(-ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ මාධ්‍ය හමුව – 2024.09.13-) එළැඹෙන 21 වැනිදා ලංකා ඉතිහාසයේ තීරණාත්මකම ජනාධිපතිවරණයක් පවත්වන බව අපි කවුරුත් දන්නවා. මේ වන තුරු දූෂිත සහ වංචාකාරී පාලන තන්ත්‍රයක් ගෙන ගිය පිරිසගෙන් මහජනතාවගේ පාලනයක් පිහිටුවා ගන්න නොඉවසිල්ලෙන් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් මෙතෙක් රට පාලනය කළ පිරිස් කලබල වී මහජනතාව අතරේ අසත්‍ය, විකෘති කරුණු බොහොමයක් […]
(-ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ මාධ්‍ය හමුව – 2024.09.13-)
එළැඹෙන 21 වැනිදා ලංකා ඉතිහාසයේ තීරණාත්මකම ජනාධිපතිවරණයක් පවත්වන බව අපි කවුරුත් දන්නවා. මේ වන තුරු දූෂිත සහ වංචාකාරී පාලන තන්ත්‍රයක් ගෙන ගිය පිරිසගෙන් මහජනතාවගේ පාලනයක් පිහිටුවා ගන්න නොඉවසිල්ලෙන් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් මෙතෙක් රට පාලනය කළ පිරිස් කලබල වී මහජනතාව අතරේ අසත්‍ය, විකෘති කරුණු බොහොමයක් ප්‍රචාරය කරමින්, අනියත බියක් ඇති කිරීමට උත්සාහ කරනවා. විශේෂයෙන්ම බැංකු හා මූල්‍ය ක්‍ෂේත්‍රයේ අවදානමක් ඇති වේවි යැයි විවිධ අසත්‍ය ප්‍රචාර යවමින් සිටිනවා. හිතාමතාම ආර්ථිකය විනාශ කර මහජනතාවගේ ජීවිත උදුරා ගත් අය දැන් අසත්‍ය ප්‍රචාර යවමින් සිටිනවා. ඔවුන්ගේ උපක්‍රමය වී තිබෙන්නේම මහජනතාව තුළ බිය නිර්මාණය කර මහජනතාව රවටා බලය අත්පත් කර ගැනීමයි. ඒ හමුවේ ඉවසීමෙන් සහ අනවශ්‍ය කලබලවලින් තොරව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. වෙළෙඳපොළ ආර්ථිකය තුළ භාණ්ඩ හිඟයක් කිසිසේත්ම ඇති වන්නේ නැහැ. මහජනතාවගේ ජීවිත මෙයට වඩා පහසු කරන්න වෙළෙඳපොළ කළමනාකරණය කිරීමේ සැලසුම් අප සකස් කර තිබෙනවා. ඇතැම් කණ්ඩායම් හිතාමතා නිර්මාණය කරන වාර්තා, ප්‍රවෘත්ති ලෙස ප්‍රචාරය කරන බව අවධාරණය කරනවා. බ්ලූම්බර්ග් ආයතනය හෙළි කර තිබෙන ආකාරයට භාණ්ඩාගාර බැඳුම්කර ද්විතීයික වෙළෙඳපොළේ අලෙවි කිරීමේදී යම් කිසි චලනයක් ඕනෑම රටක මැතිවරණ පවත්වන අවස්ථාවල දී සිදු වෙනවා. ලංකාවේ කොටස් වෙළෙඳපොළ තුළත් මේ බිය නිර්මාණය කරන්න ඔවුන් උත්සාහ කළා. නමුත්, ඒ සියල්ල ඒකාබද්ධ කර කටයුතු කරන්නේ කොහොමද කියලා ඡන්දයට සතියක් පමණ තිබියෙදී සනාථ කර තිබෙනවා. වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සහ ආයෝජන සිදු කරන්නේ කොහොමද කියලා ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් හමුවේ පවත්වන සමුළුවල දී අපි පැහැදිලි කර දී තිබෙනවා.
ආණ්ඩුව සහ විපක්‍ෂය ලෙස සිටින අපට විරුද්ධව වැඩ කරන කණ්ඩායම් මඩ, අවලාදවලට අමතරව වෙනත් විවිධ ක්‍රියාමාර්ගත් ගනිමින් ඉන්නවා. වාහන ආනයන තහනම ලිහිල් කරන බවට හදිසි ප්‍රවෘත්තියක් ආවා. ඒ වෙනුවෙන් කැබිනට් තීරණයක් ගත් බවත් සඳහන් වෙනවා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති බවට බොරු ගොඩක් කියමින් යනවා. අපේ විදේශ වෙළෙඳ පංගුව වැඩි කර ගැනීම ප්‍රධානම අරමුණයි. ඒ වෙනුවෙන් විදේශ වෙළෙඳ ගිවිසුම්වල වර්තමාන තත්වය සමාලෝචනය කර නැවත අලුත් කර ගැනීමත්, ඒ වාගේම අලුතින් වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමත් සම්බන්ධයෙන් පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඒ වාගේම ජාතික ජන බලවේගයේ බජට් එක ගැන සංඛ්‍යාලේඛනත් කියන්න පටන්ගෙන තිබෙනවා. අපි ආණ්ඩුව පත් කර ගත්තාට පස්සේ රජයේ අයවැය දෙපාර්තමේන්තුව සමඟ එක් වී අයවැය ලේඛනය සකස් කරනවා. ඊළඟ වර්ෂයට අදාළ මූලික කෙටුම් පත් අයවැය දෙපාර්තමේන්තුවෙන් සකස් කරමින් සිටිනවා. නමුත්, රනිල් වික්‍රමසිංහට විශේෂ හැකියාවක් ලැබී තිබෙනවා, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට දාන කොටම අපට අදාළ අයවැයකුත් හදන්න. ඒ වාගේම අයි.එම්.එෆ්. එක සම්බන්ධයෙනුත් අපේ මූලික ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් කීවේ, සමහර කොන්දේසි පිළිබඳව සාකච්ඡා මඟින් එකඟතාවකට එන බවයි. ඒ අවස්ථාවේ දී අයි.එම්.එෆ්. එකත් එක්ක ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීම පවා කළ නොහැකි යැයි බිල්ලෙක් මැව්වා. ඊට පසුව ඔවුන් අදාළ වෙනස්කම් සිදු කරන බව ප්‍රකාශ කළා. ඒ අතර ඊයේ 12 වැනිදා මේ මොහොතේ බලයේ සිටින ආණ්ඩුවක් සමඟ නොව අලුතින් පත් වන ආණ්ඩුවක් සමඟ නැවත සාකච්ඡා කිරීමට සූදානම් බව මූල්‍ය අරමුදල නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
බැංකු හා මූල්‍ය ක්‍ෂේත්‍රයට අයත් නොවුණත්, තවත් පැත්තකින් ඔවුන්ම තිර රචනා කරලා, අධ්‍යක්‍ෂණය කළ ප්‍රචණ්ඩකාරී ක්‍රියා පිළිබඳව සිද්ධි නිර්මාණය කිරීම ගැන දැනටමත් තැන් තැන්වලින් වාර්තා වෙනවා. කවරදාකවත් නොතිබුණු ආකාරයේ මඩ, අවලාද මෙන්ම යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියා ඉදිරි සතිය තුළ දී සිදු කළ හැකියි. නමුත්, ඒ කිසිවකට හසු නොවී හික්මීමෙන්, විනයගරුකව කටයුතු කරන ලෙස අපි ජනතාව අවධාරණය කරනවා.
“ජනාධිපතිවරණයට පෙර දූෂිත ගනුදෙනු හමාර කරන ලෙසට ආණ්ඩුවෙන් බැංකුවලට බලපෑම්”
-ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කැඳවුම්කරු සමීර අල්විස්-
ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු හා මූල්‍ය ආයතන 64ක් ලංකාවේ තිබෙනවා. ඊට අමතරව ‘කලම්බෝ එක්ස්චේන්ජ්, කලම්බෝ සෙකියුරිටි ක්‍රිබ්’ වැනි ආයතන බැංකු හා මූල්‍ය සංසදයට සම්බන්ධ වී සිටිනවා. රට පුරා විසිරී සිටින මේ ක්‍ෂේත්‍රයේ 25,000ක් පමණ වෘත්තිකයන් අතුරින් දහස ඉක්ම වූ පිරිසක් නිවාඩු ලබාගෙන රට පුරා සක්‍රියව අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කරමින් සිටිනවා. මෙරට ව්‍යාපාරිකයාගේ මෙන්ම මිලියන ගණනක් ජනතාව පිළිබඳවත් බැංකු හා මූල්‍ය වෘත්තිකයන් හැටියට අපට රට ගොඩනැඟිය හැක්කේ කාට ද කියලා හොඳ අවබෝධයක් තිබෙනවා. බැංකු හා මූල්‍ය ක්‍ෂේත්‍රයේ ඉහළම වෘත්තිකයන් පන්දහසකට අධික පිරිසක් බැංකු දහයකින් ඉවත් වී රට අත්හැර ගියා. අනෙකුත් ක්‍ෂේත්‍රවලට වාගේම අපේ මේ ක්‍ෂේත්‍රයටත් අවුරුදු ගණනාවක් යන තෙක් පිරිමැසිය නොහැකි පාඩුවක් ඉන් සිදු වී තිබෙනවා.
මේ තත්වය තුළ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිවම උපයන විට ගෙවීම් බද්ද අය කරන සීමාව රුපියල් ලක්‍ෂයේ සිට ලක්‍ෂ දෙක දක්වා වැඩි කරන ප්‍රතිපත්තියක ඉන්නවා. මේ රට බංකොළොත් කර ජනතාව ඉතාමත් පීඩාකාරී තත්වයකට පත් කළ පාලකයින් ඔවුන්ගේ පරාජය හමුවේ පවා මහ බැංකු කොල්ලයට නොදෙවැනි කොල්ලයක් සිදු කරන්න සූදානම් වෙමින් සිටිනවා. මේ රටේ ජනතාවට විශාල සේවාවක් සපයන රාජ්‍ය අංශයේ මහජන බැංකුව ඩොලර් මිලියන 10ක මෘදුකාංග ගනුදෙනුවක් කරන්න සූදානම් වුණා. එයට එල්ල වුණු විරෝධය හමුවේ ‘සිල්වර්ලේක්’ පෞද්ගලික සමාගම තමන්ගේ මිල ඩොලර් මිලියන 7.1 දක්වා අඩු කර නැවත ඉදිරිපත් කර තිබෙනවා. බැංකුව නොඉල්ලූ ‘සිල්වර්ලේක්’ කියන සමාගමේ මෘදුකාංග පද්ධතිය ලබා ගන්නා ලෙසට බැංකුවට බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. පසුගිය කාලයේ විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධ ජාවාරම පවරා දී තිබුණේත් මේ සමාගමටමයි. ජනාධිපතිවරණයට පෙර එළඹෙන 18වැනිදා මෙම ගනුදෙනුව හමාර කරන ලෙසට බැංකුවට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් ලහිලහියේ සිදු කරන බලපෑම් නවත්වන ලෙස අපි අවධාරණය කරනවා.
මේ අතර ඛනිජ තෙල් සංස්ථාවට ලංකා බැංකුවෙන් ලබා දී තිබෙන ඩොලර් මිලියන ගණනක ණය වෙනුවෙන් අය විය යුතු පොලිය කපාහැරීමට නියෝග ලැබී තිබෙනවා. පසුගිය වසරේ රුපියල් බිලියන 10ක් වූ ලංකා බැංකුවේ ශුද්ධ ලාභය මෙම වසරේ මුල් මාස අට තුළ රුපියල් බිලියන 1.5ක් දක්වා පහත වැටී තිබෙන්නේ මේ තත්වය තුළයි. ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ අත්තනෝමතික ක්‍රියාමාර්ග තුළින් සිදු වන අලාභය පියවා ගන්න බැංකුවේ ලාභය මේ ලෙස කප්පාදු කිරීම අප දැඩිව හෙළා දකිනවා.
සැප්තැම්බර් 21 වැනිදායින් පසුව අප නිර්මාණය කරන්නේ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව වෘත්තිකයන්ට නිදහසේ තම කටයුතු කරගෙන යා හැකි පාලනයක් බව අවධාරණය කරනවා. විශේෂයෙන් උතුර හා නැඟෙනහිර දෙමළ, මුස්ලිම් ජනතාව පවා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයේ කොටස්කරුවන් වෙන්න අත්වැල් බැඳගෙන අවසන්. ඒ ප්‍රදේශවල සිටින වෘත්තිකයන්ගෙන් සියයට 70ක් පමණ ලංකා ඉතිහාසයේ පළමු වතාවට සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම එකතු වුණු ආණ්ඩුවක් බලයට පත් කර ගන්න සූදානම් වී සිටිනවා. බැංකුවක මුදලක් තැන්පත් කිරීමේ දී සුරක්‍ෂිතතාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ මේ රටේ දූෂිත කණ්ඩායමකට නැවතත් ඡන්දය ලබා නොදෙන ලෙසයි.
“ජනතාවට ලස්සන ජීවිතයක් ලබා දීම වෙනුවෙන් මහන්සි වී වැඩ කිරීමට අපි සූදානම්”
-ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු උපාධිධාරී වෘත්තීය සමිතියේ ලේකම් දිල්ශාන් චාමිකර-
මේ රට ආර්ථික වශයෙන් වට්ටා ජනතාවගේ ජීවිත විනාශ කළ පාලකයන් ඉවත් කරන්න මේ රටේ ජනතාව සැප්තැම්බර් 21 වන තුරු බලා සිටිනවා. බැංකු හා මූල්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තිකයන් වාගේම ආර්ථික විශේෂඥයන්, විද්වතුන් සියලුම දෙනා ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළ නියෝජනය කරන අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරවීමට ඒකරාශී වී සිටිනවා. වර්තමාන ජනාධිපති, රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති වීමට සිහින දකින සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමේ සිහින බොඳ වෙලා තිබෙන්නේ. බුද්ධි අංශ වාර්තා සහ ස්වාධීන සමීක්‍ෂණ වාර්තා අනුව ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු වී තිබීමෙන් ඔවුන් බොහෝ කලබල වී සිටිනවා.
