Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“පාලකයින් අනාගත පරම්පරාව විනාශ කරද්දී ගැහැනුන්ට තවත් ඉවසිය නොහැකියි” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත-

-Colombo, February 10, 2024- (මාලිමාවේ මහනුවර දිස්ත්‍රික් කාන්තා සමුළුව) මේ “ගැහැනු අපි එක මිටට” එකතු වෙන ජාතික ව්‍යාපාරය මීට පෙර යම් යම් අවධිවල වෙනත් හැඩවලින්, වෙනත් නම්වලින් ආවා. සමාජය වෙනස් කරන්නත් ඒ සඳහා කාන්තාවන් සංවිධානය කරන්නත් ආරම්භයක් අරගෙන තිබුණා. ඒ ආරම්භ කළ යෝධ ගැහැනිය, ඒ ධෛර්යය, ශක්තිමත් කැපවීම, එකතු කළ, අද මේ ව්‍යාපාරයේ පදනම තමයි […]

-Colombo, February 10, 2024-

(මාලිමාවේ මහනුවර දිස්ත්‍රික් කාන්තා සමුළුව)

මේ “ගැහැනු අපි එක මිටට” එකතු වෙන ජාතික ව්‍යාපාරය මීට පෙර යම් යම් අවධිවල වෙනත් හැඩවලින්, වෙනත් නම්වලින් ආවා. සමාජය වෙනස් කරන්නත් ඒ සඳහා කාන්තාවන් සංවිධානය කරන්නත් ආරම්භයක් අරගෙන තිබුණා. ඒ ආරම්භ කළ යෝධ ගැහැනිය, ඒ ධෛර්යය, ශක්තිමත් කැපවීම, එකතු කළ, අද මේ ව්‍යාපාරයේ පදනම තමයි සමන්මලී ගුණසිංහ සහෝදරිය. ශිෂ්‍ය අවධියේ ඉඳලා දශක තුනක පමණ කාලයක් පූර්ණකාලීනව කාන්තාවන්ට ශක්තිය දෙමින්, අඛණ්ඩව, සියලු ප්‍රතිගාමී බලවේගවලට අභියෝග කරමින්, මේ ව්‍යාපාරය මෙතෙක් දුරට ගෙන ඒමට අතිශය, දැවැන්තම කැපකිරීම කළ ගැහැනිය ඇයයි. දෙවන අදියරේදී යෝධ පියවර තබන්න මැදිහත් වුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී, හරිනි අමරසූරිය සහෝදරිය. ඇය සමග ව්‍රායි සහෝදරිය, කෞෂල්‍යා ආරියරත්න, මහාචාර්ය සීතා බණ්ඩාර සහෝදරිය මේ වේදිකාවේ සිටිනවා. ගෙවිලියන්, ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, විවිධ රාජ්‍ය සේවයේ නියැලුණු, වතු ක්ෂේත්‍රයේ නියැලුණු, පෞද්ගලික සේවයේ අය, විශ්‍රාමික හමුදා සේවයේ නියැලුණු, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සියලුම සමාජ විවිධ ස්ථරවල පීඩිත හා ප්‍රගතිශීලී ගැහැනු මේ සමුළුව නියෝජනය කරනවා.

ලක්ෂාන්ත අතුකෝරල කවියා විසින් ලියූ කවියක් තිබෙනවා, “වැඩ ඇරී වැඩට යති, ගැහැනු” කියලා. මෙතන සිටින බොහොමයක් ගැහැනු වැඩ ඇරී වැඩට යන අය. ඒ කියන්නේ දවසේම වැඩවල යෙදෙන අය. වී.අයි. ලෙනින් සහෝදරයා කාන්තාවන් සම්බන්ධව ලියන ලද ‘කාන්තා විමුක්තිය’ පොතේ තිබෙනවා, ‘කාන්තාවට විමුක්තිය ලැබෙන්න නම්’ වැඩ ඇරී වැඩට යන ගැහැනු කියන කතාව ඉවර කරන්න ඕනෑ කියලා. අවුරුදු 76ක් අපි භුක්ති විඳපු දේ තමයි ‘වැඩ ඇරී වැඩට යන ගැහැනු’ ලෙස නිර්මාණය වෙන්නේ. අපි ජාතික ජන බලවේගයේ අපි හැමෝම එකතු වෙලා නිර්මාණය කර ගනිමු “වැඩ ඇරී ගෙදර යන ගැහැනු”. අපි එහෙම නිර්මාණය කර ගනිමු. ලෙනින් සහෝදරයා කාන්තා විමුක්තිය පොතේ කියනවා, ගෙදර ෆැක්ටරි තුනක් තිබෙනවා. රෙදි ෆැක්ටරිය, ආහාර ෆැක්ටරිය, දරුවන් රැක බලා ගැනීම. මේ ෆැක්ටරි ගෙදරින් එළියට ගන්න ඕනෑ. එතකොට ආදරය, සෙනෙහස, බැඳීම් තිබෙන නිවසක් ඉතිරි වෙනවා.

රුවන් බන්දුජීව කවියාගේ “මීළඟ මීවිත” පොතේ ‘කුණ්ඩලකේශි’ කවි පෙළේ බිරිඳක් සැමියෙකුගේ සියලුම ක්‍රියාවන් ඉවසමින්, ආදරයෙන් සැලකීමත් ඔහු තම දියණිය විනාශ කළ මොහොතේ ඇය මිනීමරු ගැහැනියක් වෙන ආකාරයත්. අද, අපේ පාලකයෝ රටේ දරුවොත් විනාශ කරලා තිබෙන්නේ. මේ යූ.එන්.පී., ශ්‍රී ලංකා මේ විවිධ පක්ෂවල නායකයන්ට අපි ආදරය කළා. අපේ දරුවො ටික ටික විනාශ කළා, සොරකම් කළා, ගස් ටික, වැලි ටික විනාශ කළා. ඒත් අපි ඉවසුවා. අපේ දරු පරම්පරාව විනාශ කර තිබෙන්නේ. අපේ අනාගත දරුවන්ටත් අත තබලා තියෙන්නේ. දැන් රටේ ගැහැනු තවදුරටත් ඉවසනවාද? තවදුරටත් මේ පාලකයන්ට ඉඩ දෙනවාද? මේ සමුළුවේදී තීරණයක් අරගෙන යන්න. “ගැහැනු අපි එක මිටට” නැගිටිනවා හැර, මේ පාලකයන් විනාශ කරන්න වෙන උත්තරයක් අපට නැහැ. මහනුවර දිස්ත්‍රික්කයේ මෙතනට රැස්වූ සියලු ප්‍රගතිශීලී, පීඩිත සහෝදරියන්ට ශක්තිය ධෛර්යය ලැබේවා!

“සාධාරණය සිතිය හැකි, ආදරය තිබෙන සියලු දෙනාම එකතු කර ගත යුතුයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-

මේ වීරවරියන් බිහිවෙන යුගයක්. මේක තමයි රටට අවශ්‍ය වෙන වෙනස. 2020 අපි මහනුවර ගැහැනු කිහිප දෙනෙක් එකතුවෙන් සාකච්ඡාවක් ආරම්භ කළා. දීර්ඝ කාලීන වැඩපිළවෙලක ප්‍රතිඵල තමයි මේ. ඉතිහාසය පුරාවට විවිධ දේශපාලන පක්ෂ බලයට ඒම සඳහා ගැහැනුන් පාවිච්චි කර තිබෙනවා. ඒ බල ව්‍යාපෘති තුළ ගැහැනුන්ට කිසිම වටිනාකමක්, නියෝජනයක් ලැබුණේ නැහැ. 1931 ඡන්ද අයිතිය ලැබුණා. අපට පාර්ලිමේන්තුව තුළ 1948 සිට 5% ඉක්මවා ගිය කාන්තා නියෝජනයක් තිබුණේ නැහැ. ජාතික ජන බලවේගයේ අරමුණ වන්නේ, අපව පාවිච්චි කරන යුගය අවසන් කර, අපට වටිනාකමක්, දේශපාලන ජීවිතයක් ඒ සඳහා අවස්ථාවක් උදාකර ගැනීමයි.

