Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

NPP News

වැලිකඩ පොලිසියෙන් කළ කැඳවීමට NPP නායිකාවන් අද වැලිකඩට

-Colombo, February 05, 2024- පසුගිය දෙසැම්බර් 04 දින විවාදයට ගැනුන 2024 අයවැය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ වැය ශීර්ෂයට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැති උද්ඝෝෂණයට පොලිසිය විසින් අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කරමින් පහර දුන් අතර එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අද (05) සවස 3.00ට […]

-Colombo, February 05, 2024-

පසුගිය දෙසැම්බර් 04 දින විවාදයට ගැනුන 2024 අයවැය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ වැය ශීර්ෂයට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැති උද්ඝෝෂණයට පොලිසිය විසින් අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කරමින් පහර දුන් අතර එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අද (05) සවස 3.00ට වැලිකඩ පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

එම දැනුම් දීමට අනුව හිටපු නාගරික මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, නීතිඥ ධනුෂ්කී ලියනපටබැඳි, නීතිඥ නිමලා සිරිවර්ධන යන අය පෙනී සිටි අතර එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ නීතිඥයෝ වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල, නීතිඥ අකලංක උක්වත්ත, නීතිඥ ජගත් අබේනායක යන අයද වැලිකඩ පොලිසිය වෙත පැමිණ තිබිණි.

Show More

අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය සහ ශ්‍රී ලංකා මැතිවරණ සිතියමේ හැරවුම් ලක්ෂය…

-Colombo, February 05, 2024- ශ්‍රී ලංකා දේශපාලනයේ පෙරළිකාර වර්ධනයක් ලෙස, ජාතික ජන බලවේගයේ (NPP) නායක අනුර කුමාර දිසානායක වෙත ඉන්දීය රජය විසින් කල නිල ආරාධනයක් සැලකිය හැකිය. පක්ෂය වෙත ලද ප්‍රථම ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශය මෙය වන අතර NPP නායකයාගේ සංචාරය පෙබරවාරි 05 (අද) දින ආරම්භ වන්නේ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්‍ය එස්. ජෙය ශන්කර් මහතාගෙ […]

-Colombo, February 05, 2024-

ශ්‍රී ලංකා දේශපාලනයේ පෙරළිකාර වර්ධනයක් ලෙස, ජාතික ජන බලවේගයේ (NPP) නායක අනුර කුමාර දිසානායක වෙත ඉන්දීය රජය විසින් කල නිල ආරාධනයක් සැලකිය හැකිය. පක්ෂය වෙත ලද ප්‍රථම ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශය මෙය වන අතර NPP නායකයාගේ සංචාරය පෙබරවාරි 05 (අද) දින ආරම්භ වන්නේ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්‍ය එස්. ජෙය ශන්කර් මහතාගෙ නිල හමුවත් සමගයි. මෙම පෙර නොවූ විරූ පියවර, ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරනවා පමණක් නොව, විශේෂයෙන්ම කලාපයේ ආර්ථික බලවතුන් දෙදෙනා වන චීනය සහ ඉන්දියාව අතර සබඳතා පවත්වාගැණීමේදී NPP හි වර්ධනය වන ජාත්‍යන්තර බලපෑම සහ උපායමාර්ගික දැක්ම අවධාරනය කරයි.

රාජ්‍යතාන්ත්‍රික ව්‍යාප්තිය සහ ද්වීපාර්ශවීය සම්බන්ධතා

අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය එළඹෙන්නේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මැතිවරණවලට ආසන්නව ඉතා තීරණාත්මක අවස්ථාවක ය. ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සමඟ පවත්වන ඉහළ මට්ටමේ සාකච්ඡා මාලාව, ශක්තිමත් සබඳතාවයක් වර්ධනය කර ගැනීම සඳහා දෙරටේ වැදගත්කම අවධාරණය කරයි. මෙම සංචාරය ආර්ථික සබඳතා ශක්තිමත් කරනවා පමණක් නොව, ජාතියේ අනාගතය හැඩගැස්වීමේ හැකියාව තිබෙන් එකම හා ශක්තිකත්ම ප්‍රධාන දේශපාලන සංවිධානය ලෙස ජාතික ජන බලවේගය (NPP) ඉන්දියාව පිළිගන්නා බව සහතික කරමින් ශ්‍රී ලංකාවේ අනෙකුත් දේශපාලන පක්ෂ වලට සහ රටේ බහුතර ජනතාවට පැහැදිලි සංඥාවක් ලබා දෙයි. අනුර කුමාර කියන්නා සේ රටවල් ගණුදෙණු කරන්නේ තනි තනි පුද්ගලයන් සමග නොව බලය හොබවන රජයන් සමගයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති තනතුරට පත් කර ගැනීමේදී පොහොට්ටු පක්ෂයේ මහින්ද රාජපක්ෂ ඇතුලු කණ්ඩායම ප්‍රකාශ කලේ රනිල් වික්‍රමසිංහට ජාත්‍යන්තර සම්බන්ධතා තිබෙන බවත්, පවතින ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගැණීමට ඔහුට හැර වෙන කිසිවෙකුට බැරි බවත් ය. එය මහා පුස්සක් බව මේ වන විට හොඳින්ම ඔප්පු වී ඇත. අවාසනාව, ලංකාවේ අතලොස්සක් පිරිස් තවමත් එළුවාගේ මොකක්ද වැටෙන තුරු බලා සිටින්නාසේ, රනිල් වික්‍රමසිංහ විසින් ගෝඨාභය පොරොන්දු වූ සෞභාග්‍ය 2048 ගෙන එන තුරු බලා සිටී. එය නුදුරේම දවාලේ දුටු සිහිනයක් වනු නොඅනුමානය .

නොබැඳි රාජ්‍ය තාන්ත්‍රිකත්වය: චීන ඉන්දියානු බල තුලනය

NPP හි රාජ්‍ය තාන්ත්‍රික මූලෝපායට කේන්ද්‍රීය වන්නේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියට කැපවීමයි. මෙම ප්‍රවේශය, චීනයේ සහ දැන් ඉන්දියාවේ පවත්වන සාර්ථක චාරිකාවල දී, සමෘද්ධිමත් ආර්ථිකයන් දෙක අතර සියුම් සමතුලිතතාවයක් පවත්වා ගැනීමට ජාතික ජන බලවේගයේ කැපවීම පෙන්නුම් කරයි. චීනය සහ ඉන්දියාව යන රටවල් දෙකම සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වීමෙන්, ගෝලීය වේදිකාවේ, ශ්‍රී ලංකාවේ අවශ්‍යතා ආරක්ෂා කරමින් ප්‍රායෝගික හා ගතික විදේශ ප්‍රතිපත්තියක් ඇති දේශපාලන පක්ෂයක් ලෙස NPP පෙනී සිටී.

