙම වැඩපිළිවෙළ අත්නොහැර ඉදිරියට යමු. අපි නිසි සැලසුමක් ඔස්සේ වැඩ කළහොත් අපිට මේ රට දියුණු කළ හැකියි. නැවත දූෂිතයන්ට, හොරුන්ට, අපරාධකරුවන්ට ඉඩක් දෙන්න එපා. අපි සියලු දෙනා එකට එක්වී මේ රට ගොඩනඟමු.
(-Colombo, January 28, 2025-) ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලේස් ගැරීඩා අද (28 දින) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය. මෙම අවස්ථාවට කියුබානු තානාපතිවරයාගේ බිරිඳ මැරිබෙල් දුආර්තේ ගොන්සාලේස් ද එක්ව සිටියාය. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සමග ජනතා විමුක්ති […]
(-Colombo, January 28, 2025-)
ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලේස් ගැරීඩා අද (28 දින) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.
මෙම අවස්ථාවට කියුබානු තානාපතිවරයාගේ බිරිඳ මැරිබෙල් දුආර්තේ ගොන්සාලේස් ද එක්ව සිටියාය. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සමග ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර සබඳතා කමිටුවේ සාමාජිකා කල්පනා මධු භාෂිනී ද එක්ව සිටියාය.
වර්තමානයේ ජාතික ජන බලවේගය ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ පිළිබඳව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ පිළිබඳවත් සාකච්ඡා කිරීම මූලික වශයෙන්ම සිදුකෙරිණි. එමෙන්ම කලාපීය සහ එයින් පිටත ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳවද මෙහිදී දෙපාර්ශ්වය අතර කරුණු සාකච්ඡා කරනු ලැබීය.
(-Colombo, January 26, 2025-) මැති ඇමතිවරුන්ට වරප්‍රසාද ලබාදෙන දේශපාලන සංස්කෘතියට වත්මන් රජය තිත තබා තිබෙන බව පැවසු ජනාධිපති අනුර කුමාර දිසානායක, ජනාධිපතිවරයා සහ මැති ඇමතිවරු එලෙස කටයුතු කරද්දි හිටපු නායකයින් නාස්තිකාර ජීවිත ඔවුන්ගේ උරුමයක් ලෙස සලකන බව ප්‍රකාශ කළේය. පැරණි නාස්තිකාර කටයුතුවලට තමන් කිසිවක් නොකියන නමුත් අද සිට හෝ නව දේශපාලන සංස්කෘතියට එක්වන ලෙස තමා […]
(-Colombo, January 26, 2025-)
මැති ඇමතිවරුන්ට වරප්‍රසාද ලබාදෙන දේශපාලන සංස්කෘතියට වත්මන් රජය තිත තබා තිබෙන බව පැවසු ජනාධිපති අනුර කුමාර දිසානායක, ජනාධිපතිවරයා සහ මැති ඇමතිවරු එලෙස කටයුතු කරද්දි හිටපු නායකයින් නාස්තිකාර ජීවිත ඔවුන්ගේ උරුමයක් ලෙස සලකන බව ප්‍රකාශ කළේය. පැරණි නාස්තිකාර කටයුතුවලට තමන් කිසිවක් නොකියන නමුත් අද සිට හෝ නව දේශපාලන සංස්කෘතියට එක්වන ලෙස තමා ඔවුන්ට පවසන බව ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ අද (26) පස්වරුවේ අනුරාධපුර විවේකානන්ද ක්‍රීඩාංගණයේ පැවති සුහද හමුව අමතමිනි.
මෙහිදී ජනතාව ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩි දුරටත් මෙසේද පැවසීය.
ජාතික ජන බලවේගය ලෙස අප පසුගිය මහ මැතිවරණට පෙර දිනයේදීඅනුරාධපුරයට පැමිණ විශාල ජනකායක් සමගින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කළා. ඉන් අනතුරුව පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ ආසන 159ක් සහිත දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට අපට හැකි වුණා. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ආණ්ඩු බලය ලබා ගැනීම සිදු වූයේ පරම්පරාවෙන්. තාත්තා, අම්මා අගමැති වීම නිසා දුවට බලය ලැබුණා. අයියා ජනාධිපති නිසා මල්ලිට බලය ලබා දුන්නා. මාමා ජනාධිපති නිසා බෑනා ජනාධිපතිවුණා.
