-Colombo, December 06, 2023- පසුගිය 04 වැනිදා ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අයවැය විවාදය පැවැත්වූවා. ලබන වසර වෙනුවෙන් එම අමාත්‍යාංශයට වෙන්කර තිබෙන මුදල් මෙම වසරට වඩා 51%න් කපා හැරීමට එරෙහිව ජාතික ජන බලවේගයේ කාන්තාවෝ බත්තරමුල්ල, දියත උයන ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වූවා. එම උදඝෝෂණයට එල්ල කළ බියගුළු ම්ලේච්ඡ ජල ප්‍රහාරය හෙළා දකිමින් මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වනවා. අධික […]
-Colombo, December 06, 2023-
පසුගිය 04 වැනිදා ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අයවැය විවාදය පැවැත්වූවා. ලබන වසර වෙනුවෙන් එම අමාත්‍යාංශයට වෙන්කර තිබෙන මුදල් මෙම වසරට වඩා 51%න් කපා හැරීමට එරෙහිව ජාතික ජන බලවේගයේ කාන්තාවෝ බත්තරමුල්ල, දියත උයන ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වූවා. එම උදඝෝෂණයට එල්ල කළ බියගුළු ම්ලේච්ඡ ජල ප්‍රහාරය හෙළා දකිමින් මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වනවා. අධික වර්ෂාව මධ්‍යයේ එම උදඝෝෂණයට විශාල කාන්තාවන් පිරිසක් සහභාගී වුණා. නමුත් ඔවුන් පැමිණීමටත් පෙර පොලිස් කැරලි මර්දන ඒකකය එම ස්ථානයට ජල බවුසර් සමග යොදවා තිබුණා. ජනතාවට ජීවන බර උසුලා ගන්න බැරිම තත්වයට පත්කිරීම නිසා, රටේ සමස්ත කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් අපි ඊයේ පාරට බැස්සේ. දැඩි විරෝධයක් මේ කාන්තාවන් පළ කළත් කිසිම ආකාරයකින් සාමකාමී තත්වයට බාධා සිදුකළේ නැහැ. පොලීසියට ජල පහර එල්ල කිරීමට අවශ්‍ය වුණා නම්, ඒ ප්‍රහාරය එල්ල කළ, අවස්ථාවට වඩා තීව්‍ර වූ අවස්ථා රැසක් තිබුණා. නමුත් අවසන් වශයෙන් උද්ඝෝෂණයෙන් පසුව කාන්තාවන් විසිරී යාමට ආසන්න වෙලාවේ තමයි ප්‍රහාරය එල්ල කළේ. අපි මේ ප්‍රහාරය දකින්නේ අවසන් සුසුම් හෙළමින් සිටින ආණ්ඩුවේ බියගුළු ප්‍රහාරයක් හැටියටයි.
තව දින 05කින් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තිය අත්සන් කර, අවුරුදු 75ක් සම්පූර්ණ වෙනවා. රටක් හැටියට ලංකාවේ රජයක් තවත් රටවල රැසක් සමග මේ ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. අපේ රටේ ජනතාවට මනුෂ්‍යයින් හැටියට අභිමානයෙන් ජීවත් වීමේ ගරුත්වය අහිමි කළ මේ ආණ්ඩුව මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තියේ වගන්ති සහමුලින්ම උල්ලංඝනය කර තිබෙනවා. ලෝකයේ ස්ථිර සහ කල්පවතින ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් රටක මානව අයිතිවාසිකම් රැකීම අත්‍යවශ්‍ය සාධකයක් බව මේ විශ්ව ප්‍රකාශනයේ පූර්විකාවෙන් ඉතා හොඳින් සඳහන් වෙනවා. මේ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳව පාසල්වල ඉගැන්විය යුතු බවත් සඳහන් කර තිබෙනවා. අගහිඟකමින් තොරවීමේ නිදහස, මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, තමන්ට හා තම පවුලට මිනිස් ගරුත්වය රැකෙන පරිදි ජීවත්වීමට අවශ්‍ය සාධාරණ වැටුපක් ලැබීමේ අයිතිය, ආහාර, ඇඳුම් නිවාස හා සෞඛ්‍ය සේවා ලබාගෙන යහපත් ජීවන තත්වයක් බුක්ති විඳීමට වගේම මව්වරුන්ට හා ළමුන්ට විශේෂ ආරක්ෂාව ලැබීමට ඇති අයිතිය වැනි මූලික කරුණු රැසක් අවධාරණය කර තිබෙනවා. මානසික සෞඛ්‍යය විශේෂයෙන් ඉලක්ක කරගෙන, කලාව හා සාහිත්‍යය විඳීමේ අයිතියත් අවධාරණය කර තිබෙනවා. රජයක් මේ මූලික අයිතිවාසිකම් කඩකරන අවස්ථාවල පාරට බැස උද්ඝෝෂණය කිරීමට තිබෙන අයිතියත් තහවුරුකර තිබෙනවා. ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කිරීම වගේම කාන්තාවන් වෙනුවෙන් කතා කිරීමට විශේෂ වෘත්තීමය අයිතියක් නීතිඥවරුන් වශයෙන් අපට තිබෙනවා. ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් වඩාත් සංවේදී වෙමින් අප සමග අත්වැල් බැඳ ගන්නා ලෙස සියලු දෙනාටම ආරාධනා කරනවා.
“අපේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ශාරීරක සෞඛ්‍යය, කඩා වැටීම තවදුරටත් බලා ඉන්න බැහැ.”
-නීතිඥ දිස්නි සමන්තිකා ලියනආරච්චි-
ලංකාවේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන්. පසුගිය වසරේ දූෂිත පාලනයට එරෙහිව ජන අරගලයේ ප්‍රධාන කොටසක් ඉටුකළේ කාන්තාවන්. පවතින දූෂිත පාලන ක්‍රමය කාන්තාවන්ට එල්ල කරන පීඩනය වෙනස් කිරීමට සාමකාමී උද්ඝෝෂණයක යෙදී සිටි කාන්තාවන්ට නින්දා සහගත ජල ප්‍රහාරයක් එල්ල කළා. අනාගත පරපුරට මඟ පෙන්වීමේ විශාල භූමිකාවක් ඉටුකරන කාන්තාවන්ට මෙම ප්‍රහාරය එල්ල කිරීම ජාත්‍යන්තර වශයෙනුත් බලපානවා. තමන්ට තිබෙන ගැටලු සම්බන්ධයෙන් කාන්තාවන් පාරට බැස්ස අවස්ථාවක් ඒක. ළමුන් හා කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් උපරිම නීති සහ අණපනත් පනවා තිබෙනවා. එසේ තිබියදීත් එල්ල කළ මේ ප්‍රහාරය කාන්තාවන් සහ නීතිඥවරියන් හැටියට දැඩි ලෙස හෙළා දකිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලින් තහවුරු කර තිබෙන අයිතියක් පාවිච්චි කිරීමේදී අශිෂ්ඨසම්පන්න ලෙස පහරදීම පිළිබඳව විශාල අවධානයක් යොමුවෙනවා.
අපේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ශාරීරක සෞඛ්‍යය, කඩාවැටීම තවදුරටත් බලා ඉන්න බැහැ. ඒ සම්බන්ධයෙන් හඬ නඟන කාන්තාවන්ට සවන් නොදී, බලය යෙදවීමට එරෙහිව සියලු දෙනා එක්විය යුතුයි. කාන්තාවන්ට පමණක් නොව වෙනත් සියලුම සාමකාමී උද්ඝෝෂණවලට මර්දනය දියත් කිරීම ආණ්ඩුවේ එකම පිළිතුර වී තිබෙනවා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥවරු වශයෙන් අපි සියලු දෙනාම එක්වී ඉදිරි පියවර ගන්නවා.
“තොපේ මර්දනය අපේ පන්නරයයි…”
-නීතිඥ චමිලා කුලසේකර-
ලංකාවේ සමස්ත කාන්තාවන් වෙනුවෙන්ම පැවැත්වූ උද්ඝෝෂණයට ජල ප්‍රහාර එල්ල කිරීම හෙළා දැකීමට සමස්ත කාන්තාවන්ම නියෝජනය කරමින් අපි මේ මාධ්‍ය හමුව පවත්වනවා. කාන්තාවට අසීමිතව ඉවසීමේ හැකියාවක් තිබෙනවා. නමුත් කාන්තාවන්ගේ ඉවසීමේ සීමාව අවසන් වූ විට කිසිසේත්ම පාලනය කළ නොහැකි බව රනිල් රාජපක්ෂ ආණ්ඩුව තේරුම් ගත යුතුයි. දරුවෙක් ප්‍රසූත කිරීමේදී කාන්තාවන්ට දැනෙන වේදනාව විඳගත හැකිනම්, ජල ප්‍රහාරයක් විඳ ගැනීම මහලොකු දෙයක් නොවෙයි. මේ ඒකාධිපති වියරුවට එරෙහිව කාන්තවන් පාරට බැස්සේ අද විඳීමට සිදුවී තිබෙන අසීමිත පීඩනයන් නිසයි. දරුවෙකුට ආහාර වේලක් දෙන්න යද්දී මව කොතරම් අසරණ වෙනවා දැයි කාන්තාවන් දන්නවා. අත්‍යවශ්‍ය ඇඳුමක්, බේත්හේත්, අධ්‍යාපනයට පොත්පත්, ලබාදීමට නොහැකි අවස්ථාවල අසීමිතව අසරණ වෙනවා. රට ආර්ථික වශයෙන් වැට්ටීම නිසා කාන්තාවන් අද අන්ත දරිද්‍රතාවයට පත්වෙලා. මේ දක්වා පාලන බලය හෙබවූ ආණ්ඩුවල සිටි මහජන නියෝජිතයන් අපේ හඬ නැගුවේ නැහැ; තමන්ගේ කටයුතු කරගත්තා විතරයි.
