නීතිය පාලකයාගේ අවියක් බව ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු වූ කාල් මාක්ස් කළ ප්‍රකාශය වර්තමානයේ ආණ්ඩුවේ අවශ්‍යතා අනුව පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කරන ආකාරයෙන් මනාව තහවුරු වෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ පෙන්වා දෙති. එම නීතිඥ සංවිධානය ඊයේ (22) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් නීතිඥ සුනිල් වටගල මේ බව අවධාරණය කළේය. එම මාධය හමුවට නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි සහ නීතිඥ අකලංක උක්වත්ත යන […]
නීතිය පාලකයාගේ අවියක් බව ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු වූ කාල් මාක්ස් කළ ප්‍රකාශය වර්තමානයේ ආණ්ඩුවේ අවශ්‍යතා අනුව පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කරන ආකාරයෙන් මනාව තහවුරු වෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ පෙන්වා දෙති.
එම නීතිඥ සංවිධානය ඊයේ (22) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් නීතිඥ සුනිල් වටගල මේ බව අවධාරණය කළේය. එම මාධය හමුවට නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි සහ නීතිඥ අකලංක උක්වත්ත යන අය ද සහභාගී වූහ. මෙම අවස්ථාවේදී වැඩි දුරටත් නීතිඥ සුනිල් වටගල දැක්වූ අදහස් පහත පළවේ.
අවසානයේ බෝලය පාස්කර තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට සහ නීතිපතිවරයාටයි. මේ වැඩේ පටන් ගත්තේ දේශපාලන වුවමනාවකින්. ඒ දේශපාලන වුවමනාව කරපින්නාගෙන යන්න වෙලා තිබෙන්නේ මේ ආයතන දෙකටයි. නීති විද්‍යාලයේ අපි ඉගෙන ගන්න කාලයේ නීති විද්‍යාව සම්බන්ධයෙන් කාල් මාක්ස් කියන ශ්‍රේෂ්ඨ දාර්ශනිකයාගේ මතයක් ගෙනහැර දැක්වූවා. “නීතිය වනාහි පාලකයාගේ අවියයි.” කියලා. නීතිය කියන්නේ ගලේ කෙටූ අකුරක්වත් මඩේ හිටවූ ඉන්නක්වත් නොවෙයි කියලා අර්ථ නිරූපණයක් තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කාල්මාක්ස් කියන දාර්ශනිකයාගේ අර්ථ නිරූපණයට වැටෙන පනතක්. පාලකයන්ට වුවමනා මිනිසුන්ව දඩයම් කරන්න හැදූ පනතක්. පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් මේ පනත වහා අහෝසි කළ යුතු බව අපි කියන්නේ ඒ නිසයි. ආණ්ඩුවේ පටු දේශපාලන වුවමනාවන් මුදුන් පත්කර ගැනීමට මේ පනත පාවිච්චි කරන බව යළි යළිත් පැහැදිලි වෙනවා. පසුගිය 18වැනිදා වෙනකොට වසන්ත මුදලිගේටත් සිරිධම්ම හිමිටත් විරුද්ධව තිබුණු රැඳවුම් නියෝග අවසන්. දැන් ඒ දෙදෙනාම ඉන්න ඕනෑ අපි අතර. තවදුරටත් රඳවා ගැනීමේ රහස මොකක්ද? ඔවුන් රඳවාගෙන දින 81ක් පිරුණු දවසේ අපි ඔවුන් බලන්න ගියා. ඔවුන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පනවා තිබෙන නඩුව විභාගයට ගෙන වහාම මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් ලෙස නියෝග ලැබුණා. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මා වින්දිතයන් පෙනීසිටියා.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් දවස් දෙකකට පසු තංගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඔවුන් ඉදිරිපත් කළා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි දින 90 අවසන් වූ පසු අපරාධ නීති සංග්‍රහය යටතට අදාළ වෙනවා. ඒ අනුව ඇප දීමේ අවස්ථාව නීතිපතිවරයාට ලැබෙනවා. නමුත් තංගල්ල මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කර සිටි වසන්ත මුදලිගේ කොළඹ අංක 08 උසාවියට වැඩිදුර වාර්තාවක් ගොනු කිරීමේ කරුණු දක්වමින් ඉදිරිපත් කළා. නොවැම්බර් 11දා තංගල්ල මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය යටතේ යළි එම උසාවියට ඉදිරිපත් කළ යුතුව තිබුණා. ඒ අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අදාළ සිදුවීම් කොළඹ අධිකරණ කලාපයේ සිදුවී තිබෙන නිසා එයට ඉදිරිපත් කරන බව කීවා. නමුත් වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥතුමා තංගල්ල අධිකරණයට ඉදිරිපත් කළ යුතු ප්‍රගති වාර්තාව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියා. නමුත් අදාළ පොලිස් නිලධාරීන් කිසිදු ප්‍රගති වාර්තාවක් ගෙනවිත් තිබුණේ නැහැ. අදාළ ප්‍රගති වාර්තාව කොළඹ අංක 08 අධිකරණ සේප්පුවේ දමා තිබෙන ජාතික ආරක්ෂාවට අදාළ වාර්තාවක් බව පොලීසියෙන් දන්වා තිබුණා. නමුත් ගරු මහේස්ත්‍රාත්තුමා නියෝග කර තිබෙන්නේ 25දා අධිකරණය හමුවේ එම නිලධාරියාම පෙනී සිටිමින් අදාළ වාර්තාව ඉදිරිපත් කළ යුතු බවයි. දැන් සිදුවී තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවත් නීතිපතිවරයාත් ආණ්ඩුවත් හිරවී සිටීමයි. පොලීසියත් නීතිපතිවරයාත් තවදුරටත් මෙය කරගහගෙන යනවා නම්, මොකද වෙන්නේ?
තවදුරටත් කල්මරනවා නම්, ඉතාම පැහැදිලි වෙන්නේ පොලීසියත් නීතිපතිවරයාත් දේශපාලනය කරන බවයි. තංගල්ල උසාවියේ ගරු මහේස්ත්‍රාත්තුමාගේ තීන්දුවේ සඳහන් කර තිබෙන්නේ “සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයන්හි ප්‍රගතිය 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ කාර්ය පටිපාටිය හා ප්‍රතිපාදන අනුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කළ යුතු බවට තීරණය කළෙමි.” යනුවෙනි. මේ නියෝගයට වෙට්ටු දාන්න බැහැ. පානදුරේ සිට සාමකාමී පා ගමනට පැමිණි කාන්තාවන්ට බාධා කළ පොලීසිය පොලිස් කාන්තාවන් පවා හිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළා. ඒ ගැන විමර්ශනය කර තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිර්භය නිර්දේශ තුනක් කර තිබෙනවා. එහි අන්තිම නිර්දේශයේ තිබෙන්නේ මේ වැනි සිදුවීම් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සිදු නොවිය යුතු බවයි. දේශීය වත් ජාත්‍යන්තර වත් ලංකා මාතාවගේ කීර්තිය පොලිස් දෙපාර්තමේන්තුවෙන් අහිමිකරමින් සිටින බව එහි දක්වා තිබෙනවා. මේ නිසා පොලිස් දෙපාර්තමේන්තුව වහාම විනයකට යටත් කරන ලෙස පොලිස්පතිට නියෝග කර තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් රඳවා තබාගෙන මුදා හරින අයගේ ජීවිත සම්බන්ධයෙන් නීතිපතිවරයා වේගයෙන් මැදිහත් වී වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන්ට යුක්තිය ඉටුකරන ලෙසට අපි බලකර සිටිනවා.
පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගනිමින් ආණ්ඩුව ගෙන යන දේශපාලන ක්‍රියාවලිය වෙනුවෙන් මෙහෙයවන බවට ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී චෝදනා නැගීය. එම මාධ්‍ය හමුවට සහභාගී වූ නීතිඥ අකලංක උක්වත්ත මේ බව කරුණු සහිතව පෙන්වා දුන්නේය. නීතිඡවරයා දැක්වූ අදහස් පහත පළවේ. පරමාධිපත්‍ය බලය ජනතාවගෙන් අත්හළ නොහැකියි. ඒ බලය […]
පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගනිමින් ආණ්ඩුව ගෙන යන දේශපාලන ක්‍රියාවලිය වෙනුවෙන් මෙහෙයවන බවට ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී චෝදනා නැගීය.
එම මාධ්‍ය හමුවට සහභාගී වූ නීතිඥ අකලංක උක්වත්ත මේ බව කරුණු සහිතව පෙන්වා දුන්නේය. නීතිඡවරයා දැක්වූ අදහස් පහත පළවේ.
පරමාධිපත්‍ය බලය ජනතාවගෙන් අත්හළ නොහැකියි. ඒ බලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ජනතාව පාරට බැස්සා. ඒ පාරට බැසීම නම් කළේ අරගලය කියලා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරමින් ජේ.ආර්. ජයවර්ධන ආවේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. මහින්ද රාජපක්ෂගේ සිට මේ ආණ්ඩුව දක්වා ක්‍රියාත්මක කරන්නේ ඒ ප්‍රතිපත්තිමයි. වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් විසින් සිදුකළ වරද ධර්මිෂ්ඨ පාලනයක් මේ රටේ ඇතිකිරීම සම්බන්ධයෙන් විරුද්ධ වීමද? ව්‍යවස්ථාව බිඳ ත්‍රස්ත ක්‍රියාවක් කර, ඒ නිසාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිට දැන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින්නේ ඒ නිසාද? 1979 ඇති කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන ආවේ ධර්මිෂ්ඨ සමාජය බිහිකිරීමට විරුද්ධව ක්‍රියාකරන අය මැඩපැවැත්වීමටද? වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි එවැනි ක්‍රියාවක් කර තිබෙනවා නම්, මේ රටේ බහුතර ජනතාවක් විසින්ද එය සිදුකර තිබෙනවා. ජනතාවගේ දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් හඬ නැගීම මර්දනය කිරීමට යොදා ගන්නා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ත්‍රස්තවාදය යන්නට පැහැදිලි නිර්වචනයක් නැහැ. අහිංසක මිනිසුන්ව කොටු කිරීමට එය යොදා ගන්නවා.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැගෙනහිර ප්‍රදේශය බාරව සිටි සන්නද්ධ නායක කරුණා අම්මාන්, පිල්ලෙයාන් වගේ අයට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදවා ගත්තාද? කේ.පී. සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට එදා විපක්ෂයේ සිට ලොකු විවේචන තිබුණා. ඒ කේ.පී.ට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගත්තාද? නමුත් අරගල කාල වකවානුවේ වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හාමුදුරුවෝ ගල් කැටයක් හරි අතින් අරන් ඉන්නවා කවුරු හරි දැක්කාද? අපිට ලැබෙන්න තිබෙන දේවල් ආණ්ඩුවේ උදවිය හොරකම් කරල, සූරා කාලා තිබීම ගැන අපිට ප්‍රශ්න කරන්න බැරිද? ආරක්ෂක ඇමතිවරයාගේ අත්සන අනුව දින 90ක රැඳවුම් නියෝග යටතේ සිටි මේ දෙදෙනා සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා තිබුණා. රනිල් රාජපක්ෂ ඒ රැඳවුම් නියෝග දීර්ඝ නොකර දින 14න් 14ට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. දැන් නීතිපතිතුමා යටතේ මේ දෙදෙනා සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ හැකියාව තිබෙනවා. ඔවුන් දින 90ක් රඳවාගෙන සිටියාට ඒ කාලය පුරාම දින 03කදී පැය පහක් පමණක් ප්‍රශ්න කර තිබුණා. ඒ අවස්ථා තුනේදීම වසන්ත මුදලිගේ ප්‍රශ්න කර ඇත්තේ තමන් කළ ත්‍රස්තවාදී ක්‍රියාව කුමක්ද කියලයි. ඒ ප්‍රශ්නයට උත්තර නැහැ.
ඒ මුළු කාලයේම පොලීසියෙන් ප්‍රශ්න කර තිබෙන්නේ නිට්ටඹුවේදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඝාතනය කිරීම, ජනාධිපති මන්දිරයට ඇතුළු වීම, අරලියගහ මන්දිරයට ඇතුළු වීම, ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීම යන කාරණා ගැනයි. මන්ත්‍රීවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැනටමත් අත්තනගල්ල උසාවියේ මිනීමැරුම් චෝදනා සම්බන්ධ නඩුවක් තිබෙනවා. අනෙක් චෝදනා සම්බන්ධයෙන් වෙන වෙනම කොටුව මහේස්ත්‍රාත් උසාවියේ නඩු පවරා තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහය යටතේ අදාළ චෝදනා සම්බන්ධයෙන් අත්තනගල්ල සහ කොටුව උස්විවල දැනටමත් නඩු පවරා තිබියදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ දෙදෙනා රඳවා ගෙන ඉන්නේ මොකටද? අධිකරණවල නඩු පවරා තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළ නොවන කරුණු සම්බන්ධයෙන්. ඒ චෝදනා සියල්ල දණ්ඩ නීති සංග්‍රහය යටතේ තිබෙන්නේ. එහෙම නම්, නීතිපතිවරයා යටතේ අත්තනගල්ල සහ කොටුව උසාවිවල පවරා තිබෙන නඩුවලට මොකද වෙන්නේ? නීතිපතිතුමා පොලීසියට උපදෙස් දෙනවා. දින 90ක් තිස්සේ පොලිස් විමර්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිතුමා සවිඥානක වෙන්න ඕනෑ. දින 90ක් පසුවී තිබියදී විමර්ශන අවසන් නැහැ කියන්නේ හිරිහැර කිරීම හැර වෙනත් අරමුණක් නැති බවයි. දැන් නීතිපතිතුමා මේ දෙදෙනාට ඇප නොදීමට පවතින හේතු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. නීතිපතිතුමා වගකියන්නේ ජනරජයට සහ මේ රටේ ජනතාවට මිස කාලයෙන් කාලයට පත්වෙන ආණ්ඩුවලට නොවෙයි.
පාස්කු ප්‍රහාරය අතට අරගෙන ගෝඨාභය රාජපක්ෂ බලයට ඇවිත් මුලින්ම කළේ හිස්බුල්ලා නීතිඥ මහත්මයා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනීමයි. සහරාන් සම්බන්ධයෙන් මහාධිකරණයේ පවත්වාගෙන යන නඩුවේ හිස්බුල්ලා මහත්මයා වගඋත්තරකරුවෙකු කර සිටිනවාද? නැහැ. එහෙම නම්, ඒ කාලෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන බොරුවක් කළ බව පැහැදිලියි. දවස් 90කට වැඩිය රඳවාගෙන සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් නැහැ. ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, පොලිස්පති සහ නීතිපති වගකියන්න ඕනෑ. සහරාන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉතිහාසය මෙහෙම නම්, වසන්ත මුදලිගේ සහ සිරිධම්ම නිදහස් කිරීමේ අවකාශය නීතිපතිතුමාට තිබෙනවා. තමන්ගේ නීතිමය භාවිතය ඒ සම්බන්ධයෙන් ඉෂ්ට කරන ලෙස නීතිපතිතුමාට අපි අවධාරණය කරනවා.
රනිල් වික්‍රමසිංහ අටවන ජනාධිපති ලෙස පත්වීමෙන් පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ද යොදා ගනිමින් දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම පරාජය කළ යුතු බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අවධාරණය කරති. ඔවුන් මේ බව අවධාරණය කළේ ඊයේ (22) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ය. එම සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි එම හමුවේදී දැක්වූ අදහස් පහතින් පළවේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත […]
රනිල් වික්‍රමසිංහ අටවන ජනාධිපති ලෙස පත්වීමෙන් පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ද යොදා ගනිමින් දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම පරාජය කළ යුතු බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අවධාරණය කරති.
