Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“පුරවැසියන්ට නව ජීවිතයක් ලබාදෙන ජාතික පුනරුද යුගයක් ගොඩනගමු!” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ හලාවත ජන රැලිය – 2024.07.28-) පසුගිය අවුරුදු 50ක 60ක කාලය තුළ මේ රටේ ජනතාවට රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂලා පෙනුණේ එකිනෙකාට එරෙහිව කඩු අමෝරාගෙන සටන් කරන අය ලෙසටයි. කොළපාට, නිල් පාට දෙපසට බෙදිලා ඔවුන් බොරු කාඩ්බෝඩ් කඩු අරගෙන සටන් කළා. නමුත් ජනතාව ගමේ ඇත්තටම බෙදිලා සටන් කර ගත්තා. ආනමඩුවේ රංගේ බණ්ඩාරලා, මැරුණු මන්ත්‍රීතුමන්ලා […]

(-ජාතික ජන බලවේගයේ හලාවත ජන රැලිය – 2024.07.28-)

Public-Rally-Chillaw

පසුගිය අවුරුදු 50ක 60ක කාලය තුළ මේ රටේ ජනතාවට රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂලා පෙනුණේ එකිනෙකාට එරෙහිව කඩු අමෝරාගෙන සටන් කරන අය ලෙසටයි. කොළපාට, නිල් පාට දෙපසට බෙදිලා ඔවුන් බොරු කාඩ්බෝඩ් කඩු අරගෙන සටන් කළා. නමුත් ජනතාව ගමේ ඇත්තටම බෙදිලා සටන් කර ගත්තා. ආනමඩුවේ රංගේ බණ්ඩාරලා, මැරුණු මන්ත්‍රීතුමන්ලා මහපාරේ වෙඩි තියාගත්තේ නැද්ද? හැබැයි මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ කඩදාසි කඩුවලින් සටන් කළා. ඒගොල්ලෝ බොරුවට රණ්ඩු කරලා දශක ගණනාවක් රට ප්‍රපාතයට අරගෙන ආවා. ඔවුන්ට තවදුරටත් සතුරන් වගේ බෙදිලා සටන් කරන්න බැහැ. ඒ නිසා ඒ අයට එක වේදිකාවට නගින්න සිදුවී තිබෙනවා. කළුතර තිබුණු රැස්වීමට එක පුටුවක රනිල් වික්‍රමසිංහ, අනිත් පුටුවේ මහින්ද රාජපක්ෂ, අනික් පුටුවේ රවි කරුණානායක, ඊළඟ පුටුවේ බැසිල් රාජපක්ෂ, ඊළඟ පුටුවේ වජිර අබේවර්ධන. ඊළඟ පුටුවේ රෝහත අබේගුණවර්ධන. ඒ වේදිකාව අලියාද, පොහොට්ටුවද? රනිල් දැක්කාම අලියා වගේ පේනවා. අනිත් පුටුවේ මහින්ද දැක්කාම පොහොට්ටුව වගේ පේනවා. ඇත්තටම දැන් ඒක අලියත් නොවෙයි, පොහොට්ටුවත් නොවෙයි, පූට්ටුවක්.
මෙතෙක් කල් රටේ බලය තිබුණේ එක්කෝ කොළ පාට ළඟ නැත්නම් නිල් පාට ළඟ. කවදාවත් ඔවුන්ට සැකයක් තිබුණේ නැහැ. නිල්පාට දූෂිතයන්ට කොළ පාට ආණ්ඩුවෙනුත්, කොළ පාට දූෂිතයන්ට නිල් පාට ආණ්ඩුවෙනුත් ආරක්ෂාව සහ රැකවරණය තිබුණා. උඩ ඉන්න අය, මහාපරිමාණ හොරකම්වලට අපරාධවලට හවුල් වුණත් කවදාවත් ඔවුන්ට විරුද්ධව පරීක්ෂණයක් කළේ නැහැ. නීතිය ක්‍රියාත්මක කළේ නැහැ. දෙපැත්තෙන්ම ආරක්ෂාව ලැබුණා. තවත් දශක ගණනාවක් මේ ගමන යන්න කල්පනා කළත් මේ වන විට පොදු ජනයාගේ නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගී බලය ලබා ගැනීමට සූදානමින් සිටිනවා. නියත වශයෙන්ම සැප්තැම්බර් 21දා, ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය වැළැක්වීම සඳහා ඔවුන්ට කළ හැකි හැමදෙයක්ම කරනවා. සීනි බදුවලින් හොරකම් කරන්න ඉඩ දීලා, බැඳුම්කර වංචාවලින් කොල්ලකෑම්, අරක්කු ෆැක්ටරි අයිතිකාරයෝ බදු නොගෙවා එකතු කිරීමෙන් ආදී වශයෙන් මහා ධනස්කන්ධයක් මේ මැතිවරණ ව්‍යාපාරයට පොම්ප කරනවා. මහජනතාවගේ සල්ලි රුපියල් කෝටි 875ක් රනිල් වික්‍රමසිංහ වෙන්කරගෙන ඡන්දය වෙනුවෙන් විවිධ බෙදාහැරීම් කරනවා. අතාරින්න එපා, බෙදන හැම එකක්ම ගන්න, හොරකම් කරලා එකතු කර ගත්ත ඒවායෙන් ටිකක් හරි මේ වගේ කාලයක ගන්න එක හොඳයි. නොබෙදා ඉතිරි කර ගන්න ටික ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදලා නියත වශයෙන්ම අත්පත් කර ගන්නවා.

ඒ වගේම අසත්‍ය තොරතුරු, අවලාද විශාල වශයෙන් බෙදා හරින ඡන්ද ව්‍යාපාරයක් බවට පත්කරගෙන තිබෙනවා. අපි වෙනුවෙන් උත්තර දෙන්න මාධ්‍ය නාලිකා නැහැ. සමහර අයව තෝරාගෙන ඒ වෙනුවෙන් වැඩකරන නාලිකා තිබෙනවා. ප්‍රධාන මාධ්‍ය වගේම සමාජ මාධ්‍ය ඇතුලේ විශාල බලපෑමක් සිදුකරමින් ඉන්න, කවදාවත් අපිව හමුනොවුණු ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුන් රාජ්‍ය බලය උපයෝගී කර ගනිමින් ඇතැම් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගෙන මැතිවරණ කටයුතු කරනවා. ගම්වල පිහිටුවා තිබෙන ප්‍රජා ආරක්ෂක කමිටු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදවන්න ප්‍රදේශයේ පොලීසියේ ඕ.අයි.සී. මහත්තයාට බාර දුන්නා. වැල්ලවායේ පැවැත්වූ රැස්වීමකට ප්‍රජා ආරක්ෂක කමිටු කැඳවීමට නියෝග කර තිබුණා. කෑම සපයන්නත් ඕනෑ, පුටු අරගෙන එන්නත් ඕනෑ. මේ ආකාරයෙන් කෑගල්ල, ගාල්ල දිස්ත්‍රික්කවල රැස්වීම් ලැහැස්ති කර තිබුණත් දේශබන්දු මහතාගේ පුටුව අහිමි වුණා. රනිල් වික්‍රමසිංහට ඔච්චර කේන්ති ඒකයි. මහජනයාගේ බදු මුදල්වලින් යැපෙන මහජනයා වෙනුවෙන් කාර්යභාරයක් කරන පොලීසිය තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ශාඛා බවට පත්කර ගන්න ඔහු උත්සාහ කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිගන්නේ නෑ කියන්නේ ඒකයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් රනිල් පිළිගන්නවා කියලා සීල් එකක් ගහන්න ඕනෑද? එහෙම වෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දිනේෂ් ගුණවර්ධන පිළිගන්නේ නැහැ කියලා, පුළුවන් නම් එළියේ කියන්න. දේශබන්දු තවමත් පොලිස්පති කියලා හිතනවා නම්, එක අත්සනක් ගහලා පෙන්වන්නකෝ.

Public-Rally-Chillaw

අපිට රාජ්‍ය බලය නෑ, මාධ්‍ය බලය නැහැ, මහා ධනස්කන්ධයක බලය නැහැ. අපට ඉන්නේ හලාවත නගරයටත් ගඟක් වගේ ගලා ඇවිත් සිටින මහා ජන බලයයි. අපිත් එක්ක මෙතෙක් වැඩ නොකරපු අය කාර්යාලයේ, බස් එකේ, මහපාරේ කතා කරමින් ජාතික ජන බලවේගය පොදු ජනයාගේ අයිතියක් බවට පත්කරගෙන තිබෙනවා. ඉදිරි මාස දෙක තුළ මෙතෙක් කරගෙන ගිය වැඩ ප්‍රමාණය තවත් හත් අට ගුණයකින් වැඩිකර ඔබේ ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවේ ඡන්දවලින් පුරවන්න. ඊට පස්සේ පාර්ලිමේන්තුව සුද්ද කරන ආණ්ඩුවක් පිහිටුවන්න ඕනෑ. ජනතාවට දරා ගන්න බැරි පීඩනයක් එල්ල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරුන්ට විශේෂ දීමනා ලබාදෙමින් කටයුතු කළ ආකාරය අපි දැක්කා. තෙල් මිල වැඩිවීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ඉන්ධන දීමනාව රුපියල් ලක්ෂයකින් වැඩිකර දෙන්න තීරණයක් ගත්තා. මමත් අපේ හරිනි සහෝදරියත්,විජිත සහෝදරයාත් වැඩ කළ ලක්ෂය අපට ලබා නොදෙන ලෙස ලිඛිතව කතථානායකවරයාට දැන්වූවා. ඩොලර් විදේශයන්ට ඇදී යන නිසා වාහන ආනයනය නතර කර තිබුණත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ලිඛිතව වාහන පර්මිට් ලබාදෙන ලෙස කථානායකගෙන් ඉල්ලා තිබෙනවා. ඒ වගේම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසකුත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් බාර් ලයිසන් ලබාගෙන රුපියල් කෝටි දෙකට තුනට විකුණනවා. කෑගල්ලේ රාජ්‍ය ඇමති බාර් පර්මිට් තුනක් අරගෙන කෝටි නවයකට වික්කා. සජිත් ප්‍රේමදාස බලයට ආවාම බාර් පර්මිට් අහෝසි කරන බව කීවා. එයා ළඟ ඉන්න මන්ත්‍රීවරු පිරිසක් බාර් පර්මිට් අරගෙන නැති බව කීවොත් අරගත් බව මම ඔප්පු කරනවා. පෙට්‍රල් ෂෙඩ් බෙදාගෙන විකුණනවා. සැප්තැම්බර් 21දා ජයග්‍රහණයෙන් පසුව මේ මජර පාර්ලිමේන්තුව විසුරුවා හැර හොඳ පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර ගන්න අවස්ථාව ලබාදෙනවා.

පිරිසිදු පාර්ලිමේන්තුවක් වෙනුවෙන් අවස්ථාව ලබාදී මේ රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න විසඳා ගැනීමේ දිගු කාලීන ක්‍රියාමාර්ග ජයග්‍රහණය කරන තෙක් අපි විශේෂ කාර්යභාරයක් ඉටුකරනවා. ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය සියලුම ජනතාවට ලබාදීමේ ක්‍රමයක් තහවුරු කරනවා. රෝහල්වලට බෙහෙත්, පරීක්ෂණ පහසුකම්, ඖෂධ ලබාදී හෙදියන් සහ වෛද්‍යවරුන් ඇතුළු අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩල වෙනුවෙන් ප්‍රමාණවත් මුදල් වෙන්කරනවා. මිනිසුන්ට ආහාර නැතිව, බෙහෙත් නැතිව ඇඳේ ඉන්න ඇරලා, 2048දී රට හදන බව රනිල් වික්‍රමසිංහ කියනවා. රට විනාශ කළ අය රට ගොඩනඟන බව ප්‍රකාශ කිරීම විහිළුවක්. ජතික ජන බලවේගය රටේ පාලනය බාර ගන්නේ රට ගොඩනැගීම වෙනුවෙන් සැලසුමක්, එයට මැදිහත් විය හැකි කණ්ඩායමක් සහ වෙහෙස වී වැඩ කළ හැකි දැක්මක් සහිත පුද්ගලයන්ගෙන් සමන්විතවයි. ලංකා ඉතිහාසයේ පළමු වතාවට රට වෙනස් කරන, දුප්පත්භාවයෙන් මුදා ගන්නා අපරාධ, කුඩු, නැති නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ අලුත් පරිවර්තනයක් වෙනුවෙන් අපි සියලු දෙනාම එක්වෙමු. පුරවැසියන්ට නව ජීවිතයක් ලබාදෙන ජාතික පුනර්ජීවනයක යුගයක් ගොඩනඟමු. එදා එක් එක් දේශපාලන පක්ෂවල සිටි සියලුම දෙනා ප්‍රගතිය වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් එකතු වෙමු.

