Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“මැතිවරණය වෙනුවෙන් විධායක බලය අවභාවිත කිරීම වැළැක්වීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමක්” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති-

(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.07.19-) පසුගිය 17 දින සිට ජනාධිපතිවණය වෙනුවෙන් කටයුතු කිරීමේ ව්‍යවස්ථානුකූල බලය මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබුණත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ගොඩනඟන්න ජනාධිපති බලය, නිලධාරීන්, මහජන මුදල් වැය කරමින් විවිධ ව්‍යාපෘති අඛණ්ඩව කරගෙන යනවා. රාජ්‍ය මූල්‍ය අවභාවිතාවන් වළක්වා සැබෑ මහජන මතය ඡන්දයකදී නිරූපණය කිරීම සඳහා දූෂිත ක්‍රමය වෙනස් කරන්නයි 2022 අරගලයේදී […]

(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.07.19-)

npp-press-sunil

පසුගිය 17 දින සිට ජනාධිපතිවණය වෙනුවෙන් කටයුතු කිරීමේ ව්‍යවස්ථානුකූල බලය මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබුණත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ගොඩනඟන්න ජනාධිපති බලය, නිලධාරීන්, මහජන මුදල් වැය කරමින් විවිධ ව්‍යාපෘති අඛණ්ඩව කරගෙන යනවා. රාජ්‍ය මූල්‍ය අවභාවිතාවන් වළක්වා සැබෑ මහජන මතය ඡන්දයකදී නිරූපණය කිරීම සඳහා දූෂිත ක්‍රමය වෙනස් කරන්නයි 2022 අරගලයේදී ජනතාව පාරට බැස්සේ. නමුත් අදටත් බිඳ වැටුණු රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ගොඩනැගීමේ ව්‍යාපෘති දියත් කර තිබෙනවා. ප්‍රජා පොලිස් කමිටු දේශපාලනය කිරීමේ අරමුණෙන් එකතු කරමින් ඉන්නවා. මේ රැස්වීම් වෙනුවෙන් පොලිස් තෑගි අරමුදල අවභාවිතා කිරීම, චක්‍රලේඛ යොදා ගනිමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශ යොදා ගැනීම සඳහා විදේශගත ශ්‍රමිකයන්ගේ අරමුදල් යොදා ගන්නවා. ඊට අමතරව යෞවන කටයුතු වෙනුවෙන් මුදල් නැහැ කියන අතරේ තරුණ සේවා සභාවේ මුදල් විවිධ ආකාරයට මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගන්නවා.

මූල්‍ය අවභාවිතාව නැවැත්වීම සඳහා පුළුල් මහජන මතයක් අවශ්‍යයි. රුපියල් කෝටි 200ක පමණ මුදලක් ජනාධිපති වැය ශීර්ෂයෙන් වෙන්කර නීතිමය තහවුරුවක් නැති ඔප්පු ලබාදීමේ උත්සව පවත්වනවා. අවුරුද්ද මුලදී ජනාධිපතිවරයාට වෙන් කළ මුදල්වලට වඩා විශාල මුදලක් පරිපූරක ඇස්තමේන්තු වෙන් ලබාගනිමින් යොදා ගන්නා අතර, වෙනත් වැය ශීර්ෂයන් පවා යොදවා ගැනීමේ යෝජනා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගෙන තිබෙනවා. 2024 ජනාධිපති වැය ශීර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 6607ක් වෙන්කර තිබියෙදී තවත් මිලියන 8750ක් වෙන්කරගෙන මැතිවරණ ක්‍රියාවලියට යොදා ගන්නවා. තවමත් අපේක්ෂකයෙක් ලෙස නිල වශයෙන් නම් නොකළ තත්වයක් යටතේ මහජන මුදල් මෙන්ම නිලධාරීන් රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් විධායක බලය පාවිච්චි කර යොදා ගනිමින් සිටිනවා. මැතිවරණය සම්බන්ධයෙන් දින වකවානු කොමිසමෙන් ප්‍රකාශ කළාට පසු බලය අවභාවිතා කරමින් ප්‍රචාරක කටයුතුවලට යොදා ගන්න සැලසුම් කර තිබෙනවා. එයට එරෙහිව ජනතාව සහ දේශපාලන පක්ෂ හැටියට අපි මැදිහත් වෙනවා වගේම මැතිවරණ කොමිෂන් සභාවටත් විශාල වගකීමක් පැවරී තිබෙනවා.

npp-press-sunil

“බැඳුම්කර වංචාව සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට එරෙහිව ෆයිල් දෙකක් තිබෙන බව මතක් කරනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ-

මැතිවරණය ආසන්නයේදී රාජ්‍ය සම්පත් අවභාවිතා කරනවා වගේම රටේ සම්පත් ඉතාම වේගයෙන් කුණු කොල්ලයට විකුණමින්, යහළුවන්ට බෙදා දෙමින් තිබෙනවා. අද මේ වන විටත් පාස්පෝර්ට් කාර්යාලය ළඟ ඇතිවී තිබෙන උණුසුම් තත්වය පාලනය කරන්න කැරලි මර්දන පොලීසිය කැඳවා තිබෙනවා. තමන්ගේ පාස්පෝර්ට් එක ගන්න පැමිණි 3000කට අධික පිරිසක් කාර්යාලය ඉදිරිපිටට එක්රැස්වී සිටියදී එය ඔන්ලයින් ඔස්සේ පමණක් ලබා ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා. ඊට අදාළ අභ්‍යන්තර චක්‍ර ලේඛය නිකුත් කර තිබෙන්නේ පෙරේදා, 17 දිනයි. ඊ පාස්පෝර්ට් එකක් ලබාදීම වෙනුවෙන් මේ චක්‍රලේඛය නිකුත් කර ඇති බව කියනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමේදී හෙළි වූයේ ඊ පාස්පෝර්ට් සේවාව ලබාදීමට ටෙන්ඩර් කැඳවා රනිල් වික්‍රමසිංහලාගේ යාළුවෙකුට ලබාදී ඇති බවයි. මේ සේවාව ලබාදීමට අවශ්‍ය හැකියාව ඔවුන්ට තිබෙනවාද යන්න සොයා බැලීමකින් තොරව ටෙන්ඩරය ලබා දී ඇති බව මේ වන විට හෙළි වෙනවා. තව පැත්තකින් ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීම යාළුවන්ට ලබාදීම වෙනුවෙන් ක්‍රියා කළ ආකාරය පසුගිය කාලයේ අපි දැක්කා.

රටේ සම්පත් තමන්ගේ යහළුවන්ට පවරා දෙන්න වේගයෙන් ක්‍රියා කරන ආකාරය නිකවැරටියේ පශු සම්පත් ගොවිපළ පවරා දීමට දරන උත්සාහයෙන් හෙළි වී තිබෙනවා. නමුත් ප්‍රාදේශීය ලේකම්, ගොවිපළේ සේවකයන් පළ කර තිබෙන විරෝධය නොතකා ප්‍රධාන පාරට මුහුණ ලා තිබෙන අක්කර 20ක ඉඩම අවුරුදු 30කට බදු දී තිබෙන්නේ රුපියල් 60,000ක බද්දකට යටත්වයි. පශු සම්පත් ගොවිපළ නිලධාරීන් මෙයට විරුද්ධව දිගින් දිගටම විරෝධත්වය පළ කර තිබියෙදී මේ ගොවිපළේ අක්කර 1000ක ඉඩමෙන් අක්කර 20, 25, වැනි කැබලිවලට කඩා හිතවතුන්ට බෙදාදීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු නියෝගයක් මත ඡන්දයට පෙර ඉඩම් කොල්ලයක් දියත් කර තිබෙනවා. ඒ වගේම පොළොන්නරුව නගරය මධ්‍යයේ තිබෙන රුපියල් කෝටි පහක තක්සේරු වටිනාකමින් යුතු පර්චස් 40ක ඉඩම රුපියල් කෝටි දෙකකට නව තක්සේරු වාර්තාවක් ලබාගෙන හිතවතෙකුට බදු දී තිබෙනවා.

සතොසට අයත්ව මත්පැන් බලපත්‍ර 100ක් ලබා දී තිබෙනවා. එයින් 51ක් තමන්ගේ හිතවතුන්ට ලබාදීමේ සූදානමක් අර්ජුන් ඇලෝසියස්ලා එකතු වී දියත්කර තිබණා. අපි ඒ පිළිබඳව හෙළි කළ නිසා තාවකාලිකව නවත්වා සතොස ගබඩා තමන්ගේ හිතවතුන්ට ලබාදෙමින් සිටිනවා. මැකලම් පාරේ රථ ගාල රුපියල් ලක්ෂය බැගින් බදු දෙන්න සූදානම් කර තිබෙනවා. නුවරඑළිය රෝහල ආසන්නයේ සතොසට අයත් බංගලාව ලක්ෂ 05ක තක්සේරුවක් තිබියෙදී යහළුවන්ට රුපියල් එක් ලක්ෂ 15දාහක කුලියට දෙන්න සූදානම් කර තිබෙනවා. කම්කරු අමාත්‍යාංශයේ විදේශ රැකියා සම්බන්ධ කොටස පමණක් ඇමතිගේ කටයුතු වෙනුවෙන් සක්‍රීය කොට තිබෙනවා. “ජයගමු ශ්‍රී ලංකා” කියන ප්‍රචාරක වැඩපිළිවෙල මේ වන විට නගර 22ක ප්‍රදර්ශන පවත්වා අවසන්. පසුගිය වසරේ මුල් මාස හය තුළ විදේශ රැකියා සඳහා පිටත් වූ පිරිසට වඩා මේ ප්‍රචාරක වැඩපිළිවෙළ ඇතුළේ විදේශ රැකියා සඳහා ගිය පිරිස් වැඩිවී නැහැ. නමුත් මේ එක් ප්‍රදර්ශනයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 200ක් විදේශ රැකියා කාර්යාංශයේ මුදල් වැය කරනවා. කිසිදු ටෙන්ඩර් පටිපාටියක් නැතිව ඇමතිගේ හිතවතෙකු හට මේ ප්‍රදර්ශන කුටි සැකසීම සඳහා රුපියල් ලක්ෂ 200 බැගින් ලබා දෙනවා. දැනට රුපියල් ලක්ෂ 4400ක් වියදම් කර අවසන්.

සංචාරක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රජා පොලිස් කමිටු, යොදවා ගෙන රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු ගෙන යනවා. ජනතාවගේ යහපත වෙනුවෙන් වියදම් කිරීමට තිබෙන සල්ලි මේ ආකාරයෙන් තමන්ගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගන්නේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 75ක් නැති පසුබිමකයි. පාසල් ගණනාවක ලයිට් කපා තිබෙන පසුබිමකයි. ඡන්දයට බයේ ඉන්න පාලකයන් මහජන ධනය මේ ආකාරයෙන් යොදා ගැනීම නැවැත්වීම සඳහා අවශ්‍ය බලය යොදවන ලෙස මැතිවරණ කොමිසමට අවධාරණයෙන් මතක් කරනවා. රනිල් වික්‍රමසිංහ නීතිපතිට උපදෙස් ලබාදී අධිකරණයේ විභාග වෙමින් පැවති අධි චෝදනා 31කට අදාළ ලිපිගොනු පසුගිය කාලයේ ඉවත්කර ගෙන තිබෙනවා. නමුත් මේ අවස්ථාවෙත් පොළොන්නරුව ගොවිපොළේ සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වංචා අක්‍රමිකතා පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතිනවා. ඒ සම්බන්ධ නීතිමය ක්‍රියා මාර්ග ඉතා ඉක්මනින් ගන්නා අතර මහ බැංකු බැඳුම්කර වංචාව සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට එරෙහිවත් ෆයිල් දෙකක් තිබෙන බව මතක් කරනවා. ඊට අමතරව පසුගිය කාලයේ අපි ඉදිරිපත් කළ වංචා, දූෂණ සියල්ලට අදාල නීතිමය ක්‍රියා මාර්ග ජාතික ජන බලවේගයේ රජයකින් නිසි පරිදි ක්‍රියාත්මක කරන බව අවධාරණය කරනවා.

npp-press-sunil

“රනිල්, රාජපක්ෂලාගේ මජර දේශපාලන සංස්කෘතියම ඉදිරියට ගෙන යමින් සිටිනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස-

රාජපක්ෂලාගේ කැත, මජර දේශපාලන සංස්කෘතියම ඉදිරියට ගෙන යමින් සිටින බව රනිල් වික්‍රමසිංහ මේ වන විට ඔප්පු කරමින් ඉන්නවා. 2014දී රාජපක්ෂලා විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් භාවිතා කර සිල් රෙදි බෙදාදීමට මූලික වූ නිලධාරීන් හට මහාධිකරණයෙන් දඬුවම් ලබාදුන් බව රනිල් වික්‍රමසිංහ මතක තබාගත යුතු වෙනවා. මේ කටයුතුවලට රාජ්‍ය නිලධාරීන්ගේ දැඩි විරෝධයක් තිබෙනවා. නිලධාරීන් එයට සහභාගී වන්නේ කිසිවක් කර ගත නොහැකි පසුබිමක් තුළයි. අපි ජනතාවට අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් අවදියෙන් සිටිමින් මැතිවරණයේදී නිසි ප්‍රතිචාර දක්වන ලෙසයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්

ප්‍රශ්නය: මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතින ව්‍යවස්ථා සංශෝධන මගින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටත් මැතිවරණයට ඉදිරිපත් විය හැකිද?

පිළිතුර:
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති තේරුම් ගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට නොහැකිකම හෝ බලය වෙනුවෙන් තිබෙන වුවමනාව මත පුද්ගලයන් යවා ධුර කාලය වසර පහක්ද හයක්ද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවා. අවුරුදු පහක් බව නැවතත් තහවුරු කර තිබෙනවා. ඔය කියන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවත් වසර පහකට ධුර කාලය සීමා වෙනවා මිස හයක් වෙන්නේ නැහැ. පොහොට්ටුවට මහින්ද රාජපක්ෂ හැර අපේක්ෂකයෙක් ගැන හිතන්නවත් බැරි නිසා ඒ බංකොලොත්භාවය මාධ්‍ය සාකච්ඡාවලදී එක් එක් පුද්ගලයන් ප්‍රකාශ කරමින් සිටිනවා.

ප්‍රශ්නය: අපේක්ෂකයා නම් කරන්න ඉක්මන් වුණා වැඩි නැද්ද?

පිළිතුර:
කිසිසේත්ම වැඩි නැහැ. අනුර කුමාර දිසානායක සහෝදරයා අපේ අපේක්ෂකයා බව කල්තියාම නම් කරලා රට තුළත් විදේශ රටවලත් දැවැන්ත ප්‍රචාරක කටයුතු රැසක් කරමින් සිටිනවා. ජනාධිපතිවරණයට නාම යෝජනා දෙන දිනය ආසන්න වෙලා තිබියදීත් තමන්ගේ අපේක්ෂකයා නම්කර ගන්න බැරි අය ඔය වගේ ප්‍රචාර ගෙන යනවා. කල්තියා අපේක්ෂකයා නම්කර ඔහු මූලිකත්වයේ තබාගෙන ප්‍රචාරක කටයුතු කරගෙන යාම අපගේ ජයග්‍රාහීම පියවරක්.

ප්‍රශ්නය: රටේ සංවර්ධනයට ආයෝජන අරමුදලක් ඇති කර පෞද්ගලික ආයෝජකයන්ට අවස්ථාවක් ලබාදෙන බව සුනිල් හඳුන්නෙත්ති සඳහන් කර තිබෙනවා. ඒ කියන්නේ කළු සල්ලි තිබෙන අයට අවස්ථාව ලබා දෙනවා කියන එකද?

පිළිතුර: රාජපක්ෂලා වික්‍රමසිංහලා දූෂිතයන්ව ආරක්ෂා කළා වගේ අපේ පාලනයක් තුළදී ආරක්ෂා කරයි කියලා ඔබ හිතනවාද? කොහොත්ම වෙන්නේ නැහැ. ජනතාව අපිත් එක්ක එකතු වී ඉන්නේ මේ දූෂිත ක්‍රමය වෙනස් කරන්න. ජනතාව අපිත් එක්ක එකතු වෙන්නේ රාජපක්ෂලා, වික්‍රමසිංහලා ආරක්ෂා කරන දූෂිතයින්ව හෙළිදරව් කළ නිසයි. ඒ දූෂිතයන්ට අපි නීතියෙන් දඬුවම් දෙන බව පැහැදිලි නිසයි. අපේ රටේ සැලකිය යුතු ජනතාවක් මූල්‍ය පද්ධතියත් එක්ක එකතු නොවී සිටිනවා. ඒ ජනතාව එක්රැස් කර ගත් අරමුදලක් පිහිටුවන්න අදහස් කරන බවයි එයින් ප්‍රකාශ කළේ. අපේ පාලනයක් තුළ දූෂිතයන් ආරක්ෂා කරන්න හෝ ඔවුන් ආරක්ෂා කරන්න නීති හදන්නේ නැහැ. පවතින නීති ප්‍රමාණවත් නොවේ නම්, අවශ්‍ය කරන නීති සම්පාදනය කර, විනිවිදභාවයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම සාධාරණ ව්‍යාපාර කරන ව්‍යවසායකයන්ට, කර්මාන්තකරුවන්ට රාජ්‍ය ව්‍යවසාය තුළ අවස්ථාව සලසා දෙන බවට කළ පැහැදිලි කිරීම වෙනස් ආකාරයකට අර්ථ කථනය කරමින් යනවා. එවැනි අර්ථකථන ලබාදෙමින් සතුටු වෙන්න පිරිසක් ඉන්නවා. ඔවුන්ට සතුටු වෙන්න තිබෙන්නේ ටික දවසයි. ඒ බව මේ රටේ ජනතාව පැහැදිලිව දන්නවා.