විශාල ලෙස මුදල් වියදම් කිරීම මඟින් ආණ්ඩු ගොඩ නැගූ ඉතිහාසයක් අපේ රටේ තිබෙනවා. කුමන්ත්‍රණ මගින් හා මාධ්‍යවල මතවාද ප්‍රචාරණය කරමින් ආණ්ඩු ගොඩනැඟුණා. නමුත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පිහිටවනු ලැබුවේ ජනතාවගේ මැදිහත්වීමෙන්. ජනතාව විසින් එක්ව ගොඩනැගුණු මෙම ආණ්ඩුවට දැනට මාස දෙකක් ගත වී තිබෙනවා. එම නිසා මෙම ජයග්‍රහණය ලබාදුන් ජනතාව සමඟ සුහදව කතා කිරීමට අපි මෙම හමුව යොදා ගත්තා.
පසුගිය සැප්තැම්බර් මාසයේ අප ජයග්‍රහණය ලබා ගන්නා විට පැවතුණේ ඉතා කුඩා ආණ්ඩුවක්. නොවැම්බර් මස 14 වැනිදා මහ මැතිවරණය පවත්වා නොවැම්බර් 21 වෙනිදා කැබිනට් මණ්ඩලය පිහිටුවීමට අපට හැකිවුණා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පැමිණි විට ජාත්‍යන්තර සබඳතා බිඳ වැටේ යැයි ඇතැම් කණ්ඩායම් විවිධ ප්‍රචාරයන් ගෙන ගියා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදී කර්මාන්තකරුවන් ආයෝජකයින් රට හැර යනු ඇතැයි තවත් සමහරු ප්‍රචාරය කළා. ඒ වන විට ශ්‍රී ලංකාවේ පැවති ආර්ථිකය ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙන ආර්ථිකයක් නොවෙයි. එම තත්ත්වය තවත් ඉදිරියට පැවතියා නම් පාලකයින් අතින් ඩොලරයේ පාලනය ගිලිහීමට ඉඩ තිබුණා. ඒ නිසා අපි ආණ්ඩුවේ විශ්වාසය ගොඩනඟා ගැනීමට කටයුතු කළා. අද කොටස් වෙළඳපොළ වේගයෙන් ඉදිරියට යමින් තිබෙනවා. නමුත් කොටස් වෙළඳපලෙන් සමස්ත ආර්ථිකය පිළිබිඹු වන්නේ නැහැ. කොටස් වෙළඳපොළෙන් ආයෝජකයන්ගේ විශ්වාසය ඇති කරනවා. පහුගිය දෙසැම්බර් මාසයේ සිට කොටස් වෙළඳපළේ අගය ඉහළ යමින් තිබෙනවා.
අපේ රට විශාල ලෙස බංකොලොත්භාවයට පත්ව තිබුණා. එම තත්වය සමනය කර ගනිමින් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පසුගිය දෙසැම්බර් මාසයේදී අවසන් කර ගැනීමට වත්මන් රජයට හැකි වුණා. ඒ සමගම ලංකාව එතෙක් පැවති බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට ජාතික ජන බලවේගය ආණ්ඩුවට හැකි වුණා. බංකොලොත්භාවය නිසාම මේ රටේ ක්‍රියාත්මක වෙමින් තිබු සංවර්ධන ව්‍යාපෘති අතරමග නවතා දමා තිබුණා. ජපාන රජය විසින් එලෙස ව්‍යාපෘති 11ක් නවතා දමා තිබුණා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියත් ඒ අතර තිබුණා. ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව ජපාන රජය එම ව්‍යාපෘති 11ම නැවත ආරම්භ කිරීමට කටයුතු කළා. එසේම චීන රජය විසින් ඉදිකරමින් තිබු සහ ඉදිකිරීමට නියමිතව තිබූ ව්‍යාපෘති 76ක් නැවත ආරම්භ කිරීමට කටයුතු කළා. මා පසුගියදා සිදු කළ චීන සංචාරයේදී මේ සඳහා විශාල සහයෝගයක් ලැබුණා. මේ වනවිට ජාතික ජන බලවේගය ආණ්ඩුව විදේශ රටවල් සමග ඇති විශ්වාසය තහවුරු කර තිබෙනවා.