රටේ 52%ක් වන කාන්තාවන් වෙනුවෙන් ඔවුන් කිසිදිනෙක කටයුතු කළේ නැහැ. මේ නිසා අද අපි පැමිණ සිටින්නේ අපි වෙනුවෙන් අපි සිටගත යුතුයි තැනට. අන්න ඒ නිසයි, පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතා පැවැත්වූයේ. ගල්කැටයක් හෝ අතින් නොගෙන සමස්ත රටේ පුරවැසියන් වෙනුවෙන් හඬනැගූ කාන්තාවන් හට අපේ ප්‍රණාමය පුදකළ යුතුයි. මේ පහර දීමේ අවස්ථාවට පොලිස් කාන්තාවන් යොදවා සිටියා. කාන්තාවන්ගේ කුසෙන් බිහිවුණු පොලිස් නිලධාරීන් තමයි හිටියේ. අපට දැනෙන අමාරුකම් මේ නිලධාරීන්ට දැන්නේ නැද්ද? පාලකයන්ගේ අවශ්‍යතාවලට හිස නමන්න පොලීසිය යොදවා තිබෙනවා.
අද සිටින්නේ වැඩබලන පොලිස්පතිවරයෙක්. ඒ තනතුරු වරදාන ආරක්ෂා කර ගැනීම සඳහා පාලකයන්ගේ අවශ්‍යතාවලට පොලීසිය මෙහෙයවන්න ඔවුන් සූදානම් වී සිටිනවා. නමුත් අපි මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එක දෙයක් තහවුරුකර කියනවා. “තොපේ මර්දනය අපේ පන්නරයයි.” කාන්තාවන් මීට වඩා ධෛර්යසම්පන්නව සවිමත්ව ඉදිරියට එන බව අවධාරණය කරනවා. ජල ප්‍රහාරවලට යටත්ව කොන්ද නමන පිරිසක් නොවෙයි කාන්තාවන්. අපි අදූෂිත ව්‍යාපාරයක නියමුවන් බව ආඩම්බරයෙන් කියනවා. වැදගත් දේශපාලන ව්‍යාපාරයක නියමුවන් අපි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස වැදගත් ආකාරයෙන් විරෝධය දැක්වීමට අපි සූදානම්. ප්‍රචණ්ඩකාරී ප්‍රහාරයට අපි උත්තර දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව පමණයි. මේ පෙරට එන්නේ යහපත් අනාගතයක සුබ සිහින දකින පිරිසක්. ඒකාධිපති වියරුව පරද්දන්න අපි සියලු දෙනා පෙළ ගැහෙන බවට ආණ්ඩුවට පණිවිඩයක් ලබාදෙනවා.
“ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට නුදුරු දිනෙකදී මේ පහර දීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනවා.”
-නීතිඥ නිලන්ති කොට්ටහච්චි–
විරෝධතා ව්‍යාපාරයට සහභාගී වූ කෙනෙක් හැටියට ලැබූ අත්දැකීම මුලින්ම කියන්න කැමතියි. අපි සියලු දෙනා සාමකාමීව රැස්වී සටන් පාඨ හඬනඟා කියමින් ජනතාවට වගේම පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ට මේ රටේ කාන්තාවන්ගේ කණගාටුදායක තත්වය පිළිබඳව අවධානයට ලක්කළා. සාමකාමී විරෝධතාවයේ අවසානය සනිටුහන් කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හරිනි සහෝදරිය, සමන්මලී සහෝදරිය සහ සරෝජා පොල්රාජ් සහෝදරිය ප්‍රමුඛව කාන්තාවන් ඇමතීමට සූදානම්වනවාත් එක්කම ජල ප්‍රහාර එල්ලකළා. ජල ප්‍රහාර හමුවේ ඇඳිවත පවා රැකගත්තේ ඉතාම වෙහෙසක් දරලයි. කාන්තාවන් කියන්නේ රටක පරපුරක් ඉදිරියට ගෙනයන පිරිස. ඒ වගේම රටේ නිෂ්පාදන ක්‍රියාවලියට වැඩිම දායකත්වයක් සපයන්නෙත් කාන්තාවන්. අපි සියලුම දෙනා ගැහැනුන් විදියට පීඩනයට පත්වූවන් ලෙසයි විරෝධතාවයට සහභාගී වූනේ. පවුලක් නඩත්තු කරමින් දරුවන්ගේ අනාගතය ගොඩනැගීම දරාගත නොහැකි පීඩාවක්වී තිබෙනවා. වැවිලි කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය සහ විදේශ රැකියා ක්ෂේත්‍රවල කාන්තාවන් සක්‍රීයව සුවිශාල දායකත්වයක් ලබාදෙනවා. පාර්ලිමේන්තුව තුළ 5.3%ක් වූ කාන්තා නියෝජනයෙන් මෙ රටේ කාන්තාවන්ගේ හඬ අවශ්‍ය ආකාරයට මතුවෙන්නේ නැහැ. 1948න් පසු ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛන තුළ ගතානුගතික සහ ගෝත්‍රික ආකාරයෙන් මුදල් වෙන්කර තිබෙනවා. ඒ තුළ කාන්තාවන්ට ලබාදී තිබෙන්නේ ඉතාම කුඩා ප්‍රමාණයක් පමණයි.
විරෝධතාව පැවති අවස්ථාවේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ කරන්න හෝ පොදු මහජනතාවගේ ගමනාගමනයට ඉතා කුඩා හෝ බාධාවක් පමුණුවන්න අපි ක්‍රියාකළේ නැහැ. පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා පමුණුවන්නත් අපේ කිසිම අපේක්ෂාවක් තිබුණේ නැහැ. නමුත් වැඩබලන පොලිස්පතිවරයාගේ ක්‍රියාපටිපාටිය ඉතාම නින්දිතයි. සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණත් මේ ආණ්ඩුව එයට ඉඩදෙන්නේ නැහැ. ජල ප්‍රහාර එල්ල කළේ ඒ නිසයි. රාජ්‍ය ප්‍රතිපත්තිවල මූලික මූල ධර්මයක් ලෙස පවුල පිළිගෙන තිබෙනවා. නමුත් එම වැදගත්ම ඒකකය අමතකකොට දමා කටයුතු කළ ආකාරය, ළමුන් සහ කාන්තාවන් කෙරෙහි දක්වන ආකල්පය ජාත්‍යන්තර වශයෙනුත් පැහැදිලි වුණා. මේ ප්‍රහාර හෙළාදැකීමෙන් පමණක් ජාතික ජන බලවේගය නතර වන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට නුදුරු දිනෙකදී මේ පහරදීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පොලිස් ආඥා පනත සම්බන්ධයෙන් මූලික මඟපෙන්වීමක් ජනතාවට ලබාදෙන්නත් ක්‍රියාකරනවා. නීතිය ක්‍රියාත්මක කරවන්නන් හට එමගින් නීතිය පැහැදිලි කර දෙන්නත් අපේක්ෂා කරනවා. ඊයේ එල්ල කළ සාහසික ජල ප්‍රහාරයත් සමග තහවුරු කර තිබෙන්නේ ශ්‍රී ලංකාව තවදුරටත් යුක්තිගරුක දේශයක් නොවෙන බවයි. මේ ආණ්ඩුව තවදුරටත් පාලනයේ සිටීමට සුදුසු නැහැ. මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක් පිහිටුවා ගැහැනුන්ගේ ශක්තියට නිසි ඇගයීමක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.
“ආණ්ඩුවේ අසීමිත පීඩනයට එරෙහිව විරෝධය දැක්වූවා…”
-නීතිඥ නිමලා සිරිවර්ධන-
ගෙවී යන 2023 වර්ෂයේදී කාන්තා, ළමා සහ සමෘද්ධි අංශයට රුපියල් බිලියන 152ක් වෙන්කර තිබුණා. නමුත් ලබන 2024 වර්ෂය සඳහා වෙන්කර තිබෙන්නේ රුපියල් බිලියන 75යි. 50%කට වඩා මේ ප්‍රතිපාදන කපා හැර තිබෙනවා. හිටපු ජනාධිපතිවරු සිවුදෙනෙක් සහ ජනාධිපති බිරිඳක් නඩත්තු කරන්න 2023 වර්ෂයේදී වෙන්කර තිබුණු රුපියල් මිලියන 84 ලබන වර්ෂය සඳහා රුපියල් මිලියන 110ක් දක්වා වැඩිකර තිබෙනවා. හිටපු ජනාධිපතිවරු සහ පැනලා ගිය ජනාධිපති වෙනුවෙන් වෙන්කරන මුදල් වැඩිකරන අතර මේ රටේ ජීවනාලිය වන ළමා හා කාන්තා පරපුරට වෙන්කරන මුදල් 50%කින් කපාහැර තිබෙනවා. සෞඛ්‍ය සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින පීඩනය වැඩිවශයෙන් දැනෙන්නෙත් කාන්තාවන්ට. තිබුණු ප්‍රතිපාදනත් කපා හැරීම තුළින් කාන්තාවන් මත තිබෙන පීඩනය තවදුරටත් ඉහළ නංවනවා. මෙයට එරෙහිව පවතින ආණ්ඩුවට බල කිරීමේ අයිතියක් අපට තිබෙනවා. ආණ්ඩුව ගෙනයන වැරදි කප්පාදු කිරීම්වලට එරෙහිව විරෝධය දැක්වීමයි අපි සිදුකළේ.
