-Colombo, January 02, 2024- ‘රටට නොකියන විකිණීමේ ඇත්ත’ සම්මන්ත්‍රණය, කොළඹ පදනම් ආයතනය මේ අවුරුද්ද අපේ රටේ ජනතාවට ඉතාමත්ම තීරණාත්මක අවුරුද්දක්. මෙතෙක් දියත් කළ ගමන වේගවත් කර, අපේ රටේ ජාතික සම්පත් විනාශ මුඛයට හෙළීමට ආණ්ඩුව කැසකවමින් සිටිනවා. ජනවාරි මාසය ඇතුළත විදුලි බල මණ්ඩලය කොටස් කර, විකිණීමට අවශ්‍ය පනත, රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් ආයතනය වැනි ආයතන විකිණීමේ ක්‍රියාවලිය […]
-Colombo, January 02, 2024-
‘රටට නොකියන විකිණීමේ ඇත්ත’ සම්මන්ත්‍රණය, කොළඹ පදනම් ආයතනය
මේ අවුරුද්ද අපේ රටේ ජනතාවට ඉතාමත්ම තීරණාත්මක අවුරුද්දක්. මෙතෙක් දියත් කළ ගමන වේගවත් කර, අපේ රටේ ජාතික සම්පත් විනාශ මුඛයට හෙළීමට ආණ්ඩුව කැසකවමින් සිටිනවා. ජනවාරි මාසය ඇතුළත විදුලි බල මණ්ඩලය කොටස් කර, විකිණීමට අවශ්‍ය පනත, රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් ආයතනය වැනි ආයතන විකිණීමේ ක්‍රියාවලිය සිදුකිරීමට නියමිතයි. එයට එරෙහිව පැනනගින ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීමට ප්‍රතිත්‍රස්ත පනත, සමාජ ජාලා මර්දනය කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ රට ආපසු හැරවිය නොහැකි පන්නයේ විශාල ක්‍රියාමාර්ග ප්‍රමාණයක් වේගයෙන් ගැනීමට ආණ්ඩුව කැසකවන අතර, දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි අපේ රටේ නව ජාතික පිබිදීමක් ඇති කර, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟමින් ජනතාව ඊට සම්බන්ධ කරගෙන ඔවුනට ප්‍රතිලාභ ලබාගෙන නව ආර්ථික ගමනකට ප්‍රවිෂ්ට වීමේ මතවාදය සමාජගත කරමින් සිටිනවා. අපරාධ මැඩපැවැත්වීමට නීතියේ විධානය, ආධිපත්‍යය, පිහිටුවන්නේ කෙසේදැයි අපි සැලසුම් සකස් කරමින් සිටිනවා. අපේ ජනතාවත්, රටත් ව්‍යසනයට හෙළන ලද මහාපරිමාණ වංචා, දූෂණ කෙළපැමිණි දේශපාලන සංස්කෘතිය වෙනස් කර, නව ගමනකට අවතීර්ණ වීමේ සාකච්ඡාව අප ගෙනයනවා. ලංකා ඉතිහාසයේ දේශපාලන ව්‍යුහයේ තීව්‍රම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. ඒක Do or die වර්ගයේ සටනක්.
මේ සටන අපි පරාජයට පත්වුණොත් අපේ රටත් ජනතාවත් නින්දාගතභාවයේ, අසරණභාවයේ පතුළටම ඇද වැටෙනවා. අපි මේ සටන ජයග්‍රහණය කළොත් නව බලාපොරොත්තු, අපේක්ෂාවන් සහිතව මේ රට නව දිශාවකට ගෙනයා හැකියි. ඒ නිසා මේ ගොඩනැගෙමින් තිබෙන දේශපාලනය සාමාන්‍ය දේශපාලනයක් වගේ නොවෙයි. ලංකා ඉතිහාසයේ තීරණාත්මක බෙදීමේදී ජාතික ජන බලවේගයේ අපි ජනතාවත් සමග කවර ආකාරයේ පොදු සම්මුතියකට ආ යුතුදැයි පළල් ලෙස සාකච්ඡා කරමින් සිටිනවා. වැඩකරන ජනතාව, ව්‍යාපාරිකයින්, කර්මාන්තකරුවන්, ආගමික නායකයින්, විද්වතුන් ආදී වශයෙන් වූ අපි සියලු දෙනාම මේ රට මුදා ගැනීමේ පොදු සම්මුතියකට එළඹීමේ සාකච්ඡාවට ප්‍රවිෂ්ට වී සිටිනවා. ඒ අතරේ අනෙක් කඳවුර කුණු එකතු කරමින් සිටිනවා. ඔවුන් තැන තැන විසිරී සිටින කුණු එකතු කරන අතරේ අපි ජනතාව ඒකරාශී කරනවා. අපි මේ වසරට ප්‍රවේශ වී සිටින්නේ තීරණාත්මක ජයග්‍රහණයකින් සටන කෙළවර කරනවා කියන දැඩි අධිෂ්ඨානයෙන්. මේ නිසා අපි හැමදෙනාටම විවේක කාලයක් නොමැතිව වෙනස සඳහා කටයුතු කළ යුතු වෙනවා. පවතින අර්බුදයේම හේතුවක් නිසා ඔවුන් විකිණීම සිදුකරනවා. පැමිණි ආර්ථික ගමන විසින් නිර්මාණය කළ අර්බුදයේම ප්‍රතිඵලයක් තමයි විකිණීම. අනෙක් පැත්තෙන් විකිණීමත් මේ ආර්ථික අර්බුදයට හේතුවක්. මේ විකිණීම ඕපපාතිකව සිදුවූවක් නොවෙයි, මෙතෙක් අනුගමනය කළ ආර්ථික ක්‍රියාවලියේම ප්‍රතිඵලයක්.
මේ දක්වා වැට් බද්දෙන් නිදහස් කර තිබුණු ක්ෂේත්‍ර ගණනාවක් මේ අර්බුදය විසින්ම වැට් බද්දට ඇතුළත් කර තිබෙනවා. තෙල් මිල ඉහළ යාම සමස්ත ආර්ථිකයටම බලපෑමක් ඇති කරන නිසා, මේ දක්වා වැට් බද්දෙන් නිදහස් කර තිබුණා. තෙල් මිල ඉහළ යාම තෙල් පරිභෝජනය කරන කෙනාට පමණක් නොවෙයි, සමස්ත ආර්ථික දේහයටම බලපාන සංවේදී කරුණක්. පාසල් උපකරණ මිල ඉහළ යාම දරුවන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සංවේදී ලෙස බලපානවා. සෞඛ්‍ය උපකරණ, ඖෂධ නිෂ්පාදන අමුද්‍රව්‍ය, සෞඛ්‍ය සේවාව වැට් බද්දෙන් නිදහස් කර තිබුණේ ජන ජීවිතයට සමීපව බලපාන නිසයි. නමුත් අර්බුදය විසින් මේ සියලු ක්ෂේත්‍රවලට අලුතින් වැට් බදු පනවා තිබෙනවා. රජයේ වියදම්, ණය ගෙවීම සහ පොලී වාරික ගෙවීම සඳහා මේ වසරේ රුපියල් බිලියන එකොළොස්දහස් පන්සිය දහහතරක් වැය වෙනවා. නමුත් වැට් බද්ද ඇතුළු මේ සියලු පීඩාවන් ජනතාව මත පටවා ලබාගත හැකි මුළු ආදායම රුපියල් බිලියන හාරදහස් එකසිය හැටහතරයි. ණය වාරික ගෙවීම පසෙක තැබුවත් රුපියල් බිලියන හත්දහස් අටසිය විසිහයක් මේ වසරේ වියදම් වෙනුවෙන් අවශ්‍ය වෙනවා. බිලියන 3000කට වැඩි ප්‍රමාණයක් අතිරේක වශයෙන් ණය ගන්න සිදුවෙනවා. මේ අර්බුදය තිබෙන්නේ දත්ත ඇතුලේ පමණක් නොවෙයි සමාජ ජීවිතය ඇතුලෙත් තිබෙනවා. ගෙවුම් ශේෂ හිඟය, අයවැය හිඟය වගේ මහප්‍රාණ ආර්ථික වචනවල සැඟවී තිබෙන අර්බුදය සමාජ ජීවිතයට බලපෑම් කරමින් තිබෙනවා. ළඟදී නිකුත් කළ නිල සංඛ්‍යා ලේඛන අනුව පාසල් දරුවන්ගෙන් 57%ක් පොත්පත් ඇතුළු අධ්‍යාපන උපකරණ මිලදී ගැනීම නතර කර හෝ අඩු කර තිබෙනවා. තවත් 19%කට ආසන්න පිරිසක් පුද්ගලික පංතිවලට යන එක නතර කරලා. ආර්ථික අර්බුදයෙන් සමාජයට කරන බලපෑම දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැට්ටීම දක්වා ගමන් කර තිබෙනවා.
ඒ වගේම පුරවැසියන්ගේ ජීවිත අනාරක්ෂිත තත්වයට ඇදවැටී නිසි පරිදි ප්‍රතිකාර ගැනීමෙන් වැළකී සිටිනවා. විශාල ප්‍රමාණයෙන් රැකියා අහිමි කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කඩා වැටීම වැනි ක්ෂේත්‍රවලට අර්බුදය බලපා තිබෙනවා. පරාටේ නීතිය අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 1183කට විරුද්ධව දේපළ අත්පත් කරගෙන තිබෙනවා. මේ ව්‍යාපාර බොහෝ දුෂ්කරතා මැද සමහර විට පරම්පරා කිහිපයක කැපවීමෙන් ගොඩනඟා ගත් ඒවා. නිවැරදි ආර්ථික දැක්මක්, රාජ්‍ය මැදිහත්වීමක් යටතේ මේ ව්‍යාපාර ගොඩනැගී තිබුණේ නැහැ. ඔවුන්ගේ පෞද්ගලික කැපවීම් සහ ධෛර්යවන්තභාවය මත ගොඩනැගී තිබුණු ඒවා. මේ අර්බුදයෙන් ජන ජීවිත කඩා වැට්ටවීම මේ වගේ විවිධ ක්ෂේත්‍රවලට බලපා තිබෙනවා. ආණ්ඩුවෙන් කියන්නේ විකුණා දැමීම මාර ආර්ථික උපායමාර්ගික සැලැස්මක් කියලයි. ඇත්ත ඒක නොවෙයි. විකිණීමත් මේ ආර්ථික අර්බුදයේම ප්‍රතිඵලයක්. ඖෂධ ගෙන්වීමේදී, බදු අයකිරීමේදී, හොරකම් කරනවා වගේම විකිණීමේදීත් වංචා දූෂණවල තෝතැන්නක් වී තිබෙනවා. ආර්ථික අර්බුදය නිසා විකුණනවා වගේම අතයට ගනුදෙනු සඳහාත් ඔවුන් විකිණීම යොදා ගන්නවා. විකිණීම පිටුපස තිබෙන ඇත්ත යටි වුවමනාව මේක.
අයවැය හිඟයෙන්, විදේශ ණය ගෙවාගත නොහැකි වීමෙන්, වෘත්තිකයන් ඇතුළු පිරිස් රට අත්හැර යාමෙන් පෙන්වන්නේ ආර්ථික අර්බුදයේ ගැඹුරයි. ආර්ථික අර්බුදයේ ගැඹුර පෙන්වන්නේ, දත්ත ඇතුලේ විතරක් නොවෙයි. රනිල් වික්‍රමසිංහට ආර්ථික අර්බුදය කියන්නේ දත්ත පමණක් නිසා ඔහුගේ විසඳුම ගිණුම් තුලනය කිරීමයි. නමුත් ජාතික ජන බලවේගයට මේ අර්බුදය යනු දත්තවලින් පෙන්වනවාට වඩා සමාජීය ජන ජීවිතයේ වේදනාවන් පිළිබඳ අත්දැකීම්වලින් කියැවෙන්නක්. දත්ත ඇතුලේ වගේම මිනිසුන්ගේ ජීවිත ඇතුලෙත් අපි අර්බුදය දකිනවා. රනිල් වික්‍රමසිංහ මිනිස් ජීවිතවල අර්බුදය දකිනවා නම්, ඖෂධවලට, පාසල් උපකරණවලට බදු ගහන්නේ නැහැ. වැට් බද්ද විසින් ජනතාවගේ ජීවිතවලට ඇති වී තිබෙන මාරාන්තික ස්වභාවය අපි කියාදිය යුතු නැහැ, ඔවුන් එය අත්විඳිමින් සිටිනවා. අපි අර්බුදය දකිනවා පමණක් නොවෙයි ඊට විසඳුම් සොයා ගන්නත් වෙහෙසෙන ව්‍යාපාරයක්.
