(-Colombo, June 11, 2024-) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (11) පෙරවරුවේ යාපනයේ සිදු කරන ලද සංචාරයේදී යාපනය ශාන්ත මරියා ආසන දෙව්මැදුරු ශාලාවේදී යාපනය කතෝලික රදගුරු පදවි අනුනායක ගරු පී. ජේ. ජෙබරත්නම් පියතුමාද, ඉලවාලෙයි කතෝලික මීසම භාර ගරු ජෙයකුමාර් පියතුමාද ඇතුළු කතෝලික පියතුමන්ලා සහ පැවිදි සොයුරියන් පිරිසක් හමුවී සාකච්ඡා කළේය. මේ අවස්ථාවට […]
(-Colombo, June 11, 2024-)
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (11) පෙරවරුවේ යාපනයේ සිදු කරන ලද සංචාරයේදී යාපනය ශාන්ත මරියා ආසන දෙව්මැදුරු ශාලාවේදී යාපනය කතෝලික රදගුරු පදවි අනුනායක ගරු පී. ජේ. ජෙබරත්නම් පියතුමාද, ඉලවාලෙයි කතෝලික මීසම භාර ගරු ජෙයකුමාර් පියතුමාද ඇතුළු කතෝලික පියතුමන්ලා සහ පැවිදි සොයුරියන් පිරිසක් හමුවී සාකච්ඡා කළේය.
මේ අවස්ථාවට ජාතික ජන බලවේගය වෙනුවෙන් විධායක සභික රාමලිංගම් චන්ද්‍රසේකර්, විධායක සභික බිමල් රත්නායක, කැලණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය විජිත් රොහාන් හා අජිත් හැඩ්ලි පෙරේරාද, ගරු සරත් පීරිස් පියතුමා, සුසිල් හෙට්ටිආරච්චි සොහොයුරාද එක්ව සිටියහ.
මෙහිදී රටෙහි වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳවත් ජනතාව මුහුණ පා සිටින ගැටලු පිළිබඳවත් අදහස් හුවමාරු කර ගැනිණි. ගරු පියතුමන්ලා හා පැවිදි සොයුරියන් නැගූ විවිධ ප්‍රශ්නවලට අනුර දිසානායක සහෝදරයා ඒ පිළිබඳ ජාතික ජන බලවේගයේ ස්ථාවරය පිළිබඳ පැහැදිළි කිරීමක්ද කළේය.
(-Colombo, June 11, 2024-) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (11) යාපනයේ සිදු කරන ලද සංචාරයේදී තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් හමුවී සාකච්ඡා කළේය. එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතාද හමුවූ අනුර කුමාර දිසානායක සහෝදරයා ඔහු සමගද […]
(-Colombo, June 11, 2024-)
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (11) යාපනයේ සිදු කරන ලද සංචාරයේදී තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් හමුවී සාකච්ඡා කළේය.
එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතාද හමුවූ අනුර කුමාර දිසානායක සහෝදරයා ඔහු සමගද සාකච්ඡා කළේය.
මෙම සාකච්ඡා සඳහා ජාතික ජන බලවේගය ජාතික විධායක සභික රාමලිංගම් චන්ද්‍රෙස්කර් සහ ජාතික විධායක සභික බිමල් රත්නායක ඇතුළු සහෝදරවරු පිරිසක් එක්ව සිටියහ.
රටෙහි වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳවත් ජනතාව මුහුණ පා සිටින ගැටලු පිළිබඳවත් ජාතික සමගිය ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබඳවත් ඔවුන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කරන ලදී.
(-Colombo, June 10, 2024-) අද (10) දහවල් ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී දෙස් විදෙස් ආර්ථික විශේෂඥයින් පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර හමුවක් සිදු විය. ආර්ජන්ටිනාවේ හිටපු ආර්ථික අමාත්‍ය සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Martin Guzman, මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Jayathi Ghosh, එක්සත් ජාතීන්ගේ සහස්‍රක ව්‍යාපෘතියේ හිටපු කලාපීය අධ්‍යක්ෂ Charls Abugre, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය Ahilan Kadirgamar […]
(-Colombo, June 10, 2024-)
අද (10) දහවල් ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී දෙස් විදෙස් ආර්ථික විශේෂඥයින් පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර හමුවක් සිදු විය.
ආර්ජන්ටිනාවේ හිටපු ආර්ථික අමාත්‍ය සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Martin Guzman, මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Jayathi Ghosh, එක්සත් ජාතීන්ගේ සහස්‍රක ව්‍යාපෘතියේ හිටපු කලාපීය අධ්‍යක්ෂ Charls Abugre, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය Ahilan Kadirgamar ඇතුළු පිරිසක් මේ සඳහා පැමිණ සිටියහ.
ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත, ආචාර්ය අනුර කරුණාතිලක, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර, චතුරංග අබේසිංහ, ඉංජිනේරු එරංග වීරරත්න, මහාචාර්ය උපාලි පන්නිලගේ සහ වරලත් ගණකාධිකාරි සුනිල් ගමගේ යන අයවලුන් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම්, ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.
(-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ – මාධ්‍ය හමුව – 2024.06.09-) පසුගිය කාලයේ අපේ රටේ ආන්දෝලනයකට ලක් වුණා පොලිස්පති ධුරය. ඒක රීලෝඩ් පොලිස්පති ධුරයක් බවට පත්වුණා. ඒ වගේම නීතිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කරමින් රීලෝඩ් නීතිපතිවරයෙකුත් නිර්මාණය වෙමින් යනවා. එම කරුණ පිළිබඳව ව්‍යවස්ථානුකූලව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට ජනාධිපති ධුර කාලය වසරකින් දීර්ඝ කරන්නත් පාර්ලිමේන්තුවේ කාලය […]
(-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ – මාධ්‍ය හමුව – 2024.06.09-)
පසුගිය කාලයේ අපේ රටේ ආන්දෝලනයකට ලක් වුණා පොලිස්පති ධුරය. ඒක රීලෝඩ් පොලිස්පති ධුරයක් බවට පත්වුණා. ඒ වගේම නීතිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කරමින් රීලෝඩ් නීතිපතිවරයෙකුත් නිර්මාණය වෙමින් යනවා. එම කරුණ පිළිබඳව ව්‍යවස්ථානුකූලව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ වන විට ජනාධිපති ධුර කාලය වසරකින් දීර්ඝ කරන්නත් පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගැනීමට අදාළව දේශපාලන කරළියේ සාකච්ඡාවක් යනවා. මේ සාකච්ඡා දෙකම නිර්මාණය වී තිබෙන්නේ දේශපාලනික අභිලාෂයක් මතයි. ඇත්ත ජනවරමකට මුහුණ නොදෙන ආණ්ඩුව සැබෑ ජන වරමට බයවෙලා. ව්‍යවස්ථාවේ සිදුරකින් බලයට ආව ජනාධිපතිවරයා තම තමන්ගේ හෙංචයියෝ දාගෙන විවිධ ප්‍රකාශ කරවමින් යනවා. පළාත් පාලන මැතිවරණය නීති විරෝධීව කල්දමා තිබෙනවා. එහෙම ආ ගමනක දිගුව වුණේ ජාතික මැතිවරණයක් පැවැත්වීමයි. දැන් ව්‍යවස්ථානුකූලව එළඹී තිබෙන්නේ ජනාධිපතිවරණයයි. එම මැතිවරණයට ජනතා පෙළගැස්මක් හදාගෙන ජනතා අභිලාෂය මුදුන්පත්කර ගැනීමට උත්සාහ ගන්නා විට, තමන්ගේ පක්ෂයේ ලේකම්වරයා දාලා, රටේ වර්තමාන තත්වය පදනම් කරගෙන තවත් වසර දෙකකට මෙම ආයතන දෙක දීර්ඝ කරගැනීමට හැකියාව තිබෙනවාද බලනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදයවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවත්, රටේ නීතියවත් නොවෙයි. මේ ජනාධිපතිවරයාගේ අභිලාෂය තමයි, ඇත්ත ජන වරම වෙනුවට ව්‍යවස්ථාවේ ඉස්පිලි පාපිලි පාවිච්චි කරමින් තමන්ගේ ධුර කාලය තවත් එහාට දක්කා ගන්න පුළුවන්ද කියා බලන එක. ඒකට තමයි පොලිස්පති ධුරය, නීතිපති ධුරය උපයෝගී කර ගන්නේ. තමන්ට හිතැති, කීකරු නිලධාරී පෙළෙන්තියක් හදාගෙන තමයි මේ කුප්‍රකට උත්සාහය ගන්න හදන්නේ.
රටේ ජනතාවගේ ජන වරම අවුරුදු පහකට මිසක් අවුරුදු හයකට දීලා නැහැ. 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂට දුන්නු ජනවරම මේ අවුරුද්දේ නොවැම්බර් මාසයෙන් කෙළවර වෙනවා. පාර්ලිමේන්තුවට 2020 දීපු ජනවරම ලබන වසරේ අගෝස්තුවෙන් කෙළවර වෙනවා. ඒක ව්‍යවස්ථාවේ ලියැවුණු තත්වයක්. එම තත්වයන් විකෘති කර, ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති පාවිච්චි කරමින් තව වසරකින් ජනාධිපති ධුරය දීර්ඝකර ගැනීමට පුළුවන්ද කියා බලනවා. පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30:2 වගන්තිය අනුව අවුරුදු හයයි. නමුත් එය 19වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුලේ පැවැති 30:2 වගන්තිය ඉවත් කරලා ඒ වෙනුවට 30:2 ආදේශ කර කීවා අවුරුදු හය නොවෙයි අවුරුදු පහයි කියා. ඒක තමයි දැනට රටේ පවතින නීතිය. මේ අවස්ථාවේ තමාට හිතැති ජනාධිපති නීතිඥවරු දමමින් සමාජයට කියමින් යනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සය අවුරුද්දක් කියා එක තැනක තිබෙනවා, එය පදනම් කරගෙන තව එහාට යා හැකියි කියා.
අපි කියනවා මේ රටේ ජනතාවට රැවටෙන්න එපා. ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බලයක් දී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උත්තරීතර වෙන්නේ ජනතාව. ඒ කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වැනි වගන්තියේ තිබෙනවා. ජනතාවගේ අභිලාෂය, පරමාර්ථය ගැබ්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වැනි වගන්තියේ. ඒ 3වැනි වගන්තියට යටත්ව ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් මාසයේ ජනවරමක් ඉල්ලුවා අවුරුදු පහකට. ඒ අවුරුදු පහ ඔහුට ලැබුණා. නමුත් ඔහුගේ ධුර කාලය අවුරුදු දෙකෙන් කෙළවර කර, රීලෝඩ් ජනාධිපතිවරයෙකුට බලය දුන්නා. ඒ රනිල් වික්‍රමසිංහට. ඔහුට තවදුරටත් රීලෝඩ් දාන්න බැහැ. ඇත්ත ජනවරමේ කාලය ඇතුලේ එයා කටයුතු කරන්න ඕනෑ. ඒක තමයි ව්‍යවස්ථාවේ තිබෙන ජනතා අභිලාෂය. ඒක තමයි රටේ නීතිය. ව්‍යවස්ථාව අර්ථ ගන්වන ඔස්තාර්ලාට අපි කියනවා ජනතාවගේ පරමාධිපත්‍යයේ බලයට එහා බලයක් නිර්මාණය වෙන්නේ නැහැ. ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය ඒක. මේවා අනුමත වුණේ නිකම්ම නොවෙයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලේ වාද විවාද වෙලා ඒ තුළ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය වුණා. ඒ නිර්මාණය වුණු ව්‍යවස්ථාව ඇතුලේ 30:2 වගන්තිය අනුව තිබෙන්නේ අවුරුදු පහක් ලෙස. එසේ නම් ඒ අවුරුදු පහ තමයි ජනතාවගේ අභිලාෂය. පාර්ලිමේන්තුවේ කාලය 2020 සිට ලබන වසරේ අගෝස්තු මාසයට කාලය සම්පූර්ණ වෙනවා. ඊට එහා කාලයක් බවට පරිවර්තනය කරන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. එහෙම නම් ජනමත විමසුමකට යන්න සිදුවෙනවා. අපි පැහැදිලිව කියනවා මේ දේශපාලනයේ කඳවුරු දෙකයි තියෙන්නේ. ජාතික ජන බලවේගයේ කඳවුර හා අනෙක් කඳවුර සියලුම දෙනා දැන් එකතු වෙලා තිබෙනවා. ඒ එකතුවෙලා තිබෙන අනෙක් කඳවුරේ ජනාධිපති නීතිඥයන් තමයි දැන් විකෘති අදහස් පළ කරමින් යන්නේ. අපි ඒ අයට කියනවා. කලබල වෙන්න එපා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධපතිවරණයක් කැඳවීමට නියමිතයි. ඒ ජනවරමට මුහුණ දෙන්න. මේ විකෘති සහගත අදහස් නිසා තමයි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳෙව්වේ. ඕගොල්ලන්ට රිංගන්න ව්‍යවස්ථාවේ හිල් නැහැ.