විදේශ රැකියා ප්‍රවර්ධනයට බව කියමින් මනුෂ නානායක්කාර ඇමතිවරයාගේ මස්සිනා තවත් කණ්ඩායමක් එක්ක කොරියාවට ගියා. විදේශ රැකියා කාර්යාංශයේ නව දෙනෙක් සහ ඇමතිවරයාගෙන් දෙදෙනෙක් ඒ ලෙස ගිය පිරිස අතර ඉන්නවා. ඇමතිවරයාගෙන් ගිය දෙදෙනාගෙන් එක අයෙක් මනුෂ නානායක්කාරගේ මස්සිනා. දූෂිත ගනුදෙනු වගේම ඥාති සංග්‍රහයත් උපරිමයෙන්ම ක්‍රියාත්මක වෙනවා. යන යකා කොරහත් බිඳගෙන යන එක රාජපක්ෂලාත් ක්‍රියාත්මක කළා. රනිල් වික්‍රමසිංහත් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. මේ මුදල් අවභාවිතාවට විරුද්ධ වන නිලධාරීන් එක්ක අපි ඉන්න බව මතක් කරනවා. නීති විරෝධී යෝජනා ඉදිරිපත් වන අවස්ථාවල වහාම විරුද්ධ වන ලෙස අපි ඒ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Show More

“අපකීර්තියට පත් වූ රට ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත්කිරීමේ වගකීම බාරගන්න ජාතික ජන බලවේගය සූදානම්” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-‘පුනරුදයට රටම එකට’ ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් රැලිය – මහනුවර නගරය – 2024.07.16-) අද ප්‍රධාන ප්‍රවෘත්ති දෙකක් පළ වුණා. එකක් තමයි මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා මේ මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පිළිබඳව දැන්වීම් ප්‍රකාශයට පත්කරන බව පැවසුවා. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවන බව ප්‍රකාශ කළා. ඒ අනුව දින 16ත් 21ත් අතර […]

(-‘පුනරුදයට රටම එකට’ ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් රැලිය – මහනුවර නගරය – 2024.07.16-)

Kandy-Public-Rally

අද ප්‍රධාන ප්‍රවෘත්ති දෙකක් පළ වුණා. එකක් තමයි මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා මේ මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පිළිබඳව දැන්වීම් ප්‍රකාශයට පත්කරන බව පැවසුවා. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවන බව ප්‍රකාශ කළා. ඒ අනුව දින 16ත් 21ත් අතර නාම යෝජනා කැඳවනවා. නාම යෝජනා කැඳවූ දින සිට සති හතරත් හයත් අතර කාලය තුළ ඡන්දය පවත්වන බව කීවා. සභාපතිගේ ප්‍රකාශයන් කැටිකොට බැලූ විට බොහෝ විට සැප්තැම්බර් 28 ඡන්දය පැවැත්වේවි. එළඹෙන ජනාධිපතිවරණයේදි මොන වගේ තීරණයක් ගත යුතුද? මේ තීරණාත්මක ඡන්දය අපේ රට විශාල පරිවර්තනයක් කරන ඡන්දයක් බවට පත්කර ගත හැකි වෙනවා.

දෙවැනි ප්‍රවෘත්තිය, බන්දුල ගුණවර්ධන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියනවා, ව්‍යවස්ථාවේ ගැටලුවක් තිබෙනවා පහද, හයද කියා. ස්ථිරවම හයයි කියන්න තීන්දුවක් ගත්තාලු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්නේ කැබිනට් මණ්ඩලය නොවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 135 වන වගන්තිය අනුව අර්ථ නිරූපණය කිරීමේ බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. පහද, හයද කියන ප්‍රශ්නය අවස්ථා ගණනාවකදි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා තිබෙනවා. කැබිනට් මණ්ඩලය සම්මත කරන පනත ගැසට් කර, සතියක් තියන්න ඕනෑ. ඊළඟට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සති දෙකක් තැබිය යුතුයි. පුරවැසියෙකුට අධිකරණයට යා හැකියි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සති තුනක් තියන්න ඕනෑ. ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියෙන් පසු නැවත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් අනුමත වෙන්න ඕනෑ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනමත විමසුමකට යන්න කියන නිසා රනිල් වික්‍රමසිංහ එතැන් සිට මාසයක් ඇතුළත ජනමත විචාරණයක් කැඳවන්න මැතිවරණ කොමිසමට නියෝගයක් දෙනවා. එතකොට රනිල් ගෙදර. රනිල් මේ හදන්නේ රට තුළ ව්‍යාකූලත්වයක් ඇති කරන්න. රනිල් ඉන්නේ දෙගිඩියාවෙන්. අද මැතිවරණ කොමිසමට බලය ආවා. තරග කරන්න ලකුණක් නැහැ. පක්ෂයක් නැහැ. පාටක් නැහැ. මේ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ කඳවුර විශාල ව්‍යාකූලත්වයකට පත්වෙලා තිබෙනවා. ඒ ව්‍යාකූලත්වය සමාජයට ගේන්න හදනවා. ඔබ ව්‍යාකූලත්වයට පත්වෙන්න එපා. ඡන්දය ස්ථිරයි.

Kandy-Public-Rally

දීර්ඝ කාලයක් මේ රට පාලනය කළ පාලකයන් විසින් රට මේ ව්‍යසනයට පත්කර තිබෙනවා. ගොවි ජනතාවට, ධීවර ජනතාවට ලැබෙන ආදායමෙන් ජීවත් වෙන්න නොහැකිවෙලා තිබෙනවා. ව්‍යාපාරික ප්‍රජාවට ගත්ත ණය ගෙවා ගන්න බැරිවී තිබෙනවා. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රට අතහැර යාමට කල්පනා කරමින් ඉන්නවා. තරුණ පරම්පරාව ජීවත් වීමේ එකම මාර්ගය රට අතහැර යාම යැයි කල්පනා කරමින් ඉන්නවා. අපරාධවලින්, මත්ද්‍රව්‍යවලින් ගහන වී තිබෙනවා. ණය ගෙවා ගන්න බැරි රටක් බවට පත්වෙලා තිබෙනවා. රටකටත් ජාතියකටත් සිදුවිය හැකි සියලුම පන්නයේ ව්‍යසනයන් අපේ රටේ ජනතාවට සිදුවෙලා ඉවරයි. ඒ නිසා හැමතැනම ජනතාව කියන්නේ වෙනසක් ඕනෑ කියලා. මේ වෙනස ඇති කරන්නේ කවුද? මේ රට දශක හතරක්, පහක් පාලනය කළ, අසාර්ථක දේශපාලන කඳවුරට මේ වෙනස ඇති කරන්න බැහැ.

අද මේ රටට දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි. අපේ ආකල්පවල, අධ්‍යාපනයේ, සෑම ක්ෂේත්‍රයකම නව පරිවර්තනයක් අවශ්‍යයි. මේ රට නව ජාතික පුනරුදයක් කරා ගෙන යා යුතුයි. විසිවැනි සියවස ලෝකයට විශාල ජයග්‍රහණ ගෙනත් දීපු සියවසයි. විසිවන සියවසට පෙර, දේශපාලනඥයන්, චින්තකයන්, කලාකරුවන්, විද්‍යාඥයන් අනාගතය මොන වගේ ලෝකයක්ද කියා පරිකල්පනය කරන්න පටන් ගත්තා. සාහිත්‍ය ධරයන් ලිව්වේ මේ වගේ ලෝකයක් අපට ඕනැ කියලා. විද්‍යාඥයන් පරීක්ෂණවල නියැලෙමින් අනාගතය මේ වගේ විය යුතු යැයි ඉදිරිපත් කළා. දේශපාලන චින්තකයින් කිවුවා පවුල්වලට ලේ උරුමයෙන් එන පාලන බලය වෙනුවට ජනතාවගේ සහභාගිත්වයෙන් පාලන බලයක් නිර්මාණය වෙනවා කියලා. 14 වන 18 වන සියවස්වල හිතපු දේවල් භෞතිකව ගොඩනැගෙන්න පටන් ගත්තේ 20වන සියවසේ. විසිවන සියවසේ ජයග්‍රහණයන් උකහාගෙන අපේ රාජ්‍යය ගොඩනැගීම සඳහා දැක්මක් හෝ හැකියාවක් අපේ පාලකයන්ට තිබුණේ නැහැ. අපි විසිවන සියවස අහිමි කර ගත්ත ජාතියක්. ලෝකයේ ඇති වී තිබෙන දැනුමේ වර්ධනයන්, තාක්ෂණයේ වර්ධනයන්, කලාවේ, සංගීතයේ, සාහිත්‍යයේ ඇතිවී තිබෙන වර්ධනයන්, උකහා ගත්ත, නව ලාංකේය ජාතියක් බවට පරිවර්තනය කිරීමේ අභියෝගය තමයි ජාතික ජන බලවේගය බාර ගන්නේ. මේ රට ලෝකය ඉදිරියේ අපකීර්තියට පත් වුණු රටක්. මේ රට ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත්කිරීමේ අභියෝගය සහ වගකීම ජාතික ජන බලවේගය බාර ගන්න සූදානම්.

Kandy-Public-Rally

පුරවැසියාට නීතිය ඉදිරියේ තමන්ට යුක්තිය ඉටුවෙන බව හැඟෙන්නේ නැතිනම්, ඒ සමාජය අශිෂ්ට සමාජයක් බවට පත්වෙනවා. යළි නීතියේ විධානයේ ආධිපත්‍යය ශක්තිමත් ලෙස තහවුරු කරන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කළ යුතුයි. එසේ කළ හැක්කේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට පමණයි. මේ සමාජයේ අපරාධ රැල්ලක්, මත්කුඩු රැල්ලක් තිබෙනවා, මේවායින් අපේ රට මුදා ගත යුතුයි. මේ අපරාධ නිර්මාණය කළේ, අපරාධ ආරක්ෂා කළේ දේශපාලකයන්. මේ දේශපාලකයනුයි, අපරාධකරුවනුයි ඉන්නේ එකට. අපරාධ කරන්නේ පාතාලකයන් විතරක් නොවෙයි. දේශපාලකයනුත් අපරාධ කරනවා. කෙහෙලියයි, මහින්දානන්දයි වෙඩි තියා ගත්තා. උඩතලවින්නේ වෙඩි තිබ්බා. රගර් ක්‍රීඩකයන් ඝාතනය කළා. අද ව්‍යාපාරයක් කරන්න, බස් එකක් දුවන්න කප්පම් දෙන්න ඕනෑ. අපේ රට පාලනය කරන්නේ උඩින් පේන ආණ්ඩුවට වඩා යටින් තිබෙන ලෝකයක් තමයි අපේ රට පාලනය කරන්නේ. මේ රට අපරාධකරුවන්ගේ ග්‍රහණයට යටත් වෙලා තිබෙන්නේ. සෑම පුරවැසියෙකුටම තමන්ගේ දරුවන්ගේ ජීවිත පිළිබඳවත්, තමන්ගේ ජීවිතය පිළිබඳවත් විශ්වාසය තහවුරු වන රාජ්‍යයක් අවශ්‍යයි. ඒ රාජ්‍යය හදන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි. අපි ඇති කරන වෙනස එයයි.

ඒ වගේම අපි ජාතික සමගිය ඇති කරන්න ඕනෑ. දීර්ඝ කාලයක් අපේ රට පාලනය කළේ ජාතිවාදයයි. අපේ රටේ තිබුණේ එකිනෙකාට එරෙහිව, සැකය, අවිශ්වාසය, වෛරය, ක්‍රෝධය පතුරුවන දේශපාලනයක්. උතුරේ ජනතාවට එරෙහි දකුණේ සතුරෙක් පෙන්නලා දුන්නා. දකුණේ ජනතාවට එරෙහිව උතුරේ සතුරෙක් පෙන්නුවා. නැගෙනහිරට සතුරෙක් දකුණේ පෙන්නුවා. සතුරා හදන්නෙත්, සතුරාට එරෙහිව වීරයා හදන්නෙත් මාධ්‍යයයි. 2019 මුළු ඡන්ද ව්‍යාපාරයම ඒ විදිහට දෝලනය වුණා. එහි ප්‍රතිඵලය දෙමළ, සිංහල, මුස්ලිම් ජනයා අතර සැකය වැඩිවීමයි. අප එකිනෙකා රුස්සන්නේ නැති ජාතියක් බවට පත්වුණා. අපිට වෙනසක් අවශ්‍යයි. එකිනෙකාට එරෙහිව කළ දේශපාලනය, මතවාදය වෙනුවට අපට වෙනසක් අවශ්‍යයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගි සම්පන්න දේශපාලනයක් අවශ්‍යයි. ඒක තමයි ජාතික ජන බලවේගයේ දේශපාලනය. මේ බලය අත්පත් කර ගන්න සියලුම ජන ප්‍රජාවන්ගේ විශ්වාසය සහිත ආණ්ඩුවක් හදමු. ඒ පදනම තමයි ජාතික සමගිය ගොඩනඟන අත්තිවාරම වෙන්නේ. මේ ආණ්ඩුව හැදෙන්නේම ජාතික සමගියෙන්. එක තමයි ජාතික පුනරුදය. මම දෙමළ, මුස්ලිම් ජනතාවට ආරාධනා කරනවා අපි එකතු වෙලා ජාතික සමගියෙන් ආණ්ඩුවක් හදමු.

මේ රට හදන්න නව ආර්ථික ගමනකට පරිවර්තනය කළ යුතුයි. මේ ක්‍රමය හරිනම් රට දියුණුවෙලා තිබෙන්න ඕනෑ. ඒගොල්ලෝ ඇවිත් ආර්ථිකය හදනවාලු. දශක ගණනාවකදි හදන්න බැරි වුණා. මේ රට ව්‍යසනයට පත් කළේ ඒ අය තමයි. මේ රට හදන්න ලෝකයේ නව තාක්ෂණය උකහාගෙන ඒ තාක්ෂණයේ වෙනස්කම් මත නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕනෑ. ලෝකයේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ, ඖෂධ ක්ෂේත්‍රයේ, බීජ නිෂ්පාදනයේ, ඇතිවෙන තාක්ෂණික වෙනස්කම් උපයෝගී කරගෙන නිෂ්පාදනය කරන ජාතියක් වෙන්න අපිට බැරි වුණා. අපිට ලෝකයේ නව නිෂ්පාදනයන් පරිභෝජනය කරන්නන් වුණා. අපි පරිභෝජනය කරන ජාතියක් වුණා. ඉන්දියාව ඒ තාක්ෂණය උපයෝගී කරගෙන බිත්තරයේ නිෂ්පාදන පිරිවැය අඩුකර ගන්න සමත් වුණා. ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඖෂධ, මෝටර් රථ, අපි පරිභෝජනය කරන්නන් වුණා. අපේ රෝහල්වල තිබෙන විශාල සෞඛ්‍ය උපකරණ නිෂ්පාදනය කරන්නේ ඊශ්‍රායලය. රටට නව ආර්ථික පරිවර්තනයක් ඕනෑ. ජාතික ජන බලවේගයේ ආර්ථික උපායමාර්ගය ලෝකයේ සිදුවන තාක්ෂණයේ දියුණුව මගින් නිෂ්පාදනය දියුණු කරන ජාතිකයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමයි.

Kandy-Public-Rally

අපේ රටේ කාබන් ප්‍රතිශතය වැඩි වටිනා මිනිරන් සම්පත, පුල්මුඩේ ඛනිජ සම්පත, පුත්තලමේ වටිනා ද්‍රව්‍ය සහිත සිලිකා සහිත සම්පතක් තිබෙනවා. අපි විද්‍යාඥයන් හමුවුණා, මේ සම්පත්වලින් වටිනාකම් සහිත භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ කොහොමද ඇහුවා. ඒ සඳහා දැනුම තිබෙන විද්‍යාඥයන් ඉන්නවා. අපි ආයෝජකයන් සමග ව්‍යාපාරිකයන් සමග කතා කළා. එයාලා සූදානම් ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලා ලංකාවේ පටන් ගන්න. අපිට තාක්ෂණය, ප්‍රාග්ධනය, වෙළඳපොළ නැතිනම්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය තිබෙන, ප්‍රාග්ධනය තිබෙන, මාර්කට් එකක් තිබෙන ආයෝජකයන්ට අපි එන්න කියන්න ඕනෑ. 1978 සිට අවුරුදු 44ටම ඍජු විදේශ ආයෝජන ලැබී තිබෙන්නෙ ඩොලර් බිලියන 23යි. වියට්නාමයට ගිය අවුරුද්දට ඩොලර් බිලියන 22යි. මේ රට නව නිෂ්පාදනයකට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ පුළුල්වෙන සේවා වෙළඳපොළෙන් පංගුවක් අපි අත්පත් කරගත යුතුයි. ඒවට අවශ්‍ය යටිතල පහසුකම් අපි දියුණු කළ යුතුව තිබෙනවා.