රාජ්‍යතාන්ත්‍රික දක්ෂතාවය සහ නායකත්වය

අනුර කුමාර දිසානායකගේ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණ අතර චීන රජයේ ආරාධනයෙන් 2023 දෙසැම්බර් මස කල නිල සංචාරය ඇතුළුව ජාත්‍යන්තර සන්ධාන ගොඩනැගීමේ ඔහුගේ දක්ෂතාවය පෙන්නුම් කරයි. සංකීර්ණ ගෝලීය දේශපාලනයේ සැරිසැරීමට හැකි දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ඔහුගේ කීර්තිය තහවුරු කරමින් ඉන්දියානු රජයෙන් ලැබෙන ආරාධනය ඔහුගේ දූරදර්ෂී නායකත්වය තවත් ඔප් නන්වයි. මෙම රාජ්‍ය තාන්ත්‍රික සූක්ෂ්මතාවය NPP හි විශ්වසනීයත්වය ඉහළ නංවනවා පමණක් නොව ශ්‍රී ලංකාව යලි ගොඩ නැගීම සහ නව පුනරුද යුගයකට ගෙනයාමට සමත් එකම නායකයා ලෙස අනුර කුමාර දිසානායක ස්ථීර ලෙසම මේ වන විට නිවැරැදිව ස්ථානගත වී ඇති බව තහවුරුයි.

ගෝලීය පිළිගැනීම: සැක දුරු කිරීම

අනුර කුමාර දිසානායක කලාපයේ රාජ්‍යන් සමඟ ක්‍රියාශීලී ලෙස සම්බන්ධ වීම ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට NPP ට ඇති හැකියාව පිළිබඳ වැරදි මතවලට අභියෝග කරයි. රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණ වලින් පෙන්නුම් කරන්නේ ගෝලීය හවුල්කාරිත්වයන් පෝෂණය කිරීම සඳහා NPP හි කැපවීම ජාත්‍යන්තර ප්‍රජාව පිළිගන්නා බවයි. මෙමගින් අනුර කුමාර දිසානායක හට ශ්‍රී ලංකාවට නායකත්වය දීමට ඇති හැකියාව පිළිබඳ සැක දුරු කරන අතර ජාත්‍යන්තර සහයෝගය ලබා දෙන්නේ පුද්ගලයන්ට නොව මහජන කැමැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වන රජයන්ට බව මේ හරහා අවධාරණය කරයි.

නිමාව

අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය ගෝලීය වේදිකාවේ NPP සහ ශ්‍රී ලංකාව සඳහා දැවැන්ත ඉදිරි ගමනක් සනිටුහන් කරයි. මෙම සංචාරයේදී ප්‍රදර්ශනය කරන ලද උපායමාර්ගික නියැලීම් සහ රාජ්‍ය තාන්ත්‍රික සියුම් බව ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරනවා පමණක් නොව ජාතියේ ඉරණම හැඩගැස්වීමේ ප්‍රධාන වගකිව යුත්තා ලෙස NPP ස්ථානගත කරයි. ශ්‍රී ලාංකීය ජනතාව මැතිවරණයට සූදානම් වන විට, NPP විසින් ලබා ගන්නා ලද ජාත්‍යන්තර පිළිගැනීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා සඳහා නව යුගයක් උදා කරමින් ගෝලීය රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ සංකීර්ණතා මෙහෙයවීමට සහ සක්‍රීය ලෙස ඒවාට මැදිහත් වීමට ජාතික ජන බලවේගයට හැකියාව තිබෙන බවට ප්‍රබල පණිවිඩයක් ලාංකික ජනතාවට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවට මෙම නිල සංචාර වලින් ලබා දෙයි.

ශාන්ත ජයරත්න
සාමාජික- NPP ප්‍රතිපත්ති කමිටුව

Show More

“ජාතික පුනර්ජීවනයකට නායකත්වය දිය හැකි එකම බලවේගය ජාතික ජන බලවේගයයි” -ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-

-Colombo, February 03, 2024- (‘ගැහැනු අපි එක මිටට’ – ජාතික ජන බලවේගය කාන්තා සමුළුව – පොළොන්නරුව දිස්තික්කය) ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන රනිල් වික්‍රමසිංහට තියෙන්නේ, මේ දැවැන්ත කාන්තා බලවේගය ඉදිරියේ ඡන්දෙ ඉල්ලන්න නොවෙයි, අත් දෙක ඔසවා යටත් වෙලා ‘මම පරාදයි’ කියා පිළිගන්නයි. ඉදිරි ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනවා. ජාතික ජන බලවේගය ජයග්‍රහණය […]

-Colombo, February 03, 2024-

(‘ගැහැනු අපි එක මිටට’ – ජාතික ජන බලවේගය කාන්තා සමුළුව – පොළොන්නරුව දිස්තික්කය)

ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන රනිල් වික්‍රමසිංහට තියෙන්නේ, මේ දැවැන්ත කාන්තා බලවේගය ඉදිරියේ ඡන්දෙ ඉල්ලන්න නොවෙයි, අත් දෙක ඔසවා යටත් වෙලා ‘මම පරාදයි’ කියා පිළිගන්නයි. ඉදිරි ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනවා. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමට මෙතෙක් සම්බන්ධ නොවුණු දැවැන්ත බලවේගයක් ලෙස කාන්තාවන් ඉන්න බව ඔහුට පිළිගන්න සිදුවෙනවා.

අපේ රටේ සමාජය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කාන්තාවක් කළත් කාන්තාවන්ට ප්‍රමුඛත්වයක් ලැබුණේ නැහැ. දේශපාලනයේදිත් ඔවුන්ව ඈත් කර තිබුණේ. අපට අද කාන්තාවන් බලවේගයක් ලෙස, සංවිධානයක් ලෙස ගොඩනගන්න හැකිවෙලා තිබෙනවා. මේ ඉන්නේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ‘කාන්තා බලවේගය’. ඉතිහාසයේ පළමුවෙනි වතාවට කාන්තාවන් බලවේගයක් ලෙස සංවිධානය වී, සමාන අයිතිවාසිකම් සහිතව ඉස්සරහට ආ අවස්ථාව. රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්ෂලා, සජිත් ප්‍රේමදාසලා වෙන වෙනම ආවත්, එකතු වෙලා ආවත් ඉදිරි දේශපාලනයේ ජයග්‍රහණය ජාතික ජන බලවේගය සතුයි. මේ බලවේගය පරදවන්න වෙනත් බලවේගයක් ලංකාවේ නැහැ. අනිද්දා (05 දා) රනිල් වික්‍රමසිංහ ඡන්ද වැඩ පටන් ගන්න දඹුල්ලට එනවාලු. ඉඩම් ඔප්පු දෙන්න වසම් වශයෙන් කාන්තාවන් එකතු කරනවා. අපේ ඉඩම් නිරවුල් නැහැ. අපිට ඉඩම් නැතිකම පාවිච්චි කරලා එයලා විටින් විට ඔප්පු දෙනවා. ඔප්පුව ලැබෙනවා ඉඩමේ අයිතිය ලැබෙන්නේ නැහැ. අපට ඔප්පු දුන්නාට ඉඩම් විදෙස් සමාගම්වලට දෙන්න යනවා. ආණ්ඩුවට අයිති කිරි ගොවිපොළවල් 32ක් ‘ඉන්දියාවේ අමුල්’ සමාගමට දෙන්න යනවා. ඒ ගොවිපොළවල් 32ක ඇතුලේ තිබෙනවා ඉඩම් අක්කර 28,000ක්. එහෙම රැවටීමක් මේ ඔප්පු දෙමින් කරගෙන යනවා. එක දවසක ඉඩම් ඔප්පු දෙන්න, අස්වැසුම දෙන්න, අඩු ආදායම්ලාභීන්, ක්ෂුද්‍ර මූල්‍ය ණයකරුවන් ලෙස කණ්ඩායම් ගෙනල්ලා රවට්ටලා, තමන්ගේ ඡන්ද ව්‍යාපාරය කරගෙන යන්න හදනවා. අපි රනිල් වික්‍රමසිංහලාට කියනවා, ඒ පරණ සෙල්ලම් දැන් වලංගු නැහැ. ඒ පැරණි දේශපාලනය පරද්දලා, මොන ඡන්දෙ ආවත් මාලිමාව ජයග්‍රහණය කරවන්න අපේ රටේ ජනතාව තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ තීන්දුවට ලොකු හයියක් ඇවිත් තිබෙනවා, ‘කාන්තා බලවේගය’. මෙතෙක් කල් සැඟවී සිටි කාන්තාවන් බලවේගයක් ලෙස, අධිෂ්ඨාන සහගතව ඇවිත් කියන්නේ, ඕගොල්ලෝ මොන ඡන්දය ගෙනාවත් ‘මේ පාලකයෝ පරද්දලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්න අපි සූදානම්’ කියන පණිවිඩයයි.