බැංකු හා මූල්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තිකයන් හැටියට අපට මේ ක්‍ෂේත්‍රය පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා. 2015-2019 පාලනය ආරම්භ කළේ රවී කරුණානායක, අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිස සමඟ එක් වී මහ බැංකුව කොල්ලකෑමෙන්. මහ බැංකුවට තිබෙන කීර්ති නාමය සහ විශ්වාසය පළුදු කර මේ රටේ මූල්‍ය පද්ධතියම පළුදු කර ඔවුන් ආණ්ඩුව කරන්න පටන් ගත්තා. විදේශ විනිමය අර්බුදයට වගකිව යුතු ප්‍රධානම පුද්ගලයා රනිල් වික්‍රමසිංහයි. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ඩොලර් බිලියන 12.5කට වඩා ලබා ගත්තා. අඩු පොලියකට ද්විපාර්ශ්වික ණය ගන්නවා වෙනුවට ඔහු කියන පරිණත නායකත්වයෙන් වාගේම ආර්ථික ඔස්තාද්ලා බව කියා ගන්නා හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසත් මේ මූල්‍ය අපරාධවලට හවුල් වුණා. සංස්කෘතික අරමුදල, නිවාස සංවර්ධන අධිකාරිය වැනි ආයතනවල මුදල් සජිත් ප්‍රේමදාසලා සාපරාධී ලෙස පරිහරණය කර ඇති ආකාරය විගණන වාර්තාවලින් හෙළි වී තිබෙනවා.
ඒ වාගේම පාඩු ලබනවා කියන විදුලිබල මණ්ඩලය වැනි ආයතනවලට ඔවුන්ගේ පාලනය යටතේ සේවකයන් 16,000 සිට 19,000 දක්වා වැඩි කළා. රාජ්‍ය ආයතන තමන්ගේ පාක්‍ෂිකයන්ගෙන් පුරවා පාඩු ලබන ආයතන බවට පත් කිරීමට රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසත් වගකිව යුතුයි. එම ආයතනවල සභාපති ඇතුළු පාලන අධිකාරියට පත් කළේත් ඔවුන්ගේ හිතවතුන්. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව වෙනුවෙන් විදේශ ආයෝජන ගෙන එන බව කීවත්, ඒ කිසිවක් ක්‍රියාත්මක වූයේ නැහැ. ජාතික ජන බලවේගය ජාතික ආර්ථික න්‍යාය පත්‍රයට අනුව විදේශ ආයෝජන කැඳවා ගනිමින්, රාජ්‍ය ආදායම් වැඩි කර ගන්නත් නිසි සැලසුම් සකස් කර තිබෙනවා. ආදායම් වැඩි කර ගන්නවා වාගේම නාස්තිකාර වියදම් කපාහැර අයවැය පරතරය අඩු කර ගන්නා ආකාරයත් අපේ සැලැසුම්වල තිබෙනවා.
මේ රටේ ප්‍රගතිශීලී ජනතාව අනුර දිසානායක ජයග්‍රහණය කරවන්න එකතු වී සිටිනවා. ඒ ජයග්‍රහණය නවත්වන්න කිසිවකුටත් බැහැ. අපි හැමෝම පෙළගැසී සිටින්නේ 22 වැනිදා ජයග්‍රහණයෙන් පසුව මේ රට පොහොසත් රටක් බවට පත් කර ජනතාවට ලස්සන ජීවිතයක් ලබා දීම වෙනුවෙන් මහන්සි වී වැඩ කරන්නයි. මෙතෙක් එකතු නොවූ පිරිසටත් අපත් සමඟ එක් වන ලෙස ඉල්ලා සිටිනවා.
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – අම්බලන්තොට – 2024.09.12-) වෙනදා ඡන්දයක් එනකොට ඡන්දෙ කවදාද කියලා ගැන ගැන හිටියේ මේ රට පාලනය කළ පාලක කල්ලි. නමුත් මෙවර ඡන්දය එනතුරු බලාගෙන ඉන්නේ මේ රටේ ජනතාව. 21 නොවෙයි, හෙට ඡන්දෙ තිබ්බත් අපි දිනනවා. මේ රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ මේ ඡන්දය බලාගෙන හිටියා. මේ සම්ප්‍රදායික බල […]
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – අම්බලන්තොට – 2024.09.12-)
වෙනදා ඡන්දයක් එනකොට ඡන්දෙ කවදාද කියලා ගැන ගැන හිටියේ මේ රට පාලනය කළ පාලක කල්ලි. නමුත් මෙවර ඡන්දය එනතුරු බලාගෙන ඉන්නේ මේ රටේ ජනතාව. 21 නොවෙයි, හෙට ඡන්දෙ තිබ්බත් අපි දිනනවා. මේ රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ මේ ඡන්දය බලාගෙන හිටියා. මේ සම්ප්‍රදායික බල රටාව වෙනස් කරන්න 21 වැනිදා උදාවන තුරු මේ රටේ ජනතාව පුල පුලා බලා සිටිනවා. මේ දින කිහිපය අපි හොඳට වැඩ කරමු. වැඩ කරලා මේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරමු.
අපිට අවශ්‍යයි වැඩ කිහිපයක් කර ගන්න. අපේ රටේ දේශපාලන බලය දූෂිත දේශපාලන පවුල් කිහිපයක් අතේ කේන්ද්‍ර ගත වෙලා තිබුණා. ඒ ගොල්ලෝ හැමදාම දේශපාලනය කළේ ඒ ගොල්ලෝ වෙනුවෙන්; පරම්පරාවෙන් පරම්පරාවට බලය ගලාගෙන යන විදිහට. දේශපාලනය වගේම රටේ සම්පත් පවුල් කිහිපයක් අතේ කේන්ද්‍රගත කර ගත්තා. රටේ මහජන ධනය කෝටි ප්‍රකෝටි ගණන් ඒ ගොල්ලන්ගේ මලුවලට පුරවා ගත්තා. මේ දූෂිත පවුල් පාලනය අතින් මෙරට පොදු ජනයා අතට බලය එන මේ අවස්ථාව ඔබ, අපි කිසිසේත්ම අත්හැරියේ නැහැ. මේ අවස්ථාව අපි මඟ හරින්නේ නැහැ. දැන් අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් හොඳටම කලබල වෙලා ඉන්නේ. ඒ ගොල්ලන්ට හොඳටම රිදිලා තියෙන්නේ. ඒ ගොල්ලෝ සැලකිය යුතු ප්‍රමාණයකින් වියරුවට පත්වෙලා ඉන්නේ. ඒ නිසා ඉදිරි දින කිහිපය ඇතුළත ඒ ගොල්ලන්ගෙන් ගිලිහී යන බලය ආරක්ෂා කර ගැනීම සඳහා මොන වගේ දේවල් කරන්න පුළුවන්ද කියලා ඒ ගොල්ලෝ කල්පනා කරමින්, සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ ගොල්ලෝ මෙනවා කළත් වැඩක් නැහැ.
ජාතික ජන බලවේගයේ දේශපාලන ව්‍යාපාරය දැන් තියෙන්නේ ජනතාව අතේ. ජනතාව දැන් අපේ දේශපාලන ව්‍යාපාරය ඒගොල්ලන්ගේ අතට අරගෙන ඉවරයි. අවලාද නැගීමේ වියරු ප්‍රතිචාරවලින් මේක ආපසු හරවන්න බැහැ. කාට හරි හෝ සැකයක් තිබෙනවා නම් අපි මෙම කරුණු ටික නිරාකරණය කර ගත යුතුයි. පසුගිය කාලයේ අපේ රටේ දේශපාලන වේදිකාවේ විශාල ලෙස සාකච්ඡාවට බඳුන් කළේ ජාතිය, ආගම, දේශය බේරා ගැනීම ගැන. මහින්දලා, ගෝඨාභයලා, බලය ගැනීම සඳහා පාවිච්චි කළේ ජාතිවාදී, ආගම්වාදී සටන් පාඨ. දෙමළ, සිංහල, මුස්ලිම් ජනයා එකිනෙකාට එරෙහිව තබා තම බලය තහවුරු කර ගන්නා ජාතිවාද සටන් පාඨ තමයි ඔවුන් වැඩිපුර පාවිච්චි කළේ. තම බලය රැක ගැනීම වෙනුවෙන්,කෑම, ඇඳුම්වල සිට පාස්කු ප්‍රහාරය දක්වා ඒ ගොල්ලෝ ජාතිවාදය පාවිච්චි කළ ජාතිවාදය ඔස්සේ ගියොත් මේරට වැටෙන්නේ අඳුරු අගාධයකට කියලා දැන් ජනතාව ක්‍රමානුකූලව තේරුම් ගනිමින් ඉන්නවා. දැන් මේ රටේ ජනයා ජාතිවාදයට එරෙහිව ජාතික සමගියේ කොඩිය අතට අරන් තිබෙනවා. නමුත් අද වෙනකොට යළිත්, ජාතිවාදය, ආගම්වාදය සහ කරළියට ගේන්න පටන් අරන් තිබෙනවා.
දැන් කියනවා අපි කලබල ඇති කරන්න හදනවා කියලා. කවුද, දිනන ඡන්දෙකට කලබල ඇති කරන්නේ. අපිට ඕන සාමකාමී ඡන්දයක්. පරදින අයට තමයි කලබල ඕනෑ, ඒ අයට තමයි ගැටුම් ඕනෑ, සමාජය අස්ථාවර කරන්න ඕනෑ. දිනන අපිට සාමකාමිත්වය ඕනෑ. එනිසා මැතිවරණය දක්වාත් මැතිවරණ දිනයේදිත් ඉන් පසුවත් උපරිම ලෙස සාමකාමිත්වය සඳහා මැදිහත් වෙන ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි. නමුත් ඒ ගොල්ලෝ නැවත නැවතත් මේක කියන කොට මේක පිටුපස්සේ කිසියම් කුමන්ත්‍රණයක් තියෙනවාද කියන සැකය අපිට එනවා. අපේ සාමාජිකයින්ට අපි කියා සිටිනවා ගල් කැටයක්වත් අතට ගන්න එපා කියලා. පොලීසියේ මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා, මේ රටේ ජනතාවගේ කැමැත්ත මගින් ආණ්ඩුවක් මාරුකර ගැනීමේ අවස්ථාව දැන් තිබෙනවා. ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදය. අපේ රටේ පොලීසිය, හමුදාව, විශේෂ කාර්ය බලකාය මේ සියල්ල අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීමට බැඳී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්න බැඳී සිටිනවා. ඒ නිසා පරදින පාර්ශ්වයන් විසින් යම් කුමන්ත්‍රණයක් ඇති කිරීමේ සූදානමක් තිබෙනවා නම්, දේශපාලන ව්‍යාපාරයක් හැටියට එය වැළැක්වීමට අපි වැඩකරනවා.
ඊළඟට කියනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආපුවහම ආර්ථිකය වැටෙයිලු. කොහෙටද රනිල් මහත්තයෝ තවත් ආර්ථිකය වැටෙන්න තිබෙන්නේ. ලෝකයේ ණය ගෙවන්නේනැති රටක්, ලෝකයත් ණයක් දෙන්නේ නැති රටක්. රෝහල්වල බෙහෙත් නැති රටක්. තරුණ තරුණියන්ට රැකියාවක් සොයා ගන්න බැරි රටක්. රැකියාවක් සොයා ගන්න රට අත්හැරලා යන්න සිද්දවෙලා තිබෙන රටක්. ගොවි ජනතාවට කෘෂිකර්මාන්තයෙන් නිසි ආදායමක් ලැබෙන්නේ නැති රටක්. මුහුදු යන්න බැරිව ධීවර බෝට්ටු වැල්ලේ ගොඩගසා තිබෙන රටක්. ව්‍යාපාරිකයන්ට තමන් ගත්ත ණය ගෙවා ගන්න බැරිව හිරවෙලා තිබෙන රටක්. ත්‍රීවිල් එක අරගෙන ලිසිං වාරිකයක් ගන්න බැරි රටක්. ජනතාවට තුන්වේල කන්න බැරි රටක්. මත්ද්‍රව්‍යවලින් ගහන වුණු රටක්. කොහේටද රනිල් මහත්තයෝ මේක තවත් වැටෙන්න තියෙන්නේ. වැටිලා ඉවරයි. ජාතික ජන බලවේගය බලයට එන්නේ මේ වැටුණු රට ගොඩගන්නයි. අවුරුදු 76ක් තිස්සේ ඔයගොල්ලෝ මේ රට වැට්ටුවා. දැන් අපිට ගෙවා ගන්න බැරි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ඩොලර් බිලියන 12.5යි. මේ ඩොලර් බිලියන 12.5 රනිල් වික්‍රමසිංහ පාලන කාලය තුළ ගත්ත ණය. ඔන්න රට වට්ටපු හැටි. ඒ අතර සජිත් කියනවා රනිල් රාජ්‍ය ආයතන විකුණනකොට අපි කෑ ගැහුවේ නැහැලු. හම්බන්තොට වරාය විකුණලා චෙක් එක ගන්න කොට සජිත් ප්‍රේමදාස චෙක් එකට වැඳගෙන ඉන්නවා. ඔය ගොල්ලෝ දකින්න ඇති. එහෙව් පුතාණෝ කියනවා අපි ගෑ ගහන්නේ නැහැලු. එයා වැඳගෙන ඉන්නවා. අපි කෑ ගහන්නේ නැහැලු. මොනවද මේ කියන්නේ. දැන් එයා අන්ද මන්ද වෙලා. අපේ වේදිකාවේ කියන්න ඕන සමහර දේවල් එයා එයාගේ වේදිකාවේ කියනවා. එයාට පැටලෙනවා. එයාට හිතාගන්න බැහැ මොනවාද කියන්නේ කියලා.
අපි ආණ්ඩුව අරන් මාස 03-04 තුළ කරන වැඩ කොටස දැක්කම අපිට ඡන්දය නොදුන් අයටත් හිතේවි අපරාදෙ අපි ජාතික ජන බලවේගයට ඡන්දෙ නොදුන්නේ කියලා. අපි හදන්නේ මාස 06න් අවුරුද්දෙන් වැටෙන ආණ්ඩුවක් නොවෙයි. වට්ටන්න පුළුවන් ආණ්ඩුවක් නොවෙයි. මේ ගොඩනැගෙන්නේ රටේ ජනතාවත් එක්ක ඒකාබද්ධ වුණු ආණ්ඩුවක්. අද අපේ ඡන්ද ව්‍යාපාරය කරන්නේ ජනතාව. ඔය ගොල්ලන් මේ රැස්වීමට ඇවිල්ලා අත්පුඩි ගහලා 21 වැනිදා වෙනකල් අත් බැඳගෙන ඉන්නවාද නැහැ. කට්ටිය හමුවෙනවා. අපේ පණිවුඩය යනවා. අපිට තවමත් හැරිල නැති කෙනා හරවා ගන්නවා. ඒ ව්‍යායාමය අත් නොහැර ඔබ කරනවා. ඒ ගැන සැකයක් නැහැ. මෙච්චර ජනතාවක් අපිත් එක්ක ස්වේච්ඡාවෙන් එකතු වෙලා ඉන්නෙ මාස 6න් දාලා යන්නද? මාස හයෙන් වට්ටන්නද? නැහැ. මේ රටට අවශ්‍ය කරන සියලු ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කර ගන්න. ඒ නිසා සැප්තැම්බර් 21 අපේ රටේ ඓතිහාසිකම දිනය වෙනවා. 21 දිනය තමයි මෙතෙක් ඒ ගොල්ලෝ අපේ තිබූ බලය පොදු ජනතාව අතට මාරුවෙන දිනය.
