(-මාලිමාවේ සූරියවැව ගොවි රැලිය – 2024.07.02-) මෙතනට රැස්වෙලා ඉන්න ගොවි ජනතාව උද්ඝෝෂණ ඇතුළු විවිධ සටන්වල නිරත වෙලා තිබෙනවා. පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ තකතීරු තීන්දුවක් ගත්තා. ගොවිතැන සඳහා ලබා දෙන රසායනික පොහොර නතර කරන්න තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව ගන්නකොට, මහින්ද අමරවීරලා, නාමල් රාජපක්ෂලා කැබිනට් ඇමතිවරු. මහින්ද රාජපක්ෂ අගමැති. ගොවියන්ට සිදුවුණා පොහොර ලබා දියල්ලා කියලා උද්ඝෝෂණ කරන්න. […]
(-මාලිමාවේ සූරියවැව ගොවි රැලිය – 2024.07.02-)
මෙතනට රැස්වෙලා ඉන්න ගොවි ජනතාව උද්ඝෝෂණ ඇතුළු විවිධ සටන්වල නිරත වෙලා තිබෙනවා. පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ තකතීරු තීන්දුවක් ගත්තා. ගොවිතැන සඳහා ලබා දෙන රසායනික පොහොර නතර කරන්න තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව ගන්නකොට, මහින්ද අමරවීරලා, නාමල් රාජපක්ෂලා කැබිනට් ඇමතිවරු. මහින්ද රාජපක්ෂ අගමැති. ගොවියන්ට සිදුවුණා පොහොර ලබා දියල්ලා කියලා උද්ඝෝෂණ කරන්න. ඒ විතරක් නෙවෙයි චන්ද්‍රිකා වැවෙන් වතුර නිදහස් කරන එක නතර කළා ගොවිබිම් විනාශ වෙන්න ඉඩහැරියා. ගොවියන්ට සිදුවුණා උද්ඝෝෂණය කරල වතුර ලබාගන්න. අලි ගම්වදින එක නවත්වලා දෙන්න කියලා සූරියවැව මයුරපුර ප්‍රදේශයේ ජනතාවට දිගුකාලයක් උපවාසයක් කරන්න සිදුවුණා. තමන්ගේ ගොවිතැන, දේපළ, නිවාස, විනාශ වෙනකෙට ජනතාවට ඒවට උත්තර ලබාදෙන්න කියලා පාරට බහින්න සිදුවුණා. වී ටිකට සාධාරණ මිලක් ඉල්ලලා පාරට බහින්න සිදුවෙලා තිබෙනවා. අපි මේ ගොවි අම්මලාට, තාත්තලාට ආරාධනා කරන්න ආවේ තමන්ගේ උවමනාවන් ලබාදෙන්න කියලා පාරට බැහැලා, උද්ඝෝෂණය කරන යුගය අවසන් කරලා ගොවි ජනතාවක් නියෝජනය කරන අලුත් ආණ්ඩුවක් හදා ගමු කියන්න. ගම්වල ජනතාවගේ ප්‍රශ්න ගැන, ආර්ථිකය ගැන, කෘෂිකර්මාන්තය ගැන, කල්පනා කරන නව ආණ්ඩුවක් හදාගන්න ඕනෑකම තිබෙනවා. ඒ ආණ්ඩුව හදන්න ඉතාමත් හොඳ අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. අපි මේ සැරේ ආවේ පාර්ලිමේන්තුවේ අපේ ගාන වැඩිකරන්න කියලා ඉල්ලන්න නොවෙයි. අවුරුදු 76 වසරකට පස්සේ පොදු ජනයාගේ ආණ්ඩුවක් හදන්න එකතුවෙමු කියලා ආරාධනා කරන්නයි අපි ආවේ.
මීට කලින් අපි විවිධ පක්ෂවලට බෙදිලා ඉන්න ඇති. ඒ ඉතිහාසය. අපි ප්‍රශ්න හමුවේ විඳවන කොට යූ.එන්.පී. ශ්‍රීලංකා, ජේ.වී.පී. බේදයක් නැහැ. හැමෝම විඳවනවා. ආණ්ඩුව අපිව පක්ෂ වශයෙන් බෙදනවා. ගම්වල ඒ බෙදුණු යුගය අවසන් කරලා අපි අලුත් ආණ්ඩුවක් හදන්න එකතු වෙමු. රටේ සාමාන්‍ය ජනයා අලුත් බලාපොරොත්තුවක් එක්ක පෙළ ගැහිලා ඉන්නවා. ජනතාව පාරම්පරික යූ.එන්.පී. ශ්‍රීලංකා, පක්ෂ පාට අතහැරලා මාලිමාව තෝරා ගන්නකොට ඒගොල්ලොත් උඩින් එකතු වෙනවා. කවදහරි හිතුවද කිසි දවසක මහින්ද අමරවීරයි, රනිලුයි එකම වේදිකාවක හමුවෙයි කියලා. ඉස්සර මහින්ද අමරවීර කතා කළේ රනිල්ට විරුද්ධව. දැන් දෙන්නම එකම වේදිකාවක. ඔයගොල්ලන් හිතුවද මහින්ද රාජපක්ෂයි, රනිල් වික්‍රමසිංහයි එකම ආණ්ඩුවක හම්බවෙයි කියලා. ඒ ගොල්ලෝ එකතු වෙනවා. මෙතන ඉන්න අම්මලා, තාත්තලා හිතුවද, රනිල් වික්‍රමසිංහ, කාංචන විජේසේකර, ප්‍රසන්න රණවීර, රනිල් හිරේ දානකල් නින්ද යන්නේ නෑ කියපු මහින්දානන්ද අලුත්ගමගේ, ලක්ෂ්මන් යාපා, මහින්ද අමරවීර, නාමල් රාජපක්ෂ එක වේදිකාවක, එක ආණ්ඩුවක දකින්න ලැබෙයි කියලා. ගම්වල ජනතාව මාලිමාව වටා එකතු වෙනකොට ඒ ගොල්ලන් මාලිමාවට මුහුණ දීම සඳහා උඩින් එකතු වෙනවා. පසුගිය දවසක අම්බලන්තොට රනිල් වික්‍රමසිංහගේ රැස්වීමක් තිබ්බා; පොහොට්ටුවෙන් බාගයකට වැඩිය ඒ වේදිකාවේ. මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් ලංසා ඒ වේදිකාවේ. මීට අවුරුදු තුනකට, හතරකට ඉස්සර කිව්වේ “හරියන්නේ නෑ. හම්බන්තොට වරාය වික්කේ රනිල්. රට විනාශ කරන්නේ රනිල් තමයි රනිල්ගෙන් රට බේරගන්න ඕන” කියලා. ඒ කිව්ව කටින්ම අද කියන්නේ “රට හදන්නේ රනිල් තමයි” කියලා. ඇයි ඒ? ඒගොල්ලන්ට බේරෙන්න ඕනෑ වෙලා තිබෙනවා.
අවුරුදු 76කට පස්සේ ලංකාවේ පළමුවැනි වතාවට පොදු ජනතාවගේ දේශපාලන ව්‍යාපාරයක් බලය ගන්න හදනවා. ඒගොල්ලන් බයවෙලා. ඒගොල්ලන්ගේ සියලු සතුරුකම්, පරණ තරහා මරහා, මතවාද සියල්ල පැත්තකින් තියලා එකට එකතුවෙනවා. ඒ ගොල්ලන් අත තිබෙන බලය පොදු ජනතාවගේ අතට මාරුවෙන එක වළක්වන්න නම් එයාලා එකට එකතු වෙන්න ඕන. දැන් ස.ජ.බ. රාජිත සේනාරත්න ඇතුළු පහළොස් දෙනෙකුගේ කණ්ඩායමකුත් මේ ළඟදි කබීර් හසීම්ගේ ගෙදර සාකච්ඡාවක් කරලා. මේ බව රාජිත රූපවාහිනී සාකච්ඡාවකදී කියනවා. සජබ කට්ටිය රනිල්ට එකතු වුණේ නැතිනම් ජේ.වී.පී. එක බලයට එනවා කියලා කතාවෙනවා. ජවිපෙ බලයට එන එක වළක්වන්නයි මේ එකතු වෙන්නේ. රනිල් හරි සජිත් හරි දිනනවා නම් එයාලට එකතු වෙන්න ඕන කමක් නැහැ. මේ ඔක්කෝටම එකතු වෙන්න බලකරන්නේ ඇයි? මාලිමාවේ ජයග්‍රහණය පේන්න තිබෙන නිසා. උඩ ඉන්න දූෂිත, ප්‍රභූ පැළැන්තියේ බලය තියාගන්න එකට එකතු වෙනවා.
එහෙනම් අපි මොකක්ද කරන්න ඕනැ; ඒකට මුහණ දෙන්න ගම්වල අපිත් පරණ කෝන්තර, වෙනස්කම් අමතක කරලා එකතු වෙන්න ඕනෑ. මේ සූරියවැවෙන් ලොකු ජයග්‍රහණයක් ගන්න ඕනෑ. මම ඕගොල්ලන්ගෙන් අහන්නේ,“ජීවිතේ ඇතිවෙලා නැද්ද?” දැන්නම් “හොඳටම ඇතිවෙලා” කියලා කොච්චර නම් හිතිලා ඇද්ද? වහ ටිකක්වත් කනවා කියලා හිතෙන වාර අනන්තයි. ජීවිතේ ගැන කළකිරිලා, එපා වෙලා තිබෙන්නේ. මොන කරුමයක්ද මේ කියලා හිතෙන වාර අනන්තයි. ඒ ගොල්ලන් එහෙම කල්පනා කරනවාද? තව අවුරුද්දක්වත් වැඩිපුර ඉන්න තමයි බලන්නේ. ඒ ගොල්ලන්ට ජීවිතය අත්හරින්න තරම් කරදරයක් නැහැ. රටේ ජනතාවට තෙල්, ලයිට්, ගෑස්, රස්සා, නැතිවෙන කොටත් එයාලට ඒ සියල්ලම තියෙනවා. ඒ ගොල්ලන්ට වාහන, ඉඩම් තිබෙනවා. ඒගොල්ලන්ගේ දරුවන්ට ඇමති තනතුරු තිබෙනවා. ගමේ ජනතාවට ගෙයක් නැති වුණාට එයාලට ගෙවල් හත, අට තියෙනවා. ඒ ගොල්ලන්ට තව තව ජීවිතේ ගැන තිබෙන බැඳීම වැඩියි. ගම්වල අයට ගෙයක් හදා ගන්න, දරුවන්ට උගන්වන්න, රස්සාවක් හොයාගන්න බොහොම අමාරුයි. ගොවිතැන් කරලා නෙලාගන්න අස්වැන්නෙන් ජීවිතය ගෙවා ගන්නේ බොහොම අමාරුවෙන්. ගමේ ජනතාව විඳවනවා. මෙහෙම වුණේ ඇයි?
අපේ රට පාලනය කළේ උඩ ඉන්න දූෂිත, ප්‍රභූ කණ්ඩායමක එකතුවක්. ඉස්සරහටත් රට පාලනය කරන්න හදන්නෙත් එයාලා. ඩී.එස්. සේනානායක එයාගේ පුතා, බණ්ඩාරනායක පවුල, ජේආර්ගේ පරම්පරාව, මහින්දගේ පරම්පරාව, පේමදාස අතීතයේ රට පාලනය කළා. අනාගතෙත් රට පාලනය කරන්න හදන්නේ ඒගොල්ලන්ගේ පරම්පරාව. අවුරුදු 76ක් මේ පවුල් කිහිපයක් අතේ තමයි බලය තිබුණේ. ඒගොල්ලන් ඥාතීන්ට, චෞර ව්‍යාපාරිකයන්ට, පාතාලයට සලකනවා. ගමේ ජනතාව හැමදාමත් හූල්ලමින් ඉන්නවා. අපිට දැන් අවස්ථාවක් ඇවිත් තිබෙනවා. මේ දූෂිත, චෞර ප්‍රභූ පැළැන්තියෙන් පොදු ජනතාව අතට බලය මාරුකර ගන්න. මාලිමාව ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත, විනාශකාරී කණ්ඩායම එළවනවා. ඊළඟට පළාත් සභා, ප්‍රාදේශීය සභා ඡන්දවලින් අලුත් කණ්ඩායමක් අතට රටේ බලය මාරු වෙනවා.
අපට බලය අවශ්‍ය ඇයි? අපට පෞද්ගලික අවශ්‍යතාවයන් නැහැ. ජාතික ජන බලවේගයේ ඉහළ මණ්ඩලවල කිසිවෙක් ඉඩම් අල්ලා ගන්න, හෝටල් ගන්න, ගල් මෝල් දාන්න, වැලි කපන්න, බහුදින යාත්‍රා දාන්න, බාර් දාන්න, පෙට්ට්‍රල් ෂෙඩ් දාන්න එන්නේ නැහැ. හෝටල් දාන්න ඕන හෝටල් කර්මාන්ත කරන අය. වගා කරන්න ඕන ගොවිතැන් කරන අය. පෙට්‍රල් ෂෙඩ් දාන්න ඕන ව්‍යාපාරිකයන්. පතල් කපන්න ඕන මැණික් කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයෝ. අපිට බාර් දාන්න ඕන නැහැ. රට ගොඩදාන්න අපි හොඳ සැලැස්මක් හදනවා. ඒ වගේම අපි හැරමිටියෙන් යනකම් ඉන්නෙත් නැහැ. අපි නියමිත කාලෙට අපේ අතේ තිබෙන බලය නව තරුණ පරම්පරාවක් අතට බාරදීලා එයාලා රට කරන හැටි බලාගෙන ඉන්නවා. ඒත් එයාලා මේක දාලා යන්න කැමති නැහැ. ඇවිදගන්නත් බැරි තත්වයේ ඉඳගෙන පවුල් අත බලය තියා ගන්න උත්සාහ කරනවා. ප්‍රභූ පාලකයන් අතින් පොදු ජනතාව අතට බලය ගන්න අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. මේ වෙලාව අත්හරින්න එපා. ඔබ කරන්න ඕන ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවට ගහන කතිරවලින් පුරවන එකයි.
අපි රටේ ප්‍රශ්න එකින් එක විසඳනවා. රට ගොඩනගලා ප්‍රශ්න විසඳනකම් සෑම පුරවැසියෙකුගේම ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය සහතික කරනවා. ලෝකයේ හැම රටකම ආර්ථිකයෙන් පිටමං කරන ජනතාවක් ඉන්නවා. අන්න ඒ ජීවත් වෙන්න අමාරු ජන කොට්ඨාසය රැකබලා ගැනීම තමයි ආණ්ඩුවක වගකීම. ජනතාවට කන්න නැත්නම්, දරුවන් පාසල් යවන්න පහුකම් නැත්නම් සහනාධාර දෙන්න ඕනෑ. ඉස්පිරිතාලේ බෙහෙත් ටික නැත්නම්, බෙහෙත් ටික ඉස්පිරිතාලෙට එවන්න ඕනෑ. ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය, ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්. සල්ලි නැහැ කියන්නේ බොරු, රනිල් වික්‍රමසිංහ ඊයේ පෙරේදා කෝටි 875ක් වෙන්කර ගත්තා. මේ මාස දෙකෙන් ගෙදර යන්න ඉන්න කෙනා. සජබෙන් ආණ්ඩුවට ගන්න පුළුවන් කියන අයට සංවර්ධන වැඩවලට කියලා කෝටි 120ක් බෙදල දුන්නා. මීට කලින් රට යන්න මදි කියලා තවත් ලක්ෂ 2000ක් වෙන්කර ගත්තා. හැබැයි ඉස්පිරිතාලෙට බෙහෙත් ගේන්න සල්ලි නැහැයි කියනවා.
හම්බන්තොට රෝහලට ඕස්ටේ්‍රලියානු සමාගමකින් වෛද්‍ය උපකරණ සපයනවා. ඒ රටේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් ඒ ගැන පරීක්ෂණයක් කළා. ඒකෙන් හෙළි වුණා ඕස්ට්‍රේලියානු සමාගම හම්බන්තොට රෝහලට උපකරණ ලබාදීමේදී පගාවක් දීලා තියෙනවා කියලා. පගාව දීපු කෙනා හිරේ. පගා ගත්තු මෙහේ කෙනා පාර්ලිමේන්තුවේ. ඒ ගනුදෙනු බේරගන්න පුළුවන් වෙන්නේ මාලිමාවේ ආණ්ඩුවකින් විතරයි. ඒ නිසා හොරකම් කරපු පගා ගහපු ජනතාවගේ බදු මුදල් ආපහු ගන්න අපි වැඩ කරනවා.
කොවිඩ් වසංගතයෙන් පස්සේ ලෝකයේ හැම රටක්ම කෘෂිකර්මාන්තය ගැන වැඩි අවධානයක් යොදවනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්‍රධාන වැඩක් තමයි රටට අවශ්‍යවන ආහාර නිෂ්පාදනය කිරීම සඳහා සැලැස්ම ක්‍රියාත්මක කරන එක. කෘෂි නිෂ්පාදන, කිරි නිෂ්පාදන, මස් නිෂ්පාදන, මාළු නිෂ්පාදන සියල්ලෙන් අපි ස්වයං පෝෂිත විය යුතුයි. රට වටේ අටගුණයක මහ මුහුද; ඒ වගේම රට මැද සාගර වගේ වැව්. අපිට හොඳ මත්ස්‍ය අස්වැන්නක් නෙළන්න පුළුවන් විදිහට මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්තය දියුණු කරන්න පුළුවන්. ඒ ක්ෂේත්‍රයට අලුත් තාක්ෂණය එකතු කරන්න ඕනෑ. ඉන්දියාවේ ධීවරයාට උදේට ෆෝන් එකට තොරතුරු එනවා අද මාළු ගැවසෙන්නේ කොයි පැත්තේද කියලා. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මාළු වැඩියෙන් සැරිසරන ප්‍රදේශ හඳුනාගන්න තාක්ෂණය යොදාගෙන තිබෙනවා. අපි ඉමක් කොනක් නෙපෙනෙන මහ මුහුදේ ඔහේ සැරි සරනවා. එහෙම මාළු අල්ලන එක ලාභ වෙන්නේ නැහැ.
අපේ රටේ දරුවන්ගේ පෝෂණ ඌනතාවය ප්‍රධාන ප්‍රශ්නයක්. අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. මත්ස්‍ය කර්මාන්තය දියුණු කළොත් ප්‍රෝටීන් ඌනතාවය සම්පූර්ණ කරන්න පුළුවන්. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් ලංකාවට එන බිත්තරවලට වඩා කුලියාපිටියේ බිත්තර හම්බන්තොටට එනකොට මිලෙන් වැඩියි. එහෙම වෙන්නේ කොහොමද? අපේ නිෂ්පාදන පිරිවැය වැඩියි. එයාලා කුකුලන්ට දෙන්නේ එයාලා හදාගන්න බඩ ඉරිඟු. කුකුල් කූඩුවලට ගහන්නේ එයාලා හදා ගන්නා දැල, වහලෙට දාන්නේ එහේ හදාගන්න තහඩුව. කුකුලන්ට ගහන්නේ එහේ හදාගන්න ඉන්ජෙක්ෂන් එක. අපි කරන්නේ කුකුලට අවශ්‍ය සියල්ලම ඉන්දියාවෙන් ගෙන්වනවා. එතකොට බිත්තර මිල ඉහළයි. එහෙම නම් අපි ඒ කර්මාන්තය දියුණු කරන්න ඕනෑ. බිත්තර, මස් නිෂ්පාදන කර්මාන්තකරුවාගේ පිරිවැය අඩුකරන්න ඕනෑ. ඒ කර්මාන්තයට තරුණ පරම්පරාවට එන්න කියන්න ඕනෑ. ගමේ අලුත් ව්‍යවසායකයන් හදන්න පුළුවන්. එතකොට ගමේ තවත් කර්මාන්ත, අලුත් රැකියා හැදෙනවා. ඉන්දියාවෙන් බිත්තර ගේන එකෙන් හැදෙන්නේ ඉන්දියාවේ ආර්ථිකය. අපේ ගමේ ආර්ථිකය හැදෙන්නේ නැහැ.