ඉතිහාසයේ ප්‍රභූ පංතිය විසින් ආරක්ෂා කළ සමාජ ක්‍රමය තුළින් අපට ලැබුණේ දෙවැනි පුරවැසියන්ගේ තත්වයක්. අපේ හඬක් නඟන්න, සංවිධානය වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අධිරාජ්‍යවාදීන්ගේ හා ප්‍රභූ පංතියේ බලපෑම නිසා අපි ඉතා පටු තැනකට කොටු වුණා. එක්දහස් නවසිය පනස් ගණන්වල, හැට ගණන්වල පැවති වෘත්තිය අරගලවලදී කාන්තාවන් ඉදිරියෙන් හිටියා. බදුල්ල, මොනරාගල ඉඩම් කොල්ලය සිදුවෙන විට එළියට බැස්සේ ගැහැනු. අපේ රටේ ගැහැනු සමාජ සාධාරණය හා යුක්තිය වෙනුවෙන් පෙනී ඉඳලා තිබෙනවා. ඒ ගැහැනුන්ගේ ධෛර්යය මත බලයට ආපු සෑම කණ්ඩායමක්ම අවසානයේ ගැහැනුන්ව අමතක කරදැම්මා.

මේ තවදුරටත් අපේ හඬ නොසලකා යා හැකි ගමනක් නොවෙයි. ඔබ අරගල කර ලබාගෙන තිබෙන මේ අවස්ථාව සුවිශේෂිත්වයත් ඓතිහාසික වටිනාකමත් අවබෝධ කර ගන්න. මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. තවදුරටත් ඔබ මත පැටවී තිබෙන පීඩනය ඉවසා ගැනීමේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. අපේ දරුවන්ගේ අනාගතය මේ ආකාරයෙන් විනාශ කරන මේ පාලකයන්ට තවදුරටත් ඉඩ දෙන්න බැහැ කියන තීරණය අපි අරගෙන තිබෙනවා. කුණ්ඩලකේශී මන්නයක් අරගත්තාට, අපි මන්නයක් අරගන්නේ නැහැ. අපි කාටවත් කොටන්න යන්නේ නැහැ. ගැහැනු අපට තිබෙනවා ඊටත් වඩා ශක්තිමත්. අපට අසීමිත ලෙස ආදරය කරන්න පුළුවන්. අපට අවශ්‍ය වෙන්නේ ඒ ආදරය හරහා අපට වෙනස් කරන්න පුළුවන් සමාජයක්. මේ සාමූහික ක්‍රියාවලිය තුළ අපි සෑම දරුවෙක් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඉපදෙන්න ඉන්න දරුවෙක් වෙනුවෙන් පෙනී ඉන්නවා. එහෙම පෙනී සිටිය හැක්කේ අපි තුළ ඇති අසීමිත ආදරය නිසා. ඒ ආදරය හරහා අපට ලැබෙන සංවිධාන ශක්තිය, දේශපාලන දැනුම හරහා ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකියි. අපට මේ පාලකයෝ ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපි මේ පෙනී සිටින්නේ, ගැහැනුන් හැටියට අපට ආරක්ෂිතව ජීවත් වෙන්න, දරුවන්ට බලාපොරොත්තුවක් ඇති කරන්න. මේක වෙනස්ම විදිහේ විප්ලවයක්. ලංකා ඉතිහාසයේ මෙතෙක් කල් නොදුටු විප්ලවයක්. කැරැල්ලක්. මොකක්ද මේ කැරැල්ල. කවදාවත් දැනුන්නේ නැති, තමන්ගේ වටිනාකමක් දැනුන්නේ නැති, කවදාවත් තමන්ගේ අගයක් තේරුම් නොගත් ගැහැනුන් තමයි අද එළියට බහින්නේ. ඔබට ලැබී තිබෙන්නේ ඔබට ලැබිය යුතු තැන. මෙතෙක් සමාජය අහිමි කළ තැන ඔබේ ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් ලබාගෙන තිබෙනවා. මේක කිසිසේත් ආපසු හැරවිය නොහැකියි.

මේ මැතිවරණ අවුරුද්දක්. අපට ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවශ්‍යයි. ඔබ ගෙයින් ගෙට යන්න. මෙතනට පැමිණීමට නොහැකි වූ දහස් ගණන් ගැහැනුන් ළඟට යන්න. සාධාරණය සිතිය හැකි, වෙනත් අය ගැන සහකම්පනය තිබෙන, ආදරය තිබෙන සියලු දෙනාම එකතු කර ගන්න ඕනෙ. එකිනෙකා හමුවෙන්න. ඔවුන්ගේ කතාව අහන්න. අනෙකෙකුගේ කතාවට වටිනාකමක් දෙන තැනැත්තෙකු බවට පත්වෙන්න. ඒ තුළ තමයි අපට මේ ව්‍යාපාරය ගොඩනඟාගත හැකිවන්නේ. මේ රට ගොඩනැගීමේදී අපට දැනුම අවශ්‍යයි. අධ්‍යාපනය අවශ්‍යයි. අපි හදන සමාජය මොන වගේ වෙන්න ඕනෙද කියන තීරණය අපි ගන්න ඕනෑ. මේ සමාජය වෙනස් කරන පරපුර බවටත්, එය රන් අකුරෙන් ලියැවෙන ඓතිහාසික පරපුර බවටත් ඔබ පත්වෙනවා.

“රට නව පුනරුද යුගයකට අවතීර්ණ කළ යුතුයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න-

මාතරින් ඇරඹුණු ගැහැනු සමුළුවෙන් අපේ විරුද්ධවාදීන් සලිත වෙන්න පටන් ගත්තා. කාන්තාවන්ට ජවයක් එන්න පටන් ගත්තා. පණිවිඩයක් රටට දුන්නා, රටේ අනාගතය බාර පොදු ජන යුගයකටයි. ජාතික ජන බලවේගයටයි. කාන්තාවන්ට මේ සමාජයේ නිසි තැන, වටිනාකම දුන්නේ නැහැ. දේශපාලන අයිතිය පිරිමියා අතේ තබා ගත්තා. ජාතික ජන බලවේගයේ රජයක් යටතේ කාන්තාවන් හා පිරිමින් හරි හරියට එකතු වී මේ රට අනිවාර්යයෙන් ගොඩනගනවා. දේශපාලනයේ කාන්තාවන්ට තැනක් නැතත් සාහිත්‍යයේ තැනක් තිබුණා.

පෙරදිග ලෝකයේ බැබලුණු මුතු ඇටය
මුළු රට කොල්ල කෑ හොරු රැළකට යටය
බෝගම්බරදි ගැහැනුන් අද එක මිටය
හොරු පරදන බවට අද නම් එය අත උඩය

අද පාලකයන්ට පෙන්වා තිබෙනවා, උඹලා මෙතෙක් කලක් දීපු දස වද තුරන් කර දාන්න ජාතික ජන බලවේගය වටා ඉන්න සකලවිධ බලවේග සූදානම් බව කියන පණිවිඩය දී තිබෙනවා. මීට දවස් හයකට කලින් නිදහස් දිනේදි, රනිල් වික්‍රමසිංහ ජාතික කොඩිය ඉස්සුවා. මේ කොඩිය උස්සන්න ලෝකයෙන් ණය, ආධාර හැටියට ගෙනාව සල්ලි, වැට් ගහලා, බදු ගහලා ගත්ත සල්ලි කෝටි 30කට ආසන්න මුදලක් වැය කළා. රට මේ තත්වයට පත්වී ඇති මොහොතක මෙවැනි උත්සවයක් කරන්න ඕනෙද?
මීට වසර 34ක පෙර බූස්ස කඳවුරේ සිටි කෙනෙක් පොතක් ලිව්වා, “ඒත් අපි පියාඹමු” කියලා. ඒ පොතේ අද වෙන දේ දැකලා මේ විදිහේ කවියක් ලිව්වා.

