-Colombo, December 25, 2023- ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත නිමිති කරගනිමින් දෙසැ. 25 දිනයේ ලොව පුරා කිතුනු භක්තිකයින් විසින් මහත් භක්තියෙන් සමරනු ලබන අසිරිමත් නත්තල වෙනුවෙන් සුබපතනු කැමැත්තෙමු. ලෝකයට සාමයේ පණිවිඩය රැගෙන ආ දිනය ලෙස පොදුවේ හඳුන්වනු ලබන නත්තලෙහි වැදගත්කම වනුයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයේ වැදගත් කොටසක් වන සහෝදරත්වය හා සහජීවනය මිනිස් සිත් තුළ වගා කර […]
-Colombo, December 25, 2023-
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත නිමිති කරගනිමින් දෙසැ. 25 දිනයේ ලොව පුරා කිතුනු භක්තිකයින් විසින් මහත් භක්තියෙන් සමරනු ලබන අසිරිමත් නත්තල වෙනුවෙන් සුබපතනු කැමැත්තෙමු.
ලෝකයට සාමයේ පණිවිඩය රැගෙන ආ දිනය ලෙස පොදුවේ හඳුන්වනු ලබන නත්තලෙහි වැදගත්කම වනුයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයේ වැදගත් කොටසක් වන සහෝදරත්වය හා සහජීවනය මිනිස් සිත් තුළ වගා කර ගැනීම සඳහා වූ ප්‍රධානතම ආගමික නිමිත්ත එය වීමය. එසේම නත්තල් දිනය සාමයේ හා සහෝදරත්වයේ පණිවිඩය සමාජයට බෙදාහැරීමේ අවශ්‍යතාව අවධාරණය කර ගැනීමට අගනා අවස්ථාවකි.
ජනගහනයෙන් අඩකට වැඩි ප්‍රමාණයකට කුසගින්නේ නින්දට යාමට සිදු වී ඇති රටක නත්තල උත්සවාකාරයෙන් සැමරීමට හැකියාවක් නැත. එහෙත් නත්තල විසින් ප්‍රකට කරන ප්‍රේමය, සහෝදරත්වය, සහජීවනය වැනි මානව ගුණාංගවලින් යුතුව අසල්වැසියා දෙස බැලීමට එම තත්වය බාධාවක් නොවේ.
ජනතාව පීඩනයට පත් කරන පාලනයට එරෙහිව ජනතාවගේ පාර්ශ්වයේ සිට සටන් වැදුණු ආගමික නායකයෙක් වන ක්‍රිස්තුස් වහන්සේ විසින් ප්‍රකට කළ මානව ගුණයන්ගෙන් පිරිපුන්, පවතින අසාධාරණය ප්‍රශ්න කරන හා කැපකිරීම්වලට ඉදිරිපත් වන මිනිසුන් වඩ වඩාත් අපට අවැසිය; එවැනි මිනිසුන්ගෙන් සමන්විත සමාජයක්ද අපට අවැසිය. ඒ වෙනුවෙන් වූ අදිටන ශක්තිමත් කර ගන්නා දිනය බවටද නත්තල් දිනය පත් කර ගන්නා මෙන් සියලු ලාංකේය කිතුනු බැතිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.
අනුර කුමාර දිසානායක
නායක
ජනතා විමුක්ති පෙරමුණ/ ජාතික ජන බලවේගය
-Colombo, December 19, 2023- බදුල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට නායයෑම් හේතුවෙන් අනාථ වූ පිරිස් රඳවා සිටින කඳවුරු ගණන 12 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පවුල් 4681 ක් තම පදිංචි නිවෙස්වලින් ඉවත් කර සිටින අතර, ඇතැම් පිරිස් ඥාති හිතවතුන්ගේ නිවෙස්වල තාවකාලිකව ලැගුම්ගෙන සිටිති. කඳවුරු දොළහක් තුළ පවුල් 259 ක් මේ වන විට වාසය කරති. සිංහල, දෙමළ, […]
-Colombo, December 19, 2023-
බදුල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට නායයෑම් හේතුවෙන් අනාථ වූ පිරිස් රඳවා සිටින කඳවුරු ගණන 12 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පවුල් 4681 ක් තම පදිංචි නිවෙස්වලින් ඉවත් කර සිටින අතර, ඇතැම් පිරිස් ඥාති හිතවතුන්ගේ නිවෙස්වල තාවකාලිකව ලැගුම්ගෙන සිටිති. කඳවුරු දොළහක් තුළ පවුල් 259 ක් මේ වන විට වාසය කරති. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු පිරිස් මේ දැඩි ආපදා තත්ත්වයට ගොදුරු වී සිටිති.
හපුතලේ ආසනයේ කැලිපානාවෙල ගම්මානයේ නාය ගිය කොටස නිරීක්‍ෂණය සඳහා සමන්ත ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න සහෝදරයා ඇතුළු පිරිසක් සහභාගි වූ අයුරු ඡායාරූපයේ දැක්වේ. මෙම ගම්මානයේ පවුල් 80 ක් මේ වනවිට අවතැන් වී සිටීන අතර ගම්මානයේ විහාරස්ථානය ද ඒ අතර වේ. ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් මෙම ජනතාවගේ විශාල කුඹුරු යායක සැලකිය යුතු කොටසක් නාය යෑමෙන් පසු මහා පස් කන්දකින් වැසීගොස් ඇත. මෙම වගා බිම් සඳහා ජලය ගෙන එන ප්‍රධාන ඇල මාර්ගය හා අතුරු ඇල මාර්ග ගණනාවක් සහමුලින් වැසී ගොස් ඇත. මේ නිසා දැනට වගා කළ බිම් ද විනාශ වී යනු ඇතැයි ප්‍රදේශවාසීන් එහිදී ප්‍රකාශ කර ඇත.
සමන්ත විද්‍යාරත්න සහෝදරයා හමුවූ ගම්වැසියන් හැඬූ කඳුළින් පවසා සිටියේ තම නිවාස ද සුනූ විසුනු වී උන්හිටි තැන් අහිමිව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද අඩාල වී සිටින මොහොතක ජීවත් වීමට ගොවිතැනක් බතක් කර ගැනීමට නොහැකි වීමෙන් හිඟමනට වැටුනූ බවය. විපතට පත් ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව පැත්තෙන් මැදිහත් වීම ද ඉතා දුර්වල තත්වයක පවතී. මීට වසර 7 , 8 කට පෙර නායගොස් නිවාස අහිමි වූ පවුල් ගණනාවකට මෙතෙක් ඉඩම් කැබැල්ලක්වත් ලබාදීමට ආණ්ඩුව අසමත්වී තිබීම කණගාටුදායක තත්ත්වයකි.
-Colombo, December 22, 2023- අද මේ මාධ්‍ය හමුව කැඳවූයේ, රජයේ වෛද්‍ය පීඨ තුනක ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත්, ඒ හරහා වෛද්‍ය පීඨවල ගුණාත්මක තත්වය ඉහළ නංවාගෙන රටට අවශ්‍ය වෛද්‍යවරු නිර්මාණය කර ගැනීමේ ක්‍රියාවලියට යම් බලපෑමක් ආණ්ඩුවට කිරීමේ අරමුණින්. රටට අවශ්‍ය වෛද්‍යවරු වැඩි ප්‍රමාණයක් නිර්මාණය වන්නේ රජයේ වෛද්‍ය පීඨ හරහා. 1870 කොළඹ වෛද්‍ය පීඨය […]
-Colombo, December 22, 2023-
අද මේ මාධ්‍ය හමුව කැඳවූයේ, රජයේ වෛද්‍ය පීඨ තුනක ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත්, ඒ හරහා වෛද්‍ය පීඨවල ගුණාත්මක තත්වය ඉහළ නංවාගෙන රටට අවශ්‍ය වෛද්‍යවරු නිර්මාණය කර ගැනීමේ ක්‍රියාවලියට යම් බලපෑමක් ආණ්ඩුවට කිරීමේ අරමුණින්. රටට අවශ්‍ය වෛද්‍යවරු වැඩි ප්‍රමාණයක් නිර්මාණය වන්නේ රජයේ වෛද්‍ය පීඨ හරහා. 1870 කොළඹ වෛද්‍ය පීඨය ආරම්භ වූ තැන සිට වසර 150ක් තුළ වෛද්‍ය පීඨ අටක් පිහිටුවා තිබෙනවා. පසුගිය වසරේ පමණක් රුහුණු විශ්වවිද්‍යලයට අනුබද්ධ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිධාරීන් 300ක් ඇතුළු වෛද්‍ය උපාධිධාරීන් 2000ක් පමණ පිටවුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි විදේශ විශ්වවිද්‍යාලවල උපාධි ලබාගත් අයට වෛද්‍ය සභාවෙන් පවත්වන විභාගයට මුහුණ දී අදාළ සුදුසුකම් සම්පූර්ණ කරන්න පුළුවන්. රජයේ වෛද්‍ය පීඨවලින් හෝ විදේශ විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධියක් ලබාගෙන ලංකාවට පැමිණෙන වෛද්‍යවරුන් හට තාවකාලික ලියාපදිංචියක් වෛද්‍ය සභාවෙන් ලබාදෙනවා.
ඉන්පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරන ලේඛනයකට අනුව පවතින පුරප්පාඩු සලකා බලා සීමාවාසික පුහුණුව සඳහා විශේෂඥ වෛද්‍යවරයෙක් යටතේ පුහුණුවීමට රෝහල්වලට යොමු කරවනවා. වසරක මේ පුහුණුවෙන් පසුව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ලැබෙන සහතිකය අනුව පූර්ණ ලියාපදිංචිය ලබාදෙනවා. ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ පූර්ණ ලියාපදිංචිය සහිත අංකයක් යටතේ ඕනෑම වෛද්‍යවරයෙකුට රජයේ රෝහල්වල හෝ පෞද්ගලික අංශයේ සේවය කිරීමේ පූර්ණ අයිතිය ලැබෙනවා. ඒ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය වසර පහෙන් පහට අලුත් කරන්න ඕනෑ. අපේ රටේ වෛද්‍යවරයෙක් බිහිවීමේ සාමාන්‍ය ක්‍රියාවලිය මේක. මෙරට රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් වගකීමක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නීත්‍යානුකූලව පැවරී තිබෙනවා. වෛද්‍ය සභාව මේ දක්වා තමන්ගේ වගකීම් ඉටුකරමින් ඉන්නවා.
උපකරණ හිඟය, කාර්ය මණ්ඩල හිඟය, ඖෂධ හිඟය ඇතුළු විශාල අඩුපාඩුකම් තිබියදී මේ මට්ටමින් හෝ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යා හැකි වී තිබෙන්නේ මේ වගකීම් සහගත ක්‍රියාවලිය නිසයි. මේ රටේ වෛද්‍ය පීඨ අටකට වෛද්‍ය සභාවේ නිර්ණායක අනුව අනුමැතිය ලබාදී තිබෙනවා. කොළඹ වෛද්‍ය පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය, කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨය, පේරාදෙණිය වෛද්‍ය පීඨය, රුහුණු විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය, යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය, රජරට විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය සහ, නැගෙනහිර විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය කියන වෛද්‍ය පීඨවලට සිසුන් 1700ක් පමණ බඳවා ගැනීමට නියමිතයි.