ආර්ථිකය හැදෙනකම්, රැකියාවක් ලැබෙනකම් ජනතාවට ඉන්න බැහැ. ගමේ ඉන්න සාමාන්‍ය ජනතාවට ආහාර ටික සහතික කරන්න ඕනෑ. මහ බැංකු වාර්තාවෙන් කියනවා ජනතාවගෙන් 68%කට කන්න නැහැ කියලා. ආර්ථිකය හැදෙන තෙක් ජනතාවට ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍යය, සහතික කරන ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. ආදායම් මාර්ග නැති අයට සහනාධාර දෙන්න ඕනෑ. ආණ්ඩුවක වගකීම රටේ ජනතාව බලා ගන්න එක. මහජනතාවගේ ධනය හොරකම් කරනවා, නාස්ති කරනවා, ඒවට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට හිනාවෙලා ගිහින් ආයෙමත් හොරකම් කරනවා, නීතියෙන් බේරෙනවා. මේ ආර්ථික ගමන අපේ රට විශාල ණය උගුලක හිරකරනවා කියල අපි පාර්ලිමේන්තුවේ කියනවා. ඒ කිවුවත් තව තව ණය ගන්නවා. අපි මේවා ඇති තරම් කෑගහලා කියලා තිබෙනවා. කිසිදු පලක් නැහැ. දැන් කියන එක වෙනුවට බලය අරගෙන හදන වැඩේ කරන්න ඕනෑ. එහෙම නම් මේ ඉදිරි ජනාධිපති ඡන්දය තීරණාත්මක ඡන්දයක්. මෙතන සිටින දහස් සංඛ්‍යාත ඔබ, ඔබේ මිතුරන්ට, හිතවතුන්ට, ඥාතීන්ට කතා කරන්න. එළඹෙන මැතිවරණයේදි ජයග්‍රහණය අත්පත් කර දෙන්න. අපි ඔක්කොම එකතු වෙලා මේ රට වෙනස් කරමු. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න කියා ආරාධනා කරනවා.

Kandy-Public-Rally

“රට වෙනස් කිරීමේ අවංක වුවමනාවක් තිබෙන හැමකෙනෙකුටම ජාතික ජන බලවේගය විවෘතයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත-

මහනුවර දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාමසේවා වසමකින්ම කිහිපදෙනෙක් හෝ සම්බන්ධ කර ගැනීමේ ඉලක්කයකින් අපි කටයුතු කළා. මේ දැවැන්ත ජනකාය දැක්කාම ඒ ඉලක්කය සම්පූර්ණ වී ඇති බව පැහැදිලියි. ජාතික ජන බලවේගය කියන්නේ හුදු දේශපාලන පක්ෂයක් නෙමෙයි; අපේ රට හරි විදිහට වෙනස් කිරීම සඳහා ගොඩනැගූ ජාතික ව්‍යාපාරයයි. මේ රට වෙනස් කරන්න කල්පනා කරන ප්‍රගතිශීලී සෑම කෙනෙක්ම, පීඩිතභාවයට පත්වී සිටින සෑම කෙනෙක්ම එකතු වීමෙන් ජාතික ව්‍යාපාරයක් ගොඩනැගෙනවා. මේ රැලියට සහභාගි වී සිටින ඔබ මෙයට කලින් කුමන දේශපාලන මතයක් දැරුවාද, දේශපාලනය ගැන නිවැරදිව කල්පනා කළාද නැද්ද ආදී වශයෙන් තම තමන් ගැනම හිතන්න. ඔබ කුමන හෝ දේශපාලන පක්ෂයක් එක්ක වැඩකරන්නට ඇති. එහෙම නැති අයත් මෙතන ඇති. අපි හැමෝම දේශපාලන පක්ෂයක් තෝරා ගන්නේ මේ රට හරි විදිහට වෙනස් කරන්න. නමුත් ඒ අරමුණ ඉටු නොවුණු නිසා, ඔබ රට හරි විදිහට වෙනස් කළ හැකි ජාතික ව්‍යාපාරයක් සොයමින් සිටියා. ඔබ අපි සියලු දෙනා මේ හමුවී තිබෙන්නේ මාලිමාවේ ඒ ජාතික ව්‍යාපාරයත් එක්කයි. දැන් තමන් වගේම ළඟ ඉන්න අනෙක් අය දිහා බැලුවාමත් ඒ අයත් රටට යහපතක් බලාපොරොත්තුවෙන් විවිධ දේශපාලන පක්ෂවලට වැඩ කළ, ඡන්දය දුන් අයයි. මේ වේදිකාව දිහා බැලුවාමත් ඒ විවිධත්වය පැහැදිලි වෙනවා. මේ රට හරි විදිහට ගොඩනඟන්න අපි එකතු වීමෙන් මහනුවර දිස්ත්‍රික්කයේ විචිත්‍රවත් වූ මාලිමාවේ අර්ථය ගැබ් වෙන අලංකාර ශක්තිමත් වේදිකාවක් ඔබ ඉදිරියේ තිබෙනවා. අප ඉදිරියේ සිටින ඔබත් ඒ වගෙයි. හරිම තැනට අපි හැමෝම එකතු වුණා කියන පිබිදීම හැමදෙනාටම තිබෙනවා.

කවදාවත් නැතිව මම අද කතාවට කොල කෑල්ලක් අරගෙන ආවා. නම වැරදුනොත් හොඳ නැති නිසා නම් ටිකක් ඒ කොල කෑල්ලේ ලියාගෙන ආවා. මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු රාජ්‍ය ඇමතිවරයෙකු මේ වේදිකාවේ ඉන්නවා. ඔහු ගැන මම බොහෝ දෙනෙකුගෙන් විමසා බැලුවා. ඒ හැම දෙනාම කීවේ ඔහු හොඳ මහත්මයෙක් කියලා. ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් වගේම මහ නගර සභාවේ හිටපු නගරාධිපති හරේන්ද්‍ර දුනුවිල මේ වේදිකාවට එකතු වී සිටිනවා. කවුරුත් කීවේ යූ.එන්.පී.කාරයෙක් වෙලා හිටපු හොඳ මහත්තයෙක් කියලා. ඒ වගේ හොඳ මහත්වරුන් හැමෝටම ජාතික ජන බලවේගයේ වේදිකාව විවෘත කර තිබෙනවා. අපි හැමෝම එකතු වී මේ රට හරි විදිහට වෙනස් කරමු. මම එතුමා ගැන සඳහන් කළේ සම්බන්ධ වී සිටින ගොඩක් දෙනෙක් වෙනුවෙන් උදාහරණයක් හැටියට.

Kandy-Public-Rally

ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් පාලිත ඇල්කඩුව, මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ සහ ලේකම් ශාන්ත සමරසිංහ, රියර් අද්මිරාල් සරත් දිසානායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ව හිංසනය පිටු දැකීමේ ව්‍යාපාරයේ චම්පා ප්‍රනාන්දු, මාර්තු 12 සංවිධානයේ ගාමිණී ජයවීර, මහනුවර පුරවැසි හවුල, අන්තර් ආගමික සහයෝගිතා ව්‍යාපාරයේ සම ලේකම් ජ්‍යෙෂ්ඨ ආදායම් බදු කොමසාරිස් ජයතිස්ස රත්නායක, හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලගේ මාධ්‍ය ලේකම් දඹවින්න සහ එක්සත් ජාතික පක්ෂයේ උඩුදුම්බර ආසනයේ හිටපු සංවිධායකත් ඔහුයි. මම මේ සඳහන් කළේ ජාතික ව්‍යාපාරයට එකතු වුණු කිහිපදෙනෙක්. මේ රට වෙනස් කිරීමේ අවංක වුවමනාවක් තිබෙන හැමකෙනෙකුටම ජාතික ජන බලවේගය විවෘත බව තහවුරු කරන්නයි, මම මේ නම් කිහිපය කිවුවේ.

ඒ වගේම මේ පක්ෂයට විරුද්ධ පිරිසකුත් ඉන්නවා. මේ රැස්වීම සංවිධානය කරද්දී, එකම එක බාධාව එල්ල කළේ වස්කි වර්ධනගේ කියලා පුද්ගලයෙක්. ඔහු මහනුවර මහ නගර සභාවේ වැඩ කරන නගර සභා වැටලීම් අංශයේ ප්‍රධානියා. රාජ්‍ය සේවයේ සිටින දේශපාලනඥයාට පක්කලිකම් කරන සියලු දෙනාගේ නම් ලැයිස්තු මහජනතාවට දැනගන්න ඉදිරියේදී අපි හෙළිකරනවා. අපේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලොකු ප්‍රචාරක කටවුට් එකක් සවිකර තිබුණා. කිසියම් කණ්ඩායමක් මේ කටවුට් එක ගලවන බවට දුරකථන ඇමතුමක් ලාල් විජේනායක සහෝදරයාට ලැබී තිබුණා. නගර සභා සේවකයන් යොදවා කටවුට් එක ගලවන්න ක්‍රියාකර තිබුණේ වස්කි වර්ධනගේ කියන නිලධාරියා. නගර සභා නාගරික කොමසාරිස්වරිය හෝ පොලිස් ස්ථානාධිපතිවරයා හෝ කටවුට් එක ඉවත් කරන්න උපදෙස් දීලා නැහැ. වස්කි වර්ධනගේට තිබූ රුදාවකට අනුව නගර සභා සේවකයන් යොදවා මේ ආකාරයේ වැඩකර තිබෙනවා. අපි පුනරුද ව්‍යාපාරයක් වෙනුවෙන් වැඩකරන කොට මේ වගේ පිරිසක් තාමත් කුණුවෙච්ච සමාජය පවත්වාගෙන යන්න ක්‍රියාකරන බව මතක තබා ගන්න ඕනෑ.

කෙහෙලිය රඹුක්වැල්ල, ලක්ෂමන් කිරිඇල්ල, ලොහාන් රත්වත්තේ වැනි අයට කියන්න දෙයක් තිබෙනවා. කරුණාකර, හරියට වෙලාවට බෙහෙත් ටික බොන්න. මාලිමාවේ පාලනයක් යටතේ මේ රට සංවර්ධනය කරන හැටි බලන්න ඔයගොල්ලෝ ඉන්න ඕනෑ. ලොහාන් රත්වත්ත වගේ අනුර සහෝදරයා බලයට එනකොට මැරෙන්න ලැහැස්ති වෙන්න එපා. මෙතෙක් බලයේ සිටි අය එකතු වෙලා කාපු රට මේ රටේ ජනතාවගේ සහභාගිත්වයෙන් නිවැරදිව ගොඩනඟන හැටි දකින්න නුඹලා ජීවත් වෙන්න ඕනෑ. මාලිමාවට ජයවේවා!

Kandy-Public-Rally

“අපි යවා තිබෙන්නේ අපව පාවා නොදෙන නායකයොයි කියන එක දැනෙන රටක් අපට අවශ්‍යයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය ලියනගේ අමරකීර්ති-

මට කතා කරන්න ලැබී තිබෙන්නේ අනාගත ජනාධිපතිවරයාට කලින්. අපි මෙතනට එනකොට වැස්ස තිබුණා. එරික් සහෝදරයා විද්‍යාත්මක තොරතුරු පදනම් කරගෙන කිවුවා, ආයෙ වැස්ස වැටෙන්නේ හතට විතර කියලා. ඒ විද්‍යාත්මක දැනුම පුනරුදයක් සඳහා අවශ්‍යයි. මම සාහිත්‍යකාරයෙක්. ඒ වෙලාවේ මගෙ මනසේ වැඩ කළේ, මම දැක්කේ වැස්ස වලාහක දෙවියන් අතේ මාලිමාවක් තිබෙනවා. පුනරුදයක් සඳහා විද්‍යාවයි, පරිකල්පනයයි දෙකම අවශ්‍යයි.

අපි පළාත් පාලන මැතිවරණය වෙලාවේ හන්තානේ පහළ හැම ගමකටම වගේ කඳු, හෙල්වල ගියා. සමහර ගෙවල්වලට යන්න පාර පාදාගෙන යන්න සිදුවුණා, අපිව ආදරයෙන් ඒ ගම්වල අය පිළිගත්තා. අපේ එක සහෝදරයෙක් කිවුවා, අපිට මාන කැලේ කපාගෙන, පාරවල් හදාගෙන මේ ගමන යන්න වෙන්නේ කියලා. ඒක ඇහෙන කොට මගේ සාහිත්‍යකාර මනස වැඩකරන්න පටන් ගත්තා. ඒ සහෝදරයා අවිඥානකව කියපු දේ වැදගත් ලස්සන රූපකයක්. “අපි යන්න ඕනෙ අලුතෙන් පාර හදාගෙන” මගේ පොත් මේසේ නිතරම තිබෙනවා We make the road by walking “අපි ඇවිදලා තමයි අපි පාර හදන්නේ” කියන කෘතිය. ජාතික ජන බලවේගයේ අපි මේ කඳුවල, හෙල්වල ඇවිදලා ජාතික පුනරුදයේ අලුත් පාර හදලා තිබෙනවා. අපි ඒ දීප්තිමත් දවස කරා, මේ අත ළඟ එන දවස කරා ඇවිදිමු. ඊට වඩා සතුටුදායක කතාවක් තිබෙනවා ඕගොල්ලන්ට කියන්න. අපි පාරවල් හොයා ගෙන කඳු නැඟ නැඟ ගිය ඒ හෙල්වලින් සහෝදර සහෝදරියන් අද මෙතනට ඇවිත් ඉන්නවා.

Kandy-Public-Rally

අපි ගමෙන් ගමට ගිහින් අහපු ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. අපි අපෙන්ම ඇහුවා. අපේ දිස්ත්‍රික්කයෙන් අපි පත්කර යවපු දේශපාලකයා, හන්තානෙන් අක්කර මෙච්චර ගාණක් අල්ලලා විකුණා ගත්තා කියද්දී, ලංකාවේ විශාලම විශ්වවිද්‍යාලයේ උගන්වන අපේ හෘද සාක්ෂියට වේදනාවක් නැද්ද? අපේ හිත රිදෙන්නේ නැද්ද? අපි ජනතාවගෙන් ඇහුවා, අපේ දිස්ත්‍රික්කයේ දේශපාලකයෙක් සහ එයාගේ දුව උඩරට හයිවේ එකෙන් මෙච්චර මිලියන ගණනක් හොරා කෑවා කියන ආරංචිය එන කොට හෘද සාක්ෂියට වේදනාවක්, පරාජිත බවක් දැනෙන්නේ නැද්ද කියලා. ඒ ආරංචිය එන කොට අපේ හෘද සාක්ෂිය දෙදරන්නේ නැද්ද කියලා. මීට දශක දෙක තුනකට කලින් කුලියාපිටියේ සිංගර් සමාගමේ රුපියල් 750ක මාසික වැටුපකට වැඩකළ මිනිහෙක් දේශපාලනයට ඇවිල්ලා ප්‍රකෝටිපතියෙක් වුණා කියලා ආරංචිය එන කොට, ඡන්දදායකයෝ වෙන අපේ හෘද සාක්ෂිය දෙදරන්නේ නැද්ද කියලා අපි ජනතාවගෙන් අහන්න පටන් ගත්තා. ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින මේ නගරයට එක පැත්තකින් ඇතුල් වෙන තැන හදලා තිබෙන ප්‍රතිමාවකින් නිරූපණය වන්නේ කොහෙන්ද කියල සොයා ගත්තේ කියන්න බැරි සල්ලි තොගයක් බැංකුවේ ගිණුමේ තිබිලා අහුවුණු මිනිහෙක් කියලා දැන ගත්තහම අපේ හෘද සාක්ෂිය දෙදරන්නේ නැද්ද? ඒ මිනිස්සු ඒ බලවත් තනතුරුවලට යැව්වේ අපි කියලා, හිතෙන කොට අපේ අත් වෙවුලන්නේ නැද්ද?

අපි ගමෙන් ගම ගිහින් ඇහුවේ මහා ලොකු න්‍යායික ප්‍රශ්න නොවෙයි. අපි ඇහුවේ හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නය. මෙවැනි වේදනාවක් දරාගෙන පුරවැසි හෘද සාක්ෂියකට ඉන්න පුළුවන්ද? පුරවැසි ජීවිතයක් ගත කරන්න පුළුවන්ද? පරිපූර්ණ ජීවිතයක්, තෘප්තිමත් ජීවිතයක් ගෙවන්න අන් සියල්ලටම වඩා අවශ්‍යයි, අපි අපිත් එක්කම ඇති කර ගන්න සාමය. හොරුන් පිරිසකට අපි රාජ්‍ය පාලනය බාරදීලා තියෙනවා. ඒ කළේ අපිමයි කියන වරදකාරී හැඟීම නිසා ඇති වන හෘද සාක්ෂියේ පැල්ම තියෙන කොට ඒ ජීවිතය වේදනාකාරී ජීවිතයක්. ඒක එහෙම නොවෙයිද? අපි අලුතෙන් පත්කර යැවුව කෙනෙක් බන්ධනාගාරයකට පැනලා හිරකාරයෝ දණ ගස්සලා නළලට පිස්තෝලේ තියන කොට, ඡන්දෙ දීලා යවපු මිනිසුන් වන අපිට හෘද සාක්ෂියේ වේදනාවක් නැද්ද? අපි මේ ප්‍රශ්න හැමෝගෙන්ම ඇහුවා. ඒ හැමෝම කියපු දෙයක් තමයි, ඔව් අපේ හදවතේ පැල්මක් තිබෙනවා කියන එක. ඒ ප්‍රශ්නය අහපු නිසා අවදි වුණු ප්‍රබෝධයෙන්, ආශාවෙන් තමයි ඔබ ජාතික ජන බලවේගය වෙත ඇවිත් තිබෙන්නේ.