කිරි නිෂ්පාදනය ඉතා හොඳින් දියුණු කරන්න පුළුවන්. අපේ රටේ ඕනෑම කලාපයක සත්තු ඇති කරන්න පුළුවන්. හම්බන්තොට, අම්පාර, මොණරාගල ඉන්දියාවේ, පාකිස්ථානයේ ඉන්න මූරා වර්ගයේ හරක් හදන්න පුළුවන්. නාරම්මල, නාඋල, මාතලේ ප්‍රදේශවල මැදි කලාපෙට ගැලපෙන සත්තු හදන්න පුළුවන්. නුවරඑළිය, බණ්ඩාරවෙල පැතිවල නවසීලන්තයේ, ඕස්ටේ්‍රලියාවේ හැදෙන ෆර්සියන් වර්ගයේ හරක් හදන්න පුළුවන්. අපේ රටේ කිරි නිෂ්පාදනය දිරි ගන්වන සැලැස්මක් හදන්න ඕන. හොඳ සතෙක්ගෙන් කිරි ලීටර් 20ක් 30ක් දවසට දෙපාරකට ගන්න පුළුවන්. කිරි නිෂ්පාදනයෙන් යෝගට්, අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන්න පුළුවන්. ගමේ ආර්ථිකය එහෙම දියුණු කරන්න පුළුවන්. ගමේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න අලුත් තාක්ෂණය, වැඩි අස්වැන්නක් දෙන බීජ ප්‍රභේද, ගේන්න ඕනෑ. කෘෂි නිෂ්පාදනයට හොඳ සැලැස්මක් තිබෙන්න ඕනෑ. කෘෂිකර්මාන්තය ගෞරවණීය රැකියාවක් බවට පත්කරන්න ඕනෑ. ණය නැති, ආදායම් මාර්ගයක් තිබෙන, සතුටක් තිබෙන, ජීවිතයක් තිබෙන පුරවැසියෙක් බවට අපේ රටේ ගොවියා පත්කරන්න ඕනෑ. තාත්තා ගොවියා, පුතත් ගොවියා, පුතාගේ පුතත් ගොවියෙක් වෙන්න ඕනෑ නැහැ. අපේ දරුවන්ට පරම්පරාවෙන් උරුමවන රස්සාවෙන් ඔවුන් එළියට ගන්න ඕනෑ. අපේ ගොවියා ණය උගුලක හිරවෙලා. ඒ ණය උගුලෙන් ගලවා ගන්න අපි වැඩපිළිවෙළක් හදනවා. ගම්වල අලුත් පරම්පරාවට අලුත් අවස්ථා ලබාදෙන ආර්ථිකයක් හදනවා.
ගම්වල දරුවන්ට මේ විෂම චක්‍රයෙන් ගොඩ එන්න තිබෙන එකම පාර අධ්‍යාපනයයි. මේ පාසල්වල පහසුකම් වැඩි දියුණු කරන්න ඕනෑ. පාසල් විෂයන් වෙනසකට භාජනය කරනවා. ලෝකයේ ඕනෑම වෘත්තියකට ගැලපෙන නව අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ සෑම පාසලකම අපි බිහිකරනවා. එතකොට දරුවා තාත්තා හිටපු ලෝකයෙන් එළියට එනවා. මේ විදිහට අවුරුදු කිහිපයක් වැඩ කළොත් අපිට ඇත්ත ජීවිතයක් ලබාගන්න ආර්ථිකයක්, සමාජයක් නිර්මාණය කරගන්න පුළුවන්. පවුලේ අය එකට සතුටින් ඉන්න, විනෝදයෙන් ඉන්න ජීවිතයක් අද අපට නැහැ. ජීවිතේ ගත කරන්නේ නිරන්තර වැඩවල හිරවෙලා, පීඩනය වැඩිවෙලා. අපේ ගම්වල ජීවිත එහෙම තමයි. හැබැයි ඒගොල්ලන්ගේ ජීවිත එහෙම වෙලා නැහැ. එයාලට වෙනම ලයිෆ් එකක් තියෙනවා.
අපේ හැම පවුලකටම හොඳ ආදායම් මාර්ගයක් සහිත ආර්ථිකයක්, දරුවාට හොඳ අධ්‍යාපනයක්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හොඳ සෞඛ්‍ය සේවයක්, නොතෙමී ඉන්න හොඳ වාතාශ්‍රය සහිත නිවසක්, මානසික සුවයක්, මානසික නිදහසක් අවශ්‍යයි. ඒ අද මිනිස්සු විශාල ආතතියකින් ජීවත් වෙන්නේ. දවල්ට කෑවොත් රෑට කන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. දරුවට ඉගැන්නුවා, රස්සාවක් නැහැ කියලා කල්පනා කරනවා. දරුවා ගමනක් ගියොත් ගෙදර එනකම් කල්පනා කරනවා. කුඩු හැමතැනම, කොල්ලා ඒකට ගොදුරු වෙයිද කියලා කල්පනා කරනවා. 76 අවුරුද්දක් අපට ජීවිතය අහිමිකර තිබෙනවා. පොදු ජනතාවට හොඳ ජීවිතයක් ලබාගැනීම වෙනුවෙන් අපි පොදු ජනයාගේ ආණ්ඩුවක් හදන්න ඕනෑ. අපේ අපේක්ෂාව පොදු ජනතාවට වඩා හොඳ ජීවිතයක් උරුමකර දීමයි. අපි අලුත් ආණ්ඩුවක් හදමු. ඔබගේ උද්යෝගය, ඔබගේ ප්‍රබෝදය අපිට ධෛර්යක් ගෙනත් දෙනවා. සහතික වශයෙන් මේ සටන ජයග්‍රහණයෙන් කෙළවර කරන්න පුළුවන් කියලා අපි දැඩි විශ්වාසයක් තිබෙනවා.
(-Colombo, July 02, 2024-) පළාත් පාලන අපේක්ෂකයින් ආණ්ඩුකාරවර සම්බන්ධීකාරක නියෝජිත ලෙස පත් කිරීම මගින් මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට අද(02) පෙරවරුවේ ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නීතිඥ සුනිල් වටගල මැතිවරණ කොමිසම හමුවිය.
(-Colombo, July 02, 2024-)
පළාත් පාලන අපේක්ෂකයින් ආණ්ඩුකාරවර සම්බන්ධීකාරක නියෝජිත ලෙස පත් කිරීම මගින් මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට අද(02) පෙරවරුවේ ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නීතිඥ සුනිල් වටගල මැතිවරණ කොමිසම හමුවිය.
(-පුනරුදයට රටම එකට – ජාතික ජන බලවේගයේ කළුතර මහ රැලිය – 2024.06.29-) ජනාධිපතිවරණය පිළිබඳව අවිනිශ්චිතතාවයක් දෙගිඩියාවක් සැකයක් සාංකාවක් රට තුළ නිර්මාණය කළා. මීට පෙර ජනාධිපති ඡන්දෙට කල් තිබියදී ඊට කලින් ජනාධිපතිවරණය පැවැත්වූවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මහජනයාගේ ආණ්ඩුවක් සඳහා පොදු ජනතාව එකට එකතු වෙලා තිබෙනවා ඒ පිළිබඳව පාලක පංතිය කලබලවෙලා තිබෙනවා. ජනාධිපතිවරණ ඡන්දය නොතියා ඉන්න […]
(-පුනරුදයට රටම එකට – ජාතික ජන බලවේගයේ කළුතර මහ රැලිය – 2024.06.29-)
ජනාධිපතිවරණය පිළිබඳව අවිනිශ්චිතතාවයක් දෙගිඩියාවක් සැකයක් සාංකාවක් රට තුළ නිර්මාණය කළා. මීට පෙර ජනාධිපති ඡන්දෙට කල් තිබියදී ඊට කලින් ජනාධිපතිවරණය පැවැත්වූවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මහජනයාගේ ආණ්ඩුවක් සඳහා පොදු ජනතාව එකට එකතු වෙලා තිබෙනවා ඒ පිළිබඳව පාලක පංතිය කලබලවෙලා තිබෙනවා. ජනාධිපතිවරණ ඡන්දය නොතියා ඉන්න ගත් පියවරයන්, සාකච්ඡා දැන් අවසන් වෙලා තිබෙනවා. ජූලි මාසේ 17දා වන විට මැතිවරණ කොමිසමට බලය එනවා ජනාධිපති ඡන්දය ප්‍රකාශයට පත්කරන්න, නාම යෝජනා කැඳවන්න, ඡන්ද දිනය තීන්දු කරන්න. ඡන්දය වැළැක්වීම සඳහා ගත් පියවරයන් සියල්ල අසාර්ථක වෙලා තිබෙන්නේ.
දැන් ඒගොල්ලන්ගේ ඊළඟ පියවර වෙලා තිබෙන්නේ ඡන්දයට මුහුණ දීලා, ජයග්‍රහණය කිරීමට කුමන්ත්‍රණ දියත් කිරීම. ජනතාව සංවිධානය කරමින්, සංවිධානය කරමින්, ජනතාවට ආමන්ත්‍රණය කරමින් ඡන්ද ව්‍යාපාරයක් දියත් කරන්න රනිල් වික්‍රමසිංහ අද අපොහොසත් වෙලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමක් අද උත්සාහ දරමින් ඉන්නේ මාලිගය ඇතුලේ කුමන්ත්‍රණ දියත් කරමින් ඉන්නවා. අපි හොරණ මහජන ක්‍රීඩාංගණයේ ජනතාව අමතමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මාලිගාව ඇතුලේ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, මයන්ත, කාවින්ද එක්ක කතා කරමින් ඉන්නවා. තැන තැන ඉන්න කණ්ඩායම් එක තැනකට ගෙනත් මැතිවරණය මුහුණ දීම සඳහා සැලසුම් හදමින් ඉන්නවා. උඩ කරන මාලිගා කුමන්ත්‍රණවලින් ජනතාවගේ නැගිටීම ආපසු හරවන්න බැරි බව තමයි මේ හොරණ ජනතාව ඒකරාශී වීමෙන් පෙන්නුම් කරන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ කඳවුර, සජිත් ප්‍රේමදාස කඳවුර, ජාතික ජන බලවේගය නියෝජනය කරන කඳවුර ලෙස කණ්ඩායම් තුනක් ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා පෙළ ගැසී සිටිනවා.
සජිත් පේමදාසට ජනාධිපතිවරණයට තරග වදින්න එයාට තිබෙන එකම සුදුසුකම එයාම කියන ආකාරයෙන්, පේමදාසගේ පුතාවීම පමණයි. සජිත් පේමදාස ජනාධිපති පේමදාසගේ පුතෙක් නොවුණා නම්, මොනවගේ වේවිද? එයා හොරණ නගර සභාවේ මන්ත්‍රීකමකටවත් සුදුසු කෙනෙක් නොවෙයි. දැන් සජිත් ගැන කතා කරවා, එයාගෙම පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා. සජිත් කිව්වා එයාලගේ ආණ්ඩුවේ හොරකම් අල්ලන්න වැඬේ බාර දෙන්නේ සරත් ෆොන්සේකාට කියලා. අද ආණ්ඩුව හදන්න කලින්ම ෆොන්සේකා හොරෙක් අල්ලලා තියෙනවා. කැසිනෝ සල්ලි එන හැටි ගැන කිව්වා. ඒ නිසා සජිත්ගේ කඳවුර ගැන තවදුරටත් කතා කිරීමෙන් පලක් නැහැ.
එහෙත් රනිල්ගේ කඳවුර ගැන කතා කළ යුතුයි. ජනතාවගේ නැගිටීම මුළුමනින්ම පාවාදීලා, ජනතා අපේක්ෂාවන් මුළුමනින්ම විනාශයට පත්කරලා, පැරණි විනාශකාරී ගමනේම මේ රට ඇදගෙන යන්න කැස කවන්නේ රනිල් වික්‍රමසිංහ කඳවුරයි. පසුගියදා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනත් තමන්ට අයවැයෙන් වෙන්කරපු මුදල්වලට අමතරව කෝටි 875ක් වෙන්කර ගන්නවා. කාලය තව මාස දෙකයි. (ගහල යන්න තිබෙන බල්බ් එකක්.) මේ මහජනතාවගේ ධනය මුළුමනින්ම තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට යොදවන්න රනිල් වික්‍රමසිංහ සැලසුම්කර තිබෙනවා. දකුණේ ආණ්ඩුකාරවරයා අලුත් පත්වීම් ගණනාවක් දීලා තිබෙනවා. හිටපු ප්‍රාදේශීය සභාවේ සභාපතිවරුන්ට ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ තනතුරක්. ගොඩක් සභාපතිවරු පළාත් පාලන ඡන්දේ අපේක්ෂකයන් ඡන්දෙදි ඒ අය ආණ්ඩුවේ මුදල් වියදම් කරන්නේ කොහොමද? ව්‍යාපෘතිවලට යොදවන්නේ කොහොමද? ඒ ව්‍යාපෘතිය හදන්නේ කොහොමද? ඒවට මැදිහත් වෙන්නේ කොහොමද? කොන්ත්‍රාත් දෙන්නේ කාටද? තමන්ට ගානක් ගන්නේ කොහොමද? ඒකට දැන් ලක්ෂ්මන් යාපා හිටපු සභාපතිවරු පත්කර තිබෙනවා. මහජනයාගේ ධනය තමන්ගේ හෙන්චයියන් හරහා මැතිවරණ ව්‍යාපාරයට යෙදවීම සඳහා රනිල් කටයුතු කරමින් තිබෙනවා.
මහජනයාගේ ධනය උපයෝගී කරගෙන රනිල්ට පක්ෂ කණ්ඩායම්වලට විශේෂ මුදල් ප්‍රතිපාදන වෙන්කරමින් ඒ අය තමන්ගේ පැත්තට බිලීබාගන්න උත්සාහ කරනවා. විමධ්‍යගත අරමුදල්වලින් කෝටි 120ක් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 19 දෙනෙකුට දුන්නා. රිෂාඞ් බදුර්දීන්, චම්පික රණවක, හර්ෂ ද සිල්වා, මාන්නප්පෙරුම, මයන්ත දිසානායක, කාවින්ද ජයවර්ධන, අලවතුවල මේ ආදී කණ්ඩායමට දී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහජනයාගේ ධනය නාස්තිකරමින් ඉන්නවා. රනිල්ට ගමේ එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිතියක් නැහැ. ආසන සංවිධායකයෙක් නැහැ. ඒ හින්දා රනිල් ආණ්ඩු පක්ෂයේ ඉන්න අයටත්, ආණ්ඩු පක්ෂයේ නැති, තමන් තෝරාගත් මන්ත්‍රීවරුන්ටත් බාර් ලයිසන් දීලා, පෙට්ට්‍රල් ෂෙඞ්වල ලයිසන් දීලා මන්ත්‍රීවරුන්ගේ සහාය ගන්න උත්සාහ කරනවා. සජිත් ප්‍රේමදාස මෑත කිව්වා “මෑත කාලයේ බාර් ලයිසන් දීපු සියලුම බාර්වල ලයිසන් කැන්සල් කරනවා” කියලා. මම සජිත් පේමදාසගෙස් එකක් අහනවා “ඔයාට කියන්න පුළුවන්ද ඔයාගේ පක්ෂයේ කිසිවෙක් බාර් ලයිසන් ගත්තේ නැහැ” කියලා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදි, ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට, රටේ මූල්‍ය ආයතනවලට මුදල් විනය ගැන කතා කරනවා. මුදල් විනය ගැන කතා කරන රනිල් වික්‍රමසිංහ මහජනතාවට බදු ගහලා, දුෂ්කර තත්වයන් යටතේ මහජනයා ඒවා දරාගෙන එකතු කරගත් ධනය තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් යොදවන්න සැලසුම්කර තිබෙනවා. මේ මොහොතේ රනිල් කරන දේ බැලුවත් රනිල් වික්‍රමසිංහ පරාජය කළ යුතුමයි.
ජනතාවගේ ප්‍රාර්ථනය ‘වෙනසක්’ අවශ්‍යයි කියලා. උතුරේ දෙමළ ජනතාවත්, නැගෙනහිර මුස්ලිම් ජනතාවත්, දකුණේ සිංහල ජනතාවත් වෙනසක් අවශ්‍ය බව කියනවා. ගොවි ජනතාව, ධීවර ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව, ත්‍රී විලර් රියදුරන් හමුවුණාම කියන්නේ “මේ විදිහට තවදුරටත් යන්න බැහැ. වෙනසක් ඕනෑ” කියලා. ‘වෙනසක්’ බහුතර ජනතාවගේ අපේක්ෂාව. මොනවගේ වෙනසක්ද ඕනේ? රනිල් වික්‍රමසිංහට මේ වෙනස කළ හැකිද? පොහොට්ටු පාක්ෂිකයන් රනිල් වික්‍රමසිංහල සහාය දෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැහැ. හැබැයි පොහොට්ටුවේ කිහිපදෙනෙක් ප්‍රකාශ කර තිබෙනවා, රනිල්ට සහාය දෙන බව. ඒ අය කවුද? පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනාව, එයාර් පෝර්ට් එකේදි නිලධාරී මහතෙකුට පහර දුන්නු, අපචාර ක්‍රියාවලට සම්බන්ධ වුණු ගම්පහ ප්‍රසන්න රණවීර, කප්පම් ගැනීම හේතුවෙන් මහාධිකරණයෙන් අවුරුදු හතරකට ඇඟ බැඳ තිබෙන ගම්පහ ප්‍රසන්න රණතුංග, බන්ධනාගාරයට මහ රෑ ගොස්, සිරකරුවන් මිදුලට අරගෙන, පිස්තෝල ඔලුවට තියලා, දණ ගස්සලා, තර්ජනය කරපු, මහනුවර ලොහාන් රත්වත්තේ ඇමති, ඔබ දන්න, මීගම්වේ නිමල් ලංසා, නැගෙනහිර කරුණා, නැගෙනහිර පිල්ලෙයාන්, අලුත් වෙනසක් වෙනුවෙන් සහාය රනිල් වික්‍රමසිංහට. මේ කණ්ඩායම කවුද? රට වෙනස් කිරීම වෙනුවෙන් දායකත්වයක් රනිල් වික්‍රමසිංහ සහ ඔහු වටා එක්වෙන ත්‍රාඩ කණ්ඩායමට ලබාදෙන්න පුළුවන්ද? දැනටමත් ඉන්න වජිර අබේවර්ධන, වගේ අය පැරණි අසාර්ථක ගමන තවදුරටත් ඉදිරියට ගෙන යන්නයි මේ ත්‍රාඩ කණ්ඩායම සූදානම් වෙන්නේ. ඔය ත්‍රාඩ කණ්ඩයම වෙත බලය ලබා නොදිය යුතුයි යන අධිෂ්ඨානයට ජනතාව එන්න ඕනෑ. එහෙම නම් සජිත්ගේ කණ්ඩායමට දෙන්න ඕනද? පව්. ඒ ගැන වැඩිය කියන්න ඕන නෑ.
ජේ.ආර්. ජයවර්ධන රට පාලනය කළ පසු බෑනා බලය ඉල්ලනවා. ප්‍රේමදාස රට පාලනය කළා. දැන් ඔහුගේ පුතා බලය ඉල්ලනවා. මහින්ද රාජපක්ෂ රට පාලනය කළා. දැන් ලැහැස්ති වෙනවා පුතා බලය ඉල්ලන්න. අපේ රටේ දේශපාලන බලයේ සුක්කානම කැරකුණේ පවුල් කිහිපයක් අතේ. පැරණි, විනාශකාරී, දූෂිත ප්‍රභූ පෙළැන්තිය අතටම යළි බලය ඉල්ලන්න එනවා. ඔවුන් කිසිවෙකුටත් මේ රටට කිසිදු වෙනසක් කරන්න බැහැ. එය කළ හැක්කේ හොරණ මහජන ක්‍රීඩාංගණයට මේ අවස්ථාවේ රැස්වෙන ඔබ වැනි රට පුරා විසිරී සිටින ජනතාවටයි. අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙස සේවය කළ ඒ.පී.ඒ. ගුණසේකර මහතා මේ වේදිකාවේදී කීවේ කවදාවත් දේශපාලන වේදිකාවට නගින්න නොසිතූ බවයි. රවී සෙනෙවිරත්න මැතිතුමා, සම්පත් තුයියකොන්තා මැතිතුමා, මහාචාර්ය ලියනගේ අමරකීර්ති සොයුරා වගේ බොහෝ දෙනෙකු අද ඒ කතාවම කියන්නේ අපි හැමදෙනාටම මේ රට වෙනස් කිරීමේ වේදිකාවට ගොඩවෙන්න බල කර ඇති නිසයි. මේ කිසිවෙකුත් පැරණි අසාර්ථක දේශපාලන ගමනට මුක්කු ගැසූ ඔවුහු ඒ ගමන කර පින්නාගෙන ගිය අය නොවෙයි. අලුත් පිරිසක් එක්කරගෙන මේ රට ගොඩනැගීමේ මහා ජන බලවේගය ගොඩනගා තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණයි.
