Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“මාලිමාවේ පාලනයක් යටතේ දරුවන්ට තමන්ගේ කැමැත්ත අනුව අධ්‍යාපනයේ ඉහළටම යන්න පුළුවන්” -විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය දිලීප විතාරණ-

(-මාලිමාවේ ජය වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් පවත් වන ලද මාධ්‍ය හමුව – 2024.09.10-) ලාංකේය සමාජය ඓතිහාසික පරිවර්තනයක් අභියස සිටිනවා. මේක දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය, නීතියේ ආධිපත්‍යය සහ සමාජය වශයෙන් වැටෙන්න පුළුවන් පතුලටම වැටී තිබෙන මොහොතක්. ජනතාව රවටමින් පැමිණි යුගයක් නිමාවට පත් කරන්න අපි ජාතික ජන බලවේගය වටා නව බලාපොරොත්තුවක් සමඟින් එකතු වී සිටිනවා. ජනාධිපතිවරණයෙන් අපි බලාපොරොත්තු […]

(-මාලිමාවේ ජය වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් පවත් වන ලද මාධ්‍ය හමුව – 2024.09.10-)

Dileepa Witharana At Lecturers For NPP Press Conference

ලාංකේය සමාජය ඓතිහාසික පරිවර්තනයක් අභියස සිටිනවා. මේක දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය, නීතියේ ආධිපත්‍යය සහ සමාජය වශයෙන් වැටෙන්න පුළුවන් පතුලටම වැටී තිබෙන මොහොතක්. ජනතාව රවටමින් පැමිණි යුගයක් නිමාවට පත් කරන්න අපි ජාතික ජන බලවේගය වටා නව බලාපොරොත්තුවක් සමඟින් එකතු වී සිටිනවා. ජනාධිපතිවරණයෙන් අපි බලාපොරොත්තු වන්නේ එක්තරා ආකාරයකට ජරාජීර්ණ වී තිබෙන සමාජය ශුද්ධ කිරීමක්. ඒ වාගේම සංවර්ධිත ලංකාවක් ගැන තිබෙන බලාපොරොත්තුව ඉෂ්ට කර ගැනීමේ මුල් පියවර ලෙසත් හඳුන්වන්න පුළුවන්. මාලිමාව වෙනුවෙන් රටේ ලොකු පිබිදීමක් තිබෙනවා. නිදර්ශනයක් කීවොත්, සරසවි ආචාර්යවරුන්ගෙන් අති බහුතරයක් මාලිමාව වෙනුවෙන් ක්‍රියා කිරීමට තීරණය කර අවසන්. ප්‍රතිපත්ති සැකැසීමේ සිට කැන්වසින් යාම දක්වා විවිධ ආකාරයෙන් ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට මහා පරිමාණයෙන් අපි ක්‍රියාත්මක වෙමින් සිටිනවා. අපි පසුගිය දිනක විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස කැන්වසින් ගියාම අපට ලැබුණු ප්‍රතිචාරය තමයි ජනතාව විශාල උනන්දුවකින් අපව කැන්වස් කරන්න ඉදිරිපත් වෙනවා. කෙතරම් තීරණාත්මක පරිවර්තනයකට රට සූදානම්ද කියන දේ එයින් පැහැදිලි වෙනවා. එක්තරා ආකාරයකට කොළඹ නගරය පැවැතුණේ කොළ පාටට අයිති බලකොටුවක් හැටියට. නමුත්, මෙවර කොළඹ නගරය පවා ඛණ්ඩනයකට ලක් වී තිබෙනවා. විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව මාලිමාව වෙනුවෙන් අපට හිතාගන්නවත් බැරි තරම් ප්‍රතිචාර දැක්වූවා.

මාලිමාවේ ජයග්‍රහණය තුළින් පොදුවේ සිදු වන පරිවර්තනය පිළිබඳව කෙටියෙන් පැහැදිලි කරන්නම්. අපි එළැඹෙන්නේ මුළු සමාජයම පරිවර්තනය කරවමින් යන පුනරුද යුගයකටයි. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ, අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ, ගමනාගමන ක්‍ෂේත්‍රයේ, සංස්කෘතික ජීවිතයේ සහ තිරසර සංවර්ධනයක් ආදී වශයෙන් සියලුම ක්‍ෂේත්‍ර ආවරණය කරමින්, පොදු ජනයාගේ පාලනයක් මෙම මැතිවරණයෙන් පසුව බිහි වෙනවා. නිදහසින් පසුව එක්තරා ප්‍රභූ කල්ලි ටිකක් ගෙන ගිය පාලනයෙන් නිදහස් වී සාමාන්‍ය ජනයා අතට බලය මාරු වෙනවා. අපි අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නිසා සහ පුනරුදයේ තීරණාත්මක කාර්යභාරයක් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට පැවරී තිබෙන නිසා කෙටියෙන් අධ්‍යාපනය පිළිබඳව අදහස් දක්වන්නම්. මෙපමණ කලක් අධ්‍යාපනය වෙනුවෙන් රාජ්‍ය අංශයෙන් යෙදවූ මුදල් ක්‍රමානුකූලව කප්පාදු කරගෙන ගියා. ඇත්තටම ගත්තොත්, සම්පූර්ණයෙන් ම ඉවත් වූ මට්ටමකට පැමිණ තිබෙනවා. මුදල්මය වශයෙන් පමණක් නොවෙයි, දෙමවුපියන්ගේ කාලය සහ ශ්‍රමය පැත්තෙන් ගත්තත්, දරුවන්ගේ අධ්‍යාපනය මුළුමනින්ම ඔවුන් මත පටවා තිබෙනවා. විශේෂයෙන්ම පාසල් පද්ධතියේදී මේ බව දකින්න පුළුවන්.

නමුත්, මාලිමාවේ පාලනයක් යටතේ ඉතාමත්ම තීරණාත්මක ලෙස බලයට පත් වන මුල් වර්ෂයේදීම අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරන්න තීරණය කර තිබෙනවා. මේ තුළින් පාසල් මෙන්ම විශ්වවිද්‍යාලවල පවා තිබෙන විෂමතාවන් ඉවත් කෙරෙනවා. විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනයේදී දෙමවුපියන්ගේ නිවසේ සිට හෝ පදිංචි ස්ථානයේ සිට කිලෝමීටර් තුනක් ඇතුළත දරුවන්ට අංගසම්පූර්ණ පාසලක් ලබා දීම ප්‍රධානම ඉලක්කයක්. තව පැත්තකින් 10 වැනි ශ්‍රේණියේ සිට වෘත්තීය පුහුණු අධ්‍යාපනයක් හඳුන්වා දීමත් තිබෙනවා. නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් එය ඉතාමත් අත්‍යවශ්‍යයි. ඒ වාගේම සමාජ ක්‍රියාකාරීත්වය වෙනුවෙනුත් එම වෘත්තීය පුහුණුව අත්‍යවශ්‍යයි. පළමුවැනි වසරට ඇතුළත් වන සිසු දරුවන් සියලු දෙනාටම තමන්ගේ කැමැත්ත අනුව ඉහළටම අධ්‍යාපනයේ යෙදීමේ අවස්ථාව හඳුන්වා දෙනවා. මම මේ පැහැදිලි කළේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ මාලිමාවේ පාලනයක් යටතේ ඇති කරන පුනරුදය ගැනයි. අනෙකුත් ක්‍ෂේත්‍රත් මේ වාගේම සමස්ත පරිවර්තනයකට ලක් කරනවා.

Nirmal Ranjith Dewasiri At Lecturers For NPP Press Conference

“අපට ඇති එකම විකල්පය ජන අභිලාෂය නියෝජනය කරන අනුර සහෝදරයායි”
-කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි-

ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනීසිටීමේ සහ ක්‍රියා කිරීමේ වැදගත්කම කුමක්ද යන්න මේ ජනාධිපතිවරණය අභියස සලකා බැලීම වැදගත්. අපේක්‍ෂකයන් 38ක් සිටියත්, ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ඉදිරියෙන් සිටින බව පෙනෙන්නේ අපේක්‍ෂකයන් තුන්දෙනයි. අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන තිදෙනා මේ අතර සිටියත්, රනිල් වික්‍රමසිංහට ඉදිරි පෙළ පෙනීමක් තිබෙන්නේ ඔහු දැනටත් ඉන්න ජනාධිපතිවරයා වන නිසයි. මේ අපේක්‍ෂකයන් තිදෙනෙක් බව පෙනුණත්, පැහැදිලිවම පාර්ශ්ව දෙකයි තිබෙන්නේ. ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මාලිමාව සහ එයට විරුද්ධ පාර්ශ්ව වශයෙන් මේ බෙදීම පවතිනවා. ප්‍රධාන මාධ්‍යවල ප්‍රවෘත්ති, විවාදවල වාගේම සමාජ මාධ්‍ය අවකාශයේත් පවතින්නේ ඒ ආකාරයෙන්මයි. මාලිමා විරෝධීන් රනිල්ගේ පාර්ශ්වය, සජිත්ගේ පාර්ශ්වය, නාමල්ගේ පාර්ශ්වය, දිලිත්ගේ පාර්ශ්වය විතරක් නොවෙයි, ජන අරගල ව්‍යාපාරය කියන නුවන් බෝපගේගේ පාර්ශ්වය යන සියලු දෙනාගේ ප්‍රචාරක ව්‍යාපාරය යොමු වී තිබෙන්නේ මාලිමා විරෝධයකටයි. මාලිමාව සහ සෙසු පිරිස් අතර ජනාධිපතිවරණ තරගය පවතින බව මූලික ලක්‍ෂණයක්. අපේ පක්‍ෂපාතීත්වය නිසා කියනවා නොවෙයි, සැබැවින්ම ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටින්නේ අනුර කුමාර දිසානායක සහෝදරයායි. ඔහුට ආසන්න තරගයක් තිබෙන්නේ සජිත් ප්‍රේමදාස සමඟ බව පේනවා.

සජිත් ප්‍රේමදාස පාර්ශ්වය ගැන සැලකිල්ලෙන් බැලුවාම මාලිමාව නියෝජනය කරන ප්‍රතිසංස්කරණවාදී ඉලක්ක සහිත අපේක්‍ෂකයෙක් ලෙස සමාජයේ පහළම තීරුවේ ජනතාව සම්බන්ධයෙන් පෙනීසිටින්න උත්සාහ කරනවා. නමුත්, සජිත්ගේ පාර්ශ්වය සහ මාලිමාව අතර වෙනස තේරුම් ගන්න නම්, සංසන්දනය කළ යුත්තේ, හර්ෂ ද සිල්වා සහ මාලිමාවයි. ඒ කියන්නේ හර්ෂ ද සිල්වාගේ පෙනීසිටීම සහ සජිත් ප්‍රේමදාසගේ පෙනීසිටීම අතර මූලික වෙනසක් තිබෙනවා. සජිත් පාර්ශ්වයේ ප්‍රධාන ආර්ථික චින්තකයා හර්ෂ ද සිල්වා. ඔහුගේ ප්‍රතිපත්තිමය නැඹුරුව රනිල් වික්‍රමසිංහයි. පදනමින් ගත්තාම වෙනසක් නැහැ. ඔහු ප්‍රකාශ කරන්නේ, “මාලිමාව ආවොත්, අයි.එම්.එෆ්. ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙනවා” කියලා. ඔහු පුන පුනා කියන්නේ අයි.එම්.එෆ්. ප්‍රවේශය නියෝජනය කරන්නේ සමඟි ජන බලවේගය බවයි. රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වයෙන් කියන්නෙත් ඒකයි. ඒ අනුව මාලිමාවේ ආර්ථික චින්තනය සහ හර්ෂ ද සිල්වාගේ ආර්ථික චින්තනය අතර වෙනසක් මිස එළිපිට පෙනෙන ආකාරයෙන් සජිත් සහ අනුර අතර තරගයක් නැහැ. මෙතෙක් කල් ලංකාව අනුගමනය කළ ආර්ථික සහ දේශපාලන ක්‍රමය අධිපති ක්‍රමය බව අපි දන්නවා. එහි දිගුවක් රනිල් වික්‍රමසිංහ පැහැදිලිව නියෝජනය කරන අතර, විකල්පයක් ලෙස පෙනීසිටින්න උත්සාහ කළත්, සජිත් ප්‍රේමදාස පාර්ශ්වය නියෝජනය කරන්නෙත් එයමයි. පසුගිය කාලයේ අන්ත දූෂිත දේශපාලනය නියෝජනය කළ පිරිස රනිල් සහ සජිත් අතර බෙදී ගොස් සිටිනවා.

මේ තත්ත්වය තුළ ජනතා කේන්ද්‍රීයව සලකා බැලුවාම 2022 අරගලයෙන් ඉල්ලා සිටි ක්‍රම වෙනස නියෝජනය කළ විශාල ජනතාවක් ඉන්නවා. ක්‍රම වෙනස කියන්නේ මූලික වශයෙන් ගත්තාම ජනතාව බලාපොරොත්තු වන්නේ දූෂිත ක්‍රමය අවසන් කර දූෂිත දේශපාලනයෙන් බැහැර වීමයි. ඒ ක්‍රම වෙනස සාක්‍ෂාත් කර ගැනීම සඳහා තෝරාගෙන තිබෙන දේශපාලන බලවේගය වී තිබෙන්නේ ජාතික ජන බලවේගයයි. ජනයාගේ අභිලාෂය නියෝජනය කරනවා නම්, අපට තිබෙන එකම විකල්පය වන ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ අපේක්‍ෂකත්වය වෙනුවෙන් පෙනීසිටිය යුතු බව සෘජුවම ප්‍රකාශ කරනවා. එයින් නියෝජනය කරන්නේ මාලිමාවේ සමස්ත බහුජන ව්‍යාපාරයයි. මම ඒ මතය නියෝජනය කරන සහ ක්‍රියාකාරීව මැදිහත් වන පුද්ගලයෙක්.

Kithsiri Dissanayake At Lecturers For NPP Press Conference

“අපේ ආර්ථිකය ගොඩනඟා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව ලෙස විශාල වගකීමක් අපට තිබෙනවා”
-මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කිත්සිරි දිසානායක-

මම විශේෂයෙන්ම අපේ ආර්ථිකය පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්. වසරක අපේ ආර්ථිකයේ සමස්ත වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 84ක් පමණ වෙනවා. මහ බැංකු වාර්තා අනුව එහි වෙනස්කමක් තිබෙන්නත් පුළුවන්. මේ ආර්ථිකයෙන් සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 20ක පමණ ආනයනයක් පවතින අතර, ඩොලර් බිලියන 12ක පමණ අපනයනයක් පවතිනවා. විදේශ වෙළෙඳාමේ හිඟය ඩොලර් බිලියන 08ක් වීමේ වෙනස පියවා ගන්න විදේශ ශ්‍රමික ප්‍රජාවගෙන් ලැබෙන ආදායම ප්‍රධාන වශයෙන් යොදා ගන්නවා. අපේ අනෙකුත් අපනයනවල ආදායම් ඒ හිඟය පියවා ගන්න ප්‍රමාණවත් නැහැ. මොරටුව විශ්වවිද්‍යාලය තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටිමින්, ඉංජිනේරු විෂය ක්‍ෂේත්‍ර 12ක පමණ උපාධි පාඨමාලා පවත්වාගෙන යනවා. ආර්ථිකය ගොඩනැඟීමට මෙයින් ලබා දෙන දායකත්වය පිළිබඳව පුළුල් අවධානයක් යොමු කළ යුතුයි. අපේ ආනයන වියදමෙන් සියයට 25ක් පමණ වැය වන්නේ පොසිල ඉන්ධන ආනයනය කිරීමට. අපේ විදුලිය නිෂ්පාදනයෙන් සියයට 60ක් පමණ ආනයනික තෙල් සහ ගල්අඟුරු මත පදනම් වෙනවා. වාර්ෂිකව විදුලිය ගිගා වොට් පැය 16,000ක් පමණ පාවිච්චි කරනවා. එයින් සියයට 60ක් පමණ ගල්අඟුරුවලින් සහ තෙල්වලින් නිෂ්පාදනය වන අතර, ඒ වෙනුවෙන් ඩොලර් බිලියන 7.5ක් පමණ වැය වෙනවා. මේ වියදම ඉතිරි කර ගැනීමේ ක්‍රමවේද තිබෙනවා. සුළඟ සහ සූර්යාලෝකය යොදා ගනිමින්, විශාල විදුලි ජනනයක් සිදු කළ හැකියි. සාමාන්‍ය ජනතාවට වුවත්, පුනර්ජනනීය බලශක්තියට යොමු වී කටයුතු කරන්න පුළුවන්. අනුර කුමාර සහෝදරයාගේ නව රජය යටතේ මේ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර රජයෙන් සහන ලබා දී පුනර්ජනනීය විදුලි උත්පාදනයට ප්‍රමුඛත්වයක් ලබා දෙනවා.

