Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

“සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියලු දෙනා සමගි වී ආණ්ඩුවක් හදමු” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-‘පුනරුදයට රටම එකට’ ජාතික ජන බලවේගයේ බේරුවල ජන හමුව – 2024.07.15-) ඔබ මෙතෙක් ඡන්දය දුන්නේ, ආණ්ඩු හදාගත්තේ යහපත් අරමුණකින්. බියෙන් සැකයෙන් තොරව ජීවත් විය හැකි, යහපත් රටක් බලාපොරොත්තුවෙන්. හැබැයි ජනතාවගේ යහපත් අරමුණු තිබුණාට හදාගත්තේ අයහපත් ආණ්ඩු. නීති කඩන, මහජන දේපළ සොරකම් කරන, නාස්ති කරන, ජාතික සම්පත් විකුණන, රට අපකීර්තියට පත් කළ, ණය ගෙවා ගන්න බැරි […]

(-‘පුනරුදයට රටම එකට’ ජාතික ජන බලවේගයේ බේරුවල ජන හමුව – 2024.07.15-)

Beruwal-Public-Rally

ඔබ මෙතෙක් ඡන්දය දුන්නේ, ආණ්ඩු හදාගත්තේ යහපත් අරමුණකින්. බියෙන් සැකයෙන් තොරව ජීවත් විය හැකි, යහපත් රටක් බලාපොරොත්තුවෙන්. හැබැයි ජනතාවගේ යහපත් අරමුණු තිබුණාට හදාගත්තේ අයහපත් ආණ්ඩු. නීති කඩන, මහජන දේපළ සොරකම් කරන, නාස්ති කරන, ජාතික සම්පත් විකුණන, රට අපකීර්තියට පත් කළ, ණය ගෙවා ගන්න බැරි රටක්, අධ්‍යාපනය, සෞඛ්‍යය, කඩා වට්ටපු ආණ්ඩු හැදුවේ. ඡන්දය දීමෙන් පත්වුණු ආණ්ඩු ගැන කාටවත් සතුටු වෙන්න පුළුවන්ද?

ඔබට මතක ඇති මෛත්‍රී-රනිල් ආණ්ඩුව ගැන. ඒ අවුරුදු හතර හමාරක කාලයේ අපේ රට ඩොලර් බිලියන 12.5ක ණය ප්‍රමාණයක් ගත්තා. අපේ රට වැඩියෙන්ම ණය අරගෙන ණය උගුලක හිරකළේ මෛත්‍රී-රනිල් පාලන කාලයේදීයි. අද අපට ගෙවන්න තිබෙන සියලුම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව කාලෙ ගත්ත ඒවායි. රනිල්-මෛත්‍රී ආණ්ඩුව හදාගෙන දින 50ක් යන කොට මහ බැංකුවට ගැහුවා. ඊට මාස කිහිපයකට පස්සේ හම්බන්තොට වරාය වික්කා. ක්‍රමානුකූලව ජාතිවාදය වර්ධනය වුණා. රනිල් වික්‍රමසිංහ එය වර්ධනය වෙන්න ඉඩ හැරියා. වඳ ඇඳුම්, වඳ කොත්තු, වඳ දොස්තරලා ගැන කතා කරන කොට ඒ මතයන්ට එරෙහිව රනිල්ගේ ආණ්ඩුව ගත්ත තීරණ මොනවාද? සජිත් ප්‍රේමදාස ඒවාට එරෙහිව කතා කළාද? රටේ ආරක්ෂාව බින්දුවට වැට්ටුවා. තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබී තිබියෙදී, ගහන බව, ගහන්නේ කවුද, ගහන්නෙ කවදාද, කොතැනටද, වෙලාව සියල්ලම තොරතුරු තිබියදී රට රැක්කාද? ප්‍රහාරයන් සිදුවෙන්න ඉඩ හැර ජාතිවාදී ගැටුමක් නිර්මාණය කළා. හිතන්න පාලකයන් ඔබලාගේ බලාපොරොත්තු ඉටු කළාද? බොහෝ දෙනා 2019 ගෝඨාභය ගේන්න විශාල කතිර ප්‍රමාණයක් ගැහුවා. නමුත් ඔහු ආර්ථිකය බිඳ වැට්ටුවා. ගජ මිතුරන්ට සීනි බදු වංචාව සිදු කරන්න ඉඩ හැරියා. කෝටි 1500ක් රජයට අහිමි වුණා. පොල්තෙල් බදු බංචාවෙන් කෝටි 350ක් රජයට අහිමි වුණා. පොහොර නතර කළා. ගොවි බිම් මුඩු බිම් බවට පත් වුණා. මුළු පවුලම ඇමතිකම් දැරුවා. රටේ මුළු බලයම පවුලක් අතට ගියා.

Beruwal-Public-Rally

අපේ ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තා. ලෝකෙට පොලු තියපු ජාතිකයක් බවට පත්වුණා. මේ රට මේ තරම් විනාශයට පත්කර, තමන්ගේ දරුවන්ගේ අනාගතය විනාශ කර තිබියෙදී තවදුරටත් පැරණි, අසාර්ථක පක්ෂ කෙරෙහි විශ්වාසය තබන්නේ ඇයි? ඒවා පක්ෂ දෙකක් නොවෙයි. එක කල්ලියක්. ඒ ගොල්ලන්ගේ දේශපාලන වේදිකා දිහා බලන්න. රනිල්ගේ වේදිකාවේ පොහොට්ටු නායකයෝ ඉන්නවා. පොහොට්ටු වේදිකාවේ යූ.එන්.පී. නායකයෝ ඉන්නවා. සජිත්ගේ වේදිකාවේ පොහොට්ටුවේ නායකයෝ ඉන්නවා. කොහොමද මේ අය එක් එක් පාක්ෂිකයන් ලෙස හඳුනා ගන්නේ. මේ ගොල්ලන් පක්ෂ දෙකක් නොවෙයි. මේ දේශපාලනය විකාරයක්. ඔය ගොඩක් අය ස.ජ.බ. පොහොට්ටුවට නගින්න කලින් අපේ වටේ කැරකුණා. අපි කිවුවා “මේ රට විනාශ කරන්න හවුල් වුණු, පසුගිය කාලයේ ආණ්ඩුවල අමාත්‍ය ධුර දරපු, රාජපක්ෂලාට ආවැඩූ කිසිකෙනෙක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ගන්නෙ නැහැ” කියලා. එහෙට මෙහෙට පනින දේශපාලනය නතර වෙන්න ඕනෑ නැත්ද? මේ එහෙට මෙහෙට පනින්නේ රටට ආදරේටද? අපේ පැහැදිලි වැඩපිළිවෙළක් තිබෙන එකම පක්ෂය ජාතික ජන බලවේගය පමණයි. අද අපිට අවශ්‍ය ප්‍රතිපත්තිමය දේශපාලනයක්.

මේ ගොල්ලන් එහාට මෙහාට පැන්නා. ඇමතිකම් බෙදා ගත්තා. රටට සිදුවුණේ මොකක්ද? අපේ දරුවෝ කල්පනා කරනවා පාසලට යන්න බයිසිකලයක් ගන්නේ කොහොමද කියලා. රෝහිතගේ දරුවෝ වෙඩින් එකට හෙලිකොප්ටර්වලින් යනවා. අපේ දරුවෙක් පොඩි කාර් එකක් ගන්න කල්පනා කරනවා. ජනාධිපතිගේ දරුවෝ අභ්‍යවකාශයට රොකට් යවන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. පුරවැසියෙක් ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් ටිකක් ගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඒ ගොල්ලෝ සිංගප්පූරුවට ගිහින් බෙහෙත් ගන්නවා. පුරවැසියෙක් තමන්ගේ පාස්පෝට් එකට වීසා එකක් ගහගන්න කල්පනා කරනකොට, ඒ ගොල්ලෝ ඇමෙරිකාවේ, ඔස්ට්‍රේලියාවේ පාස්පෝර්ට් ගන්නවා. ඒගොල්ලන්ගේ ගොඩක් දරුවෝ ඇමෙරිකාවේ, ඔස්ට්‍රේලියාවේ, එංගලන්තයේ පාස්පෝර්ට් හිමියන්. ඒ ගොල්ලෝ හැදුණා. අපේ අය වැටුණා. ඒ නිසා අපි එක සැරයක් සාධාරණ, යුක්තිගරුක, යහපත් ආණ්ඩුවක් හදමු. ඒ සඳහා මේ එළඹෙන ජනාධිපතිවරණයේදී තීන්දුවක් ගනිමු. අපේ දරුවන්ට ආදරේ නම්, මේ රටට ආදරේ නම්, මේ තීන්දුව ගන්න ඕනෑ.

Beruwal-Public-Rally

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ නීතිය ඉදිරියේ සෑම දෙනාම සමානයි. අද හැම කෙනාම නීතිය ඉදිරියේ සමානද? එහෙම නම් රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න විදිහක් නැහැ. නීතිය ඉදිරියේ හැමෝම සමාන නම්, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරන්න විදිහක් නැහැ. පුරවැසිභාවය නැතිව අවුරුදු 04ක් පාර්ලිමේන්තුවේ ඉඳලා අමාත්‍ය ධුර දරලා ඩයනා එළියේ ඉන්න විදිහක් නැහැ. අපේ රටේ නීතිය දුප්පත් දුබල අයට එක නීතියක්, ධනවත් ප්‍රබල අයට තව නීතියක්. අපි මේ රටේ ධනය, බලය බේදයකින් තොරව, සිංහල, දෙමළ, මුස්ලිම් බේදයකින් තොරව, දුප්පත්, පොහොසත් බේදයකින් තොරව සැම දෙනාම නීතිය ඉදිරියේ සමාන වන රටක් හදනවා. ඒ වගේම අපරාධ, මත්ද්‍රව්‍ය, පාතාල ගැටුම් අද මේ රටේ වර්ධනය වෙලා. මේ සියල්ලටම දේශපාලන රැකවරණය තිබෙනවා. අද මත්ද්‍රව්‍ය මෙහෙයුම් යනවා. ඒත් කුඩු හිඟ වෙන්නෙ නැහැ. මේ රට අපරාධවලින් තොර, මත්ද්‍රව්‍යවලින් තොර රාජ්‍යයක් අවශ්‍ය නම් ඒ වැඩේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් කරනවා.

අපේ රට ආර්ථික වශයෙන් ගොඩගන්න ඕනෑ. ඒ සඳහා ආණ්ඩුව ආර්ථිකය ගොඩගැනීම සඳහා අවශ්‍ය වෙන පහසුකම් ටික සපයන්න ඕනෑ. ඔබ තමන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කර ගන්න ඕනෑ. ආණ්ඩුව ධනය උපයන්නේ නැහැ. ධනය උපද්දන්නේ ව්‍යවසායකයා, කර්මාන්තකරුවා. ඒගොල්ලන් උපයන ධනයෙන් ආණ්ඩුව කීයක් හරි ගන්නවා. ව්‍යාපාරවලට අපි හොඳ පරිසරයක් හදනවා. පළමුවෙන් අපි ශක්තිමත් රාජ්‍ය සේවයක් හදනවා. ඕනෑම පුරවැසියෙකුට රාජ්‍ය ආයතනයට ගිහිල්ලා තමන්ගේ කාර්යයක් නිසි පරිදි කරගන්න පහසුකම් අපි හදන්න ඕනෑ. මේ පාලකයෝ අපේ ශක්තිමත්ව තිබූ රාජ්‍ය සේවය බිඳ වැට්ටුවා. දේශපාලනයෙන් මුදා ගත්ත, ඩිජිටල්කරණය කර, හැකියාවෙන්, දක්ෂතාවයෙන් ඉදිරියට යා හැකි, ශක්තිමත් රාජ්‍ය සේවයක් අපි හදනවා. ඒක ව්‍යාපාර වර්ධනයට අවශ්‍යයි. ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ටාගට් එක හදන්න ඕනෙ ආණ්ඩුව. මැණික් කර්මාන්තයට, සංචාරක කර්මාන්තයට, අවශ්‍ය ටාගට් එක අපි හදනවා. සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් හදමින් තිබෙනවා. අපි පෞද්ගලික ව්‍යවසායකයා සම්බන්ධ කර ගනිමින් ආර්ථික සැලස්ම හදනවා. ව්‍යාපාර කරන අයට අපි ආරාධනා කරනවා. ඉලක්ක පෙන්වනවා.

Beruwal-Public-Rally

ව්‍යාපාර දියුණු කිරීම තමයි අපේ අපේක්ෂාව. ව්‍යාපාර, කර්මාන්ත දියුණු වෙන්න ඕනෑ. ව්‍යාපාර දියුණු නොවී රටක් දියුණු වෙන්නේ නැහැ. භාණ්ඩාගාරයට සල්ලි එන්නේ නැහැ. අපේ කර්මාන්තවලට මේ ලයිට් බිල වැඩිවීම බලපා තිබෙනවා. අපේ අවසාන ඉලක්කය ලෙස, අපි අවුරුදු දෙක තුනක් ඇතුළත විදුලි බිල විශාල ප්‍රමාණයකින් අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා. ලංකාවේ විදුලිය නිෂ්පාදනය කිරීමේ සාමාන්‍ය අගය ඩොලර් ශත 7.5කට ගේන්න පුළුවන්. රුපියල් 21ක් වැනි ප්‍රමාණයකට විදුලිය අඩු කළ හැකියාව තිබෙනවා. මේ විදුලි බිලත් එක්ක කර්මාන්තවලට ඉස්සරහට යන්න බැහැ. මේ රට දකුණු ආසියාවේ අධිකම විදුලි බිලක් තිබෙන රටක්. විදුලි බිල මේ විදිහට තියෙද්දී, ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න බැහැ. අඩු මිලට භාණ්ඩ නිෂ්පාදනය කරන්න බැහැ. සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ඉතා හොඳ හැකියාවක් තිබෙන කණ්ඩායමක් හමුවෙලා ආවේ. දැනටමත් සුළං බලයෙන් සහ සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න පටන් අරගෙන තිබෙනවා. ප්‍රධාන සමාගමක් ටෙන්ඩර් ඉදිරිපත් කොට තිබෙනවා. මේ ළඟදි ටෙන්ඩරයක් විවෘත කළා, සුළං බලයෙන් විදුලිය නිපදවන බලාගාරයක් විවෘත කළා, ඒකකයක් ඩොලර් ශත 4.8ක් වෙනවා. හැබැයි ආණ්ඩුව අදානිට දෙන්න යනවා ඒකකයක් ඩොලර් ශත 8.26ක්. 40%කින් විතර වැඩිවීමක්. අවුරුදු 20කට ගිවිසුම ගහන්නේ. ඉන්න කාලේ හම්බකර ගන්න එක තමයි ඔවුන්ගේ එකම වැඩේ වෙලා තිබෙන්නේ. අපේ රටේ අනාගතයක් ගැන, අපේ දරුවන්ගේ අනාගතයක් ගැන, අපේ ව්‍යාපාර දියණු කිරීමක් ගැන ඔවුන් හිතන්නෙ නැහැ. රටට බලශක්ති අර්බුදය කෙතෙක් බලපා තිබෙනවාද? පාලකයින් මේ කිසිවක් ගැන හිතන්නේ නැහැ. අපි අපේ ආණ්ඩුවක් හදමු. අපේ ආර්ථිකය දියුණු කරන්න ඕගොල්ලන් හරියට ව්‍යාපාර කරන්න. ධනය උපද්දන්න. ඒකෙන් සාධාරණ බද්දක් ආණ්ඩුවට දෙන්න.

අපේ පුරවැසියන් බදු ගෙවන්න කැමතියි. හැබැයි ගෙවන බද්ද සොරකම් කරනවා නම් බදු ගෙවන්නේ මොකටද කියා පුරවැසියන් හිතනවා. ආණ්ඩුවට එන්න තිබෙන බද්දක් විල්මාගේ ගෙදරට යනවා. බදු ගෙවන කෙනා අකර්මණ්‍ය වෙනවා. ඒ වගේම ගෙවන බද්ද නාස්ති කරනවා. රනිල් වික්‍රමසිංහ කෝටි 875ක් වෙන්කර ගත්තා. මේ රට හදන්න වියදම් කරන්න නෙවෙයි, ඡන්දෙට බෙදන්න ගත්තේ. රනිල් රට යන්න අතිරේක මුදලක් කෝටි 20ක් වෙන්කර ගත්තා. මේ ඔබගේ බදු සල්ලි. රට යනකොට ස.ජ.බ. මන්ත්‍රීවරුත් එක්ක යනවා. ඒ, එම මන්ත්‍රීවරු ආණ්ඩුවට ගන්න. රනිල් විමධ්‍යගත අරමුදල්වලින් ස.ජ.බ. මන්ත්‍රිවරු 19 දෙනෙකුට කෝටි 120ක් දුන්නා. මේ ඔබගේ බදු මුදල්. ජනාධිපති ගෝල්ෆේස් ඉඳන් පාර්ලිමේන්තුවට එනකොට ඇම්බියුලන්ස් එකක් පිටිපස්සෙන් එනවා. මේ ලෙඩ කඳන්ද? ඔබගේ ධනය මේ පාලකයන් සිතු සිතු සේ වියදම් කරනවා. රට සංවර්ධනය කිරීම සඳහා ගෙවන බදු නාස්ති කරනවා නම් කිසිවෙක් බදු ගෙවන්න කැමති වෙන්නේ නැහැ. රටේ පාරවල් ටික හදන්න, ඉස්පිරිතාලවල බෙහෙත් ටිකක් දෙන්න, අධ්‍යාපනය දියුණු කරන්න දෙන බදු නාස්ති කරනවා නම්, කවුරුත් බදු ගෙවන්න කැමති වෙන්නේ නැහැ. අපි කියනවා, ඕගොල්ලන් ව්‍යාපාර කරන්න, ධනය උපයන්න, ආණ්ඩුවට සාධාරණ බද්දක් ගෙවන්න. ඒ ආණ්ඩුවට දෙන සෑම බදු සතයක්ම නාස්ති නොකර, හොරකම් නොකර පෙරළා රට වෙනුවෙන් වියදම් කරන ආණ්ඩුවක් අපි හදනවා.