චීන රජය පාසල් නිල ඇඳුම් සඳහා ලබාදුන් 80%ක ආධාරය 100%ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළා. එමෙන්ම 2026 වසර සඳහාත් නිල ඇඳුම් ලබාදීමට චීන රජය එකඟතාව පළ කළා. හම්බන්තොට තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 3.7ක් ලබාදුන්නා. ලංකා ඉතිහාසයේ වැඩිම ආයෝජනය ලෙස එය ඉතිහාසයට එක් වෙනවා. කඩවත-මීරිගම අධිවේගී මාර්ගයේ කොටස නැවත ආරම්භ කිරීමට අදාළව වන්දියක් ගෙවීමට සිදුව තිබුණා. එම වන්දිය 50%කින් අඩු කර ගැනීමට අප සැලසුම් කරමින් තිබෙනවා. එම මාර්ගය නැවත ඉදිකිරීම සඳහාත් චීනයේ ආධාර ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා.
අපි පළමු සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගනු ලැබුවා. එයින් රටට ආර්ථික ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමට හැකි වූ අතර ණය අධාරයක් ලෙස අපට ලබාදී තිබු මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ග සංඥා පද්ධතිය ආධාරයක් බවට පත්කර ගැනීමට එම සංචාරයේ දී අපට හැකි වුණා. එමෙන්ම නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම සඳහා ප්‍රදානයක් සිදු කිරීමට ද ඉන්දියානු රජය එකග වී තිබෙනවා. ජාත්‍යන්තරය තුළ වත්මන් ආණ්ඩුව පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීමට අප සමත්ව තිබෙනවා. ආයෝජකයන්ට විශ්වාසනීය රටක් බවට අද ශ්‍රී ලංකාව පත්වෙමින් තිබෙනවා.
සාමාන්‍ය ජනතාව බලා ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරීමට අප කටයුතු කළා. ඒ වගේම අස්වැසුම ලබාදෙන ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කළා. අස්වැසුම ලබාදෙන කණ්ඩායම් පිළිබඳ නැවත සමාලෝචනයක් මෙම ජුනි මාසයේදී සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ආධාර ලැබිය යුතු කොටස් ඉලක්ක කර ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ලෝකයේ බොහෝ ආණ්ඩුවල සැලැස්ම වන්නේ ආධාර ලැබිය යුතු ජන කොටස්වලට ආධාර ලබාදීමයි. ඒ සඳහා නිවැරදි දත්ත එක් රැස් කිරීම අවශ්‍ය වෙනවා.
අපේ රටේ මෙතෙක් ආධාර ලබා දුන්නේ පුරවැසියන් බලා ගන්නා කෝණයෙන් නොව දේශපාලන කෝණයෙන් බලා බව අපි දන්නවා. එම නිසා නිසි ලෙසම ආධාර ලැබිය යුතු පුරවැසියන් රැකබලා ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කිරීම අපගේ අරමුණයි. මෙම වැඩසටහන් සඳහා යොදවනු ලබන්නේ ජනතාවගේ බදු මුදල්. එම නිසා ඉලක්කගත නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමයි.
පාසල් උපකරණ ලබාගත නොහැකි දරුවන්ට පාසල් උපකරණ ලබා ගැනීම සඳහා ආධාර ලබාදීමේ වැඩපිළිවෙලක් අපි සකස් කළා. නමුත් එහිදී අස්වැසුම ලබන පිරිසට අමතරව තවත් දරුවන් පිරිසක් සිටියා. එම නිසා මෙම දත්තවල යම් වියවුලක් තිබෙනවා. දරුවන් තුන්සියයට වඩා සිටින පාසල්වල දරුවන්ට රුපියල් 6000ක දීමනාවක් ලබාදීමට අප තීරණය කළා. නිවැරදි දත්ත ලැබීමෙන් පසුව ආධාර ලැබිය යුතු ප්‍රජාව ඉලක්ක කරගෙන ආධාර ලබාදීමට කටයුතු කරනවා.