ඔවුන් මේ බව අවධාරණය කළේ ඊයේ (22) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ය. එම සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි එම හමුවේදී දැක්වූ අදහස් පහතින් පළවේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන අත්අඩංගුවට ගැනීම් ඇතුළු මර්දනීය ක්‍රියාකාරකම් පිළිබඳව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට කරුණු දැක්වීමට මෙම මාධ්‍ය හමුව පවත්වනවා. අරගලය නිසා රට සංවර්ධනය කළ නොහැකි බව සහ එය පවතින ප්‍රශ්නවලට හේතුව බව ආණ්ඩුව ප්‍රචාරය කරමින් යනවා. නමුත් 2020 මාර්තුවලදී කෝවිඩ් වසංගතය පැමිණීම සම්බන්ධයෙන් නිසි පියවර පාලකයන් විසින් ගත්තේ නැහැ. සෞඛ්‍යය විශේෂඥයන්ගේ උපදෙස් පිළිගත්තෙත් නැහැ. අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන යෙදවූයේත් නැහැ. හමුදාව යොදවා මර්දනය පටන් ගත්තා. කාබනික පොහොර ප්‍රතිපත්තියට විරුද්ධව ගොවීන්ගේ නැගී සිටීම, ආහාර හිඟය, ඉන්ධන සහ ගෑස්, කිරිපිටි හිඟය සහ භාණ්ඩ මිල අසීමිතව ඉහළ යාම දිගටම සිදුවුණා. ඔය අතර කොතලාවල ආරක්ෂක පීඨය සම්බන්ධයෙන් පනත සම්මත කර ගත්තා. මේ සියල්ලේ එකතුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, ආචාර්යවරුන්, සිවිල් ක්‍රියාකාරකයින් විරෝධතා පටන් ගත්තා. එහි තවත් පියවරක් ලෙස මාර්තු 31 වැනිදා මිරිහානයෙන් ඇරඹි උද්ඝෝෂණ විසඳුමකින් තොරව තවමත් පවත්වාගෙන යනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27වැනි වගන්තිය අනුව රාජ්‍ය ප්‍රතිපත්තිවලින් ජනතාව රැකබලාගත යුතු ආකාරය දක්වා තිබෙනවා. මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමේ නිදහස, සමාන ඉඩ ප්‍රස්ථා සියලු පුරවැසියන්ට ලැබීම, රට සංවර්ධනය කිරීම, ආර්ථික නිෂ්පාදන සමස්ත ජනතාවට බෙදී යන ආකාරයෙන් ධර්මිෂ්ඨ ක්‍රමයක් ඇති කිරීම සහ ළමයින් මෙන්ම යෞවනයන් කෙරෙහි විශේෂ අවධානයෙන් කටයුතු කිරීම ගැන සඳහන් වෙනවා. ඔවුන්ගේ ශාරීරික සහ මානසික වර්ධනය උදෙසා රැකබලා ගැනීමේ සම්පූර්ණ වගකීම රජයට පැවරී තිබෙනවා. නමුත් පාසල් සිසුන් ක්ලාන්තය සෑදී ඇදවැටෙනවා. කායික සහ මානසික වර්ධනය පිරිහීයාමේ තත්වයක් පවතිනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් නිසි පරිදි කෙරෙන්නේ නැහැ. කර්මාන්ත වැසී රැකියා අහිමි වෙනවා. මේ තත්වය තුළ එකම විසඳුම පාරට බැස සාධාරණ අරගල කිරීමයි. එයට එරෙහිව මර්දනය දියත් කිරීමට දරන ප්‍රයත්නය අප විසින් පරාජයට පත්කළ යුතුයි.
ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් මිදීමේ මූලික පදනම ජනතා කැමැත්තෙන් පාලනයක් පිහිටුවා ගැනීම යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ ලබන වසර සඳහා වන අයවැය විවාදයට එක්වෙමිණි. එහිදී ඔහු ඔහු දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් පල වේ. “මේ වන විට රට ආර්ථික ව්‍යසනයකින් සහ සමාජ දේශපාලන අර්බුදයකින් පෙළෙන බව ප්‍රකාශ කළ […]
ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් මිදීමේ මූලික පදනම ජනතා කැමැත්තෙන් පාලනයක් පිහිටුවා ගැනීම යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ ලබන වසර සඳහා වන අයවැය විවාදයට එක්වෙමිණි.
එහිදී ඔහු ඔහු දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් පල වේ.
“මේ වන විට රට ආර්ථික ව්‍යසනයකින් සහ සමාජ දේශපාලන අර්බුදයකින් පෙළෙන බව ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක, මෙම තත්වයෙන් රට ගොඩගැනීම සඳහා යථාර්ථවාදී වැඩපිළිවෙළකට යා යුතුව ඇති බවත් එම වැඩපිළිවෙලේ මූලික පදනම ජනතාවගේ කැමැත්තෙන් පාලනයක් පිහිටුවා ගැනීම බවත් අවධාරණය කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (22) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක් වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් ඔහු මෙසේද පැවසීය.
මේ අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ දීර්ඝ කාලයක් අනුගමනය කරන ලද ආර්ථික ක්‍රියාවලියේ ගැඹුරුම ප්‍රතිවිපාකවලට අපේ රටත් ජනතාවත් මුහුණ දී තිබෙන වෙලාවක. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් විවිධ අර්ථකථන දී තිබුණා. පොදුජන පෙරමුණේ මහා ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණා ජනතා විමුක්ති පෙරමුණ කියලා පක්ෂයක් නැත්නම් මේ අර්බුදය ඇතිවන්නේ නැහැ කියලා. ඔහුගේ අර්ථකථනය අප විසින් මේ ප්‍රශ්නය නිර්මාණය කළා කියලා. මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවෙන් පිටත එළියේදී කියා තිබුණා මේ අර්බුදයට ජනතා විමුක්ති පෙරමුණ වගකියන්න ඕනෑ කියලා. තව මන්ත්‍රීවරයෙක් 3%ට බිය නොවන්න, දැඩි තීරණ ගන්න කියා කියලා තිබුණා. වංචා දූෂණවලින් තොර රාජ්‍යයක් යනු ප්‍රවාදයක් විතරයි, යථාර්ථයක් නොවන බව අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කර තිබුණා. ඒ ගැන ගාමිණී වියන්ගොඩගෙන් අහන්න කියලා දැන් කියනවා. හැබැයි අපි කෙනෙකුගේ දෙයක් උපුටා ගන්නවා නම්, එකඟ වන දෙයක් විතරයි උපුටා දක්වන්නේ. එකඟ නොවෙන දෙයක් උපුටා දක්වන්නේ නැහැ.
අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් 1977ට පෙර තිබුණු ආර්ථික ගමනත් අසාර්ථකයි, යනුවෙන් කියලා තිබුණා. ඒක අපි කවුරුත් දන්නවා. ආර්ථික විද්‍යාවේදී සංවෘත ආර්ථිකයක් කියලා හැඳින්වුයේ රජය මැදිහත් වී සියලු භාණ්ඩ හා සේවා වෙළඳපොළ හසුරුවමින් රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයක් පවත්වාගෙන ගියා. 1977 දී එය වෙනස් කිරීමකට භාජනය කළ බව ඔවුන් කියනවා. මේ අයවැය ලේඛනයේදී ඉතා වැදගත් දෙයක් ප්‍රකාශ කර තිබෙනවා. “1977 වසරේදී නිර්මාණය කෙරුණු ආර්ථික පදනම දැන් වලංගු නැහැ. වර්තමානයට ගැලපෙන්නේ නැහැ. ඒක දැන් කඩා වැටිලා. අපේ රටේ කලක් ක්‍රියාත්මක වූ සංවෘතික ආර්ථිකය සේම 1977 නිර්මාණය කළ ආර්ථිකය අසාර්ථක වී තිබෙනවා.” මේ ප්‍රකාශයට බොහොම ස්තුතියි. මේ රටේ විකල්ප ආර්ථික ක්‍රමවේදයක් ගැන කල්පනා කළ කණ්ඩායම් දීර්ඝ කාලයක් පුරා 1977 ආරම්භ කළ ආර්ථික ප්‍රතිපත්තිය රටට හානිකර බව ප්‍රකාශ කර තිබෙනවා. එය ජනාධිපතිවරයාටම පිළිගන්න සිදුවී තිබෙනවා. “කොට්ට උරයක් මෙන් කනපිට හරවා අලුත් ඇහැකින් ලෝකය දෙස බලන්න ඕනෑ.” කියලා මරාසාද් නාට්‍යයේ උපුටා ගැනීමක් කරනවා.
හැබැයි මේ අයවැය ලේඛනය දෙස බැලුවාම කොට්ට උරයක් අනෙක් පස හරවා බලන බවක් පේන්නේ නැහැ. අනික් අය හැසිර වූ කිලිටි වූ කොට්ටය ජනාධිපතිවරයා විසින් සුවඳ යැයි කියා පැරණි කොට්ටයේ ඒ පසම ඒ උරයේම නිදාගෙන ඉන්න බවක් පෙන්නුම් කරනවා. මේ ආර්ථික ගමන පැමිණීමේදී දීර්ඝකාලීන අර්බුද දෙකකට මුහුණ දුන්නා. පළමුවෙන්ම රජයේ වියදම සඳහා ආදායම් උපයා ගැනීමට රුපියල් ලබා ගැනීමේ නොහැකි තත්වයක් නිර්මාණය වුණා. දෙවනුව ඩොලර් උපයා ගැනීමත් නොහැකි වුණා. අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිවලින් රජයේ වියදම් පියවා ගැනීම සඳහා අවශ්‍ය රුපියල් සහ රටක් හැටියට රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය උපයා ගන්නත් අසමත් වී තිබෙනවා. මේ අයවැය ලේඛනය කරුණු දෙකකින් සමන්විතයි.
පළමු වැනි කරුණ අයවැය ලේඛනය තුළ අඩංගු සංඛ්‍යා දත්ත ගතහොත් නිවැරදි නැහැ. සැබෑ යථාර්ථය වසන් කරන ටූල් එකක් හැටියට අපේ රටේ දත්ත පාවිච්චි කරනවා. උද්ධමනය පිළිබඳව අපේ රටේ ඉදිරිපත් කරන දත්ත නිවැරදි නැහැ. සැබෑ යථාර්ථය වසං කර ගැනීම සඳහා දත්ත උපයෝගී කර ගන්නවා. අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යා දත්ත අනුව 2021 වසරේ රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන1464යි. 2023දී අපේක්ෂා කරනවා රුපියල් බිලියන 3415ක්. ආසන්න වශයෙන් ගතහොත් රුපියල් බිලියන 2000ක වැඩිවීමක් අපේක්ෂා කිරීම යථාර්ථවාදී කියලා කාටහරි කියන්න පුළුවන්ද? මේ අවුරුද්දේ ආර්ථිකය 8% – 9%ත් අතර ඍණ තත්වයක් ගනීවි කියලා පුරෝකථනය කර තිබෙනවා. ලබන අවුරුද්දෙත් 3%කින් හැකිලෙන බවට පුරෝකථනය කර තිබෙනවා. එවැනි හැකිළෙන ආර්ථිකයක් තුළ 2023දී රජයේ ආදායම 2021 මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් උපයන බව සඳහන් කිරීම බොරුවක්. මෙතන සංඛ්‍යා දත්ත මුළුමනින්ම විකෘති කිරීමක් සහ සැබෑ ස්වරූපය වසං කිරීමක්. 2022 ගතහොත් පළවෙනි මාස හයේ උපයා තිබෙන්නේ බිලිය 900ක් වගේ මුදලක්. ඉතිරි මාස 06යට බිලියන 1000ක් දැම්මත් ඇත්ත යථාර්ථය පිළිබිඹු වෙන්නේ නැහැ.
පශ්චාත් උපාධි ආයතන තුනක් පිහිටුවීමට රුපියල් මිලියන 60ක් වැය කරන බව සඳහන් වෙනවා. ඒ කියන්නේ එක් ආයතනයකට රුපියල් මිලියන 20ක්. මෙතන කරන්නේ දත්තවලින් සැබෑ ස්වභාවය වසං කිරීම. ඌව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් පිහිටුවීම සඳහා රුපියල් මිලියන 200ක් වැයකරන බව සඳහන් වෙනවා. නමුත් සබරගමුව විශ්වවිද්‍යාලයට වසර තුනකින් වෛද්‍ය පීඨයක් පිහිටුවීම සඳහා 2018 ඇස්තමේන්තුව අනුව රුපියල් මිලියන 12180ක් ඇස්තමේන්තු කර තිබෙනවා. මේ අයවැයේදී කියනවා රුපියල් මිලියන 200කින් ඌවට වෛද්‍ය පීඨයක් ලබාදෙන බව. මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට මේ වන විට මිලියන 5290ක් වැය වී තිබෙනවා. දත්තවලින් කරන වසං කිරීමක් තියෙන්නේ. මේ දත්තත කිසිසේත්ම යථාර්ථවාදී දත්ත නොවෙයි.
මේ උපාය මාර්ගය යථාර්ථවාදීද? මේක කිසිසේත්ම අලුත් උපාය මාර්ගයක් නොවෙයි. කොට්ට උරය අනික් පැත්ත හරවනවා කීවාට කිසිසේත්ම හැරවීමක් නැහැ. පැරණි ගමන් කරන ලද උපාය මාර්ගයේම ගමන් කරමින් තිබෙනවා. 1978න් පසුව අපේ ආර්ථිකය මුහුණ දුන් ප්‍රධානම ගැටලු දෙක අපිට අවශ්‍ය රුපියල් ප්‍රමාණය සහ ඩොලර් ප්‍රමාණය සපයා ගන්න බැරිවීමයි. අපි ණය ගැනීමෙන් රුපියල් සහ ඩොලර් ප්‍රමාණය ලබා ගන්න උත්සාහ කළා. ඊළඟට විකිණීම. ණය ගත හැකි සියලු ආකාරවලින් මේ වන විට ණය අරගෙන ඉවරයි. බහු පාර්ශ්වීය ලෙස ඒඩීබී, වර්ල්ඩ් බෑන්ක්, අයි.එම්.එෆ්. වැනි ආයතනයන් හරහා අපි ණය අරගෙන තිබෙනවා. ද්විපාර්ශ්වීය ලෙස චීනය, ඉන්දියාව, ජපානය වැනි රාජ්‍යයන්ගෙන් ණය අරගෙන තිබෙනවා. ස්වෛරී බැඳුම්කර විකුණලා ජාත්‍යන්තර වෙළඳපොළෙන් ණය අරගෙන තිබෙනවා. බංගලාදේශය, ඉන්දියාව, චීනය වැනි රටවලින් අතමාරු ණය අරගෙන තිබෙනවා. අර්බුදය පියවා ගැනීම සඳහා ණය ගැනීම දිගුකාලයක් ගමන් කළ මාවතේ ප්‍රධාන ලක්ෂණයක්. කොට්ට උරය අනෙක් පස හරවනවා කීවාට හරවලා තියෙනවාද? නෑ. ලබන අවුරුද්දේ ණය ගැනීමේ අපේක්ෂාව රුපියල් ටි්‍රලියන 4.9යි. ආසන්න වශයෙන් ටි්‍රලියන 5ක්. ඒ කියන්නේ කෝටි ලක්ෂ 5ක්, ණය ගන්න අපේක්ෂා කරනවා. එයින් ටි්‍රලියන 2.025ක් ණය ගෙවීම සඳහා පාවිච්චි කරනවා. ඒ අනුව ණය පංගුවට අලුතින් ටි්‍රලියන 3ක් ආසන්න වශයෙන් එකතු වෙනවා.
දැනට ආසන්න වශයෙන් පවතින සමස්ත ණය තොගය පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට ටි්‍රලියන 25ට ආසන්න වී ඇති බව මා කල්පනා කරනවා. තව ටි්‍රලියන 3කින් ණය තොගය වැඩිකර ගැනීම සඳහා මෙම අයවැය ලේඛනයෙන් යෝජනා කර තිබෙනවා. රාජ්‍ය වියදම් පියවා ගැනීමට අදාළ ගැටලුව කොතැනටද පැමිණ තිබෙන්නේ. උදාහරණයක් හැටියට 2021 වසරේ ආණ්ඩුවේ මුළු ආදායම බිලියන 1464යි. වැටුප් හා විශ්‍රාම වැටුප්වලට බිලියන 846ක් වැය කරනවා. රජයේ ආදායමෙන් 58%ක් වැය කරනවා. පොලී ගෙවීමට බිලියන 1048යි. ඒ කියන්නේ රජයේ ආදායමෙන් 72%ක් වැය කරනවා. ආසන්න වශයෙන් ගතහොත් 130%ක් ණය පොලී සහ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමටත් වැය කරනවා. මෙය දරාගන්නේ කොහොමද? දිගුකාලීනව රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සඳහා කළ සැලසුම් මොනවාද? මේ අර්බුදය තීව්‍ර වෙනවා හැරුණු කොට මෙය සමනය වෙන්නේ නැහැ. මේ නිසා ආණ්ඩුවට වියදම් කර ගැනීම සඳහා රුපියල් නොමැති අර්බුදයකට මුහුණ දී සිටිනවා.