පසුගිය වසර හතරක පමණ කාලය තුළදී සබරගමුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය, වයඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය, මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨ තුන පිළිවෙළින් එකතු වුණා. ඊට අමතරව ඌව විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨය සඳහා පළමු සිසුන් කණ්ඩායම බඳවා ගැනීමට නියමිතයි. මේ අනුව වෛද්‍ය පීඨ 12ක් තිබුණත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාදී තිබෙන්නේ වෛද්‍ය පීඨ අටකට පමණයි. දැනට සබරගමුව, වයඹ සහ මොරටුව විශ්වවිද්‍යාලවල පැනනැගී තිබෙන ගැටලු රැසක් පිළිබඳව මූලික අවධානය යොමු කරනවා. සවුදි රජයෙන් ණයක් හැටියට ලැබුණු ඩොලර් මිලියන 50ක් යොදාගෙන 2019දී සබරගමුව වෛද්‍ය පීඨයට අයත් මහාචාර්ය ඒකකය ඇතුළු පීඨය ගොඩනැගීම සඳහා සැලසුම් සකස් කළා. ඒ වෙනුවෙන් ඇස්තමේන්තු කර තිබුණු වියදම රුපියල් කෝටි 900යි. එයින් වැඩි කොටස සවුදි රජයේ ඉතාමත් අඩු පොලී ණය යටතේ ලබාගැනීමට නියමිතව තිබුණා. ආණ්ඩුවල දුර්වලකම් නිසා සාකච්ඡා සම්පූර්ණ නොකිරීමෙන් සිදුවුණු ප්‍රමාදයක් සහිතව 2020දී නැවත ඒ ක්‍රියාමාර්ග ඉදිරියට ගත්තා. ඒ අතර වැදගත්ම කොටස වී තිබුණු, රත්නපුර රෝහලට අනුබද්ධ මහාචාර්ය ඒකකය මේ වන විට බඳවාගෙන සිටින වෛද්‍ය සිසුන් 480ක් වෙනුවෙන් යොදාගත යුතුයි. 2017/2018 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගත් පළමු ශිෂ්‍ය කණ්ඩායමේ අවසන් වසර සායනික පුහුණුවට අවශ්‍ය මහාචාර්ය ඒකකයේ කටයුතු මේ වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිතය තිබුණා. නමුත් මහාචාර්ය ඒකකය ගොඩනැගීමේ කටයුතු මේ දක්වා සම්පූර්ණ කර නැහැ. මේ සිසුන්ට තවමත් ස්ථිර මහාචාර්ය ඒකකයක් සහ ඊට අයත් ස්ථිර කාර්ය මණ්ඩලයක් ලබාදී නැහැ. නියමිත ප්‍රමිතියේ මහාචාර්ය ඒකකයක් නොමැතිව මේ අයගේ වෛද්‍ය උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් පිළිගන්නේ නැහැ. පළමු කණ්ඩායමේ සිසුන් 70දෙනෙක් මේ වන විට ඒ බරපතල ගැටලුවට මුහුණ දී සිටිනවා. වෛද්‍යවරුන් හැටියට විශ්වවිද්‍යාලයෙන් ඔවුන්ව පිටකරන්නේ කොහොමද කියන බරපතළ ප්‍රශ්නය තිබෙනවා. රත්නපුර රෝහලේ ක්ෂේත්‍ර තුනක තාවකාලික වාට්ටු ලබාදී මේ පුහුණුව සඳහා තාවකාලික පදනමින් විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙකු පත්කිරීමට කැබිනට් අනුමැතිය පසුගිය දිනෙක ලැබුණා.
මහාචාර්ය ඒකකයේ කටයුතු කරන්නේ සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ නිපුණත්වයක් සහිත අය. නමුත් දැන් රත්නපුර රෝහලේ මහාචාර්ය ඒකකයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිරිසක් යොදවලා. ඊට අමතරව මේ වෛද්‍ය පීඨයට ප්‍රමාණවත් දේශන ශාලා තවමත් ලබාදී නැහැ. මේ ආකාරයටම වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ය ඒකකය හැටියට කුලියාපිටිය රෝහල යොදාගෙන තිබෙනවා. ප්‍රාදේශීය දේශපාලනඥයාගේ අවශ්‍යතාවය අනුව මෙය තොරාගැනීමෙන් වයඹ වෛද්‍ය පීඨයේ ප්‍රශ්න ගණනාවක් උත්සන්න වී තිබෙනවා. මහාචාර්ය ඒකකය ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 1700ක ඇස්තමේන්තුවක් සහ කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට තවත් රුපියල් කෝටි 2000ක ඇස්තමේන්තුවක් සකස් කර තිබෙනවා. කණ්ඩායම් පහක වෛද්‍ය ශිෂ්‍යයන් 578 දෙනෙක් අධ්‍යාපනය ලැබුවත්, තවමත් තිබෙන්නේ තාවකාලික මහාචාර්ය ඒකකයක්. ඒ වගේම ශිෂ්‍ය කණ්ඩායම් තුනකට නේවාසික පහසුකම් ලබාදී නැහැ. අනෙකුත් වෛද්‍ය පීඨවලට සාපේක්ෂව ආචාර්ය මණ්ඩලයේ බරපතළ හිඟයක් තිබෙනවා. අධිකරණ වෛද්‍ය විද්‍යාල වැනි විෂයන්වලට ස්ථිර ආචාර්යවරුන් පත්කර නැහැ. මේ වෛද්‍ය පීඨයේ පළමු කණ්ඩායම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිකර ගැනීම පිළිබඳව දැනටමත් බරපතළ ප්‍රශ්න මතුවී තිබෙනවා.
අපේ රටේ එකොළොස්වැනි වෛද්‍ය පීඨය බවට පත්වුණු මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට යෝජනාව 2016 සැප්තැම්බර් මාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සිටි මවිසින් යෝජනාවක් ඉදිරිපත් කළා. මේ වෛද්‍ය පීඨයේ ශික්ෂණ රෝහල හැටියට කළුතර නාගොඩ රෝහල යොදා ගන්නා ලෙස පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් සම්මත කරගනු ලැබුවා. නාගොඩ රෝහලට ආසන්නයේ රජයේ ඉඩම් යොදවා ගෙන මේ වෛද්‍ය පීඨය ඉදිකරන්න කුවේට් ඩිනාර් මිලියන 10ක ණය පහසුකම් ලබාගන්නත් කටයුතු සිදුකළා. ලංකාවේ අද මුදලින් නම් රුපියල් කෝටි දහසකට ආසන්න මුදලක්. මේ ණය පහසුකම ලබාගෙන වෛද්‍ය පීඨය ගොඩනැගීමේ කටයුතු අද වන තුරුත් ඉටුකර නැහැ. මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් තුනක සිසුන් 303ක් අද වන විට ඉගෙනීම ලබනවා. ඔවුන්ට තවමත් තිබෙන්නේ සායනික පුහුණුව පමණයි. මහාචාර්ය ඒකකයක පුහුණුව ලැබිය නොහැකි තත්වයක් තිබෙන්නේ. ඒ වගේම මොරටුව විශ්වවිද්‍යාලයේ දැනට පවතින ඉඩ පහසුකම් බෙදා හදාගෙන වෛද්‍ය පීඨයේ සිසුන්ට ඉගැන්වීම් කටයුතු කරනවා. මේ සිසුන්ට අවශ්‍ය පරීක්ෂණාගාර පහසුකම් සහ කායික ව්‍යවච්ඡේදන පහසුකම් ලබාගන්න වෙනත් විශ්වවිද්‍යාලවලට යන්න සිදුවී තිබෙනවා. ස්ථිර ආචාර්ය මණ්ඩලයේ 18ක් සහ තාවකාලික 08දෙනෙකු යොදවාගෙන අනධ්‍යයන කාර්යමණ්ඩලයේ පස්දෙනෙකු සහ තාක්ෂණික නිලධාරීන් එක් අයෙකු යොදවාගෙන කටයුතු කරගෙන යනවා. කැලණිය විශ්විවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අනධ්‍යයන කාර්යමණ්ඩලයේ ඉන්නේ 104දෙනයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 117යි. මොරටුව විශ්වවිද්‍යාලයේ අලුතින් ආරම්භ කළ වෛද්‍ය පීඨයේ ඉන්නේ 05දෙනයි.
මේ වෛද්‍ය පීඨ තුනේ 1200කට ආසන්න අපේ දරුවන් පිරිසක් වෛද්‍ය උපාධිය ලබාගැනීම සඳහා ඉගෙනුම ලබමින් ඉන්නවා. එයින් කණ්ඩායම් දෙකක්ම මහාචාර්ය ඒකකයේ පුහුණුව සඳහා අවසන් වසරට ඇවිත් ඉන්නේ. අපට ගුණාත්මක සුදුසුකම් සහිත වෛද්‍යවරුන් නිර්මාණය කර ගන්න අවශ්‍ය වැඩපිළවෙළ ආණ්ඩුව ක්‍රියාත්මක කර නැහැ. රනිල් වික්‍රමසිංහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට කුමන දිස්ත්‍රික්කයකට ගියත් විශ්වවිද්‍යාලයක් හෝ විශ්වවිද්‍යාලයක පීඨයක් ඉදිකරන බව කියනවා. කිසිදු සැලැස්මක් නැතිව මේ කතා කියන අතර වෛද්‍ය පීඨ ගඩොල් බානවා වගේ නිර්මාණය කරන්න බැහැ. කුරුණෑගල වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් බොහෝ දේවල් කළේ අකිල විරාජ් කාරියවසම්ගේ අවශ්‍යතාවයන් අනුවයි. කළුතර, නාගොඩ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කරන්න අපි යෝජනා කරන්නේ රෝගීන්ගේ විවිධත්වය, අවශ්‍ය යටිතල පහසුකම් දිය හැකි ඉඩකඩ සහිත වීම, ඇතුළු කරුණු ගණනාවක් සලකා බැලීමෙන්. විදේශ රජයන් සහන පොලියට ණය ලබාදුන්නත් අපේ රටේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වෙනුවෙන් නිසි පරිදි ප්‍රයෝජනයට නොගෙන පැවති ආණ්ඩු ක්‍රියාකිරීමේ අවසන් ගොදුර බවට පත්වී තිබෙන්නේ අපේ රටේ දරුවන්. ඉතාම තරගකාරී විභායකින් ඉහළම ලකුණු ලබාගෙන වෛද්‍ය පීඨයට ඇතුළත් වෙලා විවිධ දුෂ්කරතා දරාගනිමින් උපාධිධාරීන්වීම අවධානමකට ලක්වී තිබෙනවා. දැනට සබරගමුව, වයඹ, මොරටුව වෛද්‍ය පීඨ තුනේ උග්‍රවී තිබෙන ප්‍රශ්න කෙරෙහි මෙම වසරේ ඌව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බඳවා ගන්නා සිසුන් කෙරෙහි බලපා තිබෙන ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව ඉක්මනින් මැදිහත් විය යුතු බවට අපි බලකර සිටිනවා. ශිෂ්‍යයෝ පමණක් මේ වෙනුවෙන් උද්ඝෝෂණ කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මහජනතාවත් ඒ කෙරෙහි මැදිහත් විය යුතු තත්වයක් තිබෙන්නේ. එසේ නොකළහොත් අනාගතය තවත් භයානක වෙන්න පුළුවන්.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්….
ප්‍රශ්නය: වැට් බදු පැනවීම සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?
පිළිතුර: වැට් එකෙන් සතුටු වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, රනිල් වික්‍රමසිංහත්, රනිල් ජනාධිපති කරන්න අත උස්සලා අද බොරුවට කිඹුල් කඳුළු හෙළන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නඩයක් විතරයි. මේ වැට් එකෙන් රටේ සියලු දෙනාම දැනටමත් පීඩාවට පත්වී සිටිනවා. මේකත් එක්ක රටට ඉස්සරහට යන්න බැහැ. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වීමෙන් කර්මාන්තකරුවන්, කෘෂි නිෂ්පාදකයන්, ව්‍යවසාකයන්, නිෂ්පාදනයන් සිදුකරන්නේ කොහොමද? මිලදී ගැනීමට කෙනෙක් නැතිනම් ඒ නිෂ්පාදනය විකුණන්නේ කාටද? බදු අයකරගෙන සතුටු වෙන්න පුළුවන් මම මුලින් කී අයට විතරයි.
ප්‍රශ්නය: සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, අත්අඩංගුවට ගත්තත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ පොඩි අයට විතරක් වගෙයි පෙන්නේ?