දැන් රනිල් වික්‍රමසිංහ මොනවදෝ කියමින් රට වටේ යනවා. මට අභියෝග කරනවා. එයා එක එක දේවල් කියලා මට කියනවා උත්තර දෙන්නලු. මේක හිටිවන කවිමඩුවක්ද? එයාට ආර්ථිකය ගැන විධිමත් සාකච්ඡාවක් ඕනෑ නම්, රූපවාහිනී නාලිකාවක් තෝරා ගනිමු. මම එන්නම්. රට ඉදිරියේ ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියේ විවාද කරමු. එක තැනක ඉඳගෙන. අයි.එම්.එෆ්. එකක් අරගෙන එන්න ඕන නැහැ. අයි.එම්.එෆ්. එක ඡන්දෙ ඉල්ලනවාද? මිනිහා කියන්නේ පොඩි ආටක නාටක ගණයේ කතා. කිසි වගකීමක් නැහැ. එයා කියන දේ එයා දන්නේත් නැහැ. එයා කියන ඒවා අහගෙන ඉන්න අයට තේරෙන්නෙත් නැහැ. ඡන්දෙක තියෙන සංකීර්ණතාවයවත් එහි වගකිම්සහගත බව වත් එයා දන්නේ නැහැ. සජිත් ගැන නම් කතාකරල වැඩක්ම නැහැ. මේ අම්බලන්තොට ජනතාව එයා ගැන හොඳටම දන්නවානේ. අපි සැප්තැම්බර් 21 දා ජයග්‍රහණය කරනවා, ස්ථිරයි. අපිට අම්බලන්තොටිනුත් හොඳම ප්‍රතිඵලයක් ඕනෑ. හම්බන්තොට දිස්ත්‍රික්කය තමයි අපිට හැමදාමත් ජයග්‍රහණ ගෙනැල්ලා දුන්නු දිස්ත්‍රික්කය. අපිට ඉහළම ජයග්‍රහණය ඔබ ලබා දෙනවා නිසැකයි.
අපි බලය ගත් පසු මේ රටේ වගා කළ හැකි සියලු බිම් වගා කරන්න කියලා අපි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එක බිම් කඩක් මුඩුබිමක් වෙන්න දෙන්න එපා. අපි ඔබට වගා කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙනවා. අද පාතාලය, කුඩු ව්‍යාපාරය මේ රටට වසංගතයක් වෙලා. මේවා පිටුපස ඉන්නේ මේ රටේ දේශපාලුවෝ. එක සැරයක් කොළඹදී මන්ත්‍රිවරයෙකුගේ වාහනේ තිබිලා කුඩු කිලෝ 8ක් හමුවුණා. කැගල්ලේ හිටපු මහ ඇමතියෙකුගේ ජීප් එකෙන් තමයි අනුරාධපුරයට ගංජා ඇද්දේ. පොලිසියට අහුවුණා. මේගොල්ලෝ දේශපාලනඥයො නොවයි. අපරාධකාරයෝ. අපේ රටේ එක දරුවක්වත් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වෙන්න ඕන නැහැ. අපි ඒකට ඉඩ තියන්නේත් නැහැ. අපේ පාලනයක් යටතේ අපි කුඩු, අපරාධවලින් තොර රටක් නිර්මාණය කරනවා. අපි කාටවත් ණයත් නැහැ. බයත් නැහැ. පොලීසියේ මහත්වරුන්ට අපි පාතාලය සහ කුඩු මඩින්න අවශ්‍ය බලය දෙනවා. අපි එකතු වෙලා මේ රට මේ විනාශයෙන් ගලවා ගනිමු.
හැම දෙයින්ම අලුත් වෙන, වෙනස් වන රටක් හැම ක්ෂේත්‍රයේම අලුත් දේවල් නිර්මාණය වන රටක්, හැම පැත්තෙන්ම ලෝකයත් සමග ඉදිරියට යන රටක් අපි ගොඩනගනවා. අන්න ඒ සඳහා මේ සැප්තැම්බර් 21 වැනිදා මාලිමාව ජයග්‍රහණය කරවමු. ඒ වෙනුවෙන් ඉහළින්ම මැදිහත් වෙන්න එකතු වෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – මහනුවර – 2024.09.11-) අද දේශපාලන පොරපිටිය වේගයෙන් තීව්‍ර වෙමින් තිබෙනවා. දිනපතා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ස්ථිර වෙමින් තිබෙනවා. ඊට ප්‍රතිපක්ෂව පාලක කණ්ඩායම් අපිට විරුද්ධව අවලාද, අසත්‍ය තොරතුරු හා විකෘති කරන ලද තොරතුරු වපුරමින් ඉන්නවා. ඉන් කියවෙන්නේ සජිත්ගේ කඳවුර, රනිල්ගේ කඳවුර විශාල ලෙස කලබලයට පත්වී ඇති බවයි. වියවුලට […]
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – මහනුවර – 2024.09.11-)
අද දේශපාලන පොරපිටිය වේගයෙන් තීව්‍ර වෙමින් තිබෙනවා. දිනපතා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ස්ථිර වෙමින් තිබෙනවා. ඊට ප්‍රතිපක්ෂව පාලක කණ්ඩායම් අපිට විරුද්ධව අවලාද, අසත්‍ය තොරතුරු හා විකෘති කරන ලද තොරතුරු වපුරමින් ඉන්නවා. ඉන් කියවෙන්නේ සජිත්ගේ කඳවුර, රනිල්ගේ කඳවුර විශාල ලෙස කලබලයට පත්වී ඇති බවයි. වියවුලට පත්වී තිබෙනවා. ඔවුන්ගේ එකම මෙවලම බවට පත්වී තිබෙන්නේ අසත්‍ය තොරතුරු නැවත නැවත කියන එකයි. දැන් නැවත බුදු දහම පිළිබඳව කතාවක් ඇදලා අරගෙන අවලාද නගමින් ඉන්නවා. අපි ඉතා පැහැදිලිවම බුදු දහම මේ දක්වා ඉෂ්ට කරන ලද කාර්යභාරය පිළිබඳවත්, අපේ ශිෂ්ටාචාරය ගොඩනැගීමේදී එය මූලික පදනම දැමූ බවත් ඉතා නිරවුල්ව හා පැහැදිලිව විශ්වාසය කරන ව්‍යාපාරයක්. නමුත් අද මොකද අපේ විරුද්ධ පාර්ශ්ව කරන්නේ. හාමුදුරුවන් වහන්සේලා කණ්ඩායමක් එකතුකරගෙන අපිට විරුද්ධව අසත්‍ය තොරතුරු සහ අවලාද පතුරු වන්නට පටන්ගෙන තිබෙනවා.
මම හිතන්නේ හොඳට හෝ නරකට දේශපාලන වේදිකාවේ ආගම් පිළිබඳව සාකච්ඡාවට ගත යුතු නැහැ. නමුත් මේ පාලක කණ්ඩායම්වල ප්‍රයත්නය වී තිබෙන්නේ නැවත නැවත වේදිකාවට ආගම් පිළිබඳ ප්‍රශ්නය ඇදගෙන එන එක. ඒ නිසා අපි උත්තර දෙනවා මිසක් අපි බුදුදහම හෝ ක්‍රිස්තියානි දහම හෝ ඉස්ලාම් දහම හෝ හින්දු දහම හෝ මේ කිසිවක් අපේ වේදිකාවේ ඡන්ද එකතු කර ගැනීම සඳහා හෝ අනෙකාට විවේචන එල්ල කිරීම සඳහා හෝ අපි කතාබහට ලක් කරන්නේ නැහැ. ඒ ආගම්වලට නිසි ගෞරවය තිබෙන්නේ ඒවා දේශපාලන වේදිකාවට නොගෙන ඉන්න ප්‍රමාණයටයි; දේශපාලනය හා පටලවා නොගන්නා ප්‍රමාණයටයි. ඒ ආගම්වලට නිසි ගෞරවය තිබෙන්නේ දේශපාලන වේදිකාවේ එය සටන් පාඨයක් ලෙස අලෙවි නොකරන තාක්කල්. නමුත් අද බෞද්ධාගමටත් සෙසු ආගම්වලටත් කරන්න පුළුවන් නිගරුව තමයි දේශපාලන වේදිකාවල නැවත පටන් අරන් තිබෙන මේ දහම පිළිබඳ කතිකාව. අපි භාවිතයෙනුත්, අධ්‍යයනයෙනුත් ආගම් පිළිබඳව අපේ ස්ථාවරයන් අපි ඉතා හොඳින් පැහැදිලි කර තිබෙනවා.
තිස්ස අත්තනායක කිවුවා අපි නුවර පෙරහැර නතර කරනවා කියලා. මතක තබා ගන්න තිස්ස අත්තනායක 2015දී කූට ලේඛන හදලා, මාස හත අටක් හිරේ ලැග්ග කෙනෙක්. අනිවාර්යයෙන් අපි දානවා නඩු. ඔයා අධිකරණයේදී හමුවෙන්න ඕනෑ. ඒ වගේ දේවල් දේශපාලන වේදිකාවට ගේන එක වැරදියි. ඒ වගේම චරිත හේරත් කුරුණෑගලදී කිවුවා අපි ඇත්කඳ විහාරයේ පෙරහැර නතර කරනවා කියලා. මොකක්ද මේ කරමින් ඉන්නේ. කිසිදු දේශපාලන විවේචනයක් තර්කානුකූලව ගේන්න නොමැති වූ විට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට තිබෙන එකම දේ තමයි අවලාද, අසත්‍ය තොරතුරු පතුරුවාලීම. දැන් ගෙනැවිත් තිබෙන අලුත්ම සාකච්ඡාව මොකක්ද? ඡන්ද ව්‍යාපරය පටන් ගන්න කොට ඒ ගොල්ලෝ අපි ගැන කිවුවේ අපිට තියෙන්නේ 3%යි. කතාව පටන් ගත්තේ එතැනින්. කොහොමද 3%, 50% වෙන්නේ කියලා. ඒක මහා හාස්කමක්නෙ. වෙන්න බැරි වැඩක්නේ කියලා. දැන් ඒ ගොල්ලෝ දන්නවා හාස්කම වෙලා ඉවරයි කියලා. දැන් කියනවා දිනුවොත් මෙහෙම වෙයි කියලා. තව අය කියනවා දිනුවොත් මාස 06ක්වත් ඉන්නේ නැති වෙයි කියලා. ඒ ගොල්ලන්ට 21 වැනිදා වෙනකල් දිනුවොත් කිය කියා ඉන්න පුළුවන්. 22න් පස්සේ අපි දිනුවා. එච්චරයි.
දැන් ඊළඟට සමාජ ඇතුලේ බියක් හදන්න උත්සාහ ගන්නවා. අපි දිනුවහම 22දා කලබල ඇතිවෙයිලු. ගැටුම් ඇතිවෙයිලු. අපි එහෙම කුමන්ත්‍රණයක ඉන්නවාලු. නැහැ. අපේ රටේ දේශපාලනයේ වෙනසක් ඕනෑ. හැමදේකම වෙනස්කමක් අවශ්‍යයි. අපේ රටේ මෙතෙක් කල් දේශපාලනයේ තිබුණේ මොකක්ද? ජයග්‍රහණය කළාම පරාජිතයට පහර දෙනවා. පරාජිතයාට වෙඩි තියනවා. පරාජිතයව හිංසාවලට ලක්කරන ඉතිහාසයක්. ඒක ඇති තරම අපි අත්විඳ තිබෙනවා. අපේ රටට වෙනස් වෙන්න ඕන කියන්නේ මොනවාද? මේ දේවල්වල ඉඳන් වෙනසක් වෙන්න ඕනෑ. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සැප්තැම්බර් 22 ඔප්පු කරන්නම් අනෙකාට රිදවන්නේ නැතිව, ජයග්‍රහණය සමරන්නෙ කොහොමද, කියලා. ඔබට කුඩා හෝ ප්‍රමාණයකින් බියක් සැකක් ඇතිවී තිබෙනවා නම්, අපි සහතිකයක් දෙනවා. ඔබට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයෙන් පසුව කිසිදු පුරවැසියෙකුට, අපිට ඡන්ද නොදුන් අයට පවා නිය තුඩකින්වත් හානියක් වෙන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ. හැමදෙනාම අපි ආරක්ෂා කරනවා, අපි ආරම්භයේදීම අලුත් දේශපාලන සංස්කෘතියක් මේරට තුළ නිර්මාණය කරනවා. ඉන්පසු පියවරෙන් පියවර මේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට අපි අවතීර්ණ වෙනවා.
මේ රටේ ජනතාවට අවශ්‍ය වෙලා තිබුණේ ජනාධිපති ධුරය වෙනස් කිරීම පමණක් නොවෙයි. මේ පාර්ලිමේන්තුව පිරිසිදු තැනක් කරන්න ඕනෑ කියලා, ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටියා. ජනතාවට දීපු බෙහෙත්වලින් හොරා කාපු අය මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. හිරකරුවන්ට වෙඩි තබන්න උත්සාහ දරපු රත්වත්තෙලා වගේ අය මේකෙ ඉන්නවා. මිරිස් කුඩු ගෙනාපු අය ඉන්නවා. පිහි ගෙනාපු අය ඉන්නවා. පාර්ලිමේන්තුවේ මැද, පුටුවලින් සටන් කරලා ගහගත්ත අය ඉන්නවා. මහින්දානන්දලා වගේ වංචනිකයන්, දූෂිතයන් ඉන්නවා. රෝහිතලා වගේ කප්පම්කරුවෝ ඉන්නවා. ප්‍රසන්නලා වගේ කප්පම්කරුවෝ ඉන්නවා. ඒ නිසා මේ රට ගොඩනගන්න,මේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න ඕනෑ. ජනාධිපතිවරණය දිනුව ගමන් අපිට ඒක තාවකාලිකව කරන්න පුළුවන්. මහා මැතිවරණය දිනවලා ඒක සම්පූර්ණයෙන් කරන්න ඔයගොල්ලෝ අපිට සහාය දෙන්න.
