Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

වියට්නාම් රජයේ ඉහළම දූත පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලට

(-2025.06.02 – Colombo-) වියට්නාම් රජයේ ඉහළම දූත පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු නියෝජිතයින් අතර හමුවක් ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (02) පස්වරුවේ සිදු කෙරිණි. ජාතික ජන බලවේගය පසුගිය මැතිවරණවලින් ලබාගත් ජයග්‍රහණය පිළිබඳව වියට්නාම් රජයේ සුබ පැතුම් පිරිනැමූ වියට්නාම් දූත පිරිස දෙරට අතර මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳවද විශේෂ අවධානයක් යොමු […]

(-2025.06.02 – Colombo-)

The Vietnamese delegation with the Tilvin Silva

වියට්නාම් රජයේ ඉහළම දූත පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු නියෝජිතයින් අතර හමුවක් ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (02) පස්වරුවේ සිදු කෙරිණි.

ජාතික ජන බලවේගය පසුගිය මැතිවරණවලින් ලබාගත් ජයග්‍රහණය පිළිබඳව වියට්නාම් රජයේ සුබ පැතුම් පිරිනැමූ වියට්නාම් දූත පිරිස දෙරට අතර මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳවද විශේෂ අවධානයක් යොමු වී ඇති බව ප්‍රකාශ කළේය.


ශ්‍රී ලංකාව ගොඩනැගීමේදී වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර දිගු කාලීනව පවතින මිත්‍රත්වය ප්‍රයෝජනවත් වනු ඇති බවට විශ්වාසය පළ කළ දූත පිරිස වියට්නාමය ලබා ඇති ආර්ථික ජයග්‍රහණ පිළිබඳ අත්දැකීම් ශ්‍රී ලංකාවට ලබාදෙන බව අවධාරණය කළේය.

මෙම අවස්ථාවට වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, ජනමාධ්‍ය, අධ්‍යාපන අංශ ප්‍රධානී Nguyan Trong Nghia, ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපති Trinh Thi Tam වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති, Ngo Dong Hai ඇතුළු නියෝජිතයින් 7 දෙනෙක් සහභාගී වූ අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජවිපෙ ජාතික සංවිධායක, අමාත්‍ය බිමල් රත්නායක, අමාත්‍ය, වෛද්‍ය ධම්මික පටබැඳි සහ ජවිපෙ ජාත්‍යන්තර අංශයේ කමිටු සාමාජිකා, නීතිඥ මධු කල්පනා සහෝදරියද සහභාගි වූහ.

Show More

“සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ” -ජනපති

(-2025.05.25 – Colombo-) පැරණි ගතානුගතික අගතීනවලින් නිදහස්ව නව ප්‍රගතිශීලි සමාජ ප්‍රගමනයක් වෙනුවෙන් ආණ්ඩුව පිහිටුවා තිබෙන බවත්, සමාජ ප්‍රගමනය සඳහා තබන පියවර ඉදිරියට ගෙන යනවා මිස ආපසු හැරවීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත් වූ පළාත් පාලන නව මන්ත්‍රීවරුන් […]

(-2025.05.25 – Colombo-)

  • මහජන ප්‍රශ්නයක් අරගෙන එන එක පුරවැසියෙක් හෝ නැවත කලකිරීමකින් යන්න ඉඩ දෙන්න එපා
  • අප සිදු කරමින් තිබෙන්නේ ඉතාමත් නරක දේ ,ඉතාමත් විනාශකාරී දේ,සිදු වෙමින් තිබුණු රටක වඩාත් යහපත් දේවල් ආදේශ කිරීමේ පරිවර්තනයයි
President AKD at Local government representative meeting

පැරණි ගතානුගතික අගතීනවලින් නිදහස්ව නව ප්‍රගතිශීලි සමාජ ප්‍රගමනයක් වෙනුවෙන් ආණ්ඩුව පිහිටුවා තිබෙන බවත්, සමාජ ප්‍රගමනය සඳහා තබන පියවර ඉදිරියට ගෙන යනවා මිස ආපසු හැරවීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත් වූ පළාත් පාලන නව මන්ත්‍රීවරුන් සමඟ අරලියගහ මන්දිරයේදී අද (25) පෙරවරුවේ පැවති හමුවේදීය.

මහජන ප්‍රශ්නයක් රැගෙන එන පුරවැසියෙකුට කලකිරීමෙන් යුතුව ආපසු යාමට ඉඩ නොතබන ලෙසද මෙහිදී නවක මන්ත්‍රීවරුන්ට පැවසූ ජනාධිපතිවරයා පුරවැසියාගෙන් නිරන්තරයෙන් ඉගෙන ගත යුතු දේ ඉගෙන ගනිමින් මහජන සේවය සැලසීමට කටයුතු කරන ලෙසද නව මන්ත්‍රීවරුන්ට පැවසීය.

අලුතින් දේශපාලනයට ප්‍රවිෂ්ට වන පිරිසට පළාත් පාලන දොර විවෘත කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කළ බවත්, මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ 3926ක් වන මන්ත්‍රීවරුන් අතරින් රට බාරගන්නා නායකයෙක් බිහි විය යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

සමාජයක් ඉදිරියට යාමට නම් නව ජාන, නව හුස්ම ඇතුළත් කළ යුතු බවත් නව දැනුම, නව තාක්ෂණය හා නව අත්දැකීම් එකතු කිරීමෙන් රටත්, සමාජයත් වේගයෙන් ඉදිරියට ගෙන යා හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Local government representative meeting crowd

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

අපි පසුගිය කාලයේ විශාල වෙහෙසකර ව්‍යායාමයක නිරත වුණා. මෑත ඉතිහාසය දෙස බැලීමේදී 2019 ජනාධිපතිවරණය ඉතා තීරණාත්මක ජනාධිපතිවරණයක් වුණා. අපේ දේශපාලන ව්‍යාපාරය මැතිවරණ පෙරමුණේ විශාල පසුබෑමකට ලක් වු සංඥාවන් පෙන්නුවා. අපි 3%ක ප්‍රතිශතයක් දක්වා පසුබෑමට ලක්ව සිටියා. අනතුරුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි ඊට කිට්ටු ඡන්ද ප්‍රතිශතයක් හා මන්ත්‍රිවරු තුන්දෙනෙකුගෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළා. අනතුරුව අපි ජනාධිපතිරණය ජයග්‍රහණ කළා. එහිදී අපි ජනාධිපතිවරයා ඇතුළු තුන් දෙනෙකුගෙන් යුත් ආණ්ඩුක් හැදුවා.

එම කාලය අතරතුර අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස විශාල අපහාස හා අවලාද වලට ලක් වුණා. විටක අපට අපේ සමීපතම මිතුරන් කථා කරලා කිව්වා ජනතාවට අවශ්‍යතාවයක් නැත්නම් ඔයගොල්ලෝ ඇයි මහන්සි වෙන්නේ, පැත්තකට වෙන්න කියලා. අපේ ගමේ සාමාජිකයන්, ජාතික ජන බලවේගයේ කොඩිය ඔසවාගෙන ගමේ පෙනී සිටින කෙනා ගම තුළ කොන් වුණා. ඇතැම් විටෙක එකිනෙකාගේ ඇණුම් පදවලට, හාස්‍යයට ලක් කිරීම වැනි දේට අපි මුහුණ දුන්නා.

නමුත් ජාතික ජන බලවේගය ලෙස අපිත්, මෙහි රැස්වී සිටින ඔබත් මින් පරිබාහිරව අපේ ව්‍යාපාරයේ විශාල බරක් අදින සැලකිය යුත් පිරිසක් අපි ජයග්‍රහණය කරනවා කියන ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව වැඩ කළා. ඒ අනුව අපි ජයග්‍රහණය කළා. හැබැයි 2019 පසුව ගත වූ වසර පහකට, හයකට පසු කාලය තුළ මෙවැනි පරිවර්තනයක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබුණේ 2019ට පෙර අපි ඉතිහාසයේ එක් කරගෙන තිබු ධෛර්ය, විශ්වාසය සහ ජනතාව කෙරෙහි පවතින අසීමිත ප්‍රේමය හා මේ මාතෘ භූමිය කෙරෙහි තිබෙන අකලංක බැදිම නිසයි. මේ මත තමයි අපිට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමට හැකි වුණේ.

අනතුරුව පළාත් පාලන මැතිවරණයේදී ලංකාවේ වැඩිම පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ දේශපාලන ව්‍යාපාරය බවට පත්වීමට අපිට හැකි වුණා. ඒ වගේම විශාල මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන් සංඛ්‍යාවක් පළාත් පාලන ආයතන නියෝජනය කිරීමට සමත් වුණා. පළාත් පාලන ආයතන 152ක් අපිට මන්ත්‍රීවරු ගැසට් කළ විගසම පිහිටුවීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තනි කඳවුරක් ලෙස වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තිබෙන්නේ අපටයි. නමුත් සුන්බුන් එකතු වූ විට අපි දෙක තුනට පිටුපසින් සිටිනවා. ඒ 115වම අපි සභා පිහිටුවනවා. ප්‍රජාතන්ත්‍රවාදය එයයි. ප්‍රාදේශීය සභාව තුළ ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ කර තිබෙන්නේ මේ සඳහායි. කොතැනවත් මේ සුන්බුන් එකතු කර සභාවක් පිහිටුවීමට ජන වරමක් ලැබී නැහැ. ඒ නිසා ජන වරමේ බලය තිබෙන්නේ අපි ළඟයි. ලංකා ඉතිහාසයේ ප්‍රගිතිශීලි, ප්‍රගතිගාමී ජනතාවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පිහිටුවා තිබෙන්නේ. ඔවුන් ප්‍රගතිශීලි සහ ඉදිරිගාමී ජනතාවක්. ඔවුන් ඉදිරිගාමී වි තිබෙන්නේ ජාතිවාදයේ මහා ගෝරණාඩුවට එරෙහිවයි. මොවුන් ජාතික සමගියේ එකතුවීම අපේක්ෂා කරන ලද ජනතාවක්. පසුගිය දශක ගණනාවක් පුරා මෙරට ආණ්ඩු පිහිටුවීම, ආණ්ඩු පෙරළිම පිටුපස සොයා බැලුවොත් සෑම විටම අඩු වැඩි ප්‍රමාණයෙන් ජාතිවාදය සහ ආගමික අන්තවාද උපයෝගී වී තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී අපිට එරෙහිව ඉදිරිපත් කළ සටන් පාඨ දෙස බැලුවොත් ඒ සියල්ල තුළ ගැබ්වී තිබුණේ නැවත ජනතාව ජාතිවාදී ග්‍රහණයකට කොටු කර ගැනීමේ ප්‍රයත්නයයි. එම අනුව අපිට ඡන්දය ලබා දුන් ජනතාව ප්‍රගතිශීලි, ප්‍රගතිගාමී ජනතාවක්. නායකයන් උඩට ඔසවා, මහරාජණන් යැයි සිහසුනේ වාඩි කරවා වන්දනාමාන කරන පොදු ජනතාවට වඩා ඉහළින් සිටින දේශපාලන කණ්ඩායමක් අතේ බලය තිබුණා. හැම විටම ජනතාවට ඉහළින් සිටින නායකයන් බිහි කිරීම තුළින් දේශපාලන බලය ආරක්ෂා කරගත්තා. ජනතාව එය ප්‍රතික්ෂේප කර ජනතාව සමග එකට ගැටෙන, උරින් උර ගැටී වැඩ කරන නව දේශපාලන නායකත්වයක් වෙනුවෙන් පෙරට පැමිණ අපිට ඡන්දය ලබා දුන්නා. එය අලුත් තත්ත්වයක්.

එපමණක් නොවෙයි ධනය සහ ධනය විසින් ඇති කරන ලද බලය අපේ රටේ දේශපාලනයේ ප්‍රධාන සුක්කානම බවට පත් වුණා. අපි ධනවත් හෝ ධනය විසින් ආරෝපණය කරන ලද බලයක් සහිත මිනිසුන් නොවෙයි. ධනය, බලය විසින් නිර්මාණය කරන ලද දේශපාලනය වෙනුවට අලුත් දේශපාලන වුවමනාවක් වෙනුවෙන් ජනතාව අපිව තෝරා පත් කර ගත්තා. ඒ වගේම පුද්ගලික නිදහස, විවේචනය කිරීමේ අයිතිය, යමක් පිළිබඳ ප්‍රතිචාර දැක්වීමේ අයිතිය සහිත විචාරශීලි සමාජයක අවශ්‍යතාව මෙම ජනවරම තුළ ගැබ් වී තිබෙනවා.

President AKD speaking to Local government representative meeting

සමානාත්මතාවය, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික ප්‍රතිලාභ සාධාරණ ලෙස ජනතාවට ගලාගෙන යාම ආදී ඉතා ප්‍රගතිශීලි වුවමනාවෙන්ගෙන් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ අපිව තෝරා ගත්තා. එසේ නොමැතිව පැරණී දේ නැවත නැවත සිදුවීමට නම් අපිව තෝර ගන්නේ නැහැ. ඊට අවශ්‍ය සුදුසුකම් සුපරන බොහෝ අය සිටියා.

ඒ නිසා ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටුවීම තුළින් අපේ රටේ සමාජය සහ දේශපාලනය නව පියවරකට ඔසවා තබා තිබෙනවා. මෙය සමාජ ප්‍රගමනයේ පියවරක්. ලෝකය ඉදිරියට පැමිණ තිබෙන්නේ සමාජය ප්‍රගතිගාමී ලෙස ප්‍රගමනයට භාජනය වීමෙනුයි. අලුත් තලයකට, බලාපොරොත්තු සහ අපේක්ෂාවන් වෙත සමාජය ගෙන යාම තුළින් තමයි සමාජ සංවර්ධනය ඇති වන්නේ. ඒ නිසා ජාතික ජනබලවේගය ආණ්ඩුව යනු සමාජය අලුත් අදියරකට ඔසවා තැබීමේ අවස්ථාවක්. පැරණි ගතානුගතික අගතීන්වලින් නිදහස්ව නව ප්‍රගතිශීලි සමාජ ප්‍රගමනයක් වෙනුවෙන් අපේ ආණ්ඩුව පිහිටුවා තිබෙනවා. එසේනම් සමාජ ප්‍රගමනය සඳහා තබන ලද මෙම පියවර ඉදිරියට ගෙන යනවා හැරුණු විට ආපසු හැරවීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවට අපි මේ රටේ ජනතාවට සහතික වෙනවා.

