Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“ජාතික ජන බලවේගය ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරනවා” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ ලන්ඩන් සමුළුව – 2024.06.15-) ඔබ මේ අවස්ථාවට සහභාගී වී තිබෙන්නේ, අප කෙරෙහි විශ්වාසයකින්. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය, බිඳුවකින් හෝ බිඳ නොදමන බවට අපි ඔබට සහතික වෙනවා. ඔබ අප වෙනුවෙන් පෙනී සිටිනවා නම් ඔබගේ ගෞරවය ආරක්ෂා කරන්න අපි බැඳී සිටිනවා. ඔබ, අපි කාටත් තිබෙන්නේ සාමූහික වුවමනාවක්. පාලනයේ වෙනසක් කිරීම වෙනුවෙන් ඔබ පෙනී […]

(-ජාතික ජන බලවේගයේ ලන්ඩන් සමුළුව – 2024.06.15-)

AKD-London-Meeting

ඔබ මේ අවස්ථාවට සහභාගී වී තිබෙන්නේ, අප කෙරෙහි විශ්වාසයකින්. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය, බිඳුවකින් හෝ බිඳ නොදමන බවට අපි ඔබට සහතික වෙනවා. ඔබ අප වෙනුවෙන් පෙනී සිටිනවා නම් ඔබගේ ගෞරවය ආරක්ෂා කරන්න අපි බැඳී සිටිනවා. ඔබ, අපි කාටත් තිබෙන්නේ සාමූහික වුවමනාවක්. පාලනයේ වෙනසක් කිරීම වෙනුවෙන් ඔබ පෙනී සිටිනවා. ඔබ සහ අපි යනු එක අරමුණක ගමන් කරන සාමූහික මිනිස් ප්‍රජාවක්. ඔබේ සිත තුළ මේ රට වෙනස් කිරීම සඳහා තිබෙන වුවමනාවම ඒ හා සමානව තේරුම් ගත් අය අපයි.
මෑත ලෝක ඉතිහාසයේ 2022 ප්‍රබලතම ජනතා නැගිටීම සිදුවුණා. ස්වේච්ඡාවෙන් ජනතාව පාරට බහින්න පටන් ගත්තා. තරුණ තරුණියන් මාස ගණන් පාලකයාට එරෙහිව සටන් කළා. විදෙස්ගතව සිටි ඔබ ඒ වෙනුවෙන් ආධාර කළා. ජයග්‍රහණය ප්‍රාර්ථනා කළා. ගෝඨාභය ගෙදර ගියා. සටනේ අවසානයේ බාග කොටසක් ඉතිරිවී තිබෙනවා. අපේ ස්ථාවරය වුණේ පාර්ලිමේන්තුවත් විසුරුවා හැරිය යුතුයි කියන එකයි. ජනතාවගේ විරෝධතාවය නිසා ගෝඨාභය ගෙදර යනවා. ලෝක ඉතිහාසයේ කවරදාවත් සිදු නොවුණු ලෙස ගෝඨාභය පළවා හරින්න ආ ජනවරමින්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනවා. අද අපේ රටේ පාලනය යනු විකෘතිමය පාලන බලයක්. එදා ලක්ෂ ගණන් ජනතාව පාලකයාට විරුද්ධව නැගිට්ටා. එය සාර්ථක ජයග්‍රහණයකින් කෙළවර කර ගන්න නොහැකි වී තිබෙනවා. නමුත් දැන් අවස්ථාව උදාවෙලා තිබෙනවා. අද ජනතාව ඡන්ද අවස්ථාව උදාවෙන තෙක් සියලු දුක් වේදනාවන් ඉවසාගෙන ඉන්නවා. රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ කල්ලියේ කවරෙක් හෝ ඡන්ද නොතියා බලයේ ඉන්න සූදානම් වෙනවා නම්, ලෝක ඉතිහාසයේ සිදුවන විශාලම ජනතා නැගිටීම වළක්වන්න රනිල් වික්‍රමසිංහට පුළුවන්කමක් වෙන්නේ නැහැ. පාලකයා ඡන්දෙ පිළිබඳ දෙගිඩියාවකට පත්ව තිබෙන්නේ අන් කවරක්වත් නිසා නොවෙයි, ඉතිහාසයේ මෙතෙක් බලය මාරු වුණු ආකාරය වෙනස් වෙමින් පොදු ජනතාවගේ ව්‍යාපාරයක් වන ජාතික ජන බලවේගයට බලය මාරු වෙමින් තිබෙන නිසයි.

එකතු විය හැකි සියල්ලෝම දැන් එකට එකතු වෙමින් තිබෙනවා. කප් දෙකක තිබෙන පෘට් සැලඩ් එක කප් එකකට දාන්න සාකච්ඡාවක් කළා. මීට සතියකට පෙර කබීර් හෂීම්ගෙ ගෙදර රාජිත සේනාරත්න ස.ජ.බෙ. මන්ත්‍රීවරු පහළොස් දෙනෙක් සමග සාකච්ඡාවක් කළා. දෙකට බෙදිලා ඉල්ලුවොත් එන්.පී.පී.එක දිනනවා. ඒක අනතුරක්ලු. මෝදර ධීවර වරාය අවුරුදු 25කට බදු දෙනවා. බදු දුන්නේ රජයේ ඇස්තමේන්තු මුදලට වඩා අඩු මුදලකටයි. පරීක්ෂණ වාර්තා සියල්ල තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. පරීක්ෂණ කරලත් තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු වාර්තාත් තිබෙනවා. ඒ නිසා මේ ජනතා පෙරළිය රාජිතට අනතුරුදායක බව ඇත්ත. දූෂිතයන්ට, අපරාධකරුවන්ට එන්.පී.පී.ය බලයට පැමිණීම අනතුරක්. ඒ නිසා රහස් සාකච්ඡාවක් දියත් වෙලා තිබෙනවා. මේ පාර්ශ්ව දෙක දෙකක් හැටියට ඉදිරිපත්වීම භයානකයි, ඒ නිසා එකට එකතු වෙන්න සාකච්ඡා දියත් වෙලා තිබෙනවා.

AKD-London-Meeting

මහා ගංවතුරක් ගැලුවාම නයි මුගටි සියලුම දෙනා ගංවතුරේ ගහගෙන යනවා. කොට කැබැල්ලක් හමුවුණාම නයයි, මුගටියයි එක කොටයට නගිනවා. රනිල්, මහින්ද එක කොට කෑල්ලෙ නැගලා ඉන්නේ. මේ සැඩ පහර මොකක්ද, ජාතික ජන බලවේගයත් එක්ක එකතු වුණු මහා ජන පෙළගැස්මක් තිබෙනවා. ඒ ගොල්ලන් සියලුදෙනාටම එක වේදිකාවකට ගොඩනගින්න බලකර තිබෙනවා. ලංකා ඉතිහාසයේ සියලු ජනාධිපතිවරුන් එකට නගින වේදිකාවක් අපට හමුවෙනවා. චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී, ගෝඨාභය, රනිල් ඉදිරි ජනාධිපතිවරණයේදී අපට එක වේදිකාවක දකින්න පුළුවන්. මොවුන් 1994 සිට 2024දක්වා අවුරුදු 30ක් බෙදී සිටි කණ්ඩායම්; එකිනෙකාට එරෙහිව අවි අමෝරාගෙන සිටි කණ්ඩායම්; නමුත් අද එකම වේදිකාවට ගොඩවදින්න සිදුවී තිබෙනවා. ඒගොල්ලන්ගේ බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත හැකි සියලුම පන්නයේ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. මාධ්‍ය නාලිකාවල හැසිරීම් සාමාන්‍ය කාල පරිච්ඡේදයකට වඩා එහා ගිහින් තිබෙනවා. පත්තරේ කියවන විට පත්තරේ තියෙන ඒවාට වඩා වැඩියෙන් කියවන ඒවා වැඩිවෙලා. තව තවත් ජනතාවගේ විශ්වාසය, බැඳීම තහවුරු කර ගැනීම තමයි ජයග්‍රහණය සඳහා අපට තිබෙන එකම මාවත. එක්සත් රාජධානියේ වෙසෙන දහස් සංඛ්‍යාත ජනතාවක් මේ හමුවට පැමිණීමෙන් කියාපාන්නේ, ඒ බැඳීම, විශ්වාසය ජාතික ජන බලවේගයට ලබාදීමට සූදානම් බවයි. අපි ආවේ ඒ සඳහා මැදිහත් වෙමු කියා, ඔබට ආරාධනා කරන්න.