නීතිඥ ක්‍රිෂාන්ති විජේබණ්ඩාර, නීතිඥ චන්දිමා හතුරුසිංහ, නීතිඥ ගීතා දර්ශනී යන අයද මෙම මාධ්‍ය හමුවට සහභාගි විය.
-2023 දෙසැ. 03 දින පැවති අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ මාධ්‍ය හමුව- විශේෂයෙන්ම රට ආර්ථික වශයෙන් කඩාවැටීමට ලක් කර තිබෙන පසුබිමක ලබන 2024 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය අපේ කුටුම්භ ජීවිතයට කෙතරම් බලපෑම් කරනවාද යන්න අපි සමාලෝචනය කරමින් සිටිනවා. අපේ දරුවන්ගේ ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍යය යන ප්‍රධාන අත්‍යවශ්‍ය අංශවල පවා වියදම් කොතරම් කප්පාදු කරන්නට සිදුවී තිබෙනවාද […]
-2023 දෙසැ. 03 දින පැවති අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ මාධ්‍ය හමුව-
විශේෂයෙන්ම රට ආර්ථික වශයෙන් කඩාවැටීමට ලක් කර තිබෙන පසුබිමක ලබන 2024 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය අපේ කුටුම්භ ජීවිතයට කෙතරම් බලපෑම් කරනවාද යන්න අපි සමාලෝචනය කරමින් සිටිනවා. අපේ දරුවන්ගේ ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍යය යන ප්‍රධාන අත්‍යවශ්‍ය අංශවල පවා වියදම් කොතරම් කප්පාදු කරන්නට සිදුවී තිබෙනවාද කියන පීඩනය හොඳටම දැනෙනවා. දෙදහස් විසිහතර අයවැයෙන් යම් හෝ සහනයක් ලැබේවි කියලා මුළු රටක් බලාගෙන සිටියා. නමුත්, හැමදාමත් වගේ ඒ බලාපොරොත්තුව සිහිනයක්ම පමණයි. අයි.එම්.එෆ්. සමඟ එකතු වී සකස් කළ ආර්ථික න්‍යාය පත්‍රය ලබන වසරටත් හොඳටෝම ගළප්පාගෙන තිබෙනවා. අද අසීමිතව පීඩාවට පත් වී සිටින ජනතාව තවදුරටත් සමතලා කරගෙන යන්න බදු පටවන අයවැයක් ඉදිරිපත් කර තිබෙන්නේ. උදාහරණයක් හැටියට ලබන වසරේ ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන හාරදහස් එකසියවිසිහතක් වන විට බදු ආදායම විදියට රුපියල් බිලියන තුන්දහස් අටසියවිසිහයක් ලබා ගන්න අපේක්‍ෂා කරනවා. මුළු ආදායමේ ප්‍රතිශතයක් ලෙස සියයට අනූතුනක්ම බදු ලෙස ගන්න ඇස්තමේන්තු කර තිබෙනවා. මේ නිසා වාර්ෂික ඒකපුද්ගල බදු බර රුපියල් එක්ලක්‍ෂ හැත්තෑතුන් දහස් හයසියතිස්හයක් වෙනවා. එක් දිනකට හැම පුද්ගලයෙක් මතම රුපියල් හාරසිය හැත්තෑපහකට වැඩි බදු බරක් පැටවෙනවා.
දවසකට ඒ පුද්ගලයාට ආදායම කීයක් ලැබුණත්, එක පුද්ගලයකු විදියට රුපියල් හාරසියහැත්තෑපහක බදු බරක් දරන්න ඕනෑ. මේ විදියට ලබා ගන්නා ආදායම වියදම් කිරීමේ දී ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් විශාල මුදලක් කප්පාදු කර තිබෙනවා. ගැබිණි මවුවරුන්ට, කිරි දෙන මවුවරුන්ට, දරුවන්ට පෝෂණ ඌණතා තිබියෙදී, තත්වය වඩාත් දරුණු වෙමින් තිබියෙදී, දෙදහස් විසිතුනට වෙන් කර තිබූ රුපියල් බිලියන එකසියපනස්දෙක දෙදහස් විසිහතරේදී රුපියල් බිලියන හැත්තෑහතක් දක්වා කපාහැර තිබෙනවා. මේ කපාහැරීම නිසා විශේෂ අවශ්‍යතා ඇති පිරිස අතුරින් ළමයින් සහ කාන්තාවන් කෙරෙහි බරපතළ පීඩනයක් ඇති කරනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් පවත්වාගෙන යන විශේෂ අවශ්‍යතා ඇති ළමා හා කාන්තා සුරක්‍ෂිතතා මධ්‍යස්ථානවලින් ඒ අයව ඉවත් කර තම තමන්ගේ නිවෙස්වලට ගෙන යන්න බල කෙරෙමින් තිබෙනවා. රජය ලබා ගන්නා බදු ආදායමින් ඉතා අවම කොටසක් මේ වෙනුවෙන් පසුගිය කාලයේ වෙන් කර තිබුණත්, දැන් එයත් කපාහැර තිබෙනවා. දැනටමත් ඒ අයගේ පවුල් මත පැටවී තිබෙන බර මේ නිසා තවත් වැඩි කෙරෙනවා. නමුත්, විශ්‍රාමික ජනාධිපතිවරු සහ බිරින්දන් නඩත්තු කිරීම සඳහා වෙන් කර තිබෙන මුදල් ප්‍රමාණය දෙදහස් විසිතුනේදී රුපියල් මිලියන අසූහතරක සිට ලබන වසරේ දී රුපියල් මිලියන එකසියදහය දක්වා වැඩි කරගෙන තිබෙනවා. ළමා හා කාන්තා කාර්යාංශයට මුදල් කප්පාදු කරමින්, හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් ඉහළ දමා තිබෙනවා.
රටේ පවතින්නේ තවදුරටත් ජාවාරම් මත ගෙන යන ආර්ථිකයක්. අද ආණ්ඩුවේ පත්තරයේම මැලේසියාව හරහා යුරෝපයට අපේ ළමයි විකුණන ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළි කර තිබෙනවා. මේ ජාවාරම පටන් ගත්තේ ජේ.ආර්. ජයවර්ධන විසින් මේ රටට නව ලිබරල්වාදය හඳුන්වා දීමත් එක්කයි. බේබි ෆාම් කියලා හඳුන්වලා අපේ දරුවන් විකිණූ අතීතයම අද රනිල් වික්‍රමසිංහ යටතේත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. අනෙක් පැත්තෙන් සුරාසල් විවෘත කර තබන කාලය දීර්ඝ කර තාත්තලාට බොන්න දෙනවා. අම්මලා පිටරට යවනවා. මේ තත්වය තුළ අනාරක්‍ෂිත කර ඇති දරුවන් සම්බන්ධ අපරාධ ඉහළ යමින් පවතිනවා. අද තියෙන්නේ දරුවන්ට පවා එපා වුණු ආණ්ඩුවක්. ඒ නිසා අද ඉතිරි වී තිබෙන්නේ ආණ්ඩුව පලවාහැරීමෙන් උත්තර සොයා ගන්න විතරයි. මේ සඳහා දෙසැම්බර් හතර වැනිදා ළමා හා කාන්තා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මත කර ගැනීමට නියමිත දවසේදී විශාල උද්ඝෝෂණයක් අපි සූදානම් කර තිබෙනවා. ඒ සඳහා සියලුම කාන්තාවන්ට පාර්ලිමේන්තුව අසලට පැමිණෙන ලෙස ආරාධනා කරනවා.
“අයවැයේ තිබෙන්නේ කැරට් අල දේශපාලනය ඉදිරියට ගෙන යන සුන්දර වචන ටිකක්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රි පෝල්රාජ්-
කඩාවැටුණු ආර්ථිකයත් එක්ක අපේ රටේ කාන්තාවන් සහ දරුවන් විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණ දෙමින් සිටිනවා. ඒ වාගේම රාජ්‍ය අංශයේත්, පෞද්ගලික අංශයේත් රැකියා කරන කාන්තාවන් සහ වතු ක්‍ෂේත්‍රයේ කාන්තාවන් විශාල ගැටලු ප්‍රමාණයකට අලුතින් මුහුණ දීමට සිදු වී තිබෙනවා. පසුගිය කාලය තුළ ඇඟලුම් කර්මාන්ත, අනෙකුත් කුඩා කර්මාන්ත වැසී යන මොහොතක ගෙන ආ අයවැයෙන් කඩාවැටුණු රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා වැඩපිළිවෙළක් වාගේම තම පවුලේ අනාගතය පිළිබඳව සුබ සිහිනයක් දකින්න ජනතාව බලාපොරොත්තු වුණා. ඒ කිසිදු කාරණාවක් සැලැකිල්ලට නොගෙන මැතිවරණය ඉලක්ක කර ගත් කැරට් අල දේශපාලනය ඉදිරියට ගෙන යන ලක්‍ෂණ, සුන්දර වචන ටිකක් මේ අයවැයේ තිබෙනවා. ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට ඒ මොහොතේ ලබා දිය යුතු අවම පිළිතුරු සහිතව ඉදිරි අනාගතයේදී රට ඔසොවා තබන්නේ කොතැනටද යන්න පුරෝකථනය කළ හැකි කරුණු අයවැයක ඇතුළත් විය යුතු වෙනවා. නමුත්, වසර හැත්තෑපහක් පුරා ජනාධිපතිවරයාගේ සිට මැති, ඇමැතිවරුන් දක්වා ඔවුන්ගේ සුඛවිහරණය සහ සාක්කු පුරවා ගැනීම වෙනුවෙන් වාගේම බල අවශ්‍යතා වෙනුවෙන් මුදල් කළමනාකරණය කළ නිසයි මේ තත්වයට වැටුණේ. නමුත්, ජනතාවගේ ජීවන මට්ටම ඔසොවා තබන ඉලක්ක කිසිවක් මේ අයවැය තුළ අඩංගු කර නැහැ.