විකිණීමට හේතු දක්වන මහත්වරුන් අපිට කරුණු කිහිපයක් කියනවා. ජනතාවගෙන් එකතු කර ගන්නා බදු ආදායම් පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තු කිරීමට වියදම් නොකරන්නේ නම්, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම්, ලබාදීමට යෙදවිය හැකි බව කියනවා. ඔය වගේ කතාවක් කියන්නේ අද විතරක් නොවෙයි. යුද්ධය පැවති කාලයේත් ඔය වගේම කතා කීවා. යුද්ධයේදී මල්ටි බැරල් උණ්ඩවලට දවස් 24කදී දරන වියදම නතර කරගතහොත් රෝහල් දෙකක් ඉදිකළ හැකි බව මෛත්‍රීපාල සිරිසේන කීවා. නමුත් එහෙම වුණාද? පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන අද කියන්නෙත් ඒ දේමයි. යුද්ධය අවසන් කළ විට සුඛිත මුදිත වෙන බව කී ඔවුන් අද කියන්නේ රාජ්‍ය ආයතන විකුණා දැමීමෙන් සුඛිත මුදිත විය හැකි බවයි. නමුත් එය බොරුවක්. අපේ රටේ රාජ්‍ය වතු පුද්ගලික සමාගම් 21කට වික්කා. එයින් සමාගම් 18ක්ම පාඩු ලබනවා; බැංකුවලට පොලු තියලා. ඒ වගේම වැඩ කරන සේවකයන්ට රුපියල් 1000ක වැටුපක් දෙන්න බැරි නම් ඒ පෞද්ගලීකරණයෙන් ඇති වැඬේ මොකක්ද? ඒ වගේම අද අපේ රටේ තේ කර්මාන්තය රැඳී තිබෙන්නේ පහත රට කුඩා තේවතු හිමියන් අතේ. විකිණීමෙන් සාර්ථක වෙනවා නම්, මෙහෙම වෙන්නේ කොහොමද? මූල්‍ය සමාගම් හතක්, කර්මාන්ත 41ක් වතු 21ක්, අනෙකුත් ආයතන 23ක් ආදී වශයෙන් මේ වන විට විකුණා තිබෙනවා. විකුණන්න තිබෙන ප්‍රමාණයට වඩා විකුණූ ආයතන සංඛ්‍යාව වැඩියි. විකුණන ලද සිලෝන් ඔක්සිජන්, සම්භාණ්ඩ සංස්ථාව, ලක්ස්ප්‍රේ ආයතනය, තෙල් සංස්ථාව සතුව තිබූ නයිලෝන් සමාගම, මත්තේගොඩ පේෂකම්හල, තෙල් හා මේද සංස්ථාව, මහවැලි මෙරීන් සමාගම, හිඟුරාන සීනි, කඩදාසි සංස්ථාව, වගේ ආයතන රැසක් විකුණුවා. අද ඒ එකක්වත් තිබෙනවාද?
ඔවුන් කීවේ භාණ්ඩාගාරයට විශාල වැය බරක් දරන්න සිදුවී තිබෙන ආයතන විකුණූ බවයි. නමුත් ඒ කතාවත් බොරු. ඒ අතරේ පසුගිය වසරේ මිලියන දොළොස්දහසක් ලාභ ලැබූ රක්ෂණ සංස්ථාව, ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් ටෙලිකොම් ආයතනය පසුගිය වසරේ රුපියල් මිලියන 10,000ක් ලාභ ලැබුවා. මේ ආයතනත් විකුණන්න දාලා තිබෙනවා. තරගකාරී බව කියන ගෑස් සමාගම් දෙකෙන් රජයට අයත් සමාගම ජනවාරි 01දා සිට මිල වැඩි කළේ රුපියල් 685කින්. පෞද්ගලික සමාගම රුපියල් 755/-කින් වැඩි කළා. 2023 සැප්තැම්බර් දක්වා රජයේ ගෑස් සමාගම රුපියල් මිලියන 5639ක ලාභයක් ලබා තිබෙනවා. ආණ්ඩුවට ගෑස් සමාගම තිබුණේ නැතිනම් මොකද වෙන්නේ? දැන් රජයේ ප්‍රධාන බැංකු දෙක විකුණන්න පැහැස්ති වෙනවා. ලංකා බැංකුව සහ මහජන බැංකුවට ලංකාව පුරාම ශාඛා තුන්සිය ගණනක් තිබෙනවා. ඒ අතරින් ශාඛා සියයක් පමණ පාඩු ලබනවා. බැංකු සේවාව ලබාදීමේ වගකීම තිබෙන්නේ රජයට. පෞද්ගලික අංශයේ නම් කරන්නේ යොදවන මුදලට ලාභය උත්පාදනය කර ගැනීමයි. නගරයේ බැංකු ක්‍රියාකාරිත්වයෙන් ලබන ලාභය ගම්වලින් ලබන්නේ නැහැ. ගිරාඳුරුකෝට්ටේ ලංකා බැංකු ශාඛාව පාඩු ලබනවා. එහෙත් ඒ ප්‍රදේශයේ ජනතාවට බැංකු සේවාව ලබාදෙන්න ඕනෑ. යුද්ධය අවසන් කළ පසු පදවිය බෝගස් හන්දියේ ලංකා බැංකු ශාඛාව ආරම්භ කළේ කන්ටේනරයක් ඇතුලේ. ඒහෙම කළේ, පුරවැසියන්ට බැංකු සේවාව ලබාදෙන්න ඕන නිසා. පෞද්ගලික අංශයේ බැංකු ශාඛා එන්නේ ඊට පසුව. රජයේ ගිණුම් පවත්වාගෙන යන ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ ගිණුම් දෙකේ අයිරාව රුපියල් බිලියන 7000ක් වෙනවා. භාණ්ඩාගාරයේ සල්ලිත් නැතිව තිබියදී තෙල් සංස්ථාවට තෙල් ලබාදෙන්න රාජ්‍ය බැංකු දෙක මැදිහත් වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයටත් එහෙමයි. අපේ වගේ කුඩා ආර්ථිකයක රාජ්‍ය අංශයේ මේ බැංකු පද්ධතිය තියාගන්න ඕනෑ. 2022 ලංකා බැංකුවේ ලාභය බදු ගෙවූ පසුව රුපියල් බිලියන 32යි. බිලියන 13ක් රජයට බදු ගෙවා තිබෙනවා. මහජන බැංකුව බිලියන 14ක ලාභයක් උපයා තිබෙනවා. බිලියන 08ක් බදු ගෙවා තිබෙනවා.
ඒ වගේම ලංකා බැංකුවේ අක්‍රීය ණය, බිලියන 325ක් සහ මහජන බැංකුවේ 300ක් වශයෙන් බැංකු දෙකේ බිලියන 625ක් තිබෙනවා. රුපියල් කෝටි 62,500ක් අක්‍රීය ණය ලෙස තිබෙන අතර එයින් භාගයක් අයකර ගතහොත් මේ බැංකු දෙක ශක්තිමත් කරන්න පුළුවන්. දයා ගමගේගේ සමාගම මහජන බැංකුවට විතරක් කෝටි 160ක අක්‍රීය ණය තිබෙනවා. එයා සම්පත් බැංකුවටත් බිලියන තුනක පොලු තබා තිබෙනවා. මෙන්ඩිස් අරක්කු සමාගම කෝටි 350ක් මහජන බැංකුවට පොලු තියලා. ආණ්ඩුවේ හිතවතුන්ට මේ ආකාරයට ණය ලබාදීමෙන් අර අක්‍රීය ණය ප්‍රමාණය එකතු වී තිබෙනවා. ඒ වගේම පෞද්ගලීකරණය පිටුපස වැරදි විදේශ ප්‍රතිපත්තියක් තිබෙනවා. ඉන්දියාවට යම් ආයෝජන කොටසක් එන විට චීනයටත් දෙන්න වෙනවා. කොළඹ වරායේ ජැටි විකිණීම උදාහරණයක්. සාරවත් ඉඩම් අක්කර 28,000ක් පශු සම්පත් මණ්ඩලයට තිබෙනවා. මේ ආයතන කඩා වට්ටවා ‘අමුල්’ සමාගමට විකුණන්න සූදානම් වෙනවා. මේ විදිහට රටේ සම්පත් විකුණුවාම අපට බලය අරගෙන වැඩක් නැතිවෙයි නේද කියලා සමහර අය අහනවා. ඒ නිසා මේ විකිණීමේ ක්‍රියාවලිය නවත්වන්න අරගලයක් ගෙනයනවා හා සමානවම ජාතික ජන බලවේගයේ පාලනයක් පිහිටුවන්නත් අරගල කළ යුතුයි. මේ රට ගොඩනැගීම පහසු නැති බව ඇත්ත. ඉතාමත් පහළට කඩා වැටුණු අගාධයක තිබෙන රටක් අපට ලැබෙන්නේ. සනීපකාරී ජීවිතයකින් මෙයින් අපට ගොඩ එන්න බැහැ. අපේ රටේ සෑම පුරවැසියා තුළම නව පිබිදීමක අවශ්‍යතාවය තිබෙනවා. රට ගොඩනැගීමේ ස්ථීර අධිෂ්ඨානයකින් යුතුව නව ජාතික පිබිදීමක් අවශ්‍යයි.
අපිට ජාතික පිබිදීමකින් නිර්මාණය වුණු රාජ්‍යයක් නොවෙයි තිබෙන්නේ. ඉන්දියාවේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව නේරු, මහත්මා ගාන්ධි, පාතෙල්, සුබාෂ් චන්ද්‍රබෝස් ගෙනගිය ඒකාබද්ධ ජාතික සටනක් තිබුණා. ඉන්දියාව ගොඩනැගීමේ පිබිදීම බවට පත්වුණේ ඒ ජාතික ව්‍යාපාරයයි. දෙවන ලෝක යුද්ධයේදී බෝම්බ හෙළා විනාශ වුණු ජපානය ගොඩනැගීමේ ස්ථිර අධිෂ්ඨානයක් ඔවුන්ට තිබුණා. කලක් ජපන් අධිරාජ්‍යවාදයේ යටත්විජිතයක් බවට පත්ව රජ පෙළැන්තියෙන් පීඩාවට පත්ව තිබූ චීනය නව ජාතික හැඟීමකින් සටන් කළා. අද චීනය ලෝකයේ දැවැන්තම ආර්ථික ශක්තියක් අත්පත් කරගෙන තිබෙනවා. බි්‍රතාන්‍යයට එරෙහිව එක්සත් ජනපදයේ ජාතික සටනක් තිබුණා. වියට්නාමයේ ඇමරිකාවට එරෙහිව ජාතික සටනක් තිබුණා. රුසියාවේ සාර් පාලනයට එරෙහිව සටනක් තිබුණා. ලෝකය පුරා මිනිසුන්ට නව ජාතික පිබිදීමක් ඇතිවන නිදහස් සටන් තිබුණා. ඒ ජාතික පිබිදීමෙන් රටවල් සංවර්ධනයේ ඉදිරියටම ගියා. නමුත් අපේ රටේ 1848 සිට 1948 දක්වා සුද්දා පාලනය කළ කාලය තුළ කිසි නැගිටීමක් සිදුවුණේ නැහැ. ඒ නිසා අපිට ජාතික පිබිදීමක් තිබුණේ නැහැ. ඉන්දියාවේ නේරුලා ඉන්නකොට අපට දොන් ස්ටීවන්ලා සිටියා. ඉන්දියාවේ ගාන්ධි ඉන්නකොට අපට ජූනියස් රිචඞ්ලා සිටියා. ඉන්දියාවේ පාතෙල්ලා ඉන්නකොට අපට සොලමන් ඩයස්ලා සිටියා. අපිට හිටියෙ ඒ වගේ පරාධීන නායකයන්.
ගොවියා, ධීවරයා, වෛද්‍යවරයා, ඉංජිනේරුවන් තම තමන් ගැන සිතමින් කටයුතු කරනවා වෙනුවට නව ජාතික පිබිදීමකින් කටයුතු කළ යුතු වෙනවා. 2024 කියන්නේ ජාතික හැඟීමකින් යුතු ජනතාවක් ඊට අදාළ දේශපාලන නායක්වයක සිටින ජාතික ජන බලවේගයේ අතට සුක්කානම ලබාදීමේ වර්ෂයයි. මේ වර්ෂය තුළ ජාතික හැඟීමකින් පිබිදී අපි සියලුම දෙනා සාමූහික ප්‍රයත්නයකින් කටයුතු කරමු කියා ඉල්ලා සිටිනවා.