ඊට අමතරව රට තුළ විශාල ඛනිජ සම්පත් ප්‍රමාණයක් පවතිනවා. මුහුදට අපි තවම අත තියලාවත් නැහැ. පුල්මුඩෙයි ඛනිජවැලි, පරන්තන් රසායනික ද්‍රව්‍ය කම්හල වැනි ප්‍රභවයන් මුල් කරගෙන අපේ ආර්ථිකයට තවත් සියයට 10ක පමණ දායකත්වයක් ලබාගත හැකියි. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මාලාවේ මේ සම්බන්ධයෙන් කරුණු දැක්වෙනවා. අනාගතයේ ඉතාමත් පැහැදිලි ආර්ථික වර්ධනයකට යාමේ හැකියාව තිබෙනවා. පසුගිය රජයවල් යටතේ මම ආයතන ගණනාවක සේවය කර තිබෙනවා. පෙර සිටි ජනාධිපතිවරුන් දෙදෙනකුට මේ සම්බන්ධයෙන් මම පැහැදිලි කිරීම් කළත්, අදාළ කිසිම ක්‍රියාමාර්ගයකට යොමු වුණේ නැහැ. විශ්වවිද්‍යාල ප්‍රජාව විදියට අපේ ආර්ථිකය ගොඩනඟා ගැනීම සඳහා විශාල වගකීමක් තියෙනවා. ඒ අතුරින් මොරටුව විශ්වවිද්‍යාලය හැටියට අපි අනුර කුමාර සහෝදරයාගේ රජයට ඇප-කැප වී සහයෝගය ලබා දීමට, ක්‍රියාකාරී දායකත්වය ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කරනවා.

Priyantha Pranandu At Lecturers For NPP Press Conference

“ඡන්ද 3% දක්වා වැටෙද්දී අධිෂ්ඨානශීලීව ගමන් කළ යුත්තේ කෙසේ දැයි අනුර පෙන්වා දී තිබෙනවා”
-කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියන්ත ප්‍රනාන්දු-

අපි මේ අවස්ථාවේ සූදානම් වන්නේ දේශපාලන වශයෙන් රට ගෙන යන්න නායකයෙක් තෝරා ගන්න. එවැනි නායකයකුගේ තිබිය යුතු ගුණාංග, දක්‍ෂතා සහ හැකියාවන්, කුසලතාවන්, උපායශීලී කළමනාකාරීත්වය, පෞරුෂය වාගේ ගුණාංග මේ නායකයන්ගේ තිබෙන්නේ කොහොම ද කියලා සලකා බැලීම ඉතාම අවශ්‍යයි. මෙතැනට රැස් වී ඉන්නේ අවුරුදු ගණනක් විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන, උපාධිය ලබාගෙන ඉන්පසුව ආචාර්යවරුන් ලෙස දැනුම සොයා ගැනීමට සහ බෙදාහැරීමට විවිධ රට රටවලට පවා ගොස් තිබෙන අයයි. එවැනි රටක් බවට මේ රට පරිවර්තනය කරමින්, ජීවත් වීමේ අපේක්‍ෂාවක් අපට තිබෙනවා. අපේ විෂයය පැත්තෙන් අපි ඉහළට ගියත්, මේ රට ඉහළට ගෙන යන්න දේශපාලනඥයන් ක්‍රියා කර නැහැ. ඒ නිසාම අපටත් මේ දේශපාලනය වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත් වන්න සිදු වී තිබෙනවා.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයන් පසුගිය කාලය පුරා කතා කළ සහ ක්‍රියා කර ඇති ආකාරය සම්බන්ධයෙන් විමසා බැලුවාම මේ රටේ සමස්ත ජනතාවගේ සිහිනය සැබෑ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මකව තක්සේරු කිරීම අවශ්‍යයි. ඒ අතුරින් රනිල් වික්‍රමසිංහ කතා කරන දේවල් බැලුවාම මට නම් හිතෙන්නේ ඔහු තවමත් අතීතයේ ඉන්න බවයි. පෝලිම් යුගයක් තිබුණු 1977 කාලයට පෙර තිබුණු තත්වය නැති කර ඇට රාත්තල් අටක් දෙන බව කියලා ජේ. ආර්. ජයවර්ධන හයෙන් පහක බලයක් ගත්තා. ඉන් පසුව ජේ. ආර්. ජයවර්ධන විධායක ජනාධිපති වී රනිල් වික්‍රමසිංහ එදා ඉඳලා ම අවුරුදු 47ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔහු අද කියන්නේ රටක් ගොඩනඟනවා කියලා නොවෙයි. පෝලිම් යුගය නැති කරනවා; ගෑස් දෙනවා; තෙල් දෙනවා කියන කතාවයි. එහෙම නම්, ඔහු නායකයෙක් නොවෙයි.

තව දෙන්නෙක් තමන්ගේ පිය උරුමයෙන් අපේක්ෂකත්වයට ඇවිත් ඉන්නවා. තමන්ගේ හැකියාව, දක්‍ෂතාව, කුසලතාව පෙන්වා නැහැ. ඔවුන්ගේ අධ්‍යාපනය පිළිබඳවත් ගැටලු තිබෙනවා. ඔවුන් කියන්නේ තමන්ගේ පියවරුන් ගෙන ආ දේවල් ඉදිරියට ගෙන යන බවයි. මෙවැනි පසුබිමක තමයි, ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක සහෝදරයා ගැන අපි කතා කරන්නේ. ඔහු ඈත ගමක ඉපදී, දුෂ්කරතා විඳගනිමින්, දක්‍ෂතාව සහ කුසලතාව නිසාම කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණ ශිෂ්‍ය සංගමයට නායකත්වය දී ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය අංශයේ නායකයා ලෙස පත් වෙනවා. ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත් වෙනවා ය කියන්නේ දක්‍ෂතාව සහ කුසලතාව කොපමණ තිබෙන්න ඕනෑද යන්න පැහැදිලියි. පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු ඡන්ද ප්‍රමාණය 3% දක්වා පහත වැටුණත්, ඔහුගේ කළමනාකාරීත්වය තුළින් අධිෂ්ඨානශීලීව ගමන් කළ යුත්තේ කෙසේදැයි පෙන්වා දී තිබෙනවා.

වෙනම බලවේගයක් නිර්මාණය කර ගනිමින්, මේ මහා ජනතා ප්‍රසාදය ලබාගෙන තිබෙන්නේ මුලින්ම ජාතික විද්වත් සංවිධානය ගොඩනඟා, එයින් ආරම්භ කළ ගමනින්. ලංකාවේ විවිධ ක්‍ෂේත්‍රවල පිරිස් සංවිධානය කරමින්, විදේශගත ශ්‍රී ලාංකිකයන් පවා දහස් ගණන් එකතු කර තිබෙනවා. ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය ගොඩනැඟුවා. ‘ගැහැනු එකමිටට’ සංවිධානය ගොඩනැඟුවා. මේ විදියට විවිධ ක්‍ෂේත්‍රවල සංවිධාන පිහිටුවා, සාමුහික සංවිධාන සහ ක්‍රියාකාරකම් දේශපාලනයට ඇතුළත් කර ගත්තා. එහි අවසානය ලෙස ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ කියන ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වා සාමුහිකව රට ගොඩනඟන ආකාරය පෙන්වා දී තිබෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව රට ගොඩනඟන්න සියලු දෙනා එක් වන ලෙස අපි ජනතාවට ආරාධනා කරනවා.

Sakura Bogoda At Lecturers For NPP Press Conference

“අනාගතය ගැන හීන දකින දරුවන් තරගකාරී අධ්‍යාපනය නිසා විභාගවලදී හීන නැති වී එළියට ඇදවැටෙනවා”
-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී සකුරා බෝගොඩ-

අපි නිදහස ගත් කාලයේ ඉඳලා මේ දක්වා ගත කළ දුර්දාන්ත යුගය නිමා කර නව පුනරුද යුගයක් කරා පියමනින්න එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසුව සූදානමින් සිටිනවා. රටක ජීවනාලිය අධ්‍යාපනය වුවත්, රට පාලනය කළ ආණ්ඩු ඒ වෙනුවෙන් වෙන් කළ මුදල් දිගින් දිගටම කප්පාදු කර තිබෙනවා. පාසල් අධ්‍යාපනයෙන් තේරීපත් වී විශ්වවිද්‍යාලවලට එන සියයට අටක් පමණ පිරිසට ලබා දෙන අධ්‍යාපන පාඨමාලා ලෝකය හා සම්බන්ධ වනවා වාගේම අපේ රටට ගැළපෙනවාද කියන ප්‍රශ්නය පවතිනවා. රැකියා විරහිත උපාධිධාරීන් ලෙස විරෝධතා ව්‍යාපාරවල නියැළී සිටින්න ඔවුන්ට සිදු වී තිබෙනවා. විශ්වවිද්‍යාලය කියන්නේ අධ්‍යාපනය ලබා දෙන තැනක් පමණක් නොවෙයි, ආර්ථිකය හා සම්බන්ධ ආයතනයක්. මේ ගුණාංගය ගැන පාලකයන් කිසිම අවධානයක් යොමු කර නැහැ. පර්යේෂණ සහ සංවර්ධනය ගැන අවධානයක් විශ්වවිද්‍යාල තුළ යොමු කර ඇත්තේම නැහැ. රටේ අවශ්‍යතාව සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමු කර නොතිබුණත්, ජාතික ජන බලවේගය විශ්වවිද්‍යාල තුළින් රටේ අවශ්‍යතා සම්බන්ධව පර්යේෂණ සිදු කිරීම, සම්පත් කළමනාකරණය, සම්පත්වල තිරසර පැවැත්ම යන අංශ සියල්ල සලකා බලනවා.

පාසලේ ඉඳලාම අනාගතය ගැන හීන දකින දරුවන් තරගකාරී අධ්‍යාපනය නිසා සාමාන්‍යපෙළ සහ උසස්පෙළ විභාගවලදී හීනයක්වත් නැති කර එළියට ඇදදැමෙනවා. අධ්‍යාපනය කියන්නේ රටක අවශ්‍යතාව අනුව ශ්‍රම බළකායක් නිර්මාණය කිරීම නම්, මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු දැක්මක් සහිත ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නැහැ. පවතින පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට ඉඩක් ලබා දී නැහැ. අද ලෝකය න්‍යායික සහ ප්‍රායෝගික යන දෙඅංශයේම සමබරතාවෙන් යුතුව නවීන අධ්‍යාපනයක් ඉල්ලා සිටිනවා. ජාතික ජන බලවේගය නවය වසරේදී දරුවාගේ හැකියාව සහ දක්‍ෂතාව අනුව අධ්‍යාපනය වෙනුවෙන් දරුවන් යොමු කිරීමේ කඩඉමක් ලෙස යොදා ගන්නවා. ප්‍රායෝගික අංශයෙන් ඉදිරියට ගිය දරුවකුට වුවත්, උසස්පෙළ සමත් වී විශ්වවිද්‍යාලයකට යනවාද, නැත්නම්, ශ්‍රම බළකායට එක් වනවාද යන්න තෝරා ගන්න පුළුවන්. අද වන විට ලංකා ඉතිහාසයේ කවරදාකවත් නොදැක්ක තරම් බුද්ධි ගලනයක් සිදු වෙනවා. අවුරුදු හැත්තෑහයකට පස්සේ අපි අත්දකින්නේ මෙවැනි දෙයක් නම්, රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන දරුවන්ට අනාගතයක් ගොඩනැගිය යුතුයි. ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තබා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස මේ ආකාරයෙන් ඒකරාශී වී සිටිනවා.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්:

විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ ආකාරයෙන් ඒකරාශී වී ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් කතා කළත්, අපි විශ්වාසයක් තබා ගන්නේ කොහොමද?

ජාතික ජන බලවේගයට ඉතිහාසයක් තිබෙනවා. ඒ ඉතිහාසය තුළ ක්‍රියා කර ඇත්තේ, කවර ආකාරයෙන්ද යන්න අධ්‍යයනය කිරීමෙන් ඒ විශ්වාසය ඇති කරගත හැකියි. ඒ වාගේම ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය අධ්‍යයනය කරන්න පුළුවන්. අපි සහ ජනතාව දෙගොල්ලොම එක් වී මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර තිබෙන්නේ මේ සමාජය දැවැන්ත පරිවර්තනයකට ලක් කිරීම සඳහායි. ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර සහෝදරයා ක්‍රියා කර තිබෙන ආකාරයත් මෙහිද වැදගත් වෙනවා. පවතින ජරාජීර්ණ වූ දේශපාලනය සමඟ සංසන්දනය කළාම ජාතික ජන බලවේගය හැර වෙනත් දේශපාලන ව්‍යාපාරයක් අපට නැහැ.

ආර්ථිකය කඩාවැටෙන කොටත් ඔබලා මේ රටේ ජීවත් වුණා. දැන් රට ගොඩනඟන බව කියන්නේ කොහොම ද?

රට කඩාවැටෙන කොටත්, ජනතාව වාගේම අපටත් මේ රටේ ජීවත් වීම හැර වෙනත් ජීවත් වෙන්න තැනක් අපට නැහැ. දේශපාලන පරිවර්තනයක් සිදු කරනවා කියන්නේ පිටින් පිරිසක් ඇවිල්ලා කරන දෙයක් නොවෙයි. පවතින අයහපත් තත්වය අභ්‍යන්තරයෙන්ම ඇවිත් සිදු කරන දෙයක්. අවුරුදු 48ක් නොවෙයි, 76ක් පුරා හෝ අපේ ජීවිත කාලය තුළ අපි මේ රටේ සිටි අය. අපි හැමෝම අත්දැකීම් ලබලා, තේරුම් ගනිමින්, සාකච්ඡා කරමින්, යම් ක්‍රියාවලියක් තුළ යෙදී සිටියා. මේ රටේ ගැඹුරු දේශපාලන පරිවර්තනයක් සිදු කළ යුතුයි කියන සාකච්ඡාව දිගු කාලයක් පැවැතුණා. ඒ වාගේම විවිධ ආකාරයේ අත්හදා බැලීම්, ප්‍රවේශයන් ගෙන තිබුණා.

නමුත්, පසුගිය කාලයේ අපේ රට තීරණාත්මක සන්ධිස්ථානයකට ආවා. ස්වේච්ඡා ජනතා නැඟිටීමක් සිදු වුණා. විශාල බලයක් සහිතව පත් කර ගත් ජනාධිපතිවරයකුට බලය අත්හැර යන්න සිදු වුණා. ඒ වාගේම ප්‍රධාන දේශපාලන බලකඳවුරු බිඳවැටී තිබෙනවා. ප්‍රධාන දේශපාලන පක්‍ෂවල ආධිපත්‍යය ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. මේ සියල්ල අප කාටත් දැනෙන ප්‍රවණතා. නව දේශපාලන පරිවර්තනයක් පිළිබඳ අදහස සමාජයේ ගැඹුරින් මතු වනවා මිස ජාතික ජන බලවේගය හෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් එකතු වී කියන දෙයක් නොවෙයි. සමාජයෙන් පැනනඟින දෙයක්. විධිමත් සමීක්‍ෂණ දෙස බැලුවාම, පැහැදිලි වන දෙයක්. තවමත් ඡන්දය දෙන්නේ කාට ද කියලා මතය ප්‍රකාශ නොකළ අය වුණත්, පවතින සමාජය පිළිබඳව දැඩි ප්‍රතික්‍ෂේප කිරීමක් සහ කලකිරීමක් ප්‍රකාශ කර තිබෙනවා. ජාතික ජන බලවේගයට සහයෝගය නොදෙන හිටපු ජනාධිපතිවරිය පවා ප්‍රකාශ කර තිබුණේ, ඉදිරියේදී ඡන්දය දීමේදී පසුගිය ජනතා අරගලයෙන් මතු වූ අදහස් පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි. එයින් කියවෙන්නෙත්, පවතින ක්‍රමයේ වෙනස් කිරීමක් පිළිබඳ මූලික අවශ්‍යතාවයි. සමාජයෙන් ලැබෙන මේ සංඥාව පිළිබඳව අර්ථකථනය කර ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. අපි මතු කරන ප්‍රධාන අදහස ඒකයි.