මල්වතු මහා නාහිමි හමුවූ අවස්ථාවකදී උන්වහන්සේ කියූ කතාවක් මට මතක් වෙනවා. 1970 සහ 1980 දශකවල උන්වහන්සේලා ඉන්දියාවට වැඩම කළ අවස්ථාවලදී කුඩයක් ඉහළාගෙන ගිය හොත් ඉන්දියානුවන් ඇවිත් කුඩය අතගා බලා පැහැර ගන්න උත්සාහ කරනවාලු. ඒ වගේම ඉන්දියාවට කලිසම් රෙදි ගෙනගිය හොත් එයාර් පෝර්ට් එකෙන් එළියට යනකොටම විකුණා අවසන් කළ හැකි වූ බව ව්‍යාපාරික මහත්මයෙක් කිව්වා. එසේ වූ ඉන්දියාව මේ කලාපයට අවශ්‍ය ඖෂධ, මෝටර් රථ, ආහාර නිෂ්පාදනය කරනවා වගේම තාක්ෂණයත් නිෂ්පාදනය කරනවා. හඳට යනවා. අපේ පාලකයෝ රටේ තිබුණු කර්මාන්ත පද්ධතියත් මුළුමනින්ම විනාශ කර දමා ඉතිරි වී තිබෙන ආයතනත් විකුණන්න උත්සාහ කරනවා. රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ගමන ඒක.
අපේ රටේ තිබෙන සම්පත් ඉතා හොඳින් උපයෝජනය කර ගනිමින් නව ගමනකට අලුත් වෙනසකට ගෙනයාමේ පරිවර්තනයක් අපි සිදු කරනවා. ඒ වෙනුවෙන් ලොව පුරා සිටින ශ්‍රී ලාංකික විද්‍යාඥයන් එක්වී අපේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති මාලාවේ මූලික කෙටුම්පත ඉදිරිපත් කළා. තමන්ගේ දරුවා කොයි මොහොතේ මත් උවදුරට ගොදුරුවේ දැයි බයෙන් සිටින සමාජය මුළු මනින්ම වෙනස් කර විද්‍යාව හා තාක්ෂණයේ නව ප්‍රබෝධයක් ඒ දරුවන්ට අත්කර දිය යුතුයි. මෙතෙක් අප කෙරෙහි විශ්වාසය නොතැබූ ජනතාවගෙන් 90%ක් පමණ දැන් අප වටා එකතුවී සිටීම රට ගොඩනැගීමේ ජයග්‍රහණයේ පළමු පියවරයි. ජනතාව වෙනස් වී රට ගොඩනැගීම සිදුකළ හැකියි. තමන් තුළ සිදුකර ගත් වෙනස රටේ ජයග්‍රහණයක් දක්වා යොදවන්න නම්, ජනාධිපතිවරණයේදී මාලිමා ජයග්‍රහණය කරවන්න ඕනෑ. මේ වන විට තමන් වෙනස් වී එසේ වෙනස් වූ කරුණු අනෙක් අය සමග සාකච්ඡා කරමින් යන විශාල පිරිසක් රට තුළ ඉන්නවා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නිරන්තරයෙන්ම සමාජය සමග සංවාදයක යෙදී සිටිනවා. ඒ එකතුවීමේ ජයග්‍රහණය රටටත් අනාගත පරපුරටත් අත්කර දීම තහවුරු කිරීම වෙනුවෙන් රොද බැඳගෙන පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා.
“මඩ ගහලා අවලාද ගහලා අපේ ව්‍යාපාරයේ ජයග්‍රහණය වළක්වන්න බැහැ”
-ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-
මේ පිටිය පුරා විසිරී සිටින අධිෂ්ඨානයෙන් යුතු ජනතාව දෙස බලන විට පැහැදිලි වෙන්නේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට තමන්ගේ පංගුව එකතු කරන්න හොරණ ආසනයේ ජනතාව සූදනම් කියන එකයි. මේ වන විට ජනාධිපති සටන පටන්ගෙනයි තිබෙන්නේ. එක පැත්තකින් සජිත් පේමදාස මහත්තයා කාගෙන් හරි සල්ලි ටිකක් අරගෙන පාසලකට බස් එකක් හෝ පන්ති කාමරයක් ලබාදී ළමයි එකතු කරගෙන, ‘මිත්‍රවරුනි’ කියලා දේශපාලන කතා පවත්වනවා. ෆොන්සේකා මහත්තයා එයාට වැටෙන්න කඳ හරහා ගහපු නිසා මේ දවස්වල කතා අඩුකරලා තිබෙන්නේ. අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ රාජ්‍ය බලය යොදවලා දිස්ත්‍රික් සංවර්ධන සභා කමිටු කැඳවමින් තව පැත්තකින් අල්ලස් දීලා මන්ත්‍රීවරු ගන්න ක්‍රියාකරමින් ජනතාවට බඩු සහ ඉඩම් ඔප්පු බෙදමින් යනවා.
රනිල් වික්‍රමසිංහ ජනතාවට හැමදාමත් අනාගතය ගැන කියමින් ඉන්නවා. ඔහු අනාගතය වෙනුවෙන් හැමදාමත් කියූ කිසිම දෙයක් ඉටුවී නැහැ. මීට කලකට පෙර අපේ රටේ තරුණ තරුණියන්ට රත්තරං බ්රේස්ලට් පැළඳිය හැකි තත්වයක් ඇති කරන බව කීවා. නමුත් අන්තිමටම ගෙදර අම්මලාගේ සහෝදර සහොදියන්ගේ රත්තරං බඩු ටික බැංකුවලට සින්න වෙලා ගියා. ඊට පස්සේ කිව්වා රට පුරා වයිෆයි කලාප ඇති කරනවා කියලා. අන්තිමට සිදුවී තිබෙන්නේ රුපියල් 100/- ඬේටා කාඞ් එකක් දාගන්න බැරි වීමයි. 2020වන විට ලංකා ණය බරින් නිදහස් කරන බව කලින් කීවා. තව අවුරුදු හතරකින් ණය ගෙවන්න පටන් ගන්න බව දැන් කියනවා. ඉස්සර ගුවන් විදුලියේ ගීතයෙන් ගීතය කියලා වැඩ සටහනක් තිබුණා වගේ රනිල් වික්‍රමසිංහ දැන් කියන්නේ බොරුවෙන් බොරුව. එක බොරුවක් කියලා ඒක අමතක වෙද්දී තව බොරුවක් කියනවා මුල් බොරුව ජනතාවට අමතක කරනවා. බොරුවෙන්මයි යන්නේ. ඔවුන් යමක් කරයි කියලා විශ්වාස කළ කාලයේ ජනතාව ඒ බොරු පිළිගත්තා. අපේ රටේ ජනතාව එවැනි බොරුවලින් රැවටිය නොහැකි බව දැන් ඔප්පුකර තිබෙනවා. බොරු කරපු, බොරු කියපු සියලු දෙනාම තමන්ට ලැබෙන පළමු අවස්ථාවෙන්ම පරාජය කරන්න ජනතාව දැන් සූදානම්.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ගැන කිසිකෙනෙක් සැකයක් තියා ගන්න එපා. අපි කිසි කෙනෙක් හදිසියේ ඡන්දයට කඩා පාත් වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ කරන්නේ ඇහින්දාස් ක්‍රමයට පිරිසක් ගලවා ගන්නයි. පොහොට්ටුවෙන්, සමගි ජන බලවේගයෙන් වගේම තවත් එහෙන් මෙහෙන් එකතු කරගෙන අටවා ගන්න උත්සාහ කරනවා. මහින්ද රාජපක්ෂලාට එහෙම එකක් වත් නැහැ. සජිත් ප්‍රේමදාසත් තමන්ගේ පිරිස රැක ගනිමින් ඉදිරියට යන්න උත්සාහ කරනවා. ජාතික ජන බලවේගයේ අපි කොළඹදී ජාතික සමුළුව පවත්වා ඉන්පසුව දිස්ත්‍රික් සමුළු පවත්වා ආසන සමුළු පවත්වා විධායක සභා සහ සංවිධාන මණ්ඩල පත්කර ගනිමින් ක්‍රියාත්මක වූනා. අවසන් වශයෙන් ග්‍රාමසේවා කොට්ඨාශ මට්ටමින් කොට්ඨාශ සභා පිහිටවූවා. මේ ආකාරයට දැවැන්ත සංවිධාන ජාලයක් වටා මේ රට වෙනුවෙන් කැපවී ක්‍රියාකරන්න සූදානම් එක්සත් ජාතික පක්ෂයේ පොහොට්ටුවේ සියලු දෙනා එකතු කර ගත්තා. එතනින් නතර නොවී කාන්තාවක් එකතුකර ගනිමින් “ගැහැනු අපි එක මිටට” සංවිධාන ගොඩනැගුවා. දස දහස් ගණන් කාන්තා බලවේග සංවිධාන දේශපාලනයට එකතු කර ගත්තා. ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකය, විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ එකතුව, නීතිඥවරුන්ගේ එකතුව, වෛද්‍යවරුන්ගේ එකතුව, ඉංජිනේරුවන්ගේ එකතුව ඇතුළුව සියලු බලවේග උඩින් වගේම බිම් මට්ටම දක්වා එකතු කර ගනිමින් රට පරිවර්තනය කළ හැකි මහා ජන බලයක් ගොඩනැගුවා. අපේ රටේ පොදු ජනතාව මාලිමාව දිනවනවා කියන විශ්වාසයෙන් කටයුතු කරනවා.
අපට විතරක් නොවෙයි, රනිල්ටත් විශ්වාසය තිබෙනවා මාලිමාව දිනනවා කියලා. රනිල්ට මේ ජනාධිපතිවරණය පහසුවෙන් දිනන්න හැකි නම්, ජනාධිපතිවරණය කල් දැමීමට ක්‍රම සොයන්නේ නැහැ. ඔවුන් ජනාධිපතිවරණයෙන් පළා යාමට උත්සාහ කිරීමෙන් තහවුරු වන්නේ මාලිමාවේ ජයග්‍රහණය තහවුරු වී තිබෙන බවයි. අපි මාලිමාව දිනවන්නේ මේ තිබෙන ආණ්ඩු වෙනුවට ආණ්ඩුවක් හදන්න හෝ දැන් ඉන්න ජනාධිපතිවෙනුවට වෙන ජනාධිපති කෙනෙක් පත් කරගන්න විතරක් නොවෙයි. අපි ගොඩනගන ආණ්ඩුවට විතරක් කළ නොහැකි අපි හැමෝම එකතු වී ගැඹුරු සමජ වෙනසක් සිදුකරමින් රට ගොඩනැගීමේ අභියෝගයක් අප ඉදිරියේ තිබෙනවා.
ජාතික පුනරුද යුගයක් අපි ඇති කරන්න ඕනෑ. ලෝකයේ රටවල් වේගයෙන් ඉස්සරහට ගියත්, සිටි පාලකයන් පසුගිය සියවසේදී අපේ රට ගෙනගියේ ආපස්සට. නිදහස ලබන විට ආසියාවේ දෙවැනි ශක්තිමත්ම ආර්ථිකයක් තිබුණු ලංකාව අද ආසියානු ආර්ථිකයේ අන්තිමයා. නිදහස ලබන විට විදේශවලට ණය නොවී තිබුණු ලංකාව අද ණය ගෙවා ගන්න බැරිව බංකොලොත් වෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පස්සෙන් ගිහිල්ලා කෙඳිරි ගගා ණය ආපසු ගෙවීම කල්දමාගෙන තිබෙනවා. අපිට අතීතයේ දැවැන්ත ශ්‍රී විභූතියක් තිබුණු බව අපි කවුරුත් දන්නාව. නව පාලකයන් කළේ නැවත පැරකුම් යුගයක් ගොඩනගමු කියලා මායාවක් ඉදිරි පත් කළා. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ දුටු ගැමුණු ගැන චිත්‍රපටි හදලා අතීතයට ගෙන යන්න උත්සාහ කළා.
මැලේසියාව කෘෂිකර්මාන්තයේ අලුත් බීජ සොයා ගනිමින් ඉදිරියට යන කොට අපේ රටේ මැලේසියාවෙන් ගෙන් වූ දේවල් පාර අයිනේ විකුණන තත්වයට පත් වුණා. මැලේසියාවේ සියඹලාත් තිබෙනවා. අනෙකුත් රටවල් විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රයේත් පිමි පනිමින් යනකොට, පාලකයන් විසින් අපේ රටට විසිවැනි සියවස මගහරිනු ලැබුවා. ඒ නිසා 21වැනි සියවස වෙනුවෙන් අපේ රටට පුනරුද යුගයේ පිම්මක් පනින්න ඕනෑ. ඒ නිසා මෙය ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන හෝ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන මැතිවරණයක් නොවයි. රට පිම්මක් පැනීම වෙනුවෙන් සියලු බලවේග එක්කර ගන්නා අවස්ථාවක්. ඒ වෙනුවෙන් සමස්ත ජනතාවම සම්බන්ධ කරගත් ජන සහභාගිත්ව නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟනවා. සියඹලාණ්ඩුවට, වව්නියාවට, කිලිනොච්චියට නොගිය සංවර්ධනය ජනතාව කරා ගෙනියන්න ඕනෑ. පහළ සිටි උඩට වගේම කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා ජනතාවට සාධාරණ ලෙස බෙදී යන යාන්ත්‍රණයක් ගොඩනඟන්න ඕනෑ. රටේ ජනතාවගේ ජීවන තත්වය උසස් කරන තුරු සහන ලබාදී සහන නොමැතිව දෙපයින් සිටිය හැකි ජනතාවක් මේ රටේ බිහිකරනවා. මේ කටයුතු කරන්න ගියාම අපෙන් නිතර අහන ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.
ජේ.වී.පී. සහ එන්.පී.පී. එක ගැන ප්‍රශ්නකරන ගොඩක් දෙනෙකුට මේ මහජන ව්‍යාපාරය තේරුම් ගන්න බැහැ. මෙයට පෙර තිබෙන්නේ ඡන්දයක් කිට්ටු වෙද්දී සංධාන පිහිටුවාගෙන මන්ත්‍රී ධුර, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර වගේම ඇමති ධුර බෙදාගන්න දේශපාලනයක්. අපට මොනවාද දෙන්නේ? කියලා අහන කිසිවෙකුත් එන්.පී.පී. වේදිකාවල නැහැ. අපි ඔක්කෝම එකතු වෙලා රටට යමක් කරන්නේ කොහොමද කියලා අධිෂ්ඨානය තිබෙන පිරිසක් අප වටා එකතුවී ඉන්නවා. පුනරුද යුගයේ ප්‍රධාන කටයුත්තක් ලෙස ශ්‍රී ලාංකික ජාතිය ගොඩනඟන්න තිබෙනවා. ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගුනාම සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජනතාවන්ගේ අනන්‍යතාවයන් ඒ තුළ ආරක්ෂා වෙනවා. මාලිමාව නිර්මාණය වී තිබෙන විවිධ සංවිධානවල අනන්‍යතාව වෙන වෙනම තිබියදී, බිඳ වැට්ටූ රට ගොඩනැගීමේ පුනරුද යුගයේ කාර්යභාරය වෙනුවෙන් අපි සියලු දෙනා එක්වී කැපවී සිටිනවා. මේ වගේ බලවේගයක් වෙන කාටවත් නැහැ. වරාය හා නාවික ඇමති ධුරය රෝහිත අබේගුණවර්ධන වැනි කෙනෙකුට දුන් අය, අපේ ආණ්ඩුවක ඇමති මණ්ඩලයට පත්කරන්න අයගේ සුදුසුකම් අහනවා. මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමතිවෙලා සිටි සමයේ ක්ෂුද්‍ර ජීවීන් නැති කාබනික පොහොර චීනයෙන් ගේනවා කිව්වා. නමුත් මාලිමාව වටා එක් එක් ක්ෂේත්‍රවල ඉහළම හැකියාවන් තිබෙන වෘත්තිකයන් පෙළ ගැසී සිටිනවා.
අපි සම්බන්ධයෙන් කලබලවී සිටින සතුරන් අපේ කතා විකෘති කරමින් ජනතාව බිය ගන්වන ප්‍රචාර යවනවා. අපිට ගල් ගහලා මඩ ගහලා වට්ටන්න බැරි බව සතුරන්ට අවධාරණයෙන් මතක් කරනවා. අපේ කතා විකෘති කර, ප්‍රචාරය කිරීම නිසා කළබල වෙන අයට අපි සම්පූර්ණ කතාව බලන්න කීවාම අපේ කතා අඩංගු වීඩියෝ සම්පූර්ණයෙන්ම අහන අය වැඩිවෙනවා. ඒ තුළින් වඩා හොඳින් ඇත්ත අවබෝධ කර ගන්නා ජනතාව ඔවුන්ව අත්හැර අප වටා එකතු වෙනවා. අපට මඩ ගහන රූපවාහිනී නාලිකා වේගයෙන් ප්‍රතික්ෂේප කෙරෙමින් යනවා. අපට මඩ ගහන යූ ටියුබ් නාලිකා ජනතාවගෙන් වේගයෙන් ප්‍රතික්ෂේප වෙමින් යනවා. මඩ අවලාදවලින් මේ ජන ගඟ නවත්වන්න බැරි බව තහවුරු වී තිබෙනවා. “බාධක දැක පෙරමුණේ – මොන නදියද නැවතුණේ” කියලා කතාවක් තිබෙනවා. ගංඟාවක් ගැලීම බාධක නිසා නතර වෙන්නේ නැහැ. මාලිමාව සියලු බාධක මැඩගෙන ඉදිරියට යනවා. අපි හැමෝම ජනාධිපතිවරණය දක්වා එකට එකතු වී කිසිවෙකුට පරාජය කළ නොහැකි මහජන ප්‍රවාහය ගොඩනඟා පෙරටම යන්න ඕනෑ. ජයග්‍රහණය තිබෙන්නේ අපි අතේ. අතීතය සතුරන් සතුවේ. අනාගතය මහජනතාව සතුවේ. අපි හැමදෙනාම එකතු වී පොදු ජනතාව දිනවමු. ජනාධිපතිවරයෙක් පත්කරගෙන ජනතාවාදී පාලනයක් පිහිටුවා රට දිනවමු.
“පුනරුද යුගය තුළ පුරවැසි ඉතිහාසය ලිවීමේ අයිතිය ලැබෙන්නේ පුරවැසියන්ටමයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය-
අපි එදා සිතුවා රට පාලනය කළ නායකයන් අපේ සිහිනත්, බලාපොරොත්තුත් විනාශ කළා කියලා. අද ඒක වෙනස් වෙලා. ඒ වෙනස කළේ ඔබ. නමුත් රටේ පාලකයන් වෙනස් වෙලා නැහැ. ඒ දූෂිත, ජඩ දේශපාලනය ඉවර කිරීම සඳහා මේ රටේ පුරවැසියන් හැටියට එක අරමුණකින්, සාමූහිකව එකතු වෙලා අපි සියලු දෙනා තුළම නැවත වතාවක් බලාපොරොත්තු ඇති කර තිබෙනවා; සිහින දකින්න අවස්ථාවක් උදාකර තියෙනවා. නැවුම් බලාපොරොත්තු සහිතව, මේ රට ගොඩගැනීම සඳහා අපට එකතු වෙන්න පුළුවන් වෙලා තියෙනවා.
අපේ බලාපොරොත්තු මොනවාද? මේ දුෂ්ට පාලනය වෙනස් කරලා, මේ රටේ ඉතිහාසයේ පළමුවැනි වතාවට ජනාධිපති සහෝදරයෙක් අපිට පත්කර ගන්න අවස්ථාවක් ලැබී තිබෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා ජනාධිපති ලෙස පත්වෙලා පැය 24ක් යාමට පෙර පාර්ලිමේන්තුව විසුරුවන බව ප්‍රකාශ කර තිබෙනවා. එවිට දූෂිත පාර්ලිමේන්තුව සුද්ද කරලා අපට අවශ්‍ය පරිදි, ජනතාවාදී, ජනතාව ගැන හිතන අලුත් මහජන නියෝජිතයන් පත්කර ගන්න, අවස්ථාවක් උදාවෙනවා. මේ කරුණු දෙක සම්පූර්ණ කර ගත්තාට පසුව රට හදන වැඩේ පටන් ගන්න අපට හැකිවෙනවා.