සිංහයා වුණත් නුඹ තිරිසන් සතෙකි කැලේ
කඩුවක් අරන් කොඩියක් මැද මොකද බොලේ
ගුවනේ ලෙලෙන අසිපතකින් කිමද පලේ
බැහැපන් බිමට සිඳපන් ගෙල ද්‍රෝහි රැලේ

මේ රටේ අභිමානවත් බව සිංහයාගෙන් පිළිබිඹු වෙනවා. කඩුවෙන් එඩිතරභාවය. අපිට තිබෙන කඩුව තමයි හිත, ධෛර්යය, වචන. ඒ සියල්ල මේ දුෂ්ට පාලකයෝ පන්නලා දමන්න පාවිච්චි කරන්න කියලා තමයි ඒ කිවුවේ. තුන්වේල කන්න නැහැ. අධ්‍යාපන නිදහස, සෞඛ්‍ය නිදහස, අදහසක් ප්‍රකාශ කිරීමේ නිදහස නැති කරලා. අපට මේවා දිනාගන්න සිදුවෙලා. රටේ නායක රනිල් ලෝකෙන් හිඟාගෙන ඇවිත්, රාජාසන කතාවෙදි කියනවා උත්සව සමයට පමණක් හාල් කිලෝ 20ක් දෙනවා කියලා. මේ ඡන්දයක් ඉදිරියේ නායකයෙක් කරන රාජාසන කතාව. ඕව දෙන්නේ අපි බලවත් නිසා, අපි දුර්වල වුණා නම් හාල් කිලෝ 20ක් නැහැ; අස්වැසුමත් නැහැ. අවුරුදු 76ක් උන් අපිව රැවැට්ටුවා නම් අපිත් උන් රවට්ටමු.

රටට අවශ්‍යයි ජාතික ව්‍යාපාරයක්. නව පුනරුද යුගයක්. කාන්තාවන් අයිතිවාසිකම් දීලා, කෘෂිකර්මාන්තයට පණ දීලා, අධ්‍යාපනය නගා සිටුවලා, සෞඛ්‍යය නගා සිටුවලා මේ රට නව පුනරුද යුගයකට අවතීරණ කළ යුතුයි. සංවර්ධනය තෙවදෑරුම් වෙනවා. භෞතික සංවර්ධනය හා අධ්‍යාත්මික සංවර්ධනය නගා සිටුවන්න ඕනෑ. ජාතික සමගිය, ආදරය, මෛත්‍රිය, කරුණාව, මනුස්සකම තිබෙන්නේ එතන. තෘප්තිය, සාධාරණය තිබෙන්නේ එතන. ඒක ගොඩනගන්න විනය හදන්න ඕනෙ. ඒකට හොඳ මාධ්‍ය තමයි, කලාව, අධ්‍යාපනය, ජන මාධ්‍යය. මේ සියල්ල පාවිච්චි කරලා මහා පුනරුද යුගයකට සූදානම් වෙන්න ඕනෙ. අපට විශාල කාර්යභාරයක් තිබෙනවා. අපට ඉදිරියේ එන අනගි අවස්ථාව මගහැර ගන්න එපා. කාන්තාවන්ට හිංසනය ගේන තැනක් තමයි පාර්ලිමේන්තුව, අරලියගහ මන්දිරය. ජනාධිපති මන්දිරය. ජාතික ජන බලවේගය එක් අත්වැල් බැඳ ගන්න කියා අපි ඉල්ලා සිටිනවා.

Show More

“කලාපීය සහයෝගීතාවයේ වර්ධනය වෙනුවෙන් ඉන්දියාව සමඟ අවබෝධය ඉතා වැදගත්” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්-

-Colombo, February 11, 2024- ඉන්දියාවෙන් කළ ආරාධනයක් අනුව ජාතික ජන බලවේගයේ අප යෙදුණු සංචාරය පිළිබඳව ජනතාවට පැහැදිලි කරන්න මෙම මාධ්‍ය හමුව පවත්වනවා. ඉන්දියානු ආණ්ඩුව මේ ආරාධනය කළේ හදිසියේ නොවෙයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ නිල වශයෙන් මේ ආරාධනය කළත්, අපේ දේශපාලන කටයුතු අතර කාලසටහනක් හදා ගන්න යම් කාලයක් ගත වුණා. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් අප […]

-Colombo, February 11, 2024-

ඉන්දියාවෙන් කළ ආරාධනයක් අනුව ජාතික ජන බලවේගයේ අප යෙදුණු සංචාරය පිළිබඳව ජනතාවට පැහැදිලි කරන්න මෙම මාධ්‍ය හමුව පවත්වනවා. ඉන්දියානු ආණ්ඩුව මේ ආරාධනය කළේ හදිසියේ නොවෙයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ නිල වශයෙන් මේ ආරාධනය කළත්, අපේ දේශපාලන කටයුතු අතර කාලසටහනක් හදා ගන්න යම් කාලයක් ගත වුණා. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් අප ඉන්දියානු ආණ්ඩුවට පෙබරවාරි මාසයේ මුල ගමනට සූදානම් බව දැන්වූවා. අපට ලැබුණේ දින දහයක ආරාධනයක් වුවත්, අපේ පැත්තෙන් දින පහකට සීමා කිරීමට සිදුවී ඇති බව දැන්වූවා. ඒ නිසා මේ ගමන කිසිසේත්ම හදිසියේ යොදා ගත් එකක් නොවෙයි. ඉන්දියාව කියන්නේ මේ කලාපයේ අපේ ආසන්නතම රට. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කලාපීය සහයෝගීතාව ගොඩනඟා ගැනීමේදී මේ ගමන අපට ඉතාමත්ම වැදගත් වෙනවා. රටවල් දෙක අතර සබඳතා ගොඩනඟා ගැනීමත් අපට ඉතාමත්ම වැදගත්.

ජාතික ජන බලවේගය මේ රටේ ජනතාවත් සමඟ විශාල දේශපාලන ජයග්‍රහණ ලබා ගනිමින් සිටින අවස්ථාවක කලාපයේ අසල්වැසි ඉන්දියා රාජ්‍යයත් එක්ක කිට්ටු මිත්‍ර සම්බන්ධතා ගොඩනඟා ගැනීම රටේ ජනතාවගේ යහපත සඳහා වැදගත් වෙනවා. මේ ගමනේදී විශේෂ හමුවීම් කිහිපයක්ම සිදු වුණා. පළමුවෙන්ම අපේ පක්‍ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා සහ ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවේ විදේශ අමාත්‍ය ජයශංකර් මහත්මා අතර පස්වැනිදා උදේ හමුවීමක් පැවැත්වූවා. එදිනම සවස ඉන්දියානු ජාතික ආරක්‍ෂක උපදේශක, අජිත් දොවාල් මහතා සමඟ සාකච්ඡා පවත්වා රාත්‍රියේදී ඉන්දියානු විදේශ ලේකම් විනයි මෝහන් මහත්මා සමඟ නිල සාකච්ඡාවක් සහ සුහද සාකච්ඡාවක් පැවැත්වූවා. පළමු දිනයේදී විදේශ අමාත්‍යවරයා, විදේශ ලේකම්වරයා සහ ජාතික ආරක්‍ෂක උපදේශකවරයා හමුවුණා.