වංචා, දූෂණ පිළිබඳව ෆයිල් පෙන්වමින්, කරුණු හෙළි කළත්, මේ වන තුරුත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබා දී නැහැ. ඉතින්, කොහොම ද දැන් කියන දේවල් විශ්වාස කරන්නේ ?

විශ්වාස කරන්න මෙතැන තිබෙන්නේ ආගමික කටයුත්තක් නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ දී සිදු වන්නේ මේ ලබා දී තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ක්‍රියා කර නැත්නම්, ජනතාවට නැවතත් තීරණයක් ගන්න අවස්ථාව උදා වෙනවා. අපි හැමෝම පිළිගන්න දේ තමයි, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් තිබෙන බව. එම ආණ්ඩුකරණය තීරණය වන්නේ වරින්වර පවත්වන මැතිවරණවලින්. ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කියන්නේ නීතිමය ලියැවිල්ලක් නොවුණත්, එය ජනතාව සමඟ තිබෙන සම්මුතියක්. ජනතා නියෝජිතයන් වීම සඳහා ඉදිරිපත් වන අපේක්‍ෂකයන් සහ ජනතාව අතර ඇති වන සම්මුතිය තමයි, ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික කරුණු ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවා. එය විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. මූලික බැඳීමක්. ඒ බැඳීම ඉෂ්ට කරන්නේ නැත් නම්, එම බැඳීම කඩනවා නම්, ජනතාව එක්කෝ ඊළඟ මැතිවරණයේ දී එහෙමත් නැත්නම්, 2022දී සිදු වුණා වාගේ ජනතා නැඟිටීමකින් ඉවත් කරනවා. එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක මූලික ලක්‍ෂණයක්.

අපට ඔය ප්‍රශ්නය මතු වන්නේම අවුරුදු හැත්තෑහයක් සිටි පාලක කල්ලි දෙක රට ගෙනැවිත් තිබෙන තැන නිසයි. එය නැවත කියවා ගැනීමට අවශ්‍ය නම්, 2022 අරගලයේ දී මතු වූ සටන් පාඨ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනෑ, රටේ සමස්ත ජනයා නැඟීසිටිමින්, ගෙන ආ සටන් පාඨ තිබෙනවා. මේ දෙගොල්ලන්ම එක් පාර්ශ්වයක් බවත්, විනාශයට ඔවුන් වගකිව යුතු බවත්, ඒ සටන් පාඨවල තිබුණා. ඒ වාගේම එම පාර්ශ්ව විසින් ගෙනැවිත් තිබෙන්නේ මේ මොහොතේ ඡන්දය ලබා ගැනීමේ අරමුණ සහිත යම් රැවටිලිකාරී පොරොන්දු මාලාවක්. නමුත්, ජාතික ජන බලවේගයේ තිබෙන්නේ ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති මාලාවක්.

Lecturers For NPP Press Conference

සහභාගිත්වය

  1. ආචාර්ය දිලීප විතාරණ – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
  2. මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි – කොළඹ විශ්වවිද්‍යාලය
  3. මහාචාර්ය කිත්සිරි දිසානායක – මොරටුව විශ්වවිද්‍යාලය
  4. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනහා සෙල්වරාජ් මහත්මිය – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
  5. ආචාර්ය ප්‍රියන්ත ප්‍රනාන්දු – කැළණිය විශ්වවිද්‍යාලය
  6. ආචාර්ය සකුරා බෝගොඩ – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  7. මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
  8. මහාචාර්ය ජනක් කුමාරසිංහ – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  9. මහාචාර්ය අනිල් ජයන්ත – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  10. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිතුමිණි රත්නමලල – මොරටුව විශ්වවිද්‍යාලය
  11. කථිකාචාර්ය විජිත පණ්ඩිතසේකර – මොරටුව විශ්වවිද්‍යාලය
  12. ආචාර්ය චමින්ද සමරසූරිය – මොරටුව විශ්වවිද්‍යාලය
  13. ආචාර්ය ආර්. ඩබ්ලිව්. ද මැල් – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  14. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී. සෙනෙවිරත්න – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
  15. මහාචාර්ය වසන්ති මදුරප්පෙරුම – කැළණිය විශ්වවිද්‍යාලය
  16. ආචාර්ය තුෂාර රත්නායක – මොරටුව විශ්වවිද්‍යාලය
  17. ආචාර්ය දේශානි හෙට්ටිආරච්චි – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  18. මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  19. මහාචාර්ය චාමර ද අල්විස් – කැළණිය විශ්වවිද්‍යාලය
  20. ආචාර්ය කෝසල බණ්ඩාර – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
  21. කථිකාචාර්ය මනිෂ වරුෂවිතාන – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
  22. ආචාර්ය උත්පලා ජයවර්ධන – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
  23. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නේලක ශ්‍යාමල් හපුආරච්චි – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
  24. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිදු පෙරේරා – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
  25. කතිකාචාර්ය ශාන්ත පුහුල්වැල්ල – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  26. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩී. එස්. පී. ජයසූරිය – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  27. මහාචාර්ය සීතා බණ්ඩාර – කැළණිය විශ්වවිද්‍යාලය
  28. මහාචාර්ය උදයංග හේමපාල – මොරටුව විශ්වවිද්‍යාලය
  29. මහාචාර්ය කිත්සිරි දිසානායක – මොරටුව විශ්වවිද්‍යාලය
  30. මහාචාර්ය ඊ. දයාරත්න – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  31. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්. එම්. අමින්ද ලක්මාල් – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
Show More

“අප වෙත තබා තිබෙන විශ්වාසය අබමල් රොනකින්වත් නැතිවෙන්න ඉඩ තබන්නේ නැහැ” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක-

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ ජයග්‍රාහී රැලිය – තඹුත්තේගම – 2024.09.09-) මීට කලින් මේ මැතිවරණ පොරය තිබුණේ ඒ අයගෙ පවුල් කිහිපයක් අතරමයි. අද 2024දී එය වලව් කිහිපයක් සහ පොදු ජනතාව අතර සටනක් බවට පත්වෙලා. ජාතික තලයේ සිට ගම දක්වා මේ සටන විහිදිලා තිබෙනවා. මෙතෙක් මේ රට පාලනය කළේ පවුල් කිහිපයක් විසින්. ඒත් කමක් නැහැ. රටට […]

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ ජයග්‍රාහී රැලිය – තඹුත්තේගම – 2024.09.09-)

Anura Kumara Dissanayake Addressing The Victory Rally Of Thambuththegama

මීට කලින් මේ මැතිවරණ පොරය තිබුණේ ඒ අයගෙ පවුල් කිහිපයක් අතරමයි. අද 2024දී එය වලව් කිහිපයක් සහ පොදු ජනතාව අතර සටනක් බවට පත්වෙලා. ජාතික තලයේ සිට ගම දක්වා මේ සටන විහිදිලා තිබෙනවා. මෙතෙක් මේ රට පාලනය කළේ පවුල් කිහිපයක් විසින්. ඒත් කමක් නැහැ. රටට යමක් කළා නම්. ජනතාව දුක් පීඩාවෙන් මුදා ගත්තා නම්. දශක ගණනාවක් මාත් ඇතුළු ඔබ මේ ව්‍යසනය දිහා බලන් හිටියා. අපි පොඩි මිනිස්සු. හැබැයි අධිෂ්ඨානශීලී මිනිස්සු. අරමුණ අත්නොහරින මිනිස්සු.

මම මේ දේශපාලන ගමන පටන් ගත්තේ 1988දී තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ සිටයි. එතැන් සිට දැන් අවුරුදු 36ක් ගත වී තිබෙනවා. අපි විවිධ මර්දනයන්ට මුහුණ දුන්නා. අපේ ඇස් ඉදිරිපිට අපේ යහළුවන් මිය ගිය හැටි අපි දැක්කා. මරණය අපේ එළිපත්තට ආවා. එහෙත් මේ රටත්, ජනතාවත් මේ ව්‍යසනයෙන් මුදාගැනීමේ අධිෂ්ඨානය අපි අත්හැරියේ නැහැ. 1994දී නැවත යාන්තම් අපි නැගිටින්න පටන් ගත්තා. ජයග්‍රහණ ආවා. පසුබෑම් ආවා. සමහරු අත්හැරලා ගියා. අවලාද ආවා. අසත්‍ය තොරතුරු එන්න පටන් ගත්තා. කුමන්ත්‍රණ කරන්න පටන් ගත්තා. එහෙත් මේ ව්‍යායාමය කවදා කොතැනක හෝ ජයග්‍රහණය කරනවා කියන දැඩි අධිෂ්ඨානය අපි අතහැරියේ නැහැ. මේ අවුරුදු 36 ඇතුළත අවුරුදු 24ක් මම පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.

The Victory Rally Of Thambuththegama Crowd

අපි මේ දේශපාලනයෙන් සතයක් උපයාගෙන නැති පිරිසක්. මහජනයාගේ ධනය අපි සතයක් නාස්ති කරලා නැහැ. අපි කිසිවෙක් තමන්ට පෞද්ගලිකව යමක් උපයා ගැනීමේ චේතනාවෙන් දේශපාලනය කරන මිනින්සු නොවෙයි. අපිත් විශ්වවිද්‍යාලවල ගිහිල්ලා උපාධි ලබනවා. රැකියාවක් කරලා පෞද්ගලිකව යම් ජීවන තත්වයක් අනුව ජීවිතය ගෙනයන්න පුළුවන් මිනිස්සු. මේ වේදිකාවේ ඉන්න වසන්ත සමරසිංහ සහෝදරයාටත් එහෙමයි. අපිට අපේ පෞද්ගලික ජීවිත සුඛිත කර ගන්න අධ්‍යාපනය පැත්තෙනුත් පාරවල් තිබුණා. දේශපාලන පැත්තෙනුත් පාරවල් තිබුණා. නමුත් මේ රටත් ජනතාවත් මේ ව්‍යසනයන් ගලවා ගැනීමේ සද්කාර්ය ඉවත දමන්න අපිට යුක්තිසහගත අයිතියක් නැහැ. මේ ඈත ගම්වල මිනිස්සු කොතරම් පිරිසක් දුප්පත්භාවයෙන් පෙළෙනවාද? අපේ ඥාතීන්, මිතුරන් මේ දුප්පත්භාවයේ ගිලිලා ජීවිත නැතිකරගත් අවස්ථා අපි දැක තිබෙනවා. මහා විශාල බලාපොරොත්තු සහිතව හදන වඩන තමන්ගේ දරුවා නිසි අධ්‍යාපනයක් ලබාදීමට නොහැකිව තමන්ගේ දෑස් ඉදිරිපිටම විනාශ වෙන හැටි බලාගෙන හූල්ල හූල්ල ඉන්න, දෙමව්පියන්ට සිදුවෙලා. මේ ගම්වල පවුල්වල තම දරුවන් දාලා, ස්වාමි පුරුෂයන් දාලා, මොනතරම් අපේ අම්මලා, අපේ සහෝදරියෝ මැදපෙරදිග ගෘහ සේවිකා රැකියාවලට ගිහිල්ලා තිබෙනවාද? ඒ පවුල්වලින් කොච්චර ප්‍රමාණයක් විනාශ වෙලා තිබෙනවාද? මැදපෙරදිග ගිය අපේ අම්මලා අක්කලා අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙනවා. අපි එවැනි දේ දැක තිබෙනවා.

අපේ ගම්වල මිනිසුන්ගේ ජීවිතය මොකක්ද? ඉපදෙනවා. මොනවා හරි කරනවා. ඔහේ මිය යනවා. අපිට උරුම විය යුත්තේ එහෙම ජීවිතද? නැහැ. අපේ ජනතාවට තම ජීවිත කාලය තුළ සතුටින් හොඳ ආහාර වේලක්, නිරෝගී සම්පන්න ජීවිතයක්, විනෝදයක්, සතුටක් ඕනෑ නැද්ද? ඒ ජීවිතය උරුම ඒ පැළැන්තියට විතරද? අපේ ගම්වල මිනිසුන්ට ඒ ජීවිතය උරුම නැද්ද? ඔබ ඇතිවෙනකල් මේ මහ පොළොව සමග පොරබදනවා. අස්වැන්න විකුණ ගන්න කොච්චර දුක්විඳිනවාද? නමුත් ඒ ගොල්ලෝ උඩ ඉඳගෙන මහා භාණ්ඩාගාරයේ ධනය, හොරකම් කරන්නේ කොහොමද, කියලා සැලසුම් කරනවා. ඔබ ගෙයක් හදා ගන්න කොච්චර වද විඳිනවාද? ඒ ගොල්ලෝ එක ඩීල් එකෙන් කොළඹ අතිසුඛෝපභොගී, එපාර්ට්මන්ට් ගන්නවා. එක ගනුදෙනුවෙන් ඩුබායිවලින්, එංගලන්තෙන්, ඕස්ලියාවෙන් ගෙවල් ගන්නවා. ඇමෙරිකාවේ ගෙවල් ගන්නවා. ඔබ ඒ ගොල්ලන්ට බලය දෙනවා. ඔබලා පීඩනයට පත් කරනවා. ඒ ගොල්ලෝ රටේ ධනය පොදිගහගන්නවා. ඒකයි මේ ක්‍රමය. මේක අපි කුඩා කාලයේදී මේ තරම් ගැඹුරෙන් දැක්කේ නැහැ. නමුත් අපිට ආසාවක් තිබුණා, මේ දේශපාලනය වෙනස් කරන්න ඕන කියලා. එවැනි දේශපාලනයේ දිගටම නියැලිලා ඉන්න කොට අපි දැක්කා මේ මිනිස්සු මොනතරම් ලැජ්ජා නැති අයද කියලා. මම පාර්ලිමේන්තුවේ අවුරුදු 24ක් ඉන්නවා. ඔය හැමෝගේම පැටිකිරිය මම හොඳින්ම දන්නවා. ඔවුන් නිතරම තමන්ට, තමන්ගේ පවුලට පාර කපා ගන්නේ කොහොමද කියලා බලනවා. ජනතාවට වළ කපමින් ඒ ගොල්ලෝ අනාගතයට පාර කපා ගන්නවා. එදා තැපැල් නයින්ටියෙන් ගිය අය, අද මහා මන්දිර හදා ගන්නවා. වාහන හත අට ගන්නවා. අපේ ඇස් දෙකෙන් අපි දැක තිබෙනවා. රියදුරු රැකියාව කරපු සමහරු දේශපාලනයට ඇවිල්ලා කලා වැවේ, කොළඹ, නුවරඑළියේ විශාල පරිමාණ ඉඩම් ගත්තේ කොහොමද කියලා අපි දන්නවා. තේ දළු ප්‍රවාහනය කරපු උදවිය, දේශපාලනයට ඇවිල්ලා තේ වතු හිමියන් බවට පත් වුණේ කොහොමද කියලා අපි දන්නවා.

Anura Kumara Dissanayake On Stage At The Victory Rally Of Thambuththegama

රනිල් වික්‍රමසිංහ 2015 ජනවාරි 08 වැනිදා බලයට ආවේ වංචා, දූෂණ නැති කරන්න කියලා. පෙබරවාරි මස 28 වැනිදා මහ බැංකුව කොල්ල කෑවා. බලය ගත්තෙම හොරකම් කරන්න. නාස්තිය සඳහාමයි. ඉන් පස්සේ මොකද වුණේ. රට කඩාගෙන වැටුණා. දරුවාට අධ්‍යාපනය අහිමි වුණා. රෝහල්වල බෙහෙත් නැති වුණා. චිත්‍රපට ශාලා වැහුණා. පොදු ජනතාවට විනෝදය අහිමි වුණා. මේවා අපි ඇස් ඉදිරිපිට දැකපු දේවල්. අපිත් සමග හිටපු යාළුවන්ගේ ජීවිත කෙළවර වූ හැටි අපි අපේ ඇස් ඉදිරිපිටම දැකපු මිනිස්සු. අපිට තේරෙනවා නම්, දැනෙනවා නම්, අපිට මනුෂ්‍යත්වය තිබෙනවා නම්, හෘදය සාක්ෂියක් තිබෙනවා නම්, මෙය වෙනස් කිරීම සඳහා ජීවිතය පරදුවට තබා සටන් වදින්න, දේශපාලන ව්‍යාපාරයක කොටස්කරුවන් වෙන්න අපිට අයිතියක් නැද්ද? මම එහෙම සටන් වදින දේශපාලන ව්‍යාපාරයක කොටස්කරුවක්. මේ රට පොහොසත් රටක් බවට පත් කරන්න අපිට අයිතියක් නැද්ද? අසල්වැසි ඉන්දියාව පරණ කෝච්චි එන්ජින් ගලවා විදුලි දුම්රිය ව්‍යාපෘති ක්‍රියාවට නගනවා. මේ පාලකයන් ගිහිල්ලා ඒ පරණ එන්ජින් තෑගි හැටියට එකතු කරගෙන එනවා.