AKD-London-Meeting

අපේ රටට සිදුවී තිබෙන්නේ මොකක්ද? ආර්ථික වශයෙන් බංකොලොත් වූ, විශාල අපරාධවලින් ගහණ වූ, නීතියේ විධානයේ ආධිපත්‍යය මුළුමනින්ම කඩා වැටුණු, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සැකය, අවිශ්වාසය, ක්‍රෝධය වර්ධනය වූ, පතුලේම සිටින ජනතාවට නිසි ආහාර සපයා ගන්න බැරි, ඉස්පිරිතාලේ බෙහෙත් පෙත්තක් නැති, තරුණයන්ගේ අනාගතය මුළුමනින්ම විනාශයට භාජනය කරන ලද, අධ්‍යාපනය කඩා වට්ටන ලද, මත්ද්‍රව්‍ය අපරාධවලින් ගහණ වූ රටක් අප ඉදිරියේ නිර්මාණය වෙලා තිබෙනවා. අපේ රටේ පුරවැසියන් සහ මාතෘ භූමිය විඳින ඛේදවාචකය අපේ පපුවට දැනෙනවා නම්, අපේ පුරවැසියන්ගේ වේදනාව අපේ කණට ඇහෙනවා නම්, හදවතක් තිබෙන පුද්ගලයෙක් නම් අපි කිසිවෙකුටත් මේ තත්වය හමුවේ අහක බලාගෙන ඉන්න යුක්තිසහගත අයිතියක් නැහැ. අපි හැමදෙනාම කළ හැකි සෑම දෙයක්ම කරමින් මේ පරිවර්තනය අත්පත් කර ගැනීමේ නියමු කාර්යභාරයේ කොටස්කරුවන් බවට පත්විය යුතුයි. ඒ වෙනුවෙන් ඔබට ආරාධනා කරනවා.

අපේ මාතෘ භූමිය හදන්න ඕනෑ. අපේ රටේ පැරණි, අසාර්ථක දේශපාලන ගමන් මඟ වෙනස් කරන්න ඕනෑ. මේ අර්බුදය නිර්මාණය කළේ දේශපාලනය විසින්. මේ අර්බුදයෙන් ගොඩඒමේ පළමු පියවර වන්නේ දේශපාලන පරිවර්තනය කිරීමයි. එක්සත් රාජධානියේ කවුරු හෝ කල්පනා කරනවා නම්, පාසලකට යම් උදව්වක් කර, අධ්‍යාපන ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියා, එහෙම විසඳෙන්නේ නැහැ. එහෙත් ඔබ ළමයි කිහිපදෙනෙකුට හරි උදව් කරන්න. ඒකත් වටිනවා. ඔබ හිතනවා නම් එකට එකතු වෙලා නිවසක් නැති කෙනෙකුට නිවසක් හදලා උදව් කරන්න. හැබැයි ඒකෙන් ලංකාවේ නිවාස ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඔබේ හිතවතෙුකට, ඥාතියෙකුට බෙහෙත් ටිකක් ඔහු සුවකර ගන්න යවන්න. නමුත් ඒකෙන් ලංකාවේ සෞඛ්‍ය ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ඔබ, අපි කැමති වුණත් අකමැති වුණත් අනිවාර්ය කාර්යභාරය තමයි අපේ රටේ මේ දේශපාලන ගමන් මඟ වෙනස් කළ යුතුයි. ඉදිරියේ එන ජනාධිපතිවරණය තීරණාත්මක සන්ධිස්ථානය බවට පත්කර ගනිමු. මෙතෙක් ගලාගෙන ගිය දේශපාලන ගමන් මඟ වෙනස් කිරීමට ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කරමු. ඡන්දෙ බොහෝ දුරට සැප්තැම්බර් 28 නැතිනම් ඔක්තෝබර් 05 පැවැත්වේවි. මේ දේශපාලන වෙනස අපි කරමු. එහිදී අපට පැවරෙන වැඩ කොටස අපි කරමු.

AKD-London-Meeting

අපේ රටේ මුළු දේශපාලන ඉතිහාසයම ගොඩනැගී තිබෙන්නේ අනෙකාට එරෙහි දේශපාලනයක් ලෙසයි. දකුණේ සිංහල ඡන්ද ගන්න ඒ ව්‍යාපාර වැඩ කරන්නේ අනෙකාට එරෙහිව. 2005 නම් උතුරට එරෙහිව. 2010 නම් දෙමළාට එරෙහිව. 2019 නම් මුස්ලිම් ජනතාවට එරෙහිව. ආණ්ඩු හැදුවේ එහෙම. දකුණේ පක්ෂ උතුරට එරෙහිවත්, උතුරේ පක්ෂ දකුණට එරෙහිවත් ගොඩනගනවා. නැගෙනහිර පක්ෂ දකුණට එරෙහිව ගොඩනඟනවා. එක්සත් රාජධානියේ ජීවත් වෙන ඔබ අනෙකාට එරෙහි දේශපාලනයක් දකිනවාද? අනෙකාට එරෙහි දේශපාලනය ගොඩනැගීම විසින් ඇති තරම් යුද්ධ, ගැටුම් නිර්මාණය කළා. ලංකා පොළොව තෙත්වන තරම් ලේ ගලාගෙන ගියා. ගංගා පිරෙන තරම් උතුරේත්, දකුණේත් අම්මා තාත්තගේ කඳුළු ගලාගෙන ගියා. මේ එකිනෙකාට එරෙහි දේශපාලනය අපේ රට අඟලක් හෝ ඉදිරියට ගෙනයන්නේ නැහැ. හිතාමතා අසීරුවෙන් හෝ ඉදිරියට ගත යුතු වන්නේ ජාතික සමගියේ දේශපාලනයයි. ජාතික ජන බලවේගය නියෝජනය කරන්නේ ජාතික සමගියේ දේශපාලනයයි. අපි එය ජයග්‍රහණය කළ යුතුයි.

1948 අපි නිදහස ලබා ගත්තා. 1947 ඉන්දියාව නිදහස ලබා ගත්තා. විශාල රටක් වුණු ඉන්දියාවේ විවිධ භාෂාවන් කතා කරන, විවිධ ආගම් අදහන, ප්‍රාදේශීය බෙදී තිබුණු රාජ්‍යයක්. ඉන්දියාවේ ජාතික නායකයන් ජනතාව එක කොඩියක් යටතට ගේන්න උත්සාහ ගත්තා. එහි ප්‍රතිඵලයක් හැටියට අබ්දුල් කලාම් වැනි අයෙක් ජනාධිපතිවරයෙක් වෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට මනමෝහන් සිං වැනි කෙනෙක් අග්‍රාමාත්‍යවරයෙක් වෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට කුල හීන යැයි සම්මත කාන්තාවක් ඉන්දියාවේ ජනාධිපති ධුරය හොබවනවා. එක්සත් රාජධානියේ යටත් විජිතයක්ව තිබූ කාලයේත් 1948න් පසුවත් අපේ රටේ තිබුණේ බෙදීමේ දේශපාලනයක්. ඒකෙන් අපට ලැබුණේ මොකක්ද? අවුරුදු 30 යුද්ධයක් පැවතුණා. දස දහස් ගණන් මිනිස්සු මිය ගියා. පාස්කු ප්‍රහාරය සිදුවෙනවා. ඒ බෙදීමේ දේශපාලනයයි. අපි ශ්‍රී ලංකවේ නව දේශපාලනයක් ඇති කරනවා. ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ කොඩිය ගෙන නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරනවා.

AKD-London-Meeting

ඒ වගේම අපේ රටේ දේශපාලනය කුඩා පවුල් කිහිපයක් අත කේන්ද්‍රගත වී තිබෙනවා. බණ්ඩාරනායකලා, ජයවර්ධනලා, වික්‍රමසිංහලා, රාජපක්ෂලා, සේනානායකලා. රටේ පාලනයේ සුක්කානම පවුල් කිහිපයක් අත රැඳුණා. ප්‍රාදේශීය දේශපාලනය, දිස්ත්‍රික් දේශපාලනය පවුල් කිහිපයක් අත ගොඩනැගී තිබෙනවා. සජිත් ප්‍රේමදාස පක්ෂයක නායකයෙක් බවට පත්වෙන්න එකම සාධකය වෙන්නේ ජනාධිපතිගේ පුතෙක් වීම පමණයි. ඉහළ දේශපාලනයත්, පහළ දේශපාලනයක් පවුල් කිහිපයක් අත කේන්ද්‍රගත වෙලා තිබෙනවා. අපේ දේශපාලනයට අලුත් ජාන ඇතුල් කරන්න ඕනෑ. නාමල් රාජපක්ෂ මෑතකදී කිවුවා, එයාලාගේ පවුලේ දේශපාලන ඉතිහාසෙට අවුරුදු 98ක් වෙන බව. නව තරුණ පරම්පරාවන් අතට, අලුත් අදහස්වලින් පෝෂණය වෙන මිනිසුන් අතට අපේ රටේ දේශපාලනය හැසිරවීමේ සුක්කානම බාර දිය යුතුයි. මේ රාජ්‍ය බලයේ සුක්කානම ජාතික ජන බලවේගයේ අපි ගන්නේ, පරම්පරාවන් මේකෙ වාඩිකරවීම සඳහා නොවෙයි. අපිට ඉතා කෙටි පරිච්ඡේදයක් තිබෙන්නේ. ඒ ගොල්ලන් අත තිබෙන බැට්න් එක අපි අරගෙන අලුත් පරම්පරාවකට බාර දීම තමයි ජාතික ජන බලවේගයේ අපට පැවරී තිබෙන වගකීම. අපි ඉසඩ් පරම්පරාවේ, ඇල්ෆා පරම්පරාවේ දරුවෝ වන අපේ දැනුම, ආකල්ප, සිතුම් පැතුම් ටිකක් පැරණියි. නූතන තරුණයා වෙනස්. හැබැයි නූතන තාරුණ්‍යයේ අරමුණු අපේ රටේ දේශපාලන බල අධිකාරිය හා සමපාත වෙන්නේ නැහැ. මේ ගෝත්‍රික පන්නයේ දේශපාලන අධිකාරිය නව තාරුණ්‍යයට අවශ්‍ය වෙන ඉඩකඩ අවස්ථා නිර්මාණය කරන්නේ නැහැ. තාරුණ්‍යයේ සිතුම් පැතුම් තේරුම් ගත හැකි පාලකයන් සිටියා නම් ඒ තාරුණ්‍යයට ගොඩනැගෙන ශ්‍රම වෙළඳපොළ අත්පත් කර ගැනීමට අවශ්‍ය සැලැස්මක් හදනවා. රටක් ලෙස අප නව ලෝකයත් එක්ක බද්ද වෙන්න අසමත් වුණා.

අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කරන රාජ්‍යයක් අවශ්‍යයි. ඔබ වීසා කාලය අවසන් වෙනකොට කොතරම් හිතනවාද? නමුත් ඔබ දන්නවා ඩයනා පුරවැසිභාවය නැතිව, වීසා කාලය ඉක්මවා තිබියෙදී පාර්ලිමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය ධුරයක් පවා දැරුවා. එසේ වෙන්නේ නීතිය දේශපාලන අධිකාරියට යටත් නිසා. ඩයනාට පුරවැසිභාවය නැති බව පළමුව ඩයනා දන්නවා. දෙවනුව දන්නේ රනිල්. තමන්ට හිමි නැති වරප්‍රසාද භුක්ති විඳිනවා දැන දැනම. එය සරල නැහැ. ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා එයාර් පෝර්ට් එකේදි පුද්ගලයෙකුට පහර දෙනවා. නීතිය ක්‍රියාත්මක නැහැ. මුළු පාලනයම අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ශ්‍රී ලංකාවක් තිබෙන්නේ. මහා මූල්‍ය අපරාධකරුවන්, මිනිස් ඝාතනයන්ට සම්බන්ධ වූවන් රට පාලනය කරනවා. නූරි වත්තේ වතු අධිකාරීවරයා ඝාතනයේ නඩුවෙන් 13 දෙනෙකුට මරණ දඬුවම හිමි වුණා. හෝකන්දර පවුලේ පස්දෙනෙකු ඝාතනයේ පරීක්ෂණවලින් පසුව නඩුවෙන් ඒ අයට මරණ දඬවම හිමි වුණා. නමුත් ලසන්ත ඝාතනය, තාජුඩීන් ඝාතනය, එක්නැලිගොඩ පැහැර ගැනීම, කිත් නොයාර්, උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්තට පහරදීම් පරීක්ෂණ අදටත් නැහැ. ආන්දෝලනයට තුඩු දුන් හැම අපරාධයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගත්තා. සොයා ගත නොහැකි වුණු අපරාධයකම, ඝාතනයකම පිටුපස දේශපාලනය තිබෙනවා. අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍ය යළි තහවුරු කරන, සදාචාර සම්පන්න නීතිගරුක රාජ්‍යයක් අපි විසින් නිර්මාණය කරන්න ඕනෑ.

AKD-London-Meeting

අපට තිබෙන්නේ කඩා වැටුණු ආර්ථිකයක්. අපි විසිවැනි සියවස අත්හැර ගත් ජාතියක්. මිනිස් ශිෂ්ටාචාරයේ වැදගත්ම සියවස තමයි විසිවැනි සියවස. තාක්ෂණයේ මහා පරිවර්තනයන් සිදුවුණු සියවස. මහා සොයාගැනීම්වල පරිවර්තනයන් සිදුවුණු සියවස. අපි ජාතියක් ලෙස මහා තාක්ෂණයේ, සන්නිවේදනයේ පරිවර්තනයන් ශ්‍රී ලංකා රාජ්‍යය වෙත කැඳවාගෙන ආර්ථිකය නව පිම්මකට ගෙන ඒමට අසමත් වුණා. අපට පුරාණ ප්‍රෞඪ ඉතිහාසයක් තිබුණා. ඉතා දියුණු වාරි තාක්ෂණය, ගෘහ නිර්මාණ ශිල්පය, සීගිරියෙන් නගර නිර්මාණ සැලසුම් ශිල්පය, මිහින්තලයෙන් වෛද්‍ය සැත්කම් කළ බවට හෙළි වන කතුරු හමුවෙනවා. එවැනි ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියූ අපි අද ලෝකයේ දුප්පත්ම රාජ්‍යයන් අතරට වැටී තිබෙනවා. ප්‍රෞඪ ඉතිහාසය නූතනත්වයට ගලපගන්න තිබුණා. අවුරුදු 76ක කාලයේ පාලකයන්ට දැක්මක් තිබුණේ නැහැ. විෂම ආර්ථික චක්‍රයක අපි හිරවුණා. මේ චක්‍රයෙන් අපි ගැලවෙන්න ඕනෑ.

නිෂ්පාදනය මත පදනම් වූ නව ආර්ථිකයකට අපි යොමු වෙන්න ඕනෑ. අයි.ටී. කර්මාන්තය ඉතා වැදගත් කර්මාන්තයක්. ඉතා කෙටි කාලයකදී ඩොලර් බිලියන 5ක ආර්ථිකයකට යන්න අපි සැලසුම් කර තිබෙනවා. එයට අවශ්‍ය යටිතල පහසුකම් ටික ටෙලිකොම් ආයතනය සාදා දෙන්න ඕනෑ. හැබැයි ඒක විකුණා දැමීම සඳහා රනිල් වික්‍රමසිංහ පිඹුරුපත් සකස් කරමින් ඉන්නවා. අපි එයට ඉඩ දිය යුතුද? අපේ මූල්‍ය සමාගම්වලින් රක්ෂණ සමාගම් රජය සතුව තිබෙන්නේ එකයි. ඒකෙන් තමයි රක්ෂණ වෙළඳපොළ හසුරුවන්නේ. ඒකත් විකුණන්න රනිල් වික්‍රමසිංහ යෝජනා කරනවා. රජය සතු බැංකුවලින් තමයි ඈත ගම්මානවලට සේවාවන් ලබා දෙන්නේ. බලශක්තිය සඳහා හොඳ විභවතාවයක් අපට තිබෙනවා. 2030 වන විට ලෝකයේ ඉන්ධන සඳහා ඉල්ලුම උපරිමයට එනවා. 2050 වන විට ලෝකයේ බලශක්ති අවශ්‍යතාවය 65% – 85% අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්. අපට මන්නාරම් ද්‍රෝණියේ ඉතා හොඳ සුළං ධාරිතාවක් තිබෙනවා. එය ගිගාවොට් 45ක ධාරිතාවක්. අද අපට අවශ්‍ය වන්නේ ගිගාවොට් හතරයි. 2040 දි අවශ්‍ය වන්නේ ගිගාවොට් අටයි. ඉතාමත් හොඳ සූර්ය බල විභවතාවක් තිබෙනවා. ඒ සියල්ල කුණු කොල්ලයට දැන් විකුණමින් තිබෙනවා. ටෙන්ඩර් කැඳවීමකින් තොරව, සුළං විදුලි බලාගාරයක් සඳහා අවසර අදානිට දුන්නා. ඔවුන් විදුලිය නිපදවනවා. ඒ නිපදවන විදුලිය ආණ්ඩුව මිලදී ගත යුතුයි. අවුරුදු 20කට ඇග්‍රිමන්ට් එකක් අත්සන් කළා. ඩොලර් ශත 8.26ක් ගානේ අදානිගෙන් ගන්නවා. අදානි ඉන්දියාවට දෙන්නේ ඩොලර් ශත 3.5ට. අදානිට ඉන්දියාව දෙන්නෙත් ටෙන්ඩර් කරලා. අපේ ගොවිපොළවන් 31ක් තිබෙනවා. අක්කර 28,000ක් තිබෙනවා. මේ අක්කර 28,000 විකුණන්න සැලසුම් කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ තමන්ගේ අවසන් කාලයේ සියලු සම්පත් විකුණමින්, තමන්ගේ අමාත්‍යවරුන්ට ඇති තරම් සොරකම් කරන්න ඉඩදෙමින් යන ගමනක් නිර්මාණය කර තිබෙනවා. මේ ගමන නවත්වන්න ඕනෑ. අපේ රටේ පිහිටීම මත, ඛනිජ සම්පත් මත, සංචාරක කර්මාන්තය මත, ඉතිහාසය මත, අපට නව ආර්ථික ගමනකට අවතීර්ණ විය හැකියි. ජාතික ජන බලවේගයේ අපි, අපට අහිමි වූ පුනරුදය අත්පත් කර ගත යුතුයි.