අපිට අවශ්‍යයි රටක්. අපිට අවශ්‍යයි සමාජයක්. අපි තෝරලා යවලා තිබෙන්නේ, අපේ හෘද සාක්ෂිය හරි මැදින් දෙකට කඩන්නේ නැති, අපිව පාවා නොදෙන නායකයොයි කියන එක අපිට දැනෙන රටක් අපට අවශ්‍යයි. අපි එකතු වී තිබෙන්නේ අනුර දිසානායක ජනාධිපතිවරයා ලෙස පත්කර, ආරම්භ කරන්නේ අපේ අභ්‍යන්තරික සාමය සහිත සමාජයක් ගොඩනැගීමේ ගමනයි. අපේ දරුවා ආරක්ෂිතයි. දරුවන්ගේ අධ්‍යාපනය හොඳයි, සෞඛ්‍ය ආරක්ෂිතයි. අපේ කාගෙත් ගෞරවණීය ජීවිතයකට සරිලන ආදායමක් අපිට ලැබෙනවා. මේක සුඛිත මුදිත රටක් කියන්න ලෝකෙටත් අපිටත් හඬගා කියන්න පුළුවන් පාලනයක් අපට අවශ්‍ය නැද්ද? අපි ගමෙන් ගම ගිහිල්ලා අහපු ප්‍රශ්නෙ නිසා අවදි වුණු විඥානය සහිත ඔබ තුළ, අලුත් ලංකාවක් පිළිබඳ ප්‍රාර්ථනාවක් දැල්වී තිබෙනවා. අපිට තිබෙන මේ සාමූහික ප්‍රාර්ථනය හෘද සාක්ෂියේ පැල්මක්, වේදනාවක් නැති රටක් සමාජයක් පිළිබඳ සිහිනයේ අනුරුව තමයි අනුර; අනුකෘතිය තමයි අනුර; අනුරාවය තමයි අනුර. ඒ සිහිනය නිසා අපේ හදවත් තුළ දැල්වුණු අනුරාගයේ සංකේතය තමයි අනුර. මේ එළඹෙන ජනාධිපතිවරණයේදී ඔහු ලංකාවේ ජනාධිපති බවට පත්කරලා පුනරුදයක් කරා යන ගමන ආරම්භ කරමු.

Kandy-Public-Rally

“දැනගෙන ගමන යන ලංකාවේ තිබෙන එකම පක්ෂය මාලිමාව පමණයි”
-ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික එරික් ප්‍රසන්න වීරවර්ධන-

නොයෙක් ප්‍රශ්න, පීඩාවන් හිතේ දරාගෙන මහනුවර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සියලු දෙනාගේ අපේක්ෂාව මාලිමාවේ පාලනයක් යටතේ තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමයි. මිණිපේ ගොවි ජනතාව, හේවාහැට එළවළු ගොවියෝ, ගලගෙදර රබර් වතු වගාව ආශ්‍රිත ජීවනෝපාය කරගත් පිරිස් වගේම අනෙකුත් ප්‍රදේශවල කුඩා තේ වතු හිමියන්, හාරිස්පත්තුව වැනි ප්‍රදේශවල සාදික්කා, කරාබුනැටි, ගම්මිරිස් වැනි අපනයන බෝග සම්බන්ධ ප්‍රශ්න රැසක් හිතේ දරාගෙන මෙතැනට පිරිස් ඇවිත් ඉන්නවා. පොදුවේ අපි හැමෝටම බඩගින්න, දරුවන්ගේ අධ්‍යාපන ප්‍රශ්නය, ඉස්පිරිතාලවල බෙහෙත් නැති ප්‍රශ්න ආදී දැවැන්ත පීඩනයක් හිසේ තබාගෙන ආදරණීය අම්මා තාත්තා ඇතුළු පිරිස මෙතනට පැමිණ සිටිනවා. ආපසු එකිනෙක මෙනෙහි කරමින් බැලුවොත් මේ ප්‍රශ්නවලට මුල හැටියට නතර වෙන්නේ පාර්ලිමේන්තුවෙන්.

මම මුලින්ම පාර්ලිමේන්තු යනකොට වයස අවුරුදු 26යි. අද මෙතනට පැමිණ සිටින පිරිස දේශපාලනය තෝරාගත් ආකාරයට නොවෙයි මම පාර්ලිමේන්තුවට ගියේ. තාත්තාගෙන් පුතාට එන ක්‍රමයෙන් ගියේ. ඒ වගේම හොඳින් හෝ නරකින් අවුරුදු 26දී මම පාර්ලිමේන්තු ගියා. වෘත්තියෙන් ඉංජිනේරුවෙක් වුණාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මොනවාද කරන්න ඕනෑ කියන ප්‍රශ්නය මට තිබුණා. වගකීම මොකක්ද, නිවැරදි කාර්යභාරය මොකක්ද කියන ප්‍රශ්න මට තිබුණා. මාස ගණන් ගියත් විසඳුමක් ලැබුණේ නැහැ. අහගන්න තැනක් තිබුණෙත් නැහැ. ශ්‍රී ලංකා, යූ.එන්.පී. වශයෙන් හෝ පොහොට්ටු ස.ජ.බ. වශයෙන් ඒ කිසිම පක්ෂයක මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය පිළිබඳව අවබෝධයක් ලබාදෙන වැඩපිළිවෙළක් නැහැ. මට මේ දේවල් ඉගෙන ගන්න තැනක් හෙව්වා. ම විසින්ම ස්වාධීනව මන්ත්‍රිවරයෙකුගේ කාර්යභාරය ඉගෙන ගත්තා. ඒ අවස්ථාවේ මට තේරුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු තමන් ආවේ ඇයි කියලා දන්නේ නැති බව. 19වැනි ව්‍යවස්ථා සංශෝධනය සභාගත කළ අවස්ථාවේ මම මන්ත්‍රීවරුන්ගේ මේසවලට ගියා. සියදෙනෙක්වත් ඒ සංශෝධන කෙටුම්පත රැගෙන ගොස් තිබුණේ නැහැ. එහෙම නම් අනෙක් දේවල් ගැන කතාකරලා වැඩක් නැහැ. නමුත් ඒ කාලයේ කුඩා කණ්ඩායමක් හැටියට අනුර දිසානායක සහෝදරයා, විජිත හේරත් සහෝදරයා ප්‍රමුඛ මන්ත්‍රීවරු මේ රට ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේද යන්න නිවැරදිව කතා කළා. දැනගෙන ගමන යන ලංකාවේ තිබෙන එකම පක්ෂය මාලිමාව පමණක් බව මම කියන්නේ අත්දැකීමෙන්.

අපේ ඉදිරි ගමන ඉතාමත්ම වැදගත්. ගොවියෝ දන්නවා ගොවිතැන් කරන්නේ කොහොමද කියලා. ගුරුවරුන්, විදුහල්පතිවරුන් පාසලේදී කටයුතු කළ යුතු ආකාරය දන්නවා. රෝහලේ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය තමන්ගේ රාජකාරිය පිළිබඳව දන්නවා. අනෙකුත් සියලු දෙනාත් එහෙමයි. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සාතිශය බහුතරය ඔවුන්ගේ කාර්යභාරය දන්නේ නැහැ. ඔවුන් නොදන්නා බව ඔවුන් දන්නේත් නැහැ. නමුත් මාලිමාවේ සියලු දෙනා දැනගෙන ගමන යන බව වගේම නව නිදහස් අරගලයක් ගෙන යන බව ඉතාමත්ම පැහැදිලියි. ඒ ගමනට ජයවේවා!

Kandy-Public-Rally

“කප්පම්කාරයෝ, හොරු, බාර්කාරයෝ උත්තරීතරයි කියන තැනට යැව්වේ අපේ කතිරයෙන්”
-විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර-

මම යුද්ධ හමුදාවේ අවුරුදු 35ක් පමණ සේවය කළ කාලයේ නුවර හරහා ‘ඒ 9’ පාරෙන් විශාල වශයෙන් ගමන් කර තිබෙනවා. ඒ යන අවස්ථාවල නුවර පැවැති දේශපාලන රැස්වීම් දැක තිබෙනවා. නමුත් ජාතික ජන බලවේගයේ මේ රැලියට පැමිණ සිටින ජන ගඟ වගේ ජනතාවක් කිසිදු අවස්ථාවක දැක නැහැ. මම විශ්‍රාම ගිය පසුවයි රටට සිදුවී තිබෙන විනාශයේ තරම දැන ගත්තේ. වෙඩි පිටිය, සරඹ පිටිය, ක්‍රීඩා පිටිය වගේ තැන්වල විවිධ ක්‍රියාකාරකම්වලට සහභාගී වී තිබුණත්, දේශපාලන පිටියට සම්බන්ධ වෙන්න කවදාවත්ම හිතුවේ නැහැ. නමුත් රට මේතැනට ඇද දැමූ ඉතාමත්ම පිළිකුල් දේශපාලන සංස්කෘතිය විසින් අපව දේශපාලන පිටියට එව්වා. අපේ දිවි හිමියෙන් දහදිය, මහන්සිය, ලේ කැපකර අම්මා, තාත්තා, බිරින්දෑවරු, දරුවන් වෙනුවෙන් රැක දුන් රට අද කෝ? රත්නද්වීප ජන්ම භූමිය අද කෝ? 2009දී යුද්ධය අවසන් කර, දැනුත් වසර 15ක් ගෙවී ගොස් තිබෙනවා. රට පාලනය කළ අය ඒ කාලය තුළ පස් අවුරුදු සැලසුම් තුනක් ක්‍රියාත්මක කළා නම් පොල් පටවපු ප්‍රවාහන සේවයක් අද තිබෙන්න බැහැ. ඉස්පිරිතාලවල ඇඳන් උඩ සහ යට අද රෝගීන් ඉන්න විදිහක් නැහැ. කෝච්චිවල එල්ලිලා ගිහින් වැටිලා මැරෙන්න සිදුවෙන්නේ නැහැ.

අපි එදා ඔබලා වෙනුවෙන් අද දවස රැකලා දුන්නා. නමුත් අද පවතින්නේ ජරා ජීර්ණ වූ රටක්. නව දෙනෙක් එක්වී අවුරුදු 15ක දැරියක් පොසොන් පොහොය දවසේ දූෂණය කළ රටක් අද තිබෙන්නේ. අතුරුගිරියේ නගරයට එන අම්මලා, තාත්තලා, අක්කලා, නංගිලා දැක්කේ මහ දවල් ඇවිත් ඝාතන කරන රටක්. පාතාල කණ්ඩායමක් විසින් බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමේදී එක තැන සමූහ ඝාතනය කරන රටක් තිබෙන්නේ. අපි කල්පනා කළේ ඔය විදිහේ රටක් ගැන නොවෙයි. නමුත් ඔබ අපි සියලු දෙනා එක්වී කප්පම්කාරයෝ, හොරු, සුරාසැල් අයිතිකාරයෝ උත්තරීතරයි කියන තැනට යැව්වේ අපේ කතිරයෙන්. එතැන ඉන්නේ වැඩිදෙනක් මහා අපරාධකාරයෝ. මේ තත්වය වෙනස් කරන්නයි, මමත් මෙතනට පැමිණියේ. ඔබලාට කරුණු පැහැදිලි කරලා, දෙන්න හොඳ මිනිස්සු ඉන්න දැක්මක් සහිත ජාතික ජන බලවේගය තොරා ගන්න මටත් සිදුවුණා. ජාතික ජන බලවේගය කියන්නේ සියලුම වෘත්තිකයන්, විද්වතුන් එකතු වන, සද්දන්ත ව්‍යාපාරයක්. එතෙර පවා සිටින ලාංකිකයන් විශ්වාසයෙන් එකතු වී ඉන්නේ ජාතික ජන බලවේගය වටා. ඉදිරි ජනාධිපතිවරණයේදී අපේ අපේක්ෂක අනුර කුමාර දිසානායක විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කරවා මේ රට නව පුනරුද යුගයකට ගෙන යන්න සියලු දෙනාම ඒකරාශී වෙමු.

Kandy-Public-Rally

“අපට අවශ්‍ය ජාතික සමගිය සමගින් සමෘද්ධිමත් ලංකාවක් ගොඩනැගිය හැකි දේශපාලනයක්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මව්ලවි මුනීර් මුලෆර්-

ශ්‍රී ලාංකිකයන් හැමදෙනාම අද කියන්නේ අපි මේ තත්වය වෙනස් කරමු කියලා. මහනුවර ජනතාව අද ලබාදෙමින් සිටින්නේ ඒ පණිවුඩයයි. අපි කුඩා කාලයේ පාසල් යනකොට දෙමාපියන්ට අපි ගැන කිසි බියක් තිබුණේ නැහැ. එදා විශ්වාසනීය සමාජයක් තිබුණා. අද ගැහැනු ළමයින් විතරක් නොවෙයි පිරිමි දරුවෙක් වුණත් ගෙදරින් එළියට යන විට බියක් දැනෙනවා. දරුවන් පිළිබඳ බියකින්, ආර්ථිකය පිළිබඳ බියකින්, සමාජය පිළිබඳ බියකින් වෙළී ගිය රටක් මේ දේශපාලන සංස්කෘතිය විසින් බිහිකර තිබෙනවා. මේ තත්වය වෙනස් කළ හැක්කේ රනිල් වික්‍රමසිංහටවත්, සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයටවත් වෙන කිසිම දේශපාලන පක්ෂයකටවත් නොවෙයි, ජාතික ජන බලවේගයට පමණයි. අනුර දිසානායක සහෝදරයාට ජනාධිපති වෙන්න ඉඩ නොදෙන බව පැවසූ පුද්ගලයාගේ වතගොත ගූගල් එකෙන් සර්ච් කර බැලුවා. 2001 දෙසැම්බර් 05දා උඩතලවින්න ප්‍රදේශයේදී දස දෙනෙක් බලය වෙනුවෙන් මරා දැමූ සංස්කෘතියක් තිබෙන පුද්ගලයෙක්. ඒ බව ප්‍රකාශ කර සිටින්නේ. මෙතෙක් පැවති මජර දේශපාලනය ජාති, ආගම්, කුලමල භේද අවුස්සා දේශපාලනය කළා. නමුත් අපට අත්‍යවශ්‍ය වෙන්නේ ජාතික සමගිය සමගින් සමෘද්ධිමත් ලංකාවක් ගොඩනැගිය හැකි දේශපාලනයක්. ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගය සමග සියලු දෙනාටම එක්වෙන ලෙස ආරාධනා කරනවා.

Kandy-Public-Rally
Show More

බංකොලොත් වූ රටේ ගොඩදැමූ සමුපකාරයෙන් කෝටි 17ක වියදමින් රෝහලක් – අකුරැස්ස සමුකාරයෙන් විශ්වකර්ම වැඩක්!

(-Colombo, July 17, 2024-) 2005 වසරේ සිට ජවිපෙ විසින් බලය හොබවන අකුරැස්ස සමුපකාරය විසින් කෝටි 17ක වියදමින් මහල් 05ක රෝහලක් ඉදිකිරීම අරඹා ඇත. අකුරැස්ස නගර මධ්‍යයේ ඉදිවන මෙම සමුපකාර රෝහල වෙනුවෙන් පසුගිය 17 වෙනිදා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් මුල් ගල තබනු ලැබීය. නිවැරැදි නායකත්වය, කැපවීම හා සමූහිකත්වය සහිතව නැගිටින්නේ නම් බංකොලොත් […]

(-Colombo, July 17, 2024-)

npp-coop-akurassa

2005 වසරේ සිට ජවිපෙ විසින් බලය හොබවන අකුරැස්ස සමුපකාරය විසින් කෝටි 17ක වියදමින් මහල් 05ක රෝහලක් ඉදිකිරීම අරඹා ඇත. අකුරැස්ස නගර මධ්‍යයේ ඉදිවන මෙම සමුපකාර රෝහල වෙනුවෙන් පසුගිය 17 වෙනිදා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් මුල් ගල තබනු ලැබීය.

නිවැරැදි නායකත්වය, කැපවීම හා සමූහිකත්වය සහිතව නැගිටින්නේ නම් බංකොලොත් රටක වුවද ලාභ ලබමින් ජනතාවට ඉහළ මට්ටමේ සේවා සැපයිය හැකි බවත් මේ ආදර්ශය අකුරැස්ස සමුපකාරය විසින් සමාජයට ලබා දෙමින් සිටින බවත් මෙහිදී අදහස් දක්වමින් විජිත් හේරත් ප්‍රකාශ කළේය. මේ ආකාරයටම හැකියාව, දක්ෂතාව සහ කැපවීම සහිත, රට ගොඩ නැගීමේ සැබෑ අවශ්‍යතාවයක් ඇති පුරවැසියන්ගේ එකතුවක් වූ ජාතික ජන බලවේගයට රට ගොඩනැගීමේ අභියෝගයද බාරගත හැකි බව විජිත හේරත් වැඩිදුරටත් කියා සිටියේය.