Beruwal-Public-Rally

අපිට ආණ්ඩුවක් හදන්න පුළුවන් ශක්තියක් අද තිබෙනවා. සිංහල ජනතාගේ කැමැත්තෙන් විතරක් ආණ්ඩුවක් හදලා වැඩක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ දායකත්වය සපයලා, සියලු දෙනාගේ විශ්වාසය, ආශීර්වාදය සහිතව, බලාපොරොත්තුව සහිත මාලිමාවේ ආණ්ඩුව හැදෙන්න ඕනෑ. අපි මෙච්චර කල් ආණ්ඩු හැදුවේ අනෙකාට එරෙහිව. අපි සියලු දෙනා සමගි වෙලා ආණ්ඩුවක් හදමු. අපි ඉස්සරහට යන්න නම් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගිය හදන්න ඕනෑ. සමගිවෙලා ආණ්ඩුවක් හැදුවොත් අපිට පියවර තුළින් රටේ ජාතික සමගිය හදන්න පුළුවන්. සියලු ආගම්වල සාධාරණ අයිතිය, තමන්ගේ භාෂාවෙන් කතා කිරීමේ සහ රාජ්‍යයත් සමග ගනුදෙනු කිරීමේ අයිතිය, තමන්ගේ සංස්කෘතිය පිළිබඳ තිබෙන අයිතිය, සියලු දෙනාට සාධාරණ ලෙස ආර්ථිකයට මැදිහත්වීමට තිබෙන අයිතිය මේවා හදන්න සමගි වෙලා ආණ්ඩුවක් හදන්න ඕනෑ. අපි ආණ්ඩුව හදනවා. සැකයක් තබා ගන්න එපා. හැබැයි අපට මුස්ලිම් ජනතාවගේ සහයෝගයත් අවශ්‍යයි. අපි ඔක්කෝම එකතු වෙලා මේ වෙනස ඇති කරමු.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඇවිත් අවුරුදු 54ක් වෙනවා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට ඇවිත් අවුරුදු 47ක් වෙනවා. දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුදු 41යි. මෙතන ඉන්න ගොඩක් දෙනෙක් ඊට වඩා බාලයි. මේ ඇති. මේ රට දැන් වෙනස් කරන්න ඕනෑ. මේ පැරණි, මළකඩ කාපු නායකයන්. මේ විදිහට රටකට ඉස්සරහට යන්න බැහැ. අපි ඔබට ආරාධනා කරනවා, අපි අලුත් ආණ්ඩුවක් හදමු. බේරුවල ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට කතිර ගහලා පුරවන්න. හැම දෙනාම වැඩ කරන්න, හැම දෙනාම කතා කරන්න. මේ වෙනස අපි ඔක්කෝම එකතු වෙලා කරන්න ඕනෑ වෙනසක්. අපි ඡන්දෙට එකක් කියලා, ඡන්දෙන් පස්සේ කියන වෙන කතාවක් නැහැ. අපි ඡන්දයේදී ජනතාවට දෙන විශ්වාසයම, ඡන්දෙන් පස්සෙත් අපි ආරක්ෂා කරනවා. පසුගිය 2020 මැතිවරණයේදි රෝහිත පාර්ලිමේන්තුවට ගියා. නලින්ද පාර්ලිමේන්තුවට ගියේ නැහැ. දැන් නලින්ද ගියානම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? රෝහිත යැව්වේ මොකටද කියලා හිතෙන්නේ නැද්ද? වැරදුණු තැන්, මඟ හැරුණු තැන් ගොඩක් තිබෙනවා. නැවතත් වරද්දගන්නත් බැහැ. මඟ හරින්නත් බැහැ. මේක තමයි දිනන්න තිබෙන, වෙනස් කරන්න තිබෙන අවස්ථාව. අපි ඔක්කෝම එකතු වෙලා මේ වෙනස කරන්න මැදිහත් වෙමු.

Beruwal-Public-Rally
Show More

“මාලිමාව බලයට එන්නේ දීර්ඝ කාලයක් රැවටීමට ලක්වූ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-‘පුනරුදයට රටම එකට’ – ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් රැලිය – දඹුල්ල – 2024.07.13-) මෙතනට රැස්වී සිටින අය අතර කලින් මැතිවරණවලදී අපිට අපිට ඡන්දය දුන් පිරිසට වඩා අනෙකුත් දේශපාලන පක්ෂවලට ඡන්දය දුන් විශාල පිරිසක් ඉන්නවා. දැන් අවුරුදු 30ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, නියෝජනය කර, ජනක බණ්ඩාර තෙන්නකෝන් අවුරුදු 30ක් […]

(-‘පුනරුදයට රටම එකට’ – ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් රැලිය – දඹුල්ල – 2024.07.13-)

මෙතනට රැස්වී සිටින අය අතර කලින් මැතිවරණවලදී අපිට අපිට ඡන්දය දුන් පිරිසට වඩා අනෙකුත් දේශපාලන පක්ෂවලට ඡන්දය දුන් විශාල පිරිසක් ඉන්නවා. දැන් අවුරුදු 30ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, නියෝජනය කර, ජනක බණ්ඩාර තෙන්නකෝන් අවුරුදු 30ක් පාර්ලිමේන්තුවේ සිටියා. දැන් රනිල් නියෝජනය කරමින් ඉන්නවා. ගෙවී ගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ට, ජනතා විමුක්ති පෙරමුණේ අපේ අයට කොතරම් කරදර සිදු කළාද? ඉරණගොල්ලෙදී වෙඩි තියාගත්තා. ඒ කවුරු වෙනුවෙන්ද? රනිල්ට විරුද්ධව මහින්ද වෙනුවෙන්, චන්ද්‍රිකා වෙනුවෙන්. දැන් රනිල් වෙනුවෙන්. පොදුජන පෙරමුණේ නායක මහින්ද දැන් රනිල්ගේ සහායට ඉන්නවා. පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් ඉන්නවා. පොදුජන පෙරමුණේ දඹුල්ල මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝනුත් ඉන්නවා. සජිත්ගේ සහායට පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්.පීරිස් ඉන්නවා. ඒ පක්ෂයේ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම ඉන්නවා. පේළියට හිටවලා බැලුවොත් රනිල්, මහින්ද, බැසිල්, නාමල්, ජනක බණ්ඩාර, ඒ පේළියේ ඉන්නවා. අනෙක් පේළියට හිටවූවොත් සජිත්, ජී.එල්., ඩලස්, ඩිලාන් ඉන්නවා. ඔය පේළි දෙකෙන් යූ.එන්.පී. කොයි එකද? පොහොට්ටුව කොයි පේළියද? මම මේ ටිකයි කීවේ. ගම්වල ජනතාව බෙදී දේශපාලනය කළත් ඔවුන් සියලු දෙනා එකට හිටියා. මේ වෙනකොට අපට සතුටක් තිබෙන්නේ ගම්වල සියලු දෙනා ජාතික ජන බලවේගය වටා එක්වෙමින් සිටීමයි. දඹුල්ල නගරයෙන් පෙන්නුම් කරන්නෙත් එයයි.

ගොඩක් දේශපාලන සාකච්ඡා අවශ්‍ය නැහැ. මේ සිදුවෙමින් තිබෙන දේවල් දිහා බැලුවාම දේශපාලනය තේරුම් ගන්න ඒ හොඳටෝම ඇති. යූ.එන්.පී. ආණ්ඩුව කාලයේ අලුවිහාරේ දඹුල්ලට එනකොට පොදුජන පෙරමුණේ අය බයවී ඉන්න ඕනෑ. ජනක බලය ගන්නකොට යූ.එන්.පී. එකේ අය බයවෙලා ඉන්න ඕනෑ. වෙඩි තියා ගත්තා. ගෙවල් ගිනි තිබ්බා. වාහනවලට පහර දුන්නා. අපි ඒ කාලෙත් කීවා ඒ ගොල්ලෝ බෙදිලා වගේ සිටියාට රෑට රෑට එකතු වෙනවා කියලා. දැන් මහ දවල් එකට අත්වැල් බැඳගෙන එක වේදිකාවේ ඉන්නවා. ඔවුන් දෙපිලක් නොව එකම පිලක් බව අද වෙනකොට ඔවුන් විසින්ම ඔප්පුකොට තිබෙනවා. පනස් ගණන්වල ඉඳලා පරම්පරාවෙන් යූ.එන්.පී, ශ්‍රී ලංකා කියලා ජනතාව බෙදී හිටියා. හැමදාමත් ඔවුන් ජනතාවට බොරු පොරොන්දු දුන්නා. දඹුල්ල නගරයේ කඩවලට ඔප්පු දෙනවා කීවා. දැන් ආයෙත් කියන්න පටන්ගෙන තිබෙනවා. නමුත් මතක තබා ගන්න ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අපි ඒවාට ඔප්පු දෙනවා. ඒවා අපට ගන්න නොවෙයි. ආර්ථික මධ්‍යස්ථානය කේන්ද්‍රගත කරගෙන ක්‍රියාත්මක කරන මැර බලය අපේ ආණ්ඩුවක් යටතේ අවසන් කර, හැමකෙනාටම ව්‍යාපාර කළ හැකි පරිසරයක් නිර්මාණය කර දෙනවා. අපි බලයට එන්නේ දීර්ඝ කාලයක් තිස්සේ රැවටීමට ලක්වූ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නයි.

පසුගිය කාලයේ ජනතාව ඉන්ධන පොලිමේ සිටිද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තෙල් ගහන්න වෙනම ෂෙඩ් එකක් වෙන්කර තිබුණා. ඒ ගොල්ලෝ පෝලිමේ නොතබා ජනතාව පෝලිමේ තැබුවා. මන්ත්‍රීවරුන්ට වෙන් කළ ෂෙඩ් එකෙන් තෙල් ගසා නොගත්තේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තුන්දෙනා විතරයි. ජනතාව කරදරයේ වැටෙන කොට ඔවුන් කරදරයට නොවැටෙන පාලනයක් නිර්මාණය කරගෙන තිබුණා. ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. මේ දවස්වල තිබෙන බාර් පර්මිට්වලින් විශාල ප්‍රමාණයක් මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති බැවින් සජිත් ප්‍රේමදාස බලයට පත්වූ වහාම ඒවා අවලංගු කරන බව කීවා. මම සජිත් ප්‍රේමදාසට අභියෝග කරනවා හැකිනම් ඔබගේ පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙක් හෝ රනිල් වික්‍රමසිංහගෙන් බාර් පර්මිට් ලබාගෙන නැති බව ප්‍රකාශ කරන ලෙස. බාර් පර්මිට් විතරක් නොවෙයි, පෙට්්‍රල් ෂෙඩ්, එල්.ආර්.සී. ඉඩම් බෙදා ගන්නෙත් එකට. හන්තානෙන් ඉඩම් අක්කර 10ක් ගන්න ස.ජ.බෙ. මන්ත්‍රී කෙනෙක් නිතරම ජනාධිපති ලේකම් කාර්යාලයේ ගැවසෙනවා. දැනට මහින්දානන්ද අලුත්ගමගේ බාල්දියක් පෙරළලා තිබීම නිසා නතර වී තිබෙනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත මන්ත්‍රී අරමුදල් දෙන අතරේ ස.ජ.බ. මන්ත්‍රීවරු 20කටත් දුන්නා. ඒ විතරක් නොවෙයි, කාලින්ද ජයවර්ධනගේ ගෙදර රනිල් වික්‍රමසිංහට පාටියක් දුන්නා. ඔවුන් එකිනෙකා අතර බෙදා ගැනීමේ දේශපාලනය අපි අවසන් කරනවා. තවදුරටත් රනිල් වික්‍රමසිංහ ඇතුළු නඩයට වගේම සජිත් ප්‍රේමදාස ඇතුළු නඩයට බලය ලබාදීමෙන් වැඩක් නැහැ.

එහෙම නම්, ජාතික ජන බලවේගයට බලය දීලා වැඩක් වෙයිද කියලා කතා කරමු. ඡන්දය වළක්වන්න රනිල් වික්‍රමසිංහ ගැට පිට ගැට ගැසුවත් ජනාධිපතිවරණය වළක්වන්න බැහැ. ලේනා කියන කෙනා අධිකරණය ඉදිරියේ නඩුවක් දැමීම ගැන රුපියල් ලක්ෂයක දඩයක් ඔහුට නියම කළා. ඊට පස්සේ තවත් කෙනෙක් නඩුවක් දාලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ගැට පිට ගැට ගැහුවත් අන්තිමටම ඉතිරි වෙන්නේ ටයි එකේ ගැටය විතරයි. බොහෝදුරට ඔක්තෝබර් 05 ජනාධිපතිවරණය පවත්වනවා. ඡන්දය නොතියා ඉන්න ජාතික ජන බලවේගය රනිල් වික්‍රමසිංහට ඉඩ තියන්නේ නැහැ. අපි දඹුල්ලට ආවේ මේ රට හදන්න ජාතික ජන බලවේගයට ඡන්දය දී බලයට ගෙන්න කියන්නයි. ලෝකය පිළිගන්නේ නැතිව වීසා එකක්වත් නොදෙන බාල්දු තත්වයට ඇද දැමූ රටක් ලංකාව කියන්නේ. අපිට වීසා නොදුන්නාට බැසිල් රාජපක්ෂට වීසා දෙනවා. ඔහුට පාස්පෝර්ට් දෙකක් තිබෙනවා. එක පාස්පෝර්ට් එකක් ඇමෙරිකන් එකක්. ඒක අරගෙන ලෝකයේ සෑම රටකටම යන්න පුළුවන්. නමුත් අපේ අතේ තිබෙන්නේ බාල්දු වුණු ශ්‍රී ලංකා පාස්පොර්ට් එකක්. අවුරුදු 76ක් රට පාලනය කරලා, ලෝකයේ පිළිගන්නේ නැති ජාතියක් බවට පත් කළ ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළින්ම පිළිගන්නා අභිමානවත් පුරවැසියෙක් බවට ජාතික ජන බලවේගයෙන් ගොඩනඟනවා. ඒ වගේම ලෝකයට පොලු තැබූ අපරාධවලින් ගහන වූ රටක් බවට අද පත්කර තිබෙන ලංකාව ක්‍රමානුකූලව පියවරෙන් පියවරට ලෝකයේ අභිමානවත් රටක් බවට පත්කරනවා.

මූල ධර්මයක් ලෙස නීතිය ඉදිරියේ හැමකෙනාම සමානයන් ලෙස පිළිගෙන තිබෙනවා. නමුත් නීතියේ විධානයේ ආධිපත්‍යය ඔවුන්ට එක ලෙස ක්‍රියාත්මක කරන්නේ නැහැ. එහෙම ක්‍රියාත්මක කරනවා නම් ජනක බණ්ඩාර එළියේ ඉන්නේ කොහොමද? නීතියේ ඉදිරියේ සමාන නම්, එයාගේ පුතා ඉන්දියාවට පැන ගොස් ඉන්නේ නැද්ද? ඔවුන් නීතිය ඉදිරියේ සමාන නැහැ. ප්‍රසන්න රණතුංග, ප්‍රේමලාල් ජයසේකර, දයා ගමගේ, ඩයනා ගමගේ එළියේ ඉන්නේ නැහැ. නීතිය ඒගොල්ලන්ට එක විදිහකටත්, පොදු ජනතාවට තවත් විදිහකටත් ක්‍රියාත්මක කරන යුගය අවසන් කර, හැමකෙනාටම සාධාරණව නීතිය ක්‍රියාත්මක කරන රාජ්‍යයක් අපි ස්ථාපිත කරනවා. මේ දවස්වල ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුමේ තෝරු මෝරු හසුනොවී හාල්මැස්සන් හසුවන්නේ කොහොමද? ජූනි මාසය ඉවර වෙනකොට කුඩු පාතාලය අවසන් කරන බව කියූ දේශබන්දු යුක්තිය දෙක මෙහෙයුම පටන් ගත්තා. ඔවුන් කවදාවත් අප රටේ කුඩු වසංගතය නැති කරන්නේ නැහැ. අපේ රටේ අපරාධ අවසන් කරන්නේ නැහැ. අපරාධ අවසන් කළ හැකි වන්නේ නීතිය, යුක්තිය සමානව ක්‍රියාත්මක කරන ජාතික ජන බලවේගයේ පාලනයකට විතරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා රවි සෙනෙවිරත්න මැතිතුමා විශාල වෙහෙසක් දැරුවා, අපේ රටේ ආන්දෝලනයන්ට තුඩු දී තිබුණු ඝාතනයන් පිළිබඳව පරීක්ෂණ කරලා වරදකරුවන් නීතියේ රැහැනට කොටු කරන්න; පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රහාරකරුවන් අල්ලා ගන්න. ආණ්ඩු මාරු වුණා. පරීක්ෂණ සියල්ල යට යැව්වා. නිලධාරීන් මාරු කළා. සමහර පරීක්ෂණ කළ නිලධාරීන්ට රට හැර යන්න සිදුවුණා. සමහර නිලධාරීන් අවුරුදු එක හමාරක් හිරේ තිබ්බා. වරද මොකක්ද? අපරාධකරුවන් පිටුපස හඹාගෙන යාම. මේ පාලකයෝ හැමදාම අපරාධකරුවන්ගේ ආරක්ෂකයෝ. ඒවාට හවුල් වූ අය. මේ දේශපාලනය කොතැනින් හෝ කෙළවර විය යුතුයි. ආණ්ඩුව අපරාධ කරනවා නම්, ඇමතිවරු අපරාධකරුවන් ආරක්ෂා කරනවා නම්, ඔබෙත් මගෙත් ජීවිතය හැම වෙලාවෙම අනතුරේ. බියෙන් සැකෙන් රටක ජනතාවට ජීවත් වෙන්න බැහැ. නීතියේ විධානයේ ආධිපත්‍යය නීතිය ඉදිරියේ හැමදෙනාම සමාන වන රාජ්‍යයක් බවට පරිවර්තනය කරන්න ඕනෑ. මේ රට හදන්න පළමුවෙන්ම ඒ වෙනස අවශ්‍යයි.

Dambulla-Public-Rally

අපේ රටේ මහජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් සොරකම් කරන දේශපාලනයක් තිබෙනවා. මේ භාණ්ඩාගාරයට එන්නේ ඔබගේ මුදල්. වෘත්තිකයන්ගේ වැටුපට බදු ගැහුවාම භාණ්ඩාගාරයට සල්ලි එනවා. සමහර වෘත්තිකයන් මේක දරා ගන්න බැහැ කියලා රට හැර යනවා. ඔබ කඩේට ගිහින් බඩු මිලදී ගත්තොත්, පෙට්‍රල් ෂෙඩ් එකට ගිහින් තෙල් ගහ ගත්තොත්, ලෙඩකට පරීක්ෂණයක් කර ගන්න පෞද්ගලික රෝහලකට ගියොත් ඒකෙන් ගාණක් භාණ්ඩාගාරයට එනවා. දරුවාට උගන්වන කොට ආණ්ඩුවට බද්දක් ගෙවන්න ඕනෑ. ලෝකයේ ගොඩක් රටවල වෛද්‍ය පරීක්ෂණවලට, වෛද්‍ය උපකරණවලට, ආහාරවලට, බදු ගහන්නේ නැහැ. මේ භාණ්ඩාගාරයට එන්නේ විවිධාකාරයේ ජනතාවගේ සල්ලි. මේ සල්ලි තමයි දේශපාලකයෝ බෙදා ගන්නේ. රනිල් වික්‍රමසිංහ අයවැයෙන් වෙන්කර ගත් මුදල්වලට අමතරව කෝටි 875ක් වෙන්කර ගත්තා. ඒ විතරක් නොවෙයි සජිත් පේමදාසගේ මන්ත්‍රීවරුන්ට කෝටි 120ක් බෙදා දුන්නා. එක පැත්තකින් මේ මහජනතාවගේ සල්ලි නාස්ති කරනවා. ඒ වගේම භාණ්ඩාගාරයට එන්න තියෙන සල්ලි හොරකම් කරනවා. සීනි බදු වංචාවෙන් කෝටි 1500ක් ගෙදරට හැරෙව්වා. බැඳුම්කර වංචාවෙන් මහ බැංකුවට එන්න තිබෙන සල්ලි, කෝටි 1100ක් අර්ජුන් ඇලෝසියස්ලගේ ගෙදරට හැරෙව්වා. එතනින් අතුරු පාරක සල්ලි රනිල්ගේ ගෙදරටත් ගියා. මහජනයාගේ සල්ලි මෙහෙම නාස්ති කරලා, සොරකම් කරලා රටක් හදන්න පුළුවන්ද? සජිත් ප්‍රේමදාස මිලියන පන්දහස් ගණනක් අරමුදල් නාස්ති කළ බව පුවත්පත්වල පළවී තිබුණා. සංස්කෘතික අරමුදල, නිවාස අරමුදල විනාස කළා. එක පැත්තකින් බෝඩ් ගහන්න, නම ගහන්න මහජන මුදල් කෝටි ගණන් නාස්ති කළා.