AKD-London-Meeting

එයාලාට ගොඩක් පැතිවලින් බලය තිබෙනවා. අපට තිබෙන එකම බලය ඔබලාගේ සහාය; මහජනතාවගේ ජන බලය. ඔබගේ සහාය අන්කවරදාටත් වඩා වැඩියෙන් අද අවශ්‍යයි. ඔබගේ ශක්තිය නොවෙන්න, මේ දහස් ගණනක රැලියක් අපට පවත්වන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඔබගේ ධෛර්යයට, කැපවීමට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔබගේ මැදිහත්වීම, ඔබගේ දායකත්වය, ඔබගේ මහන්සියේ ප්‍රතිඵල අද තිබෙනවා. මේක අවසානය නොවේ. මේක ලන්ඩන්වල අලුත් ආරම්භයක්. අපේ ඉදිරියේ තිබෙන මාස තුනහමාරක කාල පරිච්ඡේදය ඉතාම වැදගත් කාල පරිච්ඡේදයක්. ඔබ යහළුවන්ට, නෑදෑයින්ට නැවත නැවත කතා කරන්න. අපි වැඩි වැඩියෙන් කතා කරමු; ලියමු; පෙනී සිටිමු. ඔබ ගෙනෙන යෝජනා, විවේචන අපි බාර ගන්න ලැහැස්තියි. අපි එකම සාමූහික ව්‍යාපාරයක කොටස්කරුවන් ලෙස එකතු වෙමු.

AKD-London-Meeting
AKD-London-Meeting
Show More

“විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය රටේ දරුවන්ගේ අනාගතය සම්බන්ධ ප්‍රශ්නයක්” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස-

(-Colombo, June 15, 2024-) මේ වන විට දින 45ක් පුරා විශ්වවිද්‍යාල පද්ධතියේ දියත් වෙමින් පවතින අනධ්‍යයන සේවක වැඩවර්ජනයෙන් විශ්වවිද්‍යාල පද්ධතියට වර්තමානයේ සහ අනාගතයේ සිදුවන බලපෑම පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්නත්, ඒ වගේම මේ ප්‍රශ්නය ඉතා කඩිනමින් විසඳන ලෙසට ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට බලපෑම් කරන්නත්, ජාතික ජන බලවේගයේ අපි මේ මාධ්‍ය හමුව පවත්වන්න තීරණය කළා. විශ්වවිද්‍යාල පද්ධතියේ අනධ්‍යයන […]

(-Colombo, June 15, 2024-)

npppressnalinda

මේ වන විට දින 45ක් පුරා විශ්වවිද්‍යාල පද්ධතියේ දියත් වෙමින් පවතින අනධ්‍යයන සේවක වැඩවර්ජනයෙන් විශ්වවිද්‍යාල පද්ධතියට වර්තමානයේ සහ අනාගතයේ සිදුවන බලපෑම පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්නත්, ඒ වගේම මේ ප්‍රශ්නය ඉතා කඩිනමින් විසඳන ලෙසට ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට බලපෑම් කරන්නත්, ජාතික ජන බලවේගයේ අපි මේ මාධ්‍ය හමුව පවත්වන්න තීරණය කළා.

විශ්වවිද්‍යාල පද්ධතියේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 16,200ක් පමණ ඉන්න නියමිත වී තිබුණත් දැනට සේවයේ යෙදී සිටින්නේ 12,800ක් පමණයි. විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යන්නේ මේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ක්‍රියාකාරිත්වයත් ඇතුලත්වයි. අධ්‍යයන, අනධ්‍යයන, පරිපාලන, ශිෂ්‍ය මේ සියලු කණ්ඩායම් වැඩකළොත් තමයි මේ පද්ධතිය නිරෝගීව පවත්වාගෙන යා හැක්කේ. මේ වන විට විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මණ්‍ය වී තිබෙනවා. මේ කාලය තුළ දේශන ශාලාවල පැවැත්වීමට නියමිත දේශන පැවැත්වෙන්නේ නැහැ. සමහර ආචාර්යවරුන්, ඔන්ලයින් මගින් දේශන පවත්වනවා හැරුණු විට දේශන ශාලා තුළ දේශන නවත්වා තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල තුළ පැවැත්විය යුතු ප්‍රායෝගික පරීක්ෂණ මුළුමනින්ම ඇණහිට තිබෙනවා. විශ්වවිද්‍යාලවල සියලු පර්යේෂණ කටයුතු නවත්වා තිබෙනවා. විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යයන කටයුතු සඳහා පුස්තකාල පරිහරණය කරන නමුත් පුස්තකාල වසා දමා තිබෙන නිසා ඒවා පරිහරණය කර ගැනීමට නොහැකි වී තිබෙනවා. තමන්ගේ දේශන, ප්‍රායෝගික පරීක්ෂණ, පුස්තකාල පහසුකම් ආදී මූලික පහසුකම් ලබා ගැනීමට නොහැකි නිසා විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනයට සැලකිය යුතු මට්ටමනින් හානි සිදුවී තිබෙනවා. මේ අඛණ්ඩ වැඩවර්ජනයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සේවකයන්ද සම්බන්ධ වී සිටිනවා. මේ තත්වය විශ්විද්‍යාලයට ඇතුළත් වීමට සිටින සිසුන්ටත් බලපානවා. විශ්විද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු සඳහන් කරන්නත්, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවශ්‍ය ගයිඩ් බුක් එක හදන්නනත් බාධා පැමිණ තිබෙනවා. මතුවී තිබෙන ආර්ථික තත්වය හේතුකොට ගෙන මේ වන විට බොහෝ සිසුන් විදෙස් අධ්‍යාපනයට යොමුවෙමින් තිබෙනවා. සමහර අය ඔවුන් විසින්ම මැදිහත් වෙලා ශිෂ්‍යත්ව සොයාගෙන තිබෙනවා. ශිෂ්‍යත්ව හිමිවීමට නියමිත දරුවන්ට, පාඨමාලා ආරම්භ වීමට නියමිත දරුවන්ට විශ්වවිද්‍යාලවලින් යම් ලේඛන ප්‍රමාණයක් ලබාගත යුතුව තිබෙනවා. විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා විසින් විදෙස් කටයුතු අමාත්‍යාංශයට යම් අනුමැතියක් ලබාදිය යුතු වෙනවා. මේ ශිෂ්‍යයන් පිළිබඳ යම් තහවුරුවක් ලබාදිය යුතුයි. එම කටයුතුත් මේ වර්ජන ක්‍රියාවලිය නිසා නතර වී තිබෙනවා. මේ තත්වය වර්තමානයේ පමණක් නොවෙයි අනාගතයටත් බලපාන සැලකිය යුතු ප්‍රශ්නයක්.

රෝහල්, බස්, දුම්රිය වැඩවර්ජනයක් වගේ මාධ්‍යවලින් මෙය අප්ඩේට් නොවී තිබිය හැකියි. සමාජය දැනුවත් වීම සාපේක්ෂව අඩුවෙන්න පුළුවන්. නමුත් මෙය රටේ අනාගත දරුවන්ගේ ජීවිත සම්බන්ධ ප්‍රශ්නයක්. මෙය විසඳනවා නම් දින 45 ඇතුළත නොවෙයි, මීට මාස කිහිපයකට කලින් පෙර මේ ප්‍රශ්නයට මැදිහත් විය හැකිව තිබුණා. අනධ්‍යයන වෘත්තිය සමිති මේ ප්‍රශ්නය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට, අදාළ ඇමතිවරයාට, මුදල් අමාත්‍යාංශයට ලියලා සාකච්ඡා අරගෙන සෑහන කාලයක් උත්සාහ කරමින් සිටියා තමන්ගේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබාගන්න. දැන් මේ ප්‍රශ්නය හිරවෙලා තිබනේනේ මුදල් අමාත්‍යාංශය පැත්තෙන් හා ජනාධිපතිවරයාගේ පැත්තෙන්. අනධ්‍යයන සේවකයන් විසින් දින 45ක් පුරා වැඩ වර්ජනය කරමින් ඉල්ලන ඉල්ලීම්වලට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සාධනීය මැදිහත්වීමක් කඩිනමින් කළ යුතුව තිබෙනවා.