2005 වසරේදී “සම්මුතියේ ආදර්ශය හෙට දවසේ රටට” තේමාවේ බලාපොරොත්තුව ඇතිව සමුපකාරය සුරැකීමේ සංවිධානය පැමිණි ගමන ඉතාම ප්‍රශංසනීය බවත් සමුපකාරය ලැබූ ලාභයෙන් කෝටි 17ක් වැය කොට මහල් පහකින් යුතු නවීන සියලුම පහසුකම් සහිත අංගසම්පූර්ණ රෝහලක් ඉදිකර ජනතාවට යහපත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සමුපකාර අධ්‍යක්ෂ මණ්ඩලය ගනු ලැබ ඇති තීරණය පිළිබඳව සතුටු වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අකුරැස්ස විවිධ සේවා සමිතියේ ආරාධනය පරිදි මේ අවස්ථාවට දකුණු පළාත් සමුපාකාර සංවර්ධන කොමසාරිස් කේ.පී.ජි.සුමිත් ශාන්ත ප්‍රධාන සමුපකාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්, කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව ගරුසිංහ, අකුරැස්ස දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය අධිකාරී මානක විදානපතිරණ ප්‍රධාන වෛද්‍යවරුන්, අකුරැස්ස,අතුරලිය,මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම්වරියන්, ප්‍රාදේශීය සභා ලේකම්වරුන්, ව්‍යාපාරික ප්‍රජාව, සමුපාකාර කාර්යමණ්ඩලය, සාමාජිකයන් සුභපතන්නන් ඇතුළු ප්‍රදේශවාසී විශාල පිරිසක් මීට එක්ව සිටියහ.

වසර 20ක් පමණ සමිතියේ සභාපති ලෙස කටයුතු කරන ඩබ්.ටී.කේ. රාජපක්ෂ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ කැපවීම් හේතුවෙන් මේ වන විට දකුණු පළාතේ අංක එකේ සමුපකාරයක් බවට අකුරැස්ස සමුපකාරය පත්වී ඇත. උපයන ලද රුපියල් මිලියන 2000කට අධික වත්කම්වලින් ලද ලාභයෙන් මෙසේ නවීන අංග සම්පූර්ණ රෝහලක් ඉදිකිරීම ආරම්භ කිරීමට අකුරැස්ස සමුකාරයට හැකිව තිබේ.

Show More

“සමාජ වෙනසක් වෙනුවෙන් කළ අරගලය සම්පූර්ණ කර ගැනීමට ජනාධිපතිවරණය අවස්ථාවක් කර ගන්න” -ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-

(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.07.17-) අද දවස අපේ රටට වැදගත් දවසක්. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට දින නියම කිරීමේ බලය ලැබෙන්නේ 17 වැනි දින, අද දවසේයි. අපි හිතනවා, මැතිවරණ කොමිසම තමන්ට ලැබෙන නීතිමය ප්‍රතිපාදන අනුව මැතිවරණය පැවැත්වීම සඳහා ඉක්මන් දිනයක් මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රකාශයට පත්කරාවි කියලා. බලයේ ඉන්න කණ්ඩායම් විසින් මැතිවරණය පිළිබඳව දෙගිඩියාවක් […]

(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.07.17-)

npp-press-presidential-election

අද දවස අපේ රටට වැදගත් දවසක්. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට දින නියම කිරීමේ බලය ලැබෙන්නේ 17 වැනි දින, අද දවසේයි. අපි හිතනවා, මැතිවරණ කොමිසම තමන්ට ලැබෙන නීතිමය ප්‍රතිපාදන අනුව මැතිවරණය පැවැත්වීම සඳහා ඉක්මන් දිනයක් මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රකාශයට පත්කරාවි කියලා. බලයේ ඉන්න කණ්ඩායම් විසින් මැතිවරණය පිළිබඳව දෙගිඩියාවක් හදා තිබෙනවා. ජනතාව දැන් බලන් ඉන්නවා කොමිසමත් කල් ගනීවිදැයි කියලා. අපි හිතනවා කොමිසම ඉක්මන් දිනයක් ප්‍රකාශයට පත්කොට මේ සැකය නැතිකරාවි කියලා.

1982 සිට ජනාධිපතිවරණ කිහිපයක්ම පවත්වා තිබෙනවා. ඒ සියලු ජනාධිපතිවරණවලට වඩා මේ මැතිවරණය විශේෂයක් ගන්නවා. අපේ රටේ ජනාධිපතිවරයෙක් තනතුර දාලා ගිහින්, ඒ හිස් තැන බාරගන්න වෙනත් කෙනෙක් පත්වෙලා. මේක ඒකෙන් පසුව පවත්වන ජනාධිපතිවරණයක්. පසුගිය කාලයේ විශාල මහජන අරගලයක් තිබුණා. ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී රට අරාජික වී, ජනතාව පෝලිම්වල මියැදෙමින්, ජනතාව පීඩාවට පත්වූ මොහොතක, ජනතාව මහපාරට බැහැලා දැවැන්ත අරගලයක් කළා. අරගලය නිමා වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකමත්, මහින්ද රාජපක්ෂ අගමැතිකමත්, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා චමල් රාජපක්ෂ ඇමතිකමුත් අත්හැරීමෙනුයි. ඒ ගොල්ලන් ඇමතිකම් අත්හැර ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කළා. අරගලයේ නියැලුණ ශ්‍රී ලාංකේය ජනතාව බලාපොරොත්තු වුණේ රාජපක්ෂ පාලනය අහෝසි කරලා අලුත් වෙනසක්. අරගලයේ සිටි ජනතාවගේ අරමුණු ඉටු වුණේ නැහැ. ඒ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා ලැබෙන පළමුවැනි අවස්ථාව තමයි මේ ජනාධිපතිවරණය. අරගලයේ සිටි ජනතාවට තමන් කළ අරගලයේ අවසානය දකින්න වුවමනාව තිබෙනවා. මේ ඉන්න දුෂ්ට, පාලකයන් වෙනස් කරලා, තමන්ට වඩා හොඳ පාලනයක් නිර්මාණය කර ගැනීමේ ඕනෑකම තිබෙනවා.

අනෙක් පැත්තෙන් බැලුවාම, අපේ රට පාලනය කරන්නේ ජන වරමක් නැති කෙනෙක්. එයාව රාජපක්ෂලාගේ මන්ත්‍රී කණ්ඩායමේ ඡන්දවලින් ජනාධිපති ලෙස පත්කර ගත්තා. ජනතාව අරගල කළේ රාජපක්ෂලා, රනිල් වික්‍රමසිංහලා පරද්දන්න. 2019 ජනතාව ඡන්දෙ දුන්නේ රනිල්ලා පරද්දන්න. ඒ ඡන්දවලින් බලයට පත්වුණු රාජපක්ෂලා ඉතිරි කාලයට, රනිල්ව ජනාධිපති කර ගන්නවා. මේ තිබෙන පාර්ලිමේන්තුව ජනවරම නියෝජනය නොවෙන විකෘති පාර්ලිමේන්තුවක්. රනිල් වික්‍රමසිංහ ජනවරම නියෝජනය කරන්නේ නැහැ. ඒ නිසා ජනතාවට ජනවරමකින් පත්කර ගන්නා ජනාධිපති කෙනෙක් ඕනෑ. ඒ නිසා මේ ජනාධිපතිවරණය ඉතා විශේෂ තැනක් ගන්නවා. අලුත් ගමන් මඟක යාමට, අලුත් පාලන යන්ත්‍රයක් ගොඩනඟා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ මේ ජනාධිපතිවරණයෙනුයි. ඒ නිසා ජනතාව ඡන්දය එනතෙක් නොඉවසිල්ලෙන් බලාගෙන සිටියා, තමන්ගේ අදහස ප්‍රකාශ කර ගන්න. තමන්ගේ විරෝධය ප්‍රකාශකර ගන්න.

අපේ ජනතාව විශාල ප්‍රමාණයක් මහපාරට බැහැලා, සාමකාමී දැවැන්ත අරගලයක් කරලා, සමාජය වෙනසක් වෙනුවෙන් කළ අරගලය අංග සම්පූර්ණ කර ගන්න, අලුත් පාලනයක් ගොඩනගා ගන්න ලැබෙන අවස්ථාවක් මේ ජනාධිපතිවරණය. ඒ නිසා සෑම පැත්තකින්ම විශේෂ හා ඉතා වැදගත්කමක් තිබෙන ඡන්දයක්. අනෙක් විශේෂත්වය තමයි මේ රටේ වැඩිම බාධාව තිබුණු ඡන්දය. මීට පෙර ජනතාව ඡන්දවලට අකමැතිව තිබියදීත්, පාලකයන් ඡන්ද ඉතා කැමැත්තෙන් පැවැත්වූවා. නමුත් මෙවර ජනතාව ඡන්දෙ එනකම් කැමැත්තෙන් බලාගෙන ඉන්නවා. නමුත් පාලකයන් ඡන්දෙට බයවෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ ඇවිත් ණය ගෙවන්නේ නැතිව ඉඳලා, ණය නොගෙවීමේ වාසියෙන් පෝලිම් ටික අඩු කළාට පස්සේ, එයාම වර්ණනා කර ගත්තා රට ගොඩගත්ත නායකයා කියලා. රනිල් වික්‍රමසිංහ රට බාර ගන්නකොට ලංකාවේ සමස්ත රාජ්‍ය ණය ඩොලර් බිලියන 83ක් 84ක් අතර ප්‍රමාණයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවල සඳහන් වෙනවා. නමුත් මේ අවුරුද්දේ මාර්තු මාසෙ වෙනකොට සමස්ත රාජ්‍ය ණය ඩොලර් බිලියන 100.2ක් බව මහ බැංකු වාර්තාවල සඳහන් වෙනවා. අපේ ජනතාව මත අතිශය විශාල ලෙස බදු පැනවූවා. වැටුප ලක්ෂයට වඩා වැඩි රැකියා කරන අයට අසීමිත ලෙස බදු ගැහුවා. මේ තත්වය හදා ගත්තේ එහෙම ජනතාව මිරිකලා තමයි. රනිල් වික්‍රමසිංහ රට ගොඩ අරගෙන නැහැ. එයාට දිනන්න පුළුවන් කියලා එයා හිතුවත් කාලයාගේ ඇවෑමෙන් තේරුම් ගත්තා ජයග්‍රහණය සඳහා ඉඩකඩ නැති බව. ඒ නිසා ජනාධිපතිවරණය මඟහැර යාමට උත්සාහ කළා. ඒ නිසා මුලින්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න උත්සාහ කළත් එය ව්‍යර්ථ වුණා. ඊට පස්සේ ජනාධිපති ඡන්දයට බය නිසා, මහින්ද රාජපක්ෂලා හැදුවා ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් තියන්න. ඒ අවස්ථාවත් බැරිව ගියා. ඊට පස්සේ තමන්ගේ ගෝලබාලයන් ලවා රනිල් වික්‍රමසිංහට නිතරගයෙන් තව අවුරුදු කිහිපයක් දෙමු කියලා යෝජනා කළා. රංගේ බණ්ඩාර යෝජනාවක් ගෙනාවා ජනමත විචාරණයකින් රනිල්ට අවුරුදු දෙකක් ඉඩ දෙන්න. ඒකට විශාල ප්‍රහාරයක් එල්ල වුණා. ඡන්දෙකට නොගොස්, රනිල් වික්‍රමසිංහ තවදුරටත් තනතුරේ තබා ගැනීමට ඊට පසුවත් විවිධ යෝජනා ගෙනාවා.

npp-press-presidential-election

ජනාධිපතිවරණය තියලා පැරදුණාට පස්සේ රනිල්ට ගෙදර යන්න වෙනවා. ජනාධිපතිකමේ බලය නිසා ඒ වටා එකතු වෙලා විවිධ වරප්‍රසාද, තනතුරු අරගෙන ජීවත් වෙන එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට ජීවත් වීමේ මාර්ගය අහෝසි වෙනවා. උපදේශක තනතුරු නැතිවෙනවා. ඒගොල්ලන්ට ලොකු බයක් තිබෙනවා. ඒ ගොල්ලන් කැමතියි මහජනතාවගේ මුදල්වලින් තව අවුරුදු දෙක තුනක් ජීවත් වෙන්න. ඊට පස්සේ උත්සාහ කළා ව්‍යවස්ථාවේ හිලකින් රිංගන්න පුළුවන්ද කියා බලන්න. ඒකට තමයි අවුරුදු 05හේ කාලය 06 දක්වා කරන්න පුළුවන්ද බලන්න විවිධ උත්සාහයන් දැරුවා. ඒ එකක් තමයි ලේනව නමැත්තා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම. එහි ප්‍රතිඵලය වුණේ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ඉවත දාලා ලක්ෂයක දඩයක් ගැසුවා. තවත් නීතිඥ මහතෙක් 19 ව්‍යවස්ථාව සම්මත වුණු ආකාරය වැරදි බව පෙන්වමින් මැතිවරණය නවත්වන්න පෙත්සමක් ඉදිරිපත් කළා. අධිකරණය ඒ පෙත්සමත් ඉවත දමා ලක්ෂ පහක දඩයක් ගැසුවා. මේ පාලක කණ්ඩායම, රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්ෂලා මුහුණ දෙන්න අකමැතිම ඡන්දය තමයි මේ ජනාධිපතිවරණ ඡන්දය. මේක ඡන්දය වළක්වන්න ගන්නා ලද උත්සාහයන් සියල්ලම පරාජය කරමින් එන අති විශේෂ ඡන්දයක්. තාමත් ජනතාව තුළ විචිකිච්ඡාව තිබෙනවා. තාමත් කැබිනට් මණ්ඩලය අනුමත කර ගත් ව්‍යවස්ථා සංශෝධනයක් තිබෙනවා. එය පලක් වෙන එකක් නොවුණත් තවමත් තියාගෙන ඉන්නවා. අපි දන්නවා පවතින නීතියට අනුව ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පවත්වීම හැර වෙන විකල්පයක් ඇත්තේම නැහැ.

අද සිට ජනාධිපතිවරණය පැවැත්වීමේ වගකීම තිබෙන්නේ, රනිල් වික්‍රමසිංහට හෝ ආණ්ඩුවට හෝ නොවෙයි , මැතිවරණ කොමිසමටයි. කොමිසමට පැවරෙනවා ජනාධිපතිවරණය සඳහා ප්‍රකාශයක් කරන සහ ඡන්දය පවත්වන වගකීම. අප වැනි රටක ජනතාව මැතිවරණ කෙරෙහි විශ්වාස තබා ගන්න නම්, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලකයන් වෙනස් කළ හැකියි කියන අදහස සමාජය තුළ පවතින්න නම්, මේ කරන කැත වැඩය නවත්වන්න ඕනෑ. මේ දෙගෙඩියාව නවත්වන්න ඕනෑ. ඡන්දය එන එකක් නැහැයි කියන අදහස නවත්වන්න ඕනෑ. දැන් බලය තිබෙන්නේ මැතිවරණ කොමිසමට. අපි කොමිසමෙන් ඉල්ලීමක් කරනවා, තමන්ගේ බලය අනුව දින ප්‍රකාශයට පත්කරන්න කියලා. මැතිවරණ කොමිසම පිළිබඳවත් සමාජයේ යම් දෙගෙඩියාවක් තිබෙනවා. ඒ තමයි රනිල් වික්‍රමසිංහලා පළාත් පාලන ඡන්දය කල් දැම්මාම කොමිසමට බැරි වුණා ඒක පවත්වා ගන්න. කොමිසම යම් උත්සාහයක් දැරුවා. හැබැයි උපරිම උත්සාහය දැරුවේ නැහැ. සමාජය තුළ කොමිසම පිළිබඳව තිබෙන මතය වෙනස් කර නැහැ. කොමිසම පෙනී ඉන්නේ ජනතාව හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. මැතිවරණ කොමිසම ඡන්ද කල්දාන කොමිසමක් නොවෙයි ඡන්ද පවත්වන කොමිසමක්. ඒ නිසා, ‘අපි සූදානම් ඡන්දය පවත්වන්න. කිසිදු බලපෑමක් අපට නැහැ.’ කියලා ස්වාධීනව කටයුතු කරන කොමිසමක් බව ඔප්පු කරමින් ඡන්දය සඳහා දින ප්‍රකාශයට පත්කරන්න ඕනෑ කියලා අපි හිතනවා. මැතිවරණ කොමිසම වගකියන්න ඕනෙ ව්‍යවස්ථාවට, අපේ රටේ ජනතාවට. රනිල් වික්‍රමසිංහට, මහින්ද රාජපක්ෂට හෝ සජිත් ප්‍රේමදාසට හෝ අපට වත් වගකියන්න ඕන නැහැ.