“නීති විරෝධී ආණ්ඩුව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකරමින් සිටිනවා…”
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත
මේ සම්මන්ත්‍රණය පවත්වන්නේ ආර්ථික, සමාජීය, වශයෙන් ඉතාමත් වැදගත් හෙළිදරව් කිරීම් රැසක් කරන්න. මෙය හුදෙක් තොරතුරු හෙළිදරව් කිරීමකට වඩා ඉදිරියට ගිය දෙයක්. මහජනතාව සතු සම්පත් තෝරාගත් පුද්ගලයින් කණ්ඩායමකට ලබාදීම හුදෙක් ආර්ථික ගනුදෙනුවක් පමණක් නොවෙයි. ඒ කතාවේ ඇත්ත හෙළිදරව් කරගෙන අප ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න කතා කළ යුත්තේ ඒ නිසයි. විවිධ තාක්ෂණික නිර්වචන ඔස්සේ එනම් පුද්ගලීකරණය, යනුවෙන් ආර්ථික ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට බාරදිය යුතු බවට මතයක් හදනවා. ඇත්තටම පෞද්ගලික අංශයට ආර්ථිකයේ විශාල කාර්යභාරයක් තිබෙන බව ඇත්ත. ඒ ඇත්ත යට සැඟවිලා මහජනතාව සතු විශාල දේපළ ප්‍රමාණයක් කුණු කොල්ලයට විකිණීමේ ජාවාරමක ආණ්ඩුව යෙදී සිටිනවා. විකිණීම සඳහා ඔවුන් රාජ්‍ය අංශය අකාර්යක්ෂම බවත් පුද්ගලික අංශය කාර්යක්ෂම බවත් කියනවා. විශේෂයෙන් රාජ්‍ය ක්ෂේත්‍රය දේශපාලනීකරණය කර ඇති නිසා, අකාර්යක්ෂමතා ගැටලු තිබෙන්නට පුළුවන්. තව පැත්තකින් පුද්ගලික අංශයට දුන්නාම තරගකාරිත්වය වැඩිවී නව උත්පාදන බිහිවෙමින් සමාජයට යහපත් ප්‍රතිඵල අත්වෙන බව කියනවා.
අනෙක් පැත්තෙන් ගත් විට මහජනතාවගේ බලයෙන් ආණ්ඩුවක් පත්කරගෙන ආර්ථික, දේශපාලනික කටයුතු මෙහෙය වන අතර, ඇතැම් සුවිශේෂී අංශ ඉතාමත් වගකීමෙන් රාජ්‍ය හිමිකාරිත්වය යටතේ මෙහෙයවන්න ඕනෑ. එවැනි අංශවල පරමාර්ථය ලාභ ඉක්මවා ගිය අරමුණුයි. ආර්ථිකය නිවැරදි දිශාවට ගෙන ඒම, ආර්ථිකය ස්ථායීකරණය කිරීම සහ ආර්ථික ක්‍රියාවලියට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සපයා දීම වැනි කාර්යයන්, ලාභය අරමුණුකොට නොගෙන රාජ්‍ය අංශය විසින් පවත්වාගෙන යා යුතුයි. මේ දක්වා සිදුකළ විකිණීම් සහ නැවත රජයට අත්පත් කර ගැනීම කර තිබෙන්නේ මහජනතාවගේ ජීවිත උසස් කිරීමේ අරමුණින් නොවෙයි; පවතින ආණ්ඩුවලට යම්තම් මුදලක් ලබාගෙන චෞර වළල්ලට වැඩි වාසි ගෙනදෙන්නයි. ජනසතු කිරීම හෝ පෞද්ගලීකරණය කිරීම යන දෙකම ක්‍රියාත්මක කර තිබෙන්නේ ඒ පටු අරමුණින්. රට මුහුණ දී තිබෙන අර්බුදයෙන් මහජනතාව ගොඩගැනීම නොව බලයේ සිටින කණ්ඩායම තවදුරටත් බලය පවත්වාගෙන යන්නේ කොහොමද කියන ප්‍රශ්නයට උත්තර සොයා ගන්න අයි.එම්.එෆ්. නියෝග අනුව ඔවුන් ක්‍රියාකරනවා. එකම උත්තරය අයි.එම්.එෆ්. පමණක් බව ජනගත කරන්න උත්සාහ කරනවා. වෙනත් විකල්ප නැහැ, වෙනත් ආකාරයකට ක්‍රියාකළ නොහැකියි යනුවෙන් මතයක් හැදීමම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්. ඔවුන් මිථ්‍යාව සමාජගත කරමින් සඟවා තබන ප්‍රධාන කරුණු රැසක් අයි.එම්.එෆ්. වාර්තාවේ තිබෙනවා.
ආදායම් පාලනයත් වියදම් කළමනාකරණයත් සිදුකළ යුතු බව අයි.එම්.එෆ්. එක නියෝග කර තිබෙනවා. ආර්ථිකය ගමන් කරන දිසාව, මිනිසුන්ගේ ජීවන තත්වය කඩාවැටීම, ව්‍යාපාර කඩාවැටීම වැනි කරුණු ඔවුන්ට අදාළ වෙන්නේ නැහැ. විචක්ෂණභාවයකින් තොරව වැට් බද්ද වැනි බදු පනවන්නේ ඒ නිසයි. පවතින දූෂිත ආර්ථික ක්‍රමය ඇතුලේ ඔවුන්ගේ ඇස්තමේන්තුගත ඉලක්කවලටවත් යන්න ලැබෙන්නේ නැහැ. වක්‍ර බදු සියයට සියයකින් පමණ වැඩිකර ආදායම් ඉහළ දමා ගැනීමට ඔවුන් දරන උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් වියදම් කළමනාකරණයට අදාළව අකාර්යක්ෂමතාවය සහ නාස්තිය අඩුකර ගන්න ඔවුන් උත්සාහ කරන්නේ නැහැ. ආදායම් වැඩිකර ගැනීමේ සහ වියදම් අඩුකර ගැනීමේ උපක්‍රම දෙකෙන් එකක් වත් මේ ආණ්ඩුවට ලෙහෙසියෙන් කර ගත හැකිවෙන්නේ නැහැ. අයි.එම්.එෆ්. එක ප්‍රධාන නිර්ණායක තුනක් ආණ්ඩුවට ලබාදී තිබෙනවා. පළමුවැන්න 2025 වන විට ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන 2.3 දක්වා වර්ධනය කර ගන්න ඕනෑ. දෙවනුව 2032ට පෙර ආණ්ඩුවේ සමස්ත ණය බර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 95% දක්වා අඩුකර ගන්නත් වාර්ෂික ණය ගැනීමේ අවශ්‍යතාවය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 14% දක්වා 2030 වන විට අඩුකර ගන්නත් ඕනෑ.
ආණඩුවේ ආදායම් සහ වියදම් කළමනාකරණයෙන් මෙම ඉලක්ක සම්පූර්ණ කර ගන්න බැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපේ සාගරය, භූමිය ඇතුළු ඕනෑම දෙයක් විකුණන්න උත්සාහ කරනවා. මේ විකිණීමෙන් අරමුණු දෙකක් ඉටුකර ගන්නවා. අයි.එම්.එෆ්. එකේ නිර්ණායක තුන සම්පූර්ණ කරන අතර ඩොලර්වලට විකිණීමෙන් ආණ්ඩුවේ වියදම්වලට මුදල් උපයා ගැනීම වගේම විදේශ සංචිත ගොඩනගා ගැනීමටත් පෙළඹෙනවා. අර්බුදයක් තිබෙන මොහොතක රටට ආයෝජකයන් එන්නේ නැහැ. එනවා නම් එන්නේ දේශපාලනික මැදිහත්වීම් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විදේශ ආයෝජකයන් පමණයි. විකිණීමට යන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් එක් උදාහරණයක් හැටියට ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම ගතහොත් 2023 රුපියල් බිලියන 40ක මෙහෙයුම් ලාභයක් අත්කර ගෙන තිබෙනවා. මේ ආයතනය පාඩු ලබන්නේ කළමනාකාරිත්වයෙන් ගන්නා වැරදි තීන්දු තීරණ සහ දේශපාලන තීන්දු නිසයි. මේ ආයතනය සේවකයන්ගේ ප්‍රශ්න නිසා පාඩුවෙනවා නොවෙයි. සේවක පිරිවැය ගත්තත් මේ ආයතනයේ සමස්ත වියදම්වලින් 6%යි. අවුරුදු ගණනාවක් තුළ මේ ආයතනයේ අලාභය රුපියල් බිලියන 612ක් විතර එකතුවී තිබෙනවා. පළමුවෙනි මොහොතේ සිට කළමනාකාරිත්වය ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත්තා නම් මේ වැනි තත්වයකට වැටෙන්නේ නැහැ. සැඟවුණු කතාව ඇතුලේ මෙන්න මේ වගේ කරුණු රැසක් තිබෙනවා.
මේ පිටුපස තිබෙන්නේ ආර්ථික අපරාධ. ඒ අතරේ තවත් තක්කඩි වැඩ කරන්න සූදානම් වෙනවා. ගිණුම්කරණ විජ්ජා මගින් බිලියන 102ක් භාණ්ඩාගාරයෙන් ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමට ආයෝජනය කිරීමේ සූදානමක් තිබෙනවා. මහජනතාවගේ මුදල් තමන්ට රිසිසේ යොදවන මේ ආකාරයේ සාපරාධී ක්‍රියා රැසක් තිබෙනවා. මේ උදාහරණය පමණක් ගත්තත් ආර්ථිකය වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන මහජනතාවගේ ජීවිත උසස් මට්ටමට පත්නොකරන බව තහවුරු වෙනවා. අනවශ්‍ය පුද්ගලීකරණය කිරීමෙන්, මහජන දේපළ විකිණීමෙන් විශාල බිඳවැටීම් සිදුවී ඇති බව ගෝලීය උදාහරණ මගින් පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම බලශක්ති, මූල්‍ය, වගේ ක්ෂේත්‍රවල රාජ්‍ය අංශයේ මැදිහත්වීම ඉතාමත්ම වැදගත්. සමස්ත ආර්ථිකයටම සහ මහජනතාවගේ ජීවිතවලට මේ ක්ෂේත්‍ර ඍජුවම බලපානවා. අයි.එම්.එෆ්. එකට හිරවුණු ග්‍රීසිය ඔවුන් සතුව තිබූ දුම්රිය, වරාය, වැනි ආයතන විකුණා උත්තර සොයන්න උත්සාහ කළා. නමුත් විශාල මහජන විරෝධයක් ඒ රටවල ඇතිවී තිබෙනවා. අපි උත්සාහ කළ යුත්තේ කෙසේ හෝ විකුණා දැමීමට මේ දූෂිත කණ්ඩායම ගෙනයන උත්සාහය කෙසේ හෝ පරාජය කිරීමටයි. එය පමණක් ප්‍රමාණවත් නැහැ. ඊට එහා ගොස් දේශපාලන තීන්දු මහජනතාව විසින් ගත යුතු වෙනවා. නීත්‍යානුකූල හෝ සදාචාරමය වැනි කිසිම පැත්තකින් බලයේ සිටීමට අයිතියක් නැති ආණ්ඩු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකරනවා. මේ සියලු ක්‍රියාමාර්ගවල අවසානය වී තිබෙන්නේ ඔවුන් විසින් මනුෂ්‍යත්වයට එරෙහි සාපරාධී අපරාධ සිදුකිරීමයි. මේ තත්වයෙන් මිදීමේ සාමූහික මෙහෙයුමක් අපි සියලුම දෙනා විසින් සිදු කළ යුතු වෙනවා.
-Colombo, January 01, 2024- දැනට ලෝකයේ සම්මත දින දර්ශනයට අනුව 2023 වසර අවසන්වී නව වසරකට අපි පා තබා සිටිමු. සෑම නව වසරක උදාවේදීම අපේ ජනතාව සුබ අලුත් අවුරුද්දක් සඳහා එකිනෙකාට සුබ පතන ලදී. එහෙත් සම්ප්‍රදායට කරනු ලබන හුදු සුබ පැතුම්වලින් කිසිදු අවුරුද්දක ජීවිතය සුබ නොවූ බව අපි අත්දැකීමෙන් දනිමු. එබැවින් අලුතින් ලැබූ 2024 වසරේදී සුබ […]
-Colombo, January 01, 2024-
දැනට ලෝකයේ සම්මත දින දර්ශනයට අනුව 2023 වසර අවසන්වී නව වසරකට අපි පා තබා සිටිමු. සෑම නව වසරක උදාවේදීම අපේ ජනතාව සුබ අලුත් අවුරුද්දක් සඳහා එකිනෙකාට සුබ පතන ලදී. එහෙත් සම්ප්‍රදායට කරනු ලබන හුදු සුබ පැතුම්වලින් කිසිදු අවුරුද්දක ජීවිතය සුබ නොවූ බව අපි අත්දැකීමෙන් දනිමු. එබැවින් අලුතින් ලැබූ 2024 වසරේදී සුබ පැතුම්වලට සීමා නොවී සැබෑ ලෙසම මෙම වසරත් මෙම වසරින් ඇරඹෙන අනාගතයත් සුබ කර ගැනීමට අප අදිටන් කර ගත යුතුය. නව වසරේ අපගේ පැතුම විය යුත්තේ එයය.
2024 නව වසර එළඹෙන්නේ අර්බුද දුෂ්කරතා හා අභියෝග රැසක් රැගෙනය. එහෙත් ඒ අතරම මෙකී සියලු අර්බුද හා දුෂ්කරතා ජයගත හැකි අවස්ථාවක්ද මේ නව වසර තුළ අප ඉදිරියේ තිබේ. පසුගිය වසරට වඩා මේ නව වසරේ විශේෂය වන්නේ එයය.