මේ ආර්ථිකය විසින් නිර්මාණය කරන ලද දෙවැනි අර්බුදය අපේ රට ඩොලර් හිඟයකට මුහුණ දීමයි. ආසන්න වශයෙන් ගතහොත් 2022 වසරේ අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12.5යි. අපේ ආනයන වියදම ඩොලර් බිලියන 20.6ක් වුණා. ආසන්න වශයෙන් ඩොලර් බිලියන 8.1ක වෙළඳ හිඟයක් තිබෙනවා. 1977 දී ඩොලර් මිලියන 44ක ධන වෙළඳ ශේෂයක් තිබුණා. 2021වන විට අපේ වෙළඳ ශේෂය ඩොලර් මිලියන 8100ක හිඟයක් දක්වා වර්ධනය වී තිබෙනවා. වෙළඳ ශේෂයේ අර්බුදය විසඳීම සඳහා සැලසුමක් හදාගන්න තමුන්නාන්සේලා අසමත් වී තිබෙනවා. අපේ ණය ගෙවීම ආසන්න වශයෙන් ගතහොත් 2022දී ඩොලර් බිලියන 6.7ක් වෙනවා. අපට භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් බිලියන 8.1ක් අතිරේක වශයෙන් අවශ්‍යයි. ඩොලර් බිලියන 14.8ක් මේ කාර්යයන් දෙක සඳහා පමණක් අවශ්‍යයි. විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 7ක් විතර ලැබුණා. ඒකත් කඩා වැටෙන්න පටන් ගත්තා. සංචාරක ව්‍යාපාරයෙන් 2018 බිලය 3.8ක ආදායමක් ලැබුණා. ඒ අවුරුදුවලත් ඩොලර් බිලියන 5ක පමණ ආසන්න හිඟයක් වාර්ෂිකව පැවතුණා. අපේ රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය උත්පාදනය කරන්න සැලැස්මක් හැදුවේ නැහැ.
අපි මේ අර්බුද දෙකට මුහුණ දුන්නේ නැවත නැවත ණය ලබාගැනීමෙන්. විශේෂයෙන්ම 2007න් පස්සේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කරවලින් වාණිජ වෙළඳපොළෙන් ණය ගන්න පටන් ගත්තා. 6.7%, 7% වැනි අධික පොලී අනුපාතිකයන්ට ණය ගැනීමට සිදුවී තිබෙනවා. 2015 -2019 කාලයේ ඩොලර් බිලියන 12.5ක ණය අවුරුදු 5ක් සහ 10ක් අතර කාලයේදී ආපසු ගෙවන්න ලබාගෙන තිබෙනවා. අපේ භාණ්ඩ නිෂ්පාදනය, සේවා නිෂ්පාදනය, ඉහළ දමාගන්නේ කෙසේද කියා, විදේශ වෙළඳපොළෙන් වැඩි පංගුවක් අත්පත් කර ගන්නේ කොහොමද? කියා විදේශීය ශ්‍රම වෙළඳපොළෙන් දියුණු වෘත්තීමය පංගුවක් අත්පත් කර ගන්නේ කොහොමද? කියලා කිසි සැලැස්මක් තිබුණේ නැහැ. එදිනෙදා වැඩ කරගැනීම සඳහා ණය ගැනීමේ ක්‍රියාවලියකට අවතීර්ණ වී තිබුණා. අවසානයේදී පසුගිය අප්‍රේල් 12වැනිදා ආණ්ඩුව තීරණය කරනවා විදේශීය ණය ගෙවන්නේ නැති බවට. තව සියවස් ගණනකට පසුව හෝ ලංකාවේ ආර්ථිකය ගැන කවුරුන් හෝ ලියනවා නම්, 2022 අප්‍රේල් මාසේ 12වැනිදා ලංකාව ණය ගෙවාගත නොහැකි රාජ්‍යයක් බවට පරිවර්තනය වූ බව ලියනවා. අපේ රටේ ඉතිහාසයේ කළු දිනයක් බවට අප්‍රේල් 12 වැනිදා පත්වෙනවා. සැප්තැම්බර් 30වනදා වන විට ඩොලර් බිලියන 3.2ක් අපි ගෙවිය යුතු ණය නොගෙවා ඉතිරිවී තිබෙනවා. එහෙම නම් අපේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.2කින් වැඩිවෙන්න ඕනෑ. එහෙම වැඩි වෙලා නැහැ.
මහ බැංකු අධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, ආර්ථිකය යම් ස්ථාවරයකට ගෙන ආ බව කියා තිබුණා. නමුත් එහෙම වෙලා නැහැ. මාර්තු මාසයේ ණය ගෙවමින් තෙල්, ගෑස්, කිරිපිටි හඟයක් තිබුණා. දැන් ණය නොගෙවමින් තෙල් යම් ප්‍රමාණයක්, ගෑස් යම් ප්‍රමාණයක්, සහ කිරිපිටි යම් ප්‍රමාණයක් තිබෙනවා. ඩොලර් බිලියන 3.2ක ණය නොගෙවීමේ ප්‍රතිඵල තිබෙන්නේ. ආර්ථිකයේ කිසිදු උපාය මාර්ගික තීන්දුවක ප්‍රතිඵල ලෙස කිරිපිටි, ගෑස්, තෙල් යම් ප්‍රමාණයකින් හෝ තිබෙනවා නොවෙයි. ආර්ථිකය සමනය වුණා කියන්නේ ණය නොගෙවීමන් ඉතිරි වුණු සෙල්ලමකට. නමුත් සත්‍ය වශයෙන්ම සමනය වෙලා නැහැ. ඒ නිසා පැරණි පාරම වූ නැවත ණය ගැනීම කෙරෙහි යොමුවී තිබෙනවා. 2023දී කෝටි ලක්ෂ තුනකින් අපේ ණය පංගුව වැඩිවෙන්න යෝජනා කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මොනවා කීවත්, 1977 සිට අනුගමනය කරන ලද ආර්ථික උපාය මාර්ගයේම දිගුවක් පවතිනවා. මේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම සඳහා ඔහු සපයන පූර්විකාව, දේශපාලන ජීවිතයේ පාපෝච්ඡාරණයක්. 1977 සිට අමාත්‍ය ධුර දැරූ, අවස්ථා ගණනාවකදී අග්‍රාමාත්‍ය ධුරය දැරූ, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දැරූ කෙනෙක් පූර්විකාවේදී තමන්ගේ පාපෝච්ඡාරණය කරනවා. පාපෝච්ඡාරණයෙන් පසුව සැබවින්ම ආපසු හැරී බැලීමේ යෝජනාවක් නැහැ. පාපෝච්ඡාරණයට තුඩු දුන් කරුණු මතම ඔහුගේ අයවැය ලේඛනය සකස් කර තිබෙනවා. අයවැය ලේඛනයේ පූර්විකාවට දෙවැනි ඡේදයේ සිට එන යෝජනාවන් ප්‍රතිවිරුද්ධයි.
විකිණීම කියන්නේ අලුත් දෙයක් නොවෙයි. ආර්ථික, සංවර්ධන උපාය මාර්ගික සැලැස්මකට අනුව රජය සියල්ල කළ යතුයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. නමුත් ආණ්ඩුව අත්හරින්න යෝජනාකරන්නේ ආර්ථික උපාය මාර්ගයකට අනුවද? නැහැ. හොඳට වාක්‍ය කියවන්න. එතුමා කියන්නේ ශ්‍රී ලංකා එයාර් ලයින්, ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ඊට අනුබද්ධ ආයතන වෝටර්ස් ඒජ් හෝටලය, ගලදාරි හෝටලය, හිල්ටන් හෝටලය, යන සියල්ල විකුණන්නේ විදෙස් සංචිත වැඩිකර ගැනීමේ අරමුණින්. ආර්ථික උපාය මාර්ගයකට නොවෙයි. ආර්ථික උපාය මාර්ගයකට අනුව නම්, ඔවුන්ම යෝජනා කරන ටෙලිකොම් ආයතනය පෞද්ගලික ආයතනයකට ගිහින් ඉවරයි. ඉතිරි කොටස් ටික විකුණන්නේ මොකටද? ආර්ථික උපාය මාර්ගයට නොවෙයි. ඉතිරි කොටස් ටික විකුණලා විදෙස් සංචිත වැඩිකර ගන්න. රාජ්‍යය සමහර ආර්ථික ධූරාවලිවලින් අත්හැරීම සඳහා නොවෙයි මේ. මේ ආයතන විකුණන්නේ විදෙස් සංචිත වැඩිකර ගැනීමටයි. පරණ හාමුලා සිටි වලව්වලට සිදුවූ සන්තෑසිය මට මතක් වෙනවා. වලව්වේ හාමු හොඳින් කළමනාකරණය කර, ප්‍රභාශ්වරව තිබුණු දේපළ නාස්තිකාර පුතෙක් විසින් ටිකෙන් ටික විකුණමින් ජීවත් වෙන්න පටන් ගත්තා. ප්‍රභාශ්වරව තිබුණු දේවල් සියල්ල නාස්තිකාර පුතාගේ විකිණීමේ ක්‍රියාවලිය දිගින් දිගටම මේ ආණ්ඩු විසින් සිදුකළා.
තුල්හිරිය, මත්තේගොඩ, පූගොඩ, වේයන්ගොඩ, රෙදි ජනපද තිබුණා. ඒවාගේ තාක්ෂණය දුර්වල නිසා වර්ධනය කර ගැනීමේ සැලැස්මක් හදාගත යුතුව තිබුණා. අපි එය කළේ නැහැ. ඇඹිලිපිටිය, වාලච්චේන කඩදාසි කම්හල තිබුණා. ඒ කම්හල් ටික විකුණා දැම්මා. ඒ කම්හල්වල තාක්ෂණය පැරණි බව අපි පිළිගන්නවා. ඒවයේ නිෂ්පාදනය කළ කඩදාසිවල තීන්ත පෑනෙන් ලිව්වොත් බොඳ වෙනවා. ඒක වළක්වන්න තාක්ෂණය එකතු කළ යුතුව තිබුණා. නමුත් ඒවා විකුණලා වහලා දැම්මා. අපේ හිඟුරානේ සීනි ෆැක්ටරියට මොකක්ද කළේ. කන්තලේ සීනි ෆැක්ටරියට මොකක්ද කළේ. අපේ රටේ තිබුණු ආර්ථිකය ක්‍රමානුකූලව අත්හැරීමේ ආර්ථික උපාය මාර්ගය වැදගත් බව අපට කීවා. නමුත් ආර්ථිකයේ සංවර්ධනයක් සිදුවුණේ නැහැ. දැන් මොනවාද යෝජනා කරන්නේ. ලාභ ලබන ආයතන විකුණන්නේ ඇයි කියලා අහන කොට, ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියලා තිබුණේ, “ලාභ ලබන ආයතන තමයි ගන්නේ” කියලා. නාටු වෙච්ච පොල් වත්තක් වෙනුවට සාරවත් පොල් වත්තක් විකුණන්න ඕනෑ. ඒ වගේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් වැනි ආර්ථිකයට ඵලදායකත්වයක් දෙන ආයතන විකුණන්න යනවා. මේ නව ආර්ථික උපාය මාර්ගයක් නොවෙයි. 1977 සිට අනුගමනය කරන ලද විකුණාගෙන කෑමේ ආර්ථික උපාය මාර්ගයේම දිගුවක්. මහින්ද රාජපක්ෂ, හිටපු අගමැතිතුමාත් අයවැය කතාවේදී කීවේ ලාභ ලබන ආයතතන විකිණීමට කැමැත්තක් නැති බවයි. නමුත් එතුමා අනිවාර්යයෙන්ම මේ අයවැයට අත උස්සනවා.
මම නැවත නැවත කියන්නේ දිගු කාලයක් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තියේම ඉදිරියට ගෙන යන බවයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධව ලංකා හොස්පිට්ල් ආයතනය තිබෙනවා. ඊට අනුබද්ධව ලිට්රෝ ගෑස් සමාගමත් තිබෙනවා. මේ සියල්ල විකුණන්න යෝජනා කර තිබෙන්නේ ආර්ථික උපාය මාර්ගයක් වෙනුවෙන්ද? පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගෙන ඒ ක්ෂේත්‍රය වර්ධනය කිරීමේ ඉලක්කයක් සමග නොවෙයි. පැරණි වලව්වක නාස්තිකාර පුතෙක් සියල්ල විකුණාගෙන කෑමේ ආර්ථික ප්‍රතිපත්තිය දිගටම ගෙන යනවා. අද අපේ රට කර්මාන්ත පද්ධතිය විශාල අනතුරකට මුහුණ දෙමින් තිබෙනවා. අපේ ඇඟලුම්වලින් 2022 ඔක්තෝබර් මාසයේ අපනයන ආදායම 14%කින් අඩුවී තිබෙනවා. එළඹෙන ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය ඇතුළත ලංකාවේ ඇඟලුම් වෙනුවෙන් ලැබී තිබෙන ඇනවුම් ප්‍රමාණය 32%කින් අඩුවී තිබෙනවා. ලක්ෂ තුනහමාරකට ආසන්න ප්‍රමාණයක් ඍජු රැකියාත් තවත් විශාල වක්‍ර රැකියා ප්‍රමාණයකුත පවතින ඇඟලුම් කර්මාන්තය අනතුරට ලක්වී තිබෙනවා. අපේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඍජු සහ වක්‍ර රැකියා ලක්ෂ හයකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. සුළු පරිමාණ කර්මාන්ත ශාලා කඩාවැටෙමින් තිබෙනවා. ආණ්ඩුව අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තියේ කරුණු කිහිපයක් මීට බලපා තිබෙනවා. පොලී ඉහළ යාම, මූලික වෙනවා. භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතිකය 33% ඉක්මවා ගියා. භාණ්ඩාගාර බැඳුම්කරවල ඉහළම පොලී ගත්ත කණ්ඩායමට 36% ඉක්මවා යන පොලියක් ගෙවනවා. ඊපීඑෆ්, ඊටීඑෆ් අරමුදල්වලින් ගන්න ණයවලට අඩු පොලියක් ගෙවන්නේ.
බැංකු පොලී අනුපාත ඉහළ යාම සාමාන්‍ය ජන ජීවිතයට පමණක් නොවෙයි, සමස්ත කර්මාන්ත පද්ධතියටම අර්බුදයක් හදලා තිබෙනවා. තමන්ගේ කර්මාන්තයේ සැලැස්ම හදලා තිබෙන්නේ අඩු පොලී අනුපාතිකයකට ණය අරගෙනයි. නමුත් දැන් පොලී අනුපාත ඉහළ යාමත් විදුලිබිල ඉහළ යාමත් වෙළඳපොළ ඇකිලීමත් කියන සාධක තුනම මත සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ අර්බුදයකට ගොස් තිබෙනවා. නන්දලාල් මහත්තයා වැඩිපුරම සැලකිල්ලට භාජනය කරන්නේ මහ බැංකුවේ ගිණුම බැලන්ස් කරන්නයි. මහ බැංකුවේ ගිණුම බැලන්ස් කිරීම හරහා රටේ ජන ජීවිතයට සිදුවී තිබෙන්නේ කුමක්ද? එතුමා ප්‍රකාශ කරන්නේ ආර්ථිකය හැකිළීමේ උපාය මාර්ගය විසඳුම බවයි. කබ්රාල්ගේ උපාය මාර්ගය එක් ආන්තිකත්වයකුත්, අද නන්දලාල් උපාය මාර්ගය තවත් ආන්තිකත්වයකුත් නියෝජනය කරනවා. නමුත් උපාය මාර්ගයේ හරි තැන සොයාගත යුතුව තිබෙනවා. මහ බැංකුවේ අධිපතිවරයෙක් ආර්ථිකයේ හැකිළීම පිළිබඳව සත්භාවයෙන් සහ හැඟීමකින් කතා කරනවා නම්, ඒ රටට සිදුවන්නේ කුමක්ද? අපේ රටේ ආර්ථිකය හැකිලීම විසින් රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වීමේ අනතුරකට යොමු වී තිබෙනවා. මේ බදු දරාගන්න බැහැ. ඔක්තෝබර් පළමුවැනිදා සිට වැට් බද්ද 8% සිට 15% දක්වා වැඩිකරන්න යෝජනා කළා. සමාගම්වල ලාභය මත අයකරන බද්ද 30%දක්වා වැඩි කළා. අපනයන ලාභය මත අයකරන බද්ද 30%දක්වා වැඩි කළා. සමාජ ආරක්ෂණ බද්ද 2.5%ක් අයකරනවා. වෘත්තකයින්ගේ උපයන විට ගෙවීම් බද්ද විශාල ප්‍රමාණයකින් වැඩිකර තිබෙනවා. මේ බදු දරාගන්න බැහැ.