ඒ නිසයි අපි සෑමවිටම කියන්නේ ඔබ ආණ්ඩුවක් ගන්නවා නම් අපිට වඩා හොඳ වෙන්න කියලා. සමාජයක් රටක් ලෙස මේ තබා තිබෙන දියුණු පියවර ආපසු හරවන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපිට විරුද්ධව දේශපාලන කඳවුරක් නැහැ. සුන්බුන් ගොඩක් පමණයි තිබෙන්නේ, මතවාදයක් සහ සමාජයේ ඉදිරි දැක්මක් සහිත කිසිවෙක් නැහැ. ඉතාමත් අපරිණත ළදරු දේශපානලයක් එළියේ තිබෙන්නේ. එක් අයෙකුට මම අභියෝගයක් කරනවා ජනාධිපති වෙන්න නොවෙයි, මාස හයක් ඇතුළත පාර්ලිමේන්තුව පැමිණ පෙන්වන්න කියලා. පාර්ලිමේන්තුවට එන්න විදිහක් නැහැ. හැබැයි රටේ නායකයා වෙනවලු. අප අභිමුඛව තිබෙන්නේ දේශපාලන කඳවුරක් නොවෙයි, සමාජයක් ලෙස අප අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණ ආපසු හැරවීම සඳහා වූ අගතීන්වල එකතුවක්. ජාතික සමගිය වෙනුවට ජාතිවාදී අගතීන්වල එකතුවක්. ජනතාව සමග එකට ගැට ගැසී තිබෙන දේශපාලනයක් වෙනුවට ජනතාවට උඩින් ඉන්න මාන්නක්කාර දේශපාලනයක්. එසේනම් කිසිවිටෙක ඒ අගතීන්වල අඬහැරයට ඔබ සැලෙන්න එපා. අපි නියෝජනය කරන්නේ එතනින් ඔබ්බට යන නව සාමජයක අපේක්ෂාවයි. ඒ නිසා කුඩා කුඩා අගතීන්ට හැරවිය නොහැකි දේශපාලන ව්‍යාපාරයක් ලෙස එම අගතීන් ඉදිරියේ සැලිය යුතු නැහැ. අපි ඝෝෂාවට කලබල විය යුතු නැහැ. ඔබ මන්ත්‍රීවරු ලෙස ගමට නායකත්වය ලබා දෙනවා. ඔබ සෘජුව ඒ සඳහා පෙනී සිටිය යුතුයි.

මේ අගතීන් ඉදිරියේ නොසැලී, ජාතිවාදයට, ගෝත්‍රිකවාදයට හෝ ප්‍රචණ්ඩකාර දේශපාලනයකට හෝ ජනතාවට උඩින් සිටින දේශපාලනයකට, මහජන ධනයෙන් විරාජමානව වැජඹෙන දේශපානලයකට යළි ඉඩ නොතබා අපි ඉතා ශක්තිමත්ව සිටිය යුතුයි. මේ රට ඉදිරියට ගෙන යන ඉදිරිගාමී බලවේග අපේ ආණ්ඩුවයි.

ඒ වගේම මහජන නියෝජිතයා පිළිබඳ නව අර්ථකථනයක් මේ සමාජයට අවශ්‍යයි. බොහෝ දුරට අපේ රටේ පුරවැසියන් මහජන නියෝජතයන් හඳුනා ගන්නා සමීපතම කැඩපත පළාත් පාලන මන්ත්‍රීවරයායි. ඔබ තුළින් තමයි ගමේ පුරවැසියාට ජාතික ජනබලවේගය ආණ්ඩුව පිළිබඳව පළමු මතය ගොඩනැගෙන්නේ. ඒ නිසා ඔබට පැවරී ඇති කාර්යභාරය විශාලයි. ඔබ වංචාවෙන් දුෂණයෙන් තොර විය යුතුයි.

ගමේ පුරවැසියාට දේශපාලඥයා පිළිබඳ ප්‍රථම චිත්‍රය දූෂණ දේශපාලනයක් කියා හඳුන්වා දුන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයායි. මෙම දුෂිත දේශපාලන කඳවුරු ඉබේ බිහිවුණේ නැහැ. උඩ සිටින අයගේ බලය ආරක්ෂා කර ගැනීම සඳහා මොවුන් අවශ්‍ය වුණා. එම අවශ්‍යතාවය නිසාම දූෂණයට දිරි දුන්නා. ඒ නිසා ග්‍රාමීය දුෂණය එහි දේශපාලන බලය ආරක්ෂා කර ගැනීමේ මෙවලමක් වුණා. ඒ වගේම ගමේ ජනතාව බියට පත් කරන චණ්ඩි නිර්මාණය වුණේ ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතනවලින්. ඔවුන් ගමේ ජනතාව බියට පත් කරමින්, දේශපාලන ව්‍යාපාරයකට නිදහසේ වැඩ කරන්න ඉඩ නොදී ගමේ විනාශකාරී බල අධිකාරිය පැවතියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහ සභාපතිවරයා අතෙයි. එයට උඩ සිටින දේශපාලනඥයන්ගේ ආශිර්වාදය ලැබුණා. ඒ අයුරින් එදා සිටි නායකයන්ගේ යටත් කර ගැනීමේ මානසිකත්වය වෙනුවෙන් උපයෝගී කර ගත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුයි. ඒ නිසා අපි ගමට අලුත් දේශපාලන සංස්කෘතියක් සහ ප්‍රමිතියක් හදුන්වාදිය යුතුයි.

Crowd at Local government representative meeting

අද අපේ රටේ ගමේ දේශපාලනයේ ප්‍රමිතිය වන්නේ වැඩි බලය සහ චණ්ඩිකමයි. ඒ වගේම වැඩි ධනය වෙනුවෙන් හොරකමයි. ඒ වෙනුවට අපි ගම තුළ නව දේශපාලන ක්‍රමයක් ස්ථාපිත කළ යුතුයි. සැබෑ මහජන නියෝජිතයා යනු කවරෙක්ද, මහජනයාගේ ධනය සතයක් සොරකම් නොකරන, මහජනයාට අදාළ නීතියට යටත්වන, ඇතැම්විට පොදු පුරවැසියාටත් වඩා වැඩියෙන් ආදර්ශයක් තමන්ගේ ගමට ගෙනත් දෙන පුද්ගලයෙක් බවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පත්විය යුතුයි. අපිට අවශ්‍යයි අපේ රටට නව දේශපාලන ප්‍රමිතියක්. එම දේශපාලන ප්‍රමිතිය ගම තුළට හඳුන්වාදිය යුතුයි.

අපි අද උඩින් ආරම්භ කර තිබෙන නව දේශපාලනඥයා පිළිබඳ අදහස බිම් මට්ටමට ගෙන ගොස් නව දේශපාලනය ධාරාව බවට පත් කරමින් රට තුළ ස්ථාපිත කළ යුතුයි. මෙම නව ප්‍රමිතින් අපේ රටේ දේශපාලනයට හඳුන්වාදීමට සහ ගම තුළ ස්ථාපිත කිරීමට ඒ තුළම පැරණි අගතිගාමී එකතුව පරාජය වෙනවා. ඒ නිසා නව ප්‍රමිතින් සහ නව අගයන් අපි සමාජය තුළ ස්ථාපිත කළ යුතුයි. එම අගයන් නියෝජනය කළ හැකි වන්නේත්, ඒ සඳහා පෙනී සිටිය හැකි වන්නේත්, ඊට ආදර්ශයක් සැපයිය හැකි වන්නේත් අපට පමණයි කියා අප තහවුරු කළ යුතුයි.

ඊළඟ මේ පළාත් පාලන ආයතන මොනවාද? එය ඔවුන්ට අනුව තමන්ගේ ගජ මිතුරන් , තමන්ගේ ඥාතීන් ඉදිරි දේශපාලන පියවර විවෘත කරන එක. එහෙම නැතුව නව නායකයෙන්, නව හැකියාව සහිත කණ්ඩායම්, ප්‍රාදේශීය දේශපාලනයේදී හඳුනාගෙන ඔවුන්ට උඩට යාමට අවස්ථාව ලබා දෙමින් අපේ රටේ අනාගතය නව නායකත්වයකට භාර දීම සඳහා ගොඩනැගුණු තැන් නෙවෙයි. පළාත් පාලන ආයතනය වැදගත් වෙන්නේ අලුත්ම දේශපාලන ක්‍රියාකාරිකයින්, නව අදහස් තිබෙන, නව වුවමනාවන් තිබෙන, ප්‍රගතිශීලීත්වය නියෝජනය කරන, අලුත් තරුණයෙක් ඉන්නවා. ඒ තරුණයාට පැරණි දේශපාලනයේ කිසිදු ඉඩක් නෑ. ආසන සංවිධායකට අනුගත සාමාජිකයෙක් ඉන්නවනම් පළාත් පාලන ආයතනයේ ඔහුට තමයි තැන දෙන්නේ. එහිදී ආසන සංවිධායකවරයාගේ බලයට තර්ජනයක් නොවන නායකයකුට තමයි අවස්ථාවාව හිමිවෙන්නේ. ආසන සංවිධායකගේ සියලු විනාශකාරී දේවල්වලට උදව් කරන සාමාජිකයෙක් වෙන්න ඕනේ, ඥාතියෙක් ඉන්න ඕනේ, මිතුරෙක් ඉන්න ඕනේ. ඒ නිසා මේ පළාත් පාලන ඔවුන්ගේ අපරාධයන්ගේ ආරක්ෂාව සහ අපරාධ මෙහෙයවීම සඳහා උපයෝගී කරගත් ආයතන බවට පත්වෙලා තිබුණා. අප ඊට වඩා වෙන තැනකට යන්න ඕනේ.

අලුතින් දේශපාලනයට ප්‍රවිශ්ට වන කෙනෙකුට මේ පළාත් පාලනය දොර විවෘත කරන්න ඕනේ. අලුත් අදහස් වලට ඉඩ දෙන්න ඕනේ. සංවාද වලට ඉඩ දෙන්න ඕනේ, නව නායකයන් හදන්න ඕනේ, මේ 3926 ඇතුලෙ මේ රට භාරගන්න නායකයෙක් අපි හදන්න ඕනේ. අවශ්‍ය නම් නායකත්ව මණ්ඩලයක් ගොඩනගන්න ඕනේ. සමාජයක් ඉදිරියට යන්නේ එකම මිනිස් කණ්ඩායමක් එක දිගට බලයේ සුවිශේෂී තැන් අත්පත් කර ගැනීමෙන් නෙවෙයි. කොච්චර හොඳ උනත් සමාජයක් ඉදිරියට යාමට නම් නව ජාන, නව හුස්ම ඇතුල් කරන්න ඕනේ. එවිට සජීවීකරණය වන ආණ්ඩුවක් ඉන්නවා. එය තමයි ගතික චලනය වන ආණ්ඩුවක්. අපට ඕනේ නිරන්තරයෙන් අලුත් වන පාලනයක්, නිරන්තරයෙන් අලුත් වන නායකයින් ගොඩනැගෙන පාලනයක්. නිරන්තරයෙන් වගකීම් බාරගන්නා පාලනයක්, අපට අවශ්‍ය එයයි. අපේ දේශපාලන ව්‍යාපාරය අලුත් කරන්න අලුත් නායකයෙන් හදන්න ඔබට අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ඔබ එයට ලෑස්තිද?

අපට තියෙන්න ඕනේ මහජනයත් එක්ක සමීප සබඳතාවයක්. අප තාමත් දේශපාලන ව්‍යාපාරයක් හැටියට මතවාදයකින්, බලාපොරොත්තුවකින් ජනතාව පෙළගස්වා තිබෙනවා. නමුත් අපි තවමත් ජනතාව සමඟ ඓන්ද්‍රිය සබඳතාවයක් තිබෙනවා. ජනතාවගේ වේදනාවන් සතුට බෙදා හදාගන්නා ව්‍යාපාරයක් බවට මේක පරිවර්තනය වෙන්න ඕනේ. ඒ සඳහා මහජන නියෝජිතයන්ට පැවරෙන කාර්යභාරය ඉතා විශාලයි. සීමා රහිත කණ්ඩායමකින් මහජනතාව සමග බැඳීම් ගොඩනැගෙන කණ්ඩායමක් සකස් විය යුතුයි. මහජන ව්‍යාපාරය ගොඩනගන්න නම් ජනතාව සමග සමීපව දේශපාලනයක් අපි කරන්න ඕනේ. ඒ නිසා ඔබ මහජනයා සමග ගැටෙන්න ඕනේ. සමහර විට ඔබට මහජනතාව ප්‍රශ්න ගෙන ඒවි. ඒ වෙනකොට ඊට වඩා ප්‍රශ්න රැසකට ඔබ මුහුණ දී සිටින්න පුළුවන්. ඔබ අභියෝගයකට මුහුණ දී සිටින්න පුළුවන්.

නමුත් මතක තබාගන්න ඔබ ඉදිරියට එන පුරවැසියා ගෙන එන්නේ ඔහුගේ ප්‍රධාන ප්‍රශ්නයයි. අපි මනින්න ඕනේ පුරවැසියාගේ ප්‍රශ්නය පුරවැසියාගේ ලෝකයෙන් මිස අපේ ලෝකයෙන් නෙවෙයි. හැබැයි යම් ප්‍රමාණෙකට ගොඩනැගෙමින් තිබෙනවා පුරවැසියාගේ ප්‍රශ්න අපේ ලෝකයේ ප්‍රශ්නයක් ලෙස දකින්න. ඔබ පුරවැසියාගේ ප්‍රශ්නය පුරවැසියාගේ ලෝකයේ තුළදී මනින්න. පුරවැසියාට සවන් දෙන්න. පුරවැසියාගේ ප්‍රශ්නය විසඳීමට උපරිමය කරන්න. එසේ කළ නොහැකි නම් එකතුව විසඳීම සඳහා ප්‍රයත්නයක් දරන්න. මහජන ප්‍රශ්නයක් අරගෙන එන එක පුරවැසියෙක් නැවත කලකිරීමකින් යන්න ඉඩ දෙන්න එපා. සෑම පුරවැසියෙකුම ඔබ කෙරෙහි විශ්වාසය තබා පැමිණෙන බව මතක තබා ගන්න. ඔබට මිනිස්සු බනී. ඔබේ සියලු දේවල් ඉවසමින් ඉදිරියට යන්න කටයුතු කරන්න. ජනතාවගෙන් හැම වෙලේම ඉගෙන ගන්න. ජනතාවගේ හැම ප්‍රශ්නෙකටම යම් තර්කනයක් තියෙනවා. ඒ තර්කනයට අනුවයි ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ. ඒ නිසා ඔබ නිරන්තරයෙන් ජනතාවගෙන් ඉගෙන ගන්න. මහජනතාවගේ කෝපයට ඔබගේ ප්‍රතිචාරය කෝප ගැනීම නෙවෙයි. මහජනතාවගේ බැනීමට ඔබගේ ප්‍රතිචාරය බැනීම නෙවෙයි. මහජනතාවගේ ප්‍රතිචාරයට ඔබගේ ප්‍රතිචාරය ඉගෙන ගැනීමයි.