ඕගොල්ලෝ මෙතනට ඇවිත් තිබෙන්නේ සමෘද්ධිය ගන්න, අස්වැසුම හදාගන්න, ඉඩමක ඔප්පුවක් ගන්න නොවෙයි. අවුරුදු 76ක් තිස්සේ අපේ රටේ තිබුණු පාලනය වැරදියි, ඒක වෙනස් කරන්න ඕනෑ. වෙනස් කරන්න පෙරමුණ ගන්න අපි ලැහැස්තියි කියන විශ්වාසයෙන්. අපි මේ බලය ගන්නයි හදන්නේ. අපි ඔක්කෝම එකතු වෙලා ඒ බලය පාවිච්චි කරලා, ඒ බලය යොදවලා අපේ රට වෙනස් කරන්න ඕනෑ. ඔබට, අපට තිබෙනවා විශාල කාර්යභාරයක්. මේ දුෂ්ට, හොර නඩය පරද්දලා මහජනතාවගේ ආණ්ඩුවක්, ගැහැනු පිරිමි හැමෝටම සමාන අයිතිවාසිකම් තිබෙන කාන්තාවන්ට ගෞරවයෙන් සලකන සමාජයක් හදන්න ඕනෑ. ඒ සමාජය ඇතුලේ දැවැන්ත වෙනසක් ඇති කර ගන්න අපට අවබෝධයක් තිබෙන්න ඕනෑ.

අපි ජීවත් වෙන්නේ ආර්ථික වශයෙන් බිංදුවට වට්ටපු, බංකොලොත් කළ රටක. ඉදිරියේ ඇති අභියෝගය සරල එකක් නොවෙයි. පොහොර ටික දෙන එක හෝ කැරට් මිල අඩුකරන එකක් නොවෙයි. සහන දෙන එක, රුපියල් පන්දහසකින් වැටුප් වැඩිකරන එක නොවෙයි. අපි ඉදිරියේ තිබෙන්නේ වට්ටපු විනාශ කරපු ආර්ථිකයක් ගොඩගන්න එක. මේ පොලොන්නරුව විශාල ගොවි ජනතාවක් ඉන්න, අපේ රටට බත සපයන දිස්ත්‍රික්කයක්. හැබැයි දුප්පත් අය වැඩි ප්‍රමාණයක් ජීවත් වන්නේ මේ දිස්ත්‍රික්කවල. අපිට මිනිසුන් ලෙස ජීවත් වීමේ අයිතියක් තිබෙනවා. රට බංකොලොත් කියල පිළිගත්ත ආණ්ඩුවක්. ගෝල්ෆේස් ගාවට ගිහින් මුහුදට වෙඩි තිබ්බාට වැඩක් නැහැ. බංකොලොත් වෙලා වසර දෙකක් ගතවෙලා. අපේ දරුවන්ගේ හිස මත දැවැන්ත ණය කන්දක් තිබෙනවා. රට ලෝකෙට ණයයි. ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් ඉන්නවා. ණය බරින් මිරිකුණු ජාතියක් ඉන්නේ. වාර්තාවලින් පෙන්වලා තිබෙන් ජනගහනයෙන් බහුතරයක් තුන්වේල කන්නේ නැහැ. දැන් ආණ්ඩුව නැවතත් රුපියල් බිලියන එකොළොස් දහසක් ණය ගන්න බලාගෙන ඉන්නවා. අනෙක් පැත්තෙන් බදුබර පටවනවා. වට්ටපු ආර්ථිකය ගොඩගන්න ඕනෑ. ඒ සඳහා වත්කම් උපයන නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕනෑ. එහෙම ආර්ථිකයක් හැදීමට එකතු කළ හැකි දැවැන්තම බලය තමයි කාන්තාවන්ගේ ශක්තිය. ඒ වගේම ආර්ථිකයේ ප්‍රතිලාභ හැමෝටම සාධාරණව බෙදෙන්න ඕනෑ.

අපේ ආර්ථකයේ අයිතියක් අපට නැහැ. ආණ්ඩුවේ මුදල් පිළිබඳ ප්‍රතිපත්තිය තීරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. අපි කොච්චර බදු ගහන්න ඕනද, බැංකුවලට, රාජ්‍ය ආයතනවලට මොකද කරන්නේ කියලා තීරණය කරන්නේ ඒගොල්ලෝ. අපි ආර්ථික වශයෙන් පරාධීනයි. ආර්ථිකය බංකොලොත් වගේම ස්වාධීන නැහැ. නිදහස සමරන්න මුහදට වෙඩි තිබ්බාට වැඩක් නැහැ. ආර්ථික වශයෙන් අපි පරාධීනයි. සමාජීය වශයෙන් පරාධීනයි. අපෙ ප්‍රතිපත්ති අපි තීන්දු කරන්නේ නැහැ. අපි ජීවත් වෙන්නේ නිදහස නැති රටක. ආර්ථිකය හදන්න මානව සම්පත හා ස්වභාවික සම්පත ඕනෑ. දැන් මානව සම්පත රට දාලා යනවා. අනෙක් පැත්තෙන් වත්කම් ඉපයිය හැකි ස්වභාවික සම්පත් බොහෝ දේවල් ලංකාව සතුව නැහැ. හම්බන්තොට වරාය ඩොලර් ගෙන ආ හැකි සම්පතක්. වරාය අවරුදු 99ක්ම, අයිතිය චීනෙට, දුන්නෙ රනිල් වික්‍රමසිංහ. කොළඹ වරායේ එක ජැටියයි අපිට අයිති. අනෙක්වා අයිති විදෙස් සමාගම්වලට. ටෙලිකොම් එකත් දෙන්න යන්නේ. එක පැත්තකින් ආර්ථිකය බංකොලොත් කරලා. අනෙක් පැත්තෙන් ස්වාධීනත්වය නැති කරලා. ආර්ථිකය හදන්න තිබෙන සම්පත් ටික විකුණලා. ප්‍රශ්නෙ බරපතළයි. ඒක බේරන්න, ඔප්පුවක් දීලා, සමෘද්ධිය දීලා, අස්වැසුම දීලා විසඳන්න බැහැ. මේ අගාධයෙන් රට ගොඩගන්න ඕනෑ. අපට ශක්තිමත් හා ස්ථාවර ආර්ථිකයක් ඕනෑ. ස්වාධීන වෙන්න ඕනෑ. පරාධීනත්වයෙන් මිදෙන්න ඕනෑ. ඒ සඳහා ජාතික පිබිදීමක් ඕනෑ. ජාතික පුනර්ජීවනයක් ඕනෑ. ඒ සඳහා නායකත්වය දිය හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි. ඒකේ විශාල කාර්යභාරයක් ඉටුකළ හැක්කේ කාන්තාවන් වන ඔබට. ඔබ ‘එක මිටට’ නම්, ඒ බලය පරදවන්න කිසිවෙකුත් නැහැ.