ආදර්ශමත් දේශපාලන භාවිතයක් අපේ රටේ ජනතාවට අවශ්‍යයි. දැනට තිබෙනවා වගේ කැත, පිළිකුල් සහගත දේශපාලනය මේ රටෙන් තුරන්කර දැමීම ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුවයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඒ දේ කරනවා. ආර්ථිකය පියවරෙන් පියවර වර්ධනය කරන්න ඕනෑ. සෑම දෙනාම නීතිය ඉදිරියේ සමානයි කියන වැකියට පණ දෙන්න ඕනෑ. හැමදෙනාම නීතිය ඉදිරියේ සමාන වන රටක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් අපි හදනවා. ඒ වගේම අපිට අහිමි වී තිබෙන ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා අපි ගොඩනඟා ගන්න ඕනෑ. අපිට අවස්ථා ගණනාවකදීම චීනය, ජපානය, ඉන්දියාව වැනි රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මුණගැසීමේ අවස්ථා ලැබුණා. අපි ඔවුන් සමග, අපේ විදෙස් ප්‍රතිපත්තිය ගැන, විදෙස් සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව, ක්‍රියාත්මක කරන ආකාරය දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ලෝකයේ හුදකලා වුණු රාජ්‍යයක් ලෙස අපිට ඉදිරියට යන්න බැහැ.
පැවති හැම ආණ්ඩුවකටම වඩා ලෝකයේ පිළිගැනීමට ලක්වෙන, කීර්තිමත් ආණ්ඩුවක් අපි මේ රට තුළ ගොඩනගනවා. නව ශ්‍රී ලංකාවක් අපි ලෝකය ඉදිරියේ ගොඩනගනවා. අපේ පාසල් දරුවන් සඳහා නිල ඇඳුම්වලට අවශ්‍ය රෙදි ගෙන්වන්නේත් විදෙස්වලින්. ඒකෙනුත් කොමිස් ගහනවා. ඉතිං රටක් බාල්දු නොවී තියේවිද? පොල්තෙල් ගෙන්වන්නේත් පිටරටින්. කොළඹ වරායේ පොල්තෙල් ගබඩාකරන ටැංකි පවා හදලා තිබෙනවා. මේ රටේ බීසීසී වගේ සමාගම් පොල්තෙල් නිෂ්පාදනය කරලා පිටරටත් පැටෙව්වා. එදා පොල්තෙල් පිටරට යවන්න පාවිච්චි කරපු ටැංකිවල අද පිටරටින් පොල්තෙල් ගෙනැත් ගබඩා කරනවා. පොල්තෙල් ගේන තරමට මේ රටේ ජාවාරම්කාර දේශපාලුවන්ට ලාබයි. බද්ද පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා පොල්තෙල්වලිනුත් කොමිස් ගහනවා. මෙහෙ හැදුවොත් ජනතාවට හොඳයි. රටට හොඳයි. හැබැයි ඇමතියට පාඩුයි. පාසල් නිල ඇඳුම් මෙහෙ නිෂ්පාදනය කළොත් ඇමතිට පාඩුයි. චීනයෙන් ගේන කොට ඇමතිට ලාභයි.
ටයිල් ගේන එක නතර කළහම මම දන්න ව්‍යාපාරිකයෙක් රුපියල් කෝටි 1000ක් යොදවලා ටයිල් කර්මාන්ත ශාලාවක් පටන් ගත්තා. සමහර දේශීය කර්මාන්ත ශාලා කෝටි සිය ගණන් වියදම් කරලා අලුත් වැඩියා කළා. අලුතින් නිෂ්පාදනය පටන් ගන්න. ඊට පස්සේ සීමාවකින් තොරව නැවත පිටරටින් ටයිල් ගේනන පටන් ගත්තා. අර කර්මාන්ත ශාලා වැහුණා. දේශීය කර්මාන්තකරුවෝ ඇදගෙන වැටුණා. ඇමතිලාට ඕන ‘බයිං ඇන්ඩ් සෙලිං’ ආර්ථිකයක්. එතකොට තමයි කොමිස්වලින් ඒ ගොල්ලන්ගේ මඩි තරවෙන්නේ. නිෂ්පාදනය ඒ අයට වැඩක් නැහැ. අපේ රටේ සමහර තරුණ ව්‍යාපාරිකයෝ අපේ රටට අවශ්‍ය සමහර බෙහෙත් වර්ග, සෞඛ්‍ය මෙවලම් නිෂ්පාදනය කරනවා. ඒවා අප්‍රිකානු රටවලටත් දැනට යවනවා. දැන් මොකද වෙලා තිබෙන්නේ. කැබිනට් මණ්ඩලයෙන් තීරණයක් ගන්නවා බාල බෙහෙත් රටට ගෙන්වන්න. ඇයි ඇමතිලාට ලාභයි. කෙහෙලිය රඹුක්වැල්ල හිරේ යන්නේ ලාභය නිසා. ලාභ වැඩිවෙලා.
ලෝකයේ දියුණු වුණු හැම රටක්ම එහෙම වුණේ හදන දේවල් ගැන කල්පනා කරලා. අපේ රටේ පාලකයෝ ඒකේ අනෙක් පැත්ත. අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ මේ රටේ මහා කර්මාන්ත පුනර්ජීවනයක්, මනා අධ්‍යාපන පිබිදීමක්, මහා ගොවිබිම් අස්වැද්දීමක්, නිෂ්පාදන ආර්ථිකයේ දේශපාලන සංස්කෘතියේ, සමාජයේ නව පිබිදීමක්, නවෝදයක් ඇති කරනවා. අන්න ඒ විදිහට තමයි ජාතික ජන බලවේගයේ පාලනයක් මේ රට ගොඩනගන්නේ.
“22 වැනිදාට අපි අවදිවන්නේ අලුත් රටකට දොරටු විවෘත කරගෙනයි”
-ප්‍රවීණ රංගන ශිල්පී ජගත් මනුවර්ණ-
පිට්ටනියත් පිරිලා, මහාමාර්ගයත් මහජනතාවගෙන් පිරී තිබෙනවා. ඔබ අපිට කියන පණිවිඩයක් තිබෙනවා. ඒ තමයි අනුර සහෝදරයාව මේ 21 වැනිදාට නියත වශයෙන්ම මේ රටේ ජනාධිපතිවරයා කරන බවයි. 22 වැනිදාට අපි අවදිවන්නේ අලුත් රටකට, අලුත් ලොවකට දොරටු විවෘත කරගෙන කියන පණිවිඩය තමයි ගම්දනව් පුරා, රට පුරා ජනතාව එක මිටකට රොද බැඳගෙන දෙන්නේ. 22දායින් පස්සේ මේ රට පාලනය කරන්නේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක්. අපේ රටේ ජනතාව විඳින වේදනාව, දුක පිළිබඳව කිසිදු කැක්කුමක් නැති නාලිකා කිහිපයක් තිබෙනවා. ඒවායෙන් නිතර ප්‍රචාරය වන්නේ ජාතික ජන බලවේගය ඉලක්ක කර ගත් මඩ, අවලාද සහ අසත්‍ය තොරතුරුයි. නමුත් අපි ඒ ගොල්ලන්ට කියනවා ඒ මඩ, අවලාද සහ ඒ ගොල්ලන්ගේ උප්පරවැට්ටිවලට මේ රටේ ජනතාව තවදුරටත් අහුවෙන්න තරම් අඳබාල නැහැ කියලා.
අද ජාතික ජන බලවේගය වටා රොද බඳින ලක්ෂ සංඛ්‍යාත ජනතාව විසින් එය ඔප්පු කර තිබෙනවා. අපි බලයට පත් වුණොත් ලේ වැගිරීමක් වෙයි කියලා. අපේ විරුද්ධවාදියෝ අනිත බියක් මවනවා. පන්සල්, පල්ලි කඩා දමයිලු. මේ බේගල් පතුරුවන්නේ මෙන මොකක් නිසාවත් නොවෙයි. ඒ ගොල්ලෝ දැන් බයවෙලා ඉන්නේ. හීනෙනුත් බයවෙනවා. ඒක තමයි මේ නන්දොඩවන්නේ. ඒ ගොල්ලන්ගේ දේශපාලනය පරිච්ඡේදය මේ 21 වැනිදායින් පසු අහෝසි වී යනවා කියලා ඒ ගොල්ලෝ දන්නවා. ඒ සඳහා මාලිමාව දිනවන්න මේ රටේ ජනතාව පුල පුලා බලා සිටින බවත්, ඒ ගොල්ලෝ දන්නවා. අර වගේ පහත් නින්දිත මඩ අවලාද අපට එරෙහිව නගන්න පටන් අරගෙන තිබෙන්නේ ඒකට බියගෙනයි.
මේ රටේ ලේ වැගිරීම් කළේ, ජනතාව මහමඟ මරා දැම්මේ, ජනතාවගේ ජීවිත මේ නරාවලට ඇදලා දැම්මේ මේ නරුම පාලකයන් බව මේ රටේ මිනිස්සු දන්නවා. දකුණේ විතරක් නොවෙයි, උතුරේ ජනතාවට කරපු ලොකුම විනාශයන්ගෙන් බරපතළ කොටසක් හිමි වන්නේ ජේආර්ලාගේ, රනිල්ලාගේ, ප්‍රේමදාසලාගේ ආණ්ඩුවලටයි. දකුණු ආසියාවේ ලොකුම සහ සම්භාවනීයම පුස්තකාලය වූ යාපනයේ පුස්තකාලය ගිනි තියන්නේත් ඔය රනිල් වික්‍රමසිංහලා. කළු ජූලිය නිර්මාණය කරලා ම්ලේච්ඡ ඝාතන කළේත් ඒ ගොල්ලන්ගේ ආණ්ඩු. මේ රටේ තවමත් සුළුතරයක් ඉන්නවා. සජිත් ප්‍රේමදාසලාව විශ්වාසය කරන. ඒ ගොල්ලන්ටත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තිබෙනවා දේශපාලනය කරන්න. නාමල් රාජපක්ෂව විශ්වාස කරන අයත් අතළොස්සක් ඉන්නවා. රනිල් විශ්වාස කරන සුළුතරයකුත් ඉන්නවා. ඒක ඒ අයගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. අපි මොකුත් කියන්නේ නැහැ. හැබැයි අද රටේ සාතිශය බහුතරය ඉන්නේ මාලිමාවත් එක්ක. ජාතික ජන බලවේගයත් එක්ක. අපි ඒ සුළුතරයට කියනවා බය වෙන්න එපා පැරදුනාට. ඔයගොල්ලන්ට නියපිටින්වත් හානියක් වෙන්න මාලිමාවේ බහුතරය කිසිම ඉඩක් තියන්නේ නැහැ. 21න් පස්සේ දිනන පරදින ඔබ සියලු දෙනා මේ රටේ සමාන පුරවැසියෝ. මාලිමාවේ පාලනයක් යටතේ ඒ සියලු දෙනාටම සලකන්නේ මේ රටේ සමාන පුරවැසියෝ හැටියට මිසක් හතුරන් හැටියට නොවෙයි.
“අප සමග වැඩකරන සියලු දෙනාගේ අපේක්ෂාව මේ රට ලස්සන රටක් කිරීමයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත-
මෙච්චර ලස්සන විචිත්‍රවත් වේදිකාවක් ලංකාවේ තවත් නැහැ. ඒ තරම්ම මේ වේදිකාව සහ රැලියයි ලස්සනයි. වේදිකාවේ අපි මෙතනට රැස්වෙලා පැමිණි දස දහස් සංඛ්‍යාත ඔබගේ ලස්සන බලන් ඉන්නවා. ඔබලා මේ වේදිකාවේ ලස්සන බලන් ඉන්නවා. මේ බලා සිටින කිසිම සහෝදරියක්, සහෝදරයෙක් මේ රටට ලස්සන අනාගතයක් දැකීම හැර වෙන කිසිදු පෞද්ගලික අපේක්ෂාවක් නැති පිවිතුරු හදවත්වලින් යුක්ත අයයි.
මම මේ මහනුවර දිස්ත්‍රික්කයේ සෑහෙන කාලයක ඉඳන් රැස්වීම් අමතනවා, සාකච්ඡා පවත්වනවා, සංවිධාන වැඩවල යෙදෙනවා. මේ ජයග්‍රහණය පෙනි පෙනී තිබියදීත් “සහෝදරයා මට රස්සවක් ඕනැ” කියලා කියපු කිසි කෙනෙක් මට තාම හමුවුණේ නැහැ. පුද්ගලික ප්‍රතිලාභයක් ඉල්ලාගෙන අපි සමග වැඩ කරන්නේ නැහැ. එහෙම අහපු කිසිවෙකු මට තවම හමුවෙලා නැහැ. ඒක තමයි මම කිවුවේ මේ ඔක්කෝම ලස්සනයි කියලා. ඒ වගේම ඊළඟ පාර්ලිමේන්තු ඡන්දෙදි මට අපේක්ෂකකම ඕන කියලා කියපු, කිසිම කෙනෙක් මේ වේදිකාවේ නැහැ.
අනුර සහෝදරයා දිනපු ගමන් ඉතිරි වැඩ ටික පටන් ගන්න අර පට්ටහොරු, තක්කඩියෝ ටික ඔක්කෝම ගෙදර යවලා ඉන්න ඕනෑ. ඒක අත්‍යවශ්‍යයි. දැන් ගොඩක් අය දන්නවා අනුර සහෝදරයා ජනාධිපති වෙලා දින 45කට පස්සේ පාර්ලිමේන්තු ඡන්දයක් එනවා කියලා. අපිත් එක්ක වේදිකාවේ ඉන්න, ඉන් පිට ඉන්න අපි සමග වැඩකරන මේ සියලු මිනිසුන්ගේ ගැහැනුන්ගේ එකම ආශාව වුණේ මේ රට ලස්සන රටක් කිරීමේ ආශාව විතරයි. අපේ නායකයා ඇවිත් මේ වේදිකාවේ දැන් වාඩිවුණා. මේ වේදිකාව දැන් කලින්ට වඩා සිය දහස් ගුණයක් ලස්සනයි. දැන් මම කතාව නවත්තලා පොඩි පණිවුඩයක් කියන්නම්.