අපි ජනතාව බලා ගැනීම සඳහා පසුගිය මාස දෙක තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. තවමත් අප අයවැය ලේඛනයක් ඉදිරිපත් කර නැහැ. අයවැය ලේඛනය පෙබරවාරි 17 වැනිදා ඉදිරිපත්කරනවා. මේ රටේ හැමදාම සහනාධාරවලින් යැපෙන ජනතාවක් සිටිය යුතු නැහැ. අපේ රටේ සෑම පුරවැසියෙකුටම ක්‍රමානුකූලව ආර්ථික ශක්තියක් ලබාදීමට රජය කටයුතු කරනවා. ආණ්ඩුවේ ඉලක්කය එයයි. නැවත අපේ රට 2022-2023 වසර වල මෙන් ආර්ථික අර්බුදයකට ලක්වීමට අප ඉඩ තබන්නේ නැහැ. මේ රටේ ආර්ථික පදනම ශක්තිමත්ව නිර්මාණය කිරීමට අප කටයුතු කරනවා.
වරාය ඉලක්ක කර ගනිමින් විශාල ආර්ථිකයක් ගොඩනැගීමට අප සැලසුම් කර තිබෙනවා. 2030 වනවිට කොළඹ වරායේ කන්ටේනර් ලක්ෂ 113ක මෙහෙයුම් කටයුතු කිරීමට සැලසුම් කර තිබෙනවා. හිටපු නායකයින්ට වරාය සම්බන්ධයෙන් කිසිම සැලසුමක් තිබුනේ නැහැ. වරායේ ගේට්ටු හතරක් තිබෙනවා. නමුත් ගේට්ටු දෙකයි ක්‍රියාත්මක වන්නේ. ඒ සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමටවත් හිටපු නායකයින් කටයුතු කර තිබුණේ නැහැ. ඒ නිසාම වරායේ තදබදය වැඩිවෙලා තිබෙනවා. නැගෙනහිර ජැටියේ වැඩකටයුතු ලබන ජූනි මාසය වන විට අවසන් කිරීමට අප කටයුතු කරනවා. එවිට කන්ටේනර් මෙහෙයුම් තවත් වැඩිවෙනවා. එවිට තදබදය තවත් වැඩිවෙනවා. ඒ නිසා කෙරවලපිටියේ බහාළුම් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එය ඉදිකිරීමට තව වසරක් පමණ ගත වේවි. මෙම බහලුම් මෙහෙයුම් සිදු කිරීමට කඩිනම් සැලැස්මක් අවශ්‍යයි. දැක්මක් සහිත පාලකයන් නොසිටි නිසා වරායේ තදබදය තවත් වැඩි වී තිබෙනවා. අප ටිකෙන් ටික එම තදබදය අඩු කිරීමට කටයුතු කරමින් සිටිනවා.
සංචාරක කර්මාන්තයේදී මිලියන තුනක සංචාරකයින් ප්‍රමාණයක් අප අපේක්ෂා කරනවා. අපේ රටට සංචාරකින් පැමිණියත් සංචාරක ආකර්ෂණීය ස්ථානවල අඩුවක් තිබෙනවා. සංචාරකයින්ට තදබදයකින් තොරව නැරඹුම් ස්ථාන ඇති කිරීම කළ යුතුයි. අනුරාධපුර නගරය සංචාරකයින්ගේ ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ පළමු රාජධානිය, ශ්‍රී ලංකාවේ පළමු වැව තිබෙන්නේ අනුරාධපුරයේයි. ඒ නිසා අනුරාධපුරය සංචාරක ආකර්ෂණීය මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට හැකියාව තිබෙනවා. ලෝකයට යන විට කියවෙන්නේ රටේ නම නෙවෙයි, නගරයේ නමයි. ලන්ඩන් පැරිස් කියන්නේ ‘සිටි බ්‍රෑන්ඩ්’ කිරීමක්. අනුරාධපුරයත් ‘සිටි බ්‍රෑන්ඩ්’ කිරීමක් කළ යුතුයි. අනුරාධපුර නගරය යළි ඓතිහාසික නගරයක් බවට ප්‍රතිස්ථාපනය කළ යුතුයි. අපේ රටට සංචාරකයින් මිලියන තුනක් පැමිණෙන්නේ නම් එම සංචාරකයින් ප්‍රමාණය රට පුරා ව්‍යාප්ත කළ යුතුයි.