සංඛ්‍යා දත්ත හැටියට ගත්තොත්, ඔක්තෝබර් මාසය වන විට ලක්‍ෂ පනහකට රතු විදුලි බිල් ලැබී තිබෙනවා. ඔවුන් අතුරින් විශාලම පිරිසක් ආර්ථික අතින් පහළම මට්ටමේ සිටින අයයි. අනෙක් පැත්තෙන් ගෘහස්ථ මට්ටමින් හෝ සුළු පරිමාණ මට්ටමින් කරගෙන යන යම් කර්මාන්තයක් තිබෙනවා නම්, ඒ සඳහා යොදා ගත් විදුලි බිල් පවා මේ ලෙස ගෙවාගත නොහැකි මට්ටමේ පවතිනවා. අපේ ගම්වල පවා මේ කුඩා කර්මාන්තවල රැකියා කළ සහෝදරියන් බොහෝ දෙනකුට රැකියා අහිමි වී තවත් පිරිසකට අහිමි වීමේ අනතුරත් විදුලිය බිල නිසාම ඇති වී තිබෙනවා. මාසේ ආදායමත් එක්ක විදුලි බිල දරා ගන්න බැරි තත්වයකට පත් වී තිබෙනවා. ව්‍යාපාරික ආයතනවල වාගේම නිවාසවලත් ශීතකරණවල විදුලිය රාත්‍රී කාලයේ විසන්ධි කර තැබීමට බොහෝ දෙනෙක් පෙළැඹී සිටීමෙන් දරුවන්ගේ ආහාර සුරක්‍ෂිතතාව පවා අනතුරට පත් වී තිබෙනවා. විදුලි බිල වැඩි කිරීම ගෘහස්ථව සිට කර්මාන්ත දක්වා ඉතාමත් නරක ආකාරයෙන් බලපා තිබෙනවා. අයවැයෙන් මේ සඳහා යම් හෝ සහනයක් ජනතාව බලාපොරොත්තු වුණත්, සියයට පහළොවක් වන වැට් බද්ද සියයට දහඅට දක්වා වැඩි කරනවා. මේ නිසා අමුද්‍රව්‍ය මත බලපැවැත්වීම වාගේම නිමි ද්‍රව්‍ය බවට පත් වන විට භාණ්ඩ මිල ඉහළ යාම පාරිභෝගික ජනතාවට දරාගත නොහැකි වෙනවා. අමුද්‍රව්‍යවලට බදුවල බලපෑම නිසා තවත් වසරකින් තවත් කර්මාන්ත කඩාවැටීමට හේතු වෙනවා.
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සාධාරණ වැටුප් වැඩි වීමක් බලාපොරොත්තු වුණත්, එය ලබා නොදී රුපියල් දහදාහක් ලබන අප්‍රේල් මාසයේ සිට ලබා දෙන බවට ප්‍රෝඩාකාරී ඡන්ද පොරොන්දුවක් දී තිබෙනවා. නමුත්, ඔවුන් ඉල්ලා සිටියේ රුපියල් විසිදහසක වැටුප් වැඩි කිරීමක්. ආණ්ඩුව ලබා දෙනවා කියන රුපියල් දහදාහක වැටුප් වැඩි කිරීමට පවා විධිමත් ක්‍රමවේදයක් යෝජනා කර නැහැ. දැන් යෝජනා කර තිබෙන වැට් බද්දෙන් තවත් විශාල ආදායමක් රජය ලබා ගන්නා අතරම සමාජ ආරක්‍ෂණ බද්ද ඇතුළු තවත් බදු වර්ග ගණනාවක් ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා. තව පැත්තකින් අයි.එම්.එෆ්. යෝජනාවලිය හරහාම විශ්‍රාමිකයන් පවා බදු ගෙවන්නන් බවට තවත් ආකාරයට වක්‍රව ගොදුරු වෙනවා. රුපියල් දහදාහක වැටුප් වැඩි වීමක් රාජ්‍ය සේවකයන් හට ලබා දෙන බව කිව්වත්. බදු වැඩි කිරීම නිසා සත්‍ය වශයෙන්ම සිදු වන්නේ වැටුප් කප්පාදුවක්. ලබා දෙන බව කියන රුපියල් දසදහසක දීමනාව ප්‍රෝඩාවක් බව රාජ්‍ය සේවකයන් හොඳ අවබෝධයකින් සිටිනවා. ගුරුවරුන්ට එක්දහස් නවසිය අනූහතේ සිටම ලබා දිය යුතු වැටුප් වර්ධකවලින් මෙතෙක් ලබා නොදුන් තුනෙන් දෙකක කොටස ලබා දීම දෙදහස් විසිහතර අයවැයේදීත් පුස්සක් බවට පත් කර තිබෙනවා. මේ නිසා දෙලක්‍ෂ පනස්තුන් දහසක් පමණ වන ගුරු, විදුහල්පතිවරුන් සියලු දෙනා ම ව්‍යාජ පොරොන්දු ලබා දෙන දුෂිත ආණ්ඩුවට විරෝධය පළ කරමින් සිටිනවා.
වැට් බදු වැඩි කිරීමෙන් ලබන වසරේ දී රුපියල් බිලියන එක්දහස් හාරසියයක් වැඩි කර ගැනීමට ආණ්ඩුව අපේක්‍ෂා කළත්, ලබාගත හැක්කේ රුපියල් බිලියන නවසිය දහඅටක් බව ආර්ථික විශේෂඥයන් විසින් පෙන්වා දී තිබෙනවා. මේ නිසා ලබන වසරේ මැදභාගය වන විට වැට් බද්ද සියයට විසිහතර දක්වා වැඩි වීමේ අවදානමක් තිබෙන බව විශේෂඥයන් පෙන්වා දෙනවා. ක්‍ෂුද්‍ර මූල්‍ය ණයවලින් පීඩා විඳින ජනතාව, ගොවි ණය ගෙවාගත නොහැකි ජනතාව, ගංවතුර ඇතුළු උපද්‍රවවලින් පීඩාවට පත්වුණු ජනතාව සහ විශේෂයෙන් වතුකරයේ ජනතාව පිළිබඳව කිසිදු සඳහනක් මේ අයවැයේ නැහැ. මේ තත්වය තුළ නැවතත් උද්ධමනය ඉහළ ගොස් ආණ්ඩුව ලබා දෙනවා කියන සහන පවා පුස්සක් බවට පත් වෙනවා.
මේ රටේ නිෂ්පාදනය සහ රජයේ ආදායම වැඩි කරගත හැකි කිසිදු ව්‍යාපෘතියක් මේ අයවැයේ නැහැ. ලබන වසර තුළ පමණක් නොව අනාගත අරමුණු සහිත දැක්මක් ඇති කිසිවක් නැති අයවැයක් තිබෙන්නේ. කොල්ලකාරී ආර්ථිකය සහ දූෂිත දේශපාලන සංස්කෘතිය පවත්වාගෙන යන මේ ක්‍රමයට තවදුරටත් ඉඩ දිය යුතු නැහැ. මේ අයවැයෙන් සියයට හැත්තෑනවයක්ම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යටතේ පවතිනවා. ඉතිරි අමාත්‍යාංශ විසිහතටම වෙන් කර තිබෙන්නේ මුළු අයවැයෙන් සියයට විසිඑකක් පමණයි. ජනාධිපතිවරයා යටතේ පමණක් මුළු වියදමින් සියයට හැටහයක් තමන් යටතේ තබාගෙන සිටිනවා. මේ දූෂිත දේශපාලනයේ තරම මෙයින් පැහැදිලියි. තමන්ගේ සැපවත් ජීවිත ගත කරන්න ජනතාවගේ බොටුව මිරිකන මේ ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා අපි දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා. තවදුරටත් ජනතාව මුළා නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කරනවා.