අපි මේ රටේ ජනතාවට කියනවා, ඒ කඳවුර කලබල වෙලා තිබෙන්නේ. ඒ කලබලේට හේතුව ඒගොල්ලන් පරදිලා ජාතික ජන බලවේගය දිනන්න යන්නේ. ඒක කිසිසේත්ම ආපස්සට හරවන්න පුළුවන් කමක් නැහැ. බය වෙන්න එපා. අපි ඇත්ත තර්කය වෙනුවෙන් පෙනී සිටිනනවා. ඇත්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය වෙනුවෙන් හිට ගන්නවා. බොරු තර්කවලට අපි, කිසිසේත්ම ඉඩක් තබන්නේ නැහැ.
“නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදුනහොත් නරක පූර්වාදර්ශයක් වේවි”
-ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම-
ජනාධිපතිවරයෙකුගේ ධුර කාලයේ නිමාවට පෙර කුමන හේතුවක් නිසා ජනාධිපතිවරයා ඉවත් වුවහොත් හෝ ඉවත් කළහොත් හෝ මිය ගියහොත් ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව තුළින් පත් කර ගත හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා. ලංකාවේ ජනාධිපතිවරයා පත් කරන්නේ ජනතාවගේ ඡන්දයෙන් 50%කුත් හා එක ඡන්දයක් ලබාගත් පුද්ගලයායි. ඔහු ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයෙක්. එයට ව්‍යතිරේඛයක් තිබෙනවා, යම්හෙයකින් එම ජනාධිපතිවරයාගේ ධුර කාලයට පෙර ජනාධිපතිවරයා අකර්මණ්‍ය වුවහොත් ඒ වෙනුවට ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවෙන් පත්කර ගත හැකියි. එසේ පත්කරන ජනාධිපතිවරයාට බලය පැවරෙන්නේ ඒ ඉතිරි කාලය සඳහා පමණයි. 2019දී ජනවරම ඉල්ලන්නේ අවුරුදු පහක කාලයකට. 2010 දී හා 2015දී පැවති ජනාධිපතිවරණයේදී ධුර කාලය අවුරුදු පහකින් අවසන් වුණා. 1982දී ජේ.ආර්. ජයවර්ධන පර්ලිමේන්තුවේ ධුර කාලය ජනමත විචාරණයෙන් වැඩිකර ගත්තේ ජනතාවගෙන් හයෙන් පහක ඡන්ද බලයක් ඒ වන විට ලැබී තිබුණු නිසා.
නමුත් මේ රනිල් වික්‍රමසිංහ ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත්කර ගත් අපේක්ෂකයෙක් නොවෙයි. ඔහු අඩුම තරමේ ජනාධිපතිවරණයටවත් ඉදිරිපත් වුණු පුද්ගලයෙක් නොවෙයි. ඒ නිසා ඔහුගේ ධුර කාලය වැඩිකර ගන්න ව්‍යවස්ථාවෙන් ඔහුට බලයක් ලැබෙන්නේ නැහැ. ඔහු ඇවිත් තිබෙන්නේ ජනාධිපති ධුරයේ ඉතිරි කාලය සම්පූර්ණ කරන්න. ඔහුගේ ධුර කාලය වැඩිකර ගැනීමට ඔහු ඉල්ලනවා නම්, පාර්ලිමේන්තුවේ 2/3ක කැමැත්ත වගේම, ජනමත විචාරණයකිනුත් සම්මත වෙන්න ඕනෑ. මේ අවස්ථාවේ රටේ ජනතාවගේ පෙළගැස්ම බැලූවිට පෙනී යන්නේ ඔවුන්ට ජනමත විචාරණයකින් ජයග්‍රහණය කිරීම හිතන්න වත් බැරි අවස්ථාවක්. ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබෙනවා වගේම මැතිවරණ කොමිසමත් පැහැදිලිව ප්‍රකාශ කොට තිබෙනවා ඡන්දය ප්‍රකාශයට පත්කරන බවට. රටේ මහජනතාවට අලුත් ජනාධිපතිවරයෙකු වගේ අලුත් පාර්ලිමේන්තුවකුත් අවශ්‍ය වී තිබෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ජනධිපතිවරණය සූදානම් වන ලෙසත් ඊට පසුව එන මහ මැතිවරණයටත් සූදානම් වන්න කියලා.
අපේ ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව තිබෙනවා නීතිපතිවරයාට විශ්‍රාම යාමට නියමිත කාලයක්. ඔහු අවුරුදු 60ක් සම්පූර්ණ වන තෙක් විතරයි මේ ධුරය දැරිය හැක්කේ. හැටෙන් එහාට සේවය දීර්ඝ කිරීමක් හෝ පත්කිරීමක් කළ නොහැකියි. ඒ සඳහා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැහැ. ඒක නිසා ජනාධිපතිවරයා දරන ප්‍රයත්නය එක පැත්තකින් ව්‍යවස්ථා විරෝධියි. අනෙක අනීතිකයි. මෙවැනි පත්වීමක් මේ ආකාරයෙන් කිරීමට උත්සාහ කළහොත් නීතිපති දෙපාර්තමේන්තුව ඇතුලෙන්ම යම් ආකාරයක විරෝධතාවයන් එන්න පුළුවන්. අවුරුදු 60න් පසු නීතිපතිවරයෙකුට එක දිගට මාස හය බැගින් සේවා දිගු ලබාදීමට ගියහොත් පහළ සිටින නිලධාරීන් විශාල අපේක්ෂාභංගත්වයකට පත්වෙනවා. එවිට නීතිපති දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙනවා වගේම නීතිපතිවරයාගේ ධුරය යම් ආකාරයක දේශපාලනීකරණයට ලක්වුණාය කියන සැකය රට තුළත් නීතිපති දෙපාර්තමේන්තුව තුළත් ඇති විය හැකියි. ප්‍රතිපත්තිමය කාරණය තුළ නීතිපතිවරයා කියන ධුරය දේශපාලනීකරණය වුවහොත් සමස්තයම බිඳ වැටීමකට ලක්විය හැකියාව තිබෙනවා. තමන්ගේ අනාගත අපේක්ෂාවන් පේන්නේ නැතිනම් මිනිස්සු අකර්මණ්‍ය වෙනවා. මේවැනි කටයුතු නිසා, නීතිපති දෙපාර්තමේන්තුවේම කාර්ය හා කර්තව්‍යය කියන එක බිඳවැටීමට පුළුවන්.
පසුගිය කාලය පුරාම සිටි නීතිපතිවරු අවුරුදු 60න් විශාම ගියා. කිසිවෙක් අවුරුදු හැටෙන් පසුව සිටියේ නැහැ. ජනාධිපතිවරයා කියා සිටින්නේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ නඩු කටයුතුවල කාර්යයන් වෙනුවෙන් නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමේ අවශ්‍යතාව තිබෙන බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයේ අධීක්ෂණ කටයුතුවල සිටි ප්‍රධානම නිලධාරියා ඩී. ලිවේරා මහත්මයා සේවයෙන් විශ්‍රාම ගියා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එක නඩුවක් අවසන් වෙලා තවත් නඩුවක් පැවරී තිබෙනවා. නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදුන හොත් මෙය ඉතා නරක පූර්වාදර්ශයක් වෙනවා.
අග්‍රවිනිශ්චයකාරවරයාගේ ධුර කාලය දෙසැම්බර් මාසයෙන් අවසන් වුණාට පසුව, මේ නීතිපතිවරයාගේ සේවා දිගුව ඒ සමගම අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස පත්කරන්න ඉඩ තිබෙනවා. එවැනි තත්වයකදී නැවතත් පෙර තත්වයටම පත්වෙනවා. එවිට අධිකරණය ගැන තිබෙන විශ්වාසය කඩ වෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටුණා යැයි කිය හැකියි. අධිකරණයට අනවශ්‍ය මැදිහත්වීමක් සිදුවුණා යැයි කියන්න පුළුවන්. ඒ වගේම සේවා දිගුව ලබාදීමෙන් ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට මැදිහත් වුණා කියන්න පුළුවන්කම තිබෙනවා. මේ නිසා සමස්තයම බිඳ වැටීමට ඉඩ තිබෙනවා. කතෝලික සභාව මේ කරුණ ප්‍රතික්ෂේප කර, ප්‍රකාශයක් කර තිබෙනවා. ඔවුන් එහි කියනවා, පාස්කු විමර්ශන මුවාවෙන් දේශපාලන විනාශයන් කරන්න එපා කියා. එය හරිම අවාසනාවන්ත තත්වයක්. මෙවැනි පූර්වාදර්ශයක් දුන්නොත් නීතිපති දෙපාර්තමේන්තුවේ පහළ නිලධාරීන් අධෛර්යයට පත්විය හැකියි. ඒ වගේම ඔවුන් අනෙක් පැත්තට හිතන්න පුළුවන් දේශපාලන හස්තයක් එක්ක ගැට ගැහුනොත් තමන්ට අවශ්‍ය දේ කර ගන්න පුළුවන් කියා. රාජ්‍ය සේවකයන්ගේ උසස්වීම් ගන්නා ක්‍රමය අවුල්කර දැමුවායින් පස්සේ ඔවුන් නොදැනුවත්වම දේශපාලන කඳවුරක් වටා එකතුවීමට පුළුවන්කම තිබෙනවා. මේ තත්වය තමයි අපි නැති කළ යුත්තේ. මේක නීති විරෝධියි වගේම ව්‍යවස්ථාවට පටහැණියි. මේ පත්කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන්නැයි අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
“ආණ්ඩුව උත්සාහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළමින් නීතියේ පාලනය බිඳවැට්ටවීමටයි”
-නීතිඥ අකලංක උක්වත්ත-
ජාතික ජන බලවේගයේ නායකත්වය, මේ රටේ ඊළඟ ජනාධිපතිවරණයෙන් දිනන බව බණ්ඩාරලා දෙන්නෙක් විසින් පිළිගත්තා. එක්සත් ජාතික පක්ෂයේ ලේකම්, පාලිත රංගේ බණ්ඩාර කීවා “අපි බලාපොරොත්තු වෙනවා, මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැත්තක තියලා, ජනමත විචාරණයකින්, තවත් අවුරුදු දෙකකට මේ තත්වය එහෙමම පවත්වාගෙන යන්න.” මේ කියන්නේ, ජනාධිපතිතුමාව එහෙමම තියාගෙන යන්න. ඒකෙන් ව්‍යංගව තේරුම් යන්නේ ජනාධිපතිවරණයක් තිබ්බොත් රනිල් වික්‍රමසිංහ කපෝති වන බව ඔහු පිළිගත් බවයි. ඒගොල්ලන්ට තේරුම් ගන්න බැරි දේ තමයි, ජනාධිපතිවරණයක් දිනන්න බැරි රනිල් වික්‍රමසිංහ ජනමත විචාරණයක් දිනන්නේ කොහොමද කියන එක. නලින් බණ්ඩාර, විවාදය සඳහා දිනය ලෙස ඔවුන්ම හයවැනිදා දීලා, පසුව එය මඟ හැරලා, පාර්ලිමේන්තුවේ මෙච්චර කල් රූකඩයක් වගේ ඉඳලා, අවසානයේ අසූචි තවරාගත් ඌරෙකු බවට පත්වෙලා වැඩේ අවසන් කර ගත්තා. තමන්ගේ නායකත්වය ඒ තත්වයට පත්කරගන්න එපා කියලා අපි කියනවා. මේ බණ්ඩාරලා දෙන්නම රනිල් වික්‍රමසිංහ විසින් හසුරුවනවා වගේ තමයි පේන්නේ. මේ බණ්ඩාරලා දෙන්නම පිළිගෙන තිබෙනවා මේ ජනාධිපතිවරණයෙන් අනුර දිසානායක සහෝදරයා දිනනවා කියලා.