අද උදේම අස්ගිරියෙ මහානායක හාමුදුරුවෝ සමග වැඩ වසන එක හාමුදුරුනමක් මට දුරකථනයෙන් කතා කළා. කතා කරලා ඕගොල්ලන්ට පණිවුඩයක් කියන්න කියලා කිවුවා. රටේ ඉන්නවා සුළු පිරිසක් හාමුදුුරුවරු අපට මඩ ගහන. අවලාද ගහන. මට කතා කරපු හාමුදුරුවෝ කිවුවා මේ වේදිකාවේ ඉඳන් ඒ අයට අස්ගිරි විහාරයට එන්න කියලා, ආරාධනාවක් කරන්න කියලා. ඒ අයට මාලිමාව ගැන හොඳ බණක් කියලා දෙන්න. ජාතික ජන බලවේගය ගැන. අනුර කුමාර සහෝදරයා ගැන බොරු කියන, අවලාද නගන අයට, අනුර කුමාර සහෝදරයා ඇතුළු අපි බුදුදහමත් සමග තිබෙන සම්බන්ධය ගැන කරුණු පැහැදිලි කරලා දෙන්න. උන්වහන්සේලාට අස්ගිරි විහාරයට වඩින්න කියලා කිවුවා. ඕක තමයි ආරාධනාව. ඒ හාමුදුරුවරු වඩින්න. හොඳ බණක් අහලා යන්න එච්චරයි. අපේ වේදිකාවේ ලස්සනත් බලන්න. ඔය ගොල්ලන්ගේ ලස්සනත් අපිට පෙනෙනවා. ඒ වගේම අපේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ මේ රට ගොඩනඟන වටිනා, අර්ථවත් කතාවට ඉඩලබාදෙමින් මගේ කතාව අවසන් කරනවා.
(-ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුව – 2024.09.11-) ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබෙන අවස්ථාවක කළ යුතු ක්‍රියා සහ නොකළ යුතු ක්‍රියා 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ පැහැදිලිව සඳහන් වෙනවා. රජය නියෝජනය කරන අපේක්‍ෂකයා සහ තවත් පිරිස් විසින් මේ පනත දිගින්දිගටම උල්ලංඝනය කිරීම පිළිබඳව මුළු පැමිණිලි 358ක් ලැබී තිබෙනවා. […]
(-ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුව – 2024.09.11-)
ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබෙන අවස්ථාවක කළ යුතු ක්‍රියා සහ නොකළ යුතු ක්‍රියා 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ පැහැදිලිව සඳහන් වෙනවා. රජය නියෝජනය කරන අපේක්‍ෂකයා සහ තවත් පිරිස් විසින් මේ පනත දිගින්දිගටම උල්ලංඝනය කිරීම පිළිබඳව මුළු පැමිණිලි 358ක් ලැබී තිබෙනවා. නීති විරෝධී ප්‍රචාරක කටයුතු පැමිණිලි 178ක්, නීත්‍යනුකූල මැතිවරණ ව්‍යාපාරවලට බාධා කිරීම් සම්බන්ධ පැමිණිලි 6ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් 26ක්, මහජන මතයට අනිසි බලපෑම් කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 104ක්, රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 62ක්, රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ව්‍යාපාරයට අනිසි ලෙස යොදා ගැනීම් සම්බන්ධ පැමිණිලි 33ක් ආදී වශයෙන් ලැබී තිබෙනවා.
මේ සියලු පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබී, නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු කරගෙන යනවා. රාජ්‍ය දේපොළ යන්නට මැතිවරණ පනත අනුව නිලධාරීනුත් අයිති වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රවර්ධන කටයුතු සඳහා රාජ්‍ය සේවකයන් යොදා ගැනීම කැපීපෙනෙන දෙයක් වී තිබෙනවා. රණවිරු සේවා අධිකාරිය මඟින් රණවිරුවන් කැඳවා ඔහුගේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමට සූදානම් වන බව තහවුරු වී තිබෙනවා. හෙට (12දා) දින රණවිරු සේවා අධිකාරියේ සභාපති විසින් රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු ප්‍රවර්ධනය සඳහා සමුළුවක් පැවැත්වීමට යොදාගෙන තිබෙනවා. රජයේ වාහන, නිලධාරීන් යොදාගෙන තිබෙනවා. මෙය සංවිධානය කරන්නේ රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා. ඒ වාගේම රජයට අයත් නිවාස සහ නගර සංවර්ධන අමාත්‍යාංශයේ එල්.ආර්.ඩී.සී. ආරක්‍ෂක සමාගමේ සේවකයන් සේවයට වාර්තා කිරීමෙන් පසුව මේ සමුළුවට සහභාගි වන ලෙසත්, ප්‍රවාහන පහසුකම් සපයන බවත් දන්වා තිබෙනවා.
“කූට ලේඛන සකස් කළ අයට පමණක් නොව, ප්‍රචාරණය කළ සමාජ මාධ්‍යවලටත් වගකියන්න වෙනවා”
-ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අකලංක උක්වත්ත-
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වී සිටියත්, ස්වාධීනත්වයක් පිළිබිඹු නොකරමින්, රාජ්‍ය සම්පත්, දේපොළ, රාජ්‍ය නිලධාරීන්, හමුදා නිලධාරීන්, ගුවන්තොටුපොළ නිලධාරීන් දිගින්දිගටම යොදා ගනිමින් සිටිනවා. අදාළ කරුණු මැතිවරණ කොමිසමට සහ පොලිස් මූලස්ථානයට අප දිගින්දිගටම පැමිණිලි කරමින් පවතිනවා. නමුත්, ඒ ක්‍රියා නැවැත්වීමට සාධනීය ප්‍රතිචාරයක් පෙනෙන්නේ නැහැ. සමඟි ජන බලවේගය මෙන්ම ස්වාධීන අපේක්‍ෂක යන දෙදෙනාම සමාජ මාධ්‍ය යොදා ගනිමින්, දිගින්දිගටම අසත්‍ය කරුණු සහ මඩ ප්‍රහාර එල්ල කරමින් පවතිනවා. එවැනි ක්‍රියා ඡන්දය ආරම්භ කළ මුල් කාලයේ ඉඳහිට වාර්තා වුවත්, මේ වන විට දිනපතා කිහිපයක් ගැන වාර්තා වෙනවා. ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඉතිරි වී තිබෙන සතියක කාලය තුළ මෙම තත්වය තවදුරටත් වර්ධනය කිරීම සඳහා ක්‍රියා කරමින් සිටින බවට අපට වාර්තා වී තිබෙනවා.
අපට තිබෙන්නේ එම කරුණු සම්බන්ධයෙන් පැමිණිලි කිරීමයි. විමර්ශනය කිරීම මැතිවරණ කොමිසමට සහ පොලිසියට භාරයි. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර කඩිනමින් නොගන්නේ නම්, 22 වැනිදාට පසුව හෝ ලබා ගැනීමට සිදු වෙනවා. කූට ලේඛන ප්‍රචාරය කිරීම් දැඩිව සිදු වනවා. මේවා දණ්ඩනීති සංග්‍රහයේ 154 සිට 159 දක්වා වගන්තිවලින් ආවරණය වන බරපතළ කරුණු. මැතිවරණ කාලයෙන් පසුව මේ සම්බන්ධයෙන් ගැටලුවක් නොවන බව සමාජ මාධ්‍ය භාවිත කරමින්, මේ අනීතික ක්‍රියා කරන අය සිතාගෙන ඉන්නවා නම්, ඒක එහෙම නොවෙයි. කූට ලේඛන සකස් කළ අය පමණක් නොවෙයි, ඒවා ප්‍රචාරණය කළ සමාජ මාධ්‍යවලටත් වගකියන්න වෙනවා. දණ්ඩ නීති සංග්‍රහය ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ උදෑසන වැඩසටහන ගැනත් විශේෂ අවධානය දීර්ඝ කාලයක් සමාජය දුර්ගන්ධ හමන ක්‍රියාවක් ලෙස හඳුනාගෙන තිබුණා. දැන් එය ඉතාමත් පිළිකුල්සහගත ආකාරයකට ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා විසින් ජාතික ජන බලවේගයේ නායකයා සහ දේශපාලන ව්‍යාපාරය පාදක කරගෙන අසත්‍ය කරුණු සහ මැතිවරණය පදනම් කරගෙන ජන මනස විකෘති කිරීමට ක්‍රියා කරනවා. මේ සම්බන්ධයෙන් සුවිශේෂී පැමිණිල්ලක් හෙට දිනයේ දී සිදු කරනවා. ඔහුට සභාපති භූමිකාව මැතිවරණ සමයේදී නිසි පරිදි කළ නොහැකි නම්, නිසි බලධාරියකු යටතට පත් කරන ලෙස ඉල්ලීම් කරන්න සිදු වෙනවා. මේ දුර්ගන්ධය සමාජයට දරා ගන්න අමාරුයි. එය ඉවත් කරන්න ඕනෑ. රාජ්‍ය ආයතනයක් වන ගුවන්විදුලි සංස්ථාවේ මේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැනටමත් අවවාද කර ඇති බව අපට දැනගන්නට ලැබෙනවා. මැතිවරණ නීතිය පමණක් නොවෙයි, අපරාධ නීතියත් උල්ලංඝනය කරමින්, ගුවන්විදුලියේ සභාපතිවරයා කරන මේ ක්‍රියාමාර්ග නිදහස් හා සාධාරණ ඡන්දය භාවිත කිරීමට බාධාවක් වී තිබෙනවා.
“මහජනතාව බලාපොරොත්තු වෙන්නේ නිදහස්, සාධාරණ හා සාමකාමී මැතිවරණයක්”
-ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න-
පසුගිය 30 වැනිදා තෙක් අපට වාර්තා වූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාංශයට පැමිණිලි කළා. ඒ පැමිණිලි පිළිබඳව සාධනීය පියවරක් ගනීවි යැයි අප බලාපොරොත්තු වෙනවා. මහජනතාව බලාපොරොත්තු වෙන්නේ නිදහස් හා සාධාරණ, සාමකාමී මැතිවරණයක්. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපත් නිදහස්, සාධාරණ, සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක් සඳහා පූර්ණව කැප වී සිටිනවා. නමුත්, සමහර අවස්ථාවල දී ජාතික ජන බලවේගය ඉලක්ක කරගෙන ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වන බවට වාර්තා වී තිබෙනවා. ගල්කිස්ස ප්‍රදේශයේ නිවසකට ගොස් මේ විදියට තර්ජනය කර තිබුණා. රාජගිරියේ සහ මරදාන මුද්‍රණාල දෙකක ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයා ඉලක්ක කර ගනිමින්, මඩ පෝස්ටර් මුද්‍රණය වන බව අද උදයේ වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අප සූදානමින් සිටිනවා.
ඒ වාගේම ගෙවී ගිය අවසන් දින හත තුළ සිදු වූ නීති විරෝධී ක්‍රියා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන්නම්. සැප්තැම්බර් 3 වැනිදා මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල්ලබැද්ද කොට්ඨාසයේ තිබූ මැතිවරණ කාර්යාලයට ගිනි තබා, අලාභහානි සිදු කර තිබෙනවා. එදිනම නෝනාගම, උහපිටගොඩ ජාතික ජන බලවේගයේ කාර්යාලයේ ඉදිරිපිට තිබූ පතාකය කඩා රැගෙන ගොස් තිබෙනවා. සැප්තැම්බර් 07 වැනි දින හාරිස්පත්තුව, උගුරැස්සපිටිය කාර්යාලයටත්, ගම්පොළ, දැල්පිටිය කාර්යාලයටත් අලාභහානි සිදු කර තිබෙනවා. එදිනම බිබිල පොලිස් වසමේ ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයකුගේ නිවසට ගල් ගසා අලාභහානි සිදු කර තිබෙනවා. ඒ වාගේම සැප්තැම්බර් 08 වැනි දින නාත්තණ්ඩිය, ඉරණවිල ප්‍රදේශයේ කාර්යාලයට පහර දී තිබෙනවා. සැප්තැම්බර් 10 වැනි දින ගම්පොළ, අටබාගේ කාර්යාලයට පහර දී තිබෙනවා. එදිනම තිස්සමහාරාම, රන්මිණිතැන්න ප්‍රදේශයේ දී සමඟි ජන බලවේගයේ ආධාරකරුවන් විසින් ජාතික ජන බලවේගයේ ආධාරකරුවන්ට පහර දී තිබෙනවා.
මේ පැමිණිලි දෙස බැලූ විට අපට පැහැදිලි වන්නේ මැතිවරණය හා සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියාවල පැහැදිලි වර්ධනයක් තිබෙන බවයි. විශේෂයෙන් ම ජාතික ජන බලවේගය ඉලක්ක කරගෙන දියත් කරන ප්‍රචණ්ඩ ක්‍රියාවල වර්ධනයක් තිබෙනවා. ජාතික ජන බලවේගයේ සිටින අපගේ සම්පූර්ණ සහයෝගය මැතිවරණ ලේකම් කාර්යාලයටත්, පොලිසියටත් ලබා දෙනවා. නිදහස් සහ සාධාරණ වාගේම සාමකාමී මැතිවරණයක් පැවැත්වීම අප කාගේත් බලාපොරොත්තුවයි. මැතිවරණ කොමිෂන් සභාව ඒ බලාපොරොත්තුව ඉටු කරාවි යැයි අපේක්‍ෂා කරනවා.
(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.09.11-) ජනාධිපතිවරණයට තව දින කිහිපයක් තිබියෙදී, මුළු රටෙන්ම තොරතුරු වාර්තා වෙන්නේ ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරන බවයි. ඒ ජයග්‍රහණය අපට කිට්ටු වෙමින් තිබියෙදී, විරුද්ධ දේශපාලන කණ්ඩායම් ඔවුන්ගේ ප්‍රතිපත්ති පැහැදිලි කරනවා වෙනුවට රට බියවද්දන්න විවිධ උපක්‍රම යොදමින් සිටිනවා. ඉතාමත් අශික්‍ෂිත, පට්ටපල් බොරු කියමින්, ප්‍රචාරක කටයුතුවල […]
(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.09.11-)
ජනාධිපතිවරණයට තව දින කිහිපයක් තිබියෙදී, මුළු රටෙන්ම තොරතුරු වාර්තා වෙන්නේ ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරන බවයි. ඒ ජයග්‍රහණය අපට කිට්ටු වෙමින් තිබියෙදී, විරුද්ධ දේශපාලන කණ්ඩායම් ඔවුන්ගේ ප්‍රතිපත්ති පැහැදිලි කරනවා වෙනුවට රට බියවද්දන්න විවිධ උපක්‍රම යොදමින් සිටිනවා. ඉතාමත් අශික්‍ෂිත, පට්ටපල් බොරු කියමින්, ප්‍රචාරක කටයුතුවල අවසන් දිනවලදී මේ තත්ත්වය වඩාත් වර්ධනය කිරීමට සැලැසුම් කර තිබෙනවා. ඔවුන් ප්‍රචාරය කරන අවලාදවලට පිළිතුරු දෙන අතර, සමහර අවස්ථාවල අධිකරණ ක්‍රියාමාර්ග පවා අනුගමනය කළා.