Public-Rally-Chillaw

“ඉතිහාසයේ පළමුවැනි වතාවට ජනතාවගේ ජනාධිපතිවරයෙකු පත්කර රට දිනවමු”
-ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-

ජනාධිපතිවරණය තියයිද නැද්ද කියන අවිශ්වාසයක් පසුගිය කාලයේ ඇති කර තිබුණා. ඒ සැක සංකා සියල්ල පැත්තකට දමා අපේ රටේ ඉතිහාසය වෙනස් කරන්න පටන් ගන්නා දිනය සැප්තැම්බර් 21 දා බව දැන් අපි කවුරුත් දන්නවා. 2022 පැනනැගුණු ජනතා අරගලයෙන් පාලකයන් පලවා හැරියත් පූර්ණ ජයග්‍රහණයක් අත්කර ගන්න බැරිවී රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති වී සිටිනවා. අරගලය ජයග්‍රහණය කර ගන්න බැරි වූ සියලු දෙනාට මැතිවරණයෙන් ජයග්‍රහණය ලබාගැනීමේ අවස්ථාව නිර්මාණය වී තිබෙනවා. මේ එන්නේ මෙතෙක් සිටි පාලකයන් අකමැති නමුත් ජනතාව උද්‍යෝගයෙන්, අපේක්ෂාවෙන් බලා සිටින ඡන්දයක්. රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ. සජිත් පේමදාස යන සියලු දෙනා අකමැති ඡන්දය වී තිබෙන්නේ වසර 76ක අඳුරු කල්ලිවල පාලනය වෙනුවට පොදු ජනයාගේ පාලනයක් පිහිටුවා ගන්නා නිසයි. ජයග්‍රහණය සඳහා අවශ්‍ය සාධක සියල්ල පෙළගැසී තිබෙනවා. ඔබ, අපි කවුරුත් එක්වී සිටින්නේ තවත් ජනාධිපති කෙනෙක් පත්කර ගන්න නොවෙයි. අපි අපේ තේමා පාඨය කරගෙන තිබෙන්නේ “නව ජාතික පුනරුදය” යන්නයි. නැවත නැගී සිටීමක් අවශ්‍යයි. පසුගිය අවුරුද් 50 – 60 තුළ කිසිම ජයග්‍රහණයක් අත්කර නොගෙන ණයට කාලා ණය කන්දක් ගොඩගසා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ බලය ගන්නකොට සමස්ත ණය ඩොලර් බිලියන 83යි. දැන් 100ත් පැනලා.
ජනතාව මත වැට් බදු ගසා, මාසික වැටුප් ගන්න අය මත 36% දක්වා බදු ගහලා තව තවත් බර පටවා තිබෙනවා. එයා රට ගොඩගත්තේ නැහැ. වැටුණු මහින්ද රාජපක්ෂලාව ගොඩගත්තා. අපට පැවරී තිබෙන්නේ මෙන්න මේ වට්ටපු තැනින් රට ගොඩගන්නයි. අපේ රටේ වැඩියෙන්ම ඉන්නේ තමන්ගෙ දෑතින් කුමන හෝ කටයුත්තක් සිදුකරමින් ආදායම් මාර්ග උපයා ගන්නා ජනතාවක්. ඔවුන්ගේ ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළව බාධා පමුණුවා තිබෙනවා මිස, ආධාර සපයා දී නැහැ. ඒ නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ උළු, ගඩොල් කර්මාන්ත ශාලා පමණක් කීයක් වසා තිබෙනවාද? මේ වසා තිබෙන ව්‍යපාරවලට අත දී නඟා සිටුවමින් ක්‍රියාකිරීම මාලිමාවේ ප්‍රතිපත්තියයි. දේශපාලනඥයන් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්න එක නැවැත්වීම අපේ කාර්යභාරයයි. නමුත් සමගි ජන බලවේගය ඇතුළු සතුරන්ගේ ෆේස් බුක් මඩ බලකා ප්‍රචාරය කරන්නේ මාලිමා ආණ්ඩුවකින් ව්‍යාපාර පවරා ගන්නා බවයි. අපි එන්නේ ජාතික අරමුණක් වෙනුවෙන් නිවැරදි ව්‍යවසායකයන් පෙළගස්වන්නයි.

ඒ වගේම රට ඇදදමා තිබෙන තැනින් ගොඩගන්න නම්, වංචා, දූෂණ, අනිවාර්යයෙන්ම නවත්වන්න ඕනෑ. අපරාධ කළ අය නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් ලබාදෙන්න ඕනෑ. ශානි අබේසේකර මහත්තයලා ඇවිත් ඉන්නේ ඒකට. අයිතිකාරයෙක් නැති මිනීමැරුම් ගණනාවක් තිබෙනවා. ඒවා ගැන සොයන්න ඕනෑ නැද්ද? මාධ්‍යවේදීන්ට පහර දීපු ඒවා සොයන්න ඕනෑ. පාස්කු ප්‍රහාරය එල්ල කළ අපරාධකරුවන් සොයන්න ඕනෑ. එක පුද්ගලයෙක් ජනාධිපති කර ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය එල්ල කළ බව අපි කවුරුත් දන්නවා. අපේ රටේ ජාතිවාදය ඇවිළුවේ ඒගොල්ලෝ. සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සමගියෙන් ඉන්න ඉඩ නොදුන්නේ ඒගොල්ලෝ. මුලින් දෙමළ ජනයාට එරෙහිව සිංහල ජනයා අවුස්සලා, ඡන්දය ගත්ත ඔවුන් ඊළඟට මුස්ලිම් ජනයාට එරෙහිව ප්‍රචාර යවන්න පටන් ගත්තා. සිංහලයා අනතුරේ නිසා සිංහලයා රැකගන්න කියලා ගෝඨාභය රාජපක්ෂ ගෙන ඒමේ ප්‍රචාරවලට ජනමාධ්‍ය විශාල වශයෙන් යොදා ගත්තා. මානව විරෝධී අපරාධ සම්බන්ධ වැරදිකරුවන්ට නීතිය හමුවේ දඬුවම් ලබාදෙන්න ඕනෑ. බලය සඳහා කැත, ජඩ, අශීලාචාර දේශපාලනයේ යෙදීම නවත්වන්න ඕනෑ. ජාතික පුනරුදය තුළ මුලින්ම කළ යුත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ ජාතික සමගිය ගොඩනැගීමයි.

Public-Rally-Chillaw

ජාතිකත්ව වශයෙන් බෙදා සිටි යුගය අවසන් කර, ශ්‍රී ලාංකික ජාතිය ගොඩනඟන්න මූලික පියවර තබන්නේ සැප්තැම්බර් 21වනදා. ඒ දිනය අනිවාර්යයෙන්ම ඉතිහාසයේ ලියැවෙන දවසක්. අපි හදමු අලුත් ජනාධිපති කෙනෙක්. ජනාධිපති කෙනෙක් සර් කෙනෙක් නොවෙයි; ජනාධිපති සහෝදරයෙක් හදමු. “අති ගරු ජනාධිපති උතුමාණෝ” කියන අපරාධකරුවන්ගේ යුගය නිමාකර, ජනතාවත් රටත් රැකබලා ගන්නා කෙනෙක් ජනාධිපති ලෙස පත්කර ගන්න ඕනෑ. සමූහිකව වැඩ කළ හැකි, සමූහික අදහස්වලට ඉඩ තිබෙන එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. අපි පසුගිය අවුරුදු දෙක පුරා මුළු රට පුරාම යමින් දැවැන්ත සංවිධාන යාන්ත්‍රණයක් ගොඩනඟා අවසන්. මේ යාන්ත්‍රණයට රට ගොඩනඟන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මේ ඡන්දයට එන්නේ හැංගිලා. පක්ෂය, ලකුණ අත්හැරලා, එන්නේ. මහින්ද රාජපක්ෂලා හැංගිලා ඉන්නේ. සජිත් ප්‍රේමදාස ජනතාව තුළ ප්‍රසාදයක් දිනාගෙන නැහැ. මේ නිසා ඒ ඔක්කෝම එකතු වෙලා මඩ ගහනවා. අපි ළඟදී “පුනරුදයේ සැප්තැම්බර් 21” කියලා සටන් පාඨයක් දැම්මා. ඒක කොපි කරලා සජිත්ගේ පින්තූරයක් ඔබලා ප්‍රචාරය කරනවා. රනිල්ගේ පින්තූරයත් දාලත් ගෙනියනවා. අද සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, මාලිමාවේ සටන් පාඨත් හොරකම් කරන තැනට බංකොලෙත් වෙලා ඉන්නේ. මේ නිසා ජාතික ජන බලවේගය ගැන සතුරන් හදන අවලාදවලට හසු නොවී අප ගැන අපෙන් අහන්න.

අපි එන්නේ හොඳ අරමුණකින් මිසක් කාගෙන්වත් පළිගන්න බලාගෙන නොවෙයි. වසර ගණනාවක් තිස්සේ අත්නොහළ හීනයක් හදවතේ තියාගෙන අපි ආවා. අපි හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න හීනයක් දරාගෙන ආවා. මහන්සි වුණා. ඡන්ද දිනුවා, පැරදුණා, ඒත් අරමුණ අත්හැරියේ නැහැ. අපිව විකිණුනේ නැහැ. ප්‍රතිපත්ති දාලා ගියේ නැහැ. කවදා හරි දවසක ජනතාව අපට ඇහුන්කම් දෙන බව විශ්වාස කරමින්, ප්‍රතිපත්තිගරුකව ආවා. දේශපාලනය පාවා නොදී, මහන්සි වී, කැපකිරීම් කරමින් මෙතෙක් දුර ආවා. ඉදිරි මාස දෙක තුළ කිසිවෙකුත් අත් නොහැර, සියලු දෙනා ළඟටම ගොස් කතාකර, කිසිවෙකුට පරාජය කළ නොහැකි රට ගොඩනඟන මහජන බලයක් ගොඩනඟමු. ඉතිහාසයේ පළමුවැනි වතාවට ජනතාවගේ ජනාධිපතිවරයෙකු පත්කර රට දිනවමු.

Public-Rally-Chillaw

“නිදහස භුක්ති විඳිය හැකි ආර්ථික හැකියාවක් සැමට ගොඩනැගෙන්න ඕනෑ”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ-

අර්බුදයට පත්ව සිටින පාලකයන් අන්තිම වටයේදී අයි.එම්.එෆ්. එකෙන් ණය අරගෙන, විදේශ ණය ගෙවීම් කල්දාගෙන අරගලයෙන් පළවා හැරි නායකයන් නැවත ගේන්න උත්සාහ කරනවා. ඒ දූෂිතයන් ගැන අපේ රටේ තරුණ තරුණියන් ඇතුළු සියලු ජනතාවට තේරුම් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ අතර ජාතික ජන බලවේගය හැටියට අපි භාණ්ඩ බෙදාහැරීම් නොකරන නිසා ප්‍රතිපත්තිමය පොරොන්දු කිහිපයක් දෙනවා. ආර්ථික ප්‍රතිපත්ති ඇතුළු ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් බලය ලබා ගන්න තැනට සාමූහික ක්‍රියාවලියෙන් අපි ඇවිත් තිබෙන පසුබිමක පුරවැසියන් ජයග්‍රහණය කරවීමේ රැලියේදී මේ ප්‍රතිපත්තිමය පොරොන්දු දෙනවා. අපේ දෙමාපියන්ට, අපිට අහිමි වූ ලෝකයේ ඉහළම අධ්‍යාපනය ඔබේ දරුවන්ට ලබා දෙනවා. ඒ විතරක් නොවෙයි පාසලෙන් එළියට එන විට ඔවුන්ගේ හැකියාව අනුව රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියා කරන්න, නැත්නම් ව්‍යවසායකයෙක් ලෙස කටයුතු කරන්න සුදුසු අධ්‍යාපනයක් අලුතින් හඳුන්වා දෙනවා. ඔවුන්ගේ ඒ අධ්‍යාපනය අපේ රට තුළ පමණක් නොවෙයි, ලෝකයේ රැකියා වෙළඳපොළ වෙනුවෙන් ගෞරවාන්විතව ලබාදීම අපේ වගකීමයි. අද විදේශ රැකියා කියලා යොමු කරවන්නේ ඒ රටවල් වල පුරවැසියන් කරන්න අකමැති රැකියා සඳහා අපේ අය යොමු කරවීමයි.
ඒ වගේම අපේ දරුවන්ට සුරක්ෂිත රැකවරණයක් ලබාදෙන සැමටම නීතියේ සාධාරණත්වය ස්ථාපිත කරන බවට පොරොන්දු දෙනවා. අපේ දරුවන්ගේ ආරක්ෂාව ඒ තුළින් තහවුරු කරනවා. ඊළඟට හැමදෙනාටම නිදහස් ජීවිතයක් ලබාදෙන්න පොරොන්දු වෙනවා. මම ඒ නිදහස් ජීවිතය ගත කළා. මම රැකියාව කරන්න පටන් ගත්තේ අවුරුදු 26දි. රැකියාව කළ මුළු කාලයේදීම සවස 6.30 වෙන කොට කටයුතු අවසන් කර, මගේ දරුවන් දෙදෙනාත් එක්ක ගත කරන්න පටන් ගන්නවා. විවේකී සති අන්තයක් ගත කළා. ඒ වගේ ආර්ථික නිදහසක් සියලු පුරවැසියන්ටම තිබෙන්න ඕනෑ. සතියකට පැය 40ක් වැඩ කළාම ජීවිතයේ කොටසක් ලෙස නිදහස භුක්ති විඳින්න ආර්ථික හැකියාවක් ගොඩනැගෙන්න ඕනෑ. මේ සංස්කෘතික වෙනස ළඟා කර ගැනීමේ අවස්ථාව අවුරුදු 76කට පස්සේ රටේ මුළුමහත් ජනතාවටම උදාවී තිබෙනවා. එය යථාර්ථයක් කර ගැනීමට පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව මාලිමාවේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා ඉහළින්ම ජයග්‍රණය කරවමු.

Public-Rally-Chillaw

“පවතින දුක්ඛිත තත්වය වෙනස් කිරීමේ වගකීම මාලිමාව බාරගන්න සූදානම්”
-ජාතික ජන බලවේගයේ පුත්තලම් දිස්ත්‍රික් විධායක සභික ගයාන් ජානක-

එළඹෙන ජනාධපතිවරණය වෙනුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාව විවිධ අංශවලින් සංවිධානය කරමින් ඉතා හොඳින් සූදානම් කර තිබෙනවා. ධීවර ජනතාව, ගොවි ජනතාව, කාන්තාවන්, වැඩකරන ජනතාව වශයෙන් සංවිධානය කරමින් පැමිණි ගමනේ සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා. මේ දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම සේවා වසමකම ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභා පිහිටුවා අවසන්. මේ මාසය තුළ මැතිවරණ සංවිධාන පිහිටුවමින් යනවා. සෑම ඡන්ද කොට්ඨාසයකටම මැතිවරණ කමිටු පිහිටුවීම ලබන 10 වැනිදා වන විට අවසන් කරනවා. අද මේ මොහොත වන විටත් පාසල් යන දරු දැරියන්ගෙන් ලක්ෂ 14කට උදේ ආහාරය නැතිව පාසල් යන්න සිදුවී තිබෙනවා. පවතින දුක්ඛිත තත්වය වෙනස් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය බාරගන්න සූදානම්. ඉදිරි කාලය තුළදී තවදුරටත් ශක්තිමත් වෙමින් මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් වඩාත් ශක්තියෙන් සහ ධෛර්යයෙන් පෙළගැසෙමු කියා ආරාධනා කරනවා.