පිළිතුර: සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විදිහට පරිපාලන සේවයෙන් කෙනෙක්ව වෛද්‍යවරයින්ට පත්කළ යුත්තේ කියන එක වෙනම කාරණයක්. පත්කරන ලේකම් කවුරු වුණත්, රටට ඖෂධ හිතුමනාපයේ ගෙන්වන්න බැහැ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ ලියාපදිංචිය සහ සැපයුම්කරුවන් ලියාපදිංචිය සිදුකරනවා. ලෝකය පිළිගත් නිර්ණායක අනුව ඖෂධ සහ සැපයුම්කරුවන් ප්‍රමිතිගතවී සිටිනවා ද යන්න සලකා බලා සීමිත පහසුකම් සහිතව වුවත් ඖෂධ සාම්පල් පරීක්ෂාවට ලක්කරලයි ඇනවුම් කරන්නේ. ඉමියුනිග්ලොබියුලීන් ඖෂධය ගුජරාට්වල නිෂ්පාදනය කරලාද යන්න පරීක්ෂා කරන්නේ ඖෂධ නියාමන අධිකාරියෙන්. ඒ සඳහා බලය තිබෙන ඔවුන්ට වැරදීමක් සිදුවෙන්න පුළුවන්ද? අනෙක මේ ඖෂධ ගෙන්විය යුත්තේ රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන්. ඖෂධ සැපයීම් අධිකාරියට බාරදෙන්නේ මේ සංස්ථාවෙන්. ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් සිටින අතිරේක ලේකම්වරයාගේ අනුමැතිය නොමැතිව බෙදාහැරීම කරන්න බැහැ. නමුත් ඩොලර් මිලියන 2.5ක් වැය කර රුපියල්වලින් කෝටි 100ක ගනුදෙනුවක් සිදුකර තිබෙනවා. නමුත් රට පිළිගත් පරීක්ෂණ ආයතන තුනකින් තහවුරු වී තිබෙන්නේ මේ එන්නත් තුළ ඉමියුනිග්ලොබියුලීන් නැති බවයි. මේ දේවල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුට පමණක් කළ හැකි බව ඔබ හිතනවාද? හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලගේ ලිඛිතව නොවුණත් වාචිකව නියෝග මේ සඳහා ලැබිය යුතුමයි. මේ සම්බන්ධයෙන් ඇමතිවරයාගෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්න කරන්න ඕනෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇමතිගෙන් ප්‍රශ්න කරන්න මේ තරම් ප්‍රමාද කරන්නේ ඇයි? මේ පරීක්ෂණය හරියට සිදුකළහොත් ඒ හා බැඳුණු තවත් තොරතුරු රාශියක් හෙළිදරව් කර ගන්න පුළුවන්. කෙහෙලිය රඹුක්වැල්ල පමණක් නොවෙයි මීට කලින් සිටි ඇමතිවරුන් ගණනාවකුත් සම්බන්ධයෙන් හෙළිකර ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේක. තිළිණි ප්‍රියමාලිගේ සිද්ධිය, මාකඳුරේ මධූෂ්ගේ සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලනඥයෙකුගෙන් ප්‍රශ්න කරනවා අපි දැක නැහැ. මේ පරීක්ෂණයටත් සිදුවිය හැකි දේ ඒකමයි.
-Colombo, December 21, 2023- අත්තනෝමතික බදු පැනවීම් තුළින් අපේ රටේ ආර්ථිකයටත් ජනතාවටත් ඉදිරියේදී සිදුවන බලපෑම් පිළිබඳව දැනුවත් කරන්න මෙම මාධ්‍ය හමුව පවත්වනවා. වැට් බද්ද කියන්නේ පාරිභෝගිකයා මත අවසානයේ බර පැටවෙන බද්දක් නිසා යුක්තිය පැත්තෙන් ගත්තත් සමාජය අයුක්තිය වැඩිවීමට තවදුරටත් බදු වැඩිවීම විශාල හේතුවක් වෙනවා. දුප්පත්ම ජනතාවට ඉතාමත් ඉහළ ප්‍රමාණයකින් මේ බද්ද බලපානවා. ඔවුන්ගේ පරිභෝජනය අනිවාර්යයෙන්ම […]
-Colombo, December 21, 2023-
අත්තනෝමතික බදු පැනවීම් තුළින් අපේ රටේ ආර්ථිකයටත් ජනතාවටත් ඉදිරියේදී සිදුවන බලපෑම් පිළිබඳව දැනුවත් කරන්න මෙම මාධ්‍ය හමුව පවත්වනවා. වැට් බද්ද කියන්නේ පාරිභෝගිකයා මත අවසානයේ බර පැටවෙන බද්දක් නිසා යුක්තිය පැත්තෙන් ගත්තත් සමාජය අයුක්තිය වැඩිවීමට තවදුරටත් බදු වැඩිවීම විශාල හේතුවක් වෙනවා. දුප්පත්ම ජනතාවට ඉතාමත් ඉහළ ප්‍රමාණයකින් මේ බද්ද බලපානවා. ඔවුන්ගේ පරිභෝජනය අනිවාර්යයෙන්ම අඩු වෙනවා. මෙතෙක් වැට් බදුවලට යටත් නොවූ භාණ්ඩ මත බදු පැනවීම, බදු අනුපාතය ඉහළ දැමීම නිසාත් මේ වන විටත් අසීමිත පීඩනයකට පත්වී සිටින ජනතාවගේ ජීවිත මුළුමනින්ම කඩා වැටෙනවා. බොහෝ විට භාණ්ඩ මිල වැඩවීම කෙරෙහි වැට් බදු වැඩිකිරීම බලපාන බව කල්පනා කරද්දී එහි දරුණුම බලපැම සිදුවන්නේ නිෂ්පාදන කර්මාන්ත සහ ව්‍යාපාර බිඳවැටීමට හේතුවීමයි. මගේ විශේෂ අවධානය කර්මාන්තවලට සිදුවන බලපෑම ගැන යොමු කරනවා.
අද වන විටත් 50%කින් පමණ ඉල්ලුම බිඳ වැටීම නිසා ව්‍යාපාර ඉතාමත්ම අපහසුවෙන් පවත්වාගෙන යන්නේ. වැට් නිසා සමස්ත ඉල්ලුම තවදුරටත් බිඳ වැටුණාම කර්මාන්ත සහ ව්‍යාපාර වසා දැමීම දක්වා ආයෝජකයන් තල්ලු විය හැකියි. වක්‍ර බදු වැඩිවීම තුළ ඉතුරුම් අඩුවී ප්‍රාග්ධනය ලෙස යෙදවිය හැකි මුදල් තවදුරටත් සීමා වෙනවා. මෙය අපනයන කර්මාන්තකරුවන්ට සහ දේශීය කර්මාන්තකරුවන්ට සුවිශේසී බලපෑමක් සිදුකරනවා. අපේ රටට ආයෝජකයන් නොපැමිණෙන්නෙත් ප්‍රතිපත්තිමය නොවන බදු පැනවීම නිසයි. ප්‍රමුඛතා කර්මාන්ත පිළිබඳව සැලකිල්ලක් නොදක්වා බදු පැනවීම සහ වෙනස් කිරීම නිසා ආයෝජකයන්ට තීරණ ගැනීම නොහැකි වෙනවා. උදාහරණයක් ලෙස ලංකාවේ කිරි කර්මාන්තය දියුණු කිරීම ගැන කතා කරමින් මෙරට කිරි කර්මාන්තකරුවන් මත අලුතින් බදු පනවා තිබෙනවා. ඒ වගේම අයි.ටී. කර්මාන්තයටත් මේ ආකාරයටම සිදුකරනවා. දැනට සිටින ආයෝජකයන් පළා යන්නත් අලුත් ආයෝජකයන් නොපැමිණෙන්නත් බදු ප්‍රතිපත්තියක් නැතිකම හේතු වෙනවා. අයි.ටී. කර්මාන්තයට 30%ක බද්දක් පනවා එහි නියැලී සිටින පුද්ගලයින් මත ඉතා ඉහළ උපයන විට ගෙවිමේ බද්දක් පැනවූවා. මේ නිසා ඒ කර්මාන්තයට තිබුණු ප්‍රමුඛතාවය අහිමි වී අඩාලවන අතර, නව වැට් බදු සහ මේ කර්මාන්තයට අවශ්‍ය උපාංග මිල ඉහළ යාමෙන් තවදුරටත් බිඳ වැටීම් සිදුවෙනවා. වෙනත් කර්මාන්ත කඩා වැටීමෙන් රැකියා අහිමි වූ අයට ස්වයං රැකියාවක් ලෙස යෙදිය හැකිව තිබූ අයි.ටී. ක්ෂේත්‍රයත් මේ ලෙස බිඳවැටීමට මුල පුරා තිබෙනවා.
තව පැත්තකින් ලංකාවේ තේ කර්මාන්තය පොහොර ප්‍රශ්නය නිසා 23%කින් බිඳ වැටී අද වන විට තවදුරටත් ඵලදායීතාවය පහත වැටෙමින් තිබියෙදී දේශීය නිෂ්පාදනය මත වැට් බදු පනවා තිබෙනවා. ඒ වගේම තේ කර්මාන්තය සඳහා යෙදවුම් මත වැට් බදු පනවා තිබෙනවා. මේ නිසා තේ කර්මාන්තකරුවා කබලෙන් ලිපට වැටෙනවා. රබර් කර්මාන්තයට සිදුවී තිබෙන්නෙත් ඩොලර් මිලියන 900ක පමණ තිබූ අපනයන ආදායම අර්බුද ගණනාවක් නිසා, බිඳ වැටෙමින් පවතිනවා. මේ වන විටත් 25%කින් රබර් අපනයන ආදායම අඩුවී තිබෙන පසුබිමක නව ආයෝජකයන් පැමිණෙන්නේ නැහැ. වෙනත් කෘෂි අපනයන ආදායම් ඉහළ යාමක් පොදුවේ පසුගිය වසර හයක පමණ කාලය තුළ තිබුණා. නමුත් යෙදවුම් පිරිවැය ඉහළ යාමෙන් මේ සියලු ක්ෂේත්‍ර බිඳවැටීමට හේතු වෙනවා. ආණ්ඩුව මේ ගෙනයන අනුවණ ක්‍රියාවලිය ලංකාවේ මෝටර් රථ එකලස් කිරීමේ සහ අමතර කොටස් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයට ද බලපානවා. මේ වන විට එයින් උපයා ගන්නා ඩොලර් මිලියන 200ක පමණ විදේශ විනිමය ප්‍රමාණය අහිමිවී යනවා. ලංකාවේ එකලස් කරන ට්‍රක් රථයක් රුපියල් ලක්ෂ හයකින් පමණ මිල වැඩිවෙනවා. ලංකාවේ ඉලෙක්ට්‍රෝනික් උපකරණ සඳහා තිබෙන ඉල්ලුමද අඩුවීමට නව බදු හේතු වෙනවා. මේ විදිහට ගත්තාම දේශීය කර්මාන්ත සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය කිරීමට හෝ බිඳවැටීමට හේතු වෙන බදු ක්‍රියාවලියකට ආණ්ඩුව යොමු වී සිටිනවා. දේශීය කර්මාන්ත සහ අපනයනවලට නව බදු වැඩි කිරීම් බලපාන ආකාරය සාරාංශ වශයෙන් මේ ආකාරයෙන් දැක්විය හැකියි.
“බලය පවත්වාගැනීම වෙනුවෙන් පමණක් ආණ්ඩුව ගන්නා තීරණ නිසා ජන ජීවිතයත් සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවත් තවත් අර්බුදයට යනවා…”
-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත–
නව වැට් බදු පැනවීමෙන් ආර්ථිකයට සහ සමාජයට ඇතිවන මූලික ගැටලු පිළිබඳව අප පෙන්වා දෙන්නේ බදු පැනවීමේදී රට සහ ජනතාව ඇතුළු සමස්තය ගැන කල්පනා කර, දිගුකාලීනව තීරණය කළ යුතු දෙයක් නිසයි. නමුත් දැන් කරමින් සිටින්නේ ආණ්ඩුවේ බලය පවත්වාගෙන යාම ගැන පමණක් කල්පනා කර, අනුගමනය කරන ක්‍රියාමාර්ග නිසා රටටත් මහජනතාවටත් විශාල අනර්ථකාරී බලපෑම් ඇතිවෙනවා. වැට් බද්ද පනවන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනය මත. දැන් රුපියල් සියයකට මිලදී ගන්නා භාණ්ඩයක් මත අලුතින් පනවන 18%ක වැට් බද්ද සම්පූර්ණයෙන් ගෙවන්නේ පාරිභෝගිකයන්. භාණ්ඩ නිෂ්පාදනය සහ බෙදා හැරීම කියන ක්‍රියාවලියේදී තැනින් තැනින් වැට් බදු එකතු වීම් සිදුවෙනවා. ලෝකයේ වක්‍ර බදු ගැන සලකා බැලුවත් විශාල බදු පනවා තිබෙන දියුණුයි කියන රටවල පවා 15% ඉක්මවූ භාණ්ඩ හා සේවා මත බදු අතිශය දුෂ්කරවන බව පිළිගෙන තිබෙනවා. අපේ රටේ මෙවැනි වක්‍ර බදු කිහිපයක්ම වැට් බද්දට අමතරව පාරිභෝගිකයා මත පැටවී තිබෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයාගේ පැත්තෙන් වැට් බද්දට යටත් කෙරෙන සීමාව මුලදීම රුපියල් මිලියන 300ක වාර්ෂික පිරිවැයක් ලෙස හඳුන්වා දී තිබුණා. පසුව එය රුපියල් මිලියන 80 දක්වාද නව යෝජනා අනුව රුපියල් මිලියන 60 දක්වාද පහත දමා තිබෙනවා. මාසයකට රුපියල් ලක්ෂ 50ක පමණ වෙළඳාමක් තිබෙනවා නම්, ඒ ව්‍යාපාර පවා වැට් සීමාවට යටත් වෙනවා.