-2023.12.02 – ජාතික ජන බලවේගය – විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ කළුතර දිස්ත්‍රික් සමුළුව- අද මේ කළුතර දිස්ත්‍රික් සමුළුව දැක්කාම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට තවත් වැඩ වැඩිවෙයි. මේ දවස්වල රණවිරු ප්‍රඥප්තියක් හදන්න යනවා. රණවිරුවන් උදෙසා කියා ඉඩම් දෙන්න උත්සාහ කරනවා. රැකියා අවස්ථා ලබාදෙන්න පුළුවන්ද කියා බලනවා. තිබෙන ඉඩමට ඔප්පුවක් දෙන්න පුළුවන්ද කියලා හොයනවා. එක එක් සේනාංක වෙන […]
-2023.12.02 – ජාතික ජන බලවේගය – විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ කළුතර දිස්ත්‍රික් සමුළුව-
අද මේ කළුතර දිස්ත්‍රික් සමුළුව දැක්කාම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට තවත් වැඩ වැඩිවෙයි. මේ දවස්වල රණවිරු ප්‍රඥප්තියක් හදන්න යනවා. රණවිරුවන් උදෙසා කියා ඉඩම් දෙන්න උත්සාහ කරනවා. රැකියා අවස්ථා ලබාදෙන්න පුළුවන්ද කියා බලනවා. තිබෙන ඉඩමට ඔප්පුවක් දෙන්න පුළුවන්ද කියලා හොයනවා. එක එක් සේනාංක වෙන වෙනම ගෙනත් සුහද හමු කරනවා. හමුදාවේ විවිධ අංශ උපයෝගී කරගෙන එක එක්කෙනා ගැන වෙන වෙනමත් සොයනවා. අපේ ත්‍රිවිධ හමුදා සාමූහික ක්‍රියාකාරීන් අසාධු ලේඛනයට ඇතුල් කරන්නත් උත්සාහ කරනවා. යම් සුහද හමුවකට ආරාධනා කළොත් ඒ ආරාධනය කළේ කවුද කියලත් සොයනවා. ඒ මොනවා කළත් කළුතර මේ සමුළුව දැක්කාම ආරක්ෂක ලේකම්ට තවත් වැඩ ගොඩාක් කරන්න සිදුවෙනවා. විවිධ වරදාන දී හෝ බාධා සිදුකර නවත්වන්න හැකි බලවේගයක් නොවෙයි ජාතික ජන බලවේගයත් එක්ක මේ එකතු වී සිටින්නේ. අපේ රටේ තිස්වසරක යුද්ධය අවසන් කිරීම සඳහා විශාල මෙහෙයක් සිදුකළ ඔබ සුවිශාල පරිත්‍යාගයන් සිදුකරමින්, ශරීරයේ විවිධ අංග පවා අහිමි වෙමින් තිබියෙදී, තමන්ගේ සමීපතමයන්ගේ ජීවිත තම දෑස් ඉදිරිපිට අහිමි වීමේදීත් අරමුණු අත්නොහැරි පිරිසක් මේ ඉන්නේ.
නමුත් ඔබ යුද පිටියේ සිටියෙදී ඔබට එරෙහිව සටන් වදින සතුරන්ට අතට අත දෙන නායකයන් සිටියෙදීත්, ඔබ අරමුණු වෙනුවෙන් ක්‍රියාකළා. ඔබ යුද පිටියේ සිටියෙදීත් නායකයන් සතුරන්ට සල්ලි දුන්නා. ඔබ යුද පිටියේ සිටියෙදී යටත් වෙන්න කියලා නායකයන් නියෝග දුන්නා. මේ ඉන්නේ ඒ හැම දෙයක්ම දරා ගනිමින් යුද්ධය අවසන් කිරීම සඳහා විශාල දරාගැනීම් සිදුකළ පිරිසක්. ආරක්ෂක ලේකම්වරයාගේ චක්‍රලේඛවලට, තුණ්ඩුවලට කුඩා කුඩා කෙනෙහිලිකම්වලට යටත් කරන්න බැරි පිරිසක්. ඔබට යුද පිටියේදීත් සටන් වදින්නට සිදුවූයේත් ඇත්ත සතුරන් සමගද? නැහැ. අපේ රටේ නායකයන් විසින් නිර්මාණය කරන ලද සතුරන් සමග. ඇත්ත සතුරා සඟවලා විවිධ ආකාරයේ සතුරන් ඔවුන් විසින් නිර්මාණය කළා. ඒ නිසා දකුණේ අම්මලා තාත්තලාට දරුවන් අහිමි වුණා වගේම, උතුරේ අම්මා තාත්තලාටත් දරුවන් අහිමි වුණා. දකුණේ මිනිසුන්ට සැකය, අවිශ්වාසය, බිය ඇතිවුණා වගේම උතුරේ මිනිසුන්ටත් සැක, අවිශ්වාසය, බිය ඇති වුණා. අවසන් ප්‍රතිඵලය හැටියට උතුරත්, දකුණත් ඛේදවාචකයක් වුණා. අපි ඇත්ත සතුරා පරාජයට පත් කළා නම්, යුද්ධය අවසන් වූ පසුව රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්න ඕනෑ. මේ රටේත් ආර්ථිකය ගොඩනැගීමට නොහැකි වුණේ යුද්ධය නම්, අපේ සතුට නැති කළේ යුද්ධය නම්, යුද්ධය අවසන් වුණාම ඒ ප්‍රශ්න විසඳෙන්න ඕනෑ. ජනතාව ඒ බව බලාපොරොත්තු වුණා. නමුත් අපි පරාජය කර තිබුණේ ඇත්ත සතුරා නොවෙයි. නායකයින් විසින් නිර්මාණය කරන ලද සතුරා. අද අපි හැමෝම එකතැනකට ඇවිත් සිටින්නේ අපේ රටත් ජනතාවත් ව්‍යසනයට පත්කරන ලද ඇත්ත සතුරා පරාජය කරන්නයි.
සමහර අය අහනවා විපක්ෂයේ අය බෙදිලා මේක කරන්න බැහැ නේද කියලා. බෙදිලා ඉන්නේ අපි නොවෙයි ඒගොල්ලෝ. එක්සත් ජාතික පක්ෂයේ නායකයා එක පැත්තක, හිටපු උපනායකයා එක පැත්තක. නියෝජ්‍ය නායකයාගෙන් පස්සේ ආව අය එක්සත් ජාතික පක්ෂ නායකයාගේ කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. මහින්ද රාජපක්ෂ එක පැත්තක ඉඳිද්දී, ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සිටි ඩලස් අලහප්පෙරුම, ජී.එල්. පීරිස් වගේ අය තව පැත්තක. ඒ ගොල්ලෝ බෙදිලා ඉන්නවා, යටින් එකතුවෙලත් ඉන්නවා. ඉස්සර කීවේ රනිල් බටහිර ගැත්තා, මහින්ද ජාතිය බේරා ගන්නා පියා කියලා. ඔවුන් ජනතාව ඉදිරියේ ව්‍යාජව බෙදී සිටියා. ඒගොල්ලෝ කඩදාසිවලින් කඩු හදාගෙන වේදිකාවේ බෙදී සිටියා. රටේ ජනතාව ඇත්තටම කඩු අමෝරාගෙන සිටියා. රනිල් වික්‍රමසිංහ මාලදිවයිනේ සිට පැමිණ ගෙදර යන්නත් ඉස්සර, මහින්දගේ උපන්දින පාටියට ගියා. ඉන්දියානු මාධ්‍යවේදිනියක් ඒ බව ඇහුවාම හැමදාම ඒ උපන්දින පාටියට ගිය බව රනිල් කීවා. ජනතාවට කඩු අමෝරාගෙන සිටීමට සලස්වා ඔවුන් එකට පාටි දාන, කැත, මජර දේශපාලනයක් කරන්නේ. ජනතාවට එරෙහිව එකතුවෙලා ඉන්නෙත් ඒගොල්ලෝ. බොරුවට බෙදිලා හිටියෙත් ඒගොල්ලෝ. දැන් මේ රටේ ජනතාව එකතු වෙලා ඉන්නවා; වේගයෙන් එකතු වෙමින් ඉන්නවා. අපේ ඇස් ඉදිරිපිට සිදුවෙමින් තිබෙන මේ ඛේදවාචකවලින් අපට බලය ලබාගැනීමට වේගයෙන් ක්‍රියාකරන ලෙස බලකෙරෙමින් තිබෙනවා.
ජාතික ජන බලවේගය වටා එකතු වී සිටින ශක්තිමත්ම බලවේගය ත්‍රිවිධ හමුදා සාමූහිකයයි. ඒ නිසා ඔවුන් වඩාත්ම කලබල වී සිටිනවා. ඒ කලබලය නිසා ඔවුන් විවිධ වෙට්ටු දානවා; මරුවැල් එලනවා; බොරු වලවල් කපනවා. නමුත් අපි හැමෝම එක්වී ඉතාම සූක්ෂමව ජයග්‍රහණය කරා පියමනිමින් සිටිනවා. ඒ ගමනේදීත් ඔබට මේ රට පිළිබඳව අත්හළ නොහැකි වගකීමක් සහ අයිතියක් තිබෙනවා. මේ මජර, යුද්ධයෙන් සොරා කෑ, සතුරන් සමග ඩීල් දැමූ ඔවුන්ට මේ රටට අයිතියක් නැහැ. ඔවුන් කළේ තමන්ගේ පුතා නාවික හමුදාවට බන්දවා, ලක්ෂ 300කට වැඩිය වැය කර, එක්සත් රාජධානියේ පුහුණුවකට යැවීම පමණයි. මේ රට සහ ජනතාව වෙනුවෙන් තිබෙන අත්හළ නොහැකි වගකීම සහ අයිතිය පාවිච්චි කරන්න ඔබ ඉදිරියට එන්න.