Public-Rally-Chillaw

“අලි – මිනිස් ගැටුමට මාලිමාවේ පාරිසරික කමිටුව යටතේ විසඳුම් සකස් කර අවසන්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික මහාචාර්ය චන්දන අබේරත්න-

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති කමිටු අතරින් ධීවර කටයුතු සම්බන්ධයෙන් සකස් කරන ප්‍රතිපත්තියේදී පුත්තලම දිස්ත්‍රික්කයේ ධීවර ජනතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. මේ දිස්ත්‍රික්කයේ ධීවර වරාය සහ තොටුපොළවල් විනාශවීමට ඉඩ හැරීම, ධීවර ආම්පන්නවල මිල ගණන් දරාගත නොහැකිවීම වගේම ඉන්ධන මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් අපේ අවධානය යොමුකර තිබෙනවා. අප්‍රමාණ ගැටලු මැද්දේ නෙළාගෙන එන ධීවර අස්වැන්නට සාධාරණ මිලක් ලබාදීමේ අවස්ථාවක් මේ දක්වා ලබාදී නැහැ. ඒ සම්බන්ධයෙන් මූලික සැලසුම් සකස් කර ඇති අතර, මේ දිස්ත්‍රික්කයේ සංවර්ධනය කළ හැකි සංචාර ව්‍යාපාරයේ ශක්‍යතා අධ්‍යයනය කරමින් සිටිනවා. අද වෙන කොට සංචාරකයන්ගේ වීසා නිකුත් කිරීමෙනුත් කොල්ලකන පාලනයක් තිබෙනවා. ඊට අමතරව අපේ දිස්ත්‍රික්කයට තිබුණු සිමෙන්ති කර්මාන්ත ශාලාවත් වනසා දැමූ පාලකයන් හිටියා. ඒ වෙනුවට මේ දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය කළ හැකි කර්මාන්ත ශාලා සංවර්ධනය වෙනුවෙන් සියලු ක්ෂේත්‍රවල හැකියාවන් සොයා බලමින් සැලසුම් සකස් කර තිබෙනවා. අලි-මිනිස් ගැටුමට ගොදුරු වී තිබෙන කරුවලගස්වැව, නවගත්තේගම, ඇතුළු ප්‍රදේශවල බරපතළ ප්‍රශ්නය විසඳීමට පාරිසරික කමිටුව යටතේ විසඳුම් සකස් කර අවසන්. සැප්තැම්බර් 21දින අනුර සහෝදරයා ජනාධිපති ධුරයට පත්කරවන්නේ මේ සියලු සංවර්ධන සැලසුම් සමගින් බව අපි අවධාරණය කරනවා.

Public-Rally-Chillaw

“අපි විවිධ බලවේග එකතු කළේ සියලු පුරවැසියන්ට යහපත් අනාගතයක් හදන්න”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්-

අවට ප්‍රදේශවල රනිල් ජනාධිපති කියලා පෝස්ටර් ගහලා තිබෙනවා. අපි ඒ බව පිළිගන්නවා. හැබැයි සැප්තැම්බර් 21 වන තුරු පමණයි. නියත වශයෙන්ම අනුර කුමාර දිසානායක සහෝදරයා ඡන්දයෙන් ජනාධිපති ලෙස තේරී පත්වෙන බව මතක තියාගන්න ඕනෑ. “එක්ව ජය ගමු”, කියලා සටන් පාඨ පටන් ගන්නවා. ඒ ජය කාටද? මේ රටේ ජනතාවට නොවෙයි, ඔවුන්ගේ පැළැන්තියට. ජනතාවගේ ජයග්‍රහණය තියෙන්නේ ජාතික ජන බලවේගයේ පමණක් කියන එක අවධාරණයෙන් කියන්න කැමතියි. ඔවුන්, ඔබ ළඟට ඇවිත් අවුරුදු ගණනාවක් තිස්සේ විවිධ බලවේග හැදුවේ ඔවුන්ට බලය ගන්නයි. ජාතික ජන බලවේගය රට පුරා යමින් විවිධ බලවේග එකතු කළේ ආණ්ඩුවක් හදන්න නොවෙයි; රටේ සියලුම පුරවැසියන්ට යහපත් අනාගතයක් හදන්න. පොහොට්ටුවේ ඉන්න ඔක්කොම හොරු ස.ජ.බ. වේදිකාවට ගොඩවුණු හැටියේ හොඳ වෙන්නේ කොහොමද කියලා සමාජ මාධ්‍යවල ප්‍රශ්න කර තිබුණා. ජාතික ජන බලවේගය වටා එක්වී සිටින්නේ හොරුන් සමග සිටි බලවේග නොව ජනතාව සමග සිටි බලවේග බව අවධාරණය කරන්න ඕනෑ. අදූෂිතව කටයුතු කළ හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය පමණක් බව රටම තේරුම්ගෙන තිබෙනවා.

Public-Rally-Chillaw

“විඳි දුක් අවසන් කර ලස්සන රටක් හදන්න අපි හැමෝම එක්වෙන්න ඕනෑ”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ-

මේ රටේ ගැහැනුන් වන අපි ගමක් ගමක් ගානේ, ආයතනයක් ආයතනයක් ගානේ ගොස්, ගැහැනුන්ට අවදි වෙන්න කියලා ආරාධනා කළා. තම තමන්ගේ ලෝකවල් හදාගෙන තම තමන්ගේ පවුල්වලට අනාගතය නිර්මාණය කරන්න හදපු අතීතයෙන් මිදී අපේ රටේ ගැහැනුන් එළියට ඇවිත් සිටින්නෙ මේ රටේ ජනතාව, අනාගතය සහ දරුවන් ජයග්‍රහණය කරවන්නයි. මෙතෙක් කල් මේ රටේ ජනතාව සමග ගැහැනුන් විදිහට අපිත් සොයා යමින් තිබූ පාර හැමෝම පැැහැදිලි කරගෙන තිබෙනවා. සැප්තැම්බර් 21 දක්වා ඒ ගමන ධෛර්යයෙන් යන්න ඕනෑ. ඒ වගේම අපේ යහළුවන්, නෑදෑයන්, සියලු දෙනාටම ජාතික ජන බලවේගයේ පවුලත් එක්ක එකතු වෙන්න ඕනෑ කියලා ආදරයෙන්, ආරාධනා කරන්න ඕනෑ. මේ දිස්ත්‍රික්කයේ කර්මාන්ත ගණනාවකට විභවයක් තිබුණාට ආදරණීය අම්මලා වැඩිපිරිසක් ඉන්නේ මැදිපෙරදිග රැකියාවලයි. සහෝදරියන් වැඩි පිරිසක් ඉන්නේ විදේශ රැකියාවලයි. සැමියන් විශාල පිරිසක් ඉන්නේ විදේශ රටවලයි. එහෙම නැත්නම් නිදහස් වෙළඳ කලාපයේ කුකුල් පැටවුන් වගේ කාමරවලට ගාල් කර තිබෙනවා. අපි හැමෝම මේ දක්වා විඳි දුක් අවසන් කර, ලස්සන රටක් හදන්න අපි හැමෝම එක්වෙන්න ඕනෑ.

Show More

ගාල්ලේ දී පැවති 'මුස්ලිම් සහෝදරත්ව හමුව'

(-Galle, July 26, 2024-) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (26) ගාල්ලේ දී පැවති “මුස්ලිම් සහෝදරත්ව හමුව” සඳහා සහභාගී විය. ගාලු දිස්ත්‍රික්කයේ මුස්ලිම් සහෝදරත්වය නව ජාතික පුනරුදයක් සඳහා අනුර සහෝදරයා සමඟ එක් විය.

(-Galle, July 26, 2024-)

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (26) ගාල්ලේ දී පැවති “මුස්ලිම් සහෝදරත්ව හමුව” සඳහා සහභාගී විය. ගාලු දිස්ත්‍රික්කයේ මුස්ලිම් සහෝදරත්වය නව ජාතික පුනරුදයක් සඳහා අනුර සහෝදරයා සමඟ එක් විය.

Show More

“ජනතාව මාලිමාව සමග ආරම්භ කර තිබෙන ගමන පාලකයන්ට වැළැක්විය නොහැකියි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ මහියංගනය ගොවි රැලිය – 2024.07.25-) පසුගිය මාස කිහිපයේ ඡන්දෙ තියයිද නොතියයිද සාකච්ඡාව සමාජයේ තිබුණා. ඒ රනිල් වික්‍රමසිංහ ඡන්දෙට මුහුණ නොදී බලෙන් බලයේ රැඳී සිටීම සඳහා කටයුතු කරමින් සිටි නිසයි. ඔහු පොට්ට චාන්ස් එකකින් ජනාධිපති පුටුවේ වාඩිවුණා. ඡන්දෙකට ගියොත් පුටුවෙන් බිම. ඒ නිසා ඡන්දෙ මඟහරින්න ජනාධිපති ධූර කාලය ගැන අධිකරණයෙන් විමසුවා. ඒ විමසීම […]

(-ජාතික ජන බලවේගයේ මහියංගනය ගොවි රැලිය – 2024.07.25-)

Mahiyanganaya-Govi-Rally

පසුගිය මාස කිහිපයේ ඡන්දෙ තියයිද නොතියයිද සාකච්ඡාව සමාජයේ තිබුණා. ඒ රනිල් වික්‍රමසිංහ ඡන්දෙට මුහුණ නොදී බලෙන් බලයේ රැඳී සිටීම සඳහා කටයුතු කරමින් සිටි නිසයි. ඔහු පොට්ට චාන්ස් එකකින් ජනාධිපති පුටුවේ වාඩිවුණා. ඡන්දෙකට ගියොත් පුටුවෙන් බිම. ඒ නිසා ඡන්දෙ මඟහරින්න ජනාධිපති ධූර කාලය ගැන අධිකරණයෙන් විමසුවා. ඒ විමසීම නිසා ලක්ෂයක දඩයක් නියම කළා. නැවතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 ව්‍යවස්ථාව සංශෝධනය වැරදි බව දක්වමින් එය නිරාකරණය කර ගන්නා තෙක් ඡන්දෙ පස්සට දාන්න නඩුවක ගොනු කළා. නඩුව ඉදිරිපත් කළ අයට ලක්ෂ පහක දඩයක් ගැහුවා. ඊළඟට 22වන සංශෝධනය අවුරුදු පහ ලෙස තහවුරු කර ගන්න සංශෝධනයක ගේන්න ඕන කිවුවා. ඒ ක්‍රියාමාර්ගය සම්පූර්ණ වෙන කොට ජනාධිපතිවරණය පවත්වලා රනිල් ගෙදරත් ගිහිල්ලා.

දාන් පළාත් සභාවල බලය තිබෙන්නේ ආණ්ඩුකාරවරයාට. රනිල් වික්‍රමසිංහ කිවුවා ආණ්ඩුකාරවරයාට පුළුවන් සම්බන්ධීකරණ ලේකම්වරු පත්කරන්න කියලා. එහෙම කියලා ප්‍රාදේශීය සභාපතිවරුන්ට බලය දෙන්න ගියා. මැතිවරණ කොමිසම ඒක නතර කළා. ඊළඟට රනිල් වික්‍රමසිංහ සැලසුම් කළා ගම්වල ප්‍රජා උපදේශන කමිටු වගේ ජාතියක් හදලා හිතවත් පාක්ෂිකයන් හරහා ආණ්ඩුවේ සල්ලි වියදම් කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණය ඒකත් නතර කළා. තව සැලසුමක් තිබුණා යම් යම් චෝදනාවලට ලක්වී සිටි පොලිස් නිලධාරී මහත්මයෙක් පොලිස්පති ලෙස පත්කරන්න. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිගේ වැඩ තහනම් කළා. දැන් පොලිස්පති කෙනෙක් පත් කරන්න ඕනෑ. ව්‍යවස්ථාව අනුව පොලිස්පති පත්කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට. ජනාධිපතිවරයා ඒකටත් ගැටයක් ගහන්න හදනවා. පොලිස් දෙපාර්තමේන්තුව අඩාල කරන්න ට්‍රයි එකක් දෙනවා, ඡන්දෙ එතනින් නතර කරන්න පුළුවන්ද බලන්න. ඊට පස්සේ කසුකුසුවක් යවනවා ජනාධිපති ඡන්දෙ අස්සේ පාර්ලිමේන්තුවත් විසුරුවා හරිනවා කියලා. එහෙම වුණොත් රනිල් එදාම ගෙදර යනවා. ජාතික ජන බලවේගයත් එක්ක එකතුවෙලා ජනතාව ආරම්භ කර තිබෙන රනිල් වික්‍රමසිංහත්, එයාගේ පැළැන්තියේ කට්ටියත් මොන ගැට ගැහුවත් වළක්වන්න බැරි තැනකට මේ දේශපාලන ගමන වර්ධනය වෙලා තියෙනවා.

මෙතන ඉන්න අය අවස්ථා ගණනාවකදී ඡන්දෙ දීලා තිබෙනවා, තමන්ගෙ ප්‍රශ්න විසඳ ගන්න, රට හදන්න. අවසානයේ රට ආර්ථික වශයෙන් කඩා වැට්ටුවා. ලෝකය වේගයෙන් ඉස්සරහට ගියා. 1980 වියට්නාමයේ අපනයන ආදායම කෝටි 40යි. ලංකාවේ අපි කෝටි 150යි. අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. වියට්නාමයේ අපනයන ආදායම ඩොලර් බිලියන 420යි. දකුණු කොරියාව 1950දි අපනයන ආදායම ඩොලර් මිලියන 25යි. අපේ අපනයන ආදායම ඩොලර් මිලියන 316යි. අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. දකුණු කොරියාවේ ආදායම ඩොලර් බිලියන 685යි. මේ මහින්දලා, රනිල්ලා, දිනේෂ්ලා වසර ගණනාවක් පාලනය කළ රට. අද අපි අනෙක් රටවල්වලට වඩා ගොඩාක් පස්සට ගිහින් තිබෙනවා. සුක්කානම කාගෙ අතේද තිබුණේ. මේ පාලකයන් අසමත්භාවයේ පතුළටම ගිහිල්ලා තිබෙනවා. රට පස්සට ගියා. ඒගොල්ලන්ට රට ඉස්සරහට ගෙනියන්න වුවමනාවක් තිබුණේ නැහැ. තමන්ගේ පැවැත්මට පොඩි පොඩි වැඩ කරනවා. ඊට පස්සේ ඡන්දෙ කාලෙට ඇවිත්, පාර හැදුවා, ලයිට් දුන්නා, බෝක්කුව හැදුවා කියලා ඡන්දෙ ගන්නවා. එහෙම කියලා ඡන්දෙ අරගෙ තමන්ගේ පැවැත්මට වැඩ කරනවා. එයාලා ඉස්සරහට ගියා. රට පස්සට ගියා. අනෙක් රටවල නායකයෝ කටයුතු කළේ රට ඉස්සරහට ගෙනියන්න. ඒ රටවල් ඉස්සරහට ගියා. අපේ නායකයෝ රටටත්, ජනතාවටත් මොන හෙණයක් පාත් වුණත් කමක් නැහැ, ඒ ගොල්ලෝ ගොඩයන්නේ කොහොමද කියලා හිතුවේ. ඒ ගොල්ලන්ට ආර්ථිකය කඩා වැටුණා කියලා කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ වේදනාවේ වින්දිතයන් වුණේ නැහැ. තෙල් පෝලිම් ආවට ප්‍රශ්න තිබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට පෝලිම්වල ඉන්නේ නැතිව තෙල් ගහගන්න වෙනම ෂෙඩ් එකක් නම් කළා. ජනතාව දවස් දෙක තුන පෝලිම්වල හිටියා. ඒකෙන් තෙල් නොගහපු එකම පක්ෂය ජාතික ජන බලවේගය පමණයි. තෙල් මිල ඉහළ යනකොට ජනතාවට දරා ගන්න බැරිවෙනකොට මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂයකින් තෙල් දීමනාව වැඩි කළා. ඒ දීමනාව ගත්තේ නැති මන්ත්‍රීවරු ඉන්නේ ජාතික ජන බලවේගයේ පමණයි. රට මොනතරම් ප්‍රපාතයට වැටුණත් ඒවායේ වින්දිතයන් බවට පත් වුණේ නැහැ. වේදනාවට, පීඩාවට පත් වුණේ නැහැ. තෙල් නැති වෙන්නේ ඒගොල්ලන් හදපු ප්‍රතිපත්ති නිසා. ඒ ගොල්ලන්ට පෝලිම් නැතිව තෙල්. ජනතාවට පෝලිමේ තෙල්.