ඉන් අනතුරුව ගුජරාට් ප්‍රාන්ත සංචාරයේදී එහි මහ ඇමැති භූපෙන්ද්‍රභායි පටේල් මහතාත්, ඒ වාගේම එම ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍ය බල්රාජ් සිං රාජ්පුත් මහතාත් ප්‍රාන්ත විධාන සභාවේදී මුණගැසී දෙපාර්ශ්වය සාකච්ඡා කළා. පසුව කේරළ ප්‍රාන්තයේ කර්මාන්ත ඇමැති රාජීව් මහතා හමුවුණා. එහි ඉන්දියානු මාක්ස්වාදී කොමියුනිස්ට් පක්‍ෂය බලය හොබවනවා. ඉන්දියානු මාක්ස්වාදී කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම් සීතාරාම් යෙචුරි මහතාත් හමුවී සාකච්ඡා කළා. මේ සෑම මුණගැසීමකදීම දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගීතාව ඇති කර ගැනීම, කලාපීය ආරක්‍ෂාව තහවුරු කර ගැනීමේදී රටක් විදියට අප කටයුතු කරන්නේ කොහොමද? ඉන්දියාව පැත්තෙන් කටයුතු කරන්නේ කොහොමද සහ දෙරට අතර සහයෝගීතාවෙන් ආර්ථික, සංස්කෘතික සබඳතාවන් ශක්තිමත් කර ප්‍රවර්ධනය කිරීම ගැන අදහස් හුවමාරු වුණා. ඉන්දියානු ප්‍රාන්තවල සංවර්ධනය පිළිබඳව නිරීක්‍ෂණය කිරීමේදී කර්මාන්ත කිහිපයක සහ තොරතුරු තාක්‍ෂණ සේවා ආයතන කිහිපයක නිරීක්‍ෂණයට එක් වූවා. ඉන්දියානු ටාටා සමාගම, අමූල් ආයතනයේ කර්මාන්ත නිරීක්‍ෂණයට සහභාගී වූ අතර තාක්‍ෂණික උද්‍යාන පිළිබඳව නිරීක්‍ෂණය කළා. අයි.ටී. තාක්‍ෂණයෙන් ඉන්දියාව ලබා තිබෙන දියුණුව පිළිබඳව අදාළ ආයතනවල නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගත්තා.

මේ අතර, අපේ ඉන්දියානු සංචාරය පිළිබඳව රට තුළ විවිධ අය විවිධ අදහස් දක්වා තිබුණා. ඒ ගැන අපට සතුටුයි. ඕනෑම කෙනකුට ඔවුන් දකින ආකාරයෙන් අපේ ගමන පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමේ අයිතිය තිබෙනවා. නමුත්, දේශපාලන ව්‍යාපාරයක් හැටියට අප ලෝක භූ දේශපාලනය තේරුම් ගත් දේශපාලන ව්‍යාපාරයක් බව අවධාරණය කරනවා. එයට අනුව එක් එක් අය කියන කතා සලකන්නේ නැහැ. ජනතාවට වගකීමකින් යම් සේවයක් කිරීමේ අරමුණින් ඒ ඉන්දියානු සංචාරය යොදා ගත්තා.

සෝවියට් සමාජවාදී කඳවුර අසූව දශකයේ අගභාගයේ බිඳවැටීමෙන් පසුව ලෝක දේශපාලන තත්වය වෙනස් වුණා. එයට පෙර තිබූ ඇමරිකාව ප්‍රමුඛ කඳවුර සහ සෝවියට් දේශය ප්‍රමුඛ දේශපාලන කඳවුරේ ද්විදේශපාලන බලය බිඳවැටී යම් කාලයක් ඒකධ්‍රැවීය තත්වයක පැවතුණා. ඉතාමත් කෙටි කාලයකින් ඒ තත්වය වෙනස් වී අද බහුධ්‍රැවීය ලෝක දේශපාලන තත්වයක් ලෙස ඇමෙරිකාව, චීනය, යුරෝපා සංගමය, ලතින් ඇමෙරිකානු කලාපය ආදී විවිධ ආකාරයෙන් බහුධ්‍රැවීය කඳවුරක් නිර්මාණය වෙමින් තිබෙනවා. අසූව දශකයේදී ලංකාවට ඉන්දියාවේ සෘජු මැදිහත් වීමක් තිබුණා. ඉන්දියානු හමුදා පවා ලංකාව ආක්‍රමණය කරන්න පැමිණි බව අප කවුරුත් දන්න ඉතිහාසයයි. ඉන්දු-ලංකා ගිවිසුම මගින් ලංකාවට සිදු කළ බලපෑම ගැන අප දන්නවා. එවැනි මොහොතක ජීවිත පවා පරිත්‍යාග කර මේ රටත්, ස්වෛරීභාවයත් ආරක්‍ෂා කරගෙන තිබෙනවා. ඒ දේශපාලන තත්වය අද සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙන්නේ. චීනය, ඇමෙරිකාව, ඉන්දියාව ලෝක දේශපාලන බල අරගල තරගයේ යෙදී සිටින අතර, ආර්ථික වශයෙන් බංකොළොත් රටක් හැටියට දේශපාලන වශයෙන් කඩාවැටුණු තත්වයක රට ගොඩනැඟීමේ ඉලක්කය සහිතව අපි ක්‍රියා කළ යුතු වෙනවා.

අපේ රටේ ස්වෛරීත්වය රැකගෙන, භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කරමින්, අපි දේශපාලනය කරන්න ඕනෑ. ලෝක බල දේශපාලනයේ ගොදුරක් නොවී රට දිනවීමේ අපේ ස්ථාවරයේ ඉදිරියට යනවා. ඕනෑම රටක් එක්ක ආර්ථික, දේශපාලනික වශයෙන් ගනුදෙනු කරන්න අප පැකිළෙන්නේ නැහැ. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් එක්ක, රුසියාව, චීනය ඇතුළු කඳවුරත් එක්ක වාගේම ඉන්දියාව, ජපානය සහ යුරෝපය, ඕස්ට්‍රේලියාව, කැනඩාව වැනි ඕනෑම රටක් එක්ක අප රාජ්‍යතාන්ත්‍රික, දේශපාලන සම්බන්ධතා පවත්වනවා. අපේ පාලනයක් යටතේ විවෘතවම ලෝකයේ හැම රටකම රාජ්‍ය පාලනයට සාපේක්‍ෂව අපේ සබඳතා පවත්වනවා. ඒ සියල්ලම අප කරන්නේ රටේ සහ ජනතාවගේ උන්නතිය වෙනුවෙන්. ආර්ථිකයේ උන්නතිය වෙනුවෙන්. භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කර ගනිමින්, එයට කිසිදු ආකාරයකින් හානි වන තීරණයක් අප ඉතිහාසයේ අරගෙනත් නැහැ. අද ගන්නෙත් නැහැ. හෙට ගන්නෙත් නැහැ. ඒ සහතිකය අප මේ රටේ ජනතාවට දෙනවා.

කිසිදු පාර්ශ්වයකට ගැති නොවන හා නෙබැඳුණු ස්ථාවරයක සිට හැම රටක් එක්කම අප ආර්ථික, දේශපාලන සම්බන්ධතා පවත්වාගෙන යනවා. ඉන්දියාව සම්බන්ධයෙනුත් අනුගමනය කරන ඒ ප්‍රතිපත්තිය ගැන කවුරුවත් භය වෙන්න ඕනෑ නැහැ; බිල්ලෝ මවන්න ඕනෑ නැහැ. චීනය සමඟත් විශේෂයෙන්ම චීන කොමියුනිස්ට් පක්‍ෂය සමඟත් ජනතා විමුක්ති පෙරමුණ හැටියට පැහැදිලි, නිරවුල් සම්බන්ධතා පවත්වාගෙන යනවා. එක කඳවුරකට සීමා වී දේශපාලන සම්බන්ධතා පවත්වන දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි, අපි. ආර්ථිකයේ සහ ජාතික ආරක්‍ෂාවේ සහතික වීම පදනම් කරගෙන කටයුතු කරනවා. මේ වන විට බොහෝ රාජ්‍ය ආයතන විකුණන්න ආණ්ඩුව කටයුතු කළත්, ඉන්දියාවට අප අවධාරණය කළේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව කරන විකුණා දැමීම් අප අනුමත නොකරන බවයි. ඉන්දියාවේ අමූල් සමාගම සමඟ සාකච්ඡාවේදී ඔවුනුත් අපට පැහැදිලි කළේ ලංකාව සම්බන්ධයෙන් කිසිදු ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර නැති බවයි. තෝරා ගත් විදේශ සමාගම්වලට ආයතන විකිණීම සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ප්‍රසම්පාදනයකින් තොර, ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමන්ට කැමැති ආයතනයක් තෝරාගෙන කැබිනට් පත්‍රිකා දැමීමේ වැරැදි ප්‍රතිපත්තියට අපි එකඟ නොවන බව පැහැදිලිව ඔවුන්ට පෙන්වා දුන්නා.