අපේ රටේ ශ්‍රම බලකායෙන් වෘත්තීයමය ශ්‍රමය 15%ක් තියෙන්නේ. 85%ක් පුහුණු, නුපුහුණු, අර්ධ පුහුණු ශ්‍රම බලකායක් තිබෙන්නේ. ඒ වෘත්තීයමය ශ්‍රම බලකාය අපේ රට අත්හැර යනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර දෙකක විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනයි හිටියේ. දෙන්නාම රට අත්හැර ගියා. වෛද්‍යවරු 400කට වැඩි ප්‍රමාණයක් නොදන්වා විදේශගත වෙලා. සීමාවාසික පුහුණුව ලබන දරුවන් 24දෙනෙක් රට දාලා ගිහිල්ලා. විශාල බුද්ධි ගලනයකට රට ගොදුරු වී තිබෙනවා. එක් පුද්ගලික බැංකුවක ඉහළ කළමනාකරණයෙන් 50%ක් රට දාලා ගිහිල්ලා. ලෝකයේ ඕනෑම රටක සුරක්ෂිත ජීවිතයක් සහිත ඉහළම වැටුප් තලයක සේවය කළ හැකි අය සාධාරණ වැටුප් තලයක පිහිටුවීමෙන් විතරයි රට තුළ රඳවා ගත හැක්කේ. මෘදුකාංග ඉංජිනේරුවෙක්, විදුලි ඉංජිනේරුවෙක්, විශේෂඥ වෛද්‍යවරයෙක්, බැංකු කළමනාකරුවෙක් රඳවා ගත හැකි වන්නේ යම් ඉහළ වැටුප්තලයක පිහිටුවීමෙන් පමණයි. බුද්ධිමය ශ්‍රමයට ලෝකයේ ඉහළ වටිනාකමක් තිබෙනවා. උපයන විට බද්ද හරහා විශාල බුද්ධි ගලනයකට පාර කපා තිබෙනවා. අයවැය ලේඛනයෙන් මේ සම්බන්ධයෙන් තිබෙන දැක්ම මොකක්ද? සාමාන්‍ය ජනතාව විශාල පීඩනයකට පත්ව සිටිනවා. ආහාර නෑ, බෙහෙත් නෑ, දරුවෝ කලන්තේදාලා වැටෙනවා. ආර්ථික තලයේ විතරක් නොවෙයි ප්‍රශ්නය තිබෙන්නේ. පාර්ලිමේන්තුවේ සෑමවෙලාවකම ධන, ඍණ ගැන ගෙවුම් ශේෂ අර්බුදය ගැන, ආදායම් වියදම් ගැන වෙළඳ ශේෂයේ තත්වය ගැන කතා කරනවා. මේ දත්තවලට යටින් තිබෙන සමාජ ජීවිතයේ ඛේදවාචකය අපි කවුරුත් අත්දකිමින් සිටිනවා.
දිගු කාලයක් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තියත්, දිගුකාලයක් අනුගමනය කළ දේශපාලන සංස්කෘතියත්, දිගුකාලයක් අනුගමනය කළ සමාජ මනෝභාවයත් වෙනස් කරන්න ඕනෑ. අපේ රට අලුත් පරිවර්තනයකට ගෙනයන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා පොහොට්ටුවේ ආණ්ඩුවකට ගිහින් මෆට් කෙනෙක් වගේ උඩින් හිටගන්න එක පරිවර්තනයක් නොවෙයි. අපේ රටට අවශ්‍ය වෙන්නේ ආර්ථික දේහයේ පරිවර්තනයක්. දේශපාලන සංස්කෘතියේ පරිවර්තනයක්. සමාජ මනෝභාවයේ පරිවර්තනයක්. ඇතිවී තිබෙන සමාජ ඛේදවාචකයෙන් ගොඩ ඒමේ මාවත මේ ක්ෂේත්‍රවල පරිවර්තනයක් පමණයි. ඒ වගේම අර්බුදයෙන් ගොඩ ඒමට ජනතාවගේ කැමැත්ත සහිත පාලනයක් අවශ්‍යයි. අටවා ගන්නා ලද පාලනයකට අර්බුදයෙන් ගොඩ එන්න බැහැ.
පොහොට්ටුවට තිබෙන ජනතාවගේ මැන්ඩේට් එක මොකක්ද? බලයට ආව හැටිය හම්බන්තොට වරාය පවරාගැනීමට තිබෙන මැන්ඩේට් එක. හැබැයි අයවැය යෝජනාව තියෙන ඒවා විකිණීමයි. මහ බැංකු මහ වංචාවේ වංචනිකයන්ට දඬුවම්දීම අනෙක් මැන්ඩේට් එක. මහින්දානන්ද පුවත්පතකට කියා තිබුණේ රනිල් වික්‍රමසිංහ හිරේ දානකම් නින්ද යන්නේ නැති බවයි. දැන් නිදිද දන්නේ නැහැ. අර්ජුන් මහේන්ද්‍රන්ව සිංගප්පූරුවේ සිට කනින් ඇදගෙන එන බව කීවා. වංචනිකයින්ට දඬුවම්දීමත් විකුණන ලද දේපළ නැවත පවරා ගැනීමටත් ජනවරමක් තිබෙන්නේ. ඒ ජනවරමට ප්‍රතිපක්ෂ නායකයෙක් තමන්නාන්සේලා විසින් ජනාධිපති කරගෙන සිටිනවා. අර්බුදයක් පවතින වෙලාවේ ජනතාවගේ කැමැත්ත සහිත පාලනයක් ගොඩනඟා ගැනීම මුලින්ම අවශ්‍යයි. අර්බුදයෙන් ගොඩ එන්න තීරණාත්මක තීන්දු තීරණවලට යන්න ඕනෑ. ජනතාව යම් දරා ගැනීමක්, කැපකිරීමක්, කළ යුතු වෙනවා. එය කළ හැකි වන්නේ ජනතාවගේ නව ජනවරමක් සහිත ආණ්ඩුවකට පමණයි. ඒ නිසා වහාම මැතිවරණයක් පවත්වා මේ අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා පාලනයක් ගොඩනඟා ගැනීමට අවස්ථාව ලබාදිය යුතුයි. එවැනි පාලනයකට අවුරුද්දක හෝ දෙකක කාල පරිච්ඡේදයක් ජනතාව ලබාදෙනවා. ඒ කාල පරිච්ඡේදය තුළ මේ අර්බුදයෙන් ගොඩ ඒමේ අවස්ථාව ලබාගත හැකියි. අර්බුදය ඇති කරන ලද කණ්ඩායමකට මේ අර්බුදයෙන් ගොඩගන්න බැහැ. ඒ නිසා පළමුව නව ජනවරමක් සහිත ආණ්ඩුවක් පත්කර ගැනීම අවශ්‍යයි.
දෙවනුව අර්බුදයේ ආර්ථික සාධක හැර තවත් සාධක ගොඩක් තිබෙනවා. ඒ ගැන සලකා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් විධායක ජනාධිපති ධුරය අහෝසි කර, අමාත්‍ය ධුර සීමාකර විෂයයන් නිසි පරිදි බෙදා වෙන්කරන සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සාධාරණ අයිතීන් නියෝජනය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒවගේම ගැටුම් අවම කරන සියලු දෙනාගේ මූලික අයිතිවාසිකම් තහවුරු කෙරෙන ප්‍රතිපාදන ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුයි. තුන්වෙනුව අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය නැවත සකස් කළ යුතුයි. මේ රාජ්‍ය යාන්ත්‍රණයට විශාල විවේචනයක් තිබෙනවා. භාණ්ඩාගාරයට ලැබුණු රුපියලකින් සත 58ක් වියදම් කර තිබෙන්නේ, රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට. විශාල රාජ්‍ය සේවයක් දක්වා ගියේ අවශ්‍යතා මත නොවෙයි. ඒ ඒ ආයතන භාරව සිටි ඇමති අනුව රාජ්‍ය ආයතන පුරවා තිබෙනවා. රස්සා දෙන්න ඇප්ලිකේෂන් බෙදලා ඡන්දය ගත්ත මිනිස්සු මේ. අපේ රාජ්‍ය සේවය පතුලෙන් පළල් කළා, අකාර්යක්ෂම කළා. නිවාස අධිකාරියේ තුන්දහසක් සජිත් ප්‍රේමදාස විසින් පිරෙව්වා. දැන් ඒ අය ඉවත් කර සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා රාජ්‍ය සේවයේ තවත් ආයතන දෙකක් හදන්න යෝජනා කර තිබෙනවා. අපේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කුරුඳු වගාව පිළිබඳව වෙනම අංශයක් තිබෙනවා. අලුතින් අධිකාරියක් හදන්නේ කුමකටද? රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න කියලා ඉන්න අය නෙරපන්න ඕන කියලා මම කියන්නේ නැහැ. අද ඒ අයගේ ජීවිත ගැටගැහෙන්නේ රස්සාව නිසා. කවර ආණ්ඩුවෙන් කවර උවමනා එපාකම් මත රස්සාව ගත්තත් අද ඔවුන්ගේ පවුල් යැපෙන්නේ ඒ වැටුපෙන්.
අපි සැලසුමක් හදන්න ඕනෑ. කෝප් ආයතනයේදී විගණකාධිපතිතුමා සඳහන් කළේ අවුරුද්දකට රාජ්‍ය ආයතන 2200ක් විගණනය කරන බවයි. එකම කාර්යය කෙරෙන ආයතන විශාල ප්‍රමාණය් තිබෙනවා. මා කියන්නේ සේවය අත්හරින්න නොවෙයි. අපේ රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට ප්‍රතිව්‍යුහගත කරන එකත් සේවය අත්හරින එකත් කියන්නේ ක්‍රියාවලි දෙකක්. ඔයගොල්ලෝ යෝජනා කරන්නේ සේවය අත්හරින්න. අධ්‍යාපනය විකුණන්න. සෞඛ්‍ය විකුණන්න. අපි යෝජනා කරන්නේ සේවය අත්හරින්න නොවෙයි. ජනතාවට ඉටුකළ යුතු සේවාව වඩාත් කාර්යක්ෂම කිරීමට අවශ්‍ය වන තාක්ෂණය, කළමනාකරණය, නිසි ලෙස යොදාගත් රාජ්‍ය යාන්ත්‍රණය හැකළිය යුතුව තිබෙනවා. අපේ රට ගොඩනඟන්න නම් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම අනිවාර්යයි.
හතර වෙනුව වංචා, දූෂණ නැවැත් විය යුතුයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ වංචා-දූෂණ නැවැත්වීමත් ඒ වැරදිකරුවන්ට දඬුවම්දීමත් ප්‍රවාදයක් බවයි. එතුමා එහෙම නොකියා වෙන මොනවා කියන්නද? වංචනික බැඳුම්කරය අවුරුදු 30කට නිකුත් කළා. පොලී අනුපාතිකය 2%කින් වැඩි වුණා. 2015 පෙබරවාරි 28 වැනිදා නිකුත් කළ ඒ බැඳුම්කරය 2045 පෙබරවාරි 28 වනදා නිදහස් කරන තුරු බැංකු පොලී අනුපාතිකයට විශාල බලපෑම් කරනවා. අපේ රටේ නිෂ්පාදන පිරිවැය ඉහළ යන්න බලපානවා. සාමාන්‍ය ජනතාව ලබාගන්නා නිවාස ණය වාරිකය වැඩිවෙන්න බලපෑවා. මේ ගැන කරුණු ඉදිරිපත් කළ අය විිසන් පත්කර ගත් ජනාධිපති දැන් කියන්නේ වංචා, දූෂණ නැවැත්වීම ප්‍රවාදයක් බවයි. වංචා දූෂණ කියන්නේ ඒ වෙලාවේ ගන්න කොමිස් මුදල විතරක් නොවෙයි. ඒකත් අපරාධයක්. ඊට අමතරව වංචා දූෂණ මගින් ඇතිතරන ලද ව්‍යාපෘතිය දිගුකාලීනව අපේ රටට බලපෑම් කරනවා. ව්‍යාපෘතිය තීරණය වෙන්නේ කොමිස් මුදල මතයි. තමන්ගේ බැංකු ගිණුමට කොමිස් මුදල ලැබෙන තුරු සමහර ඇමතිවරු ෆයිල් එකට අත්සන් කරන්නේ නැහැ. තායිපේ සමාගම ඉහළ රාජ්‍ය තාන්ත්‍රික අවබෝධයක් සහිතව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රුපියල් මිලියන 200ක කොමිස් මුදලක් නිමල් සිරිපාල ඉල්ලූ බවට පැමිණිලි කළා. ගෝඨාභය රාජපක්ෂ, නිමල් සිරිපාලට අයින් වෙන්න කීවේ ඒනිසයි. රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයකින් ලැබුණු තොරතුරක් නිසයි අයින් වෙන්න කීවේ.
ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇවිත්, කුසලා සරෝජිනීගේ කමිටුවක් පත්කළා. කුසලාගේ කමිටුව වාර්තාව දුන්නේ පැමිණිල්ලක් නැහැයි කියලයි. ජපානයේ රාජ්‍ය තාන්ත්‍රික ලෙස ජනාධිපතිට යොමු කළ පැමිණිල්ල ගැන කුසලාට කියනවාද? ඒ කමිටුවෙන් නිමල් සිරිපාලව නිදහස් කරනවා. කොමිස් මුදල ලබා නොදීම හේතුකොට ගෙන තායිපේ සමාගමට ආපසු යන්න සිදුවුණා. කප්පම් ඉල්ලීම අපේ රටේ ආර්ථික ව්‍යාසනයේ ප්‍රධාන හේතුවක් නොවෙයිද? රනිල් වික්‍රමසිංහ මහත්මා මේ තත්වය සැහැල්ලුවෙන් ගන්නේ කොහොමද? අපේ රට ගොඩනඟන්න නම් වංචා, දූෂණ නතර කළ යුතුයි. වංචනිකයන්ට, දූෂිතයන්ට දඬුවම් ලබාදිය යුතුයි. ඒ විතරක් නොවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙතන හිටියා නම්, මම අහනවා ඩුබායි රටේ බැංකුවක ඩොලර් බිලියනයක මුදල් පිළිබඳව සොයන්න වැලිඅමුණ, දිල්රුක්ෂි ඩයස්, රවි විද්‍යාලංකාර, පරික්ෂණ සඳහා යැව්වේ නැද්ද? කියලා ප්‍රශ්න කරනවා. ඒ ඩොලර් බිලියනය කාගේද? දැන් කියනවා වංචා, දුෂණ නතර කිරීම හිතලුවක්, ප්‍රවාදයක් බව. වංචනිකයන්, දූෂිතයන් කණ්ඩායමකගේ ඔටුන්න අරගෙන වංචා, දූෂණ නතර කරන බව කියන්න බැහැ. රට ගොඩනඟනවා නම්, වංචා- දූෂණ නතර කිරීම සහ වංචනිකයන්ට, දූෂිතයන්ට දඬුවම් කිරීම ප්‍රධාන සාධකයක්.