අපේ රටේ ස්වභාවික සම්පත් පිළිබඳව අවධානය යොමු කර නැහැ. අපේ ඛණිජ සම්පත්වලට අගය එකතු කිරීමට කිසිවෙකු කටයුතු කර නෑ. ඒ නිසා ඛනිජ සම්පත් සංවර්ධනය සඳහා කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට අප සැලසුම් කර තිබෙනවා.
පැරණි වාරිමාර්ග ක්‍රමවේද 07ක් අනුරාධපුර නගරයේ තිබෙනවා. එම වාරිමාර්ග ක්‍රමවේද හත ප්‍රතිසංස්කරණය කිරීමට අප කටයුතු කරනවා. මෙවර අයවැයෙන් වෙන් කරන මුදල් නිශ්චිත ව්‍යාපෘතිවලට වියදම් කිරීම අවශ්‍යයි. මෙම කටයුතු තුළින් ආර්ථිකයේ පදනම ශක්තිමත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
බලශක්තිය ආර්ථිකයට බලපාන ප්‍රධාන ක්ෂේත්‍රයක් වෙනවා. අද වන විට විදුලිබිල අඩු වී තිබෙනවා. නමුත් විදුලිබිල අඩුවීම ස්ථාවරව තබාගන්න බැහැ. වහින කාලෙට විදුලි බිල අඩුවෙන, පායනකොට විදුලි බිල වැඩිවෙන ක්‍රමයට අප තිත තැබිය යුතුයි. එහිදී පුනර්ජනනීය බල ශක්තියට වැඩි අවස්ථාවක් ලබා දිය යුතුයි. මන්නාරම සුළං විදුලි බලාගාරය ඉදිකිරීමට අප සැලසුම් කළා. එයින් විදුලි ඒකකයක් මිලදී ගන්නා මිල රුපියල් දාහතරක් වෙනවා. නමුත් පසුගිය රජය සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙවැනි ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා ගිවිසුම් ගත වී තිබෙන මිලදී ගැනීමේ මිල රුපියල් 18ක් වෙනවා. පසුගිය ආණ්ඩුව සාම්පූර් බලාගාරයෙන් විදුලි ඒකකයක් මිලදී ගැනීමට ගිවිසුම අත්සන් කර තිබුණේ ආසන්න වශයෙන් රුපියල් විසි හතරකටයි. නමුත් අප එය රුපියල් දාහතක් දක්වා අඩු කිරීමට කටයුතු කළා. සූර්ය බලාගාර ඉදි කිරීම සඳහා අක්කර 10,000ක් වෙන්කර ටෙන්ඩර් පටිපාටියක් හරහා ආයෝජකයන්ට ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ආර්ථිකය සඳහා අලුතෙන් ප්‍රවිෂ්ඨ වන අයට රාජ්‍ය බැංකුවක් සමඟ ඒකාබද්ධ වී සංවර්ධන ණය යෝජනා ක්‍රමයක් සකස් කරනවා. ඒ යටතේ සහන පොළියට ණය ලබා දෙනවා. ව්‍යාපෘති වාර්තාව පෙන්වා කර්මාන්ත අමාත්‍යාංශය අනුමැතිය සහිතව බැංකුවට ඉදිරිපත් කළ විට ණය ළබාදීමේ ක්‍රමවේදයක් ඇති කරනවා. නව ගොවිපළවල්වල හිමිකාරීත්වයක් ඇති කිරීම සඳහා තරුණ පරම්පරාවට අවස්ථාව ලබා දෙනවා. සුළු හා මධ්‍ය පරිමාන පරිමාණ කර්මාන්ත පද්ධතියක් ඇති කිරීම මගින් ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට අප සැලසුම් කරනවා. ගම දියුණු වී ආර්ථික වශයෙන් ඉහළ යෑම අවශ්‍ය වෙනවා.