අපට අවශ්‍ය මහජනතාව සමඟ සිටින නව පුළුල් මහජන ව්‍යාපාරයක්. මෙය පරිවර්තනීය අවධියක්. රට හරි දිශාවට පරිවර්තනය වෙමින් තිබෙන අවධියක අප සිටිනවා. අප සදා නිමකර සිටින අවධියක ඉන්න අය නෙවෙයි. අප සිදු කරමින් තිබෙන්නේ ඉතාමත් නරක දේ ,ඉතාමත් විනාශකාරී දේ ,සිදු වෙමින් තිබුණු රටක වඩාත් යහපත් දේවල් ආදේශ කිරීමේ පරිවර්තනයයි.

Show More

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ (WFDY) උප සභාපති ධූරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ, සමාජවාදී ශිෂ්‍ය සංගමයට

(-2025.05.21 – Colombo-) ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ (WFDY) උප සභාපති ධූරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ, සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් මහේල අමරසූරිය තේරීපත්විය. මැයි මස 20-26 දිනවලදී නැමීබියාවේ පැවැත්වෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ 21 වෙනි මහ සභා රැස්වීමේදී මෙම පත්කිරීම සිදුව ඇත. එහිදී මැයි මස 21 දින පැවති ආසියා – පැසිෆික් කලාපීය රැස්වීමේදී සමාජවාදී ශිෂ්‍ය […]

(-2025.05.21 – Colombo-)

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ (WFDY) උප සභාපති ධූරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ, සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් මහේල අමරසූරිය තේරීපත්විය.

මැයි මස 20-26 දිනවලදී නැමීබියාවේ පැවැත්වෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ 21 වෙනි මහ සභා රැස්වීමේදී මෙම පත්කිරීම සිදුව ඇත. එහිදී මැයි මස 21 දින පැවති ආසියා – පැසිෆික් කලාපීය රැස්වීමේදී සමාජවාදී ශිෂ්‍ය සංගමය මහා මණ්ඩලය සඳහා තේරී පත්වූ අතර, ඉන් අනතුරුව මැයි මස 24 දින පැවති මහාමණ්ඩල රැස්වීමේදී සංවිධානයේ උප සභාපති ධූරය සඳහා වැඩි ඡන්දයෙන් තේරීපත්ව ඇත.

1945දී ආරම්භ වූ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය ලොව විශාලතම අධිරාජ්‍යය විරෝධී තරුණ සහ ශිෂ්‍ය සංවිධානය වේ. ලොවපුරා රටවල් ගණනාවක් නියෝජනය කරමින් සංවිධාන 152ක් මේ වන විට එහි පූර්ණ සාමාජිකත්වය දරයි.

මෙම 21 වන මහ සභවාරයේදී එහි සභාපති ධූරය සඳහා පෘතුගාලයේ JCP තරුණ සංවිධානයත්, ලේකම් ධූරය සඳහා කියුබාවේ UJC සංවිධානයත්, අනෙකුත් උප සභාපති ධූර 2 සඳහා ලෙබනනයේ ULDY සහ නැමීබියාවේ SWAPO YL සංවිධානයත් තේරීපත්විය.

මෙම මහ සභා රැස්වීම සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක රංගන දේවප්‍රිය, ජාතික කමිටු සාමාජික මහේල අමරසූරිය සහ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සම්බන්ධ විය.

Mahela Amarasooriya
Show More

“යුද්ධය යනු ඛේදවාචකයක් යළිත් එවන් ඛේදවාචකයක් රට තුළ ඇතිවීමට ඉඩ නොදෙමු.” ජනපති 16 වන රණවිරු සැමරුම් උත්සවය අමතමින් කියයි-

(-2025.05.19 – Colombo-) “දෙමව්පියනි, ඔබ ඔබේ දරුවා, බිරින්දෑවරුනි, ඔබේ ස්වාමියා මේ මාතෘ භූමියේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කැප කළා. ඔබ ශ්‍රේෂ්ඨ මාතාවන්. ඔබ ශ්‍රේෂ්ඨ බිරින්දෑවරුන්. එහෙත් එහි අවසන් ප්‍රතිඵලය විය යුත්තේ කුමක්ද? ඔබගේ දරුවාට, ඔබගේ ස්වාමියාට, ඔබගේ මිතුරාට, ඔබගේ ඥාතියාට ඉටු කළ හැකි ඉහළම සාධාරණත්වය වන්නේ මේ රටේ සාමය ස්ථාපිත කිරීමයි. මෙම ස්මාරකය ඉදිරිපිට සිට […]

(-2025.05.19 – Colombo-)

President AKD addressing at war hero commemoration

“දෙමව්පියනි, ඔබ ඔබේ දරුවා, බිරින්දෑවරුනි, ඔබේ ස්වාමියා මේ මාතෘ භූමියේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කැප කළා. ඔබ ශ්‍රේෂ්ඨ මාතාවන්. ඔබ ශ්‍රේෂ්ඨ බිරින්දෑවරුන්. එහෙත් එහි අවසන් ප්‍රතිඵලය විය යුත්තේ කුමක්ද? ඔබගේ දරුවාට, ඔබගේ ස්වාමියාට, ඔබගේ මිතුරාට, ඔබගේ ඥාතියාට ඉටු කළ හැකි ඉහළම සාධාරණත්වය වන්නේ මේ රටේ සාමය ස්ථාපිත කිරීමයි. මෙම ස්මාරකය ඉදිරිපිට සිට ඊට නිසි ගෞරවය පුද කිරීම යනු, යළි රට තුළ ගැටුමක් ඇතිවීමට ඉඩ නොතබා, වෛරය සහිත සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් සහ ප්‍රේමයෙන් යුතු සමගිය පිරි සමාජයක් නිර්මාණය කිරීමට සූදානම් බවට වන පණිවිඩය ශපථ කිරීමයි” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) පස්වරුවේ බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස පැවති 16 වන රණවිරු දින සැමරුම් උත්සවය අමතමිනි.

දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධය අවසන් කරමින් ලැබූ ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත් අයුරින් පැවැත්විණි.

මෙහිදී ජනාධිපතිතුමා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය,

දශක ගණනාවක් අපේ රට යුද්ධකට මුහුණ දුන්නා. රටට, ජනතාවට විශාල විනාශයක් අත්කර දුන් එම යුද්ධය මීට වසර ගණනාවකට පෙර අවසන් කිරීමට අපිට හැකියාව ලැබුණා. මෙම යුද්ධය අවසන් කිරීමේදී ජීවිත පරිත්‍යාග කළ අපේ හමුදා නිලධාරින් සහ සොල්දාදුවන් අපි අද සමරනවා. ඒ අනුව අද ඉතා වැදගත් හා ඓතිහාසික දිනයක් බව කිව යුතුයි.

මෙම සැමරුම එම යුද්ධය අවසන් කිරීමේ ඓතිහාසික සැමරුමක් වගේම යළි අපේ රටේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්,මැලේ සියලු ජනතාව එක රටක් තුළ සමගියෙන්, සහෝදරත්වයෙන් මේ රට ගොඩනැඟීම සඳහා පොරබදන මොහොතක්ද වෙනවා.

මෙම වසර ගණනාවක යුද්ධය අවසන් කිරීම සඳහා අපේ සොල්දාදුවන් විශාල පිරිසක් ජීවිත පරිත්‍යාග කළා. මෙම පුවරුව පිරෙන්න ඔවුන්ගේ නම් තිබෙනවා. මේ පුවරුවලින් පෙන්නුම් කරන්නේ යුද්ධය අවසන් කිරීම සඳහා ඔවුන් සිදු කරන ලද කැපවීමයි. ඒ වගේම සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් සදාකල් ආබාධිත තත්ත්වයට පත් වුණා. අදත් අප අතර ජීවත් විය යුතු විශාල පිරිසක් යුද්ධය අවසන් කිරීම සඳහා සිය ජීවිතය පරිත්‍යාග කළා. තවත් පිරිසක් තමන්ගේ ඇස්, අත්, පා ශරීර අවයව සියල්ල පරිත්‍යාග කළා.

President AKD at war hero commemoration

එපමණක් නොවෙයි, ඔවුන්ගේ ඥාතීන්, මිතුරන්, දෙමාපියන්, බිරින්දෑවරු, ස්වාමියා ඇතුළු සියලුදෙනා මේ යුද්ධය අවසන් කිරීම සඳහා කරන ලද මහා ව්‍යායාමයේදී විශාල කැපකිරීමක් සිදු කළා. මා හිතනවා රටක් ජාතියක් ලෙස අපි සැමදෙනා සැමදා ඔවුන් අනුස්මරණය කළ යුතුයි. මේ රට හැමදාමත් ඔවුන්ට ණයගැතියි. ඒ පිළිබඳව ඉතාමත් භක්තිමත් බැඳීමක් ඔවුන් සහ අප අතර තිබෙනවා.

නමුත් “යුද්ධය” යන වචනයට තිබෙන්නේ “යුද්ධය” යන්නම පමණයි. යුද්ධය විශාල ඛේදවාචකයක්. යුද්ධය විශාල විනාශයක්. මටත් වඩා වැඩියෙන් එය යුද බිමේ සටන් කළ ඔබ දන්නවා. යුද්ධය මොනතරම් ඛේදවාචකයක්ද, විනාශකාරීද කියා.

නමුත්, මේ සටන් කරන ලද කිසිවෙක් යුද්ධ කළේ යුද්ධය අපේක්ෂාවෙන් නොවේ. ඒ හැමදෙනාම යුද්ධ කළේ සාමය අපේක්ෂාවෙන්. යුද්ධය මොනතරම් ඛේදවාචකයක්ද. අද උතුර, දකුණ කියා භේදයකින් තොරව මේ යුද්ධයේ විනාශයේ සහ ඛේදවාචකයේ නටඹුන් මතින් ගොඩනැඟී තිබෙන අයුරු අපි දැක තිබෙනවා.

පියවරු අහිමි වූ දරුවන්, දරුවන් අහිමි වූ දෙමාපියන්, ස්වාමියන් අහිමි වූ බිරින්දෑවරුන් මේ මාතෘ භූමියේ තවමත් සුසුම් හෙළමින් ජීවත් වෙනවා. මෙම නාම පුවරුවල ලියා තිබෙන නම් අතර තමන්ගේ පුතාගේ නම තිබෙනවාද, තමන්ගේ ස්වාමියාගේ නම තිබෙනවාද, තමන්ගේ දරුවාගේ නම තිබෙනවාද කියා ඇගිලි තබමින් නම් සොයන අය සිටින බව මම දන්නවා. අපේ අම්මලාගේ, බිරින්දෑවරුන්ගේ, දරුවන්ගේ වේදනාවේ ප්‍රමාණය අපි දන්නවා. ඔවුන් අභිමානයක් සහිතව එහෙත් වේදනාවෙන් තමගේ ඥාතින් සොයනවා.

යුද්ධය යනු ඛේදවාචකයක්. එවන් විශාල ඛේදවාචකයකට මුහුණ දුන් රටක් ලෙස වර්තමානයේ ජීවත්වන අපගේ වගකීම වන්නේ යළි එවැනි පන්නයේ යුද්ධයක් රට තුළ ඇතිවීම වැළැක්වීමයි. යුද්ධ කරන රටක් වෙනුවට ගැටුම් ඇති නොවන, සැකය,කෝපය වෛරය වෙනුවට සහෝදරත්වයේ බැඳීම, ආදරය, ප්‍රේමය තිබෙන රටක් නිර්මාණය කළ යුතුයි.

දකුණේ පමණක් නොවෙයි, උතුරේ ජනතාවත් ඡායාරූපයක් මහ මග තබාගෙන තමන්ගේ ස්වාමියා, තමන්ගේ දරුවා පිළිබඳ විලාප දෙනවා. සෑම දෙමාපියෙකුටම තමන්ගේ දරුවා දරුවෙක්. “උනහපුළුවාට තමන්ගේ දරුවා මැණිකක්”. එසේ නම් එවන් විශාල ඛේදවාචකයකට මුහුණ දුන් රටක් ලෙස වර්තමානයේ ජීවත් වන අපේ වගකීම වන්නේ යළි එවැනි පන්නයේ යුද්ධයක් අපේ රට තුළ ඇතිවීම වැළැක්වීමයි.

Officers at war hero commemoration

අපේ පරම්පාරව යුද්ධ කර තිබෙනවා. අපේ පරම්පරාව අතර වෛරය, ක්‍රෝධය, සැකය පැතිරී තිබෙනවා. නමුත් අපි අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ නොකරන රටක්, ගැටුම් ඇති නොවන රටක්, සැකය,කෝපය වෛරය වෙනුවට සහෝදරත්වයේ බැදීම, ආදරය, ප්‍රේමය තිබෙන රටක් නිර්මාණය කළ යුතුයි. අපේ සියවසේ සිදුවීම්, සිදුවීම් බවට පත්වීමට ඉඩදී අත්හැරිය යුතු නැහැ, යහපත් මිනිසුන් ලෙස අපි සිදුවීම්වලින් පාඩම් ඉගෙන ගෙන ඒවා අත්දැකීම් බවට පත් කරගත යුතුයි.

එසේනම් මහා ඛේදවාචකයක් සහිත ඉතිහාසය විසින් අපිට කියන්නේ කුමක්ද, යළි එවැනි තත්ත්වයක් අපේ මාතෘභූමිය තුළ ඇති වීමට ඉඩ නොතැබිය යුතුයි කියන හඩයි. ඒ අත්දැකිම්වලින් අපිට පෙන්වන්නේ අපෙන් පසු පරම්පරාව යළි යුද ගැටුමකට යා යුතුයි කියා නොවෙයි. ඒ අත්දැකීම් අපට පෙන්වා දෙන්නේ යුද්ධයෙන් තොර රාජ්‍යයක්.

මෙම යුද ස්මාරකය ඉදිරිපිට අප සිටගෙන ඔවුන්ට නිසි පරිදි ගෞරවය ඉටු කරනවා යනු යළි ගැටුමක් ඇති වීමට ඉඩ නොතබා වෛරයක් සහිත සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් ආදරය සමගිය පිරි සමාජයක් නිර්මාණය කිරීමට සූදානම් කියන පණිවිඩය මෙය ඉදිරියේ තබා ශපථ කිරීමයි.