පළමු වැනි දිනයේ සිට අපේ ක්‍රියාකාරකම්වල, අපේ භාවිතයෙන් අලුත් දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කර ගන්නවා. දේශපාලනඥයාගේ සීමාව තේරුම් ගන්න දත්ත විද්‍යාව මත ජනතාව පෙරදැරි කරගත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති හදන දේශපාලන සංස්කෘතියක් අපි ආරම්භ කරනවා. දේශපාලනය කියන්නේ වරප්‍රසාදවලට කෑදරකමින් ඉන්න තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රය වෙනුවෙන් වැඩකරනවා වෙනුවට, ජනතාවට අවංකව සේවය කරන ජනතාවට වග වෙන රාජ්‍ය යාන්ත්‍රණයක් අපි පත්කරනවා. ඒ යාන්ත්‍රණය හරහා අලුතින් නිර්මාණය කරන අලුත් බලාපොරොත්තු එක්ක සාමූහික ප්‍රතිපත්තිවලට අනුව වැඩකරන නිලධාරීන් සමග දේශපාලන නායකත්වය ඒකාබද්ධ කොට මේ රට ක්‍රමානුකූලව ගොඩනැගීමේ පුනරුද යුගය අපි ආරම්භ කරනවා.
අලුත් ආර්ථික ක්‍රමවේදයක් අපිට අවශ්‍යයි. ජනතාව කේන්ද්‍රීය කරගත්, ජන සහභාගිත්වය ලබා ගන්න, නිෂ්පාදනය වැඩිකරන ආර්ථිකයක් අපට අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය වන දත්ත, ප්‍රතිපත්ති, විද්‍යාත්මක පර්යේෂණ, කරන්න පටන් ගන්න ඕනෑ. ඒ අවශ්‍යතාවය මූලික කරගෙන ලංකාවේ පළමුවැනි වතාවට විද්‍යාඥයන් විශාල සංඛ්‍යාවක් එකතුවෙලා රටේ සංවර්ධනයට අවශ්‍ය පර්යේෂණ මොනවාද යන්න සාකච්ඡා කරන්න අපේ පර්යේෂණ ප්‍රතිපත්ති අපි එළිදැක්වූවා. එවැනි ආර්ථිකයක අපි සියලු දෙනාගේ සහභාගිත්වය ලබාගෙන ශක්තිමත් ආර්ථියක් අපි ගොඩනඟනවා. මේ රටේ 52%ක් වන ගැහැනුන්ට, තමන්ගේ සුරැකුම් වැඩවලට වටිනාකමක් දෙන, සමාජ වගකීමක් අරගෙන තමන්ගේ රැකියාවන් නිදහසේ කරන්න හැකිවෙන රාජ්‍ය මැදිහත්වීම් තුළින් ඒ සුරැකුම් වැඩවල බර අඩුකරමින් ඒ හදන ව්‍යුහය තුළ, කාන්තාවන්ට මේ ආර්ථිකයේ සමාන කොටස්කරුවන් විය හැකි ආර්ථිකයක් අපි ගොඩනඟනවා. ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ අපි සියලු දෙනාටම සාධාරණය භුක්ති විඳීමට හැකි ක්‍රමවේදයක් අපි සකස් කරනවා. ඒ සියල්ල කරන්න අපේ මානව සම්පත රැකගන්න ඕනෑ. මහජන සේවාවන් තුළින් ජනතාවට සේවයක් වන, ජනතාවට විශ්වාසයක් ඇතිවෙන ආකාරයෙන් මහජන සේවාවන් ලැබෙන ආකාරයේ පරිවර්තනයක් අපි සකස් කර ගත යුතුයි.
අධ්‍යාපනය ලබන දරුවෙකු පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා අරමුණක් සහිතව රැක ගනිමින්, සමාජ වගකීම ලැබෙන, සමාජයෙන් තමාට ලැබෙන වගකීම ගැන ආකල්ප වර්ධනයක් ඇති කරන, ආර්ථිකයට සම්බන්ධ වීමට අවශ්‍ය කුසලතා ලබා ලබාදෙන, සමාජ සංවර්ධනයට සහභාගි විය හැකි තත්වයක් ගොඩනගනවා. සමාජයට නායකත්වය දෙන්න පුළුවන් වන පුරවැසියෙක් බිහිකරන අධ්‍යාපනයක් අපි ක්‍රමානුකූලව ලබා දෙනවා. නිරෝගී පුරවැසියෙක් බිහිකරන, ආරක්ෂා කරන සෞඛ්‍ය සේවයක් අපි ගොඩනගනවා. මහජනතාවගේ අවශ්‍යතාවයන් අනුව, ජනතාවට සංවේදී වන, මහජන ප්‍රවාහන සේවයක් අපි හදනවා.
අපේ ගැහැනුන්ට විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙන ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගත යුතුයි. කිසිවෙකු කුසගින්නේ ඉන්න ඉඩ නොතබන අතර, පෝෂණයෙන් සම්පූර්ණ වූ, ආහාරවල ගුණාත්මකභාවය ගැන සැකයෙන් ජීවත් වෙන්න ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම අපට ශක්තිමත් සමාජ ආරක්ෂණයක් අවශ්‍යයි. සමාජයේ සියලුම කොටස් ආබාධිත සහිත වූවන්, විශේෂිත උදව් අවශ්‍ය වන ගැහැනුන්, දරුවන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සියලු දෙනා ආරක්ෂා වෙන ආයතන පද්ධතියක් අපට අවශ්‍යයි. කිසිවෙක් අසරණ විය යුතු නැහැ. සියලු දෙනා වෙනුවෙන් වගකියන, සියලු දෙනා රැකගන්නා, සමාජ ආරක්ෂණයක් අපි ගොඩනඟනවා. ඒ වගේම මේ රටට නීතියේ ආධිපත්‍යය අවශ්‍යයි. කිසිවෙකුට හෝ වෙනස්කොට නොසලකන, නීතියේ ආධිපත්‍යය, යුක්තිය, සාධාරණත්වය තහවුරු කරන නීති පද්ධතියක්, අධිකරණ ක්‍රියාවලියක් අපි හදනවා. මේ සියල්ල කර ගැනීම සඳහා අපට ශක්තිමත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒ ව්‍යවස්ථාව තුළ ජනතා පරමාධිපත්‍යයට මුල්තැන දෙන, ප්‍රජාතන්ත්‍රවාදයේ පුළුල්ම අර්ථය දෙන ආකාරයෙන් සකස් කරනවා. ශ්‍රී ලංකා පුරවැසියෙක් කියන්නේ මැතිවරණයකදී කතිරයක් ගහන එක්කෙනෙකුට එහා යන තමන්ට පාලනයට ඍජුව සම්බන්ධ විය හැකි, තමාගේ පරමාධිපත්‍යය ක්‍රියාවට නැංවිය හැකි, තමාගේ මූලික අයිතිවාසිකම් තහවුරු වෙන, ආරක්ෂා වෙන අලුත් ව්‍යවස්ථාවක් හදන ක්‍රියාවලිය අපි ආරම්භ කරනවා.
අපි දශක ගණනාවක් ලේ වැගිරූ රටක්. ඒවාට මූලයක් වූ ජාතික අසමගිය වෙනුවට ජාතික සමගිය අපි ඇති කරනවා. කිසිදු පුරවැසියෙකුට වෙනස් කොට නොසලකන, දෙවන ගණයේ පුරවැසියෙක් ලෙස හැඟෙන්නේ නැති සියලු දෙනාටම ශ්‍රී ලාංකේය අනන්‍යතාවයක් සහිතව තමන්ගේ සංස්කෘතික අයිතිවාසිකම්, භාෂාව, ආගම අභිමානයෙන් රැක ගත හැකි සමාජයක් අපි ගොඩනඟනවා. සියලු දෙනාම පිළිගන්න, සමාජය තුළ තිබෙන විවිධත්වය ඇගයිය හැකි ජාතික සමගියක් සහිත රටක් අපි ගොඩනඟනවා.
අපි බලාපොරොත්තුවෙන පුනරුදය, ගැඹුරු සමාජ පරිවර්තනය කියන්නේ ජනතාවගේ යුගය ආරම්භ වන කාලයයි. අපි වසර 2500ක ඉතිහාසයක් ගැනත් වසර 75ක ඉතිහාසයත් ගැන කතා කළා. අපිට කියවන්න, අහන්න ලැබෙන්නේ පාලකයන්ගේ පැත්තෙන් ලියැවුණු ඉතිහාසයක්. ඒ ඉතිහාසයේ වීරයන් වීරවරියන් බවට පත්කරලා තිබෙන්නේ පාලකයන්, නැතිනම් ප්‍රභූ පැළැන්තියේ අය. රජවරුන්ගේ, සිටුවරුන්ගේ, ජනාධිපතිවරුන්ගේ කතා අහන්න ලැබෙනවා. අගමැතිවරු, ඇමතිවරු ගැන දන්නවා. මේ රටේ ඇත්තම වීරවරුන් වීරවරියන් වන්නේ මේ රටේ ජනතාවයි. සියලු අර්බුද දරාගනිමින්, ඒවාට මුහුණ දෙමින්, රට වැටෙන්න නොදී අල්ලාගෙන ගියේ මේ රටේ ජනතාව, මේ රටේ පුරවැසියන්. නමුත් පුරවැසියන්ගේ ඉතිහාසය ගැන අහන්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ පුනරුද යුගය තුළ අපි ලියන්නේ පුරවැසියන්ගේ ඉතිහාසය. ඒ ලිවීමේ අයිතිය පුරවැසියන් ලබා ගන්නවා. 2024න් පසුව අපි ආරම්භ කරන්නෙත් පුරවැසියන් බාර ගන්න, පුරවැසියන් ලියන, පුරවැසියන් නිර්මාණය කරන ඉතිහාසයක්. ඒක තමයි පුනරුද යුගය තුළ සිදුවෙන විශේෂිතම දෙය. ප්‍රභූ පැළැන්තියෙන් මිදුණු පුරවැසි යුගයක් අපි ආරම්භ කරනවා. ඒ වෙනුවෙන් තමයි, ඒකෙ කොටස්කරුවන් වන ඔබ සියලු දෙනා මෙතනට එකතු වී සිටින්නේ. ඒ පුනරුද යුගය ළඟාකර ගැනීම සිහිනයක්, බලාපොරොත්තුවක් පමණක් නොවෙයි, එය යථාර්ථයක්, අත්දැකීමක්, අපේ ජීවිතය බවට පත්කර ගනිමු.
“ලංකාව පුනරුදය කරා ගෙනයාමේත් ඊට නායකත්වය දීමේත් හැකියාව මාලිමාව සතුයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය ලියනගේ අමරකීර්ති-
නිලන්ති සහෝදරිය ‘උබුන්ටු’ වචනය කියන කොට මගේ දෙසවනට සංගීතය වගෙයි. දකූණු අප්‍රිකානු ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවේ ‘උබුන්ටු’ කියන වචනය නොදියුණු ගෝත්‍රික වචනයක් නොවෙයි. මානව සහෝදරත්වය පිළිබඳ උණුසුම් වචනයක්. මේ තමයි අපේ උබුන්ටු. මේ තමයි අපේ සහෝදරත්වය. මේ තමයි අපේ අනෙකා පිළිබඳ කැපවීම, කැක්කුම.
අද මම මෙතන කතා කරන්නේ ඉතාම ආත්මාර්ථකාමී ආශාවකින්. මම වැඩිහිටි වියේ පසුවෙන්නෙක්. මට වුණු හිරිහැරයකින් නිදහස් වෙන්න මට ආසයි. ඒක මගේ ආත්මාර්ථකාමී ආසාවක්. රූපවාහිනිය බලනකොට, පත්තරයක් කියවනකොට මගේ වැඩිහිටි ජීවිතය පුරාම ඇස් දෙකට හිරිහැරයක් වුණු කරදරයකින් නිදහස් වෙන්න මට ආසයි. ප්‍රවෘත්ති අහනකොට කණට හිරිහැරයක් වුණු කන් කරච්චලයකින් නිදහස් වෙන්න මට ආසයි. මගේ දෙසවන් වේදනාවට පත්කරන කරදරය කුමක්ද? මේ රටේ පාර්ලිමේන්තුවේ, ප්‍රධාන දේශපාලන පක්ෂවල ඉඳගෙන මේ රට පාලනය කරන මිනිස්සුන්ගේ මුහුණු කටහඬවල් පුදුමාකාර හිංසනයක්. ඔක්තෝබර් මාසෙ, ඒ හිංසනයෙන් මිදෙන්න මට අවශ්‍යයි. මේක ආත්මාර්ථකාමී ආශාවක්. ඔබ හැමදෙනා තුළ එවැනි ආත්මාර්ථකාමී ආශාවක් නැද්ද? ඒ තමයි අපේ උබුන්ටු. ඒ තමයි සහෝදරත්වය. ඒ තමයි රට වෙනුවෙන් කැක්කුම. ඒ තමයි අනෙකා පිළිබඳ කැක්කුම. ඒක සාමූහික ආශාවක්. සාමූහික ප්‍රාර්ථනයක්. සාමූහික සිහිනයක්. අනුර කියන්නේ අපේ සාමූහික සිහිනයේ අනුරුව. අපේ සාමූහික ආශාවේ අනුරාගය. අපේ ප්‍රාර්ථනාවේ අනු කෘතිය.
ලංකවේ දේශපාලන ක්ෂේත්‍රයේ මේ වෙලාවේ ඉන්න ඉතාම පරිපූර්ණ, දැක්මක් ඇති දේශපාලනඥයා ඔහුයි. ඔහු අපේ නායකයා. ඔහු අපේ හදවත. ඉදිරි මාස කිහිපය තුළදී ඒ අනුරුව හඹා යමු. අලුත් ලංකාවක් පිළිබඳව සිහින දකින ආශාවට හැකියාව, දැනුම එක්කරමු. අපේ සිහිනයට ප්‍රඥාව එකතු කිරීමේ, සබුද්ධිකත්වය එකතු කිරීමේ ආශාව තමයි ජාතික ජන බලවේගයේ සාර්ථකත්වයත්, අනුර සහෝදරයාගේ සාර්ථකත්වයත්. මේ රටේ කීර්තිමත් අනාගතය දෙස බලා ඉඳිමු. ඒ අනාගතය වර්තමානය බවට පත්වෙන දිනය ආසන්නයි. ජාතික ජන බලවේගයේ එක ශක්තියක් තමයි ප්‍රඥාවේ මූලාශ්‍ර තිබෙන්නේ කොහේද, ඒ ඕනෑම තැනකින් උකහා ගැනීමේ විවෘතභාවය, සුඛ නම්‍යතාවය අපට තිබෙනවා. ඒක එක ශක්තියක්. ලංකාවට පුනරුදයක් අවශ්‍යයි. ලංකාව පුනරුදය කරා ගෙනයාමේ හැකියාවත් නායකත්වයත් දීමේ හැකියාවත් අපට තිබෙනවා.
පුනරුදයකරා යාමට මනුෂ්‍යත්වයට එරෙහි පාපයන් 11 පරාජය කිරීම අවශ්‍යයි. යුක්තිය මත පදනම් වූ ප්‍රතිපත්තිමය මූලධර්මයන් නැති දේශපාලනය අපි පරාජය කළ යුතුයි. ඒ ප්‍රතිපත්තිමය පදනමක් නැති දේශපාලනය පාපයක්. ඒ පාපය අපි ගාව නැහැ. දෙවැනි පාපය විනෝදය. අපේ රටේ දේශපාලකයෝ, ජනාධිපති පුත්තු කොවිඩ් 19 ඇතුලේ, සාගතය ඇතුලෙ මුහුදු ක්‍රීඩාවලට ගිහින් හිටියා. ඒ විනෝදය පාපයක්. දේශපාලකයන්ගේ රාත්‍රී ජීවිතය බැලුවොත් හෘදය සාක්ෂියක් නැති විනෝද ජීවිතයක්. වැඩ කිරීමෙන් තොර ධනය පාපයක්. ජාතික ජන බලවේගයේ සාර්ථකත්වයට හේතුවක් තමයි, මේ රටේ දේශපාලන පංතියේ චෞර වළල්ල ගැන අනුර සහෝදරයා විසින් හෙළිදරව් කිරීම. ඒ පාපය පරාජය කිරීමේ ශක්තිය හැකියාව තිබෙන්නේ ජාතික ජන බලවේගයටයි. චරිතයෙන් තොර දැනුම, හතරවැනි පාපය. ජනතාව සමග සාමූහික විමුක්තිය පැත්තේ හිටගන්න චරිත ශක්තිය නැත්නම් ඒක දැනුමක් නොවෙයි. ඒක චරිතයෙන් තොර දැනුම. පස්වැනි පාපය ආචාරධර්මවලින් තොර ව්‍යාපාර. අපේ සාමාන්‍ය මනුස්සයා කුසගින්නේ මැරෙද්දී, ලෙඩරෝගවලින් මැරෙද්දී, ඔවුන් වෙනුවෙන් ගේන ඇන්ටිජන්වලින් හොරාකන ව්‍යාපාරිකයා ආචාරධර්ම නැති, හොඳ නරක පිළිබඳ තර්කනයක් නැති ව්‍යාපාරිකයෙක්. හයවැනි පාපය මනුෂ්‍යත්වයෙන් තොර විද්‍යාව. මේ විද්‍යාවෙන් ඵලයක් තිබෙනවාද, ඒක මනුෂ්‍යත්වයට, පොදු සහෝදරත්වයට සේවය කරන්නේ නැතිනම්. ඒක තමයි අද විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති එළිදක්වන වෙලාවෙදි විද්‍යාඥයන් ඇහුවේ. කරුණාවෙන් තොර ආගම හත්වැනි පාපය. බෞද්ධ ආගම හෝ වෙන ආගමක් හෝ විය හැකියි. වගකීමෙන් තොර අයිතිවාසිකම් පාපයක්. අපේ වගකීම් පිළිබඳව කිසිදු හැඟීමක් නැතිව අයිතිවාසිකම් විතරක් හඹා යනවා නම් ඒක පාපයක්. ජාතික ජන බලවේගයේ පුනරුද යුගය කරා යාමට එකතු කරන්නේ ඒ පාපයන්ට දායක නොවෙන මිනිස්සු. ඊළඟ පාපය වගවීමෙන් තොර බලය. මේ රටේ සියලුම බලය ආර්ථික, මූල්‍යමය, සන්නද්ධ, සංස්කෘතික බලය බාරදෙන කොට ඒක වගවීමක්. ඔක්තෝබර් මාසයේ තමන් අතට එන මේ අසීමිත බලය වගවීමෙන් පාවිච්චි කරන්නේ අනුර කුමාර සහෝදර ජනාධිපතිවරයා. කල්පැවැත්මෙන් තොර සංවර්ධනයත් පාපයක්. අපේ පරිසර පද්ධතිය, සතා සීපාවා, අපේ ගහ කොළ, අපේ මනුෂ්‍යයෝ විනාශ කරන සංවර්ධනයක් නොවෙයි අපේ පුනරුදයේ සංවර්ධනය. ඊළඟ පාපය යුක්තියෙන් තොර නීතිය. දැන් ඉන්න අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ව්‍යවස්ථාවේ පොඩි සිදුරක් සොයන්නේ කුමකටද? රිංගන්න නීතිමය හිස්තැනක්, ගැලවිල්ලක්, මිසක් යුක්තිය නොවෙයි සොයන්නේ. අපේ රැස්වීම්වලට එකතුවෙලා ඉන්න මහජනතාව යුක්තියේ පැත්තේ හිටගෙන ඉන්නකොට, නීතියේ කොපමණ හිල් තිබුණත් අපි ඒවා පරාජය කරනවා.
මේ මා ඉදිරිපත් කළ පාපයන් එකොළහ පරාජය කළ සුඛිත මුදිත සමාජයක්, සහජීවනයෙන් යුතු සමාජයක් බිහිකළ හැකි දේශපාලන බලවේගයක් තිබේ නම් ඒ ජාතික ජන බලවේගය පමණයි. ඊට නායකත්වය දිය හැකි අපේ සිහිනයේ අනු රාවය වන්නේ අනුර කුමාර දිසානායක. මේ ඉදිරියට එන සති කිහිපයේ මේ පෙරළිය කරා යන ගමන අපි එකාවන්ව යමු. තව තවත් එකතු කර ගනිමු. අපි හැමෝගෙම මුහුණුවල සතුටු කඳුළු දිදුලන දවස කරා යමු.