නව වසරේ අභියෝග විශාලය. පසුගිය 2022 වසර තුළ පුපුරා ගිය ආර්ථික අර්බුදය තව දුරටත් වර්ධනය වෙමින් තිබෙන අතර රනිල් – රාජපක්ෂ පාලනය අර්බුදයේ සමස්ත බර ජනතාව මත පටවනු ලැබ තිබේ. 2024 නව වසර එළඹෙන්නේ අයිඑම්එෆ් එකඟතාවලට අනුව වැඩිකරන ලද වැට් බදු බරද සමගය. වැට් බද්ද 15% සිට 18% දක්වා වැඩිවෙන අතර මෙතෙක් වැට් බද්ද පනවා නොතිබූ භාණ්ඩ වර්ග 97කට අලුතින්ම බදු පැනවේ. ඒ භාණ්ඩ අතර ඩීසල්, පෙට්‍රල්, විදුලි බිල, පාසල් උපකරණ, කෘෂි උපකරණ, පොහොර හා ආදාහන කටයුතුද වේ. රනිල් -රාජපක්ෂ බදු ගැහිල්ලේ තරම කෙතරම්ද යත් ජීවත්ව සිටිනතාක් කල් පමණක් නොව මියගිය පසුද බදු ගෙවීමට ජනතාවට සිදුවේ.
අලුතින් පැනවෙන බදු බරත් සමග ප්‍රවාහන ගාස්තු ඉහළ යාම, නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් එකතු වූ විට අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල දරාගැනීමට නොහැකි තරමින් ඉහළ යාම නොවැළක්විය හැකිය. එවිට ජනතාවට තව දුරටත් ජීවත්වීමට නොහැකි තත්වයක් ඇතිවනු ඇත. මේ සමග දැනටමත් බිඳවැටෙමින්, වැසීයමින් පවතින දේශීය කර්මාන්ත ව්‍යාපාර හා කෘෂිකර්මාන්තය පවා අවසන් හුස්ම හෙළන තත්වයට පත්වනු ඇත.
දැනට වසර 40කට වැඩි කාලයක් තිස්සේ මෙරට පවත්වාගෙන යන බංකොලොත් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියට අනුවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුවත් ජනතාව මත පැටවෙන අධික බදු බරට අමතරව රටේ ඉතිරි සම්පත් ටිකද විකුණා දමනු ඇත. ජලයට බදු අයකරන පනත් දැන් සූදානම්ය. විදුලිබල මණ්ඩලය, ටෙලිකොම් පමණක් නොව කිරි හරක් ටික පවා විකිණීමට රනිල් රාජපක්ෂ පාලනය සූදානම්ය. මෙරට රජයට අයත් කිරි ගොවිපල 32ක් ඊට අයත් ඉඩම් අක්කර 28,000ක් සමග අමුල් සමාගමට බදු දීමට දැන් සියල්ල සූදානම්ය.
ආර්ථිකයේ දිගින් දිගට සිදුවන මෙම විශාල කඩා වැටීමත්, භාණ්ඩ හා සේවාවල මිල ඉහළයාමත් විසින් ජනතාවට තව දුරටත් පැරණි ක්‍රමයෙන් ජීවත්වීමට බැරි තත්වයක් උදාවන බවද පැහැදිලිය. එවිට සමාජ සංස්ථාව තව දුරටත් කඩා වැටී අපරාධ, හොරකම්, වංචා ආදියද ඉහළ ගොස් ජනතාවට තම අනාගතය පිළිබඳ නැවත සිතීමට බලකරන තත්වයක් නිර්මාණය වනු ඇත.
ඒ අතරතුර ආණ්ඩුව ජනතාව මර්දනය කිරීමට නව මර්දන පනත්ද සූදානම් කරමින් සිටී.
දැනටමත් සිදුවෙමින් තිබෙන පරිදි මෙම අර්බුද හා අභියෝග විසින් ජනතාවට ජීවිතයේ විශාල අත්දැකීම් උගන්වනු ඇත. වසර 75ක් තිස්සේ පවත්වාගෙන ආ තට්ටුමාරු දේශපාලන ගමන තවදුරටත් රැගෙන යන්නේද යන්න පිළිබඳ ගැඹුරින්ම සිතා බැලීමට සමස්ත පුරවැසියාට මේ තත්වය බලකරනු ඇත. එසේම 1978 සිට පවත්වාගෙන යන මේ නව ලිබරල්වාදී කොල්ලකාරී ආර්ථික ක්‍රමයත් ඒ මත නිර්මාණය කර ඇති දූෂිත මජර දේශපාලන සංස්කෘතියත් තවදුරටත් ඉවසා සිටිනවාද නැද්ද යන්න තීරණය කිරීමටද ජනතාවට මෙම තත්වය බල කරනු ඇත.
රටක් සතු සියලුම සම්පත් විදේශ රටවලට, සමාගම්වලට විකුණා දමමින්, බදු දෙමින් තව තවත් ණය ගනිමින් රටක් හා ජනතාවක් ප්‍රපාතයට විනාශයට ඇදගෙන යන වර්තමාන පාලන ක්‍රමය තවදුරටත් ඉවසා සිටින්නේද යන්න තීරණය කිරීමටද ජනතාවට සිදුවනු ඇත.
ඉතින් මේ සියලු විනාශයන්ගෙන්, අර්බුදයන්ගෙන් රට මුදාගෙන අභියෝග ජයගනිමින් අලුත් ආර්ථික දේශපාලන ගමනක් ආරම්භ කිරීමේ අවස්ථාවද මේ නව වසරේම ජනතාවට උදාවී ඇත. ඒ ව්‍යවස්ථාවට අනුව පැමිණීමට නියමිත අනිවාර්යයක් වූ ජනාධිපතිවරණයයි. එම ජනාධිපතිවරණය අපේ රට අලුත් මඟකට, ජයග්‍රාහී මඟකට යොමු කිරීමේ මඟහැර යා නොහැකි අවස්ථාව වනු ඇත.
රටක ඉතිහාසය ගොඩනගන්නේ ජනතාව විසින් බව සැබෑය. එහෙත් අපේ රටේ ඉතිහාසයේ ගමන් මඟ තීරණය කළේ දූෂිත පරපුටු ප්‍රභූ පාලක පිරිසක් විසිනි. එබැවින් එම වැරැදි ඉතිහාසය ජනතාව විසින්ම නිවැරදි කළ යුතුය. මෙම නව වසර ලංකාවේ ඉතිහාසය අලුතින් ලියන වසරක් පමණක් නොව ලාංකේය ජාතිය සැබෑ ලෙසම ගොඩනගන නව නිදහස් අරගලයක ජය ගෙනෙන වසරක් බවටද පත්කර ගත යුතුය. ඒ, පසුගිය ඉතිහාසය පුරා මෙරට පාලනය කළ දූෂිත පවුල් පාලනයන් විසින් මෙරට ආර්ථික වශයෙන් බංකොලොත් කර ඇති නිසාත්, දේශපාලන වශයෙන් පරාධීන කර ඇති නිසාත්, ජාතික වශයෙන් අසමත් කර ඇති නිසාත්ය. අප අපේ සැබෑ නිදහස, සවෛරිභාවය, ස්වාධීනත්වය යළි දිනාගත යුතුය. ලාංකේය ජාතිය ගොඩනැගිය යුතුය. ලංකාවේ අභිමානය ආරක්ෂා කර ලංකාව ලෝකයා හමුවේ දෙපයින් නගා සිටුවිය යුතුය; එය කළ හැකිය.
ඒ අනුව 2024 නව වසර සැබැවින්ම ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගත් ජනතාවක් විසින් අඳුරු අතීතය වෙනස් කර පැහැබර අනාගතයක් උදෙසා ඉතිහාසය අලුතින් ලියන, ඉතිහාසය අලුතින් ගොඩනගන, වසරක් බවට පත්කර ගත යුතුයයි අපි උදක්ම විශ්වාස කරමු. ඒ සඳහා ජනතාව අධිෂ්ඨානයෙන් පෙළගැසෙමින් එන පෙර මග ලකුණුද අපි දැන් දකිමින් සිටිමු.
එබැවින් පරාධීන, බංකොලොත් රටක අඳුරු වේදනාබර අතීතය මකාදමා රටේ ඉතිහාසය අලුතින් ලිවීමට, ආර්ථික ස්වාධීනත්වය, සමාජ සාධාරණත්වය, මානව ගරුත්වය සහිත නව සමාජයක් ගොඩනගා ගන්නට ධෛර්යෙන් පෙරට එන ලෙස සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ හා සියලුම ආගම් අදහන සියලු දෙනාගෙන්, නිෂ්පාදකයන්, ව්‍යාපාරිකයන් ආදී ප්‍රගතිශීලී සියලු බලවේගවලින් ඉල්ලා සිටින අප ඒ සඳහා ඔවුන් සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවායි ඉත සිතින් පතන්නෙමු.
අනුර කුමාර දිසානායක
නායක
ජාතික ජන බලවේගය
2024.01.01
-Colombo, December 31, 2023- දෙදහස් විසිතුන වසර නිමාකරලා දෙදහස් විසිතරට පය තබන්න තව දවසක් විතර තිබෙන්නේ. හැබැයි 2024 නව අවුරුදු උදාව වේලාසනින්ම මාතරට ඇවිල්ලා. මේ අපේක්ෂා සහගත බලාපොරොත්තු සහගත සතුට පිරුණු මුහුණුවල තිබෙන්නේ 2024 ජයග්‍රාහී වසරක් බවට පත්කර ගැනීමයි. භූ කම්පනයක් හේතුකොට ගෙන ලංකාවට සුනාමි අනතුරක් ඇති බව අද පාන්දර ප්‍රවෘත්තියකින් කියවුනා. පසුව දවල් එම […]
-Colombo, December 31, 2023-
දෙදහස් විසිතුන වසර නිමාකරලා දෙදහස් විසිතරට පය තබන්න තව දවසක් විතර තිබෙන්නේ. හැබැයි 2024 නව අවුරුදු උදාව වේලාසනින්ම මාතරට ඇවිල්ලා. මේ අපේක්ෂා සහගත බලාපොරොත්තු සහගත සතුට පිරුණු මුහුණුවල තිබෙන්නේ 2024 ජයග්‍රාහී වසරක් බවට පත්කර ගැනීමයි. භූ කම්පනයක් හේතුකොට ගෙන ලංකාවට සුනාමි අනතුරක් ඇති බව අද පාන්දර ප්‍රවෘත්තියකින් කියවුනා. පසුව දවල් එම තත්වය පහව ගියා කියලා නැවත ප්‍රවෘත්තියක් පළවුනා. නමුත් මාතරට ගැහැනු සුනාමියක් ඇවිත් කියලා මේ පිටිය දැක්කම පේනවා.
ගෙවී යන අවුරුද්දේ ජනවාරි මාසය ආරම්භ වුණේ මැතිවරණ උණුසුමත් එක්ක. ජනවාරි 05දා පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ පාලක කණ්ඩායම අපේක්ෂා නොකළ බලයක්, මැතිවරණ ව්‍යාපාරය තුළ ජාතික ජන බලවේගයට ගොනඟන්න අපි සමත් වුණා. ඡන්දවලට ඇති වන රැලි ඡන්ද කල්දැමීමෙන් නතර කරන්න පාලකයන් කල්පනා කළා. ඒ නිසා මාර්තු 09දා පැවැත්විය යුතුව තිබුණු පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25ට කල් දැම්මා. නැවත දින නියමයක් නොමැතිව කල්දැම්මා. අදටත් ඒ ඡන්දයට දිනයක් නියම කර නැහැ. මැයි, ජූනි මාසවන විට සමහර අය තුළ යම් අපේක්ෂා භංගත්වයක් තිබුණා. නමුත් අපට අත්හැරුණු තැන්, සාර්ථක කර ගත නොහැකිව තිබූ තැන්, සියල්ල සම්පූර්ණ කර ගනිමින්, අපි ඉදිරියට ආවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය පිහිටුවීම නිසා ආණ්ඩුව ඇතුලේ විශාල බියක් සහ කැළඹිල්ලක් ඇති කරමින් එය වර්ධනය වෙනවා. ඒ වගේම වෘත්තියවේදීන්ගේ සංවිධාන, ධීවර සමුළු, කාන්තා සමුළු පවත්වමින් දැවැන්ත ව්‍යාපාරයක් හැටියට ඉදිරියට ඇවිත් 2023 අභිබවා යන මහා බලගතු ව්‍යාපාරයක් හැටියටයි 2024ට අපි පා තබන්නේ.