Mahiyanganaya-Govi-Rally

ජනතාව කොළ පාටින්, නිල් පාටින්, මොන පාටකින් හෝ ඡන්දය දුන්නත් එහි අවසාන ප්‍රතිඵලය මේකයි. අපි පරණ තරහා මරහා, සිත් රිදීම් පැත්තකින් තියමු. ඔක්කොම එකතු වෙලා පොදු ජනයාගේ ආණ්ඩුවක් ගොඩනඟමු. අපේ මාධ්‍යවලට ප්‍රබල බලපෑමක් කරන්න පුළුවන්. සාමාන්‍ය කාලෙදි ස්වාධීනව කටයුතු කළත් ඡන්දයක් කිට්ටු වෙනකොට මේ මාධ්‍යයත් තමන්ගේ කඳවුර බෙදා ගන්නවා. ඔය කඳවුරුවලට සල්ලි ඇති තරම් පොම්ප කරනවා. කෝටි ගණනක් මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සල්ලි වෙන්කොට තිබෙනවා. ලංකාවේ පළමුවැනි වතාවට අපේ පොලීසිය ඡන්ද ව්‍යාපාරය සඳහා යොදවා ගත්තා. ප්‍රජා ආරක්ෂක කමිටු එකතු කරන්න පටන් ගත්තා. ඕ.අයි.සී. මහත්තයා කියන ප්‍රමාණයට සෙනග, කෑම, පුටු අරගෙන යා යුතුයි. මම දුටුවා වැල්ලවායෙදි, පළාතෙම ජීප් රථ, ලොරි, පුටු පටවා ගත් ට්‍රක්රථ ඡන්දෙට එතන. ඒගොල්ලන් ඡන්ද කරන්නේ රාජ්‍ය බලය යොදාගෙන.

තරුණ සේවා සභාවේ සල්ලි ලක්ෂ ගණනක් වියදම් කරලා සංගීත ප්‍රසංග තියනවා. මේවාට විගණන පරීක්ෂණයක් කළ යුතුයි. අපි අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කරනවා, කිසිදු නීති විරෝධී ගෙවීමකට ඔබගේ අත්සන ගහන්න එපා. අපිට ඔබ ගැන දැඩි විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් තිබෙනවා. මේ වැඩේ ඔබ බාර ගන්න. රාජ්‍ය බුද්ධි සේවය සමීක්ෂණයක් කළා. ඒක දැන් නවත්වලා. ඒ, සමීක්ෂණය කරමින් සිටි අය ජාතික ජන බලවේගයට බර නිසා. අද රටේ හැමතැනම ‘මේ පාර මාලිමාවට’ කියන පණිවිඩයත් එක්ක රටේ ජනතාව පෙළගැසී තිබෙනවා. රනිල්ලාගේ බලය, ධනය කිසිවකට ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න හැකි වෙන්නේ නැහැ. අද ඒගොල්ලෝ එකම වේදිකාවේ. ඒ ගොල්ලන්ට පරණ අමනාපකම් අත්හරින්න සිදුවෙලා තිබෙනවා. ඔවුන් ජාතික ජන බලවේගයට විරුද්ධව එක වේදිකාවකට එකතු වෙමින් තිබෙනවා. ඉතා කෙටි කාලයක් අපට තිබෙන්නේ. මේ මහියංගන ආසනය බහුතර ඡන්ද ප්‍රමාණයකින් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවන්න වැඩ කරන්න.

ඊළඟට අපි මේ රට හදන්න ඕනෑ. අපට වැඩ ගොඩක් තිබෙනවා කරන්න. නීතිය ඉදිරියේ හැම කෙනාම සමානයි. බලය තිබෙන, ධනය තිබෙන බේදයකින් තොර සියලු දෙනාට සමානව නීතිය ඉටුවන රාජ්‍යයක් බවට මේ රට පත්කරනවා. අපේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරනවා. බඳවා ගැනීම්, උසස් කිරීම්, මාරු කිරීම් දේශපාලන බලපෑමකින් තොරව කිරීමට කටයුතු කරනවා. රාජ්‍ය සේවය පිළිබඳ තිබෙන කැපවීම, ඒ අනුව ඉදිරියට යන රාජ්‍ය සේවයක් ස්ථාපිත කරනවා. ව්‍යාපාරයක් කරන්න, ගල් වැඩපළක් දාන්න, හෝටලයක් දාන්න දේශපාලකයාට පගා දෙන යුගය අවසන් කරනවා. පසුගිය අවුරුදු 44ටම අපේ ඍජු විදෙස් ආයෝජන ඇවිත් තිබෙන්නේ ඩොලර් කෝටි 2200යි. වියට්නාමයට 2022 අවුරුද්දේ විතරක් ඩොලර් කෝටි 2300යි. ලංකාවට පිරිසිදු ආයෝජකයන් කිසි කෙනෙක් එන්නේ නැහැ. අපි ආයෝජකයන්ට ආරාධනා කරනවා. අපි ආයොජකයන්ට කියනවා, අලුත් කර්මාන්ත, සේවාවන් පටන් ගන්න එන්න. අපට ඕගොල්ලන්ගෙන් කිසිම දෙයක් එපා, කියලා. මේ රට හදන්න වංචාවෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර රාජ්‍යයක් වෙන්න ඕනෑ. ඒ වැඩේ කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි.

අපි මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය ග්‍රාමීය දුප්පත්භාවය. දුප්පත්කම නිසා දරුවට හොඳ අධ්‍යාපනයක් නැහැ, ලෙඩේට බෙහෙත් නැහැ, හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් නැහැ, සතුටක් විනෝදයක් නැහැ, සංස්කෘතික ජීවිතයක් නැහැ, සමාජ පිළිගැනීමක් නැහැ. අපි ජීවත් වෙන්නේ අවුරුදු 70ක් හෝ 80ක්. අපේ පුරවැසියා දුප්පත්කමේ ගිලටීනයේ ගොදුරු බවට පත්වෙලා මිය යන්න ඕනෑද? මේ ව්‍යසනයෙන් අපේ රටේ ජනතාව මුදා ගන්න ඕනෑ නැද්ද? ජාතික ජන බලවේගයේ අපි ගොඩනගන්නේ, ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන ආණ්ඩුවක්. අපේ ගම්බද ගොවියා කුඹුර වපුරලා අස්වැන්න නෙළලා කමතෙදිම වී ටික විකුණනවා. ණය තුරුස් ගෙවලා, පෝර කඩේට, බඩු ගන්න කඩේට, ගෙව්වම ඉතිරියක් නැහැ. ගොවියා විශාල ණය උගුලක හිරවෙලා. මේ ණය උගුලෙන් ගලවා ගන්නේ නැතිව ගොවියාගේ ජීවිතය ඉස්සරහට ගන්න බැහැ. මෙන්ඩිස්ලාගේ, දයා ගමගේලාගේ බදු, ණය කෝටි ගණන් කපා හරිනවා. මේ ගොවි ජනතාව ණය බරින් මුදා ගැනීම සඳහා අපි සැලැස්මක් හදනවා. 2001 චන්ද්‍රිකාට ආණ්ඩුවේ බලය නැතිව ගිය වෙලාවේ අපේ මන්ත්‍රීවරු 10දෙනෙක් හිටියා. අපි කිවුවා, අපි සහයෝගය දෙන්නම්, හැබැයි ගොවියාගේ ණය කපා හරින්න ඕනෑ කියලා. එදා චන්ද්‍රිකා පරිවාස ආණ්ඩුව වෙලාවෙදි රුපියල් 25,000ට වඩා අඩු ණය සියල්ල කපා හැරියා. ඒ වගේම අපි ඉතාමත් අඩු පොලියකට ණය දෙන්න සංවර්ධන බැංකු පිහිටුවනවා. කිසිදු දේපළ ඇපයක් නැති ණයක් ලබාගත හැකි පහසුකම අපි සලසනවා.

Mahiyanganaya-Govi-Rally

ඊළඟට කෘෂිකර්මාන්තය නවීකරණය කරන්න ඕනෑ. අලුත් තාක්ෂණය කෘෂිකර්මාන්තයට ගේන්න ඕනෑ. ශක්තිමත් වගා සැලැස්මක් අවශ්‍යයි. අද කෘෂි වෙළඳපොළේ මිල උච්චාවචනය විශාල ලෙස වෙනස් වෙනවා. අද ලෝක වෙළඳපොළ හැසිරෙන්නේ දත්ත මතයි. ඉවට වගාකරන කාලය අවසන්. අපි ගොවියාට වගාවට අවශ්‍ය දත්ත තොරතුරු ලබා දෙනවා. එතකොට ඔබලාට නිෂ්පාදනයට අවශ්‍ය ස්ථාවර මිලක් රඳා පවතින්නේ. පාරිභෝගිකයාට සාධාරණ මිලකට එළවළු ලැබෙන්නේ එතකොට. අපේ හොඳ බිත්තර නිෂ්පාදනයක් තිබුණා. බිත්තරයක් රුපියල් 60ක් 70ක් වුණා. ඉන්දියාවෙන් බිත්තර ලාභ වුණා. ඒ ගොල්ලන්ගේ නිෂ්පාදන පිරිවැය අඩුයි. අපිට කුකුළන්ට අවශ්‍ය සියලුම දේ කෑම, බේත්, ඉන්දියාවෙන් ගේන්න වුණා. කුකුල් කර්මාන්තයට අවශ්‍ය දැල් ආදී දේ චීනයෙන් ගේන්න වුණා. එහෙම වෙනකොට බිත්තරයක මිල වැඩිවෙනවා. ඒ නිසා කෘෂිකර්මාන්තයට සහනාධාර දිය යුතුයි. බීජ, කෘමිනාශක, පොහොර, සාධාරණ මිලකට දෙන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සැලසුම් කරනවා. ඒ වගේම අපි වෙළඳපොළ සකස් කර ගන්න ඕනෑ. අපි ලෝකෙට කෘෂි අපනයන ගම්මාන හදන්න ඕනෑ. ඒකට නව විද්‍යාත්මක තාක්ෂණ වගා ක්‍රමවලට යන්න ඕනෑ. අපනයන කෘෂිකර්මාන්ත ඉලක්ක කර ගත්, නව ගම්මාන පද්ධතියක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හදනවා.

අපේ දරුවන් ගමේ ආර්ථිකයෙන් එළියට ගේන්න ඕනෑ. එහෙම එළියට ගේන්න අධ්‍යාපනය ඕනෑ. අපි ඉතා හොඳ අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදනවා. අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් ඇති කරනවා. අද අධ්‍යාපනය දෙමව්පියන්ට බරක්. ජාතික ජන බලවේගය යටතේ අධ්‍යාපනය රජයේ වගකීමක්. සෑම දරුවෙකුටම නිසි අධ්‍යාපනය ලබාදීම ආණ්ඩුවේ වැඩක්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට නිලධාරීන් පත්කරනවා. එක නිලධාරියෙකුට ඉස්කෝල තුන හතරක් ලබාදෙනවා. අඛණ්ඩව දරුවා ඉස්කෝලෙට දින තුනක් ආවේ නැතිනම්, නිලධාරියා දරුවාගේ ගෙදර යන්න ඕනෑ. ඒ දරුවා නැවත ඉස්කෝලෙ ගෙනියන්න ඕනෑ. පාසල් අධ්‍යාපනයේ අතරමැදින් පාසල් හැර යන්න බැරි විදිහට අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ ඇති කරනවා. වසරකට අ.පො.ස. (සා.පෙ)ට කලින් ළමයි 30,000ක් පාසලෙන් එළියට එනවා. සෑම පාසලක්ම පහසුකම් සහිත පාසලක් බවට පරිවර්තනය කරනවා. ලෝකයේ දියුණුම මානව සම්පත අපි හදනවා. 2030 වෙන කොට ලෝකෙට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 19ක් අවශ්‍ය වෙනවා. ගෙදර ඉඳගෙන වැඩකරන්න පුළුවන්. ඒවට අවශ්‍ය 4ජී, 5ජී, ෆයිබර් පහසුකම් අපි ගම්වලට ලබා දෙනවා. ටෙලිකොම් විකණන්න ඉඩ දෙන්නේ නැත්තේ ඒකයි. ටෙලිකොම් එක ආරක්ෂා කර ගෙන ඉන්ටර්නෙට් ජාලය ගම්වලටත් ලැබෙන විදිහට අපි හදනවා. ලෝකෙට අවශ්‍ය ඉංජිනේරුවන්ගෙන් යම් ප්‍රමාණයක් මහියංගනයේ දරුවන්ටත් අත්පත් කර ගන්න විදිහට අපි අධ්‍යාපනයේ වෙනස ඇති කරනවා. ලංකාවේ පළමුවැනි වතාවට පොදු ජනයාගේ ආණ්ඩුවක් හදමු. ඒක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු.