රනිල් වික්‍රමසිංහ ‘ගේමක් ගහලා මේ මැතිවරණය නොතියා ඉඳියි’ කියන විහිළුකාරී මතයක් දිගටම සමාජයේ පවත්වා ගෙන ආවා. රනිල් නියම ගැටකාරයෙක් නම්, ඡන්දය නවත්වන්න තිබුණේ මීට බොහෝ කලකට කලින්. එයා ඡන්දෙ කල්දමා ගන්න කළ උප්පරවැට්ටි සියල්ලම අසමත් වෙලා තියෙන්නේ. මේක යුග පරිවර්තනයක්. අපි එක යුගයක ඉඳලා ඊට වඩා හොඳ යහපත් ක්‍රමයකට මාරු වෙන්න හදන අවස්ථාවක්. පාලක කණ්ඩායම් හැමවිටම ඡන්ද නොතියා ඉන්න උත්සාහ කරනවා. අනෙක් පැත්තෙන් බිය වැද්දීම කරනවා. වහසිබස් දොඩනවා. නිශ්ශංක සේනාධිපති අනුරව පරදවන්න කෝටි ගණනක් වියදම් කරන්න සූදානම් බව කිවුවා. දැන් එයා සොයා ගන්නවත් නැහැ. ලොහාන් රත්වත්තේ, ජීවත්ව ඉන්නකම් “අනුරට ජනාධිපති වෙන්න දෙන්නේ නැහැ” කියනවා. ජනතාවගේ කැමැත්තත්, ජන බලයත්, වෙනස් කරන්න එක එක කයිවාරුකාරයන්ට බැහැ. මේ මෝදු වෙලා එන්නේ ජනතාවගේ කැමැත්ත. වසර 76ක දුෂ්ට, නරුම පාලනය එපා වෙලා, දුක විඳලා ඇති වෙලා, ජනතාව වෙනසක් අපේක්ෂා කරනවා. ඒ වෙනස කර ගන්න හොඳම තැන ජාතික ජන බලවේගය කියලා ජනතාව හිතනවා. ඒ සමග ජනතාව එකතු වෙනවා. තර්ජනය කරලා, බොරු කරලා, සල්ලි වියදම් කරලා ඒක නවත්වන්න බැහැ. අවසානයේදීවත් තමන් ප්‍රජාතන්ත්‍රවාදී වුණාය කියලා ජනතාවට පෙන්වන්න ඒ මතයට හිස නමලා, ජනාධිපතිවරණය පවත්වලා ජනතාවගේ කැමැත්තෙන් කෙනෙක් පත්කර ගන්න ඉඩකඩ හදන එක තමයි දැන් තිබෙන්නේ. අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 17ට කලින් ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි.

අපි ජනතාවට කියන්නේ, ජනාධිපතිවරණය අනිවාර්යයෙන් ඉදිරියේ පැවැත්වෙනවා. රටේ වෙනසක් සඳහා අවස්ථාවක් ලෙස එය පාවිච්චි කරන්න. මේ ජනාධිපතිවරණය රටට අලුත් යුගයක්, ජනතාව අතර සමගිය ගොඩනඟන, වැටුණු ආර්ථිකය ගොඩනඟන, දුප්පත්කමින් රට මුදා ගන්න, පුනරුදයක් නිර්මාණය කරන පාලනයක් ගොඩන අඩිතාලම දාන්න ඕනෑ. මෙතෙක් අපේ තිබූ සිහිනය සැබෑ කරගන්න අවස්ථාවක් කර ගන්න ඉදිරියට එන්න. මැතිවරණ කොමිසමෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා මේ පවතින විශේෂ තත්වයන් තේරුම් අරගෙන තමන්ගේ වගකීම ඉතාමත් ඉක්මනින් නිවැරදිව ඉටුකරන්න කියලා.

npp-press-presidential-election

“කොමිසම පිළිබඳ ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමේ හැකියාව තිබෙන්නේ මැතිවරණ කොමිසමටයි”
-ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ-

අද රටට ඉතා වැදගත් දිනයක්. ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව දින ප්‍රකාශයට පත්කර, ඊට අවශ්‍ය කරන පියවර ගැනීමේ බලය අද මැතිවරණ කොමිසමට පැවරෙනවා. මැතිවරණ කොමිසමට එය සිහිපත් කරන්නත්, මැතිවරණ කොමිසම පිළිබඳ ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමේ හැකියාව තිබෙන්නේ මැතිවරණ කොමිසමට. මැතිවරණ කොමිසමට ලැබෙන බලයත් එක්ක ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ඉක්මනින් ප්‍රකාශ කරයි කියා අපි හිතනවා. රනිල් වික්‍රමසිංහ ඇතුළු පාලකයන් ඉතාමත් අසරණ වෙලා, බියවෙලා, සලිත වෙලා. ජනාධිපතිගේ ධුර කාලය වසර පහක් බවටත් මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතු බවටත් අධිකරණය නිශ්චිත තීරණයක ඉන්න බව ජනාධිපතිවරණය වැළැක්වීමට ඉදිරිපත් කරන ලද පෙත්සම් නිෂ්ප්‍රභා වීමෙන් පැහැදිලි වෙනවා. අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලනවා මැතිවරණය සඳහා ඉක්මනින් දින ප්‍රකාශ කරන්න කියලා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඡන්දය ඉලක්ක කරගෙන අස්වැසුම ලබාදෙන්න, විශ්‍රාමික හමුදා සාමාජිකයන්ට අලුත් සැලකිලි දෙන්න, ශිෂ්‍යත්ව නිර්මාණය කරන්න, ජනාධිපති අරමුදලෙන් විවිධ රෝගාබාධවලට උදව් කරන්න හදනවා. මෙතෙක් සියලු පාලක පංතීන් මැතිවරණ ඉලක්ක කරගෙන කරපු ක්‍රියාදාමයම ඔහුත් කරනවා. මේවා මගින් ජනතාව රවටන්න පුළුවන් කියා පාලකයන් හිතනවා. මේ වෙලාවේ ජනතාව නොමඟ යවන ජනමත විමසුම්, මාධ්‍ය සංදර්ශන, දිනෙන් දින අලුත් ප්‍රවෘත්තියක් ගෙනත් ජන මනස වියවුල් කිරීම් කරමින් සුපුරුදු විදියට ජන මතය වෙනස් කර තමන්ට බලය ලබාගැනීමේ ක්‍රියාවලියක ඔවුන් යෙදී ඉන්නවා. මේ ගොල්ලන් රට හරියට පාලනය කළා නම් රට බංකොලොත් වෙන්නෙ නැහැ. මේ ප්‍රදර්ශනය කරන්නේ බලයට ඇති ගිජුකමයි. මෙතෙක් කළ හොරකම්, දූෂණ හෙළිවීම වැළැක්වීමේ අරමුණෙන් තමයි ජන මනස විකෘති කරලා මැතිවරණ ප්‍රතිඵල වෙනස් කරන්න උත්සාහ ගන්නේ. අපේ රට බංකොලොත් කරන්න අඩු වැඩි වශයෙන් කටයුතු කළ සියලු දෙනාම එකතු වෙමින් ජාතික ජන බලවේගය ගොඩනඟන දේශපාලන ව්‍යාපාරය බලයට ඒම වළක්වන්න කටයුතු කරමින් ඉන්නවා. ජනතාව බුද්ධිමත් තීරණයක් ගන්න සූදානම්. ජනාධිපතිවරණයේදි ජනතාව මේ දූෂිතයන්ට නිසි පිළිතුරු දේවි. ලැබෙන පළවැනි අවස්ථාවේදීම මේ පාලකයන් පළවා හරින්න ජනතාව සූදානමින් සිටිනවා. 2022 කරන ලද අරගලයේ ඉදිරිය සම්පූර්ණ කරන්න ජනතාව සැදී පැහැදී ඉන්නවා. මේ රටේ ජනතාව, එළඹෙන ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරලා රට යහපත් දිසාවකට ගෙනියන්න සූදානම් වී ඉන්න බවට අපි විශ්වාස කරනවා.

npp-press-presidential-election

“ජනතාවගේ ජනාධිපතිවරණ උනන්දුව වැඩි වීමෙන් පෙන්නුම් කරන්නේ, පාලකයන්ට ඉක්මනින් ගෙදර යන්න වෙන බවයි”
-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ හර්ෂණ නානායක්කාර-

මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණයට දින නියම කිරීමටත් ඉදිරි කටයතු කරගෙන යාමටත් බලය ලැබී තිබෙනවා. ප්‍රායෝගිකව හැකි ඉක්මනින් එය කරන ලෙස අපි මැතිවරණ කොමිසමට සිහිකැඳවීමක් කරනවා. වෙනත් අවස්ථාවක මෙන් නොවෙයි ජනතාව ජනාධිපතිවරණය එනකම් බලාපොරොත්තුවෙන්මයි සිටින්නේ. ජනතාව මැතිවරණය ගැන අහන ප්‍රමාණය වැඩි වීමෙන් පෙන්නුම් කරන්නේ, පාලකයන්ට ඉක්මනින් ගෙදර යන්න වෙන කාරණාවයි. ගෙදර යන්න වෙන බව දන්න රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව, දැන් උත්සාහ කරමින් ඉන්නේ ජනතාවගේ හිතේ දෙගිඩියාවක්, කුතුහලයක් ඇති කරන්න. මම නීතිඥයෙක් වශයෙන් ප්‍රකාශ කරන්නේ, මෙම ජනාධිපතිවරණය කල්දාන්න කිසිදු ක්‍රමයක් නැහැ. රනිල් ගත් උත්සාහයන් සෑම එකක්ම අසාර්ථක වී තිබෙනවා. රනිල් කුමන උත්සාහයන් ගත්තත් අපේ රටේ මැතිවරණ නීතිවලට අනුව මේ ජනාධිපතිවරණය කල් දැමිය නොහැකියි. ඒ නිසා සියලු දෙනාම ඒ කුතුහලය සිතින් අයින් කර ගන්න ඕනෑ.

ඒ වගේම මම කියනවා, නීතියයි දේශපාලනයයි කියන්නේ දෙකක්. සියලු දේම සිදුවන්නේ නීතිය අනුව නොවෙයි. නීතියේ ඉස්පිලි, පාපිලි අල්ලාගෙන දැඟලුවත් දේශපාලනයේ ප්‍රවණතාවය තිබෙන්නේ වෙනත් තැනක නම් ඒක වෙනම තත්වයක්. මේ මාසය අවසන් වෙන්න ප්‍රථම ඡන්ද දිනය පැහැදිලිව ප්‍රකාශ කොට තිබෙනවා නම්, රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයෙක්. ඔහු අපේක්ෂකයෙක් වෙලා තමන්ගේ බලය පාවිච්චි කරලා, ඔහු තරග කරන ඡන්දයකට බලපෑම් ඇති කරන කරුණු සිද්ධ කරන්න හදනවා නම්, එය කොයිතරම් ව්‍යවස්ථානුකූලද, නීති විරෝධීද යන්න අපට අහන්න සිදුවෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයෙක් වුණායින් පස්සේ ඡන්දවලට බලපෑම් කරලා යම් ක්‍රියාවලියක් කරන්න හදනවා නම්, ඒකට පියවර ගන්නත් ජාතික ජන බලවේගයේ නීතිඥවරු සූදානම්. පැහැදිලිවම කියනවා නම් රනිලුත් හොඳටෝම ෆේල්. එයා ගෙදර යනවා. ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. ජාතික ජන බලවේගයේ බිම් මට්ටමේ සහෝදර සහෝදරියන් දෙගිඩියාවක් තියා ගන්න එපා, ජනාධිපතිවරණය එනවා. තමන්ගේ වැඩකටයුතු උපරිම වේගයෙන් කරන්න කියන ඉල්ලීම අපි කරනවා.

Show More

“මාලිමා ආණ්ඩුවකදී “නීතිය ඉදිරියේ සැවොම සමානයි” සංකල්පය යථාර්ථයක් බවට වෙනවා” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් තරුණ රැලිය – මිනුවන්ගොඩ – 2024.07.14-) රටේ උතුරේ, දකුණේ, නැගෙනහිර ජනතාවත්, ගොවි, ධීවර, වතු, කම්කරු ජනතාවත් සෑම දෙනෙක්ම කියන්නේ මේක වෙනස් වෙන්න ඕනෑ කියලා. මේ විදිහට යන්න බැහැ, කියලා. තරුණ පරම්පරාවෙන් ඇහුවොත් ඒගොල්ලනුත් කියන්නේ වෙනසක් වෙන්න ඕනෑ කියලා. ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයට තරුණ තරුණියන් දහස් ගණන් එකතුවෙලා ඉන්නේ ඒ […]

(-ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් තරුණ රැලිය – මිනුවන්ගොඩ – 2024.07.14-)

NPP-Youth-Conference-Gampaha

රටේ උතුරේ, දකුණේ, නැගෙනහිර ජනතාවත්, ගොවි, ධීවර, වතු, කම්කරු ජනතාවත් සෑම දෙනෙක්ම කියන්නේ මේක වෙනස් වෙන්න ඕනෑ කියලා. මේ විදිහට යන්න බැහැ, කියලා. තරුණ පරම්පරාවෙන් ඇහුවොත් ඒගොල්ලනුත් කියන්නේ වෙනසක් වෙන්න ඕනෑ කියලා. ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයට තරුණ තරුණියන් දහස් ගණන් එකතුවෙලා ඉන්නේ ඒ වෙනස යථාර්ථයක් බවට පත්කරන්න; ජයග්‍රාහී වෙනසක් කරන්න.

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුදු 54ක් වෙනවා. රනිල් වික්‍රමසිංහ අවුරුද 47ක් වෙනවා. දිනේෂ් 41ක් පාර්ලිමේන්තුවේ හිටියා. මේ අය ජනාධිපති ධුර, අගමැති ධුර, අමාත්‍ය ධුර දැරවා. රට විනාශයෙන් විනාශයට පත් කළා. ඒ අසාර්ථක නායක කණ්ඩායම්වලින් බලය අලුත් පරම්පරාවක් අතට මාරුකර ගන්න ඕනැකම තිබෙනවා. ඒගොල්ලන් හිතුවේ නැහැ මෙවැනි අලුත් දේශපාලන ව්‍යාපාරයක නැගීමක්, පිබිදීමක් ඇති වේවි කියලා. මෙතෙක් කලක් ඒ ගොල්ලන් ආණ්ඩුව කරගෙන ආවා. ඒ අය හොරකම්, නාස්ති කරන කොට, අපි කියනවා හොරකම් කරනවා, නාස්ති කරනවා කියලා කියනවා. ඒත් එයාලා පාඩුවේ ඒවම කරගෙන යනවා. අද ඒ අය විපක්ෂයට තල්ලු කරලා ජාතික ජන බලවේගයට බලය ලබා ගැනීමේ අවස්ථාක් උදාවෙලා තිබෙනවා. මේ සිදුවීමට යන වෙනස ලෙහෙසියෙන් සිදුවෙන්න දෙන්නේ නැහැ. දශක ගණනාවකට පස්සේ දේශපාලන පරිවර්තනයක් සඳහා අවස්ථාව උදාවෙලා තිබෙනවා. පැරණි අසාර්ථක දේශපාලන නායකයන් වෙනුවට, අසාර්ථක දේශපාලන ව්‍යාපාර වෙනුවට, නව දේශපාලන නායකයන්, නව දේශපාලන ව්‍යාපාරයකට අපේ රට ප්‍රවිෂ්ට කිරීම සඳහා මහඟු අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. තව මාස දෙකහමාරයි. මේ මාස දෙකහමාර, පොර බදන්න ඕනෑ, මහන්සි වෙන්න ඕනෑ. මේ ජයග්‍රහණය ශක්තිමත් ජයග්‍රහණයක් බවට පත් කරන්න, ඒ වෙනුවෙන් වැඩකරන්න, යහළුවන් එක්ක, හිතවතුන් එක්ක, කතා කරන්න. කතා කරලා විශාල ජයග්‍රහණයක් අරගෙන දෙන්න. මේ මැතිවරණයේ නිමාවත් සමග ලංකාවේ දේශපාලනය අලුතින් ලියන්න අපි පටන් ගනිමු.