ගුජරාට් ප්‍රාන්තය පුනර්ජනනීය විදුලියේ විශාල දියුණුවක් අත්පත් කරගෙන තිබෙනවා. ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුව, මධ්‍යම ආණ්ඩුව සහ පෞද්ගලික අංශය සම්බන්ධ වූ තුනෙන් එක බැගින් ආයෝජනය කළ ටෙන්ඩර් පටිපාටියක් මත ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. සුළං බලයෙන් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් ඩොලර් ශත තුනහමාරකට මිලදී ගන්නා බව ඔවුන් කීවා. ලංකාවේ ආණ්ඩුව ඉන්දියානු සමාගම් සමඟ සුළං බල විදුලි ඒකකයක් ඩොලර් ශත හතහමාරකට මිලදී ගන්න ගිවිසුම් අත්සන් කර තිබුණා. අපේ රටේ ඇමැතිවරු පෞද්ගලික ඩීල්වලට කටයුතු කරමින්, ඉහළ මිලක් නියම කර තිබෙනවා. මේ ක්‍රමවේදයට අප එකඟ නොවන බව පැහැදිලිව පෙන්වා දුන්නා. ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරන නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මගින් ඕනෑම රටකට විවෘත ආයෝජන සඳහා ජාත්‍යන්තර ඉඩප්‍රස්ථා සකසා දෙන බව පැහැදිලි කළා. ආයෝජකයාට සියයට පණහක ලාභයක් සහ රටක් හැටියට අපට සියයට පණහක ලාභයක් ලැබෙන පරිදි ක්‍රියා කරනවා. ඔවුන්ගේ ප්‍රාග්ධනය, තාක්‍ෂණය යොදවන අතර, අපේ භූමිය සහ සම්පත් යොදවනවා. අමූල් සමාගමත් එක්ක කළ සාකච්ඡාවේදී යම් උණුසුම්කාරී තත්වයක් ඇති වුණා. ඔවුන් පැහැදිලි කළේ ඔවුන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සමඟ ගනුදෙනු කරන බවයි. ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියාමාර්ගවල වැරැදි ඔවුන්ට භාරගත නොහැකි බව පැවසුවා.

අනුර සහෝදරයා මීට අවුරුදු පහළොවකට විතර කලිනුත් අමූල් සමාගමට ගියා. ගොවීන් දහස් ගණනක් එකතු වී ගොඩනඟා ගත් සමුපකාර ක්‍රමවේදය අධ්‍යයනය කරන්න අනුර සහෝදරයා එක් වුණා. ටාටා ආයතනයේ නැනෝ කාර් නිෂ්පාදනයත් අධ්‍යයනය කළා. අනෙකුත් සංචාරයේ යෙදුණු ප්‍රාන්තවල කෘෂිකර්මාන්තයේ දියුණුව පිළිබඳවත් අධ්‍යයනය කළා. නැනෝ පොහොර ලංකාවට ගෙනැවිත් තිබුණේ ඉන්දියාවේ සමුපකාර ක්‍රමයේ නිෂ්පාදන කර්මාන්තයකින්. ඇමැතිවරු සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ මේ පොහොර ගෙන්වීමේදී විශාල වංචාවක් කළ බව අප කවුරුත් දන්නවා. ඕනෑම රටක ඇමැතිවරු මුණගැසී සාකච්ඡා කිරීම, පෞද්ගලික අංශය සමඟ සාකච්ඡා කිරීම සිදු කළ පමණින් ඒ සියල්ල අප පිළිගන්නේ නැහැ. ඕනෑම රටක හොඳ දේවල් අපට ලබාගෙන බැහැර කළ යුතු දේවල් බැහැර කරනවා. ඒ වාගේම අපේ රටේ ජාතික ආරක්‍ෂාව ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක් නොවන ආකාරයෙන් පවත්වාගෙන යාම අපේ ස්ථාවරයයි. එය බොහොම විවෘතව කලාපීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් යොදා ගන්නා ආකාරය පැහැදිලි කර දුන්නා.

මේ ආකාරයෙන් අප කටයුතු කරන අතර, රෝහිත අබේගුණවර්ධන, කංචන විජේසේකර වාගේ ආණ්ඩුවේ මැති, ඇමැතිවරුන් විවිධ කතා කියා තිබෙනවා. ඔවුන් නිරුවත් වී අවසන්. ඔවුන් නිරුවතින් ඉන්නා අතරේ තව කෙනකු මොන ඇඳුම ඇන්දත් ඔවුන්ට ප්‍රශ්නයක්. එවැනි ඇමැතිවරුන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි. රටේ ජනතාව ඉදිරියේ තමන්ගේ හෙලුව වහගන්න අනෙක් අයගේ ඇඳුම් ගැන කතා කිරීමෙන් වැඩක් නැහැ. ඔවුන්ගේ පුංචි පුංචි අවටියල් කතාවලින් බරපතළ දේශපාලන සම්බන්ධතාවලට හානි වෙන්න ජනතාව ඉඩ නොතබන බවත් අප පැහැදිලිව කියනවා. දේශපාලන ව්‍යාපාරයක් හැටියට ලෝකයේ කුමන රටක් සමඟ සබඳතා පවත්වාගෙන ගියත්, රටේ ආරක්‍ෂාවත්, ආර්ථික වෘද්ධිය ගැනත් මුල්තැනෙහිලා කටයුතු කරන බව අපි අවධාරණය කරනවා. මේ රටේ ජනතාවටත් ඒ විශ්වාසය තිබෙනවා. අපි ජීවිත පරිත්‍යාගයෙන් මේ රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් කටයුතු කළ දේශපාලන ව්‍යාපාරයක්. ජනතාවගේ ඒ විශ්වාසය පළුදු කරලත් නැහැ. කිසිදු ආකාරයකින් පළුදු කරන්නේත් නැහැ. ඒ සහතිකය අපි ජනතාවට දෙනවා.

“විදෙස් සංචාර යොදා ගන්නේ නොබැඳි පිළිවෙත මත රට දියුණු කිරීමේ වැඩපිළිවෙළටයි”
-ජාතික ජන බලවේගයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ-

දේශපාලන, ආර්ථික, සංස්කෘතික විවිධ විෂයයන් සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ අපි සාකච්ඡා කළා. තාක්‍ෂණික දැනුම හුවමාරුව සඳහා අප කළ සාකච්ඡා පිළිබඳව මාගේ මූලික අවධානය යොමු කරනවා. ඉන්දියානු ආර්ථික සංවර්ධනයේදී පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ අන්‍යොන්‍ය අවබෝධයෙන් සහ සහයෝගීතාවෙන් මෙන්ම දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් වෙළෙඳාම ප්‍රවර්ධනය කරන උපදේශක ආයතනයේ නිලධාරීන් මුණගැසුණා. ‘යුනික් අයිඩෙන්ටිෆිකේෂන් ඔෆ් ඉන්ඩියා’ ආයතනය සමඟත් සාකච්ඡා කළා. රජයෙන් ලැබෙන සියලුම ආධාර පිළිබඳව නියාමය කිරීම සහ ඕනෑම අවස්ථාවක එක් අයකු දෙවරක් සඳහන් වන්නේ නම්, විමසීම් කළ හැකි ආකාරයට රටේ සියලුම ජනගහනය හඳුනා ගැනීමේ අංකයක් ලබා දී ඇත්තේ, මේ ආයතනයයි. නව ව්‍යාපාර ඇරැඹීම සම්බන්ධයෙන් කටයුතු කරන අයික්‍රියේට් ආයතනය කරගෙන යන ව්‍යවසායකත්ව, නවෝත්පාදන සහ නිර්මාණශීලීත්වය ජාතික ආර්ථිකයට බද්ධ කර ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ක්‍රියාමාර්ග පිළිබඳව නිරීක්‍ෂණය කළ හැකි වුණා. අපේ වැඩපිළිවෙළ තුළත් මේ සම්බන්ධ ක්‍රියාමාර්ග තිබෙන නිසා මෙම සාකච්ඡා ඉතාමත්ම වැදගත්. ගුජරාට් ප්‍රාන්තයේ ක්‍රියාත්මක කරන විකිරණ මඟින් ආහාර කල් තබා ගැනීමේ තාක්ෂණික ආයතනය සමඟ සාකච්ඡා කළා.