ඊළඟට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ප්‍රධානයි. ලෝකයේ කිසිදු රටකට හුදකලාව ජීවත් වෙන්න බැහැ. ආර්ථික ගනුදෙනු තාක්ෂණික ගනුදෙනු වෙනත් රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු තිබෙනවා. වර්තමාන යුගයේ ලෝකයත් එක්ක ඉස්සරහට යන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ රාජ්‍යයත් ලෝකය ඉදිරියේ කෙතරම් කීර්තිමත්ව සාර්ථක ප්‍රතිරූපයක් පවත්වාගෙන යනවාද? කියන එකයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන ආකාරයට සුද්දෝ හඳුනනවා කියන එක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොවෙයි. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හදන්නේ කොහොමද කියලා බංගලිදේශයේ අගමැතිතුමියගෙන් උදාහරණ ගන්න පුළුවනි. ඩොලර් මිලියන 200ක අතමාරු ණයක් අපට බංගලිදේශයෙන් දුන්නා. එය නිසි පරිදි ආපසු ගෙවන්න බැරිවුණා. එය අවස්ථා කිහිපයකදී කාලය දීර්ඝ කළා. දැන් අගමැතිවරිය අවධාරණය කරන්නේ නැවත කාලය දීර්ඝ නොකරන බවත්, අදාළ දිනයේදී ආපසු ලබාදෙන ලෙසත්ය. රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු කියන්නේ ඒවාට. ඒ සඳහා රටක ප්‍රතිරූපයත්, කීර්තියත් ඉතාමත්ම වැදගත්. අපි වෙනත් රටකට යනවා නම්, ඇඳෙන චිත්‍රය මොකක්ද? සෝමාලියාවට, සැම්බියාවට, යන්න කාට හෝ හිතෙනවාද? ඕන නම් අධ්‍යයන කටයුත්තකට යයි. අද අපේ රටේ කීර්තිය මොකක්ද? ලෝකයේ කොතැනක හරි වංචා, දූෂණ එළියට එනවා නම් අපේ රටේ නමත් කියැවෙනවා. ඇමෙරිකන් එක්සත් ජනපදයේ සීඅයිඒ සංවිධානයේ ඉමාන් සුබේරු අවුරුදු 12කට හිරේ යැව්වා. ඒ පරීක්ෂණයේදී හෙළිවුණේ අජිත් නිවාඩ් කබ්රාල් ඔහුට ඩොලර් මිලියන 6ක් දුන් බවයි. ඇමෙරිකාව, ප්‍රංශය, එංගලන්තය එකතු වෙලා ප්‍රංශයේ එයාර් බස් සමාගම ගැන පරීක්ෂණයක් පැවැත් වූවා. එයාර් ලංකා එකට එයාර් බස් මිලදී ගන්න විට එයාර් ලංකා සමාගමේ කපිල චන්ද්‍රසේනට කප්පම් දුන් බව පරීක්ෂණයේදී හෙළි වුණා. ඕස්ට්‍රේලියාවේ සමාගම් දෙකක අධ්‍යක්ෂවරු දෙදෙනෙක් මෑතකදී අත්අඩංගුවට ගත්තා. හම්බන්තොට වරායේ ඉදිකිරීමේදී කප්පම්දීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත්තා. පැන්ඩෝරා පේපර්ස් එළියට එනකොට නිරූපමා රාජපක්ෂ ගැන හෙළිවුණා. ලෝකයේ වංචා, දූෂණ පිළිබඳව සාකච්ඡා කෙරෙන ඕනෑම අවස්ථාවක ලංකාව ගැනත් සඳහන් වෙනවා. එහෙම රටකට ගරු කරන්නේ කවුද? අපිට ලෝකයේ තිබෙන ප්‍රතිරූපය මොකක්ද? එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩල විදේශ සබඳතා කමිටුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යැවූ ලිපියක කොන්දේසියක් ලෙස සඳහන් කළේ හොරකම් නතර කිරීම සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බවයි. ලෝක බැංකුව යූරියා ගෙන්වීම සඳහා ණය ලබාදෙන අතරේ හොරකම් කරනවාද බලන්න නියෝජිතයන් පත් කළා.
රටක ජාත්‍යන්තර ප්‍රතිරූපය හැදෙන්න රාජ්‍ය පාලනයේ තිබෙන විනිවිදභාවය වැදගත්. අද අපිට විනිවිදභාවයෙන් යුතු යාන්ත්‍රණයක් නැහැ. අපේ රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කොතරම් දුරට සූදානම්ද? පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන කාන්තාවන්ගෙන් 75%ක් එක වරක් හෝ කවරාකාරයේ හෝ ලිංගික අඩම්තේට්ටමකට ලක්වී තිබෙන බවට වාර්තාවකින් හෙළිවී තිබෙනවා. එහෙම රටක් ලෝකයේ පිළිගන්නවාද? ළමා ආරක්ෂණය කඩා වැටුණු රටක්, සම්බන්ධ ප්‍රතිරූපය මොකක්ද? අපේ රට සම්බන්ධයෙන් ලෝකය ඉදිරියේ තිබෙන්නේ කළු ප්‍රතිරූපයක්. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කියන්නේ සුද්දෝ හඳුනන එක නොවෙයි. ඒ රටේ ආර්ථිකය කොතරම් ශක්තිමත්ද, රාජ්‍ය පාලනය කොතරම් විනිවිදභාවයකින් යුතුද, ජනතාවගේ අයිතිවාසිකම් කොතරම් තහවරු වී තිබෙනවාද, වැනි සාධකයි. මුස්ලිම් ජනයාට එරෙහිව වඳ කොත්තු,වඳ දොස්තරලා, වඳ ඇඳුම්, වගේ ප්‍රචාරය නොකළේ මොනවාද, තමුන්නාන්සේලා. අනෙකුත් ජන කණ්ඩායම්වලට වෛරය, ක්‍රෝධය සහ අවිශ්වාසය ගොඩනඟන පාලනයක් තිබෙනවා නම්, ලෝකයේ පිළිගන්නේ කවුද? අද රටකට යන්න අපේ පුරවැසියන්ට වීසා දෙන්නේ නැහැ. අපේ ජාතික කණ්ඩායමක් නියෝජනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ගිය ක්‍රීඩකයින් දහදෙනෙක් පැනලා ගියා. අපේ රටේ ජාතික ශූරයින් පදක්කම බෙල්ලේ එල්ලාගෙන කඩා වැටුණු රටක ජීවත්වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. කාන්තා, ළමා අයිතිවාසිකම් සුරක්ෂිත වන අනිකුත් ජන කණ්ඩායම් අතර සමගිය, සහෝදරත්වය තහවුරු කරන නව ව්‍යවස්ථාවක් අපේ රටට අවශ්‍යයි.
ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කළ යුතුයි. සියල්ල රාජ්‍යයෙන් කළ යුතු බව අපි කියන්නේ නැහැ. නමුත් බලශක්තියෙන් විශාල රාජ්‍ය පංගුවක් තිබිය යුතුයි. මූල්‍ය ක්ෂේත්‍රයත් එහෙමයි. අද අපේ රටේ මූල්‍ය සමාගම් 40කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. ලංකා බැංකුවේ ශාඛා 700කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. එයින් 200ක් පමණ පාඩු ලබනවා. ගිරාඳුරුකෝට්ටේ වගේ ඈත ප්‍රදේශයක බැංකු සේවා ගෙනයන්නේ රාජ්‍ය බැංකු. පෞද්ගලික බැංකු ඒ තැන්වලට යන්නේ නැහැ. සමාජ වගකීමක් තිබෙන ආණ්ඩුව බලශක්තිය සහ මූල්‍ය වෙළඳපොළේ රාජ්‍ය පංගුව ආරක්ෂා කර ගත යුතුයි. බලශක්තිය තවදුරටත් නිදහස් කරන්න එපා. පසුගිය කාලයේ අයිඕසී. සමාගම ඩීසල් විකිණීම නවත්වන්න තීරණය කළා. ලාෆ් ගෑස් සමාගම ගෑස් විකිණීම නවත්වන්න තීරණය කළා. ඔවුන්ට සමාජ වගකීම පිළිබඳ අපේක්ෂාවක් නැහැ. ඔවුන්ට තිබෙන්නේ ලාභය පිළිබඳ අපේක්ෂාවක් විතරයි. අපේ ආර්ථිකය ගොඩනඟන්න කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕනෑ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ දැමීම, මුලින්ම කළ යුතුයි. ඒ වෙනුවෙන් රටේ සම්පත්, මානව සම්පත යොදා ගන්නේ කොහොමද කියලා සැලසුම් කරන්න ඕනෑ. ලෝකයේ විශාලතම වෙළඳපොළ විවෘත වෙමින් තිබෙන්නේ දැනුමට. සෞදි අරාබිය ලෝකයේ තෙල් අපනයනය කරන ප්‍රධාන රටවල්වලින් එකක්. 2021 ඔවුන්ගේ තෙල් අපනයන ආදායම ඩොලර් බිලියන 113යි. නමුත් ඉන්දියාව ලෝකයට අයිති තාක්ෂණය ලබාදී ඩොලර් බිලියන 133ක් ලබාගෙන තිබෙනවා. 2030 ලෝකයට අවශ්‍ය ශ්‍රමිකයා, වෘත්තිකයා ලබාදෙන්න අපි සැලසුම් සකස් කර නැහැ. ඕමාන් රටේ අපේ කාන්තාවන් ගණිකාවන් හැටියට විකුණන්නේ ඒ නිසයි. 2020දී තුන්ලක්ෂ හාරදහසක් විදේශගත වී තිබෙනවා. එයින් වෘත්තීමය රැකියා සඳහා ගිහින් තිබෙන්නේ නවදාහයි. දෙලක්ෂ අනූපන්දහසක් නුපුහුණු හා පුහුණු ගෘහ සේවිකාවන්.
දෙවනුව කොළඹ කේන්ද්‍රගත කරගත් ආර්ථිකයක් වෙනුවට ගමට ප්‍රසාරණය කළ ආර්ථිකයක් ගොඩනඟන්න ඕනෑ. සමස්ත ජාතික ධනයෙන් 38%ක් නිෂ්පාදනය කරන්නේ බස්නාහිර පළාතෙන්. උතුරු මැද පළාතෙන් එය 5.9%යි. උතුරු පළාතෙන් 4.9%යි. කොළඹ මහා ගොඩනැගිලි හැදුනත් ආර්ථිකය රටට ප්‍රසාරණය වෙන්නේ නැහැ. ගමේ ජනතාව ජීවත් වෙන ආර්ථික ප්‍රභවය හඳුනාගෙන සංවර්ධනය කරමින් නව ආර්ථික ප්‍රභවයන් හඳුන්වාදෙමින් එය කරන්න ඕනෑ. ආර්ථික වර්ධනය වගේම ප්‍රසාරණය කිරීමත් වැදගත්. ජනතාව ආර්ථිකයට හවුල්වෙන්න උවමනා වගේම නිෂ්පාදනය කෙරෙන ධනය සාධාරණ ලෙස බෙදාහරින්නත් ඕනෑ. රටේ ජාතික ධනයෙන් 38%ක් බුක්ති විඳින්නේ ඉහළම ආදායම් ලබන 10%ක් වූ පිරිසක්. පහළම ආදායම් ලබන 10%ක ජනතාවට ලැබෙන්නේ ජාතික ධනයෙන් 1.1%යි. මේ තත්වය සාධාරණ නැහැ. මා කියන්නේ හැමෝටම සමානව බෙදෙන්න ඕනෙ කියලා නොවෙයි. ඒක මිථ්‍යාවක්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල පවතින්නේ පදනමින්ම සමානාත්මතාවය සහ සමාජ සාධාරණත්වයයි. තමුන්නාන්සේලා වංචා, දූෂණවලට ඉඩකඩ හදමින් ඊට අදාළ බදු ප්‍රතිපත්ති හදමින් ආර්ථික උපාය මාර්ග සකස් කළේ ඉතා කුඩා කණ්ඩායමක් අතට ධනය සංකේන්ද්‍රණය වෙන්න. ඒ වෙනුවට ජනතාවට ආර්ථිකයේ ප්‍රතිලාභ ගලාගෙන යන්න ඕනෑ. මානසික සුවය සහිත, අධ්‍යාපනයක් සහිත සමාජයක් ගොඩනැගෙන්නේ එතකොට. යහපත් සමාජයක් නැත්නම් ආර්ථිකය මොනතරම් ගොඩගැහුණත් වැඩක් නැහැ. අනෙකාත් එක්ක මානව බැඳීම් තිබෙන සමාජයක් අපට ඕනෑ. ආර්ථිකයක් කඩා වැටුණු සෑමතැනකම සමාජය විශාල ව්‍යසනයකට මුහුණ පානවා. අද අපිට ආර්ථික ව්‍යසනයත්, සමාජ අර්බුදයත් දේශපාලන අර්බුදයත් තිබෙනවා. මෙයින් මිදීම සඳහා යම් යථාර්ථවාදී වැඩපිළිවෙළකට අපි යන්න ඕනෑ. ඒ වැඩපිළිවෙලේ මූලික පදනම ජනතාවගේ කැමැත්තෙන් පාලනයක් පිහිටුවා ගැනීමයි. ඒ බව අවධාරණය කරමින් මම නතර වෙනවා.”
රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද අයවැය අලියා ගිල්ල දිවුල් ගෙඩිය වගේ හිස් එකක්. මේ අයවැය මතු පරපුර වනසා දමන අයවැයක්. ගොවි කම්කරු ප්‍රජාවට කිසිදු සහනයක් නොලැබුණු අයවැයක්. ගොවීන්ට පොහොර හෝ කම්කරුවන්ට වැටුප් වැඩිවීමක්, ධීවරයන්ට ඉන්ධන සහනයක් නොමැති අයවැයක්. ජනතාව කබලෙන් ලිපට ඇද දමා තිබෙනවා. මේ නිසා අපි මෙම අයවැය ප්‍රතික්ෂේප කරනවා. ඊට එරෙහි වෙනවා. […]
රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද අයවැය අලියා ගිල්ල දිවුල් ගෙඩිය වගේ හිස් එකක්. මේ අයවැය මතු පරපුර වනසා දමන අයවැයක්. ගොවි කම්කරු ප්‍රජාවට කිසිදු සහනයක් නොලැබුණු අයවැයක්. ගොවීන්ට පොහොර හෝ කම්කරුවන්ට වැටුප් වැඩිවීමක්, ධීවරයන්ට ඉන්ධන සහනයක් නොමැති අයවැයක්. ජනතාව කබලෙන් ලිපට ඇද දමා තිබෙනවා. මේ නිසා අපි මෙම අයවැය ප්‍රතික්ෂේප කරනවා. ඊට එරෙහි වෙනවා.
ඒ වගේම මෙය දූෂිතයින් රකින අයවැයක් වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ කිසිදු ලැජ්ජාවකින් තොරව ‘හොරු අල්ලා හිරේ දමා රටේ ප්‍රශ්න විසඳිය නොහැකිය’යි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මෙහි කිසිදු සත්‍යතාවක් නැහැ. බදු වංචාවන්, දූෂණ මගින් මුදල් සෙවූ වංචා සහගත ආර්ථිකයක් අපේ රටේ ක්‍රියාත්මක වී තිබෙනවා. දූෂණය සහ දූෂිතයන් විසින් පැහැර ගත් මුදල් රටේ ආර්ථිකයේ විශාල පංගුවක් වී තිබෙනවා. මේ ප්‍රමාණය නැවත රටට පවරා ගැනීමෙන් තොරව රට සංවර්ධනය කිරීම ගැන හිතන්න බැහැ. මේ වෙනුවට රනිල් රට ගොඩනගන්න හදන්නේ ත්‍රලෝක විජයපත්‍රවලින්. ඒ කියන්නේ ගංජා ව්‍යාපාරය මගින් රට ගොඩගැනීමට ඔහු කල්පනා කරනවා. අවුරුදු 74ක් තුළ අයවැය 77ක් ඉදිරිපත් කරමින් ගොඩගැනීමට නොහැකි වූ රට ගොඩගන්නට යන්නේ මෙමගින්දැයි අපි ජනනියමු කලාකරුවන් ලෙස ආණ්ඩුවෙන් අහනවා.
ඒ වගේම මෙය ජනතාවට මර්දනය කැඳවන අයවැයක්. ආරක්ෂක අංශවලට පමණක් රුපියල් බිලියන 539ක් වෙන් කර තිබෙනවා. අධ්‍යාපනය, කෘෂිකර්මය, සෞඛ්‍යය ආදී ක්ෂේත්‍ර සියල්ලම ඉක්මවා ගිය මුදල් ප්‍රමාණයක් ආරක්ෂක අංශවලට වෙන් කර තිබෙනවා. මේ ආරක්ෂාව සලසන්නට හදන්නේ කාටද? ජනතාවටද? ජනතාවට ආරක්ෂාව දෙන්න රජයක් මේ තරම් මහන්සි විය යුතු නැහැ. ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වෙන ජනතාව ඉදිරියේදී වීදි බහින බව ඔවුන් දන්නවා. ඒ ජනතාව මර්දනය කරන්නයි මේ අයවැයේ විශාල කොටසක් වෙන් කර තිබෙන්නේ. දැනටත් වසන්ත මුදලිගේ ඇතුළු තරුණ කණ්ඩායම් ත්‍රස්ත පනත යටතේ හිර ගෙවල්වල දාලා පීඩාවන් එල්ල කරමින් තිබෙනවා. අපි මෙම තත්වය හෙළා දකිනවා. ජාතිකත්වය, ආගම නොසලකා ආණ්ඩුවට එරෙහිව තරුණ කෙටස් මර්දනයට ආණ්ඩුව මේ පනත් යොදා ගනිමින් සිටිනවා. සෑම පුරවැසියෙකටම මේ තර්ජනය එල්ල වී තිබෙනවා.