මේ දිනවල සමාජගත කරන්නට උත්සාහ කරන බොරු විශාල ප්‍රමාණයක් අතුරින් කිහිපයක් ගැන අවධානය යොමු කරන්නම්. ජාතික ජන බලවේගයේ අනුර සහෝදරයා ජයග්‍රහණය කළ පසු මාස හයක්වත් රට ගෙන යන්න බැරි බවත්, විශාල ලේ වැගිරීම් සිදු වන බවත් කියනවා. මෙයට කලින් සියයට තුන ගත් අයට දිනන්න බැහැ කියමින් ඉඳලා දැන් දිනන බව පිළිගනිමින්, ගෝඨාභය රාජපක්‍ෂගේ කාලයේ දේවල් සිහිගන්වමින්, මඩ, අවලාද ප්‍රචාරය කරනවා. අපි දිනන්නේ මාස හයෙන් රට වට්ටාගන්න නොවෙයි. අපට ප්‍රතිපත්ති සහ සැලසුම් තිබෙනවා. ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න විශාල මහජන බලයක් අප වටා ගොනු වී තිබෙනවා. ඒ නිසා අපේ ආණ්ඩුව හදන්න මහජනතාව ඉන්නවා වාගේම ඒ ආණ්ඩුව රකින්න මෙන්ම රට ගොඩනඟන්නත් විශාල ජන පවුරක් එකතු වී සිටිනවා. අනුර දිසානායක සහෝදරයා කියන්නේ ගෝඨාභය රාජපක්‍ෂ වාගේ බොල් චරිතයක් නොවෙයි. අවුරුදු විසිහතරකට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ හිඳිමින්, තම හැකියාව සහ දක්‍ෂතාව පෙන්වූ අයෙක්. ඒ වාගේම විවිධ වගකීම් දරා තිබෙනවා. තව පැත්තකින් ඔහු තනි, හුදෙකලා චරිතයක් නොවෙයි. ඔහු වටා විශාල සංවිධානාත්මක බලවේගයක් තිබෙනවා. ඒ මඟින් දැන් වට්ටා තිබෙන රට ගොඩ ගන්න ශක්තිමත්, ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවනවා. ඒ නිසා කවුරුවත් මාස හයක් සම්බන්ධයෙන් බිය පැතිරවීම් ගැන බිය විය යුතු නැහැ.
රටේ පෝලිම් යුගයක් ඇති කළේ 2015-2019 කාලයේ රනිල් වික්‍රමසිංහ විසින් විශාල ලෙස විදේශ ණය ගැනීමෙනුයි. අනෙක් පැත්තෙන් පෝලිම් නිර්මාණය කළ මූලික වගකිවයුත්තන් මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුවේ හිටියා. දැන් ඔවුන් කොහෙද ඉන්නේ? කොටසක් සජිත් ළඟත්, අතිවිශාල පිරිසක් රනිල් ළඟත් සිටිනවා. ඒ අතරේ අනුර දිසානායක සහෝදරයා වටා ජනතාව විශාල වශයෙන් එක් වී අවසන්. පසුගිය මැතිවරණයෙන් සියයට තුනට වැටුණත්, අවුරුදු පහක් යන්නත් පෙර මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හැකි ආකාරයට කලබල නොවී සංවිධානය කරමින් ආවා. අපේ ජනාධිපතිවරණ ජයග්‍රහණය කිළිටි කර ගන්න, අවලස්සන කර ගන්න, කළු පැල්ලම් ඇති කර ගන්න අප කිසිසේත් සූදානම් නැහැ. ඡන්දයෙන් පසුව මාලිමාවට ඡන්දය දුන් අයත්, අනෙක් පක්‍ෂවලට ඡන්දය දුන් අයත් අපි ඔක්කොම එකතු වී රට ගොඩනඟනවා. මෑත කාලයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඉතා අවම වී තිබෙනවා. එහෙට මෙහෙට පනින ගෙඹි මන්ත්‍රීවරුන් අරගෙන ආණ්ඩු පිහිටුවන කැත දේශපාලනය අවසන් කරන්න යන ගමනේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවකට ඉඩ නොමැති බව අපි සහතික කරනවා.
ඒ වාගේම සන්නද්ධ සේවා ආරක්‍ෂක අංශවලට අපි අවධාරණය කරන්නේ ඔබ ඔබේ රාජකාරිය නිසි පරිදි ඉටු කරන්න. පොලිසියට ඇඟිලි ගහන්නේ නැති, බලපෑම් නොකරන ආණ්ඩුවක් හැදෙනවා. අපි අමාරුවෙන් දිනා ගන්නා ජයග්‍රහණය කැත කරන්න අපට ඕනෑ නැහැ. නමුත්, සතුරන් දිගින්දිගටම ප්‍රචාරය ගෙන යන ගැටුම් ඇති වෙනවා යැයි කියන තත්වය ගැන අපි අවධානය යොමු කරනවා. ඔවුන්ම රටේ කලබල ඇති කර යම් ප්‍රචාරයක් කරාවිද කියන සැකය අපට තිබෙනවා. මේ වර වලව්වල දූෂිත කණ්ඩායම්වලට වෙනුවට අදූෂිත මහජනතාවට බලය ලැබෙනවා. මේ දූෂිතයන් ගැටුම් නිර්මාණය වන බවට මත ගෙන යනවා. යම් කෙනකු පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන මතයක් ප්‍රචාරය කරනවා නම්, ඔහුගෙන් ප්‍රශ්න කරන ලෙස අපි පොලිසියට අවධාරණය කරනවා. අප දැනටමත් මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා. බියවැද්දීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස අවධාරණය කරනවා.
බුද්ධාගමට තියෙන තැන නැති කරන්න යනවා කියලාත් පට්ටපල් බොරුවක් කියනවා. අපේ රටේ ජනතාව අතර ආගම් කිහිපයක් තිබෙනවා. හින්දු, ඉස්ලාම්, කතෝලික, ක්‍රිස්තියානි යන ආගම් අතර බෞද්ධාගම ප්‍රමුඛස්ථානයේ තිබෙන එක කිසිවකුටත් ප්‍රශ්නයක් නැහැ. අපේ පාලනයක් යටතේ පෙරහැර නවත්වන බවට තිස්ස අත්තනායක කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැනටමත් අපි නඩු පවරා තිබෙනවා. ජාතිවාදී නඩයට ආණ්ඩුවලින් ලැබෙන මුදල් නැතිව ජීවත් වෙන්න බැහැ. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කොරෝනා හැදිලා ජනතාව දුක් විඳින කොට ජාතිවාදී කණ්ඩායම් කවුරුවත් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වුණේ නැහැ. ඡන්දයක් ළං වෙලා තියෙද්දී, ඔවුන් නොයෙක් අවලාද නඟන්නට පටන්ගෙන තිබෙනවා. නමුත්, මහරගම දී අපි පැවැත්වූ ජාතික සංඝ සම්මේලනයට භික්‍ෂුන් වහන්සේලා දහස් ගණනක් වැඩමකොට අපට ආශීර්වාද කළා. ඒ වාගේම අස්ගිරි, මල්වතු, රාමඤ්ඤ යන නිකායවල මහානායක හිමිවරුන් අපට ආශීර්වාද කර තිබෙනවා. මල්වතු පාර්ශ්වයේ මහානායක හාමුදුරුවෝ ඉතා පැහැදිලිව අපට කීවේ, රටට වෙනසක් කරන්න ඕනෑ කියලා. හැමදාමත් බුද්ධාගමට හානි කළ අයගෙන් තමයි, බුද්ධාගම රැකගන්න වෙලා තියෙන්නේ. දළදා මාලිගාව වටේ වැලි කොට්ට ගහලා, අඩ නිරුවතින් නටන රුසියානු කාන්තාවන් ගෙනැවිත්, කාර් රේස් පැවැත්වූ මහත්වරුන් අද අපට අවලාද නඟනවා. ඒ වාගේම ගැටඹේ පන්සල වටා කටුකම්බි ගැසූ අය, බෞද්ධාගමට ලෝකය ඉදිරියේ කළු පැල්ලම් ඇති කළ අය දැන් කිඹුල් කඳුළු හෙළනවා. අපි එන්නේ බෞද්ධයකු ලෙස ජීවත් විය හැකි වාගේම අනෙකුත් ආගම් අනුව ජීවත් විය හැකි සාමය, සතුට පිරි රටක් හදන්නයි. හැම දෙනාගේම හෘදය සාක්‍ෂියට අනුව ක්‍රියා කළ හැකි රටක් හදන්නයි අපි එන්නේ.
ඒ වාගේම උතුරු, නැඟෙනහිර සහ කඳුකර ප්‍රදේශවලට ගොස් 83 කළු ජූලිය වැනි තත්වයක් මාලිමාවේ රජයක් යටතේ ඇති වන බවට දෙමළ ජනතාව බියවද්දනවා. එක්සත් ජාතික පක්‍ෂය කළු ජූලිය නිර්මාණය කරලා රට පුරාම සිටි දෙමළ ජනයාට පහර දීලා, ඝාතනය කර දේපළ විනාශ කළ ආණ්ඩුවේ ප්‍රබලයෙක් තමයි, රනිල් වික්‍රමසිංහ. ඒ වාගේම එදා හිටපු අගමැති තමයි, පුතාණෝගේ පියාණෝ. 1981 සංවර්ධන සභා ඡන්දයේ දී යාපනයේ පුස්තකාලයටත් ගිනි තබා ඡන්දය කොල්ලකෑවේ ඒ ගොල්ලෝ. එවැනි ජාතිවාදී අපරාධ කළ අය දැන් බොරුවට කිඹුල් කඳුළු හෙළන්න පටන්ගෙන තිබෙනවා. දෙමළ ජනයාට, බෞද්ධ ජනතාවට වෙන් වෙන්ව බොරු කියමින්, යන කුඩා බංකොළොත් කණ්ඩායමක් ඉන්නේ. අපේ ජයග්‍රහණයට සිංහල, දෙමළ, මුස්ලිම් රටේම ජනතාව එකතු වන්න ඕනෑ බව අනුර සහෝදරයා යාපනයට ගිහින් කීවා. රනිල් වික්‍රමසිංහ යාපනයට ගිහින් කියනවා, අනුර සහෝදරයා දෙමළ ජනතාවට තර්ජනය කළා කියලා. එයට උතුරේ ජනතාව නියෝජනය කරන සුමන්තිරන් මන්ත්‍රීවරයා පිළිතුරක් ලබා දෙමින්, අනුර සහෝදරයා ජාතිවාදී නොවන බව කීවා. දැන් දෙපැත්තට බෙදිලා ඉන්නේ හැමදාම ජාතිවාදය නිර්මාණය කර විනාශයන් සිදු කළ පිරිසයි. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ගෙන එන්නත් මේ වාගේම ජාතිවාදී ප්‍රචාර යැව්වා. වෛද්‍ය සාෆි වඳ සැත්කම් කරන බව ප්‍රචාරය කළ අයම දැන් සමාව ගන්නේවත් නැතිව අපට විරුද්ධව බොරු කියනවා. ඔවුන් තමයි, පාස්කු ප්‍රහාරය එල්ල කළේ. ඒ වාගේම එක පැත්තකින් දිළිඳු ජනතාවට ලබා දෙන සහන අපේ පාලනයක් යටතේ කපන බව කියනවා. අනෙක් පැත්තෙන් මධ්‍යම පන්තියේ ජනතාවගේ දේපොළ පවරා ගන්නා බව කියනවා. අද ඇත්තටම සිදු වී තිබෙන්නේ තිබෙන වාහනයත් ගෙදර තියලා, බස් එකේ වැඩට යන්නයි.
අපේ ආර්ථික ප්‍රතිපත්ති පවතින්නේ ව්‍යවසායකයන් නඟාසිටුවමින්, ජාතික ආර්ථිකය ගොඩනැඟීමයි. නමුත් තව පිරිසක් ජනතාවගේ ස්ථාවර තැන්පතු රජයට පවරා ගන්නා බවත් කියනවා. අපට කිසිසේත්ම එවැනි පවරා ගැනීමක් අවශ්‍ය වන්නේ නැහැ. හිතුවක්කාරී ලෙස අයි.එම්.එෆ්. ගිවිසුමෙන් ඉවත් වීමක් සිදුවෙන්නේත් නැහැ. මූල්‍ය අරමුදල ලබා දුන් නියෝග බව කියමින්, ජනතාව පටවා තිබෙන විශාල බදු බර සංශෝධනය කරන්න සාකච්ඡා කරනවා. අපි බලයට එන්නේ වට්ටපු රට ගොඩගෙන ජනතාවගේ ජීවිත යහපත් කරන්නයි. ‘පුළුවන්’ කියන රනිල් වික්‍රමසිංහට අපේ රටේ ජනතාවට පාස්පෝට් එක දී ගන්නත් නොහැකි වී තිබෙනවා. ඒ නිසා අපි ජනතාවට කියන්නේ, අපේ ප්‍රතිපත්ති ගැන අපෙන් අහන්න කියලයි. ඒ නිසා අපේ සතුරන් ප්‍රචාරය කරන බොරු, අවලාදවලට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දහඅට වැනිදා රාත්‍රියේ ප්‍රචාරක කටයුතු අවසන් කළ පසු ඉතිරි දවස් දෙක තුළ ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී කණ්ඩායම් යොදවා ගැටුම් හැදීමේ හැකියාවක් තිබේ දැයි අපට සැකයක් තිබෙනවා. ඔවුන් දිගින්දිගටම ගෙන යන ප්‍රචාර හමුවේ අපට එවැනි සැකයක් ඇති වෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂ ගෙන එන්න පාස්කු කුමන්ත්‍රණ සිදු කළා නම්, මේ වැනි දේවල් කිරීමේ හැකියාව ඔවුන්ට තිබෙන නිසයි. ආරක්‍ෂක අංශවලට අපි අවධාරණය කරන්නේ වැරැදි කරන ඕනෑම කණ්ඩායමක් නීතිය හමුවට ගෙනැවිත්, ක්‍රියා කරන ලෙසයි. පරාජිතයන් ගෙන යන බියවැද්දීමේ ප්‍රචාරවලට කිසිසේත් හසු නොවන ලෙස අපි ජනතාවට අවධාරණය කරනවා.