විශේෂයෙන් තමන්ගේ දෙපය බිම තබා ඇවිදිය නොහැකි සොල්දාදුවන් අද මා ඉදිරිපිට සිටිනවා. මා අද උදෑසන ඔවුන් බලන්න ගියා. ඉතා දිගු කාලයක් පුරා ඇතැම් අය 1996 සිට අවුරුදු 30කට ආසන්න කාලයක් ඇදක පමණක් තම ජිවිතය ගත කරනවා. එක් අයෙක් 1988 සිට එලෙස සිටින බව පැවසුවා. ඔවුන් තමන්ගේ සිතිවිලි වචන බවට පෙරළා ගත නොහැකිව කදුළු පිරි දෙනෙතින් ඒ දුක් පෙන්නුම් කරනවා. මෙම ඛේදවාචකය අපි අවසන් කළ යුතුයි. අනාගත පරපුරට අපි භාර දිය යුතු වන්නේ සමගි සම්පන්න රාජ්‍යයක් නොවේද?

එහෙත් අද රට තුළ සිදුව තිබෙන්නේ විටින් විට තමන්ගේ බලය ලබා ගැනීම, බලය ආරක්ෂා කර ගැනීම සහ බලය තර කර ගැනීම වෙනුවෙන් මෙම යුද ගැටුම්, ජාතිවාදය සහ අන්තවාදය උපයෝගි කර ගැනීමයි. මේ කිසිවක් ස්වභාවිකව ඇති වූවක් නොවේ. විටින් විට තමන්ගේ බලය ලබා ගැනීම සහ බලය ආරක්ෂා කර ගැනීම සඳහාත්, තමන් විසින් කරන ලද අපරාධ වසන් කර ගැනීම සඳහාත් උපයෝගි කරගෙන තිබෙනවා. එසේ නොවන්න ෆීල්ඩ් මාර්ෂල් වසර දෙක හමාරකට වැඩි කාලයක් සිරගතව සිටීමට හේතුවක් නැහැ. එම අවදියේ ඔහු සහ මම ඉතා සමීපව ඇසුරු කළා. එහි තිබුණේ බලය මිස නීතිය හෝ යුක්තිය නොවෙයි. ඒ අයුරින් ඉතිහාසය මේ ගැටුම් සහ යුද්ධ බලය ලබා ගැනීම සහ බලය ශක්තිමත් කර ගැනීම සඳහා උපයෝගී කරගෙන තිබෙනවා. එහි වින්දිතයන් බවට උතුරෙත්, දකුණෙත් අපේ දරුවෝ පත් වී තිබෙනවා.

මෙවැනි යුද්දයක් ඇතිවීම සඳහා කිසිදු සාධකයක් නොසැපයූ, ඒ වෙනුවෙන් වැඩ නොකළ අපේ ගම්වල සාමාන්‍ය මව්පියවරුන්ගේ දරුවන් මිය ගියා. ඒ නිසා යුද්ධය යනු ඛේදවාචකයක් කියා අප ඉතා දැඩිව තේරුම් ගත යුතුව තිබෙනවා. යුද්ධය යනු විනාශයක්. නමුත් ඇතැම් අය නැවත නැවත පරාජිත සහ ප්‍රතික්ෂේප වූ කණ්ඩායම් හිතනවා යුද්ධය යනු ආශ්වාදයක් කියා. යුද්ධය යනු මිහිරි අත්දැකීමක් කියා ඔවුන් සිතනවා. නමුත් පොදු සමාජයට එසේ නොවෙයි. එසේ නම් මේ බොල් හඩට අපි තවදුරටත් බිය විය යුතුද. අපි සැමදෙනා එකවිට නැගිට සාමය අවශ්‍ය බවට හඩ නැගිය යුතුයි. අපේ හදවත, අපේ ප්‍රකාශයන් සහ අපේ ප්‍රවේශය යන සියල්ල අපි සාමය වෙනුවෙන් පෙළගැස්විය යුතුයි.

Statue of war hero commemoration

සාමය පාවා දීමේ ලකුණක් බවට පත් වෙමින් තිබෙනවා. සංහිඳයාව පාවා දීමක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. මිනිසුන් සමාජයක් ලෙස වර්ධනය වන විට තව තවත් උස් හඬින් අප ගෙන ආ යුතු වන්නේ මානවවාදය. මනුෂ්‍යත්වය. අපේ රට තුළ පමණක් නොවේ. ලෝකය පුරා ඇති වී තිබෙන යුද ගැටුම්වලින් ලෝකයට අත්පත් කර තිබෙන්නේ කුමක්ද? ජයග්‍රහණද? නෑ. විනාශයයි. ඒ නිසා මම හිතනවා අපි තිර අදිටනකින් වැඩ කළ යුතුයි සාමය වෙනුවෙන්.

යුද්ධයේ ආස්වාදය යුද්ධය තමන්ගේ බලය ලබා ගැනීමට ආරක්ෂා කර ගැනීම සඳහා මහා ලේ ගංගාවක් බවට පත් කර එහි පීනා විඳින ආස්වාදය සතුට අපි අහිමි කළ යුතුයි.

මේ වෙලාවේ බයිනේත්තුව අතේ තබා ගෙන යුනිෆෝම් එකක් ඇඳ ගෙන නීතියට ගරු කරමින් ඉන්න හැම සෙබළාගේම හැම නිලධාරියාගේම අපේක්ෂාව තමන්ගේ අතේ තිබෙන ගිනි අවිය කුමන මොහොතකවත් පාවිච්චි කිරීමට නොලැබේවායි කියන ප්‍රාර්ථනයයි. මානවවාදයේ ප්‍රාර්ථනය එයයි. පොදු සමාජයේ ප්‍රාර්ථනය විය යුත්තේ එයයි. එහෙත් ඉතාමත් කුඩා කණ්ඩායම් ඔවුන් නිරන්තරයෙන් කල්පනා කරමින් තිබෙනවා අත තිබෙන ගිනි අවිය කුමන මොහොතක හරි පත්තු කළ යුතුයි කියලා. නෑ. අපේ ස්ථාවරය වන්නේ ඔබ සතුව තිබෙන ගිනි අවිය තවත් මිනිසෙකුට එරෙහිව ඔහුගේ පපුවට තබා වෙඩි තැබීම සඳහා එසවීමට අවස්ථාවක් නොලැබෙන සමාජයක් නිර්මාණය විය යුතුයි. අපි බය නැතුව මෙය කිව යුතුයි.

ගෝරනාඩුවට කිසි කෙනෙක් යටත් විය යුතු නැහැ. අපි යටත් වනනේ සත්‍යට. අපි යටත් විය යුතුයි මානවවාදයට. මිනිසත්කමට. නමුත් අපි ගෝරනාඩුවට යටත් විය යුතු නැහැ. ඒ නිසා මා හිතනවා ඉතිහාසය අත්දැකීම් බවට පත් කර ගැනීමට නම් ඒ අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගත් ජනතාවක් බවට පරිවර්තනය විය යුතුයි. අපි ඇති තරම් ලේ හලා තිබෙනවා. අපි මේ මහ පොලොව තෙත් වන තුරු ලේ හැළු ජාතියක්. ගංගා රුධිරයෙන් ගලා යන තරමට ලේ හැලු ජාතියක්. දෙමවිපියන්ගේ, ඥාතීන්ගේ කඳුළු ගංගා පිරෙන තරම් කඳුළු හැළු ජාතියක්. අපි යුද්ධයේ බිහිසුනුතම වේදනාවන්ට බිහිසුණුතම විනාශයන්ගේ අත්දැකීම් ලැබූ මිනිස්සු. ඒවා අත්දැකීම් නම් යළි එවැනි තත්ත්වයක් අපේ රටේ ඇති වීම වැළැක්විය යුතුයි.

මා මීට පෙරත් ප්‍රකාශ කළා කිසිවෙක් මේ යුද්ධයට එළඹෙන්නේ යුද්ධය වෙනුවෙන් නෙවෙයි. හැම කෙනාම අවි අතට ගෙන ඉදිරියට ගියේ සාමය වෙනුවෙන්. යුද්ධය වෙනුවෙන් යුද්ධ කරන්නේ නැහැ. යුද්ධ කරන්නේ සාමය වෙනුවෙන්. එසේ නම් අපට තවත් දිගු ගමනක් යා යුතුව තිබෙනවා. යුද්ධය අවසන් වීම, එහි ඊළඟ පියවර සාමය ස්ථාපිත කිරීමයි. එසේ නොමැති නම් අපි අර්ධ ජයග්‍රාහකයෝ වෙනවා. පූර්ණ ජයග්‍රාහකයෝ නෙවෙයි. අපිට පූර්ණ ජයග්‍රාහකයෝ බවට පත් විය හැකි වන්නේ මේ රටේ සාමය නිර්මාණය කිරීමෙන් පමණයි. ඒ නිසා ගෝරණාඩුවලට බිය නොවී අපි සාමය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගැනීමට සූදානම්.

අවි අත දරා සිටින සෑම සොල්දුදුවෙකුගෙන්ම, සෑම නිලධාරියෙකුගෙන්ම මා ඉල්ලා සිටින්නේ ඔබ හැම විටම අපේ රටේ සාමය වෙනුවෙන් වැඩ කළ පිරිසක්, ඔබ අනාගතයේද අපේ රටේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් වැඩ කරන පිරිසක් බවට පත් වන ලෙසයි. අපේ දෙමව්පියන්ට මම කියන්නේ ඔබ ඔබේ දරුවා, බිරින්දෑවරු ඔබේ ස්වාමියා මේ මාතෘ භූමියේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කැප කළා. ඔබ ශ්‍රේෂ්ඨ මාතාවන්. ඔබ ශ්‍රේෂ්ඨ බිරින්දෑවරුන්. එහෙත් එහි අවසන් ප්‍රතිඵලය විය යුත්තේ කුමක්ද?ඔබගේ දරුවාට, ඔබගේ ස්වාමියාට, ඔබගේ මිතුරාට, ඔබගේ ඥාතියාට ඉටු කළ හැකි හොඳම සාධාරණත්වය වන්නේ මේ රටේ සාමය ස්ථාපිත කිරීමයි.

President AKD saluting at war hero commemoration

අපේ දරුවන්ට යළි යුද්ධයක් පිළිබඳ බියක් ඇති නොවෙන සමාජයක් අප නිර්මාණය කළ යුතුයි. එය ඉතාමත් දුෂ්කර ව්‍යායාමයක්. එහෙත් අප විසින් සාර්ථකව කළ යුතු ව්‍යායාමයක්. මා මේ අවස්ථාවේ සුදුසු නොමැති වුවත් කියන්න කැමතියි උතුරේත් දකුණේත් බලය වෙනුවෙන් මේ ජාතිවාදය වෙනුවෙන් නැවත කැරැලි ඇති කරන්න පටන් ගෙන තිබෙනවා. වෙන කිසිවක් නොව බලය වෙනුවෙන්. සැබෑ මාතෘ භූමියේ නිදහස නම්, අපට යුද්ධය අවසන් කිරීමෙන් මාතෘ භූමියේ පූර්ණ නිදහස අත්පත් කර ගැනීමට අප සමත්ව නැහැ.

මාතෘ භූමියේ පූර්ණ නිදහස යනු කුමක්ද? මේ වර්ෂාවත් සමඟ නායයෑම් අවදානම් සහිත කලාප රට තුළ තිබෙනවා. එමඟින් අප නිදහස් ද? අදත් ලෝකයේ කුමන ස්ථානයක හෝ කුඩා හෝ ගැටුමක් ඇති වුණොත් අපේ රටේ ආර්ථිකයට, ජනජීවිතයට බලපෑමක් ඇති කරයි කියන බිය තිබෙනවා. අප නිදහස්ද? අද ආර්ථික වශයෙන් ස්වෛරීභාවය අහිමි කරගත් ජාතියක්. අපිට අපේම වූ ආර්ථික තීරණ ගැනීම සදහා ශක්තිමත් ආර්ථිකයක් නොමැති ජාතියක්. එනිසා අපේ මාතෘ භූමිය ලෝකය ඉදිරිපිට අභිමානවත් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට නම් මේ ආර්ථික පරිවර්තනය අත්පත් කර ගත යුතුයි.

නීතියේ විධානයේ ආධිපත්‍යය කුමන දුෂ්කරතා මත හෝ මේ රාජ්‍ය තුළ ස්ථාපිත කළ යුතුයි. මේ රටේ රාජ්‍ය පාලනය පිළිබඳව ලෝකය ඉතාමත් ප්‍රශංසා මුඛයෙන් කතා කළ යුතුයි. අප රටේ අපරාධ, කුඩු වසංගතවලින් තොර රාජ්‍යයක් ලෙස නිර්මාණය කළ යුතුයි. ගැටුම්, අවිශ්වාසය, වෛරය නොමැති රාජ්‍යයක් ලෙස නිර්මාණය කළ යුතුයි. එවිට මව්බිමේ පූර්ණ නිදහසත්, ශක්තිමත් ස්වෛරීභාවයක් අපට නිර්මාණය වෙනවා. එහෙම නොමැතිව ස්වෛරීභාවය හුදු කඩදාසියක තිබෙන වාක්‍යයක් බවට පත් නොවිය යුතුයි. එය මේ මාතෘ භූමියේ යථාර්ථය බවට පත් කළ යුතුයි.

ඔබට, අපට මේ මාතෘ භූමිය පිළිබඳව බිඳිය නොහැකි ප්‍රේමයක් තිබෙනවා. ඒ වගේම අපි මේ රටේ ජනතාවට අනුලංගනීය ලෙස ප්‍රේම කරනවා. මේ මාතෘ භූමිය ලෝකයේ උසස්ම මාතෘ භූමියක් බවට පරිවර්තනය කිරීමේ සහ මේ රටේ ජනතාව ලෝකයේ උසස් ජනජීවිතයක් ගත කිරීමට ගොඩනැංවීමේ වුවමනාව අපට තිබෙනවා. ඒ සඳහා අත්‍යවශ්‍යම සාධකය සාමය සහ සංහිඳියාවයි. එනිසා මේ අවස්ථාවේදී අප සාමය හා සංහිඳියාව වෙනුවෙන් ගත හැකි සෑම තීරණයක් නිර්භීතව ගත යුතු යැයි මා විශ්වාස කරනවා.