ලෝකය දියුණුවෙනවා. අපි හිඟාකනවා. අඩුම තරමේ 60 – 70 දශකයේ පොඩි කර්මාන්ත පද්ධතියක් ගොඩනැගෙමින් ආවා. ඒ ඔක්කොම මේ පාලකයෝ විනාශ කරලා දැම්මා. ඔක්කොම දේවල් පිටරටින් ගේන්න පටන් ගත්තා. ඉන්දියාව කර්මාන්ත ඇති කරලා හදනවා. අපි කර්මාන්ත වහනවා. මේ පාලකයන්ට අපේ රටේ නිෂ්පාදනය වැඩිකරන්න කවදාවත් ඕනෑ වුණේ නැහැ. වසා දමනවා විතරක් නොවෙයි තිබෙන ඒවත් විකුණනවා. හදන්නෙම විකුණන්න. හදනකොටත් ගහනවා. විකුණනකොටත් ගහනවා. නඩු තීන්දුවට මුවාවෙලා පොස්පේට් නිධියේ පස් ඉන්දියාවට පටවනවා. ඉන්දියාව පොහොර හදනවා. අපි පස් පටවනවා.

Crowd At The Victory Rally Of Thambuththegama

මාවිල්ආරුසොරොව්ව වහපු වෙලාවේ කුඹුරු පාළු වුණා. ආණ්ඩුව තීරණය කළා වන්දි ගෙවන්න. වැඩියෙන්ම වන්දි ගත්තේ එස්.එම්. චන්ද්‍රසේන. මා ගාව තිබෙනවා සියලු විස්තර කොළඹ තිඹිරිගස්යායේ කොමර්ෂල් බැංකු ශාඛාවෙන් සල්ලි දැම්මා අනුරාධපුර ශාඛාවට. එස්.එම්. චන්ද්‍රසේනගෙයි, නෝනාගෙයි ජොයින්ට් එකවුන්ට් එකට. චෙක්පත්වල පිටපත් මා ගාව තිබෙනවා.

අපේ ගම්වල ජනතාව සමග අපිට ඇත්ත බැඳීමක් තිබෙනවා නම්, සැබෑ ලෙන්ගතුකමක් තිබෙනවා නම්, මේ තත්වය වෙනස් කරන්න අපි පොරබැදිය යුතු නැද්ද? අද අපිට තීරණාත්මක අවස්ථාවක් ඇවිල්ලා තිබෙනවා. මේ රටට වින කටිපු, මේ රට විනාශ කරපු, මේ පාලක කණ්ඩායම් නිශ්චිත වශයෙන්ම පලවා හැරලා පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදන්න ඕනෑ. අපි අනිවාර්යයෙන්ම එවැනි පන්නයේ ආණ්ඩුවක් හදනවා. මේ සෑම පැත්තෙන්ම දහස් ගණනාවක ජනතාවක් මෙතනට ඇවිල්ලා තිබෙන්නේ මොකටද? ඔබ අප කෙරෙහි විශ්වාසය තිබෙනවා. ලෙන්ගතුකම අප කෙරෙහි ඇතිවෙලා තිබෙනවා. අපි සමග බැඳීමක් ඇති වෙලා තිබෙනවා. මම ඔබට සහතිකයක් දෙනවා. ඔබ අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය හා ලෙන්ගතුකම අබමල් රොනකින්වත් නැතිවෙන්න අපි ඉඩ තබන්නේ නැහැ.

Wasantha Samarasinghe At The Victory Rally Of Thambuththegama

“රට වනසපු නිල්, කොළ පාලකයෝ ගෙදර යවන්න ජනතාව පුල පුලා බලා ඉන්නවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ-

අද මෙතන එකතුවෙලා ඉන්න මේ දහස් සංඛ්‍යාත ජනතාව මීට පෙර විවිධ පක්ෂවලට සහාය දීලා, ඡන්ද දීලා වැඩකරපු අය. ඒ ඔක්කොම එකට එකතු වෙලා අද රටට දෙන පණිවුඩය මොකක්ද? ඒ, 21 වැනිදාට නියත වශයෙන්ම අනුර කුමාර සහෝදරයා ජනාධිපති ලෙස තෝරා පත් කරන්න ඔක්කොම එකතු වෙලා රොද බැඳගෙන ඡන්දය දෙන්න සූදානම් බවයි.

අද මේ රටේ මහා සංඝරත්නයේ ආශීර්වාදය අනුර කුමාර සහෝදරයාට ලබාදී තිබෙනවා. ඉතිහාසයේ විශාලම සංඝ සම්මේලනය පවත්වලා ඒ පණිවිඩය උන්වහන්සේලා මුළු රටටම එක හඬින් ප්‍රකාශ කර සිටියා. මේ 21 වැනිදාට අපේ රටේ 09 වැනි ජනාධිපතිවරයා තෝරන්න යනවා. ඒ නිකම්ම නිකම් ඉතුරු කොට අදින ජනාධිපතිවරයෙක් නොවෙයි. මේ රටේ මහජනතාවගේ ඡන්දයෙන් තෝරා ගන්නා කෙනෙක්. මේ රටේ මහා සංඝරත්නයේත්, අනෙකුත් ආගමික පූජකතුමන්ලාගේත් ආශිර්වාදය එක ලෙස ලබන එකම ජනාධිපති ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයායි. සැප්තැම්බර් 21දා ඔහු නියත ලෙස මේ රටේ ජනාධිපති වෙනවා.

අනුර කුමාර සහෝදරයාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේත්, මේ රටේ මිනිසුන්ගේත් ඒකායන අරමුණ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් යන්න මේ මහ පොළොවේ යථාර්ථයක් කිරීමයි. උතුර, දකුණ, නැගෙනහිර, බටහිර, කඳුරට ඇතුළු මුළු රටම එකතු කරගෙන මේ රට ගොඩනඟන අපේ ඉතිහාසයේ එකම නායකයා අපේ අනුර කුමාර දිසානායක සහෝදරයායි. ලබන 21 වැනිදාට මුළු රටේම ජනතාවගේ අපේක්ෂාව අනුර කුමාර සහෝදරයාගේ ජයග්‍රහණයයි. ඒ සඳහා ගෞරවණීය ජයග්‍රහණයක් මේ ප්‍රදේශයෙනුත් එකතු කරන්න තමයි අද ඔබ මෙතනට රොද බැඳගෙන ඉන්නේ. මේ වන විට අනෙක් පක්ෂවල නායකයෝ ඡන්ද වැඩ පැත්තක තියලා අපිට එරෙහිව මඩ වැඩ පටන් අරන් තියෙනවා. නමුත් මේ කෙටිකාලය තුළ හැකි තරම් ජනතාව අතරට ගිහිල්ලා මාලිමාව දිනවන්න වැඩ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

A Book Handover By The Victory Rally Of Thambuththegama

දැන් රනිල් සජිත්ලා ප්‍රතිපත්ති කතා කරන්නේ නැහැ. සජිත් දැන් රූපවාහිනී සාකච්ඡාවලට එන්නෙත් නැහැ. පැනලා දුවනවා. අපිට මඩ ගහනවා ඇරෙන්න, කියන්න දෙයක් ඒ ගොල්ලන්ට නැහැ. මේ රටේ අනාගත නායකයා වීමට සුදුසු එකම නායකයා තමා බව පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් තම භාවිතයෙන්ම අද ඔප්පු කර තිබෙන්නේ අපේ අනුර සහෝදරයා පමණයි. රනිල් දන්නවා මේ ජනාධිපතිවරණයෙන් රනිල් පරදිනවා කියලා. ඒ නිසා තමයි ඔහු කියන්නේ, අනුර කුමාරව පරද්දන්න සජිත්ට බැහැ කියලා. අපි කියනවා අනුරව පරදවන්න සජිත්ටත් බැහැ. රනිල් ඔයාටත් බැහැ. රනිල්ලා එක පැත්තකින් මේ රටේ ජාතික ධනය ශුද්ධ කරන ගමන් රට විකුණමින් ඉන්නවා. අපේ රටේ ජනතාවට විදෙස් ගමන් බලපත්‍රයක්වත් ගන්න තිබෙන අවස්ථාව නැති කරලා. අද අයිඩෙන්ටි කාඩ් එක වෙනුවට හම්බවෙන්නේ කොල කෑල්ලක්. ලයිසන් එක වෙනුවට දෙන්නෙත් කොල කෑල්ලක්. මේ රට වනසපු නිල්, කොළ පාලකයෝ ඉක්මනින්ම ගෙදර යවන්න මේ රටේ ජනතාව 21වැනිදා උදා වෙනකල් දැන් පුල පුලා බලා ඉන්නවා.

අද අනුර සහෝදරයා ප්‍රමුඛව ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරවීම සඳහා මේ රටේ එකතු විය යුතු සියලු බලවේග එකතු වෙලා එකා වන්ව සැදී පැහැදී සිටිනවා. මේ සැප්තැම්බර්21 වැනිදාට අනුර කුමාර සහෝදරයා මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වෙන බව සහතිකයි. ඉන්පසු ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මේ රට තුළ පිහිටුවනවා ඒකාන්තයි.

Show More

සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සහය අනුර කුමාර දිසානායකට

(-Colombo, Sept. 11, 2024-) සමන්විත සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය ඉදිර ජනාධිපතිවරණයේදි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයට සහාය ලබා දීමට තීරණය කර තිබේ. අද (10) පස්වරුවේ ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේමසිංහ හමු වී එම තීරණය ලිඛිතව ලබා දී තිබේ. එහිදී සමස්ත ලංකා […]

(-Colombo, Sept. 11, 2024-)

Lottery Board Meets NPP

සමන්විත සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය ඉදිර ජනාධිපතිවරණයේදි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයට සහාය ලබා දීමට තීරණය කර තිබේ. අද (10) පස්වරුවේ ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේමසිංහ හමු වී එම තීරණය ලිඛිතව ලබා දී තිබේ. එහිදී සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹ සහ භාණ්ඩාගාරික ආර්.එෆ්.ඒ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු යන අයගේ අත්සනින් නිකුත් කර ඇති එම ලිපිය මෙසේය,

අනුර කුමාර දිසානායක සහෝදරයා, ජාතික ජනබලවේගය – නායක
ප්‍රධාන කාර්යාලය,
බත්තරමුල්ල.
2024-09-10

සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලයට අනුබද්ධිත ලොතරැයි අලෙවි නියෝජිතයන් වන අප දිවයින පුරා අලෙවි නියෝජිතයන් 4,800ක් අලෙවි සහායකයින් 25,000ක් ඉක්මවා ගිය සංගමයක් වන අප සංගමය මෙවර ජනාධිපතිවරණයේ දී ඔබතුමාට සහය දක්වන්නට තීරණය කර ඇත්තෙමු.

මෙම ආයතන දෙකේ තිබෙන අඩුපාඩු සම්බන්ධව මීට ඉහතදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා සමග හා අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් වසන්ත සමරසිංහ සහෝදරයා සමග සාකච්ඡා කොට ඇති බවත් සඳහන් කරමු.

ඔබතුමාගේ ජයග්‍රහණයෙන් පසුව ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පරිපාලන රැසක් වෙනස්කම් කල යුතුව ඇත. රජයට මසකට කෝටි ගණනින් මුදල් උපයා දෙන මෙම ව්‍යාපෘතියේ දියුණුව වෙනුවෙන් එහි ඇති සියලු කරුණු සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට ඔබතුමාගේ ජයග්‍රහණයෙන් පසුව බලාපොරොත්තු වෙමි.

ඔබතුමාට ජය වේවා….
මෙයට,
සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ,
භාණ්ඩාගාරික ආර්.එෆ්.ඒ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු

Show More

“පුරවැසියාගේ රසාඥතාවය වැඩිදියුණු කිරීම අපේ පාලනයක වගකීමක් ලෙස සලකනවා” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ කලාකරුවන්ගේ ජාතික සමුළුව – 2024.09.08 – කාසල් වීදිය තැප්‍රොබේන් ශාලාව-) අපේ සමාජය එකිනෙකාට රැකවරණයක් නොමැති සමාජයක් බවට පත් වී තිබෙනවා. කාන්තාවන්ට දැරිවියන්ට ආරක්ෂාවක් නොමැති වී තිබෙනවා. අනෙකාගේ දුකකදී කම්පනයක් ඇති නොවන සමාජයක් බවට පරිවර්තනය වී තිබෙනවා. සිනහවක් නොමැති, වියළුණු සමාජයක් අප ඉදිරිපිට තිබෙනවා. අනෙක් හැම ක්ෂේත්‍රයක් වගේම මේ සමාජය යළි සුවපත් කිරීමේ […]

(-ජාතික ජන බලවේගයේ කලාකරුවන්ගේ ජාතික සමුළුව – 2024.09.08 – කාසල් වීදිය තැප්‍රොබේන් ශාලාව-)

Anura Kumara Dissanayake With Rathna Sri And Saumya Sandaruwan Liyanage

අපේ සමාජය එකිනෙකාට රැකවරණයක් නොමැති සමාජයක් බවට පත් වී තිබෙනවා. කාන්තාවන්ට දැරිවියන්ට ආරක්ෂාවක් නොමැති වී තිබෙනවා. අනෙකාගේ දුකකදී කම්පනයක් ඇති නොවන සමාජයක් බවට පරිවර්තනය වී තිබෙනවා. සිනහවක් නොමැති, වියළුණු සමාජයක් අප ඉදිරිපිට තිබෙනවා. අනෙක් හැම ක්ෂේත්‍රයක් වගේම මේ සමාජය යළි සුවපත් කිරීමේ වගකීම රජයක් ලෙස අපටත් එහි ක්‍රියාකාරී වැඩකොටස ඔබටත් පැවරී තිබෙන බව අපි විශ්වාස කරනවා. සමාජයට යළි ආදරය, ලෙන්ගතුකම, සහකම්පනය කැටුව ආ යුතුයි. ඒ වෙනුවෙන් ක්ෂේත්‍ර ගණනාවක පරිවර්තනයන් සිදු වීම අවශ්‍යයි. එයින් කොටසක් අධ්‍යාපන ක්ෂේත්‍රයට පැවරෙන අතරම ඔබ නියැළෙන කලා ක්ෂේත්‍රයට විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ නිසා ඔබේ නිදහස් පරිකල්පනයන් සමාජයට මුදා හැරීම සඳහා පහසුකම් සැලසීම අපි අපේ වගකීමක් ලෙස සලකනවා.

ඔබ මොන තරම් උසස් නිර්මාණයක් කළත් එය සමාජය වෙත ගෙන යාමට හැකිද කියන ප්‍රශ්නය මතු වෙනවා. පවුලේ අය සමග අන්තිමට චිත්‍රපටයක් බලන්න, වේදිකා නාට්‍යයක් බලන්න ශාලාවකට ගියේ කවද්ද කියලා ඔබ ගමකට ගිහින් අහලා බලන්න. සාතිශය බහුතරයකට එවැනි අත්දැකීමක් නැහැ. අලුතෙන් ආපු නවකතාවක් කියෙව්වද, අලුතෙන් පිටවුණු කවි පොතක කවියක් රසවින්දාද කියලා අහල බලන්න. ඒ කිසිවක් නැහැ. වියළුණු මිනිස් සමාජයක් අප ඉදිරිපිට තිබෙනවා. රංග ශාලා, සිනමා ශාලා ක්‍රමයෙන් වසා දමමින් තිබෙන රටක් නිර්මාණය වී තිබෙනවා. මට මතකයි, මම පොඩි කාලේ පළමුවෙන්ම බලපු චිත්‍රපටය තමයි ‘චිං චිං නෝනා’. ඒක බැලුවේ අපේ පළාතෙ තඹුත්තේගම ඊගල් සිනමා ශාලාවේ. දැන් එම සිනමා ශාලාව වී ගබඩාවක්. මාතර බ්‍රෝඩ්වේ සිනමා ශාලාව දැන් සුපර් මාර්කට් එකක්. සමහර සිනමා ශාලාවල ටියුෂන් ක්ලාස් පවත්වනවා. මේවායින් පෙන්වන්නේ කුමක්ද? අපේ රට මේ ගමන් කරමින් සිටින දිසාව කුමක්ද යන්න නොවේද?