ආර්ථිකය පමණක් නොවෙයි සමාජයත් වට්ටලා තිබෙන්නේ. දේශපාලනය කුණු කර තිබෙන්නේ. වංචා දූෂණ හොරකම පිරිලා. හොරකම් නොකරන පාලකයෙන් සොයා ගන්න නැහැ. කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමති වෙලා ඉන්න කාලේ ජනතාව මරාදාන විදිහේ බාල බෙහෙත් ගෙන්නුවා. පරීක්ෂණයේදි නිලධාරීන් අහුවුණා. ඇමති අත්අඩංගුවට ගත්තේ නැහැ. ඇමතිකම් මාරු කළා. පාර්ලිමේන්තුවේ එයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා. පාර්ලිමේන්තුවේ අය අත උස්සලා හොරාව රැක්කා. පසුව ඇමතිකම් වෙනස් කළා. ජනතාව උද්ඝෝෂණය කළා. ඇමති අත්අඩංගුවට ගත්තා. උසාවියෙන් රිමාන්ඩ් කළා. නමුත් හිරගෙදරට ගියේ නැහැ, අසනීපයි කියලා බන්ධනාගාර රෝහලට ගිහින්. බලනකොට මේ ඇමතිකම් කර තිබෙන්නේ ලෙඩෙක්. ලෙඩ්ඩු කොහොමද රට පාලනය කරන්නේ. හරිනම් ඇමතිකම් ගලවන්න ඕනෑ. අපි ලෙඩ්ඩුන්ට ආණ්ඩු බලය දීලා තිබෙන්නේ. හොරකම් කරල අහුවෙලා රිමාන්ඩ් දාපුවාම එයාලා හැමෝම රෝහල්ගත වෙනවා. ඒ ගොල්ලන්ගේ ආණ්ඩු එයාලට දඬුවම් කරන්නේ නැහැ. වංචා දූෂණ කළ දේශපාලුවන්ට නීතියෙන් දඬුවම් කරන ආණ්ඩුවක් ඕනෑ. එහෙම ආණ්ඩුවක් හදන්න පුළුවන් මාලිමාවට විතරයි.

අපේ රටේ මනුස්සකම නැහැ. ස්ත්‍රීන්ට, දරුවන්ට ආරක්ෂාව නැහැ. මත්ද්‍රව්‍ය හැමතැනම. දැන් දවස ගානේ ප්‍රවෘත්තියක් යනවා දවසකට නවසියයක් ඇල්ලුවයි කියලා. එහෙම බැලුවාම මාසෙකට තිස්දහසක් පමණ අල්ලනවා. රටම කුඩුද කියලා හිතෙනවා. රටේ ජනතාවගේ සදාචාරය වට්ටලා, සහෝදරත්වය, සාමූහිකත්ව නැතිකරලා. අපට කන්න නැතිකම විතරක් නොවෙයි බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න බැරි රටක් හදලා තිබෙන්නේ. මේ කුණු කරපු දේශපාලනය වෙනස් කරන්න ඕනෑ. ආර්ථිකය වගේම එකිනෙකාට ආදරය කරන සංස්කෘතියක් හදන්න ඕනෑ. දේශපාලනය ජාවාරමක සිට මහජන සේවයක් දක්වා ගෙනියන්න ඕනෑ. පෞද්ගලික කිසිවක් බලාපොරොත්තු නොවී, රට වෙනස් කරන සටනේදී නායකත්වය ගන්නත් අපි සූදානම් කියලා ගැහැනු ඔබ පෙන්වා දී තිබෙනවා. මේ රටේ දුක් විඳින අවසන් පරම්පරාව අපි වෙන්න ඕනෑ. තව මාස නවයකින් මේ රට වෙනස් කරන්න අපි ලැහැස්තියි, ඒකට අපේ ශක්තිය ලෙසයි ඔබ ඇවිත් ඉන්නේ. ඒ ඔබේ ධෛර්යට අපි ගෞරවයෙන් ආචාර කරනවා. ආර්ථිකයත්, සමාජයත් වෙනස් කොට සහෝදරත්වයෙන් ජීවත් විය හැකි රටක් හදන්න ඕනෑ.

ඔබට, අපිට ප්‍රශ්න ගොඩක් තිබෙනවා. ගොවියාගේ ප්‍රශ්න, කාන්තාවන්ට ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න ගොඩක් තිබෙනවා. තරුණයන්ට, වැඩිහිටියන්ට, විශ්‍රාමිකයාට තිබෙන ප්‍රශ්න සියල්ල වෙන වෙනම විසඳන්න බැහැ. අපි ඔක්කෝම එකට එකතු වෙලා මේ බලය වෙනස් කරලා රටට වෙනම බලයක් ගොඩනගන්න ඕනෑ. ඒ බලවේගයේ කොටස්කාරයෙක් බවට කාන්තාව පත්වෙන්න ඕනෑ. දැන් අපි ප්‍රේක්ෂකයන් වෙන එක නවත්වන්න ඕනෑ. ‘දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලන් ඉන්න’ අපට අයිතියක් නැහැ. අපි සමාජය වෙනස් කරන්න පෙරට එන්න ඕනෑ. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. දේශපාලනඥයන්ට හමුදාව, පොලීසිය ඉදිරියෙනුත් පසුපසිනුත් නැතිව ගමනක් යන්න බැහැ. මේ පාලකයන් පැළයක් හිටවනවා බලන්න. පැළේ හිටවන්න පොඩි වළක් කපනවා. හිටවන එකාට බහින්න ලොකු වළක් කපනවා. රතුපාට කාපට් එකේ ඇවිත් ලොකු වළට බැහැලා, පොඩි වළේ පැළයක් හිටුවනවා. රතු කාපට් එක නැතිව එන්නත් බැහැ. දෙකට නැමිලා පැලයක් හිටවන්න බැහැ. විශාල මුදල් වැය කරනවා. එහෙමයි නාස්ති කරන්නේ. ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුව තිබෙනවා.