තවත් අලුත් පියවරකින් 2024ට පා නගන්න අපි තීරණය කළා. චාටුබස්වලින්, බොරුවෙන්, කුඩා කුඩා මෙවලම් බෙදීමෙන් ගැහැනුන්ව රවටා ගන්න විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ සමත් වුණා. ඔහු ගොඩනැගූ දේශපාලන සංස්කෘතිය අපේ ගමේ ගැහැනුන්ව ඉලක්ක කර ගත් සංස්කෘතියක්. දැනුත් විවිධ අවස්ථාවලදී ඔහු එවැනි ප්‍රකාශ කළත්, අද ජාතික ජන බලවේගයේ මැදිහත් වීමෙන් හුදු ඡන්දයක් ලබාගැනීමේ ගැහැනිය වෙනුවට සමාජය පරිවර්තනය කිරීම සඳහා අත්වැල් බැඳගන්නා ගැහැනුන් බවට ඔසවා තබා තිබෙනවා. 2024 ජයග්‍රහණය ගැන අපටත් කුකුසක් තිබුණා නම්, අද එය මුළුමනින්ම ඉවරයි. අන් කවරදාටත් වඩා වැඩියෙන් අවදියෙන් සිටිය යුතු, කල්පනා කළ යුතු, ක්‍රියාකාරී විය යුතු, වෙලාවක් මේක. ඔබට දැන් මොනවාද ඉතිරි වී තිබෙන්නේ. අවුරුදු 13, 14 වයසේ දැරිවියන් පවා උපදේශන සේවාවන් ලබාගත යුතු තත්වයට සමාජය බිඳ වට්ටවා අවසන්. අපේ රටේ සංස්කෘතිය, බැඳීම, මානව සම්බන්ධතා එක්ක අම්මා සහ දරුවන් අතර බැඳීම කොතරම් ප්‍රබලද? දැන් ඔබට ඔබේ දරුවා පිළිබඳව බලාපොරොත්තු තැබිය නොහැකි මේ සමාජය වෙනස් කිරීමට පෙළ ගැසිය යුතුයි. සමහර දරුවන් විශාල වශයෙන් මත්ද්‍රව්‍ය උවදුරේ ගොදුර බවට පත්වීමෙන් මව්වරුන් සහ සොහොයුරියන් විශාලතම කම්පනයකට පත්වී සිටිනවා. ඔබගේ දරුවා එවැනි ඛේදනීය ඉරණමකට ගොදුරු නොවේ යැයි ඔබට කිව හැකිද? සමාජය කඩා වැටීමේ මහා ව්‍යසනයේ ගොදුර අපේ රටේ ගැහැනිය සහ දරුවන්.
නිල වාර්තාවලට අනුව පවුල්වලින් 20% ගැහැනුන් ගෘහස්ත හිංසනයට ගොදුරුවන බව හෙළිකර තිබෙනවා. සතුට, විනෝදය, ජීවිතය නැති මිරිකුණු ගැහැනුන් සමුදායක් අප ඉදිරිපිට ඉන්නවා. මෙය අපි වෙනස් කළ යුතුයි. ඊයේ නිකුත් වුණු වාර්තාවක් අනුව අවුරුදු 3ත් 16ත් අතර පාසල් යන දරුවන්ගෙන් 55%කගේ වියදම් කපා හැරලා. පොත් සහ පාසල් උපකරණ මිලදී ගන්න බැහැ. තවත් සියයට හතළිස් ගණනක් බාහිර ටියුෂන් පන්ති යාම අත්හැරලා. ජනවාරි පළවැනිදා සිට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා විශාල ප්‍රමාණයකට වැට් බදු ගහන්නේ, මේ පසුබිමේ සිටයි. ආර්ථිකයේ වැදගත් සාධකවලට, ආර්ථිකය ඉදිරියට යාම සඳහා බාධාවන භාණ්ඩ හා සේවාවවලට මෙයට පෙර වැට් බද්ද ගැහුවේ නැහැ. ඒ වගේම ජීවිතයේ අත්‍යවශ්‍යදේවලට ගෑස්, කිරි නිෂ්පාදන, පාසල් උපකරණ, මත පවා ජනවාරි පළවැනිදා සිට වැට් බදු ගහනවා. 2023දී දැනුණු ආර්ථික පීඩාවට වඩා වැඩි පීඩාවක් ජනවාරි පළවැනිදා සිට ඇති වෙනවා. වැඩකිරීමේදී පවුලේ ප්‍රමුඛයා වී සිටි ගැහැනුන් ජීවිතයේදී අන්තිමයා බවට පත්කර සිටින ජීවිතය ඕනෑද? ඒ වගේම මාතරින් කොළඹ යන සහොදරියන් නැවත ගෙදර එන තුරු වතුර උගුරක් නොබී සිටීමට තරම් ප්‍රවේශම් වෙනවා. තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට පහසුකම් සලසා නැති මෙහෙම ජීවිතයක් තවදුරටත් ඕනෑද? මේ රටේ පාලකයන් 75වසරක් අපේ රට හපයක් බවට පත්කළා හා සමානවම කාන්තාවන් හපයක් බවට පතකර තිබෙනවා.
ගැහැනියක් හැටියට ඉපදී ගැහැනියක් හැටියට මිය යන විට තමන්ගේ ජීවිතයේ අත්පත කර ගත යුතු අවම උවමනාවන් වත් ඉටුකර ගත නොහැකි වු ගැහැනියක් හැටියට මිය යාමට සලසා තිබෙන ක්‍රමය අපි වෙනස් කරන්න ඕනෑ. රූපවාහිනී නාලිකාවල උදේ හතහමාරෙන් පස්සේ සාස්තර කියන අය ගෙන්වා ගන්නවා. මිථ්‍ය මතවලින් කාන්තාවන් රවටන්න විවිධ වැඩසටහන් උපයෝගී කර ගන්නවා. සමහර සාස්තරකාරයෝ රූපවාහිනි නාලිකාවලට ගෙවීමක් කර, කාලය ලබා ගන්නවා. ඉන්පසු ප්‍රචාරය කරන වෙළඳ වැඩසටහන් පවා එහෙමයි. හැබැයි ජාතික ජන බලවේගය අද ගැහැනුන්ගේ ශක්තිමත් කර තිබෙන්නේ එවැනි විෂබීජවලට හැරවිය නොහැකි ආකාරයටයි. දේශපාලනය වෙනස් කිරීමෙන් තොරව ඛේදවාචකයන්ගෙන් මිදී ජීවත්වීම ආරම්භ කරන්න බැහැ. ඒවගේම දේශපාලනයෙන් පමණක් මේ වෙනස් සිදුකරන්න බැහැ. මේ කඩා වැටුණු ආර්ථිකය ප්‍රකෘතිමත්භාවයට පත්කරන්න බිඳ වැටුණු සමාජය කාන්තාවන් ලෙස තමනගේ මව, සොහොයුරිය වශයෙන් බලන සමාජයක් ගොඩනැගිය යුතුයි. ගැහිනිය තවදුරටත් කෙළිබඩුවක් වෙනවා වෙනුවට යුක්තිය, සාධාරණත්වය, සමානත්වය පදනම් කර ගත් ආධ්‍යාත්මයට යළි පණ දිය යුතුයි. ඒ සියල්ල කළ හැකි වන්නේ දේශපාලන පරිවර්තනයකින් ආරම්භය ගැනීමෙන් පමණයි. නව පුනරුද ව්‍යාපාරයක් නවජාතික ව්‍යාපාරයක් ඔස්සේ දැවැන්ත සමාජ පරිවර්තනයක් සිදුකළ යුතුයි. ජාතික ජන බලවේගයේ ගැහැනු ව්‍යාපාරය කියන්නේ මේ රට පුනරුදය කරා ගෙනයන ප්‍රධානම බලවේගය වන පංගුකාරියන්ගේ සංවිධානයයි.
රනිල් වික්‍රමසිංහ අර්බුදය තේරුම් ගත්තේ ඩොලරය ඉහළ පහළ යාමෙන්, අයවැය හිඟය අඩුවැඩි වීමෙන්, වියදමට භාණ්ඩාගාරයේ මුදල් තිබෙනවාද නැද්ද කියන කාරණය අනුවයි. රනිල් වික්‍රමසිංහ ඇතුළු නඩයට අර්බුදය පෙනෙන්නේ ගිණුම්වලින් සහ සංඛ්‍යා දත්තවලින්. අපි සහ ඔබට මේ අර්බුදය පෙනෙන්නේ ජීවිතවලින්. ජීවිතවල තත්වය දත්තවලින් කියාපෑම ගැන ජාතික ජන බලවේගය අවධානය යොමු කරනවා. තමන්ගේ ජීවිත කාලයේ අසීරුම අවස්ථාව ගතකරමින් සිටින ජනතාවට ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් කියනවා අවුරුදු 25කට පසුව 2023 වියදම් මේ වර්ෂය මුලදීම පියවා අවසන් බව. ආර්ථිකය කඩා වට්ටවා, සමාජය පතුළටම බිඳ දමා, අපරාධ වර්ධනය කර, අයුක්තිය තහවුරු කළ අසාධාරණය කෙළ පැමිණි අපරාධකාරයින් පාලනය කරන රටක් නිර්මාණය කර, ඔවුන් ගිණුම්කරන දත්තවලින් ජයග්‍රහණ ගැන උදම් අනනවා. කඩා වැටුණු රට ගොඩගත හැකි වන්නේ නව ජාතික පිබිදීමකින්. අපි සියලු දෙනා ක්‍රියාකළ හොත් පමණයි. එළඹෙන වසරේ දේශපාලන වෙනස සිදු නොකරන්නේ නම්, ගැහැනු ඔබට තව තවත් අවමානයට ලක්වෙන්න පුළුවන්. මේ පීඩනයේ ගොදුරු බවට තව තවත් පත්වෙන්න පුළුවන්. තව තවත් හූල්ලමින් දරුවන් සම්බන්ධයෙන් අපේක්ෂා භංගත්වයට පත්වෙන්න පුළුවන්. අපි ඔබට යෝජනා කරන්නේ හූල්ලමින් සිටින ජීවිතයක් නොවෙයි.ශක්තිසම්පන්නව ඉදිරියට පැමිණ මෙය වෙනස් කිරීමට සංවිධානය වන ලෙයසි.
දශක ගණනාවක් මාතර දිස්ත්‍රික්කය තුළ දේශපාලන ක්‍රියාකාරකම් කර තිබුණත් ඒ හැම එකකටම වඩා වැදගත්ම අවස්ථාවටයි, අද මා මේ සම්බන්ධවී සිටින්නේ. මෙතෙක් සහෝදරියන් තුළ තිබූ නිහඬතාවය, නිද්‍රාශීලිත්වය, මුළුමනින්ම ඉවත් කර, දිස්ත්‍රික් සමුළුවක් ලෙස පවත්වන, දැවැන්තම කාන්තා බලවේගය එකතු කොට තිබෙනවා. අපේ රටේ තිබුණු පිරිමි කේන්ද්‍රගත කොට ගත් දේශපාලනය වෙනුවට ඉතාම ශක්තිමත් ක්‍රියාකාරී මැදිහත්වීමකට ගැහැනුන් ඉදිරියට පැමිණ සිටිනවා. රැවටිලිවලට මුලාවන, ගෙදර මුල්ලකට කර තිබූ කාන්තාව තුළ සැඟවුණු විශාල ශක්තිය මුදාහරිමින් අද පෙරමුණට ඇවිත් සිටිනවා. ලංකාවට විදේශ විනිමය වැඩිපුරම උපයාගෙන විදෙස්ගත ශ්‍රමිකයන් හැටියට විශාල ගැහැනුන් පිරිසක් ක්‍රියාකරනවා. ඊළඟට ආසන්න වශයෙන් ඩොලර් බිලියන පහක වැඩිම විදේශ විනිමය උපයා දෙන ඇඟලුම් කර්මාන්තයේ නියැලී සිටින විශාලතම පිරිස ගැහැනුන්. තුන්වන වැඩිම විදේශ විනිමය ප්‍රමාණය උපයාදෙන තේ කර්මාන්තයේ විශාලතම පංගුව දරන්නෙත් ගැහැනුන්. තව පැත්තකින් පාසල් අධ්‍යාපනයේ 70%ක් පමණ සිටින්නේ ගුරුවරියන්. සෞඛ්‍ය සේවයේ වැඩි පංගුවක් තිබෙන්නේත් ගැහැනුන් අතේ. ඒ නිසාම පවතින ක්‍රමය වෙනස් කිරීමේ වැඩිම දේශපාලන සක්‍යතාවය තිබෙන්නේත් ගැහැනුන් අතේ.