Crowd At The Artists Summit

සිනමා ශාලා ඉතිරි වී තිබෙන්නෙ ඉතාම කුඩා ප්‍රමාණයයි. අනෙක් ඒවා වැසී ගිහින්. දැන් අපි අහනවා ගෑස් පෝලිම් නැහැ, තෙල් පෝලිම් නැහැ, කියන කථා. ඒත් අපි හරිම ආශාවෙන් ඉන්නවා සිනමා ශාලාවල පෝලිම් දකින්න. රංග ශාලාවක් ඉදිරිපිට පෝලිමක් දකින්න. නවකථා පොත් මිලදී ගැනීමට සෙනග ඉන්න පෝලිමක් දකින්න. අපි ආසයි එහෙම පෝලිම් දකින්න. එනිසා අපි අපේ පාලනයක් යටතේ කලාව නිසි පරිදි ඔසවා තබන්න පියවර ගන්නවා. අපි ආරම්භයේදීම විස්කම් පාන බවක් මම කියන්නේ නැහැ. යළි ජනතාව සිනමා ශාලාව වෙත කැඳවන, රංගන ශාලාව වෙත කැඳවන, යළි සාහිත්‍ය පොතපත කියවන තැනට කැඳවන, අපේ රටේ පුරවැසියාගේ රසඥතාවය වැඩිදියුණු කිරීම සඳහා පියවරෙන් පියවර ක්‍රියාමාර්ග අපේ පාලනයකදී අපි ගන්නවා.

අපේ රටේ ආර්ථිකය තිබෙන තැන අපි දන්නවා. එනිසා අද අපේ රටේ ජනතාවගෙන් ඉතා කුඩා කොටසක් පමණයි සිනමා, සාහිත්‍ය ආදී ක්ෂේත්‍රවල රස විඳින්න පෙළඹී තිබෙන්නේ. ඒ සඳහා හැකියාව තිබෙන්නෙ ඉතා සුළු පිරිසකටයි. සීමාසහිත වටපිටාවකට අපේ ජනතාව කොටු වෙලා. රූපවාහිනියේ විකාශනය වන ටෙලිනාට්‍යයක් සමාජ ජාලාවල විකාශනය කරන කුමන හෝ කලා අංශයක් පමණක් නරඹන තරමට අද ජනතාවගේ කලා රසවින්දනය සීමා වෙලා. රූපවාහිනියේ ටෙලි නාට්‍යයකට සමාජ ජාලාවල පුංචි වීඩියෝ ක්ලිප් එකකට එය ලඝු වී තිබෙනවා. අපි එතනින් එහා සජීවීකරණයකට මේ මිනිස් සමාජය කැඳවිය යුතුයි. හුදු හුදෙකලා පොතක් කියවීමක් නොවෙයි. හුදෙකලා චිත්‍රපටයක් බැලීමක් නොවෙයි. ඒ අත්දැකීම සමාජයත් එක්ක බෙදාහදා ගන්න, සමාජයත් එක්ක පුළුල් කතිකාවක යෙදෙන, සමාජීය වශයෙන් පෝෂණය වන, අත්දැකීම් එකිනෙකා අතර බෙදාහදා ගන්න සාහිත්‍යමය හා සංස්කෘතිමය සමාජයක් ශ්‍රී ලංකාවේ බිහිවිය යුතුයි කියන ස්ථිර අධිෂ්ඨානයේ අපි ඉන්නවා.

Anura Kumara Dissanayake Surrounded By Artists

අපි දන්නවා, තවදුරටත් සිනමාව, සාහිත්‍යය, සංගීතය කොදෙව්වලට සීමාවී තිබූ යුගය අද අවසන්. ඒ යුගය අයිති වෙන්නෙ මීට දශක හෝ සියවස් කිහිපයකට පෙර යුගයට. අද ලෝකය හා තාක්ෂණය හුවමාරු කරගෙන එකිනෙකා අත්විඳිනවා වගේම, සෞඛ්‍ය දියුණුවේ අත්දැකීම් උකහාගෙන එකිනෙකා පෝෂණය ලබනවා වගේම ලෝකයේ සංගීතයද සිනමාවද හුවමාරු කර ගනිමින් තිබෙනවා. අවාසනාවකට අපි ඉතා කුඩා කොදෙව්වකට සීමා වී සිටිනවා. ඒ නිසා අපේ රටේ සංගීතය, චිත්‍රපටය හා අනෙක් සංස්කෘතික නිර්මාණයන් අපෙන් එළියේ ලෝකයට ගෙනියන්නේ කෙසේද කියන එක අපි කල්පනා කර බැලිය යුතුයි. අපි ඒ ගැන මේ වන විටත් සාකච්ඡාවට බඳුන්කොට තිබෙනවා. අපිට වඩා ගව් ගණනක් පිටුපසින් සිටි, දකුණු කොරියාව ඔවුන්ටම ආවේණික වූ සංගීතයක් නිර්මාණය කර ගන්න සමත් වුණා. ඔබ යූටියුබ් එකට ගියොත් දකුණු කොරියාවේ බීටීඑස් සංගීත කණ්ඩායමේ වීඩියෝ දැනට මිලියන 1800ක් නරඹා තිබෙනවා. දකුණු කොරියාවේ ජනගහනය මිලියන 50යි. ඔවුන් සංගීතය තම රටෙන් ඔබ්බට ගෙනියන්න සමත්වෙලා තිබෙනවා. ඔවුන්ටම අනන්‍ය වූ සංගීතයක් නිර්මාණය කරගන්න සමත් වී තිබෙනවා. ඔබ ලෝකයේ ඕනෑම ගුවන්යානයකින් ගමන්කරන කොට එම යානයේ රූපවාහිනී තිරය මත කොරියන් චිත්‍රපට එකතුවක් දකින්න පුළුවන් වෙනවා. ඔවුන් තම රටෙන් ඔබ්බට යන සිනමාවක් නිර්මාණය කරගෙන තිබෙනවා. නමුත් ලංකාව ගමනාන්තයක් කරගත් ගුවන් යානයක උපරිම චිත්‍රපට 4ක් ඇති.

දශක ගණනාවක් ලෝකයේ සංගීතයේ, සිනමාවේ, සාහිත්‍යයේ විශාල පරිවර්තනයන් හා විවෘත වීම් සිදුවෙමින් ආවත් අපි ඒ විවෘත වූ ලෝකය අත්පත් කර ගැනීමට අසමත් වූ ජාතියක්. ඒක තමයි ඇත්ත. අපි විටෙක අතීතකාමිත්වයේ, විටෙක අපිටම වූ සාධක මත හිරවුණු ජාතියක්. කුමන බාධක මධ්‍යයේ වුවද අද ඉරාන සිනමාව ලෝකයට කොපමණ ප්‍රවිෂ්ට වී තිබෙනවාද? අපිටත් දක්ෂ නිර්මාණ ශිල්පීන් ඉන්න බව අපි දන්නවා. විවිධ අවස්ථාවල ලෝකයේ ප්‍රධාන චිත්‍රපට ප්‍රදර්ශන උළෙලවල්වලදී විශාල ජයග්‍රහණ ලබපු චිත්‍රපට අධ්‍යක්ෂකවරු අපට ඉන්නවා. ඒත් අපට ලෝක සිනමාවෙන් පංගුවක් අත්පත් කර ගන්න නොහැකි වී තිබෙනවා. පසුගිය කාලයේ ලෝකයේ විවිධ විද්වතුන් ලෝකය ගමන් කරමින් සිටින්නේ කොහාටද කියලා පුරෝකථනය කර තිබුණා. එහිදී විශාල පදාසයක් සිනමා කලාව දිශාවටත් විවෘත වෙමින් තිබෙනවා. එය එසේ වුවත් එම අලුත් ලෝකයෙන් පංගුවක් අත්පත් කර ගැනීමට තවමත් අප අසමත් වී සිටිනවා.

Artists Summit Crowd

මම ඔබට කරුණු කිහිපයක් පෙන්වා දෙන්නම්. සංගීතය කර්මාන්තයක් ලෙස ලෝකයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඩිජිටල් සංගීත වෙළඳපොළ 2024 වසරේ ඩොලර් බිලියන 24.5ක් උපයා තිබෙනවා. ඒ වගේම 2022දී ලෝක සිනමා සහ විනෝදාස්වාද වෙළඳපොළ ඩොලර් බිලියන 94ක් නිර්මාණය කර තිබෙනවා. 2031 වන විට එය ඩොලර් බිලියන 192ක් දක්වා වර්ධනය වන බවට පුරෝකථනය කර තිබෙනවා. වසරකට 7%ක වර්ධනයක් ඒ ක්ෂේත්‍රයේ පුරෝකථනය කර තිබෙනවා.

අපි එක් පැත්තකින් සමාජ ජීවිතය ගැන කල්පනා කරනවා වගේම අනෙක් පැත්තෙන් ආර්ථිකමය වශයෙන් ලෝකයේ මේ පුරෝකථනය කළ ක්ෂේත්‍රවලින් පංගුවක් අත්පත් කර ගැනීමට සැලසුම් කළ යුතුයි. 2031දී ඩොලර් බිලියන 192ක් නිර්මාණය වන ලෝකයේ අපි කොපමණ ප්‍රමාණයක් අල්ලා ගැනීමට සැලසුම් කළ යුතුද? අපි ඒකෙන් කුඩා බිඳුවක් හෝ අත්පත් කර ගත යුතුයි. ඒ පිළිබඳව අපි සැලසුම් ඉදිරිපත් කරනවා. විටක අපි ලෝක සිනමාව ගැන, ලෝක සාහිත්‍යය ගැන, ඒවායේ වර්ධනය ගැන කථා කරනවා. ඒත් අපි කඳුකරයේ ජීවත් වන කවියෙක් ගැන හෝ කවියක් ගැන අපි කථා කරනවාද? අපි හොලිවුඩ්, බොලිවුඩ් සිනමාව ගැන කථා කරනවා. ඒත් යාපනයේ දෙමළ සාහිත්‍යකරුවෙක් ගැන, දෙමළ නවකථාකරුවෙක් ගැන කථා කරනවාද? අපි ලෝකයේ බොහෝ සාහිත්‍ය කලා නිර්මාණ ගැන විචාරයේ යෙදෙනවා. නමුත් අපි දෙමළ සාහිත්‍යය ගැන හෝ සාහිත්‍යකරුවෙක් ගැන විචාරයේ යෙදී තිබෙනවාද? අපි මොනතරම් පටු හුදෙකලා තැනකද ජීවත්වෙන්නේ. ලෝකයට නොවෙයි අඩුම තරමේ කඳුකරයටවත් අපිට විවෘත වෙන්න නොහැකි වී තිබෙනවා. අපිට උතුරටවත් විවෘතවෙන්න නොහැකි වී තිබෙනවා. උතුර දකුණට විවෘත කර ගන්න නොහැකි වී තිබෙනවා. කඳුකරය දකුණට විවෘත කර ගන්න නොහැකි වී තිබෙනවා. ඒක තමයි සත්‍යය. එනිසා අපි හිතනවා අපේ රටේ අනන්‍ය වූ සංස්කෘතීන් තිබෙනවා. අනන්‍ය වූ කලා ශිල්පයන් තිබෙනවා. අපේ අපේක්ෂාව වන්නේ, මේ සියල්ල කැටිකරගත් අනන්‍ය වූ ශ්‍රී ලාංකේය ජාතියක් නිර්මාණය කර ගැනීමයි.

අනෙකා නොතකා හරිමින් අනෙකාගේ අනන්‍යතාවයන් පහත් ලෙස සලකමින් අනෙකාගේ අනන්‍යතාවයන් සැහැල්ලුවට ගනිමින් ඉන්නවා පමණක් නොවෙයි සමහරවිට අපි හිතනවා අනෙකාගේ අනන්‍යතාවයන් අපිට සතුරුයි කියලා. දෙමළ කවිය සිංහලයට සතුරුයි කියල හිතනවා. සිංහල සංස්කෘතියට දෙමළ සංස්කෘතිය සතුරුයි කියල හිතනවා. අනෙකාගේ නිර්මාණයන් අගයන ඇසකින් නොවෙයි අපි ඒ දෙස බලන්නේ. සතුරු ඇසකින්. මෙවැනි සමාජයකට ඉදිරි ගමනක් තියේවිද? ඒනිසා අපගේ අපේක්ෂාව වන්නේ අනෙකාගේ අනන්‍යතාවයන් මුහුකරගත්තු එය දරාගැනීමට හැකි, ඊට ගරු කරන, එය රසවිඳිය හැකි නව සමාජය නිර්මාණය කිරීමයි.

Crowd At Artists Summit

මේ ක්ෂේත්‍රය පිළිබඳව මට වඩා විදග්ධයින් මෙතන ඉන්නවා. ඔවුන් දීර්ඝ කාලයක් මේ ක්ෂේත්‍රයේ නව නිර්මාණයන් පිළිබඳව අරගල කරපු, ලියපු, විචාරය කරපු දෘෂ්ටිවාදයන් නිර්මාණය කරපු අයයි. එවැනි විශාල පිරිසක් අද මෙතන ඉන්නවා. මා මේ ක්ෂේත්‍රය පිළිබඳව විදග්ධයෙක් නොවෙයි. මා ඒ පිළිබඳව එළියෙන් සිට බලන්නෙක්. ඔබ මේ ක්ෂේත්‍රයේ ඇතුළේ ජීවත් වන කෙනෙක්. අරගලයක නිරත වූ සහ නව නිර්මාණයන් අත්හදා බලපු කෙනෙක්. ඒ තුළම අලුත් ලෝකයක් පරිකල්පනය කළ කෙනෙක්. ඒ නිසා මම ඔබට එක සහතිකයක් දෙනවා. ඔබට ඔබේ නිර්මාණ ඉදිරිපත් කිරීමේදී යම් කුකුසක් පැකිළීමක් තිබුණේ නම් එය මුළුමනින්ම ඉවත් කරන සමාජයක් අපේ පාලනයක් යටතේ අප ගොඩනගනවා.

ඔබ මේ සමාජයේ ප්‍රගමනය බලාපොරොත්තුවෙන් විවිධ දේ ලිවුවා; කිවුවා; විවිධ නිර්මාණ කළා. එහෙත් ඒවා සාර්ථක කර ගන්න මේ ක්‍රමය යටතේ ඉඩකඩ විවෘත වුණේ නැහැ. ඔබගේ සිත තුළ කැකෑරෙමින් තිබුණ එම වුවමනාව, ඔබ ඔබගේ නිර්මාණ තුළ දුටුව නව ලෝකය නිර්මාණය කිරීම සඳහා දරන ප්‍රයත්නයට සහාය ලබාදීම අපේ වගකීමයි. ඔබ තව තව ලියන්න. නවකථා නිර්මාණය කරන්න. නිර්මාණකරනයේ යෙදෙන්න. අපි ඔබට සහය ලබා දෙන පාර්ශ්වකරුවෙකු වෙන්නම්. ඔබගේ පරිකල්පනයේ අරමුණ යථාර්ථයක් බවට පත්කළ හැකි රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. මේ ප්‍රයත්නය ජයග්‍රහණය කිරීම සඳහා අපි එක්ව පියාඹමු.