ඒ වගේම වැට් අයකරන භාණ්ඩ ලැයිස්තුව තවදුරටත් ඉහළ නංවා වැට් බදු අයකරන ව්‍යාපාරික ආදායම් සීමාව තවදුරටත් පහළ ගෙනවිත් තිබෙනවා. දැනටත් අපි ඉන්න හැකිළුණු ආදායම් අඩු, ජීවත්වීමට මිනිස්සු අරගල කරන තත්වයක් තුළ නව වැට් බදු නිසා වියදම් කළ හැකි ආදායම තවදුරටත් පහත වැටෙනවා. මේ නිසා ඉල්ලුම අඩු වෙනවා. දැනටත් යම් නිෂාපාදනය කරන කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන වෙළඳපොලේදී විකුණාගත නොහැකි තත්වයට ඇද වැටෙනවා. මෙය දිගුකාලීන වශයෙන් ආර්ථිකය තවදුරටත් හිරවීමකට හේතු වෙනවා. මේ වන විට ඉල්ලුම අඩුවීම නිසා උද්ධමනය අඩුවීමේ තත්වයක් පැවතුනත් නව වැට් බදු නිසා භාණ්ඩ හා සේවාවල මිල තවදුරටත් ඉහළ ගොස් ඉල්ලුම තවදුරටත් පහත යාමේ තත්වය තුළ පවා උද්ධමනය වැඩිවෙනවා. වැට් බදු පනවන්නේ නිසි තාක්ෂණික ඇගයීමකින් සහ එම බදු අයකර ගැනීමේ නිසි යාන්ත්‍රණයක් සකස් කිරීමෙන් නොවෙයි. වෙළඳපොළ තුළ විකෘතියක් නිර්මාණය වී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාට පනවා තිබෙන බදු අයකර ගත නොහැකි වෙනවා. නමුත් මහා පරිමාණ කර්මාන්තකරුවාට අමතර වාසි අත්වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් පළවා හැරීමට හිතාමතාම මෙම ක්‍රියාවලිය අනුගමනය කරනවා දැයි සැකයකුත් මතු වෙනවා.
වැට් බදු වැඩිකළ ආකාරය අනුව බදු වංචා සහ දූෂණවලටත් විශාල ඉඩකඩක් නිර්මාණය වෙලා තිබෙනවා. 2002-2004 කාලයේ මහා බදු වංචාවේ අත්දැකීම් රටට තිබෙනවා. නඩුවක් පවා විභාග වුණා. අවුරුදු 20කට පස්සේ ඒ වරදකරුවන්ට දැන් සති කිහිපයකට පෙර දඬුවම් නියම කළා. වෙළඳපොළේ ඇති වෙන ගැටලුවලට අමතරව මේ වගේ බදු වංචා සහ දූෂණ කෙරෙහිත් විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයට මේ බදු පැනවීමෙන් සිදුවෙන බලපෑම කෙටියෙන් පැහැදිලි කරන්නම්. අධ්‍යාපන සේවා සැපයීම සඳහා වැට් බදු අය නොකරන බවට නිදහස් ලැයිස්තුවේ සඳහන් වෙනවා. නමුත් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ සපුරා ගත යුතු පොත්පත් ලිපිද්‍රව්‍ය ඇතුළු බඩු භාණ්ඩ වගේම පුස්තකාල සේවා වැනි සේවාත් අවශ්‍යයි. මේ භාණ්ඩ හා සේවා මත 18%ක වැට් බදු අලුතින් අය කෙරෙනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවල සිදුකරන පර්යේෂණ කටයුතු රටක සංවර්ධනය වෙනුවෙන් අවශ්‍යයි. නමුත් ඒ මතත් 18%ක වැට් බද්ද පැනවෙනවා. මේ නිසා අධ්‍යාපනයේ ඉහළ ගුණත්වයක් නිර්මාණය කර ගැනීමට තිබෙන සේවා සහ උපකරණ මත අලුතින් බදු පැනවෙනවා. අද ජංගම දුරකථනය සංනිවේදන උපකරණයට වඩා අධ්‍යාපන සේවා උපකරණයක් හැටියට පාවිච්චි කරනවා. පාසැල් දරුවන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට බදු වැඩිවීම නිසා ඔවුන්ට බඩගින්නේ ඉන්න සිදුවෙලා. දේශීය වශයෙන් නිෂ්පාදනය කරන කිරි පැකට් එකට පවා අලුතින් බදු පැනවෙනවා. මේ ආකාරයට මහජනතාව මත සියලු අංශවලින් නව පීඩනයක් ඇති කරන බදු කෙරෙහි ජනතාව මොන ආකාරයෙන් ප්‍රතිචාර දක්වයිද දන්නේ නැහැ. කෙක්කෙන් හරි කොක්කෙන් හරි මේ බදු අයකරගෙන මූල්‍ය අරමුදලේ ඊළඟ ණය වාරිකය ලබා ගැනීම ආණ්ඩුවේ මූලික අරමුණයි. නමුත් අයවැය ඇස්තමේන්තුවල තිබෙන බදු අයකර ගත නොහැකි බව දත්තවලින් තහවුරු වී තිබෙනවා. සියලු ව්‍යසනයන්ට වගකිව යුතු කණ්ඩායම බලයේ ඉඳිමින් තව තවත් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්කර රටේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ දැමීමේ ක්‍රියාමාර්ග අපි සියලු දෙනා මැදිහත් වී අවසන් කළ යුතු වෙනවා.
“18%ක වැට් බද්ද වෙළඳපොල විකෘතියක් හදනවා. ආණ්ඩුවේ අර්බුදය සම්පූර්ණයෙන් ජනතාව පිටින් යවනවා…”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති–
නත්තලත් ඇවිත් නව අවුරුද්දක් ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ ජනතාව කබලෙනුත් ලිපට වැටිලා ගිනි ඇවිලෙමින් තිබියෙදීයි. උත්සව සමයේ භාණ්ඩ මිල ඉහළ යාමේ සාමාන්‍ය තත්වය ඉක්මවා බඩු මිල ඉහළ යමින් තිබෙනවා. ඊට හේතුව ආණ්ඩුවේ අර්බුදය ජනතාව මත පටවා තිබීමයි. 2024 අවුරුද්දේ ආණ්ඩුවේ ආදායමෙන් භාණ්ඩ හා සේවා මත පනවා තිබෙන බදුවලින් රුපියල් බිලියන 2215ක් උපයා ගැනීමට බලාපොරොත්තු වෙනවා. 2023ට වඩා බිලියන 859ක වැඩිවීමක්. වැට් බදු වැඩිවීම 105%ක්. 2023දී බලාපොරොත්තු වූ බිලියන 680ක වැට් බද්ද 2024දී බිලියන 1400ක් වෙනවා. මෙතෙක් නිදහස් කර තිබුණු වැට් බදු නිදහස් භාණ්ඩ ලැයිස්තුව තවදුරටත් පටුකර ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරනවා. නමුත් මේ බදු අයකර ගන්නා ආකාරය බදු ගෙවන ජනතාව, ව්‍යාපාර හෝ බදු අයකර ගන්නා දෙපාර්තමේන්තුව වත් දන්නේ නැහැ. සමහර ව්‍යාපාරිකයන් දැනටමත් වැට් බදු අයකර ගන්න පටන්ගෙන තිබෙන නිසා භාණ්ඩ මිල වැඩිවෙලා.
ජනවාරි පළමුවෙනිදාට දවස් නවයක් තිබියදී බදු අයකර ගන්නා ක්‍රමය ගැන නිරවුල් වැඩපිළිවෙළක් තාමත් ඉදිරිපත් කර නැහැ. උදාහරණයක් ලෙස ඉන්ධනවලට අලුතින් වැට් බදු අය කළත් වරායෙන් ගොඩබාන මිලට අය කරනවාද, රේගු ගාස්තු ඇතුළු අනෙකුත් බදු අය කළ පසුව ඒ මත වැට් බද්ද අයකරනවාද, යන්න කවුරුත් දන්නේ නැහැ. උදාහරණයක් හැටියට රුපියල් 1000/-ක් වන භාණ්ඩයකට 18%ක වැට් බදු අය කරනවා නම්, මිල රුපියල් 1180/-ක් වෙනවා. නමුත් රුපියල් 1000/- මිලට 2.5%ක සමාජ ආරක්ෂණ බද්ද අයකිරීමෙන් පසුව වැට් බද්ද අයකරනවා නම්, ඒ භාණ්ඩයේ මිල රුපියල් 1209/-ක් වෙනවා. මන්ද රුපියල් 1025/-ක් මත වැට් බද්ද අය කිරීම සිදුවෙනවා. මේ නිසා ඇත්තටම වැට් බද්ද 18% වුණත් ක්‍රියාත්මක වීමේදී 18.45%ක් බවට පත්වෙනවා.
පනවන බද්ද ගැන විග්‍රහ කර නැති නිසා බදු ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තුළ බදු ඉහළ යාමක් සිදුවෙනවා. ආණ්ඩුව උපයා ගැනීමට ඉලක්ක කර තිබෙන ආදායම් රුපියල් කෝටි එක් ලක්ෂ හතළිස් දහස දක්වා කෙසේ හෝ අයකර ගැනීමට ක්‍රියා කරාවි. නමුත් ජනතාවට මොකද වෙන්නේ? ඔවුන්ගේ ආදායම් වැඩිවී නැහැ. හමුදා පොලීසි ඇතුළු මාසික පඩි ගන්නා රජයේ සේවකයන් නන්නත්තාර වී ඉන්නේ. ලූණු කෑවාද? දැන් සැපද? කියලා ඇහුව මහින්ද රාජපක්ෂලා පාර්ලිමේන්තුවේදී අත උස්සා අයවැය සහ බදු සංශෝධන අනුමත කළා. දැන් එළියට ඇවිත් වැට් බද්දට විරුද්ධ බව ප්‍රකාශ කරනවා. ජනතාවට කියන කතාවලට වඩා පාර්ලිමේන්තුව ඇතුලේ බලය රැකගන්න ඔවුන් එකට එක්වී ක්‍රියාකරනවා. වැල් පොලිය වගේ 18%ක වැට් බද්ද වැල් බද්දක් වෙලා තිබෙනවා. මෙය ඉතා බරපතළ පීඩාකාරී දෙයක්. තමන්ට දැන් පැනවෙන බද්ද මොකක්ද කියලා වත් ජනතාව දන්නේ නැහැ. බදු ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ බරපතළ විකෘති සහගත තත්වයෙන්. 2002 සම්මත කළ වැට් බදු පනතින් නිදහස්කර තිබූ භාණ්ඩ ලැයිස්තුව තුළින් නව බදු පනවන ලැයිස්තුවක් හදාගෙන තිබෙනවා. නව බදු පනවන ලැයිස්තුව ජනතාවට පැහැදිලි වෙන සරල ආකාරයට කියන්නේ නැහැ. “වෘද්ධ සේවාවන් සහ ළමා සත්කාර සේවාවන්” වැට් බද්දෙන් නිදහස් බව සඳහන් වෙනවා. ඔවුන් අර්ථ නිරූපණය කරන සීමාවට පිටින් තිබෙන මෙයට අදාළ සියල්ලටම බදු ගහනවා. අධ්‍යාපනයේ එක කොටසක් නිදහස් කරන බව කීවත් ඊට අදාළ අනෙක් බොහෝ දේවල්වලට වැට් බදු ගහනවා. මේ නිසා ව්‍යාපාරිකයෝ සහ ඊටත් වඩා ජනතාව අර්බුදයට යනවා.