මේ පවතින ආර්ථික තත්වය මත හැමෝටම ජීවිතය ගෙවා ගන්න අපහසුයි. ජීවන වියදම තුන් හතර ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් තිබෙනවා. විදුලි බිල්, ජල බිල් හා ප්‍රවාහන ගාස්තු සියල්ලම මිල ඉහළ ගොස් තිබෙනවා. මේ ලැබෙන වැටුපෙන් කාටත් ජීවත් විය නොහැකියි. ඒ නිසා මේ අනධ්‍යයන සේවකයන් ප්‍රධාන ඉල්ලීම් දෙකක් ඉදිරිපත්කොට තිබෙනවා, 2016 එවකට පැවති ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප රු:10,000කින් වැඩි කළා. ඒ අනුව රාජ්‍ය සේවකයන්ට දළ වශයෙන් 107%ක පමණ වැටුප් වැඩිවීමක් සිදුවුණා. විශ්වවිද්‍යාලය තුළ සේවය කරන අනධ්‍යයන සේවකයන්ට මේ වැටුප් වැඩිවීම වුණේ 92%කින් පමණයි. ඒ අනුව 15%ක පමණ වැටුප් විෂමතාවයක් අවුරුදු 8ක් තිස්සේ පවතිනවා. මේ සේවකයන්ගේ එක් ඉල්ලීමක් තමයි, පවතින ජීවන තත්වයන් සලකා 2016 වැඩිකරන ලද වැටුපේ හිඟ කොටස ලබාදෙන ලෙස ඉල්ලීම. දෙවන ඉල්ලීම තමයි, මේ අයට ලබාදෙන මාසික හිඟ හිටි දීමනාවේ වැඩි වීමක් කරන්න කියන ඉල්ලීම. මේ මාසික හිඟ හිටි දීමනාව 45% සිට 75% දක්වා වැඩි කළ යුතු බවට 2017දි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ එවකට සිටි සභාපති මහාචාර්ය මොහාන් සිල්වා සහ කොමිෂන් සභාව ප්‍රතිපත්තිමය ලෙස පිළිගෙන තිබෙනවා. මුදල් අමාත්‍යාංශයට, අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී අදියර කිහිපයකින් හෝ ලබාදෙන්න කියා නිර්දේශ කර තිබෙනවා. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ.

npppressnalinda

ඒ වගේම පසුගිය දෙසැම්බර් මාසයේදී අනධ්‍යයන වෘත්තිය සමිති විෂය භාර අමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවේදී 45% සිට% 75% දක්වා 30%කින් වැඩිකර දෙන ලෙස ඉල්ලන හිඟ හිටි දීමනාව 25%කින් වැඩකර දීමට එකඟ වී තිබෙනවා. ඒ අනුව මේ ඉල්ලිම සාධාරණ බව ඇමතිවරයා පවා පිළිගෙන තිබෙනවා. මෑතකදී වෘත්තිය සමිති සාකච්ඡා කළාට පසුව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාධවන් 30%කින්ම ඉල්ලන්න කියා තිබෙනවා. නමුත් රටේ තිබෙන ආර්ථික තත්වය ගැන සාධාරණව සලකා බලන වෘත්තිය සමිති අද ඉල්ලන්නේ තමන්ගේ හිඟ හිටි දීමනාව අවම වශයෙන් 12%කින් වැඩිකර දෙන ලෙසයි. මේක දිය හැකි තත්වයක්. සමස්තයක් හැටියට සියලු දෙනාටම වැටුප් වැඩිවීමක් අවශ්‍යයි කියා මුළු රටම පිළිගන්නා වෙලාවක මේ සේවකයන් තමන්ට ඉතාම සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටිනවා. නමුත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මේ ඉල්ලීම පිළිබඳව නොසලකා හරිමින් දිගින් දිගටම කටයුතු කරමින් ඉන්නවා. දැන් උපාධිය හදාරන අභ්‍යන්තර ශිෂ්‍යයන්ටත් බාහිර ශිෂ්‍යයන්ටත් ඒ වගේම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න සිටින උසස් පෙළ සමත් දරුවන්ටත් අනෙක් පැත්තෙන් විදෙස් අධ්‍යාපනය ලබන්න ඉන්න දරුවන්ටත් සියලු දෙනාටම මෙයින් බලපෑමක් එල්ල වී තිබෙනවා. විෂය බාර සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මේ ප්‍රශ්නය සාධාරණ බව තේරුම් අරගෙන මේ වන විට කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කොට ඇති බව ප්‍රකාශ වෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

මේ මැයි මාසයේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සමරතුංග මේ වෘත්තිය සමිති සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ සාකච්ඡාව ප්‍රතිඵල රහිතයි. මේ අනධ්‍යයන සේවකයන්ගේ ප්‍රශ්නය දැන් තිබෙන්නේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අංශ ළඟ නොවෙයි; ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශය ළඟයි. නමුත් සුපුරුදු පරිදි ජනාධිපතිවරයා කිසිදු තෙතමනයක් නැති කෙනෙක් හැටියට කටයුතු කරමින් මේ ප්‍රශ්නය නොසලකා හරිමින් ඉන්නවා. ඔහුගේ දේශපාලනයට මෙය අදාළ කරගෙන නැහැ. ඔහුට මේක සංවේදී නැහැ. මේ ඉතා සාධාරණ වැටුප් වැඩිවීම ලබාදෙන එක මුදල් අමාත්‍යාංශය නතර කර තිබෙනවා. එයින් රටට, ශිෂ්‍යයන්ට සහ රටේ අනාගතයට එන බලපෑම් පිළිබඳව ජනාධිපතිවරයා සුපුරුදු පරිදි ගල්පිළිමයක් මෙන් ඉන්නවා.

මේ වන විට ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වැඩිකර ගැනීම සඳහා පසුගිය අයවැයෙන් ජනාධිපතිවරයා වෙන්කර ගත් මුදල්වලට අමතරව මෑත කාලයේ ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර සඳහා අමතරව මිලියන 200ක් වෙන්කර ගත්තා. ඒක පාර්ලිමේන්තුව අනුමත කළා. ඊට අමතරව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් කෝටි 875කින් වැඩිකර ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව මාධ්‍ය වාර්තා කොට තිබෙනවා. ජනාධිපතිවරයා අනෙකුත් අමාත්‍යාංශවල තිබෙන සල්ලිත් තමන්ගේ වැය ශීර්ෂයට එකතුකර ගනිමින් ඉන්නවා. මෙවැනි ආර්ථික අර්බුදයක් පවතින රටක ජනාධිපතිවරයෙක් කටයුතු කරන හැටි ලෝකෙට පේනවා. මේ ජනාධිපතිවරයා 2022 සැප්තැම්බර් මාසයේ සිට ගෙවුණු මාස 20ට විදෙස් සංචාර 20ක යෙදී තිබෙනවා. සෑම මාසයකම හත්දෙනෙක් අටදෙනෙක් හෝ පහළොස්දෙනෙක් රැගෙන විදෙස් සංචාරවල යෙදී තිබෙනවා. මේ සංචාරවලට රුවන් විජේවර්ධන, සාගල රත්නායක, දිනුක් කොළඹගේ ඇතුළු විශාල පිරිස් රැගෙන ගොස් තිබෙනවා. තමන්ට අයවැයෙන් වෙන්කර තිබෙන මුදලට වඩා ප්‍රමාණයක් මුදල් වෙන්කර ගන්නේ මේවාටයි. මේ සංචාරවලින් රටට අත්වුණු දේශපාලන සහ ආර්ථික ප්‍රතිලාභ මොනවාද යන්න කතා කළ යුතුව තිබෙනවා. ජනාධිපතිවරයා පිනට ලැබුණු ජනාධිපති ධුරය එන්ජෝයි කරනවා. ඒ ජනාධිපතිකම ලැබීම නිසා පාර්ලිමේන්තුවට පත්විය නොහැකිව තිබූ පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ජනාධිපති ළඟ ජොබ් ලැබී තිබෙනවා. ඒ අයට එක එක ටුවර් ලැහැස්ති කර දෙනවා.

මෙවැනි අවස්ථාවක මේ රටේ දරුවන්ගේ අනාගතයට ඉතා සංවේදී ප්‍රශ්නයක් හැටියට විශ්වවිද්‍යාලවල කටයුතු අකර්මණ්‍ය කර තිබෙන අනධ්‍යයන සේවක වැඩවර්ජනයට සාධාරණ විසඳුමක් ලබාදෙන්න ජනාධිපතිවරයා කිසිදු හෝ උත්සාහයක යෙදෙන බවක් පෙන්න නැහැ. අපි ජාතික ජන බලවේගය ලෙස මේ රටේ දරුවන්ගේ අනාගතය ගැන සලකා බලා ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශය මැදිහත්වී මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙසට අවධාරණය කරනවා. විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ඉල්ලන්නේ ඉටුකළ නොහැකි ඉල්ලීමක් නොවෙයි. ඔවුන් මස් රාත්තලම ඉල්ලන්නේ නැහැ. මේ මොහොතේ රටේ ආර්ථික තත්වය, භාණ්ඩාගාරය පිළිබඳ තත්වය සලකා බලා තමන්ගේ ඉල්ලීම සියයට සියයක්ම නැතිව යම් ප්‍රමාණයක් ඉල්ලන්නේ. මේ ඉල්ලීමට ඇහුම්කන් දී තවදුරටත් ප්‍රමාද නොකර, විශ්වවිද්‍යාල දේශන ශාලා, පරීක්ෂණාගාර, පුස්තකාල විවෘත කර දරුවන්ට ඉගෙනීම් කටයුතු කර ගැනීමට පහසුකම් සපයා දෙන ලෙසට ආණ්ඩුවට බලකරනවා.