ඒ වගේම පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීමට අප කටයුතු කරනවා. නාගරිකව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම ක්‍රමවේදය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. පැති ගණනාවක් ඔස්සේ අපේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට අප කටයුතු කරනවා.
ජනතාව අපට ඡන්දය ලබාදීමේදී සාධක කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළා. දේශපාලන සංස්කෘතිය, නාස්තිය දූෂණය අවම කිරීම, යන සාධක ජනතාව අපෙන් ඉල්ලා සිටියා. අපි පළමුවෙන්ම පැවති දූෂිත දේශපාලන සංස්කෘතියට තිත තැබුවා. අපි ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දෙන්නේ නැහැ. ඒ සංස්කෘතිය අප අවසන් කර තිබෙනවා. ගිලන් රථ පිටුපසින් ගියපු ඉතිහාසයක් තිබුණා. අපි කිසිම ඇමතිවරයෙකුට නිල නිවාස ලබා දුන්නේ නැහැ. කොළඹ ජනාධිපති මන්දිරය හා නුවර ජනාධිපති මන්දිරය පමණක් තබාගෙන අනෙකුත් සියලුම ජනාධිපති මන්දිර රටේ ආර්ථිකයට දායක කර ගත හැකි ලෙස ආයෝජනය කිරීමට අප සැලසුම් කර තිබෙනවා.
ජනාධිපතිවරයා හා ඇමතිවරු මෙලෙස කටයුතු කරන විට හිටපු ජනාධිපතිවරු කියනවා දේශපාලන පළිගැනීම් කරනවා කියලා. හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් කොළඹ හතේ හෝටි ගණන් වටින ඉඩම්වල ඉන්නවා. වර්ග අඩි තිස්දහස් ගණනක නිවසක සිටිනවා. මේ යහපත් දේශපාලන සංස්කෘතියට එන්න කැමති අය එන්න. අපිට හිටපු පාලකයන් සමඟ ඉඩම් නඩු නැහැ. නාස්තිකාර ජීවිත ගත කරන එක අපට හුරු නැහැ. නාස්තිකාර ජීවිත ගත කරන එක එයාලගේ ජීවිතවලට උරුම දෙයක් කියා ඔවුන් කියනවා. මහජනයාගේ ධනය එහෙම දෙන්න ඕනෙද? හිටපු ජනාධිපතිනිය ඉන්නේ වර්ගඅඩී 15000ක නිවසක. පැරණි නාස්තිකාර කටයුතුවලට අපිකිසිවක් කියන්නේ නෑ. අද ඉඳන් නව දේශපාලන සංස්කෘතියට එන්න කියා අපි ඔවුන්ට කියනවා.
දේශපාලඥයා කියන්නේ මහජනතාවට වඩා ඉහළින් ඉන්න කෙනෙක් නෙවෙයි. අපි මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍රය ලබාදෙන්නේ නැහැ, මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදෙන්නෙ නැහැ, විශ්‍රාම වැටුප් ලබාදෙන්නෙ නැහැ. දැන් සමහරු අහනවා කෝ දූෂිතයන් ඇල්ලුවද කියලා. ඊට අදාළ පරීක්ෂණ කඩිනම් කිරීමට අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශක්තිය ලබා දී තිබෙනවා.
ශක්තිමත් ලෙස එම නඩු ගෙනුකරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. අපි කිසිවෙක් පසුපස පෞද්ගලිකව හඹා යන්නේ නැහැ. පරීක්ෂණ අවසන් වන ආකාරයට අධිකරණයට වාර්තා කරනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර දාසයක් ගත වෙනවා. තාජුඩීන් ඝාතනය කර වසර දහතුනක් වෙනවා. තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධව කටයුතු කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා මේ වන විට මිය ගිහින්. ඒ පිළිබඳ විමර්ශනය කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් මේ වන විට මිය ගොස් තිබෙනවා. එබැවින්ඇතැම් පරීක්ෂණ කල්ගත වෙනවා.
මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා අපි විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මෙරට මත්ද්‍රව්‍ය ජාලය බිඳ දැමීමට අවශ්‍ය පහසුකම් පොලිසියට ලබාදී තිබෙනවා. අනවසර ගිනිඅවි සමාජය තුළ සැරිසරනවා. ඒ නිසාම නිල නොලත් පාතාල රාජ්‍යයක් තිබෙනවා. මෙය මර්ධනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල අප සතුව තිබෙනවා. මෙම පාතාලය මේ වසර පහේදි මර්ධනය කිරීමට අප කටයුතු කරනවා.
අපට බැඳීම තිබෙන්නේ ජනතාව සමඟයි. අපි මාධ්‍ය ආයතනවලට බැඳී නැහැ. කළු කඩ ව්‍යාපාරිකයන් සමඟ අපට බැඳීමක් නැහැ. අපේ මූලික බැඳීම තිබෙන්නේ මේ රටේ ජනතාව සමග පමණයි. ජනතාව අප කෙරෙහි තැබු විශ්වාසය බිඳ දැමීමට ඉඩ තබන්නේ නැහැ.
ලංකා ඉතිහාසයේ සැලකිය යුතු කාලයකට පසුව පරිවර්තනීය දේශපාලන නායකත්වයක් ඇතිවී තිබෙනවා. ඒ සඳහා ඔබගේ සහාය අවශ්‍යයි. පොලිසියේ, හමුදාවේ, රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අපට අවශ්‍යයි. ලෝකයේ එක කාලයක අව්ව වැස්ස දෙස බලා ගමන් කළා. නමුත් මේ වන විට ලෝකය ගමන් කරන්නේ දත්ත මතයි. එම නිසා නිෂ්පාදනය පරිභෝජනයට ප්‍රමාණවත් ද නැද්ද කියා සොයා දෙන්නේ දත්ත මගින්. එම දත්ත එක් රැස් කිරීම පරිපූර්ණ ලෙස සිදු කළ යුතුයි.
කෘෂිකර්ම නිලධාරියෙක් වරෙක ප්‍රකාශ කළා වී මෙට්‍රික් ටොන් මිලියනයක් අතුරුදහන් වෙලා කියලා. නමුත් රජයේ සහල් ගබඩාවල තිබිය හැක්කේ සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ තුනක් පමණයි. මහා පරිමාණ මෝල් හිමිකරුවන්ගේ සමස්ත එකතුවත් මේට්‍රික් ටොන් ලක්ෂ තුනක් පමණයි. එසේ තිබියදී නිලධාරියෙක් එලෙස ප්‍රකාශ නිකුත් කරන්නේ ඇයි? නිසි ආකාරයෙන් දත්ත රැස් කර නොමැතිකම එයින් පෙනී යනවා. දත්ත නිසි ලෙස තිබෙනවා නම් අවශ්‍ය වේලාවේදී තීන්දු තීරණ ගත හැකියි. එම නිසා ලබන ජූනි මාසය වන විට සමස්ථ රාජ්‍ය සේවය තුළම දත්ත එක් රැස්කිරීමේ වැඩපිළිවෙල සම්පූර්ණ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මින් පසුව සහල් හිඟයක් ඇතිවීමට අප ඉඩ තබන්නේ නැහැ. වී වලට සහතික මිලක් සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබාදීමට අපි කටයුතු කරනවා. උතුරේ පොල් වගා කිරීම සඳහා අක්කර 3000ක් හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා මුදල් මෙවර අයවැයෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඉතාම නරක, අන්තයටම කඩා වැටුණු රටක් අපි ක්‍රමාණුකූලව ගොඩ නගමින් තිබෙනවා. එම වැඩපිළිවෙළ තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට අප සියලු දෙනා එක්ව කටයුතු කරමු.