බදු ගෙවිය යුත්තේ මොනවාටද යන්න දැන ගැනීමේ ශුද්ධ වූ අයිතියක් මේ රටේ ජනතාවට තිබෙනවා. රජයක් පවත්වාගෙන යන්න බදු අවශ්‍ය වුණත් මෙතන වැල් බද්දක් පනවා තිබෙනවා. විදුලි බිලටත් මේ ආකාරයෙන්මයි. විදුලි බිලට ඒකක ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව එකතු කිරීමෙන් වැට් බද්ද අයකරනවාද යන්න පැහැදිලි නැහැ. ඉන්ධනවලටත් ඒ වගේමයි. ශල්‍ය උපකරණවලටත් ඒ වගේමයි. හිතාමතාම බදු විකෘති කර, වෙළඳපොළ, කර්මාන්ත සහ ජනතාව ව්‍යාකූල කිරීමට ආණ්ඩුව ගෙනයන මෙහෙයුමක් මේක.
උදාහරණයක් හැටියට වෙළඳ හා පාරිභෝගික ඇමති නලින් ප්‍රනාන්දු දෙසැම්බර් 14වැනිදා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් කීරි සම්බා මෙට්්‍රක් ටොන් පනස්දහසක් ආනයනය කිරීමට සැරසෙනවා. පෞද්ගලික අංශයේ තෝරා ගත් ආනයනකරුවන් හට මේ සහල් ආනයනය කරන්න කැබිනට් මණ්ඩල අනුමැතිය ගෙන තිබෙනවා. නමුත් කැබිනට් සංදේශයේ ඇතුළත් කර තිබෙන “එසේම සහල් සඳහා ඉන්දියාවේද අපනයන බද්දක් අයකරන බැවින් සහ සහල් සඳහා දැනටමත් පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් පනවනු ලැබුව හොත් උපරිම සිල්ලර මිලට ආනයනික සහල් නිකුත් කළ නොහැකි බවට නිරීක්ෂණය විය” යනුවෙන් සඳහන් කර තිබෙනවා. උපරිම මිල පනවා තිබුණාට වැඩක් නැති බව ඇමතිවරයාම පිළිගන්නවා. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද නිසා උපරිම මිලට වඩා සහල් මිල වැඩිවෙන බව තහවුරු කර තිබෙනවා. මේ නිසා දැනට පනවා තිබෙන ආනයනික සහල් මත රුපියල් 65ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් එක දක්වා අඩුකරන ලෙස වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. රුපියල් 65ක මේ බද්දෙන් ජනතාව පීඩාවට පත්වී සිටින බව ආණ්ඩුව පිළිගන්නා බව එක පැත්තකින් තහවුරු වෙනවා. අනෙක් පැත්තෙන් ඒ බද්ද රුපියල දක්වා අඩුකළාම සහල් මිල රුපියල් 65කින් අඩු වෙනවාද? ඒ සහතිකය දෙන්නේ කොහොමද?
අත්දැකීමෙන් පැහැදිලි වී තිබෙන්නේ පනවා තිබුණු බද්දක් ඉවත් කිරීම නිසා අදාළ ව්‍යාපාරිකයන්ට අමතර ලාභයක් ලබාගැනීමේ අවස්ථාව ලබාදී තිබෙන බව පමණයි. අදාළ කැබිනට් පත්‍රිකාවෙන්ම මේ සහල් ආනයනය කිරීමේ ව්‍යාපාරිකයන් පවා නම්කර තිබෙනවා. අපේ රටේ සුදු ළුෑණු, සීනි බදු වංචාවලදී සිදුවුණේ ඇමතිවරුන්ගේ හිතවත් ව්‍යාපාරිකයන්ට අමතර ලාභයක් ලබාදීමයි. උත්සව සමයේ කීරි සම්බා ගෙන්වීමේ අවශ්‍යතාවයක් තිබෙනවා නම්, ගෙන්වීම ගැටළුවක් නොවෙයි. නමුත් ආනයන බලපත්‍ර ලබාදීමට විනිවිද පෙනෙන ක්‍රමවේදයක් නැහැ. එවැනි විකෘති තත්වයක් තුළ වැට් බද්ද පනවා තිබෙනවා.
ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය හැටියට අපි ආණ්ඩුවට බල කරන්නේ ජනතාව බිල්ලට නොදී වැට් බදු අයකරගන්නා ක්‍රමවේදය වහාම රටට හෙළිකරන ලෙසයි. අලුතින් වැට් බදු අයකරන ලැයිස්තුව රටට හෙළිකළ යුතුයි. වැට් බදු අර්ථනිරූපණය කරගැනීම නිරවුල් විය යුතුයි. එසේ නොකළ හොත් මහජනතාව සමග එකතුවී අදාළ ක්‍රියාමාර්ග නිරවුල් කර ගැනීම වෙනුවෙන් පාරට බැසීම හැර අපිට වෙන විකල්පයක් නැහැ. එයට පෙර අදාළ පැහැදිලි කිරීම් කිරීමේ වගකීම ආණ්ඩුවට තිබෙනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු
ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ මහතා වැට් බදු අඩුකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා ලිපියක් නිකුත් කර තිබෙනවා නේද?
පිළිතුර:- ලිපිවලින් වැට් බදු අඩුවෙන්නේ නැහැනේ. පාර්ලිමේන්තුවේදී අත උස්සා පනත් සම්මත කර දීලා, ජනතාව ඉදිරියේ දවල් මිගෙල් රෑ දනියෙල් නාට්‍ය රඟපාන්නේ ඒගොල්ලෝ. ලිපි නිකුත් කරනවා හැර, ඒගොල්ලන්ට ජනතාව ඉදිරියට යන්න බැහැ. මේ සියලු පනත් රනිල් වික්‍රමසිංහ තනියෙන් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තේ නැහැ. මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම තමයි මේ පනත්වලට පාර්ලිමේන්තුවේදී අත ඉස්සුවේ. මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටිනවාද? ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවාද? කියන එක පැහැදිලිව ජනතාවට කියන්න ඕනෑ.
ප්‍රශ්නය:- රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති දෙකක් තිබෙන බවත්, නිවේදනයෙන් කියා තිබෙනවා.
පිළිතුර:- එහෙම නම්, රනිල් වික්‍රමසිංහව තියාගෙන ඉන්නේ මොකටද? ප්‍රතිපත්තියේ වෙනසක් තිබෙනවා නම් අනුමත කරන්න පාර්ලිමේන්තුවේදී ඡන්දය දීලා එළියට ඇවිත් වෙන කතා කියලා වැඩක් නැහැ. ජනතාව දැන ගන්න ඕනෑ මහින්ද රාජපක්ෂ පෙනී සිටින්නේ මොන ප්‍රතිපත්තිය වෙනුවෙන් ද කියලා. ක්‍රියාමාර්ගවලින් තහවුරුවී තිබෙන්නේ මහින්ද රාජපක්ෂලා, රනිල් වික්‍රමසිංහලා එකම කණ්ඩායමක් බව.
ප්‍රශ්නය:- ජනතාව ගැන හිතන ආණ්ඩුවක් ඕන කියලා මහින්ද රාජපක්ෂ කියනවා…
පිළිතුර:- ජනතාවාදී ආණ්ඩුවක් අවශ්‍ය බව ජනතාව දැන් තීරණය කරලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහලා මහින්ද රාජපක්ෂලා එලවලා ජනතාව ගැන හිතන ජනතාවාදී ආණ්ඩුවක් හදන්න ජනතාව දැන් පෙළගැහිලා ඉන්නේ. ඒ ගැන අපිට විශ්වාසයක් තිබෙනවා. ඒ ආණ්ඩුව හදන්න බාධාවක් වෙලා තියෙන්නේ රනිල් රාජපක්ෂලා ඡන්දයක් නොදී ඡන්දේ මගහරින නිසා.
-Colombo, December 19, 2023- අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඇතිවී තිබෙන බරපතළ අර්බුදකාරී තත්වය පිළිබඳව නැවත සාකච්ඡා කරන්න සිදුවී තිබෙනවා. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉතිහාසය තුළ අතිශයින්ම බරපතළ කරුණු රැසක් නිර්මාණය වී සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩල විශාල ප්‍රමාණයක් රට හැරයමින් සිටිනවා. ඖෂධවල ප්‍රමිතිය බාලවීම, ඖෂධ හිඟය, ඖෂධ මිල ඉහළයාම ඇතුළු කරුණු රැසක් බලපා තිබෙනවා. සෞඛ්‍ය සේවයේ ඇතිවී […]
-Colombo, December 19, 2023-
අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඇතිවී තිබෙන බරපතළ අර්බුදකාරී තත්වය පිළිබඳව නැවත සාකච්ඡා කරන්න සිදුවී තිබෙනවා. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉතිහාසය තුළ අතිශයින්ම බරපතළ කරුණු රැසක් නිර්මාණය වී සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩල විශාල ප්‍රමාණයක් රට හැරයමින් සිටිනවා. ඖෂධවල ප්‍රමිතිය බාලවීම, ඖෂධ හිඟය, ඖෂධ මිල ඉහළයාම ඇතුළු කරුණු රැසක් බලපා තිබෙනවා. සෞඛ්‍ය සේවයේ ඇතිවී තිබෙන මේ ගැටලුවලට මුහුණදීමේ හැකියාවක් ජනතාවට නැහැ. ප්‍රමිතියෙන් තොර ඖෂධ සෞඛ්‍ය සේවයට ලබාදීම ඉතාමත් බරපතළම කරුණක්. මේ අතරින් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් විශේෂයෙන් රටේ අවධානය යොමුවී තිබෙන අතර, මෙම ඖෂධ 22500ක් ඉවත් කර තිබෙනවා. ඉන්දියාවේ නිෂ්පාදිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා මෙරට තුළ නිෂ්පාදනය කර ඇති බව දැන් තහවුරුවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.
මේ නිලධාරීන් ක්‍රියාත්මක කරන්නේ ඇමතිවරයා ඇතුළු ඉහළ දේශපාලන අධිකාරියේ නියෝග බව අපි කවුරුත් දන්නවා. ඔවුන්ගේ නියෝග ඉටුකිරීම නොව, අදාළ නීති රෙගුලාසි සහ හෘදයසාක්ෂියට එකඟව පමණක් නිලධාරීන් ක්‍රියාකළ යුතු වෙනවා. නමුත් ඉහළින් එන දේශපාලනය නියෝග පැකිළීමකින් තොරව ක්‍රියාත්මක කිරීම නිසා ඔවුන් නීතිය හමුවේ වැරදිකරුවන් වෙනවා. මේ සම්බන්ධයෙන් සවිස්තරව මහජනතාව දැනුවත් කිරීමට ඉදිරියේදී අපි කටයුතු කරනවා.
“ප්‍රමිතියෙන් තොර ඖෂධ සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්න හෝ ක්‍රියාකර නැහැ.”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස–
විශේෂයෙන්ම ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් පැන නැගී තිබෙන තත්වය සම්බන්ධයෙන් අද සාකච්ඡාවට ගන්නවා. අපේ රටේ කෙනෙකුට පොල්ගෙඩියක්, මාළු ටිකක්, ඇඳුමක්, ආදී භාණ්ඩයක් ගන්න ගියාම ඒ පිළිබඳව කරුණු සොයලා බලලා ලබාගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් අසනීපයකට ලබාගන්නා බෙහෙත් පෙත්ත, ඖෂධීය ආලේපයක් හෝ එන්නතක් පිළිබඳව එවැනි මූලික අදහසක් ලබාගන්න, තීන්දු කරන්න ජනතාවට බැහැ. පුරවැසියාට ලබාදෙන ඖෂධයේ ගුණාත්මකභාවය පිළිබඳව සම්පූර්ණ වගකීම රජය සතුයි. ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් විශාල ප්‍රමාණයක් යොදවමින් ඖධවල ප්‍රමිතිය පිළිබඳව තහවුරු කිරීමේ ආයතන ගණනාවක් පිහිටවූ නිශ්චිත යාන්ත්‍රණයක් අපේ රටේ තිබෙනවා. අපේ රටේ බහුතරයක් ජනතාව තාමත් ප්‍රතිකාර ලබාගන්නේ රජයේ රෝහල්වලින් බාහිරව හෝ නේවාසිකව. මෙයට අදාළ ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ලබාගෙන ඖෂධ නියාමන අධිකාරියෙන් අධීක්ෂණයට ලක්කර සැපයීම් අංශයෙන් රෝහල්වලට බෙදාහරිනවා. ඖෂධ සංස්ථාව නොවෙයි ගන්නේ, අදාළ ඖෂධය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර තිබෙනවාද යන්න සොයා බලලයි.