රංගේ බණ්ඩාර කියනවා, “අරගලයෙන් පස්සේ ජනාධිපතිතුමා රට බාර අරගෙන කරගෙන යන වැඩපිළිවෙළ ගැන රටේ බහුතර ජනතාවගේ විශ්වාසයක් ඇතිවී තිබෙනවා” කියා. මම අහනවා රංගේ බණ්ඩාරගෙන් මොකක්ද ඒ වැඩපිළිවෙළ, කියා. රනිල් වික්‍රමසිංහ ආවේ ගෝඨාභයගේ දිගුව කරන්න නම්, ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සුනුවිසුණු වුණා. එය මිනිස්සු ප්‍රතික්ෂේප කළා. එහෙනම්, මෙයාට තිබෙන වැඩපිළිවෙල මොකක්ද, අපි හිතමු මහ මැතිවරණයෙන් ආව ප්‍රතිපත්ති තමයි ක්‍රියාත්මක කරන්නේ කියා. ඒකත් මැයි 09 වැනිදා ඉවරයි. පර්ලිමේන්තුවේ ප්‍රධානියා අගමැති අයින් වෙලා ගියාට පස්සේ ඒ වැඩපිළිවෙළත් ඉවරයි. ඒ වැඩපිළිවෙලවල් දෙකම ප්‍රතික්ෂේප වුණාට පස්සේ තිබෙන වැඩපිළිවෙළ මොකක්ද? මෙතන ඩී.බී. විජේතුංගත් එක්ක සංසන්දනය කරන්න එපා. එතනදි වැඩපිළිවෙළ ජනතාව ප්‍රතික්ෂේප කර තිබුණේ නැහැ. ඒක ඩී.බී. විජේතුංගට ඉදිරියට ගෙනියන්න පුළුවන්කම තිබුණා. දැන් මෙතන වැඩපිළිවෙළක් කෝ? අරගලයෙන් මහ මැතිවරණයේ ප්‍රතිපත්තියයි, ජනාධිපතිවරණයෙන් ගෝඨාභයට දුන්නු බලයයි සියල්ල විනාශයි. එතනදි ආවෙ රනිල්ට විරුද්ධ වැඩපිළිවෙළක්. හම්බන්තොට වරාය විකුණනවාට, පෞද්ගලීකරණයට, විරුද්ධ වැඩපිළිවෙළක් ආවෙ. හැට නව ලක්ෂයක් ඡන්ද ගෝඨාභයට දුන්නේ පෞද්ගලීකරණයට විරුද්ධව. රනිල් වික්‍රමසිංහට මේ වැඩපිළිවෙළ තුළ, ටෙලිකොම් එක, විදුලිබල සංස්ථාව, ලංකා හොස්පිට්ල් එක, පෞද්ගලීකරණය කරන්න බැහැ. රනිල් වික්‍රමසිංහට වෙනම වැඩපිළිවෙළක් නැහැ.
ඒ වගේම ණය ගෙවා ඉවර වෙන 2027 දි සංවර්ධන වැඩවලට තවත් ණය ගන්න තිබෙන බවක් ඔහු කියනවා. දැන් මේ ණය 2027 වෙනකම් ගෙවාගෙන යනවාලු. ඊට පසුව නැවත ණය ගන්නවාලු. රජයේ ණය වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා, ගිය වසරේ ඩොලර් බිලියන, 83ක් තිබූ ණය දෙසැම්බරයේදී එය 96.2ක දක්වා වැඩිවී තිබෙනවා. මේ මාර්තුවල මුල් කාර්තුවේදී එය ඩොලර් බිලියන 100 දක්වා වැඩි වී තිබෙනවා. ණය ගන්නේ නැහැයි කියමින් දැනටමත් බිලියන 04ක් ණයට ගෙන තිබෙනවා. බහුතර ජනමතය තිබෙන්නේ මේ යන ක්‍රමයට විරුද්ධවයි. රනිල්ගේ මේ යන ක්‍රමයට බහුතර මතයක් තිබෙනවා නම්, ඔවුන් ජනාධිපතිවරණය තියනවා. බහුතර මතය ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙලා බව ඔවුන් දන්නවා. ඒකට ඔවුන් බයයි. පුළුවන් තරම් කල් මෙය ගෙනියන්න තමයි බලන්නේ.
මැතිවරණ දෙකක් ඉවර වෙලා අලුත් දේශපාලනයක් තුළ තමයි මේ පරිච්ඡේදය ඉවර වෙන්නේ. මාර්ටිං ලූතර් කිං කියා තිබෙනවා “Injustice anywhere is a threat to justice everywhere” යම් තැනක අයුක්තියක් පවතිනවාද එය සියලු තැන්වල යුක්තියට තර්ජනයක් වෙනවා. පොලිස්පතිව රීලෝඩ් කර කර හිටියා. බහුතර මිනිසුන්ගේ, නීතිඥ ප්‍රජාවගේ අකමැත්ත තුළ දැඩි විරෝධයක් සහිතව පොලිස්පතිවරයෙක් පත් කළා. කරුණු තුනකදී ඔහුට චෝදනා ගොනු වෙලා තිබෙනවා. එකක් තමයි කටුවාපිටිය පැත්තේ පාස්කු ප්‍රහාරය සිදුවෙන වෙලාවේ කොළඹ උතුර ඩී.අයි.ජී. ලෙස ඔහුට ලැබුණු තොරතුරු අනුව ආරක්ෂාව නොසැපයීම, මැයි 09 අරගල භූමියට පහර දීම වළක්වා නොගැනීම සහ එයට අනුබල දීම සම්බන්ධයෙන් නීතිපතිතුමා ඔහුව චූදිතයෙක් කළා. පසුව ඔහු අභියාචනාධිකරණය හරහා තහනමක් ගත්තා. මීට මාස හයකට පමණ පෙර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මූලික අයිතිවාසිකම් නඩුවෙන් ඔහු වරදකරු වුණා, ලක්ෂ පහක් ගෙව්වා. නැවත මෝෂන් එකක් දාලා එම නඩුව අරගෙන, පොලිස් කොමිසමට ඔහු (අයි.ජී.පී) සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්න කියලා. තාමත් අරගෙන නැහැ. ඒ වගේ පුද්ගලයෙක්ව පොලිස්පතිකමට නම් කළා. ගොඩක් වැරදිවලට වගඋත්තරකරුවෙක් වී තිබෙන පුද්ගලයෙක්ව අයි.ජී.පී.කමට පත්කොට නීතියේ පාලනය හදන්න යනවා.
අයි.එම්.එෆ්. එකේ ටෙක්නිකල් රිපෝට් එකේ දක්වා තිබෙනවා, දූෂණ විරෝධී පනත ගැන. නීතියේ පාලනය පවත්වාගෙන යන්න ඕනෑ බව දක්වා තිබෙනවා. මේ පනත ගෙනත් මාස 10ක් වෙනවා. මාස 18 වෙනකොට පනත ක්‍රියාත්මක වෙලා අවසන් වෙන්න ඕනෑ. කොමිෂන් ජනරල් කෙනෙක් පත් කළා. ඔහුගේ ධුර කාලය අවුරුදු පහකට සීමා කර තිබෙනවා. සීමා කිරීම් තිබියදී අලුත් පත්කිරීම් තුළ වසර හතරක් සිටි පුද්ගලයා වසර පහකට නැවත පත් කරනවා. ඔක්කොම වසර නවයක් වෙනවා. පනතේ පරමාර්ථ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා පත්කිරීමට විරුද්ධව දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තුනක් තිබෙනවා. දූෂණ විරෝධී පනත ගෙනාවට ඡන්ද දෙකක් එනවා. අදාළ අපේක්ෂකයන් තමන්ගේ වත්කම් ප්‍රකාශ කරන්න ඕනෑ. ඒක ප්‍රකාශ කරන ආකාරය මේ පනතෙන් වෙනස් කළා. ඒක ‘ඊ’ ෆෝම් එකක් කළා. ඒකට වෙනම සොෆ්ට් වෙයාර් එකක් හදා තිබෙනවා. ඇතුලේ ආයතනික ව්‍යුහයේ වෙනස්කම් කළ යුතුව තිබෙනවා. “අල්ලස් හා දූෂණ විරෝධී කොමිෂන් සභාව” කියන එක “දූෂණ විරෝධී කොමිෂන් සභාව” ලෙස වෙනස් වෙන්න ඕනෑ. මෙහේ මුදල් සොරා කාලා විදෙස් රටක තැන්පත් කර තිබෙනවා නම්, ඒ රටවල් සමග ද්විපාර්ශ්වික ගිවිසුම් ඇතිකර ගන්න වුවමනා නම්, ඒවා සම්බන්ධයෙන් ක්‍රම, විධි සහ රෙගුලාසි හදන්න ඕනෑ. ඒවා හදන්න ඕනෑ මේ කොමිෂන් සභාවෙනුයි. ඒ සම්බන්ධයෙන් කිසිම ආරම්භයක් වත් අරගෙන නැහැ. මේ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තුනක් තිබෙනවා.