මේ අයවැය මේ රට සංස්කෘතික කාන්තාරයක් කරා ගෙනයාමට සැලසුම් කළ අයවැයක්. 2021 වසර අවසන් වන විට රු. 4200ට තිබුණු කඩදාසි රීම් එකක් මේ වන විට රු. 13,500ක් වී තිබෙනවා. 2021 වසරේ මුද්‍රණයට අවශ්‍ය ප්ලේට් රු. 600ක මුදලකට තිබුණා. මේ වන විට ඒවා රු. 2000 දක්වා වැඩි වී තිබෙනවා. ඒ අනුව මේ රටේ කලාව, සංස්කෘතිය කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකරන ලද අයවැයක් බව පැහැදිලියි. මුද්‍රිත පොත් මිල විශාල ලෙස වැඩි වෙලා. ආණ්ඩුව මේ රටේ ජනතාවට කියවීම, චිත්‍රපටයක්-නාට්‍යයක් බැලීම, සෞන්දර්යය රසවිඳීම එපා කරවලා.
අද රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා තිබෙන අවස්ථාවක්. මෙවැනි අවස්ථාවක ජනතාව බලාපොරොත්තු තබාගෙන බලා සිටින්නේ ඊළඟට ඉදිරිපත් කරන අයවැය ගැන. පාලකයන්ගේ වගකීමක් තිබෙනවා මේ අර්බුදයෙන් ගොඩ ඒමට හැකි අයවැයක් නිර්මාණය කිරීමට. පාලකයන් ඉදිරිපත් කර තිබෙන අයවැයෙන් රට ඉදිරියට ගමන් කරමින් තිබෙන්නේ කවර දිසාවටද, ඔවුන්ගේ උපාය මාර්ග, ඔවුන්ගේ දැක්ම මොකක්ද යන්න අපට පෙනී යනවා.
ජනතාව දේශපාලන, ආර්ථික, සමාජ ප්‍රතිසංස්කරණ ඉල්ලමින් වීදියට පැමිණියා. මේ යන ගමන වැරදියි, විනාශයේ පතුළටම වැටී තිබෙන බවත්, ඉතා ඉක්මනින් දේශපාලන, සමාජ, ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් ඔවුන් එක හඬින් ඉල්ලා සිටියා. මේ ඉදිරිපත් කර තිබෙන අයවැයෙන් අපට පෙනී යන්නේ ඔවුන්ගේ අසමත්, අසාර්ථක ආර්ථික දර්ශනයේම දිගුවක් ලෙසයි. පීඩාවට පත්වී ඇද වැටුණු ආර්ථිකයකට විසඳුම් මෙම අයවැයෙන් බලාපොරොත්තු වුණා. රට යළි ගොඩනැගීමේ දෙසට විකල්ප ආර්ථික දර්ශනයක් සහිතව කෙටි කාලීන සහ දිගුකාලීන විසඳුම් ඇති වැඩපිළිවෙළක් සහිත අයවැයක් බලාපොරොත්තුවෙන් ජනතාව දෑස් දල්වාගෙන සිටියා.
ජාතික ආර්ථිකයක් ගොඩනැගීමේදී, ආර්ථික දර්ශනයේ ප්‍රමුඛ වන්නේ ඩොලර් උපයන නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟන්නේ කොහොමද කියන එකයි. ඒ සඳහා ආයෝජකයන් වැඩිකර ගන්නේ කෙසේද? දේශීය නිෂ්පාදනය වැඩි කොට ජාත්‍යන්තර වෙළඳපොළේ අපේ ඉඩකඩ වැඩිකර ගැනීම, සාර්ථක ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයක් ගොඩනඟා ගැනීම වැනි ප්‍රතිසංස්කරණ ජනතාව බලාපොරොත්තු වුණා. නමුත් මේ සඳහා ගත් පියවර කිසිවක් අපට මේ අයවැය තුළින් දකින්න ලැබෙන්නේ නැහැ.
කලින් පාසල් දරුවෙකුගේ පොත් ලැයිස්තුව රුපියල් 3500ක වියදමකින් සපුරා ගත හැකි වුණා. අද ඒ වෙනුවෙන් රුපියල් 12,000ක් පමණ වියදමක් යනවා. ඉතාම අඩු ආදායම් ලබන පුරවැසියන්ට පොත් ලයිස්තුව සඳහා මෙපමණ මුදලක් වැය කිරීම දරාගැනීමට හැකියාවක් නැහැ. මෙය ඉදිරි සමාජයේ ලාංකික අධ්‍යාපනය ගමන් කරන දිසාව පිළිබඳ බියක් පැන නගිනවා. ඒ වගේම රෝගී අනාගත පරම්පරාවක් ගොඩනැගෙමින් තිබෙනවා. නිරෝගී තරුණයෙක් ගොඩනඟන්න අවශ්‍ය මූලික පෝෂණ අවශ්‍යතා ටික ලබාගන්න බැරි වී තිබෙනවා. රටේ අනාගතය නිර්මාණය කරන්න උරදෙන, එහි වගකීම් දරන්න රට බාර ගන්න සිටින මේ දරුවන් ළමා කාලයේදී අවශ්‍ය නිසි පෝෂණය නොමැති නම් එය ඉතාම ඛේදජනකයි. ආරක්ෂක වියදම් වැඩි කරමින් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා සැලකිල්ලක් නොදක්වමින් මේ පාලකයන් කටයුතු කරමින් සිටිනවා. තමන්ගේ අසමත් පාලනයට එරෙහිව නැගෙමින් තිබෙන විරෝධයට මුහුණ දීමට හා බලය රැක ගැනීමේ අපේක්ෂාවෙන් ආණ්ඩුව ආරක්ෂක වියදම් වැඩිකර ගෙන තිබෙනවා. මේ අයවැය සමාජය මුහුණ පා තිබෙන අර්බුදයට විසඳුම් ලැබෙන අයවැයක් නොවයි.
රටේ ජනතාව රට විශාල අර්බුදයක ඇති බව තේරුම් ගත යුතුව තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාරපාන, ගමනාගමනය වැනි අවශ්‍යතා ගණනාවක් කඩාවැටී තිබෙනවා. මේ අමන පාලකයින් බලාපොරොත්තු කඩවී ගිය ජනතාව මත තව තවත් බර පටවමින් තිබෙනවා. මේ ආර්ථික අර්බුදයත් ඔවුන් පටවන්නේ ජනතාව මතයි. මේ අයවැයෙන් යම් සහනයක් ලැබේවියැයි පීඩාවට පත් ජනතාව බලාගෙන හිටියා. නමුත් කිසිවක්ම ඔවුනට ලැබුණේ නැහැ.
සාමාන්‍ය ජනතාව ලෙස අපි අසීරුවෙන් උපයා ගන්නා දේවල් ආණ්ඩුව බදු විදිහට අයකර ගන්නවා. මේ පාලකයන්ගේ බලය තහවුරු කරගැනීමටත් සුඛ විහරණය වෙනුවෙනුත් ඔවුන් ඒවා වියදම් කරනවා. මේ අයවැය තුළ පෙනෙන්ට තිබෙන්නේ එයයි.
වසර ගණනාවක් අගමැතිකම්, ඇමතිකම් කර රටේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට නොහැකිව, රට අර්බුදයට ඇද දැමූ තවත් එක් අයෙක් තමයි මේ අටවන ජනාධිපති රනිල්. ඉතින් ඔහුගේ අයවැය ගැන කුමන කතාද? අපේ විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ නිර්මාතෘ ආචාර්ය ගාමිණී හත්තොටුවගමගේ විසින් 70 දශකයේ අවසන් වසරේදී පමණ රටේ ආර්ථිකය පදනම් කරගනිමින් නාට්‍යයක් නිර්මාණය කළා. එහි මෙවැනි ගීත කොටසක් තිබෙනවා. “මිලයට ගන්නේ… මිලයට දෙන්නේ… ඒක නිසයි මේ හැම දේ පවතින්නේ… ඒක නිසයි අපි ඔක්කොම කැරකෙන්නේ…” රනිල්ගේ අභිප්‍රාය රටේ තිබෙන වටිනා සම්පත් සියල්ල විකුණා දමන්නයි.
මේ අයවැය කතාවේදී රනිල් ඔහුට කීමට අවශ්‍ය දෙයක් තවත් කෙනෙක් කියූ දෙයක් ලෙස කියනවා. රටේ සිදු වෙන හොරකම් නතර කිරීමට නොහැකියැයිද ඒ හොරුන් හිරේ විලංගුවේ දැමිය නොහැකි යැයිද ඔහු කියනවා. හොරකම් කළ දේවල් නැවත ලබා ගත නොහැකියැයිද ඔහු කියනවා. මෙයින් ඔහු කියන්නේ නිදහස තියෙනවා, ඕනෑ තරම් හොරකම් කරපල්ලා කියන එකද?
පහුගිය කාලයේ ජනතාව අරගල කළේ පාලකයින්ගේ හොරකම්වලටත් එරෙහිවයි. අපේ රටේ මුදල්වලට කුමක් සිදු වූයේදැයි ජනතාව දැනගත යුතුයි. ජනතාව තමන්ගේ පැත්තෙන් කළ යුතු වගකීම් හරියට කළා. ඔවුන් විදුලි බිල්, ජල බිල් ගෙව්වා. බදු ගෙව්වා. මෙවැනි ලෙසට රට කඩා වැටුණේ ඒවා නිසි ලෙස පරිපාලනය නොවූ නිසා නේද? ජනතාව පාරට බැස්සේ මේ ප්‍රශ්න නොවිසඳුණු නිසා නේද? දැන් අයවැයක් ගෙනාවත් ජනතාවගේ මේ ප්‍රශ්නවලට විසඳුම් ලැබී නැහැ. දැන් ඔවුන් අපට කියන්නේ, පටි තදකරගන්නා ලෙසයි; ලෙඩ නොවී සිටින ලෙසයි; අවශ්‍යතාවන් සීමා කරගන්නා ලෙසයි. රටින් පිටවී ඩොලර් සොයන ලෙසයි. බදු ගෙවන ලෙසයි. අන්තිමට ආණ්ඩුව බහිශ්‍රාවීය දේවලටත් බද්දක් අයකරන්න ඉඩ තියෙනවා.
ඉතිහාසයේ කවර හෝ කාලයකටත් වඩා රට බරපතළ අර්බුදයකට මුහුණ පා සිටින කාල පරිච්ඡේදයක්. මේ අයවැයෙන් තත්වය තව තවත් තීව්‍ර කර තිබෙනවා. ජන මතයක් නොමැතිව බලයට පත්වී සිටින ජනාධිපතිගේ පළවැනි අයවැයෙන් ජනතාව ඉල්ලා සිටි ප්‍රාර්ථනා පාවා දී තිබෙනවා.
රට මුහුණ දී සිටින අභියෝගයන් ජයගත යුත්තේ කෙසේද? ජනතාවගේ සුබසිද්ධිය සඳහා ගන්නා තීරණ මොනවාද? ජනතා බලාපොරොත්තු වෙනුවෙන් ගන්නා තීරණ මොනවාද? මේ මුහුණදී තිබෙන අතිශය භයානක තත්වයන්ගෙන් මුදා ගැනීමට ඉදිරිපත් කොට ඇති සැලසුම් මොනවාද? තිබෙන දේ විකුණමින්, ජනතාව මත බදුබර පටවමින්, පාලකයන්ගේ සුඛ විහරණය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අයවැයෙන්, ජනතාව තවදුරටත් පීඩනයට පත්කර තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට ඉදිරිය ඉතා භයානක තත්වයක් ඇතිවීම වළක්වාලිය නොහැකියි.
වඩා යහපත් රටක් බලාපොරොත්තුවෙන් රටේ සියලුම ජන කොටස් පක්ෂ, පාට, ආගම්, ජාති, වයස් භේදයක් නැතිව ජනතාව ඒකරාශී වුණා. ඒ එකතු වුණේ මේ ඇතිවී තිබෙන ප්‍රශ්නවලට විසඳුමක්, දූෂිත දේශපාලනයේ වෙනසක් බලාපොරොත්තුවෙන්. ඒ අරගලයේ බලාපොරොත්තු සියල්ලම මේ වත්මන් ජනාධිපතිවරයා විසින් පාවාදී තිබෙනවා. ඒ විතරක් නොවෙයි ජනතාව තවදුරටත් පීඩාවට පත්කර තිබෙනවා. ජනතා වුවමනාවන් වන අධ්‍යාපනය, සෞඛ්‍ය ගැන හෝ ජනතා සුබසාධනය ගැන කිසිදු තැකීමක් නැතිව ආරක්ෂක අංශ වෙනුවෙන් මුදල් වැඩිපුර වෙන්කරගෙන තිබෙනවා. ජනතාව මත පැටවෙන පීඩනය වැඩිවෙන කොට ඒ පාලකයන්ට එරෙහිව පැන නැගෙන ජනතා නැගිටීම් මර්දනය කරන්න. අරගලවල යෙදුනු සහෝදරවරු සහෝදරියන් සිරගෙවල්වල දමා තිබෙනවා. ජනතාව මත මර්දනය යොදවන ගමන් බදු ගහමින් දැඩි ලෙස පීඩාවට පත්කරමින් තිබෙනවා.
ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පීඩාවට හුරු වෙන්න එපා. මේ පවතින තත්වය තවදුරටත් අපි විඳදරාගෙන ඉන්නවාද? රටේ අනාගත පරම්පරාවට රටක් ඉතිරි වේද?. ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් නිහඬව සිටිය යුතු නැහැ. අනාගත දරුවන්ටත් මේ පීඩාවන් ඉතිරි කර දිය යුතු නැහැ. නිහඬව සිටීම පාලකයන් සතුටු කරවීමක්. පාලකයන් දැනුවත් කරවන්න ඕනෙ අරගල කිරීමෙන්. මේ විනාශකාරී තත්වයෙන් රට මුදා ගන්න දේශපාලන විසඳුමක් අවශ්‍යමයි. මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. ඒ විසඳුම ලබාගන්න සටන් කළ යුතුයි. අරගල කළ යුතුයි. ඒ සටනට එකතුවෙන්න කියන ඉල්ලීම කරනවා.
රනිල් රාජපක්ෂ පාලනය විසින් ඉදිරිපත් කරන ලද අයවැය පිළිබඳව කතා කිරීම තේරුමක් නැති වැඩක්. මේ පාලක පංතිය අපි පිළිගන්න සූදානම් නැහැ. පහුගිය කාලයේ රටේ මිනිස්සු පාරට ඇවිත් ඉල්ලුවේ මේ දූෂිත පාලකයින්ට ගෙදර යන ලෙසයි. ඔවුන් පිළිනොගන්නා බවයි. රට හදන වැඩපිළිවෙළක් සහිතව බලයට පැමිණ එසේ කරන පාලක කොටසක් අපට හමු වී නැහැ. ඔවුන් ආ ගමනේම දිගුවක් විදිහට හිටපු ජනාධිපතිට රට දමා යාමට සිදු වූ විට ඔවුන් අතරින්ම පත්කරනු ලැබූ රනිල් 2023 වසරේ වැඩකරන්න යන විදිහ අපට පෙන්වා තිබෙනවා.
රටේ අර්බුදය ස්වභාවිකව ඇති වූවක් නෙමෙයි. එසේ වූවානම් අපිට ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට දායක විය හැකිව තිබුණා. නමුත් අර්බුදය පාලකයින්ගේ වංචාව, දූෂණය, නාස්තිය ඇතුළු මේ සියල්ලේම ප්‍රතිඵලයක්. රනිල් රාජපක්ෂ පාලනය මේ අයවැයෙන් කරන්නේ අපෙන් අය කර ගෙන ඔවුන්ට වැය කරන්න අවශ්‍ය විදිහට සැලසුම් හදන එකයි. දැන් අප කළ යුත්තේ මේ පාලකයින් ප්‍රතික්ෂේප කරමින් රට ගොඩනැගිය හැකි නව පිරිසක්, නව වැඩපිළිවෙළක් තෝරා ගැනීමයි.