විශ්‍රාමික සාමූහිකය සම්බන්ධයෙන් සතුරා තවත් බොරු ප්‍රචාරයක් ගෙනයනවා. සන්නද්ධ අංශයක් ගොඩනඟන බවට. ඔව්, මේ පාලකයන් රටට කර තිබෙන විනාශය පිළිබඳව, මේ පාලකයන් පළවා හැරිය යුත්තේ ඇයි කියලා අපි ඔබව දැනුමෙන් සන්නද්ධ කරනවා. ඔවුන් රටට සහ ජනතාවට කළ විනාශයට එරෙහිව සියලු ජනතාව එක්විය යුතු බවට මතවාදයෙන් සන්නද්ධ කරනවා. ඒ වගේම අපි ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවෙන් අඟලක්වත් එහාට පනින්නේ නැතිව මේ අරගලය ජයග්‍රහණය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කළේ කවුද? සරත් එන්. ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ලෙස කටයුතු කළ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලයට ඛනිජ තෙල් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබාදුන්නා. මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පයිසයකට ගණන් නොගෙන ක්‍රියාකළා. මෛත්‍රීපාල සිරිසේන අවස්ථා දෙකකදී ව්‍යවස්ථාව කැඩූ බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. 2018 ඔක්තෝබර් මාසයේ සිදුකළ කුමන්ත්‍රණයේදී ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් එක් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්දෙනෙකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් විසින් ලබාදී තිබෙනවා. ඒ වගේම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලබාදී තිබෙන වගකීමට වගනොවීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමකදී මෛත්‍රීපාල සිරිසේන දෙවන වරටත් වැරදිකරුවකු කළා. අපේ රටේ මූල්‍ය බලය තිබෙන පාර්ලිමේන්තුව නොසලකා හැර, භාණ්ඩාගාරයේ සල්ලි වියදම් කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලා, ව්‍යවස්ථාව කැඩූ බවටත් මූලික අයිතිවාසිකම් නඩුවකදී ආර්ථික අපරාධ සිදුකළ බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබෙනවා. නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය නොපවත්වා, කුමන්ත්‍රණකාරීව එය කඩාකප්පල් කළේ රනිල් වික්‍රමසිංහයි. ව්‍යවස්ථාව රැකිය යුතු බවට සක්‍රීය හමුදා කඳවුරු තුළ දේශන පවත්වන කමල් ගුණරත්නගේ නායකයන් ව්‍යවස්ථාව කඩලා තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිසමට බලපෑම් කර, එහි සිටි සාමාජිකාවක් ඉල්ලා අස්වීමට සලස්වා මැතිවරණය කඩාකප්පල් කිරීමෙන් මාස දෙක තුනකට පසුව උතුරේ ආණඩුකාරවරිය ලෙසට සන්තෝෂම් ලබාදුන්නා.
අනෙක් පැත්තෙන් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න සමාජ මාධ්‍ය ජාලා මර්දනය කිරීමේ පනතක් ගේන්න හදනවා. යල්පැනගිය පොලිස් ආඥා පනතක් සොයාගෙන මහජනයාගේ සාමකාමී උද්ඝෝෂණවලට පහර දෙනවා. පසුගිය කාලයේ පොලිස්පති තනතුරට රීලෝඩ් දැම්මා. දැන් එයා ඉවත් කර, වෙනත් රීලෝඩ් එකක් දමා වැඩ බලන පොලිස්පති කියන මස්කට්ට එල්ලලා, මාස තුනකට ලබාදී තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුත් නීතිපති දෙපාර්තමේන්තුවේ ෆයිලුත් තිබෙනවා. ගෝල්ෆේස් තරුණයන්ට පහර දෙන්න මහ දවල් මැරයන් එක්ක පැමිණි කෙනා ඔහුයි. සනත් නිශාන්ත එක්ක ආවේ දේශබන්දු තෙන්නකෝන්. එහෙම කරන අය විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය සම්බන්ධයෙන් බොරු ප්‍රචාර ගෙනයනවා. අපි මේ සාමූහිකය ගොඩනඟන්නේ ව්‍යවස්ථාව කඩන නායකයන් පළවා හැර, සාධාරණ නීතියක් තිබෙන ව්‍යවස්ථානුකූල රටක් ගොඩනඟන්නයි. ඕනෑම පුරවැසියෙකුට සමාන ලෙස පුරවැසි අයිතිවාසිකම් භුක්ති විඳීමේ අයිතිය තහවුරු කරන ව්‍යවස්ථාවක් අපි හඳුන්වා දෙනවා.
රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ, මේ අයවැයෙන් ධීවර කාර්මිකයාට ලබාදී තිබෙන්නේ කුමන සහනයක්ද? මාළු ටික මුහුදේ ඉන්නවා, යාත්‍රා ටික ගොඩ තිබෙනවා. ධීවරයා ශක්තිමත් කරන්න, කඩා වැටී තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නැවත ගොඩනඟන්න මේ අයවැයෙන් මොනවාද සිදු කර තිබෙන්නේ? අපේ රටේ වෘත්තීයවේදියාගේ ඥානය, ආර්ථිකය ගොඩනැගීමට උකහා ගන්න ආර්ථිකයේ ලබාදී තිබෙන තැන කුමක්ද? අපේ සැලසුම් අනුව රටේ නිෂ්පාදනය, සේවාවන්, වර්ධනය කිරීම සඳහා සමස්ත ජනතාව ඒකාබද්ධ කර ගන්නවා. සියලු දෙනා කොතැනක හෝ පංගුකරුවන් ලෙස සම්බන්ධ වන සැලසුමක් අපි සකස් කරනවා. අපි හැමදෙනාම මහන්සිවෙලා වැඩකරමු. ජයග්‍රහණය ගැන විශ්වාසය පවා බිඳ වැටී තිබුණු අවස්ථාවක නැවත ඒ විශ්වාසය ඇති කර ගෙන යුද්ධය අවසන් කරන්න දායක වුණා. දැන් ආර්ථිකය බිඳ වැට්ටූ පසුව සුබ සිහින සියල්ල බිඳදමා තිබෙන පසුබිමක අපි අද බලාපොරොත්තු සහිතව ක්‍රියාකරමින් ඉන්නවා. සුබවාදී සිහින මියගිය, බලාපොරාත්තු කඩා වැටුණු පසුබිමක ජනතාව අප කෙරෙහි විශාල බලාපොරොත්තු තබාගෙන සිටිනවා.
රටට ඔරොත්තු නොදෙන විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කර, බැංකු ගිණුම් තර කරගත් පාලකයන් සහ ඔවුන් වටා සිටින කෝටි ප්‍රකෝටි ගණන් බැංකුවලට පොලු තැබූ ව්‍යාපාරිකයන් අප සම්බන්ධයෙන් බියවී සිටිනවා. ඒ නිසා අවසාන මොහොත දක්වා ඔවුන් අතේ බලය තබාගන්න, කළ හැකි සියල්ල කරන බව අපි දන්නවා. නමුත් අපි ළඟ මහජන බලය තිබෙනවා. ජාතික ජන බලවේගය කියන්නේ ලංකාවේ ගොඩනැගෙන ශක්තිමත්ම ජාතික ව්‍යාපාරයයි. මේක හුදු බලය ලබාගැනීමේ දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි. සුද්දාට විරුද්ධව ඉන්දියාවේ ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් තිබුණා. සුද්දාට විරුද්ධ ජාතික සටනක් වෙනුවට සුද්දාගෙන් කීයක් හෝ යදින යාචකයන් බවට අපිට පත්කර තිබුණා. ජාතියේ පියාලා සිදුකළේ ඒක. සුද්දාගෙන් පසු බලය ගත් පිරිස ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟුවේ නැහැ. පුරවැසි පනත ගෙනත්, එයට එරෙහිව ෆෙඩරල් ව්‍යාපාරය බිහිකිරීමට ඉඩ සලසා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කර, විවිධ බෙදීමිවලට ඉඩ සැලසුවා. ලෝකයේ දියුණු වුණු ඕනෑම රටක් පිටුපස තිබෙන්නේ, ජාතික ව්‍යාපාරයක් ගොඩනඟා ඒ තුළින් ජාතික සටනක්, මෙහෙයවීමයි. 30 අවුරුදු යුද්ධය ජාතික සටනක් නොවේ. මේ දුෂ්ට, විනාශකාරී, චෞර, පාලක පෙළැන්තියෙන් බලය අතපත් කර ගැනීම සඳහා ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් අපට අවශ්‍යයි. අපි හැමෝම ඒ ජාතික ව්‍යාපාරයේ පංගුකරුවන් බවට පත්වෙන්න ඕනෑ. ඒ තුළින් නව ජාතික නිදහස් සටන ජයග්‍රහණය කරා ගෙන යන්න ඕනෑ. ශ්‍රේෂ්ඨතම අරමුණු වෙනුවෙන් උසස්ම අරමුණු වෙනුවෙන් කැපකිරීම, දරාගැනීම, අත්නොහැරීම, අරමුණු කරා යාම ආදී ජීව ගුණාංග සහිත ශක්තිමත්ම ජාතික ව්‍යාපාරයක් අපට අවශ්‍යයි. ජාතික ජන බලවේගය ඒ ජාතික ව්‍යාපාරය ගොඩනඟමින් යනවා. එහි ශක්තිමත්ම කොටස්කරුවන් බවට පත්වී සිටින්නේ, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයයි. ඉදිරියේදී එයට විශ්‍රාමික පොලිස් සාමූහිකයත් එකතු වෙනවා. ඒ වගේම ධීවරයන්, ගොවියන්, වෘත්තීයවේදීන්, කාන්තාවන්, ශිෂ්‍යයන් සියලුම දෙනා එක්වී ජාතික ව්‍යාපාරය ගොඩනැගීම අපි ඉදිරියේ තිබෙනවා. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම පෙරට ඇවිත් ධෛර්යෙන් වැඩ කරමු.