ගුජරාට් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් කියන ආයතනයටත් අප ගියා. මූල්‍ය සේවා ඇතුළු යටිතල පහසුකම ලබා දෙන කලාප සම්බන්ධයෙන් කටයුතු කරන මේ ආයතනය දියුණු ක්‍රම මඟින් ආයෝජන ප්‍රවර්ධනය කිරීම ගැන නිරීක්‍ෂණය කළා. ‘වික්‍රම් සරාබායි ස්පේස් සෙන්ටර්’ නමැති අභ්‍යවකාශ තරණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයේ කරගෙන යන විවිධ කටයුතු සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කළා. ජාතික ජන බලවේගයේ ඉදිරි වැඩපිළිවෙළ සකස් කරන්න සහ ක්‍රියාමාර්ග සකසන්න මේ සංචාරය බෙහෙවින් ම ඉවහල් වුණා. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ එරට මධ්‍යම ආණ්ඩුව අපට ලබා දුන් මේ අවස්ථාව ගැන අප ස්තුතිවන්ත වෙනවා. නොබැඳි ප්‍රතිපත්තිය මත ක්‍රියා කරමින්, ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ රට දියුණු කිරීමට මෙවැනි අවස්ථා ඉදිරියේදීත් යොදා ගැනීමට අපේක්‍ෂා කරනවා.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් – පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

මේ සංචාරයට ජාතික ජන බලවේගය ඉන්දියාවෙන් ඉල්ලීමක් කළාද?

අප එහෙම ඉල්ලීමක් කළේ නැහැ. ඉන්දියානු ආණ්ඩුවෙන් තමයි, අපට ආරාධනා කළේ. සියල්ල සැලැසුම් කළේත් ඉන්දියානු ආණ්ඩුව.
දැනට සිදු කරමින් පවතින ඉන්දියානු ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා කළාද?

ඒ ගැන සාකච්ඡා කළා. මම මුලින් පැහැදිලි කළ ආකාරයට අදානි සමාගම හෝ අනෙකුත් සමාගම් සම්බන්ධයෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හෝ ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුගමනය නොකර ගෙන යන ක්‍රියාවලියට අප එකඟ නැති බව පැහැදිලිවම පෙන්වා දුන්නා. අපේ පාලනයක් යටතේ විවෘත ටෙන්ඩර් කැඳවීම්වලින් ආයෝජනවලට ඉඩ ලබා දෙන බව අප දැනුම් දුන්නා. ඔවුනුත් ඒ බව පිළිගත්තා.

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට වඩා ඔබලාත් සමඟ යම් කාලයක දී දේශපාලනය කළ අය ඉදිරිපත් කරන විවේචන වැඩියි නේද?

දේශපාලන කුහකකමට කරන විවේචන අපි ඒ බරෙන්ම ප්‍රතික්‍ෂේප කරනවා; සැලකිල්ලක් දක්වන්නේ නැහැ. දේශපාලන කැරකෝප්පුවට ගිහින් ඉන්න අය ඔය වාගේ විලාප නඟනවා. වීරවංශත් ඒ වාගේ විලාප දෙනවා මම දැක්කා. දේශපාලන කැරකෝප්පුවල සිට නඟන විලාප මේ රටේ ජනතාව භාර ගන්නෙත් නැහැ. අපි නම්, කොහොමවත් භාර ගන්නේ නැහැ. අපි අපේ ස්ථාවරයේ සිට කටයුතු කරනවා. අපේ රටේ බලශක්තිය සම්බන්ධයෙන් ආණ්ඩුව වැරැදි ක්‍රමවේද අනුගමනය කරන විට අපි ඉතා පැහැදිලිව ඊට විරුද්ධව කටයුතු කළා. අප ඒ සම්බන්ධයෙන් කිසිදු ආපසු හැරීමක් නැහැ. අපේ රන්ජන් ජයලාල් සහෝදරයලා වෘත්තීය සමිති මඟින් ඒ කටයුතු කරගෙන යනවා. දේශපාලන අනාථභාවයට වැටුණු මරණාසන්න දේශපාලන විලාප වැදගත් නැහැ.

රටේ ජනාධිපතිට හෝ විපක්‍ෂ නායකට ආරාධනයක් නැති කාලයක ජාතික ජන බලවේගයට ලැබුණු ආරාධනය සම්බන්ධයෙන් සුබ පතනවා. ඔබලාට මෙවැනි ආරාධනාවක් කළේ ඉන්දියාවේ මොන අරමුණක් මතද?

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනවරමක් නැහැ. මේ රටේ ජනතාවගේ හදවතේ රැඳීසිටින නායකයා අනුර දිසානායක සහෝදරයා සහ හදවතින් පිළිගන්න දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය බව ඉන්දියාව විතරක් නොවෙයි, ලෝකයේ හැම රටක්ම පිළිගන්නවා. ලංකාව තුළ ජනතාවත්, ලෝකයේත් පිළිගන්න දේශපාලන ව්‍යාපාරය මාලිමාව. ඉන්දියාව විශේෂයෙන් මේ නිසා කළ ආරාධනය ගැන නිහතමානීව අප සතුටු වනවා. ජනතාවගේ ආශීර්වාදයක් නැති නායකයන්ට එහෙම ආරාධනාවක් නැහැ.

සංචාරයට ආරාධනාව ලැබුණේ ජනතා විමුක්ති පෙරමුණ විදියටද? ජාතික ජන බලවේගයට ද?

ආරාධනාව ලැබුණේ ජාතික ජන බලවේගයට. එයට සහභාගී වුණේ ජාතික ජන බලවේගයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහත්මා සහ ජාතික ජන බලවේගයේ නායක, අනුර දිසානායක සහෝදරයා ඇතුළු විධායක සභාවේ සාමාජිකයන්.

ජනතා විමුක්ති පෙරමුණත්, ජාතික ජන බලවේගයත් කියන්නේ දෙකක්ද?
ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්‍ෂයක්. ජාතික ජන බලවේගය කියන්නේ, ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළත් දේශපාලන ව්‍යාපාර සහ සිවිල් සංවිධාන ගණනාවක් එකතු වුණු පුළුල් මහජන බලවේගයක්.

ජනතා විමුක්ති පෙරමුණට තිබෙන්නේ සමාජවාදී වැඩපිළිවෙළක්. ජාතික ජන බලවේගයට තිබෙන්නේ ලිබරල්වාදී වැඩපිළිවෙළක් මේ දෙකම එකටද යන්නේ ?

ලිබරල්වාදී, සමාජවාදී කියලා ඔබ අදහස කළේ මොකක් ද? කලබල වෙන්න දෙයක් නැහැ. ඉතාම පැහැදිලියි. ලෝක දේශපාලනයේ සිදුවී තිබෙන වෙනස්කම්වලට අනුකූලව ලංකාවේ දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපත් වෙනස් වෙලා තිබෙනවා. අපේ ප්‍රතිපත්ති ඉතා පැහැදිලිව සමාජවාදී මූලධර්ම මත පදනම් වූ නව ලෝක තත්ත්වයට ගැළපෙන ආර්ථික, දේශපාලන ප්‍රතිපත්තියක්. ජාතික ජන බලවේගයේ මේ ප්‍රතිපත්තිය රටේ ජනතාව පිළිගන්න දේශපාලන ප්‍රතිපත්තිය බවට පත්වී තිබෙනවා.

ඔබලා අමූල් සමාගමේ සංචාරයේ යෙදෙන අතර, ඔබලාගේ නියෝජිතයෝ මේ රටේ අමූල් සමාගමට විරුද්ධව උද්ඝෝෂණය කරනවා. මේ දෙබිඩි පිළිවෙත මොකක් ද?