අප ඉදිරියේ තිබෙන මේ ස්මාරකයෙහි ස්ථාවරත්වය, ආරක්ෂාව, අපේ දිවිදුන් සෙබළුන්ගේ ආධ්‍යාත්මය, අභිමානය ඇතුළු සියල්ල මේ කුළුණ තුළ කැටි වී තිබෙනවා. අප ඔවුන්ගේ ආධ්‍යාත්මය, වීර්යය, නිර්භීතභාවය, පරිත්‍යාගය අපි අපේ ජීවිතවලට කැටි කරගත යුතුයි. එසේ කළ යුතු වන්නේ කුමක් වෙනුවෙන් ද? ඒ වඩාත් සුබවාදී රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන්. අවසාන වශයෙන් යුද්ධය අවසන් කිරීම සදහා ජීවිත පරිත්‍යාග කළ සෙබළුන්ට, සදාකාලික ආබාධිතභාවයට පත් වූවන් හැමදාමත් අප අපේ හදවත් තුළ අනුස්මරණය ලෙස සමරනවා. ඔබ විසින් පෙන්වා දී තිබෙන කැප කිරීම, පරිත්‍යාගය, අප්‍රතිහත ධෛර්යය මේ රට ගොඩනැඟීම සඳහා අපට විශ්වාසයක් බවට පත් වේවි. ඒ වෙනුවෙන් අපි සෑම දෙනාම එක්ව නව සටනක් දියත් කරමු.

Show More

“අපේ ව්‍යාපාරයේ සාරය වුණේ හෘද සාක්ෂිය, එඩිතරභාවය, ව්‍යවහාරික බුද්ධියයි. අපි වැඩකරමින් ඉගෙන ගන්නවා. ඉගෙන ගනිමින් වැඩකරනවා.” -ජවිපෙ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක-

(-ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය – 2025-05-14-) අපේ පක්ෂයට මැයි මස 14 වැනිදාට වසර 60ක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් අපි මෙවැනි සාකච්ඡාවක් සූදානම් කළා. මෙහිදී මට යම් කතාවක් සිදු කිරීමට අවස්ථාවක් ලැබෙන බව මම දැන සිටියා. ඒ අනුව පසුගිය දින හතරක්, පහක් පුරා විවිධ රාජකාරී මධ්‍යයේ වුවද මම මේ ගැන කල්පනා කළා. වසර 60ක් […]

(-ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය – 2025-05-14-)

President AKD addressingh crowd at JVP 60th anniversary from back

අපේ පක්ෂයට මැයි මස 14 වැනිදාට වසර 60ක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් අපි මෙවැනි සාකච්ඡාවක් සූදානම් කළා. මෙහිදී මට යම් කතාවක් සිදු කිරීමට අවස්ථාවක් ලැබෙන බව මම දැන සිටියා. ඒ අනුව පසුගිය දින හතරක්, පහක් පුරා විවිධ රාජකාරී මධ්‍යයේ වුවද මම මේ ගැන කල්පනා කළා. වසර 60ක් යනු දිගු ඉතිහාසයක්. සිදුවීම සමුදායක්. විශාල අවස්ථා ප්‍රමාණයක්. විශාල සාමුහික මිනිස් ක්‍රියාකාරිත්වයක්. ඒ පිළිබඳ මම දැක්විය යුත්තේ කුමන අදහසක්ද කියා මම කල්පනා කළා.

ඉතාමත් බර අතීතයක්, සංකීර්ණතා සහිත දේශපාලනයක්. මේ සියල්ල කැටි කර කෙටි වේලාවකදී ප්‍රකාශ කරන්නේ කොහොමද? විවිධ රාජකාරි මධ්‍යයේ වුවද එම සංවාදය මා තුළම ගොඩනගා ගනිමින් ඉතිහාසයේ සාරය, ඉතිහාසයේ අඛණ්ඩතාවයේ තිබෙන රහස මගේ ප්‍රමාණයට අනුව සොයා ගැනීමට මම වෙහෙසුණා. මම විශ්වාස කරනවා එය යම් ප්‍රමාණයකට මට සොයාගන්න හැකි වුණා කියලා.

ඒ අනුව මගේ ප්‍රමාණයට වඩා විශාල බර ඉතිහාසයක් සංෂිප්ත කොට ඉදිරිපත් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය මා තුළ පැන නැගී තිබුණා. ඇතැම් විට තවත් අයෙකුට එම සාධකයන්ට වඩා වැදගත් සාධක සොයා ගත හැකි වෙයි. එහෙත් මගේ ප්‍රමාණයට සහ මගේ තරමට මම ඒ සාරය හදුනාගත් අයුරු මම ප්‍රකාශ කරන්න කැමතියි.

පළමු කොටම ඇයි අපි මේ ඉතිහාසය සිහිපත් කරන්නේ. මේ මොහොතේ අපි ආණ්ඩු බලය අත්පත් කරගෙන තිබෙනවා. ඇයි අපිට යටගිය ඉතිහාසය වර්තමානයේදී අවශ්‍ය වෙන්නේ? ඇතැම් විට, “සහෝදරයා ඒ ගැන නම් වැඩිය කතා කරන්න එපා” කියා තැන තැන මුමුණන්නත් ඉඩ තිබෙනවා. එම ඉතිහාසය ඉතිහාසයටම උරුම කර වර්තමානය අලුත් පරිච්ඡේදයකින් ආරම්භක කළ හැකි වනු ඇතැයිද බොහෝ දෙනා අපේක්ෂා කරනවා.

ඇතැම් කවයන් එම ඉතිහාසය අමතක කරමින් අපි සමඟ ගනුදෙනු කරන්න සූදානම් වෙලා තිබෙනවා කියා මම දන්නවා. එහෙත් අපිට එම ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක්, අලුත් අනාගතයක් නිර්මාණය කරන්න හැකියාවක් නැති බව කිව යුතුයි.

මෙම වර්තාමනය තේරුම් ගැනීම සඳහා අපිට එම ඉතිහාසය අවශ්‍යයි. අද මේ මොහොත අපිට තේරුම් ගැනීම සඳහා එම ඉතිහාසය අවශ්‍යයි. අනාගතයේ අවම වරද්දා ගැනීම් කරමින් අනාගතය ගොඩනැංවීම සඳහා අපිට එම ඉතිහාසට ඉවහල් කරගත හැකියි. මා දන්නා තරමින් කුමන ඉතිහාසයක්වත් වැරදීම්වලින් තොරව නිර්මාණය වන්නේ නැහැ. ඒ නිසාම අපිට තිබෙන්නේ නව පරිච්ඡේදයක් නෙවෙයි, අපිට තිබෙන්නේ අඛණ්ඩ ඉතිහාසයක අඛණ්ඩ පරිච්ඡේදයක්. කවර හෝ කෙනෙක් කුමන හෝ ආකාරයෙන් මෙය සියල්ලන්ගෙන් වියුක්ත කොට නව පරිච්ඡේදයක් ලිවීමට උත්සාහ කරනවා නම් ඒ තුළ තිබෙන්නේ කුහකත්වයයි. ඒ වගේම අතීතයට තිබෙන බියයි. අපි මේ නව පරිච්ඡේදයක් ලියමින් තිබෙන්නේ ඉතිහාසයේ අඛණ්ඩතාවය තුළයි. මේ අඛණ්ඩතාවයම අලුත් පරිච්ඡේදයක් මිස අඛණ්ඩතාවයෙන් ගිලිහුණු හා විතැන් වූ පරිච්ඡේදයක් නොවන බව හැම දෙනාම තේරුම්ගත යුතුයි.

Crowd at JVP 60th anniversary

වේදනාවෙන් පිරි ඉතිහාසයක් අපිට තිබෙනවා. ශාරීරික වශයෙන් සහ මානසික වශයෙන් අතිශය වේදනාවට ලක්වූ ඉතිහාසයක් තිබෙනවා. මා දන්නවා එම ඉතිහාසය සමග අඛණ්ඩ සම්බන්ධතාවක් තිබෙන බොහෝ සහෝදර සහෝදරියන් මෙහි සිටිනවා, එයින් බොහෝ දෙනෙක් එක් දිනයකදී හෝ ඉකිගසා හඩා තිබෙනවා. මමත් එහෙමයි. ඒ ඉතිහාසය අපිට අතිශය දුෂ්කරතාවයන් එක්කර දී තිබෙනවා. වැඩකරන විට මුහුණ දෙන දුෂ්කරතාවන් පමණක් නොව, මහා සංවිධානාත්මක හා ප්‍රචණ්ඩකාරී ප්‍රවාහයක් තමන් ඉදිරියට පැමිණෙන විට ඊට මුහුණ දීම අතිශය දුෂ්කර ව්‍යායාමයක්. ඒ නිසා ඉතිහාසයේ වේදනාවන් තිබෙනවා, දුෂ්කරතාවන් තිබෙනවා.

පොදු මහජනයාගේ වුවමනා වෙනුවෙන් සියල්ල අත්හැරීමට සහ කැපකීරීමට සූදානම් වූ ඉතිහාසයක් අපිට තිබෙනවා. අපේ සහෝදර සහෝදරියන් වසර ගණනාවක් සිරගත කර තිබුණා. දුෂ්කරතාවන්ට මුහුණ දී, වද හිංසා කිරීම් සියල්ලට මුහුණ දී තිබෙනවා. ඒ විතරක්ද? අපි දරුණු පන්නයේ පරාජයන්ට මුහුණ දුන්නා. අපි අවට සිටි අය අපිට අහිමිවන පන්නයේ පරාජයන්ට අපි මුහුණ දුන්නා.

අපේ ව්‍යාපාරය ගොඩනැගීමට උරදුන් රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු කණ්ඩායම අපිට අහිමි කිරීමේ පන්නයේ පරාජයන්, අපේ සමීපතමයන් අපේ දෑස් ඉදිරිපිට මිය යන මට්ටමේ පරාජයන්ට අපි මුහුණ දී තිබෙනවා. මෙම ඉතිහාසය එවැනි පරාජයන්ගෙන්ද ගැබ් වී තිබෙනවා. එම ඉතිහාසය පාවාදීම්වලින් ගැබීවී තිබෙනවා. තමන් සමග එකට සටන් කරන කෙනා, තව විටක ඊට එරෙහිව පාවා දෙන්නන්ගේ භූමිකාවට පණ පොවනවා. අදත් අපි එය දකිනවා. ජනතා විමුක්ති පෙරමුණ නොතිබෙන්න අනිත් දේශපාලන කඳවුරක පාපිස්සටවත් නොගන්නා අය මාර වීර චරිත බවට පත් වී තිබෙනවා.

පසුගිය බටලන්ද වාර්තාව පිළිබද සාකච්ඡාවේදී 88, 89 ඊට එරෙහිව එකට සිටි අය රූපවාහිනියට ගොස් බටලන්ද සිදුවීම සාධරණීකරණය කරන අයුරු අපි ඇස්වලින් දකිනවා. කන්වලින් අහනවා. මේ ඉතිහාසය අපිට එහෙම දේවල් ඉතුරු කර තිබෙනවා. මේ ඉතිහාසයේ ක්‍රමන්ත්‍රණ අපි අත්දැක තිබෙනවා. මෑත දශකයේත් අපි කුමන්ත්‍රණ අත්දැක තිබෙනවා. ඒ නිසා මේ ඉතිහාසය වේදනාව, දුෂ්කරතාව, ඔරොත්තු දීම, කැපකිරීම, කුමන්ත්‍රණ, පාවාදීම්, පරාජයන් හා ජයග්‍රහණයක් එක සමාන ලෙසම අපි දැක තිබෙනවා.

ඒ නිසා එවැනි ඉතිහාසයක් මොන තරම් සංකීර්ණ ඉතිහාසයක්ද? අපට අපේ ඉතිහාසය පරිච්ඡේද කිහිපයකට කඩන්න පුළුවන්. 65-71 ඉතිහාසයේ පරිච්ඡේදයක්. 71- 78 ඉතිහාසයේ තවත් පරිච්ඡේදයක්. 78-83, 83-89, 89-94 ඉතිහාසයේ තවත් පරිච්ඡේද ලෙස දක්වන්න පුළුවන්. 1994-2024 සැප්තැම්බර් 21 තව පරිච්ඡේදයක්. සැප්තැම්බර් 21 සිට අද දක්වා තව පරිච්ඡේදයක්. මේ අකාරයේ පරිච්ඡේද ගණනාවක් අප ගතකර තිබෙනවා. මේ පරිච්ඡේද තුළ මා කළින් කියන ලද තත්වයන් අඩු වැඩි ප්‍රමාණයෙන් ගැබ්වී තිබෙනවා. එහෙත් මේ සියලු සිදුවීම්වල, පරිච්ඡේදයන්වල අඛණ්ඩතාවය ගෙන එන එක් මහා පොදු සාධක කිහිපයක් තිබෙනවා. 65 සිට මේ 60 වන සංවත්සරය දක්වා අඛණ්ඩතාවය ගැටගසා තිබෙන හූයන් කිහිපයක් තිබෙනවා. ඒ නිසා තමයි මෙය අලුත් පරිච්ඡේදයක් නොවන්නේ. ඒ අඛණ්ඩතාවය මොකක්ද? ඒ හූය මොකක්ද? 60 වසරක විවිධ පරිච්ඡේද හා සිදුවීම් මේ සියල්ල එකට ගොතා තිබෙන මෙවලම මොකක්ද?

මා හිතනවා ප්‍රධාන සාරයන් 03ක් තිබෙනවා. එක හෘද සාක්ෂිය. දෙක එඩිතරභාවය. තුන ව්‍යවහාරික බුද්ධිය. මේ වසර 60 මුළුල්ලේම විවිධ උච්චාවචනයන්, පරාජයන්, ජයග්‍රහණ, පාවාදීම් මේ සියල්ල තිබියදී මේ මහා පොදු සාධක කිහිපයක් තිබෙනවා. මම කියනවා, අනාතයටත් අපිට මග පෙන්වන්නේ අන් කවරක්වත් නෙවෙයි හෘද සාක්ෂිය. එඩිතරභාවය සහ ව්‍යවහාරික බුද්ධියයි.

Pressident AKD addressing crowd at JVP 60th anniversary

මොකක්ද හෘද සාක්ෂිය? වැරදි සිදු වී තිබෙනවා, අදත් වෙනවා, හෙටත් විය හැකියි. හැබැයි ඒ සෑම දෙයක්ම පෞද්ගලික පුද්ගලාරෝපිතව යමක් උපයා ගැනීම මේ කියන්නේ වත්කම් පමණක් නොවී, ජනප්‍රියතාවය, කැපී පෙනීම ආදී මේවාත් උපයාගැනීම තුළ තිබෙනවා. මේ කිසිවක් නොලබමින් මේ රටත් මේ රටේ ජනතාවත් පෙරට තබා කටයුතු කරන හෘද සාක්ෂිය තමයි අපේ ඉතිහාසයේ අඛණ්ඩතාවය. අදත් අපිට ජයග්‍රහණ ගෙනවිත් දෙන්නේත්, අනාගතය සඳහා මග පෙන්වන්නේත්, අප ඉදිරියේ තිබෙන අභියෝග ජයග්‍රහණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් ඇති කරන්නේත් අප සතුව තිබෙන හෘද සාක්ෂියයි.