මේ රට ලෝකයේ දියුණුම රාජ්‍යයක් බව පත්කර ගන්නා තෙක් සෑම පුරවැසියෙකුටම ආහාර ලබාදීමේ වගකීම අපි බාර ගන්නවා. ජාතික ජන බලවේගයේ පළමු පියවර හොඳ සෞඛ්‍ය සේවයක්, හොඳ අධ්‍යාපනයක්, පුරවැසියන්ට ආහාර, ආහාර ලබාගන්න වත්කමක් නැති අයට සහනාධාර ලබාදෙන වැඩපිළිවෙළ අපි හදනවා. අපේම ආණ්ඩුවක් අපි හදමු. මේක අපේ ජීවිතේ වැදගත්ම කාලය. මේ රටෙත් ජනතාවගෙත් ඉරණම තීරණය වෙන මාස දෙක. අත්හරින්න එපා. මුණ ගැහෙමු. කතා කරමු. එකතු වෙමු. වෙනස් කරමු.

Mahiyanganaya-Govi-Rally

“ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාවගේ අරමුණු සහිත පාලනයක් මෙවර බිහිවෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න-

ඔබ හැමෝම මෙතනට ආවේ මේ රට ගොඩනඟන්න ඕනෑ කියන හැඟීමකින්. මේ රටේ ප්‍රශ්න තිබෙන්නේ ව්‍යාපාර හිමියන්ට, කර්මාන්තකරුවාට විතරක් නෙවෙයි, රෝගියාටත් ශිෂ්‍යයාටත්, වෘත්තිකයන්ට, මිනිසුන්ට වගේම සත්තුන්ටත් ප්‍රශ්න තිබෙනවා. තිස් අවුරුදු යුද්ධයක් තියෙන කොටත් බංකොලොත් රාජ්‍යයක් විදිහට හඳුන්වලා තිබුණේ නැහැ. යුද්ධයක් නැතිව බංකොලොත් වුණේ කොහොමද? පාලකයන් වගකියන්න ඕනෑ. මේ තත්වයෙන් මුදා ගන්න නම්, සංවර්ධනයක් කරන්න නම්, සෑම බලවේගයක්ම ගොඩනංවන්න ඕනෑ. ලංකාවෙ ඉන්න සුවිශේෂීම බලවේගය තමයි ගොවි ජනතාව. ගොවි ජනතාවගෙන් සාතිශය බහුතරයක් නියෝජනය වන දේශපාලන ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය කියලා අද ඔප්පු කර තිබෙනවා. මේ මහ පොළොවේ ඉපදුනු, මේ කම්කරුවන්, ගොවියන් අතරින් පැන නැගුණු අලුත් නායකත්වයක් බලය ගන්න පළමුවැනි වතාව.

මහියංගනය, බුදුන් වැඩිය පළමු පිංබිම මේක. බුදුන් වහන්සේ මෙතනට වැඩම කර යක්ෂයෝ දමනය කළා. නමුත් අද තවමත් දමනය කරන්න බැරිවුණු යක්කු ටිකක් ඉන්නවා. මේ ජනතාවගේ රීරී මාංශ කන, උරාබොන එවුන් ටිකක් ඉන්නවා. ජනතාවගේ අයිති ඉඩම උදුරා ගෙන බහුජාතික සමාගම්වලට දෙන එවුන්, ජනතාවගේ අස්වැන්නට සාධාරණ මිලක් දෙන්නේ නැති එවුන්, අලින්ගේ ප්‍රහාර හමුවේ ජීවිත අහිමි කර ගන්න, සතුන්ටත් ජීවිත අහිමි කරන, අස්වැන්නට සාධාරණ මිලක් දෙන්නේ නැති, යක්කු ටිකක් ඉන්නවා. මේ වසර ඒ යක්කු, කුම්භාණ්ඩයෝ, භූතයෝ ඔක්කෝම පරාජයට පත්කරන වසර බව අපි කියනවා.

ගිය අවුරුද්දේ අලි ගහලා මිනිස්සු 425ක් මැරිලා තිබෙනවා. මිනිසුන්ගේ ප්‍රහාර නිසා අලි 312ක් මැරිලා තිබෙනවා. අලිත්, අපිත් මැරෙනවා. අලි වැටක් ගහලා දෙන්න ඉල්ලුවා, වීවලට මිලක්, පොහොර සහනාධාර ඉල්ලුවා. මේ රටේ මිනිසුන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගියවුන් ජනතාවට කළ දෙයක් නැහැ. මේ පාලකයෝ ලබාගත් බලය අතහැර යන බවක් අපට පේන්නේ නැහැ. මේ පාලකයන් ඡන්දදායකයාගේ හිතේ තියෙන දේ පොතේ දාලා, ඒක වේදිකාවේ කියලා කතිරෙ අරගෙන ගියා. ඔබේ අරමුණයි, පාලකයන්ගේ අරමුණයි දෙකක්. ඔබට ඕනෙ ගොවිතැන දියුණු කරන්න. පාලකයාට ඕනැ ගොවිතැන වට්ටලා ගොවියා, ගාමන්ට් එකට අදින්න. රට යවන්න. උන්ගේ කට්ටියට ළුෑණු ටික, කිරිපිටි ටික, රටින් ගේන්න. ඔබට ඕනැ හොරකම නවත්වන්න. රනිල්ලට ඕනැ හොරු රැකගන්න සහ හොරකම දිගටම කරගෙන යන්න. මෙවර ලංකා ඉතිහාසයේ පළමු වැනි වතාවට ඔබේ අරමුණු තිබෙන පාලක කණ්ඩායමක් බිහිවෙනවා. මේ සැරේ ජනාධිපති පුටුවට යන්නේ අනුරාධපුර තඹුත්තේගම උපන් ගොවිතැන්බත් කරපු අනුර කුමාර දිසානායක සහෝදරයාටයි.

Mahiyanganaya-Govi-Rally

මහියංගනය ආසනයේ තිබෙනවා වර්ග කිලෝමීටර් 1032ක්. මේ සාරවත් භූමිය අස්වද්දන්න පුළුවන් ගොවි ජනතාවක් ඉන්නවා. මහියංගනේ බැංකු පද්ධතියට, කඩවල්වලට ආදායමක් එන්නේ ගොවි ජනතාවගේ දහදිය කඳුළුත් එක්ක. වැඩිම ආදායම එන්නේ ගොවියගෙන්. ගොවියගෙ ඉඩමට තාම ඔප්පුව නැහැ. මහින්ද රාජපක්ෂ, බි්‍රතාන්‍යයේ බහුජාතික සමාගමකටත් ගෝඨාභය සිංගප්පූරුවේ සමාගමකටත් අක්කර 65,000ක් දෙන්න කැබිනට් පේපර් දැම්මා. ඩෝල් සමාගමට ඉඩම් දුන්නා. හැබැයි ඡන්දෙ දීපු ගොවියාට ඉඩම් දෙන්නේ නැහැ. උන් ඡන්දෙ දුන්නේ නැතිවට සල්ලි දෙනවා. ටවුන් එකේ වටිනා ඉඩම් ටික බෙදා ගත්තා. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ මේවා සම්බන්ධයෙන් පරීක්ෂණ කර නිසි ක්‍රියාමාර්ග ගන්නවා.

මහියංගනයේ භාණ්ඩාගාර ටිකක් තිබෙනවා, ඒවා හිස්වෙන්නේ නැහැ. ස්වභාව ධර්මයා හැමදාම පුරවලා දෙන උල්හිටිය රත්කිඳ ජලාශය, නාගදීප ව්‍යාපාරය, සොරබොර වැව, මාපාකඩ ජලාශය මේ දිස්ත්‍රික්කයේ තියෙන්නේ. මේ රට ගොඩනගන්න නායකත්වයක් සහ පක්ෂෙකුත් දැන් සූදානම්. අපි මේ වෙනකම් ආණ්ඩුවක් කළේ නැති වුණාට ආණ්ඩුවක ඇමතිකම් හතරක් ගත්තා. 2004 සන්ධාන ආණ්ඩුව කාලෙ, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග ඇමතිකම අපි ගත්තා. ඒ අමාත්‍යාංශය කළේ අනුර කුමාර දිසානායක සහෝදරයා. අනුර කුමාර සහෝදරයා මොන විදිහේ දැක්මක් තිබුණු කෙනෙක්ද කියා ඔහු ක්‍රියාත්මක කළ ව්‍යාපෘති දිහා බලන්න. සහෝදරයා ගෙනාවා “ජාතියට පණ දීම” කියා තේමාව වුණු අවුරුදු පහක ව්‍යාපෘතියක්. වැව් අමුණු දහදාහක් අලුතෙන් ඉදිකරන්න සහ පරණ වැව් පිළිසකර කරන්න. බදුල්ල දිස්ත්‍රික්කයේ වැව් අමුණු 138ක් මාස 14ක් තුළ හැදුවා. බතලයායේ වැව, කුකුළාපොළ, ඇකිරියන් වැව, පිළිසකර කළා. ලාංකේය ඉංජිනේරුවන්ගේ තාක්ෂණයෙන් මැණික් ගඟ යාල කැලේ හරස් කරලා වෙහෙරගල ජලාශය හැදුවා. ලෝකෙන් ණය ගත්තේ නැහැ. අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ කන්න දෙක වගා කරනවා.

ඒ වගේම “කිරි ගොවි ගම්මාන 500” යටතේ ව්‍යාපෘතියක් ගෙනාවා. ලංකාවට අවශ්‍ය කිරි ආශ්‍රිත නිෂ්පාදනවලින් නිපදවන්නේ 35%යි. ඉතිරි 65%ම අපි රටින් ගේන්නේ. ඒවට ඩොලර් කෝටි ගණන් යනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සැලසුම් කර තිබෙනවා අවුරුදු පහක් ඉක්මවන කොට ලංකාවේ කිරි අවශ්‍යතාවයෙන් 100%ක් ලංකාවෙම නිපදවනවා කියලා. පළවෙනි කිරි ගොවි ගම්මානය වැලිමඩ දික්කාපිටියෙන් ආරම්භ කළා. අපි මාස 14න් එළියට ගියා. කිරි ගොවි ගම්මාන නැවැත්තුවා. අලුතෙන් කිරි කර්මාන්ත ශාලාවක්, කුරුණෑගල නාරම්මල, හදන්න අනුර සහෝදරයා ලක්ෂ 500ක් වෙන්කර තිබුණා. පාලකයන් ඒ සල්ලි වෙන එකකට ඇද්දා. එහෙම කළේ ඇයි? ඒ කිරි ගොවි ගම්මාන හැදුවා නම් පිටරටින් කිරි ගේන අයගේ බිස්නස් වැටෙනවා. ආදායම් නැති වෙනවා. අපේ ආදායම් වැඩිකරන්න උන් කැමති නැහැ. 76ක කාලයේ පාලකයෝ වවාගෙන කන එක, හදාගෙන කන එක නැවැත්තුවා. විකුණගෙන කන්න පටන් ගත්තා. හොරා ගන්න, ණයට කන්න පටන් ගත්තා. අන්තිමේට හිඟාකන රටක් බවට පත්වුණා. ඒ තත්වයෙන් මුදා ගන්න තමයි අනුර සහෝදරයා කිරි ගොවි ගම්මාන පටන් ගත්තේ. “තරුණ ගොවි ගම්මාන 250” නමින් තවත් ව්‍යාපෘතියක් ගෙනාවා. ගොවි ගම්මාන තරුණයන් වෙනුවෙන් වෙන්කරලා, ගෙවල් හදාගන්න, ගොවිතැන් බත් කරන්න, නවීන කෘෂිකර්මාන්තයට යන්න මේ ව්‍යාපෘතිය ගෙනාවා. මීගහකිවුල නගරයට එහා අපි අක්කර සිය ගණනක ඉඩමක් බැලුවා. මාස 14න් එළියට ගියාට පස්සේ ඒ සැලසුම් නතර වුණා. ඒ ඉඩම් බහුජාතික සමාගම්වලට පැවරුවා.

මේ ජාතියට පණ දෙන්න, ගොවි තැනට තැන දෙන නායකයෙක් වුණු අනුර කුමාර දිසානායක සහෝදරයා මේ සැරේ වාඩිවෙන්නේ ජනාධිපති පුටුවේ බව මතක තබා ගන්න. නවත්තපු ව්‍යාපෘති අලුත් කරලා, නව ව්‍යාපෘති ඇති කරලා, සමස්ත කාර්යභාරය කරන්න අලුත් ජන නායකයෙක් පත්කර ගන්න ඕනෑ. අපට යෝධ කාර්යභාරයක් පැවරිලා තිබෙනවා. ජනතා ජයග්‍රහණය වළක්වන්න උගුල් අටවනවා. අපේ කතිරෙන් අපි දුප්පත් වුණා. උන් පොහොසත් වුණා. අපි ප්‍රශ්න හදාගත්තා. ඒ යුගය අවසන් කරන්න ඕනෑ. ගමට බිමට යන්න. ජනතාව දැනුවත් කරන්න. අපේ දරුවන්ට අනාගතයක් හදන්න, රටට අනාගතයක් හදන්න කවුරුත් ඒකරාශී වෙන්න.

Mahiyanganaya-Govi-Rally

“ගොවි ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳීමට විද්‍යාත්මක වැඩපිළිවෙළක් සකස් කොට අවසන්”
-සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නාමල් කරුණාරත්න-

රනිල් ඡන්දෙ වළක්වන්න ගත්ත සෑම උත්සාහයක්ම අසාර්ථක වුණා. සමහරු හිතුවා රනිල් වැඩ්ඩෙක් කියලා. මුළු රටටම හෙළි වුණා රනිල් වැඩ්ඩෙක් නොවෙයි කියලා. රනිල් නෝන්ඩි වුණා. අනිවාර්යයෙන් ජනාධිපතිවරණය එනවා. ගොවි ජනතාව දන්නවා, යල, මහ කන්න දෙකක් එනවා. කන්න පටන් ගන්න කලින් කැලේ සුද්ද කරනවා. ගිනි තියනවා. බිම සකස් කරනවා. බිම සකස් කරලා කිරලාගේ හf`ඩ් ස්වරූපය අනුව, බල්ලා උඩුබුරන නාදය අනුව, නරියා හූ කියන රටාව අනුව, වැහිළිහිණියාගේ ඉගිලෙන රටාව අනුව, මෙරුවාගේ වේයාගේ හැසිරීම අනුව ගොවියා තීරණය කරනවා අහවල් දවසේ වැස්ස කියලා. ඒකට ගැලපෙන විදිහට ගොවියා වපුරනවා. ඇට සිටුවන්න, පැල සිටුවන්න, ගොවියා ලක ලැහැස්ති වෙනවා. සාමාන්‍ය අමුඩෙ ගහන, කැත්ත උදැල්ල පාවිච්චි කරන ගොවි තාත්තාට ඒ දැනුම තියෙනවා. මැතිවරණ කොමිසමට එහෙම දැනුමක් නැහැයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මැතිවරණ කොමිසම තමන්ට ජනාධිපතිවරණය ගැසට් කිරීමේ බලය එනවා කියලා දන්නේ මීට අවුරුදු හතරකටත් කලින්.