මේ රට ගොඩනඟන්න මොකක්ද අපි කළ යුත්තේ? නීතිය ඉදිරියේ සැවොම සමාන විය යුතුයි. දියුණු සෑම රටකම, දියුණුවේ ප්‍රධාන ලක්ෂණය තමයි නීතිය ඉදිරියේ සැවොම සමාන වීම. අපේ රටේ නීතිය සැමට සමාන නම්, ප්‍රසන්න රණතුංග, ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තුවේ ඉන්න බැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරන්න බැහැ. ඒගොල්ලන් නීතියේ රැකවරණය ලබන, නීතියට වඩා උඩින් ඉන්න අය. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදි “නීතිය ඉදිරියේ සැවොම සමානයි” සංකල්පය යථාර්ථයක් බවට පත්කරනවා. නීතිය ඉදිරියේ සැවොම සමාන නොවී අපේ රටේ අපරාධ, ඝාතන නවත්වන්න බැහැ. මේ පාතාල හැදුණේ ඒගොල්ලන් ළඟයි. ‘ගෝනවල සුනිල්’ කාන්තාවක් දූෂණය කර හිරේට ගියාට පස්සේ, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති සමාව දීලා සාමදාන විනිශ්චයකාර තනතුරක් දෙනවා. පාතාලය ආරක්ෂා කරනවා, වර්ධනය කරනවා. ‘සොත්ති උපාලි’ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරනවා. ‘බැද්දගානේ සංජීව’ පාතාල නායකයෙක්. චන්ද්‍රිකා කුමාරතුංගගේ ආරක්ෂක අංශයේ ප්‍රධානියෙක්. පාතාලය වර්ධනය වුණේ මෙහෙම. හම්බන්තොට වම්බොට්ටලාට, චණ්ඩිලාට රැකවරණය දුන්නේ මහින්ද රාජපක්ෂ. ‘ජූලම්පිටියේ අමරේ’ නාමල්ට ආරක්ෂාව දෙනවා. මේ පාතාලය ආරක්ෂා කරලා, වර්ධනය කරලා, අවි ආයුධ දීලා අපේ රට අපරාධ රාජ්‍යයක් බවට පත්කළේ මේ දේශපාලකයන්. ‘කඩුවෙල වසන්ත’ලා හැදුනේ රත්නපුරේ ඇමතිලාගේ තුරුල්ලේ. අපරාධවලින් තොර, මත්ද්‍රව්‍යවලින් තොර, සෑම දෙනාටම ජීවිතය පිළිබඳ අවිශ්වාසයකින් තොරව ගත කළ හැකි තත්වයක් අපි නිර්මාණය කරනවා. අද ලයිසන් චණ්ඩියි, ලයිසන් නොවෙන චණ්ඩියි ගහගන්න පටන්ගෙන තිබෙනවා. මේ විදිහට රටට ඉස්සරහට යන්න බැහැ. නිදහස් සාමකාමී රාජ්‍යයක් බවට පරිවර්තනය කළ යුතුයි. ඒ වෙනස ඇති කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බව සහතික කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන් ලෙස, ගරුකටයුතු ලෙස වැඩකරපු, නිලධාරීන් ගණනාවක් ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔවුන්ගේ දැනුම, උපදේශයන් මේ වැඩේට අපිට උපයෝගී කර ගන්න පුළුවන්.

NPP-Youth-Conference-Gampaha

අපේ ආර්ථිකයේ විශාල වෙනසක් අවශ්‍යයි. තරුණ පරම්පරාවට හරිහමන් ආදායම් මාර්ගයක් නැහැ. ගමේ තරුණයා හොඳ රැකියාවක්, හොඳ ප්‍රේම සබඳතාවයක්, හොඳ විවාහයක්, ගෙයක්දොරක් හදා ගන්න සිහින දකිනවා. ගමේ තරුණයා හොඳ මෝටර්සයිකලයක් ගන්නෙ කොහොමද කියා සිහින දකිනකොට, ජනාධිපති දරුවන් රොකට් යවන්න සිහින දකිනවා. සාමාන්‍ය දරුවන්ගේ සිහින ඉටුකරගන්න බැරි රාජ්‍යයක් බිහිවෙලා තිබෙනවා. අසරණභාවය කෙළවරට ඇවිත් තිබෙනවා. අවසානයේ රට අත්හැර යාම හැර වෙනත් විකල්පයක් නැහැ කියන තැනට කල්පනා කරමින් ඉන්නවා. අපේ තරුණයා පාස්පෝර්ට් කාර්යාල ඇතුලේ පෝලිමේ. කොරියන් භාෂාව ඉගෙන ගන්න පෝලිමේ. අපේ බහුතර පරම්පරාව මේ ව්‍යසනයෙන් ගොඩඑන්න රට හැරදා යන්න හිතනවා. ඔබ තරුණයන් විදිහට මේකෙන් පලා යන්න හිතනවාද? ඕන දෙයක් වෙන්න ඇරලා නිවට නියාලු තරුණ පරම්පරාවක් බවට පත්වෙනවාද? එහෙම නැතිනම් මේ අභියෝගයට සම්මුඛ වෙලා, මේ අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා ධෛර්ය සම්පන්න තරුණ පරම්පරාවක් ලෙස ඉදිරියට එනවාද? අපි තෝරාගත යුත්තේ මෙය වෙනස් කිරීම සඳහා කරන පොර බැදීමයි. මේ පොරබැදීමේ ප්‍රතිඵලය ජයග්‍රහණය කළොත් අපිට මේ ආර්ථිකය මුළුමනින්ම වෙනස් කරන්න පුළුවන් වෙනවා.

කොරියාවේ යන අය එහි රජයේ ආයතනවල වැඩ කරනවාද? එහි රජය මැදිහත් වෙලා, යටිතල පහසුකම් ටික නිර්මාණය කරලා දෙනවා. එළියේ විශාල ආර්ථිකයක් හදා තිබෙනවා. ඒ ආර්ථිකය ඇතුලේ රස්සා තිබෙනවා. විශාල ටී.වී. කර්මාන්තයක්, ෆෝන් කර්මාන්තයක්, නැව් කර්මාන්තයක්, ඉදිකිරීම් කර්මාන්තයක්, රූපලාවණ්‍ය කර්මාන්තයක් තිබෙනවා. අපේ දරුවන් ඒවා ඇතුලේ රස්සා කරනවා. අපේ රටේ දේශපාලකයන්ගේ රස්සා කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කච්චේරිය, වරාය, පෙට්‍රොලියම් එක පුරවන එකයි. අපේ තරුණ තරුණියක් 13,000ක් පමණ මාලදිවයිනේ රැකියා කරනවා. මාලදිවයිනේ ධීවර කර්මාන්තයත්, සංචාරක කර්මාන්තයත් පමණයි තිබෙන්නේ. විශාල හෝටල් කර්මාන්තයක් තිබෙනවා. ඒකට අවශ්‍ය සූපවේදීන්, කළමනාකරුවන් ලෙස අපේ අය ගිහින් වැඩ කරනවා. රස්සා ඇතිවෙන්නේ එළියේ ආර්ථිකයක් ගොඩනැගුණොත්. ජාතික ජන බලවේගයේ අපි එළියේ ආර්ථිකයක් ගොඩනගන්න අවශ්‍ය පරිසරයක් නිර්මාණය කරනවා. අපේ ව්‍යාපාර කරන්නේ දේශපාලකයන්. බාර් කරන්නේ, අරක්කු ෆැක්ටරි කරන්නේ, පෙට්‍රල් ෂෙඩ් කරන්නේ දේශපාලකයන්. පානම, අරුගම්බෙක්කේ ඉඩම් විශාල ප්‍රමාණයක් දේශපාලකයන්ගේ අතේ. අද සමස්ත ආර්ථිකයම දේශපාලකයාගේ ග්‍රහණයට යටත් වෙලා තිබෙනවා. මමවත් අපේ දේශපාලන මණ්ඩලයේ කිසිවෙක් බාර් දාන්න, පෙට්‍රල් ෂෙඩ් දාන්න, වැලි ගොඩදාන්න, නීති විරෝධී දැව ජාවාරම් කරන්න, පතල් කපන්න එන්නේ නැහැ. ඒවා ව්‍යවසායකයන් විසින් කරන්න ඕන දේවල්.

NPP-Youth-Conference-Gampaha

මේ කඩාවැටුණු ආර්ථිකය ගොඩගන්න එක අපිට පැවරී තිබෙන වගකීමක්. දශක ගණනාවක් තිස්සේ පරීක්ෂණයට ලක්කරන ලද ඛනිජ සම්පත් තිබෙනවා. ඒ විද්‍යාඥයන් සමග අවරුදු එක හමාරක සිට සාකච්ඡා කොට තිබෙනවා. ඒ වගේම මේවට ආයෝජන ගේන්න හැකි දේශීය ව්‍යාපාරිකයන් හමුවෙලා සාකච්ඡා කොට තිබෙනවා. එතන අපට අවස්ථාවක් තිබෙනවා. අපේ විශාල කාබන් ප්‍රතිශතයක් සහිත මිනිරන් සම්පතක් තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ අපි අමු මිනිරන් ලෙස පිටරට පටවනවා. එතනට අගය එකතු කරන කර්මාන්තයක් ඕනෑ. පුල්මුඩේ ඛනිජ වැලි සහ එප්පාවල පොස්පේට් නිධියක් තිබෙනවා. අපි ආරම්භයේ පරන්තන්වල සර්ෆිරික් අම්ලය නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. සර්ෆියුරික් අම්ලය සියලු කර්මාන්තයන්ට අවශ්‍යයි. එතනට කාර්මික ශිල්පීන්, ලිපිකරුවන්, කළමනාකරුවන්, ගබඩාබාරකරුවන් අවශ්‍ය වෙනවා. එතන රස්සා හැදෙනවා. එතනට සැලසුම සකස්කොට තිබෙනවා. පුත්තලම් ප්‍රදේශයේ වැදගත් සිලිකා නිධියක් පොළොව යට තිබෙනවා. මේවා අමුවට පටවනවා. පටවන සෑම ටොන් එකකටම ඇමතිට ගාණක් එනවා. මේ සම්පත් උපයෝගී කොටගෙන නව කර්මාන්ත අවධියකට අපේ රට පරිවර්තනය කරන්න ඕනෑ. අපට මේ සඳහා ප්‍රාග්ධනය, තාක්ෂණය නැති වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් විදෙස් ආයෝජකයන්ට එන්න කියන්න ඕනෑ. ලෝකයේ මාර්කට් එක දාමයක් වගේ. ඒකට අපට ප්‍රවේශ වෙන්න අමාරුයි. ප්‍රාග්ධනය තිබෙන, තාක්ෂණය තිබෙන, මාර්කට් එකේ සැපයුම් දාමයේ ඉන්න ආයෝජකයෙකුට අපි එන්න කියන්න ඕනෑ.

අපේ රටට පිරිසිදු ආයෝජකයන් එන්නේ නැහැ. 1978 සිට 2022 දක්වා ආයෝජකයන් ගේන්න කොතරම් පොර බැදුවාද? අපට අවුරුදු 44ටම ආවේ ඩොලර් බිලියන 22යි. වියට්නාමයට එක අවුරුද්දට ඩොලර් බිලියන 22යි. දැන් කිසි පිරිසිදු ආයෝජකයෙක් එන්නේ නැහැ. එයා ආව තැන සිට කප්පම් ගෙවන්න ඕනෑ. ඉඩමට යන්න ප්‍රාදේශීය සභාපතිට, ඇමතියාට කප්පම් දෙන්න ඕනෑ. අපි කිසිදු ආයෝජකයෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ඔවුන් විදෙස් විනිමය හැටියට කොයිතරම් මුදලක් ආයෝජනයක් හැටියට අරගෙන එනවාද? පටන් ගන්නේ මොන කර්මාන්ත ශාලාවක්ද? අපට රාජ්‍ය භාගය ලෙස කොතරම් ප්‍රමාණයක් ලැබෙනවාද? රැකියා කොතරම් ප්‍රමාණයක් උත්පාදනය වෙනවාද? කර්මාන්තය වර්ධනය වුණාම වසරකට කොයිතරම් ඩොලර් ප්‍රමාණයක් අරගෙන එනවාද? රටත් ජනතාවත් ගැන පමණමයි අපි කල්පනා කරන්නේ. ලෝකයේ රටවල් දියුණුව අත්පත් කර ගත්තේ, විශාල කර්මාන්ත පද්ධතියකට අවතීර්ණය වීමට ඔවුන් සමත් වුණ නිසා. නව කාර්මීකරණයකට අපි යන්න ඕනෑ. අපි භාණ්ඩ නිෂ්පාදනය කළේ නැහැ. ලෝකයේ නිෂ්පාදනය කරන භාණ්ඩ පරිභෝජනය කළා. ලෝකය සොයාගෙන තිබෙන නව දැනුම, තාක්ෂණය උපයෝගී කරගෙන නව ආර්ථික ක්‍රියාවලියකට පරිවර්තනය කිරීම සඳහා අපි සැලසුම් හදා තිබෙනවා.

NPP-Youth-Conference-Gampaha

ලෝකයේ විශාල පර්යේෂණාගාරවල වැඩ කරන අපේ විද්‍යාඥයෙක් ලංකාවේ විශාල වෙහෙසක් දරලා පර්යේෂණ කරලා බාස්මතී වී සොයාගෙන තිබෙනවා. එයා අපේ කෘෂිකර්ම කමිටුවේ විද්‍යාඥයෙක්. ලෝකයේ පිළිකා රෝගය නිට්ටාවටම සුව කිරීම සඳහා පරීක්ෂණ පවත්වනවා. පසුගියදා ප්‍රවෘත්තියක් පළ වුණා නිට්ටාවටම බෙහෙතක් සොයා ගත්තා කියලා. ඒ පර්යේෂණ කරන්නේ අපේ පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ වැඩකටයුතු කරන අපේ විද්‍යාඥයෙක්. අපේ කෝලිකුට්ටු ගෙඩියේ පොත්ත ශක්තිමත් නැහැ. ඒ පොත්ත ශක්තිමත් කරන්නේ කොහොමද කියා පර්යේෂණ කරන අය අද ජාතික ජන බලවේගයත් සමග ඉන්නවා. අලුත් පර්යේෂකයන් අපේ රටට ඕනෑ. ලෝකය ඉදිරියට යන්නේ නව තාක්ෂණය, නව දැනුම එක්කයි. ලෝකය එක යුගයක් පාලනය කළා වැඩිම නාවික බලයයි, වෙඩි බලයයි තිබුණු අය. ඊළඟට ලෝකය පාලනය කළේ වැඩිම මූල්‍ය බලය තිබෙන කෙනා. ක්‍රමානුකූලව වර්තමාන ලෝකය පාලනය කරන්නේ වැඩිම තාක්ෂණික හිමිකාරිත්වය තිබෙන, වැඩිම නව නිමැවුම් තිබෙන කෙනා. අපේ පරිපූරක වෛද්‍ය සංගමයේදි ලංකාවේ වෛද්‍ය උපකරණ නිර්මාණය වෙනුවෙන් පේටන් අයිතිය තිබෙන කණ්ඩායම් අපට හමුවුණා. රටකට ඉස්සරහට යන්න නම්, අලුත් දැනුම, අලුත් නිෂ්පාදන කරන්න ඕනෑ. 2030 වෙනකොට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 45ක් අවශ්‍ය වෙනවා. තව අවුරුදු හයකින් ලෝකයට කෝටි දෙකක මෘදුකාංග ඉංජිනේරුවන් ඕන වෙනවා. අපි ඒ මාර්කට් එක අල්ල ගෙන නැහැ. ලෝක වෙළඳපොළෙන් වැඩිම මෘදුකාංග වෙළඳපොළ අල්ලාගෙන තිබෙන්නේ ඉන්දියාව අපි අලුත් තරුණ පරම්පරාවට ලෝකයේ ඇතිවෙන නව තාක්ෂණ වෙනස්කම්, ශ්‍රම වෙළඳපොළ වෙනස්කම්වලට අනුරූප වන පරිදි භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කරන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කරනවා.

මේ වෙනස නිර්මාණය කරන්න අපට පටන් ගන්න වෙන්නේ දේශපාලන පරිවර්තනයකින්. තව මාස දෙකහමාරයි. මේ වෙනසේ ආරම්භය ගන්න වෙන්නේ බලය අතට අරගෙන. පැරණි අසාර්ථක දේශපාලන ගමනෙන් සහ පැරණි අසාර්ථක නායකත්වයෙන් මේ රට මුදාගෙන නව දිසාවකට පරිවර්තනය කරමු. ඒ සඳහා එළඹෙන ජනාධිපතිවරණය තීරණාත්මක හැරවුම බවට පත්කර ගනිමු.

Show More

“වෘත්තිකයාත්, ප්‍රතිලාභ ලබන පුරවැසියාත් තෘප්තිමත් වන රාජ්‍ය සේවයක් ස්ථාපිත කරනවා” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-පරිපූරක වෛද්‍ය වෘත්තියවේදී සාමූහිකයේ ජාතික සමුළුව – 2024.07.14-) අපේ රටේ සියලුම ක්ෂේත්‍ර කඩා වැටීමට ලක්වී තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය වැනි ක්ෂේත්‍රද ඇතුළත්ව සුබවාදී බලාපොරොත්තුවක් තැබිය හැකි එකදු ක්ෂේත්‍රයක්වත් නැහැ. අපේ රට පද්ධතියක් ලෙස කඩා වැටී තිබෙනවා; ලෝකය ඉදිරියේ බාල්දු වූ, අපකීර්තියට පත්වූ රාජ්‍යයක් බවට පත්වී තිබෙනවා. අපේ රට හෝ අපේ ජනතාව මේ ව්‍යසනයේ ගොදුරු […]

(-පරිපූරක වෛද්‍ය වෘත්තියවේදී සාමූහිකයේ ජාතික සමුළුව – 2024.07.14-)

අපේ රටේ සියලුම ක්ෂේත්‍ර කඩා වැටීමට ලක්වී තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය වැනි ක්ෂේත්‍රද ඇතුළත්ව සුබවාදී බලාපොරොත්තුවක් තැබිය හැකි එකදු ක්ෂේත්‍රයක්වත් නැහැ. අපේ රට පද්ධතියක් ලෙස කඩා වැටී තිබෙනවා; ලෝකය ඉදිරියේ බාල්දු වූ, අපකීර්තියට පත්වූ රාජ්‍යයක් බවට පත්වී තිබෙනවා. අපේ රට හෝ අපේ ජනතාව මේ ව්‍යසනයේ ගොදුරු බවට පත්නොවිය යුතුයි. මෙය වෙනස් කළ යුතුයි. අපි කිසිවෙකුත් මේ ඛේදවාචකය පසෙකට වී බලාගෙන සිටීම යුක්තිසහගත නැහැ. පළමුව අපි දේශපාලන ජයග්‍රහණය අත්පත් කර ගත යුතුයි. අපේ වුවමනාව තිබූ පමණින් දේශපාලන පරිවර්තනයන් සිදුවෙන්නේ නැහැ. ඒ සඳහා කරුණු දෙකක් සම්පූර්ණ විය යුතුයි. එකක් තමයි, පාලකයාට තවදුරටත් තමන්ගේ පාලනය සුපුරුදු ආකාරයෙන් පවත්වාගෙන යාමට නොහැකි වීම. දෙක ජනතාවට තවදුරටත් පැරණි ආකාරයට තම ජීවිත පවත්වාගෙන යාමට නොහැකි වීම. අද අපේ රටේ අලුත් දේශපාලන පරිවර්තනයකට අවශ්‍ය තත්වයන් මෝරා තිබෙනවා. මේ ඇතිවී තිබෙන තත්වයන් ඉතා හොඳින් කළමනාකරණය කර, මෙහෙයවා ජයග්‍රහණය කරා ගෙනයා නොහැකි නම් එතන අපේ ප්‍රශ්නයක් තිබෙනවා.