අපට අලුත් නිදහස් අරගලයක් තිබෙනවා. මේ රටේ අයිතිය සැබෑ අයිතිකරුවන් අතට ගන්න ඕනෑ. ආර්ථිකය හදා ගන්න ඕනෑ. පරාධීනත්වයෙන් මිදිලා ස්වාධීනත්වය හදාගන්න ඕනෑ. අපේ චින්තනය වෙනස් වෙන්න ඕනෑ. පොදුවේ ජනතාව ගැන හිතන, සමාජය වෙනස් කරන්න ඕනැයි කියා හිතන සමාජයක් හදන්න අවශ්‍යයි. මනුෂ්‍යත්වය හදවත්වලට එන්න ඕනෑ. ආදරය බෙදාහදා ගන්න ඕනෑ. ඒ සමාජය හදන සවිඥානක බලවේගයක් ලෙස අපේ සහෝදරියෝ එකට එන්න ඕනෑ. අපේ රටේ ඉතිහාසය අලුතින් ලියන්න අපි ලැහැස්තියි, ඒකට පෙරමුණ ගන්න ගැහැනු අපි ලැහැස්තියි, ගෞරවණිය පුරවැසියෙකු ලෙස ජීවත් විය හැකි රටක් හදා දෙන්න අපි ලැහැස්තියි කියන අධිෂ්ඨානයෙන් ඔබ පැමිණ ඉන්නවා. අපි හැමෝම එකතු වී අපේ බලය ශක්තිමත් කරමු. මහජන පාලනයක් නිර්මාණය කරමු. 2025ට පය තබන්නේ අපේ පාලනයක් යටතේ කියන අධිෂ්ඨානයෙන් අපි අත්වැල් බැඳ ගනිමු.

“අපි එකතු වී සිටින්නේ සමාජය පරිවර්තනය කරන ඓතිහාසික ගමනකටයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය-

ලංකාවේ දකුණු දිසාවෙන් ආරම්භ වුණු රටම හොල්ලපු ගැහැනු බලය අද පුලතිසිපුරටත් ඇවිල්ලා. අද මුළු රටම පමණක් නොවෙයි මුළු ලෝකයම බලාගෙන ඉන්නේ මේ ගැහැනු බලය දෙස. මේක තීරණාත්මක මොහොතක්; හැරවුම් ලක්ෂයක්. අපි මේ එකතු වෙලා ඉන්නේ මේ සමාජය පරිවර්තනය කරන ඓතිහාසික ගමනකට. අපේ ඉතිහාසය අලුතින් ලියන වැඩේ කොටස්කරුවන් බවට ඔබ පත්වෙලා. ඉතිහාසය තුළ ගැහැනු අපේ හඬ නිහඬ කර තිබුණේ. අපේ ඉතිහාසය ලියන්න අපට අවස්ථාවක් තිබුණේ නැහැ. රට නිදහස ලබා අවුරුදු 76ක් වුවත් ගැහැනු තවමත් නිදහස ලබා නැහැ. අපේ නිදහස ලබා ගන්නත්, අප තුළ තිබෙන ධෛර්යය රට වෙනස් කිරීම සඳහා යොදා ගන්නත් තමයි අපි මේ එකතු වෙලා තිබෙන්නේ.

රටක සංවර්ධනයත් ශිෂ්ටසම්පන්නද යන්න මනින නිර්ණායකයන් තමයි ගැහැනුන්ගේ ජීවිත කොතරම් සුරක්ෂිතද, අභිමානයෙන් ජීවත් වෙනවාද කියන එක. පසුගිය මාස 17 තුළ මාතෘ මරණ 119ක් සිදුවෙලා තිබෙනවා. අපේ කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට හැකි වී තිබුණා. අපට පවුල් සෞඛ්‍ය සේවිකාවන් මගින් විශිෂ්ට ප්‍රජා සෞඛ්‍ය සේවාවක් ලැබී තිබුණා. රෝහලකට, ක්ලිනික් එකකට ගියොත් අපෙන් සතයක් හෝ වියදම් නොකර, ලෝකයේ තිබෙන හොඳම සෞඛ්‍ය සේවාව ලබාගත හැකි වුණා. අද රෝහලකට ගියාම හෙදියන්, දොස්තරලත් නැහැ. ඒ වගේම බෙහෙතුත් නැහැ. එළියෙන් බෙහෙත් ගන්න අපට විශාල වියදමක් අද දරන්න සිදුවෙලා. අද කාන්තාවන් සෞඛ්‍යය අතහැර දමා තිබෙන්නේ. ඒ ආහාර හා සෞඛ්‍යය යන දෙකම එකවර ඉටුකර ගන්න නොහැකි වෙලා නිසා. අපේ සෞඛ්‍ය ඇමති අමු අමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය විනාශ කරලා. ප්‍රචලිත හොරෙක් ලෙස නම් ලබාගත් හිටපු සෞඛ්‍ය ඇමති හිරේ දාලා. ඒක කරන්න ජනතාව කොයිතරම් අරගල කළාද? කොතරම් කාලයක් ගතවුණාද? අපේ ජීවිතයට අවශ්‍ය වන සියලුම ක්ෂේත්‍ර කඩාවට්ටලා තිබෙන්නේ. අධ්‍යාපනය බරපතළ ඛේදවවාචකයක් බවට පත්වෙලා. විශ්වාසයෙන් යුතුව දරුවෙක් පාසලට යවන්න බැහැ. අද තරුණ තරුණියන්ට අධ්‍යාපනයේ වටිනාකම ගැන විශ්වාසයක් නැහැ. පාසල් ගුරුවර ගුරුවරියන් පවසන්නේ දරුවන්ව පාසල තුළ රඳවා ගත නොහැකි බව. කවදාවත් නොමැති ආකාරයෙන් විශ්වවිද්‍යාලවලට දරුවන් යන්න කැමති නැතිවෙලා තිබෙනවා. දරුවෙකුට උගන්වා ගොඩයන්න පුළුවන් කියන දෙමව්පියන්ගේ විශ්වාසය බිඳවැටිලා.

හෙට තමයි එයාලා නිදහස සමරන අවසාන දිනය. 76 වන නිදහස සමරන මොහොතේ මේ පාලකයන් පුරවැසියන්ට ඉතිරි කර තිබෙන බලාපොරොත්තුව මොකක්ද? එයාලා, අපේ නිදහස විනාශ කරලා, මෙවර නිදහස් උත්සවය ජනතාවට තහනම් කොට තිබෙනවා. ජනතාවක් නැති නිදහස් සැමරීම මොකක්ද? අපි 2025 අවුරුද්ද අපේ පුරවැසියන්ගේ නිදහස සමරන අවුරුද්ද බවට පත්කර ගන්නවා. ජනතාවාදී පාලනයක් තුළ තමයි ජනතාවට නිදහස ලැබෙන්නේ. එවන් පාලනයක් ගොඩනැගීමේ කාර්යය තමයි අපි මේ ඉටුකරමින් ඉන්නේ. මේ රටේ ජනගහනයෙන් 52%ක් ගැහැනුන්. මේ රටේ සෑම ක්ෂේත්‍රයකම ගැහැනුන් රට වෙනුවෙන් විශාල වැඩකොටසක් කරනවා. ඇඟලුම් ක්ෂේත්‍රයේ වැඩ කරලා, විදේශගත වෙලා, තේ කර්මාන්තය තුළ, අනන්ත දුක් විඳලා, ඩොලර් හම්බ කළා. මේ පාලකයෝ ඒවා නාස්ති කළා. අධ්‍යාපන, සෞඛ්‍ය, වැනි ක්ෂේත්‍රවල විශාල වැඩ කොටසක් ගැහැනු කරනවා. කිසිදු වැටුපක් නොලබන ගැහැනු සමාජ මෙහෙවර වෙනුවෙන් විශාල දායකත්වයක් දක්වනවා. ගැහැනු කරන වැඩ ටික කෙරෙන්නේ නැතිනම් මේ රට දවසක් පවතින්නේ නැහැ. දරුවන් හදන එක, දරුවන්ගේ අධ්‍යාපනය බැලීම, වැඩිහිටියන් බලාගන්න එක, පවුලේ සාමාජිකයෙක් අසනීප වුණාම බලන එක මේ සියල්ල ගැහැනිය විසින් ඉටුකරනවා.