දෙවැනි ගැසට් එක එන්නේ ඡන්දෙන් පස්සේ. “ශ්‍රී ලංකා ජනරජයේ නව වැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක.” මේ ගැසට් එක එනවා එළියට. ඒ ගැසට් එක එළියට එන නිසා තමයි මේ හැත්ත බුරුත්ත කලබල වෙලා ඉන්නේ. බය වෙලා එක වේදිකාවට ගාල් වෙලා ඉන්නේ. මොන කකුල් මාට්ටු දැම්මත් මේ රටේ මාලිමාවේ ආණ්ඩුවක් එන එක කිසිම ජගතෙකුට වළක්වන්න බැහැ.

මේ එකතු වී සිටින ඔබටත් මටත් මහියංගනය නුහුරු තැනක් නොවෙයි. බලගල්ල සහෝදරයා, බන්දුල සහෝදරයා, මේ වේදිකාවේ ඉන්න ගොවි නායකයෝ, පසුබිමේ ඉන්න ගොවි නායකයන් එක්ක සහෝදරවරුත් එක්ක මේ මහියංගනයේ පුරාවට. බදුල්ල දිස්ත්‍රික්කයේ පුරාවට ගිහින් තිබෙනවා. වෙල් ගානෙ, වැව් ගානෙ, කමත් ගානෙ ගිහින් අපටම කියන අදහසක් තිබෙනවා. මේ මහියංගනයේ ආදරණීය ගොවි අම්මා තාත්තා ඒ වැදගත් තීන්දුව ගන්න වුවමනාවෙන් ඉන්න බව අපි දන්නවා. පසුගිය දවසක අම්පාරට යන්න ඉන්නකොට ගින්නෝරුවේදි ගොවි ජනතාව පාරේ. තව කොටසක් ලොරිවල නැගලා. ගොවියන් මාව අත්අඩංගුවට ගත්තා. මම ඇහුවා හේතුව මොකක්ද කියලා. මාව වටකරගෙන කිවුවා, ඉංජිනේරු කාර්යාලය ළඟට යන්නේ වතුර ප්‍රශ්නයකට. මම මැදිහත් වුණා. ගොවියා ඉංජිනේරු මහත්තයා ළඟට යන එක වෙනුවට ඉංජිනේරු මහතා එතනට ගෙන්වුවා. අපි ඉල්ලීමක් කෙරුවා. ඉංජිනේරු මහත්තයා ආවේ බොහොම කැමැත්තෙන්. එතනම ප්‍රශ්නෙ විසඳුවා.

මේ මහියංගන නගරයේ අට්ටාල ගහගෙන, බලගල්ල සහෝදරයා නායකත්වය දෙනකොට, පොහොර සහනාධාර වෙනුවෙන් අරගල කරන කොට, අලි ප්‍රශ්න විසඳන්න අරගල කරනකොට, අඛණ්ඩ උපවාස කරන කොට, ආදරණීය ගොවි අම්මලා තාත්තලා ඒවාට ආශීර්වාද කෙරුවා; සහාය දුන්නා. ඔබේ හදවතේ රිද්මය අපට හොඳට දැනෙනවා. ඒ නිසාම අපි දන්නවා ඉදිරි ජනාධිපතිවරණයේදි මාලිමාව දිනවන්න වැදගත්ම තීන්දුව ගන්න බව අපට විශ්වාසයි. මේ වෙලාවේ අපේ ආදිවාසී ජනතාවත් අපි මතක් කරනවා. පළමුවටර බුදුන් වැඩි බව විශ්වාස කරන පුණ්‍ය භූමිය මහියංගනය. මෙහි වෙසෙන වීරෝදාර ජනතාව එලෙස හැසිරෙනවා කියන එක අපි විශ්වාස කරනවා. ගොවි ජනතාවට ගොඩක් ප්‍රශ්න තිබෙනවා. මේ ප්‍රශ්න පිළිබඳව අපට, ගොවිජන සම්මේලනයට, හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර දිසානයක සහෝදරයාට හොඳ අවබෝධයක් තිබෙනවා. ජල ප්‍රශ්නය, ඉඩම් ප්‍රශ්නය, පොහොර ප්‍රශ්නය, කෘමි නාශක ප්‍රශ්න, අස්වැන්නට හොඳ මිලක් නැති ප්‍රශ්න, අනෙකුත් උපාංග – කැත්ත, උදැල්ල, රේක්ක මිල ඉහළ ගිය ප්‍රශ්න තිබෙන බව දන්නවා. ගොවි උපාංගවලට වැට් ගැහුවා. සෑම පැත්තකින්ම ගොවි ජනතාව බැට කනවා. මේ සියලු ප්‍රශ්න විසඳීමට අපි විද්‍යාත්මක වැඩපිළිවෙළක් සකස් කොට තිබෙනවා. කෘෂිකර්ම කමිටුව, අපි එකතු වෙලා වැඩපිළිවෙළක් හදා තිබෙනවා. කෘෂිකර්මාන්තය ගොඩනඟන්නේ කොහොමද, අස්වැන්න වැඩි කරන්නේ කොහොමද, නිෂ්පාදන වියදම අඩු කරන්නේ කොහොමද, වෙළඳපොළ ප්‍රශ්නය බේරන්නේ කොහොමද, කියන එක කල්පනා කර තිබෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තයෙන් ජාත්‍යන්තර වෙළඳපොළ අත්පත් කරගන්නේ කොහොමද, ඔබගේ නිෂ්පාදනවලට වටිනාකම එකතු වෙන විදිහට කර්මාන්ත ගැන හිතන්නේ කොහොමද, ශීතාගාර, විජලනාගාර, මේ ආකාරයෙන් පුළුල් සැලැස්මක් අපි හදා තිබෙනවා. ඉදිරියේදී අපි එය ඔබ අතට පත්කරනවා.

මේ ගොවි ජනතාව තවත් මුහුණ දෙන ගැටලුවක් තමයි සත්තුන්ගේ ප්‍රශ්න. අලි මේ නගරෙට එනවා. මට කිවුවා මේ ප්‍රශ්නය ගැන වේදිකාවේ කතා කරන්න කියා. මම පොඩි විස්තරයක් කියන්නම්. ලංකාවේ හරක් ලක්ෂ 18කට වැඩිය ඉන්නවා. හරක් කන්නේ ශාක වර්ග. අලි හයදහස් පන්සියයකට ටිකක් වැඩියෙන් ඉන්නවා. අලියා, රිලවා, වඳුරා, ඉත්තෑවා, මොනරා, දඬු ලේනා, ඌරා සහ මිනිස්සු අතර බරපතළ ගැටුමක් තිබෙනවා. මේ සත්තුන්ගේ අයිතිකාරයා රජය. රජයට අයිති සත්තුන්ට අනුන්ගේ ඉඩම්වලට යන්න අයිතියක් තිබෙනවාද? අපේ ආණ්ඩුවක් යටතේ ඒ සත්තුන්ගේ වගකීම අපි ආණ්ඩුවක් විදිහට බාර ගන්නවා. ආණ්ඩුවට අයිති සත්තු ඉන්න ඕනෑ, ආණ්ඩුවේ ඉඩම්වල. ආණ්ඩුවේ ඉඩම් අත්හැරලා ගොවිබිම්වලට ආවෙ ඇයි? ඒ ප්‍රශ්නෙට උත්තර සපයන්න ඕනෑ. ස.ජ.බ.ට ඒ ප්‍රශ්නෙට විසඳුම තුවක්කුව. එයාලා දෙන තුවක්කුවකුත් නැහැ. දෙන්නත් බැහැ. ඕක නෙවෙයි උත්තරේ. සත්තුන්ගේ මූලික අවශ්‍යතාවයන් තුනයි. එක කෑම. දෙක වතුර. තුන ලිංගික අවශ්‍යතාවය. ඒ අවශ්‍ය පරිසරය තියෙනවා නම් සත්තු ගමට එන්නේ නැහැ.

අපි මීට අදාළ කෙටි කාලීන විසඳුම්, මැදි කාලීන විසඳුම්, දිගු කාලීන විසඳුම් සකස් කොට තිබෙනවා. කෙටි කාලීන විසඳුම්වලට ඔබගේ සහාය අවශ්‍ය වෙනවා. මේ ප්‍රශ්නවලට විද්‍යාත්මක විසඳුමක් අවශ්‍යයි. අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නය විසඳන්න අත ගහනවාමයි. බදුල්ල දිස්ත්‍රික්කයෙන් අනුර කුමාර දිසානායක සහෝදරයා ඉහළින්ම ජයග්‍රහණය කරවන්න කියන ඉල්ලීම කරනවා.

Show More

ශ්‍රී ලංකා හෝටල් සංගමයේ හමුවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

(-Colombo, July 25, 2024-) සංචාරක ව්‍යාපාරය මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිමය ප්‍රවේශය පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා හෝටල් සංගමය අද (24) පස්වරුවේ කොළඹ කිංග්ස්බරි හෝටල් සංකීර්ණයේ දී සංවිධානය කළ හමුවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහභාගී විය.

(-Colombo, July 25, 2024-)

සංචාරක ව්‍යාපාරය මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිමය ප්‍රවේශය පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා හෝටල් සංගමය අද (24) පස්වරුවේ කොළඹ කිංග්ස්බරි හෝටල් සංකීර්ණයේ දී සංවිධානය කළ හමුවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහභාගී විය.

Show More

“ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අධිකරණය සහ විධායකය අතර ගැටුමකට ගෙන නොයා යුතුයි” -නීතිඥ සුනිල් වටගල-

(-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ – මාධ්‍ය හමුව – 2024.07.25-) පොලිස්පතිවරයාගේ ධුරය තාවකාලිකව තහනම් කර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (25දා) අතුරු නියෝගයක් දුන්නා. ඒ වාගේම වැඩ බලන පොලිස්පතිවරයකු ලෙස සුදුස්සකු පත් කරන ලෙසත් ජනාධිපතිවරයාට නියෝගයක් කර තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රධාන දේශපාලනඥයන් දෙදෙනෙක් සිටිනවා. පළමුව කතානායක සිදු කළ අනීතික ඡන්ද පාවිච්චිය නිසයි මේ ගැටලුවේ කේන්ද්‍රය […]

(-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ – මාධ්‍ය හමුව – 2024.07.25-)

npppresslowyers

පොලිස්පතිවරයාගේ ධුරය තාවකාලිකව තහනම් කර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (25දා) අතුරු නියෝගයක් දුන්නා. ඒ වාගේම වැඩ බලන පොලිස්පතිවරයකු ලෙස සුදුස්සකු පත් කරන ලෙසත් ජනාධිපතිවරයාට නියෝගයක් කර තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රධාන දේශපාලනඥයන් දෙදෙනෙක් සිටිනවා. පළමුව කතානායක සිදු කළ අනීතික ඡන්ද පාවිච්චිය නිසයි මේ ගැටලුවේ කේන්ද්‍රය නිර්මාණය වුණේ. රනිල් වික්‍රමසිංහ මෙම ගැටලුවේ ප්‍රධානම හවුල්කරුවා වෙනවා. දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ලෙස සිටි අතර, ස්ථිර පොලිස්පති ලෙස පත් කරන්නේ විධායක ජනාධිපති, රනිල් වික්‍රමසිංහ විසිනුයි. මේ දෙදෙනා සිදු කළ පත්වීම සම්බන්ධයෙන් තමයි, ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් ගණනාවකින් විභාග කළේ. දේශබන්දුගේ ධුරය අත්හිටුවා දිනක් ගත වුණත්, රනිල් වික්‍රමසිංහගේ පැත්තෙන් වැඩ බලන පොලිස්පතිවරයකු ගැන කිසිදු ප්‍රවේශයක් ගෙන නැහැ. මේ නිසාම රටේ ජනතාවගේ පැත්තෙන් බරපතළ දෙගිඩියාවක් ඇති වී තිබෙනවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා ගණනාවකදී විසඳු දෙයක් සම්බන්ධව කෝටි දහසක වියදමෙන් ව්‍යවස්ථා සංශෝධනයක් සංශෝධනය කරන්න සූදානම් වෙනවා.

ජේ. ආර්. ජයවර්ධනගේ කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගල් ගැසූ ඉතිහාසයක් තිබෙනවා. මහින්ද රාජපක්‍ෂගේ කාලයේ තමන්ට පක්‍ෂපාත නොවන තීන්දුවක් ලබා දීම හේතුවෙන් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝගයකින් පලවාහැරියා. ආණ්ඩුවේ වුවමනාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉටු නොවන අවස්ථාවල විධායකය මැදිහත් වී වෙනත් ගැටුමක් නිර්මාණය කරනවා. රනිල් වික්‍රමසිංහ පොල් සංවර්ධන මණ්ඩලයේ දී කළ කතාවකින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු නොපිළිගන්නා බව හැඟවූවා. මහියංගනයේ පැවැති ඔප්පු බෙදා දීමේ රැස්වීමකදී ජනතාවගේ අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව පැවසුවා. ආණ්ඩුව ගෙන ආ ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විමසීමට ලක් කළා. නමුත්, මේ තුට්ටු දෙකේ වැඩවලදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ලබා දුන්නාම එයට ප්‍රහාර එල්ල කරනවා.