මේ රට හදන්න නම් නීතිය ඉදිරියේ සියලු දෙනාම සමාන විය යුතුයි. භාණ්ඩාගාරයට එන මුදල් සාංඝික දේපළ වගේ ආරක්ෂා කරමින්, පුරවැසියන්ගේ කාර්යයන් වෙනුවෙන්, රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, යොදවන ආණ්ඩුවක් අපි හදනවා. අද ව්‍යාපාර කඩා වැටිලා. අද ව්‍යාපාර කරන්න දේශපාලකයාගේ අවසර ඕනෑ. අපේ රටේ පෙට්‍රල් ෂෙඩ් විශාල ප්‍රමාණයක් තිබෙන්නේ දේශපාලකයා අතේ. බාර් පර්මිට් තියෙන්නේ දේශපාලකයා අතේ. කෑගල්ලේ ඇමති බාර් පර්මිට් තුනක් විකුණුවා කෝටි නවයයි. (ලක්ෂ 900යි) ඇලහැර පැත්තේ විශාල ප්‍රමාණයක් පතල් කපන්නේ කුරුණෑගල හිටපු ඇමති. වැලිගොඩ දාන්නෙත් ඒගොල්ලන්. පාසිකුඩාවල වෙරළ තීරයේ තිබෙන ඉඩම් බොහොමයක් ඇමතිවරුන් හා ඔවුන්ගේ දරුවන් අතේ. අපි ඕගොල්ලන්ට සහතිකයක් දෙන්නම්. ජාතික ජන බලවේගයේ ඉහළ මණ්ඩලවල සිටින කිසිවෙක් බාර් ගන්න, වැලි ගොඩදාන්න, පතල් කපන්න, හෝටල් කරන්න එන්නේ නැහැ. ඒවා කරන්නේ ව්‍යාපාරිකයන්. ඛනිජ සම්පත් ආශ්‍රිතව, කුරුඳු, තේ, සංචාරක කර්මාන්තය, පුනර්ජනනීය බලශක්තියේ විශාල ආයෝජන අවස්ථා තිබෙනවා. අද කිසිදු පිරිසිදු ආයෝජකයෙක් එන්නේ නැහැ. සභාපතිගේ සිට සියල්ලන්ටම පගා ගෙවන්න ඕනෑ. අපි එන ව්‍යාපාරිකයන්ට පළමුවෙන්ම කියන්නේ “අපිට ඔබගෙන් ඇල්වතුර වීදුරුවක්වත් එපා. ඔබ මොකක්ද ගේන්නේ. මොකක්ද රටට දෙන ප්‍රතිලාභය”. ඒක තමයි අපි මනින එකම මිම්ම.

Dambulla-Public-Rally

70 දශකයේ ඉන්දියාවේ කුඩ කර්මාන්තයක්, රෙදිපිළි කර්මාන්තයක්, සබන් නිෂ්පාදනයක් තිබුණේ නැහැ. අද ඉන්දියාව හඳට යන, කලාපයට මෝටර් රථ නිපදවන, ආහාර නිපදවන, බීජ නිපදවන, ඖෂධ නිපදවන ඉන්දියාවක් හැදුවා. නමුත් අපි සියල්ල පිටරටින් ගේන රාජ්‍යයක් බවට පත් කළා. අපේ පාලකයන්ට රට ඉදිරියට ගෙනියන්න දැක්මක් තිබුණේ නැහැ. පාලකයන්ට තිබුණු එකම දැක්ම තමන් හැදෙන්නේ කොහොමද? තමන්ගේ හත්මුතු පරම්පරාවට හම්බකර ගන්නේ කොහොමද? කියන එක. මේ රට ගොඩනැගීම සඳහා නව පුනරුද යුගයක් අපි ඇති කරන්න ඕනෑ. නීතිය ඉදිරියේ හැම කෙනාම සමාන වෙන, වංචා- දූෂණ-නාස්තිය නතර වෙන, ව්‍යාපාරිකයාට සාධාරණ ලෙස ව්‍යාපාරයේ යෙදෙන්න හැකි, ගොවියාට අවශ්‍ය පහසුකම් සලසන, පුනරුද යුගයක් අපි හදන්න ඕනෑ.

අපේ රටේ අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් ඕනෑ. ගම්වල ජනතාවගේ දුප්පත්භාවයෙන් ගැලවෙන්න නම්, ගමේ ආර්ථිකය දියුණු කරනවා වගේම දරුවා ගමෙන් එළියට ගන්න ඕනෑ. දරුවා පරණ බැඳීම්වලින් ගලවාගෙන ලෝකයේ තිබෙන දැනුමත් එක්ක තරග වදින හොඳ ශ්‍රමිකයෙක් බවට පත්කරන්න ඕනෑ. 2030 දී ලෝකයට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 40ක් අවශ්‍යයි. ඒ අය අපි ගම්වල හදන්න ඕනෑ. ගමේ ව්‍යවසායකයන් හදන්න ඕනෑ. අලුත් පරම්පරාව ලෝකයට විවෘත කරන්න ඕනෑ. ඒක ආරම්භ කරන්න දේශපාලන වෙනසක් ඕනෑ. එළඹෙන ජනාධිපතිවරණයේදී ඒ වෙනසට අවශ්‍ය වෙන පියවර අපි තබමු. ජනාධිපතිවරණයට තිබෙන ඉදිරි මාස දෙකහමාර අපි හැමෝම හොඳට වැඩ කරමු. යූ.එන්.පී. – ශ්‍රී ලංකා භේද තියා ගන්න එපා. අපි ඔක්කෝම සමාන පුරවැසියන් ලෙස, සමාන කොටස්කරුවන් ලෙස එකතු වෙමු. ඒගොල්ලන් උඩ එකතු වෙනවා නම්, අපිට එකතු වෙන්න බැරිද? මේ තීරණාත්මක හැරවුම උදාකර ගන්න ගමේ අපි සියලු දෙනා එකතු වී අභියෝග බාර ගනිමු.

Dambulla-Public-Rally

“ආණ්ඩුවට අත නොපා තමන්ගේ දෙපයින් නැගී සිටිය හැකි ආර්ථිකයක් ජනතාවට ලබා දෙනවා”
-ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-

ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ජාතික ජන බලවේගයේ අපි රට පුරාම රැස්වීම් මාලාවක් පවත්වමින් යනවා. රනිල් වික්‍රමසිංහලා මොන උත්සාහ දැරුවත් ඔක්තෝබර් මාසයේ පළමුවැනි සතිය වන විට අපේ රටට අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගන්න අවස්ථාව ලැබෙනවා. අපේ රටේ ජනතාව පාවා දුන් ප්‍රභූවරුන් ඉවත් කර, ජනතාවාදී පාලනයක් පිහිටුවන්න සූදානම් කියන පණිවිඩය රැගෙන ඔබ මෙතනට ඇවිත් සිටිනවා. සමහරු අපෙන් අහනවා 3%ක් තිබුණු අය ආණ්ඩු බලය ගන්නේ කොහොමද කියලා. වෙනදා වෙනත් පක්ෂවලට වැඩ කරපු බොහෝ දෙනෙක් අද මාලිමාව සමග අත්වැල් බැඳගෙන ඉන්න නිසයි අපිට ආණ්ඩුවක් පිහිටුවන්න හැකියාව තිබෙන්නේ. ඒ ජයග්‍රහණයේ නියමුවන් ඔබ සැමදෙනායි.

රනිල් වික්‍රමසිංහට, මහින්ද රාජපක්ෂට, සජිත් ප්‍රේමදාසට දිනන්න පුළුවන් නම්, ඡන්ද ඉක්මනින් පවත්වනවා. මේ වන විට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ජනතාව මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන අතර, මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවත් ඒ ජයග්‍රහණයට ඉහළින්ම දායක වෙන්න රොද බැඳගෙන සිටිනවා. ජාතික ජන බලවේගයේ අපි වැඩකරන්නේ සැලසුම් සහගතව සංවිධාන ගොඩනඟමිනුයි. ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් එකතුවෙලා රට ගොඩගැනීමේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී වැඩපිළිවෙළ සකස් කරන අතරේ අපි ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බිම් මට්ටමේ සංවිධාන හැටියට එන්.පී.පී. කොට්ඨාස සභා ගොඩනැඟුවා. මේ වන විට සෑම ග්‍රාමසේවා වසමකටම මැතිවරණය ඉලක්ක කරගත් මැතිවරණ මෙහෙයුම් කමිටු නිර්මාණය කරමින් යනවා. විවිධ විද්වත් වෘත්තිකයන් සංවිධානය කරමින් යන අතරේ විද්‍යාඥයන්ගේ සමුළුවක් මෑතකදී පැවැත්වූවා. වෘත්තිය මට්ටමේ බලවේග ඒකරාශී කරමින් යන අතරේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයත් විශ්‍රාමික පොලිස් සාමූහිකයත් අවසන් වශයෙන් මේ වන විට ගොඩනඟමින් යනවා. නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කරන්න පාලකයින්ගෙන් ඉඩ නොලැබුණු පොලීසියේ විශාල පිරිසක් ඒ වටා ඒකරාශී වී සිටිනවා.

රුසියාවේ වගේම අපේ රටේ ඔක්තෝබර් මාසය රට ගොඩනැඟීමේ ආරම්භය ගන්නා මාසය බවට පත්කර ගන්නවා. ජාතික ජන බලවේගයේ අපි මේ ආකාරයට ජනතාව සංවිධානය කරමින් යන අතරේ අනෙක් පක්ෂ රොඩුබොඩු එකතු කරමින් යනවා. රට වට්ටන්න දායක වුණු කිසිම දේශපාලනඥයෙක් ජාතික ජන බලවේගයට වද්දා ගන්නේ නැති බවට වන සහතිකය අපි ඔබට දෙනවා. ගිය පාර සජිත්ට බැන්න අය අද සජිත් එක්ක එකතු වෙනවා. අනෙක් පැත්තෙන් සජිත් ළඟ ඉන්න අය රනිල් ළඟට යන්න හදන අතරේ, රනිල් ළඟ ඉන්න අය සජිත් ළඟට යන්න හදනවා. අද පොහොට්ටුවක් ඉතිරි වෙලත් නැහැ. පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න දිරාපත්වූ දුෂ්ට බලවේග ඒ අය එකතු කරගෙන ඉන්නවා. සජිත්ට බැන බැන හිටපු ඩලස්ට පුළුවන් සජිත් ළඟට යන්න. රනිල්ට හොරා කියපු පොහොට්ටුවේ අයට පුළුවන් රනිල් ළඟට යන්න. කට්ටිය පහුගිය අවුරුදු දෙක තුනේ බිම් මට්ටමේ අපට විශාල දේශපාලන පාඩමක් උගන්වා තිබෙනවා. යූ.එන්.පී, ශ්‍රී ලංකා කියලා මෙතෙක් කල් බෙදී සිටියත් ඒ ඔක්කොම එකම දූෂිත දේශපාලන ප්‍රභූ පැළැන්තියේ අය බව ඒ කාලය තුළ ඔප්පු කර තිබෙනවා. රනිල්ගෙන් රට බේරා ගන්න ගෝඨාභය දිනවන්න ඕනෑ කී අය දැන් රාජපක්ෂලාව බේරා ගන්න රනිල්ට බාරදී තිබෙනවා. රනිල්ට රට බාරදෙන්නේ රට බේරා ගන්න නොවෙයි, රාජපක්ෂලාව බේරා ගන්නයි. මහින්ද රාජපක්ෂලා තමන්ට පාර්ලිමේන්තුවේ සිටිය විශ්වාසවන්තම කෙනා හැටියට රනිල් වික්‍රමසිංහට බලය ලබාදුන්නා. මේ කණ්ඩායම්වල සියලු දෙනාම එකම පිරිසක් බව ඔප්පු කර තිබෙනවා.

Dambulla-Public-Rally

රනිල් වික්‍රමසිංහට රාජපක්ෂලා විසින් රට බාර දුන් 2022 අවුරුද්ද අවසන් වන විට සමස්ත රාජ්‍ය ණය ඩොලර් බිලියන 83ක් වී තිබුණා. දැන් සමස්ත රාජ්‍ය ණය ඩොලර් බිලියන 100 ඉක්මවා තිබෙනවා. ඉතිං ආරංචිය සුබයිද? ඒ අතරේ අපේ රටේ අක්කර 28,000ක් තිබෙන කිරි ගොවිපොළවල් ඇතුළු ඉතිරි වී තිබෙන සම්පත් ටික විකුණන්න යනවා, ඉතිං ආරංචිය සුබයිද? මේ සියලු අසුබ ආරංචි මැද්දේ අපිට පැහැදිලි සුබ ඉලක්කයක් තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී මාලිමාවේ ජයග්‍රහණය ස්ථිරයි කියන සුබ ආරංචිය අපට ලැබී තිබෙනවා. රට වැට්ටූ රනිල් වික්‍රමසිංහලාට රට ගොඩනඟන්න පුළුවන්ද? ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා ජනාධිපති කරවන්න ඕනෑ තවත් ආණ්ඩුවක් හදා ගන්න නොවෙයි. අපිට අවශ්‍යව තිබෙන්නේ මුළු රටම දැවැන්ත පරිවර්තනයකට ලක්කරන්නයි. අනුර දිසානායක සහෝදරයා ජනාධිපති ලෙස දිවුරුම් දුන් විගසම මේ ජරාජීර්ණ පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මහජන මතයකට ඉඩ සලසා දෙනවා. ඒ මැතිවරණයෙන් ආසන 130 ඉක්මවූ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගෙන රටට අවශ්‍ය වෙනස්කම් ක්‍රියාත්මක කරනවා. වැටිච්චි රට ගොඩනඟමින් රට වැට්ටූ දූෂිතයන්ට නීතියෙන් දඬුවම් ලබාදෙන්න කටයුතු කරනවා. ජනතාවට උඩින් ඉන්න මන්ත්‍රීවරුන්ගේ කැත දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා.

මේ දක්වා කළේ ලොකු වියදමක් දරා ඇමතිවරුන් ගෙන්වා මුල්ගල් තැබීමේ ව්‍යාපෘති කිරීමයි. පොඩි පාරක් විවෘත කරන්නත් ඇමතිවරුන් ගෙන්වනවා. අඩුම වශයෙන් පැල සිටුවීමේ ව්‍යාපෘතිවල පැල සිටුවන්න පුංචි වලක් කපන අතරේ තඩි කාපට් මතින් එන ඇමතිට පැල සිටුවන්න බහින්න තව ලොකු වලක් කපන්න සිදුවී තිබෙනවා. ආරක්ෂක අංශ පිරිවරා ගනිමින් බලය පෙන්වන සංස්කෘතිය අපි අහෝසි කරනවා. ධනය බලය පාවිච්චි කර, ජනතාවගේ ඡන්ද මංකොල්ලකෑ විෂම චක්‍රයේ දේශපාලනය අපි අවසන් කරනවා. ජනතාවගේ ඡන්දයෙන් පත්කරන මේ පාලකයන් විසින් ජනතාව දුප්පත්කමේ ගිල්වා තබන මේ ක්‍රමය මුළුමනින්ම අවසන් කරනවා. 1948 නිදහස ලබනකොට අපි ණය නැති රාජ්‍යයක්. පාලකයන් දිගින් දිගට ණය අරගෙන හොරාකෑම නිසා අද ණය ගෙවාගත නොහැකි වී බංකොලොත් රටක් ලෙසට වට්ටවා තිබෙනවා. ණය ආපසු ගෙවීමේ කාලය 2028 දක්වා කල්දමා එය සුබ ආරංචියක් බව ඔවුන් කියනවා. සිංගප්පූරුව, දකුණු කොරියාව, මැලේසියාව ඉස්සරහට යන කොට ලංකාවේ පාලකයන් අපේ රට පසුපසට ඇද දැම්මා. ඒ නිසා ජයග්‍රහණ අත්පත් කර ගන්නා පිම්මක් පනින්න ශ්‍රී ලාංකික ජනතාව සියලු දෙනා සුදානම් බව අපි ඔප්පු කරන්න ඕනෑ.

Dambulla-Public-Rally

ආර්ථිකයේ, චින්තනයේ, අධ්‍යාපනයේ, සංස්කෘතියේ පුනරුදයක් ඇති කළ යුතුයි. අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ආර්ථිකයක් බවට ගොඩනඟන බව අපි කියන කොට, රනිල් ඇතුළු පිරිසක් ඒකම කියනවා. අපේ ආර්ථිකයට සමස්ත ජනතාව සහභාගි කර ගන්නා සහ ජනතාව වෙත එහි ප්‍රතිලාභ ගලායාමේ ක්‍රියාකාරී සැලසුමක් සකස් කර තිබෙනවා. අපි ගොඩනඟන්නේ ජන සහභාගිත්ව ආර්ථිකයක්. ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ පවුල් කිහිපයකට නොවෙයි, සමස්ත ජනතාවට ගලා යාමේ යාන්ත්‍රණයක් සකස් කරනවා. මාතලේ දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තයේ යෙදී සිටින ගොවියන් දුප්පත් වී දඹුල්ලේ සිටින ව්‍යාපාරිකයන් පොහොසත් වන ආර්ථිකය නිමා කරමින් සියලු දෙනාට සාධාරණ ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරනවා. ඒ වෙනුවෙන් සුදුසු අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කර, දරුවන් මත පටවා තිබෙන පීඩනය ඉවත් කරනවා. දැන් සිදු කරන්නේ මහජන මුදල් හොරා කා ඒ හොරා කෑ ධනයෙන් සොච්චමක් යොදවා හාල් කිලෝ පහක් දුන්නාම ඒක ගන්න ජනතාව හොරාට වැඳලත් යනවා. ඉතාම කනගාටුදායක මේ ක්‍රමය වෙනස් කරනවා. දුප්පත්කම පවත්වාගෙන යන්න සහන දෙනවා වෙනුවට අපේ පාලනයක් යටතේ දෙපයින් නැගී සිටින්න ක්‍රමයක් සකස් කර දෙනවා. ආණ්ඩුවට අත නොපා තමන්ගේ ධෛර්යයෙන්, තමන්ගේ ශ්‍රමයෙන්, තමන්ගේ දෙපයින් නැගී සිටිය හැකි ආර්ථික ක්‍රමයක් සකස් කර දෙනවා. නමුත් දුප්පත්කම අවසන් කරන තුරු සහන ලබාදිය යුතු සියලු දෙනාට සහන ලබාදීම තහවුරු කරනවා. ඉතා ඉක්මනින් දුප්පත්කම තුරන් කර, මාලිමාවේ ආණ්ඩුවක් යටතේ සතුටින් සිටින මහජනතාවක් නිර්මාණය කරනවා.

අපට තිබෙන්නේ පොඩි වැඩක් නොවෙයි; අවුරුදු 76ක ශාපකාරී විනාශකාරී දේශපාලන මාර්ගය වෙනස් කිරීමයි. මේ වේදිකාවේ ඉන්නේ ඒ වෙනුවෙන් කැපකිරීම් කරන්න පැමිණි අය මිස කිසිවක් ලබාගන්න ආ අය නොවෙයි. මීට වඩා හොඳ ජීවිතයක්, ලස්සන ජීවිතයක් අපට ඕනෑ. කාන්තාවන්ටත් දරුවන්ටත් බයක් නැතිව නිදහසේ ජීවත් විය හැකි, ආදරය, ගෞරවය සහ ආරක්ෂාව තිබෙන රටක් අපි ගොඩනගා ගන්න ඕනෑ. මිනිසුන් එකිනෙකාට ආදරය කරන ආදරයෙන් පිරුණු රටක් අපි ගොඩනඟන්න ඕනෑ. හැම කෙනාටම මනුෂ්‍යත්වයෙන් සලකන රටක් අපි ගොඩනගන්න ඕනෑ. මෙතෙක් අප සමග අත්වැල් බැඳ නොගත් සියලු දෙනාට මේ පණිවිඩය ලබාදී දැනුවත් කර, ජාති, ආගම්, බේද නැති එකම රටක් ගොඩනඟන්න අපි හැම දෙනාම අත්වැල් බැඳ ගනිමු. මේ ජනාධිපතිවරණයෙන් උතුමාණෝ කියලා කියන්න ඕන නැති අපේ සහෝදරයෙක් ජනාධිපති කරලා, අපේම පාර්ලිමේන්තුවක් ගොඩනඟලා අපේ රට ගොඩනගමු. ඉතිහාසය අලුතින් ලියන පරම්පරාව අපි. අපේ කාර්යය අපි ඉටුකරනවා. අපේ ජීවිත කාලයේදී මේ රට ගොඩනගමු. ඒ වෙනුවෙන් සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.