(-ජාතික ජන බලවේගයේ විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීම – 2024.06.29-) අපේ රට වැටී තිබෙන ව්‍යසනයට ප්‍රධාන එක හේතුවක් වී තිබෙන්නේ අපි එකිනෙකාට පැවරී තිබෙන කාර්යභාරයන් පටලවා ගැනීමයි. දේශපාලනඥයන් හැටියට අපට පැවරී තිබෙන කාර්යභාරයත් වෘත්තියවේදීන්, පර්යේෂකයන් සහ විද්‍යාඥයන් හැටියට ඔබට පැවරී තිබෙන කාර්යභාරයත් වෙන් වෙන් වශයෙන් නොගෙන දේශපාලනයේ සැලකිය යුතු බල අධිකාරියකට අනෙකුත් සියලුම දේ යටත්කොට තිබෙනවා. […]
(-ජාතික ජන බලවේගයේ විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීම – 2024.06.29-)
අපේ රට වැටී තිබෙන ව්‍යසනයට ප්‍රධාන එක හේතුවක් වී තිබෙන්නේ අපි එකිනෙකාට පැවරී තිබෙන කාර්යභාරයන් පටලවා ගැනීමයි. දේශපාලනඥයන් හැටියට අපට පැවරී තිබෙන කාර්යභාරයත් වෘත්තියවේදීන්, පර්යේෂකයන් සහ විද්‍යාඥයන් හැටියට ඔබට පැවරී තිබෙන කාර්යභාරයත් වෙන් වෙන් වශයෙන් නොගෙන දේශපාලනයේ සැලකිය යුතු බල අධිකාරියකට අනෙකුත් සියලුම දේ යටත්කොට තිබෙනවා. අධ්‍යාපන, සෞඛ්‍යය, වැනි ජාතික මට්ටමේ කටයුතු පමණක් නොව මාර්ග තදබදයක් වැළැක්වීමට සුදු ඉරක් ඇඳීම පවා දේශපාලනඥයන්ගේ ප්‍රතිපත්ති සහ සංකල්ප බවට පත්කොටගෙන තිබෙනවා. අපේ රට මුහුණ දී තිබෙන සමස්ත අර්බුදයේ එක් හේතුවක් වී තිබෙන්නේ සියල්ල දේශපාලන බල අධිකාරියකට යටත්කර තිබීමයි. ඒ නිසා පළමුකොටම දේශපාලකයන්ට ලබාදෙන ජන වරමේ අරමුණ කුමක්ද යන්නත් වෘත්තියවේදීන්, පර්යේෂකයන් හැටියට ඔබට පැවරී තිබෙන වගකීම කුමක්ද යන්නත් නිරවුල් කොට ගෙන අපේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අවිනිශ්චිතතාවය වෙනුවට විශ්වාසවන්ත අනාගතයක් ගොඩනැගීමත් මූලිකම අරමුණ වී තිබෙනවා.
දේශපාලකයන්ට බලය උපදින්නේ ජනතාව ලබාදෙන ජන වරමකින්. ව්‍යවස්ථාවෙන් සහ නීතියෙන් කරන්නේ ඒ ලබාදෙන ජන වරමේ සීමාවන් ලකුණු කර දීමයි. නමුත් අද පාලනයන් සිදුවන්නේ ඒ ජන වරමට පක්ෂපාතී වෙමින්ද? ව්‍යවස්ථාවෙන් සහ අණපනත්වලින් ලබාදී තිබෙන සීමාවන් ඇතුලේ දේශපාලකයන් ක්‍රියා කරනවාද?, ආසන්න උදාහරණයකින් දක්වනවා නම්, නීතිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කිරීමට අවස්ථා දෙකකදී ජනාධිපතිගේ නිර්දේශය ලබා දුන්නා. නීතිපතිවරයා විශ්‍රාම යන අවුරුදු 60 ජූනි 26 වැනිදා සම්පූර්ණ වුණා. අගවිනිසුරුවරයා විශ්‍රාම යාමේ වයස සම්පූර්ණ වෙන්න දෙසැම්බර් 31 දක්වා තිබෙනවා. නමුත් අග්‍රවිනිශ්චයකාරවරයා විශ්‍රාම යන තෙක් නීතිපතිවරයා තබා ගන්න ජනාධිපතිට අවශ්‍ය වුණා. ඒ තුළින් නීතිපතිවරයා අග්‍රවිනිශ්චයකාර ධුරයට පත් කරන්න කල්පනා කළා. ඒ අනුව ජනාධිපති නීතිපති වෙනුවෙන් ලබාදෙන සේවා දිගුවට අදාළ නිර්දේශ ලබාදීම ව්‍යවස්ථාදායක සභාව අවස්ථා දෙකකදී ප්‍රතික්ෂේප කර තිබුණා. සියලු බල ව්‍යුහයන් තමන්ගේ අණසකට යටත් කොට තබා ගන්න කල්පනා කරනා ආකාරයටම විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ සියලු ක්ෂේත්‍රයත් දේශපාලන අධිකාරියේ බල වුවමනාවන්ට යටත් කරන්න උත්සාහ කරනවා.
ජාතික ජන බලවේගය පළමු කොටම මේ බල අධිකාරිය පැවැත්වීම අහෝසි කරනවා. පර්යේෂකයන්, විද්‍යාඥයන්, ව්‍යවසායකයන් ආදී වශයෙන් ඔබට පැවරී තිබෙන කාර්යභාරය ස්වාධීනව කරගෙන යාම සඳහා අවශ්‍ය පරිසරය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් නිර්මාණය කර දෙනවා. ඇතැම් අය අප වෙත ප්‍රශ්නයක් ලෙස යොමු කරන්නේ බලය ලබා ගත්තත් ක්‍රියාත්මක කරන්න ඉන්න පිරිස කවුද කියලා. සාම්ප්‍රදායිකව ගමට ලයිට් දීම සහ පාරට තාර දමා දීම වැනි කටයුතුවල සිටම දේශපාලනඥයන්ගේ මැදිහත්වීම නිසයි ඒ වගේ ප්‍රශ්න අහන්නේ. නමුත් ජාතික ජන බලවේගය මොනවාද කරන්නේ කියලා මේ වැනි ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ නිවැරදිව සටහන් කර තිබෙනවා. එක් එක් ක්ෂේත්‍ර පිළිබඳව විධිමත් අධ්‍යයනයකින් ඒ පිළිබඳව අත්දැකීම් තිබෙන කණ්ඩායම් මගින් ඒ ඒ සියලු ක්ෂේත්‍රවලට අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශන ඒ කණ්ඩායම් විසින් සකස් කරමින් ඉන්නවා. ලබන මස අවසන් වන විට ඒ සමස්ත වැඩපිළිවෙළ එළිදක්වන්න අපි අපේක්ෂා කරනවා. ඊළඟට අහන්නේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ කවුද කියලා. ඒ ප්‍රශ්නය පිටුපස තිබෙන්නේම සියල්ල දේශපාලකයා විසින් කළ යුතු බවයි.
අපි අවධාරණය කරන්නේ ජාතික ජන බලවේගයට මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නොහැකි නම්, සමස්ත ලාංකිකයන්ම එයට සුදුසු නොවන බවයි. අපේ රටේ පුරවැසියන්ට මෙය කළ හැකි නම්, එයින් කියැවෙන්නේ ජාතික ජන බලවේගයට මෙය කළ හැකි බවයි. දේශපාලකයන් හැටියට අපේ අත්දැකීම්, අපේ හැකියාවන්, අපේ නිපුණතාවන් ඇතුළු අපිට අපි ගැන නිසි ඇගයීමක් සහ තක්සේරුවක් තිබෙනවා. ඒ වගේම අපට බාහිරෙන් දැනුම හැකියාවන් සහ නිපුණතාවයන් වගේම අත්දැකීම් පිළිබඳවත් විශාල ක්ෂේත්‍රයක් තිබෙන බව අපි දන්නවා. ඒ නිසා අපේ පාලනයක් යනු දේශපාලකයන් හැටියට අපිත් එයින් පිට විද්‍යාඥයන්, ව්‍යවසායකයන්, පර්යේෂකයන් ඇතුළු විවිධ හැකියාවන් තිබෙන ඔබත් එකතුව සාමූහිකව තීන්දු තීරණ ගන්නවා. අපි කෘෂිකර්මාන්තයට ඒ තීරණ ගන්නේ ඒ ක්ෂේත්‍රයට අදාළ ප්‍රාඥයන්ගෙන්. ළමා වෛද්‍යවරයන්ගෙන් කෘෂිකර්මාන්තය ගැන උපදෙස් ගන්නේ නැහැ. විසිරුණු දැනුමක් සහ හැකියාවන් සමුදායක් මේ රට තුළත් රටෙන් බාහිරවත් පවතිනවා. රාජ්‍යයට හැකියාව සහ සමත්භාවය කියන්නේ ඒ සියලු හැකියාවන් හොඳින් උකහා ගෙන මේ රටත්, ජනතාවත් සම්බන්ධයෙන් වඩා හෙැඳ අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමයි. දේශපාලන අධිකාරිය හැටියට අපේ කර්යභාරයත් ඉන් පරිබාහිර විවිධ ක්ෂේත්‍රවල ඔබේ කාර්යභාරයත් නිශ්චිතව වෙන් කිරීම ජාතික ජන බලවේගයේ අපේ මූලිකම කාර්යභාරයයි. එහෙම නම් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ කවුදැයි මින් පසුව ප්‍රශ්න කළ යුතු නැහැ. මේවා ක්‍රියාත්මක කිරීමට සිටින්නේ ඔබ සියලු දෙනා.
පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයේ මූලිකම අවශ්‍යතාවය වන්නේ කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීමයි. පසුගියදාක ඉන්දියානු යානය ගොඩබැසූ අවස්ථාවේ ඒ විද්‍යාඥයන් බදා වැළඳගෙන සතුටු වූවා. අපේ රටේ ණය වාරික ගෙවීම කල්දමා ගැනීම පිළිබඳව ඔවුන් සතුටු වූවා. ඔවුන් විසින්ම ණය ලබාගෙන, ඔවුන්ම ණය නොගෙවා සිටිමින්, ඔවුන් විසින්ම ණය ආපසු ගෙවීමේ කාලය අවුරුදු කිහිපයක් කල්දමා ගෙන උත්සවශ්‍රීයෙන් සමරනවා. ජනාධිපතිවරයා ජාතික අමතා කතාවක් කිරීම මහා උත්සාහයක් බවට පරිවර්තනය කර ගන්නවා. ඒ කියන්නේ අපි ජයග්‍රහණ නැති ජාතියක් බවට පත්කරලා. ණය ගෙවීම කල්දමා ගැනීමට සමත්වීම අපේ ජයග්‍රහණයක් බවට පත්කර ගන්නවා. ඒ වෙනුවට කඩා වැටී තිබෙන සැම ක්ෂේත්‍රයක්ම ජයග්‍රහණයේ දිසාවට ගෙනයාම සඳහා සැලසුම් සහගතව ක්‍රියා කළ යුතු වෙනවා. මහා භූ කම්පනයන්ට ගොදුරු වී සිටින ජපානය විද්‍යාවේ හා තාක්ෂණයේ ජයග්‍රහණ නොතිබූ කාලයේ විශාල මිනිස් ජීවිත හාන ිවී විශාල ඛේදවාචකයකට මුහුණ දුන්නා. නමුත් වර්තමානයේ මහා භූමිකම්පා ඇති වුවත්, මිනිසුන්ට හානිය අවම කර ගැනීමට හැකිවී තිබෙනවා. නමුත් අපේ රටේ කුඩා ගංවතුරක් හේතුවෙන් 11දෙනෙකු පමණ මිය යාමේ පාරිසරික සමාජ ඛේදවාචකයකට ගොදුරු වී සිටිනවා. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, පාරිසරික වශයෙන් සමාජය බිඳ වැටීමට ලක්වී තිබෙනවා. අපි ඉදිරි පිම්මක් ගන්නේ කොහොමද? පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයේ මහා පිම්මක් පනින්නේ නැතිව ඉදිරි පිම්මක් ගන්න බැහැ.
අපේ ආර්ථිකය ඩොලර් බිලියන 80ක පමණ දැනට හිරවී තිබෙනවා. අපනයන ආදායම ඩොලර් බිලියන 10 – 12 අතර සීමාවක හිරවී ඒක පුද්ගල අදායම ඩොලර් 3800 – 4000ත් අතර කුඩා ප්‍රමාණයක සිරවී සිටිනවා. අපට ගෙවාගත නොහැකි වී සිටින විදේශ ණය පංගුව ඩොලර් බිලියන 41යි. ගලාගෙන යමින් තිබෙන මේ මාවතේම ඉදිරියට යන්න ඉඩ හැරියොත් තවත් ඛේදවාචකයක් විතරයි ඉතිරි වෙන්නේ. ඒ ගලාගෙන විනාශකාරී ආර්ථිකය වෙනුවට තීරණාත්මක හැරවුමක් ලබාගත යුතු වෙනවා. ඒ වෙනුවෙන් විශාල ප්‍රයත්නයක් දරන්න විශාල ශක්තියක් යොදවන්න විශාල මිනිස් සමුදායක අප්‍රතිහත මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා. විනාශකාරී අර්ථයෙන් අලුත් දිශාවකට හැරවිය හැකි වන්නේ අපි හැමෝම ඒ වෙනුවෙන් කැපවී පොහොසත් ජනතාවක්, පොහොසත් රටක් ගොඩනැගීම සඳහා යොදාගතහොත් පමණයි. ඒ වෙනුවෙන් දේශපාලන අධිකාරිය නායකත්වය ලබාදී පර්යේෂකයන්, වෘත්තියවේදීන්, ව්‍යවසායකයන් වගේම සාහිත්‍ය හා කලාකරුවන් අදාළ නිර්මාණ ඇති කිරීමටත් එක් විය යුතුයි. විසිරී තිබන සෑම හැකියාවක්ම ඒකාබද්ධ කර, අවුරුදු කිහිපයක් මෙහෙයවීම තුළින් අපේ මාතෘ භූමිය විශාල ප්‍රගතියක් කරා ගෙන යා හැකියි. ඒ වෙනුවෙන් අත්තිවාරම පවතින්නේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය තුළයි. නමුත් අද අපේ මානව සම්පත යොදවා තිබනේනේ විදේශ රටවල දරුවන් බලා ගන්න, ගෘහ සේවිකාවන් ලෙස යොදා ගන්න, වෙනත් ප්‍රාථමික ක්ෂණික අවශ්‍යතාවලට පමණයි. ඒ වෙනුවට නූතන ලෝකයේ වෘත්තීයමය නව ශ්‍රම වෙළඳපොළට අපි ඇතුළත් විය යුතුයි. ලෝකයේ දැනුම, නවෝත්පාදනය ඇතුළු ක්ෂේත්‍ර හතක් අඩංගු ග්ලෝබල් ඉනොවේෂන් ඉන්ඩෙක්ස් එකේ රටවල් 132කින් අපි සිටින්නේ 90වැනි ස්ථානයේයි. ස්විට්සර්ලන්තය අංක 01ට සිටින අතර, ස්වීඩනය අංක 02ටත් තුන්වැනි ස්ථානයේ අමෙරිකා එක්සත් ජනපදයත් හතරවැනි තැන එක්සත් රාජධානියත් පස්වන ස්ථානයේ සිංගප්පූරුවත් සිටිනවා.
පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයේ අත්පත් කර ගන්නා ජයග්‍රහණ සඳහා රටවල්වල සංවර්ධනයත් එකිනෙක හා සමාන්තරව ගමන් කරමින් තිබෙනවා. වාෂ්ප එන්ජිම සොයා ගැනීමෙන් පසුව ලෝකය මත ගවේෂණවල යෙදීමේ හැකියාව වැඩිවුණා. ඉන්පසුව පළමු ලෝක යුද්ධය අවසානයේ වැඩිම ආයුධ අයිතිව තිබෙන කෙනා ලෝකය පාලනය කරන්න පටන් ගත්තා. දෙවන ලෝක යුද්ධය අවසානයේදී වැඩිම මූල්‍ය බලය තිබෙන කෙනා ලෝකය පාලනය කරන්න පටන් ගත්තා. නමුත් අනාගත ලෝකය පාලනය කරන්නේ වැඩිම තාක්ෂණ මෙවලම්වල හිමිකරුවායි. ලෝකයේ ප්‍රධානම ප්‍රවාහන සැපයුම් ආයතනයක් වන ගූගල් ආයතනය එක වාහනයක් වත් නොමැතිව ලෝකයේ ධාවනය කෙරෙන වාහනවලින් 25%ක් මෙහෙයවන එක මෘදුකාංග පද්ධතියක් සකස්කරගෙන තිබෙනවා. තාක්ෂණයත් එක්ක ඉදිරියට යමින් තිබෙන ලෝකය සමග හොඳම අන්තර් සම්බන්ධතාවයකින් අපේ ගමන් නොකළහොත් ලෝකයට අදාළ නොවන ශ්‍රමයක් සහිත ලෝකයට අදාළ නොවන රටක් බවට අපේ රට පත්වෙනවා.
අපට ලෝකයත් සමග ඉදිරියට යා හැකි විභවතාවයන් ගණනාවක් තිබෙනවා. ඒ විභවතාවයන් පර්යේෂණ සහ සංවර්ධනය මත ඉදිරියට ගෙන යාමේ සැලසුම් අපි සකස් කරනවා. කෘෂිකාර්මික නවීකරණයේදී මේ ක්ෂේත්‍රය යොදා ගන්නවා වගේම සාම්ප්‍රදායික ඖෂධ නවීකරණය වෙනුවෙනුත් පවතින විශාල විභවය ජය ගැනීමට ක්‍රියාකරනවා. 2050 වර්ෂය වන විට ලෝකයේ සමස්ත බලශක්ති සැපයුම 50% – 65% ත් අතර ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට යොමු වෙනවා. මේ සඳහා හොඳ විභවතාවක් අපේ රට තුළ තිබුණත් මේ පාලකයන් ඒ විභවය කුණු කොල්ලයට විකුණමින් සිටිනවා. බලශක්ති පිරිවැය අඩු කිරීමෙන් අපනයන ක්ෂේත්‍රයේ වඩා වැඩි පංගුවක් අත්පත් කර ගැනීමට යොදා ගත හැකියි. ඉලෙක්ට්‍රෝනයක් එක් ශක්ති කවයක සිට තව ශක්ති කවයකට බැඳීම සඳහා විශාල බලයක් සහිත තෙරපුමක් අවශ්‍ය වෙනවා. අපේ රටට එවැනි තෙරපුමක් අවශ්‍යයි. අපේ රට තවදුරටත් ඔහේ ගලාගෙන යන්න ඉඩ හරිනවාද, විශාල තෙරපුමක් සහිතව නව පරිවර්තනයකට ලක්කරනවාද කියන තීරණය ගැනීමේ නිශ්චිත සන්ධිස්ථානයකට අපි පැමිණ සිටිනවා. මේ සන්ධිස්ථානයේදී අපේ මාතෘ භූමියත් ජනතාවත් ඛේදවාචකයෙන් ගලවා ගන්නවාය කියන ස්ථර අධිෂ්ඨානයෙන් මැදිහත් වීමේ වගකීම අප හැමදෙනාම හමුවේ තිබෙනවා. සියලුම පර්යේෂකයන්ගේ වෘත්තිකයන්ගේ චින්තකයන්ගේ ගරුත්වය ආරක්ෂා කරමින්, අගයන් එකතු කරන නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට හැමදෙනාම එක්වෙන ලෙස ඉල්ලා සිටිනවා.