මානව හිමිකම් උල්ලංඝනය කළ පොලිස් නිලධාරියකු පොලිස්පති ධුරයට පත් කළ අවස්ථාව සම්බන්ධයෙන් තීන්දු ලබා දීම නිසා ආණ්ඩුව අධිකරණය සමග ගැටුම්කාරී තත්වයකට යන්න උත්සාහ කරන බවක් පේනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කැබිනට් මණ්ඩලය ඉදිරියේ විමර්ශනයට ලක් කරන බව ඊයේ ප්‍රකාශ කර තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් කැබිනට් මණ්ඩලයෙන් විමර්ශනයට ලක් කිරීම නිරර්ථකයි. ඒ වාගේම පොලිස්පතිවරයකු නොමැති නිසා මැතිවරණ කල් යයි ද යන ප්‍රශ්නයක් මතු කර තිබෙනවා. ඒක හරි වැඩක් නේ. එහෙම නම්, මෙයත් වැඩබලන ජනාධිපති නේ. රනිල් වික්‍රමසිංහ ජනවරමක් ලබාගෙන නැහැ නේ. එහෙම නම්, වැඩ බලන පොලිස්පතිවරයකුට නිසියාකාරව මැතිවරණ කටයුතු සිදු කළ හැකියි. මෙය කිසිසේත්ම අධිකරණය සහ විධායකය අතර ගැටුමකට දක්කාගෙන යන්න එපා කියලා අපි අවධාරණය කරනවා. අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් කම්පා වීම රනිල් වික්‍රමසිංහගේ වුවමනාව වුණත්, එය රටේ වුවමනාව නොවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ තීන්දුව කිසිසේත්ම මැතිවරණයක් කල් දැමීමට හේතු නොවන බව අපි මේ රටේ ජනතාවට කියනවා. ආණ්ඩුවට අපි අවධාරණය කරන්නේ මෙම තත්වය යහපත් ලෙස කළමනාකරණය කර ගනිමින් ක්‍රියාත්මක වනු විනා ගැටුමකට නොයා යුතු යැයි අපි අවධාරණය කරනවා.

npppresslowyers

“විධායකයට අවශ්‍ය ආකාරයට තීන්දු දෙන්න අධිකරණය බැඳී නැහැ”
-ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම-

විධායකය විසින් අධිකරණයට එරෙහිව යම් ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට පසුගිය කාලසීමාව තුළ අවස්ථා ගණනාවක දී උත්සාහ කළා. පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයා කළ ප්‍රකාශ විශේෂ අවධානයට ලක් කරන්න ඕනෑ. එයින් කියැවෙන්නේ ලංකාවට ශ්‍රේෂ්ඨාධිකරණයක් ඕනෑ නැහැ කියන එකද? එහෙම නැත්නම්, අධිකරණ ක්‍රමයක් ඕනෑ නැහැ කියන එකද? විධායකයට අවශ්‍ය ආකාරයට තීන්දු දෙන්න අධිකරණය බැඳිලා නැහැ. දහහත් වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ඇති වූ වර්ධනයන් එක්ක ව්‍යවස්ථාව සංශෝධනය වුණා. අධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේ ආයතනයක් ලෙස ව්‍යවස්ථාදායක සභාව නම් කර තිබෙන්නේ යම් ස්වාධීනභාවයක් ඇති ආයතනයක් ලෙසයි. ජනාධිපතිවරයාගේ නිර්දේශ ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කළේ නැහැ. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන ස්වාධීන ආයතන තුනට වෙන් වුණු පැවැත්මක් තිබෙනවා. නමුත්, ඊයේ හදිසියේ පැවැත් වූ කැබිනට් රැස්වීමෙන් පසුව බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කර කැබිනට් තීන්දුව ප්‍රකාශ කරන බවයි. අධිකරණ බලය කැබිනට් එකට හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට හෝ නැවත සලකා බැලිය හැකි බවට ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සලසා නැහැ. මේක තනිකරම අධිකරණයට බලපෑමක්.

විනිශ්චයකාරවරුන්ගේ තීන්දු සලකා බැලීමේ සුදුසුකමක් කැබිනට් එකට තිබෙනවාද? කිසිසේත්ම එහෙම හැකියාවක් නැහැ. එස්.බී. දිසානායක අධිකරණයට එරෙහිව අපහාස කළ ආකාරයේ ක්‍රියාවක් මේ සිදු කරමින් ඉන්නේ. දෙදහස්දහයෙන් පස්සේ මේ වාගේ තත්වයකට මුලපිරුවා. ‘හෙජින්’ ගිවිසුම අත්සන් කළ කාලයේ පෙට්‍රල් මිල අඩු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් විධායකය විසින් ක්‍රියාත්මක කළේ නැහැ. ඊට පසුත් ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ශිරාණි බණ්ඩාරනායක මැතිනිය අගවිනිසුරු ධුරයෙන් පලවාහැරීමට කටයුතු කළා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළා. ඒ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් හැටියටයි, දෙදහස්පහළොවේ දී මහින්ද රාජපක්‍ෂටත් යන්න සිදු වුණේ. යහපාලන රජයක් පිහිටුවන බව මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මිනිසුන් සද්භාවයෙන් සලකා බලය දුන්නා. නමුත්, ඒ රනිල් වික්‍රමසිංහම දැන් ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ නැවත බල පෙරළියකට ජනතාවට පෙළඹීම් ලබා දීමයි. අධිකරණය ගැන විශ්වාසය ගොඩනැඟීමේ වගකීමක් විධායකයට සහ ව්‍යවස්ථාදායකයට තිබෙනවා. එය පැත්තකට දමා තමන් අභිමත නොවන තීන්දුවක් දුන් පමණින් බැණ අඬගහලා හරියන්නේ නැහැ. හිටපු පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් දී තිබෙන්නේ නඩුව විමර්ශනය කර අවසන් වන තුරු පොලිස්පති ධුරයේ වැඩ බැලීම අත්හිටුවීමයි. මේ නියෝගය දේශබන්දු තෙන්නකෝන් මහත්මයා කඩ කළොත්, අධිකරණයට අපහාස කිරීමේ වැරැදිකරුවකු වන්නේ ඔහුයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දෙවැනි කොටසින් කියන්නේ පොලිස්පති ධුරයට සුදුසු පුද්ගලයෙක් පත් කළ යුතු බවයි. මේ අනුව නියෝග දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී තිබෙනවා. ඒ නියෝග ක්‍රියාත්මක නොකිරීම අධිකරණයට අපහාස කිරීමක් වනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට අපි අවධාරණය කරන්නේ අධිකරණයත් එක්ක සෙල්ලම් කරන්න ව්‍යවස්ථාදායකයට හෝ විධායකයට බැරි බවයි. රටේ ජනතාවගේ අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය පළුදු වන ලෙස කටයුතු කරනවා නම්, ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ලෙස අපි ඊට එරෙහි කටයුතු කරනවා.

npppresslowyers

“තමන්ගේ වුවමනාවන් ඉටු කර ගැනීමට අපේක්‍ෂා කළ අයගේ නාට්‍යය ඉදිරියේ දී රඟදක්වන්නට පුළුවන්”
-නීතිඥ සුසන්ත දොඩාවත්ත-

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම අතුරු තහනමකින් වැළැක්වූයේ පෙත්සම් නවයක් සලකා බලලයි. මේ තීන්දුව ලබා දෙන්න අධිකරණය සලකා බැලූ එකම කාරණාව ව්‍යවස්ථාදායක සභාව විසින් මේ පත් කිරීම කළා කියන එක නොවෙයි. පෙත්සම්කාර පාර්ශ්වයන් විසින් වෙනත් කාරණා ගණනාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. ඒ අතර මූලිකම වී තිබෙන්නේ මේ රටේ පොලිස්පති ධුරය හොබවන්න දේශබන්දු තෙන්නකෝන් කියන පුද්ගලයා සුදුසු නැති බවයි. ඊට දෙදහස්විසිදෙකේ මැයි නව වැනිදා නිදහස් සහ සාමකාමී අරගලකරුවන්ට පහර දීමේ අවස්ථාව පැමිණි මැරයන් සමඟ මේ පුද්ගලයා පැමිණ සිටීම ප්‍රධාන හේතුවක්. ගාලුමුවදොර පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් වගඋත්තරකරුවකු කරන ලෙස ගරු නීතිපතිතුමා විසින් ඉල්ලීමක් කර තිබුණා. ඒ වාගේම පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම, පොලිසියෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුට ක්‍රෑර සහ අමානුෂික වධබන්ධන පැමිණවීමේ වරදකරුවකු වී සිටීම වැනි චෝදනා ගණනාවක් ඔහුට එරෙහිව පවතිනවා. පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙන්නේ, ව්‍යවස්ථාදායක සභාව නිසි ලෙස පත් කර තිබුණේ නම්, එසේ වුවද ඔහු මේ තනතුරට සුදුසු නැති බවයි. ඔහු පොලිස්පති ධුරයට පත් වීමට පෙර පොලිසිය රංගකලා භූමියක් බවට පත් කළා. පොලිස්පති වීමට පෙරත්, ඉන් පසුවත් ඔහුගේ හැසිරීම පොලිස්පති වෙනුවට දේශපාලනඥයකුගේ තත්වයට පත් කරගෙන තිබුණා. දැන් දේශබන්දු තෙන්නකෝන්ගේ රංගකලා පාසල අවසන්. පොලිස්පති ඇඳුම ඇඳගෙන කෝලම් නටන්න තවදුරටත් බැහැ. දේශබන්දු තෙන්නකෝන්ව පත් කරගෙන තමන්ගේ වුවමනාවන් ඉටු කර ගැනීමට අපේක්‍ෂා කළ අය ඔවුන්ගේ නාට්‍යය ඉදිරියේ දී රඟදක්වන්නට පුළුවන්. දේශබන්දු නැතිව ‘යුක්තිය’ අසාර්ථක වේවි, පාසල් දරුවන්ගේ බෑග්වල මත්ද්‍රව්‍ය තිබෙන්නට පටන් ගනීවි වැනි ප්‍රබන්ධ ඉදිරියේ දී එන්න පුළුවන්.

ඒ නිසා අපි මේ රටේ මහජනතාවට කියන්නේ අවදියෙන් ඉන්න කියලයි. මේ රටේ පැහැදිලි නීතියක් තිබෙනවා. පොලිස්පති ධුරය කියන වගකීම්සහිත ධුරය මේ තැනැත්තාගෙන් හිස් වන විට පොලිස්පතිවරයකු වැඩ බැලීමට පත් කිරීමේ වගකීමක් තිබෙනවා. ඒකට සුදුසුකම් තිබෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉන්නවා. දේශබන්දු නැති වුණා කියලා මේ රටේ සාමාන්‍ය ජන ජීවිතයට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දේශබන්දු තෙන්නකෝන් නමැත්තා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම නිසා මේ රටේ යුක්තිගරුක, නීතිගරුක පොලිස් නිලධාරීන් වඩාත් සතුටු වන අපි දන්නවා.

npppresslowyers
Show More

“අනීතික ක්‍රියාවලින් වැළකී සිටින ලෙස පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා” -ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න-

(-ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුව – 2024.07.25-) 2024 පැවැත්වෙන ජනාධිපතිවරණය අරමුණු කරගෙන අංක: 27 ඒ, දකුණු වටරවුම් පාර, ජයන්තිපුර, බත්තරමුල්ල, යන ස්ථානයේ ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය, 2024 ජූලි මස 26 වන දින ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම නිරීක්ෂණ මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂාවෙන් පූර්ව මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ […]

(-ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුව – 2024.07.25-)

npp-press-police

2024 පැවැත්වෙන ජනාධිපතිවරණය අරමුණු කරගෙන අංක: 27 ඒ, දකුණු වටරවුම් පාර, ජයන්තිපුර, බත්තරමුල්ල, යන ස්ථානයේ ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය, 2024 ජූලි මස 26 වන දින ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම නිරීක්ෂණ මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂාවෙන් පූර්ව මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු රැස්කිරීම සහ ඒ මැතිවරණ ක්‍රියාවලියට බාධා වන සියලු කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීම මෙම මධ්‍යස්ථානයෙන් කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම ඒ ලබාගන්නා තොරතුරුවලට අදාළ ක්‍රියාමාර්ගවලට යොමුවීම මෙම මධ්‍යස්ථානය මගින් සිදුකරනවා. එයට සමගාමීව බලධාරීන් දැනුවත් කිරීම, මාධ්‍ය දැනුවත් කිරීම, ජනතාව දැනුවත් කිරීම, මෙම මධ්‍යස්ථානය මගින් සිදුකරනවා. අවශ්‍ය වූ විටෙක අධිකරණ ක්‍රියාමාර්ග කරා යොමුවීමට අපේක්ෂා කරනවා. මෙම මැතිවරණ කාර්යාලය බාරව ජාතික ජන බලවේගයේ සාමාජික, විශ්‍රාමික පොලිස් සාමූහිකයේ සාමාජික, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඩේවිඩ් ගජසිංහ මහතාත්, විශ්‍රාමික පොලිස් අධිකාරී උපාලි පියනන්ද මහතා ඇතුළු කාර්ය මණ්ඩලයත් හෙට දින සිට පැය 24 පුරාම ඉහත ලිපිනයේ ක්‍රියාත්මක වෙනවා. 0112 796388, 071 435 6301, 0777 307409 යන දුරකථන අංක තුන ඉහත සඳහන් ලිපිනයේ ස්ථාපිත කොට තිබෙනවා. ඊට අමතරව [email protected] යන විද්‍යුත් ලිපිනය අපි ස්ථාපිත කොට තිබෙනවා.