දැන් අලුතින් නීතිපතිතුමාගේ සේවා කාලය දීර්ඝ කරන්න යනවා. මෙතෙක් කල් සිදුවුණේ ඊට පසුව සිටින සොලිසිටර් ජනරාල්ව නීතිපති ලෙස පත්කිරීමයි. මේ විදිහට සේවා කාලය දීර්ඝ කිරීමෙන් කියන්නේ ඊළඟට ඉන්න සොලිසිටර් ජනරාල්වරයා නුසුදුසුයි කියන එකද? නැතිනම් ව්‍යංගයෙන් කියන්නේ තමන්ගේ වැඩකර ගන්න එයාගෙන් බැහැ කියන එකද? දෙසැම්බර් වෙන කොට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉහළම තනතුරට ඔහුව පත්කිරීමේ න්‍යාය පත්‍රයද මේ හදන්නේ කියන එක මතුවෙනවා. ඔක්තෝබර් වෙන කොට මැතිවරණ පැවැත්විය යුතුයි. මැතිවරණ ආශ්‍රිත කරුණු, ඒ අතරතුර ලබා ගත යුතු ව්‍යවස්ථා අර්ථනිරූපණ, ව්‍යවස්ථාවේ රිංගීම්, දින 52ක වගේ කාරණා ආවරණය කර ගැනීමටද මේ දීර්ඝ කිරීම් දෙන්නේ කියන එක ගැටලුවක්. සේවා කාලය ඉකුත් වුණාට පස්සේ දීර්ඝ කාලයක් බලාගෙන ඉඳලා, පළ පුරුද්ද මත අවුරුදු 30 ක 40ක නීතිපති වෙන්න බලා සිටින එස්.ජී. ඊට කලින් විශ්‍රාම ලබන්න පුළුවන්. ඒ කාර්යය බරපතළයි.
තව කරුණක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයකරුවන් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව විසින් නවත්වා තිබෙනවා. ඒකට එෆ්.ආර්. නඩුවක් ඇවිත් ඒක ඔක්තෝබර් මාසෙ දක්වා අත්හිටෙව්වා. අභියාචනාධිකරණයේ තවත් පුරප්පාඩු පහක් තිබෙනවා. ඒවා පුරවන්නේ නැත්තේ ඇයි? මේ සිටින්නේ තමන්ට වුවමනා දේ කරගන්න නොහැකි වුණු මුරණ්ඩු ජනාධිපතිවරයෙක්ද? එම පත්කිරීමට ඉඩ නොදුන්නා කියා අනෙක් පුරප්පාඩු පිරවීම නුසුදුසුකමක් වෙන්නේ නැහැ. මහාධිකරණ විනිසුරුවරු එම පුරප්පාඩුවලට යන්න බලාගෙන ඉන්නවා. ඒ අතරතුර ඔවුන්ගේ කාලය නිමා වෙන්න පුළුවන්. ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය නොදුන්නා කියන කාරණය නිසා දීර්ඝ කාලයක් සේවය කළ කී දෙනෙකුට අගතියක් වෙනවාද? මහින්ද රාජපක්ෂලාට විරුද්ධව තිබූ නඩු කොච්චර ඉවත් කර ගත්තාද? අයි.එම්.එෆ්. එක පෙන්වා දෙන දූෂණ විරෝධී පනත සහ නීතියේ පාලනය වළ පල්ලට යනවා. මෙතනින් එහාට මේ කරන්නේ රටේ නීතියේ පාලනය බිඳදැමීමක්. මේක සුවිශේෂී මාස හතරක්. රටේ ජනතාව මැතිවරණ දෙකක් සම්බන්ධයෙන් තමන්ගේ මතය ප්‍රකාශ කරන්න බලාගෙන සිටිනවා. ආණ්ඩුව ඒකට මඟ අහුරමින්, ප්‍රජාතන්ත්‍රවාදය හකුළමින් ඔවුන්ගේ ඔවුන්ගේ වපසරිය හදමින් යනවා. ජාතික ජන බලයේ නීතිඥයන් වශයෙන් නීතිඥවරු වශයෙන් මේ තත්වයට අපගේ විරෝධය ප්‍රකාශ කර කරනවා.
(-ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් තරුණ රැලිය – 2024.06.09 – තංගල්ල-) තමන්ගේ ජනප්‍රියතාවය කඩා වැටෙමින් තිබෙන බවත්, මේ රටේ ජනතාව ජාතික ජන බලවේගය වටා වේගයෙන් රොද බැඳගෙන තිබෙන බවත් ආණ්ඩුව තේරුම් ගනිමින් ඉන්නවා. ඒ නිසා විවිධ දේවල් කියමින් උත්සාහ කරමින් ඉන්නවා ඡන්දය නොතියා යන්න පුළුවන්ද කියා බලන්න. ඉතිහාසයේ මෙවැනි තත්වයන් තිබුණා. 1980 ගණන්වල මුල පාර්ලිමේන්තු […]
(-ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් තරුණ රැලිය – 2024.06.09 – තංගල්ල-)
තමන්ගේ ජනප්‍රියතාවය කඩා වැටෙමින් තිබෙන බවත්, මේ රටේ ජනතාව ජාතික ජන බලවේගය වටා වේගයෙන් රොද බැඳගෙන තිබෙන බවත් ආණ්ඩුව තේරුම් ගනිමින් ඉන්නවා. ඒ නිසා විවිධ දේවල් කියමින් උත්සාහ කරමින් ඉන්නවා ඡන්දය නොතියා යන්න පුළුවන්ද කියා බලන්න. ඉතිහාසයේ මෙවැනි තත්වයන් තිබුණා. 1980 ගණන්වල මුල පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණා, නමුත් මහ මැතිවරණය තිබ්බේ නැහැ. ජනතාව පාර්ලිමේන්තුව තෝරා ගත්තේ වසර පහකට. ජේ.ආර්. කළේ ඒ වසර පහ, දහයක් කර ගැනීමයි. ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් ව්‍යාපාරයක්. රටේ තරුණ පරම්පරාව දේශපාලනයට උනන්දුව නොදක්වපු කාලයක්. සමාජ මාධ්‍ය ජාලය ප්‍රචලිත නොවූ කාලයක්. ඒ නිසා ජේ.ආර්. ජයවර්ධනට ඒ වැඩේ කරන්න පුළුවන්කම තිබුණා. දැන් බෑනත් කල්පනා කරනවා ඒ වැඩේ කරන්න පුළුවන්ද කියලා. එක්සත් ජාතික පක්ෂය කියා නමක් තිබුණාට පක්ෂයක් නැහැ. ජනතා කැමැත්තක් ඇත්තේත් නැහැ. තරුණ පරම්පරාව අවදියෙන් වගේම තරුණ පරම්පරාව මැදිහත්වෙලා පාලකයන් පලවා හැර තිබෙනවා. රනිල් මොනවා කළත් ජනාධිපතිවරණය පවත්වන්න සිදුවෙනවා.
ඉතිහාසයට ආපසු ගියොත්, ඡන්දවලින් ආණ්ඩු මාරුවී තිබෙනවා. ඡන්දවලින් ආණ්ඩු මාරු වුණාට රටේ ජනතාවගේ ජීවිත වෙනස් වුණේ නැහැ. පරණ දුක, වේදනාව තමයි රටේ ජනතාවට උරුම වුණේ. මහජනයාගේ දේපොළ සොරකම් කරන එක, නීතිය බිඳ වට්ටන එක, පාරම්පරික පවුල් දේශපාලනය, විකුණන එක, ඒ ආණ්ඩු නියෝජනය කරන කට්ටිය, මාරුවුණෙත් නැහැ. දීර්ඝ කාලයක් ආණ්ඩු මාරු වුණාට ඇත්ත මාරුවක් සිදුවෙලා නැහැ. ප්‍රතිපත්ති, දේශපාලන සංස්කෘතිය, ආර්ථික ක්‍රමවේදය, පවුල් සංස්ථාව, මාරුවෙලා නැහැ. ජනතාව මාරු කරනවා කියලා ආණ්ඩු හැදුවාට මාරු වෙලා නැහැ. ලංකාවේ පළමුවැනි වතාවට සැබැවින්ම මාරුවීමක් කිරීම සඳහා අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. සැබෑ දේශපාලන වෙනස්වීම් සිදුවන්නේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවල. බලය අත්පත් කර ගත හැකි දේශපාලන අවස්ථාවක් එනවා. අපේ ව්‍යාපාරවල වගකීම සහ බැඳීම තමයි ඒ තත්වය එනකම් අල්ලා ගෙන ඉන්න එක. ඒ අවස්ථාව උදාවෙලා තිබෙනවා. දැන් බලය මාරු කළ යුතුයි. බලය ගත යුතුයි.
ජනතාවට තවදුරටත් මේ විදිහට ජීවත් විය නොහැකියි. ගොවි ජනතාවට, ව්‍යාපාරිකයාට, ධීවරයාට, ජීවත් වීම අමාරුකොට තිබෙනවා. තරුණ තරුණියන්ට තමාගේ අනාගතය අහිමි වී තිබෙනවා. පාලකයන්ට බලය අහිමි වීම පිළිබඳ අමාරුවට මුහුණ දීමට සිදුවෙලා තිබෙනවා. බලය අත්පත් කර ගැනීම සඳහා ඉතාමත් හොඳ අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. ජාතික ජන බලවේගය විශාල ව්‍යාපාරයක් බවට පත්වෙලා තිබෙනවා. කොට්ඨාස සභා හදා තිබෙනවා. ප්‍රබල තරුණ ව්‍යාපාරය ගොඩනඟා තිබෙනවා. බලවේග වශයෙන් ගොඩනැගී ඉන්නවා. සුපුරුදු බල හුවමාරුව වෙනුවට සාබෑ වෙනසක් සඳහා ජනතා ව්‍යාපාරයක් ගොඩනැගී තිබෙනවා. ජනතාවගේ විශ්වාසය ප්‍රබල ලෙස දිනා ගනිමින් ඉදිරියට ඇවිත් තිබෙන එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි.
හම්බන්තොට අපට විශේෂ තැනක්. අමාරුවෙන් ඉන්න අවස්ථාවල අසීරුතම ජයග්‍රහණයන් ගෙනත් දුන්නේ හම්බන්තොටයි. 1994 පළමු ජයග්‍රහණය ලබාදුන්නේ හම්බන්තොටින්. අමාරුම වෙලාවක මේ ව්‍යාපාරය බලාගත්තේ, රැකගත්තේ, හුස්ම දුන්නේ හම්බන්තොට. ඒ නිසා අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා, දිනන වෙලාවෙදිත් ලොකුම දිනුම අරගෙන දෙන්නේ හම්බන්තොටින් කියන එක. අපට වැඩ ගොඩක් කරන්න තිබෙනවා. අපේ රටේ දේශපාලනය පරම්පරා කිහිපයකට පමණක් අයිති කියා ඒගොල්ලෝ සිතාගෙන ඉන්නවා. පැරණි, වැඩවසම්, ගෝත්‍රික ලක්ෂණයක් තමයි පරම්පරාවෙන් පරම්පරාවට දේශපාලනය ගලාගෙන එන එක. 1947 අගමැති ඩී.එස්. සේනානායකගෙන් පස්සේ 1956 වන තෙක් රට පාලනය කළේ බෝතලේ වලව්වේ, ඩී.එස්., කොතලාවල. 1956 අගමැති බණ්ඩාරනායකගෙන් පස්සේ 1965 වන තෙක් පාලන බලය හෙබවූයේ අත්තනගල්ලේ, හොරගොල්ල වලව්වෙන්. 1965 සිට 1970 තෙක් බෝතලේ වලව්වේ ඩඩ්ලි සේනානායක. 1970 සිට 77 වන තෙක් හොරගොල්ලේ වලව්වේ සිරිමාවෝ බණ්ඩාරනායක. 1977 සිට 1988 තෙක් ජේ.ආර්. ජයවර්ධන කොල්ලුපිටියේ වලව්වෙන්. 1994 සිට 2005 තෙක් හොරගොල්ල වලව්වේ චන්ද්‍රිකා බණ්ඩාරනායක. 2005 සිට 2015 තෙක් මැදමුලනේ වලව්වේ මහින්ද. 2015 පොළොන්නරුවේ මහපොළොවේ ඉපදුණු ගැමියා මෛත්‍රීපාල සිරිසේන. ඊට පස්සේ මැදමුලනේ වලව්වෙන්. දැන් ජේ.ආර්. ජයවර්ධනගේ බෑනා. මේ කියන්නේ අපේ රටේ දේශපාලන බලය තිබුණේ පවුල් කිහිපයක් අතේ. ඒ පවුල් අමාරුවේ වැටුණු වෙලාවල අවුරුද්දක් දෙකකට කවුරු හෝ එනවා. අරමුණ තිබෙන්නේ මේ පවුල් අත බලය රඳවා ගන්න.