පහුගිය අයවැය යෝජනා බොහොමයක් වචනවලට සීමා වුණා. ඒවා ක්‍රියාත්මක වූවානම් රට තිබිය යුත්තේ මෙතන නෙමෙයි. ඒ අනුව මේ අයවැයේ තිබෙන යෝජනාත් ක්‍රියාත්මක නොවන බව අපට පැහැදිලියි. සිදුවන එකම කරුණ බදු ගෙන ජනතාව තව තවත් පීඩාවට පත්වීම පමණයි. මේ තත්වය තුළ දවසින් දවස බඩගින්න, මන්දපෝෂණය වැඩිවෙමින් තිබෙනවා. ජනතාව මෙවැනි තත්වයක සිටියෙදී අපට නිර්මාණකරුවන් ලෙස ජනතාවගේ රසවින්දනයක් ගැන සිතිය නොහැකියි.
මේ අයවැයෙන් රටටත් ජනතාවත් සුගතියක් නැහැ. මේ වසරට වඩා වැඩි ජවයකින් ඉදිරියේදී මිනිස්සු මේ පාලකයින් විරුද්ධව පාරට ඒවි. මේ තත්වය තුළ අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් එකතු වෙන ලෙසයි; සැබෑ ලෙසම රට ගොඩගත හැකි පිරිසක් හා වැඩපිළිවෙළක් තෝරා ගැනීමට කටයුතු කරන ලෙසයි
උණක් හැදුනම පත්තියන් කෑම කෑවට ලෙඩා ගොඩ ගන්න නම් ශක්තිමත් ආහාර ඕනෑ… සාමාන්‍යයෙන් අපිට මේ වගේ වේදිකාවලට නගිද්දී විශාල ප්‍රීතියක් ජවයක් ලැබෙනවා. නමුත් අද කියන්න කණගාටුයි එහෙම සතුටකවත් ජවයක්වත් නැහැ. අද මට දැනෙන්නේ උපන් බිමේ අසරණ වූ පුද්ගලයෙක් විදියටයි. ඒ කාරණයම තමයි මම වේදිකාවට ගොඩවීමට හේතුවත්. 1948 ආසියාවේ ප්‍රබලම ආර්ථිකයකට හිමිකම් කියපු අපි ඒක පුද්ගල […]
සාමාන්‍යයෙන් අපිට මේ වගේ වේදිකාවලට නගිද්දී විශාල ප්‍රීතියක් ජවයක් ලැබෙනවා. නමුත් අද කියන්න කණගාටුයි එහෙම සතුටකවත් ජවයක්වත් නැහැ. අද මට දැනෙන්නේ උපන් බිමේ අසරණ වූ පුද්ගලයෙක් විදියටයි. ඒ කාරණයම තමයි මම වේදිකාවට ගොඩවීමට හේතුවත්.
1948 ආසියාවේ ප්‍රබලම ආර්ථිකයකට හිමිකම් කියපු අපි ඒක පුද්ගල ආදායම ජපානයට වඩා එක ඩොලරයක් පිටුපසින් හිටපු අපි අද ආසියාවට විතරක් නෙවෙයි මුළු ලෝකයටම ප්‍රශ්නයක් වුණු ආර්ථිකයක් බවට පත්වෙලා. 1948 ඉඳලා මේ වෙනකල් ඉදිරිපත් කළ අයවැය ඔබ කියවලා බැලුවොත් ඔබ ලංකාව ගැන හරි හැටි නොදන්න කෙනෙක් නම් ඔබ හිතන්නේ මේක කේතුමතී රාජ්‍යයක් කියලා. එතරම් ලස්සන යෝජනා අදහස් අයවැය වාර්තාවල තිබුණා. ඒ නිසා මම කියන්න කැමතියි අපිට අද ඕනෑ ලස්සන අදහස් පිරිච්ච අයවැය පොත් පිංචක් නෙවෙයි. මේක ඉතාමත් තීරණාත්මක මොහොතක්. අනාගතේ ඉපදෙන දරුවටත් තීරණාත්මකයි. අපේ තාත්තලා පුංචි කාලේ කියපු මේ රට දියුණු වෙමින් පවතින රටක් කියන කාරණය අපි අද අපේ දරුවන්ටත් කියනවා.
මේ අයවැය ඉදිරිපත් වෙන වටපිටාව දිහා බැලුවොත් ගොඩක් අතීතයට යන්නේ නැතුව 2019 ආර්ථික වර්ධන වේගය 2.3යි. 2021 වාර්ෂයේදී ආර්ථික වර්ධන වේගය 3.7යි. 2022දී ඝෘණ 7.8යි. නමුත් ලස්සනම වැඬේ මේ අයවැය වාර්තාවෙන් බලාපොරොත්තු වෙනවා ඉදිරි වර්ෂයේදී ආ.ව.වේ. සියයට 03ක් 04ක් දක්වා ඉහළ දමාගන්න. නමුත් ලෝක බැංකුව, අයිඑම්එෆ් වගේ සංවිධාන දරණ මතය වෙන්නේ මේ යන ආර්ථික ගමනට අනුව ලබන වර්ෂයේ ආර්ථික වර්ධන වේගය ඝෘණ 3.7යි කියලා.
අයවැයක ප්‍රධාන අරමුණ තමයි ලබන වසරේදී සංවර්ධනයේ අරමුණු සහ දුප්පත්කම නැති කිරීම වෙනුවෙන් අපේ වගේ රටවල්වල මහජන මුදල් රැස් කරන්නේ කොහොමද සහ නිෂ්පාදනය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, සේවා සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳ යම් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම. නමුත් අද අපේ රටේ තත්වය අනුව අයවැය ලේඛනයෙන් ඊට එහා ගිය පරමාර්ථයක් බලාපොරොත්තු වෙන්න වෙනවා. අද අපේ රටේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් තමයි නිෂ්පාදනය බිඳවැටෙමින් යෑම. අනෙක් කාර්ණය ඩොලර් හිඟකම. ඒ ඔස්සේ උද්ධමනය වැඩිවෙමින් යනවා. තවත් කරුණු ගණනාවක් සිදුවෙමින් යනවා. අපේ විදේශ සංචිත ඝෘණ වෙලා. මේ අයවැයෙන් මේවට උත්තර තියෙනවද? එහෙම කිසිම උත්සහයක් දකින්න නැහැ. ඒවා කළමනාකරණය කරනවා නම් අයවැයක දකින්න පුළුවන් ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි මූල්‍ය ප්‍රතිපත්තිය. අනෙක් ආදායම් වියදම් (පිස්කල්) ප්‍රතිපත්තිය. බදු ආදායම් ලබාගෙන ඒවා අවශ්‍ය තැන්වලට යොදා ගැනීම පැහැදිලිව සඳහන් කළ යුතුයි. එහෙම දේවල් මේ අයවැයේ නැහැ. අපිට පේන්න තියෙන්නේ සාම්ප්‍රදායිකව ආපු ගමනම ඉදිරියට යෑමක්. තවත් වසරක් ඉදිරියට යන්න මුදල් ටිකක් හොයාගන්න මොනවා හරි කිරීමක් විතරයි දකින්න තියෙන්නේ. ඒකට තමයි රාජ්‍ය ආයතන ටිකක් විකුණන්න හදන්නේ වෙන වෙන වචන දාලා.
2020 ජනාධිපතිගේ වැය මිලියන 2292යි. 2021දී මිලියන 2598යි. 2022දී මිලියන 2315යි. 2023දී අපේක්ෂිත වියදම 2610යි. වෙනසක් තියෙනවද? ඒ නිසා තමයි අපි කියන්නේ පෙර ගමන්මඟයි මේ කියලා. කිසිදු වෙනසක් නැහැ. මේ ආර්ථිකය කඩා වැටුණට වඩා කඩා වට්ටපු එකක්. ලෝකයේ කිසිම රටක් ආර්ථික විනාශ කරපු අයම ඒ රට ගොඩ නඟලා නැහැ. දෙවන ලෝක යුද්ධයට ජපානය ඇදගෙන යන්නේ අධිරාජ්‍යවරයා. 1948 වන විට ජපානය සම්පූර්ණයෙන්ම විනාශයි. නමුත් ජපානය ගොඩගන්නේ ඒ අධිරාජ්‍යවරයා පැත්තකින් තියලා උගත් බුද්ධිමත් රටට ආදරය කරන පිරිසක්. පාලන බලයට අත තියන්න අධිරාජ්‍යයාට ඉඩ දෙන්නේ නැහැ. අද සමහරු තවදුරටත් විශ්වාස කරනවා විනාශ කරපු අයටම ගොඩගන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි මේ වේදිකාවට ගොඩ වෙද්දී මට සතුටක් නැත්තේ.
මහ බැංකුවෙන් බලාපොරොත්තු වෙනවා අවශ්‍ය බිම සකස් කරලා දීම. ස්ථාවර මිලක්. ස්ථාවර උද්ධමනයක් සහිත ආයෝජකයෙකුට විශ්වාසයක් තැබිය හැකි බිමක් විය යුතුයි. අද පොලී අනුපාතික තියෙන්නේ සියයට විසිගණන්, තිස්ගණන්වල. ඔබ රුපියල් සියයක් බැංකුවකින් ණයක් ගත්තොත් රු.25ක 26ක පොළියක් ගෙවිය යුතුයි. මම හිතන්නේ නැහැ කිසිම රටක එහෙම තියෙනවා කියලා. නමුත් සමහර ණයවලට වෙනසක් කළ යුතුයි. ජපානයේ නිෂ්පාදන සඳහා ගන්නා ණය සඳහා පොළී අනුපාතිකය 0.1%යි. නමුත් ලංකාවේ ණයක් ගත්තොත් මොකද වෙන්නේ. ඒ නිසා මහ බැංකු ලස්සන පිටියක් හදල දෙන්න ඕනෑ මැච් එක ගහන්න. අයවැයකින් කරන්න ඕනෑ එහෙම දැක්මක් සහිතව රට සංවර්ධනය කිරීම. එහෙම දැක්මක් මේ අයවැයේ තියෙනවද? උදාහරණයකට ගන්න මිරිදිය ධීවර කර්මාන්තය දියුණු කරන්න රුපියල් මිලියන 100ක් වැය කරනවාලු. නිකන් ඔබ හිතල බලන්න අපේ රටේ වැව් කීයක් තිබෙනවාද? වැව් ගණනින් බෙදල බැලුවම ඔබට තේරෙයි මේ යෝජනාවල තරම. බෙල්ල මරිකලා හරි බදු ටික ගන්න මිසක් ආර්ථිකය හැරවුමකට ගන්න යෝජනා නැහැ. හුස්ම ගනිමින් ලෙඩ ඇඳේ ඉන්න ආයෝජකයෝ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඉන්නවනම් ඒ අයත් පන්නල දාලා ඉදිරි වසර ගෙවන්නද යන්නේ. උණක් හැදුනම පත්තියන් ආහාර කෑවට උණෙන් ගොඩ එන්න ශක්තිමත් ආහාර ලෙඩාට දෙන්න වෙනවා. එහෙම එකක් මේ අයවැයේ නැහැ. අපිට සතුටක් නැහැ අපේ දැනුමෙන් මේ රටට වැඩක් කරන්න අවස්ථාවක් නැහැ. නමුත් මේ වගේ වේදිකාවක අපේ දැනුම බෙදාගන්න ලැබීම එක්තරා දුරකට සතුටක්.
ඔබ මේ වනවිටත් දන්නවා අපේ රට පාලනය කරන්නේ අයවැය හදන්නේ ඉතාම දූෂිත කණ්ඩායමක් කියලා. දූෂිත කණ්ඩායමක් විසින් සකස් කරන අයවැයක තාක්ෂණික කාරණා අයවැයට පලදායි වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කිරීම ඒ තරම් සාර්ථික වෙන්නේ නැහැ. මොකද ඔවුන් මේ අයවැය සකස් කරන්නේ දූෂිත ක්‍රමය පවත්වාගෙන යන්න මිසක් ආර්ථිකය දියුණු කරන්න නෙවෙයි. නමුත් අපි හිතමු දූෂිත නොවන ඇත්ත වුවමනාව තියෙන කණ්ඩායමක් හදන් අයවැයක් කියලා. ඒකෙත් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් එවැනි අයවැයක් ගැන සාකච්ඡා කිරීම වැදගත් දෙයක් වෙනවා. ඒකත් අපි දැනගෙන ඉන්න ඕනෑ.
මේ අයවැය කාටද? කෝටි දෙකක් වෙනුවෙන් මේ අයවැය යෝජනා හදන්නේ ඉතාම සුළු කණ්ඩායමක්. ඒ නිසා ලැබැඳියාවන්ගේ ගැටුමක් එනවා. දූෂිත කණ්ඩායමක් ඒ තීන්දු තීරණ ගන්න විට මේ ලබැඳියාවේ ප්‍රශ්නය දෙගුණ තෙගුණ වෙනවා. ඒ නිසා මේ අයවැය ගත්තොත් හුදෙක් ජනතාව වෙනුවෙන් නොව ආණ්ඩු බලය පවත්වාගෙන යෑම අරමුණෙන්ම සක්ස කරන ලද අයවැයක්. ඒක හොඳටම පැහැදිලියි. මොකද මේ අයවැය යෝජනා අයිඑම්එෆ් යෝජනා අනුවම තමයි සකස් කරලා තියෙන්නේ. 2025 වන විට ආණ්ඩුව පෙන්වන්න ඕනෑ අයවැය ශේෂය ධන 2.3ක් කියලා. ප්‍රාථමික ශේෂය ඝෘණ 5.4 සිට ධන 2.3ක් දක්වා ගේන එක පහසු කාර්යයක් නෙවෙයි. ආදායම් වැඩි කරගන්න ඕනෑ. පොළි හැර අනෙක් වියදම් අඩු කරගන්න ඕනෑ. ඒ වගේම දළ දේශීය නිෂ්පාදනයත් මේකට බලපානවා. ඒ නිසා මේ සංඛ්‍යා ලේඛන වල තිබෙන දේවල් යථාර්ථයක් වෙන්නේ නැහැ. ආර්ථිකය එන්න එන්නම හැකිළෙනවා.
සමස්ථ අයැවය හිගය බිලියන 2400 ගණනක් වෙනවා. ඒ නිසා ණය ගන්නට වෙනවා. මේ තියෙන තත්වය අනුව විදේශීය අංශයෙන් ණය ගන් අපහසුයි. නමුත් ආණ්ඩුව කියනවා ණය ගන්නවා කියලා. නමුත් ඒ ගන්න ණය පිළිබඳවත් කිසිදු පැහැදිලිතාවයක් නැහැ. නමුත් දේශීය ණය ගන්න පෙළඹුම වැඩියි. එහෙම උනොත් පොළී අනුපාතය විශාල ලෙස ඉහළ යනවා. ඒ මගින් මහජනතාවට දැනෙන බර මේ අය සාකච්ඡා කරන්නේ නැහැ.
ගත්ත ණය ගෙවීම සම්බන්ධයෙන් ණය ගැනීමට සිදුවෙනවා. ඒ අනුව රුපියල් ටි්‍රලියන 5කට ආසන්න ප්‍රමාණයක් ණය ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ මගින් තවදුරටත් සිදුවෙන්නේ ණය උගුලේ හිරවීමයි. ඒ නිසා බදු වැඩි කිරීම අනිවාර්යයක්. අනෙක් තමයි දිගුකාලීන සැලැස්මක් නැති ආණ්ඩුව කෙටිකාලීනව කරන එකම දේ විකිණීම. ඒ නිසා තමයි ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර පවා විකුණන්න හදන්නේ. විකුණලා ගන්න සල්ලි වලින් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූගතකරනවා කරලා ආර්ථිකය දියුණු කරන බවක් කියනවද නැහැ. කරන්න යන්නේ විදෙස් සංචිත වැඩිකිරීමයි. ඒක අයිඑම්එෆ් කොන්දේසියක්.