මේ වන විට ජනාධිපතිවරණය ආසන්නව ඉන්නවා. මැතිවරණය දිනය සඳහා තීරණ ගැනීමට අද මැතිවරණ කොමිසම රැස්වෙනවා. මේ වාතාවරණය තුළ අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ රට තුළ සිදුවන ක්‍රියාකාරකම් වෙතයි. දැනටමත් දේශපාලන මුහුණුවර ගත් ක්‍රියාකාරකම් රාශියක් සිදුවෙමින් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතනද අනීතික ලෙස එම ක්‍රියාකාරකම්වලට යොමුවී ඇති බවට අපිට වාර්තා වී තිබෙනවා. ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් 10,000කට ආසන්න ප්‍රමාණයක් කැඳවා රැස්වීමක් පවත්වන්න සූදානම් බව අපිට වාර්තා වුණා. මෙය දේශපාලන මුහුණුවරකින් යුක්ත එකක්. එම රැස්වීම් සඳහා අවශ්‍ය වන සම්පත් සහ මුදල් භාවිතා කිරීම ගැනත් අපට වාර්තා වී තිබෙනවා. ඒවා ප්‍රශ්න සහගතයි. මේ රැස්වීම් සඳහා පොලිස් තෑගි අරමුදලින් මිලියනයක් වෙන්කර ඇති බව දැනගන්නට ලැබෙනවා. පොලිස් තෑගි අරමුදල පිහිටුවා තිබෙන්නේ පොලිස් නිලධාරීන් විසින් කරන ලද යහපත් සේවය සඳහා දිරි ගැන්වීමක් ලෙස යම් යම් දීමනාවන් කරන්නයි. එම අරමුදල පවත්වාගෙන යෑම, මුදල් නිර්දේශ කිරීම පිළිබඳ දෙපාර්තමේන්තු නියෝගවල පැහැදිලිව දක්වා තිබෙනවා. ඊට අමතරව පොලිස් ගැසට් පත්‍ර පවා නිකුත් කර තිබෙනවා. පොලිස් තෑගි අරමුදලේ මුදල් වෙනත් කටයුත්තකට යෙදවීම නීතියට පටහැණියි. එය මූල්‍ය අවභාවිතයක් බව සඳහන් කළ යුතුයි. මෙම අනීතික ක්‍රියාවලින් වැළකී සිටින ලෙස මම පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

නිදහසේ ඇවිත් නිදහසේ පුද්ගල ඝාතන සිදුකර යන තරමට අපරාධ රැල්ල වැඩවී තිබෙනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයකට මෙවැනි අපරාධකාරී පරිසරයක් බාධාවක්. මේ වසරේ මේ වන විට වෙඩි තැබීම් 74ක් සිදුකර තිබෙනවා. එයින් පුද්ගල ඝාතන 84ක් සිදුකර තිබෙනවා. මේ අපරාධ රැල්ල මැඩලීමට පියවර ගන්නා ලෙස රජයෙන් මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවෙනුත් ඉල්ලා සිටිනවා. එළඹී තිබෙන මැතිවරණය තීරණාත්මකයි. මෙය අපරාධකරුවන් නිදැල්ලේ සිටිනවාද, දූෂිතයන් නිදැල්ලේ සිටිනවාද, වංචාකරුවන්, නිදැල්ලේ සිටිනවාද නැතහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවාද යන්න තීරණය කරන තීරණාත්මක මැතිවරණයක්. ඒ නිසාම ජනතාව ලෙස අපට මේ අවස්ථාව ඉතාමත්ම වැදගත්. ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය 26 වැනි දින ආරම්භ කර, දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි තොරතුරු ලබාගනිමින් ක්‍රියාත්මක වීමට සැලසුම් කර තිබෙනවා. අදාළ නීතිමය ක්‍රියාමාර්ග සඳහා එම තොරතුරු යොමු කරනවා.

npp-press-police

“නිදහසේ ඡන්දය ප්‍රකාශ කළ හැකි වාතාවරණයක් සකස් කරලීම රජයේ වගකීමක්”
-විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.කේ. මාර්ක්-

අපේ රටේ ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහා මැතිවරණය ඇතුළු මැතිවරණ ගණනාවක් තිබෙනවා. අපි අද කතා කරන්නේ ජනාධිපතිවරණය පිළිබඳවයි. විධායකයට නායකයෙක් පත්කිරීම එහිදී සිදුකරනවා. මේ මැතිවරණය සම්බන්ධයෙන් විශේෂයෙන් පොලිස් නිලධාරීන්, වෙනත් මැතිවරණ නිලධාරීන් සහ ඡන්දදායකයන් හට සිදුකරන බලපෑම් පිළිබඳව සියලු තොරතුරු ලබා ගැනීමට අපි මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පිහිටුවනවා.

පොලිස් නිලධාරීන් හට නීත්‍යානුකූලව ලැබෙන නියෝග පමණක් සිදුකළ යුතු අතර, අනීතික නියෝග ක්‍රියාත්මක කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා. මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන අනෙකුත් නිලධාරීන් ඔවුන්ගේ දේශපාලන බැඳියාවන්ගෙන් නිදහස් වී රාජකාරිය සිදුකළ යුතුයි. විශේෂයෙන්ම ප්‍රකාශිත ඡන්ද ගණන් කිරීමේදී ඉතාමත් නිවැරදිව විනිවිදභාවයෙන් කළ යුතුයි. එසේ නොවෙන අනීතික ක්‍රියා ඡන්දදායකයන් මර්දනය සහ වෙනත් අනීතික බලපෑම් සම්බන්ධයෙන් වාර්තා ලබා ගන්නවා. වාර්තා ලබාදීමේදී අදාළ නම් ගම්, බල ප්‍රදේශය, ඡන්ද මධ්‍යස්ථානයක් සම්බන්ධයි නම්, ඒ මධ්‍යස්ථානයේ නම ආදිය වැදගත් වෙනවා.

මේ අනුව ජනතාවට නිදහස් හා සාධාරණව තමන් කැමති පක්ෂයකට සහ පුද්ගලයෙකුට ඡන්දය ලබාදීමේ අවස්ථාව තහවුරු කළ යුතුයි. මෙපමණ කල් ලබා නොදුන් දේපොළ හා වෙනත් වරප්‍රසාද ලබාදීම මැතිවරණ සමයේදී සිදකිරීමෙන් අදහස් කරන්නේ යම්කිසි බලපෑමක් සිදුකිරීමයි. ඒ වගේම මාධ්‍යවලින් සිදුකරන වැරදි අර්ථකථන සහ විකෘති කිරීම් පිළිබඳ තොරතුරු ලබා ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. නිදහසේ තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ වාතාවරණයක් සකස් කරලීම පවතින රජයේ වගකීමක්. එවැනි තත්වයන් උල්ලංඝනය කිරීම් පිළිබඳව අපට තොරතුරු ලබාදෙන අයගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමට අපි බැඳී සිටිනවා.

npp-press-police

“විධායක නිලධාරීන්ගේ වගකීම තිබෙන්නේ පවතින ආණ්ඩුවට නොව සමස්ත රාජ්‍යයටයි”
-හිටපු අමාත්‍යාංශ ලේකම් තිස්ස වර්ණසූරිය-

ජාතික ජන බලවේගය කියන්නේ රටේ අභිවෘද්ධිය සඳහා කැපවී සිටින දේශපාලන ව්‍යාපාරයක්. ඒ යටතේ පිහිටුවන මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය අපක්ෂපාතීව හා සාධාරණව කටයුතු කරනවා. ජාතික ජන බලවේගයට මතුවන ගැටලු සම්බන්ධයෙන් මැදිහත් වන්න වෙනම යාන්ත්‍රණයක් තිබෙන අතර, අප සිදුකරන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් ඡන්දදායකයන්ගේ පැත්තෙන් කටයුතු කිරීමයි. මැතිවරණයේ නාමයෝජනා බාරදුන් අවස්ථාවේ සිටම රජයේ විධායක නිලධාරීන් සියලු දෙනා මැතිවරණ කොමිෂන් සභාවට වගකියනවා. මම විශේෂයෙන්ම විධායක නිලධාරීන්ගේ කටයුතු පිළිබඳව අවධානය යොමු කරනවා. ඔවුන්ගේ වගකීම තිබෙන්නේ පවතින ආණ්ඩුවට නොව, සමස්ත රාජ්‍යයටයි. තේරීම්භාර නිලධාරියා ලෙස නිල බලයෙන් පත්වන්නේ අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයායි. මැතිවරණය ප්‍රකාශයට පත් කළ වහාම අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් වහාම ස්ථාන මාරුකිරීම් සිදුකරලා. ඒ වගේම පොලිස් ස්ථානාධිපතිවරුන් 47 දෙනෙකු මාරුකර තිබෙනවා. ඉස්සර මහජනතාවට ඉඩම් ඔප්පු ලබාදුන්නේ ග්‍රාම නිලධාරී මාර්ගයෙන්. අද මේ වන විට උරුමය ඔප්පු බෙදා දෙන්න රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් උත්සව වෙනුවෙන් පමණක් වියදම් කරමින් දේශපාලනඥයන් සම්බන්ධ වෙනවා. ක්‍රීඩා උපකරණ, මරණාධාර සමිතිවලට හට් වැනි දේවල් පවා බෙදනවා.

අපේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය දේශපාලන පක්ෂයකට සම්බන්ධ වුවත්, මධ්‍යස්ථව ක්‍රියාකරනවා. ඔබ අපට ලබාදෙන තොරතුරු සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳව අවබෝධයක් ලබාදීමට ක්‍රියාකරනවා.

npp-press-police

“ජනතාවට සාමකාමී ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව තහවුරු කිරීම අපගේ මූලික වගකීමයි”
-පොලිස් දෙපාර්තමේන්තුවේ මැතිවරණ කටයුතු පිළිබඳ හිටපු ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න-

ජනාධිපතිවරණයට 1981 අංක 15 දරන මැතිවරණ පනත වලංගු වෙනවා. නීතිගරුක සමාජයේ සෑම කෙනෙක්ම සාමකාමීව ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය තහවුරු කිරීම බලාපොරොත්තු වෙනවා. ඒ තහවුරු කිරීමට පහසුකම් සැලසීම අපේ මධ්‍යස්ථානයේ මූලික අරමුණයි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ මූලිකත්වයෙන් මැතිවරණ නිරික්ෂණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ මැතිවරණ රාජකාරිවල යෙදී අවුරුදු 16ක පමණ අත්දැකීම් මට තිබෙනවා. ඒ කාලය තුළ මැතිවරණ ප්‍රචණ්ඩ කියා ඉතා අවම මට්ටමට කර ගන්න අපට හැකිවුණා. පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් මහජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කරන්න කැපවීමෙන් ක්‍රියාකරන බව අත්දැකීමෙන්ම මම දන්නවා. ඒ උනන්දුව තවත් වර්ධනය වී ඇති බව මට පැහැදිලියි.

යම් අවස්ථාවක නීතිය කැඩෙනවා නම්, ඒ සම්බන්ධ කරුණු අධිකරණ ක්‍රියාවලියට යොමුකරලීම තුළින් මහජනතාව බලාපොරොත්තු වෙන නිදහස් හා සාධාරණ මැතිවරණයට අවස්ථා පුළුල් කර දෙනවා. පසුගියදා පැවැති මහා බි්‍රතාන්‍යයේ ඡන්දය ඉතාම සාමකාමීව පැවැති ආකාරය අපි දැක්කා. එවැනි මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් දිස්ත්‍රික්ක 24 පුරාම අපේ නිරීක්ෂණ සිදුකරනවා. දේශපාලන පක්ෂ ලෙස කවුරුන් ඉදිරිපත් වුවත් මහජනතාවට සාමකාමී ලෙස තමන්ගේ අයිතිය ප්‍රකාශ කිරීමේ අවස්ථාව තහවුරු කිරීම අපගේ මූලික වගකීමක් ලෙස ක්‍රියාකරනවා.

npp-press-police

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්නය: මැතිවරණයක් අත ළඟ තිබෙන අවස්ථාවක පොලිස්පතිවරයාගේ සේවය අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ තත්වය මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොවේද?

පිළිතුර:
පොලිස්පති පත්කර ගැනීම දෙපාර්තමේන්තුවේ ක්‍රියාමාර්ග අනුව සිදුකර ගනීවි. මැතිවරණයට අදාළ නීතිරීති චක්‍රලේඛ අනුව ක්‍රියාකිරීමේ හැකියාව සහ අත්දැකීම් පොලිස් නිලධාරීන්ට තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාව පොලිස්පති පත්කර ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියේදී සිදුකරාවි. අතීතයේ වැඩබලන පොලිස්පතිවරු යටතේ මැතිවරණ පැවැත්වූ අවස්ථා ගණනාවක්ම තිබෙනවා. ඒ නිසා අඩුවක් නැතිව එම කටයුතු සිදුවේවි.

ප්‍රශ්නය: මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු පත්කිරීම් කරන්න බැහැ නේද?

පිළිතුර:
නීතියේ ආධිපත්‍යය අනුව අධිකරණ තීන්දුව ලබාදී තිබෙනවා. එය නිසියාකාරව ක්‍රියාත්මක කරාවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය: අධිකරණ තීන්දු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීරණය ඉදිරි දින දෙකේදී ප්‍රකාශයට පත්කරන බව කියා තිබෙනවා. එය කිනම් ආකාරයකින් බලපායිද?

පිළිතුර:
මෙයට පෙරත් කිහිප අවස්ථාවක යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාමාර්ගය අධිකරණයෙන් ලබාදි තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි ආඩම්බර වෙන්න ඕනෑ. මෑත අතීතයේ අනීතික කැබිනට්ටුවක් පත්කිරීමෙන් පසු එය මුළුමනින්ම ඉවත් කිරීමත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකළා. පොලිස්පතිවරයාට අධිකරණයෙන් ලබාදී තිබෙන වාරණ නියෝගය මැතිවරණයට කිසිසේත් බලපාන්නේ නැහැ. 2019 ජනාධිපතිවරණය පැවැත්වූ අවස්ථාවේ පොලීසියට නායකත්වය දුන්නේ පරිපාලනය සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහත්මයායි. එතුමා වැඩබලන පොලිස්පතිවරයා ලෙස මැතිවරණ රාජකාරි සාර්ථකව ඉටුකළා. 2020 අගෝස්තු මාසයේ මහා මැතිවරණය පැවැත්වූ අවස්ථාවේ සී.ඩී. වික්‍රමරත්න මහත්මයාම වැඩ බලන පොලිස්පති ලෙස සාර්ථක ලෙස කටයුතු කළා. මැතිවරණයකදී ක්‍රියා කිරීමට කල් ඇතිව සැලසුම් සහගතව පොලීසියේ යාන්ත්‍රණය මෙහෙයවනවා.

ප්‍රශ්නය: මැතිවරණය ප්‍රකාශයට පත්කරන අවස්ථාව වන විට වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කර නොසිටිය හොත් කුමන තත්වයක් මතුවේවිද?

පිළිතුර:
නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබාදේවි. ඒ වගේම ජාතික පොලිස් කොමිසමෙන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් කරාවි. අධිකරණය ලබාදී තිබෙන තීන්දුවක් සම්බන්ධයෙන් විධායකය විසින් කල් ගැනීම අදාළ වෙන්නේ නැහැ. විධායකය කල්දැමීමේ ක්‍රියාවලියක සිටිනවා නම්, මැතිවරණ කොමිසමට ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගත හැකියි. පොලිස්පති ලෙස මූලිකයෙක් නොසිටියත් යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. අධිකරණයේ තීන්දුව සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේදී පොලිස් කොමිෂන් සභාව ඊළඟ පත්කිරීමේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ඒ සම්බන්ධයෙන් අපේ ස්ථාවරයන් මේ අවස්ථාවේ ප්‍රකාශ කිරීම නොසුදුසුයි.

මෙම සාකච්ඡාවට සහභාගි වූ සෙසු පිරිස

විශ්‍රාමික පොලිස් සාමූහිකයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩේවිඩ් ගජසිංහ මහතා, හිටපු අමාත්‍යාංශ ලේකම් කේ.ජී. ලීලානන්ද මහතා

Show More