මා හිතනවා ශරීරවලින්, පවුල් පසුබිම්වලින් මහා ප්‍රතාපවත් ඉතිහාසයක බල ව්‍යුහයන් තුළ මහා සැණකෙළි පෙන්වූ ඒ හැම දෙනාටම වඩා කුඩා මිනිසුන් වන අප ළඟ තිබෙන හෘද සාක්ෂිය තුළින් ඔවුන්ට වඩා ගව් ගණනක් ඉදිරියට අප ගෙන යනවා. දුෂ්කරතා විසින් විතරක් නෙවෙයි තනතුරු, ඒවායින් ලැබෙන ආලෝකය, ඒවාට ජනතාව දක්වන ප්‍රතිචාර, සාම්ප්‍රදායික ආයතනික ව්‍යුහයන් එම තනතුරුවලට දක්වන ප්‍රතිචාර යන සියල්ලගෙන්ම හෘද සාක්ෂිය බිඳ වට්ටන්න පුළුවන්. එහෙත් මතක තබා ගන්න, අපි මේ රටේ පොදු ජනතාවට සහතිකයක් දෙනවා ඉතිහාසයද, අදද, හෙටද අපි අපේ හෘදසක්ෂිය අනුව වැඩ කරන මිනිස්සු. කටුක දුෂ්කරතාවයන් හමුවේ හෝ පරිභෝජනවාදය හමුවේ හෝ පාවා දෙන්නේ නැති අත් හරින්නේ නැති හෘදසාක්ෂියක් සමඟ වැඩ කරනවා. මේක තමයි අපේ 60 වසරක ඉතිහාසයේ අඛණඩතාවය. එය අපි ආරක්ෂා කරනවා. ඊට අප වගකියනවා. ඊට අපි බැඳී ඉන්නවා.

දෙක එඩිතරභාවය. එඩිතරභාවය කියන්නේ කුමක්ද? එඩිතරභාවය කියන්නේ ඇඟේ හයිය විතරක් නෙවෙයි. ඇඟේ හයියත් එඩිතරභාවයේ ලක්ෂණයක්. හැබැයි මා මේ එඩිතරභාවය කියන්නේ ඇඟේ හයිය නෙවෙයි. ව්‍යාපාරයක් 60 වසරක් ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිදු දේශපාලන ව්‍යාපාරයක් මුහුණ නොදුන් අතිශය විනාශකාරී අත්දැකීම්වලින් ගැබ් වෙලා, අතිශය දුෂ්කරතාවයන්ට මුහුණ දී එහෙත් මේක ආරක්ෂා කරනවා. අද වන විට මොකක්ද වෙලා තිබෙන්නේ? අනෙක් සතුරු කඳවුරු සියල්ල සුණු විසුණු කොට විනාශ කොට දමන තරමට මේ ව්‍යාපාරය ශක්තිමත්භාවයට ගෙනවිත් තිබෙනවා. ඒ පිටුපස තිබෙනවා එඩිතරභාවය.

මොකක්ද එඩිතරභාවය. වැරැද්දක් උනොත් වැරැද්ද පිළිගැනීමට තිබෙන එඩිතරකම. එය එඩිතරකමක්. වැරැද්දක් වෙලා පළා යන්න, සැඟවෙන්න නෙවෙයි වැරැද්ද පිළිගන්න අපි එඩිතරයි. ඉතාමත් දුෂ්කරතම කොන්දේසි යටතේ පවා ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන්න අපි එඩිතරයි. එය කාටද තිබෙන්නේ? මැතිවරණ පෙරමුණේ බලන්න මීට වසර පහ හයකට පෙර මොකක්ද අපට අත්පත් වුණේ. අප ලජ්ජා සහගත තත්වයකට පත්වූ, අනෙකා ඉදිරියේ හෑල්ලුවට ලක් වූ, අපේම සමීපතමයන් අප අත් හැර ගිය, අනෙක්පස කඳවුරේ සිට අපට උසුළු විසුළු කරන නින්දා සහගත බවට පත් කරන තත්වයක් මතු වී තිබුණා. එහෙත් ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය තබාගෙන වැඩ කරන්න තරම් අපි එඩිතරයි.

එය මේ අඛණ්ඩ ඉතිහාසයේ පැවැත්මට ප්‍රධාන සාධකයක්. නැත්නම් මේ ව්‍යාපාරය අත් හරින්න, නතර වෙන්න මොන තරම් අවස්ථා තිබි තියෙනවද? මේ මව්බිමේ එහෙම ව්‍යාපාරයක් තිබෙනවා නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ පමණක් බව මතක තබා ගන්න. සාමාන්‍යයෙන් අපි අත්දකින්නේ නැතුව, අප ඒ කතාව ඇතුළේ ජීවත් වෙන්නේ නැතුව පිටස්තරයෙක් ලෙස අප පොතක ඒ කතාව කියෙව්වොත් එය කිසිවෙක් විශ්වාස කරන කතාවක් නෙවෙයි. ඒ තරමට ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය බිඳ වට්ටන්නේ නැතුව මේ ව්‍යාපාරය 60 වසරක් ගමන් කර තිබෙනවා. ඒ තුළ තිබෙන්නේ මෙම සාරයයි. පැමිණි ගමන් මඟ නිශ්චිත දේශපාලනයකදී හැරවීම සඳහා එඩිතරභාවය. ඒවා සාමාන්‍ය දේශපාලන ව්‍යාපරවලට කරන්න බැහැ.

ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන්න අපි එඩිතරයි. මේ මවුබිමේ එවන් ව්‍යාපාරයක් තිබෙනවා නම් ඒ ජවිපෙ පමණයි. අපි ගමන් කරමින් තිබූ මාවත ජයග්‍රහණයට හැරවීම සදහා තීන්දු ගැනීම, ඒ තීන්දු කෙරෙහි විශ්වාසය තබා ගැනීම, ඒ තීන්දු ජයග්‍රහණය කරා මෙහෙයවීම එඩිතරභාවයයි. මේ ගැන අපි කිව යුතුයි. අපි මේවා කියන්නේ නැත්නම් කවුද කියන්නේ? මේ 60 වසරක දේශපාලන ගමන් මගේ ජයග්‍රහණයේ කොඩිය අප අතට ගන්න පෙර අපිට අත්හැර යන්න අවස්ථා විශාල ප්‍රමාණයක් තිබුණා. නිහඩ විය යුතු අවස්ථා විශාල ප්‍රමාණයක් තිබුණා. අපේ දේශපාලන ව්‍යාපාරය නමක් ලෙස පමණක් ඉතිහාසගත වීමට ඕනෑ තරමි සංධිස්ථාන තිබී තිබෙනවා. හැබැයි, ඒ සියලු සංධිස්ථාන හමුවේත් අද මේ ජයග්‍රහණය සදහා ගෙන එන්න එඩිතරභාවය ඉතාමත් ප්‍රබල සාධකයක්. ඒ උරුමය, ඉතිහාසය තිබෙන්නේ ජවිපෙ අපට පමණයි. අපේ සතුරන් අපට වඩා හොදින් තේරුම් අරන් තිබෙනවා.

JVP 60th anniversary crowd

ව්‍යවහාරික බුද්ධිය ඊළඟ වැදගත් සාධකයයි. අප අධ්‍යයනය කරලා, සංකල්ප ගොඩනඟලා, පොතපත හදාරලා, ලෝකයේ සිදුවීම් අත්දැකීම් ලෙස එකතු කරලා ඇති. නමුත් ඒවා ඒ නිශ්චිත මොහොතේ ව්‍යවහාරයට නැඟීම තමයි වැදගත් වන්නේ. බොහෝ සංකල්ප රචනා කරන්න පුළුවන්, හැබැයි ව්‍යවහාරික බුද්ධිය ඊට වඩා ප්‍රධාන සාධකයක්. නිවැරදිම තීන්දු තීරණ ගැනිම ව්‍යවහාරික බුද්ධියයි. එය තමයි අපේ දේශපාලනයේ අඛණ්ඩතාවය රදා පවතින අනෙක් ප්‍රධාන සාධකය. මේ මුළු පරිච්ඡේදයම හොයලා බලන්න. මේ පරිච්ඡේදයේ කුඩා ඉඩක් විවර වුණොත්, ඒ විවෘත වන විවරය කළමනාකරණය කරලා අපි අලුත් පියවරකට පය තබන්නේ කොහොමද? ජයග්‍රහණය නොපෙනෙන මානයක තිබියදී ජයග්‍රහණය පිළිබඳ සැලසුම් හදලා, ක්‍රියාවට නංවන්නේ ව්‍යවහාරික බුද්ධියයි. ව්‍යවහාරය විසින්, භාවිතයට නැඟීම විසින්, සාර්ථක අසාර්ථකභාවය පිළිබඳ මනින බුද්ධිය මේ ව්‍යාපාරය වසර 60ක් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රබල ලෙස බලපෑම් කළ තුන්වන සාධකය බව මම විශ්වාස කරනවා. හොඳ ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනඟන්න, අපේ ව්‍යාපාරයේ සාරය වුණේ හෘද සාක්ෂිය, එඩිතරභාවය, ව්‍යවහාරික බුද්ධියයි. නැවත නැවත අපිව ජීවත් කරවන්නේ මේ සාරයයි. ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකියි කියන විශ්වාසය ගොඩනඟන්නේ මේ සාරය තමයි.

කුමන පරාජයන් හමුවේ හෝ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය අත්නොහරින්නේ මේ සාරයයි. මේ සාරය පිහිටුවන්නේ කුමක් මතද? අපිව ජනතාව උරගා බලනවා. අපි ජනතාවගේ උරගා බැලීමට විවෘත ව්‍යාපාරයක් බවට පත්විය යුතුයි. හොඳ නරක නිරීක්ෂණය කරන්න ඕන. එනිසා අපි සතුරන් හමුවේ නොව, පාවා දෙන්නන් හමුවේ නොව, සෑම විටම පොදු ජනතාව හමුවේ පරීක්ෂණයට භාජනය විය යුතු ව්‍යාපාරයක්. ඉහත සාරයන් මත, ජනතාව මත ගොඩනැගෙන ව්‍යාපාරයක්.

පසුගිය මැතිවරණයේදී මහා අනුහස් සහිත නායකයන් බිහි කළ මැදමුලන කොට්ඨාසයත් අප හමුවේ පරාදයි. කොළඹ නගරාධිපති අපේක්ෂකයෙක් වීම සඳහා තරග වැදුණු බොරැල්ල දකුණ කොට්ඨාසය අපිට පරාදයි. ඉතාමත් ශක්තිමත්ව ජනතාව මත මේ ව්‍යාපාරය පිහිටුවා තිබෙනවා. මුළු දකුණම ගත් විට එක් ප්‍රාදේශීය සභාවක්වත් පරාද නැහැ. කලුතර දිස්ත්‍රික්කයේ දෙකක් හැරණු විට අන් සියල්ලම සමග මුළු බස්නාහිරම ප්‍රාදේශීය සභා අපි ජයග්‍රහණය කර තිබෙනවා. මුළු සබරගමුවෙම සියලු ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කර තිබෙනවා. වයඹ කල්පිටිය හැර අනෙක් සියල්ල ජයග්‍රහණය කර තිබෙනවා. අතිශය දුෂ්කර නුවරඑළිය දොළහෙන්, දහයක් ජයග්‍රහණය කර තිබෙනවා. උතුරුමැද සියලු සභා ජයග්‍රහණය කර තිබෙනවා. මුලතිව්, මන්නාරම, වව්නියාව කියන වන්නි දිස්ත්‍රික්කය මෙම පළාත් පාලන මැතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ජාතික ජන බලවේගය අරගෙන තිබෙනවා. නැගෙනහිර අම්පාර, ත්‍රිකුණාමලය වැඩිම ඡන්ද ප්‍රමාණය ජාතික ජන බලවේගය අරගෙන තිබෙනවා. මඩකලපුවේ මහා ඡන්දයට සමාන ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා.

කිලිනොච්චිය සහ යාපනයේ දෙවන ස්ථානය ලබා ගෙන තිබෙනවා. පළමු වතාවට යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන අනු තුනක් ලබාගෙන තිබෙනවා. යාපනය නගර සභාවේ මන්ත්‍රී ධූර 10ක් ලබාගෙන තිබෙනවා. මේ අයුරින් අස්සක් මුල්ලක් නෑර, විහිදුණු ජනතාවගේ පදනම සහිත දේශපාලන ව්‍යපාරය ජාතික ජන බලවේගය පමණයි.

අනික් අය විවිධාංගීකරණයට ලක්වූ විපක්ෂයයි. විවිධාංගීකරණ විපක්ෂය එකතු වුවහොත් විවිධාංගීකරණය වෙලා ලද ප්‍රතිඵලයවත් ලැබෙන්නේ නැහැ. ඒ අය බෙදිලා ඡන්දය ඉල්ලලා, සභාව පිහිටුවන්න එකතු වෙන්න හදනවා. මොන ලැජ්ජා නැති වැඩක්ද. ඔවුන් එකතු වෙලා ඡන්දය ඉල්ලන්න ලෑස්ති නම් අපි කුමන හෝ ඡන්දයක් තියනවා. විවිධාංගීකරණය වූ විපක්ෂය එක කණ්ඩායමක් ලෙසත්, ජාතික ජනබලවේගය තවත් කණ්ඩායමක් ලෙසත් කඳවුරු දෙකකට බෙදමු. එහෙම වුනත් හෙටත් මේ රටේ ජනතාවගේ පවුරු පදනම් සහිත ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. මේක ආපසු හරවන්න කාටවත් බැහැ. එක සභාවක්වත් දිනන්නේ නැතුව ඊළඟ ජනපති වෙන්න හදනවා. පුස් ව්‍යාපාරවලට රටේ බලය ගන්න හිතන්නවත් එපා. ජනතාවගේ ධනය හොරාකෑ, මාධ්‍යවේදීන් ඝාතනය කළ, පුරවැසියන්ගේ අයිතිවාසිකම් කප්පාදු කළ, ජාතිවාදය වැපිරූ ඉතිහාසයේ සාරයක් තමයි ඔවුන්ට තිබෙන්නේ.