රට පමණක් නොවෙයි ප්‍රාදේශීය වශයෙනුත් එහෙමයි. තාත්තා ඇමති වෙන කොට පුතා මන්ත්‍රී වෙනවා. මාතර ලක්ෂ්මන් යාපා, එයාගේ පුතා, එච්.බී. සිරිසේන එයාගේ පුතා, මහින්ද විජේසේකර එයාගෙ පුතා, මහින්ද යාපා ලක්ෂමන් යාපා ඉන්නවා. ගාල්ලේ රූපා කරුණාතිලකගෙ පුතා ගයන්ත කරුණාතිලක, රිචඩ් පතිරණ එයාගේ පුතා, දොඩම්ගොඩ එයාගේ පුතා සහ බෑනා, ඉන්නවා. දේශපාලනයේ ඔලුව තිබෙන්නෙත් පවුල් කිහිපයක් අතේ, දේශපාලනයේ දිස්ත්‍රික් මට්ටමෙන් කඳ තිබෙන්නෙත් පවුල් කිහිපයක් අතේ. ඒ ගම්වල තරුණයන් පෝස්ටර් ගහන්න, කොඩි වැල් අදින්න, වේදිකා තනන්න ඕනෑ. මේක තමයි, අපේ පහළ පංතියේ මිනිසන්ට උරුම කර දී තිබෙන්නේ. මේ රට පාලනය කළ දූෂිත, විනාශකාරී ප්‍රභූ පෙළැන්තියෙන් පොදු ජනතාව අතට බලය මාරුකර ගන්න යුගයක් අපි නිර්මාණය කරන්න ඕනෑ. මෙතන ඉන්න කිසි කෙනෙක් තාත්තා මන්ත්‍රී නිසා හෝ ඇමති නිසා මෙතනට ආ අය නොවෙයි. පොදු ජනතාවගේ හැකියාව, දක්ෂතාවය තිබෙන තරුණ තරුණියන්ට මේ රටේ පාලන බලය දක්වා ගමන් කළ හැකි නව දේශපාලන සංස්කෘතියක් අපේ රටට ඕනෑ. මෙතෙක් කල් අපේ රටේ පවුල් කිහිපයක් අතේ හිරවෙලා තිබුණු. කොටුකරගෙන තිබුණු, පරවේණි භුක්තියට ලියාගෙන තිබුණු සංස්කෘතිය වෙනස් කිරීමයි. අපේ දරුවන්ට තාත්තා කුඹුරු කොටනවා නම්, පුතත් කුඹුරු කොටනවා. තාත්තා මාළු අල්ලනවා නම් පුතත් මාළු අල්ලන්න ඕනෑ. ඒ තත්වය බිඳ වට්ටවා දූෂිත ප්‍රභූ පවුල් තන්ත්‍රයෙන් පොදු ජනතාව අතට පාලන බලය ගන්න ඕනෑ. මේ කරන්න යන්නේ ලංකාවේ ලොකුම දේශපාලන පරිවර්තනයයි.
ජනාධිපතිවරණයෙන් පසු අපි පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. දැන් ජාතික ජන බලවේගයට ඉන්නේ මන්ත්‍රීවරු තිදෙනයි. මේ සංඛ්‍යාව 120, 130 පන්නනවා. එයින් කියැවෙන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් සාමාන්‍ය ගොවි, ධීවර අම්මා තාත්තාගේ අලුත් තරුණ පරම්පරාවේ විශාල පිරිසක් එළඹෙන පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඊට පස්සේ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වනවා. පළාත් සභාවලටත් මේ රට වෙනස් කිරීමේ හැඟීමක් තිබෙන නැවුම් තාරුණ්‍යයේ පිරිසකගෙන් පිරෙන්න ඕනෑ. මෙතෙක් කල් කුණු වුණු, දූෂිත පවුල් සංස්ථාවට යට වුණු ජනාධිපති, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නැවුම් ක්‍රියාකාරිත්වයෙන් පිරෙන්න ඕනෑ. සැබැවින්ම මිනිසුන්ට ආදරය කරන, මාතෘ භූමිය එක්ක සැබෑ බැඳීමක් තිබෙන පරම්පරාවක් අතට දේශපාලන බලය ලබාදී නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කරනවා. සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 05 වෙන කොට මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිවණය පවත්වනවා. ඉදිරියට තිබෙන්නේ මාස හතරයි. ඒ කාලය තුළ වෙහෙස නොබලා වැඩ කිරීමෙන් නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීමේ ස්ථාවරය අපි ලබා ගනිමු. ඉන් පසුව කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ඇතුළු ආර්ථික ක්‍රියාකාරකම්වල යෙදෙන අපේ අම්මා තාත්තලාගේ ජීවිත සතුටින් පිරුණු ආදරය ලැබෙන තත්වයට පත්කරමු.
මාතෘ භූමිය වැදූ මව හා සමාන බව උගන්වා තිබුණාට මේ රට දාලා යන්නම පොළඹවන තත්වයක් තරුණ පරපුරට තිබෙන්නේ. මේ රට අත්හැර යාමේ එකම සිහිනය තිබෙන තරුණ පරපුරට නව ජීවිතයක් ලබාදීමට ක්‍රියාකරනවා. තරුණ පරම්පරාව වෙනුවෙන් නව අනාගතයක් නිර්මාණය කරනවා. නිදහස් ජීවිතයක් තිබෙන, ජීවිතය විඳිය හැකි නව ආර්ථිකයක් ජාතික ජන බලවේගයෙන් නිර්මාණය කරනවා. ඒ වෙනුවෙන් ලෝකයට අවශ්‍ය කරන මෘදුකාංග ඉංජිනේරුවන්ගේ පුරප්පාඩුවලින් සැලකිය යුතු පංගුවක් අපේ තරුණ පරම්පරාවට අත්කර දෙන්න ඕනෑ. කෘෂිකර්මාන්තය ආශ්‍රිතව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බවට තරුණ පරම්පරාව පත්වෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් මූලික ප්‍රාග්ධනය, නව තාක්ෂණික දැනුම ලබාදීමෙන් අවශ්‍ය පහසුකම් සපයා දෙනවා. දේශීය පමණක් නොවෙයි, ලෝකයේ නව වෙළඳපොළවල් සොයාගෙන යන තානාපති සේවයක් අපි ඇති කරනවා. ලෝකයේ ඩොලර් බිලියන 11,000ක් වූ ඉදිකිරීම් ආර්ථිකය 2030 වන විට ඩොලර් බිලියන 17,000ට වර්ධනය වෙනවා. ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය තිබෙන්නේ ඩොලර් බිලියන 12යි. ලෝකයේ ප්‍රබල ඉදිකිරීම් සමාගම්වල සිවිල් ඉංජිනේරුවන් වාස්තු විද්‍යාඥයන් ලෙස මේ රටේ තරුණ පරපුර යොමු කරමින් අනාගත සිහින යථාර්ථයක් කර ගත හැකි ආර්ථිකයක් ගොඩනඟනවා.
මේ සඳහා හැරවුමක් ගන්න තිබෙන්නේ තව මාස හතරකටත් අඩු කාලයක්. ඒ කාලය තුළ අපි නිහඬව සිට ඔවුන්ගේ ජයග්‍රහණයට ඉඩදී බලා සිටිනවාද, එසේ නැතිනම් මේ තත්වය වෙනස් කර ගන්න වැඩ කරනවාද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. බලය අත්පත් කර ගැනීම දක්වාම මේ නැගෙන නැගීමෙන් ඉදිරියට යමු. අපේ ජීවිත කාලයේ වැදගත්ම කාලය හැටියට මේ මාස හතර සලකා ගනිමින් ක්‍රියාකරමු කියා ඉල්ලා සිටිනවා.
(-විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුව – 2024.06.09 – ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරය-) මීට ප්‍රථම අපි ඔබ ලිප්ටන් වටරවුමේදී, කොටුව ස්ටේෂන් එක ඉදිරියේදී හමුවෙන්න ඇති. එදා අපි අත සටන් පාඨ පුවරුවක්. ඔබ අත සමහර විට බැටන් පොලු, කඳුළු ගෑස් තිබෙන්න ඇති. ඒ ඔබගේ රාජකාරිය. අද අපි මේ එකතු වි සිටින්නේ ඒ රාජකාරිය ඉක්මවා යන ලද […]
(-විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුව – 2024.06.09 – ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරය-)
මීට ප්‍රථම අපි ඔබ ලිප්ටන් වටරවුමේදී, කොටුව ස්ටේෂන් එක ඉදිරියේදී හමුවෙන්න ඇති. එදා අපි අත සටන් පාඨ පුවරුවක්. ඔබ අත සමහර විට බැටන් පොලු, කඳුළු ගෑස් තිබෙන්න ඇති. ඒ ඔබගේ රාජකාරිය. අද අපි මේ එකතු වි සිටින්නේ ඒ රාජකාරිය ඉක්මවා යන ලද යුතුකමක් වෙනුවෙනුයි; අපි ඉදිරියේ තිබෙන මේ රට වෙනස් කළ යුතුයි කියන අධිෂ්ඨානයෙන් යුතුවයි. ඔබගේ හමුවීම අපට විශාල ධෛර්යයක් හා විශ්වාසයක් ගෙනදෙනවා.
රවි සෙනෙවිරත්න මැතිතුමාට ආණ්ඩු පක්ෂයෙන් පමණක් නොවෙයි විපක්ෂයෙනුත් විශාල බලපෑමක් ආවා. ආණ්ඩුව සහ විපක්ෂය යන කණ්ඩායම් දෙකම, එතුමාට වෙලාවක මිත්‍රශීලිත්වයෙන්, විටෙක ආයාචනාවක ස්වභාවයෙන්, තවත් විටෙක තර්ජනාත්මකව මේ වේදිකාවට ගොඩවෙන්න එපා කියා තිබෙනවා. එපමණක් නොවෙයි මේ වන විටත් එතුමා පිළිබඳ අභූත චෝදනා ඉදිරිපත් කරමින් පරීක්ෂණ සිදුකරමින් සිටිනවා. මේ වේදිකාවේ ඉඳගෙන මම සාගල රත්නායකට කියනවා ඔබේ කැත වැඩේ නතර කරන්න කියා. ඕනෑම පුරවැසියෙකුට මේ රටේ තමන් කැමති දේශපාලන ව්‍යාපාරයක් එක්ක එකතුවෙලා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස වැඩකරන්න ශුද්ධ වූ අයිතියක් තිබෙනවා. ඒ කිසිම දේකට සාගලගේ හෝ සජිත්ගේ කැමැත්ත අකමැත්ත අවශ්‍ය නැහැ.