Liyanage Amarakeerthi Addressing The Artists Summit

“භාවපූර්ණ වින්දනයක් සහිත ජීවිතයක් ගොඩනගා ගැනීමට මිනිසුන්ට අවස්ථාව ලැබිය යුතුයි”
-මහාචාර්ය ලියනගේ අමරකීර්ති-

අපි අද ඉදිරිපත් කරන අපේ සංස්කෘතික කලා ප්‍රතිපත්තිය පිටුපස විශාල සාමූහික ශ්‍රමයක් තිබෙනවා. මෙය සැකසීමේදී ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් තිබෙන ප්‍රවීණයන් රැසක් ඊට දායක වුණා. අපේ සංස්කෘතික කලා ප්‍රතිපත්තිය අනෙකුත් ක්ෂේත්‍ර සියල්ල හා එකිනෙක බැඳුණු සමස්තයක එක කොටසක්. අපේ ප්‍රතිපත්ති මාලාව අනෙකුත් සියලුම ක්ෂේත්‍ර සමග ස්නායුගත සම්බන්ධතාවක් පවත්වනවා. අපි මෙහිදී එක ප්‍රධාන තේමාවක් පිළිබඳව කල්පනා කළා. එය තමයි පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් යනු කුමක්ද කියන එක. එතනදී අපි විශ්වාස කරනවා පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයක් කියන්නේ මොනව හරි සෑදීම, විකිණීම හෝ යම්කිසි දෙයක් සැපයීම පමණක් නොවෙයි. මහාචාර්ය සරත්චන්ද්‍රයන් ඔහුගේ ‘ධර්මිෂ්ඨ සමාජය’ නම් කෘතියේදී එක් තැනක මෙසේ සඳහන් කරනවා. ඔහු කිවුවා ‘ක්‍රය’ සහ ‘වික්‍රය’ පමණක් නොවෙයි මනුෂ්‍ය ජීවිතය කියල. එනම් මිලට ගැනීම සහ විකිණීම පමණක් නොවෙයි මනුෂ්‍ය ජීවිතය කියල. මනුෂ්‍ය ජීවිතය ඊට වඩා විශිෂ්ට දෙයක්. යම් ආර්ථිකයක උපකරණයක් වීම පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් නොවෙයි. භාවපූර්ණ වින්දනයක් සහිත ජීවිතයක් ගොඩනගා ගැනීමට මිනිසුන් ලෙස අපට අවස්ථාව ලැබිය යුතුයි.

මනුෂ්‍යයන් යම් පද්ධතියක නිර්නාමික කොටසක් වීම ඉවසන්නේ නැහැ. මනුෂ්‍යයා තමාගේ ජීවිතය ඵල දරන දෙයක් බවට පත්කර ගැනීමට උත්සාහ ගන්නවා. අපේ සංස්කෘතික ප්‍රතිපත්තිය සැකසී තිබෙන්නේ අපේ සමාජීය මිනිසා යම් නිෂ්පාදන ආර්ථිකයක හෝ යම් වෙළඳපොළ ක්‍රමයක කොටසක් කිරීමට හෝ යම් පාලනයක සුවච කීකරු යටත්වැසියෙකු කිරීමට නොවෙයි. අප ඉදිරිපත් කර තිබෙන එම වැඩපිළිවෙළ ඒ ඒ පුද්ගලයාගේ හැකියාව අනුව ජීවිතය පූර්ණත්වයට පත් කර ගත හැකි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක්. අපි පරිකල්පනය කරන්නේ සාරවත් පුරවැසි ජීවිතයක්. ඒක තනි තනි පුද්ගලයාට වෙන් වෙන්ව සාක්ෂාත් කර ගත නොහැකියි. එයට සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යයි. ඊට පාලන තන්ත්‍රය උදව් කළ යුතුයි; පරිසරය සකසා දිය යුතුයි.

Singers At The Stage Of Artists Summit

සංස්කෘතිය හා කලාව කියන්නේ අපි සමාජයට, ස්වභාව ධර්මයට, ප්‍රජාතන්ත්‍රවාදයට මුහුණ දෙන ආකාරය පිළිබඳව පරීක්ෂා කරන උපකරණයක්. ප්ලේටෝ කියා තිබෙනවා, පරීක්ෂා නොකරන ලද ජීවිතය ජීවත්වීමට තරම් නොවේ කියලා. මේ කියමන බොහෝ කලාකරුවො උරුම කරගෙන තිබෙනවා. අපේ කාර්යය ඒ පරීක්ෂාවට දිරි දීම. එය අපේ අභ්‍යන්තරික ආත්ම පරික්ෂාව. එය අපේ සාමූහික ආත්ම පරික්ෂාව. එය පාලකයන් අපිව පාලනය කරන අන්දම පිළිබඳ පරීක්ෂාව. එය අපි ආදරය කරන අන්දම පිළිබඳ පරික්ෂාව. එය අපි අඹුසැමියන් හැටියට ජීවත්වන අන්දම පිළිබඳ පරීක්ෂාව.

සංස්කෘතිය කියන්නෙ උරුමය කියන එක නොවෙයි අපේ සම්ප්‍රදායන් එලෙසම භාරගන්න එක නොවෙයි. පෙරළීම, වෙනස්කිරීම, යළි සැකසීම මේ සියල්ල සංස්කෘතියට අයිතියි. ගිබ්සන්ගේ නාට්‍යයක් වන ‘සෙල්ලම් ගෙදර’ නාට්‍යයේ ඔහු එක තැනක අහනවා බිරිඳක් ගෙදරක ගෘහනියක් වුවහොතින් ඇය සැබෑ මනුෂ්‍ය ජීවිතයක් ගතකරනවාද කියලා. අපේ කලා සංස්කෘතික ප්‍රතිපත්තිය සැකසී තිබෙන්නේ පූර්ණ මනුෂ්‍යයෙකු ලෙස ලාංකේය පුරවැසියා ලෝකයට දායාද කිරීම අරමුණු කරගෙනයි.

Show More

“කල් ඉකුත් වූ පාස්පෝට් අලුත් නොකිරීමෙන් මැතිවරණ සමයේ ලංකාවට පැමිණීමට නොහැකි තත්වයක් ඇති කර තිබෙනවා” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්-

(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.09.09-) මේ ආණ්ඩුව අද පුරවැසියන්ට පාස්පෝට් එකක්වත් ලබා දෙන්න බැරි තත්වයකට පත් වෙලා සිටිනවා. එක පැත්තකින් පාස්පෝට් පෝලිම දික් වෙවී තිබෙන අතරේ අනෙක් පැත්තෙන් ලංකාවට එන විදේශිකයන් පවා රස්තියාදු කරමින්, වීසා පෝලිම දික්ගැසී තිබෙනවා. පසුගිය කාලයේ සාමාන්‍ය පාස්පෝට් නිකුත් කිරීම වෙනුවට ‘ඊ-පාස්පෝට්’ සේවය ආණ්ඩුවෙන් හඳුන්වා දීම පිටුපස කොමිස් ගැසීමේ […]

(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.09.09-)

Vijitha Herath Speaking At NPP Press Conference

මේ ආණ්ඩුව අද පුරවැසියන්ට පාස්පෝට් එකක්වත් ලබා දෙන්න බැරි තත්වයකට පත් වෙලා සිටිනවා. එක පැත්තකින් පාස්පෝට් පෝලිම දික් වෙවී තිබෙන අතරේ අනෙක් පැත්තෙන් ලංකාවට එන විදේශිකයන් පවා රස්තියාදු කරමින්, වීසා පෝලිම දික්ගැසී තිබෙනවා. පසුගිය කාලයේ සාමාන්‍ය පාස්පෝට් නිකුත් කිරීම වෙනුවට ‘ඊ-පාස්පෝට්’ සේවය ආණ්ඩුවෙන් හඳුන්වා දීම පිටුපස කොමිස් ගැසීමේ ජාවාරම නිසා සියල්ල අඩපණ කරලා. රනිල් වික්‍රමසිංහගේ හිතවතකු වන ජිත් වර්ණකුලසූරියට අයත් ‘ජස්ට් ඉන් ටයිම්’ සමාගමට මේ සම්බන්ධයෙන් ටෙන්ඩරය ලබා දී තිබුණා. ගිවිස ගත් පරිදි පසුගිය ජුනි මාසයේ සිට ඊ-පාස්පෝට් සේවාව ලබා දෙන්න සමාගම අපොහොසත් වීමෙන් පෝලිමක් ඇති වුණා. රට එපා වී හැර යාමට 3,000ක විතර පිරිසක් දවසකට පාස්පෝට් ගන්න එනවා. නමුත්, ටෙන්ඩර් මගඩියත් එක්ක ‘ඔන්ලයින්’ ක්‍රමයට පාස්පෝට් දෙන්න ආණ්ඩුව තීරණය කළා. ඒ අනුව දවසකට නිකුත් කරන්නේ පාස්පෝට් 250-300 අතර ප්‍රමාණයක් පමණයි. එහෙම තියෙද්දී, ඊ-පාස්පෝට් ලබා දීමේ ටෙන්ඩරය ලබා ගත් සමාගමටම සාමාන්‍ය ක්‍රමයට පාස්පෝට් නිකුත් කිරීමේ අවස්ථාව ලබා දීම වෙනුවෙන් පසුගිය සතියේ දී කැබිනට් පත්‍රිකාවක් නිකුත් කර තිබුණා. මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් කමිටුවක් පත් කර එහි නිර්දේශ මත බව කියමින්, පැරැණි ආකාරයෙන්ම පාස්පෝට් ලබා දෙන්න කැබිනට් අනුමැතිය ඉල්ලා තිබෙනවා. එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙන්නේ පිටු 48ක පාස්පෝට් එකක් ලබා දෙන්නයි. නමුත්, මුල දී තිබුණේ පිටු 64ක පාස්පෝට් එකක්.

මුල දී පාස්පෝට් ලබා දුන් සමාගමෙන් ලක්‍ෂ හතහමාරක් කඩිනමින් ලබා දීමට තීන්දු කර ඇති බව සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා ප්‍රකාශ කළා. නමුත්, කලින් ලබා දුන් සමාගමට ටෙන්ඩරය පිරිනැමුවා නම්, ප්‍රමාදයක් සිදු වන්නේ නැහැ. නමුත්, පිටු 64කට තිබූ පාස්පෝට් එක පිටු 48කට අඩු කිරීම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ලෝකයේ රටවල් 192කට නිල වශයෙන් දැනුම් දෙන්න ඕනෑ. ඒ අනුව එම රටවල අනුමැතිය ලබා ගන්න තවත් මාස දෙකක් පමණ ගත වෙනවා. කැබිනට් පත්‍රිකාව අනුව පිටු 48ක පාස්පෝට් එක වෙනුවෙන් ඩොලර් 7.98ක මුදලක් වැය වන බව සඳහන් වෙනවා. රුපියල්වලින් ගත්තොත්, එක් පිටුවකට රුපියල් 31ක් වැය වෙනවා. නමුත්, පෙර තිබුණු මිල ගණන් අනුව වැය වෙන්නේ රුපියල් 5.99යි. දහස් ගණනක් පෝලිම්වල රස්තියාදු වෙන්නේ මේ මගඩිය නිසයි. අද මේ සිදු කරන්නේ රටේ ඉන්න බැරි කර තිබෙන අතර, රටින් පිට වී යන්නත් ඉඩ නොදී හිර කර තිබීමයි. මේ තත්වය වහා වෙනස් කර මෙතෙක් කල් සාමාන්‍ය පාස්පෝට් ලබා දුන් ආකාරයට ඒ ක්‍රමවේදයෙන් ලබා දෙන ලෙස අපි අවධාරණය කරනවා. ඒ අනුව රටවල් 192ක අනුමැතිය අලුතින් ලබා ගන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඇමැතිවරුන්ගේ, ජනාධිපතිවරුන්ගේ හිතවත්කම්වලට ගසාකන්න ඉඩ දීමෙන් ලංකාවට එන්න ඉන්න ලාංකිකයන්ට ඉඩ ලැබෙන්නෙත් නැහැ. විශේෂයෙන්ම මේ මැතිවරණ සමයේ පාස්පෝට් කල් ඉකුත් වූ අයට ඒවා අලුත් කර ගැනීමට නොහැකි වීම නිසා ලංකාවට පැමිණීමට නොහැකි වීමේ තත්වයක් ඇති කර තිබෙනවා. ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ පරණ වෙබ් අඩවිය විවෘත කර අවශ්‍ය පහසුකම් සලසා නොදී සිටිනවා. මේ තත්වය වහාම අවසන් කරන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කරනවා.

ඒ වාගේම මැතිවරණ සමයේ ජනතාව රටවන්න විවිධ දේශපාලන පොරොන්දු දුන් අතර, නාගරික මහල් නිවාසවල ඉන්න ජනතාවට ඔප්පු ලබා දෙන බව ප්‍රකාශ කළා. නමුත්, ලබා දී තිබෙන ඔප්පුවල පවා නීත්‍යනුකූලව සඳහන් විය යුතු ඔප්පු අංකයක් කිසිදු තැනක සඳහන් කර නැහැ. නාගරික සංවර්ධන අධිකාරියෙන් මේ ඔප්පු ලබා දී තිබෙනවා. ඒ වාගේම ඔප්පුවේ සාක්‍ෂිකරුවන් දෙදෙනකු අත්සන් කළ යුතුයි. නමුත්, මේ ඔප්පු ලෙස සාක්‍ෂිකරුවන් නොමැති මෙන්ම සහතික කිරීමකුත් සිදු කර නැති කොළ කෑල්ලක් ලබා දී තිබෙනවා. ඔප්පුවක් නීත්‍යනුකූල වීමට නම්, ඔප්පු අංකය අනිවාර්යයෙන් ම සඳහන් විය යුතුයි. ජනතාවගේ මුදල් නාස්ති කර උත්සව පවත්වා ඒ බරත් ජනතාව මත පටවා ගෙන යන ප්‍රෝඩාව නැවැත්විය යුතුයි. විශේෂයෙන් ම නාගරික ප්‍රදේශවල ජනතාවට පසුගිය කාලයේ ලබා දුන් කොළ කෑල්ල ඔප්පුවක් බව ප්‍රකාශ කරමින්, ඡන්දය පැහැර ගැනීමට දරන ප්‍රයත්නයට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි රැවටීම්වලින් නොනැවැතී, රනිල් වික්‍රමසිංහ වේදිකාවල කපටි කතා කියන්න පුරුදු වි සිටිනවා. අනෙක් වේදිකාවේ මෝඩ කතා කියන අතරේ රනිල් වික්‍රමසිංහ කපටි කතා කියනවා. මාතර, මොරවක රැස්වීමේ දී රනිල් වික්‍රමසිංහ කීවේ, අනුර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එකරැයින් කියවූ බවයි. එකරැයින් කියැවූ ඒවා යැයි ඔහු පට්ටපල් බොරු රැසක් ඒ වේදිකාවේ දී කීවා. ජාතික ජන බලවේගයෙන් ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අහෝසි කරන බව ඔහු කීවා. මෙවැනි සඳහනක් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කුමන පිටුවේ, කුමන වගන්තියක තිබේ දැයි පෙන්වන ලෙස ඔහුට අභියෝග කරනවා. ළඟ ඉන්න කේවට්ටයෝ කියන දේවල් අහලා වේදිකාවල මෙවැනි බේගල් දිගහරින්න එපා. එක රැයක් නොවෙයි, මාසයක් හෝ අවදියෙන් සිට නැවත කියවන ලෙස අභියෝග කරනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 151 වැනි පිටුවේ ‘ජාත්‍යන්තර හා දේශීය වෙළෙඳපොළ පුළුල් කිරීම් සහ කාර්යක්‍ෂමතාව’ නම් සිරස්තලය යටතේ අපි අවධාරණය කර තිබෙන්නේ ‘පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන කිරීම හා නව නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට ප්‍රවේශ වීම’ කියලයි.