අපි සිටින්නේ ලංකාවේ තීව්‍රතම දේශපාලන ගැටුම අද්දරයි. ඒගොල්ලන් මේ මැතිවරණය සඳහා විශාල මුදල් ප්‍රමාණයක් පොම්ප කරනවා. මැතිවරණය වෙනුවෙන් විශාල පහසුකම් සහිත කාර්යාල මිලදීගෙන තිබෙනවා. මුදල් යොදවමින් ලෝකයේ ඇතිවී තිබෙන නව තාක්ෂණයේ වෙනස්කම් මැතිවරණය වෙනුවෙන් උපයෝගී කර ගැනීමට කටයුතු සකස්කොට තිබෙනවා. විශාල මාධ්‍ය මෙහෙයුම සහිත මැතිවරණය බවට පත්වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක සිදුවිය හැකි ගැටුම්කාරිත්වය අවම ප්‍රජාතන්ත්‍රවාදී සීමාව බිඳීම දක්වා වර්ධනය වෙනවා.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති ධුරය පැයකට වත් හිස් වෙන්න බැහැ. ජනාධිපති ඡන්දය, ධුරය අවසන් වෙන්න මාසයකට පෙර හා මාස දෙකක් නොඉක්මවන කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. අනෙක් සෑම ඡන්දයක්ම ධුර කාලය අවසන් වුණාම පැවත්විය යුතු වුවත් ජනාධිපති ඡන්දය ධුර කාලය අවසන් වීමට ප්‍රථම පැවැත්විය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් කොට තිබෙනවා ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කරනු ලබන ජනාධිපතිවරයෙක් විසින් හොබවන්නේය. ජනතාව විසින් ඒ සඳහා ජනාධිපතිවරයා පස් අවුරුදු කාලයකට තෝරා ගන්නේය. මෙය තවදුරටත් පහක්ද, හයක්ද කියා බැලිය යුතු නැහැ. ව්‍යවස්ථාවේ 125 වගන්තියේ ව්‍යවස්ථාවේ නීතීන් පිළිබඳ අර්ථ නිරූපණය කිරීමේ බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා තුනකදී ධුරය අවුරුදු පහක් බව අර්ථ නිරූපණය කොට තිබෙනවා. ආයිමත් නඩුවක් දමා තිබෙනවා 19 වැනි සංශෝධනය සම්මත වුණු ආකාරය වැරදියි කියා. 19 වැනි සංශෝධනය සම්මත වුණේ 2015 මැදයි. අවුරුදු 09කට පස්සෙ 19 සම්මත වූ ආකාරයේ වැරදි නිවැරදිභාවය අහනවා. 19 වැනි සංශෝධනයේ බලය අවස්ථා කිහිපයකදී පාවිච්චි කළා. මේවා සාම්ප්‍රදායික දේශපාලනයේ සිදුවෙන ඒවා නොවෙයි. මේවායින් පෙන්නුම් කෙරෙන්නේ මේ දේශපාලන ගැටුමේ තිබෙන තීව්‍රතාවයේ තරමයි. මෙසේ වන්නේ ඇයි? මේ සිදුවන්නේ සුවිශේෂී දේශපාලන පරිවර්තනයක්. එම පරිවර්තනය වැළැක්වීම සඳහා ප්‍රතිපාර්ශ්වයන් බලය, මාධ්‍ය, ව්‍යවස්ථා, පාර්ලිමේන්තු, නීති සියල්ල උපයෝගී කර ගනිමින් තිබෙනවා. අප සතුව තිබෙන්නේ ඔබගේ බලය පමණයි. මහජනතාව සංවිධානය කරලා, මේ අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන්ද කියන එක මත තමයි අපේ ජයග්‍රහණය රඳා පවතින්නේ.

විසිරිලා සිටි පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් කණ්ඩායමක් ලෙස එක තැනකට ගොනුකරමින් පෙන්නුම් කර තිබෙන්නේ, අපට මේකට මුහුණ දෙන්න පුළුවන් කියන එකයි. ඔබ විවිධ වෘත්තිය සමිති නියෝජනය කරනවා ඇති. ඒවා එලෙසම පැවතුණාවේ. හැබැයි මේ දේශපාලන පරිවර්තනය වෙනුවෙන් වෘත්තීය සමිති සීමාවන් පමණක් නොවෙයි, වෘත්තීන්ගේ සීමාව ඉක්මවා ගිය සාමූහිකයක් බවට අපි පත්විය යුතුයි. මෙවැනි සාමූහිකවල බලයක් නොමැතිව දේශපාලන බලය අත්පත් කර ගන්න බැහැ. අත්පත්කර ගන්නා බලය රැක ගන්න, ක්ෂේත්‍ර ගොඩනඟන්න, මේ සාමූහික ක්‍රියාදාමය අත්‍යවශ්‍යයි.

1917 රුසියන් විප්ලවය සිදුවුණාට පස්සේ ලෙනින් කියනවා “පරණ ඇඳුම් ගලවා අලුත් ඇඳුම් ඇඳ ගැනීමේ කාලය උදා වී තිබේ” කියලා. අපටත් එය අදාළයි. දේශපාලන පක්ෂ බෙදීම්, වෘත්තිය සමිති බෙදීම්, වෘත්තිමය බෙදීම්, තියෙන්න ඇති ඒ සියල්ල පසෙක තබා අපි එකට එකතු විය යුතුයි. මේ ජයග්‍රහණය අත්පත් කර ගැනීම සඳහා වෙහෙස වෙමු, මැදිහත් වෙමු. ඡන්දය පැවැත්වේවිද, නැද්ද කියා කිසිදු දෙගිඩියාවක් තබා ගන්න එපා. මේ 17 වැනිදා මැතිවරණ කොමිසමට බලය පැවරෙනවා, මේ මාසය අග වෙනකොට මැතිවරණ කොමිසම විසින් මැතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කරනවා. අනිවාර්යයෙන් මැතිවරණය පැවැත්වෙනවා. ඊළඟට අපි මේ රට හදන්න ඕනෑ. නිදහස ලබා වසර 76ක් ගෙවුණත් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගිය ගොඩනගන්න බැරිවෙලා තිබෙනවා. සැකය, අවිශ්වාසය, ක්‍රෝධයෙන් පිරුණු රාජ්‍යයක් බවට පත්වෙලා තිබෙනවා. ජාතීන් අතර සමගිය ගොඩනැගිය යුතුයි. අපේ රටේ නීතිය, තෝරු මෝරු ගැලවෙන හාල්මැස්සන් අහුවෙන නීතියක්. නීතිය ඉදිරියේ හැමෝම සමානයි කියන එක සංකල්පයක් නොවී එය ප්‍රායෝගිකව ක්‍රියාවට නගන පාලනයක් අපි නිර්මාණය කළ යුතුයි.

අපට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. එහි නියැලෙන වෘත්තිකයාත්, ප්‍රතිලාභ ලබා ගන්නා පුරවැසියාත් තෘප්තිමත් වන රාජ්‍ය සේවයක් අපි ස්ථාපිත කරනවා. ඒ වගේම ශක්තිමත් විදෙස් ප්‍රතිපත්තියක් අපට අවශ්‍යයි. ලෝකය සන්නිවේදනයෙන්, වෙළඳපොළෙන්, ගමනාගමනයෙන් ගැටගැසී තිබෙනවා. කුඩා වී තිබෙන ලෝකයේ හුදකලා වී නොසිට අන්තර් සම්බන්ධතාවයන් ගොඩනඟා ගනිමින් ලෝකයත් සමග ඉදිරියට යා යුතුව තිබෙනවා. සමහර රාජ්‍යවල සමාගම් සල්ලි දීලා අපේ නායකයන්ව ගත්තා. සමහර ව්‍යාපෘති සිදුවුණේ, සමහර දේශපාලන තීන්දු තීරණ ගනු ලැබුවේ සමාගම්වල සල්ලිවලට මිසක් විදෙස් ප්‍රතිපත්ති අනුව නොවෙයි. හැබැයි ලෝකයේ කිසිදු සමාගමකට අපිව මිලදී ගන්න බැහැ. ජාතික සමගිය, නීතියේ විධානයේ ආධිපත්‍යය, ශක්තිමත් රාජ්‍ය සේවය, ශක්තිමත් විදෙස් ප්‍රතිපත්තිය, වංචා-දූෂණය-නාස්තියෙන් තොර පාලනය නැතිව මේ රට හදන්න බැහැ.

ආර්ථික අර්බුදය ප්‍රකාශ වෙන්නේ කොහොමද? ලෙඩට බෙහෙත් හිඟකම, අධ්‍යාපනයෙන් ඉවත් වීම, වෘත්තියවේදීන් රට හැර යෑම වැනි ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලින් අර්බුදය ප්‍රකාශ වෙනවා. මේ අර්බුදය විසඳීමට නම් භාණ්ඩාගාරයට ලැබෙන රුපියල් ප්‍රමාණය වැඩිකර ගත යුතුයි. 2024 ආණ්ඩුව අපේක්ෂා කරනවා රුපියල් බිලියන 4168ක ආදායමක්. ආණ්ඩුවේ වියදම ණය වාරික, පොලී වාරික, ආණ්ඩුවේ වියදම සමගින් රුපියල් බිලියන 11,277යි. එහෙම නම් භාණ්ඩාගාරයට ධනය ලබාගන්නේත් ඒ ධනය රැක ගන්නේත් කෙසේද? භාණ්ඩාගාරයට එන්න තිබෙන එහෙත් වෙන පාරවල්වල යන ධනය ලබා ගන්නේ කෙසේද? භාණ්ඩාගාරයට එන ධනය නාස්ති කරනවා. ධනය හැදෙන්නේ එළියේ. ආණ්ඩුව ධනය උපදවන්නේ නැහැ. එළියේ හැදෙන ධනය තව තව උත්පාදනය කරන්න ඕනෑ. ධනය උත්පාදනය කළ හැකි අවස්ථාවන් අපි කල්පනා කර තිබෙනවා. අපිට ඒ සඳහා අවශ්‍ය සම්පත් තිබෙනවා. තාක්ෂණය හා අවශ්‍ය ප්‍රාග්ධනය නැතිනම් විදේශීය ආයෝජන අපි කැඳවන්න ඕනෑ.

ලෝකය වේගයෙන් ඉස්සරහට යන්නේ අලුත් තාක්ෂණයත් එක්ක. විසිවන සියවසේ සෑම ක්ෂේත්‍රයකම විශාල පරිවර්තනයන් සිදුවුණා. ලෝකයට අවශ්‍ය ආහාර, මිනිසුන්ගේ ආයු කාලය වැඩිකිරීම විසිවන සියවසට පෙර කරන ලද පර්යේෂණයන් නිසා අත්පත් කරගත ජයග්‍රහණයන්ගේ ප්‍රතිඵලයන්. ඒ ජයග්‍රහණයන් අපේ ආර්ථිකයත් එක්ක ගැටගහගෙන ඉස්සරහට ගෙනියන්න අපි අසමත් වුණා. නවීන තාක්ෂණයේ වර්ධනයන් අපේ ආර්ථිකයට යොදා ගන්නේ කෙසේද යන්න හිතන්න ඕනෑ. අපි පර්යේෂණ හා සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොදන්න ඕනෑ. අද බදු ගහමින් ආර්ථිකය හිර කරලා තිබෙන්නේ. මේක හොඳට චලනය වෙන්න දෙන්න ඕනෑ. ඒකට අවශ්‍ය පහසුකම් ටික සලසන එක අපේ වගකීමක්. ලෝකෙට අවශ්‍ය වන භාණ්ඩ හා සේවා පිළිබඳ අපි කල්පනා කරන්න ඕනෑ. මෘදුකාංග ක්ෂේත්‍රයේ, නාවුක කර්මාන්තයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ සේවා නිෂ්පාදන අත්පත් කර ගන්නේ කෙසේද යන්න සලකා බැලිය යුතු වෙනවා. ලෝකයේ අයි.ටී. ක්ෂේත්‍රය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. 2030 වන විට ලෝකෙට නව මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 19 ක් අවශ්‍ය වෙනවා. සංචාරක කර්මාන්තයේ ඉතා හොඳ විභවයක් තිබෙනවා. රැකියා අවස්ථා ඇතිවී ආර්ථිකයට මිනිසුන් සම්බන්ධ කර ගැනීමෙන් රුපියල් අර්බුදයටත්, ඩොලර් අර්බුදයටත් විසඳුම් සොයන්න හැකිවෙනවා. රැකියා ඇති වෙන්නේ නැතිනම් ආර්ථිකය මේ ආකාරයෙන්මයි තියෙන්නේ. මිනිසුන්ගේ දුප්පත්භාවය නැතිව යන්නේ එතැනින්. ඌව පළාත වැනි ප්‍රදේශවල ජනතාව ආර්ථිකයෙන් විතැන්කොට තිබෙන්නේ. ඒ ජනතාවට නව ආර්ථික ප්‍රභවයන් ලබාදිය යුතුයි. ග්‍රාමීය දුප්පත්භාවය නැතිකරන්න හැකි වන්නේ එතකොටයි. ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵලයක් හැටියට අපි නිරෝගී සම්පන්න සමාජයක් වෙන්න ඕනෑ. ආර්ථික ජයග්‍රහණ අත්පත් කර ගන්නත් අපි නිරෝගී සම්පන්න ජාතියක් අවශ්‍යයි. ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ විසින් නිරෝගී සම්පන්න ජාතියක් බිහි විය යුතුයි.

වෘත්තියවේදීන් රට අත්හැර යාම නවත්වන්න නම්, අපේ දරුවන්ගේ අනාගතය පිළිබඳ විශ්වාසයක් සහ ස්ථිරත්වයක් ගොඩනඟන්න ඕනෑ. ඒ වගේම වෘත්තියට සරිලන වැටුපක්, අනුග්‍රහයක් ලබාදිය යුතුයි. ඔබගේ වෘත්තියේ ආරක්ෂාවත්, අනන්‍යතාවත් රැකෙන ආකාරයේ සේවා ව්‍යවස්ථාවක් අපි හදනවා. ලෝකයේ ඉදිරියට යාමට පශ්චාත් උපාධි අවශ්‍යයි. දියුණු රටවල් වැඩි වශයෙන් අවධානය යොමුකොට තිබෙන්නේ පශ්චාත් උපාධි ආයතනවලටයි. අපිට පූර්ණකාලීන පශ්චාත් උපාධි ආයතන නැහැ. ලෝකයේ ප්‍රාථමික අධ්‍යාපනයෙන් උඩ තමයි පර්යේෂණ සිදුවෙන්නේ. අපි අධ්‍යාපනයේ ඊළඟ පියවර ලෙස වෘත්තිමය ක්ෂේත්‍රය උඩට ගන්න නම් පර්යේෂණ ක්ෂේත්‍ර ගේන්න නම්, පශ්චාත් උපාධි විධිමත්භාවයට පත් කළ යුතුයි. විසිරී තිබෙන දුර්වලභාවයට පත්වී තිබෙන, අක්‍රමවත්ව තිබෙන අපේ ආර්ථිකයත් අධ්‍යාපනයත් නිපුණතාවයනුත් ඉදිරියට ගැනීමේදී වැදගත් වන පශ්චාත් උපාධිය කෙරෙහි අවධානය යොමුකරනවා. අපිට හොඳ අදහස්, සංකල්ප තිබෙනවා. මේ පාදඩ, කැත දේශපාලනය වෙනස් කළේ නැත්නම් අපේ රටට අඟලක් හෝ ඉදිරියට යන්න බැහැ. ඒ සඳහා මේ ජනාධිපතිවරණය වැදගත් වෙනවා. ඒ සඳහා අපි මැදිහත් වෙමු. ජනතාවට කතා කරන්න. මේ පරිවර්තනයේ කොටස්කරුවන් බවට පත්වෙන්න.

Show More