අපට ජනතාවගේ විශාලතම බලයක් ලැබී තිබෙනවා. අපට සිතන්නේ නැති ඡන්දදායෙක්ගෙන් වැඩක් නැහැ. අපට අවශ්‍ය, සක්‍රීය ඡන්දදායකයෙක් ප්‍රතිචාර දක්වන ඡන්ද දායකයෙක්. අපට අවශ්‍ය අනුගත වන ඡන්දදායකයෙක් නොවේ, ප්‍රතිචාර දක්වන, විරෝධය දක්වන ඡන්දදායකයෙක්. ඒ සියල්ල අතර අවසන් සටනේ අපිව ආරක්ෂා කරන ඡන්දදායකයෙක් අපට අවශ්‍යයි. තීරණාත්මක මොහොතේ හරි බල කදවුර තෝරා නිවැරදි තීන්දු තීරණ ගන්නා ඡන්දදායකයෙක් අපට අවශ්‍යයි. ප්‍රතිචාර දක්වන, විරෝධය දක්වන ඡන්දදායකයෙක් නොමැතිව මේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න බැහැ. අනුගත සාමාජිකත්වයෙන්, අනුගත ඡන්දදායකයන්ගෙන් විනාශකාරීත්වයට ඇදගෙන යන්න පුළුවන්. හැබැයි යහපත් දේ කැඳවා ගෙන යන්න නම්, සිතන, ප්‍රතිචාර දක්වන, විරෝධය දක්වන, තීරණාත්මක මොහොතේදී අපිව ආරක්ෂා කරන ඡන්දදායකයෙක් අපිට අවශ්‍යයි. අපි නැවත නැවත ජනතාව කියන උරගලේ උරගා බැලිය යුතුයි. නිද්‍රාශීලී අනුගත වන සාමාජිකයාගෙන් රටක පරිවර්තන ඇති කරන්න බැහැ.

People at JVP 60th anniversary

අවුරුදු පනස් නවයකට වඩා අපි ගත කළේ බලය ලබා ගැනීමට පොර බදපු ඉතිහාසයකයි. අපි රෑ, දවල්, නිවාඩු දින කිසිවක් සැලකිල්ලට භාජනය නොකර හෘදසාක්ෂියට එකඟව මේ රට පත්වෙලා තිබෙන විපත්තියෙන් බේරා ගැනීමට කටයුතු කළා. අප මෙය අත්හරින්නේ නැහැ. අපිට වැරදෙන්නේ වචනයක් දෙකක් හෝ ඒ වචනොවලට දෙන අර්ථකථන පමණයි. අපිට මේ අලුත් පරිච්ඡේදයක්. අප වැඩ කරමින් ඉගෙන ගන්නවා. ඉගෙන ගනිමින් වැඩකරනවා. අප ආණ්ඩු බලය හෙබවීම සඳහා පුරුදු පුහුණු වූ කණ්ඩායමක් නෙවෙයි. බලය ලබා ගැනීම සඳහා දිගු ඉතිහාසයක් පුරා පොර බදලා අපි මෙතැනට පැමිණ තිබෙන්නේ. අප රටටත් ජනතාවටත් අසීමිත ආදරයෙන් මෙතනට පැමිණියේ. ඒ නිසා අප වැඩ කරමින් ඉගෙන ගන්නවා. ඉගෙන ගනිමින් වැඩකරනවා. අපි සෑමවිටම කටයුත් කරන්නේ හෘදෙසාක්ෂියට අනුවයි. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවක් ගොඩනැගී තිබෙනවා හෘදසාක්ෂිය සමඟ වැඩ කරන. ආණ්ඩුවක් ව්‍යවස්ථාවෙන් බැඳී සිටිනවා, අණ පනත්වලින් බැඳීසිටිනවා. ඒවා සංශෝධනය කළ හැකියි. නමුත් අපි තුළ ඇත්තේ නීතියෙන්, ව්‍යවස්ථාවෙන් තිබෙන බැඳීමක් නෙවෙයි. මේ රටේ ජනතාව සමඟ අපි හෘදසාක්ෂියෙන් බැඳී සිටිනවා. මේ රට ගොඩනැගීම වෙනුවෙන් අපට තිබෙන අසීමිත ආසාව හෘදසාක්ෂියෙන් යළි යළිත් විමසමින් කටයුතු කරනවා.

නියමිත තැන, නියමිත හැරවීමේ තීන්දුව ගන්න අපි කටයුතු කරනවා. නියමිත තැන නියමිත දිශාවට ගෙන යන්න අප එඩිතර වෙනවා. අපේ එඩිතර භාවය ඇඟෙන් මනින්න එපා. යුග ගණනකට ඈත ඉතිහාසයක් අපේ දේශපාලනයේ තිබෙනවා. නිශ්චිත තැනදී පැකිලීමකින් තොරව නිසි බරෙන් නිසි තීරණ ගැනීමට මේ පක්ෂයට, මේ ආණ්ඩුවට එඩිතරභාවයක් තිබෙනවා. අපේ ව්‍යාපාරය අපේ ආණ්ඩුව එක්ක විපක්ෂය අලගු තබන්නවත් සුදුසු නැහැ. අපි ව්‍යවහාරික බුද්ධියෙන් කටයුතු කරනවා. අප විසින්ම ගොඩනඟා තිබෙන සංකල්ප මත හිරවෙයි කියලා විපක්ෂය සිතුවා. ඒ නිසා ඩොලරය ඉහළ යයි, තෙල් පෝලිම් ඇති වෙයි කියා බලාපොරොත්තුවෙන් සිටියා. අපි ව්‍යවහාරික බුද්ධියෙන් පෝෂණය වු දේශපාලන ව්‍යාපාරයක් නිසා එසේ වැරදුනේ නැහැ.

අපි පසුගිය සැප්තැම්බර් 21 වෙනිදා බලය ගන්න විට කිව්වා මාස තුනෙන් ආණ්ඩුව වැටෙනවා කියලා. දැන් කියනවා උඳුවප් මාසෙ ජනාධිපති කෙනෙක්ව පත් කරනවා කියලා. අපේ ආණ්ඩුකරණය යනු විශ්මිත ක්‍රියාමාර්ගවලින් සමන්විත ක්‍රියාවලියක්. අපට එරෙහිව තිබෙන දේශපාලන ව්‍යාපාරය ළදරු, අපරිනත, හිස් ව්‍යාපාරයක්. මේ මාතෘ භූමියේ අභියෝගවලින් මුදා ගැනීමට සාර්ථකව කටයුතු කරන ව්‍යාපාරය ජාතික ජන බලවේගය ප්‍රමුඛ ආණ්ඩුවයි.

දැන් අපට ජුනි දෙවෙනිදායින් පසුව ගමේ බලය ලැබෙනවා. ජන වරම හොඳට තේරුම් ගත යුතුයි. අපිට පැහැදිලිව බලය ලැබුණ පළාත් පාලන ආයතනවල සභාව පිහිටුවනවා. සභාව පිහිටුවීමට පොර බදින්න තිබෙන්නේ පළවෙනි කණ්ඩායම සහ දෙවෙනි කණ්ඩායමටයි. ඒ නිසා එය ලබාගත් කණ්ඩායමට සභා පිහිටුවීමට අයිතියක් තිබෙනවා. එයට අකුල් හෙලන්න, බාධ කරන්න එනවා නම් නීතියේ ඕන තරම් ඉඩකඩ තිබෙනවා. අපි සෑම විටම ජනවරමට ගරුකරනවා. මේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය මහ මැතිවරණයට යොදා බැලුවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු එකසිය විසි දෙකක් ඉන්නවා. අනූ හතරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආණ්ඩුවේ මන්ත්‍රීවරු අනූ හයයි. 2015 රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට මන්ත්‍රීවරු එකසිය දෙකයි. එහෙම බැලුවම ඊටත් වඩා මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ඉදිරියෙන් ජාතික ජන බලවේගය ඉන්නවා. ඒ නිසා මෙවර ජයග්‍රහණය ලැබූ සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න අපි සූදානම්. එයට අභියෝග කරනවානම් අපි අභියෝගය භාරගන්න සූදානම්. අපිට තිබෙනවා හෘදසාක්ෂියේ බලය, අපිට තිබෙනවා එඩිතර බවේ බලය. අපිට තිබෙනවා ව්‍යාහාරික බවේ බලය. පාර්ලිමේන්තු අනපනත්වල බලය. තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය. ඕන නම් ව්‍යවස්ථාව සංශෝධනයකට යා හැකියි. අපි වගකියන්නේ ජනතාවගේ පාරමාධිපත්‍යයටයි. ඒ නිසා මේ අවස්ථාව අපි අත් නොහැර කටයුතු කරනවා. ඒ සඳහා අප සියලු දෙනාට ආරාධනා කරනවා.

Show More

ජනාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තුවෙන් ආරම්භ කළ දේශපාලන සංස්කෘතිය අපි ගම දක්වා ගෙනියනවා…

(-මාධ්‍ය හමුව – 2025.05.07 – 2025 පළාත් පාලන මැතිවරණය-) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් – ටිල්වින් සිල්වා සහෝදරයා ඊයේ (06 දින) අවසන් වුණු පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් තිබෙනවා. මෙතෙක් නිකුත් කරන ලද ප්‍රතිඵල අනුව බොහෝ ආසන සංඛ්‍යාවක බහුතර බලය ලබාගන්න ජාතික ජන බලවේගය සමත් වෙලා තිබෙනවා. මේ පළාත් පාලන මැතිවරණයෙදිත් ජාතික ජන […]

(-මාධ්‍ය හමුව – 2025.05.07 – 2025 පළාත් පාලන මැතිවරණය-)

Tilvin Silva addressing at the Press Conference after local election

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් – ටිල්වින් සිල්වා සහෝදරයා

ඊයේ (06 දින) අවසන් වුණු පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් තිබෙනවා. මෙතෙක් නිකුත් කරන ලද ප්‍රතිඵල අනුව බොහෝ ආසන සංඛ්‍යාවක බහුතර බලය ලබාගන්න ජාතික ජන බලවේගය සමත් වෙලා තිබෙනවා. මේ පළාත් පාලන මැතිවරණයෙදිත් ජාතික ජන බලවේගය ගැන විශ්වාසය තබමින් එහි ගමනට ධෛර්ය දෙමින් විවිධාකාරයෙන් සහයෝගය දුන් සියලුම දෙනාට ස්තුතිය පළ කරනවා.

ජනතාව මාලිමාව අනුමත කර තිබෙනවා. කිසියම් පක්ෂයක් බහුතර සංඛ්‍යාවක ආසන ලැබුවේ නැහැයි කියන්නේ ඒ පක්ෂය හෝ අදාළ කණ්ඩායම අදාළ සභාවේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරල තිබෙනවා. සමහර පක්ෂ හෝ කණ්ඩායම්වලට එකක්, දෙකක් හෝ තුනක් අරගෙන ඒ සියලු දෙනාම එකතුවී සභාව පිහිටුවන්න උත්සාහ ගන්නවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. නීතියෙන් බාධාවක් නැති වුණාට, ඒ අය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු කණ්ඩායම්. ගණිතමය ලෙස තමන් දිනා ඇති බව පෙන්වීමට උත්සාහ ගනිමින් ඉන්නවා. සියලුම ආයතන 339කින් ආයතන 254කට වැඩි ප්‍රමාණයක මන්ත්‍රී සංඛ්‍යාවක් ජයග්‍රහණය කරන්න අපි සමත් වෙලා තිබෙනවා. දේශපාලනිකව බැලූවිට මේ මැතිවරණය ජයග්‍රහණය කර තිබෙන්නේ මාලිමාවේ අපි. ජනතාව මාලිමාව විශ්වාස කොට තිබෙනවා. මේ පළාත් පාලන ආයතන බාර දිය යුත්තේ මාලිමාවට කියන එක ජනතාව විශ්වාස කොට තිබෙනවා. අපි ජයග්‍රහණය කොට තිබෙන සියලුම ආයතනවල සභා පිහිටුවා අපි සැලසුම් කොට තිබෙන ව්‍යාපෘති, රට වෙනස් කිරීමේ කාර්ය, පාර්ලිමේන්තුවෙන් පටන්ගත් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ කාර්යය ගම දක්වා ගෙන යාමට පුළුවන්කම තිබෙනවා.

අපි රටේ වෙනසක් කිරීමට පටන් ගත්තා. වංචා, දූෂණ නැති ආණ්ඩුවක් නිර්මාණය කළා. වංචා දූෂණ නැති ප්‍රාදේශීය සභා, නගර සභා හැදීමේ කාර්ය කරන්න උවමනාව තිබෙනවා. කොන්ත්‍රාත්වලින් හම්බ කරන්නේ නැති, පගා ගහන්නේ නැති, පාලනයක් පළාත් සභාවල නිර්මාණය කිරීමට අවශ්‍යයි. ඒ වගේම මහජන මුදල් නාස්ති නොකර ජනතාවට සේවය කිරීමේ සංස්කෘතිය පටන්ගෙන තිබෙනවා. ඒ සේවය අපට ගමටත් ගෙනියන්න පුළුවන්කම තිබෙනවා. රටක් ලෙස පටන්ගත් දේශපාලන සංස්කෘතියේ වෙනස්කම්, වංචා දූෂණවලින් තොරව පාලනය කිරීම, මහජන මුදල් සොරකම් නොකිරීම, නාස්ති නොකිරීම, වැනි වටිනා දේවල් බිමට ගෙනත් ගම තුළත් එය තහවුරු කර, රට අලුත්ම දිසාවකට ගෙනයාමට මේ ජයග්‍රහණය ඉවහල් වෙනවා. ජනතාව පක්ෂයක් ලෙස මාලිමාව ගැන විශ්වාසය තබා, අනුමත කොට, මාලිමාවට බලය ලබා දී තිබෙනවා. ඒ නිසා අපට ජයග්‍රාහීව ඉදිරිගමන යා හැකිව තිබෙනවා. ඉදිරියේදී සභා පිහිටුවා ගනිමින්, ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කර ගනිමින්, මේ රට වෙනස් කිරීමට දරන ප්‍රයත්නයට තවත් ශක්තිය එකතුකර ගනිමින් කිසියම් හෝ දුර්වලතා තිබෙනවා නම්, ඒවා වෙනස්කර ගනිමින් ඉදිරියට යෑමට අප සූදානම්. ජනාධිපතිවරණයේදිත්, මහ මැතිවරණයේදිත්, ජයග්‍රහණය ලබාදෙමින් විපක්ෂයේ බොරු, බේගල් පැත්තකට දමා මාලිමාවට ජයග්‍රහණය ලබාදී තිබෙනවා.