“ශ්‍රී ලාංකිකයින් ලෝකය පුරාම දස්කම් දක්වන්නේ මානව සම්පතේ විභවය ඉතාම ඉහළ නිසයි”
-එක්සත් ජනපද හූස්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය-
මම අද මෙතන ඉන්නේ අපේ රටේ මිනිසුන් නිසයි. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් ඔබගේ බදු මුදලෙන් මම ඉගෙන ගත්තා. ඔබේ බදු මුදල් නාස්ති කළේ නැහැ කියලා මම හිතනවා. ඔබ දුන් සවියත්, මගේ උත්සාහයත් තව බෙහෝ දේවලුත් එකතු කරගෙන ලෝකයේ තිබෙන විශාලම වෛද්‍ය පර්යේෂණ ආයතනය දක්වා දීර්ඝ ගමනක් මම ගියා. ඒ ගමනේදී ඉගෙන ගත් බොහෝ දේවල් සහ දැනුම රැගෙන ඔබ එදා මා වෙනුවෙන් කළ ආයෝජනයට ප්‍රතිලාභ ලබාගෙන්න මම මේ ලෙස ඔබ හමුවට පැමිණ සිටිනවා. මගේ ප්‍රධාන කාර්යභාරය වී තිබෙන්නේ අපේ ප්‍රතිපත්තිය හඳුන්වා දෙන්නයි. අද ඔබට ලබාදෙන ප්‍රතිපත්තිය හොඳින් කියවා ඔබේ අදහස් ලබාදීම රටට ඉතාම වැදගත්. අපේ ප්‍රතිපත්තිය තුළ තිබෙන්නේ විද්‍යා හා තාක්ෂණ දැනුම උකහා ගැනීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්කිරීම, එහි අධීක්ෂණය, නියාමනය හා පරිපාලනය. මේක ඒ පිළිබඳ ලියවිල්ලක්.
විද්‍යා හා තාක්ෂණය පිළිබඳව නිතරම ගැටගැසී තිබෙන වචන දෙකක් වන්නේ පර්යේෂණය හා සංවර්ධනය යන්නයි. පර්යේෂණ හා සංවර්ධනය කියන්නෙ මොකක්ද? සරලව කීවොත් නිර්මාණශීලී ක්‍රමවේදයකට අනුව දැනුම වර්ධනය කර ගනිමින් ඒ දැනුම යොදවා තව නිෂ්පාදන හා සේවාවන් තවත් විදිහකින් කියනවා නම් අගය එකතු කළ භාණ්ඩ හා සේවාවන් නිෂ්පාදනය කිරීමයි. අපිට තිබෙන අදහස් පර්යේෂණයකට ලක්කර, මූලික නිෂ්පාදනයක් සිදුකර, සන්නාම අගයක් දක්වා වර්ධනය කළ වෙළඳපොළට නිකුත් කිරීමයි. මේ ක්‍රියාවලිය වෙනුවෙන් පර්යේෂණය සහ සංවර්ධනය ඉතාම වැදගත්. නිදර්ශනයක් ගන්නවා නම්, තේ කොළ නිෂ්පාදනයේදී තේ දළු නෙළා ගෙන, වේලා, කුඩුකර, වතුරත් එක්ක එකතු කර පානය කිරීම සිදුකරනවා. නමුත් මේ තේ විවිධ රසය, විවිධ සුවඳ, විවිධ වර්ණ දක්වා විකාශනය කිරීම අගය එකතු කළ භාණ්ඩ ලෙස හඳුන්වනවා. අගය එකතු කළ සේවාවන් සම්බන්ධයෙන් සංචාරක ව්‍යාපාරය නිදර්ශනයක් ලෙස ගනිමු. සංචාරක මග පෙන්වන්නෙක් අදාළ ස්ථාන සම්බන්ධයෙන් හොඳින් අධ්‍යයනය කර, ඉතිහාසය හොඳින් දැනගෙන, සංචාරකයන් වෙනුවෙන් නිර්මාණශීලීව, ආකර්ෂණීය ලෙස එම ස්ථාන පිළිබඳව කරුණු විස්තර කර දීම අගය එකතු කළ සේවාවක්. ඇමෙරිකානු රජය දළ ජාතික නිෂ්පාදිතයෙන් 3.5%ක් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන්කරනවා. රටේ අනාගතයට අදාළ පර්යේෂණ මොනවාද යන්න හඳුනාගෙන ඒ වෙනුවෙන් මුදල් වෙන්කර පර්යේෂණ ආයතනවලට මුදල් ලබාදී සාර්ථක පර්යේෂණ ප්‍රතිඵල, නිෂ්පාදන අංශවලට වෙන්කර, අවසානයේ ජනතාවට ලබාදෙනවා. ලෝකයේ දියුණු වූ හැම රටක්ම දියුණු වී තිබෙන්නේ මෙම ක්‍රියාවලිය තුළ ගමන් කිරීමෙනුයි.
ශ්‍රී ලංකාවට ආවොත් රට පුරාම විහිදුණු පර්යේෂණ ආයතන රැසක් තිබෙනවා. ඒ පර්යේෂණ ආයතනවල සේවය කරන ඔබ, ඇමෙරිකාවට දෙවැනි නැහැ. අපි ඊටත් වඩා උසස්. ඒ නිසයි මා වැනි අය ඒ තැන්වලට ඇතුල් කරගෙන සිටින්නේ. නමුත් ඇමෙරිකාව දියුණු වෙද්දී අපි එසේ නොවූයේ ඇයි? අපේ රටේ තැනින් තැන පර්යේෂණ සිදුකර, නිෂ්ක්‍රීයව පවතිනවා මිස අවසන් ඉලක්ක වෙත ගෙන යන්නේ නැහැ. තවත් ලෙසකින් කියනවා නම්, මේ පර්යේෂණ ආර්ථික ක්‍රියාවලියට බද්ධ කරගෙන නැහැ. දියුණු රටවල් පර්යේෂණ සඳහා ජාතික ආදායමෙන් 3% – 5% අතර ප්‍රමාණයක් වෙන්කර තිබුණත් අපි වෙන්කර තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක්, වැනි ප්‍රමාණයක්. අපේ රට ස්වභාවික සම්පත්වලින් පිරුණු මුහුද, ගොඩබිම, නිවර්තන කාලගුණය, රට පුරා පැතිරුණු හිරු එළිය, සුළං බලය, වැනි ස්වභාවික සම්පත් ජාලය පර්යේෂණ සහ සංවර්ධනය වෙනුවෙන් යොදා ගන්නේ නැහැ. යම්කිසි භාණ්ඩයක් මුලසිට අවසානය දක්වා කෘත්‍රිමව නිෂ්පාදනය කිරීමට වඩා ස්වභාවික සම්පත් ඇසුරෙන් නිෂ්පාදනය කිරීමට යන වියදම ඉතා අඩුයි. තව විදිහකට කියනවා නම්, අඩු වියදමකින් වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකියි. ලංකාවේ මානව සම්පත තුළ පවතින විභවය ඉතාම ඉහළයි. ශ්‍රී ලාංකිකයින් ලෝකය පුරාම දස්කම් දක්වන්නේ ඒ නිසයි. විදේශගත වූවන් පමණක් නොවෙයි, අපි දන්නා ප්‍රදේශවල සිටින අය පවා අලුත් නිෂ්පාදන කොපමණ කරනවාද?
වර්තමානයේ යොදාගත හැකි අතීත උරුමයන් රැසක් තිබෙනවා. අතීතයේ කළ ඉදිකිරීම්, එම තාක්ෂණික දැනුම, නිසි පරිදි සොයා ගත හොත් අදටත් බොහෝ ප්‍රයෝජන ගත හැකියි. පර්යේෂණ සහ සංවර්ධන කටයුතු අවශ්‍ය වන්නේ එම තාක්ෂණය සොයා ගන්න. මේ වන විට පවතින වකුගඩු රෝගය, ඩෙංගු රෝගය වැනි රෝගාබාධ වගේම ගංවතුර, නාය යෑම් වැනි ආපදාවලටත් පර්යේෂණ හා සංවර්ධන තුළින් පිළිතුරු සෙවිය හැකියි. මේ වන විට ඇති වී තිබෙන වන සත්ව උවදුර පාලනයටත් මෙය ඉතාමත්ම වැදගත්. අපගේ දැක්ම වී තිබෙන්නේ නවෝත්පාදන සහ නව සොයා ගැනීම් තුළින් පර්යේෂණ සහ සංවර්ධන නිවැරදි දිශාවකට යොමු කිරීමයි. එහිදී ආර්ථික සංවර්ධනය, මානව සහ සමාජීය සංවර්ධනය, පරිසර දියුණුව සහ පරිසර ආරක්ෂාව මෙන්ම පාරිසරික ගැටලු විසඳීම, පර්යේෂණ සහ සංවර්ධන යොදා ගැනීම අපේ මූලික දැක්මයි. සරලව කියන්නේ නම් අපේ ජීවිතවලට සම්බන්ධ වී තිබෙන සියලුම ගැටලු විසඳා ගැනීමයි. ඒ වෙනුවෙන් රජයට පැවරී තිබෙන කාර්යභාරය ප්‍රතිපත්ති සැකසීම සහ නියාමනය, අවශ්‍ය ප්‍රතිපාදන සකසා දීම, එම පර්යේෂණ සහ සංවර්ධනයේ සාර්ථක අත්හදා බැලීම් නිෂ්පාදනය කරා යොමුකරවීම, (ඒ සඳහා පුද්ගලික අංශය සහභාගී කර ගැනීම) මහජනතාව කරා ගෙනයාම, සහ අන්තර්ජාතික ප්‍රජාවගේ සහයෝගය ලබා ගැනීම කළ යුතුයි. මේ අංශ සියල්ල අතරේ මනා අන්තර් සම්බන්ධතාවයක් තිබීම අත්‍යවශ්‍ය වන අතර, ඒ සියල්ල ආර්ථික සංවර්ධන සියල්ල සමග ඒකාබද්ධ කළ යුතුයි.
මේ කටයුතු සඳහා උනන්දු වන සියලු දෙනාට සහභාගී විය හැකි වටපිටාවක් සකස් කර දෙමින් පර්යේෂකයන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතුයි. මුදල් ලබාදීම විනිවිද පෙනෙන සේ කළ යුතුයි. පර්යේෂණ සහ ආයතන දේශපාලන බලපෑම්වලින් ඉවත් කළ යුතුයි. මේ මූලික මූලධර්ම අනුව අපේ ප්‍රතිපත්ති සකස් කර තිබෙනවා. සියලු ක්ෂේත්‍රවලට පර්යේෂණ සහ සංවර්ධනය අදාළ වුවත් අපේ පහසුව සඳහා මූලික ක්ෂේත්‍ර කිහිපයකට බෙදා තිබෙනවා. කෘෂිකර්මාන්තය, සත්ව පාලනය, ආහාර සුරක්ෂිතතාවය, පළමු කාණ්ඩය ලෙස හඳුනා ගත්තා. දෙවන කාණ්ඩය ලෙස සෞඛ්‍යය, අධ්‍යාපනය සහ විද්‍යාව හඳුනාගෙන තිබෙනවා. ඊළඟට තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, ඉංජිනේරු, සංනිවේදනය, නාවික සේවා, ප්‍රවාහන සේවා සහ අනෙකුත් සේවා යොදා ගන්නවා. ඒ වගේම සිව්වන කාණ්ඩය ලෙස වායුව, ජලය, භූමිය, පරිසරය, අවකාශය යන ක්ෂේත්‍ර සිව්වන කාණ්ඩය ලෙස හඳුනාගෙන තිබෙනවා. පස්වන කාණ්ඩය ලෙස ජාතික ආරක්ෂාව, ආර්ථිකය, ප්‍රතිපත්ති සැකසීම, භූ දේශපාලනය, වැනි ක්ෂේත්‍ර අයත් වෙනවා. හයවැනිව මානව සංස්කෘතික ජීවිතයේ සංවර්ධනය වෙනුවෙන් කලාව, ඉතිහාසය, සංස්කෘතිය, උරුමය යන මූලික ක්ෂේත්‍ර හයකට බෙදා පර්යේෂණ සහ සංවර්ධනය වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කර තිබෙනවා. මෙම ක්ෂේත්‍ර හය තව අනු කාණ්ඩ 17කට බෙදා ක්‍රියාකාරී ඒකක 110කට බෙදමින් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික පදනම සකස් කර තිබෙනවා. මෙයට තව එක්කර ගත යුතු අදහස් එකතු කරගෙන මානව සහ ආර්ථික සංවර්ධනයේ දුර ගමනක් යන්න අපේක්ෂා කරනවා.
අපේ ස්වභාවික ශාක සාරය යොදා ගනිමින් ඖෂධ නිෂ්පාදනය, ආහාර නිෂ්පාදනය, අතුරු ආහාරමය තත්වයන්, රූපලාවණ්‍ය, කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තයේදී ආයුර්වේද සම්බාහනය වැනි ක්ෂේත්‍ර රැසකට යොදා ගත හැකි වෙනවා. මේ වෙනුවෙන් අවශ්‍ය කරන ඉහළ දැනුම ලබා ගැනීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ග තුනක් යෝජනා කරනවා. විදේශගතව සිටින පර්යේෂයකයන් සහ වෘත්තිකයන් ඒ රටවල සිටියදීම සූම් තාක්ෂණය ඔස්සේ අපට දැනුම ලබාදීම, ඊළඟට ලංකාවට පැමිණෙන අවස්ථාවලදී දැනුම අවශ්‍ය ආයතනවලට ලබාදීම, සහ තුන්වැනිව ආපසු පෙරටට පැමිණීම ආකාරවලින් දැනුම ලබා ගන්නවා. රජය, පුද්ගලික අංශය, ජාත්‍යන්තර ප්‍රජව සහ මහජනතාව අතර නිසි අන්තර් සම්බන්ධතාවයක් පවත්වා ගන්නා මධ්‍යගත කමිටුවක් පිහිටුවනවා. ආර්ථිකයට අවශ්‍ය පර්යේෂණ සඳහා ප්‍රතිපාදන වෙන්කරන්නේ මේ මධ්‍යගත කමිටුවෙන්. රටේ දියුණුවට අදාළ පර්යේෂණ අංශ හඳුනාගෙන මුදල් ප්‍රතිපාදන වෙන්කර විශ්වවිද්‍යාල හෝ පර්ජෙය්ෂණ ආයතනවලට යොදවා කැමති නම් පුද්ගලික අංශයත් සම්බන්ධ කරගෙන ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර ගන්නවා. මේ කටයුතු වෙනුවෙන් රජය, පුද්ගලික අංශය, සහ ජාත්‍යන්තර ප්‍රජාව යන විකල්පවලින් ආයෝජන ලබා ගන්නවා. රටේ පවතින ස්වභාවික සම්පත් යොදා ගැනීමේ මානව සම්පත දියුණු කරනවා.
රජය මුදල් වෙන්කිරීමේදී ඍජුවම කළ හැකි වන අතර, නොහැකි අවස්ථාවලදී අන්තර්ජාතික සම්බන්ධතා යොදා ගැනීම, පර්යේෂණ සහ සංවර්ධනය වෙනුවෙන් විශේෂිත බැඳුම්කර නිකුත් කිරීම වගේම පුද්ගලික අංශයේ ආයෝජකයන් කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් යොදා ගැනීමට අපේක්ෂා කරනවා. අනතුරුව මේ පර්යේෂණ පාසල්, විශ්වවිද්‍යාල, අනෙකුත් තාක්ෂණ ආයතන, පුද්ගලික අංශය යොදා ගනිමින් සිදුකරනවා. මේ වන විට රටේ ජනතාවට ආහාර ලබාදීමටවත් මුදල් නොමැතිව තිබියදී, මේ වෙනුවෙන් වෙන්කරන්නේ කොහොමද කියලා යම් අයට ප්‍රශ්නයක් තිබුණා නම්, එවැනි ආකාරයේ විකල්ප යෝජනාවලින් මේ ප්‍රශ්නය විසඳී ඇතැයි විශ්වාස කරනවා. මේ වන විටත් සිදුකර තිබෙන, පර්යේෂණවල ප්‍රතිඵල මත ඉක්මන් නිෂ්පාදනවලට ගොස් මූලික ප්‍රතිලාභ ලබාගත හැකියි. අපි භ්එසදබ්ක ෂබිඑසඑමඑැ දf National Institute of Research snd Development (NIRD) ආයතනය පිහිටුවනවා. ඒ ආයතනය තුළ අධි සංවේදී පර්යේෂණ සහ පර්යේෂණ සම්පාදනය යන මූලික කොටස් දෙකක් තිබෙනවා. ප්‍රතිපත්ති සැකසීමේ කමිටුවෙන් අදාළ ප්‍රතිපත්ති සකස් කර, මධ්‍යගත ආයතනයට යොමු කර, එම ආයතනයෙන් පර්යේෂණ ආයතනවලට අදාළ වගකීම් බෙදා හැර රටේ ආර්ථිකයට අදාළ පර්යේෂණ බිහිකර අවසන් අරමුණු වෙනුවෙන් යොදා ගන්නවා. අපි යෝජනා කරන මධ්‍යගත කමිටුවට ආර්ථික විශේෂඥයන්, නීතිය ගැන විශේෂඥයන්, පෞද්ගලික අංශයේ විශේෂඥයන්, සාර්ථක වූ ව්‍යවසායකයන්, මුදල් අමාත්‍යාංශය මෙන්ම විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරු ඇතුළු ස්වාධීන කමිටුවක් දේශපාලන බලපෑමෙන් තොරව ක්‍රියාත්මක කරනවා. අපි මේ අධ්‍යාපන සුදුසුකම් පමණක් නොවෙයි එයින් බාහිර සාර්ථක අත්හදා බැලීම් සහ නිර්මාණ කරන අයටත් ප්‍රතිපාදන ලබාදෙනවා. නව සොයා ගැනීම් රටට කොතරම් වැදගත්ද? හැබවින්ම කොතරම් අලුත්ද? අදාළ යෝජනා කාලෝචිතද, යෝජනා ගෙන එන්නා ප්‍රගුණකර තිබෙන දත්තයන් මොනවාද, අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය කොපමණද යන කරුණු මූලිකව සලකා බලා පර්යේෂණය සහ සංවර්ධනය විනිවිදභාවයෙන් යුතුව මුදල් ලබාදෙනවා.
මේ ඔස්සේ කෙටි, මධ්‍ය සහ දිගු කාලීන වශයෙන් අපේ ආර්ථිකයට නව පුනර්ජීවනයක් ලබා දීම සිදුවෙනවා. ඒ වෙනුවෙන් රජය ජාත්‍යන්තර සබඳතා මෙන්ම විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් අරමුදල් ලබා ගන්නවා. දෙවනුව ඒ තුළින් ආර්ථිකය සමග ඒකාබද්ධ කළ පර්යේෂණ මගින් මානව සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් ඒ ආර්ථික ප්‍රතිලාභ යොදා ගන්නවා. තුන්වැනිව පරිසරය ආරක්ෂා කර ගනිමින් තිරසාර සංවර්ධනයක් කරා පියනඟනවා. මේ ප්‍රතිපත්ති හුදෙක් දේශපාලන කෝණයකින් නොබලා හොඳින් අධ්‍යයනය කර මාසයක් ඇතුළතදී ඔබ ලබාදෙන අලුත් අදහස් හා යෝජනා එකතු කොට මේ ප්‍රතිපත්ති සම්පූර්ණ කර අපි ක්‍රියාත්මක කරනවා. ඒ තුළින් අපේ රට දියුණු රටක් බවට පත්කර ගැනීමට සියලු දෙනාගේ සහයෝගය ලබාගැනීමට අපේක්ෂා කරනවා.