රනිල්, ඔයා මොනවා ද කියෙව්වේ ? ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අහෝසි කරන බව කීවේ දැක්කේ නැතිවද? නැති නම්, හිතාමතාම මඟහැර ගිහින්ද? රටේ වගකිව යුතු ජනාධිපතිවරයකු හැටියට දැනුවත්ව බොරු කියන්න එපා. ඔබ නිකම්ම නිකම් අපේක්‍ෂකයකු නොවෙයි, ඔබ දැනට මේ රටේ ජනාධිපති ධුරය දරන අපේක්‍ෂකයා. ජනතාව මුළා කරන්න එපා. ජාත්‍යන්තර ප්‍රජාව මුළා කරන්න එපා. පවතින වෙළෙඳ ගිවිසුම් කාලීන තත්වයට අනුව යාවත්කාලීන කරනවා පමණක් නොවෙයි, නව වෙළෙඳ ගිවිසුම් අත්සන් කරන බවත් සඳහන් කර තිබෙනවා. ඉංග්‍රීසි පරිවර්තනයේ 84 වැනි පිටුවේ ඒ බව ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. දවසෙන් තේරෙන්නේ නැත්නම්, සතියක් නිඳිවරලා හරි රනිල්, ඔයා මේක නැවත කියවන්න. අනෙක් අතට රනිල් වික්‍රමසිංහ කියනවා, අනුර දිසානායක සහෝදරයාට සමාව ගන්න කියලා. රනිල්, දැන් ඔයා සමාව ගන්න ඕනෑ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කපටි විදියට වෙනස් කර බොරු කීම සම්බන්ධයෙන් රටේ ජනතාවගෙන් සමාව ගන්න ඕනෑ. රටෙන් විතරක් නොවෙයි, ජාත්‍යන්තර ප්‍රජාවගෙනුත් සමාව ගත යුතුයි. මොකද, ඔහු මේ රටේ ජනාධිපතිවරයා හැටියටයි කටයුතු කරමින් සිටින්නේ.

අනුර සහෝදරයා උතුරට ගිහින් ජනතාවගෙන් ඉතා පැහැදිලිව ඉල්ලීමක් කළේ මුළු රටම එකතු වී රට හදන ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවන්න එකතු වෙන්න කියලයි. දකුණේ ජනතාව ජයග්‍රහණයට පෙළගැසී සිටින මොහොතේ උතුරේ ජනතාව ලෙස ඒ අවස්ථාව මඟහරින්න එපා කියලයි, ඔහු අවධාරණය කළේ. දකුණේ ජනතාවගේ සහාය විතරක් මදි. උතුර, නැඟෙනහිර සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ජාතිකත්වයන්ගේ සහයෝගය රට ගොඩනැඟීම සඳහා අත්‍යවශ්‍ය බවත්, සමඟියෙන් පිරුණු රටක් ගොඩනැඟීමට සමඟියෙන් පිරුණු ආණ්ඩුවක් අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළා. නමුත්, රනිල් හිතාමතාම එය විකෘති කර ජාතිවාදී ප්‍රකාශයක් සිදු කළා. 1981 සංවර්ධන සභා මැතිවරණය අවස්ථාවේ සිරිල් මැතිව්, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ගාමිණී දිසානායකලා මැරයන් මෙහෙයවා කුරුණෑගල සිට යැවූ මැරයන් ඡන්ද පෙට්ටි කොල්ලකා විනාශයන් සිදු කළ, දකුණු ආසියාවේ විශාලතම පුස්තකාලයට ගිනි තැබූ ඉතිහාසයක් තිබෙනවා. කුරුණෑගල සිට කෝච්චියෙන් ගිහින් හින්දු විද්‍යාලයේ නවාතැන් ගෙන රාත්‍රී දහයට ඇමැතිවරුන් උපදෙස් දුන් ආකාරය සම්බන්ධයෙන් සජීවී සාක්‍ෂි තවමත් තිබෙනවා. එදා යාපනය පුස්තකාලය ගිනි තබා ඡන්ද කොල්ලයක් දියත් කළ නිසයි යුද්ධයකට පාර කැපුණේ, රට ගිනි තබන ජාතිවාදී යුද්ධයට පාර කැපුවේ 1981 සිදු කළ මේ විනාශයෙන් විසිනුයි. එවැනි විනාශ සිදු කළ රනිල් වික්‍රමසිංහ ඇතුළු පාලකයන් අද අනුර සහෝදරයාගේ කතාව විකෘති කරමින්, වෙනත් ප්‍රකාශ සිදු කරනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැනුවත්ව විකෘති කිරීම සහ නැවත ජාතිවාදය අවුස්සන ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ සමාව ගත යුතුයි. සදාචාර සම්පන්න දේශපාලන භාවිතාවක් තිබෙනවා නම්, ඔහු එය රටට පෙන්විය යුතුයි.

Vijitha Herath At NPP Press Coference

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්;

වීසා ජාවාරම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයා දරන ස්ථාවරය මොකක් ද?

අපි මේ කරුණු ඉදිරිපත් කළේ ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයා වෙනුවෙන්. එදා වී.එෆ්.එස්. වීසා ජාවාරම රටට හෙළි කළේ පළාත් පාලන මැතිවරණයට ගම්පහ නගර සභාවෙන් අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටි සහෝදරයකුගේ පුතෙක්. ඔහු නීතිඥවරයකු ලෙසත්, ඔහුට පෞද්ගලිකව සිදු වූ අසාධාරණය නිසාත් මේ සිද්ධිය රටට හෙළි කළා. මේ තරුණයා කළ වීර ක්‍රියාව නිසා අපේ රට සහ ලෝකයේ සිටින ලාංකිකයන් මේ වංචාව පිළිබඳව මුලින්ම දැනගත්තා. හදිසි ව්‍යාපාර කටයුතු වෙනුවෙන් පවා පැමිණීමට නොහැකි මට්ටමට හිර වී සිටිනවා. අපි දේශපාලන ව්‍යාපාරයක් විදියටත් මුල ඉඳලාම මේ ජාවාරම රටට හෙළි කරමින්, එය නවත්වන ලෙස බලපෑම් ආණ්ඩුවට සිදු කළා. දැන් කරන්නෙත් ඒක තමයි.

මොරවක දී ජනාධිපතිවරයා කළ අභියෝගය භාර ගන්නවා ද?

අපි මේ කරන්නේ ඒ අභියෝගය භාරගෙන උත්තර සැපයීමයි. අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම ඇතුළත් කර තිබෙන කරුණු පිළිබඳව පැහැදිලි කළා. අනුර සහෝරයාට යම් අසනීප තත්ත්වයක් නිසා මොරවක රැස්වීමට යන්න බැරි වුණත්, ඊයේ අනුර සහෝදරයා රනිල් වික්‍රමසිංහට පිළිතුරු ලබා දුන්නා. දැන් රනිල් සමාව ගන්න ඕනෑ.

අපේක්‍ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳ විවෘත සංවාදයකට එක් නොවූයේ ඇයි ?

ඒ සංවාදයට ලෑස්ති කරන්න ඉස්සර අපි අපේ රැස්වීම් සූදානම් කර තිබුණා. එදා උදේ අපේ නීතිඥ සමුළුව, ක්‍රීඩා සමුළුව, මොරවක රැස්වීම, ඌරුබොක්ක රැස්වීම, දෙයියන්දර රැස්වීම සූදානම් කර තිබුණා. අපේ න්‍යාය පත්‍රයට පිටින් විවිධ මාධ්‍ය ආයතන සහ සංවිධාන කරන සැලැසුම් අනුව අපේ කටයුතු වෙනස් කර ගන්න අපහසුයි. ඒ අනුවයි සහභාගී වෙන්න නොහැකි වුණේ.

ජනාධිපතිවරයා රැස්වීම්වල දී ‘මා මිත්‍ර අනුර කුමාර දිසානායක’ කියලා ආමන්ත්‍රණය කිරීමෙන් හෙළි වන්නේ ඩීල් එකක් ද?

ඩීල් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාසලා අතර බව කාටත් පැහැදිලියි. හොඳම උදාහරණය අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමැතිවරයා හඬා වැලපෙමින්, පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශය. ඒ වාගේම ඒ දෙපැත්තේම දෙවැනි පෙළ කට්ටිය තැන් තැන්වල විවිධ සාකච්ඡා කරමින් යනවා. රනිල් වික්‍රමසිංහ, සජිත්ට අනුරව පරද්දන්න බැරි බව කියන අතර, රනිල්ට පුළුවන් ද? සජිත්ටත් බෑ. රනිල්ටත් බෑ. ඒ දෙන්නාම එක් වුණත් බැහැ. ඒ විතරක් නොවෙයි, දැන් අනුරටත් බෑ අනුර පරද්දන්න. රටේ ජනතාව අනුරව දිනවලා ඉවරයි.

Show More

“සමාජ පරිවර්තනයක් සඳහා වූ තරුණ පරම්පරාවේ අපේක්ෂා ඉටුකිරීමේ වගකීම අපි බාර ගන්නවා” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ තරුණ සමුළුව – 2024.09.08 – සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය-) මේ සැප්තැම්බර් 21 වැනිදාට ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කළ හැකි බවට අපි හැම දෙනාටම, මහත් විශ්වාසයක් තිබෙනවා. අද අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය ඔවුන් කිසිසේත්ම අපේක්ෂා නොකළ ඉරණමකට මුහුණ දී තිබෙනවා. ඔවුන් හිතුවේ ඔවුන් එකිනෙකා අතර පමණක් බලය හුවමාරු වීම චිරාත් කාලයක් ආරක්ෂා කර ගන්න පුළුවන් […]

(-ජාතික ජන බලවේගයේ තරුණ සමුළුව – 2024.09.08 – සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය-)

Anura Kumara Dissanayake Addressing The Crowd At NPP Youth Summit

මේ සැප්තැම්බර් 21 වැනිදාට ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කළ හැකි බවට අපි හැම දෙනාටම, මහත් විශ්වාසයක් තිබෙනවා. අද අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය ඔවුන් කිසිසේත්ම අපේක්ෂා නොකළ ඉරණමකට මුහුණ දී තිබෙනවා. ඔවුන් හිතුවේ ඔවුන් එකිනෙකා අතර පමණක් බලය හුවමාරු වීම චිරාත් කාලයක් ආරක්ෂා කර ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් එළඹෙන 21 වැනිදාට සහතික වශයෙන්ම ඒ සම්ප්‍රදායික බල හුවමාරුව අවසන් වෙනවා.

අද ඔවුන් ඉතාම කැත, අවලස්සන, ජඩ දේශපාලනයකට අවතීර්ණ වී සිටිනවා. අසත්‍ය, මඩ, අවලාද විටෙක කෝපය, වෛරය ඔවුන් අපට එරෙහිව පතුරවමින් සිටිනවා. ඉදිරි දින කිහිපය තුළ තවත් එය තීව්‍ර කරාවි කියලා අපි හිතනවා. අපිට කියන්න තියෙන්නේ එක දෙයයි. ඒ, අපේ හතුරා අපිට එරෙහිව කරන කිසිම දෙයකින් අපේ ජයග්‍රහණය නතර කළ නොහැකි බවයි. පසුගියදා රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කළා, මම මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රකාශයක් කළා කියලා. ඔහුට අවස්ථාවක් තිබෙනවා ඔහුගේ ප්‍රකාශය නිවැරදි කර, කනගාටුව පළ කරන්න. එසේ නොකළහොත් අපි නඩු දමනවා. තිස්ස අත්තනායක කියලා තිබුණා අපි ආව ගමන් නුවර පෙරහැර නතර කරනවා කියලා. දැන් ඔවුන් නැවත ජාතිවාදය, ආගම්වාදය අවුළුන්න උත්සාහ දරනවා. තිස්ස අත්තනායක කණගාටුව ප්‍රකාශ කළත් අපි ඔහුට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. ඔහු කූට ලේඛන සකස් කරන්න කප් ගහපු කෙනෙක්. එහෙම කරලා රිමාන්ඩ් භාරයට පත්වූ කෙනෙක්. දැන් දින කිහිපයකට පෙර අපේ වසන්ත සහෝදරයා අත්අඩංගුවට ගන්න නියෝග කළා කියලා විශාල මඩක් ගැහුවා. ඒ පිළිබඳවත් අනිවාර්යයෙන් ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේ කැත පන්නයේ දේශපාලන ක්‍රීඩාව දැන්වත් නතර කළ යුතුයි. අපි මේ තත්වයට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා.

ඊයේ පෙරේදා දවසක රනිල් වික්‍රමසිංහ “මා මිත්‍ර අනුර, මගේ යාළුවා” කිය කිය ඉන්නවා මම දැක්කා. ඔය එන්නේ ‘ශේප් වෙන්න’. යාළුවා කිය කියා මොනතරම් ශේප් වෙන්න ආවත් අපේ පාලනයක් යටතේ මහ බැංකු වංචාවට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ගන්නවාමයි. පසුගිය කාලේ එයා බාර් ලයිසන් දීපු ඒවා ගැනත් පරීක්ෂණ පවත්වනවා. ‘යාළුවා’, ‘යාළුවා’ කියලා මොනතරම් අපි පසුපස ආවත් එල්ආර්සී එකේ ඉඩම් බෙදපු ආකාරය ගැන අපි අනිවාර්යයෙන් පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම ඔහු අපේ රටේ වංචනිකයන් ආරක්ෂා කර ගැනීමට දරන ප්‍රයත්නයන් ගැනද පරීක්ෂණ පවත්වනවා. රනිල්, සැප්තැම්බර් 21න් පස්සේ ඔබට යාළුවාගේ තරම තේරුම් යාවි.

NPP Youth Summit Crowd

අපේ රටේ තරුණ පරම්පරාව දීර්ඝ කාලයක් තිස්සේ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් පොර බැදුවා. විටෙක සටන්කාමී ලෙසද, විටෙක මතවාදී ලෙසද පොර බැදුවා. නමුත් අවසන් ජයග්‍රහණය ලබන්න අසමත් වුණා. ඔබ කළ ඒ අරගලය ඇතුලේ තිබූ සෑම අපේක්ෂාවක්ම, පරමාර්ථයක්ම ඉටුකිරීමේ වගකීම අපි සැප්තැම්බර් 21න් පස්සේ බාර ගන්නවා. අපේ රටේ දේශපාලනයට එන්න තිබෙන දොරටු පැරණි පාලකයන් විසින් වසා තිබුණා. දේපොළ පරම්පරාවෙන් පරම්පරාවට පවරනවා වගේ අපේ රටේ දේශපාලනයත් ගලා ගියේ පරම්පරාවෙන් පරම්පරාවට. ඒ පරම්පරාවේ දේශපාලනය ගැන තරුණ පරම්පරාවට තිබෙන්නේ විශාල පිළිකුළක්; හිරිකිතයක්. අලුත් පරම්පරාවට දේශපාලනය ගෞරවනීය තැනක්, වටිනාකමක් ඇති තැනක් බව පෙන්වීමට ජාතික ජන බලවේගයේ අපි අවශ්‍ය පරිවර්තන කරනවා.

සජිත් කියන කරන විකාර දෙස බැලුවහම ඔහු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් වීමට සුදුසුදැයි ඔබම කල්පනා කර බලන්න. ඔහු ජනාධිපති අපේක්ෂකයෙකු බවට පත් වන්නේම තාත්තා ජනාධිපතිවරයෙකුව සිටි නිසාමයි. නාමල් රාජපක්ෂත් එසේමයි. රනිල් එසේ වන්නේ මාමා ජනාධිපති වූ නිසයි. මේ රටේ ජාතික දේශපාලනය ගොනු වී තිබෙන්නේද පවුල් 04ක් 05ක් අතේ. ඔබේ දිස්ත්‍රික්කයේ, ඔබේ ආසනයේ පමණක් නොවෙයි, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දේශපාලන තත්වයත් එයම නොවේද? සමහර පවුල් තිබෙනවා තාත්තා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ලොකු පුතා පළාත් සභාව නියෝජනය කරනවා. පොඩි පුතා ප්‍රාදේශීය සභාව නියෝජනය කරනවා. දේශපාලනය පවුල් පඩිපෙළක තියලා වගේ. තාත්තා එක පඩියකින් ඉවත් වෙන විට පුතා ඒ පඩියට නගිනවා. මේ පරම්පරාගත දේශපාලන පවුල් අපේ රටට මහා විනාශයක් කර තිබෙනවා. මේ පවුල් පරම්පරා අතර හුවමාරු වෙන දේශපාලන බැට්න් එක තාවකාලිකව අපි අතට ලබාගෙන තරුණ පරම්පරාව වන ඔබ අතට ලබාදීම අපි වගකීමක් ලෙස පවරාගෙන තිබෙනවා.