Show More

අනුර කුමාර දිසානායක සහෝදරයාට ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයින්ගේ උණුසුම් පිළිගැනීමක්

(-Colombo, June 13, 2024-) එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ Heathrow ගුවන්තොටුපලට ළගා වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ශ්‍රී ලාංකිකයින්ගේ පිළිගැනීම් මැද… අනුර කුමාර දිසානායක සහෝදරයා ජුනි 15 වෙනිදා පස්වරුවේ Crystal Grand, 3 Bath Rd හිදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුව ආමන්ත්‍රණය කිරීමට නියමිතය.

(-Colombo, June 13, 2024-)

එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ Heathrow ගුවන්තොටුපලට ළගා වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ශ්‍රී ලාංකිකයින්ගේ පිළිගැනීම් මැද…

අනුර කුමාර දිසානායක සහෝදරයා ජුනි 15 වෙනිදා පස්වරුවේ Crystal Grand, 3 Bath Rd හිදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුව ආමන්ත්‍රණය කිරීමට නියමිතය.

AKD-London
AKD-London
Show More

“ජනතා ද්‍රෝහී පාලනය පැරදවිය හැකි එකම සංධිස්ථානය ජනාධිපතිවරණයයි” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්-

(-මාධ්‍ය හමුව – 2024.06.12-) අද මෙම මාධ්‍ය හමුවේදී රජය තවදුරටත් ණය ගනිමින් රට ණය අර්බුදයක ගිල්වා දැමීම පිළිබඳව අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙනවා. 2022 අප්‍රේල් 12 වැනිදා, ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් රටක් බවට මහ බැංකු අධිපතිවරයා විසින් නිල වශයෙන් ප්‍රකාශ කළා. මේ බංකොලොත් බවට පත්වෙන්න ප්‍රධානතම හේතුව අපි ගන්නා ලද ණය ගෙවා ගන්න බැරි තත්වයට රට […]

(-මාධ්‍ය හමුව – 2024.06.12-)

npppress-vijitha

අද මෙම මාධ්‍ය හමුවේදී රජය තවදුරටත් ණය ගනිමින් රට ණය අර්බුදයක ගිල්වා දැමීම පිළිබඳව අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙනවා. 2022 අප්‍රේල් 12 වැනිදා, ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් රටක් බවට මහ බැංකු අධිපතිවරයා විසින් නිල වශයෙන් ප්‍රකාශ කළා. මේ බංකොලොත් බවට පත්වෙන්න ප්‍රධානතම හේතුව අපි ගන්නා ලද ණය ගෙවා ගන්න බැරි තත්වයට රට බංකොලොත් වීමයි. ආණ්ඩුවම කිවූ පරිදි අර්බුදය ඇති වෙන අවස්ථාවේ අපේ සමස්ත ණය බර, දේශීය හා විදේශීය වශයෙන් ඩොලර් බිලියන 83ක් වී තිබුණා. (ඩොලර් මිලියන 83,000ක්) මේ ණය අර්බුදය රට දිගින් දිගටම මහා ආර්ථික ප්‍රපාතයකට ඇද දැමුවා.

මේ ණය අර්බුදය පියමං කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේ ප්‍රධාන අරමුණ වුණේ, අප ගත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීමට උදව්වක් ගැනීමයි. ඒ සඳහා අයිඑම්එෆ් එක, ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමග ගිවිසුමක් ඇතිකර ගත්තා. ඒ ගිවිසුම මගින් විවිධ යෝජනා ඉදිරිපත් කළා. ආණ්ඩුව අයිඑම්එෆ් යෝජනා ක්‍රියාත්මක කළා. ඒ අනුව ජනතාව මත බදුබර වැඩි කිරීම, බල ශක්ති මිල වැඩිකිරීම, විදුලිය, ඉන්ධන, ගෑස් මිල වැඩිකිරීමට තීරණය කළා. ජනතාව මත බදුබර වැඩි කරමින් සේවාවන්ගේ මිල වැඩි කරමින් ජනතාවගේ පීඩනය වැඩි කළා. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කෙසේ වෙතත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළා. ඊපීඑෆ් අරමුදලේ විශාල පංගුවක් කපා හැරියා. ජාත්‍යන්තරව ගන්නා ලද ඩොලර් ණය එකක් හෝ කපා හැරියේ නැහැ. එදා තිබූ ඩොලර් බිලියන 83ක ණය අර්බුදය පියමං කිරීමට ආ රනිල් වික්‍රමසිංහලා ගෙවුණු වසර දෙකට එම ණය ප්‍රමාණය තවත් වැඩිකොට ණය අර්බුදයක හිරකර තිබෙනවා. මේ අවුරුද්දේ මාර්තු මාසයෙන් අවසන් වෙන ණය වාර්තාවට අනුව අපේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100ක් (මිලියන 100,000) දක්වා වැඩිවී තිබෙනවා.

ලබාගන්නා ලද ණය ප්‍රමාණය වැඩිකරන්න ආණ්ඩුව දේශීය ණය වැඩිකොට තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අනුව දේශීය ණය වැඩිවීමේදී භාණ්ඩාගාර බැඳුම්කර ඩොලර් මිලියන 37,182 සිට 41,522 දක්වා වැඩිකොට තිබෙන බව පැහැදිලිව පෙන්වා දෙනවා. පසුගිය දෙසැම්බර් මාසය වන විට අපේ ණය ඩොලර් බිලියන 96යි. එම ණය ප්‍රමාණය, මේ වසරේ මුල් මාස තුනේදි ඩොලර් බිලියන 04කින් වැඩිවෙනවා. 2024 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 4300ක ණය ගන්නවා. ලංකාවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගින් අලුතෙන් ඩොලර් බිලියන 4.3ක් ණය ගෙන තිබෙනවා. මාස තුනකට ණය ප්‍රමාණය මෙතරම් නම් මාස 12 අවසන් වන විට ණය ප්‍රමාණය ඩොලර් බිලියන 16ක් වැනි ණය ප්‍රමාණයක් ආණ්ඩුවට ගැනීමට සිදුවේවි. ණය අර්බුදය වැඩි කොට තිබෙන්නේ මේ ආකාරයටයි.

අස්වැසුම ක්‍රියාත්මක කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගත්තා. ඒ වගේම ගෑස් මිල යම් මට්ටමක පවත්වා ගැනීමට ඩොලර් මිලියන 70ක මුදලක් ලෝක බැංකුවෙන් ණය ලබාගත්තා. මේ නිසා ණය අර්බුදය වැඩිකොට තිබෙනවා. රට ආර්ථික වශයෙන් ගොඩගන්නවා කියමින් පැමිණි රනිල් රාජපක්ෂ මේ කෙටි කාලය තුළ කර තිබෙන්නේ තව තවත් ණය බර වැඩිකිරීමයි. මේ ගන්නා ලද ණයවලට මේ කාලය තුළදී ගෙවීමක් කරන්නේත් නැහැ. ඒ නිසා ණය සඳහා ගෙවීමට තිබෙන පොලී ප්‍රමාණයත්, ගෙවීමට තිබෙන ණය ප්‍රමාණයත් වැඩිවීමක් සිදුවෙනවා. ඔවුන්ගේ වාර්තාවලට අනුව ගෙවීමට තිබෙන පොලී ප්‍රමාණය ඩොලර් බිලියන 6.4ක් දක්වා වැඩිවී තිබෙනවා. මේ අර්බුදය ඉතාමත් බරපතළයි. ඔවුන් මතුපිටින් පෙන්වනවා, රුපියල ස්ථාවර වෙලා, උද්ධමනය අඩු වෙලා බව. නමුත් ඇත්ත වශයෙන් රනිල් රාජපක්ෂලා මේ කෙටි කාලය තුළ, හිටියාටත් වඩා ඉතා විශාල ණය අර්බුදයකට අපව වට්ටවා තිබෙනවා.

npppress-vijitha

රටේ ජනතාවගේ ණය බර, බදු බර වැඩිකොට, භාණ්ඩ හා සේවා මිල වැඩිකොට, ජනතාව දවසින් දවස පීඩාවට පත්කරමින්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය තවත් කෝටි 875කින් වැඩිකරන්න පරිපූරක ඇස්තමේන්තු ගේනවා. 2023 ඉදිරිපත් කළ 2024 අයවැයෙන් කෝටි 600ක ප්‍රමාණයක් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට වෙන්කොට තිබුණා. ඒකට අමතර වශයෙන් මේ පරිපූරක ඇස්තමේන්තුව ලබන 18 වැනිදාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට න්‍යාය පත්‍රයට යොමු කොට තිබෙනවා. රාජ්‍ය ඇමතිවරයෙක් කියා තිබුණා ජනාධිපතිවරයා විදෙස් සංචාර සඳහා මුදල් වෙන්කර ගන්නා බව. ගෙවණු මාස 24ක කාලය තුළ ජනාධිපතිවරයා 25වතාවක් විදේශවල සංචාරය කළා. මේ නාස්තිකාර වියදම් තව තවත් රට අර්බුදයට යවනවා. රටේ විශාල අර්බුදයක් තිබියදී ඉන්න ජනාධිපතිවරයා විශාල මුදලක් වෙන්කර ගන්නවා. ඒ වගේම හිටප ජනාධිපතිවරු නඩත්තු කරන්න කෝටි ගණන් මුදල් වෙන්කරනවා.