ප්‍රශ්න ගත ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ඒකක 22500 රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් පසුගිය ජූලි සිට සැප්තැම්බර් අතරතුර මිලදී ගෙන රජයේ රෝහල්වලට ලබාදී තිබෙනවා. ඒ ඖෂධය ලබාදුන් රෝගීන්ගෙන් සංකූලතා වාර්තා වූ බව රෝහල් කිහිපයකින් අමාත්‍යාංශයට දන්වා තිබුණා. විශේෂයෙන්ම කොළඹ ජාතික රෝහල, මහනුවර සහ මාතලේ රෝහල්වලින් එම වාර්තා ලබාදී තිබුණා. ඉන් අනතුරුව සිදුකළ පරීක්ෂාවලදී එය තත්වයෙන් බාල බව සොයාගෙන තිබුණා. පරීක්ෂණාගාර කිහිපයකම කළ පරීක්ෂාවලින් මේ ඖෂධය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් හෙළිවී තිබෙනවා. මේ ඖෂධය තුළ අවම වශයෙන් හෝ ඉමියුනොග්ලොබියුලීන් නැති බව, මේ තුළ බැක්ටීරියා ඇතුළු අහිතකර ද්‍රව්‍ය තිබෙන බව වගේම තවත් කරුණු කිහිපයක් හෙළිවී තිබුණා. ඒවා මිලදී ගැනීමේදී විශාල දූෂණ ප්‍රමාණයක් සිදුකර තිබෙනවා. එම ඖෂධය ඉන්දියාවේ නිෂ්පාදනය කළේ යැයි කියන සමාගමක් හෝ නැති බව සොයාගෙන තිබෙනවා. ගුජරාට් සමාගම බව කියන ලේබලයක් ලංකාවේ එක්තරා සමාගමක් විසින් නිෂ්පාදනය කළ දේවල්වලට යොදාගෙන ඇති බව හෙළිවී තිබෙනවා. ගුජරාටයේ සමාගම ප්‍රකාශ කරනවා ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය නිෂ්පාදනය නොකරන බවත් අපනයනය නොකරන බවත්. මෙම ඖෂධය නිෂ්පාදනය කළ ස්ථානයක් සොයා ගැනීමටත් නැහැ.
රුපියල් මිලියන 1000කට ආසන්න ගනුදෙනුවක් සිදුවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නිලධාරීන් කටඋත්තර ලබාදී තිබෙන්නේ අමාත්‍යවරයාගේ උපදෙස් මත කරන ලද ක්‍රියාවක් බවයි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව මෙවැනි ආකාරයේ ඖෂධ මිලදී ගැනීමක් සිදුකළ නොහැකියි. ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ මිලදී ගැනීම් සිදුවුණා. වසංගත තත්වයකදී හෝ මරණ සංඛ්‍යාව වැඩිවන අවස්ථාවන්වලදී ඉක්මනින් ඖෂධ ගෙන්වා ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් නීත්‍යානුකූලව වෙන්වුනු අවස්ථාවක් තමයි මේ හදිසි මිලදී ගැනීම. ඒ අවස්ථාව තමයි මේ පාලකයෝ අවභාවිතා කර තිබෙන්නේ. එවැනි මිලදී ගැනීම් පවා තමන්ට රිසි පරිදි මිලදී ගැනීම් කළ නොහැකි ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යොදාගෙන තිබුණා. ලියාපදිංචි නොවූ ඖෂධ හදිසියේ මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කළ කමිටුවකින් අනුමැතිය ගත යුතුයි.
පසුගිය ආර්ථික අපහසුතා ඇති වූ අවස්ථාවේ ඉන්දියාව විසින් අපට ආහාර සහ ඖෂධ මිලදී ගැනීම සඳහා ණය පහසුකම (Indian credit line) ලබාදුන්නා. එම ණය පහසුකමට මුවාවෙලා Way of Registration පැත්තකට දාලා ඉන්දියානු සමාගම්වලින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය යොමු වුණා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායකගේ අත්සනින් පමණක් ඉන්දියන් ණය පහසුකමෙන් ඉන්දියානු ඖෂධ මිලදී ගැනීමට අවස්ථාවක් හදා දුන්නා. එසේ ගෙනෙන ලද ඖෂධවල බරපතළ ප්‍රශ්න තිබෙනවා. ඒ නිසාම තමයි, ඇස් අන්ධවීම්, බෙහෙත් නිසා මියයෑම් සිදුවුණේ එවැනි ඖෂධ හේතුවෙන්. මේ ක්‍රියාවලිය ඇමතිවරයාගේ අනුමැතියකින් තොරව ඩොලර් බිලියන තුනකට ආසන්න ගනුදෙනුවක් කිසිසේත් සිදුකළ නොහැකියි.
සැපයීම් අංශයේ සිටින සමහර නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අවස්ථාවේ විෂය භාරව සිටි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔහුට විරුද්ධව විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන්, වෛද්‍යවරු, ඔහු සම්බන්ධයෙන් චෝදනා එල්ල කළා. ඔහුට විරුද්ධව කටඋත්තර ලබාදී තිබියදී සහ දූෂිත ගනුදෙනුවලට ඇඟිල්ල දිගුවී තිබියදී කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනවා පෙනෙන්නේ නැහැ. ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා. එයින් ඔහු බේරුණත්, ඔහුට එරෙහිව තිබෙන චෝදනා ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. නමුත් සිදුවුණේ ඔහු එම ඇමති ධුරයෙන් ඉවත් කොට භූ විද්‍යා පතල් කැනීම් කාර්යාංශය ඇතුළු ඛනිජ සම්පත්වලට බලපත්‍ර ලබාදෙන ආයතනය සහිත පරිසර ඇමති ධුරය ලබාදීමයි.
මෙය ඉමියුනොග්ලොබියුලීන් එළියට ආ ප්‍රශ්නයක් වුණාට මීට ප්‍රථමත් සෞඛ්‍ය විෂය භාර අමාත්‍යවරු යටතේ දූෂණ වංචා සිදුවී තිබෙනවා. ජාතික සෞඛ්‍ය නියාමන අධිකාරිය විසින් 2018, 2021 පෙබරවාරි අතර සිදුකළ ෆොරෙන්සික් ඔඩිට් එකේ වාර්තාවෙන් හෙළිවුණා ගෙනවන ලද සමහර ඖෂධ පිළිබඳ තොරතුරු. ඉන්දියානු සමාගම් කියා සිටියා සමහර ඖෂධ ඔවුන් නිෂ්පාදනය නොකළ බවත්, එවන් ඖෂධයක් ලංකාවට නොඑවූ බවත්. වසර ගණනාවක සිට මේ හොරකම, වංචාව සිදුකර තිබෙනවා. ඒවා සොයන්න අවස්ථාවක් උදාවෙලා තිබෙනවා.
අපට පෙනෙනවා ආණ්ඩුව තමන්ගේ දේශපාලන සගයන් ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බව. ඒ වගේම අපි ආණ්ඩුවට බලකර සිටිනවා මේ චෝදනාවට ලක්වි සිටින, මේ සම්බන්ධයෙන් උපදෙස් දුන්නාය කියන දේශපාලන හස්තයන්, දේශපාලන බල අධිකාරීන්, තවදුරටත් ආරක්ෂා නොකර නීතිය හමුවට ගෙන ආ යුතුයි.
ජනතාවට අපි කියා සිටිනවා, කොමිස් එකට මුවාවෙලා, නිෂ්පාදනය කළ තැනක්වත් සඳහන් නොවෙන, ඉතා බාල ගණයේ ඖෂධ තමන්ගේ ජීවිතවලට එන්නත් කරන්න, ජීවිතයට දැඩිසේ හානිවන දේ මේ ආණ්ඩුකරමින් සිටියදී තවදුරටත් නිහඬව නොසිට, වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනඑන ලෙසට, දැවැන්ත මතයක් සමාජය හමුවේ ගොඩනඟන්න කියන ඉල්ලීම කරනවා.
-Colombo, December 17, 2023- ජාතික ජන බලවේගය කල්මුණේ ආසන සමුළුව එළඹෙන වසරේ අනිවාර්යයෙන් ඡන්දයක් පැවැත්වෙනවා. 2024 ඔක්තෝබර් මාසයේ 17 දිනට කලින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ජුලි අග වන විට මැතිවරණ කටයුතු පටන් ගන්නවා. අපි මේ දක්වා පාලකයෝ වෙනස් කළා. ආණ්ඩු වෙනස් කළා. අපි පරණ විදිහට නැතිව අලුත් විදිහට හිතලා දේශපාලනයේ වෙනසක් කරමු. දකුණේ කරන ලද සමීක්ෂණ කිහිපයකින්ම […]
-Colombo, December 17, 2023-
ජාතික ජන බලවේගය කල්මුණේ ආසන සමුළුව
එළඹෙන වසරේ අනිවාර්යයෙන් ඡන්දයක් පැවැත්වෙනවා. 2024 ඔක්තෝබර් මාසයේ 17 දිනට කලින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ජුලි අග වන විට මැතිවරණ කටයුතු පටන් ගන්නවා. අපි මේ දක්වා පාලකයෝ වෙනස් කළා. ආණ්ඩු වෙනස් කළා. අපි පරණ විදිහට නැතිව අලුත් විදිහට හිතලා දේශපාලනයේ වෙනසක් කරමු. දකුණේ කරන ලද සමීක්ෂණ කිහිපයකින්ම පෙන්නුම් කරනවා ජාතික ජන බලවේගය උඩින්ම ඉන්න බව. දකුණේ අය අහනවා දකුණ නම් හරි, උතුර නැගෙනහිර කොහොමද කියලා. කල්මුණ වේදිකාවේ සිට දකුණේ ජනතාවට කියනවා, දකුණේ ජනතාව ගන්න ගන්න තීන්දුවට විශාල දායකත්වයක් නැගෙනහිර මුස්ලිම් ජනතාව දෙන්න සූදානම් කියලා.
අපේ රට විශාල ප්‍රපාතයකට කඩා වැටුණා. ණය ගෙවාගන්න බැරි, ජනතාවට කන්න බොන්න නැති, ධීවර බෝට්ටුව මුහුදට යවා ගන්න බැරි, ඉස්පිරිතාලේ බෙහෙත් නැති, දරුවන්ට හරි අධ්‍යාපනයක් නැති, දරුවන්ට රස්සාවක් නැති, පරිසර පද්ධතිය විනාශ වුණු, අලි-මිනිස් ගැටුමෙන් අලි සිය ගණනක් මැරුණු, ලෝකය ඉදිරියේ ලැජ්ජාවට පත්කළ, ලෝකය පිළිගන්නේ නැති, රටක් බවට අද අපේ රට පත්කර තිබෙනවා. තෙල් ටැංකි ටික, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් එක විකුණන්න හදන, නැවත ජාතිවාදී ගැටුම් හදන රටක් බවට පත්කර තිබෙනවා. මේක වෙනස් කළ යුතු නැද්ද? අපි ඔබ හමුවට ආවේ, මේක වෙනස් කරමු කියන යෝජනාව කරන්නයි. උතුරේ දමිළ ජනතාවත්, නැගෙනහිර මුස්ලිම් ජනතාවත්, දකුණේ සිංහල ජනතාවත් සියලු දෙනාම එකතුවෙලා මේ රට හදමු. ජාතිවාදය නැති, ජාතික සමගිය රකින, ආර්ථිකය ගොඩනගන ආණ්ඩුවක් අපි හදමු.