Dambulla-Public-Rally

“සාහිත්‍ය කලාවෙන් සංවේදී, විචාරශීලී මිනිස්සු හැදෙනවාට මේ විකෘති ආණ්ඩු බයයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, සබරගමු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි-

අපි මේ මොහොතේ ගත කරන්නේ තීරණාත්මක අවස්ථාවක්. ලංකාවට අද අවශ්‍ය වී තිබෙන්නේ පුනරුදයක්. ඒක සාමාන්‍ය පුනරුදයක් නොවෙයි. ඒක ජාතික පුනරුදයක් විය යුතු මහා සමාජ පරිවර්තනයක්. මහා පුනරුද සැලැස්ම අපි පසුගියදා ප්‍රතිපත්ති ප්‍රකාශයක් හැටියට පොත් පිංචක් කොළඹදී එළිදැක්වූවා. එදා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා පුනරුද සැලැස්ම විස්තර කරමින් කළ කතාව ඓතිහාසික කතාවක්. අපේ රට ඇද දමා ඇති සියලුම අගාධයන්වල මූලය ඔහු ඉතා හොඳින් පැහැදිලි කළා. වර්තමාන ශ්‍රී ලංකාවේ වෙනත් දේශපාලන ව්‍යාපාරවල ඉන්න කිසිදු නායකයෙකුට එවැනි ප්‍රඥා ගෝචර විශිෂ්ට කතාවක් කරන්න බැහැ. ඒ කතාවේ තිබුණේ ඔබ අප හදන්න යන නව රජයක පදනමයි. විසිවන සියවසේ බිහිවුණු මහා ප්‍රඥාව, කර්මාන්ත ක්ෂේත්‍රයේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, සාහිත්‍ය ක්ෂේත්‍රයේ, දේශපාලන සාක්ෂරතාවයේ සෑම පැත්තකින්ම අපි කොහොමද නැවතත් පණ ගන්වන්නේ කියන කතාවයි. අපේ රටේ විශිෂ්ට සංස්කෘතික ප්‍රාඥයෙක් වන ආචාර්ය සුසිල් විජේසිරිවර්ධන අපේ පුනරුද සැලැස්ම ඉතා ඉහළින් අගය කර, ලංකාවේ දේශපාලන ව්‍යාපාරයක් කළ යුතු වෙනස එය බව මුහුණු පොතේ කරුණු දක්වා තිබුණා. මේ පුනරුද සැලැස්ම නැතිව ආර්ථිකය විතරක් හෝ ප්‍රවාහන ප්‍රතිපත්තිය විතරක් හෝ ඔසවාගෙන ඉස්සරහට යන්න බැහැ.

රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවත් ඉඳහිට මේ වැඩේ කරනවා. පාසල් විෂය නිර්දේශයෙන් සෞන්දර්යය විෂය සාමාන්‍යපෙළ විභාගයෙන්, අයින් කරන්න යනවා කියලා දැනගන්න ලැබුණා. මේ සෞන්දර්ය විෂය ඉවත් කළොත් සිදුවෙන පාඩුව මනින්න බැරි එකක්. රනිල් වික්‍රමසිංහගේ මාමා ජේ.ආර්. ජයවර්ධන තමයි මේකට මුල පිරුවේ. මාතර තිබූ සාහිත්‍ය සම්මේලනයකදී ඔහු සාහිත්‍ය ගැන කුප්‍රකට කතාවක් කළා. එහිදී “සාහිත්‍ය කන්නද, ඕකෙන් පවුලක් නඩත්තු කරන්න පුළුවන්ද ”කියලා ඔහු ඇහුවා. මේ ඒකෙ දෙවැනි කොටස අද ජේ.ආර්.ගෙ බෑනා, රනිල් වික්‍රමසිංහ කරන්න හදනවා. මේක ඉතාම භයානක, විපාක ඇති කරන්න පුළුවන් කරුණක්. සාහිත්‍ය කලාවෙන් හදන්නේ ඉතාමත් සංවේදී, විචාරශීලී මිනිස්සු. සංවේදී මිනිස්සු හැදෙනවාට මේ විකෘති ආණ්ඩු බයයි. ඒ නිසා එයාලා ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්නවා සෞන්දර්යය, සාහිත්‍ය, කලාව කප්පාදු කරන්න ඕනැ කියලා. එතකොට තමයි මිනිස්සු යන්ත්‍ර බවට පත්වෙන්නේ. රස වින්දනයක් නැති, මනුෂ්‍යත්වය සිහිපත් නොවෙන මිනිස්සු හැදෙන්නේ, යාබද අසුනේ ඉන්නේ තමන්ගේම දියණියක් කියලා හිතන්න බැරි කෘත්‍රිම සමාජයක් හැදෙන්නේ. ඒක තමයි ඔවුන්ට ඕනෑ වෙලා තිබෙන්නේ.

Dambulla-Public-Rally

මේ දඹුල්ල නගරය, නොනිදන නගරයක් වෙලා. එහෙම වෙලා තියෙන්නේ ගොවි මහතුන්, ගොවි දියණියන් වන ඔබ අවදිවෙලා ඉන්න හන්දා. ඔබ පොළොවේ හැපෙන හින්දා. ව්‍යාපාරිකයන් ගොවි තැනත් එක්ක එකතු වුණු හින්දා. දඹුල්ලේ ගොවියාගේ ලොකු ළුෑණු, වට්ටක්කා සහ එළවළු ප්‍රශ්නය දෙස බලන්න. තේරුම් ගන්න. මේ ගැටලුව ගැන කම්පාවෙන්න තියෙන්නේ ආර්ථික විද්‍යාව විතරක් නොවෙයි, කලාවෙන්, සංස්කෘතියෙන් මේ ගැටලුව තේරුම් ගන්න ඕනෑ. මෙලෙක් වුණු මිනිසෙක් ඕනැ වෙන්නේ මිනිසුන්ගේ අසරණකම ගැන ඇත්ත තේරුම් ගන්න. මේ දුෂ්ට දේශපාලනඥයන්ට මේක වළක්වන්න ඕනැ වෙලා තිබෙනවා. එදා පුනරුද කතාවෙ ප්‍රධාන තේමා 14ක් අනුර සහෝදරයා කිවුවා. ජනතාව ලෙස අපට ඕනෑ අපේම නායකයන්; ජනතාව පාවා දීලා අශිෂ්ට විකුණුම් භාණ්ඩ වගේ පාර්ලිමේන්තුවේ ‘පිම්පොම් බෝල වගේ’ එහාට මෙහාට පනින නායකයන් නොවෙයි. එහෙම තැනකට වැටෙන නායකයන් එක්ක හිටගන්න මේ රටේ ඡන්දදායකයන් සූදානම් නැති බව අපට ඉතාම පැහැදිලියි. ප්‍රවෘත්ති බැලුවාම පේනවා අද එක පක්ෂයක ඉන්න කෙනා හවස් වෙනකොට තවත් පක්ෂයකට ගිහිල්ලා. හැබැයි ඔවුන් සිතනවා නම් ඔවුන් යනකොට දහස් සංඛ්‍යාත පිරිසකුත් ඒ සමග යනවා කියලා ඒක මිථ්‍යාවක්. අද මේ ජනතාව මේ අලුත් පුනරුද දේශපාලනය තුළ ඉන්නවා.

අපි ජාතික ජන බලවේගයේ පාලනයකදි ජනතාවගේ පරමාධිපත්‍යය හරිතැන පිහිටුවන්න අපි කටයුතු කරනවා. ජනතා බලය තිබෙන්නේ ඔබට. යතුර තිබෙන්නේ ඔබේ අතේ. ඒක නිසා තමයි ඡන්දය ළංවෙනකොට එයාලා බය වෙන්නේ. නිෂ්පාදන ආර්ථිකයකට පොරොන්දු දීලා හිටපු රනිල් වික්‍රමසිංහලා ඒ පොරොන්දු දීපු කුලියාපිටියට ගිහිල්ලා හාල් කිලෝ 20ක් බෙදලා එන්නේ, යතුර ඔබේ අතේ තිබෙන නිසා, ඔබව රවටා ගන්නයි. එහෙම රවටන්න පුළුවන් ජනතාවක් දැන් නැහැ. යතුර ඔබේ අතේ තිබෙනවා. ඒ යතුර පාවිච්චි කරන්න නෛතික අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී පරිසරය ජනාධිපතිවරණයක් දැනුම් දීලා ඔබට ඔබේ මහජන වරම උරගා බලන්න අවස්ථාවක් ලැබෙනවා. ජාතික ජන බලවේගය ඓතිහාසික මහජන ව්‍යාපාරයක් ගොඩනඟා ඉවරයි. ජාතික ප්‍රතිපත්ති හදලා ඉවරයි. කොට්ඨාස සභා මගින් විශාල ජන පවුරක් හදලා ඉවරයි. සංවිධාන ව්‍යුහයක් හදලා ඉවරයි. අවශ්‍ය තැන මහපාරේ සටන කර, අධිකරණයට යන්න ඕන තැන ඒක කරනවා. මේ පරිවර්තනය වෙනුවෙන් වෘත්තීන් විසි තිස් ගණනක් සංවිධානය කරලා ඒවායේ සමුළු තියලා සියල්ල සකස් කරලා, ජනතාවට මහා රැලි මට්ටමේ කරුණු පැහැදිලි කරලා පොළොව සකස් කරලා ඉවරයි. මේ සැරේ අපි යතුර හරියට පාවිච්චි කරලා ලංකාවේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබරයක් ලකුණු කරමු. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් පරිවර්තනයක්, පුනරුදයක් ශ්‍රී ලංකාවේ බිහි කරමු. ස්ථිර වශයෙන්ම ඒ ශ්‍රේෂ්ඨ ඔක්තෝබරය තමයි අපට විශිෂ්ට වසන්තය කැන්දාගෙන එන්නේ. ඒ සඳහා තීන්දු ගන්න අවශ්‍ය කරන ප්‍රඥාව, අධිෂ්ඨානය ඔබට ලැබේවා!

Dambulla-Public-Rally

“ශ්‍රී ලංකාව ලෝකයේ කීර්තිමත්ම රටක් බවට පරිවර්තනය කරන්න අපට වගකීමක් තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, කැලණිය විශ්විවිද්‍යාලයේ මහාචාර්ය වසන්තා සුබසිංහ-

සිවිල් සමාජයක් හැටියට අපේ රට වෙනුවෙන් අපේ වගකීම අත්නොහැර ඉටුකරන්න තිබෙන වෙලාව තමයි මේ උදාවී තිබෙන්නේ. මේ අපි උපන් රට. අපේ රට. පහුගිය අවුරුදු 76ක් තිස්සේ මේ රට පාලනය කළ, ත්‍රාඩ දේශපාලකයන් මේ රට ලෝකයේ අපකීර්තිමත් රටක් බවට පත්කර තිබෙනවා. අපේ ආදරණීය මාතෘ භූමිය බේරා ගැනීමේ මහා සංග්‍රාමයට, මහා පුනරුදයට එකතුවීමේ වගකීමක් අපි හැමෝටම තිබෙනවා. අපට අවශ්‍ය කරන්නේ අසාමාන්‍ය ලොකු වෙනසක්. දවසින් දෙකෙන් වෙනස් කරන, හාල් කිලෝ 20කට, රුපියල් දෙදහසකට – තුන්දහසකට, රැකියාවකට මේ වෙනස කරන්න පුළුවන් කමක් නැහැ. අපේ රටේ අසාමාන්‍ය වෙනසක් ඇති කිරීමට නම්, අවුරුදු පහකට ගැලපෙන, අවුරුදු දහයකට ගැලපෙන, අවුරුදු 30කට පනහකට ගැලපෙන කෙටි කාලීන හා දිගුකාලීන සැලසුම් අපට අවශ්‍යයි.

මොකක්ද මේ අසාමාන්‍ය වෙනස? අප හැමෝටම අවශ්‍යයි උසස් ජීවන තත්වයක්. අපි දුක්වින්දා ඇති. අපේ ජනතාව අවුරුදු 30ක යුද්ධයකින් බැට කෑවා. වසංගත ලෙඩ රෝග ආවා, සාගත ආවා. ආර්ථික ව්‍යසන ආවා. ආර්ථික අර්බුද ආවා. අපි දුක්වින්දා හොඳටෝම ඇති. අපි වෙනස් වෙන්න ඕනෑ. අපේ ආකල්ප, වැඩකරන හැටි වෙනස් කර ගන්න වෙනවා. අද ලෝකය දියුණුයි. අපිට නවීන තාක්ෂණය තිබෙනවා. තාක්ෂණය වෙනුවෙන් අපි ජීවත් වෙනවා වෙනුවට අපිට තාක්ෂණය පාවිච්චි කර ගන්න පුළුවන් යුගයක් ඇති කර ගන්න ඕනෑ. අපි අලුතෙන් සිතා වැඩකරන ජනතාවක් බවට පත්වෙන්න ඕනෑ. අපේ ජනතාව මේ ගම්බිම්වල අසීමාන්තික ලෙස වැඩ කෙරුවා. දිවා රෑ නොබලා වැඩ කෙරුවා. ඒකෙ ප්‍රතිඵල භුක්ති වින්දේ ඔබේ දරුවා නොවෙයි; ඉතාම සුළු පිරිසක් වන දේශපාලකයන් සහ ඔවුන්ගේ දරුවන්. අපි අලුතෙන් හිතමු. අලුතෙන් වැඩ කරමු.

අපට වැඩකරන්න නම් අලුත් තාක්ෂණය ඕනෑ. නීතිය හරියට ඕනෑ. අපට වැඩකරන්න පරිසරයක් ඇති කර ගන්න වෙනවා. ඔබේ ගොවිතැනේ නිෂ්පාදිතයෙන් බාගයක් අතරමඟදිම විනාශ කර දමන කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නොවෙයි. අපේ ආසන්නම ඉන්දියාව රටවල් 140කට පොල් යවනවා. වෙනස්ව හිතන අයට ලෝකය විවෘතයි. අපේ තේ, පොල්, රබර්, සාදික්කා, ගම්මිරිස් ඇතුළු දේශීය කෘෂිකාර්මික දේවල් වෙනත් රටවල්වලට යවන සැලසුමක් අපට ඕනෑ නැතිද? තානාපති සේවය විධිමත් කරන්නේ කොහොමද? කෘෂිකාර්මික දේවල් අපේ රටේ වෙනත් රටවල්වලට යවනවාද කියන එක අපි ගණන් හදලා ඉවරයි. අපේ තක්කාලි ටික, සැමන් ටික, අඹ ටික, කෙසෙල් ටික කොහාටද යන්නේ කියන රටවල් අපි හඳුනාගෙන ඉවරයි. මාලිමාවේ ආණ්ඩුවක තානාපති සේවය යනු අපේ පණිවිඩය, අපේ වෙළඳපොළ, අපේ දරුවන්ගේ අනාගතය තීරණය කරන තානාපති සේවයක්. ඒ වෙනුවෙන් සැලසුම් හදා ඉවරයි. රටක් අලුතෙන් හිතන්නේ එහෙමයි. මේ වන විට ලෝකය පුරා ලක්ෂ 45කට වැඩිය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා හිඟයක් තිබෙනවා. ඉදිරි අවුරුදු පහ ඇතුළත කොපමණ වෛද්‍යවරුන්, විශේෂඥයන්, හෙදියන් බිහිකරනවාද යන්න ගැන අපි සැලසුම් හදා තිබෙනවා. ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය උගන්වන ගුරුවරුන් පිටරට යවන්න පුළුවන්ද කියන එක ගැන අපි සැලසුම් හදා තිබෙනවා. ගම්මානවල සිටින කාන්තාවන් ගෘහ සේවයට යවනවා වෙනුවට අමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව ඉල්ලන දක්ෂතා පූර්ණ තරුණයන් යැවීමට සැලසුම් කර තිබෙනවා. දැව භාණ්ඩ කර්මාන්තයේ, වෙල්ඩිං වැඩ, ජලනල වැඩවලට හොඳ ඉල්ලුමක් ලෝකයේ තිබෙනවා. අවුරුදු පහකට කොයිතරම් ප්‍රමාණයක් ඒවට යවනවාද කියා ගණන් හදා ඉවරයි. කැනඩාව ඕස්ටේ්‍රලියාව වගේ රටවල පරිගණක ක්ෂේත්‍රවලට ඉංජිනේරුවන් අවශ්‍යයි. අපි ඒවාට සැලසුම් කරන්න ඕනෑ. කෘෂිකර්මාන්තයට පමණක් නොවෙයි, වෙනත් අංශවලටත් ලෝකයේ වෙළඳපොළ විවෘතයි. අපට වගකීමක් තිබෙනවා අපේ රට ලෝකයේ කීර්තිමත්ම රටක් බවට පරිවර්තනය කරන්න. ඒක මාලිමාවේ පුනරුද ව්‍යාපාරයේ ප්‍රධාන ඉලක්කයක්. අපි හැමෝටම සමාජයේ සමාන අවස්ථා අවශ්‍යයි. අපේ රටේ දේශපාලකයන් හා ඔවුන්ගේ සමීපතමයන් පමණයි සුඛිත මුදිත ජීවිතයක් ගත කරන්නේ. සමාජයේ සමාන අවස්ථා ළඟාකර ගැනීම සඳහා මාලිමාවේ අය කරන්නේ මොනවාද?

Dambulla-Public-Rally

1995දී ජන සවිය ලැබුණේ හාරලක්ෂ හැත්තෑ දහසකටයි. 2015 වෙනකොට සමෘද්ධි ලැබෙනවා ලක්ෂ පහළොවකට. ගිය අවුරුද්ද වෙනකොට අස්වැසුම ලැබෙනවා ලක්ෂ විසිහතරකට. දුප්පත්කම ඉහළ දමා තිබෙනවා. දුප්පත්කම නැති කරලා ආර්ථික ප්‍රතිලාභ ලබන ජනතාවක් බිහිකරන්න ඕනෑ. එතනදි කිසිම ජන කොටසක් එතනින් අයින් වෙන්න බැහැ. අපේ රටේ ලක්ෂ 44ක් පාසල් යන ළමයි. ලක්ෂ 14ක් දරුවන් උදේට කෑමක් නැතිව පාසල් එන බව සංගණනවලින් කියනවා. ඒ රොස්මීඩ් ප්ලේස් එකේ, කුරුඳුවත්තේ ඉන්න ළමයි නොවෙයි. ඒ, උදේට කෑම කන්නේ නැතිව පාසල් යන්නේ ඔබේ අපේ ළමයි. ඒ දරුවන්ට පෝෂණීය ආහාරයක් දෙන්න ඕනෑ. අපි ප්‍රතිපත්තිවලට ඇතුළත් කළා, සියලුම ළමයින්ට එක වසරේ සිට 13 වසර දක්වාම පෝෂණීය දිවා ආහාරක් මාලිමාවේ ආණ්ඩුවකින් ලබා දෙන බවට. ඒ විතරක් නොවෙයි අපේ පාසල් යන ළමයින්ට ආරක්ෂාව, රැකවරණය තිබෙනවාද? ගිය අවුරුද්දේ ළමා රක්ෂණ අධිකාරිය සඳහන් කරනවා ළමයි දහදාහකට ආසන්න ප්‍රමාණයකට හිරිහැර සිදු වී තිබෙනවා කියලා. බන්ධනාගාරවලට වැඩිපුරම යන්නේ කුමන අපරාධකරුවන්ද කියා මම සොයා බැලුවා. සිරදඬුවම් ලැබූවන්ගේ වැරදි අතර තිබෙන ප්‍රධානම වැරැද්දක් වී ඇත්තේ ළමයින්ට හිරිහැර කරදර, ලිංගික කටයුතු, දූෂණ කිරීම් ආදිය නිසා දඬුවම් ලැබීමයි. මාලිමාවේ ආණ්ඩුවක් ලෙස දරුවන්ගේ රැකවරණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. ඒ වගේම ගැබිණි මාතාවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළා. දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ඉන්න දරුවන්ගේ රැකවරණය ගැන අවධානය යොමු කළා, ඔබේ දරුවා කියන්නේ, අපේත් දරුවායි. එසේ සලකා ඒ දරුවන් රැකබලා ගැනීම අපේ වගකීමක් ලෙස සලකා අපි සැලසුම් සකස් කොට තිබෙනවා.