මේ කාර්යයන් වෙනුවෙන් සමාජයෙන් ලැබෙන වටිනාකම මොකක්ද? ඔබ කුස්සිය තුළ කරන අරගලය අපි දන්නවා. මේ අවස්ථාවෙත් ඔබ සිතනවා ඇති අද රෑට කන්නේ කොහොමද? මොනවද කන්නේ කියන එක සිතමින් ඇති. හෙට දවස ගැන සිතමින් ඇති. ඒක තමයි ඔබේ විශේෂත්වයත් විශිෂ්ටත්වයත්. ඒ ධෛර්යය තුළින් තමයි මේ රට වෙනස් වෙන්නේ. අපේ ජීවිත පහසු වෙන, නිදහසේ ජීවත් විය හැකි සමාජයක් ගොඩනගන්න. මේ රටේ ගැහැනුන් දැන් තීරණය කර තිබෙනවා දැන් ඉවසුවා හොඳටම ඇති කියලා. මීට වඩා සාධාරණ, ගැහැනුන්ට වටිනාකමක් දෙන, ගැහැනු අපේ බලයට තැනක් දෙන සමාජයක් බවට පත්කර ගන්නවා කියලා. ඒ සඳහා ජාතික ජන බලවේගය නායකත්වය දෙනවා. ඒ සඳහා අපි සියලු දෙනා එකතු වී සිටිනවා. සාම්ප්‍රදායික දේශපාලනය මෙතෙක් කළේ මැතිවරණ කාලයේ අපිව පාවිච්චි කරගෙන බලයට ඇවිත් අපේ ජීවිත විනාස කරන එකයි. තවදුරටත් ඔවුන්ගේ බල ව්‍යාපෘති සඳහා අපව යොදා ගන්න ඉඩ තියන්නේ නැහැ, කියන තීරණය අරගෙන ඉවරයි. ජාතික ජන බලවේගය මේ කරන්නේ ඡන්ද ව්‍යාපාරයක් පමණක්ම නොවෙයි, විනාශ කරපු රට හදන්න තමයි ඔබව එකතු කරන්නේ. අපි එක අරමුණකට ඇවිත් සාමූහික ප්‍රයත්නයක යෙදුණොත් තමයි මේ රට හදන්න හැකි වෙන්නේ. ඔබ ඒ දැවැන්ත ව්‍යාපාරයේ කොටස්කරුවන්. මේ සමාජය වෙනස් කර මිසක් නවතින්නේ නැහැ කියන අධිෂ්ඨානයෙන් අපි ඉදිරියටම යමු.

Show More

උද්ඝෝෂණයෙන් මාස දෙකකට පසු කට උත්තර ගැනීමට NPP නායිකාවන් පිරිසකට වැලිකඩ පොලිසියෙන් කැඳවීමක්…

-Colombo, February 03, 2024- හෙට (05) සවස 3.00ට පොලිසිය හමුවේ කට උත්තරයක් ලබාදෙන ලෙස හිටපු නාගරික මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, නීතිඥ ධනුෂ්කී ලියනපටබැඳි යන අයට වැලිකඩ පොලිසිය විසින් දන්වා තිබේ. පසුගිය දෙසැම්බර් 04 දින විවාදයට ගැනුන 2024 අයවැය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ වැය ශීර්ෂයට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය […]

-Colombo, February 03, 2024-

හෙට (05) සවස 3.00ට පොලිසිය හමුවේ කට උත්තරයක් ලබාදෙන ලෙස හිටපු නාගරික මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, නීතිඥ ධනුෂ්කී ලියනපටබැඳි යන අයට වැලිකඩ පොලිසිය විසින් දන්වා තිබේ.

පසුගිය දෙසැම්බර් 04 දින විවාදයට ගැනුන 2024 අයවැය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ වැය ශීර්ෂයට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැති උද්ඝෝෂණය සම්බන්ධයෙන් කටඋත්තර ගැනීමට මෙසේ කැඳවා තිබේ.

Show More

අනුරට ඉන්දීය රජයෙන් ආරාධනාවක්

-Colombo, February 03, 2024- ඉන්දියානු ආණ්ඩුවේ නිල ආරාධනාවකට අනුව ජාතික ජන බලවේගයේ නායකයා ඇතුළු පිරිසක් හෙට (05) ඉන්දියාව බලා පිටත් වෙයි. ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පා.ම. විජිත හේරත්, ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත යන අය මෙම පිරිසට අයත්වේ. හෙට දිනයේදී නිල හමුවීම් සිදුවීමට නියමිතය.

-Colombo, February 03, 2024-

ඉන්දියානු ආණ්ඩුවේ නිල ආරාධනාවකට අනුව ජාතික ජන බලවේගයේ නායකයා ඇතුළු පිරිසක් හෙට (05) ඉන්දියාව බලා පිටත් වෙයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පා.ම. විජිත හේරත්, ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත යන අය මෙම පිරිසට අයත්වේ. හෙට දිනයේදී නිල හමුවීම් සිදුවීමට නියමිතය.

Show More

“අප නිදහස ලබා ගන්නේ කෙසේදැයි කතා කරන විට ඔවුන් ඔවුන්ගේ නිදහස සමරනවා” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

-Colombo, February 03, 2024- (‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය – මොනරාගල දිස්ත්‍රික් සමුළුව) නිදහස ලබා හැත්තෑහය වැනි වසර අපි සමරනවා. ජනතාවට තහනම් භූමියක් කර හමුදා පෙළපාළි පවත්වා ගුවන් කරණම් සංදර්ශන පවත්වා, පැරිෂුට් සංදර්ශන පෙන්වා නිදහස් සමරුවක් පවත්වනවා. අපේ රටේ නිදහස වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරන ලද ත්‍රිවිධ හමුදාවේ සාමාජික, සාමාජිකාවන් එක් කර නිදහස ලබා ගන්නේ කොහොමද […]

-Colombo, February 03, 2024-

(‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය – මොනරාගල දිස්ත්‍රික් සමුළුව)

නිදහස ලබා හැත්තෑහය වැනි වසර අපි සමරනවා. ජනතාවට තහනම් භූමියක් කර හමුදා පෙළපාළි පවත්වා ගුවන් කරණම් සංදර්ශන පවත්වා, පැරිෂුට් සංදර්ශන පෙන්වා නිදහස් සමරුවක් පවත්වනවා. අපේ රටේ නිදහස වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරන ලද ත්‍රිවිධ හමුදාවේ සාමාජික, සාමාජිකාවන් එක් කර නිදහස ලබා ගන්නේ කොහොමද කියලා අද අපි මොනරාගලදී කතා කරනවා. ඔවුන් නිදහස ලබා ගත්තා කියලා භුක්ති විඳිනවා. අපි නිදහස ලබා ගන්නේ කොහොමද කියලා කතා කරනවා.