ගිය අවුරුද්දේ ජුනි මාසයේ, මේ රටේ ජනතාව විසින් පලවා හැරපු නායකයෝ, මේ රට විපතට පත් කළ නායකයෝ ආයිමත් බලයට එන්න දඟලනවා. මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ඉස්සර අපිට පෙනුණේ එකිනෙකාට එරෙහිව සටන් වදින ආකාරයක්. මහින්ද හොඳ නැහැයි කියල හිතෙන කොට රනිල්ව පත්කළා. රනිල් හොඳ නැහැයි කියල හිතෙන කොට මහින්දව පත් කළා. හැබැයි අද දෙගොල්ලෝම එකට ඉන්නේ. එදත් හිටියේ එහෙමයි. ඒගොල්ලෝ කවදාවත් රණ්ඩු වුණේ නැහැ. හැබැයි ඒගොල්ලෝ අපිව බෙදුවා. සිංහල, මුස්ලිම් ජනතාව අතර ගැටුම් හැදුවා. රවුෆ් හකිම්ලා බෙදුණේ නැහැ. ගූගල් එකේ එයාලගේ හිස්ටි්‍ර එක සොයනකොට චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ කාරක සභාවේ සභාපති, තැපැල් ඇමති, රනිල්ගේ ආණ්ඩුවෙත් තැපැල් ඇමති. ආයෙමත් මහින්දගේ ආණ්ඩුවේ වරාය ඇමති. 2000 ජනාධිපති ඡන්දයේදි ෆොන්සේකාගේ වේදිකාවේ. ඡන්දෙ ඉවරවෙලා මහින්දගේ ආණ්ඩුවේ. 2015 මෛත්‍රීගේ ආණ්ඩුවේ. මේ අවුරුදු තුනේ විතරයි මොකවත් නැත්තේ.
19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිගේ තටු කපලා තිබුණේ. ගෝඨාභයගේ බලය වැඩිකර ගැනීමට, තටු හයිකර ගන්න, 2020 විසිවෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනවා. නමුත් ෆයිසර් කාසිම්, හාරිස්, ෆවුසික්, මොකද කළේ? ඔබලා ළඟට ඇවිත් ඡන්දෙ ඉල්ලුවේ ගෝඨාභය ජාතිවාදයා, එයා ආවොත් අපේ ආරක්ෂාව නැතිවෙනවා. ගෝඨාභයගෙන් බේරෙන්න, ගෝඨාභය පරද්දන්න හාරිස්ට, ෆයසිර් කාසිම්ට, ෆවුසික්ට ඡන්දෙ දෙන්න කිවුවා. තමුන්නාන්සේලා ගෝඨාභයට විරුද්ධව ඡන්දෙ දුන්නා. එයාලා පාර්ලිමේන්තුවට ගිහින් ගෝඨාභයගෙ බලය වැඩිකරන්න ඡන්දය දුන්නා. මේක කැත දේශපාලනයක් නෙමෙයිද? මේ දේශපාලනය නතර කළ යුතු නැද්ද? මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඇමතිකමක් දරන කෙනෙක් ආණ්ඩුවේ ඉන්න ඕන කියලා සමහරු කියනවා. 1994 සිට සෑම ආණ්ඩුවකම මුස්ලිම කොන්ග්‍රසය හිටියා. ආණ්ඩුවක ඉන්න එක වැදගත් දෙයක් නම්, මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නය විසඳෙන්න ඕනෑ. නමුත් විසඳුවේ නැහැ. මහින්ද රාජපක්ෂ වංචා, දූෂණ සිදුකරන විටත්, රනිල් වික්‍රමසිංහ මහ බැංකු වංචා සිදුකරන විටත් මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවේ හිටියා. මේ රට වැට්ටීමට එයාලත් හවුල්. කල්මුණේ නගරාධිපති මිලියන 25ක තමුන්නාන්සේලාගේ මුදල් සාක්කුවේ දාගත්තා. එහෙම පාලකයෝ මේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට එනවා අඩු, පාර්ලිමේන්තුවේ ඡන්දයක් තිබුණොත් අනිවාර්යයෙන් එන අතාවුල්ලා, විරුද්ධ පක්ෂයේ මා පිටුපස වාඩි වී ආණ්ඩුවට පක්ෂව ඡන්දය දෙනවා. මේ මොන දේශපාලනයක්ද? මේක වෙනස් කළ යුතු නැතිද? අපි තීන්දුවක් ගනිමු. මේ අසාර්ථක පාලනය නිමා කරන්න අපි ඔක්කෝම එකතු වෙමු. අලුත් ආණ්ඩුවක් හදල විතරක් මදි, අපි එකතු වෙලා මේ රට හදන්නත් ඕනෑ. අපි විඳින දුක අපේ දරුවන්ට අත්නොකරන, ලෝකය ඉදිරියේ කීර්තියට භාජනය වන, සියලුම ජාතීන් සමගියෙන් ජීවත් වන රටක් අපි හදමු.
පසුගියදා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කිවුවා, 2002 සිට පාලනයන් වැරදි කර තිබෙන බව. අපි අතීතය අමතක කර, අලුත් පාරකට එමු කියලා නිමල් සිරිපාල කිවුවා. ඒගොල්ලෝ නිතරම කියනවා අතීතය අමතක කරන්න කියලා. එයාලා බරපතළ වැරදි කර තිබෙනවා. මහජන දේපොළ සොරකම් කර තිබෙනවා. කවුරු අමතක කළත් ජාතික ජන බලවේගයේ අපි ඒක අමතක කරන්නේ නැහැ. මහජන දේපොළ සොරකම් කළ අයට සහතික වශයෙන් දඬුවම් දෙනවා. කල්මුණේදි විතරක් නොවෙයි පාර්ලිමේන්තුවේදිත් මම කිවුවා හරි බලයක් අපට තිබෙනවා නම්, පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් අය ඉන්නේ ඇතුලේ බව. එය කළ යුතුයි. එය කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විතරයි. පාර්ලිමේන්තුවේ මේ පැත්තෙන් කට්ටිය කියනවා, මහින්ද මහත්තයා හොරා, ක්‍රිකට් බෝඞ් එකේ හොරා, නාමල් හොරකම් කර තිබෙනවා කියලා. අනෙක් පැත්තෙන් කියනවා, සජිත් ප්‍රේමදාස සංස්කෘතික අරමුදලට ගැහුවා, නිවාස අධිකාරිය විනාශ කළා, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයෝ නෝනගේ සැලුන් ඒකේ වැඩට දැම්මා, ආණ්ඩුවෙන් පඩි ගෙවනවා. වැඩ සැලුන් එකේ, කියලා. අපි හදන්න ඕනෑ, මේ දෙපැත්තේම වැරදිකරුවන් වුණු සෑම දෙනාම නීතිය හමුවට ගෙනඑන ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව අපි හදනවා. නීතියේ ආධිපත්‍ය නිසි පරිදි සැමකෙනාටම ක්‍රියාත්මක වෙන ආණ්ඩුවක් අපිට ඕනෙ. ආණ්ඩුවේ නීතිය පිළිබඳව ජනතාවට විශ්වාසයක් නැහැ. පොලීසියට ගිය විට සාධාරණය ඉටුවෙයි කියා විශ්වාසයක් තිබෙනවාද? පොලීසියට දේශපාලන මැදිහත්වීම් තිබෙනවා. සාමාන්‍ය කෙනෙකුට ක්‍රියාත්මක වෙන නීතිය ඇමතිගේ ගෝලයාට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලෝකයේ දියුණු සෑම රටකම නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙනවා.
වැඩබලන පොලිස්පතිතුමාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලක්ෂ පහක දඩයක් ගැසුවා. හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේනට අධිකරණයෙන් දඩගහලා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, ආර්ථිකය කඩා වැට්ටුවා කියලා අධිකරණයෙන් වරදකරුවෙක් වෙලා තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ප්‍රසන්න රණතුංග අධිකරණයෙන් වරදකරුවෙක් වෙලා. මහ බැංකුවේ හිටපු අධිපති, අජිත් නිවාඞ් කබ්රාල් අධිකරණයෙන් වරදකරුවන් වෙලා. හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට රතු නිවේදන නිකුත් කර තිබෙනවා. පුත්තලමේ මන්ත්‍රී රහීම් රත්තරං ගෙනත් රේගුවේදි අහුවෙනවා. නීතියක් වල්වැදුණු රටක් බවට අපේ රට පත්වෙලා. මේ රට අපරාධකරුවෝ පාලනය කරන රටක්. රනිල් වික්‍රමසිංහට ප්‍රධාන චෝදනාවක් තිබෙනවා, මහ බැංකුවට ගහන්න හවුල් වූ බවට. අර්ජුන් මහේන්ද්‍රන් කටඋත්තර දෙනකොට “මුදල් ඇමති කිවුව විදිහට වැඬේ කළ” බව කිවුවා, ඒක ජනාධිපති කොමිසමේ සටහන් වී තිබෙනවා. බුද්ධි අංශයේ ප්‍රධානියාට පාස්කු ප්‍රහාරය පිළිබඳ චෝදනා එල්ලවෙනවා. රටේ ඉහළම තලවල ඉන්න අයට චෝදනා එල්ල වෙලා තිබෙන්නේ. මෙවැනි පාලකයන් යටතේ පාලනය වෙන එකට ජනතාව ලැජ්ජා වෙන්න ඕනෑ. තමුන්නාන්සේලාට ලෝකයේ රටකට ගොස් කියන්න පුළුවන්ද අපේ රටේ නායකයන් ගැන. ගූගල් සර්ච් කළාම අධිකරණයෙන් වැරදිකරුවන් වූ ජනාධිපතිලා, මුදල් ඇමතිලා, මහ බැංකු අධිපතිලා, අපේ රට පාලනය කරනවා. අපේ රට පාලනය කර තිබෙන්නේ කම්බා හොරු. පාලකයන් එහෙම නම් තමුන්නාන්සේලා කොහොම වේවිද කියා එයාලා හිතනවා. කල්මුණේ නගරාධිපති ගූගල් කර බැලුවොත්, එයත් එහෙමයි. සල්ලිවලට, ඇමතිකම්වලට මන්ත්‍රීවරු එහාට මෙහාට පනිනවා. නසීර් අහමඞ්ට නම් අධිකරණයෙන් නිවැරදි තීන්දුවක් දුන්නා. ඒ තීන්දුවට අපි ගරු කළ යුතුයි. ඒ තීන්දුව මීට කලින් දී තිබුණා නම්, බන්දුල, විජේදාස, හරීන්, මනුෂ, පාර්ලිමේන්තුවේ නැහැ. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් අදත් පාර්ලිමේන්තුවේ භාගයකට වැඩිය එළියේ. නීතියක් නැති රටක් කවදාවත් දියුණු කරන්න බැහැ.
ජාතිය මොකක්ද, බලය තිබෙනවාද, දුප්පත්ද-පොහොසත්ද, බේදයකින් තොරව සෑම කෙනෙකුටම සාධාරණය ඉටුවෙන රටක් අපි හදන්න ඕනෑ. අපි ඔබතුමන්ලා එකතු වෙලා ජාතික ජන බලවේගය හදන රට එහෙම එකක්. මේ පළාතේ ධීවර ජනතාව ඉන්නවා, බහුදින යාත්‍රා පන්සියයක් පමණ තිබෙනවා, කුඩා බෝට්ටු 800ක් 900ක් තිබෙනවා. මේ අයගේ ප්‍රධාන ජීවිකාව මුහුදු රස්සාව. මුහුද ඛාදනය වෙනවා, බෝට්ටු නතර කරන්න ධීවර වරායක් නැහැ. හැබැයි මත්තල ගුවන් තොටුපොළක් තිබෙනවා. මිනිසුන්ගේ අවශ්‍යතාවයන් නොවෙයි ඉටුකරන්නේ. එයාට කොමිස් එන විදිහට තමයි වැඩ කරන්නේ. ආර්ථිකය හදන්න මහ මුහුදේ තිබෙන මාළු අස්වැන්න නෙළන්න ඕනෑ. ඒකට ධීවර ජනතාවට පහසුකම් දෙන්න ඕනෑ. අද බහුදින යාත්‍රාවලින් භාගයකට වැඩි ප්‍රමාණයක් මුහුදු යන්නේ නැහැ. තෙල් ගහගෙන, සති දෙක තුනකට බඩු අරගෙන, මුහුදු ගිහින් මාළු අල්ලගෙන ආවාම පාඩුයි. ණයයි. ඒ නිසා බෝට්ටු මුහුදු යන්නේ නැහැ. බෝට්ටු මුහුදු යවන්න නම්, ඩීසල් සහනාධාරයක්, හොඳ තොටුපොළක්, අයිස් ගබඩාවක් හදා දෙන්න ඕනෙ. දැල් ආම්පන්න සාධාරණ මිලකට දෙන්න ඕනෑ. එතකොට ජනතාව මුහුදු ගොස් මාළු අස්වැන්න ගොඩබිමට ගේනවා. රටේ අස්වැන්න වැඩිවෙනවා. රට හදනවා. මේ පාලකයෝ ජනවාරි මාසෙ පළවෙනිදා ඉඳන් නැවතත් ඩීසල්වලට වැට් එක ගහලා. ගියපු යාත්‍රා ටිකත් ගොඩබිමට ගේන්න වෙනවා. රටක් හදන්න නිෂ්පාදනය උඩට ගේන්න ඕනෑ. ඒකට අපි මැදිහත් වෙන්න සූදානම්.