සමාජයේ ඉන්න සෑම ජන කොටසකටම අපි ආමන්ත්‍රණය කරන්න ඕනෑ. අපට ඉන්නවා ලක්ෂ 75කට වැඩි තරුණ දූ දරුවන් කණ්ඩායමක්. අපේ තරුණයාට මෙහේ රැකියාවක් නැහැ. ඉගෙන ගන්න විදිහක් නැහැ. ඒ නිසා පිටරට යනවා. රට හැර යාමට අවශ්‍ය නොවන ලෙස රැකියා වෙළඳපොළ, රැකියා අවස්ථා අපි සැලසුම් කර තිබෙනවා. අපි දැකපු දෙයක් තමයි මත්ද්‍රව්‍යවලට ළමයි ඇබ්බැහි වෙන්නේත්, ගැහැනු දරුවන්ට කරදර සිදුවෙන්නේත් අපරාධවලට යොමු වන්නේත් ඉස්කෝලේ අඩුවෙන් ගිහින් තිබෙන දරුවන් බව. ගම්බද ප්‍රදේශවල ළමයි බහුතරයක් අට වසරෙන් පසුව ගෙදර යනවා. ඒ ගැන කවුරුත් බලන්නේ නැහැ. නැවත ඒ දරුවා පාසලට ගේන්න කෙනෙක් නැහැ. අපි විශේෂ අවධානය ඒ ගැන යොමු කළා. දරුවෙක් සාමාන්‍යපෙළ දක්වා අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕනෑ. එක්කෝ එයා ශාස්ත්‍රීය අධ්‍යාපනයට නැත්නම් වෘත්තීය අධ්‍යාපනයට යන්න ඕනෑ. ඒ පිළිබඳ සොයා බැලීම සඳහා නිලධාරීන් යෙදවිය යුතුයි කියන එක අපි යෝජනා කර තිබෙනවා. ඒ නිසා තරුණ දුවා දරුවන් අපේ ආණ්ඩුවක් යටතේ පාසල අත්හැර නොයා රඳවා ගන්න වුවමනා කරන ප්‍රතිසංස්කරණ අපි හැදුවා. මාලිමාව ලෝකය ගැන අලුතින් හිතනවා කියන්නේ ඒ නිසයි.

අපේ රට කොයිතරම් දූෂණය වෙලාද? දිනකට තුන්සියයකට වැඩි විවාහක පිරිසක් දික්කසාද ඉල්ලනවා. ඒ දෙමව්පියන් ඒක විසඳුමක් කියා සිතුවාට දරුවන්ට එය එතරම් මිහිරි වන්නේ නැහැ. ඒ නිසා දරුවන් රැකබලා ගන්න ඕනෑ. ලංකාවේ පවුල්වලින් 25%ක්ම කාන්තාවන් මුල්වූ පවුල්. ඇගේ ආරක්ෂාව අපි සපයන්න ඕනෑ. ඒ පිළිබඳව අපි අවධානය යොමුකොට තිබෙනවා. ඒ වගේම වැඩිහිටියන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා. ඔවුන් රැකබලා ගැනීමට, සෞඛ්‍ය පහසුකම්, නිදන්ගත රෝගවලින් පෙළෙන අය අපි ගණනය කර තිබෙනවා. ඔවුන්ට සලසන පහසුකම් පිළිබඳ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කරලා සැලසුම් සකස්කොට තිබෙනවා. හැමෝටම සමාජයේ සමාන අවස්ථා ලබාදෙන්න නම්, අපිට බොහෝ දේවල් කරන්න තිබෙනවා. මේ සියලු වැඩිහිටියන්ට විශ්‍රාම වැටුපක් අරන් දීලා, ඔවුන් සැපෙන් සනීපෙන් තබන පරිසරයක් අපි හදන්න ඕනෑ. මේ එළඹිලා තිබෙන්නේ සිවිල් සමාජයේ වගකීම හරියටම අරගෙන කළ යුතු අවස්ථාවක්. මේ වෙනස කරන්න ඔබට ශක්තිය, ප්‍රඥාව ධෛර්යය ලබාගත යුතු කාලයයි. ඒ නිසා තවත් පමා වෙලා බැහැ. ඔබේ දායකත්වය අපේ මාතෘ භූමිය යළි ගොඩනැගීම සඳහා දායක කිරීමේ අවස්ථාව උදාවෙලා තිබෙනවා. මේ අවස්ථාව මඟහරින්න එපා. ඔබේ පන්සලේ, ගෙදර, පාසලට අපේ පණිවිඩය ගමට අරගෙන යන්න. ඔබේ සහයෝගයෙන් මාලිමාවේ ආණ්ඩුවක්, ජනතාවාදී ආණ්ඩුවක් පළමු වරට පත්කර ගන්න පුළුවන්.

Dambulla-Public-Rally

“මෙවැනි අපරාධ සිදුවෙද්දී මහජන මුදලින් නඩත්තු කරන පොලිස්පතිවරයෙක් අවශ්‍ය වෙනවාද?”
-විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න-

අද අපි රැස්ව සිටින්නේ ඓතිහාසික භූමියකයි. හෙළ රජදරුවන්ගේ උරුමයන් දෙකක් අප ආසන්නයේ තිබෙනවා. සීගිරිය සහ රන්ගිරි දඹුලු රජමහා විහාරය. ඒ වගේම 1848 මාතලේ කැරැල්ල අවස්ථාවේ විශාල කාර්යභාරයක් ඉටුකළ සිද්ධස්ථානයක් නුදුරේ සිට අපි රැස්වී සිටිනවා. අපේ වාරි ශිෂ්ටාචාරය උපයෝගී කරගෙන මේ බිම සරුකෙතක් බවට පත් කළ ගොවිකම රජකම සේ සලකා කටයුතු කරන වැඩි පිරිසකගේ සහභාගිත්වයක් මේ භූමියේ තිබෙනවා. මේක සාම්ප්‍රදායික වගාවන්ගෙන් ඔබ්බට ගොස් ආර්ථික භෝග වගාවන්ට යොමු වී රටටම ආහාර සපයන භූමියක්. ඒ නිසාම දඹුලු පුරවරය රටටම එළවළු සපයන මධ්‍යස්ථානයක්.

නමුත් ඔබේ අරමුණු ඉටුවී තිබෙනවාද යන්න පැහැදිලිව දන්නේ ඔබයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දේශපාලනයෙන් වෙළාගෙන තිබෙනවා මිස ගොවියාට සෙතක් සැලසෙන්නේ නැහැ. අස්වනු විකුණා ගන්න බැරිව දමායන ගොවියන් පසුපස බැංකු සහ ණය හිමියන් හඹාගෙන එනවා. අන්තිමේ ගොවියාට සියදිවි නසාගන්න සිදුවෙනවා. ඒ අතර මහජන බැංකුවේ බොල් ණය කෝටි 5400ක් කපා හැර තිබෙනවා. ගොවියා වස බී සියදිවි නසා ගන්නා අතර, මේ කපා හරින ලද ණය අරගෙන තිබෙන්නේ දේශපාලනඥයන්ට සම්බන්ධ ව්‍යාපාරිකයනුයි. තව සමහරු දේශපාලනඥයන්. ඔයගොල්ලන්ගේ ඡන්දයෙන් ගිය එවැනි අය මාතලේ දිස්ත්‍රික්කයේත් සිටිනවා. තරු පංතියේ හෝටලයක් අයිති දේශපාලනඥයෙකුගේ කපා හැරි ණය මුදල රුපියල් කෝටි 300යි. ඉතිහාසයේ පටන් දඹුල්ල හැඳින්වූයේ රන්ගිරි දඹුල්ල කියලා. ආර්ථික මධ්‍යස්ථානය පැමිණීමෙන් නොනිඳන නගරයක් බවට පත්වුණා. ලංකාවේම තැබෑරුම් රාත්‍රී 10.00ට වහන්න ඕනෑ. දඹුල්ල නගරයේත් එහෙමයි. නමුත් දේශපාලනඥයන්ට සම්බන්ධ නොනිදන තැබෑරුමක් දඹුල්ල නගරයේ තිබෙනවා. පොලීසියෙන් හෝ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් එය වටලන්නේ නැහැ. මෙයට ටික දිනකට පෙර නීති විරෝධී මත්පැන් පානය කර, දඹුල්ලේ පුද්ගලයන් හයදෙනෙක් මිය ගියා. පිටපළාත්වලට ගිය කී දෙනෙක් මැරුණාද දන්නේ නැහැ. නීතියක් ක්‍රියාත්මක වෙනවාද?

විසඳා නැති මනුෂ්‍ය ඝාතන ගණනාවක් දඹුල්ල නගරයේ සිදුවී තිබෙනවා. 2022 මනුෂ්‍ය ඝාතන 559ක් සිදුකර තිබෙනවා. 2023දී 778යි. මේ අපරාධයන් සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරු වීමේ සම්භාවිතාව 10%යි. අතුරුගිරියේදීත් මහ දවල් මෙවැනි ඝාතන සිදුකළා. මහජනතාවගේ මුදල්වලින් නඩත්තු කරන පොලිස්පතිවරයෙක් මෙවැනි අපරාධ සිදුවෙද්දී අවශ්‍ය වෙනවාද? පොලීසිය බාර ඇමතිවරයෙක් අවශ්‍ය වෙනවාද? මේ අපරාධ අපි තවදුරටත් ඉවසනවාද? එහෙම නැතිනම් වෙනසක් කරා යනවාද? වෙනස සිදුකරන්න සුදුසු නායක සමූහයක් අපට ඉන්නනවා. ඒ වගේම දූෂණයට, වංචාවට, එරෙහිව සටන් වදින නායකයෙක් ඉන්නවා. ඉදිරියේ එළඹෙන ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා පොදු ජනතාවගේ ජනාධිපති බවට පත්කර, රට වෙනස් කිරීම ඔහුට බාර දෙමු කියන ඉල්ලීම කරනවා.

Dambulla-Public-Rally

“ඡන්දය ගත් ජඩ පාලකයන් අහිංසක ජනතාවගේ බලාපොරොත්තුවලට පා පහර දුන්නා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සේන නානායක්කාර-

ඔබ දැක්කාම ඉතාම සතුටක් ආඩම්බරයක් සහ දරා ගන්න බැරි තරම් ආදරයක් දැනෙනවා. මේ රට සීඝ්‍රයෙන් ප්‍රපාතයට රූටා යමින් තිබෙන මොහොතක ඒ තත්වයෙන් මුදා ගන්න මාතලේ ආදරණීය අම්මා, තාත්තා සහ සහෝදර සහෝදරියන් දඹුල්ලට එක්වී සිටීම සුවිශේෂී මොහොතක්. මනුෂ්‍යයෙක් විදිහට ආදරය, බලාපොරොත්තුව, රැගෙන ආ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙක් ලෙස පුංචි කරුණු කිහිපයක් ඔබ හමුවේ තබන්න මා බලාපොරොත්තු වෙනවා. මෙයට සති දෙකකට පෙර තරුණ බල ඇණියෙන් කැකිරාව නගරය වසා ගත්තා. මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන වයස් භේදයකින් තොර සියලු දෙනා වගේම සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා අද දඹුල්ල නගරය වසාගෙන සිටිනවා. තව මාස තුනකින් ආරම්භ වන නව පුනරුදයේ පෙරනිමිත්තක් වන මේ මහා රැලිය අපගේ ජයග්‍රහණය කිසිවෙකුටත් වළක්වන්න බැරි බව පෙන්වා දෙනවා.

බොහෝ දෙනෙක් මේ තත්වය ඉවසන්න බැරිව කලබල වී සිටිනවා. අධිකරණයට ගොස් මැතිවරණයට නොයෙක් වෙට්ටු දාන්න උත්සාහ කරනවා. නමුත් ජනතාව බුද්ධිමත්ව ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයට හෝ පොදු ජන එක්සත් පෙරමුණට හෝ වෙනයම් පක්ෂයකට ඡන්දය දුන් ජනතාව අතේ කිසිදු වරදක් නැහැ. ඔවුන් ඒ පක්ෂවලට සහයෝගය දැක්වූයේ මේ රට ගැන තිබෙන විශාල බලාපොරොත්තුවකින්. ඡන්දය ගත් ජඩ පාලකයන් ඒ අහිංසක ජනතාවගේ බලාපොරොත්තුවලට පා පහර දුන්නා. බලාපොරොත්තු තබා ගත් ජනතාවගේ කිසිදු වරදක් නැහැ. ඒ සියලු දෙනා දැන් මාලිමාව වටා එකතු වී ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවට මුළු රටම සාක්ෂි සපයනවා. රනිල් රාජපක්ෂ ආණ්ඩුව ණය ගැනීම, බදු ගැහීම, විකිණීම හැර වෙනස් කිසිදු විසඳුමක් නැතිව ජනතාව තලාපෙලමින් ඉන්නවා. හොරකම, වංචාව, දූෂණය ත්‍රිවිධ ශික්ෂාවන් කරගත් පාලකයින් මේ රට වසර 76ක් පුරා ප්‍රපාතයට ඇදගෙන ගියා. ලියන්ගහවෙල පඤ්ඤාසේකර හාමුදුරුවන් කවියකින් කියා තිබෙනවා හොඳ අදහසක්.

හොරා කෑ වරදට
යා යුතු හොරෙක් දඟගෙට
අඳී නම් රජෙකුට
කොහෙද වැසියෙනි හෙටක් රටකට

හොරෙක් රජෙකුට අඳිනවා නම් රටේ ඉදිරි ගමන ගැන කවර කතා ද කියලයි උන්වහන්සේ අහන්නේ. මේ වෙනකොට හොර රජවරු ජනතාවට සුළු සුළු අල්ලස් දෙමින් ඡන්දය මංකොල්ලකෑමට හදනවා. අස්වැසුම, උරුමය ඔප්පු, හාල් කිලෝ 20 බෙදන ඒවාට ජනතාව අහුවෙන්නේ නැහැ. මෙදාපාරත් රැවටුණෝතින් දරුවාට හෙටක් නැතිව යාවි. ඒ අල්ලස්වලට යට නොවී ජනතා ජයග්‍රහණය වෙනුවෙන් පෙළගැසෙන ලෙස ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

Dambulla-Public-Rally
Show More

“රට හදන්න ඕනෑ නම් තෝරාගැනීමට තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ සමන්තුරේ ජන රැලිය – 2024.07.12-) අපි බොහෝ කාලයක් ආණ්ඩු හැදුවා, නායකයෝ ගෙනාවා. නමුත් අද රටට වෙලා තිබෙන දේ ගැන ඔබ සතුටු විය නොහැකියි. අද ලෝකෙන් ගත් ණය ගෙවා ගැනීමට නොහැකි වී තිබෙනවා. අපේ තරුණ තරුණියන්ට රැකියා අහිමි වෙලා, රස්සාවක් සොයා ගන්න වෙනත් රටකට යන්න සිදුවෙලා තිබෙනවා. ව්‍යාපාර කඩා වැටිලා. ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ. […]

(-ජාතික ජන බලවේගයේ සමන්තුරේ ජන රැලිය – 2024.07.12-)

Samanthurai-Public-Rally

අපි බොහෝ කාලයක් ආණ්ඩු හැදුවා, නායකයෝ ගෙනාවා. නමුත් අද රටට වෙලා තිබෙන දේ ගැන ඔබ සතුටු විය නොහැකියි. අද ලෝකෙන් ගත් ණය ගෙවා ගැනීමට නොහැකි වී තිබෙනවා. අපේ තරුණ තරුණියන්ට රැකියා අහිමි වෙලා, රස්සාවක් සොයා ගන්න වෙනත් රටකට යන්න සිදුවෙලා තිබෙනවා. ව්‍යාපාර කඩා වැටිලා. ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ. වෛද්‍යවරු, ඉංජිනේරුවන් රට හැර යනවා. අධ්‍යාපනය කඩා වැටිලා. බොහෝ දෙනෙකුට හරිහමන් ආහාර වේලක් ගන්න විදිහක් නැහැ. මේක සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් ජීවත් වුණු රටක්. ජාතිවාදය ඇති කරලා, ගැටුම් ඇති කරලා, විනාශයක් කළා. ඇයි මෙහෙම වුණේ. මේ කිසිවක් ස්වභාවික ව්‍යසනයක් නිසා සිදුවූවක් නොවෙයි. මේ රටේ ජනතාව හදපු ආණ්ඩු රට මේ තත්වයට ඇද දැමුවා. ඔබගේ දරුවන්ට රස්සා නැති වුණාට ඇමතිවරුන්ගේ දරුවන්ට මන්ත්‍රී ධුර, අමාත්‍ය ධුර තිබෙනවා. ඔබලාගේ ව්‍යාපාර කඩා වැටුණාට ඇමතිවරුන්ගේ ව්‍යාපාර හොඳට නැගලා යනවා. ගම්වල ඉන්න ජනතාවට කන්න බොන්න නැති වුණාට ආණ්ඩුවේ අයට එහෙම වෙලා නැහැ. එයාලට අධ්‍යාපන ප්‍රශ්න නැහැ. ගමේ ඉස්පිරිතාලේ බෙහෙත් නැති වුණාට ඇමතිවරුන්ට සිංගප්පූරු ගිහින් බෙහෙත් ගන්න පුළුවන්. අපේ හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න හාර්ට් ඇටෑක් එකක් හැදුණාම බෙහෙත් ගන්න ගියේ සිංගප්පූරුවට. රටේ පාලකයෝ කළේ මෙහෙම තමයි. මේක ස්වභාවික ව්‍යසනයක් නම් රටේ හැමෝටම මේ ඉරණම අත්වෙන්න ඕනෑ. නමුත් මේ විනාශය සිදුවෙලා තිබෙන්නේ පොදු ජනතාවටයි. පාලකයාට කිසිම අමාරුවක් නැහැ. මේ රටේ ජනතාව විටින් විට ඡන්දෙ දීලා ගෙනාපු නායකයෝ, හදපු ආණ්ඩු. ඒගොල්ලෝ හැදුණා. ජනතාව වැටුණා.