“මැතිවරණය ආසන්නයේ බොරු ප්‍රචාර සහ මඩ ප්‍රචාරවලට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නවා”
-‘ජාතික ජන බලවේගයේ නීතිඥයෝ’ සංවිධානයේ නීතිඥ සුනිල් වටගල-
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක මෙන්ම එහි නායකත්ව මණ්ඩලය ඉලක්ක කරමින්, ගෙන යන මඩ ප්‍රහාර සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබෙනවා. ජාතික ජන බලවේගයේ ව්‍යාජ ලිපි ශීර්ෂයක යොදාගෙන අනුර දිසානායක සහෝදරයාගේ අත්සනත් ව්‍යාජව යොදාගෙන ප්‍රචාරය කරන ලිපි තිබෙනවා. ‘සියලු ආගම් සමානයි’ කියලා එවැනි ලිපියක් ප්‍රචාරය කර තිබුණා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසු පරීක්‍ෂණ පැවැත්වෙනවා. දැනට හෙළි වී තිබෙන්නේ සමඟි ජන බලවේගයට සම්බන්ධ ‘ෆේස්බුක්’ ගිණුමකින් මෙය ප්‍රචාරය කර ඇති බවයි. ඒ වාගේම වසන්ත සමරසිංහ සහෝදරයාව අත්අඩංගුවට ගන්න කියලා අධිකරණය නියෝග කළ බවටත් ප්‍රචාරය කර තිබුණා. මෙම ප්‍රචාරයට දයාසිරි ජයසේකර ඇතුළු නීතිඥයන් තුන්දෙනකු හවුල් වී තිබුණා. ආචාරධර්ම කඩ කිරීමට අදාළව මේ නීතිඥවරු තුන්දෙනා ගැන ක්‍රියාමාර්ග ගන්නා ලෙස අගවිනිසුරුතුමාට පැමිණිලි කර තිබෙනවා. ඒ වාගේම නීතිඥ සංගමයටත් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා. ඊට අමතරව ගල්කිස්ස මහෙස්ත්‍රාත්තුමිය ඉදිරියේ 2024 අංක 8 දරන අධිකරණයට අපහාස කිරීමේ පනත යටතේ වෙනම නඩුකරයක් පවරනවා. ඊයේ (10දා) මගේ අත්සන ව්‍යාජව යොදාගෙන වෛද්‍ය ආචාරධර්ම කඩ කිරීම සම්බන්ධව යැයි කියමින්, ලිපියක් සමාජ මාධ්‍යයට මුදාහැර තිබුණා. හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය ප්‍රකාශ කළ බව කියමින්, දළදා මාලිගාවේ පෙරහැර නතර කරනවා යැයි කියූ බවට තිස්ස අත්තනායක කළ ප්‍රකාශයට විරුද්ධව එන්තරවාසියක් යැව්වා. ඊට අමතරව හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය විසින් කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරුවා. පැය විසිහතරක් පවතින බොරුවක් සමාජගත කර ගන්න ඔවුන්ට හැකි වී නැහැ. මෙවැනි ප්‍රචාරවලට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ මෙහෙයුම් අංශයට පැමිණිලි කරමින්, ඉදිරි කටයුතු ගෙන යනවා.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්
ජාතික ජන බලවේගය ගැටුම් නිර්මාණය කිරීමට සූදානම් වන බවට ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශ ක්‍රියා කරන අතර, ඔබේ පක්‍ෂ යාන්ත්‍රණය මගින් සාමාජිකයන් දැනුවත් කර තිබෙනවාද?
අපි උපදෙස් දීලා තියෙන්නේ, ගැටුම් නිර්මාණය කර ගන්න යන්නත් එපා. ගැටුම් පවතින තැන්වලට යන්නත් එපා කියලා. අපි පවත්වන රැලිවලට සහභාගී වන දසදහස් ගණන් ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් යනවා. අපේ අයට කොතරම් දැනුවත් කර තිබුණත්, මෙවැනි ක්‍රියා කිරීමට විරුද්ධවාදීන් යොදා ගන්නා කුඩා කණ්ඩායම් යම් අනතුරක් කිරීමේ හැකියාව තිබෙනවා. එවැනි නිශ්චිත තොරතුරු ලැබුණහොත්, වහාම පොලිසියට පැමිණිලි කරනවා. ඒ වාගේම ජනතාව දැනුවත් කරමින්, අවධානයෙන් සිටින ලෙසත් දන්වනවා.
ජාතික ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගෙන සිටින පුද්ගලයෙක් මෙවැනි ගැටුම්වලට මුලපිරුවහොත්, ඒ සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රියාමාර්ග ගන්නවා ද?
අපි ආරක්‍ෂක අංශවලට අවධාරණය කර තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ පුද්ගලයකු සම්බන්ධයෙන් වුවත්, ඕනෑම පුද්ගලයකු සම්බන්ධයෙන් නීතිය හරියටම ක්‍රියාත්මක කරන ලෙසයි. යම් හුදෙකලා සිදුවීමක් වුවහොත්, පොලිසිය නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරාවි. අප විශාල කාලයක් මහන්සි වී, කැප වීමෙන් ලබා ගන්නා ජයග්‍රහණය බොඳ කරන්න කිසිවකුටත් ඉඩ දෙන්න බැහැ. අපේ පාක්‍ෂිකයා, සාමාජිකයා, හිතවතා යන කිසිවකුටවත් මෙවැනි දෙයක් කිරීමේ අවශ්‍යතාවක් නැහැ. කුඩා කණ්ඩායම් එවැනි ගැටුම් නිර්මාණය කිරීමට තිබෙන ඉඩකඩ ගැන හැම දෙනා ම අවදියෙන් ඉන්න. එවැනි තත්වයන් පරාජය කරන්න නීතිය හමුවට යන්න කියන පණිවුඩය අපි ලබා දෙනවා.
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – කෑගල්ල – 2024.09.10-) සැප්තැම්බර් 21 ඡන්දය එනතෙක් ඔබ ඇඟිලි ගනිමින් බලා සිටින බව මම දන්නවා. හෙට ඡන්දෙ තිබ්බා නම් තවත් හොඳයි කියලා මේ රටේ ජනතාව දැන් හිතනවා. අනෙක් දේශපාලන කඳවුරු සියල්ල දැන් කඩා වැටිලා. අපිට එරෙහිව අවලාද, අසත්‍ය තොරතුරු කරුණු විකෘති කිරීම් හැර දැන් ඔවුන්ට කිසිවක් ඉතිරි […]
(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – කෑගල්ල – 2024.09.10-)
සැප්තැම්බර් 21 ඡන්දය එනතෙක් ඔබ ඇඟිලි ගනිමින් බලා සිටින බව මම දන්නවා. හෙට ඡන්දෙ තිබ්බා නම් තවත් හොඳයි කියලා මේ රටේ ජනතාව දැන් හිතනවා. අනෙක් දේශපාලන කඳවුරු සියල්ල දැන් කඩා වැටිලා. අපිට එරෙහිව අවලාද, අසත්‍ය තොරතුරු කරුණු විකෘති කිරීම් හැර දැන් ඔවුන්ට කිසිවක් ඉතිරි වෙලා නැහැ. අද අනාගත සැලැස්මක් සහිත ශක්තිමත්ම දේශපාලන ව්‍යාපාරය බවට ජාතික ජන බලවේගය පත්ව තිබෙනවා. ඒ වගේම ඉදිරි ජයග්‍රහණය ඉක්මනින්ම උදාකර ගැනීමේ දැඩි වුවමනාවක් අද ජනතාවට තිබෙනවා. තව දින කිහිපයයි ඡන්දයට තිබෙන්නේ. ඒ දින කිහිපය තුළ කැපවෙලා මහන්සි වෙලා වැඩිම ජයග්‍රහණයක් මේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් අරන් දෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා.
දැන් රාත්‍රි 8.00ටත් කිට්ටුයි. ඔබේ දැස් බලාපොරොත්තුවලින් බරවෙලා බලාගෙන සිටිනවා. ඔබ දශක ගණනාවකට පසු ලංකාවේ අලුත් දේශපාලන පෙරළියක් පිළිබඳව අපේක්ෂාවෙන් බලා සිටිනවා. මේ රටේ ජනතාව අවස්ථා ගණනාවකදීම ආණ්ඩු හදලා, ආණ්ඩු පෙරළලා ඇති තරම් හෙම්බත් වෙලා සිටිනවා. මේ සැප්තැම්බර් 21 මේ රටේ ජනතාව ගන්නේ රට අලුත්ම මාවතකට හරවන තින්දුවක්. අපි ඔබට එකක් කියනවා. ඔබේ බලාපොරොත්තු බිඳකින්වත් බිඳවැටෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒ බලාපොරොත්තු ජයග්‍රාහී ලෙස කෙළවර කිරීම සඳහා අපි මැදිහත් වෙනවා. මේ විනාශකාරී දේශපාලනයේ විපාක අපි දශක ගණනාවක් තිස්සේ දැක්කා. මන්ත්‍රීවරු ඇමතිලා වෙනවා. ගල් කොරි දාගන්නවා. පාරට පස් දාගන්නවා. තේ වතු ගන්නවා. පුතාලට අනාගතය සඳහා පාර හදාගන්නවා. රටේ ජනාධිපති පුටුවේ වාඩි කරන්නේ කොහොමද කියලා සැලසුම් හදනවා. මේක තමයි දිගටම වුණේ.
කෑගල්ලෙන් ඡන්දෙ කරන්න ගෙවල් තියා ගන්නවා. කොළඹින් ඉන්න ගෙවල් තියා ගන්නවා. නුවරඑළියට ගිහිල්ලා හුළං වදින්න ගෙවල් ගන්නවා. වෙරළ තීරයට ගිහිල්ලා හුළං වදින ගෙවල් ගන්නවා. දරුවන්ට උගන්වන්න එංගලන්තේ ගෙවල් ගන්නවා. ඒ විදිහට තමයි ඒ ගොල්ලෝ දේශපාලනය කළේ. ඒ නිසා දීර්ඝ කාලයක් මේ පාලක කණ්ඩායම් ජනතාවගේ සතුරන් බවට පත්වෙලා මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස්කරමින් මේ රටත් ජනතාවත් විපතට පත්කළා. ඒ ගොල්ලෝ සැපත උරුම කර ගන්න රට වැට්ටුවා. ජනතාව දුප්පත් වුණා. ඒ ගොල්ලෝ පොහොසත් වුණා. මෙය වෙනස් කළ යුතුයැයි ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව අපි කාලාන්තරයක් තිස්සේ දේශපාලනය කරමින් ඉන්නවා. මේ ඉතාමත් දූෂිත පවුල් කිහිපයක් අතේ, පරම්පරා කිහිපයක් අතේ ගොනු කරගෙන තිබෙන දේශපාලනය, අතිශය දූෂිත මේ පාලකයන්ගෙන් මේ රටත් ජනතාවත් මුදා ගැනීමේ ස්ථිර අධිෂ්ඨානයෙන් අපි දේශපාලනය කළා. එහි ජයග්‍රහණය මේ සැප්තැම්බර 21 වැනිදාට නියතයි; සහතිකයි.
අපි ඉතාමත් සැලසුම් සහගතව මේ මැතිවරණ ව්‍යාපාරයට අවතීර්ණ වෙලා තිබෙනවා. ඒ පිටුපස්සේ සජිත් ප්‍රේමදාස ගාට ගාට එනවා. රට ගොඩගැනීම පිළිබඳව නොවෙයි. අඩුම තරමේ තමන්ට අනන්‍ය වූ ඡන්ද ව්‍යාපාරයක්වත් ඔවුන්ට කර ගන්න බැහැ. අපි එකක් කළොත් ඒක එයත් කරනවා. අපි වැඩේ මෙගා සයිස් එකට කරනවා. එයා මයික්‍රෝ සයිස් එකට කරනවා. මැතිවණ ව්‍යාපාරයකදි ජනතාව ඉතා හොඳින් සංවිධානය කරන්න ඕනෑ. ඉන් පස්සේ රට හදන බලවේග එකතු කරන්න ඕනෑ. ඒ බලවේග අතරට තමයි මේ බලය මාරු වෙන්නේ. රට හදන්න දැනුම, ඥානය තිබෙන කණ්ඩායම් අවශ්‍යයි. ඒ නිසා ඒ සඳහා රටේ විවිධ ක්ෂේත්‍රවල සංවිධාන අපි ගොඩනැගුවා. විවිධ කෂේත්‍රවලට සම්බන්ධ විද්වතුන්, අත්දැකීම්, දැනුම පලපුරුද්ද තිබෙන අය අපි එකතු කළා. මේ රට බාරගන්න සූදානම්, බාරගත් පසු රට ගොඩනගන්න සමත් දැනුම තිබෙන කණ්ඩායම් අපි එකතු කළා. ඒ වගේම අපි වෘත්තිය සමිති ගොඩනගලා ආයතන බිඳවට්ටන වැඩ නොකර අනාගතයේ එම ආයතන හා වෘත්තිය සමිති ව්‍යාපාරය එක්ව නිෂ්පාදනය වැඩි දියුණු කර, රට ගොඩනඟන්න හැකිවන ආකාරයේ වෘත්තිය සමිති ව්‍යාපාර හාවිතයක අපි නිරත වී සිටිනවා. ගොවි ජනතාව එකතු කරලා දැවැන්ත ගොවි ව්‍යාපාරයක් ගොඩනැගුවා. ව්‍යාපාර හා කර්මාන්තකරුවන්ගේ ව්‍යාපාර ගොඩනැගුවා. ඒ නිසාමේ මැතිවරණය අපි ගෙනියන්නේ මැතිවරණයෙන් පසු රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වන ශකිත්මත්ම බලවේගය ඒකරාශී කරගෙනයි.