(-මඩකලපුව දිස්ත්‍රික් ගුරු සමුළුව – 2024.06.27-) මේ මොහොත ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක වෙලාවක්. ජනාධිපතිවරණයට මාස කිහිපයක් තබාගෙනයි මේ දිස්ත්‍රික් ගුරු සමුළුව පවත්වන්නේ. ගුරුවරුන් වන ඔබට පැවරී තිබෙන ප්‍රධාන වගකීම අපේ රටට හොඳ මානව සම්පතක් නිර්මාණය කරන එකයි. දැනුමෙන් පිරුණු, මානවවාදයෙන් පිරුණු අලුත් මානව සම්පතක් අපි නිර්මාණය කරන්න ඕනෑ. අපේ ගුරුවරුන්ට තෘප්තිමත්භාවයක් නැහැ. ඔවුන්ට ලැබෙන වැටුප, අනෙකුත් […]
(-මඩකලපුව දිස්ත්‍රික් ගුරු සමුළුව – 2024.06.27-)
මේ මොහොත ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක වෙලාවක්. ජනාධිපතිවරණයට මාස කිහිපයක් තබාගෙනයි මේ දිස්ත්‍රික් ගුරු සමුළුව පවත්වන්නේ. ගුරුවරුන් වන ඔබට පැවරී තිබෙන ප්‍රධාන වගකීම අපේ රටට හොඳ මානව සම්පතක් නිර්මාණය කරන එකයි. දැනුමෙන් පිරුණු, මානවවාදයෙන් පිරුණු අලුත් මානව සම්පතක් අපි නිර්මාණය කරන්න ඕනෑ. අපේ ගුරුවරුන්ට තෘප්තිමත්භාවයක් නැහැ. ඔවුන්ට ලැබෙන වැටුප, අනෙකුත් පහසුකම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඔබ මාස කිහිපයකට පෙර සාධාරණ වැටුපක් ඉල්ලා උද්ඝෝෂණයක යෙදුණා. සාමාන්‍ය පවුලක් පවත්වාගෙන යන්න, දරුවන්ට උගන්වන්න, දෙමව්පියන්ට සලකන්න, අද ගුරුවරයෙකුට ලැබන වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. වැටුප ප්‍රමාණවත් නැති වුණට, පහසුකම් නැති වුණාට ඔබට පැවරෙන වගකීම දියුණු මානවයෙක් හැදීමයි. ඔබගේ වෘත්තිය ජනප්‍රිය වෘත්තියක් බවට පත්වෙලා නැහැ. වරායේ, කස්ටම් එකේ, මහ බැංකුවේ රස්සාවකට යනවා තරම් ව්‍යාපාරයක් කරනවා තරම් ගුරු වෘත්තිය ජනප්‍රිය නැහැ. ගුරු වෘත්තිය අඩු පහසුකම්, අඩු වැටුප් සහිත වෘත්තියක් බවට පත්වෙලා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුල් කොට තිබෙනවා ගුරු වෘත්තිය ලංකාවේ ප්‍රධාන වෘත්තීන් දහයෙන් එකක් බවට පත්කරනවා කියලා. ඒ ඇයි? අපේ රටේ වැදගත්ම සම්පත තමයි මානව සම්පත. මේ මානව සම්පත දියුණු කරන්නේ නැතිව අපේ රටට අනාගතයක් නැහැ. අපි විශාල කාර්මීකරණ රාජ්‍යයක් නොවෙයි. අපේ රට ගල් අඟුරු, රත්තරන්, තෙල්, ගෑස් වැනි වාණිජ සම්පත් තිබෙන රාජ්‍යයක් නොවෙයි. ඒ නිසා අපේ සම්පත මානව සම්පත බවට පත්කර ගත යුතුව තිබෙනවා. ඒ නිසා රටටත් ලෝකයටත් අවශ්‍ය වන දියුණු මානයෙක් අපි හදන්න ඕනෑ. එහිදී අධ්‍යාපනයට ලැබෙන කර්යභාරය අති විශාලයි.
අපේ ග්‍රාමීය ජනතාව මුහුණදී තිබෙන දුප්පත්භාවයෙන් ඔවුන් මුදාගන්නේ කොහොමද? තාත්තා ගොවියෙක්, ධීවරයෙක් වූ නිසාම පුතත් ගොවියෙක් හෝ ධීවරයෙක් වුණා. අද එම රැකියා ආදර්ශමත් වෘත්තීන් බවට පත්වෙලා නැහැ. ග්‍රාමීය දුප්පත්භාවයේ පදනම බවට පත්වෙලා තිබෙන්නේ හරිහමන් ආදායමක් සහිත වෘත්තියක් නොමැතිකම. එක පැත්තකින් කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය ආදර්ශමත් වෘත්තියක් බවට පත්කරන්න ඕනෑ. එම පවුල්වල දරුවන් නව වෘත්තීන්වලට යොමු කරන්න ඕනෑ. නව ආර්ථික අවස්ථා හදන්න ඕනෑ. ග්‍රාමීය තරුණ පරම්පරාවට නව රැකියා අවස්ථා හදන්නේ නැතිව, ආර්ථිකයේ නව දොරටු විවෘත කරන්නේ නැතිව දුප්පත්භාවයෙන් මුදා ගන්න බැහැ. ආර්ථිකයේ නව අවස්ථා හදනවා නම් එය ගොඩනැගිය හැකි වන්නේ අධ්‍යාපනයෙන්.
අපේ සමාජය විශාල ලෙස අපරාධවලට ගොදුරු වෙලා. කුඩු වැනි මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙලා. පසුගිය කාලයේ රිමාන්ඞ් බන්ධනාගාර ගත වූවන්ගෙන් 70%කට වැඩිය දහයේ පන්තියට පහළින් ඉගෙන ගත් අය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැයි වූවන්ගෙන් 70%කට වැඩිය දහයේ පන්තියට පහළින් අධ්‍යාපනය ලැබූ අය. ඒ කියන්නේ අපරාධවලටයි, මත්ද්‍රව්‍යවලටයි ඇබ්බැහිවීමයි අධ්‍යාපනයයි අතර සම්බන්ධතාවයක් තිබෙනවා. යහපත් පුරවැසියෙක් ගොඩනඟන්න අධ්‍යාපනයත් ප්‍රධාන වැඩක්. දරුවෝ අධ්‍යාපනයට යොමු වුවහොත් අපරාධවලට, මත්ද්‍රව්‍යවලට, යොමු වීම අඩුවෙනවා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගිය ගොඩනැගීමේදී අධ්‍යාපනය ඉතාමත් වැදගත්. ජාතිවාදයට ගොදුරු වී තිබෙන සමාජය ඉන් ගොඩගැනීමේදී අධ්‍යාපනයට විශාල හිමිකමක් ලැබෙනවා. ලෝකයේ වේගයෙන් අලුත් දැනුම නිර්මාණය වෙනවා. තාක්ෂණයේ මහා පිමි ගන්නවා. තාක්ෂණය හරහා මාලු සම්පත ඉන්න දිශාව ධීවරයාට ලැබෙන පණිවිඩය අනුව ධීවරයා මුහුදු යනවා. ඒ තරමට තාක්ෂණය දියුණුවී තිබෙනවා. අපේ රට ඉදිරියට ගෙනයාමට නම් තාක්ෂණයේ, විද්‍යාවේ විශාල ජයග්‍රහණයන් අත්පත් කර ගන්න ඕනෑ. ඒවා අත්පත්කර ගන්න අධ්‍යාපනය අවශ්‍යයි. ලංකාවේ ජනතාව දියුණු ජාතිකයක් බවට පත්කිරීමේදී, ආර්ථිකය ගොඩනැගීමේදී අධ්‍යාපනයට ප්‍රධාන වැඩකොටසක් තිබෙනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තියේ ප්‍රධාන වැඩ කොටසක් වන්නේ අධ්‍යාපනය දියුණු කිරීම. අධ්‍යාපනය දියුණු කරන්න ඒ සඳහා පහසුකම් හදන්න ඕන. ගුරුවරුන්ට අවශ්‍ය වෘත්තියේ ගෞරවය, ගුරු වෘත්තිය ජනප්‍රිය වෘත්තියක් වෙන්න ඕනෑ. නව දැනුම ගුරුවරුන්ට ලැබෙන්න ඕනෑ. මේවැනි ක්ෂේත්‍ර ගණනාවක පරිවර්තනයක් කරන්න අපි ලැහැස්තියි. අපේ රටේ උතුරේ, දකුණේ, නැගෙනහිර හැමදෙනාම වෙනසක් බලාපොරොත්තු වෙනවා. වෙනසක අවශ්‍යතාවය වෙනුවෙන් සෑම කෙනෙක් තුළම උද්යෝගයක්, උද්ඝෝෂණයක් තිබෙනවා. ඒ වෙනස ඇති කිරීම සඳහා තීරණාත්මක ජනාධිපතිවරණයක් ඒමට නියමිතව තිබෙනවා. මේ වෙනස ඇති කළ හැකි වන්නේ කාටද?
රනිල් වික්‍රමසිංහ 1977 සිට මේ දක්වා ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන නායකයෙක්. ඒ කියන්නේ පැරණි අය. අවුරුදු 50කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ ඉඳිමින්, අධ්‍යාපන ඇමති, විදේශ ඇමති, තරුණ ඇමති, අගමැති, ආර්ථික ඇමති, මුදල් ඇමති, ජනාධිපති ධුර දරා තිබෙනවා. වෙනසක් ඇති කළාද? අද වෙනසක් වෙනුවෙන් එකතු වෙන්නේ කවුද? පොහොට්ටුව නිල වශයෙන් රනිල්ට සහාය දෙන්න ප්‍රකාශයක් කර නැහැ. නමුත් පොහොට්ටුවේ මහින්දානන්ද අලුත්ගමගේ, බන්ධනාගාර ඇමති වෙලා ඉන්න කාලේ රෑ බන්ධනාගාරයට පැනලා, සිරකරුවන් පෙළ ගස්වලා, තරුණයන්ගේ ඔලුවට පිස්තෝලෙ තිබ්බ රොහාන් රත්වත්තේ රනිල්ට සහාය දෙන්න ඉදිරිපත් වී තිබෙනවා. කප්පම් අරගෙන, මහාධිකරණයේ වැරදිකරුවෙක් වෙලා අවුරුදු හතරකට ඇඟ බැඳ තිබෙන ප්‍රසන්න රණතුංග, මිරිස් කුඩු යාළුවා ප්‍රසන්න රණවීර, මීගමුවේ නිමල් ලංසා, මඩකලපුවේ පිල්ලෙයාන් රනිල්ට සහාය දෙන්න තීන්දුවක් අරගෙන තිබෙනවා. වෙනස් කරන්න ඉස්සෙල්ලාම වෙනස් නායකත්වයක්, වෙනස් පිරිසක් ඕනෑ. දශක ගණනාවක් අපේ රට පාලනය කරපු අවුරුදු දහය පහළොව ඇමතිකම් දරපු, පැරණි, අසර්ථක ඒ ඔක්කෝම එකතු වෙලා වෙනසක් වෙනුවෙන් ඡන්දේ ඉල්ලනවා. ජනතාවගේ අපේක්ෂාව වෙනසක්, ඒ වුණාට රනිල්ගෙන් ඒ වෙනස දෙන්න බැහැ.
සජිත් පේමදාසට පුළුවන්ද වෙනසක් කරන්න? එයාට ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න තිබෙන එකම සුදුසුකම තාත්තා ජනාධිපති වීම පමණයි. සජිත් ගැන එයාගෙ සභාපති සරත් ෆොන්සේකා කතා කරනවා. එයා ගැන දැන ගන්න ඒ ඇති. මේ රටේ වෙනසක් කරන්න තෝරා ගන්න තිබෙන පාර ජාතික ජන බලවේගයේ අපි නියෝජනය කරන පාර පමණයි. විශේෂයෙන්ම ගුරුවරුන්ට වගකීමක් තිබෙනවා. වැටුප් වැඩිකර ගැනීමට දීර්ඝ උද්ඝෝෂණයක් තිබුණා. ඒ උද්ඝෝෂණය නතර කරන්න ආණ්ඩුව සහ වෘත්තිය සමිති අතර එකඟතාවයකට ආවා. අයවැය ලේඛනයට යෝජනාව ඇතුල් කළා. පියවර කිහිපයකට වැටුප් වැඩිකරන්න එකඟ වුණා. ඒ එකඟතාවය ඉටු කරන්න කියල ගුරුවරු ඉල්ලන්නේ. ආණ්ඩුව ඒකට උනන්දුවක් දක්වන්නේ නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහට අයවැය ලේඛනයෙන් වෙන්නොකර පරිපූරක ඇස්තමේන්තුවකින් කෝටි 875ක් වෙන්කරනවා. රනිල් වික්‍රමසිංහට අයවැය ලේඛනයෙන් අවුරුද්දකට වෙන්කළ සල්ලි මාස හතරකින් ඉවර කළා. මන්ත්‍රීවරුන්ට ඡන්ද කරන්න කෝටි 120ක් දෙනවා, අයවැයෙන් වෙන් නොකළ සල්ලි. හැන්ද තියෙන්නේ ඒගොල්ලන් ගාව. ඒ හැන්දෙන් එයාලට බෙදා ගන්නවා. ගුරුවරුන්ට අයවැයෙන් වෙන් කළ සල්ලි දෙන්නේ නැහැ. ගුරුවරු සාධාරණ උද්ඝෝෂණයක් කළා. ලිව්වා. සාකච්ඡා කළා. රනිල්ගේ උත්තරය වුණේ ජල ප්‍රහාර, කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර. එයාට ඒවා කළ හැක්කේ එයා ජනාධිපති නිසා. රනිල් ආවේ කඳුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් පොලු අරගෙන. ඔබ යන්නේ මොකක් අරගෙනද? ඡන්ද කාඞ් එකයි, හැඳුනුම්පතයි අරගෙන. මේ ගනුදෙනුව බේරා ගන්නම ඕනෑ. මේ රටේ ගුරු පරපුර රනිල් වික්‍රමසිංහ පරාජයට පත්කිරීම සඳහා ඉදිරියට එනවා, වැඩ කරනවා, ඡන්දේ දෙනවා කියලා අපට දැඩි විශ්වාසයක් තිබෙනවා.
අපි කරන්න ඕන වෙනස මොකක්ද? අපේ රටේ ව්‍යසනයක් වෙලා තිබෙනවා ජාතිවාදය. දේශපාලනය සම්පූර්ණයෙන්ම ජාතිවාදය මත, පදනම් වෙලා තිබෙන්නේ. එකිනෙකාට එරෙහි දේශපාලනයක්. 2019 ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය තිබෙන්නේ මුස්ලිම් ජනයාට එරෙහි දේශපාලනයක් මත. ඒ දේශපාලනය වෙනස් කරන්න ඕනෑ. ජාතිය සමගි කිරීමේ දේශපාලනයක් ඇති කරන්න ඕනෑ. ජාතික ජන බලවේගය ඇති කරන වෙනස තමයි, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමගි කරන දේශපාලනයක් කිරීම.
අපේ සියලු කර්මාන්ත ශාලා විකුණුවා. මේ විකුණන දේශපාලනය අවුරුදු 50කට වැඩියි. විකුණන දේශපාලනයක් නොවෙයි ඕන. ඒවා රැකබලාගෙන අලුත් තාක්ෂණය ගෙනත් නිෂ්පාදනය වැඩිකරන අලුත් දේශපාලනයක් ඕනෑ. මඩකලපුවට අවශ්‍ය මොන දේශපාලනයක්ද. වාලච්චේන කඩදාසි කම්හලට පණ පොවලා අලුත් තාක්ෂණය ඇති කරලා, තරුණ පරම්පරාවට රැකියා ඇති කරලා රටේ ආර්ථිකය දියුණු කරන්න ඕනෑ කියලා අපි යෝජනා කරනවා. ජාතික ජන බලවේගයේ අපි හදන ආර්ථිකය ඒක තමයි වෙනස. ඒ ගොල්ලන්ගේ දේශපාලනය දූෂිතයන් රකින දේශපාලනය. ජාතික ජන බලවේගයේ දේශපාලනය දූෂිතයන්ට දඬුවම් දෙන, සොරකම් කරන ලද ධනය පවරා ගන්න දේශපාලනය. දේශපාලනය කියන්නේ පුරවැසියන්ට, නිදහසේ, තමන්ගේ අදහස් කියන්න, නිදහසේ ක්‍රියාකාරිත්වයේ යෙදෙන්න පුළුවන්කම තියෙන්න ඕන පාලනයක්.
මඩකලපුවේ ජනතාව බය කරන දේශපාලනයක් තියෙනවා. පුරවැසියන්ට අයිතියක් තියෙනවා තමන් කැමති දේශපාලයක යෙදෙන්න. ඒ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින්න. හැබැයි අද පිල්ලෙයාන්ට බයවෙලා ඉන්න සිදුවෙලා තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් සියලු අතුරු හමුදා නිරායුධ කරනවා. එක කණ්ඩායමකට නීති විරෝධී ලෙස අවි දරාගෙන, රාජ්‍ය අනුග්‍රහය සහිතව දේශපාලනය කරන්න ඉඩ දෙන්න ඕනෙද? වැඩ කිරීම ඔබගේ අයිතිය. ඒක කිසිවෙකුට යටපත් කරන්න ඉඩ දෙන්න බැහැ. අතුරු හමුදා නිරායුධ නොකර මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත කරන්න බැහැ.
පසුගිය කාලයේ අපේ රටේ විශාල ඝාතන ප්‍රමාණයක් සිදුවුණා. පාස්කු ප්‍රහාරයක් සිදුවුණා. ඒව ගැන විමර්ශනය කරගෙන යනකොට අතුරු හමුදා කල්ලි ගැන තොරතුරු එළියට එනවා. නිල හමුදාවන් අතේ පමණයි ආයුද තිබිය යුතු වන්නේ. ඒ වෙනස ඇති කරන්නේ ජාතික ජන බලවේගය. අනෙක් හැම දෙනාම ඒගොල්ලන්ව ආරක්ෂා කරනවා වගේම පක්ෂයේ ප්‍රධානීන් බවට පත්කර ගන්නවා. ජාතික ජන බලවේගයේ අපි පුරවැසියන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කරන පාලනයක් ඇති කරනවා. දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව පොදු ප්‍රශ්නවලට මුහුණ දෙනවා වගේම ඔවුන්ට අනන්‍යවූ ප්‍රශ්නත් තිබෙනවා. දෙමළ භාෂාව කතා කරන පුරවැසියන්ට තමන්ගේ භාෂාවෙන් රජයත් සමග ගනුදෙනු කරන්න තිබෙන අයිතිය අපි තහවුරු කරනවා. ඔවුන්ට අනන්‍ය වූ සංස්කෘතියට ගරු කරමින් ආරක්ෂා කරමින් අපි ඉදිරියට ගෙන යනවා. ඔබගේ ආගම ඇදහීමට අවශ්‍යතාවය අපි හදනවා. ඒක තමයි අපි ඇති කරන වෙනස. දෙමළ ජනතාව කල්පනා කරන්නේ මේ ආණ්ඩු පාලනයෙන් තමන් පිටස්තර වූවන් ලෙස. ආණ්ඩුව කියන්නේ සිංහලයාගේ, කොළඹ තිබෙන ආණ්ඩුවක් ලෙස ඔවුන් සිතනවා. ඒක අපි මුළුමනින්ම වෙනස් කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යනු සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ නියෝජනය සහිත ආණ්ඩුවක්. උතුර, දකුණ, නැගෙනහිර සියලු දෙනාගේ කැමැත්තෙන් හැදෙන ආණ්ඩුවක්. දකුණේ දේශපාලනයේ ජාතික ජන බලවේගය සමග හැප්පෙන්න කිසිදු දේශපාලනයක් නැහැ. දකුණ දිනන්නේ අපි. සිංහල,දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ සහයෝගය අපිට අවශ්‍යයි. මේ රටේ ප්‍රශ්න විසඳිය හැක්කේ එහෙම ආණ්ඩුකට පමණයි. එහෙම ආණ්ඩුවක් තමයි මෙතෙක් හැදුණු ආණ්ඩුවලට වඩා වෙනස් ආණ්ඩුවක් වෙන්නේ. එහෙම ආණ්ඩුවක් අපි හදමු. ඔබ ඉතා හොඳින් මේ පණිවිඩය ගෙන යන්න. ශක්තිමත් ජයග්‍රහණයන් ජාතික ජන බලවේගයට ලබාදෙන්න මහන්සි වෙන්න. ඒ වෙනුවෙන් ඉදිරියට එන්න. ඒ වෙනුවෙන් වැඩ කරමු.