මගේ පැහැදිලි කිරීම තුළ පැහැදිලිවම උත්තරය තිබුණා. නැවත පැහැදිලි කරනවා නම්, ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් සහ ටෙන්ඩර් කැඳවීමකින් තොරව ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගවලට විරුද්ධ වීම ඕනෑම ආයතනයක් සම්බන්ධයෙන් අපේ පොදු ස්ථාවරයයි.

වැඩිපුරම සාකච්ඡාවට ලක් වුණේ කුමන කරුණු ද?

වැඩිපුරම අවධානයට ලක් වුණේ කලාපීය ආරක්‍ෂාව සම්බන්ධ ප්‍රශ්නය. ඔවුන්ගේ පැත්තෙන් ප්‍රමුඛම මාතෘකාවක් වූයේ දකුණු ආසියාවේ ආරක්‍ෂාව සම්බන්ධ ප්‍රශ්නය. ලෝක භූ දේශපාලන තරගයේදී කලාපයට යම් යම් තර්ජන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අප රටක් හැටියට අපේ රටේ ස්වෛරීත්වය ආරක්‍ෂා කර ගනිමින් වාගේම කලාපීය ආරක්‍ෂාවට තර්ජනයක් සිදු වන ආකාරයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකරන බව පැහැදිලි කර දුන්නා. අපේ රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කරද්දී, අනිවාර්යයෙන් ම කලාපීය ආරක්‍ෂාවත් ගැන සැලකිලිමත් වෙනවා. ඉන්දියාව කුමන අවස්ථාවකදීවත් චීනයත් සමඟ ගනුදෙනු නොකරන ලෙස කීවේත් නැහැ. අපට එය අදාළත් නැහැ. කලාපයේ ආරක්‍ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව පැහැදිලිව කීවා.

මේ වසරේදී ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය පවත්වන බව ජනාධිපතිවරයා කියා තිබෙනවා. ජාතික ජන බලවේගයේ රජයක් නිර්මාණය කරන්න ඉන්දියාවේ සහයෝගය ලැබෙන බව ප්‍රකාශ කළා ද?

එහෙම සාකච්ඡාවක් නැහැ. ලංකාවේ ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ආණ්ඩුවක් එක්ක ඔවුන් ගනුදෙනු කරනවා හැර දේශපාලන පක්‍ෂයක් හැටියට බලය ගන්න ඔවුන්ගේ සහයෝගයක් අපට ඕනෑ නැහැ. එහෙම දෙයක් ඔවුන් කීවේත් නැහැ. නමුත්, මැතිවරණ නොපැවැත්වීම පිළිබඳව කතා කළා. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම, පළාත් සභා මැතිවරණ කල් දමා තිබීම වැරැදි බව අප ඉතා පැහැදිලිව කිවුවා. ඒ විතරක් නොවෙයි, මේ දවස්වල සමුපකාර ඡන්දත් කල් දානවා. ඒ සම්බන්ධයෙන් අප එකඟතාවක් නැති බව පැහැදිලි කර දුන්නා. ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතු බව අප අවධාරණයෙන් පෙන්වා දුන්නා. පක්‍ෂයක් ලෙස අප ඊට සූදානම් බවත්, අනිවාර්යයෙන් ම එය ජයග්‍රහණය කරන බවත් අප ඔවුන්ට පෙන්වා දුන්නා.

ඉන්දියාව එක්ක සාකච්ඡා කළාම චීනය කුමන ස්ථාවරයක් ගනීද?

ඉන්දියාව එක්ක සාකච්ඡා පැවැත්වූ පළමුවැනි අවස්ථාව මෙය නොවෙයි. ඒ වාගේම චීනයත් එක්ක විශේෂයෙන් කොමියුනිස්ට් පක්‍ෂයත් එක්ක අප බොහොම කාලයක් සම්බන්ධතා පවත්වා තිබෙනවා. නමුත්, හම්බන්තොට වරාය චීනයට විකිණීමට විරුද්ධව අප කටයුතු කළා. සෑම රටක්ම සම්බන්ධයෙන් අපේ ස්ථාවරය ඒකයි. චීනය හෝ ඉන්දියාව එක්ක සම්බන්ධතා පැවැත්වූවා කියා අප අපේ දේශපාලන ස්ථාවරයන් වෙනස් කරන පක්‍ෂයක් නොවෙයි.

Show More

නායක අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ – CPI(M) ප්‍රධාන ලේකම් හමුවේ…

-Colombo, February 09, 2024- ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ජාතික විධායක සභික විජිත හේරත් ඊයේ (09) සවස කේරල අගනුවර තිරුවානන්දපුරම්හිදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ -CPI(M) ප්‍රධාන ලේකම් සීතාරාම් යෙචුරි (Sitaram Yechury) හමුවූහ. සීතාරාම් යෙචුරි 1992 වසරේ සිට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන අතර 2015 වසරේදී ප්‍රධාන […]

-Colombo, February 09, 2024-

ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ජාතික විධායක සභික විජිත හේරත් ඊයේ (09) සවස කේරල අගනුවර තිරුවානන්දපුරම්හිදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ -CPI(M) ප්‍රධාන ලේකම් සීතාරාම් යෙචුරි (Sitaram Yechury) හමුවූහ.

සීතාරාම් යෙචුරි 1992 වසරේ සිට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන අතර 2015 වසරේදී ප්‍රධාන ලේකම් ධුරයට පත්ව ඇති අතර මේ දක්වා එම ධුරයේ කටයුතු කරයි. ඔහු 2005 වසරේ සිට 2017 වසර දක්වා බටහිර බෙංගලයේ රාජ්‍ය සභාව (පාර්ලිමේන්තුව) නියෝජනය කර තිබේ.

Show More

අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු සංචාරය – පස්වන හා අවසන් දිනය

-Colombo, February 09, 2024- ඉන්දියානු රජයේ නිල ආරාධනයකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු නියෝජිත පිරිස සහභාගි වන ඉන්දීය සංචාරයේ පස්වන සහ අවසන් දිනය අදයි. ඔවුන් අද සංචාරයේ යෙදුනේ ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (CPIM-Kerala) ප්‍රමුඛ වාමාංශික සන්ධානය විසින් බලය හොබවන කේරල ප්‍රාන්තයේය. තුන්කෝටි පනස් ලක්ෂයකට අධික ජනගහනයකින් යුත් කේරල ප්‍රාන්තය අධ්‍යාපන […]

-Colombo, February 09, 2024-

ඉන්දියානු රජයේ නිල ආරාධනයකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු නියෝජිත පිරිස සහභාගි වන ඉන්දීය සංචාරයේ පස්වන සහ අවසන් දිනය අදයි.

ඔවුන් අද සංචාරයේ යෙදුනේ ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (CPIM-Kerala) ප්‍රමුඛ වාමාංශික සන්ධානය විසින් බලය හොබවන කේරල ප්‍රාන්තයේය. තුන්කෝටි පනස් ලක්ෂයකට අධික ජනගහනයකින් යුත් කේරල ප්‍රාන්තය අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර අතින් වේගවත්ව ඉදිරියට ගොස් ඇත. විශේෂයෙන් ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම ස්ථානයක් කේරලය විසින් හිමිකරගෙන තිබේ.

අද (09) පෙරවරුවේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස කේරල අගනුවර තිරුවානන්දපුරම්හිදී ප්‍රාන්ත ආණ්ඩුවේ කර්මාන්ත හා නීතිය පිළිබඳ අමාත්‍ය P.Rajeeve මහතා හමුවී සාකච්ඡා කරන ලදී. P.Rajeeve ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් වන අතර පක්ෂයේ ශිෂ්‍ය සංවිධානයේ හිටපු සභාපතිවරයා මෙන්ම නීති උපාධිධාරියෙක්ද වෙයි.