මේ පැරණි, අසාර්ථක ගමන දැන් වෙනස් කරන්න ඕනෑ. මේ රට හදන්න ඕනෑ. අපි ඔබ හමුවෙන්න ආවේ පැරණි පක්ෂ, දේශපාලනය, දැන් අත්හරින්න. රට විනාශ කරන නායකයන් අත්හරින්න. අපි අලුත් ආණ්ඩුවක් හදමු. ලෝකෙම එහෙමයි. පරණ ආණ්ඩු වැටෙනවා. අලුත් ආණ්ඩු හැදෙනවා. ඒ නිසා ලංකාවේ අවුරුදු 76ක් රට විනාශ කරපු, දේශපාලන පක්ෂවලින්, නායකයන්ගෙන් ගැලවිලා අපි අලුත් ආණ්ඩුවක් හදමු. ආණ්ඩු වෙනස් කරන්න අපට වුවමනාව තිබ්බාට මදි. ඔබටත් ඒ වුවමනාව තියෙන්න ඕනෑ. ඔබත් වෙනස් වෙන්න ඕනෑ. අපි වෙනස් කරන්න පටන් ගනිමු. මේ රට හදන්න ඕනෑ නම් තෝරාගන්න තිබෙන එකම ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය. අපි මේ රට හදනවා. දියුණු වී තිබෙන සෑම රටක්ම අධ්‍යයනය කර බලන්න. රටක් දියුණු වෙන්න සාධක කිහිපයක් සම්පූර්ණ වෙන්න ඕනෑ. නායකයෙක් ගෙනාවාට, ආණ්ඩුවක් මාරු කළාට විතරක් හැදෙන්නේ නැහැ. රට හදන්න වැඩපිළිවෙළක් ඕනෑ. ජාතික ජන බලවේගයට මේ රට ගොඩනැගීම සඳහා වැඩපිළිවෙළක් තිබෙනවා. දියුණු වුණු සෑම රටකම අත්දැකීම් අපට තිබෙනවා. දියුණු වුණු රටවල්වල ජාතිවාදී ගැටුම් නැහැ, අපිත් උත්සාහ කරන්නේ ජාතිවාදය පරාජය කරන ලද රටක් හදන්න. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමගියෙන් ජීවත් වෙන රටක් හදන්න.

ඇයි මේ ජාතිවාදය ඇති වුණේ? ආණ්ඩු හදන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. දරුවන්ට රස්සා හදන්න ඕනෑ, රටේ නීතිය ස්ථාපිත කරන්න ඕනෑ. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සංවර්ධනය කරන්න ඕනෑ, ව්‍යාපාර වර්ධනය කරන්න ඕනෑ. අධ්‍යාපනය දියුණු කරන්න ඕනෑ. නමුත් ආණ්ඩුව ඒකෙන් අසාර්ථක වෙනකොට, පාලක දේශපාලන පක්ෂ දකුණේ සිංහල ජනතාවට කියනවා, ආර්ථිකය වැටිලා තිබෙන එක්ක ඇත්ත. ගොවි ජනතාවට, ධීවර ජනතාවට ජීවත් වෙන්න අමාරුයි, ව්‍යාපාර කඩා වැටිලා ඒක ඇත්ත. ඒ වුණාට ජාතිය, ආගම අනතුරේ, ඒ නිසා ජාතිය, ආගම බේරා ගන්න ගෝඨාභය ගේන්න ඕනෑ කියනවා. මහින්ද ගේන්න ඕනෑ කියනවා. ඒ කියන්නේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න විසඳගන්න බැරිවුණාම පාලකයා ජාතිවාදය අවුස්සනවා. දකුණේ සිංහල ජාතිවාදය ඇවිස්සුනාම නැගෙනහිරට මුස්ලිම් නායකයන් එනවා. ඇවිත් ප්‍රශ්න තිබුණු එක ඇත්ත. ඒත් සිංහල ජාතිවාදය උත්සන්න වෙලා. දිගන, අලුත්ගම, ඇති වෙනවා. දඹුල්ලේ පල්ලියට ගහනවා. අනෙක් ප්‍රශ්න පැත්තකින් තියලා අපි එකට එකතු වෙන්න ඕනෑ කියනවා. පාලකයාට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැරි වුණාම පාලකයා ජාතිවාදය වපුරනවා. ඒකෙන් වෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර ගැටුම් ඇති වෙන එක; වෛරය ඇති වෙන එක. එහෙම රටක් හදන්න බැහැ. රට හදන්න නම් ජාතිවාදය පරාජය කරන්න ඕනෑ.

Samanthurai-Public-Rally

ජාතික ජන බලවේගය හැමදාමත් ජනතාව සමග නිවැරදි දේ බෙදා ගනිමින් ජාතිවාදයට එරෙහි දේශපාලනයේ යෙදී සිටියා. අපි 3%ට වැටුණත් ජාතිවාදයට වැටුණේ නැහැ. මේ රට හදන්න නම්, ජාතිවාදය පරාජය කර, ජාතික සමගිය ගොඩනඟන්න ඕනෑ. ජාතිවාදය සහ ගැටුම් ඕනෑ අයට ඒ වෙනුවෙන් තෝරා ගන්න පක්ෂ තිබෙනවා. ජාතික සමගිය ගොඩනඟා රට ගොඩනඟන්න ඕනෑ නම්, ඒ වෙනුවෙන් තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණයි. ඔබගේ බදු මුදල් නිසි පරිදි යොදා ගනිමින් රට ගොඩනඟන්න කටයුතු කරන්නේ ජාතික ජන බලවේගය පමණයි. මේ රැස්වීමට පෙර ව්‍යාපාරික හමුවකට මම සහභාගි වුණා. එතැනට පැමිණ සිටිය මහාචාර්යවරයෙක් මට සඳහන් කළේ වැටුපෙන් රුපියල් 98,000ක මාසික බද්දක් කපා ගන්නා බවයි. ව්‍යාපාරයක් කරගෙන යාමේදී ලබන ලාභය මත බදු ගහලා ආණ්ඩුවට ආදායම් ගන්නවා. කඩෙන් ගන්න සීනි කිලෝ එකට ගහන බද්දෙනුත් ආදායම් ලබාගන්නවා. භාණ්ඩාගාරයේ තිබෙන්නේ ඔබගේ සල්ලි. මහජනයා බදු බර දරාගනිමින් බදු ගෙවන්නේ ඉස්පිරිතාලයට බෙහෙත් ලබාදෙන්නයි, දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්නයි, රටේ සුබසාධනය සලසන්නයි, රටේ සංවර්ධනයට යොදා ගන්නයි. නමුත් බැඳුම්කර වංචාවෙන් ගසා කෑ සල්ලි ඇමතිලාගේ ගෙවල්වලට ගියා. රනිල් වික්‍රමසිංහලාට, සජිත් ප්‍රේමදාසලාට මහජනතාවගේ බදු මුදල්වලට නිසි ලෙස සංවර්ධනයට යොදවන්න බැහැ. එය කළ හැක්කේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට පමණයි.

රනිල් වික්‍රමසිංහ පසුගියදා අමතර රුපියල් කෝටි 875ක මුදලක් ඡන්ද කරන්න මහජනයාගේ ධනයෙන් වෙන්කර ගත්තා. සජිත් ප්‍රේමදාසලාත් එහෙමයි. සංස්කෘතික අරමුදලේ මහජනයාගේ මුදල් කාබාසිනියා කර දැම්මා. මහජන මුදල් පෞද්ගලික දේශපාලන කටයුතුවලට යොදා ගත්තා. ඒ ගොල්ලන්ට රටක් හදන්න පුළුවන්ද? සජිත් ප්‍රේමදාස ඇමතිකම් කළ කාලයේ කෝටි 500ක පාඩුවක් සිදු කළ බව පසුගිය දා වාර්තා වී තිබුණා. මහජනයාගේ මුදල් නාස්ති නොකර, රට ගොඩනඟන්නත් මහජන සුබසාධනයට යොදවන්නත් හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. මේ රටේ ඇත්ත ව්‍යාපාරිකයන්ට අවස්ථාව නොදී ඔවුන් ව්‍යාපාර කරන්න පටන් ගන්නවා. අරක්කු ෆැක්ටරි, පෙට්්‍රල් ෂෙඩ්, පාසිකුඩාවල සංචාරක ව්‍යාපාර සියල්ලම ඒ අය විසින් අත්පත් කරගෙන තිබෙනවා. නමුත් අපේ පාලනයක් යටතේ ව්‍යාපාර කරන්න පෞද්ගලික අංශයට හොඳ වටපිටාවක් හදාදී සාධාරණ බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා. ඒ වගේම හොඳ රාජ්‍ය සේවයක් පවත්වාගෙන යන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ අපේ දේශපාලනඥයන් කිසිකෙනෙක් ව්‍යාපාර කරන්නේ නැහැ. පෞද්ගලික අංශයට ව්‍යාපාරික අවස්ථා පුළුල් කර දී එයින් ලබන ලාභයෙන් සාධාරණ බද්දක් රජයට ලබා ගන්නවා.

Samanthurai-Public-Rally

අපේ රටට ආසන්න කාලයේ නිදහස ලබාගත් ඉන්දියාව හඳට යනවා. මෝටර් රථ, ඖෂධ, ආහාර, කලාපයටම හරියන්න නිෂ්පාදනය කරනවා. ඒ නායකයන්ට රට හදන දැක්මක් තිබුණා. අපේ පාලකයන්ට තිබුණේ මොකක්ද? මෝටර් සයිකලයක් තිබුණු කෙනා හෙලිකොප්ටර් ගන්න තත්වයට හැදුණා. පුංචි ඉඩමක් තිබුණු කෙනා වතු යායවල් මිලදී ගන්න තත්වයට හැදුණා. රට හදන නායකයන් වෙනුවට රට බංකොලොත් කරමින් හොඳටම පොහොසත් පාලකයන් අපේ රටේ ගොඩනැඟුණා. මේ තත්වය වෙනස් කරන්න ඕනෑ නැද්ද? අපි හැමෝම එකතු වී රට හදන ආණ්ඩුවක් පිහිටුවමු. අපි කෘෂිකර්මාන්තය දියුණු කරමින් ගොවි ජනතාවගේ ජීවිත උසස් කරන සැලසුමක් හදා තිබෙනවා. හොඳ බීජ ලබාදීම, අලුත් තාක්ෂණය හඳුන්වාදීම, සහනාධාර ලබාදී ගොවියා ණය උගුලෙන් ගලවා ගැනීම, හොඳ වෙළඳපොළක් සපයා දී ගොවියාගේ ජීවිත උසස් කිරීම අපේ සැලසුම් තුළ තිබෙනවා. ධීවර කර්මාන්තයටත් එහෙමයි. චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන මාළු සිටින ඉසව් ධීවර ජනතාවට පෙන්නා දෙනවා. නවීන තාක්ෂණය අපේ අධ්‍යාපනයට ඇතුළත් කර, අපේ තරුණ පරපුරට ලෝකය ජය ගත හැකි අධ්‍යාපනයක් ලබා දෙනවා. ඒ වගේම හොරකම් නතර කර, පුනර්ජනනීය බලශක්තියට මාරුවී වසරෙන් වසර විදුලි බිල අඩුකිරීමේ සැලසුම් අපි සකස් කරමින් යනවා. ලෝකයේ සංචාරකයන්ට සුදුසු රටක් මේක. දකුණේ වාරකන් කාලයට නැගෙනහිර පැත්තේ මුහුද හොඳයි. නැගෙනහිර වාරකන් කාලයට දකුණේ මුහුද හොඳයි. ඒ කියන්නේ මේක අවුරුද්ද පුරාම හොඳින් සංචාරක කර්මාන්තය පවත්වාගෙන යා හැකි රටක්. අපි මේ සියලු ක්ෂේත්‍රවලට සැලසුම් සකස් කර, ජනතාවට ප්‍රතිලාභ ලබාදෙනවා.

ඒ විතරක් නොවෙයි, පුල්මුඩෙයි ඛනිජ වැලි නිධිය වගේම පොස්පේට් නිධිය වැනි ඛනිජ සම්පත් රැසක් තිබෙනවා. මේ කර්මාන්ත දියුණු කළ හැකි ආයෝජකයන් අපට හමුවී තිබෙනවා. දැන් එප්පාවෙල පොස්පේට්, පස් හැටියට විදේශයන්ට පටවනවා. මිනිරන් අමු කුට්ටි ලෙස රට යවනවා. මේ ඛනිජ සම්පත් වෙනුවෙන් අපි සුදුසු කර්මාන්ත ඇති කරනවා. අපේ රටේ තිබුණු සීනි කර්මාන්ත ශාලා, සිමෙන්ති කර්මාන්ත ශාලා, වසා දමා පිටරටින් ආනයනය කරමින් පාලකයන් දියුණු වෙනවා. මම ඔබ හමුවට ආවේ, මේ තත්වය වෙනස් කරන්න අපි හැමදෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරන්නයි. මේ වෙනකොට විදේශ රටවල් අපට වීසා නොදෙන මට්ටමට මේ පාලකයන් රට විනාශකාරී තැනකට පත්කර තිබෙනවා. දැන් ලෝකයේ ඕනෑම රටකට යා හැක්කේ ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුලේ ඕනෑම කෙනෙකුට වගේම මේ පාලකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණයි. මේ තත්වය වෙනස් කර, ලෝකයේ හැම රටකම ගෞරවයට පාත්‍රවන ශ්‍රී ලංකාවක් ජාතික ජන බලවේගයෙන් ගොඩනඟනවා. අපි ආවේ එහෙම රටක් ගොඩනඟමු කියලා ඔබ සැමදෙනාට ආරාධනා කරන්නයි.

76 වසරක් රට වට්ටපු ශාපය නිමා කරමු. රට වට්ටා ඔවුන් දියුණු වූ යුගය අපි නිමා කරමු. ජාතිවාදය වපුරා ඔවුන් බලය ගත් යුගය නිමා කරමු. සැප්තැම්බර් 28ත් ඔක්තෝබර් 12ත් අතර, ජනාධිපතිවරණය පවත්වනවා. එය නවත්වන්න රනිල් වික්‍රමසිංහ මොන ගැටගැහුවත් බැහැ. මෙතන ඉන්න ඔබ සැම දෙනාගේ යාළුවන් සහ මිත්‍රයන් රටේ අනෙකුත් ප්‍රදේශවල ඉන්නවා. ඒ ප්‍රදේශවල උඩින්ම ඉන්නේ මාලිමාව. ඒ ප්‍රදේශවල ජනතාව අපෙන් අහන්නේ නැගෙනහිර ජනතාව මොනවා කරයිද කියලා. නැගෙනහිර මුස්ලිම් ජනතාව මොකක් කරයිද කියලා. අද වන විට ඔවුන් වෙනස් වී දකුණේ ජනතාව වගේම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගොඩනඟන්න එකතු වෙමින් ඉන්න බව අපි දන්නවා. ඉස්සර මෙහෙම දහස් සංඛ්‍යාත පිරිසක් නැගෙනහිරදි අප හමුවෙන්න ආවේ නැහැ. මේ අවස්ථාව අත් නොහැර හොඳ ජයග්‍රහණයක් ගනිමු. පැරණි දූෂිත පාලකයන්ට ඉඩ නොදී අපි හැමෝම එකතු වී අලුත් යුගයක් නිර්මාණය කරමු. ඉදිරි මාස දෙකහමාර තුළදී අවුරුදු 76ක සාපය නිමාකරමු. ජාතික ජන බලවේගයේ ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනඟමු.

Show More

“මේ වෙලාවේ වැඩවර්ජන කියන්නේ ජනතාව ද්‍රෝහී පාලකයන් වෙත තල්ලුකර හැරීමක්” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත-

(-ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පුනරුදයේ සම්ප්‍රාප්තිය වැඩපිළිවෙළ ජනගත කිරීම – 2024.07.11-) තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් කියලා අපි සෑහෙන කාලයක් කතා කළා. මම ඉස්කෝලේ යන කාලයේ ඒ කතාව ඇසුවාම මට අවුරුදු 60ක් වෙනකොටවත් දියුණු වෙයි කියලා හිතුවා. අපේ දූදරුවෝ තරුණ අවධියට එනකොට රට දියුණු වෙලා තියෙයි කියලා හැඟීමක් ඇති වුණා. නමුත් 2022 අප්‍රේල් මාසයේදී […]

(-ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පුනරුදයේ සම්ප්‍රාප්තිය වැඩපිළිවෙළ ජනගත කිරීම – 2024.07.11-)

NTUC

තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් කියලා අපි සෑහෙන කාලයක් කතා කළා. මම ඉස්කෝලේ යන කාලයේ ඒ කතාව ඇසුවාම මට අවුරුදු 60ක් වෙනකොටවත් දියුණු වෙයි කියලා හිතුවා. අපේ දූදරුවෝ තරුණ අවධියට එනකොට රට දියුණු වෙලා තියෙයි කියලා හැඟීමක් ඇති වුණා. නමුත් 2022 අප්‍රේල් මාසයේදී අපි බංකොලොත් රටක් කියලා ප්‍රකාශ කළා. දැන් අපි ආර්ථික, සමාජ, සංස්කෘතික හැම පැත්තෙන්ම කඩා වැටුණු බංකොලොත් රටක්. පාලකයොත් ඒක නිල වශයෙන් පිළිගත්තා. වැඩකරන ජනතාව හැටියට රාජ්‍ය අංශය, අර්ධ රාජ්‍ය අංශය, සහ ආර්ථිකයේ ප්‍රධානම කොටස වන පෞද්ගලික අංශය සහ වතු ක්ෂේත්‍රය තිබෙනවා. ඒ වගේම විශ්‍රාම ගිය අයගේ ජීවිත සම්බන්ධයෙනුත් කතා කළ යුතුයි. මේ සියලු ක්ෂේත්‍ර කඩා වැටිලා තිබෙන්නේ. වෘත්තිය සමිති ඉල්ලීම් පදනම් කරගත් සියලු සටන් ක්‍රියාමාර්ග දියත් වෙන්නේ පෙර කියූ බංකොලොත් තත්වය යටතේ. මෙයට පෙර එවැනි අවස්ථාවක් තිබුණේ නැහැ.

බංකොලොත්භාවයට පත්වුණු නිසාම 2022දී එතෙක් පැවති දේශපාලනයෙන් මහජනතාව කැඩී වෙන්වුණා. එහි එක ප්‍රතිඵලයක් තමයි ගෝඨාභය රාජපක්ෂට තනතුර අතහැර පලා යන්න සිදුවීම. අරගලයේදී ජනතාව දේශපාලන සංස්කෘතියෙන් කැඩී වෙන්වුණා. 2022 මැයි 09දා අගමැති පලා ගියා. ඊළඟට ඇමති මණ්ඩලය පලා ගියා. ඊළඟට 2022 ජූලි මාසයේ ගෝඨාභය රාජපක්ෂ පලා ගියා. මේ රටේ පැවති දේශපාලනයෙන් කැඩී වෙන්වුණු ජනතාව පාරට බැහැලා අරගලයක් කළ නිසා වෙනම තත්වයක් ඇති වුණා. ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික කඩා වැටීම වගේම පාලකයන් පලා යාම නිසා දේශපාලනයේ අලුත් තත්වයක් ඇති වුණා. මේ වන විට පාලකයන් පලවා හරින්න ඕන කියලා වැඩකරන ජනතාව පෙළගැසී ඉන්න දේශපාලනයක් නිර්මාණය වෙලා තිබෙනවා. කඩා වැටීමට උත්තරය විදිහට පාලකයන් පන්නන්න ජනතාව පෙළගැසී සිටිනවා. පාලකයෝ හැර හැමෝම පොදුවේ පීඩාවට පත්වෙලා ඉන්නේ. ඒ නිසා පාලකයන් පලවා හැර අපේ රටට අලුත්ම තත්වයක් පුනරුදයක්, මෙයට පෙර අපේ රටේ ඇති නොවූ අලුත් තත්වයක් නිර්මාණය කර ගැනීමේ වුවමනාවකින් මුළු රටම පෙළෙනවා. ඒ සඳහා වන සටනක් රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. එය මැතිවරණ භූමියේ සටනයි.