-Colombo, November 28, 2023- අපේ රටේ රාජ්‍ය සේවකයන් ජීවත්වීමේ අපහසුතාවයකට පත්වී තිබෙනබා. බිත්තරයක් රුපියල් 12/-ට තිබුණා. පෙට්‍රල් ලිටරය 117/-ට තිබුණා. අද බිත්තරයක් රුපියල් 45/-යි. පෙට්‍රල් ලීටරයක් රුපියල් 356/-යි. රුපියල් 105/ට තිබුණ ඩීසල් ලීටරය අද රුපියල් 356/-යි. රුපියල් 87/-ට තිබුණ භූමිතෙල් අද 249/-යි. ආදායම ශත පහක්වත් වැඩි නොවී, සෑම දෙයකම මිල වැඩිවෙලා තිබෙනවා. බඩු මිල හා […]
-Colombo, November 28, 2023-
අපේ රටේ රාජ්‍ය සේවකයන් ජීවත්වීමේ අපහසුතාවයකට පත්වී තිබෙනබා. බිත්තරයක් රුපියල් 12/-ට තිබුණා. පෙට්‍රල් ලිටරය 117/-ට තිබුණා. අද බිත්තරයක් රුපියල් 45/-යි. පෙට්‍රල් ලීටරයක් රුපියල් 356/-යි. රුපියල් 105/ට තිබුණ ඩීසල් ලීටරය අද රුපියල් 356/-යි. රුපියල් 87/-ට තිබුණ භූමිතෙල් අද 249/-යි. ආදායම ශත පහක්වත් වැඩි නොවී, සෑම දෙයකම මිල වැඩිවෙලා තිබෙනවා. බඩු මිල හා සේවා මිල වැඩිවුණා. රුපියල් 98/-ට තිබුණු සීනි කිලෝ එක අද රුපියල් 340/-යි 350/-යි. රුපියල් 65/-ට තිබුණු හාල් කිලෝ එක අද රුපියල් 235/-යි 240/යි. ආදායම වැඩි නොවී වියදම තුන් හතර ගුණයකින් වැඩිවී තිබෙනවා.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගිය දිනවල වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවේ ඉතා පැහැදිළිව කියනවා හතර දෙනෙකුගෙන් යුතු පවුලකට මාසයක් ජීවත් වීම සඳහා රුපියල් 74000/- ක් අවශ්‍ය බව. එවැනි වැටුපක් ලබන රාජ්‍ය සේවකයන් කී දෙනෙක්ද සිටින්නේ. උපාධිධාරී රජයේ සේවකයෙකුගේ මූලික වැටුප රුපියල් 31900/-යි. එයිනුත් වැන්දඹු අනත්දරු මුදලට කපා ගැනීම 6% තිබුණු මුදල 8% දක්වා වැඩි කළා. රුපියල් 30,000/-ක් වැටුපක් ලබන කෙනෙකුගෙන් අනිවාර්යයෙන් මාසයකට රුපියල් 600/-ක් කැපෙනවා. රුපියල් 60000/-ක වැටුපක් ලබන අයෙකුගෙන් රුපියල් 1200/-ක් කැපෙනවා. වැන්දඹු අරමුදලට මුදල් කප්පාදු කළාට එහි ප්‍රතිලාභ ලැබෙන්නේ ඔහු විශ්‍රාම ගියාට පසුව. එහෙම නැතිනම් ඔහු මියගියාට පසුව කලත්‍රයාට ලැබෙයි. එහෙම නැතිනම් ලැබෙන්නෙත් නැහැ. ආණ්ඩුව කර තිබෙන්නේ රජයේ සේවකයාගේ සල්ලි ටික කොල්ලකාපු එක.
සොච්චම් 10,000/-ක් දෙනවා කිව්වා. භාණ්ඩ හා සේවා බද්දෙන් ආණ්ඩුව අපේක්ෂා කරන ආදායම රුපියල් බිලියන 1094යි. රජයේ සේවකයාට 10,000/- දෙන්න යන්නේ බිලියන 133යි. පරරිප්පු, සීනි, තේ කොළවල මිල වැඩිකරලා ආණ්ඩුව උපයා ගන්නවා. මේක සාධාරණ නැහැ. ඒ නිසා රජයේ සේවකයන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ ජනවාරි මාසයේ සිට රුපියල් 20,000/ක දීමනාවක් වැටුපට එකතු කරන ලෙස. මුදල් රාජ්‍ය ඇමති, සියඹලාපිටිය ඇමතිතුමා එළියෙදී කිව්වා රුපියල් 5000/-ක් ජනවාරියේදී දෙනවා කියා. නමුත් පාර්ලිමේන්තුවේදී එවැන්නක් ප්‍රකාශ කළේ නැහැ. වතු කම්කරුවන් පසුගිය දිනවල අරගල කරලා, දවසකට රුපියල් 1000/-ක් දිනා ගත්තා. අද ජීවත් වෙන්න ඒ මුදල ප්‍රමාණවත්ද? අවම වශයෙන් අද වැටුප රුපියල් 2000/-ක් වත් විය යුතුයි.
මේ සොච්චම් පැටුපෙන් රාජ්‍ය සේවකයාට ජීවත්වෙන්න අපහසුයි. ඒ නිසා ජනවාරි මාසයේ සිට රුපියල් 20,000/-ක අවම දීමනාවක් ලබාදීමට අයවැයේදි තීන්දුව ගන්න කියලා අවධාරණය කරනවා. ඒ වගේම, රාජ්‍ය සේවයට බඳවා ගැනීම් නතර වෙලා තිබෙන්නේ. 2016 සිට අලුතින් බඳවා ගන්නා අයට පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකමක් නැහැ. රනිල් වික්‍රමසිංහ එදා අගමැතිවරයා ලෙස එදා කැබිනට් මණ්ඩලයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා; 2006 සිට බඳවා ගන්නා රාජ්‍ය සේවකයන්ට පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම නැහැ කියා. ඒ වෙනුවට පත්වීම් ලිපියේ වාක්‍යයක් දමා තිබෙනවා, “දායක විශ්‍රාම වැටුප හිමිකම තිබෙන බවත්, විශ්‍රාම වැටුප් පිළිබඳ ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දුවක් මත තීරණය කරනු ලැබේ.” යනුවෙන්. සත්‍ය වශයෙන් මෙය අවිනිශ්චිතයි. රාජ්‍ය සේවකයෝ ලක්ෂ 14කට වැඩි ප්‍රමාණයක් අද සේවය කරන්නේ මේ තත්වය තුළ තමයි. ඔවුන්ට තෘප්තියක් නැහැ. සේවාව හරිහැටි සැපයිය හැක්කේ තෘප්තියක් තිබෙනවා නම් පමණයි. එම සේවාව නිවැරදිව නොලැබීමට එය ප්‍රධාන හේතුවක්. බොහෝ ආයතනවල පුරප්පාඩු පුරවන්නේ නැතිව තිබෙනවා. ඒ නිසාම ඉන්න නිලධාරියාට ඒ වැඩ සියල්ල ආවරණය කිරීමට සිදුවී තිබෙනවා. ග්‍රාමසේවා නිලධාරීන්ගේ තනතුරු 14,000කින් 3000ක් තවමත් පුරප්පාඩු තිබෙන බව අගමැතිතුමා අද කිව්වා. 2016 විතර පැවැත්වූ ග්‍රාමසේවා විභාගයේ ප්‍රතිඵල ඇවිත් විශාල කාලයක් වෙනවා. නමුත් බඳවා ගැනීම් කළේ නැහැ. අද වනතුරුත් එයට පිළිතුරක් නැහැ. හැමදාම පත්වීම් දෙන බව කියමින් ‘කැරට් අලේ’ පෙන්වමින් යනවා. ගමේ ප්‍රධාන පරිපාලන නිලධාරියා තමයි ග්‍රාම නිලධාරී. 1963 මැයි මාසයේ පටන්ගත් ග්‍රාම සේවා වෘත්තිය අද ඒ නෝනාවරුන්ට මහතුන්ට එපාවෙන තත්වයට ඇවිත් තිබෙනවා. නාගරික ග්‍රාම නිලධාරී කාර්යාලය පවත්වාගෙන යන්න, කාමරයකට මාසෙකට රු:1500/-ක් ගෙවනවා. බස්නාහිර පළාතේ කාර්යාලයක් පවත්වාගෙන යන්න රු:1500/-ට කාමරයක් දෙන්නේ කොහේද? මුළු අවුරුද්දටම ලිපි ද්‍රව්‍ය සඳහා රු:1500/-යි දෙන්නේ. මේ මුදලට පොත්, පෑන් ටිකක් ගන්න හැකිද? 2002න් පස්සේ ග්‍රාම නිලධාරී කාර්යාලවලට උපකරණ ලැබී නැහැ. මේ ග්‍රාම නිලධාරී සේවාව අතෘප්තියෙන් කරන්නේ. පැය 24ක සේවාවක් මේ නිලධාරීන්ට තිබෙන්නේ. නමුත් ඉතාමත් නොසැලකිලිමත් ආකාරයෙන් මේ අයට සලකන්නේ. ඒ අය ඉල්ලන දෙයක් තමයි එයාලගේ සේවා ව්‍යවස්ථාව පිළිගෙන ඵභ 5 වැටුප් තලයේ පිහිටුවලා, විශ්‍රාම වැටුප් කොමිසමේ එකඟතාවය අරගෙන ඒ අයගේ රැකියාවේ ගරුත්වය ආරක්ෂා කිරීම. අද වනතුරු ඒ ප්‍රශ්නයට පිළිතුරු ලැබී නැහැ. මේ ග්‍රාම නිලධාරීන්ගේ සේවා අයිතිවාසිකම අනුමත කර, නිශ්චිත සේවා ව්‍යවස්ථාවක පිහිටුවලා, නිවැරදි වැටුප් තලයක පිහිටුවා ලංකාව පුරා තිබෙන පුරප්පාඩු පිරවීමට මැදිහත් වෙන්න කියන ඉල්ලීම මම අවධාරණය කරනවා.