රවි සෙනෙවිරත්න මහත්මා යනු අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමායි. ශානි අබේසේකර යනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි අධ්‍යක්ෂවරයායි. ඒ නිසා මේ පක්ෂ දෙකේම පැටිකිරිය හොඳට ඒ අය දන්නවා. මේ තර්ජනය පිටුපස තිබෙන්නේ එයයි. ඒ කිසිදු තර්ජනයකට බිය නොවී, පලා නොයා ඔවුන් මේ වේදිකාවට ගොඩවී සිටිනවා. මේ රටේ ජනතාව ආමන්ත්‍රණය කර, ඔවුන්ට තිබෙන අත්දැකීම්වලින් අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍යයට කවරක්ද සිදුවෙලා තිබෙන්නේ කියා රටේ ජනතාවට හඬනඟා කියා තිබෙනවා. ඔවුන් නිර්භීත මිනිස්සු. කියනවා පමණක් නොවෙයි මේ තත්වය වෙනස් කිරීම සඳහා සක්‍රීය ලෙස මැදිහත්වීම සඳහා සපථකොට තිබෙනවා.
බොහෝ අය අපෙන් අහනවා, ඕගොල්ලන්ගේ ආණ්ඩුවක් ආවාම කරන්නේ කවුද කියා. අපේ පාලනයකදී නීතියේ විධානයේ ආධිපත්‍ය නිසි පරිදි තහවුරු කරන්නේ මේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතාමත්ම නීතිගරුකව වැඩ කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අත්දැකීම්, උපදේශ, මැදිහත්වීම් මගින් බව මම ප්‍රකාශ කරනවා. මේ රටට, අපේ පුරවැසියන්ට ඇති වී තිබෙන ප්‍රතිවිපාක අපි හැමෝම අත්විඳිමින් ඉන්නවා. දිගු ඉතිහාසයකට නොගොස් මේ අවුරුදු දෙක තුන දෙස බැලුවත් රටට, පුරවැසියන්ට සිදුවී තිබෙන්නේ කුමක්ද යන්න වැටහෙනවා. ණය ගෙවා ගන්න බැරිව බංකොලොත් වුණු රාජ්‍යයක්. ඉස්පිරිතාලෙට බෙහෙත් පෙත්ත ලබාදෙන්න බැරි වුණු රාජ්‍යයක්. අපි ඉදිරියේ තිබෙන්නේ, දරුවන්ට නිසි පරිදි අධ්‍යාපනයක් ලබාදෙන්න බැරිවුණු, ආදායම් සහිත රැකියාවක් නිර්මාණය කරන්න බැරි වුණු, අපරාධකරුවන්ගේ සහ දූෂිතයන්ගේ ග්‍රහණයට යටත් වුණු, රාජ්‍යයක්. මේකෙ ප්‍රතිවිපාක මුළු මහත් සමාජයම අත්විඳිමින් තිබෙනවා. මෙය වෙනස් කළ යුතුයි.
මෙය වෙනස් කරන්න නම් අනෙක් හැම ප්‍රතිසංස්කරණයක් සේම වැදගත්ම දේ තමයි නීතියේ විධානයේ ආධිපත්‍යය සහිත රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කළ යුතුයි. අපේ රටේ සෑම පුරවැසියෙකුටම නීතිය ඉදිරියේ තමන්ට වූ අසාධාරණයක් පිළිබඳව දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් සැලසිය යුතුයි. අපි නීතිය ඉදිරියේ සමානද? නැහැ. බලය, ධනය තිබෙන අයට එක නීතියක්. පොලිස් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ පද්ධතිය උසුළුවිසුළුභාවයට පත්කළ පාලකයන් මේ ඉන්නේ. සංචාරක වීසාවලින් ලංකාවට ආ බව ඩයනා ගමගේ දන්නවා. ඒ වීසා කාලය ඉකුත් වූ බව ඇය දැනගෙන තිබියෙදීත් ඇය පාර්ලිමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍යවරියක් ලෙස කටයුතු කළා. පුරවැසිභාවය නැති ඇයට විශ්වාසයක් තිබෙනවා, ඇයගේ දේශපාලන බලය අනුව නීතිය ක්‍රියාත්මක නොවෙන බව. ලයිසන් එක නැතිව බයිසිකලයක් පදින්න බය සමාන්‍ය පුරවැසියන් සිටින රටක, පුරවැසිභාවය නැතිව පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඇය අමාත්‍ය ධුරයක් හොබවනවා. ඩයනාට පුරවැසිභාවය නැති බව ඊළඟට දන්නේ රනිල්. එහෙම රටකට ඉස්සරහට යන්න බැහැ. නීතියේ ආධිපත්‍යය විධානය නිසි පරිදි ආරක්ෂා කෙරෙන රාජ්‍යයක් අපට ඕනෑ. පුද්ගලිකව මට හෝ අපේ ව්‍යාපාරයට ආරක්ෂා කරන්න අපරාධකරුවන්, දූෂිතයන්, පාතාලයින්, මූල්‍ය අපරාධකරුවන් හෝ ඝාතකයන් නැහැ. පොලිස් දෙපාර්තමේන්තුවට අනපනත්වලින් ලබාදී තිබෙන බලය මදි නම්, ඒ සඳහා පහසුකම් සලසා දී නිතියේ ආධිපත්‍යය සහ විධානය නිසි පරිදි ආරක්ෂා කරන බව අපි සහතික වෙනවා.
බොහෝ අය පොලීසියට චෝදනා කරනවා. නමුත් නූරි වත්තේ වතු අධිකාරීවරයාගේ ඝාතනය කිරීම හෝකන්දර හය දෙනෙකු ඝාතනය කිරීම, සරත් අඹේපිටිය විනිසුරුවරයා ඝාතනය කිරීම ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ සම්බන්ධයෙන් පොලීසිය නිසි පරිදි ක්‍රියාකර, අධිකරණය මගින් අපරාධකරුවන්ට දඬුවම් ලබාදුන්නා. නමුත් ලසන්ත ඝාතනය, එක්නැලිගොඩ පැහැර ගැනීම පිළිබඳ පරික්ෂණය, පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණය, කීත් නොයාර්ට පහරදීම පිළිබඳ පරීක්ෂණය, උපාලි තෙන්නකෝන්ට පහර දීම සහ පොද්දල ජයන්තගේ අතපය කඩාදැමීම වැනි පරීක්ෂණ අවසන් නොවෙන්නේ ඇයි? ඒ අපරාධ පිටුපස දේශපාලන හස්තයන් තිබෙනවා. අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවට නිල වශයෙන් ලබාදෙන පුහණුව පමණක් නොවෙයි, හොඳ ඉවක් තිබෙනවා. නමුත් මේ සියල්ල බිඳ වට්ටන්නේ දේශපාලන මැදිහත්වීම්වලින්. රවි සෙනෙවිරත්න මැතිතුමා, ශානි අබේසේකර පිළිබඳව කළ කතාවෙන් අපි සියල්ලන්ගේම හදවත් මොහොතකට නතර වුණා. රාජකාරිය ඉටුකිරීම සම්බන්ධයෙන් දඬුවම් කරනවා නම්, ඒ දේශපාලනය මොකක්ද? ශානි අබේගුණසේකරට අපි එක සහතිකයක් දෙනවා. අපේ පාලනයක් යටතේ අනිවාර්යයෙන්ම අපි ඔබට සාධාරණය ඉටුකරනවා. අසාධාරණයට සහ පලිගැනීම්වලට ලක්වූ ඔහු ඇතුළු සියලු නිලධාරීන්ට යුක්තිය සාධාරණය ඉටු කළ යුතුයි.
සමාජයේ ස්ථාවරභාවය ආරක්ෂා කර ගැනීමේදී පොලීසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. මිනිස් ශිෂ්ටාචාරය මේ දක්වා පැමිණියේ විශාල අරගලවල ප්‍රතිඵලයක් හැටියට. ගෝත්‍රික නායකයා අත තිබුණු නීති සම්පාදනය කිරීමේ බලය මිනිසුන්ගේ අරගලවල ප්‍රතිඵලයක් හැටියට විකාශනය වෙමින් ඇවිත් පාර්ලිමේන්තුවට පැවරී තිබෙනවා. ගෝත්‍රික නායකයන් අත තිබූ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ලද විධායකයට පැවරුවා. ගෝත්‍රික නායකයාට තිබූ දඬුවම් දීමේ බලය පොලිස් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතියක් වෙත පැවරී තිබෙනවා.
නමුත් අපේ රටේ නැවත පාර්ලිමේන්තුව ජනාධිපතිගේ සිග්නල් කණු බවට පත්වී තිබෙනවා. නීතිය පසිඳලීම සඳහා තිබෙන ආයතන ක්‍රමානුකූලව ඔහුගේ ග්‍රහණයට නතුකර ගනිමින් යනවා. ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ මේ ආයතනවලට ස්වාධීනව තමන්ගේ කටයුතු කරගෙන යාමේ අවස්ථාව ලබාදෙනවා. විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවට නිසි උසස්වීමේ ක්‍රියාපටිපාටියක් ලබාදෙනවා. පොලීසියට බැඳෙනකොට, බඳිනකොට වගේම විශ්‍රාම යන අවස්ථාවෙත් කොස්තාපල් තනතුරේම ඉන්න අය විශාල පිරිසක් සිටීමේ තත්වය වෙනස් කර, රැකියාවේ ඉදිරියට යාමේ හැකියාවට මූලිකත්වය දෙනවා.
අද පොලීසියේ බොහෝ පිරිසක් යොදවා සිටින්නේ ප්‍රභූ ආරක්ෂාවටයි. නමුත් ඔවුන් යෙදවිය යුතුව තිබෙන්නේ මහජන ආරක්ෂාවටයි. මා 2000 වසරේදී මහජන නියොජිතයෙක් ලෙස පත්වී මේ දක්වා කිසිදු පොලිස් නිලධාරීයෙක් මගේ ආරක්ෂාවට ලබාගෙන නැහැ. ප්‍රභූ ආරක්ෂාවට යොදවාගෙන සිටින අයගේ දුක අපි දන්නවා. අයවැය විවාද කාලවලදී පැය 12කට වඩා එක දිගට රාජකාරියේ යොදවා සිටිනවා. මේ තත්වය වෙනස් කරන අතරම, පොලිස් සේවයේ යෙදී සිටින සියලු දෙනාගේ ජීවිත පිළිබඳව ආරක්ෂා කරන්නත්, ජාතික ජන බලවේගය බැඳී සිටිනවා. අවුරුදු 24ක් පාර්ලිමේන්තුවේ ඉන්න මම අපේ හිතවතෙකු හෙල්මට් එකක් නැතිව ගිහින් ඇල්ලූ වෙලාවකවත් පොලීසියට කෝල් එකක් දීලා නැහැ. වැරදිකරුවන් නිදහස් කිරීම තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් බවට පත්කර ගෙන තිබෙන සංස්කෘතිය අපි සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඒ අතරම තව දෙයක් ඉතා පැහැදිලිව කියනවා. අපරාධකරුවන් සහ දූෂිතයන් සම්බන්ධ පරීක්ෂණවලදී ඉතා සමීප අවබෝධයකින් කටයුතු කරනවා. පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු සෑම දෙපාර්තමේන්තුවකට අදාළ වන ලෙස රාජ්‍ය යාන්ත්‍රණය කිසිසේත්ම දේශපාලනය වෙනුවෙන් යොදා ගන්නේ නැහැ. පොලීසියේ අයිතිකාරයා දේශපාලනඥයන් නොවෙයි. පොලීසියේ කොටසක් පුහුණුවීම් ලැබුවත් තමන්ගේ නිල ඇඳුමේ, තරුපටියේ ගෞරවය තබාගෙන රාජකාරි කරන්න අවස්ථාවක් මේ දක්වා ලබාදී නැහැ. සෑම පොලිස් නිලධාරියෙකුගේම නිල ඇඳුමේ ගරුත්වය, පටියේ ගරුත්වය, තරුවේ ගරුත්වය සහ වෘත්තීමය ගරුත්වය ආරක්ෂා කරන පාලනයක් අපි ස්ථාපිත කරනවා.