හිටපු ජනාධිපතිවරුන්ගේ පඩිනඩි, දීමනා මොනවාද, විමසීමේදී දුන් පිළිතුරෙහි, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ විශ්‍රාම වැටුප රුපියල් 97,500යි. ලේකම් දීමනාව රුපියල් 100,000යි. මාසික ඉන්ධන දීමනාව, රුපියල් 500,000යි. මේ ආරක්ෂාව, නිවාස, අනෙකුත් වරප්‍රසාද නැතිව. මහින්ද රාජපක්ෂ මහතාට විශ්‍රාම වැටුප රුපියල් 97500/-යි. ලේකම් දීමනාව රුපියල් 50,000යි. මාසික ඉන්ධන දීමනාව රුපියල් 704,100යි. මෛත්‍රීපාල සිරිසේන මහතාට, විශ්‍රාම වැටුප 97,500යි. ලේකම් දීමනාව රුපියල් 100,000යි. මාසික ඉන්ධන දීමනාව රුපියල් 704,100යි. මහජනතාව විසින් පන්නා දැමූ ගෝඨාභය රාජපක්ෂ අවුරුදු පහක ධුර කාලයක හිටියේ නැහැ. ඔහු සිටියේ අවුරුදු දෙකයි, මාස හතරයි, දවස් 23යි. සේවය අතහැර ගියා. සේවය අතහැර ගිය ජනාධිපතිවරයාව නඩත්තු කරන්න, ආරක්ෂාව ලබාදී, රටේ ජනතාවගේ බදු මුදල් නාස්ති කරනවා. ගෝඨාභය රාජපක්ෂගේ විශ්‍රාම වැටුප රුපියල් 97,500යි. ලේකම් දීමනාව රුපියල් 100,000යි. පන්නා දැමූ ගෝඨාභය රාජපක්ෂට ජනතා මුදලින් මාසික ඉන්ධන දීමනාව ලෙස රුපියල් 704,100යි. මේ පාලකයන් මහජනයාගේ ධනය නාස්ති කරන්නේ මේ ආකාරයෙන්.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථනිරූපණයක් දුන්නා අවුරුදු පහට වඩා එක දිනක් හෝ ධුරයේ ඉන්න බැහැයි කියා. අවුරුදු හයට පත්වූ කෙනාටත් ඊට වඩා ඉන්න බැහැ කියා තීන්දුවක් දී තිබෙනවා. එසේ තිබියෙදී රනිල් වික්‍රමසිංහට කොහොත්ම ඉන්න බැහැ. 30:2 වගන්තිය අනුව ඉන්න පුළුවන් කාලය අවුරුදු පහයි. ඒ කාලය සීමා වෙන්නේ මේ වසරේ නොවැම්බර් 17 දිනට. ඉන් ඉදිරියට එක් දිනක් හෝ ඉන්න බැහැ. අපි රටේ ජනතාවට කියනවා මේ ව්‍යාකූල තත්වයට අහුවෙන්න එපා. ඔවුන් ව්‍යාකූලත්වයක් මතුකර රිංගන්න උත්සාහයක් දරනවා. අපි පැහැදිලිව කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතිය අනුව අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන්න සිදුවෙනවා. මේ ජනතා ද්‍රෝහී පාලනය පැරදවිය හැකි එකම සංධිස්ථානය ජනාධිපතිවරණයයි. ඒ සඳහා සූදානම් වෙන්න කියා අපි මේ රටේ ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

npppress-vijitha

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්නය: ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වැඩි කර ගැනීම දැනට තිබෙන මුදල්වලට අමතරවද? නැතිනම් ඒකට එකතු කර ගන්නා මුදලක්ද?

පිළිතුර: කලින් වෙන්කර ගත්තා කෝටි 600කට ආසන්න ප්‍රමාණයක්. ඊට අමතරව තමයි මේ කොටි 875ක මුදලක් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට එකතු කරන්න යන්නේ. ඒ කියන්නේ අමතර එකතු කිරීමක්. පරිපූරක ඇස්තමේන්තුවකින් වියදමක් විදිහට අලුතින් එකතු වෙනවා.

ප්‍රශ්නය: නායකයින්ගේ විවාදය පිළිබඳ දැන් තත්වය මොකක්ද?

පිළිතුර: අපිට නිල වශයෙන් ආරාධනාවක් කළා. අපි ඒ ආරාධනාව බාරගෙන විවාදයට සම්බන්ධ වුණා. ඒකට එන එක සජිත් ප්‍රේමදාසගේ වගකීම. සමගි ජන බලවේගය ස්වාධීන රූපවාහිනිය ප්‍රතික්ෂේප කර නැහැනේ. දවස් කිහිපයකට පෙර තිබූ විවාදවලදිත් හර්ෂණ රාජකරුණා තුලාව වැඩසටහනට සම්බන්ධ වෙනවා. අදටත් ඒ පක්ෂයේ මන්ත්‍රීවරු මේ රූපවාහිනි ආයතනයට සම්බන්ධ වෙනවා. දැන් ඔවුන් රූපවාහිනී ආයතනයට ගහන්න පටන්ගෙන තිබෙනවා. මේක විහිළුවක්. ජනතාව මේ ගැන දන්නවා. අපට කා සමගවත් පෞද්ගලික ඩීල් නැහැ. ජනතාව ඉදිරියේ විවෘතව සියලු දේවල් සිදුකරන්නේ.
ආර්ථිකය ගැන කතා කරන්න වෙනම කෙනෙක් ඕන බව කීවා. සජිත් ආර්ථිකය ගැන දන්නේ නැහැ කියන එක තමයි එහි අදහස. ඒ නිසා තමයි ආර්ථිකය ගැන ඔයා වෙනම කට්ටියක් එක්ක කතා කරන්න, මා එක්ක වෙන ඒව කතා කරන්න කීවේ. එහෙම වෙන්න බැහැ.

දැන් දිස්ත්‍රික් කමිටුවලට මුදල් වෙන්කරනවා. ඒ කමිටුවලට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු ඉදිරිපත් කරන යෝජනා අනුව තමයි ප්‍රතිපාදන වෙන්කරන්නේ. මීට කලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදනයක් වෙන්කෙරුණා. වෙන වෙනම මුදල් වෙන්කිරීමක් සිදුවුණේ නැහැ. අයවැය කතාවෙත් ඉතා පැහැදිලිව තිබෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරු කාටවත් දිස්ත්‍රික් වැඩ සඳහා මන්ත්‍රී ප්‍රතිපාදන පසුගිය කාලයේ වෙන් කළේ නැහැ. හැබැයි ස.ජ.බෙ. මන්ත්‍රීවරු දහනමදෙනෙකුට වෙනම රනිල් මුදල් වෙන්කරනවා. කාවින්ද ජයවර්ධන, අජිත් මාන්නප්පෙරුම, දිලිප් වෙදආරච්චි, ගයන්ත කරුණාතිලක, හර්ෂ ද සිල්වා, හෙක්ටර් අප්පුහාමි එයින් කිහිපදෙනෙක්. රුපියල් මිලියන 1206ක් ස.ජ.බෙ. මන්ත්‍රීවරු දහනමදෙනෙකුට වෙන්කරනවා. මේක තමයි ඩීල් එක. මන්ත්‍රීවරුන්ට පුද්ගලිකව අයවැයේ මුදල් වෙන් නොකරන බවට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා. සල්ලි දෙන්නේ දිස්ත්‍රික් කමිටුවට පමණයි කීවා. එසේ තිබියදී හොර පාරෙන් ඩීල් දාලා මුදල් වෙන්කරනවා. ස.ජ.බෙ. මන්ත්‍රීවරුම මේ ගැන පරස්පර කතා කියන්න පටන් ගත්තා. මේ ඩීල් එක තිබෙන්නේ ස.ජ.බෙ. සහ රනිල් කණ්ඩායම් අතර. මේ දෙගොල්ලක් නොවෙයි. මේ පක්ෂ දෙකේ ප්‍රතිපත්ති අතර වෙනස මොකක්ද? එකම ප්‍රතිපත්තිය නියෝජනය කරන කණ්ඩායමක්, දෙකට බෙදී ඉන්නවා. අපි ජනතාවට කියනවා මේවට අහුවෙන්න එපා. ඒගොල්ලෝ ඩීල් දාන ගමන් තමන්ට විවාද කරන්න බැරිකමට, විවාදෙට එන්න බැරි බංකොලොත්කම වහගන්න හදනවා. ඔවැනි ප්‍රකාශ කරන්න කරන්න විහිළුකාරයෙක් බවට පත්වෙන්නේ සජිත් ප්‍රේමදාසම තමයි. එයාගේ ගෝලයෝ මේක මඩේ දමා හෝදන්න හෝදන්න තවදුරටත් හෑල්ලු වෙන්නේ ඒගොල්ලන්ගේ නායකයාම තමයි.