ඒ වගේම විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්නය කාලයක් තිස්සේ දිග්ගැසෙමින් තිබෙනවා. 1997 විශ්‍රාම ගත් ගුරු විදුහල්පති විශ්‍රාම වැටුප් ප්‍රශ්නය තවමත් විසඳා නැහැ. එන සෑම ආණ්ඩුවක්ම පොරොන්දු දෙනවා. නමුත් විසඳන්නේ නැහැ. විශ්‍රාමිකයන්ට ලැබුණු හිමිකමක්, 2016-2020 කාලය තුළ විශ්‍රාම ගිය විශ්‍රාමිකයන්ට ප්‍රධාන පත්‍රයකින් දෙනලද අයිතියක් තමයි ඔවුන්ගේ දීමනාව. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණු ගමන් 2020 ජනවාරි සිට ආණ්ඩුව තීන්දුවක් අරගෙන චක්‍රලේඛ ගසමින් එය නවතා දැමුවා. මේ වෙනවිට වසර හතරක් වෙනවා. මේ වන විට ගොඩක් විශ්‍රාමිකයන් මිය ගොස් තිබෙනවා. හිටපු විශ්‍රාමික වැටුප් අධ්‍යක්ෂකත් මෙතන ඉන්නවා. මේ අයටත් මේ විශ්‍රාම වැටුප අහිමිවී තිබෙන්නේ. ඒක ඒ අයට ලැබිය යුතු අයිතියක්. ඒ ප්‍රශ්නයත් අද වනතුරු නොවිසඳුණු ප්‍රශ්නයක්. අදත් අගමැතිවරයා ලෙසට පොරොන්දුවක් දුන්නා මෙය විසඳන බවට. වසර ගණනක් සේවය කළ රාජ්‍ය සේවකයා එයාලගේ පාරිතෝෂිකය ගන්න මාස ගණන් පෝලිමේ ඉන්න සිදුවෙලා තිබෙනවා. සේවකයා විශ්‍රාම ගිහින් කෙටි කාලයක් තුළ ලැබිය යුතුයි. එය නිවැරදිව කළමනාකරණය කොට විසඳීමට ආණ්ඩුව සමත් වී නැහැ. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බැංකුවලින් යම්කිසි සහනයක් ලබාදුන්නා. බැංකු පොලිය 15% කර, තමන්ගේ විශ්‍රාම වැටුප බැංකුවේ දමා වයෝවෘද්ධ අවසථාවේ පුංචි හෝ සහනයක් ලබාගත්තා. නමුත් මේ ආණ්ඩුව මොකද කලේ. ඒ 15% පොලිය අහෝසි කළා. මේ පාර්ලිමේන්තුවේදී මෙය මම ප්‍රශ්න කළා. එවිට එය නැවත ඇති කරන බවට පොරොන්දුවක් දුන්නා. නමුත් අද ඒ පොලිය වැඩිකිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් තවම ගත්තේ නැහැ. ඒකට මැදිහත්වී එය විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට මම අවධාරණය කරනවා.
විවිධ ආයතනවලට බඳවා ගැනීමේදී පුරප්පාඩු පිරවීමට වහාම මැදිහත් වෙන්න ඕනෑ. කඳුකරයේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, උප කාර්යාල පිහිටුවා නැහැ. සමහර තැනක ගොඩනැගිලි පිහිටුවා තිබෙනවා. නමුත් ප්‍රමාණවත් නිලධාරීන් පත්කර නැහැ. දෙමළ භාෂාවෙන් රාජකාරි කළ හැකි නිලධාරීන් නැහැ. අඹගමුව, නුවරඑළිය, තලවාකැලේ, නූන්ට් වගේ ප්‍රදේශවල විශාල ජනගහනයක් ඉන්නවා. දෙලක්ෂ විසිපන්දහසක් පමණ අඹගමුව, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉන්නවා. තිබෙන්නේ එක කාර්යාලයයි. තමන්ගේ රාජකාරි කර ගැනීමට බොහෝ දුරක් ගෙවාගෙන යන්න ජනතාවට සිදුවෙලා. එහෙත් ප්‍රමාණවත් නිලධාරීන් නැති ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදුවෙලා. මෙම ප්‍රශ්න විසඳීමට විධිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ කල් දමමින් යනවා. පළාත් පාලන ඡන්දය කල්දමා මාස ගණනාවක් වෙනවා. අයවැයෙන් බිලියන 11ක් මුදල් වෙන්කොට තිබෙනවා. දැන් තිබෙන්නේ මේ ඡන්දය පැවැත්වීම. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය එයයි. පළාත් පාලන ආයතනයේ විෂය පථය තමයි නිසි කලට මේ ඡන්දය පවත්වන එක. ආණ්ඩුවට මුදල් නැතැයි කියා ඡන්දය කල්දැමීමට කිසිදු හේතුවක් නැහැ. ඊළඟ වසරේ ජනාධිපතිවරණය, ඊළඟට මහා මැතිවරණය පවත්වන බවට ජනාධිපති ප්‍රකාශ කරනවා. එතුමා එය කිවයුතු නැහැ. එය ව්‍යවස්ථානුකූල නීතිය. ලබන වසරේ සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන්න ඕනෑ. ජේ.ආර්. ජයවර්ධන මාමාණ්ඩියටත් බැරි වුණා එයට වංගු ගහන්න. ලාම්පු-කළගෙඩි සෙල්ලම් පවත්වමින් පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමුවාට ජනාධිපතිවරණය කල්දමන්න බැහැ. ප්‍රශ්නය තිබෙන්නේ ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු පළාත් පාලන ඡන්දය පැවැත්වීමට කිසිදු හෝ බාධාවක් නැහැ. මැතිවරණයට අවශ්‍ය මුදල් වෙන්කොට තිබෙනවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරන්න ආණ්ඩුවට අයිතියක් නැහැ. වහාම මැතිවරණය පවත්වන ලෙසට මම අවධාරණය කරමින් ඉල්ලා සිටිනවා.
-Colombo, November 29, 2023- පසුගිය මාර්තු 09 පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නීතිවිරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී හා අත්තනෝමතික ක්‍රියාමාර්ග තුළින් කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය සහ තවත් පාර්ශව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 විභාගය අද (29) පෙරවරු 10.00ට ආරම්භ විය. පෙත්සම් විභාගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, ගාමිණි අමරසේකර සහ මුර්දු ප්‍රනාන්දු […]
-Colombo, November 29, 2023-
පසුගිය මාර්තු 09 පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නීතිවිරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී හා අත්තනෝමතික ක්‍රියාමාර්ග තුළින් කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය සහ තවත් පාර්ශව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 විභාගය අද (29) පෙරවරු 10.00ට ආරම්භ විය.
පෙත්සම් විභාගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, ගාමිණි අමරසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනෙමින් තිබේ.
නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01, 06, 13 දිනවල පෙත්සම් විභාග කර තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතය.
ජාතික ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ ජාතික ජන බලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ විසින් ගොනු කර ඇති පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතීඥ නයිජල් හැච් සහ නීතීඥ ශාන්ත ජයවර්ධන පෙනී සිටිති.
නීතිපති, කැබිනට් මණ්ඩලය, මහා භාණ්ඩාගාරයේ ලේකම්, මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පති වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් ජාතික ජන බලවේගය විසින් පසුගිය මාර්තු 14 දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට තීරණය කර තිබූ අතර විනිසුරුවරුන් නොපැමිණීම, ඉවත්වීම සහ විවිධ තාක්ෂණික කරුණු ඉදිරිපත් කරමින් මෙම පෙත්සම් විභාගය මාස 08ක් තිස්සේ කල් යන ලදී.
-Colombo, November 26, 2023- ජාතික ජන බලවේගයේ උඩදුම්බර ආසන සමුළුව පසුගිය නොවැම්බර් 25 දා හසලක බස් නැවතුම්පලේදී පැවැත්වූණි. මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, ජාතික විධායක සභික කේ. ඩී. ලාල් කාන්ත, දිස්ත්‍රික් විධායක සභික ඊ. එම්. බස්නායක, මහනුවර දිස්ත්‍රික් කමිටු සාමාජික එරික් වීරවර්ධන, ප්‍රවීන රංගන ශිල්පී මහින්ද පතිරගේ, ලංකා […]
-Colombo, November 26, 2023-
ජාතික ජන බලවේගයේ උඩදුම්බර ආසන සමුළුව පසුගිය නොවැම්බර් 25 දා හසලක බස් නැවතුම්පලේදී පැවැත්වූණි. මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, ජාතික විධායක සභික කේ. ඩී. ලාල් කාන්ත, දිස්ත්‍රික් විධායක සභික ඊ. එම්. බස්නායක, මහනුවර දිස්ත්‍රික් කමිටු සාමාජික එරික් වීරවර්ධන, ප්‍රවීන රංගන ශිල්පී මහින්ද පතිරගේ, ලංකා ගුරු සේවා සංගමයේ පාතහේවාහැට කොට්ඨාශ ලේකම් සංගීතිකා යටිවැල්ල, දිස්ත්‍රික් විධායක සභික ආචාර්ය ප්‍රිමාල් ප්‍රනාන්දු, සම්මානීය ගායක ශිල්පී තිස්ස ජයවර්ධන ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වූහ. විශාල ජන සහභාගීත්වයකින් පැවති මෙම සමුළුවේ දී උඩදුම්බර ආසනයේ නායකත්ව මණ්ඩලය ද පත්කර ගන්නා ලදී.