මැතිවරණ භූමියේ සටනෙන් මෙතෙක් සිටි පාලකයන්ට ජයග්‍රහණය කරන්න බැරි බව පාලකයන් සහ ජනතාව තේරුම්ගෙන සිටිනවා. පළාත් පාලන ඡන්දය කල්දැමීම, පළාත් සභා මැතිවරණය ගැන කතා කරන්නේ පවා නැතිවීම, ජනාධිපතිවරණය අභියස විවිධ රඟදැක්වීම් තුළින් පාලකයන්ට ජයග්‍රහණය කළ නොහැකි බව පැහැදිලිව තේරුම් යමින් තිබෙනවා. ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම කියන සංවාදයෙන් පටන් ගත් විවිධ සාකච්ඡා තවදුරටත් කරළියට ගෙන එමින් පවතිනවා. බොහෝදුරට ඔක්තෝබර් 05වැනි සෙනසුරාදා ජනාධිපතිවරණය පවත්වයි කියලා විශ්වාස කරනවා. මෙතෙක් සිටි පාලකයන් පලවා හැර වැඩකරන ජනතාව මූලික කරගත් ප්‍රගතිශීලී ජනතාවගේ පාලනයක් පිහිටුවා ගැනීමේ ආසන්නයට අපි ඇවිත් ඉන්නවා. ඒ නිසා අපේ වෘත්තීය සටන් ක්‍රියාමාර්ග තෝරන්නේ මේ නව දේශපාලන තත්වය පිළිබඳව හොඳින් සලකා බලමිනුයි. එහෙම නැතිව සටන් ක්‍රියාමාර්ග තෝරන්න කාටවත් අයිතියක් නැහැ. වැඩකරන පංතියට සහ පීඩිත ජනයාට තමන්ගේම වූ පාලනයක් පිහිටුවා ගන්න ආසන්න මොහොතකදී ඕනෑම ඉල්ලීමක් සම්බන්ධයෙන් මේ නව දේශපාලන තත්වය ගැන කල්පනා කළ යුතුමයි. තත්වයන් ගෙන් පරිබාහිරව සටන් නැහැ.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික සහ වතු ක්ෂේත්‍රයේ වගේම විශ්‍රාමිකයන්ගේ ගැටලුවලට උත්තර සොයන්නේ කොහොමද කියන එක සලකා බලන්න ඕනෑ, මේ පවතින තත්වය යටතේයි. එයින් වියුක්ත වී තීරණ ගන්න ප්‍රගතිශීලී කිසිකෙනෙකුට හැකියාවක් නැහැ. වැටුප් විෂමතා ප්‍රශ්නයක් සහ තවත් කරුණු පදනම් කරගෙන දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මකයි. රුපියල් 25,000ක් දක්වා දීමනාවක් ලබාගැනීම වෙනුවෙන් තවත් අරගලයක් යනවා. ඊට කලින් වෛද්‍යවරුන්ට රුපියල් 35,000ක් වූ දීමනාව 70,000 දක්වා වැඩි කළා. එය වැඩිකරන්න ඕනෑ. ඒ සම්බන්ධයෙක් කිසි ගැටලුවක් නැහැ. මාණ්ඩලික තලයේ අයටත් වැඩි කළා. ඒ එක්කම අනිත් අයට වැඩිකරන්න ඕනෑ කියන සටනත් හරියටම හරි. ගුරුවරුන්ගේ අරගලයේදී වෘත්තිය සමිති එකමුතුවක් තිබෙනවා. ඒ එකමුතුවකින් වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කර, මේ දක්වා ලබාගත යුතුව තිබෙන වැටුප් වර්ධකයේ 2/3ක කොටස ලබාගැනීමට ගෙන ආවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් වැඩවර්ජන නොවෙන උද්ඝෝෂණ තිබෙනවා. විශ්වවිද්‍යාල වර්ජනය තවම තිබෙනවා. එතන සියලු වෘත්තිය සමිති එකතු වී ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් ඔක්කෝම සාධාරණයි.

NTUC

මේ තත්වය තුළ වෘත්තිය ක්‍රියාමාර්ගවලට එරෙහිව ජනතාවගේ විරෝධයක් පවතිනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්නය බරපතළයි. කොරෝනා ප්‍රශ්නයේ ඉඳලාම ආර්ථික අර්බුදය දක්වා දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා තිබෙන්නේ. මේ වගේ වටපිටාවක ගුරුවරු වැඩවර්ජනයක් කළාම දෙමාපියන්ට සහ දරුවන්ට රිදෙනවා. මේ පාලකයන් පලවා හැරලා නව පාලනයක් පිහිටුවා ගැනීමේ අරගලයේදී ගුරුවරු, දෙමාපියන්, දරුවන්, සියලු දෙනාම ඉන්නේ එක පැත්තේ. වැඩවර්ජනයකදී සිදුවන්නේ ඒක දෙකට බෙදීමයි. දෙමව්පියන් සහ දරුවන් එක පැත්තක හිටගෙන ගුරු විදුහල්පතිවරු අනෙක් පැත්තේ හිටගන්නවා. එල්ලෙන්න වැලේ වැල් නැතිව ඉන්න රනිල් වික්‍රමසිංහ ඇතුළු පාලක කල්ලිය දෙමව්පියන් සහ දරුවන්ගේ පැත්තේ හිට ගන්නවා. පොදු ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න පිදුරු ගහක හරි එල්ලෙන්න පාලක කල්ලිය උත්සාහ කරනවා. ගුරු විදුහල්පතිවරුන්ගේ වර්ජනය රනිල් වික්‍රමසිංහලා එල්ලෙන්න වැලක් බවට පත්කර ගන්නවා. ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ දැක්ම අනුව මේ වෙලාවේ ගුරුවරුන්ගේ වැඩවර්ජනය පාලකයන්ට එල්ලෙන්න අවස්ථාවකුත් පොදු අරගලයට අවාසියකුත් නිර්මාණය වෙනවා. අපි කියන්නේ ගුරු විදුහල්පතිවරුන්ට මේ පාලනය පන්නන්න අරගල කරමු කියලා. ඔව්, මේ පාලකයන්ගෙන් 2/3ක වැටුප් වැඩිවීම දිනා ගන්නත් බැහැ.

අපි වැඩවර්ජනය නොකර, වෙනත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල යෙදීමට යෝජනා කරනවා. නමුත් වෘත්තිය සමිතිවලින් අඛණ්ඩ වැඩවර්ජනයක් කරමු කියන යෝජනාව එනවා. මහින්ද සහෝදරයා වගේ කෙනෙකුට ඒ වගේ තැනකදී පංතියේ සමගිය තියාගන්න තත්වයන් තුලනය කර ගන්න ඕනෑ. පොදු ක්‍රියාමාර්ගවල ඉන්නත් ඕනෑ. එම වෘත්තිය සමිතිවල දැක්ම ජාතික අරගලය වෙත රැගෙන එන්න අභ්‍යන්තර අරගලයක් කරන්න වෙනවා. වැඩවර්ජනය වෙනුවට ගුරුවරු, දෙමාපියන් සහ පොදු ජනතාව සම්බන්ධ කර ගත් ඉදිරි වෙනත් ක්‍රියාමාර්ගවලට යන්න එකඟ වී තිබෙනවා. එය හොඳ තත්වයක්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉල්ලීම් දිනා ගන්න වැඩවර්ජනයකට යා යුතු බව යෝජනා කළ අවස්ථාවේ අපි එය නොසුදුසු බව ප්‍රකාශ කළා. අපි සියලුම දෙනා එකතු වී “ඉල්ලීම් ලබාදෙන්න බැරි පාලකයන් පලවා හරිමු” කියන සටන් පාඨය ඉදිරියට ගන්න ඕනෑ. දුම්රිය වැඩවර්ජනයක් කරනවා නම් දින කිහිපයකට පෙර එය ප්‍රකාශයට පත්කරන ලෙස බොහෝ කාලයක සිට අපි ඒ සහෝදරවරුන්ට පෙන්වා දී තිබෙනවා. වැඩ ඇරිලා සවස ගෙදර යන්න එනවිට වැඩවර්ජනය කරලා නම් පොදු ජනතාව අසීමිත පීඩාවකට පත්වෙනවා. වෘත්තිය සමිති ව්‍යාපාරය මේ කරුණු ගැන වැඩිදුරටත් අවධාරණය කරන්න ඕනෑ.

මේ පාලකයන් වැඩකරන ජනතාවට ලබාදුන් සටන් භූමි තිබුණා. මහපාර එක සටන් භූමියක්. මහපාරේ උද්ඝෝෂණ ජාතික මට්ටමකට ගෙන ආවොත් ඒක වැඩවර්ජනයකට වඩා ප්‍රබලයි. උද්ඝෝෂණ එක්ක පොදු ජනතාව සම්බන්ධ වෙනවා මිස එරෙහි වෙන්නේ නැහැ. නමුත් ගුරුවරුන්ගේ වැඩවර්ජනයක් කළොත් දෙමාපියන් සහ දරුවන් එරෙහි වෙනවා වගේම පාලකයන්ට එල්ලෙන්න පිදුරු ගසුත් හම්බ වෙනවා. අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනත් අධ්‍යාපනය විනාශ කරන්න ක්‍රියාකළ රනිල් වික්‍රමසිංහලා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින වීරයින් බවට පත්වෙන්නත් අවස්ථාව සලසා ගන්නවා. වැඩවර්ජනය තුළින් සමාජය දෙකට බෙදෙනවා. උද්ඝෝෂණයේ ප්‍රබලත්වය එන්නේ නිවැරදි මතවාදී ජයග්‍රහණයකින්. 5/6ක බලයක් තිබූ ආණ්ඩුවක් එක්ක පොදු ජනතාව සිටි 1980 ජූලි වර්ජනය අවස්ථාවේ පාලකයන්ට එය තලාපෙලා දාන්න හැකි වුණා. අද පොදු ජනතාව පෙළගැසී ඉන්නේ පාලකයන් පලවා හරින්න. එවැනි අවස්ථාවක පොදු ජනතාවගෙන් පිටතට සටන ගෙන යනවා කියන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව පාලකයන්ට ඉඩ සලසා දීමක්.

NTUC

මේ දක්වා විවිධ සටන් භූමිවල වෘත්තිය ක්‍රියාමාර්ග යෙදී තිබුණත් පොදු ජනතාවට මැතිවරණ සටන් භූමියේ දිනන්න හැකි වී නැහැ. එක්කෝ බලවේග මර්දනය කළා. පක්ෂ තහනම් කළා. නමුත් ලංකාවේ පළමුවැනි වතාවට ඔවුන්ගේ සටන් භූමියක් වූ මැතිවරණ භූමියට ඉතාම සංවිධානාත්මකව පොදු ජනතාව කඩා වැදී තිබෙනවා. ඒ නිසා පාලකයන් නිතරම උත්සාහ කරනවා, වෘත්තිය සමිති සහ ජනතාව අතර බෙදීමක් ඇති කරන්න. නමුත් පාලකයන් වෙට්ටු දාලා ජනතාවගේ අයිතීන් ලබානොදී මැතිවරණත් කල්දාන්න උත්සාහ කරනවා නම්, සටන් භූමිය වඩාත් ශක්තිමත් කර ගනිමින් යා යුතු වෙනවා. එසේ නොකර පාලකයන්ට එල්ලෙන්න වැල් ලබාදීම විශේෂයෙන් සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉඩ ලබානොදිය යුතුයි. අඛණ්ඩ වැඩවර්ජන නැහැ, අඛණ්ඩ අරගල තිබෙනවා. මේ යන්නේ ගෝල්ෆේස් අරගලයේ තවත් අදියරක්. ගෝල්ෆේස් එකේ සම්පූර්ණ කර ගන්න බැරිවූ ජයග්‍රහණය මැතිවරණ සටන් බිමේදී ලබා ගන්න ආසන්න වෙමින් සිටිනවා. ජනාධිපති කාර්ය මණ්ඩලයේ වැටුප් ලබන වෘත්තිය සමිති නායකයන් යැයි කියා ගන්නා අය ජනතාව පීඩාවට පත්කරන වෘත්තිය සමිති අරගල එළියට දාන්න නොයෙක් උත්සාහ කරනවා. දුම්රිය වර්ජනය එහෙම වර්ජනයක්ද කියලා සැකයක් අපට මතුවෙනවා. පැරණි සම්ප්‍රදායන් මත පදනම් වෙලා අරගල කරන යුගයක් නොවෙයි දැන් තිබෙන්නේ. වෙනස්ම තත්වයක් තිබෙන්නේ. මේ තත්වය සමග වෙනස් වී නව අරගල හඳුන්වා දෙන්න බැරි නම්, එය මෙතෙක් පැවැති වෘත්තිය සමිති අරගලවලටත් සිදුකරන අපරාධයක්. දැනුවත්ව හෝ නොදැනුවත්ව අරගලයේ ජයග්‍රාහී කොඩිය එසවීමට එරෙහි ක්‍රියාමාර්ග ගන්නවා නම්, එය ද්‍රෝහී ක්‍රියාවක්.

කළ යුත්තේ පුනරුද යුගය ලබා ගැනීමට අලුත් තත්වයන් සමග වෙනස් වීමයි. මෙතැනින් ඉදිරියට ජනතාවාදී පාලනයක් පිහිටුවා ගන්නා වටපිටාවක වෘත්තිය අරගල සටන්, සියල්ල කරන අතරේ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය කිසිදු වැඩවර්ජනයකට සහභාගී නොවීම ස්ථිරයි. අනෙකුත් වෘත්තිය සමිතිවලට අපි යෝජනා කරන්නේ හැමදෙනාම එක්වී මේ පාලකයන් පන්නා දමමු කියලයි. ලෝක ඉතිහාසය පුරාම පැවති සටන් සියල්ලම ප්‍රගතිශීලී නැහැ. ප්‍රතිගාමී සටන් තිබිලා තියෙනවා. ප්‍රගතිශීලී කොටස් අතර ප්‍රතිගාමිත්වයේ කොටස් සටන් කරනවා. සටනක් නොකළ යුතු වෙලාවක වැඩිපුරම සටන් ඉල්ලන්නේ ප්‍රතිගාමී කණ්ඩායම්. මේ තත්වයන් හඳුනාගන්න අපට හැකි වෙන්න ඕනෑ. රනිල් රාජපක්ෂලා මුළුමනින්ම පලවා හැරීමට වැඩවර්ජනයක් කැඳවූවොත් හැර ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය වෙනත් ඉල්ලීම් පදනම් කර ගත් වැඩවර්ජන කරන්නේ නැහැ. ඒ වෙනුවට වෙනත් අරගල ඕනෑ තරම් තිබෙනවා. පසුගිය දවස්වල “වැඩ නතර කර සටන් කරනවා මිස වැඩ කරමින් සටන් කරන්නේ නැත.” කියලා සටන් පාඨයක් ආවා. මේ සටන් පාඨය රනිල්ලාගේ නැතිනම් සජබ එකක් මිස පොදු ජනතාවගේ නොවෙයි. බැලූ බැල්මට ප්‍රගතිශීලී වුණත් ගැඹුරින් බැලුවාම මේ සටන් පාඨය පට්ට ප්‍රතිගාමියි. මහින්දලා ගෝඨාභයලා පැන්නුවේ වැඩ කරමින් ගෙන ගිය අරගලවලින් තමයි.

ගුරුවරුන්ගේ දරුවන්ගේ වුවමනාවන් වෙනුවෙන් පාරට එන්න දෙමාපියන්ට පුළුවන්. විශේෂයෙන් මේ වෙලාවේ වැඩවර්ජන කියන්නේ ජනතාව ද්‍රෝහී පාලකයන් වෙත තල්ලු කර හැරීමක්. ඒ කියන්නේ පාලකයන් වෙනුවෙන් කරන සටනක්. නමුත් අපි ඉල්ලීම් දෙන්න බැරි පාලකයන් පන්නා හැරීමට පොදු අරගලයක් කරමු. ගෝල්ෆේස් අරගලය බාගයට සම්පූර්ණ නොකර පාර්ලිමේන්තුව වටකරන තැනට මුළු ජනතාවම ගෙන ආවා නම් ඒ අරගලය සම්පූර්ණ වෙනවා. නමුත් ඇතැම් ගෝල්ෆේස් අරගලයේ නායකයන් ඒ අරගලයට යන්න නොදුන්නා විතරක් නොවෙයි, නිවේදන පවා නිකුත් කළා. ජනාධිපති පලවා හැර පාර්ලිමේන්තුව තියා ගත්තාම නැවතත් ගොඩනැගූ ජනාධිපති ධුරය නිසයි ජනතාව දිගින් දිගටම බැට කන්නේ. ගෝල්ෆේස් අරගලය බාගයට කිරීම නිසා රනිල් වික්‍රමසිංහ කියන පාලකයෙක් දුෂ්ට පාර්ලිමේන්තුවෙන් ගොඩනගාගෙන මේ දක්වා ක්‍රියා කරනවා. අවුරුදු 76ක පාලනය පලවා හරින්න නිවැරදිව ක්‍රියා නොකළහොත් ගෝල්ෆේස් අරගලය වගේම මේ අවස්ථාවත් ගබ්සා විය හැකියි. අපි එයට ඉඩ නොදිය යුතුයි.

මැතිවරණ සටන් බිමේදී පීඩිත ජනතාව නැවත ඔසවා තිබෙන ජයග්‍රහණයේ කොඩිය එසවීම අනුවණ වැඩවර්ජනවලින් නැවත අඩපණ විය හැකියි. අනුවණ කියන්නේ පොදු ජනතාව බෙදන ක්‍රියාමාර්ගවලටයි. ගෝල්ෆේස් අරගලය ගබ්සා වුණා වගේ මේ අරගලයත් ගබ්සා වුණොත් ඒක අපරාධයක්. දැන් වෘත්තිය සමිති අරගලයේ ඉන්න ප්‍රතිගාමීන් තරම් සටන්කාමී නැහැ වෙන කවුරුවත්. මැතිවරණ බිමේ අරගලය අඩපණ කරන්න වෘත්තිය සමිති ප්‍රතිගාමිත්වය එනවා නම් වැඩබිමේ යහළු මිත්‍රකම් අත්හැර ඒ ප්‍රතිගාමිත්වය පරාජය කළ යුතුයි. ඒ වගේම වෘත්තිය සමිති සන්ධාන ප්‍රතිගාමිත්වයට යනවා නම්, අපි ඒ සන්ධානවලින් ඉවත්වී අපේ ස්ථාවරය මත නිවැරදි ක්‍රියාමාර්ග සහිතව අරගලය ඉදිරියට ගත යුතුයි. වැඩකරමින් අරගල කරන මූලික සටන් භූමිය ශක්තිමත් කිරීමේ නව ක්‍රියාමාර්ග සොයමු. වැඩකරන ජනතාවගේ බලයක් පිහිටුවා අපේ අයිතිවාසිකම් දිනාගනිමු.

Show More

“මේ පනත යන වේගයයි ඡන්දය පැවැත්වෙන වේගයයි බැලුවාම පනත පාර්ලිමේන්තුවට එන කොට රනිල් ගෙදර” -ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක-

(-සභාව කල් තබන අවස්ථාවේ ඒකාබද්ධ යෝජනාව ඉදිරිපත් කරමින්… 2024.07.11 දින පාර්ලිමේන්තුව-) “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සෙසු අදාළ නීති මගින් අවශ්‍ය බවට පනවා ඇති පරිදි 2024 සැප්තැම්බර් මස 17 වන දින සිට ඔක්තෝබර් 16 දින දක්වා වූ කාල පරිච්ඡේදය තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවට මෙම සභාව යෝජනා සම්මත කර සිටී.” බැලූ බැල්මට මෙවැනි යෝජනාවක් අවශ්‍ය වන්නේ නැහැ. […]

(-සභාව කල් තබන අවස්ථාවේ ඒකාබද්ධ යෝජනාව ඉදිරිපත් කරමින්… 2024.07.11 දින පාර්ලිමේන්තුව-)

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සෙසු අදාළ නීති මගින් අවශ්‍ය බවට පනවා ඇති පරිදි 2024 සැප්තැම්බර් මස 17 වන දින සිට ඔක්තෝබර් 16 දින දක්වා වූ කාල පරිච්ඡේදය තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවට මෙම සභාව යෝජනා සම්මත කර සිටී.”