අම්පාර දිස්ත්‍රික්කයේ තමයි වැඩිම වී වගා කරන දිස්ත්‍රික්කය. සාරවත් කුඹුරු යායවල් තිබෙනවා. පහසුකම් ටික නැහැ. හොඳ බීජ, හොඳ පොහොර, වල් නාශක නැහැ. වී මිලදී ගන්නෙ අඩු මිලට. ගොවියා අනාථයි. රටත් අනාථයි. අක්කර දහස් ගණනක කුඹුරු යායවල් තිබෙනවා. නව බීජ ප්‍රභේද දාලා, අලුත් තාක්ෂණය ගෙනත්, හොඳ පොහොර යොදවලා, අස්වැන්න වැඩිකරලා, දියුණු තාක්ෂණය සහිත මෝල් හදලා පිටරටට සහල් යවන්න පුළුවන්. කුඹුරු පාළු වුණොත් රටත් පාළුයි. කුඹුරු අස්වැන්න වැඩිකරන තැනට අපේ රට වෙනස් කරන්න ඕනෑ. අපේ තරුණ පරම්පරාවට නව රැකියා අවස්ථා හදන්න ඕනෑ. අද ලෝකයේ ප්‍රධාන කර්මාන්තය බවට පත්වෙලා තිබෙන්නේ අයි.ටී. කර්මාන්තය. අපේ දැනුම තිබෙන තරුණ පරම්පරාවට ලෝකයේ දියුණුම ශ්‍රමය අත්පත් කර ගන්න හැකි සැලසුම හදන්න ඕනෑ. අයි.ටී. තාක්ෂණය දියුණු කරන්න අවශ්‍යයි. අද අපේ තරුණ තරුණියන්ට තමන්ගේ ජීවිතය අහිමි කර තිබෙනවා. විවාහ වන තරුණ තරුණියන්ට එකට ජීවත්වීමේ අවස්ථාව අහිමි කර තිබෙනවා. නමුත් එයාලත්, එයාලගේ විවාහක දරුවන් දවසක් වෙන්වී ඉන්නේ නැහැ. නමුත් අපේ දරුවන්ට විවාහ වෙලා, මාසයක් එකට ජීවත් වෙන්න විදිහක් නැහැ. මහත්තයා රට, නෝනා ලංකාවේ. එහෙම ජීවිත අපට ඕනැද? ඇමතිවරුන්ගේ දරුවෝ රැකියා කරනවා දැක තිබෙනවාද? පාසලක උගන්වනවා, ෆැක්ටරියක වැඩකරනවා, එවැනි රැකියාවක් එයාලා කරන්නේ නැහැ. එයාලගෙ දරුවෝ ආණ්ඩුවත් එක්ක බිස්නස්. ආණ්ඩුවෙ කොන්ත්‍රාත් එයාලා කරනවා. අපේ දරුවො, දරුවො නොවෙයිද? අපේ දරුවන්ට හොඳ අනාගතයක් අවශ්‍ය නැද්ද? අපේ දරුවන්ටත් හොඳ අනාගතයක් ලබාදෙන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අපි හදමු.
මේ පාලකයෝ හැමදාම බලය ගන්න ජාතිවාදය වපුරනවා. කණ්ඩායම් දෙකම බලය ගන්නේ ජාතිවාදය වපුරලා. මෑත කාලයේ ජාතිවාදය වපුරන්න උත්සාහ කළා. හැබැයි දැන් ජාතිවාදයේ ගිනිදැල්ල පත්තු වෙන්නේ නැහැ. කුරුන්දි විහාරය කේන්ද්‍ර කරගෙන ජාතිවාදය අවුස්සන්න හැදුවා. ත්‍රීකුණාමලයේ ජාතිවාදය අවුස්සන්න හැදුවා. පොන්නම්බලම්ගේ ගෙදර වටලා ජාතිවාදය අවුස්සන්න හැදුවා. තවදුරටත් මේ රටේ ජනතාව ජාතිවාදයට ගොදුරු වෙන්නේ නැහැ. අපේ රට ගිනිතියපු, ගැටුම් හදපු, පාස්කු ප්‍රහාරය ඇති කරපු, මේ පාලකයන්ගේ ජාතිවාදී දේශපාලනය පරාජය කරන්න ඕනෑ.
මේ රට එක ජන කොටසකගේ රටක් විතරක් නොවෙයි. අපි ඉපදෙන්නෙ, මියැදෙන්නේ, පොහොර වෙන්නේ මේ රටේ. මේක අපේ රට. අපි හැමෝම සමගියෙන් පිරුණු රටක් අපි හදමු. නැගෙනහිර ජනතාවත්, දකුණේ ජනතාවත් මේ රට හදන්න නැගිටින්න ඕනෑ. මේ පාලකයෝ පලවා හරින්න උතුරේ, දකුණේ, නැගෙනහිර ජනතාව ඔක්කෝම එකා වගේ අත්වැල් බැඳ ගන්න ඕනෑ. මේ රට ගොඩනගන්න නව ජාතික පිබිදීමක් අපට ඕනෑ. අපි නැගිටින්න ඕනෑ එකිනෙකාට විරුද්ධව නොවෙයි. කුල භේද, ජාති භේද, ආගම් භේද නැති, මේ රට ගොඩනැගීම අරමුණුකොට ගත් පිබිදීමක් අවශ්‍යයි. අපි එකතුවෙනකොට එයාලා කියනවා ජාතික ජන බලවේගය ආවොත් ආගම් අදහන්න දෙන්නේ නැහැ කියා. ආගම යනු කුමක්ද? ආගම යනු එය අදහන ජනතාවගේ විශ්වාසය. මුස්ලිම් ජනතාව අල්කුරානයත්, නබිනායකතුමාගේ දේශනයත්, සිංහල බෞද්ධ ජනතාව, ත්‍රිපිටකය හා බුදුරජාණන් වහන්සේත්, කතෝලික ජනතාව. බයිබලය හා ක්‍රිස්තුස් වහන්සේත්, දෙමළ ජනතාව ගීතාවලිය හා ශිව දෙවියනුත් විශ්වාස කරනවා. අපි සෑම ජන ප්‍රජාවකටම තමන්ගේ විශ්වාසය අනුව ආගම ඇදහීමේ නිදහස උපරිම ලෙස තහවුරු කරනවා. එවැනි ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපි අපේ දේශපාලනයට ආගම සම්බන්ධ කර ගන්නේ නැහැ. ආගම ජනතාවගේ විශ්වාසය. දේශපාලනය කියන්නෙ ජනතාව පාලනය වන්නේ කොහොමද කියන එක.
එයාලා තවත් මතයක් හදනවා, එන්පීපී ආණ්ඩුවක් ආවොත් ව්‍යාපාර ආණ්ඩුව පවරා ගන්නවාලු. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්විටර් පණිවිඩයක් දාලා කිව්වා, එන්පීපී ආණ්ඩුවකදී දේපළ පවරා ගන්නවා කියලා. සජිත් කිවුව නිසා එය කවුරුත් පිළිගත්තේ නැහැ. මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා අපේ රටේ ව්‍යාපාර 1183ක් බැංකු පවරාගෙන, වෙන්දේසි කර තිබෙනවා. ඉතා අමාරුවෙන් ගොඩනගාගත් බිස්නස්. පාස්කු ප්‍රහාරය ආවා, කොවිඞ් ආවා, මහජනයාගේ දේපොළ සොරකම් කළා, ආර්ථිකය කඩා වැටුණා, ව්‍යාපාර කඩා වැටුණා. හොඳට තිබුණු බිස්නස් වැට්ටුවේ කවුද? මේ පාලකයෝ. දැන් මොකද සිදුවී තිබෙන්නේ. අපි ආණ්ඩුවක් හදන්නේ පුරවැසියාගේ ව්‍යාපර පවරා ගන්න නොවෙයි. එයාලාගේ ව්‍යාපාර දියුණු කරන්න. ඔබ සපත්තු කර්මාන්තයක් කරනවා නම්, ඒකට තාක්ෂණය දීලා, බැංකු ණයක් දීලා, ඒ කර්මාන්තයට ලෝකයේ වෙළඳපොළක් සොයා දීලා, දියුණු කර්මාන්තයක් බවට පත්කරන එක අපේ සැලැස්මක්. ඔබලා වගා කරන කුඹුර, කල්මුණේ ජනතාවට බත සැපයීමට පමණක් නොවෙයි, ලෝකෙ ජනතාවටත් බත් සපයන තැනට මේක වෙනස් කරන්න ඕනෑ. අපි හදන ආර්ථිකය ඒකයි. නව ව්‍යාපාර ඇති කරන, ඒවා දියුණු කිරීමට සහාය දෙන එක තමයි අපේ ආර්ථික ප්‍රතිපත්තිය. කස්ටම් එකට යට වෙන්න හෝ ආදායම් බදු ෆයිල් සැඟවීමට හෝ අවශ්‍ය නොවෙන සාධාරණ බද්දක්, සාධාරණ නීතියක්, යහපත් ව්‍යාපාරයක් අපි ඇති කරනවා. වැටුණු කර්මාන්ත ගොඩනගන, ව්‍යාපර දියුණු කරන ආණ්ඩුවක් අපි හදනවා. ව්‍යාපාරවලට ලෝක වෙළඳපොළේ තැනක් අත්පත් කරගන්න කටයුතු කරනවා.
ඒ වගේම ලෝකයට සාමයක් අවශ්‍යයි. අද පලස්තීනයේ අහිංසක ජනතාව, දුවා දරුවන්, විඳින වේදනාව පිළිබඳ හඬක් අවශ්‍ය නැද්ද? අන්න ඒ හඬක් නගන ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය කියන්නේ. ලෝකයේ අයුක්තිය, අසාධාරණය කොතනද, ඒකට විරුද්ධව හඬක් නඟන්න ලැහැස්තියි. ඒ වගේ ආණ්ඩුවක් අපි හදමු. මේ රට වෙනස් කරන පාරක් අපට ඕනෑ. ආදම්බාවා සහෝදරයා දීර්ඝ කාලයක් මේ කල්මුණ ප්‍රදේශයේ අපිත් සමග වැඩ කරනවා. රමේෂ්, නලින් සහෝදරවරු ඉතා ශක්තිමත්ව අපිත් සමග ඉන්නවා. මේ අය මෙතෙනට පැමිණියේ තමනට පුද්ගලිකව දෙයක් ලබාගැනීමට නොවෙයි. ආණ්ඩුවට එන සෑම සතයක්ම පෙරළා ජනතාවට යන ආණ්ඩුවක් හදන්න ඕනෑ. මම තරුණ පරම්පරාවට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉදිරියට එන්න තිබෙන ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි. අගෝස්තු මාසේ ජනාධිපති ඡන්දය ප්‍රකාශයට පත්වෙනවා. අපට මාස අටයි තිබෙන්නේ. සෑම ගෙදරකටම අපි යමු. හැම කෙනෙක්ම හමුවෙමු. රට වෙලාගෙන තිබෙන විනාශය කතා කරමු. මේක වෙනස් කරන්න එන්පීපී එක සමග එකතු වෙන්න කියා ආරාධනා කරමු. කලින් කුමන අයෙකුට ඡන්දය පාවිච්චි කළ කෙනෙක් වුණත් ඒ හැම දෙනාටම ආරාධනා කරමු. මේ රට වෙනස් කරන අලුත් ගමනක් අපි යමු. රට ගොඩනගන අලුත් ගමනක් යමු. උතුර, දකුණ, නැගෙනහිර අපි ඔක්කෝම එක මවකගේ දරුවන් වගේ සහෝදරත්වයෙන් ඉන්න රටක් අපි හදමු. ලෝකයේ රටකදී මම ශ්‍රී ලාංකිකයෙක් කියන්න හැකි රටක් අපි හදමු. අපේ දරු පරම්පරාවට එහෙම රටක හදා දෙමු. ඒ වෙනුවෙන් සියලු දෙනාම එකතු වෙමු කියා හැමෝටම ආරාධනා කරනවා. මේ රටට කර තිබෙන විනාශය ඔක්තෝබර් අවසන් වෙන්න කලින් අවසන් කරමු.