අයවැයේ පදනම් විරහිත නමුත් ලස්සන ප්‍රකාශ ගණනාවක් තිබෙනවා. හැම අවුරුද්දකම අපනය ආදායම ඩොලර් බිලියන 03කින් වර්දනය කරනවලු. නමුත් කරන්නේ කොහොමද කියලා නැහැ. මේ ගණන ඩොලර් බිලියන 4කියන්නත් තිබුණා. 05ක් කියන්නත් තිබුණා. ඒ නිසා බුද්ධිමත් කණ්ඩායම් මේවා ප්‍රශ්න කළ යුතුයි. ලංකාවේ මූල්‍ය පිළිබඳ දැනුම ඉතාම අඩු මට්ටමක තිබෙන්නේ. ඒක ආණ්ඩුව හොඳට දන්නවා. ඒ නිසා තමයි මේ ජනතාව නොමඟ යවන සුළු යෝජනා ඉදිරිපත් කරන්නේ. තව කරුණක් කියනවා ඉදිරි වසර 10 ඇතුළත විදේශ ආයෝජන වසරකට බිලියන 03 ගණනේ වැඩි කරනවලු. එහෙම බැලුවම වසර 10ට බිලියන 30ක් වෙනවා. නමුත් පැරණි සංඛ්‍යා ලේඛන බැලුවම වසර 40කට විදේශ ආයෝජන තිබෙන්නේ ඩොලර් බිලියන 13යි. ඒ නිසා පැහැදිලියි කොයිතරම් විකෘති සංඛ්‍යා ලේඛන මේ තියෙන්නේ කියලා. නමුත් මේවා කියලා අයිඑම්එෆ් රවට්ටන්න බැහැ. ඒ නිසා ජනතාව රවට්ටන ඒවා එක පැත්තක තියෙනවා. අයිඑම්එෆ් එකට අවශ්‍ය සංඛ්‍යා ලේඛන වෙනම තියෙනවා. නමුත් හොඳට මතක තබාගන්න අයිඑම්එෆ් එකෙන් ඩොලර් බිලියන 2.9 දුන්නත් මේ වැඬේ ගොඩ දාන්න බැහැ.
ඊට පස්සේ කියනවා පරිසර හිතකාමී ආර්ථිකයක් හදනවා කියලා. ඉතිං හොඳයිනේ. ඩිජිටල් ආර්ථිකයක් ගැන කියනවා. නමුත් 2019 ආණ්ඩුව මීටත් වඩා ඩිජිටල් ආර්ථිකයක් ගැන කතා කළා. නමුත් මේවා හරයෙන් තොර කතන්දර පමණයි. තව කියනවා 2025 වෙනකොට ආර්ථික වර්ධන වේගය 7ට 8ට ගේනවා කියලා. මේ තියෙන තත්වය අනුව කොහොමද ඒක කරන්නේ. මේ නිකන් කතා විතරයි. මෙහෙම තත්වයක් තුළ මේකට ප්‍රශස්ථි ගායනවා කරන තවත් පිරිසක් ඉන්නවා. එහෙම කරන විද්වතුන් කණ්ඩායමක් ඉන්නවා. නමහරු දැනුවත්ව කරනවා. සමහරු නොදැනුවත්ව කරනවා. ඒ නිසා මම ඒ අයගෙන් ඉල්ලනවා ජනතාව පීඩාවට පත්කරමින් දූෂිත කණ්ඩායමක් තමන්ගේ බලය තහවුරු කරගන්න උත්සහයට උදව් කරන්න එපා කියලා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ අයවැය ජනතාව වෙනුවෙන් නෙවෙයි ඉතාමත් දූෂිත කල්ලියක් වෙනුවෙන් කියලා. ඒ නිසා අපි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විදියට අපි ජනතාව දැනුවත් කරන්න ඉදිරිපත් වුනේ. මේ අය අපිට පෙන්වනවා මේ ලෙඩා ගොඩගන්න යන්නේ රටම ශල්‍යාගාරයක් වගේ කියලා. නමුත් අපි කියනවා මේ ඉන්නේ හොර දොස්තරලා කණ්ඩායමක් ජනතාවගේ අතපය ගලවන වදකාගාරයක් මේක. ලෙඩා බේරෙන්නේ නැහැ. ලෙඩා මැරෙනවා. ඒකෙන් බේරගන්න අපි මැදිහත් වෙනවා.
අපේ මාතෘකාව බදුබර අහසට අයවැය කාටද? කියලා තිබුණට අයවැය අහසට බදුබර කාටද? කිව්වත් ලොකු වෙනසක් නැහැ කියලා මට හිතෙනවා. මේ මහපොළවේ අයවැයක් නෙවෙයි. නමුත් මහපොළවේ ඉන්න ජනතාවට ලැබුණේ බදුබරක්. රනිල්ගේ කතාව සම්පූර්ණයෙන් තියෙන්නේ අහසේ. මහපොළවේ තිබෙන යථාර්තය, ප්‍රශ්නය අතගාලාවත් නැති අයවැයක් මේක. 74ක සාපය පාපෝච්චාරණයක් වෙච්ච අයවැයක් තමයි 77වැනි අයවැය. එක්තරා දේශපාලන සරදමක් තිබෙනවා. මොකද 74 වසරක සාපයට වගකිය යුත්තෙක් වන රනිල් වික්‍රමසිංහ විසින්ම මේ අයවැය ඉදිරිපත් කිරීම එක්තරා ආකාරයක සරදමක්. රනිල් අයවැය කතාවේ මුල් පිටුවේ කියනවා නිදහසින් පසු 75වැනි වසර ගෙවන අපේ රට පත්ව ඇති තත්වය ගැන අපට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? අපට වැරදුනේ කොතනද අප වරද්දාගත්තේ කොතනද? මේ කියන්නේ කවුද? මුලින්ම යෞවන කටයුතු ඇමති, තරුණ ඇමති, කර්මාන්ත ඇමති, හයපාරක් අගමැති, දැන් පිනට ජනාධිපති. රනිල් ජනතාවගෙන් අහනවා මොකද වුනේ කියලා. රනිල් ජීවිත කාලයේ වැඩිපුරම කාලා ඇත්තේ පාර්ලිමේන්තුවෙන්. ජීවත් වෙලා තියෙන්නේ ජනතා මුදල්වලින්. ඒ තරම් පාර්ලිමේන්තුවේ හිටියා. ඔය පාර්ලිමේන්තුවේ බහුතරයක් එහෙමයි. උන් අපෙන් අහනවා කාටද වැරදුනේ කියලා.
ඊට පස්සේ කියනවා ජනප්‍රිය තීරණ නෙවෙයි හරි තීරණ ගන්න ඕනලු. කවුද එපා කිව්වේ. ජනප්‍රිය තීරණ නෙවෙයි නිවැරදි තීරණ ගන්න කියන රනිල් නෙවෙයිද බ්‍රේස්ලට් දෙන්න කතා කළේ. අගමැති විදියට වොක්ෂ්වැගන් කර්මාන්ත ශාලාවක් ගේනවා කියලා පොල් ගස් කපලා දැම්මා. වොක්ෂ්වැගනුත් නෑ පොල් ගසුත් නෑ. කුඬේ යටින් යන අයට වාහනයක් දෙනවා කිව්වා. එහෙම කරපු අය දැන් කියනවා නිවැරදි තීරණ ගන්න ඕනෑලු. අනුන්ට ණය වෙමින් ගිහින් වැඩක් නෑලු. මෙහෙම කියන්නේ රට ප්‍රපාතයකට ඇදල දාලා. පළිඟු මැණිකේ සූරසේන ගෙනාපු ආර්ථිකය තමයි මේ තියෙන්නේ. ආණ්ඩුවෙන් ආණ්ඩුවට තමන්ට අනිත් එකාට වැඩියෙන් ණය ලැබෙනවා කියලා පාරම්බෑවේ නැද්ද? ණය ගැනීම අභිමානයක් විදියට හිතපු අය අද තමයි මේ කතාව කියන්නේ. රනිල් ඕවා කිව්වට වැඩක් නෑ මොකද රනිල්වයි රනිල්ගේ ප්‍රතිපත්තියි එලවලා දාන්න ජනතාව තීරණය කරලා ඉවරයි. රනිල් ඔලුවෙන් හිටගෙන කිව්වත් වැඩක් නෑ. ජනතාව තීරණය අරන් ඉවරයි අවස්ථාවක් එනකල් ඉන්නේ.
අයවැය කතාව මුල ඉඳල අගට කියවල බලන්න ජනප්‍රිය තීරණ නැතුව නිවැරදි තීරණ තියෙන්නේ මොනවද කියලා. මේ අයවැය පුරාවට තියෙනවද මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් තියෙන නිවැරදී තීරණයක්. මේකේ තියෙන්නෙත් පරණ වට්ටෝරුවම තමයි. මේ අයවැයෙන් කියනන් පුළුවන් එක දෙයක් තියෙනවා. ඉදිරි මාස 04ක් ඇතුළත ඡන්දයක් එයි කියලා. මොකද සමෘද්ධි දීමනාව, වැඩි හිටි දීමනාව වෙනුවෙන් බිලියන 20ක් වෙන් කරලා තියෙනවා. ඒවා ආපහු අය කරගන්නේ ජනතාවගෙන්ම තමයි. මේ ඊයේ පෙරේදා නැවත රුපියල් බිලියන 130ක් මුදල් අච්චු ගහලා තියෙනවා. බදු ගැහුව්වා. යම් වැටුපක් ලබන සියලු දෙනාට මේ බදුබර දරාගන්න බැහැ. දැන් යම් ඉහළ රැකියාවක් කරපු අය රට දාලා යන්න පටන් අරන්. රටේ ඉන්න උගත්තු පලවා හරින ආර්ථිකයක් මේක.
මේ අයවැය තමයි මේ තරම් ආදායම් වියදම් ප්‍රසාරණය කරපු අයවැයක් බවට පත්වෙලා තිබෙන්නේ. ටි්‍රලියන 7.5ක් දක්වා වියදම් ප්‍රසාරණය කරලා. ඒ ණය ගන්න උවමනාව නිසා. ණය සීමාව වැඩිකරන්න කරපු වැඩක්. නමුත් අයවැය හිගය පියවන්න ණය ගන්නේ කොහොමද ආණ්ඩුව. මොකද දැන් ණය ගෙවන්නේ නැහැ. නමුත් ඩොලර් බිලියන 2.3ක් විදේශ ණය ගන්න බලාපොරොත්තු වෙනවා. රනිල් අයවැය ඉවර වෙන්න කලින් කියන්න ඕනෑ මොන රටවල්වලින්ද ණය ගන්නේ කියලා. අයවැය කියන්නේ උපකල්පනයක්. ඒක යථාර්තවාදී වෙන්න ඕනෑ. මිනිස්සුන්ට දරාගන්න පුළුවන් වෙන්න ඕනෑ. දැන් මේ අයවැය හිගය පියවන්න බැරි වුනොත් මොකද වෙන්නේ. ණය ගන්න බැරි වුනොත් ජනතාවගෙන් අය කර ගන්න වෙනවා. ඒ කියන්නේ රාජ්‍ය බැංකු පද්ධතියෙන්. මීට කලිනුත් දේශපාලන තීරණ වෙනුවෙන් දේශීය බැංකු පද්ධතියෙන් ණය අරන් බැංකු පද්ධතිය විනාශ කළා. දැනුත් කරන්න යන්නේ ඒක. මේ විදියට ගියොත් 2008 ඇමරිකාවට වෙච්ච දේත් ග්‍රීසියට වෙච්ච දේත් ලංකාවට සිදුවෙන එක වළක්වාගන්න බැරිවෙන බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විදියට අපි කියල තියන්න ඕනෑ. ඒ නිසා අපේ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගන්න ඕනෑ. මොකද ආර්ථිකයේ කොඳු නාරටිය කියන්නේ බැංකු පද්ධතිය. ඒ නිසා අපේ මහාචාර්ය තුමා කිව්වා අයවැයෙන් මැච් එක ගහන්න පුළුවන් විදියට පිටිය හදාගන්න ඕනෑ කියලා. නමුත් පිටිය හදාගත්තත් මැච් එක ගහන්න කට්ටිය ඉන්නවද? රනිල් එක්ක, මහින්ද එක්ක, සජිත් එක්ක මේ මැච්එක ගහන්න බෑ. ඒ නිසා අපේ රටේ ජනතාවට කියනවා මැච් එක ගහන්න පුළුවන් හොඳම කණ්ඩායම තෝරගන්න කියලා.
අපි ආවාම අපිට කරන්න පුළුවන් දේ මාස 06න් කරලා පෙන්වනවා. නමුත් අවුරුදු 74ක් කාලා විනාශ කරපු රට මාස 06න් හදන්න පුළුවන්ද කියලා අපෙන් අහන්න එපා. නමුත් ඒ මාස 06 ඇතුළේ වංචාව දූෂණය නාස්තිය නතර කරලා පෙන්වනවා. නිවැරදි තීරණ ගන්න කියන රනිල් ජනාධිපති වැය ශීර්ෂය අඩු කළාද? එහෙම කළේ නැහැ. ජනාධිපති වැය ශීර්ණය 50%කින් අඩු කරලා පෙන්නුවා නම් ඔන්න ඒක නිවැරදි තීරණයක්. ඇමති මණ්ඩලේ වියදම් අඩු කරලා පෙන්නවා. නිල නිවාස වියදම් අඩු කරනවා. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරනවා. එහෙම කිව්ව නම් අහසට ගිය අයවැය පොඞ්ඩක් පොළවට බර වෙන්න තිබුණා. ආරක්ෂක වියදම් වැඩි කරගෙන තියෙනවා. නමුත් වියදම් කරන්න සල්ලි තියෙනවද දන්නේ නැහැ.
ඊට පස්සේ රනිල් කියනවා දූෂිතයින් හිරේ දානවා කියන එක ප්‍රවාදයක්ලු. රනිල් එහෙම කියන්නේ නැතුව ඒක යථාර්ථයක් කියන්නද? මහ බැංකුව කඩල විනාශ කරපු කෙනා වෙන මොනවා කියන්නද? දූෂිතයෙක් තවත් දූෂිතයෙක්ට දඩුවම් දෙන්නේ නැහැ කියලා අනුර සහෝදරයා නිතර කියනවා. ඒක දැන් රනිල් කියනවා දූෂිතයෝ ගැන මාත් එක්ක කතා කරන්න එපා කියලා. අපි රනිල්ගෙන් හොරුන්ට දඩුවම් දීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මේ ආර්ථික ක්‍රමය වෙනසක් ගැන සමාජ වෙළඳපොළ ආර්ථිකයක් නැත්නම් සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් හදනවලු. මොනවද මේ කියන්නේ. මඤ්ඤං වෙලා ඉන්නේ. වැරදුනා කියලා තේරුම් ගනිල්ලා. ඒක පිළිගන්නේ නැතුව බයිලා කියනවා. මේ රටේ ජනතාව රවට්ටන්න බෑ තවදුරටත්. පරාජය බාරගනිල්ලා. මේ ආර්ථිකය යටතේ කාටද ආරක්ෂාව සැලසුනේ. තමන්ගේ දරුවන් ආරක්ෂා කරගන්න අම්මලා තාත්තලා ඉස්කෝල ළඟ. කුඩුවලින් අයිස්වලින් තමන්ගේ දරුවන් බේරගන්න බෑ. දැන් ත්‍රෛයිලෝක විජය පත්‍ර ගැන කතා කරනවා. ඕක ආවොත් දේශපාලකයෝ බිස්නස් එක පටන් ගන්නවා. හොඳම උදාහරණය මේ රටේ වැඩිම බාර් පර්මිට් තියෙන්නේ දේශපාලකයින්ට.
තව පැත්තකින් විකුණන්න කතා කරනවා. එක වෙලාවක කිව්වා පාඩු ලබන ආයතන විකුණලා ලාබ ලබන්න පුළුවන් කියලා. දැන් කියනවා ලාබ ලබන ඒවා විකුණන්න ඕනලු සංචිතය වැඩි කර ගන්න. ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් කියනවා හෘදසාක්ෂිට අනුව එකඟ නෑලු නමුත් අයවැයට ඡන්දේ දෙන්න වෙනවලු. උන්ගේ අයවැය වැඩ කරන්නේ හරහට වෙන්න ඇති. මේ වගේ උන් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. රනිල් ලබන අවුරුද්දට ඉදිරිපත් කරන අයවැයෙන් කියන්නේ 2048 කියන දේවල්. ලබන අවුරුද්දේ කරන දේවල් ගැන මොකුත් කතාවක් නැහැ. කරන්න තියෙන්නේ ණය ගන්නවා. නැත්තන් සල්ලි අච්චු ගහනවා. ඒත් නැත්නම් දේශීය බැංකුවල සල්ලි ටික ගන්නවා. ලෙඩා මලත් බඩ සුද්දයි කියලා ඉන්නවා.
ඒ නිසා මේක වෙනස් කරන්න ඕනෑ. මේ දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විදියට අපි කතා කරන්නේ මේ අයවැය ගැන විතරක් නෙවෙයි. ජනතාව සමඟ මේ ආර්ථික කතා බහ අපි පටන් ගන්නවා. ජනතාව සමඟ මේ ගමන වෙනස් කරන ජවයට අපි එකතු වෙනවා.