(-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ මාධ්‍ය හමුව – 2024.06.27-) අද වන විට විධායකයත්, ව්‍යවස්ථාදායකයත් අධිකරණයට කරනු ලබන බරපතළ තර්ජනයටත් බලපෑමටත් විරුද්ධව ජාතික ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ නීතිඥයන් විරෝධය පළ කරනවා. අවස්ථා ගණනාවකදි අධිකරණයේ ස්වාධීනත්වයට සහ අධිකරණයේ නිදහසට පාලකයන් විසින් දැඩි තර්ජනයක් එල්ල කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබූ අර්ථනිරූපණයක් නැතිනම් නඩු තීන්දුවට එරෙහිව, මේ […]
(-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ මාධ්‍ය හමුව – 2024.06.27-)
අද වන විට විධායකයත්, ව්‍යවස්ථාදායකයත් අධිකරණයට කරනු ලබන බරපතළ තර්ජනයටත් බලපෑමටත් විරුද්ධව ජාතික ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ නීතිඥයන් විරෝධය පළ කරනවා. අවස්ථා ගණනාවකදි අධිකරණයේ ස්වාධීනත්වයට සහ අධිකරණයේ නිදහසට පාලකයන් විසින් දැඩි තර්ජනයක් එල්ල කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබූ අර්ථනිරූපණයක් නැතිනම් නඩු තීන්දුවට එරෙහිව, මේ රටේ පළමු පුරවැසියා වන ජනාධිපතිවරයා විසින් ‘ජුඩීෂියල් කැනිබලිසම්’ යන වචනය පාවිච්චි කරමින් අදහස් ප්‍රකාශ කරනවා. ‘කැනිබල්ස්ලා’ කියන්නේ මිනීමස් කන පුද්ගලයන්ටයි. අධිකරණය මිනීමස් කන තත්වයට පත්වී තිබෙන බව තමයි ඔහු මේ ප්‍රකාශයට පත් කරන්නේ. ඒ විතරක් නොවෙයි ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් විමර්ශනය කර බලන්න පාර්ලිමේන්තු කමිටුවක් පත්කළ යුතු බවත් කියනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් බවට පත්වන්නේ පහළ අධිකරණවල සිට ක්‍රමයෙන් උසස්වීම් ලබා විශිෂ්ට දැනුමක් සහ අත්දැකීම් තිබෙන විනිසුරුවරුන්. මෙයට කලින් ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර තිබුණා. ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් කළ පසු අධිකරණ ඇමතිවරයා සහ තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ප්‍රහාර එල්ල කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අධිකරණය විවේචනය කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබාදුන් බව අපි දන්නවා. නමුත් මේ පුද්ගලයන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණයට පහර එල්ල කිරීමට අමතරව අධිකරණ ඇමතිවරයාගේ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් විනිසුරුවරුන්ගේ සංගමයෙන් විවේචනයක් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා නිවේදනයට අත්සන් තැබූ විනිසුරුවරුන් වරප්‍රසාද කමිටුවක් හමුවට කැඳවිය යුතු බව ලිඛිතව කථානායකවරයාට දන්වා තිබෙනවා.
ඊළඟට නීතිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කරන ලෙස කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ පරාජය වුවද නැවතත් ඒ නම යෝජනා කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකට ගෝලයෙකු වන ගෝනවල සුනිල් යොදවා අධිකරණයට බලපෑම් කළ ආකාරය සහ කළු ලකීලා මෙහෙයවා විනිසුරුවරුන්ගේ නිවෙස්වලට ප්‍රහාර එල්ල කිරීම වගේම අධිකරණයෙන් වැරදිකරුවන් කළ අයට ජනාධිපති සමාව ලබාදුන් ඉතිහාසය නැවත නැවතත් ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍ය ජනතාවට විශ්වාසය තිබුණේ අධිකරණ පද්ධතිය කෙරෙහියි. ඔවුන්ගේ ඒ තිබූ විශ්වාසය බිඳ දමා අධිකරණ පද්ධතියම විනාශ කිරීමේ ඉලක්කයක් අද පෙනෙන්නට තිබෙනවා. මේ රටේ අනාගතය බාර ගැනීමට සූදානමින් සිටින ජාතික ජන බලවේගය මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර තිබෙනවා. වර්තමානයේ අධිකරණයට එල්ල කරමින් තිබෙන මේ තර්ජනයට ජාතික ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ දැඩි විරෝධය පළ කරනවා. අධිකරණ සේවා සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය වගේම ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට අපිත් අධිකරණයට කරන අතපෙවීම්වලට එකාවන්ව විරෝධය පළ කරනවා.
“ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට මැදිහත්වීමට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවකට කිසිදු නීතිමය පදනමක් නැහැ”
-නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර-
ජනතාව තුළ අධිකරණය කෙරෙහි තිබෙන විශ්වාසය බිඳ දැමීම සඳහා ගෙනයන ක්‍රියාමාර්ග අතර, අධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තුව හමුවට ගෙන්වා දඬුවම් ලබාදිය යුතු බවට මතයක් තහවුරු කරන්න උත්සාහ කරනවා. නමුත් එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් හෝ දඩ ගැසීමක් කිරීමේ කිසිදු හැකියාවක් පාර්ලිමේන්තුවට නැහැ. පාර්ලිමේන්තු කමිටුවකට කළ හැක්කේ යම්කිසි පුද්ගලයෙකුට අවවාද කිරීම පමණයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරිපත් කර තිබූ පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම මැතිවරණය පැවැත්විය යුතු බවට නියෝගයක් කළා. ඒ අවස්ථාවේදී එක්තරා මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේ අදාළ විනිසුරුවරුන් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වා දඬුවම් ලබාදිය යුතු බවයි. පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද සම්බන්ධයෙන් පවතින ‘ඒ ’සහ ‘බී’ යන උපදේශන දෙකේ කිසිම තැනක අධිකරණයක් මගින් එම බලතල හා වරප්‍රසාද උල්ලංඝනය වන බව දක්වා නැහැ. නමුත් මහජනතාව අතර එවැනි දුර්මතයක් පැතිරවීම සම්බන්ධයෙන් ඔවුන් වගකියන්න ඕනෑ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකට එරෙහිව ක්‍රියාකිරීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත්කළ යුතු බව ප්‍රකාශ කරමින් මහජනතාව භීතියට පත්කර නොමඟ යැවීමේ යෙදී සිටිනවා. ඒ හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් පිළිබඳව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවකට මැදිහත්වීමට කිසිදු නීතිමය පදනමක් නැහැ.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන කිසියම් තීන්දුවක් පිළිබඳව ගැටලුවක් පවතිනවා නම්, ප්‍රතිශෝධනයක් කිරීමේ අයිතිය රජයට ලබාදී තිබෙනවා. එහෙම නම් ඒ පිළිබඳව නීතිපතිවරයා විසින් රජය වෙනුවෙන් ප්‍රතිශෝධනයක් ඉල්ලිය යුතු වෙනවා. නමුත් විධායක ජනාධිපති නීතිපතිවරයාට එවැනි උපදේශයක් ලබාදී නැහැ. ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර කිසියම් ගැටලුවක් පැන නගිනවා නම් එය විසඳා ගන්නා ශිෂ්ට සම්පන්න ආකාරය පැහැර හැර ඇති බව තහවුරු වෙනවා. රජයේ නීතිපතිවරයා මගින් එවැනි ප්‍රතිශෝධනයක් සඳහා ඉල්ලීමක් නොකර අධිකරණයට නිර්දය ලෙස පහර ගසනවා. ජනතාවගේ පරමාධිපත්‍යයේ බලයේ කොටසක් වන අධිකරණය සමච්චලයට ලක්කරනවා. අධිකරණය කෙරෙහි මහජනතාවගේ තිබෙන විශ්වාසය පහතට ඇද දමනවා. නීතිපතිවරයා මගින් එවැනි නීත්‍යානුකූල කටයුතු ඉටු කර ගන්නේ නැතිව ඔහුට සේවා දිගුවක් ලබාදෙන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට බලපෑම් සහගතව ජනාධිපතිවරයාගේ මැදිහත්වීම් සිදුකරනවා.
ඒ වගේම වර්තමාන අධිකරණ ඇමතිවරයා නීතිය සම්බන්ධයෙන් ලියා තිබෙන පතපොත බොහෝ කටයුතුවලදී පරිහරණය කරනවා. නමුත් ඒ අධිකරණ ඇමතිවරයා එක් දේශපාලන පක්ෂයකින් මහජන නියෝජිතයෙකු ලෙස අවුරුදු පහකට තේරී පත්වී සිටියදී වෙනත් පක්ෂයක සභාපති ධුරයක් බාරගැනීම පිළිබඳව ආරාවුලක් කොළඹ දිසා අධිකරණයට යොමු කර තිබුණා. එවැනිම තත්වයක් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාටත් පවතිනවා. අධිකරණ ඇමතිවරයාගේ ආරවුල පවතින්නේ ඔහුගේ පුද්ගලික කටයුත්තකට අදාළවයි. නමුත් අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුව තුළ ඔහුගේ නඩුව විභාග කළ සිවිල් අධිකරණයට දැඩි ප්‍රහාරය එල්ල කිරීම අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර පැවතිය යුතු මූලධර්ම එළිපිට උල්ලංඝනය කිරීමක්.
අද අධිකරණයේ පවතින නඩු ගොඩගැසීම, අධිකරණ කටයුතු වෙනුවෙන් දුරබැහැර සිට පැමිණීමට සිදුවීම වැනි කටයුතු වෙනුවෙන් කර තිබෙන ප්‍රකාශයක් අධිකරණ ඇමතිවරයා විසින් සමච්චලයට ලක්කළා. අධිකරණයේ සිදුවිය යුතු සැබෑ වෙනස්කම් නොසලකා හරින අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී තමන්ගේ නඩු සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම බරපතළ වරදක්. අධිකරණ සේවා කොමිෂන් සභාවට පැවරී තිබෙන බලතල අනුව අධිකරණ විනිසුරුවරුන්ගේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ සංගමයේ නිලධාරීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවිය යුතු යැයි කරන යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බලතල හා වරප්‍රසාද කමිටුවේ මූලධර්මවලට සම්පූර්ණයෙන්ම පටහැණියි. අධිකරණ ඇමතිවරයා අධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයට එරෙහිව කථානාකයවරයාට ඉදිරිපත් කර තිබෙන ලිපිය අපි සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා.
“ජනතා ඡන්දයෙන් පත් නොවූ ජනාධිපතිවරයා හිතුවක්කාරී ලෙස රට පාලනය කරන්න හදනවා”
-නීතිඥ දනුෂ්කි ලියනපටබැඳි-
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී තිබෙන තීන්දුව පිළිගත නොහැකි නම් මුල් විභාගය කළ විනිසුරුවරුන්ට වඩා වැඩි විනිසුරු මඬුල්ලක් හමුවේ නැවත විභාගයට ලක්කිරීමේ හැකියාව තිබෙනවා. මුල් විභාගය පැවැත්වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තුන්දෙනෙක් නම් එය පස්දෙනෙකු හෝ හත් දෙනෙකු වශයෙන් වැඩි විනිසුරුවරුන් සංඛ්‍යාවක් ඉදිරියේ නැවත විභාග කරන ලෙස ඉල්ලා සිටිය හැකියි. ඔවුන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ගැන කතා කළත් අද පවතින්නේ ජනතා අනුමැතියක් නැති පාර්ලිමේන්තුවක්. එවැනි තත්වයක් තුළ නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති දැඩි වෙහෙසක් දැරීම සම්බන්ධයෙන් මහජනතාව තුළ දැඩි සැකයක් ඇති විය හැකියි.
අධිකරණ ඇමතිවරයා පසුගිය කාලයේ තවත් චෝදනාවක් එල්ල කර තිබුණා. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ නඩු විභාගවලදී සුළු දඩයක් නියම කර, මුදාහරින බවට චෝදනා කළා. නමුත් නීත්‍යානුකූලව විනිසුරුවරුන් නඩු තීන්දු ලබාදී තිබෙන්නේ නීති ප්‍රතිපාදනවල සඳහන් ආකාරයටයි. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කරන ආකාරය පසුගිය කාලයේ අපි දැක්කා. මේ කටයුතු සියල්ලම අවසාන වශයෙන් බලපාන්නේ පොදු ජනතාවටයි. ආණ්ඩුවේ අය මේ ආකාරයට අධිකරණයට ප්‍රහාර එල්ල කළාම ජනතාව තුළ අධිකරණය කෙරෙහි සැකයක් ඇති වෙනවා. 1977දී ප්‍රථම විධායක ජනාධිපති ලෙස ජේ.ආර්. ජයවර්ධන පත්වන්නේ ජනතාවගේ ඡන්දයෙන් නොවෙයි, 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් එකතු කරලයි. ඒ ජේ.ආර්. ජයවර්ධනගේ බෑනා වන වර්තමාන ජනාධිපතිවරයාත් ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් නොවී තමන්ට අවශ්‍ය ආකාරයට රට පාලනය කරන්න උත්සාහ කරනවා. ව්‍යාජ ලිපි ලේඛන සකස් කර, විවිධ අකටයුතුකම් කරන මැති ඇමතිවරු රැසක් සිටිද්දී ස්වාධීනව කටයුතු කරන අධිකරණයට මේ ආකාරයෙන් දේශපාලන අත පෙවීම් සහ බලපෑම් කිරීම අපි දැඩි ලෙසම හෙළා දකිනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වාර්ෂික සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අධිකරණ ඇමතිවරයා අතීතයේ සිදුවීමක් සම්බන්ධයෙන් ගෙනහැර දැක්වූවා. විජේදාස ලියනාරච්චි නීතිඥවරයා ඝාතනය කළ අවස්ථාවේ පාරට බැස විශාල උද්ඝෝෂණයක් කළ ප්‍රගතිශීලී නීතිඥවරුන් කොටසක් ලංකාවේ සිටින බව අවධාරණය කළා. එවැනි ප්‍රගතිශීලී නීතිඥවරුන් මේ අවස්ථාවේදී නිහඬව නොසිටිය යුතු බවට අවධාරණය කළා.
“ඉස්සර හොරු සහ මංකොල්ලකරුවන් කැළෑවල සිටියත් අද ඔවුන් සැඟවී සිටින්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලයි”
-නීතිඥ හර්ෂණ නානායක්කාර-
අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව මේ ආකාරයෙන් ස්වාධීන විනිසුරුවරුන්ට බලපෑම් කරන්නේ ඇයිද කියලා අපි මුලින්ම තේරුම් ගන්න ඕනෑ. ඔවුන් බලපෑම් කරන්නේ දේශපාලන මාර්ග සිතියමකට අනුවයි. විධායකයේ සිටින අය වගේම ව්‍යවස්ථාදායකයේ සිටින අයත් තම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා අධිකරණයෙන් ඉටු නොවූ අවස්ථාවල මේ ලෙස ප්‍රහාර එල්ල කරනවා. අපේ රටේ පොදු ජනතාව තුළත් අධිකරණ ක්‍රියාමාර්ගවලදී නඩු කල්යාම, නීතිඥවරුන්ට විශාල මුදලක් ගෙවීමට සිදුවීම වගේ තත්වයන් සම්බන්ධයෙන් පවතින්නේ ඍණාත්මක ආකල්පයක්. අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ හුස්ම ගැනීමට අවශ්‍ය ඔක්සිජන් වගේ අත්‍යාවශ්‍ය දෙයක්. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන සංවරණය හා තුලනය කියන මූලික සංකල්පය මත ක්‍රියාත්මක වෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය නොතිබුණොත් බ්රේක් නැති වාහනයක් පල්ලමකදි හැප්පිලා විනාශ වෙනවා වගේ රටත් විනාශ වෙනවා. නමුත් අපේ රටේ පාලනයට සම්බන්ධ දේශපාලනඥයන් ව්‍යවස්ථාවේ සහ අනෙකුත් නීතිවල සිදුරුවලින් රිංගා යන්න බොහෝ විට උත්සාහ කරනවා. ජනතාවගේ ඡන්දයෙන් පත් නොවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබාදෙන ආදර්ශ අනුව අධිකරණ ඇමති, විජේදාස රාජපක්ෂ අධිකරණයට ජනතාවගේ තිබෙන පිළිගැනීම සහ විශ්වාසය කඩා බිඳ දැමීමට සැලසුම් සහගතව ක්‍රියාත්මක කරනවා. අධිකරණය ආරක්ෂා කිරීමේ මූලිකම වගකීම තිබෙන එම ඇමතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී මහජනතාව ඉදිරියේ අධිකරණයේ විශ්වාසය බිඳෙන ආකාරයෙන් ක්‍රියා කරනවා. ඉස්සර නම් හොරු සහ මංකොල්ලකරුවන් වැඩිය සිටියේ කැළෑවල. අද ඔවුන් සැඟවී සිටින්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවල. ජනාධිපති නීතිඥවරයෙක් වුවත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සිදුකරමින් සිටින මේ ක්‍රියාව ඉතාම නින්දිතයි.
අපක්ෂපාත විනිසුරුවරුන් බිය ගන්වා බලපෑම් කර ආණ්ඩුවට අවාසි නොවන ආකාරයේ තීන්දු ගැනීමේ උත්සාහයක යෙදී සිටිනවා. හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, රාජපක්ෂවරුන් අකමැති තීන්දුවක් දීම නිසා පාර්ලිමේන්තුවට ගෙනත් ඉතාමත්ම අපහාසාත්මක ලෙස කටයුතු කළා. සූරසේන විනිසුරන් ප්‍රමුඛ විද්වතුන් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවට තීන්දුවක් දුන් අවස්ථාවේ ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ප්‍රකාශ කළේ විනිසුරුවරුන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්විය යුතු බවයි. වෘත්තියේ ස්වාධීනත්වය සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ලිපියක් නිකුත් කර, විරෝධය පළ කිරීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් එම සංගමයේ නිලධාරීන් පවා පාර්ලිමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කළ යුතු බවට ගෙනයන මතය පරාජය කරන්න ඕනෑ.
අධිකරණ විනිසුරුවරුන් කියන්නේ ජනතාවගේ අවසන් බලාපොරොත්තුවයි. එවැනි පිරිසක් බය ගැන්වීමට අධිකරණ ඇමති උත්සාහ කිරීම මගින් පෙන්වන්නේ මංකොල්ලකරුවෙකු සහ ඔහු අතර වෙනසක් නැති බවයි. ඇමතිවරයාට ඔය කළ ප්‍රකාශය කොන්ද කෙලින් තබාගෙන පාර්ලිමේන්තුවෙන් පිටතදී කරන ලෙස අපි අභියෝග කරනවා. වරප්‍රසාද තුළ හැංගී, ඔය වැනි ප්‍රකාශ කරන්නේ කොන්දක් නැති නිසයි. නීතිපතිවරයා සම්බන්ධයෙන් ජනාධිපති අනුගමනය කරන ක්‍රියාමාර්ගයත් බරපතළ සැකයක් ඇති කරනවා. වර්තමාන නීතිපතිවරයා විශ්‍රාම ගිය පසු එම තනතුරට පත්කරන්න දක්ෂ නිලධාරීන් ඇති තරම් ඉන්නවා. නීතිපතිවරයා ඉවත් වූ පසුව ඊළඟ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා බවට පත්වෙනවා. සංජය රාජරත්නම් මහතාගේ ආත්ම ගෞරවයටත් හානියක් වන ආකාරයෙන් ජනාධිපතිවරයා ක්‍රියා කිරීමත් අපේ සැලකිල්ලට ලක්වෙනවා. පවතින මෙම සමස්ත ක්‍රියාවලියේ පිරිහීමට එරෙහිව හෙට දිනයේදී අලුත් කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් පවත්වනවා. අධිකරණ ඇමතිවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව ජාතික ජන බලවේගයේ නීතිඥයන් ප්‍රමුඛ සමස්ත නීති ප්‍රජාවට මේ අවස්ථාවට සහභාගී වන ලෙස ඉල්ලනවා. මේ විරෝධතාව ජාතික ජන බලවේගයේ නීතිඥයන් විසින් සංවිධානය කරන විරෝධතාවක් නෙමෙයි. පොදු නීතිඥයන් විසින් නීතියේ ස්වාධීනත්වය, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් දක්වන විරෝධතාවක්.
අවසන් වශයෙන් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට අපි කියන්නේ ඔබ පක්ෂ මාරු කරමින් පෞද්ගලික උන්නතිය වෙනුවෙන් දේශපාලනය කළාට අපට කමක් නැහැ. තම ආර්ථිකය වෙනුවෙන් කටයුතු ඒ ආකාරයෙන් සිදුකර ගත්තාට කමක් නැහැ. නමුත් පොදුවේ නීතිඥවරු වශයෙන් අපි අභිමානයෙන් සහ ගෞරවයෙන් ඉටුකරන වෘත්තීන්ට අපහාස කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. මෙයට පෙර අධිකරණයට ගල් ගැසූ දේශපාලනඥයන්ට සිදුවූ දේ හොඳින් සිහියට ගන්නා ලෙස අවධාරණය කරනවා. අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ලිඛිතව කරුණු ඉදිරිපත් කළ විනිසුරුවරුන්ගේ සංගමයට, ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහ අනෙකුත් සංවිධානවලට ස්තුතිවන්ත වෙනවා.