බැලූ බැල්මට මෙවැනි යෝජනාවක් අවශ්‍ය වන්නේ නැහැ. ව්‍යවස්ථාවටත් ඊට අනුරූපී වන පරිදි සකස් කර තිබෙන නීතිවලටත් අනුව ඉතා පැහැදිලිව ජනාධිපතිවරණය මේ සැප්තැම්බර් 16ත් ඔක්තෝබර් 17ත් අතර පැවැත්විය යුතුයි. ඒ නිසා විශේෂ යෝජනා සම්මතයක් අවශ්‍ය වන්නේ නැහැ. මේ 17 වෙන කොට මැතිවරණ කොමිසමට බලය එනවා. පාර්ලිමේන්තුවට මෙවැනි යෝජනාවක් ගෙන ඒමට සිදුව තිබෙන්නේ ජනතාව තුළ විශාල සැකයක් ව්‍යාකූලත්වයක් නිර්මාණය කර තිබෙන නිසයි. මෙය අද පමණක් නොවෙයි, පළාත් පාලන මැතිවරණය කල් දැම්මා. පළාත් සභා මැතිවරණය අවුරුදු පහකට ආසන්න කාලයක් තියලා නැහැ. ඒ නිසා ජනතාව තුළ මතයක් තිබෙනවා ජනාධිපතිවරයා මොකක් හරි වෙට්ටුවක් ජනාධිපතිවරණයට දමයි කියලා. පළාත් පාලන ඡන්දය නැතිනම් කොමසාරිස්වරයෙකුගෙන් පාලනය කළ හැකියි. පළාත් සභාව පිහිටුවා නැත්නම් ආණ්ඩුකාරවරයෙකුගෙන් පාලනය කළ හැකියි. නමුත් ජනාධිපතිවරයෙක් නැතිනම් ආණ්ඩුවකුත් නැහැ. මොකද, කැබිනට් මණ්ඩලයේ මූලාසනය හොබවන්නේ ජනාධිපතිවරයායි. ඒ නිසා අපි එකඟ නොවෙන කරුණු තිබුණත් අපේ ව්‍යවස්ථාවේ මේ සම්බන්ධව පරිපූර්ණව කරුණු දක්වා තිබෙනවා. ජනාධිපතිවරයාගේ ධුර කාලය පැයක්වත් හිස්ව තැබෙන ලෙස ව්‍යවස්ථාව සකස් කර නැහැ. ඒ නිසා අනිවාර්යයෙන් ජනාධිපතිවරයෙක් අපේ රටේ සිටිය යුතුයි.

ඊළඟට පැන නගින ප්‍රශ්නය මේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු පහද, හයද කියන එකයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) වගන්තියේ ඉතා පැහැදිලිව සටහන් කොට තිබෙනවා ජනතාව විසින් තෝරා ගන්නා ජනාධිපතිවරයා පස් අවුරුදු ධුර කාලයක් දරන බව. හැබැයි 83 වගන්තියේ ‘ආ’ වගන්තියේ සඳහන් වන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සාවුරුද්දක් ඉක්මවන්නේ නම්, ජනමත විචාරණයක් අවශ්‍ය බවයි. මේ වගන්තිය පදනම් කරගෙන රංගේ බණ්ඩාර මහ ලේකම්වරයා ගමක තිබූ රැස්වීමකදී ප්‍රකාශ කළා, ජනාධිපතිගේ ධුර කාලය පහ සහ හය කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් මතුවී තිබෙන බැවින් එය විසඳීම සඳහා සංශෝධනයක් ගෙන ඒමට කැබිනට් මණ්ඩලය අනුමත කළා කියලා. නමුත් ඇමතිවරුන් සඳහන් කළේ එවැනි කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ගෙන ආවේ නැහැ කියලා. නමුත් ඊට පසුව කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා. එයින් පැහැදිලි වෙන්නේ රංගේ බණ්ඩාරත් නියෝජනය කරන යම් ස්ථානයක සාකච්ඡාවක් සිදුවී තිබෙන බවයි. එයින් කියැවෙන්නේ මාලිගාවක් ඇතුලේ කුමන්ත්‍රණයක් සිදුවෙන බවයි. වජිර, ඔබ අනිවාර්යයෙන්ම එතැන ඉන්නවා මයි. එය අනිවාර්යයි. සිදුවී තිබෙන සාකච්ඡාව රංගේ බණ්ඩාරට සංයමයෙන් ආරක්ෂා කර ගන්න බැරිවී පැන්නා. ඊට පසුව කැබිනට් මණ්ඩලයට මෙවැනි පත්‍රිකාවක් ගෙන ආවා. එහි සඳහන් කර තිබෙන්නේ “සාවුරුද්දක් ඉක්මවා යන වචන වෙනුවට පස් අවුරුද්දක් ඉක්මවා යන වචන මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ඉදිරිපත් කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා විසින් ගෙන ආ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.” කියලයි.

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ බලය තිබෙන්නේ කැබිනට් මණ්ඩලයටවත් පාර්ලිමේන්තුවටවත් නොවෙයි; ශ්‍රේෂ්ඨාධිකරණයටයි. ධුර කාලය පහද, හයද කියන ප්‍රශ්නය අවස්ථා තුනකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසඳා තිබෙනවා. 2018 ජනවාරි මාසයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් 2021 දක්වා ධුරය දැරිය හැකිදැයි මතය විමසුවා. ඒ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අවුරුදු පහක් ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. දෙවන අවස්ථාව 2019 ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පසුව පුද්ගලයෙක් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් නැවත එම තත්වය ප්‍රශ්න කළා. ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපනයක් ප්‍රකාශ කරන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් ලබාදෙන්නයි ඔහු පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. ඒත් එය විභාගයට ගැනීමෙන් තොරව නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කළා. ලෙනව ගෙනාවා වගේ පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. ඊට පසුව ලෙනව මහතා ඉදිරිපත් කළ පෙත්සමත් නිෂ්ප්‍රභා කර තිබෙනවා. ඒ විතරක් නොවෙයි ධුර කාලය වසර පහක් බව තීරණය කර, ජනාධිපතිවරණයකුත් පවත්වා තිබෙනවා. අර්ථනිරූපණයක් පමණක් නොව ප්‍රායෝගිකවත් සිදුකර තිබෙනවා. ව්‍යවස්ථාව පිළිබඳ අර්ථනිරූපණය කිරීමේ බලය තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා තුනකදී ධුර කාලය පිළිබඳව සිය මතය ඉදිරිපත් කර තිබෙනවා.

19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී 83වැනි වගන්තියට අත නොතිබ්බේ එය ජනමත විචාරණයකට තුඩු දෙන නිසයි. ඒ වගේම 32(ආ) වගන්තියේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු පහක් ලෙස නිශ්චිතව දක්වා තිබෙනවා. තව මොන විකාරයක්ද මේ පුටුවේ ඉන්න හදන්නේ? නිශ්චිතව ඒ ගැන සඳහන් කර තිබුණත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේත් ජනතාවගේත් අදහසක් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ගේම්කාරයෙක් නිසා මොකක් හරි ගැටයක් ගහයි කියලා. වජිර අබේවර්ධන කියනවා තව අවුරුදු 10ක් ඉන්න දෙන්න ඕනෑ කියලා. ඔබතුමා මුක්කුවටත් තියන්න වෙයි. රංගේ බණ්ඩාර කියනවා තව අවුරුද්දක් තියන්න ජනමත විචාරණයක් තියන්න ඕනෑ කියලා. මේ නිසා රට තුළ ව්‍යාකූලත්වයක් මතුව තිබෙනවා. රනිල් මාර සූත්තරකාරයා, ගැටකාරයා කියලා හිතාගෙන ඉන්න අය පව්. රනිල් සූත්තරකාරයෙකුත් නොවෙයි. ගැටකාරයෙකුත් නොවෙයි. ඒ ඔළුවෙන් ගහපු හැම ගේමක්ම අසාර්ථකයි. එහෙම මාර ගේම්කාරයෙක් නම්, එයා වැඩිම ගේම් ගැහුවේ පක්ෂය තුළ නේ. එයා ආණ්ඩු මෙහෙය වූවාට වඩා මෙහෙයවලා තිබෙන්නේ පක්ෂයක්. 94 ඉඳලා 2019 වනතෙක් පක්ෂයක් මෙහෙය වූවා. එයා 2002 ඉඳලා 2004 වෙනකම් ආණ්ඩුව මෙහෙය වූවා. ඊට පස්සේ 2015 ඉඳලා 2019 වනතුරු මෙහෙය වූවා. දැන් අවුරුදු දෙකක් මෙහෙය වනවා. පක්ෂය අවුරුදු 30ක් මෙහෙයවලා ගේම් ගහලා අන්තිමට පාර්ලිමේන්තුවටවත් එන්න බැරි වුණා. එයා අටවපු එකක්වත් සාර්ථක වෙලා නැහැ. ඒ නිසා ජනාධිපතිවරණය වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කිසිවක් සාර්ථක නොවෙන බව පැහැදිලියි.

ගේම් මාස්ටර් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තමන්ව ඝාතනය කරන්න සැලසුම් කළ පුද්ගලයාත්, කරට අත දාගන්න තරම් ගේම් ගැහුවා. මේ සංශෝධනය හදිසි පනතක් විදිහට ගේන්න උත්සාහ කරනවා. 2010දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 18වැනි සංශෝධනය හදිසි පනතක් ලෙස ගෙනාවා. අවස්ථා දෙකක් වෙනුවට ඊට වඩා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකියි කියන සංශෝධනය ගෙනාවා. 2016දී ඔහුට මතුවන ගැටලුවකට අදාළ කරුණක් 2010 දෙසැම්බර් මාසයේදී ව්‍යවස්ථා සංශෝධනයක් හදිසි පනතක් ලෙස ගෙනාවා. නැවුම් පාර්ලිමේන්තුවේ 2/3ක සම්මතය ගන්න බලාගෙන ගෙන ආ සංශෝධනය අසාර්ථක වුණා. හදිසි පනත් ලෙස ගෙන එන්නේ ඉතාමත් අහිතකර වුවමනාවන් වෙනුවෙන් නිසා 19වැනි සංශෝධනයේදී එම අවස්ථාව ඉවත් කරනු ලැබුවා. 21 වැනි සංශෝධනයේදී හදිසි පනත් ගෙන ඒම, ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් සහ හදිසි ආපදාවක් ඇති වුණු අවස්ථාවකදී අවශ්‍ය නීති සම්පාදනය කිරීම සඳහා කියන අවස්ථා දෙකට සීමා කළා. ඒ වගේම ව්‍යාවස්ථා සංශෝධනයක් හදිසි පනතක් ලෙස ගෙන ආ නොහැකි බව විශේෂයෙන් සඳහන් කර තිබෙනවා. ඒ නිසා හදිසි පනතක් හැටියට මේ සංශෝධනය පාර්ලිමේන්තුවට එන්නේ නැහැ.

සමාජයේ තවත් සාකච්ඡාවක් හදනවා ධුර කාලය පහකට අඩු කරන යෝජනාවක් ගෙනත් කාරක සභා අවස්ථාවේදී ගේමක් ගහයිද කියලා. පළාත් සභා මැතිවරණ සංශෝධන පනතේ හරයට මුළුමනින්ම පටහැණි ලෙස සංශෝධන සිදුකළා. ඒ නිසා නීති සම්පාදකයන් යම් පනතක හරයට බලපාන සංශෝධන කාරක සභා අවස්ථාවේදී ගෙන ආ නොහැකි බව තහවුරු කළා. හදිසි පනතක් හැටියට ගෙන එන්නත් බැරි නම්, කාරක සභා අවස්ථාවේදී හරයට පටහැණි සංශෝධන ගෙන එන්නත් බැරි නම් කැබිනට් යෝජනාවක් සම්මත කළේ ඇයි? කැබිනට් සංශෝධනය අනුව අදාළ සංශෝධන නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් සම්පාදනය කරන්න ඕනෑ. ඒ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට එන්න ඕනෑ. කැබිනට් මණ්ඩලයෙන් සම්මත කළ පසුව ගැසට් පත්‍රයේ පළ කර සතියක් තිබෙන්න ඕනෑ. ඉන්පසුව පාර්ලිමේන්තුවේ සති දෙකක කාලයක් තිබෙන්න ඕනෑ. ඒ අතර අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර, සති තුනක කාලයක් ලබා දෙන්න ඕනෑ. මේ ලෙස ආසන්න වශයෙන් සති නවයකට වැඩි කාලයක් ගත වෙනවා.

ඒ අතර මෙම 17 වැනි දින ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය මැතිවරණ කොමිසමට ලැබෙනවා. මැතිවරණ කොමිසම දින 16ත් 21ත් අතරතුර නාම යෝජනා කැඳවිය යුතුයි. දින 28ත් 42ත් අතර ඡන්දය පැවැත්විය යුතුයි. මේ පනත යන වේගයයි ඡන්දය පැවැත්වෙන වේගයයි බැලුවාම පනත පාර්ලිමේන්තුවට එන කොට රනිල් ගෙදර. තමන්ගේ කාලය ඇතුළත කිසිදු අදාළත්වයක් නැති පනතක්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉතා හොඳින් අර්ථ නිරූපණය කර දී තිබෙන නීතියක් සම්බන්ධයෙන් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා වගේ කෙනෙක් කැබිනට් එකේදි අත ඉස්සුවේ ඇයි? මේක පිස්සුවක් කියලා තේරෙන්නේ නැද්ද? ඇත්තටම ගත්තොත් 83(ආ) වගන්තිය නිෂ්ක්‍රීය වගන්තියක්. පණ නෑ. 32(ආ) වගන්තියට ඇතුල් කර තිබෙන සංශෝධන අනුව 83(ආ) වගන්තිය පණ නැති කර තිබෙනවා. එවැනි මළ වගන්තියක් අයින් කළ යුතු නම්, පස්සේ වෙලාවක අයින් කරමු. වැදගත්ම දේ 83වැනි වගන්තියට අත තියන්න නම්, ජනමත විචාරණයක් ඕනෑ. ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු වෙලාවක ජනමත විචාරණයකුත් ගෙන ඒමට උත්සාහ කිරීමෙන් සමාජය තුළ විශාල ව්‍යාකූලත්වයක් ඇති වෙනවා. මේ සියල්ල කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයි. නිරන්තරයෙන් සමාජය තුළ සැකයක්, දෙගිඩියාවක් ව්‍යාකූලත්වයක්, අවිශ්වාසයක් නිර්මාණය කිරීම ඔහුගේ විනෝදාස්වාදයක් වෙලා තිබෙනවා. සමාජය ව්‍යාකූලත්වයට පත්කර හිනාවෙන එක රනිල් වික්‍රමසිංහ තමන්ගේ විනෝදය කරගෙන. මන්ත්‍රිවරු අතර සැකය, අවිශ්වාසය වර්ධනය කර, හිනාවෙන එක ඔහුගේ විනෝදාංශයක්. ගැටයක් ගහනවා, කට්ටිය ඒ පිටුපස යනවා,කට්ටිය එකතුවෙලා හිනා වෙනවා. හරි ලාමක මනසක් තිබෙන්නේ.

එහෙම කෙනෙකුට සුසිල් ප්‍රේමජයන්ත වගේ කෙනෙක් යට වෙන්නේ මොකටද? කැබිනට් එකේදි මේ ගැන කියන්න තිබුණානේ. නීති විශාරදයා, මහා ප්‍රාඥයා විජේදාස රාජපක්ෂ මැතිතුමා කැබිනට් එකේ ඉන්නවා. ඒ ගොල්ලෝ මේක අනුමත කරලා එවනවා නේ. සමාජය තුළ ව්‍යාකූලත්වයක් හදන්න විවිධ ගැට ගැසීම් අද පාර්ලිමේන්තුවේදී පරාජය කළ යුතුයි. මැතිවරණ කොමිසමට දන්වන්න රනිල් වික්‍රමසිංහ උඩ ඉඳලා ගහන ගැටවලට මේ පාර්ලිමේන්තුව යටත් වෙන්නේ නැති බව. පාර්ලිමේන්තුව විසින් පනවා තිබෙන නීතිවලට අනුරූප වන පරිදි, ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස අපි ඉල්ලනවා. එවැනි ඉල්ලීමක් අවශ්‍ය නොවුණත් පවතින ව්‍යාකූලත්වය අවසන් කිරීම සඳහා මේ යෝජනාව සම්මත කර ගන්නවා. රනිල් වික්‍රමසිංහ ව්‍යාකූලත්වයට පත් වී සිටිනවා. මම දන්නා පරිදි ආණ්ඩුව තුළින් අපේක්ෂකයන් තුන් දෙනෙක් ඉදිරිපත් වීමේ සූදානමකින් සිටිනවා. කැබිනට් මණ්ඩලය තුළම දෙන්නෙක් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ, විජේදාස රාජපක්ෂ දෙදෙනාම ජනාධිපති අපේක්ෂකයන් බව කියනවා. හැබැයි දෙන්නාම කැබිනට් මණ්ඩලයේදී එකතු වෙනවා. ඊට අමතරව ආණ්ඩු පක්ෂයේ ධම්මික පෙරේරා මහතා අපේක්ෂකයෙක් ලෙස එන බවත් කියනවා. විජේදාස එයිද, ධම්මික එයිද, නාමල් මොනවා කරයිද, බැසිල් රාජපක්ෂ මොනවා කරයිද? කියන ව්‍යාකූලත්වය රනිල් වික්‍රමසිංහට තිබෙනවා. එතුමා ඡන්දය පිළිබඳව තමන් ඉන්න ව්‍යාකූලත්වය සමාජය පිට පටවන්න හදනවා. අපි එතුමාට කියන්නේ සමාජය පිට පටවන්නේ නැතිව ගිලී සිටින ව්‍යාකූලත්වයෙන් මිදෙන්න උත්සාහ ගන්න කියලයි.

Show More

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

(-Colombo, July 08, 2024-) එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) ශ්‍රී ලංකා නියෝජිත Christian Skoog මහතා සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරිය අතර හමුවක් අද (08) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. මෙම හමුව සිදු වූයේ ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණ කාල සීමාව තුළ ළමුන්ට සිදු විය හැකි බලපෑම අවම […]

(-Colombo, July 08, 2024-)

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) ශ්‍රී ලංකා නියෝජිත Christian Skoog මහතා සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරිය අතර හමුවක් අද (08) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙම හමුව සිදු වූයේ ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණ කාල සීමාව තුළ ළමුන්ට සිදු විය හැකි බලපෑම අවම කිරීම සහ ළමුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ UNICEF වැඩසටහනක පියවරක් ලෙසය. මැතිවරණ සමය තුළ ළමුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවීම සඳහා ගත යුතු පියවර සහ ළමා ආරක්ෂාව වෙනුවෙන් වූ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මෙහිදී UNICEF නියෝජිතයින් වෙත පැහැදිලි කරන ලද අතර අනාගත ශ්‍රී ලංකාව තුළ ළමුන්ගේ ආරක්ෂාව සහතික වන සමාජයක් ස්ථාපිත කිරීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාව බවද අවධාරණය කෙරිණි.

මෙම හමුව සඳහා UNICEF ශ්‍රී ලංකා කාර්යාලයේ සන්නිවේදන ප්‍රධානි Bismarck Swangin මහතාද එක්ව සිටි අතර UNICEF ශ්‍රී ලංකා සංවිධානය විසින් ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සකසන ලද ප්‍රතිපත්ති රාමුවක්ද මෙහිදී ජාතික ජන බලවේගය වෙත භාර දෙනු ලැබිණි.

Unisef-to-npp-sri-lanka
Show More