අපට අවුරුද්දකට කලින් ඉන්දියාවට නිදහස ලැබුණා. ඉන්දියාව ඔවුන්ගේ නිදහස සමරන්නේ සඳ තරණය කළ පස්වැනි රාජ්‍යය ලෙසයි. ඒ වාගේම ලෝකයේ විශාලතම ආර්ථිකයක් නිර්මාණය කර ගත් රාජ්‍යයක් ලෙසයි. ඒ වාගේම ලෝක ඉතිහාසයේ ගුවන් යානා පන්සියයක් එකවර ඇණවුම් කළ රාජ්‍යයක් ලෙසයි. ලෝක ඉතිහාසයේ එකවිට ඉදිරිපත් කරන ලද වැඩිම ගුවන් යානා ඇණවුම ඉන්දියාව ඉදිරිපත් කර තිබෙනවා. ඉන්දියාව ආර්ථිකයේත්, විද්‍යාවේත්, ජාතික සමඟියේත් ඉදිරියට ඇවිත් තිබෙනවා. අප ණය ගෙවා ගන්න බැරි වුණු ජාතියක්. දෙදහස්තිහ වන විට ඉන්දියාවේ සියලුම දුම්රිය විදුලියට පරිවර්තනය කරන්න සැලැසුම් කර මේ වෙන කොටත් ඩීසල් එන්ජින් ඉවත් කරමින් යනවා. ඒ එන්ජින් අපට නිකම් ලබා දෙනවා. ඒ එන්ජින් ගේන්න බලන්නත්, හැටපහක් ගියා. අපට වඩා අවුරුද්දකට කලින් නිදහස ලබා ගත් ඉන්දියාව එහෙම වෙන්නත්, අපට මෙහෙම වෙන්නත් හේතුව මොකක්ද? අප ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්න ඕනෑ.

නිදහස සමරන කොට කොතරම් ජාතික අභිමානයක් දැනෙන්න ඕනෑද? 1505 සිට ආසන්න වශයෙන් අවුරුදු හාරසියපණහක් කවර හෝ බටහිර ජාතියකගේ බලපෑම්වලට අප යටත්ව සිටියා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බටහිර රාජ්‍යයන්ගේ බලපෑමට යටත්ව සිට 1796 දී තීරණාත්මකව ඉංග්‍රීසින්ගේ යටත්විජිතයක් බවට පත් වීම ආරම්භ වුණා. 1815දී අපේ මාතෘභූමිය මුළුමනින් ම ඉංග්‍රීසින්ගේ යටත්විජිතයක් බවට පත්ව අවුරුදු 133ක් සෘජු යටත්විජිතයක්ව පැවැතියා. ඉන් පසුව නිදහස ලබන දිනයේදී අපට කොතරම් ජාතික අභිමානයක්, ආඩම්බරයක්, නව ජාතික පිබිදීමක් ඇති වෙන්න ඕනෑද? නමුත්, ඒ දිනය සාඩම්බරයෙන් සැමරිය යුතු දිනයක් ලෙස කාගේ හෝ හදවතකට දැනෙනවාද? චක්‍රලේඛය නිසා රජයේ කාර්යාලවල කොඩියක් එසවෙනවා. නිදහස පිළිබඳ ආත්ම අභිමානය, ජාතික හැඟීම දීලා තියෙන්නේ චක්‍රලේඛයෙන්. කෙහෙළිය රඹුක්වැල්ල ගෙන යන බන්ධනාගාර බස් රථයේ චක්‍රලේඛයෙන් ජාතික කොඩියක් දමා තිබුණා. බස් එකේ ජාතික කොඩියක් දාගෙන, ඇතුළේ හොරාකාපු ඇමැති ගෙන යනවා. ජාතික නිදහස පිළිබඳ ආඩම්බරයක්, අභිමානයක්, ජාතික පිබිදීමක් අපේ හදවත්වලට දැනෙන්නේ නැත්තේ ඇයි ? ගෙවී ගිය හැත්තෑහය වසර පුරා අපේ ජාතික අභිලාෂ සහ අරමුණු සාක්‍ෂාත් කර ගන්න සමත් වී නැහැ. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඇතුළු ආධිපත්‍යය දරන රටවල් අපට එල්ල කොට තිබෙන ආර්ථික සහ දේශපාලන වට්ටෝරුවෙන් ඇත්තටම නිදහස ලබා ගන්න තාමත් බැරි වුණා.

අපේ රට පාලනය කිරීම සඳහා බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඉතා සූක්‍ෂ්මව යොදා ගත්තේ බෙදා වෙන් කොට පාලනය කිරීමයි. ඔවුන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තෝරන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යනාදී බෙදීමෙන්. ලාංකේය ජාතිය ලෙස තෝරන්නේ නැහැ. තවදුරටත් උඩරට සිංහල, පහතරට සිංහල, යාපනයේ දෙමළ, වතු දෙමළ වශයෙන් බෙදා වෙන් කළා. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් යොදා ගත් මේ බෙදීම නිදහස ලබා ගත් පසුව ආපසු හැරවිය යුතුව තිබුණා. ඉන්දියාව ඒ දේ කළා. ප්‍රාදේශීය බෙදීම්, ආගමික බෙදීම්, කුල බෙදීම් විශාල වශයෙන් තිබුණු ඉන්දියාව එක කොඩියක් යටට ගෙන ආවා. ඔවුන් නිදහස ලබා ගන්නේම එක්සත්භාවය මත. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයකු වූ අබ්දුල් කලාම්ට ඉන්දියාවේ ජනාධිපති වෙන්න හැකි වුණා. ඒ වාගේම කුලහීන යැයි සම්මත කාන්තාවක් ජනාධිපති වී සිටිනවා. ජාතික ඒකමතිය, ජාතික ඒකාග්‍රතාව මුලට ගෙන බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් එල්ල කොට තිබූ හෙණයෙන් ඔවුන් නිදහස් වුණා. ඉන්දියානු ජයග්‍රහණය පතුලේ තිබෙන්නේ ඉන්දියානු ජාතිය ගොඩනැඟීමයි. අප 1948 නිදහස ලබාගෙන පුරවැසි පනත ගෙනැවිත්, වතුකරයේ දෙමළ ජනතාවගේ පුරවැසිභාවය අහෝසි කළා. 1947් මැතිවරණයේ දී වතු ජනතාව නියෝජනය කළ ආසන වාගේම ඒ ජනතාවගේ සහයෝගය ලැබුණු ආසනවලත් වමේ ව්‍යාපාර ජයග්‍රහණය කළා. මේ නිසා 1947 දෙමළ ජනතාව නියෝජනය කළ එක්සත් ජාතික පක්‍ෂය පැරැදුණු ආසන සියල්ලම 1952 මැතිවරණයේදී ඔවුන් දිනුවා. නිදහසින් පසුව පටන් ගත්තේ ම ජාතිය බෙදා වෙන් කිරීමෙන්. චෙල්වනායගම් මහත්මයාගේ ෆෙඩරල් පක්‍ෂය ගොඩනැඟුණේ මේ නිසයි. 1956 භාෂා ප්‍රශ්නයත්, 1958 දෙමළ – සිංහල කෝලාහලයත්, ‘ශ්‍රී’ අකුර සම්බන්ධ කෝලාහලයත් පටන්ගෙන 1970 මැද වෙන කොට උතුරේ සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ වී 2009දී එය අවසන් කළා. 2015දී මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් පටන්ගෙන 2019දී පාස්කු ප්‍රහාරය එල්ල කළා. සුදු අධිරාජ්‍යවාදීන් අපේ විනාශය කරා එළන ලද බෙදා වෙන් කිරීමෙන් නිදහස් වෙන්න තවමත් අපට බැරි වී තිබෙනවා. අප මුහුණ දී සිටින ව්‍යසනයේ එක තැනක් එතැනයි.