කාලයේ වැලිතලාවේ යටවීමට ඉඩහැර තිබෙන අපරාධ ජාතික ජන බලවේගයට නම් අමතක වෙන්නේ නැහැ. 1994දී වේදිකාවට නැගලා චන්ද්‍රිකා කුමාරතුංග කීවේ 17වසරක් හොරකම් කර තිබෙන දූෂිතයන්ව ගෝල්ෆේස් පිට්ටනියට ගෙනත් හමගහන බවයි. පොල් අක්කරය රුපියල් දෙක ගණනේ ගත් විජේපාල මෙන්ඩිස්ලාට දඬුවම් දෙන බව කීවත් අවුරුදු හතක් යනකොට ඒ විජේපාල මෙන්ඩිස් චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ කැබිනට් ඇමති කෙනෙක් බවට පත්කර ගත්තා. බැඳුම්කර කොල්ලයේ මහ මොළකරු, පාස්කු ප්‍රහාරයේ චූදිතයන් ලෙස නම් කළ රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ ජනාධිපති ලෙස පත්කරගෙන සිටිනවා. රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් රාජපක්ෂලාට මෙන්ම අපට විරුද්ධව පෑන මෙහෙයවූ ලසන්ත වික්‍රමසිංහගේ ඝාතනය රනිල් වික්‍රමසිංහ විසින්ම යටපත් කර තිබෙනවා. ඡන්ද වේදිකාවට පමණක් සීමාකරගෙන තිබූ අපරාධ චෝදනා, දූෂණ චෝදනා වේදිකාවට පමණක් සීමා කර, ඔවුන් දෙපැත්තම එකිනෙකා බදා සිප වැළඳ ගැනීමේ දේශපාලන සංස්කෘතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ අපරාධ සහ දූෂණයෙන් තොර රාජ්‍යයක් බවට මේ රට පරිවර්තනය කිරීමේ වගකීම බාර ගන්නවා. රටේ ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය වගේම මූලික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අපට කොරතම් සැලසුම් තිබුණත් නීතිය කඩා වැටී වල්වැදිලා නම්, වැඩක් වෙන්නේ නැහැ. අපේ රටේ යහපත් අනාගතය පිළිබඳ කාටහෝ අරමුණක් තිබෙනවා නම්, නීතියේ විධානයේ ආධිපත්‍යය අනිවාර්යයෙන්ම ස්ථාපිත කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් කළ හැකි විශාල කාර්යභාරයක් ඔබ වෙත පැවරී තිබෙනවා. මොනවා කළත් දූෂණය නතර කරන්න, අපරාධ වළක්වන්න බැරි බවට සමහරු මතයක් පළකරමින් යනවා. නමුත් එවැනි තත්වයකට ඇද දැමූ දේශපාලනය වෙනස් කිරීමෙන් මේ මතය සම්පූර්ණයෙන්ම අපි පරාද කරනවා. විටෙක මිත්‍රශීලී ලෙස, විටෙක ආයතනික ස්වභාවයෙන් සහ තවත් විටෙක තර්ජනාත්මක ස්වභාවයෙන් පොලීසියට සිදුවන දේශපාලනඥයන්ගේ මැදිහත්වීම සම්පූර්ණයෙන් අවසන් කරනවා.
තවත් සමහර පිරිසක් “පොලීසිය නම් හදන්න බැහැ” කියා කියනවා. නමුත් සෑම නිලධාරියෙකුටම තමන් ඉටුකරමින් සිටින කාර්යයෙන් ජයග්‍රහණය කිරීම පිළිබඳ උන්නතිකාමී හැඟීමක් තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යම් පරීක්ෂණයක් බාරදුන්නාම ඒ වෙනුවෙන් පොර බදමින් අවසානය දක්වා යන හැඟීමක් බහුතර නිලධාරීන්ට තිබෙනවා. පුරවැසියෙකුගෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබුණු විට ඒ පුරවැසියාට සාධාරණය ඉටුකර දීමේ හැඟීමක් සාතිශය බහුතරයකට තිබෙනවා. නමුත් ඒ හැඟීම් සියල්ල, මානවවාදී හැඟීම්, වෘත්තිය ගෞරවය, අයිස් වතුරේ ගිල්වා මරාදමා තිබෙනවා. පොදු පුරවැසියාට සාධාරණත්වය ඉටුකළ යුතුය යන හැඟීම වගේම රැකියාවේ උන්නතිකාමිත්වය, වෘත්තිය ගෞරවය යළි ස්ථාපිත කරනවා. අසාධාරණයකට ලක්වී තමන් ඉදිරියට එන කෙනෙකුට සාධාරණය ඉටුකිරීමෙන් ඇතිවන හැඟීම මුදලට ගත නොහැකි තෘප්තිමතිභාවය යළි ඇති කරනවා. රාජ්‍ය ආයතනවලට පොදුවේ එල්ලවී තිබෙන අප්‍රියජනක හැඟීම වෙනස් කළ හැකි, පුනරුද යුගයක් සියලුම රාජ්‍ය අංශවල යළි ඇති කරනවා. අපේ සමාජයේ ඇති විය යුතු ආකල්ප සහ සිතුම් පැතුම් පරිවර්තනය කර ගත යුතු වෙනවා. එවැනි පරිවර්තනයක් කර ගැනීම පිළිබඳව හැඟීමක් නැතිනම් දුෂ්කරතාවයන් විඳ ගනිමින් දුර ඈත ප්‍රදේශවල සිට ඔබ අද මෙතැනට එන්නේ නැහැ. කෙතරම් දුෂ්කර වුවත්, ඔබගේ මානවවාදී ගුණාංග විසින් මේ රටේ ජනතාවට යහපත් ජීවිතයක් ලබාදීමේ කොටස්කරුවන් වීම වෙනුවෙන් පොළඹවා තිබෙනවා. ඔබ මෙතනට පැමිණීමේදී අප කෙරෙහි තැබූ විශ්වාසය අබමල් රොණක තරමින් වත් පලුදු වෙන්න ඉඩ නොතබන බවට ඔබට සහතික වෙනවා.
“ජාතික ජන බලවේගය සමග එකතු වූයේ කඩා වැටී ඇති නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමටයි”
-අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානී රවි සෙනෙවිරත්න-
විශ්‍රාමික පොලිස් සාමූහිකය සත්‍ය වශයෙන්ම නීත්‍යානුකූල ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක්. නැවත පොලිස් රාජකාරි කිරීමට හෝ එවැනි කිසිම අරමුණක් අපට නැහැ. මෙතනට රැස්වී සිටින පිරිසකට පසුගිය දිනවල විවිධ දුරකථන ඇමතුම් ලැබුණා. සමහර ඇමතුම් තර්ජනාත්මකයි. මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී මහත්මාට දුරකථන ඇමතුමකින් තර්ජනාත්මකව කතාකර තිබුණා. බැරිම තැන ඒ සම්බන්ධයෙන් මොනරාගල පොලීසියට පැමිණිලි කළා. ඉන්පසු ඒ තර්ජනය කළ කෙනා ඉන්න ආයතනයක් සඳහන් කරමින් පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස බැගෑපත් වුණා. අපේ රටේ ජාතික මට්ටමේ ආයතනයකින් ඒ තර්ජනය කර තිබුණු බව පමණක් මම සඳහන් කරන්නම්. ඒ නිලධාරීන්ගේ නම් මම හෙළිකරන්නේ නැහැ.
අපි මෙවැනි දෙයකට යොමු වුණේ ඇයි කියලා පැහැදිලි කිරීමක් කර ගනිමු. මෙයට වසර දෙකකට පමණ පෙර සිට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමග දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කළා. අපේ ගැටලු ඉදිරිපත් කළා. එහිදි අපට ඔවුන්ගේ අවංකභාවය, අරමුණු වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බව පෙනී ගියා. අපි ඉදිරිපත් කළ ගැටලුවලට පැහැදිලි පිළිතුරු ලැබුණු බවත් සඳහන් කරන්න ඕනෑ. ඉන්පසු රට පුරා විහිදි සිටින විශ්‍රාමික පොලිස් ප්‍රජාව මේ කටයුත්තුට එකතු කර ගන්න අපි තීරණය කළා. තමන්ගේ ජීවිතයෙන් හොඳම කාලය කැපකිරීමකින් යුතුව රාජකාරිය වෙනුවෙන් යෙදවූ පිරිස එකතු කරගෙන නීති ගරුක රටක් නිර්මාණය කරන්න විශ්‍රාමික පොලිස් සාමූහිකය ගොඩනැගුවා. අද අපේ රට නීතිගරුක රටක්ද කියන එක ඔබම තීරණය කරන්න. පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය යන ආයතන තුන ස්වාධීනව ක්‍රියාත්මක වීමෙන් නීතිගරුක රටක් ගොඩනැගිය හැකියි. මේ අවස්ථාවට සහභාගී වී සිටින ඇතැම් අයට විදේශයන්ගේ අත්දැකීම් ඇති. පොලිස් නිලධාරියෙක් පාරේ දකින්න වත් නොමැතිව නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය ඒ අය දැක තිබෙනවා.
අපේ පොලීසිය නිර්මාණය වුණේ 1868දීයි. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ දේපොළ සහ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පොලීසිය පිහිටවූවා. ඒ වන විට කැරලි දෙකකට මුහුණ දීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිට වූවත් ආරම්භයේදී ස්වදේශිකයන් පොලීසියට බැඳුණේ නැහැ. බි්‍රතාන්‍යයේ හමුදාවලින් ගම්වලට ගිහින් හැඩි දැඩි තරුණයන් බලහත්කාරයෙන් ගෙනැවිත් පොලීසියට බඳවා ගත්තා. ඒ වගේම නිලධාරීන් හැටියට ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන්, මැලේසියාවෙන් රැගෙන ආවා. ඉහළම නිලධාරීන් බි්‍රතාන්‍යයෙන් රැගෙන ආවා. මේ පොලීසිය තුළින් දේශීය තත්වයක් පිළිබිඹු නොවූ නිසා එදා සිට මහජන විරෝධයක් ඇති වුණා. නමුත් නිදහස ලබාගෙනත් අවුරුදු 75ක් පමණ ගියත් ඉංග්‍රීසීන්ගේ ප්‍රතිපත්ති තාමත් වෙනස් වී නැහැ. මේ තත්වය වෙනස් කර, ජනතාව ආරක්ෂා කරන පොලීසියක් පිහිට විය යුතුයි. ජනතාව සතු පරමාධිපත්‍යය බලය ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම පෙරළා පාවිච්චි කිරීමට කණ්ඩායමක් පත්කර ගත්තා. එවැනි වූ පොලීසියෙන් අද මහජනතාව අපේක්ෂා කරන්නේ මොකක්ද? රහස් පොලීසියට ලබාදී තිබෙන බලය සාධාරණ ලෙස ක්‍රියාවේ යොදවා තමන්ව ආරක්ෂා කරාවි යැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේ ක්‍රියාදාමය අද පොලීසියෙන් සිදුවෙනවාද?