ප්‍රශ්නය: යාපනයේ සංචාරයේදී දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා?

පිළිතුර: ජාතික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදීම අරමුණුකරගෙන එවැනි මතයන් දරන විවිධ කණ්ඩායම්, සමග සාකච්ඡා කර, ඒ පිළිබඳ වාද විවාද කර, ජාතික ප්‍රශ්නය විතරක් නොවෙයි, අනෙකුත් ප්‍රශ්නවලටත් සම්මුතියකට ඒමට අපි උත්සාහ කරනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යල්පැන ගොස් තිබෙන්නේ. ලෝකය අලුත් වෙලා. රටත් අලුත් වෙලා. අපි රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා. දැනටත් අපි වැඩකටයුතු කරමින් යනවා. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාවට ඉදිරිපත් කරනවා. ජනතාවගේ ජන මතයකින් අනුමත කර ගන්නවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා වුණු සියලු දෙනාගේ එකඟත්වයෙන් ඇතිවෙන ස්ථිර විසඳුමකුත් අපි ඉදිරිපත් කරනවා. ඒක තමයි අපේ ස්ථාවරය.

ප්‍රශ්නය: ඒ කියන්නේ 13ට එහා ගියපු එකක්ද?

පිළිතුර: විවිධ පාර්ශ්වයන්ගේ සාකච්ඡාවේ සම්මුතියෙන් ඇතිවෙන විසඳුමක් තමයි එන්නේ. ඒ පිළිබඳ සාකච්ඡා තවම පටන්ගෙන නැහැ.

ප්‍රශ්නය: ඊයේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා අහනවා, ඔබතුමන්ලාගේ ආණ්ඩුවක් යටතේ කොහොමද ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්නේ කියලා.

පිළිතුර: පළමුවෙන්ම ක්‍රිකට්වලට තිබෙන දේශපාලන ඇඟිලි ගැසීම් නවත්වනවා. ක්‍රිකට් විතරක් නොවෙයි, අපේ ලංකාවේ සෑම ක්‍රීඩාවක්ම දේශපාලන ඇඟිලි ගැසීම් නිසා කුණු කරලා, නැති කරලා තියෙනවා. ඒක ක්‍රිකට්වලට විශේෂයෙන් බලපානවා. ඔබ දකින්න ඇති පසුගිය ඉතිහාසය පුරාවටම දේශපාලන ඇඟිලි ගැසීම්වල බරපතළකම. මේක වෙනස් කිරීම සඳහා ක්‍රිකට් සඳහා පනතක් හදන්න කමිටුවක් පත් කළා. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චිත්‍රසිරි මහතාගේ මූලිකත්වයෙන්. ඒ වාර්තාව ඉදිරිපත් කර, වසරකටත් වැඩි කලක් වෙනවා. හරින් ප්‍රනාන්දුලා තවම ඒක ක්‍රියාවට නැගුවේ නැහැ. අපි හරීන්ලට බලකරනවා, ඒ කමිටුවෙන් ඉදිරිපත් කරන ලද වාර්තාව මත පදනම් වෙලා ක්‍රිකට් බෝඩ් එක පත්කිරීම පිළිබඳවත්, ක්‍රිකට්වලට දේශපාලනය ඉවත් කිරීම සඳහා වුණු පනත් කෙටුම්පත ඉක්මනින් ගේන්න. අපේ පාලනයක් යටතේ රටක ආර්ථිකය සංවර්ධනය සඳහා ක්‍රීඩාව අත්‍යවශ්‍යයි. ජනතාවගේ කායික, මානසික, සෞඛ්‍යය වර්ධනය මත තමයි නිෂ්පාදනය ඉහළ දැමිය හැකි වන්නේ. අපේ ක්‍රීඩා ප්‍රතිපත්තිය තුළ දේශපාලනයෙන් තොරව ස්වාධීනව පවත්වාගෙන යන්න වටපිටාව සකස් කරන නීති ගෙනත් පැහැදිලිව ක්‍රියාත්මක කර, ක්‍රිකට් දේශපාලනයෙන් මුදා ගන්නවා. ක්‍රීඩකයන්ට තමන්ගේ දක්ෂතාවය අනුව ඒ හැකියාවන් පෙන්වන්න පුළුවන්. රටට ජාතික අභිමානයක් ගෙනඒමට හැකි වෙනවා. අපි හරීන්ලට කියනවා දැනට ඉදිරිපත් කර තිබෙන චිත්‍රසිරි කමිටු වාර්තාව මත පදනම් වෙච්ච පනත ගෙනත් සම්මත කර ගන්න. ඇඟිලි ගැසීම් නතර කරන්න.

Show More

ජාතික ජන බලවේගයේ නායකයා සහ උතුරේ ආගමික නායකයින් අතර හමුවක්

(-Colombo, June 11, 2024-) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (11) පෙරවරුවේ යාපනයේ සිදු කරන ලද සංචාරයේදී යාපනය ශාන්ත මරියා ආසන දෙව්මැදුරු ශාලාවේදී යාපනය කතෝලික රදගුරු පදවි අනුනායක ගරු පී. ජේ. ජෙබරත්නම් පියතුමාද, ඉලවාලෙයි කතෝලික මීසම භාර ගරු ජෙයකුමාර් පියතුමාද ඇතුළු කතෝලික පියතුමන්ලා සහ පැවිදි සොයුරියන් පිරිසක් හමුවී සාකච්ඡා කළේය. මේ අවස්ථාවට […]

(-Colombo, June 11, 2024-)

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (11) පෙරවරුවේ යාපනයේ සිදු කරන ලද සංචාරයේදී යාපනය ශාන්ත මරියා ආසන දෙව්මැදුරු ශාලාවේදී යාපනය කතෝලික රදගුරු පදවි අනුනායක ගරු පී. ජේ. ජෙබරත්නම් පියතුමාද, ඉලවාලෙයි කතෝලික මීසම භාර ගරු ජෙයකුමාර් පියතුමාද ඇතුළු කතෝලික පියතුමන්ලා සහ පැවිදි සොයුරියන් පිරිසක් හමුවී සාකච්ඡා කළේය.

මේ අවස්ථාවට ජාතික ජන බලවේගය වෙනුවෙන් විධායක සභික රාමලිංගම් චන්ද්‍රසේකර්, විධායක සභික බිමල් රත්නායක, කැලණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය විජිත් රොහාන් හා අජිත් හැඩ්ලි පෙරේරාද, ගරු සරත් පීරිස් පියතුමා, සුසිල් හෙට්ටිආරච්චි සොහොයුරාද එක්ව සිටියහ.

මෙහිදී රටෙහි වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳවත් ජනතාව මුහුණ පා සිටින ගැටලු පිළිබඳවත් අදහස් හුවමාරු කර ගැනිණි. ගරු පියතුමන්ලා හා පැවිදි සොයුරියන් නැගූ විවිධ ප්‍රශ්නවලට අනුර දිසානායක සහෝදරයා ඒ පිළිබඳ ජාතික ජන බලවේගයේ ස්ථාවරය පිළිබඳ පැහැදිළි කිරීමක්ද කළේය.

Show More

ජාතික ජන බලවේගයේ නායකයා සහ උතුරේ මහජන නියෝජිතයින් අතර හමුවක්

(-Colombo, June 11, 2024-) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (11) යාපනයේ සිදු කරන ලද සංචාරයේදී තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් හමුවී සාකච්ඡා කළේය. ‍ එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතාද හමුවූ අනුර කුමාර දිසානායක සහෝදරයා ඔහු සමගද […]

(-Colombo, June 11, 2024-)

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (11) යාපනයේ සිදු කරන ලද සංචාරයේදී තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් හමුවී සාකච්ඡා කළේය. ‍

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතාද හමුවූ අනුර කුමාර දිසානායක සහෝදරයා ඔහු සමගද සාකච්ඡා කළේය.

මෙම සාකච්ඡා සඳහා ජාතික ජන බලවේගය ජාතික විධායක සභික රාමලිංගම් චන්ද්‍රෙස්කර් සහ ජාතික විධායක සභික බිමල් රත්නායක ඇතුළු සහෝදරවරු පිරිසක් එක්ව සිටියහ.

රටෙහි වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳවත් ජනතාව මුහුණ පා සිටින ගැටලු පිළිබඳවත් ජාතික සමගිය ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබඳවත් ඔවුන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කරන ලදී.

Show More