මේ රට ගොඩගන්නා ප්‍රධානම බලවේගය බවට ගැහැනිය පරිවර්තනය කළ යුතුයි. පැරණි කියමන් පැරණි යථාර්ථයන් සියල්ල පැත්තකින් තබා නව රටක්, නව ලෝකයක්, ගොඩනැගීමේ පුරෝගාමී වැඩකොටස කරන ගැහැනුන් බවට පත්වීමේ ස්ථිර අධිෂ්ඨානය ඇතිකර ගන්න ඕනෑ. ලංකාව පුරා මෙවැනි සමුළු පවත්වා ගැහැනුන් ප්‍රබල ලෙසම බල ගන්වනවා. මේ රට නැවත ජාතික පිබිදීමේ මාවතකට ගෙන එන්න ඕනෑ. ඉන්දියාවේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව දැවැන්ත ජාතික ව්‍යාපාරයක් තිබුණා. නේරු, ගාන්ධි, චන්ද්‍රබෝස්, පාතෙල්, ඇති කළ ජාතික ව්‍යාපාරයේ පිබිදීම නිසා අද ඉන්දියාව සඳ තරණය කරන මට්ටමට පැමිණ සිටිනවා. දෙවන ලෝක යුද්ධයේදී ඇමෙරිකානු පරමාණු බෝම්බ හෙළීමෙන් සමතලා වුණු ජපානය අධිෂ්ඨානයෙන් නැවත නැගී සිටියා. චීනය, වියට්නාමය වගේ රටවල් ගත්තත් නව ලෝකයේ තාක්ෂණික ජයග්‍රහණයන් යොදාගෙන ආර්ථික, බලවතුන් වී සිටිනවා. එක්සත් ජනපදය බි්‍රතාන්‍ය ආධිපත්‍යයට එරෙහිව ගෙන ආ ජාතික පිබිදීම තුළින මූලාරම්භය ගත්තා. අපිට එහෙම ජාතික පිබිදීමක් තිබුණේ නැහැ. තාමත් කතා කරන්න තිබෙන්නේ 1818, 1848 නැගී සිටින් මුතුන් මිතතන් ගැන. 1848 සිට 1948 දක්වා කතා කරන්න මුතුන්මිත්තන් අපිට නැහැ. ඉන්දියාවේ ගාන්ධිලා, නේරුලා, පාතෙල්ලා බිහිවන විට අපිට හැදුණේ ස්ටීවන්ලා, ජූනියස් රිචඩලා, රිජ්වේලා, සොලමන් ඩයස්ලා වගේ අය. ජාතිය අවධිකරන සටනක් අපට තිබුණේ නැහැ. ජාතික හැඟීමකින් රට නැගිට්ටවනවා වෙනුවට සිංහලයාට විරුද්ධව දෙමළාත්, දෙමළාට විරුද්ධව මුස්ලිම් කෙනාත් නැගිට්ටවන දේශපාලන සංස්කෘතියක් බිහිකර මහා ඛේදවාචකවලින් කෙළවර වුණා. මේ රටට නැවත පණ දෙන, කඩා වැටුණු රාජ්‍යය ගොඩනඟන, සුණු විසුණුකර තිබෙන සමාජය ඒකාග්‍රතාවයකට ගේන පොදු ජනයා අතට යුක්තිය සාධාරණය ගලාඑන නව සමාජ ක්‍රමයක් අවධි කරන්න ඕනෑ. ඒ සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික ඒකාග්‍රතාවය ගොඩනඟන්න ඕනෑ. එය ගොඩනැගිය යුත්තේ බලය ලබා ගැනීම සඳහා පමණක් නොවෙයි. බලය ලබාගෙන රට ගොඩනැගීම සඳහායි. එහෙම නැතිව මාතෘ භූමියත් එහි වෙසෙන ජනයාත් මේ ඛේදනීය තත්වයෙන් ගොඩගන්න බැහැ. කඳුළු හෙළමින්, සෝ සුසුම් හෙළමින් තිබෙන මාතෘ භූමියටත් එහි වෙසෙන ජනයාටත් නිදහස් ජීවිතයක් ලබාදෙන නව පුනරුද යුගයක් කරා ගෙනයමු. දේශපාලන බලය අත්පත් කර ගැනීම ආරම්භය පමණයි. ඉන්පසුව වෙහෙස නොබලා වැඩකරන ඕනෑම කැපකිරීමක් කළ හැකි ජාතික ව්‍යාපාරයක් ගොඩනඟමු. ඒ වෙනුවෙන් මාතරින් ඉතාම ධෛර්යවන්ත, යෝධ පියවරක තබා තිබෙනවා. වැනෙන්නේ නැති, ධෛර්ය සමපන්න, රට ගොඩනඟන ගැහැනුන් නිර්මාණය කර තිබෙනවා. අපි සියලු දෙනා නොනැවතී ඉදිරියට යමු.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, අයිතීන් උදෙසා කාන්තා සංවිධානයේ සභාපති සරෝජා පෝල්රාජ්
මුහුදු සුනාමි අනතුරු ඇඟවිමකින් වත් නවතන්න බැරි වූ ජාතික ජන බලවේගයේ ජන සුනාමිය තමයි මේ ඉන්නේ. මේ රටේ බලය ඉල්ලපු සහ බලය අල්ලපු දේශපාලන පක්ෂ මේ රටේ කාන්තාවන්ව කතිර ගහන යන්ත්‍ර බවට පත් කළා පමණයි. පුරවැසි හිමිකම්, මානව අයිතිවාසිකම් අහිමිකර මිනිසුන්ව පාගා දමමින් මර්දනය කරමින් තිබෙනවා. ඉතාමත් ඛේදනීය ආර්ථික වටපිටාවක සමාජ හා සංස්කෘතික ජීවිතය අහිමි කළ මෑනිවරු, සහෝදරියෝ, දූවරු, වෘත්තීය ජීවිත ඇතුලේ ජීවිතයේ වටිනාකම් සියල්ල බිලිදෙමින් දැඩි වේදනාවකින් ගතකරන කාලයක් මේක. ඒ නිසා ජාතික ජන බලවේගය හැටියට අපි 52%ක් වූ රටේ කාන්තා බලය, 56%ක් වූ ඡන්ද දායක බලය නියෝජනය කරන කාන්තාවන්ගේ බලය ආර්ථික සූරාකෑමට හා සමාජ සංස්කෘතික ගිල ගැනීමට එරෙහිව තර්ජනාංගුලියක් බවට පත්කරන්න තීරණය කළා. මේ දුර්දාන්ත පාලනයට එරෙහිව, කොල්ලකාරී ආර්ථික ක්‍රමයට සහ දූෂිත දේශපාලන සංස්කෘතියට එරෙහිව කුළුගෙඩි පහර එල්ල කරන්න ගැහැනු අපි එක මිටට මාලිමාවට එකතුවී සිටින බව ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.
මාතර ග්‍රාම සේවා වසම් 650ටම කාන්තා සමිතියක් මාස දෙකක් වැනි කාලසීමාවක් තුළ පිහිටුවා හැකියාවෙන් පිරුණු කාන්තාවන්, අලුත් සංවිධායිකාවන්, ධෛර්යමත් ගැහැනුන් ගම්දනව්වලදී අපට හමුවුණා. නිවෙස්වල මුළු ගැන්වී සිටි අපේ කාන්තා විභවය සමාජ ශ්‍රමය බවට පත්කරන්න හැකිවීම අපේ විශාලතම ජයග්‍රහණය බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ රට ගොඩනැගීමේ සමාජ, ආර්ථික, සංස්කෘතික වැඩපිළිවෙළට නිසි දැක්මක් සහ නායකත්වයක් ඔස්සේ පෙරමුණ ගන්න සියලුම කාන්තාවන් සූදානම් බව මේ මාතර සමුළුවේදී තහවුරුකර තිබෙනවා.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, අයිතීන් උදෙසා කාන්තා සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ
“අරගල නොකරන්නන් තමන් බැඳි යදම් නොදකී” කියලා රෝසා ලක්සම්බර්ග් සහෝදරිය මෙසේ තිබෙනවා. සාම්ප්‍රදායික දේශපාලනය තුළ මෙපමණ කල් ගැහැනු අපට අරගල කරන්න ඉගැන්නුවේ නිවෙස් ඇතුලේ සහ කුස්සිය ඇතුලේ. අපේ පුංචි පැටව් තුරුල් කරගෙන නොකා නොබී අපි ඒ අරගලය කුස්සියේ සහ තමන්ගේ ගේ ඇතුලේ කළා. ජාතික ජන බලවේගයේ සහෝදරියන් ගෙයක් ගානේ ගිහින් කුස්සිය ඇතුලේ අරගලය පාරට ගෙනත් දේශපාලන අර්ථයක් දීලා ගැහැනියට නිදහස් ලෝකයක් ගොඩනගන්න සූදානම කියන පණිවිඩය ඉතා ඉහළින් ලබාදී තිබෙනවා.
ප්‍රභූ දේශපාලනයේ සිටි අය එදා කීවේ ගැහැනුන්ට ඡන්ද අයිතිය දෙන්න එපා කියලා. නමුත් 1931 සිට ඡන්ද අයිතිය අපි පාවිච්චි කළත් අපේ දරුවන්ට නිසි ලෝකයක් ගොඩනඟන්න අපිට බැරිවුණා. නිදහස, ආදරය, මනුස්සකම තිබෙන ලෝකයක් ගොඩනගන්න අපට බැරිවුණා. නමුත් අද වෙනකොට ඡන්ද අයිතියට දේශපාලන වටිනාකමක් දී කුස්සියට සිරකර සිටි නිර්මාණශීලී, ධෛර්යවන්ත, දේශපාලන ගැහැනිය එළියට ඇවිත් මුළු රටම අවදිකරන පණිවිඩය අද මාතරින ගත්තා. එයට මේ රටේ සාම්ප්‍රදායික දේශපාලනඥයෝ බයවී සිටිනවා. ඔවුන් බයවිය යුතුයි තමයි. ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකදී එකට අත්වැල් බැඳගෙන සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ එකට තබා පරාද කොට අපේ ලෝකය දිනාගන්න අපි සූදානම්. එය කළ හැකි වන්නේ නිෂ්පාදනයට මුල්තැන දෙන ජාතික ආර්ථිකයක් ගොඩනැගීමෙන් පමණයි. අවශ්‍ය වෙනස දේශපාලනිකව අවබෝධ කරගෙන එයට නායකත්වය දෙන්න කිසිම සුනාමියකට ගහගෙන යන්න බැරි යෝධ පවුරක් ගොඩනඟා ඒ පවුරෙන් අපි මේ රට වෙනස් කරමු.
සමාජවාදී තරුණ සංගමයේ මාතර දිස්ත්‍රික් කමිටු සාමාජිකා මල්ෂා අමාෂා
තරුණ තරුණියන් කියන්නේ ඉතාමත් උද්යෝගයෙන් ජීවිතය ගත කරන්න කැමති පිරිසක්. ඔවුන් ලස්සට අඳින්න, ඇවිදින්න යන්න, ආසා වුණත්, අවම ආශාවන් පවා හීනයක් වෙලා තිබෙන්නේ. උගත් නුගත්, වයස් භේදයකින් තොරව, සියලු දෙනාම ඉන්නේ අර්බුදයක. සිහින අත්හැරදමා අද දවසේ පමණක් ජීවත් වෙනවා කියන ඉතාමත ඛේදජනක සිතුවිල්ලක ඉන්නේ. මීට හේතුව හැටියට දකින්නේ වසර 75ක් පුරා අපේ වැඩිහිටි පරම්පරාව පාලකයින් හා ආණ්ඩු පත්කරගෙන තිබුණත්, තරුණ පරම්පරාව වෙනුවෙන් ඉදිරි ගමනක් නිර්මාණය කළේ නැහැ. වෙන රටවල තරුණයන් හඳට යන්න සිහින දකිද්දී, අපේ රටේ තරුණයන් ගෙයක් හදා ගන්න හෝ වාහනයක් ගන්න හීන දැක්කා. ඒ හීන පවා අත්හැර දමන්න දැන් සිදුවෙලා. වැඩිහිටියන් වෙත තරුණයන්ගෙන් එල්ලවී තිබෙන චෝදනා බොරු බවට පත්කරන්න අපේ මව්වරු සහ පියවරු රොද බැඳගෙන ඉන්නවා. ඒ ඔබ සියලු දෙනාට ඉතා ආදරයෙන් ස්තුති කරනවා. තරුණයන් ලෙස අපි සියලු දෙනා ඔබත් සමග එක්වී මේ රට වෙනස් කරන බව ප්‍රකාශ කරනවා.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති
මාතරදී අද සාර්ථක කාන්තා සමුළුවක් පවත්වන්නේ මාස හතරක පමණ කාලයක් පුරා ඇදහැලුණු වර්ෂාවෙන් ගම්බිම් යටවී සමහර නිවාස පවා අලාභහානිවලට පත්ව තිබුණු පසුබිමක. මේ සහෝදරියන් ගෙයක් ගෙයක් ගානේ ගිහින් ගැහැනු එක මිටට එකතු කළේ විශේෂ තත්වයක් යටතේ. ලංකාවේ කාන්තාවන් එක මිටට එකතු කරන පළවෙනි සමුළුව මාතර පවත්වමින් සුවිශාල ජයග්‍රහණයක් එක්ක සියලුම දෙනාට මගේ ප්‍රණාමය පුදකරනවා. ආණ්ඩුව වැට් ගහනකොට, ලයිට් බිල වැඩිකරන කොට, ජල බිල වැඩිකරන කොට, කුසගින්නේ බර වැඩිකරන කොට ඒ සියල්ල ගෘහය තුළදී දරාගන්න සිදුවී තිබෙන්නේ ආදරණීය අම්මලාට, ආදරණීය කාන්තාවන්ට. පසුගිය කාලය පුරාම රනිල් වික්‍රමසිංහ පොහොට්ටු මහ පාලනයෙන් අපේ ගෘහ පාලනය අවුල් කළා. අයහපත් දේශගුණතත්වයන්ටත් මුහුණ දෙමින් ආණ්ඩුවේ සියලු පීඩාවන් දරාගෙන මේ සංවිධාන කටයුත්තට ඔබ සියලුදෙනාම ධෛර්යයෙන් කර ගැහුවා.