එයට පිළිතුරක් නොදී මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් ගැන මම කෙටියෙන් ඔබට පැහැදිලි කරන්නම්. නඩු අංක 505/2019 තීන්දුවට පාදක වුණේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවෙකු සොයාගෙන ඉමදූව ප්‍රදේශයට ගොස් ඒ සැකකරු නොසිටි නිසා ඔහුගේ බිරිඳත්, මාස කිහිපයක ළදරුවාත්, බිරිඳගේ අම්මාත් රැගෙන ඇවිත් පැය 12කට අධික කාලයක් රඳවා තබා ගැනීමයි. ඔහුන්ගෙන් ප්‍රශ්න කරමින් මානසික පීඩාවන්ට ලක්කරමින් ප්‍රකාශ ලබාගෙන තිබුණා. ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහත්මා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූයේ එය පැහැර ගැනීමක් ලෙසයි. මේ අය රැගෙන ආ නිලධාරීන්ගේ ප්‍රධානියා කරුණු දැක්වූයේ එය පැහැර ගැනීමක් නොවෙයි, ඒ අය කැමැත්තෙන් ආ බවයි. පැහැර ගැනීමක් කරනවා නම්, එය කරන හැටි දන්නා බවත්, මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ඒ නිලධාරියා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ තදබල විවේචනය එල්ල කළා.
මේ වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරමින් ඒ නිලධාරී “රාජ්‍ය ත්‍රස්තවාදීන් ලෙස” ක්‍රියාකර ඇති බව ප්‍රකාශ කර තිබුණා. මහජනතාව පොලීසියට බලය දී තිබෙන්නේ රාජ්‍ය ත්‍රස්තවාදීන් ලෙස ඒ බලය ක්‍රියාත්මක කරන්නද? එවැනි සිදුවීම් බොහොමයක් ගැන කතා තිබෙනවා. තරුණයන් කණ්ඩායමක් ගෝල්ෆේස් පිටියේ 2022 අප්‍රේල් මාසයේ සිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගියා. රාජ්‍ය අනුග්‍රහය ලැබූ ජන කණ්ඩායමක් ඒ තරුණ පිරිසට පහර දුන්නා. මහජනතාව මෙවැන්නක් කිසිසේත්ම අපේක්ෂා කළේ නැහැ. විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් බලා සිටියදී පහරදීමත් සමග මුළු රටම ගිනිගත්තා. මහජනතාව තමන්ගේ බලය තමන්ගේ අතට ගත්තා. තත්වය සමනය වෙන්න දින දෙකක් පමණ ගියා. පොලීසියේ බලය ක්‍රියාත්මක නොකිරීම නිසා, එවැනි තත්වයක් ඇති වුණා. අධිකරණයේ නඩුවක් තිබෙන නිසා මා ඒ ගැන වැඩිය කතා කරන්නේ නැහැ. ප්‍රතිඵලය වුණේ අගමැතිට සහ ඇමතිවරුන්ට සහ රජයට ඉල්ලා අස්වීමට සිදුවී අලුත් කණ්ඩායමක් බලයට පත්වීමයි. අන්තිමේදී ජනාධිපතිවරයාට රටෙන් පලා යාමට පවා සිදුවුණා. පොලිස් නිලධාරීන්ට පවරා තිබූ රාජකාරිය හරියාකාරව ඉටුනොකළ නිසා එවැනි තත්වයක් ඇති වුණා.
මම මේ කිවූ උදාහරණ දෙකේදීම වගකිවයුතු නිලධාරීන් තාමත් තනතුරු දරමින් රාජකාරි කරනවා. නීතිගරුක සමාජයක වෙන්න ඕනෑ මේකද? අධිකරණයෙන් වරදකරුවෙකු බවට තීන්දු කළ පුද්ගලයෙකු ඒ තනතුරේ තවමත් ඉන්නවා නම් මේ රටේ නීතියේ ආධිපත්‍යය මොකක්ද? මළමිනියක් ගෙදර තියාගෙන බූරුවා ගහනවාට වැඩි දෙයක් මෙතන නැහැ. 2015 ජනවාරි 08වැනිදා ජනාධිපතිවරණය පවත්වා පසුදින අලුයම ප්‍රතිඵල නිකුත් කරමින් තිබෙන අතර ඉහළම රාජ්‍ය නිලධාරීන් අරලියගහ මන්දිරයට ගෙන්වා තිබුණා. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම තාවකාලිකව නතර කර, රටේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර, හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න සාකච්ඡා කළා. එවකට සිටි පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහත්මා පළාත් නවයේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හට කතා කොට ආරක්ෂක තත්වය ගැන විමසා සිටියා. කිසිම නීතිය කඩවීමක්, සිදුනොවී සාමකාමීව තිබුණු බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර, හදිසි නීතිය පැනවීම අනවශ්‍ය බව ප්‍රකාශ කළා. මේ නිසා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර, අලුත් ජනාධිපතිවරයෙක් තේරී පත්වුණා. ඒ පොලිස්පතිතුමා ඒ තීරණය ගත්තේ නැත්නම් මේ රට අරාජික වී ලේ වැගිරීම් ඇතිවෙන්න ඉඩ තිබුණා. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වෙමින් තිබියෙදී හදිසි නීතිය පනවා වෙනත් ක්‍රියාමාර්ගයකට ගියා නම්, ලෝකයා ඉදිරියේ අපවාදයකට ලක්වෙන්න ඉඩ තිබුණා. නමුත් ඒ නිර්භීත නිලධාරියාගේ ක්‍රියාකලාපය නිසා ලොකු පැසසුමක් සමාජයෙන් ලැබුණා.
නිවැරදිව, ස්වාධීනව නීතිය ක්‍රියාත්මක කිරීම ලොකු දෙයක් නොවෙයි, නීතිය ස්වාධීනව ක්‍රියාත්මක කරන්න යාමේදී අයහපත් දේවලට මුහුණ දීමට සිදුවීම පිළිබඳව එක උදාහරණයක් මම කියන්නම්. පාස්කු ප්‍රහාරය සම්බන්ධව බොහොමයක් කරුණු මම කතාකර තිබෙනවා. එතන කුමන්ත්‍රණයක් තිබුණු බව පැහැදිලියි. ඒ සම්බන්ධව තවදුරටත් විමර්ශන කටයුතු කෙරෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන බාරව සිටියේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි ශානි අබේසේකර මහත්මයා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ සංවේදී විමර්ශන ගණනාවක් වන, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ පැහැර ගැනීම, කීත් නොයාර්ට පහරදීම, ශිෂ්‍යයන් 11දෙනෙකු පැහැරගෙන ගොස් මරා දැමීම වැනි පරීක්ෂණ ගණනාවක් ඔහුගේ අධීක්ෂණය යටතේ සිදුකළා. අවංකව, ස්වාධීනව කටයුතු කළ නිසාම ඔහුව පලිගැනීමට ලක්වුණා. 2019 අලුත් ආණ්ඩුව පත්වුණු වහාම තනතුරෙන් පහළ වෙනත් තනතුරකට පත්කළා. අගමැති, කැබිනට් ඇමතිවරු හෝ අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීම පෙර ශානි අබේසේකර මාරුකර හැර ඔහු යටතේ සේවය කළ නිලධාරීන් 700ක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් පවා නොමැතිව රටෙන් පිටවීම තහනම් කළා. ඒ නිලධාරීන් 700ම අපරාධ විමර්ශකයන්. ශානි අබේසේකරව හඹා යාම එතනින් නතර වුණේ නැහැ. වැඩ තහනම් කර, අසත්‍ය සාක්ෂි නිර්මාණය කර, මාස 11ක් හිරගෙයි රඳවා සිටියා. අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ බව අභියාචනාධිකරණය ඉදිරියේ ඔප්පු වුණා. ඔහුගේ විශ්‍රාම වැටුප ලබාදුන්නෙත් නැහැ. නමුත් මා ඉතා ගෞරවයෙන් සඳහන් කරන්නේ විශ්‍රාමික නිලධාරීන් කණ්ඩායමක් ශානි අබේසේකර පිටුපස සිට ඔහුගේ සියලු කටයුතු සොයා බැලූ බවයි. ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, විරාජ් කොරයා වගේම මියගිය ගෞරී සංඝරාසා මැතිනිය, ශාන්ත ජයවර්ධන, චමින්ද අතුකොර්ල ආදී නීතිඥ මහත්වරුන් නොමිලයේ ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටියා. විශ්‍රාම වැටුප නොගෙවා සිටීම සම්බන්ධයෙන් පැමිණිලි කළ අවස්ථාවේ පොලිස් කොමිෂන් සභාව එතනට ගෙන්වුවා. නමුත් ස්වාධීන පොලිස් කොමිසම එහිදී ප්‍රකාශ කළේ අමාත්‍යාංශයේ ලේකම්ගෙන් විමසා පිළිතුරක් ලබාගෙන බවයි. ස්වාධීන කොමිසමක් අමාත්‍යාංශ ලේකම්ගෙන් අහන්නේ ඇයි දැයි එහිදී ප්‍රශ්න කෙරුණා. විශ්‍රාම වැටුපේ හිඟ මුදල් ලබාගත්තේ ඒ ආකාරයටයි. පොලීසිය ස්වාධීන කිරීමට පිහිටුවා තිබෙන පොලිස් කොමිසම කොතෙක් දුරට ස්වාධිනද කියන ප්‍රශ්නය අප ඉදිරියේ තිබෙනවා.
පාස්කු ප්‍රහාරය පිළිබඳ අධිකරණ තීන්දුවලදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝග කළා. විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් චෝදනා පත්‍ර පිළිගත් කටාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු සේවයෙන් පහ කළා. පොලිස් කොස්තාපල්වරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු වන ඔවුන් දෙදෙනාට පමණයි දඬුවම් දී තිබෙන්නේ. නීතිය ඉදිරියේ සැමදෙනාම සමානයි කියන සංකල්පය මේකද? අපි මේ එකතු වී සිටින්නේ මේ දේවල් නිවැරදි කරන්න. කරන දේ පිළිබඳ සැලසුමකුත් ඒ සැලසුම ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙන කණ්ඩායමකුත් අපට සිටින්න ඕනෑ. දූෂණ, වංචා පිළිබඳ අපි ආරම්භ කළ පරීක්ෂණ සියල්ල ඇනහිට තිබෙන අතර සමහර විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කොට තිබෙනවා. ඒ අතර විමර්ශන නිලධාරීයා හිරේට යවන තත්වයක් තිබෙනවා.
නීතියේ ආධිපත්‍යය අද තිබෙන්නේ එතන. අපි වෙනස් කළ යුත්තේ එයයි. එය වෙනස් කිරීම වෙනුවෙනුයි ජාතික ජන බලවේගය සමග අපි එකතු වූයේ. ඒ කටයුත්ත ඉතා ඉක්මනින් කළ හැකිවේවි යැයි දැඩි විශ්වාසයක් සහ අධිෂ්ඨානයක් අපට තිබෙනවා. සොච්චම් විශ්‍රාම වැටපක් ලබාගන්නා අතර, අයහපත් කාලගුණය පවා නොතකා, ඊයේ රෑ 12ටත් පෙර ඈත ප්‍රදේශවල සිට පිටත්වී පැමිණි ඔබ සියලු දෙනා විශාල ශක්තියක්. අද ආරම්භ කළ මේ ව්‍යාපාරය අපි ඉදිරියටම ගෙන යනවා. පොලීසියේ රාජකාරි කරන ඉහළම නිලධාරීන් කිහිපදෙනෙකුත් රාත්‍රියේ මට කතා කොට, මේ වෙනස අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව ප්‍රකාශ කළා. ඒ වෙනස සිදුකිරීමට දිවිහිමියෙන් කටයුතු කරන බව ඔබ ඉදිරියේ ප්‍රකාශ කරනවා.