Anura Kumara Dissanayake At NPP Youth Summit

ඒ දේශපාලන බැට්න් එක අපි පරම්පරාවෙන් පරම්පරාවට භාර දෙන්නේ නැහැ. ඒ වගේම මේ ලැබෙන බැට්න් එක පණනල පවතින තුරු අපේ අතේ තබා ගන්නේත් නැහැ. අපි එය තබාගෙන ඉන්නේ සීමිත කාලයකට පමණයි. අපේ වගකිම ඉටුකළ විගස අපි එය මේ රටේ තරුණ පරම්පරාවට බාරදීලා ඔබ රට කරන හැටි සැනසිල්ලේ බලාගෙන ඉන්නවා. අපි බදා ගන්න පුරුදු වූ මිනිස්සු නොවෙයි. අත් හරින්න පුරුදු වූ මිනිස්සු. සැප්තැම්බර් 21 වැනිදා සිදුවන්නේ හුදු දේශපාලන බල හුවමාරුවක් නොවෙයි. මෙතෙක් අපේ රටට උරුම කරදී තිබූ නරුම දේශපාලනය වෙනුවට මුළුමනින්ම පරිවර්තනය යුගයකට යොමු කරන දේශපාලනයක් සැප්තැම්බර් 21 දින උදා වෙනවා. අපි ඔබ එක්ව මේ දින කිහිපය වැඩ කළ යුත්තේ ඒ සඳහායි. අපේ දුප්පත් හා මැද පාංතික තරුණ පරම්පරාවට ගොඩඑන්න තිබෙන මාර්ගය තමයි අධ්‍යාපනය. අපේ රටේ නිදහස් අධ්‍යාපනය නොතිබෙන්නට පෞද්ගලිකව මා, ඔබ මෙතන නොසිටින්නට ඉඩ තිබුණා. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අධ්‍යාපනයේ මහා විසල් පර්වර්තනයක් මේ රටේ තරුණ පරපුර හා දූ දරුවන් වෙනුවෙන් අපි සිදුකරනවා.

ඉතා පටු සීමාවක රඳවා තිබෙන මේ රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය අපි ඔබට සෞඛ්‍යය, සතුට, ප්‍රබෝධය ගෙනෙන ක්ෂේත්‍රයක් බවට පත් කරනවා. සංචාරක ව්‍යාපාරය රටට ආදායම් ගෙනෙන හා රැකියා උත්පාදනය කරන දියුණු කර්මාන්තයක් බවට පත් කරනවා. මේ රට සියලු පැතිවලින් පිරිසිදු කර, ඔබේ සිහින සැබෑ කරන ලස්සන ජීවිතයක් අත් විඳින්නට ඔබට ලැබෙන පොහොසත් ශ්‍රී ලංකාවක් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අපි ගොඩනගනවා.

Kalana Gunasekara At NPP Youth Summit

“21 වැනිදායින් පස්සේ අපි හමුවෙන්නේ අලුත් රටක මිනිස්සු හැටියට”
-රංගන ශිල්පී කලණ ගුණසේකර-

සැප්තැම්බර් 21 වැනිදාට තිබෙන්නේ මිනිසුන්ගේ බුද්ධි පරීක්ෂණයක්. ශක්තිමත් කොඳු ඇට සහිත මිනිසුන් අතර එහෙටත් නැති මෙහෙටත් නැති දුර්වල කොඳු සහිත සමහර මිනිස්සු ඉන්නවා. මෙවර අපි අතරින් බිහිවෙන්නේ, මෙතෙක් කල් මේ රටේ හොරු පාලනය කරලා කබලක් කරපු පාලක බස් රථය ඔවුන්ගෙන් බේරා ගෙන නවීකරණය කරලා, යන මාර්ගයත් නවීකරණය කරලා, හරිම ඉලක්කයකට පදවා ගෙන යන්න පුළුවන් පාලකයෙක්.

දැන් රටේ කොල්ලෝ කෙල්ලෝ විතරක් නොවෙයි වැඩිහිටි පරම්පරාවත් ශක්තිමත්. මේ පාර මාලිමාවට ඡන්ද ගලාගෙන එන්නේ පෝලිමට. ලංකාවේ විතරක් නොවෙයි පිටරට ඉඳලා ශ්‍රී ලාංකිකයෝ මේ සැරේ පෝලිමේ එනවා මාලිමාව දිනවන්න. දැන් ඒක නවත්වන්න බැහැ. අපේ විරුද්ධවාදීන්ට දැන් පුළුවන් මඩ ගහන්න විතරයි. ජාතික ජන බලවේගය සිංදුවක් කිවුවත් ගති. ඇඩ් එකක් හැදුවත් ගති. ඒවායින් කාටවත් මඩ ගහන්නේ නැහැ. මම පොඩි සරල කතාවක් කියන්නම්. නායකයා වෙන්න හිතාගෙන ඉන්න එක පුද්ගලයෙක් යනවා, තාරුණ්‍යයට වැඩ පෙන්වන්න; ක්‍රිකට් ගහන්න. පොඩි එකෙක් බෝලයක් දානවා පොල්ල ගැලවිලා වීසි වෙනවා. මේ සැරේ මේ ජනතාව බෝලේ දාන්නෙ එයාගෙයි රනිල්ගෙයි විකට් දෙකේම පොලු ගැලවිලා වීසි වෙන්න.

ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු වගේ පට්ට ගොන් තියරි එකට රස්සාවල් දෙන්නේ නැහැ. සුදුසුකම් අනුව සුදුස්සාට සුදුසු තැන ලබා දෙනවා. අනුර සහෝදරයා නම් කවදාවත් විකාර කතා කියලත් නැහැ; කියන්නෙත් නැහැ කියලා අපි දන්නවා. මොකද, ඔහු බුද්ධිමත් නිසා කවදාවත් වගකීම් විරහිත කතා කියන්නේ නැහැ. රටක නායකයෙක් වෙන්න හිතාගෙන ඉන්න කොනෙකුට අලි මන්තර කියලා වල් අලි එළවලා දානවා වගේ මෝඩ කතා කියන්න පුළුවන්ද?

Crowd At NPP Youth Summit

දැන් එයා ළඟ තියෙන්නේ දැන් පාවිච්චියට නොගන්න පරණ ටෙලිෆෝන් එකක්. අනෙක් කෙනා ළඟ තියෙනවා දිරච්ච ගෑස් සිලින්ඩරයක්. බ්‍රේස්ලට් දෙන්න කතා කරපු මනුස්සයා දැන් කියනවා ගෑස් ටිකක් දෙන්නම් කියලා. ඒ ගොල්ලෝ ගැන ඊට වඩා කතා කරන්න දෙයක් නැහැ. දැන් තාරුණ්‍යය ශක්තිමත්. ඔවුන්ව අන්දන්න බැහැ. මේ පාර මාලිමාව කෝටියකින් නොවෙයි ඊටත් වඩා ගණනකින් දිනවන්න ඕනෑ. දැන් හැම ලාංකිකයෙකුටම මොළේ පෑදෙන්න ඕනෑ අපිට වුණේ මොකක්ද කියලා තේරුම් ගන්න. මෙතන ඉන්න තරුණ තරුණියෝ, කලාකරුවෝ සල්ලිවලට විකිණුනේ නැති කොන්ද කෙලින් මිනිස්සු. අපිට බොක්කෙන් ආපු නායකයෙක් ඉන්නෙ. ඒ නායකයා මේ රට ගොඩනගන එක බොක්කෙන්ම කරනවා.

76 වසරක් කාපු රට, අවංක මිනිහෙක් ඇවිල්ලා ගොඩදාන්න යනකොට කුහකකම් කිය කියා සමච්චල් කරන්න තරම් පහත් තත්වයකට වැටෙන්න එපා කියලා අපි ඔවුන්ට කියනවා. ලංකාවේ හිටපු සුන්දර මිනිසුන්ට වද දීලම මේ පාලකයෝ ඔවුන්ව අසරණ කළා. දැන් ඒ අසරණකම් නැහැ. ඔවුන් දැන් ශක්තිමත්. මේ 21 වැනිදා වෙනකල් ඔවුන් පුල පුලා බලා සිටින්නේ ඔවුන්ගේ ඇත්ත හයිය පෙන්වන්න. අපේ නායකයා ඇතුළු මේ රටේ සමස්ත ජනතාව එකතු වෙලා එදාට පස්සේ මුළු දකුණු ආසියාවටම ආදර්ශය ගන්න පුළුවන් රාජ්‍යයක් ගොඩනඟනවා. එදාට අපේ රටේ ජනතාවට සතුටු සිතින් සැහැල්ලුවෙන් ඇවිල්ලා අපේ කලා නිර්මාණ බලලා තෘප්තියෙන් නිවෙස් බලායන්න පුළුවන් වාතාවරණයක් ගොඩ නැගෙනවා. 21 වැනිදායින් පස්සේ අපි හමුවෙන්නේ අලුත් රටක මිනිස්සු හැටියට. 21 වැනිදා අනුර සහෝදරයාගේ ජයග්‍රහණය ස්ථිරයි. මාලිමාව ජයග්‍රහණය ස්ථිරයි. එදායින් පස්සේ ඔබත් දිනුම්. රටත් දිනුම්.

Eranga Gunasekara At NPP Youth Summit

“ස්මාර්ට් තාරුණ්‍යය මේ රට නව මඟකට හරවන බව අද ඔප්පු කර තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික එරංග ගුණසේකර-

අපි පුල පුලා බලා හිටපු ගේම් එකක් තිබුණා. අපිට ඕනකම තිබුණේ පොහොසත් රටක් හදන්න. ඒ වෙනුවෙන් අපි සටන් කළා. මතවාද ගොඩනැගුවා. තව දින 13යි අපිට තියෙන්නේ. එදාට මේ රටේ මේ ස්මාර්ට් තාරුණ්‍යය මේ රට නව මඟකට හරවන බව අද ඔප්පු කර තිබෙනවා. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගිය මේ තාරුණය කියා පාන්නේ ඒ සාක්ෂියයි. මෙතෙක් මේ රට වැනසූ පාලකයන්ගේ සාදය එදායින් අවසන් කරන පණිවිඩය තමයි අද මේ ඔබ ලබා දෙන්නේ. මෙතන ඉන්නේ රටක් වෙනස් කරන්න බලා සිටින තරුණ තරුණියන්. ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න අප්‍රසන්න මහත්මයෙක් හිතුවා අපිට මේ රැලිය තියන්න කලින් දීපු තැන වෙනස් කරලා අපේ වැඩය අවුල් කරන්න පුළුවන් වෙයි කියලා. අප්‍රසන්න මහත්තයෝ ඔයා ළඟ ඔය චූටි චූටි සිඟිති කෙනෙහිලිකම්වලින් අපිව ආපසු හරවන්න බැහැ. අද මේ තරුණ රැලිය තුළ අපි ඒක ඔප්පු කර තිබෙනවා.

මේ රටේ ජවසම්පන්න තාරුණ්‍යය එක්ක ඔයගොල්ලන්ගේ සම්ප්‍රදායික මහලු දේශපාලනයට හැරෙන්නවත් බැහැ. ඒක හොඳින් මතක තබාගන්න. පසුගිය අරගලයෙන් අපි බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ අරගලය තුළ අපේ සහෝදර බැඳීම් ශක්තිමත් වුණා. ඒ අරගලය නිසාම රනිල්ලා, රාජපක්ෂලා, සජිත්ලා හිතපු නැති තත්වයක් රට තුළ නිර්මාණය වුණා. අරගලයේ මූලික අභිලාෂයන්වලින් එකක් වුණේ අපේ රටේ පවුල් පාලනය අවසන් කිරීම. දෙවැනි එක තමයි අපේ රටේ ජාවාරම්කාර හොරුන්ට දඬුවම් ලබාදීම. තුන්වන කරුණු තමයි ඒ කොල්ලකාපු දේපොළ නැවත අත්පත් කර ගැනීම. හතර වැනි එක තමයි මේ සිස්ටම් එක වෙනස් කිරීම.

එම අරගලය තුළ විවිධ මතවාද තිබුණා. අපේ මතවාද සමග හැප්පුණු බොහෝ දෙනෙක් අද මෙතනට පැමිණ තිබෙනවා. ඒ අරගලයෙන් අපිට ලැබුණේ භාග ජයග්‍රහණයක් පමණයි. මමත් ඇතුළු අරගලයේ අපි හැමෝම ඒක දකින්න ඕනෑ. අරගලයේ අපිට ජවය තිබුණා; අධිෂ්ඨානය තිබුණා; සහෝදරත්වයත් තිබුණා. නමුත් එකක් අපිට නිර්මාණය කර ගන්න බැරි වුණා. ඒ තමයි සංවිධානාත්මක මහජන බලය. ඒ අඩුව තමයි රනිල්ලා රාජපක්ෂලා පාවිච්චි කළේ. අපි වැඩ ඇතුලේ අත්දැකීම් ලබලා ඉගෙන ගත්ත මිනිස්සු. වැරදිවලින් ඉගෙන ගත්ත මිනිස්සු. ඒ නිසා තමයි ජාතික ජන බලවේගය සමග එකතු වෙලා මේ පාදඩ ක්‍රමය වෙනස් කරන්න මිනිස්සු නැගිටලා තිබෙන්නේ; තරුණ පරම්පරාව නැගිටලා තිබෙන්නේ. අපිට එදා නොතිබුණු සංවිධානාත්මක බලය ගොඩනැගිය යුතුව තිබෙන්නේ දැනුයි.

අරගලයේ පාඩම් අධ්‍යයනය කර අපි මෙ සටනට ලැහැස්ති වුණේ අවුරුදු දෙකක ඉඳන්. මේ රටේ ජනතාවගේ ප්‍රාර්ථනාවන් ඉටු කරන්න පුළුවන් තැනකට අද අපි පත්වී තිබෙන්නේ ඒ නිසයි. රටේ විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන්, කලාකරුවන්, ශිෂ්‍යයන්, කාන්තාවන්, තරුණ තරුණියන්, ධීවරයන්, කම්කරුවන්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්, විශ්‍රාමික හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළු සියලුම ක්ෂේත්‍රවල ජනතාව අපිට එකතු කරන්න පුළුවන් වුණා. ඒ, අපි උගත් පාඩම්වලින් අත්දැකීම් ලබා වෙහෙස නොබලා වැඩ කළ නිසයි. අරගලයෙන් මාස 22කට පසුව දැන් අපිට පුළුවන් වෙලා තිබෙනවා හුදු දේශපාලන පක්ෂයකට එහා ගිය, සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු සහෝදර ජනතාව එකතු කරගෙන දැවැන්ත මහජන පවුරක්, සංවිධාන බලයක් ගොඩනඟන්න. මේක අපි ඔක්කෝම එකතු වී කළ සාමූහික වැඩක්. අපි දැවැන්ත කාර්යයක් කරන්නේ මේ බලය මගිනුයි. අපිට මේ රට නව පුනරුද යුගයකට පරිවර්තනය කරන්න, ඔසවා තබන්න හැකිවෙලා තිබෙනවා. අපිට එරෙහි සම්ප්‍රදායික බලය පරාජය කර නව දේශයක් ගොඩනැගීමේ ශක්තිය සතුව තිබෙන්නේ අපි ගොඩනැගූ මහජන බලයටයි.

දැන් අපි සාමූහික මිනිස් පොකුරක්. ඒ නිසා තමයි සතුරාට සිතා ගන්නවත් බැරි වේගයකින් අපි ඉදිරියට යමින් ඉන්නේ. අපේ අරමුණ ජයග්‍රහණය කිරීමට නම් නිශ්චිත වැඩපිළිවෙළක් අපිට ඕනෑ. මේ රටේ තාරුණ්‍යය එයට සූදානම්. අද මේ රටේ ලක්ෂ 85ක් වෙන තාරුණ්‍යය වෙනුවෙන් අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා. “තෘප්තිමත් තාරුණ්‍යයක් – නිවහල් චින්තනයක්” කියන එක තමයි අපේ තරුණ වැඩපිළිවෙළේ තේමාව. මේක හුදු ලියවිල්ලක් නොවෙයි. මේ රටේ තාරුණ්‍යයේ ප්‍රාර්ථනා මල්ඵල ගන්වන ප්‍රායෝගික වැඩපිළිවෙළක්. අපි අද එය ඔබ අතට පත් කරනවා. තව දින 13කින් අපි මේ වැච් එක දිනලා මේ රටේ මහජන බලය පිහිටුවනවා. අනුර කුමර දිසානායක සහෝදරයාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය කරන බවත්, ජාතික ජන බලවේගයේ පාලනයක් මේ රට තුළ ස්ථාපිත වන බවත් ස්ථිරයි. අපි ජය ගන්නවා වගේම මේ රට ගොඩනඟන බවත් ස්ථිරයි.

Anura Kumara Dissanayake Handover The Policy Book
Show More