ගැහැනු එක මිටට කීවාම, මිටක් එක්ක සම්බන්ධ කතාවක් අපේ ජන වහරේ තිබෙනවා. ගැහැනුන්ගේ නුවණ හැඳිමිටේ තරමට කියලා කියන ජන වහරට සීමා කළ ලංකාවේ සංස්කෘතිය ලෝකයේ ගැහැනුන්ට අදාළ වෙන්නේ නැහැ. ලෝකයට විශාල දේශපාලන නායකත්වයක් දුන්, ලෝකයේ බොහෝ දේවල් අභිබවා ගිය කාන්තාවන් ඉන්නවා. ගැහැනු හැඳිමිටට කියන සාම්ප්‍රදායික මතය වෙනස් කර, ගැහැනු එක මිටට කියන සංකල්පය වටා එක්වී දේශපාලන, ආර්ථික, සමාජ සංස්කෘතික පරිවර්තනයක් වෙනුවෙන් අද ඔබ සියලු දෙනා පෙළ ගැසී සිටිනවා.
අභ්‍යවකාශය තරණය කළ, පළමු කාන්තාව වැලෙන්ටිනා තෙරෙස්කෝවා. කාන්තාවන්ට තිබෙන දරාගැනීමේ ශක්තිය පිරිමින්ට නැහැ කියලා ජීව විද්‍යාත්මකය ඔප්පු වී තිබෙනවා. ඒ දරාගැනීමේ ශක්තිය දේශපාලනයෙන ඉවත් කර, කුස්සයට සීමා කරන්න හැඳිමිටේ කතාව ගෙනත් තිබෙනවා. නමුත් මැතිවරණ කාලයේදී ඡන්ද ටික ගන්න ගැහැනුන් එකතු කර, විවිධ සමිති ගොඩනඟනවා. සුභසාධක සමිතිය, ණය දෙන සමිතිය, සමෘද්ධි සමිතිය, දහම් පාසල් සමිතිය, ගුරුදෙගුරු සමිතිය වගේ හැම එකකටම යන්නේ කාන්තාවන්. නමුත් දේශපාලන සමිතියට ගියේ පිරිමි. කාන්තාවන් ගෙන්වා ගත්තේ ඡන්ද කාලයට කොසු, ඉදල් පවා බෙදනා ඡන්ද ටික ලබාගන්න. නොයෙක් දේවල් බෙදලා කාන්තාවන්ගේ ඡන්ද ටික උදුරා ගත්ත දේශපාලන සංස්කෘතියට නැවත ඉඩ නොදෙන සැබෑ කාන්තා බලය තමයි මේ තිබෙන්නේ. අද ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වැඩිම පංගුවක් තිබෙන්නේ කාන්තාවන්ගේ දායකත්වය. ඈත දෙනියායේ තේ දළු කඩන කාන්තාවන්ගේ සිට දික්වැල්ලේ උම්බලකඩ හදන කාන්තාවන් දක්වා වගේම, සංචාරක කර්මාන්තයේ රෑ එළිවෙන තුරු දහදුක් විඳින කාන්තාවන් දක්වා ආර්ථික බර දරන්නේ කාන්තාවන්. විදේශගත වී අති දුෂ්කරම රැකියාවල යෙදෙමින් විදේශ විනිමය උපයන්නෙත් කාන්තාවන්. ඒ කාන්තාවන්ට නිදහසේ ඉන්න අවස්ථාවක් නැහැ. පවුලේ ජීවන බර වැඩිවෙන්න වැඩිවෙන්න වැඩිපුරම බඩගින්නේ ඉන්නේ අම්මා. ඒ නිසා මේ තිබෙන අසාධාරණ ආර්ථික, දේශපාලන, සංස්කාතිය වෙනස් කරන්න කාන්තාවන්ට දැවැන්ත කාර්යභාරයක් පැවරී තිබෙනවා. ජාතිවාදී බෙදීම්වලින්, මිථ්‍යා මතවලින් අන්ධ කළ මේ සමාජය නැවත ප්‍රකෘති තත්වයට ගැනීමේ දැවැන්ත කාර්යභාරයක් කාන්තාවන්ට තිබෙනවා. එය කළ හැකි වන්නේ දැවැන්ත සංවිධානයකට විතරයි. දැවැන්ත විනයකට විතරයි. අයිතිවාසිකම් නැති කාන්තාවන්ට මාතර ඔබ හැමදෙනා දැවැන්ත පුරෝගාමි ශක්තියක් වී තිබෙනවා විනයක් සහිතව තනිවම මේ වැනි කාන්තා සංවිධානයක පිහිටුවීම ලෝකයටම අලුත් ආදර්ශයක්.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාට පමණක් දෙවැනි වෙන රාජ්‍ය ලේකම සිටින්නේ කාන්තාවක්. කමලා හැරිස්, හිලරි ක්ලින්ට, කොන්ඩලීසා රයිස්, මැන්ඩලයින් පෝල්රයිස්, වගේ ආරක්ෂක මණ්ඩලයේ තීරණ ගන්න ප්‍රධානියා හැමතිස්සේම කාන්තාවක්. යුරෝපා සංගමයේ ජර්මනිය ඉටු කළ සුවිශේෂ කාර්යබාරයට උර දැරුවේ ඇන්ජලා මර්කර්. නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කරන්න මාග්‍රට් තැචර් දැවැන්ත කාර්යභාරයක් කළා. ඒ වගේ නරක පැත්තට නායක්තවය දුන්නා වගේම මාරි කියුරි, රෝසා ලක්ෂම්බර්ග්, ලංකාවේ කුමාරි ජයවර්ධන, ඉන්දියාවේ මන්දනා සිවා, වැනි දැවැන්ත ක්‍රියාධරයින් සිහිපත් වෙනවා. අපේ දේශපාලන ව්‍යාපාරයේ ජීවිත කැපකළ ප්‍රේමවතී මනම්පේරී සහෝදරිය වැනි කාන්තාවන් ඉන්නවා. ඒ අයගේ හුස්ම, ජීවනාලිය, ශ්‍රී ලංකාව වෙනස් කිරීම වෙනුවෙන් අපි එකතු කර ගන්න ඕනෑ. 2024 අවුරුද්ද අන්ධකාරයේ අවුරුද්දද, අපේක්ෂාවේ අවුරුද්ද ද යන්න තීරණය කරන මොහොත අභියස අපි ඉන්නේ. අපිත් 2024 අවුරුද්ද බාර ගන්න ඕනෑ දැවැන්තයින් හැටියටයි. ඒ සඳහා මාතරින් ආරම්භ කළ කාන්තා සංවිධානයට ශක්තිය සහ ධෛර්යය ලැබේවා.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය
අද අපි එකතුවී සිටින 2023 දෙසැම්බර් 30 දිනය අමතක කරන්න එපා. අද අපි ලකුණු කරන මේ දිනය ලාංකික ඉතිහාසයේ පමණක් නොවෙයි, ගෝලීයව පවා ස්ත්‍රී දේශපාලනයේ හැරවුම් දිනයක් වෙන බව මම තදින් විශ්වාස කරනවා. මේ දිනය ඔබේ හදවතේ තියාගන්න. 2024දී අපේ රට පරිවර්තනය කරන පෙරළිකාර යුගයේ පළමු වෙඩි මුරය මාතර දිස්ත්‍රික්කයේ කාන්තා සමුළුවෙන් අපි ආරම්භ කර තිබෙනවා. අපි මේ ගමන ජයග්‍රහණයෙන් තොරව නතර කරන්නේ නැහැ. අපේ ඉතිහාසයේ සෑම තීරණාත්මක මොහොතකදීම ගැහැනුන් එළියට බැහැලා තිබෙනවා. මෑත ඉතිහාසයේ වුණත් නිර්භීත, එඩිතර ශක්තිමත් ගැහැණුන් එළියට බැස්ස නිසයි සමාජ පෙරළිවල ආරම්භය ඇතිවී තිබෙන්නේ. අසූ ගණන්වල භීෂණයට එරෙහිව මනෝරානී සරවණමුත්තු වැනි අම්මාවරුන්, කුමාරි ජයවර්ධන, සුනිලා අබේසේකර, උතුරේ රාජනී තිරානගම වැනි ශ්‍රේෂ්ඨ නායිකාවන් හමුවෙනවා. අපිට මතක තිබෙන ප්‍රසිද්ධ ඒ නම්වලට අමතරව මේ රටේ ගැහැනුන් දහස් ගණනක් තම ජීවිත පුදකර තිබෙනවා. ගැහැනුන් මේ රට ගොඩනගන්න තමන්ගේ ශ්‍රමය දී තිබෙනවා. නමුත් ඔවුන් ගැන ඉතිහාසය ලිීවේ අපි නොවෙයි. 2024 ඇති කරන පෙරළිය තුළින් අපේ ඉතිහාසය අපි ලියන්න ඕනෑ. ඉතිහාසය ලිවීමේ බලය අපි අතට ගත යුතුයි. අපි මේ ආරම්භ කර තිබෙන්නේ එම තීරණාත්මක ගමනයි.
අපි මේ ගත කරන්නේ තවත් එක් දේශපාලන මොහොතක් නොවෙයි. සමාජ පෙරළියක් කරන්න යන මොහොතක්. මෙතෙක් කල් ඡන්දදායකයින් හැටියට පාවිච්චි කළ ගැහැනුන් මේ සමාජය වෙනුවෙන් විශාල දායකත්වයක් දරා තිබෙනවා. ශ්‍රී ලාංකික ගැහැනිය මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩිම පංගුව දරා තිබෙනවා. අපේ රටට ඩොලර් උපයන ප්‍රධානම මාර්ගවල වැඩිම පංගුව දරන්නේ කාන්තාවන්. ගැහැනුන් අමාරුවෙන් හම්බකළ ඩොලර් පාලකයන් නාස්තිකාරී ලෙස විනාශ කළා. ආර්ථිකයට අමතරව ගෘහය තුළ ඇය ඉටුකරන කාර්යභාරයෙන් තමයි මානව සම්පත රැකෙන්නේ. අම්මාගේ කාර්යභාරය කියන්නේ ඒ මානව සම්පතට ලබාදෙන ගොඩනැගීම සහ රැකබලා ගැනීමයි. ඒ ගැහැනියට මේ රටේ පාලකයන් දී තිබෙන ගෞරවය මොකක්ද? ගෙදර ඉන්නත් බැරි අනාරක්ෂිත තත්වයට පත්කර තිබෙන්නේ. මැතිවරණ කාලයේදී පොරොන්දු දී රවටා ගත හැකි පිරිසක් ලෙසයි, ගැහැනුන්ව හඳුනාගෙන තිබෙන්නේ. මේ සමාජයට ලබාදී තිබෙන දායකත්වය සහ කැපවීම වෙනුවෙන් ගෞරවයවත් මේ පාලකයින් ලබාදී නැහැ. ජාතික ජන බලවේගය මේ ගමන පටන් ගත්තේ ඒ තත්වය වෙනස් කරන්නයි. අපට ඔබේ ඡන්දය පමණක් නොවෙයි, ඔබේ නායකත්වය, සමාජ පෙරළියේ කොටස්කාරියක් බවට පත්වීම, සමාජ පෙරළියේ අයිතිකාරියන් බවට පත්වීම, ඔබට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කර ගැනීම, සහ තීන්දු තීරණ ගැනීමේදී දායකවීමේ අවස්ථාව ලබාදීම යන සියල්ල තුළින් රටේ නායකත්වයත් අපට අවශ්‍යයි.
මේ වන විට අපට මැතිවරණ නොවෙයි අභියෝගය, අපි මැතිවරණ දිනලා ඉවරයි. අපට තිබෙන අභියෝගය මැතිවරණ දිනලා අපි හදන පාලනය තුළ මොනවගේ පරිවර්තනයක් ද කරන්නේ? කියන අභියෝගයට මුහුණ දෙන්නයි, අපි ඔබ සියලු දෙනා එකතු කරන්නේ. ඒ පාලනයේ ශක්තිමත් කොටස්කරුවන් ඔබයි. මෙපමණ කල් වැඩ තුළ හිරකර අපේ සමාජමය කාර්යය අසුරාදමා තිබුණා. නමුත් ජාතික ජන බලවේගයේ සියලු දෙනා ක්‍රියාකරන්නේ ඒ වෙනුවෙන්.