ජාතික ජන බලවේගය මේ ඡන්දයට අවතීර්ණ වෙලා තිබෙන්නේ එය ජයග්‍රහණය කරන්නයි. මෙතෙක් මේ රටේ දියත් වුණු කැත පන්නයේ දේශපාලනය අපි නතර කරන්න ඕනෑ. ඡන්දයක් එනකොට එහෙට පනිනවා. මෙහෙට පනිනවා. එහෙන් ගාණ ගන්නවා. මෙහෙන් ගාණ ගන්නවා. ලංකාවේ තිබෙන්නේ මොන තුට්ටු දෙකේ දේශපාලනයක්ද? ලෝකයේ කොහෙවත් මේ වගේ කැත ලැජ්ජාසහගත දේශපාලනයක් නැහැ. මේ දවස්වල රනිල්ගේ වේදිකාවේ, සජිත්ගේ වේදිකාවේ සිද්ධ වෙන දේවල් දිහා බලන්න. සජිත් ප්‍රේමදාස කියන්නේ මෙලෝ දේශපාලන විග්‍රහයක් නැති හාදයෙක්. සමාජයටම දැන් මේ එහෙන් මෙහෙන් ගන්න එක එපාවෙලා තිබෙන්නේ. ඒක තිත්තවෙලා තිබෙන්නේ. ඒක වත් සජිත්ට තේරෙන්නේ නැහැ. අද පොහොට්ටු දේශපාලනයෙන් කොටසක් රනිල් ළඟ. කොටසක් නාමල් ළඟ. පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් 1994 ඉඳලා ඇමති, චන්ද්‍රිකාගෙ ආණ්ඩුවෙත් ඇමති, රනිල්ගේ ආණ්ඩුවෙත් ඇමති, මහින්දගේ ආණ්ඩුවෙත් ඇමති. ගෝඨාභයගේ ආණ්ඩුවෙත් ඇමති. දැන් ඔන්න සජිත්ගේ වේදිකාවේ. මොන තුට්ටුදෙකේ දේශපාලනයක්ද, නාලක ගොඩහේවා ගෝඨාභයගේ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරපු, කොටස් වෙළඳපොළ භාරව ඉන්න කොට ඒකෙ සල්ලි හොරකම් කරපු, රිමාන්ඩ් වෙලා හිටපු කෙනෙක්. එයා දැන් සජිත්ගේ ගාව. මේ මොන දේශපාලනයක්ද?. ගීතා කුමාරසිංහ ගිය සතියේ එකක් කියනවා. මේ සතියේ තව එකක් කියනවා. ගිය සතියේ කියනවා රනිල් තමයි උතුමා කියලා. මේ සතියේ කියනවා සජිත් තමයි උතුම් කියලා. මේ වගේ දේශපාලනයක් මේ රටට ඕනැද?
ආනමඩුවේ ගුරුවරියක් දණ ගස්සලා ගුරු පරපුරට නින්දා කරපු මිනිහෙක්, දැන් සජිත්ගේ වේදිකාවේ. ක්‍රිකට් කෑව කියලා සජිත්ට කෑගහපු තිලංග සුමතිපාලත් දැන් සජිත්ගේ වේදිකාවේ. පසුගිය කාලේ මහා පරිසර විනාශයක්, කැලෑ විනාශයක් කළැයි කියපු සජිත්ම කිවුව රිෂාද් බදියුද්දීනුත් දැන් සජිත්ගේ වේදිකාවේ. රිෂාද් බදියුද්දීන්ට විරුද්ධව සී.අයි.ඩී.යට ගිහිල්ලා පැමිණිලි කරපු පොඩි හාමුදුරු කෙනෙක් ඉන්නවා. උන්වහන්සේත් අද සජිත් ගාව. ගස් කපපු කෙනත් එතන. ගස් රකින්න ගිය කෙනෙත් එතන. මොන නිර්ලජ්ජිත දේශපාලනයක්ද මේ? අර්ජුන රණතුංග ක්‍රිකට්වල ආරක්ෂකයා හැටියට පෙනී සිටියා. තිලංග සුමතිපාල ක්‍රිකට් විනාශ කළා කියලා ඔහු කිවුවා. දැන් දෙන්නම එකට සජිත්ගේ වේදිකාවේ. දැන් මාසෙකට විතර කලින් චම්පික රණවක කිවුවේ මොකක්ද? සජිත්ට තිබෙන්නේ ලාමක ටිං ටිං අදහස් කිවුවා. දැන් ඒ චම්පික රණවක අන්න සජිත්ගේ වේදිකාවේ. රිෂාද්ට එරෙහිව ජාතිවාදී වේදිකාවල නැග්ග චම්පික දැන් රිෂාද්ලා සමග එකම වේදිකාවේ.
සජිත් මාතර රැස්වීමක් කර තිබ්බා. සජිත් මාතර රැස්වීම්වලට යනකොට රිෂාද් බදියුද්දීන්ව හංගලා චම්පික අරගෙන යනවා. නැගෙනහිර රැස්විම්වලට යනකොට චම්පිකව හංගලා රිෂාද්ව අරගෙන යනවා. මේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයද? ඒ නිසා මේ ඡන්ද කාලෙ බැලුවත් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් තිබෙන්නේ ජාතික ජන බලවේගයට විතරයි. අපි ඔය පාර්ලිමේන්තුවේ අපරාධවලට හවුල් වුණු, වංචාවලට හවුල් වුණු එහෙට මෙහෙට පැනපු, ජාතිවාදය අවුස්සපු ඒ කිසිවෙකු ජාතික ජන බලවේගයේ වේදිකාවට අපි ගන්නෙත් නැහැ.
ඒ නිසා මේ ටිකම ඇති කවුද හොඳ, කවුද නරක කියලා තෝරා ගන්න. සැප්තැම්බර් 21 අපි දිනමු. ඊළඟට පාර්ලිමේන්තු ඡන්දයෙත් දිනමු. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බලවත් සංශෝධනයක් ගේනවා. පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි. මේ විකිණෙන, විකුණන දේශපාලනය නතර කරන්න ඕනෑ. දැන් රනිල් කියනවා අනුර යාළුවා මගේ මිත්‍රයා. ඔය එන්නේ ෂේප් එකක් දාගන්න. එයා දන්නවා අපි දිනන බව. හැබැයි ඔයා දීපු ගේම් ගැන අපි පරීක්ෂණ තියනවා. යාළුවාගේ තරම 21 වැනිදායින් පස්සේ ඔයාට බලාගන්න පුවළුන්. ඔයාට ගැලවෙන්න අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. ගත හැකි සියලුම නීතිමය ක්‍රියාමාර්ග අපි අනිවාර්යයෙන්ම ගන්නවා. අපිට අවලාද ගහන්න කියන ඩීල් කතාව ඇත්තටම තියෙන්නේ රනිල්ලා, සජිත්ලා අතර, කබීර් හෂීම් ඔයා මීට සති දෙකකට කලින් රනිල්ව හම්බ වුණේ නැද්ද? තලතත් එක්ක ගිහිල්ලා හම්බ වුණේ. මේගොල්ලෝ එකට එකතු වෙලා ඉන්නේ. රෑට රෑට හමුවෙන අය. එල්.ආර්.සී. එකේ ඉඩම් ගත්ත අය. බාර් ලයිසන් ගත්ත අය. කාර් පර්මිට්, පෙට්්‍රල් ෂෙඩ් බෙදා ගත්ත අය.
මහජනයාගේ ධනය නාස්ති කරමින් එකට රට ගිය අය. එකට තියල පරාජය කරන්න සැප්තැම්බර් 21 වැනිදා රටේ මහජනතාව එකට එකතුවෙලා තීන්දු කර හමාරයි. ඉන්පසු මේ කැත මජර දේශපාලන පොරපිටිය, මේ ජරා ජීර්ණ දේශපාලන සංස්කෘතිය අපි ශුද්ධ කර දානවා. ඊට පස්සේ පියවරෙන් පියවර මේ රට ගොඩනගන්න ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අපි සැලසුම් කර තිබෙනවා.
“ජාතික ජන බලවේගයේ රාජ්‍ය පාලනයක් ඔබේ ජීවිත ලස්සන කරන බවට සහතිකයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය ධම්මික පටබැඳි-
පක්ෂ දෙකක් මේ රට මෙතෙක් පාලනය කර රට බංකොලොත්භාවයට පත් කළාට පසුව පැවැත්වෙන ජනාධිපතිවරණය තමයි මේක. ඒ වගේම මේ රට බංකොලොත්භාවයෙන් මුදාගන්නා නායකයෙකු එනම් අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිවරයා වෙන ජනාධිපතිවරණයත් මේක. මේ ජනාධිපතිවරණයේදී මෙරට ජනතාව ඡන්දය පාවිච්චි කරන්නේ මෙතෙක් කල් ඡන්දය පාවිච්චි කරපු විධියට නොවෙයි. ජනතාව විශාල ලෙස දේශපාලන ක්‍රියාකාරිත්වයට පැමිණ තිබෙනවා. අවුරුදු 76ක් මේ රට පාලනය කරපු මේ විනාශකාරී පාලකයන් පලවා හැර අනුර සහෝදරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මේ රැස්වීම් භූමිය එකම හිස්ගොඩක් බවට පත්වී තිබෙනවා. ඔබ මේ ලබාදී තිබෙන්නේ, කෑගල්ල ජනතාව එක සිතින් අනුර සහෝදරයාව දිනවනවා කියන පණිවුඩය හා සහතිකයයි. සැප්තැම්බර් 21 වැනිදාට මේ රටේ මෙතෙක් පැවැති ඛේදවාචකය අවසන් කර ‘පොහොසත් රටක්, ලස්සන රටක්’ කරන ගමන අපි ආරම්භ කරනවා. ඒ පණිවුඩය අපි අද කෑගල්ල ජනතාව හැටියටත් ලබා දෙනවා.
මේ ජනාධිපතිවරණය අපේ රටට සුවිශේෂී මැතිවරණයක්. අපේ රටේ ඉතිහාසයේ දැවැන්ත ජන අරගලයකින් පසුව පැවැත්වෙන පළමු මැතිවරණය තමයි මෙය. පසුගියදා අපේ රටේ ඇතිවූ අරගලය කියන්නේ මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගිවූ අරගලයක්. නමුත් ඒ අරගලය අවසන් වුණේ එහි අරමුණු සාක්ෂාත් කරගෙන නොවෙයි. මේ රට වංචාවෙන්, දූෂණයෙන් විනාශ කළ මේ පාලක කල්ලි පලවා හරින එකයි; ඔවුන් කළ මහා අපරාධවලට නීත්‍යානුකූලව දඬුවම් දෙන එකයි; මේ හොර පාලක කල්ලි මේ රටෙන් කොල්ල කාපු මහජන මුදල් හා දේපොළ ආපසු පවරා ගන්න එකයි අරගලයේ ප්‍රධාන අරමුණු අතර වුණා. නමුත් ඒ අරගලය මගින් ඒවා ඉටුකර ගන්න අපිට නොහැකි වුණා. ඒ නිසා ඒ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අද මේ රටේ ජනතාව මේ සැප්තැම්බර් 21 වැනිදාට අනුර කුමාර දිසානායක සහෝදරයාව ජනාධිපති කරවන්න එකා වගේ පෙළගැහිලා ඉන්නවා.
මේ මැතිවරණය තමයි ප්‍රතිඵල එන්නත් කලින් ජයග්‍රාහකයා තීරණය කරපු මැතිවරණය. තැපැල් ඡන්දවලින්ම මේ රටේ වැඩකරන ජනතාව එය ඔප්පු කර හමාරයි. මේ මැතිවරණයේ ජයග්‍රාහකයා අනුර කුමාර දිසානායක සහෝදරයා බව දැනටමත් තීරණය වී හමාරයි. නමුත් අපේ කාර්යභාරය මෙතනින් අවසන් නැහැ. මේ 21 වැනිදා දක්වා වෙහෙස නොබලා වැඩ කරලා අනුර කුමාර දිසානායක සහෝදරයා විජයග්‍රහණයක් දක්වා රැගෙන යා යුතුයි. අපේ රටේ ජනාධිපතිවරණයක වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපතිවරයෙකු ජයග්‍රහණය කරන මැතිවරණයත් මෙය වෙනවාට සැකයක් නැහැ. වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරලා ජනාධිපති වෙලා වාර්තාවක් තියනවා සහතිකයි. ඒ වගේම මේ මැතිවරණය පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ශූන්‍ය වූ මැතිවරණයක් බවට පත්වෙන බවත් සහතිකයි.
මට මේ ළඟදි තරුණයෙක් හමුවුණා. ඔහු දැන් නීති විද්‍යාලයේ විභායට සූදානම් වෙමින් ඉන්නේ. මම ඇහුවා ‘කොහොමද’ කියලා. ඔහු කිවුවා ‘හොඳයි’ කියලා. මම ඇහුවා ‘කොහොමද හොඳ වුණේ’ කියලා. ‘මාලිමාවට හොඳයි. ඒ නිසා මටත් හොඳයි’ කිවුවා. ‘මමත් මගේ යාළුවොත් ඡන්දය දෙන්නේ මාලිමාවට තමයි’ කිවුවා. මම ඇහැව්වා මාලිමාවට ඡන්දය දෙන ප්‍රධාන හේතු මොකක්ද කියලා. ඔහු කිවුව දේ තමයි, ‘අපි මාලිමාවට ඡන්දය දෙන්නේ මාලිමාව විතරයි එහෙට මෙහෙට පනින එවුන් තමන්ගේ තුරුළට ගත්ත නැති එකම පක්ෂය. ඒ නිසා තමයි අපි මාලිමාවට ඡන්දය දෙන්නේ’ කියලා.
මාලිමාව කියන්නේ අනෙකුත් පක්ෂවලට සම කළ හැකි පක්ෂයක් නොවෙයි. වෙනස් දේශපාලන සංස්කෘතියක් සහිත දේශපාලන ව්‍යාපාරයක්. මේ රට හදන්න පුළුවන් වැඩපිළිවෙළක් තිබෙන, එය ක්‍රියාවට නගන්න පුළුවන් නිශ්චිත බලවේගයක් සිටින දේශපාලන ව්‍යාපාරයක්. මේ රටේ විද්වතුන් ඇතුළු සියලුම ක්ෂේත්‍රවල ජනතාව විවිධ බලවේග අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා පිටුපස ඉන්නවා. ජාතික ජන බලවේගයේ රාජ්‍ය පාලනයක් තුළ අපි මේ රට පොහොසත් කරනවා, ඔබේ ජීවිත ලස්සන කරනවා කියලා අපි ස්ථිර ලෙසම ඔබට සහතික වෙනවා.