අපි මැතිවරණ සංස්කෘතිය වෙනස් කොට තිබෙනවා. අපි රාජ්‍ය බලය යෙදවූයේ නැහැ. රජය මැදිහත් වෙලා ගැටුම් නිර්මාණය කළේ නැහැ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම අඩුම ඡන්දයක් අපි පැවැත්වූවා. ප්‍රචණ්ඩ ක්‍රියා දෙක තුනක සිදුවීම් වුණත් එය මාලිමාවට එරෙහිව යෙදා ගත් ක්‍රියාවන්. පොළොන්නරුවේ කණ්ඩායම් නායකයාගේ නිවසට ප්‍රහාරයක් එල්ලකොට වාහනයට ගිනි තැබුවා. යාපනයේ අපේ අපේක්ෂකයෙකුට පහර දුන්නා. එවැනි කුඩා සිදුවීම් කිහිපයක් හැරුණු කොට, අපට ඉතිහාසයේ සිදු කළ බඩු බෙදමින්, (සිල් රෙදි බෙදීම් වැනි) ක්‍රියාවන් නොකර නිදහසේ ඡන්දය දෙන්න අවස්ථාව උදාකර දෙන්න හැකියාව ලැබුණා. මේ සියලු තත්වයන් යටතේ වුවත් අපට විශාල ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ ජයග්‍රහණය ලබාදීමට කටයුතු කළ සියලුම දෙනාට නැවතත් ස්තුති කරනවා.

Dr Nihal Abeysinghe addressing at the Press Conference after local election

ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

ඊයේ (06 දා) පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය ජයග්‍රහණය ලබා තිබෙනවා. පසුගිය මාස 08ක කාල සීමාවක් තුළ තුන් වැනි වරට ජාතික ජන බලවේගය පිළිබඳව විශ්වාසය පළ කරමින් ජයග්‍රහණය ලබා දෙමින් තිබෙනවා. මේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ අවුරුදු හතකට පසුව. මේ මැතිවරණය අවසන් වරට පැවැත්වූයේ 2018 වසරේදි. පූර්ව මැතිවරණ සමය ඉතාමත් සාමකාමියි. පශ්චාත් මැතිවරණ කාලයත් ඉතාම සාමකාමියි.
පළාත් පාලන ආයතනවල කොට්ඨාස විශාල ප්‍රමාණයක සුවිශේෂී බලයක් ජනතාව ලබාදෙමින් තිබෙනවා. මේ මැතිවරණයේ සමානුපාතික ක්‍රමය හරහා අනෙකුත් පක්ෂවලටත් සභිකයන් ලැබෙනවා. මේ නිසා සභාවන් පිහිටුවීමේදී කිසියම් බල තුලනයක් කර ගත යුතුයි. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සෑම පළාත් පාලන ආයතනයකම ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් සභාව පිහිටුවා ගැනීමට කටයුතු කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතන, නගර සභා, ප්‍රාදේශීය සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා, තමයි කොට්ඨාසවල සංවර්ධන කටයුතු කෙරෙන්නේ. එම සංවර්ධන කටයුතු කිරීමේදී මෙම පළාත් පාලන මැතිවරණ හරහා අපි ලබා ගත්ත ජයග්‍රහණ වැදගත් වෙනවා. අපේ කොට්ඨාසවල අතපසු වුණු විවිධ කාර්යයන් කර ගැනීමට ඉදිරියේදි අවස්ථාව උදාවෙනවා. ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමේදී සියලු සභාවල සභිකයන් ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් සභාවල කෙරෙන කටයුතුවලදී අප සමග සහයෝගයෙන් වැඩ කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.

Saroja Polraj addressing at the Press Conference after local election

කාන්තා හා ළමා කටයුතු ඇමති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහෝදරිය

පළාත් පාලන මැතිවරණයේදී දායකත්වය ලබාදුන් සියලුම දිස්ත්‍රික්කවල, අපත් සමග එකතුවී වැඩකළ සංවිධානවලට, ඡන්දය දුන් සියලුම ජනතාවටත්, පක්ෂයේ සියලුම දෙනාටත් සුතුතිවන්ත වෙනවා. අපි ජනතාවට පොරොන්දු වූ පරිදි, මධ්‍යම රජයෙන් ගනු ලැබූ තීරණ වගේම, ප්‍රාදේශීය මැතිවරණයේදිත් ජනතාව සමග එකඟතාවකට ආවා. අපි ජනතාවට පොරොන්දු ලබා දුන්නා. මේ ප්‍රදේශ සංවර්ධනය කරන්නේ කෙසේද, ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂාව, සෞඛ්‍යය දියුණු කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ ප්‍රදේශයේ මූලික මිනිස් අවශ්‍යතා වෙනුවෙන් අපි ඉලක්ක කළ යුත්තේ කොහොමද? “ක්ලීන් ශ්‍රී ලංකා” හරහා ගම් නගර දියුණු කරන එක මේ පළාත් පාලන ආයතනවල ක්‍රියාවලියත් එක්ක අපි ඉතා ඉක්මනින් වැඩ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලයේ ප්‍රාදේශීය සභාවල, නගර සභාවල කාර්යන් නතර වී, බිඳ වැටී තිබුණු අකාර්යක්ෂමතාවයන් ඉවත් කොට ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරනවා. රජයක් හැටියට අපි ඒවායේ වගකීම් බාර ගන්නවා.

Press Conference after local election

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු:

ප්‍රශ්නය: සමහර තැන්වල 50%ක් වත් ඡන්ද නැති බව දකින්න ලැබුණා. ඔබලාට විපක්ෂයේ සහයෝගය ලබා ගන්න හැකියාවන් ලැබේවිද?

පිළිතුර: සභාවක වැඩි ඡන්ද ලබාගත් පක්ෂයට තමයි සභාව පිහිටුවීමේ සදාචාරාත්මක බලය ලැබෙන්නේ. සභාවක් පිහිටුවිය යුත්තේ දිනන ලද අය එකතු වෙලා. අපි සභා පිහිටුවීමේදී තනි තනිවම ඉදිරිපත් වූ අයත්, ස්වාධීනව ආව අයත් ඉන්නවා. ඒ අය අපට උදව් කරන්න කැමති නම්, අපට පුළුවන් එයාලට උදව් කරන්න. අපි ජනතාව දුන් වරම අනුව සභාව පිහිටුවනවා. ජනතාව ප්‍රතික්ෂේප කළ කුඩා කණ්ඩායම් එක්ක එකතු වී සභා පිහිටුවීම සාර්ථක වේවිද කියන්න අපහසුයි. ජනතාව ප්‍රතික්ෂේප කළ පක්ෂ සමග කිසිසේත්ම එකතු වෙන්නේ නැහැ.

සභාවක වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් අයට තමයි, සභාව පිහිටුවන්න කියා ආරාධනා කරන්නේ. අනෙක් අයට සිදුවෙන්නේ, සභාවෙදි ඊට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න. ඒ අනුව තමයි කටයුතු කරන්න වෙන්නේ.

ප්‍රශ්නය: අයවැයේදි ප්‍රශ්නයක් වුවහොත්?

පිළිතුරු: එසේ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. කොහොමත් සභාපතිවරයාට, සභාව පවත්වාගෙන යාමට විශේෂ බලයක් තිබෙනවා. තීරක ඡන්දයක් සභාපතිවරයාට තිබෙනවා. අපි හොඳ අයවැයක් ඉදිරිපත් කළොත් ඒකට විරුද්ධ වෙන්න කිසිවෙකුට පුළුවන්ද කියන කරුණ තිබෙනවා. අපි මහජන මුදල් නාස්ති කරන්නේ නැති නම්, සොරකම් කරන්නේ නැති නම්, කොමිස්, කොන්ත්‍රාත් ගහන්නේ නැතිනම්, බිම හදන හොඳ වැඩපිළිවෙළකට කිසිවෙකුට විරුද්ධ වෙන්න හැකියාවක් නැහැ. ඡන්ද ප්‍රතිඵල බලලා, ඉලක්කම් එකතු කොට සතුටු වෙන්න හදන අයට, අපි කියනවා යථාර්ථය ඊට වඩා වෙනස්. අපි සභා පිහිටුවලා බලමු.

කවුරු හෝ පුද්ගලයෙකුට හිතුනොත් තමන් ඉන්න තැනට වඩා මෙතන හොඳයි, එයට උදව් කරනවා කියලා. ඒකට කිසිවෙකුටත් බාධාවක් නැහැ. අපි පක්ෂත් එක්ක එකතු වෙලා, සන්ධාන ගහලා සභා පිහිටුවන්න කිසිම අදහසක් නැහැ. ඒ පක්ෂ පැරදුනු හා ප්‍රතික්ෂේප වූ පක්ෂ. ඒ නිසා ඒ පක්ෂත් සමග එකතු වීමට අවශ්‍ය නැහැ.

Bimal Rathnayake addressing at the Press Conference after local election

ප්‍රශ්නය: උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිඵලය ගැන ඔබතුමන්ලාගේ අදහස මොකක්ද?

බිමල් රත්නායක සහෝදරයා පිළිතුරු දෙමින්….

උතුරු නැගෙනහිර සභාවක් පිහිටුවීමට කිසිම දේශපාලන පක්ෂයකට සම්පූර්ණ බලය ලැබී නැහැ. ජාතික ජන බලවේගය ලෙස ගත්තොත් අපට මන්ත්‍රී ධුර 150ක් උතුරු පළාතෙන් ලැබී තිබෙනවා. දැනට තිබෙන ප්‍රතිඵල අනුව මන්නාරම් දිස්ත්‍රික්කයේ සහ වවුනියාව දිස්ත්‍රික්කයේ වැඩිම සභික සංඛ්‍යාව සහ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගෙන තිබෙනවා. ඒ වගේම යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර 81ක් සමග වැඩි ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. අපට ප්‍රාදේශීය සභාවක් උතුරු පළාතේ තිබී නැහැ. වවුනියාවේ එක සභාවක් තිබිලා තියෙනවා. මන්ත්‍රී ධුර 150ක් ලැබීම ඉතිහාස ගත වන අවස්ථාවක්. අවුරුදු සියයක් පමණ පාරම්පරිකව පාලනය කළ පක්ෂ බිඳ වැටී තිබෙනවා. නැගෙනහිර පළාතෙත් ප්‍රාදේශීය දේශපාලන පක්ෂවල බලය විශාල වශයෙන් තිබූ පළාතක්. ජාතික දේශපාලනයේ නැති වුණාට ප්‍රදේශ තුළ, ජාතිකත්වයන් තුළ හදාගත්ත පක්ෂ තමයි තිබෙන්නේ. 2018 සාපේක්ෂව ගත්තොත් අපි ඒ මුළු පළාතෙන්ම පිමි ගණනාවකින් ඉස්සරහට ඇවිත් තිබෙනවා. ජාතික දේශපාලනයේ සහ ප්‍රාදේශීය දේශපාලනයේ විශාල වෙනසක් තිබෙනවා. ජාතික ජන බලවේගය හැරුණු විට අනෙකුත් පක්ෂ අවුරුදු 20ක් 25ක් පැරණි දේශපාලනය කරපු, සභාපතිකම් කරපු, මන්ත්‍රීකම් කරපු අය තමයි අපේක්ෂකයන් වී ඉන්නේ. කොට්ඨාස ක්‍රමය නිසා කිසියම් බලපෑමක් විශේෂත්වයක් තිබෙනවා. කාලයක් සිටි අයට අමතර වාසියක්ද තිබෙනවා. උතුරු නැගෙනහිර ජනතාවත් එක්ක අපි, අනුර සහෝදරයා ජනාධිපති වශයෙනුත්, දේශය මක්කල් ශක්ති විදිහට අපි හදාගත් ඒ සැලැස්ම ඉතාමත් ශක්තිමත්වී තිබෙනවා. දැනටමත් තිබෙන සාකච්ඡා තොරතුරු අනුව, උතුරු පළාතෙත්, නැගෙනහිර පළාතෙත් සභා ගණනාවක් ජාතික ජන බලවේගයේ සභා පිහිටුවන්න පුළුවන් වේවි. අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රතිඵලයත් එක්ක ඉදිරියට යන්න.

සමස්ත ලංකාවෙම 2018දි අපට ප්‍රාදේශීය සභා බලයක් තිබුණේ නැහැ. එතැනින් පසුව අද 250ක් වඩා බලයක් ලබා තිබෙන්නේ. මේ අවස්ථාවේ එයත් සැලකිල්ලට ගත යුතුව තිබෙනවා. උතුරු සහ නැගෙනහිර පළාත වගේම අනෙක් පළාත්වලත් බිම් මට්ටමේ බලය ශක්තිමත් කරගෙන තිබෙනවා. කොට්ඨාස අති විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කර තිබීම විසින් ආණ්ඩුවේ දේශපාලන බලයත්, ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාවලියත් ඉතාම පහසුවෙන් කරන්න හොඳ අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. අපේ අනාගත නායකත්වයන් පුරුදු කරන්න අවශ්‍යව තිබෙනවා. සියලුම මන්ත්‍රීවරු සංඛ්‍යාව හාරදහසකට ආසන්නයි. ඒක අපට විශාල ශක්තියක්. තරුණ පිරිස්, කාන්තාවන් විශාල පිරිසක් එකතු වෙනවා. මේ මැතිවරණයෙන් අපි සැලකිය යුතු අඩිතාලමක් දමාගෙන තිබෙනවා.

ප්‍රශ්නය: සභා පිහිටුවීමේදී ඔබතුමන්ලාගේ සහයෝගය ලබා දෙනවාද?
පිළිතුර: සභා පිහිටුවීමේදී අපි මැදිහත් වෙන්නේ නැහැ. සභා එයාලා පිහිටුවා ගත යුතුයි. නමුත් කඩාකප්පල්කාරී ලෙස ඒවාට බාධා කරන්නේ නැහැ. උතුරු පළාතේ බහුතර බලයකින් සභාවක් පිහිටුවන්න කෙනෙක් නැහැ. ඒ හැම කෙනාටම සිදුවෙලා තිබෙනවා කාගේ හෝ උදව් ගන්න. උතුරු පළාත් ප්‍රධානම නගර සභාවල පවා දැනටමත් අපෙන් ඉල්ලීම් කරමින් තිබෙනවා. ඔවුන් කැමතියි ආණ්ඩු පක්ෂය වන අපත් සමග මේ ගමන යන්න. එවැනි ඉල්ලීම් බොහොමයක් තිබෙනවා. ඒ සම්බන්ධව ප්‍රධාන ලේකම්තුමා ඉදිරිපත් කළ අයුරින් කටයුතු කිරීමට බලා පොරොත්තු වෙනවා.

Show More