ඉන් අනතුරුව ජාතික ජන බලවේගයේ නායකයෝ වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (Vikram Sarabhai Space Centre) නිරීක්ෂණ චාරිකාවකට එක්වූහ. එම ආයතනයේ අධ්‍යක්ෂවරයා සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වූ අතර ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව අදහස් හුවමාරු කර ගන්න ලදී. වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත්‍රෙය් ප්‍රධාන අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක් වන අතර එය ඉන්දියාවේ චන්ද්‍රිකා වැඩසටහන සඳහා අවශ්‍ය රොකට් සහ අභ්‍යවකාශ යානා නිෂ්පාදනය කරයි. මේ අතර ජාතික ජන බලවේගය දූත පිරිස එහි පාලන මධ්‍යස්ථානය සහ අභ්‍යවකාශ කෞතුකාගාරය නැරඹීමට අවස්ථාව උදා කර ගත්හ.

ඉන් අනතුරුව එම පිරිස ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සැපයීමේ මුල්ම හා විශාලතම තොරතුරු තාක්ෂණ උද්‍යානවලින් එකක් වන තිරුවානන්දපුරම්හි Technoparkහි සංචාරයක නිරත වූහ. එහි ප්‍රධාන විධායක නිලධාරියා සමඟ ආයතනය හා සම්බන්ධ විශේෂ තොරතුරු පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී.

මෙම Technopark 1990දී ආරම්භ වන්නේ කේරල ප්‍රාන්ත මහඇමති ඊ.කේ. නයනාර්ගේ පාලන කාලයේදීය. එයට අක්කර 800කට වැඩි භූමිභාගයක් අයත් වන අතර ගොඩනැගිලිවල වර්ගප්‍රමාණය වර්ග අඩි මිලියන 10.6ක් බව සඳහන්ය. සමාගම් 480ක් එය තුළ ක්‍රියාත්මක වන අතර වෘත්තිකයෝ 70,000කට වැඩි පිරිසක් සේවයේ නියුතුව සිටිති. මෙය පරිපාලනය වන්නේ කේරල ප්‍රාන්ත පාලනය යටතේය.

අනතුරුව එම නියෝජිත පිරිස G Tech ආයතනයේ ප්‍රධාන ලේකම්වරයා විසින් සිදු කළ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ ඉදිරිපත් කිරීමකට සහභාගි වූ අතර කේරල විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වූහ. ඉන්පසු තිරුවානන්දපුරම් අගනුවර දකුණින් පිහිටි වෙරළබඩ Kovalamහි Vellar අත්කම් ගම්මානයේ සංචාරයකට සහභාගි වීමටද ජාතික ජන බලවේගයේ නායකයින්ට අවස්ථාව උදාවිය.

පස්දින නිල සංචාරයෙන් පසුව ජාතික ජන බලවේගයේ නායකයා සහ ප්‍රධාන ලේකම්වරයා ඇතුළු පිරිස 10වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

කර්මාන්ත හා නීතිය පිළිබඳ අමාත්‍ය P.Rajeeve

Vikram Sarabhai Space centre

අභ්‍යවකාශ පාලන මධ්‍යස්ථානය හා අභ්‍යවකාශ කෞතුකාගාරය

Technopark

Show More

අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු සංචාරය – සිව්වැනි දිනය

-Colombo, February 08, 2024- ඉන්දියානු රජයේ ආරාධනයකට අනුව නිල සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජත පිරිස අහමදාබාද්හි පිහිටි ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුබද්ධ i-Hub සමාගමේ සංචාරයක නිරත වූහ. එම ආයතනය ස්ථාපිත කරනු ලැබ ඇත්තේ ශිෂ්‍යයන්ට හා ආධුනික ව්‍යවසායකයින්ට උපදේශන සේවා, විද්‍යාගාර ඇතුළු යටිතල පහසුකම් සපයන සහ ආයෝජකයන් මගින් අරමුදල් […]

-Colombo, February 08, 2024-

ඉන්දියානු රජයේ ආරාධනයකට අනුව නිල සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජත පිරිස අහමදාබාද්හි පිහිටි ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුබද්ධ i-Hub සමාගමේ සංචාරයක නිරත වූහ.

එම ආයතනය ස්ථාපිත කරනු ලැබ ඇත්තේ ශිෂ්‍යයන්ට හා ආධුනික ව්‍යවසායකයින්ට උපදේශන සේවා, විද්‍යාගාර ඇතුළු යටිතල පහසුකම් සපයන සහ ආයෝජකයන් මගින් අරමුදල් සම්පාදනය කර දීමට මැදිහත් වන නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් (Innovation Hub) ලෙසය. i-Hub ආයතනය සිසුන්, බුද්ධිමතුන්, කර්මාන්ත සහ වෙළඳපොළ එකිනෙක සම්බන්ධ කරමින් රාජ්‍ය නියාමනයක් සහිත පහසුකම් සැපයීමේ පද්ධතියක් සංවර්ධනය කිරීමට උපායමාර්ගික මැදිහත්වීම් සිදු කරයි. උපදේශනය, ජාලකරණය, පාරිභෝගික සම්බන්ධතා, ආයෝජන අවස්ථා, ආධාරක යාන්ත්‍රණයන් සහ විද්‍යාගාර යටිතල පහසුකම් සම්පාදනයට අදාළ කඩිනම් නම්‍යශීලී සහ සහයෝගීතා සේවා ඒකාබද්ධතාවක් වන i-Hub, තම සේවාදායකයින්ට අවශ්‍ය සියලු සේවා එක් වහලක් යටදී සම්පූර්ණ කරදීමට කටයුතු කරයි.

අනතුරුව අහමදාබාද්හි කෘෂිකාර්මික ප්‍රදේශ සහ කෘෂි නිෂ්පාදන නිරෝධාන කර්මාන්ත ශාලාවක් (GAIC – Gujarat Agro Industries Corporation) නිරීක්ෂණයකටද මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් (TATA Motors) නිරීක්ෂණයකටද සූර්ය බලශක්ති ව්‍යාපෘති නිරීක්ෂණයකටද සහභාගි වූ ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස අද (08) රාත්‍රියේ කේරල ප්‍රාන්තයේ අගනුවර වන තිරුවානන්දපුරම් (පෙර හඳුන්වන ලද නාමය Trivandrum) බලා යාමට නියමිතය.

TATA Motors

Gujarat Agro Industries Corporation

i – Hub

Show More

ආපදා සහන කප්පාදුවට එරෙහිව සංවර්ධන නිලධාරීන් ජාතික ජනබලවේගය හමුවට…

-Colombo, February 08, 2024- ආපදා සහන සේවා වැඩපිළිවෙළ අඩපණ කිරීමේ ආණ්ඩුවේ උත්සාහය ගැන ජාතික ජන බලවේගය හමුවේ කරුණු දැක්වීම සදහා සංවර්ධන නිලධාරීන් පෙබ. 08 දින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණියෝය. මේ සඳහා සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගී වූ අතර, ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම […]

-Colombo, February 08, 2024-

ආපදා සහන සේවා වැඩපිළිවෙළ අඩපණ කිරීමේ ආණ්ඩුවේ උත්සාහය ගැන ජාතික ජන බලවේගය හමුවේ කරුණු දැක්වීම සදහා සංවර්ධන නිලධාරීන් පෙබ. 08 දින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණියෝය. මේ සඳහා සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගී වූ අතර, ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙම හමුවට එක් විය.

මෙහිදි,
-> ස්වභාවික ආපදාවක දී ජනතාවට මෙතෙක් හිමි වූ උපරිම වන්දි මුදල අඩු කිරීමේ ආණ්ඩුවේ උත්සහය
-> ආපදා සහන සේවා නිලධාරීන් ඇතුළු නිලධාරීන් 117 ක් ඉවත් කිරීම
->ආපදා සහන සේවා ජාතික ක්‍රියාවලිය බිඳ වැටීමේ අවධානම
ඇතුළු කරුණු සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරීන් විසින් ජාතික ජන බලවේගය දැනුවත් කරන ලදී.

Show More