අවුරුදු තුනකට ඉස්සර ජාතික ජන බලවේගයට ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදුන්නේ පෞද්ගලිකවම මට නොවෙයි. අපේ රටේ ගැහැනුන්නටයි. මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය දෙන්න සුදුසු පිරිමි ඕනෑ තරම් මේ ව්‍යාපාරය තුළ ඉන්නවා. නමුත් මම වැනි කිසිම දේශපාලන අත්දැකීමක් නැති කෙනෙකු තේරුවේ මේ රටේ ගැහැනුන්ට දුන්න තැන සහ පිළිගැනීම ගැන කියන්නයි. අමාරුම අවස්ථාවකයි මේ දේ කළේ. 3%ට වට්ටවා කිසිම පිළිගැනීමක් නොතිබුණු දේශපාලන මොහොතක අපිට ලැබුණු අවස්ථාව තුළින් මේ දේශපාලන වේදිකාව මොකක්දැයි මනාව පැහැදිලි වෙනවා. මට ඒ ශක්තිය ලැබුණේ මගේ පිටුපසින් සිටි සමන්මලී සහෝදරිය ඇතුළු සහෝදරියන් නිසයි. කිසිම දේශපාලන අත්දැකීමක් නැති මට මන්ත්‍රී ධුරය බාරගෙන ඔබව නියෝජනය කරන්න හැකියාව ලැබුණේ නම් ගම් කිව නොහැකි අසීමිත සහෝදරියන් නිසයි. ආණ්ඩුව පැනලා ගිය පළාත් පාලන මැතිවරණයට නායිකාවන් හැටියට පත්කර ගන්න විශාල කාන්තාවන් පිරිසක් මේ ව්‍යාපාරය තුළ සිටියා. එහි ප්‍රතිඵල තමයි අද මෙතනදී පෙන්න තිබෙන්නේ. සෑම දිස්ත්‍රික්කයක් තුළම මේ ආකාරයෙන් ගැහැනු බලය ගොඩනඟන්න අපිට පුළුවන්. ගැහැනු අපට ආදරය කරන්න පුළුවන්. මෙතන ආදරයෙන් පිරිලා. ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක් කැපකරන්න ගැහැනුන්ට පුළුවන්. අපේ පවුලට, ළඟම අයට මෙපමණ කල් සීමාකර තිබුණු ඒ ආදරය මුළු මහත් සමාජය වෙනුවෙන්ම කැපකළ යුතු ඓතිහාසික මොහොතක් මේක. ස්ත්‍රී දේශපාලනය තුළින්, මේ සමාජයට අවශ්‍ය ආදරය, සුවපත් කිරීම, රැකබලා ගැනීම සහ වෙනස් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම වෙනුවෙන් අපි සියලු දෙනා කැපවෙමු. මේ ආරම්භ කළ ගමන ජයග්‍රහණයෙන් තොරව නතර කරන්නේ නැහැ කියන අධිෂ්ඨානය ඇති කර ගනිමු.
-Colombo, December 30, 2023- ජාතික ජන බලවේගය වටා කාන්තාවන් ඒකාරාශී කර සංවිධානය කිරීමේ “ගැහැනු අපි එක මිටට මාලිමාවට” යන තේමාවෙන් රට පුරා පවත්වන දිස්ත්‍රික් සමුළු ආරම්භ කරමින් මාතර දිස්ත්‍රික්කයේ සමුළුව දහස් සංඛ්‍යාත කාන්තා සහභාගීත්වයකින් යුතුව දෙසැම්බර් 28 දා සවස මාතරදී පැවැත්වුණි. විශ්වවිද්‍යාල ආචාර්යවරියන්, ප්‍රවීන කලාකාරිණියන්, ව්‍යවසායිකාවන් සහ විවිධ වෘත්තීයමය ක්ෂේත්‍රවල නියැලී සිටින්නියන් පෙරටුකොට ගනිමින් සමුළුව […]
-Colombo, December 30, 2023-
ජාතික ජන බලවේගය වටා කාන්තාවන් ඒකාරාශී කර සංවිධානය කිරීමේ “ගැහැනු අපි එක මිටට මාලිමාවට” යන තේමාවෙන් රට පුරා පවත්වන දිස්ත්‍රික් සමුළු ආරම්භ කරමින් මාතර දිස්ත්‍රික්කයේ සමුළුව දහස් සංඛ්‍යාත කාන්තා සහභාගීත්වයකින් යුතුව දෙසැම්බර් 28 දා සවස මාතරදී පැවැත්වුණි.
විශ්වවිද්‍යාල ආචාර්යවරියන්, ප්‍රවීන කලාකාරිණියන්, ව්‍යවසායිකාවන් සහ විවිධ වෘත්තීයමය ක්ෂේත්‍රවල නියැලී සිටින්නියන් පෙරටුකොට ගනිමින් සමුළුව මාතර කොටුව මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.
මෙම සමුළුවට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරීය, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සමන්මලී ගුණසිංහ සහ එම සංවිධානයයේ ලේකම් සරෝජා සාවිත්‍රී පෝල්රාජ්, ප්‍රවීන රංගන ශිල්පිනියන් වන දිල්හානී ඒකනායක, දීපානි සිල්වා, නයනී මහේෂිකා සහභාගී වී සිටි අතර ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්තිද මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය. මාතර දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ කාන්තා කොට්ඨාස සභා නියෝජනය කරමින් සමුළුවට පැමිණ සිටි දහස් ගණනක කාන්තාවන් ලාංකීය කාන්තාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් වු “සාධාරණ සමාජයක්, නිවහල් රටක්, නිදහස් ස්ත්‍රියක් ” තේමාවෙන් යුත් විශේෂ ස්ත්‍රී ප්‍රඥප්තියක් සම්මත කළහ.
එම උත්සව අවස්ථාවේ ශිල්පිනියන් පිරිසක් විසින් බෙර වාදනයකින් සමුළුව විචිත්‍රවත් කළහ. මෙවැනි දැවැන්ත සභාභාගීත්වයක් සහිත කාන්තා සමුළුවක් මින් පෙර ලාංකීය ඉතිහාසයේ දැක නොතිබූ බව දේශපාලන විචාරකයෝ පවසති.
-Colombo, December 25, 2023- ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත නිමිති කරගනිමින් දෙසැ. 25 දිනයේ ලොව පුරා කිතුනු භක්තිකයින් විසින් මහත් භක්තියෙන් සමරනු ලබන අසිරිමත් නත්තල වෙනුවෙන් සුබපතනු කැමැත්තෙමු. ලෝකයට සාමයේ පණිවිඩය රැගෙන ආ දිනය ලෙස පොදුවේ හඳුන්වනු ලබන නත්තලෙහි වැදගත්කම වනුයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයේ වැදගත් කොටසක් වන සහෝදරත්වය හා සහජීවනය මිනිස් සිත් තුළ වගා කර […]
-Colombo, December 25, 2023-
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත නිමිති කරගනිමින් දෙසැ. 25 දිනයේ ලොව පුරා කිතුනු භක්තිකයින් විසින් මහත් භක්තියෙන් සමරනු ලබන අසිරිමත් නත්තල වෙනුවෙන් සුබපතනු කැමැත්තෙමු.
ලෝකයට සාමයේ පණිවිඩය රැගෙන ආ දිනය ලෙස පොදුවේ හඳුන්වනු ලබන නත්තලෙහි වැදගත්කම වනුයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයේ වැදගත් කොටසක් වන සහෝදරත්වය හා සහජීවනය මිනිස් සිත් තුළ වගා කර ගැනීම සඳහා වූ ප්‍රධානතම ආගමික නිමිත්ත එය වීමය. එසේම නත්තල් දිනය සාමයේ හා සහෝදරත්වයේ පණිවිඩය සමාජයට බෙදාහැරීමේ අවශ්‍යතාව අවධාරණය කර ගැනීමට අගනා අවස්ථාවකි.
ජනගහනයෙන් අඩකට වැඩි ප්‍රමාණයකට කුසගින්නේ නින්දට යාමට සිදු වී ඇති රටක නත්තල උත්සවාකාරයෙන් සැමරීමට හැකියාවක් නැත. එහෙත් නත්තල විසින් ප්‍රකට කරන ප්‍රේමය, සහෝදරත්වය, සහජීවනය වැනි මානව ගුණාංගවලින් යුතුව අසල්වැසියා දෙස බැලීමට එම තත්වය බාධාවක් නොවේ.
ජනතාව පීඩනයට පත් කරන පාලනයට එරෙහිව ජනතාවගේ පාර්ශ්වයේ සිට සටන් වැදුණු ආගමික නායකයෙක් වන ක්‍රිස්තුස් වහන්සේ විසින් ප්‍රකට කළ මානව ගුණයන්ගෙන් පිරිපුන්, පවතින අසාධාරණය ප්‍රශ්න කරන හා කැපකිරීම්වලට ඉදිරිපත් වන මිනිසුන් වඩ වඩාත් අපට අවැසිය; එවැනි මිනිසුන්ගෙන් සමන්විත සමාජයක්ද අපට අවැසිය. ඒ වෙනුවෙන් වූ අදිටන ශක්තිමත් කර ගන්නා දිනය බවටද නත්තල් දිනය පත් කර ගන්නා මෙන් සියලු ලාංකේය කිතුනු බැතිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.
අනුර කුමාර දිසානායක
නායක
ජනතා විමුක්ති පෙරමුණ/ ජාතික ජන බලවේගය
-Colombo, December 19, 2023- බදුල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට නායයෑම් හේතුවෙන් අනාථ වූ පිරිස් රඳවා සිටින කඳවුරු ගණන 12 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පවුල් 4681 ක් තම පදිංචි නිවෙස්වලින් ඉවත් කර සිටින අතර, ඇතැම් පිරිස් ඥාති හිතවතුන්ගේ නිවෙස්වල තාවකාලිකව ලැගුම්ගෙන සිටිති. කඳවුරු දොළහක් තුළ පවුල් 259 ක් මේ වන විට වාසය කරති. සිංහල, දෙමළ, […]
-Colombo, December 19, 2023-
බදුල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට නායයෑම් හේතුවෙන් අනාථ වූ පිරිස් රඳවා සිටින කඳවුරු ගණන 12 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පවුල් 4681 ක් තම පදිංචි නිවෙස්වලින් ඉවත් කර සිටින අතර, ඇතැම් පිරිස් ඥාති හිතවතුන්ගේ නිවෙස්වල තාවකාලිකව ලැගුම්ගෙන සිටිති. කඳවුරු දොළහක් තුළ පවුල් 259 ක් මේ වන විට වාසය කරති. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු පිරිස් මේ දැඩි ආපදා තත්ත්වයට ගොදුරු වී සිටිති.
හපුතලේ ආසනයේ කැලිපානාවෙල ගම්මානයේ නාය ගිය කොටස නිරීක්‍ෂණය සඳහා සමන්ත ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න සහෝදරයා ඇතුළු පිරිසක් සහභාගි වූ අයුරු ඡායාරූපයේ දැක්වේ. මෙම ගම්මානයේ පවුල් 80 ක් මේ වනවිට අවතැන් වී සිටීන අතර ගම්මානයේ විහාරස්ථානය ද ඒ අතර වේ. ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් මෙම ජනතාවගේ විශාල කුඹුරු යායක සැලකිය යුතු කොටසක් නාය යෑමෙන් පසු මහා පස් කන්දකින් වැසීගොස් ඇත. මෙම වගා බිම් සඳහා ජලය ගෙන එන ප්‍රධාන ඇල මාර්ගය හා අතුරු ඇල මාර්ග ගණනාවක් සහමුලින් වැසී ගොස් ඇත. මේ නිසා දැනට වගා කළ බිම් ද විනාශ වී යනු ඇතැයි ප්‍රදේශවාසීන් එහිදී ප්‍රකාශ කර ඇත.
සමන්ත විද්‍යාරත්න සහෝදරයා හමුවූ ගම්වැසියන් හැඬූ කඳුළින් පවසා සිටියේ තම නිවාස ද සුනූ විසුනු වී උන්හිටි තැන් අහිමිව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද අඩාල වී සිටින මොහොතක ජීවත් වීමට ගොවිතැනක් බතක් කර ගැනීමට නොහැකි වීමෙන් හිඟමනට වැටුනූ බවය. විපතට පත් ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව පැත්තෙන් මැදිහත් වීම ද ඉතා දුර්වල තත්වයක පවතී. මීට වසර 7 , 8 කට පෙර නායගොස් නිවාස අහිමි වූ පවුල් ගණනාවකට මෙතෙක් ඉඩම් කැබැල්ලක්වත් ලබාදීමට ආණ්ඩුව අසමත්වී තිබීම කණගාටුදායක තත්ත්වයකි.