අපට අපේම වූ ආර්ථික උපායමාර්ගයක් සපුරා ගන්න බැරි වුණා. ප්‍රෞඪ ඉතිහාසයක් තිබෙන බව කියමින්, අනාගතයක් පිළිබඳ දැක්මක් ඉදිරිපත් කළේ නැහැ. අපේ රටත්, ජාතියත්, දේශපාලකයාත් අතීතකාමීත්වයේ හිරවුණා. නූතන ලෝකයට අපේ රට විවෘත කරන්න පාලකයන් අසමත් වුණා. අතීතය මත විරාජමාන වන පාලක කණ්ඩායමක් අපට හිටියා. 2009 යුද්ධය අවසන් කළ පසු ලෝකයටම අධ්‍යයනය කළ හැකි හමුදා ඇකඩමියක් අපේ රටේ පිහිටුවන්න නූතන දැක්මක් අපේ පාලකයන්ට තිබුණේ නැහැ.

අවුරුදු 450ක් බටහිරට යටත් වෙලා අවුරුදු 133ක් මුළුමනින් ම සුද්දාට යටත් වෙලා නිදහස ලබන කොට මොන තරම් අමන්දානන්දයක් හදවත්වලට දැනෙන්න ඕනෑද? නමුත්, අපට ඇති වෙන්නේ නිදහස සමරන්න මුදල් නාස්ති කිරීම අපරාධයක් කියන හැඟීමයි. මේ විකාර මඟුල් නිසා පැරෂුට් පුහුණුව ලබන තරුණයන් වැටිලා ආබාධිත වනවා යන හැඟීමක් අපට දැනෙන්නේ. නිදහස සමරන්නේ පොදු ජනතාවට තහනම් කලාපයක් තුළයි. ඒක ජනතාවට අයිති නිදහසක් නොවෙයි, ඒ ගොල්ලන්ට අයිති නිදහසක්. අදටත් අපේ අයවැය ලේඛනය හදන්නේ අපේ මුදල් ඇමැති හෝ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නොවෙයි. අපට ආර්ථික ස්වාධීනත්වයක් නැහැ. අපට තිබුණු විශාල ජෛව විවිධත්වය සහ බීජ විවිධත්වය අහෝසි කරගෙන තුඹ කරවිල ඇටත් පිටරටින් ගෙනෙනවා.

76 වසරක නිදහස සමරන කොට අපේ බීජ ස්වාධීනත්වය, මූල්‍ය ස්වාධීනත්වය වාගේම අපට අපව අහිමි වී තිබෙනවා. දැන් අපට අවශ්‍ය වී තිබෙන්නේ හුදු ආණ්ඩු මාරුවක්, හුදු පුද්ගල මාරුවක් නොවේ. නව ශ්‍රී ලාංකේය ජාතියක් නිර්මාණය කිරීමේ දිශාවට අපේ රට පරිවර්තනය කිරීමේ පාලනයක් පිහිටුවා ගන්න ඕනෑ. හොරු ඇල්ලීම, නීතිය ස්ථාපනය කිරීම, අපරාධ නතර කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් නතර කිරීම ලොකු වැඩ නොවෙයි. ලොකු වැඩේ අපේ රට ගෙන යන දිශාව පිළිබඳ දැක්ම හදන එකයි. ඉන්දියාව, චීනය, වියට්නාමය, ජපානය, දකුණු කොරියාව වාගේ හැම රටක්ම විසිවැනි සියවසේදී තමන්ගේ දැක්ම අනුව පාර සොයා ගත්තා. දැන් විසිඑක් වැනි සියවසේ දී ජයකෙහෙළි නංවමින් සිටිනවා. බටහිරට තිබුණු ආර්ථික බලය ආසියාව කේන්ද්‍රගත කර ගනිමින්, ලෝක ගෝලය ආසියාව දිහාට කරකවා තිබෙනවා. නමුත්, අප විසිවැනි සියවස අහිමි කර ගත් ජාතියක්. අනෙකුත් ශතවර්ෂ හා සසඳන විට විසිවැනි සියවස කියන්නේ ලෝකයේ සුවිසල් ජයග්‍රහණ අත් කර ගත් සියවසක්. නිසි ආර්ථික දැක්මක්, චින්තනයක් අනුව රට මෙහෙයවීම නොකළ වැරැද්දට අද අප වන්දි ගෙවමින් සිටිනවා.

අප යෝජනා කරන්නේ මේ තත්වයෙන් මිදීමටයි. පටන් ගැනීමේ දීම අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර සියලු පුරවැසියන්ට සහතික කරනවා. මේ පදනම මත අප ආර්ථිකය ඉදිරියට ගෙන යන ආකාරය අලුතින්ම සැලැසුම් කරනවා. දැන් අපට තිබෙන්නේ සංචාරක කර්මාන්තයක් නොවෙයි, හෝටල් කර්මාන්තයක්. අපේ රටේ සංචාරක ව්‍යාපාරය ගැන මනින්නේ හෝටල්වල කාමර කොතරම් පිරි තිබෙනවාද වැනි දත්තවලින් මිස සීගිරියට විදේශ සංචාරකයන් කොපමණ ගියාද වැනි දත්තවලින් නොවෙයි. ඒ නිසා සංචාරක කර්මාන්තය හෝටල් කර්මාන්තයක සිට සංචාරක කර්මාන්තය දක්වා පරිවර්තනය කරන්න ඕනෑ. මේ ආදී තෝරා ගත් ප්‍රමුඛ ක්‍ෂේත්‍ර මත ආර්ථිකය ගොඩනැඟීම ආරම්භ කරනවා. නමුත්, මේ ගමනට එරෙහිව මහජනයාගේ ධනය ඒකරාශී කර ගත් චෞර කණ්ඩායම අවසානය දක්වාම විවිධ මෙහෙයුම් දියත් කරනවා. ඔවුන් සතු මාධ්‍ය බලය මෙහෙයවනවා. ඔවුන්ට අහිමි වෙන්න ගොඩක් දේවල් තිබෙනවා වාගේම අපට දිනාගන්න ගොඩක් දේවල් තිබෙනවා. ඒ නිසා ජයග්‍රහණය ඉලක්ක කොටගෙන මේ මෙහෙයුම දියත් කර ජයග්‍රහණය කරන්න ඕනෑ. අපි ඔක්කොම එකතු වී අපේ රටට නව ජයග්‍රහණ ලබා දෙන පුනරුද යුගයකට රට ගෙන යමු. ඒ වෙනුවෙන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට විශාල කාර්යභාරයක් කළ හැකියි. ඒ සම්බන්ධයෙන් වඩාත් කැප වීමෙන් ක්‍රියා කරන්න සියලු දෙනාටම ආරාධනා කරනවා.

Show More